Monday, August 17, 2026

Tough Guy Book Club හෙවත් බාර් එකට පොත් ගෙනියමු

ඔය බාර් ඇතුලේ සිද්ධ වෙන කතා බහ වලට කතන්දර ,  චිත්‍රපටි වල එහෙම නම් සෑහෙන වටිනාකමක් තියෙනවා . හැබැයි ඇත්ත ලෝකේ ඕක ඔහොමද ? ඉඳල හිටලා බාල වයින් ෂොට් එකක් විතරක් දාන මට ඔය ගැන එච්චර අත්දැකීම් නැහැ . 

ලංකාව බීම අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක් හින්ද මම මේ කියන්න යන අමුතු ක්ලබ් එක ලංකාවේ අයට සෑහෙන වැදගත් වෙයි .. ලංකාව සාක්ෂරතාව අතිනුත් ඉහලින් ඉන්න රටක් හින්ද මේක තවත් වැදගත් .. ඉඳල හිටලා හරි අපි වැදගත් දේවලුත් ලියනවා හරිද ? හෙහ් හෙහ් ..

මෙල්බන් හන්දියේ හිටපු Shay Leighton කියන හාදය එයාගේ යාලුවෙක් එක්ක දවසක් බාර් එකකට වෙලා පොතක් ගැන කතා කර කර ඉන්නකොට තවත් අමුත්තෙක් එයාලට සෙට් වෙලා .. ඊට පස්සේ මේ හාදයා ෆ්ලයර් ටිකක් හදල ඒ අවට තිබ්බ බාර් වලට , ජිම් වලට ,  සැලුන් වලට, ටැටූ ෂොප් වලට බෙදල දීලා  ගෙදරින් පොඩ්ඩක් එලියට බැහැල බාර් එකට සෙට් පිරිමි අයට අලුත් අදහසක් දීලා මේ ක්ලබ් එක ගැන .

මේක පිරිමින්ට විතරක් වෙන් වෙච්ච ක්ලබ් එකක් .. ඒ කියන්නේ ගැහැණු පිරිමි බේදයක් නිසා වෙච්ච දෙයක් නෙමේ නමුත් ගෙවල් වල එදිනෙදා ජිවිත සටනේ මහන්සි වෙන පිරිමින්ට , තමන්ගේ පාලුවට ,තනිකමට පොඩි ෂොට් එකක් දාන ගමන් පොතක් කියවල  ඒක  ගැන කතා බහ කරන්න පුළුවන් වෙන්න හදපු ක්ලබ් එකක් .

මේ ක්ලබ් එක ටිකක් අමුතුයි . මේකේ බොහොම තද නීති ටිකක් තියෙනවා 


ප්‍රධානම එක 

1. No work talk හෙවත් තමන්ගේ ජොබ් එක ගැන කතා කිරීම තහනම් .. තහනම් කියන්නේ චුට්ටක්වත් කියන්ඩ බෑ .. ඔයා මොන පොරක් උනත් කමක් නැහැ .. අපිට වැඩක් නැහැ .

ඊට පස්සේ එක 

2. Don't be a F**k  head ඕක පැහැදිලි කරන්ඩ දෙයක් නැහැ මගේ හිතේ .. තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම නිකන් බොරුවට පොර වෙන්න හදන්න එපා කියන එක තමා ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ .. පොත් ගැන කියවල උනත් පොරක් වෙන්න දැඟලුවොත් ඔයාව අපි පන්නනවා කියල තමා ඔය කියන්නේ ..

3. ඊළඟ එක 

හැම මාසේම පළවෙනි බදාදා හවස  7ට  තමන්ගේ චැප්ටර් එකේ මීටින් එක තියෙනවා. ඒක වෙනස් කරන්ඩ බැහැ  

4. ඊට පස්සේ එක 

දැනට ඔක්කොම චැප්ටර්ස්   189 ක් තියෙනවා , එකෙන් 152ක් ඕස්ට්‍රේලියාවේ සහ ඉතිරි 37 chapters Canada, Hong Kong, New Zealand, Singapore, Myanmar, Spain, Sweden, the UK, and the USA  යන රටවල තියෙනවා . වැදගත්ම  දේ තමා මේ හැම රටකම ඉන්න අය කියවන්නේ එකම පොත සහ ඒ  ඒ මාසේ බදාදා සෙට් වෙලා කතා කරන්නේ පහුගිය මාසේ කියවපු ඒ එකම පොත ගැන .

5. ඊටත් පස්සේ එක 

පොත කියවන්නම ඕනේ කියල එකක් නෑ .. වැදගත් වෙන්නේ ක්ලබ් එකට ඇවිල්ලා කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩ්ඩක් කතා බහ කරලා යන එක .

