Friday, August 28, 2020

කාල යක්ෂ - 8 - සතුරු මිතුරු




"අනිත් එක ... වැඩිය කල් නොදා අර චක්‍රාවාට සංගමේ වැඩේ බලනවා. මොකද ඒක අපි නොහිතන තරම් වැදගත්. මිනිස්සුන්ව මිත්‍යාවෙන් ඈත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ඊට වඩා රස ටොපියක් දෙන්න වෙනවා කන්න. මේ දවස් වල නැගලම යන්නේ සක්වල සංචාර." 

වෙරිමතින් සිනාසෙමින් ඩෙලෝ පැවසිය. 

"ඩෙලෝ ඒක මම බලා ගන්නම්... මට අර උදව්ව කරලා දෙනවා. "

"හරි හරි ...ඕක මහ දෙයක් ද ...මම ක්‍රොෆින්ගර්ව බලා ගන්නම්... මාව ඔන්න ඔය ඉස්සරහින් දාගෙන යනවා.. "


අද එතැන් සිට ...


පැරදිසෝ  ලොව  සිය සුර්යයා වට භ්‍රමණය වුවද , එහි වැසියෝ එය එතරම්  වැදගත් දෙයක් ලෙස සැලකුයේ නැත. ඔවුන්ට වැදගත් වුයේ ඔවුන්ගේ  චක්‍රවාටයේ හරි මැද වූ  කළු කුහරයත්, එය වසා පැතිරුණු  චොන්ඩ්‍රයිට් වළාව තුල එහි පිහිටීමත් පමණි.  චොන්ඩ්‍රයිට් යනු විශ්වය බිහිවූ මොහොතේ නිපදවුණු, කිසිදු සුර්යයෙකු, ග්‍රහයෙකු හෝ ඇස්ට්‍රොයිඩයක් බිහිවීමට මුලික නොවුණු දුවිලි විශේෂයකි. පදාර්ථයේ මුලික තැනුම් ඒකක වූ බොහෝ මුලද්‍රව්‍ය මේ වලාව තුල නොයිදුල්ව තිබිණි. පැරදිසෝ  ලොවෙහි පසෙහි වූ විකිරණ ශීලි   මුලද්‍රව්‍ය බහුලතාවය මෙම  චොන්ඩ්‍රයිට් වලාවේ ප්‍රතිඵලයකි. Sombrero චක්‍රාවාටය විශ්වයේ වූ අනෙකුත් චක්‍රාවාට වලට වඩා වෙනස් වීම නිසා සක්වල සංචාරකයින් ගේ සහ විශේෂයෙන්  ව්‍යාපාර පිණිස පැමිණි විවිධ සක්වල ජීවීන්ගේ විශේෂ අවධානයට පත්ව තිබිණි. පැරදිසෝ ලොව චක්‍රාවාට සංගමය හා සම්බන්ධ වී තවම එතරම් කලක් ගතවී නොතිබිණි. එහි වූ බලවත් රාජ්‍යයයන් කිහිපයක් පමණක් මෙම සක්වල සංචාර සහ ව්‍යාපාර කටයුතු ආරම්භ  කර තිබුණු අතර  ඒ වන විට විශ්වයේ පැවති අන්තර් චක්‍රාවාට ගනුදෙනු සහ ගමනාගමන කටයුතුවලට සාපේක්ෂව  පැරදිසෝ ලොව  යනු මහා නගරයක පිහිටි කුඩා තේ කඩයකට සමාන විය. 

 ************

ඇලෙන්ඩිට දෙවෙනි වරටත් සිහිය ලැබෙමින් තිබිණි.   නාසයට දැනුනු සිසිල් වාතයේ වූ දුර්ගන්ධයත්, වැතිර සිටි රළු පෘෂ්ටයෙහි වූ සිසිලත්  සෙමින් අවදි වන ඇගේ සිරුරට  දැනිණි.   සිදුවුයේ කුමක් ද, සිටින්නේ කොහෙද තබා තමා මේ දකින්නේ සිහිනයක් ද සැබෑවක් ද යන්න නිෂ්චය කරගැනීමට ද ඇයට අපහසු විය.   සිහිසුන්ව මෙතෙක් වෙලා ඇය සිටි ඉතා සාමකාමී ස්භාවය යටපත් කරමින් සිය  සිරුරෙහි සංවේදනාද , මනස ටිකෙන් ටික ව්‍යාකුල වීම නිසා දැනෙන අපහසුවද ඇයව පිඩාවට පත් කළේය. සෙමින් දෑස් විවර කල ඇයට අඳුරු කුටියක වූ මලානික විදුලි ලාම්පුවක සේයාවක් පෙනුණි.  තමා වැතිර සිටින රළු  පාෂාණමය පෘෂ්ටය බිත්ති කොනක වූ අතර, විරුද්ද පස බිත්තියෙහි වූ කහ පැහැති  මලානික විදුලි බුබුලත්, කෙලින්ම ඉදිරියෙන් වූ  යකඩ කූරු සවිවූ දොර සහ අසල සිටි මුර සෙබලාගේ චායාව ඇයට පෙනිණි.  නැවත දෑස් පියා තමා සිටින තැන සහ සිදුවූ දෙය පිළිබඳව යමක් වටහා ගැනීමට ඇය උත්සාහ කළාය.

ලේසර් ප්‍රහාරයෙන් දැවී ගිය බ්‍රයිටෝගේ වේදනාකාරී මුහුණේ ඌ භීතිය ඇයට මැවී පෙනිණි. බ්‍රයිටෝ... සේප්පුව .... එහි දුටු අමුතු දසුන්, මිතුරියන් සමග දිය කෙලිය, මව සහ ඇගේ හුරතල් බලු පැටියාගේ රුව සලරුවක් මෙන් මැවී පෙනුණි. ඒ සියල්ල අතීතයද, තමා දැන් සිටින්නේ ඒ සියල්ලෙන් බොහෝ වෙනස් වූ සහ මින් පෙර අත් නොවිදි, අමුතුම අත්දැකීමක් තුල බවද ඇයට වැටහී ගියේය. 

මේ කොරන්වේලි හෝ ටෙරමි නොවන බව කාමරයෙහි වූ දුර්ගන්ධයෙන් ද, එහි වූ අඳුරු  බියකරු බවෙන් ද ඇය තේරුම් ගත්තේය. මෙවැනි පරණ තාලයේ හිර මැදිරි ගැන ඇය පොත පතින් කියවා තිබුනද, නගරයේ කිසි තැනක එවැනි සිර මැදිරි හෝ රැඳවුම් ස්ථාන නොමැති බව ඇය දැන සිටියාය.

පරණ තාලයේ ගොඩ නැගිලි 



යලිත් සෙමින් දෑස් විවර කර තමන්ට පිටුපා සිටින මුර සෙබළා දෙස බැලු ඇය, අඳුරට හුරුවී තිබුණු දෑස් වලින් දොරෙන් අපිට ඇත්තේ කුමක් දැයි වටහා ගැනීමට තැත් කළාය. දොරට එපිටින් වූ පඩි පෙළක  අවසන් පියගැට පෙළ කිහිපයක් සහ පඩිපෙළට යාබදව වම් පසට වන්නට ඈතට විහිදුනු කොරිදොවකුත් එහි වූ මාලානික විදුලි ආලෝකය සහ ගබඩා කාමර යැයි සැක කල හැකි දොරටු කිහිපයකුත් ඇයට පෙනිණි. සෙබලා ඇඳ සිටි කළු පැහැති ඇඳුම සහ අතෙහි වූ ලේසර් තුවක්කුවක්, ඉනෙහි පැලදී දිගු කඩුවත් නිසා ඔවුන් රජුගේ සෙබළු නොවන බව ද  පැහැදිලි විය. කඩු කිනිසි යනු මිලේච්ඡ, යල් පැනගිය ආයුධ ලෙස නෙමින්දෙර් රජු විසින් ප්‍රතික්ෂේප කර දමා තිබුණේය. මෙම වර්ගයේ ආයුධ පාවිච්චි කරන භටයින් ඇති හමුදාවක් ගැන ඇලෙන්ඩි  නොදැන සිටියද  තමා මේ සිටින්නේ බොහෝ විට කඳුකරයේ කොතැනක හෝ වූ භූගත කාමරයක බවත්,  රජුට විරුද්ධව සටන් වදින තවත් හමුදාවක් තමා පැහැරගෙන ඇති බවත් ඇය තේරුම් ගනිමින් සිටියාය.  නැවත දෑස් පියාගෙන සිදුවන්නට හැකි දේ පිළිබඳව අනුමාන කිරීමට උත්සාහ කළා පමණි.


භූගත සිර මැදිරි 


"කෝ තාම සිහිය ඇවිල්ල නැද්ද ? මේ වෙද්දී සිහිය එන්න ඕනේ. කෝ ඔය දොර අරන්න"

තවත් මොහොතක් සිහිසුන්ව ලෙස සිටින ලෙස රඟපෑමට තීරණය කළ ඇලෙන්ඩි සිය හුස්ම වැටීම සියුම් කර ගත්තාය.

"වතුර ටිකක් ගෙනල්ල ඉහින්න. සමහර විට කලිනුත් සිහි නැති වෙච්ච නිසා,  සිහිය එන්න පරක්කු ඇති. මුරට සිටි සෙබළා නැවත දොර ඇරගෙන වතුර ගෙනෙන්නට යන හැටිත්, තමා අසලට ආ තැනැත්තිය, විරුද්ධ පස වූ බිත්තිය දෙසට ගොස් ඉලෙක්ට්‍රොනික යතුරු පුවරුවක යමක් සටහන් කරන හැටිත්  ඇලෙන්ඩිට ඇසිණි.

සෙමින් දෑස් අර බැලු ඇය හැර තිබෙන දොරත්, තමාට පිටුපා විදුලි බුබුල යට සිට කුමක්දෝ සටහන් කරන වෛද්‍ය වරියක් බඳු වූ කාන්තාව දෙසත් බලා  වහා ක්‍රියාත්මක විය.

ඇසුරු සැනින් හුන් තැනින් නැගිට ගත් ඇය, හැකි වෙර දමා පිටුපා සිටි කාන්තාව දෙසට පැන හැකි තරම් වෙර යොදා ඇගේ හිස ගෙන ඉදිරි පස වූ බිත්තියේ ගැසුවාය.  බලාපොරොත්තු නොවූ හදිසි වේගවත්  පහරින් සිහි සුන්ව ඇදවැටුණු කාන්තාවගේ අතින් විසිවුණු ඉලෙක්ට්‍රොනික පුවරුව වහා අතට ගත් ඇය  වේගයෙන් දොර දෙසට දිව ගොස්  වට පිට බැලුවාය. පඩි පෙළත් සමග වම් පසින් ඉදිරියට වූ කොරිඩෝරය දෙසට ඇවිද යන මුර සෙබලාගේ චායාව සහ ඔහු සමග කතාවට ආ තවත් පුද්ගලයෙකුගේ නොපැහැදිලි  හඩක් ඇයට ඇසිණි.   සිතීමට මොහොතක් වත් කල් නොගත් ඇය අගුළු නොදා තිබූ දොරෙන් එලියට පැන පඩිපෙළ දිගේ උඩට දිව ගියාය.  උඩ  මහලේ කුමක් තිබේද, කවුරුන් සිටීදැයි නොදැන එකවරම දිවයාම අනුවණ කමක් උවද  කිරීමට වෙනත් දෙයක් නොමැති වුයෙන් ඇය වේගය මදක් බාල කරමින් උඩු මහලට පිවිසුනාය.  මලානිකව ආලෝකමත් වූ එහි වුයේද යම් කිසි ගබඩා කාමර සහ ඇතුලට විහිදුනු කොරිඩෝවකි.  පියගැට පෙළ අවසන් වන තැනම  වම් පසට වූ කාමරය තුල  සිටි සෙබලා ඇයට පිටුපා සිටි හෙයින් ඇය උඩට නගිනු දුටුවේ නැත.  මොහොතකට නතර වුනු ඇලෙන්ඩි, උඩු මහලට දිව යෑම නතර කර කොරිඩෝව දෙසට හැරුණේ, බලාපොරොත්තු නොවන ලෙස කිසිවෙකු හමුවීම වළක්වා මද වෙලාවක් සැඟවී කල්පනා කිරීමට තැනක් සොයමිනි.  තව මොහොතකින් තමා නැති බව දැනගෙන සියල්ලෝම කලබල වී සොයන විට අනාරක්ෂිත තැනක සිටීමට වඩා, කිසිවකු බලාපොරොත්තු නොවන තැනක සැඟවීම සුදුසු බව ඇය සිතුවාය.

පියගැටපෙළ අසල වූ  කාමරයේ දොර හැර දමා සෙබලා කාමරය තුල වූ යම් දෙයක් ගැන සටහන් තබමින් සිටියේය. දොරත් සමගම වම් පසට වූ  තරමක් විශාල කවුළුවෙන් එහි වූ කබඩ් සහ ගොඩ ගසා තිබුණු පෙට්ටි රැසක් ඇය දුටුවේය. කවුළුව අසලම වූ  කබඩ් සහ පෙට්ටිගොඩ අතර වූ හිඩැස තුලට සෙබලාට නොදැනෙන ලෙස පැන ගැනීමට ඇය ක්ෂණිකව තීරණය කළේය.  

සෙබලා ආපසු හැරීමට පෙර කාමරය තුලට බැළලියක මෙන් සෙමින් ඇතුළු වූ ඇය හෙමින් සීරුවේ වම් පසට හැරී දොර අසල වූ පෙට්ටි ගොඩත් ,  ඊට මදක් එහාට වන්නට වූ කබඩ් එකත් අතර වූ අඩි 2ක පමණ පරතරය තුලට වැද හිඳ ගත්තාය. කවුළුව ඇගේ හිසට ඉහලින් වූ අතර කාමරය තුල තවත් පෙට්ටි සහ විවිද මළු පුරවා තිබිණි.

ගත වුයේ නිමේෂයකි . එකවරම මහා හඩින් සයිරනයක් නාද වන්නට විය.     

සටහන් කරමින් සිටි දෙය නවතා වහා ආපසු හැරුණු සෙබලා දොර වසා එලියට යනු  ඇලෙන්ඩි යන්තමින් දුටුවාය.

එය,  ඇය නැති බව හඟවන සයිරනය විය.

"වැඩි දුරක් යන්න විදියක් නැහැ.. පහත මාලයේ සිටි සෙබලා සහ තවත් කිහිප දෙනෙක් උඩට එමින් පැවසීය.

"ජෙරෝ, ඔය කාමරේ බලන්න... " එලියට යමින් සිටි සෙබලාට කවුදෝ කියනු ඇයට ඇසිණි. 

"මම ඒ කාමරේ මෙච්චර වෙලා හිටියේ. එකේ කවුරුත් නැහැ..."

"හරි මම උඩට යන්නම්. මේ කාමර ටික ඔක්කොම හෝදිසි කරන්න."

"ඔය ඩොක්ටර් ව පරිස්සමින් උඩට අරන් එන්න. "

හඬවල් කිහිපයක් සහ පියගැට නැගෙන හඩ රාශියක් ඇලෙන්ඩි ට ඇසුණේය.

හඬවල්  නෑසෙන තෙක් තවත් මොහොතක් සිටි අයුරින්ම සිටි ඇය, අතෙහි වූ ටෙක්සෝ  පිටුව දෙස බැලුවාය. දින දෙතුන් සියයක් පැරණි එම මොඩලයේ ටෙක්සෝ පිටු බාවිතා කරන වෛද්‍ය වරුන් සිය රටෙහි සිටින බව දැනීම ඇයට පුදුමයක් විය. අතින් ඉවතට විසිවීම නිසා ඕෆ්  වී තිබුණු  පිටුව නැවත පනගන්වා එයට පිවිසීමට බැලුවද, හිමි කරුගේ චිත්ත තරංග නොමැතිව පිවිසීමට නොහැකි වූ බැවින් එය ඇඳ  සිටි ඇඳුම තුලට දමා ගත්තේ ඇගේ ලැබ්  එකට ගොස් විවෘත කර බැලීම පිණිසය. චිත්ත තරංග  රෙසනෝටයක් නොමැතිව පිටුව තුලට පිවිසිය නොහැකි බව දත් ඇය, ඇයට  තිබුණි ස්වල්ප කාලය තමා සිටින්නේ කොහිදැයි  වටහා ගැනීමට  යෙදවීමට සිතුවාය.      

කාමරයේ වූ පෙට්ටිවල සටහන් වී තිබුණු රතු පාට වෘක හිස රෙඩ් වුල්ෆ් කඳවුරේ නිල සලකුණ බව ඇය දැන සිටියාය.  එක්කෝ ඇය මේ සිටින්නේ රෙඩ් වුල්ෆ් කඳවුරේය. එසේ නැත්නම්   රෙඩ් වුල්ෆ්  වෙත භාණ්ඩ සපයන අතරමැදි ස්ථානයකය.

ඇයට ගැටළුව වුයේ රජුගේ හමුදාවට අයිති කඳවුරක සිටින සෙබළුන්ගේ නිල ඇඳුම වෙනස් වුයේ කෙසේද යන්නයි. 

පෙට්ටියක් හැර බැලීමට උත්සාහ කලද, ආයුදයක් නොමැතිව එය කල නොහැකි බව ඇයට පෙනිණි.

තමා දෙසට ලංවන අඩි ශබ්ධයක් ඇසුනෙන් ඇය වහා දොර මුල්ල වෙතට වී බිත්තියට හේත්තු විය.

වාසනාවට අඩි හඬ දොර පසු කර ඈතට ගියේය.

අසල වූ කබඩ් එක වෙත ගොස එය හැරීමට තැත් කලද, අගුළු දමා තිබු හෙයින් එයද ව්‍යර්ථ වී ගියේය.

සෙබලා පෙර සිටි තැන වෙත ඇය  ගියේ  ඔහු අවසානයේ යමක් සටහන් කරමින් සිටියේ කුමක් පිළිබඳවදැයි  දැන ගැනීමටය.

ඇගේ සැකය නිවැරදි විය. කලබලයෙන් ගිය සෙබලාට පෙට්ටිය සීල් කිරීමට අතපසු වී ඇත. ලෝහමය පෙට්ටිය තුල වුයේ යම්කිසි යන්ත්‍රයක අමතර කොටස් වැනි කොටස් කිහිපයකි. එවැනි පෙට්ටි රැසක් කාමරය තුල විය.   

කාමරය තුලින් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ තැන තමාව පැහැරගෙන විත් මෙවැනි තැනක රඳවා ගැනීමට අවශ්‍ය කාටදැයි සිතා බැලීමට ඇය මොහොතක් ගත කළාය.

බ්‍රයිටෝගේ අවසන් වදන්, ඔහු පෙන්වමින් සිටි දේ සහ  ඇය කරමින් සිටි ලේසර් ස්පේට්ල්  කොහෙරන්ස් පරීක්ෂණය සහ බ්‍රයිටෝ සහ ඔහුගේ මිතුරන් විසින් කරමින් සිටි  පරීක්ෂණත්, ඇය  සහය දුන් TEMA ව්‍යාපෘතියත් ගැන ඇය මෙනෙහි කර බැලුවාය.  තමාව මුලින්ම පැහැර ගැනීමට දින කිහිපයකට පෙර කර්වියෝ සහ විටාසෝ  TEMA ගැනත් ,  ලේසර් ප්ලස් ඇම්ප්ලිෆිකේෂන් (pulse amplification) තමාගෙන් විමසූ හැටිත් ඇයට සිහිවිය.  

TEMA  ව්‍යාපෘතිය පෙරදිග රාජ්‍යයේ නව නිපැයුම් සහ පරීක්ෂණ පිලිබඳ අධ්‍යයනායතයේ සිදු කෙරුණු ප්‍රධානම ව්‍යාපෘතියකි.  නෙමින්දෙර් රජුගේ අනු දැනුම ඇතිව සිදු කෙරුණු එහි අරමුණ වුයේ ක්වන්ටම් තලයේදී ශක්තියේ හැසිරීම නිරීක්ෂණය කිරීමත්, ශක්තිය ඇතිවීම සහ නැතිවීම සිදුවන ආකාරය අධ්‍යනය කිරීමත් ය. එහිදී ඇයගේ කාර්යය වුයේ ලේසර් තරංග වල අන්වායාම සහබන්ධනය වැඩි කිරීමෙන්, ක්වන්ටම් තලයේදී  වැඩි බලයක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි.  TEMA  හි අවසාන අරමුණ වුයේ ශක්තිය අලුතින් නිර්මාණය කර ගැනීමයි. නමුත්  ඒ සඳහා අවශ්‍ය තරම් ලේසර් කිරණ  වල බලය වැඩි කර ගැනීමට ඔවුනට තවමත් නොහැකි වී තිබිණි. සැබවින්ම ඔවුනට එවැනි මහා බලයක් යොදා ක්වන්ටම් තලය තුල සෙල්ලම් දැමීමට අවශ්‍ය කරන  ප්‍රධානම මුලද්‍රවයක්  වන ක්ලවරියොන් වල දැඩි හිඟ තාවයක් පැවතිණි.  නෙමින්දෙර් රජු ගේ හයිලැන්ඩර්  වෙළඳ ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වුයේ යහමින්  කාටත් රහසින් ක්ලවරියොන් සපයා ගැනීමයි. 