පහුගිය අවුරුද්දේ ජුලි මාසේ දවසක මෙහෙ ඉන්න මගේ යාලුවෙක් ඔය ක්ලබ් එක ගැන දැනගෙන මට කතා කළා යන්ඩ ..  මේ අමු සිංහලෙන්  අවුරුදු 20ක් තිස්සේ තේරුමක් නැති මගුල්  බ්ලොග් එකේ ලියන යක්ඛ පුතා සුද්දොත් එක්ක ඉංගිරිසියෙන් පොත් ගැන කතා කරන හැටි මම පෙන්නමි කියල අර පුරුස මෙව්වා එක අරගෙන ගියා බලන්ඩ .. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මිටීමට තමා මම ඉස්සෙල්ලම ගියේ .

ඔහෙලට කියන්ඩ සන්තෝසයි ජිම් පප්පල වගේ නාකි සුද්දෝ සෙට් එකක් හිටියේ නැතැයි මේසයක් වටේට වාඩි වෙලා...

අපි දෙන්නව බොහොම ආදරයෙන් ඒ අය ක්ලබ් එකට පිලි ගත්තා .. මේ ක්ලබ් එක සම්පුර්ණයෙන්ම නොමිලේ , ඕනේ කෙනෙකුට ඔය කියන දවසට තමන් ඉන්න පළාතේ ක්ලබ් එක හොයාගෙන යන්න පුළුවන් .. 

 ක්ලබ් එකේ වැඩේ වෙන්නේ මෙහෙමයි 

කට්ටිය එන එන විදියට ආචාර සමාචාර කරලා , හැමෝම වගේ ගිහින් බියර් එකක් , වයින් එකක් , නැත්නම් ඔය තමන් කැමති ජාතියේ මොනවා හරි බිමක් අරගෙන ඇවිල්ලා වාඩි උනාට පස්සේ මිටීම පටන් ගන්නවා .

හැම චැප්ටර් එකකටම ඉන්නවා චැප්ටර් ප්‍රසිඩන්ට් කෙනෙක් . එයා ක්ලබ් එකේ නීති ටික ඉස්සලම මතක් කරලා දෙනවා , ඊට පස්සේ ලෝකේ වටේ තියෙන අනිත් ක්ලබ් ගැන මොනවා හරි වැදගත් නිවුස් එකක් තියෙනවනම් ඒවා ගැන දනුවත් කරනවා , ඊට පස්සේ එනවා ඒ මාසේ චැලෙන්ජ් ඒක . ඒ චැලේන්ජ් වැඩේ මරු , එක එක මාසෙට පොඩි වෙනස් විදියේ වැඩ තියෙනවා කරන්න 

මෙන්න මේ වගේ 

  • පරණ පොත් විකුණන කඩේකට ගිහින් පොතක් ගන්න 
  • පරණ පොත් කඩේකට ගිහින් ෆොටෝ එකක් දාන එක 
  • ගස් හිටවන්න තහනම් තැනක ගහක් හිටවන එක - එකියන්නේ නීති විරෝධී හෝ අනතුරුදායක තැන් නෙමේ .. පොලිසිය ඉස්සරහ , බස් හෝල්ට් එකක වගේ අහිංසක තැනක 
  • තමන්ගේ ෆෙල්ෆියක් අතින් අඳින එක 
  • එක්කෝ තමන් කාගෙන් හරි උදව්වක් ඉල්ලන එක , නැත්නම් තමන්ගේ ක්ලබ් එකේ හෝ වෙනත් ක්ලබ් එකක කෙනකුට උදව්වක් කරන එක 
  • දොස්තර ගාවට ගිහින් බ්ලඩ් ප්‍රේසර් චෙක් කරන එක 
  • තමන් කැමති කවියක් හොයල කට්ටිය ඉන්න තැනක කියන එක හෝ රෙකෝඩ් කරලා වීඩියෝ එකක් දාන එක 
  • තමන්ගේ පැත්තේ කනත්ත සුද්ද කරන එක 

ඔය පහු ගිය අවුරුද්දේ අපි කරපු වැඩ වලින් ටිකක් 

අවුරුද්දක් ඇතුලත ඔය චැලේන්ජ් ඔක්කොම කරන අයට ක්ලබ් එක ගානේ කොයින් එකක් දෙනවා .. ඒක සල්ලි දීලා ගන්න බැරි චැලේන්ජ් වලින්ම විතරක් ගන්න පුළුවන් එකක් 