මේ සියල්ල යලිත් සලකා බැලූ ඇයට වැටහුනේ, කවුරුන් හෝ තමාව රැගෙන විත් ඇත්තේ මේ පිළිබඳව දන ගැනීමට හෝ, රජුගේ මෙම කටයුතු ගැන විස්තර දැන ගැනීමට බවය. නමුත්  ඇයට ගැටලුව වුයේ අසරණ බ්‍රයිටෝව මරා දමා තමාව පැහැර ගැනීමට තරම් තිබෙන උවමනාව කුමක් ද යන්නයි.

කාමරය තුලින් කිසිවක් දැන ගැනීමට නොහැකි වූ තැන ඇය, හෙමින් සැරේ කවුළුවෙන් එපිට බැලුවේ පඩි පෙලින් උඩට නොගොස් ඒ වෙනුවට මෙතනින් පිටවීමට කොරිඩෝවේ ඇතුලේ  වෙනත් දොරටු ඇත්දැයි දන ගැනීමේ අටියෙනි.    

නමුත් තමා  සොයා ආ සෙබළුන් පහල ගැන අවධානය අඩු කොට ඉහල මහල වෙත ගියේ සමහරවිට බිම් මට්ටම නිසා විය හැකි බව ඇයට කල්පනා විය. නමුත් එකවරම පඩි  නැග ඉහලට යාම වෙනුවට ඇය  මලානික එළිය සහිත අඳුරු කොරිඩෝව දෙසට යාමට සෙමින් දොර විවර කලාය.

සෙබළුන් දෙදෙනෙකු කතා කරන හඩක් ඇතුළු කාමරයකින් ඇසුනද, කොරිඩෝව පාළුවට  ගොස් තිබිණි. වහා තීරණයක් ගත් ඇය සෙමින් දොර වසා හැකි ඉක්මනින්  කොරිඩෝවේ කෙලවර දෙසට ගියාය.

එකම විදියට තැනු ගබඩා කාමර කිහිපයක් සහ, වම් පසට වූ  දෙවෙනි කාමරය තුල පෙර පරිදිම බාන්ඩ පිළිබඳව තොරතුරු සටහන් කර ගන්නා සෙබළුන් දෙදෙනෙකු සෙමින් සීරුවේ පසු කල ඇයට, ඊට මදක් ඔබ්බෙන් දකුණු පසට  වූ තවත් පඩි පෙළක් ඇස ගැටිණි.  දෙවරක් නොසිතා සෙමින් පඩි පෙළ බාගයක් නැග  උඩු මහලට පිවිසීමට පෙර මදක් නැවතුනු ඇයට උඩු මහලේ කතා කරන හඬ සහ වඩා හොඳ ආලෝකයක් ඇති බව පෙනිණි.  කල හැකි වෙනත් කිසිවක් නොවුයෙන් උඩට යාමට තීරණය කලේ සිදුවන ඕනෙම දෙයකට මුහුණදීමට සිතාගෙනය. පඩි පෙලේ අවසානයට පැමිණි ඇය  හෙමින් සීරුවේ  ආලෝකය ආ වම් පසට යාමට තීරණය කළා පමණි.

"ඔහොමම නතර වෙනවා. " තියුණු කඩු තුඩක සියුම් වේදනාව ඇගේ පිට පෙදසට දැනු නාය.

පසුපසින් පැමිණි සෙබලා ඉවසීමෙන් යුතුව පැවසීය. 

"මම කොහෙද මේ ඉන්නේ ? හිටි තැනම නතර වුනු ඇලෙන්ඩි ඇසුවාය.

"ඒක  දැන  ගන්න  පුළුවන්.  යමු ඔහොම ඉස්සරහට... " ගොරෝසු සෙබල හඬ පැවසිය.

තවත් කාමර කිහිපයක්  සහ ශාලාවක් පසු කරමින්  ඇලෙන්ඩි  ඉදිරියට ඇදුණාය.  සෙබලාගේ කඩු  තුඩ තවමත් ඇගේ ශරීරය ස්පර්ශ වෙමින් තිබුණු හෙයින් ඇය ක්ෂණික තීරණ කිසිවකට යොමු නොවී සිදුවන දෙයට මුහුණ දීමට සිතා ගත්තාය.


අමුතු හැඩයේ ගොඩ නැගිල්ල 


ඉදිරියෙන් වූ විශාල දොරින් එලියට පැමිණි ඇයට  තවත් පරණ තාලයේ ගොඩනැගිලි කිහිපයක් සහ ඉදිරිපසින් වූ අමුතු හැඩයකින් යුත් තවත්  නවීන ගොඩනැගිල්ලක්  දිස් විය. ඉදිරිපස අංගනයේ පරණ තාලයේ මයින්ඩ් ජෙට් යානා කිහිපය සහ ගොඩබිම බර උපකරණ ගෙන යාමට යොදා ගන්නා විශාල ක්ලානා රථ කිහිපයක් ද  විය.  පසුපසින් පැමිණි සෙබලාගේ නියමයෙන් අමුතු හැඩයේ ගොඩ නගිල්ලට ඇතුළු වූ ඇය  ඉදිරියේ වුයේ  කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දසුනකි.

  

Sunday, August 23, 2020

ටෙස්ටින් වන් වන්

මේකේ මොකුත් ලියා ගන්න බැරුව අලි අමාරුවක වැටිලා ඉන්නේ. මොන විදියට හිතල ලියන්න ගත්තත් වචන දෙක තුනකට වඩා ලියවෙන්නේ නැහැ... 

ලියන්න බොරුවක් වත් ගොතා ගන්න බැහැනේ. 

ලිය ලිය හිටපු...

   

  

Sunday, June 14, 2020

කාල යක්ෂ - 7 - මිත්‍යා



මෙතෙක් කතාව 


Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය  නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි.  රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ  මුහුදු බඩ  සහ පහතරට ප්‍රදේශ  මේ වන විට තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇත.   

තාක්ෂණයට සහ විද්‍යාවට ලැදි නෙමින්දෙර් රජු සිය රටවැසියාගේ හිතසුව පිණිස කැපවුනද, රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති මණ්ඩලයේ සමහරක් රජුගේ  දේශපාලනික සහ ව්‍යාපාරික තීරණ පිළිබඳව එතරම්  ප්‍රසාදයක් නොදක්වයි. පැරදිසෝ ලෝකයේ අනෙකුත් දියුණු රටවල්  අන්තර් චක්‍රාවාට වෙළඳාම සහ සංචාර මේ වනවිට පටන් ගෙන තිබුණු අතර පෙරදිග රාජ්‍යය තවමත්  අන්තර් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය පවා ලබා නොගෙන සිටීම රජුගේ පාලනයේ ඇති දුර්වලතාවයක් බවට රාවයක් ද පැතිරෙමින් තිබේ.    

කඳුකරය හෙවත් හයිලැන්ඩර්වරු  සාම්ප්‍රදායික ජිවන රටාවකට හුරු වුනු සහ නවීනත්වය ප්‍රතික්ෂේප කරන,  රසායනික මුලද්‍රවය තැන්පත් නිධි  සහ වෙළඳාම මුලික කරගත්  ජනකොටසකි. ඔවුන්ගේ පාලකයා ක්‍රොෆින්ගර් වූ අතර ඔහු සහ නෙමින්දෙර් රජු අතර නෑ සම්බන්ධකමක්  තිබුණද එය එතරම් සුහද නොවීය. අතීතයේ සිදුවූ දේශපාලනික අර්බුධ වලින් පසුව ඔවුන් ෆෙඩරල් ක්‍රමයකට රටේ කොටස් දෙක පාලනය කළෝය.

බොහෝ කාලයක් තිස්සේ  ජනවහරේ මිත්‍යාවක් ලෙස  පැවති ස්කෘලොක් නම් මායාකාර රජෙකු සහ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් පිළිවඳව කතා බහ නැවත කරළියට පැමිණෙමින් තිබේ. නෙමින්දෙර් රජු  මේ කතා ප්‍රතික්ෂේප කලද, කඳුකර වැසියන් සහ ක්‍රොෆින්ගර් සිය නැතිවී ගිය පුරාණ දැනුම සෙවීමේ  සහ  ස්කෘලොක් ට  නැවත පණදීමේ උත්සාහයක යෙදේ.  ක්‍රොෆින්ගර් ගේ අනුදැනුම යටතේ ප්‍රයිකුල් නම් සෙනෙවියෙකු විසින් මෙහයවන 60000ක පමණ සේනාවක් ස්කෘලොක් ගේ සොහොන සොයා යන මෙහෙයුමක නිරතවෙමින් සිටින අතර ඔවුන් ඉතා කෘර, අමනුෂ්‍යමය  බලවේග සමග සටන් කරමින් සිටින අතර මේ වන විට සේනාවෙන් අඩක් පමණ මියගොස් ඇත.

මේ අතර සාමකාමී ලෙස පවතින  පහතරට පෙදෙසේ  නවීන ලේසර් සහ අධිතාක්ෂණික කිරණ පිළිබඳව විද්වත් තරුණියක වූ ද, නෙමින්දෙර් රජුගේ නෑයෙකු සහ ඔහුගේ දියණිය වූ නීෂා ගේ  සමීපතම මිතුරියක වූ ඇලෙන්ඩි අතුරුදහන් වෙයි.  මේ අතුරුදහන් වීමට සම්බන්ධව  ඇලෙන්ඩි  ගේ  මිතුරන් වූ බ්‍රයිටෝ, කර්වියෝ සහ විටාසෝ  පිළිබඳව රජුගේ හමුදාවන් විසින් තොරතුරු සොයා ගනු ලැබුවද,  බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ බ්‍රයිටෝගේ ඝාතනයත්, ඇලෙන්ඩිගේ නැවත අතුරුදහන් වීමත් නිසා ෆ්රිදොම් කන්දේ පිහිටි ස්ප්ලේන්දී මාළිගය තුල කලබලකාරී ස්භාවයක් දක්නට තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ හදිසි කිරණ ප්‍රහාරයකින් මිය ගිය බ්‍රයිටෝ, මිය යෑමට පෙර  ඇලෙන්ඩිට   ස්කෘලොක් නම් රජුගේ කාලයට අයත් යයි සැලකෙන වීඩියෝ දර්ශන සහ ත්‍රිමාන හොලෝග්‍රෑම් දර්ශන පෙන්වමින් සිටින අතර රහසිගත සේප්පුවක වූ එම දත්ත බ්‍රයිටෝ ලබා ගත්තේ කෙසේද යන්න දැනගැනීමට පෙර හමුදා ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ බ්‍රයිටෝව මරා ඇලෙන්ඩිව නැවත  පැහැරගෙන යයි.

මේ පැහැරගැනීම සහ මරණය සම්බන්ධව  මේ වන විට කර්වියෝ සහ විටාසෝ ව රජුගේ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර කර්වියෝ මුර සෙබළෙකුට අල්ලසක් දී පැන යාමට මාන බලමින් සිටී.