හරි ඉතින් ඔය විදියට ඊළඟ මාසේ චැලේන්ජ් එක ගැන කිව්වට පස්සේ හැමෝම තමන් පහුගිය මාසේ මොකද කලේ කියල විනාඩි 3-4ක් කතා කරන්න ඕනේ .. මෙතන තහනම් වචනය තමා රස්සාව හෝ , රස්සාවට සම්බන්ධ දේවල්.  ඒ ඇර තමන්ගේ ගේ දොර ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න ආදී ඕනේ දෙයක් කියන්න පුළුවන් , සරලව පහුගිය මාසේ මොකද උනේ කියල යාලුවෙකුට කියනවා වගේ කතා කරන එක , මේක ඇතුලේ ඉතින් එක එක කතන්දර තියෙනවා , අපි කරපු දේවල් ,  කරන්න බැරි වෙච්ච දේවල් වගේ , 

මේ ක්ලබ් එකේ අරමුණ තමා වැඩිහිටි පිරිමි අයට තමන්ගේ වයසේ වගේ අයත් එක්ක තමන් කැමති දේවල් කතා කරලා ,  හිතේ තියෙන දේවල් එලියට දාන්න පුළුවන් අවස්තාවක් දෙන එක . මේ කතා බහ බොහෝවිට විනාඩි 10ක් විතර එක්කෙනෙක් වෙනුවෙන් වෙන් වන අවස්ථා තියෙනවා .. එයාලගේ තියෙන ප්‍රශ්න ගැන හැමෝම අහල ,  උදව්වක් වශයෙන් මොනවා හරි කියනවා .. 

 වැදගත්ම දේ තමා ඔය අපි සෙට් උනාම , එක්කෝ මැද  පාරක් ගහල , නැත්නම් ගොං ජෝක් එකක් දාල අර කතා කරන කෙනාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ .. වැදගත් විදියට කතා බහ කරනවා අර Don't be a F**k  head කියන්නේ එහෙම වැදගත් විදියට හැසිරෙන එකට  

හරි එදා ඉන්න සාමාජිකයෝ හැමෝම කතා කලාට පස්සේ බාත්රුම් බ්‍රේක් එකක් එහෙම අරගෙන කෑම ගන්න අය ඒවා ඕඩර් කරලා ,  බීම වීදුරුව එහෙම ආයේ රිෆිල් කරගෙන සෙට් වෙනවා පොත ගැන කතා කරන්න .

මේ ක්ලබ් එකේ කියවන්නේ නවකතා විතරයි . ඒවාත් බොහෝ විට පිරිමි චරිතයක් මුලික කරගත්ත කතා තමා , ෆැන්ටසි , Sci-Fi ශානර වල ඒවත් තියෙනවා .

පොත ගැන කතා කරන්නේ මෙහෙමයි 

ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් ළඟ තියෙනවා ගිය මාසේ කියවපු පොතට අදාළ හැදුව ප්‍රශ්න 50ක් විතර , මේ ප්‍රශ්න එදාට  හැම ක්ලබ් එකේම කතා කරන ඒවා .. එකම පොත ගැන , එකම ප්‍රශ්න ටිකක් ගැන තමා ලෝකේ වටේ තියෙන ක්ලබ් හැම එකේම එදාට කතා වෙන්නේ .

මේ ප්‍රශ්න නිකන් ආවට ගියාට අහන කතාවේ වීරයාගේ දුස්ටයාගේ නංගිගේ නම මොකක් ද වගේ ප්‍රශ්න නෙමේ ..

නිකන් හරියට කතාවේ වීරයා ,  දුස්ටයාගේ නංගි ට පැණි බූන්දි ගෙනත් දීම ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේද වගේ .. අ . පො. ස  A/L සිංහල දෙවෙනි කොටසේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න ... !

ඕවා ගැන ඉතින් මේ ඉන්න සුදු මහත්තුරු හරිම ලස්සනට කතා බහ කරන හැටි පළවෙනි දවසේ අපි දෙන්නා කට ඇරගෙන බලං හිටියා ..

ඒ කතා බහ බොහොම වැදගත්, විනොදශීලි විදියට ගෙනියනවා , කොයි වෙලාවකවත් කෙනෙකුගේ හිත රිදෙන විදියට කවුරුත් කතා කරන්නේ නැහැ ..

අපි ගිය  පළවෙනි දවසෙම  ඒ කතා වල ,  පොත් ගැන , ඒ චරිත ගැන එයාලගේ අදහස් ඇහුවම ඇත්තටම මම නම් අර සිංහලෙන් blown away උණා කිව්වොත් හරි ..