රටේ ආර්ථිකයට සහ නිෂ්පාදනයට ඉතා වැදගත් වූ විකිරනශීලි අමුද්‍රව්‍ය සම්බන්ද වෙළඳ ගිවිසුමක් පිළිබඳව නෙමින්දෙර්  රජු සහ ක්‍රොෆින්ගර් අතර සාකච්චාවක් සිදුවන අතර ක්‍රොෆින්ගර්ගේ  යෝජනාවක් නිසා  ඔවුන් අතර වචන හුවමාරුව උණුසුම් වී රජු කෝපයට පත්වෙයි. 

මේ සියල්ල කොහොමද වුනේ කියල හරියටම දැනගන්න මුල් කොටසට මෙතනින් යන්න





"ඒක ... ඒක කවදාවත් වෙන්නේ නැහැ.... වෙළඳාම එකක්, කසාදෙ එකක්. මගේ දුවගේ ජිවිතේ මේ වෙළඳාමට ගාව ගන්නේ නැහැ. මේ අහ ගනින් ක්‍රොෆින්ගර්, මම හොදින් හරි නරකින් හරි මට ඕනේ දේ ගන්නවා. එකක් මතක තියා ගනින් මගේ කෙල්ල මේවට ගාවන්න එපා.." රජුගේ ස්ථිරසාර ලෙස පැවසීය.


ක්‍රොෆින්ගර් කපටි ලෙස මහලු රජු දෙස බලා සිටියේය. 


"එහෙනම් රජතුමනි, අපි බලමු. මම දැන් නවතිනවා." ඔහු සංවාදය නිමා කර දැම්මේය.

අද එතැන් සිට 


නෙමින්දෙර් රජු  සිය සිත තුලට අවධානය යොමු කොට බැලුවේය.  ක්‍රොෆින්ගර්ගේ  පියා සහ තම පිය රජු අතර තිබු ගැටුම් සහ රට තුල තිබු අසහනකාරී වාතාවරණය නිසා ඔහුගේ ළමා විය සහ තරුණ විය ගෙවී ගිය ආකාරයත්,  බලය බෙදා දී, ගැටුම නිම වීමෙන් පසු ජීවිතය වෙනස් වූ හැටිත් ඔහුට එකින් එකින් සිහිවිය. සිය සිත තුල ඇති ආතතිය, සහ යමක් වරදින්නට යන බව දැනෙන සියුම් සංවේදනය ඔහුගේ සාමකාමී සිත පිඩාවට පත් කරමින් තිබිණි.

තම පියා බලය බෙදා ගැටලුව විසඳුවද, දැන් ඔහු සිටින්නේ එසේ  විසඳිය නොහැකි  මට්ටමක ගැටලුවක් තුලය. ගෙවුණු ජීවිතය තුල අනෙක වූ ප්‍රශ්න වලට මුහුණ දී පරිණත වී සිටියද, පහුගිය දින කිහිපය තුල සිදුවූ පුංචි සිදුවීම් කිහිපය තමාට මෙතරම් වදදෙන්නේ කිමදැයි ඔහුට වටහා ගැනීම දුෂ්කර විය. ඔහුගේ තාර්කික මොලයට හසු නොවන යමක් ගැන අනියත බියක් ඔහුට දැනුනේය.

"තාත්තා... මොකද වුනේ...? ඇලෙන්ඩි  ගැන මොනවහරි දෙයක් ක්‍රොෆින්ගර් මාමාගෙන්  අහල බලන්න පුළුවන් වුනාද...?"  ඈත පෙනෙන මහා සාගරය වෙත නෙත් යොමා කල්පනාවේ නිමග්න වෙමින් සිටි රජු සිහියට පත් වුයේ සිය දියණියගේ හඬිනි.


"අහ්... මට ඒක අහන්න අමතක වුනානේ. මේ ක්‍රොෆින්ගර් පිස්සෙක් වගේනේ වැඩ කරන්නේ... මට තේරෙන්නේ නැහැ මිනිස්සු මෙච්චර මෝඩ මොකද කියල... "

"ඇයි මොකද වුණේ...?"

"නැහැ ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ. දුව ඇලෙන්ඩි  ගැන බය වෙන්න එපා. මට නම් හිතෙන්නේ මේ කොල්ලෝ ටික මොකක් හරි විනොදෙට කරන්න ගිය වැඩක් මේක කියල.  ඇලෙන්ඩි  කොහොමත් ඕනේ දෙකට ඔට්ටු නිසා කලබල වෙන්න දෙයක් නැහැ.

"මම 116 දා ඩෙලෝ ට කියපු පණිවිඩේ දුව හරියටම කිව්වා නේද ? මට මිනිහා තාම කතා කලේ නැහැ.."

"හ්ම්ම්... ඔව් තාත්තේ මම කිව්වා. "

"හරි මම බලන්නම්...  අද කොහෙවත් යන්න එපා. ඔහු ආපසු මාලිගාව වෙත පියමනිමින් පැවසීය. 

"හරි... අද මට යන්න ගමනක් නැහැ... ෆොර්මැටෝ  එනවා කිව්වා හවස...  අර ඇලෙන්ඩි හිටපු ලැබ් එක ගැන තාත්ත එක්ක කතා කරන්න ඕනේ කිව්වා. නීෂා ද සිය පියා සමග මාළිගය දෙසට ඇවිද යමින් පැවසීය.

සැහැල්ලු ඇඳුමකින් සැරසුණු නෙමින්දෙර් රජු සිය ප්‍රියතම ස්පෝර්ට් ජෙට් යානයට නැගුනේ මේ සියල්ල මොහොතකට අමතක කර නැවුම් සුළඟක ආශ්වාදය විඳ ගැනීම පිණිසය. මාලිගා භූමියෙන් ඉවත්ව සෙමින් ඉහල නැගුනු කහ පාට නවතම මයින්ඩ් ජෙට් යානය ස්වයංක්‍රීය පාලනයෙන් මුදවා සිය අතට ගත් රජු හැකි පමණ වේගයෙන් අහස වෙත පියඹා ගියේ සිය නැතිවී යන තරුණ ජවයට නව පණක් එක් කරමිනි. පහලින් පෙනෙන තම රාජ්‍යයත්, ඈතින් පෙනෙන නිමක් නොපෙනන මහා මුහුදත්, විරුද්ධ පසින් මහා දැවැන්තයෙකු ලෙස පෙනෙන අඳුරු කඳුකරයත් මැවූ චිත්‍රය අතිශය මනස්කාන්ත විය. රජු  බොහෝ කාලයකට පසු සිත්සේ අහස පුරා යානය පැදවූයේ නැවත කවදා එවැනි අවස්තාවක් උදාවේදැයි සියුම් සැකයක් මතුවෙමින් තිබුණු බැවිනි. සිදු විය හැකි ඕනෑම දෙයකට මුහුණ දීමට උද්යෝගයක් සහ ශක්තියක් ලබා ගැනීමට ඔහුට අවශ්‍යය විය.


"තමුන්ගේ රටේ රජතුමා පණිවිඩයක් යැව්වම නොසලකා ඉන්නවා කියන්නේ බරපතල වරදක්..."  විසල් මන්දිරයක දොරෙන් ඇතුළුවෙමින් නෙමින්දෙර් රජු පැවසිය.

"මොකක් ... ඔහ්... පොඩ්ඩක් ඉන්න.. යැයි පවසමින් අතෙහි වූ  බීර  වීදුරුව සහ හිසෙහි වූ හෙල්මටය ගලවා  පසෙක තැබූ  මහලු ඩෙලෝ, සපමින් සිටි මස් කැබලි වල තෙල් ගතිය රැඳී සිය දෑත් කලිසමේ පිසදා ගත්තේය. 

"පස්වාන් දහසකට බුදුවන්ඩ මහ රජ, ඉඳල හිටලා වත් ඔය මාළිගාවෙන් එලි බැහැල තමන්ගේ යාලුවෙක් බලන්න ආව කියල ඔය රජ කමට හෙන වදිනවද...?"

"හෙහ් හෙහ් ... ඒක තමා මේ අද මම ආවේ. පණිවිඩ කියක් එව්වද..."

"මට වැඩ තියෙනවා... ඔය එහෙ මෙහෙ යන්ඩ වෙලාවක් නැහැ... "

"කාලෙකින් ආපු හින්ද බොමුද මොනවා හරි...?" ඩෙලෝ ඇසිය.

"ගෙදර නම් හොඳ මොකුත් නැහැ. ඔක්කොම ඉවරයි. යමුද වයිට් හාර්ට් එක පැත්තේ... ගිහිල්ලම කතා කරමු."

"හරි එහෙනම් යමු... සිය මහලු මිතුරාගේ සුපුරුදු කෙළිලොල්  ස්භාවය රජු තුල ප්‍රීතියක් ඇති කළේය.                        

වයිට් හාර්ට් තැබෑරුම සුපුරුදු ලෙස කාර්යබහුල විය. ඩෙලෝ  සහ රජුගේ පැමිණීම  බොහෝ දෙනෙකුට අමුත්තක් නොවූ අතර,   රජු අසුන්ගත් මේසය ගැන බැලීම තැබෑරුම් හිමිකරුගේ දියණිය බාර ගැනීම පමණක් විශේෂිත විය.






ඌරු  මස්  ස්ටු  සමග  ශීත කල හැලි අරක්කු ඇනවුම් කල මිතුරන් දෙදෙනා කතාවට වැටිණි.

"ඩෙලෝ, මතකද අර ෆ්රිදොම් කන්ද යටින් තියෙන ගුහා ටික? " ආගිය තොර තුරු වලින් පසුව නෙමින්දෙර් රජු ඇසීය.

"මොන...? "

"කොරන්වේලි වල න්‍යෂ්ටික බලාගාරේ පටන් ගත්තු කාලේ අපි කඳුකරේ ඉඳල පොලෝනියම්  ගෙනාවේ ඒ උමං මාර්ග වලින්."

"ආ... ඒවා තාම තියෙනවද ? මම හිතුවේ දැන් වැහිලා ගිහින් ඇති කියල.." ගිජු ලෙස ඌරු  මස් කමින්  ඩෙලෝ පැවසීය. 

"මට පේන විදියට කවුරු හරි ඒවා ආයේ පාවිච්චි කරනවා වගේ."

"මම කිව්වේ අර රෝසාගේ දුව ඇලෙන්ඩි අතුරුදහන් වෙච්ච සිද්ධිය. ඒ වැඩේ කරලා තියෙන්නේ ඔය උමං  ටික පාවිච්චි කරලා... "

"ඉතින් ඔය හමුදාව හරි රොබෝලා ටිකක් හරි දාල හොයල බැලුව නම් හරිනේ ..."

"ඔව් ඒක කරන්න බැරි කමක් නැහැ. හැබැයි මේ ක්‍රොෆින්ගර්  එන විදිය එච්චර හොඳ නැති නිසා මම ඒ ටික වැඩිය හාර අවුසන්න ගියේ නැහැ.." රජු කල්පනාකාරී ලෙස පැවසීය.

"ක්‍රොෆින්ගර්  ගේ කතා ඒ හැටි ගණන් ගන්න එපා. මිනිහා කොහොමත් වාචාල කමට කියවන්නේ. " 

"මම ඒවා  ගණන් ගන්නේ නැහැ. හැබැයි  මිනිහා අපිට බඩු  දෙන්න බැහැ කිව්වොත්  ප්‍රශ්නේ බරපතල වෙනවා."

"දැන් ඔය ඇමතිලා ටිකක් සහ උපදේශකයෝ ඉන්නේ ඕව විසඳන්න නේද..? මොකටද ඕව ගැන වද  වෙන්නේ...?" 

"ඩෙලෝ දන්නවනේ, වැඩ කරන්න  කවුරු හිටියත්, හරියටම වෙන්නේ මොකක් ද කියල දැ න ගන්න නම් තමුන් ම ඒ වැඩේට බහින්න ඕනේ.  කොහොමත් මට වෙළඳ ඇමති ගැන ඒ හැටි විශ්වාසයක් නැහැ. මිනිහා යටි කුට්ටු කාරය. බිස්නස් කාරයෝ ටික එක්ක එකතු වෙලා මට වැඩක් දෙන්න හදනවා කියල මම දන්නවා. මට සැකේ තියෙන්නේ ක්‍රොෆින්ගර්ව  කන්ට්‍රෝල් කරන්නෙත් අපේ උන් මද කියල. "

"නෙමින්දෙර්... මම මේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න මනුස්සය ... දැන් ටිකකට කලින්  තමුසේ අපේ ගෙදරට එද්දිත්  මම හිටියේ  ගැලක්ටික් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඩේටා විශ්ලේෂණය කරන ගමන්. බිස්නස් කාරයෝ තමුසෙට  විරුද්ධ වෙන එක සාධාරණයි. අපිට රටක් විදියට තව වැඩි කාලයක් මේ විදියට යන්න බැහැ. හයි ටෙක් ප්‍රඩක්ෂන් වලින් විතරක් දියුණු වෙන්න බැහැ.  අපි  ගැලක්ටික් බිස්නස් වලට යන්නම ඕනේ.  මම දන්නවා තමුසෙට බිස්නස් පැත්ත ගැන එච්චර උනන්දුවක් නැහැ කියල. නමුත් දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ  ඉන්ටර් ගැලක්ටික් ටුවරිසම් වලට. මිනිස්සු තව දුරටත් මේ එකම රටක, එකම ලෝකෙක හිර වෙලා ඉන්න කැමති නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකේ දියුණු කරන්න ඕනේ ඒ මිනිස්සුන්ටත් පොඩ්ඩක් එලියට බැහැල මේ විශ්වය දිහා බලන්න අවස්තාවක් දෙන්න ඕනේ ."

"මේ ඩෙලෝ,  අනිත් රටවල් ඕවා කරන්නේ ඒ රටවලට අපිට වගේ අමුද්‍රව්‍ය ගැටළු නැති නිසා, අනිත් එක අර ඇස්ට්‍රොයිඩ් එකේ අයිතිය තියෙන රටවලට කිසිම දෙකින් අඩුවක් නැහැ. කොහෙද අපි වගේ පොඩි රටවල් වලට අඩුම තරමේ  වෙන  ඇස්ට්‍රොයිඩ් එකකින් වත්  අමුද්‍රව්‍ය හොයන්න යන්න අවසර දෙනවද ..? "

"හෙහ් ඉතින් ඒක තමා අර චක්‍රාවාට සංගමේ සාමාජිකත්වය ගන්න කියන්නේ... බිස්නස් කාරයෝ ඔක්කොම කියන්නේ ඒක කරන්න කියල... නෙමින්දෙර් මොකද ඒකට අකමැති.?"

"අකමැත්තක් නැහැ. නමුත් ඔය වැඩේ කර ගන්න මම එකේ ඉන්න උද්දච්ච දේශපාලකයොයි, මොන ලෝකෙට අයිතිද කියල නොදන්න පිටසක්වලයොයි ඉස්සරහ දෙකට නැමෙන්න කැමති නැහැ ... "

"හෙහ් හෙහ් ... දේශපාලනේ කියන්නේ එක එකා ඉස්සරහ දෙකට තුනට නැමෙන එක තමා නෙමින්දෙර්... එහෙම නැතුව මේ කාලේ දියුණු වෙන්න බැහැ...  "  එහා මේසයට බීර රැගෙන ආ තැබෑරුම් කරුගේ රූමත් දියණිය දෙස බලමින් ඩෙලෝ පැවසීය. 

"තව ටික කාලයක් තිබ්බ නම් මට පුළුවන් මේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න.  ශුද්ධ ශක්තිය කියන්නේ ඔය හැමදේටම උත්තරේ..." නෙමින්දෙර් හැලි අරක්කු උගුරක් බී ඌරු  මස් කැබැල්ලක් රස බැලීය.

"ෆැන්ටසි වල ජිවත් වෙන්න එපා නෙමින්දෙර්... ඔය ශුද්ධ ශක්ති පිස්සුව පස්සේ දැන් අවුරුදු කියක් එලෙව්වද ? එහෙම එකක් තියෙනවනම් මෙච්චර මේ සක්වල ඉන්න අනිත් මිනිස්සු සහ ජීවින් ඕක හොයාගන්නේ නැද්ද...?"

"මට මෙතන විද්‍යා පාඩමක් තමුසෙට උගන්නන්න බැහැ ඩෙලෝ... තමුසෙලා වගේ බිස්නස් කාරයින්ට මේවා තේරෙන්නේ නැහැ... මට තමුසේ එක උදව්වක් කරනවා. අර ක්‍රොෆින්ගර්ට මට ඕනේ විදියට බඩු ටික දෙන්න කියනවා. මොකද මට මිනිහත් එක්ක යුද්ධ කරන්නයි මගේ රිසර්ච් කරන්නයි දෙකක් බැහැ... අනිත් එක තමුසේ ක්‍රොෆින්ගර්ගේ ගෑනිගේ පරණ පෙම්වතානේ... පොඩ්ඩක් ඒ මාර්ගෙන් හරි කියල උගේ ඔලුවේ තියෙන අර විකාර කසාද අදහස අයින් කරවලා මෙච්චර කල් දීපු විදියට බඩු ටික දෙන්න කියනවා....හික්  පරණ පෙම්වතා ... "   වෙරිමතින් පසුවූ රජු අවඥාවෙන් පවසා මහ හඩින්  සිනා සෙන්නට විය..."

"අයිසේ මහ රජ, තමුසෙගෙ පරණ හුටපට මෙතන ප්‍රසිද්ධියේ ඇදල අරගෙන හිතාදර රටවැසියෝ ඉස්සරහ සළුපිලි ගලවගන්න කැමැත්තක් එහෙම තියෙනවද ..? " 

අවට මේස වල වාඩිවී සිටියවුන් හීන්  සැරේ හැරී බලමින්... සිනාසුනද කිසිවෙක්  මේ කතා බහ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බවක් නොපෙනුණි.

"ඩෙලෝ  අපි දැන් යමු. තව බිව්වොත් මට මාලිගාවට යා ගන්න බැරි වෙනවා. " යන්නට නැගිටිමින් රජු පැවසීය.

රජු නැගිටිනු දුටු කිහිප දෙනෙක් රජු සහ කතා බහට උනන්දු වෙමින්  මේස වලින් නැගිට ඔහු වෙත ආ අතර  ඔවුන්ගේ සුවදුක් විමසු රජු  කවුන්ටරය නිමවන කොනෙහි වූ මේසයේ වාඩිවී සිටි හුරු පුරුදු රුවක් දැක ඒ දෙසට ගියේය. 

"කොහොමද ජෙප්, තාම ඉන්නව නේද ..? හෙහ් හෙහ්"

"ඔබතුමාලගේ පිහිටෙන් අපේ වියදමෙන් ජිවත් වෙලා ඉන්නව රජතුමනි...." සොල්දර ගෙදර මහලු ජෙප් මාමා අපහසුවෙන්  හුන් තැනින් නැගිට රජුට ආචාර කරමින් පැවසීය..."

"ඉතින් කොහොමද  ගම් පළාතේ තොරතුරු ...? පුතා එහෙම සනීපෙන් ද ?"

"ඌ  ගියානේ ප්‍රයිකුල් එක්ක... " මහලු ජෙප් වෙරි මතින් පැවසීය... 

රජතුමනි....රජතුමනි ... ජෙප් මාමා රජුගේ කරට අත දමා  ඔහුව සිය මේසය වෙත ඇද ගත්තේය... රජතුමනි ....වාඩි වෙන්න.... 

"මම මේ බීලා වෙරි වෙලා කියනවා කියල හිතන්ඩ එපා...  මම දන්නවා ඔබ තුමා කෙලින් මිනිහා... රට වැසියෝ වශයෙන් අපේ යුතුකමක් තියෙනවා මේවා ඔබ තුමාට කියන්ඩ... ඔහු කතාව නවත්වා තැබෑරුම සිසාරා බැලුවේය... "

"අපේ කොලුවා ගියා ප්‍රයිකුල් එක්ක... ස්කෘලොක් ගේ මිනීවල හොයාගෙන..."  

"මොකක් ... මොනවද  මේ කියන්නේ ....? කවුද  ප්‍රයිකුල් කියන්නේ..?"

"රජතුමනි....රජතුමනි ...ඔබ තුමා කෙලින් මිනිහා හින්ද මම මේ කියන්නේ... ප්‍රයිකුල්  ඇස්ඩෝව්ස්ගේ  මිනිහෙක් ... ඌ මහා මරුමුස් හාදයෙක්..දැනටම 30,000ක් මැරිලා කියලයි ආරංචිය... ඔක්ස්ෆොගේ පිහිටෙන් මගේ කොල්ලා තාම ජිවත් වෙනවා... හැබැයි රජතුමනි... ස්කෘලොක් නැගිට්ටොත් ඔබ තුමා ඉවරයි ... ඔබ තුමා ඉවරයි ...   "

"හරි හරි ජෙප් කවුද ඔය විකාර විශ්වාස කරන්නේ... ඔය මදැයි බිව්වා. දැන් ගෙදර යන්ඩ...මම බිල ගෙවන්නම් ... ඔය ඇති බිව්වා ... මම හොයල බලන්නම් මොකක්ද ඔය කතාව කියල... රජු හුනස්නෙන් නැගිට කවුන්ටරයේ සිටි ඩෙලෝ  වෙත ගියේය....

"මොකද නාකියා කියන්නේ...? කවුන්ටරයේ සිටි තානායම් කරුගේ දියණියට ඇසක් ඉඟි කරමින් පැමිණි ඩෙලෝ ඇසීය.

රජු  අවට සිටි කිහිප දෙනෙකුට අතවනා ආචාර කරමින් සිය යානයට  නැගුනේය.