ඔය විදියට ආසන්න වශයෙන් පැය 2ක්  විතර පොත ගැන සහ ඒ පොතේ සිදුවීම් වලට අදාලව එකිනෙකාගේ අත්දැකීම් ගැන එහෙම සෑහෙන රසබර සාකච්චාවක් යනවා .. 

කතාව ඉවර උනාට පස්සේ ඊළඟ මාසය , ඒ කියන්නේ දැන් අගෝස්තු නම් සැප්තැම්බර් මාසයට කියවන්න තියෙන පොත ඕඩර් කරන්න අවස්තාව සමාජිකයින්ට ලැබෙනවා සහ , අගෝස්තු මාසය වෙනුවෙන් පොත ඕඩර් කරපු අයට  ඒ පොත ලබා දීම සිද්ද වෙනවා .

මේ පොත ඕඩර් කරන්නෙ ඔන්ලයින්  , නමුත් කැමති කෙනෙකුට කඩේකින් ගන්න හෝ Kindle වැනි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයකට පොත හොයාගෙන කියවන්න පුළුවන් .. ඕඩර් කරන එක අනිවාර්ය නැහැ .. නමුත් විනෝද ජනක දේ තමා , ඒ මාසය වෙනුවෙන් කියවන්නේ මොකක්ද කියල නොදැන තමා මේ පොත හැමෝම ඕඩර් කරන්නේ .. ඒ කියන්නේ අගෝස්තු මාසේ පලවෙනි බදාදා තමා හැමෝම දැනගන්නේ ඒ මාසෙට  කියවන පොතේ නම , නමුට් ඒක කලින් මාසෙදි ඕඩර් කරන්නේ නම දන්නේ නැතුව 

මේ පොත් බෙදා හැරීමේ කටයුතු ආදිය හරිම පිළිවෙලට සිද්ද වෙනවා . ක්ලබ් එකේ නිල ලාංචනය අලවපු පොතක් තමා එහෙම ඕඩර් කරන අයට ලැබෙන්නේ .

ඊට පස්සේ ඉතින් කට්ටිය තම තමන් කාපු බීපු දේවල් වල බිල ගෙවලා සන්තොසෙන් විසිරිලා යනවා ,

ඒ ඒ චැප්ටර් වල අය තමන්ගේ සමාජිකයින් සමග කටයුතු කිරීමට පහසු වෙන්න facebook ගෘප් හදාගෙන තියෙනවා වගේම Tough Guy Book Club එක වෙනුවෙනුත් page එකක් තියෙනවා .. නමුත් ඒක සමාජිකයින්ට විතරක් සීමාවුණු private එකක් 

මම  ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳල මේ වෙනකම් , එක මාසයක් ඇරුනම හැම මාසෙම ඔය මිටිමට ගියා , ඒ මාසේ පොත කියෙව්වා , මගේ කැඩුණු ඉංගිරිස් වලින් , මට හිතෙන දේවල් ඒ මිනිස්සු එක්ක කතා කළා , ඔවුන් දැන් කාලයක් දන්නා කියන හොඳ යාලුවෝ 

දිල්ශානයටයි මටයි ගොඩක් දවස් වලට සමහර සුද්දෝ කියන ඒවා තේරෙන්නේ නැහැ .. ඒ උනාට අපි තේරුනා වගේ ඔලුව වනල , යෑස් හරි නො හරි මුණේ හැඩය අනුව හිතලා කියල බොහොම සුහදව මේ ක්ලබ් එකේ යාවජිව සාමාජිකයෝ බවට මේ වෙනකොට පත්වෙලා ඉන්නවා ..  

 මේ ඉන්නේ අපි සෙට් එක - ගිය මාසේ ආපු සෙට් එක 


මේ ක්ලබ් චැප්ටර් එකක් ලංකාවේ නම් තාම නැහැ .. උනන්දු කෙනකුට පටන් ගන්න පුළුවන් .. නමුත් ඉංග්‍රීසි කියවන අය වෙන්න ඕනේ .. 

සිංහල පොත් කියවන අයටත් ඉතින් මේ අදහස තියෙන වෙනම ක්ලබ් එකක් පටන් ගන්න පුළුවන් ඉතින් 

කියවපු පොත් 12 ගැන තව පොස්ට් 12ක් හෝ ඔක්කොම දාල තව එකක් ලියන්නම්කො 

 ප . ලි 

අදට මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අවුරුදු 20ක් . දැකපු නැති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන්නේ පලවෙනි පෝස්ට් එක 

විසි වසරක බ්ලොග් ලිවිල්ල ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා .. බලමුකෝ ඉතින් නේද .. 



No comments:

Post a Comment