"ඒ මිනිහා ඔය බොන හැටියට තාම ජිවත් වෙනවා පුදුමයි... "

සෙමින් ඉහල නැගුනු යානය අඩ  වටයක් කරකවා ක්ෂණිකව වේගවත් කල රජු  ඈත පෙනන ජල තලය උඩින් වේගයෙන් පැදවීය.

"තමුසේ ස්කෘලොක් ගැන දන්නවද ?"

"කවුද නොදන්නේ... " ඩෙලෝ  වෙරළෙන් ඔබ්බෙහි වූ නගරය දෙස බලමින් පැවසීය.

"තමුසේ මොනවද දන්නේ ....?" ඩෙලෝ  දෙස පුදුමයෙන්  බැලූ  රජු ඇසීය...

"මේ දවස් වල ඔය හැමතැනම කතාව යන්නේ...ස්කෘලොක්ට  පණ  දෙන්න  යනවා කියල.." යානයේ  කවුළුවෙන්  ඉවත බලාගෙන ඩෙලෝ පැවසීය.

"මොන බොරු මිත්‍යාද ඩෙලෝ  ඕවා... ඔච්චර බිස්නස් වැඩ අස්සේ තමුසේ ඔය කතාත් විශ්වාස කරනවද...?"

"අයිසේ නෙමින්දෙර් හොඳ බිස්නස් කාරයෙක් වුනාම රටේ වෙන්නේ මොනවද කියල දැනගෙන ඉන්න ඕනේ... ඇත්ත බොරුව මම දන්නේ නැහැ.. නමුත් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ මොනවාද කියල මම අවධානෙන් ඉන්නේ ... බිස්නස් කරන්න බැහැ එහෙම නැතුව..."

"ඒක  ඇත්ත ... හැබැයි මේ වගේ මිත්‍යා පස්සේ දුවන එකෙන් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙන එක ...  පස්සට යන එක ... ඕවට වැදගත් කමක් දෙන්ඩ හොඳ නැහැ ..."

"ඒ කතා වල ඇත්ත බොරුව මට වැදගත් නැහැ ... හැබැයි රටේ රජු වශයෙන් තමුසේ මිත්‍යාව පිලි නොගන්නවා කියල කිව්වට තමුසේ දුවන්නෙත් ඒ වගේම මිත්‍යාවක් පස්සේ කියල තේරුම් ගන්නවා.  තමුසෙගෙ ඔය ශුද්ධ ශක්ති ෆැන්ටසියයි,  ස්කෘලොක්ට පණ දෙනවා කියන එකෙයි වෙනසක් මට නම් පෙන්නේ නැහැ."

"අනිත් එක ... වැඩිය කල් නොදා අර චක්‍රාවාට සංගමේ වැඩේ බලනවා.  මොකද ඒක  අපි නොහිතන තරම් වැදගත්. මිනිස්සුන්ව මිත්‍යාවෙන් ඈත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ඊට වඩා රස ටොපියක් දෙන්න වෙනවා කන්න. මේ දවස් වල නැගලම යන්නේ සක්වල සංචාර." 

වෙරිමතින් සිනාසෙමින් ඩෙලෝ පැවසිය.    

"ඩෙලෝ ඒක මම බලා ගන්නම්... මට අර උදව්ව කරලා දෙනවා. "

"හරි හරි ...ඕක මහ දෙයක් ද ...මම ක්‍රොෆින්ගර්ව බලා ගන්නම්...   මාව ඔන්න ඔය ඉස්සරහින් දාගෙන යනවා..                                 

මතු සම්බන්ධයි 

Monday, June 08, 2020

කාල යක්ෂ - 6 - පොළොවේ අයිතිය.




"හ්ම්ම්... මම ... හයිලැන්ඩර් නෙමේ . මම සෙන්ට්‍රිනොගේ කුලී හමුදාවේ . උපන්නේ හොවාග් වල ... නම ඩාකි "

"හාහ් ... හොවාග් වල උඹලත් දන්නවද ශුද්ධ මන්තර ... මම හිතාන උන්නේ කඳුකරේ අපිට විතරයි භූත බලපෑම් තියෙන්නේ කියල ... " 

වැල් ජෝන් නොසැලකිලිමත් ලෙස සිනා සෙමින් පැවසිය. 

අද එතැන් සිට ...

"සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්‍රයිකූල් කෑ ගැසූවේය..

සෙන්ට්‍රිනෝ ගේ සහ ප්‍රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..

ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..

ක්‍රම ක්‍රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…

ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…

වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…

"දෙවියනේ මේ මොක්කුද???"

"දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්‍රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… "අසළ සිටි වෙඩික්කරුවා බිම පෙරෙලෙමින් හඩ නැඟීය..

ඔහුගේ හිස වසා සිටි පිසාච මැස්සන් ගේ ප්‍රහාර වලින් සිදුරු වූ මුහුණින් ලේ පෙරෙමින් තිබිණි.

බිම පෙරෙලමින් මැස්සන් ගසමින් සෙබළුන් සී සී කඩ දිව ගියෝය..

දස අතින් නැඟුණ මරහඩ සහ වෙඩි හඩ අතරින් පියඹා ආ ලේ පිපාසිත පිසාච මැස්සන් ගේ හඩින් නිසල වනය සසල වී ගියේය.

************


ඇලෙන්ඩිගේ හදිසි අතුරුදහන් වීම ස්ප්ලේන්දි මාළිගය නොසන්සුන් කර තිබිණි. නෙමින්දෙර්  රජුගේ  සේනාවන් ඒ වන විට ඇය සහ බ්‍රයිටෝ සිටි පරික්ෂනාගාරය  සොයා ගෙන තිබුණද, බ්‍රයිටෝ ගේ මරණයටවත්,    ඇලෙන්ඩිගේ දෙවෙනි පැහැරගැනිමටවත් වග කිව යුත්තන් සොයා ගැනීමට තවමත් අසමත් වී තිබිණි.

බ්‍රයිටෝගේ  මිතුරන් වූ කර්වියෝ සහ විටාසෝ පැහැර ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වී සිටියහ .  සිය මිතුරාගේ හදිසි වියෝවෙන් ඔවුහු බොහෝ සේ කම්පනයට පත්ව සිටියහ. 

ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි රොබෝ ආරක්ෂකයා සියලු තොරතුරු ඇසෙන සැනින්,  ආරක්ෂක ප්‍රධානියා වෙතටත්,  රජු වෙතටත්  යැවීය.

"ඇයි  මේ පැහැර  ගැනීම සිදු කලේ ?" ආරක්ෂකයා ඇසීය.

"ඒක  පැහැර  ගැනීමක් වෙන්නේ නැහැ නේද ? අපි ඔක්කොම යාලුවෝ.    ඇලෙන්ඩි සහ බ්‍රයිටෝ  කියන්නේ එකට ඉගෙන ගන්න අය."

කර්වියෝ  පැවසීය.

"නමුත් සිය කැමැත්තෙන් තොරව කෙනෙක් ව රැගෙන යාම වරදක්. අනික ඒ තරුණිය  නිරුවතින් ස්නානය කිරීම වැනි අවස්තාවක මෙවැනි දෙයක් කිරීම  අශිලාචාරයි.

" අශිලාචාර වීම කියන්නේ වරදක් නෙමේ නේ. ඇයට කිසිම හානියක් නොවෙන විදියට අපි ඒ දේවල් කලේ. "

 විටාසෝ ද ඔවුන්ගේ ක්‍රියාව සාධාරණිකරණය කළේය.   

"ඒ  පර්යේෂණාගාරය කාගේ ද ? එතන මොනවද කෙරෙන්නේ ? රොබෝ ආරක්ෂකයාගේ හැඟීම් විරහිත ප්‍රශ්න කිරීම  කර්වියෝ  සහ විටාසෝ තුල ඇති කලේ  නොරිස්සුම් ගතියකි.  රජුගේ අනින් සිදුවන මේ ප්‍රශ්න කිරීම හුදෙක්  නිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමක් පමණක් මිස රජු සැබෑ ගැටලුව විසඳීමට ගන්නා උත්සාහයක් නොවන බව ඔවුන් දන්නා බැවින් පිළිතුරු දීමේ උදාසීන ගතියක් ඔවුන් තුල විය.

"එතන නිත්‍යානුකුල තැනක්. කිසිම රහසිගත හෝ නීති විරෝධී දෙයක් එතැන කෙරෙන්නේ නැහැ.  මෙටා දත්ත බලල දැනගන්න පුළුවන් දේවල් අපෙන් අහන එකේ තේරුම මොකක් ද ? "

නොරිස්සුම් ලෙස කර්වියෝ ඇසීය.

"රජුගේ හමුදාවට අයත් නොවන සෙබළුන්   සහ ඇලෙන්ඩි අතර තිබුණු සම්බන්ධය මොකක් ද ?"

"ඒක අපි දන්නේ නැහැ. "

"බ්‍රයිටෝ විසින් විවෘත කරන ලද සේප්පුවෙහි තිබුණු රහසිගත තොරතුරු මොනවාද ?"

"ඒ සේප්පුවේ ගොඩක් රහසිගත දේවල් තියෙනවා. ඒවා අපේ පරීක්ෂණවලට අදාළ දේවල්. පරීක්ෂණ වල ප්‍රතිපල සහ සැලසුම් වැනිදේ ."

"පෞද්ගලික දේවල් ඒ සේප්පුවේ තියෙනවා ද ?"

"තම තමන්ගේ චිත්ත තරංග වලින් විතරක් විවෘත කරන්න පුළුවන් නිසා පුද්ගලික දෙයක් වුනත් සේප්පුව තුල තියෙන්න පුළුවන්."

"බ්‍රයිටෝ ඇලෙන්ඩිට පෙන්වූ දේ කුමක් දැයි ඔබලා දන්නවද ?

"අපි කොහොමද ඒක දන්නේ ..?"

"ඇලෙන්ඩිව පැහැරගෙන යන්න ඔබලාත් සම්බන්ධ වුනානේ. මොකටද ඇයව පැහැරගෙන ගියේ ?"

"ඒක පැහැර ගැනීමක් නෙවෙයි. "

"ඇලෙන්ඩි  සහ බ්‍රයිටෝ අතර තිබ්බ විශේෂ සම්බන්ධෙ මොකක් ද ?   "

"එහෙම විශේෂ සම්බන්ධ කමක් තිබුන කියල අපි දන්නේ නැහැ .."

"බ්‍රයිටෝ සහ ඔබලා අතර සම්බන්ධය මොකක් ද ?"

"අපි යාලුවෝ..."

"පැහැර ගැනීමට පෙර   ඔබලා ඇලෙන්ඩි ව  අවසන් වරට හමු වුයේ කවද්ද ?"

"ඒක පැහැර ගැනීමක් නෙවෙයි. "

කර්වියෝගේ පිළිතුරු ඇසෙන විට විටාසෝ යටිතොල සපාගෙන සෙමින් සිනාසෙන්නට විය.

"බ්‍රයිටෝ  මිය යාමට පෙර අවසන් වරට ඔබලා ඔහුව හමු වුයේ කොහෙදිද ?"

"අන්තිමට අපි හම්බ වුනේ ලැබ් එකේදී "

" කවුද මේ පැහැර ගැනීම සැලසුම් කලේ ..?  ඔබලා මිතුරන් නම් ඇයි ඇලෙන්ඩිව  මේ විදියට රැගෙන ආවේ ? "

"ඒක පැහැර ගැනීමක් නෙමේ. "

" මේ වන විට ඇලෙන්ඩි සිටින තැන ගැන ඔබලා දන්නා දේ මොනවාද ?"

"ආරක්ෂක ප්‍රධානි තුමනි. ඔබට මේ සංවාදය ඇසෙනවා  යැයි මම සිතනවා. කරුණාකර අපිට රජතුමා හමුවීමට හැකිද..?" තවදුරටත් මේ ඒකාකාරී යාන්ත්‍රික සංවාදය ගෙනයාම වදයක් වූ කර්වියෝ ඇසීය. 

කර්වියෝගේ ඒ පිළිතුරෙන් පසු රෝබෝවා සිය කාර්යය මදක් නතර කළේය.

මොහොතකින් යලි ක්‍රියාත්මක වූ රෝබෝවා, "නැවත දැනුම්  දෙන තුරු ඔබලා දෙදෙනාව සිරබාරයට ගනු ලබනවා. "

"මොකක් .. අපි මොකක් ද කරපු වරද ? විටාසෝට පැවසීමට හැකි වුයේ එපමණකි.

මොහොතකින් එතැනට පැමිණි හැඩිදැඩි  නිලදාරීන් දෙදෙනෙකු විසින් ඔවුන් දෙදෙනා තදින් අල්ලා ගනු ලැබිණි.

"රෝබෝලට කපටි උත්තර දීලා බේරුනාට අපෙන් බේරෙන්න බැහැ. " යමු .

"අපිට රජතුමා හමු වෙන්න ඕනේ. " කර්වියෝ විරුද්ධ වෙමින් පැවසීය.

"එහෙම එක එක්කෙනාට ඕනේ විදියට රජතුමාව හම්බ වෙන්න බැහැ කියල දන්නේ නැද්ද...?"

"අපි වරදක් කරලා නැහැ..."

"ඒක අපි බලාගමු.  දැන් කරදර නොකර ආවොත් හොඳයි. මොකද මේ හැම දෙයක්ම තමුන්ට විරුද්ධව පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. ආරක්ෂකයා ස්ථිර ලෙස පැවසීය.

"හරි අපිට රජු  හම්බ වෙන්න බැරි නම් රජුගේ  දුව නීෂා ව  හම්බ වෙන්න ඕනේ..."

කර්වියෝ එකට එක පැවසීය. 

"එහෙම රජ පවුලේ අයව හම්බ වෙන්න බැහැ. අනිත් එක නීෂා කුමාරිව දැන් මාළිගාවෙන් එලියට යවන්නේ නැහැ."

"හරි එහෙනම් අපිට ෆොර්මැටෝව හම්බ වෙන්න ඕනේ..."

"මම දැන් එක සැරයක් කිව්වනේ. කට වහගෙන ඉන්නවා. "   

"එහෙම බැහැ  අපිට අයිතියක් තියෙනවා අපිව වරදකරුවන් වෙන්න කලින් අපේ නිදහස වෙනුවෙන් එක් අයෙකුගේ සහය ගන්න."

"මේ ඉලන්දාරියා මෙතන මිනීමැරුමක් වෙලා තියෙනවා. පැහැර ගැනීමක් වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ  කවුරු ආවත් තමුසෙලගෙ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන් කියල." කටකාරී ආරක්ෂකයා පැවසීය.

"ඒක පැහැර ගැනීමක් නෙමේ "

එකවරම යන ගමන නතර කල ආරක්ෂකයා කර්වියෝගේ මුහුණට ලංවී නතර විය.

"මම රොබෝ කෙනෙක් නෙමේ.  වචන සෙල්ලම් වලින් මාව තම්බන්න බැහැ. තේරුණා ද ? අර තමුසෙගෙ යාලුවා වගේ කට පියාගෙන එනවා යන්න " 

ඔහු කර්වියෝ ගේ දෑත  වෙලා ගත්  ඉලෙක්ට්‍රොනික මාංචුවට ඇමිණු  පටියෙන් ඔහුව ඉදිරියට අදිමින් පැවසිය.   

"නෙමින්දෙර් රජතුමා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ. අපි වහාම රජුව හමු විය යුතුයි."

"රජතුමා අමාරුවේ වැටෙන එක නතර කරන්න තමා අපි ඉන්නේ... තමුසෙලා වගේ පණ්ඩිතයෝ දන්නේ රජවරු අමාරුවේ දාන්න තමා. "

"ස්කෘලොක් ආයේ නැගිටිනවා. අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ...."

"හහ් .. ඔය පැන්නේ එලියට... තමුසෙලා එතකොට මේ මන්තර පස්සේ දුවන කාන්ඩේට සම්බන්ධයි නේද....?

"මට හිතුණා..."

"අනේ මහා ලොකු උගත්තු, ඔය වල්බුත විශ්වාස කරනවනේ.  මම එකක් කියන්නම්. තමුසෙලා ඔය  නටන්න හදන නාඩගම වහාම නතර කර ගන්නවල . නේමින්දෙර්  රජ්ජුරුවෝ එක්ක  ලේසි නැහැ. අනිත් එක අයිසේ මෙච්චර මේ තාක්ශනේ දියුණු වෙලා තියෙද්දී, මෙච්චර මේ සැප පහසුකම් තියෙද්දී මොකටද අයිසේ මේ මන්තර කාරයෝ පස්සේ යන්නේ. මොන මෝඩ  වැඩ ද ?   "

"ලොකු උන්නැහේ, බැලස්ටිකා ප්‍රයිම් ගැන මොනවද දන්නේ ?"

"බැලස්ටිකා ප්‍රයිම්!"

ආරක්ෂකයා සිය ගමන නැවැත්වීය.

ඉදිරියෙන් යමින් සිටි සිය සහායකයාට අතින් සන් කර ඔහුගේ ගමන ද නතර කරවීය.

"බැලස්ටිකා ප්‍රයිම්, තමුසේ මොනවාද බැලස්ටිකා ප්‍රයිම් ගැන දන්නේ ? කොහෙන්ද ඔය වචනේ හොයා ගත්තේ..?" වික්ෂිප්ත බැල්මකින් යුතුව ආරක්ෂකයා ඇසීය.

"මට ඕනනම් පුළුවන් තමුන්නාන්සේට  බැලස්ටිකා ප්‍රයිම් එකක්  හොයල දෙන්න.." කර්වියෝ විශ්වාස සහගත ලෙස පැවසීය.

"මොකක්  බැලස්ටිකා ප්‍රයිම් හොයන්න... මොලේ විකාරද ?"  

"තාක්ශනේ වගේ නෙමේ උන්නැහේ මැජික්. නැති දේවල් මවන්න පුළුවන් ...  කැමති නැද්ද  බැලස්ටිකා ප්‍රයිම් එකක් ඉනේ ගහගෙන උජාරුවට යන්න. රජතුමා තියා රජතුමාගේ කිරි කිත්ත වත් දැකල නැති සුපිරිම ආයුධයක් අරන් පොඩි සෙල්ලමක් දාන්න කැමති නැද්ද... හෙහ් හෙහ් .." කර්වියෝ සෙල්ලක්කාර ලෙස පැවසිය.

"මේ ඉලන්දාරියා මම එක සැරෙකුත් කිව්වා. වචන සෙල්ලම් වලින් මාව රවට්ටන්න බැහැ. අපි රොබෝලා නෙමේ."

"බැලස්ටිකා ප්‍රයිම් කියන්නේ බොරුවක්. ඒක කවදාවත් තිබිච්ච ආයුධයක් නෙමේ.  හැබැයි මම අහල තියෙනවා ඔය ස්කෘලොක් ගේ අන්තිම සටනේදී බැලස්ටිකා ප්‍රයිම් පාවිච්චි කලාය කියල කතාවක්. හැබැයි ඉතින් එච්චර තිබිලත් ස්කෘලොක් පරාද වුණා. "

"මොකද කියන්නේ... අපි දෙන්නට යන්න ඇරියොත් මට පුළුවන් ඔහේට බැලස්ටිකා ප්‍රයිම් එකක් පෙන්නන්න. අද  රෑට..." කර්වියෝ  මුට්ටිය දමා බැලුවේය.

"හහ් ... මම ඕවට අහු වෙන්නේ නැහැ අයිසේ.  ඔය මන්තර පස්සේ දුවන නඩේ දෙන බොරු පොරොන්දු ගැන මම දන්නවා.  බැලස්ටිකා ප්‍රයිම් දෙන්න කතාව. "

"බොරු කතා කියල මගේ කාලේ කන්නේ නැතුව එනවල යන්න " යැයි  පවසමින් ඔහු කර්වියෝ සහ විටාසෝ රැගෙන රැඳවුම් මැදිරි පිහිටි සංකීර්ණය වෙත ගියේය .

ඔහු රැඳවුම් කාමරයට මිතුරන් දෙදෙනා දමා කාමරයේ දොර වැසීමට සැරසෙත්ම   වාඩිවී සිටි ලෝහ ඇඳට තට්ටු කරමින් කර්වියෝ සිහින් හඬින් මුමුණන්නට විය.... 

"මායාවේ උල්පත නුඹ , මායාවේ උල්පත නුඹ , මගේ සිතැඟි දැන ගන්නේ.."
"එහි ලියැවුනු මගේ සතුට මේ ලොව වෙත එවපන්නේ.."

"මේ කොලුවෝ ... ඔය මන්තර වලින් බඩු  මවන්න බැහැ. " ආපසු හැරුණු ආරක්ෂකයා පැවසීය.

"මායාවේ උල්පත නුඹ , මායාවේ උල්පත නුඹ , මගේ සිතැඟි දැන ගන්නේ.."
"එහි ලියැවුනු මගේ සතුට මේ ලොව වෙත එවපන්නේ.."

ඔහුව ගණනකට නොගත් කර්වියෝ දෙවෙනි වරටද මන්තරය මිමිනීය.

"ලොකු උන්නැහේ මොකද කියන්නේ ..? ගනුදෙනුවට කැමති ද ?

ඔහු දෙස කෝපයෙන් බැලූ ආරක්ෂකයා මහා හඩින්  දොර වසා යන්නට ගියේය...  


***********

නෙමින්දෙර් රජු  එදිනට යෙදී තිබුණු වෙළඳ සාකච්චාව සඳහා  යමින් සිටියේය. බොහෝ කලකට පසු තමන්ගේ සිත නොසන්සුන් වී ඇති බව ඔහුට දැනුනි. ඇලෙන්ඩිගේ අතුරුදහන් වීම ගණන් නොගතයුතු දෙයක් ලෙස සිතීමට තැත් කලද ඔහුගේ යටිසිත පැවසුයේ වෙනත් දෙයකි. ජිවිතයේ බොහෝ අත්දැකීම් විඳ ඇති රජු බොහෝ දේ උපේක්ෂාවෙන් බැලීමට පුරුදුව සිටියේය. නමුත් සිය ඉවට දැනෙන මේ නොසන්සුන් හැඟීම නොසලකා හැරීමට හේ පසුබට විය. 


"කොහොමද ක්‍රොෆින්ගර් ? කොහොමද කඳුකරේ තොරතුරු...?" රජු සාකච්චාව ඇරඹීය.

"කඳුකරය හැමදාම එක වගේ. අපි වෙනස් වෙන්නේ නැහැනේ. " ක්‍රොෆින්ගර් සිනාසෙමින් පැවසීය.

"හැබෑටම  මෙච්චර නවීන කාලෙක මොකද ඔය යල්පැනගිය විදියට ජිවත් වෙන්නේ ? "

නෙමින්දෙර් දන්නවනේ  අපිට ඔය විච්චුරණ වැඩ අල්ලන්නේ නැහැ කියල.  අපි කන්ද උඩට වෙලා පහල සෙල්ලම් කරන පොඩි උන් දිහා බලනවා වගේ මේ පළාත දිහා බලන් ඉන්නවා.  පොඩිඋන් කරන සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ..." ඔහු අවඥාවෙන් මෙන් පැවසීය.

"හහ් හහ් එතකොට අපි දැන් පොඩි උන් ද ..? ඒක හොඳ උපැහැරනේ ..." රජුද සිනාසෙමින් පැවසිය.

"අපිට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙන මේ වෙලාවේ එහෙනම් කඳුකරේ ඉන්න වැඩිහිටියෝ අපිව බලා ගනියිනේ. මම එහෙනම් කෙලින්ම කියන්නම්කො "              
  
"මම හිතන්නේ අපි එවපු ගිවිසුම ක්‍රොෆින්ගර් කියවන්න ඇති නේ. අපිට මේ අමුද්‍රව්‍ය ඉතාම අවශ්‍යයි. අපිට අයිති වෙලා තිබුණු නිධි සියල්ලේම නිෂ්පාදනය සෑහෙන දුරකට අඩු වෙලා.   අපිට තව ප්‍රදේශ කිහිපයක අයිතිය අවශ්‍යයි."

"මම ගිවිසුම කියෙව්වා.   නෙමින්දෙර්  හිතන්නේ  මේ යන විදියට ඔය අලුතින් ගන්න හදන නිධි වලින් කොච්චර කාලයක්  වැඩ ගන්න පුළුවන් වෙයි කියලද ?"   මොකද පොලෝනියම් හැමතැනම නැහැ. අනිත් එක ඔය ඉල්ලලා තියෙන ප්‍රදේශ ඉතා සංවේදී පරිසර පද්ධති තියෙන පළාත්. සිද්ද වෙන පරිසර හානිය දරුණු වැඩියි.

"මම ඒක දන්නවා.  ඒ  නිසානේ  අපි ඇති තරම් ගෙවන්නේ. අනිත් එක කඳුකර ජනතාවගේ සුභ සිද්ධිය පිණිස අපේ තාක්ශනේ ඕනේ වෙලාවක දෙන්න ලෑස්තියි."

"නෙමින්දෙර්,  ඔයා දන්නවනේ අපි සරල මිනිස්සු. අපිට  රොබෝලා , මයින්ඩ් ජෙට් ඕනේ නැහැ අපේ වැඩ කර ගන්න. අපිට  ඔය අන්තර් ග්‍රහලෝක වෙළඳාම් කියන සෝබන වැඩ කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඔය තාක්ෂනෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ."

"තාක්ෂනෙන් ප්‍රයෝජන තියෙන්නේ ඒවා ගන්න සුදානම් මිනිස්සුන්ට. අවංකව මට හිතා ගන්න බැහැ ඇයි කඳුකරේ මිනිස්සු මෙච්චර මුරණ්ඩු කියල.   

"හෙහ් හෙහ් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ නෙමින්දෙර්, එදා ඉඳල අපි වෙනස් ඔයාල වෙනස්. අපි දෙන්න පැති දෙක පාලනය කරන්නේ ඒක හින්දනේ. "

"හරි මොකක් ද දැන් අපෙන් කෙරෙන්න ඕනේ. මම ඔයාලව වෙනස් කරන්න හදන එක නතර කරලා දැන් ගොඩක් කල්. අපේ ගිවිසුමේ හැටියට අපි කටයුතු කරන්න ලෑස්තියි."

"මම හිතන්නේ නැහැ අපිට මේ සෙල්ලම තව වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියල. මේ ටික ඉවර වුනාම තව ඕනේ වෙයි.  මට දැනට මේ අමුද්‍රව්‍ය දෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ ?"

"ක්‍රොෆින්ගර්, අපි බොහෝ පරීක්ෂණ කරනවා මේ මුලද්‍රව්‍ය වලට තියෙන යැපීම අවම කරගන්න. මම හිතන්නේ තව වැඩි කාලයක් යන එකක් නැහැ." රජු පැවසිය. 

"හහ් හහ් හා ... නෙමින්දෙර් ඔයා තාම වෙනස් වෙලා නැහැ. අපි දෙන්නා මේ දෙපැත්ත බෙදා ගන්න දවසෙත් ඔයා කිව්වේ ඕක. මේ වෙද්දී ගැලක්සිය වටේ අපි කොච්චර දුරක් ඇවිල්ලද... තාම ඔය කියන යැපීම නතර කරගන්න ක්‍රමයක් හොයා ගන්න බැරි වුනානේ."   


"ඔය පරණ කතා අල්ලලා දාන්න. මට කෙලින් කියන්න මේ වැඩේ කෙරෙන්න මොනවාද වෙන්න ඕනේ කියල. " රජු ක්‍රොෆින්ගර් ගේ අවලාද ගණනකට නොගෙන පැවසිය.

වීඩියෝ තිරයෙන් පෙනෙන ක්‍රොෆින්ගර්ගේ රුව රජු තුල පැහැදීමක් ඇති නොකළේය. ඔවුන් දෙදෙනා අතර වූ අතීත ගැටුම් සහ ඔහුගේ සැබෑ ගති ස්භාවය දන්නා රජුට, සිය නෑයා වුවත් ක්‍රොෆින්ගර් සමග ගනුදෙනු කිරීම සැමවිටම ආතතියක් ගෙන දුන් වැඩක් විය. ඔහුගේ උද්දච්ච සහ ගතානුගතික ස්භාවය සැමවිටම යමක් සාකච්චා කර විසඳා ගැනීම දුෂ්කර කළේය.


"නෙමින්දෙර්,  මම හිතන්නේ අපි මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ.  මම දන්නවා රටේ රජු වශයෙන් ඔබට පුළුවන් මම කියන දේට විරුද්ධ වෙන්න. හැබැයි ඔබට හා සමාන බලයක් සහ අයිතිවාසිකමක් කඳුකරය ගැන මට තියෙන නිසා විරුද්ධ වෙන්න කලින් දෙපාරක් හිතන්න. " ක්‍රොෆින්ගර්ගේ මුහුණෙහි වූ කූට පෙනුම රජු අපහසුතාවයට පත් කළේය.

"අපි මේ තාක්ෂනේ සහ ස්භාවධර්මය එකට එකතු කරන්න ඕනේ.  කොරන්වේලි වල, ටෙරමි වල මැෂින් වගේ රොබලත් එක්ක ජිවත් වෙන මිනිස්සුන්ට ගහ කොළ සතා සිපාවගේ අගය කියල දෙන්න ඕනේ.  ඔය බොරු සෝබන දිවිල්ල වෙනුවට මේ පරිසරයේ තියෙන අගය ඒ මිනිස්සුන්ට කියල දෙන්න ඕනේ. ජිවත් වෙන්න මැෂින් නැතුව පුළුවන් කියල ළමයින්ට උගන්වන්න ඕනේ."  විද්වත් පෙනුමක් ආරුඩ කර ගනිමින් ක්‍රොෆින්ගර් පැවසීය.

"හෙහ් හෙහ් ... දැන් කොහොමද ඕක කරන්න හිතාගෙන ඉන්නේ ? මේ දැන් කිව්වා නේද කඳුකරේ ඉඳල අපි දිහා බලන් ඉන්නවා කියල.  මේ පැත්තේ මිනිස්සුන්ව වෙනස් කරන්න කලින් නරකද ඔහේ ඉන්න නුගත් මිනිස්සුන්ට අපි හොයා ගන්න දැනුම ලබා දීලා ඒ මිනිස්සුන්ගේ ජිවිත දියුණු කරන්න උත්සාහ කරන එක ? "

"නෙමින්දෙර් .... නෙමින්දෙර් ... ඔයාට තාම මේක තේරෙන්නේ නැහැ . ඔය දුවන්න හදන දිවිල්ල තව වැඩි කාලයක් ඔයාට කරන්න බැහැ.  මේ මිනිස්සුන්ට තාක්ශනේ පුරුදු කරන එක නෙමේ අපි කරන්න ඕනේ. ඔයාගේ පැත්තේ මිනිස්සුන්ට ඇත්ත ජිවිතේ මොකක් ද කියල තේරුම් කරන එක. ඔය දුවන දිවිල්ල නතර කරන එක..."

"හෙහ්... ක්‍රොෆින්ගර් මම කැමති නැහැ ආයේ ඔය වාදේ ඇදල ගන්න. ඔය මතවාද හින්ද යුද්ධ කරලා, බැට කාල ඉවර වෙලානේ අපි දෙන්න දෙපැත්තට වුණේ. 

"හරි... මම කිව්වොත් පොලෝනියම් නිධි තියෙන හොවාග් වල අයිතිය දෙන්න බැහැ කියල ...තමුන් මොකද කරන්නේ ?  මට තමුන්ගේ සල්ලි වත් ඔය යකඩ කෑලිවත් වැඩක් නැහැ.

"එහෙම කරන්න උඹට අයිතියක් නැහැ. අපේ  රාජ්‍ය එකඟතාවයේ තියෙනවා සම්පත් බෙදීයාම ගැන.  මම ඕනනම් වගන්තියත් කියන්නම් ."

"නෙමින්දෙර් .... නෙමින්දෙර් ... ඔය වගන්ති ගැන නෙමේ මම කියන්නේ. මේ පෙරදිග රාජ්‍යය කවදාහරි විනාශ වෙලා යන එක නතර කරන්න ඕනේ.  මේ පොළව හූරගෙන කන එක අපි නතර කරන්න ඕනේ .  

"ඒක නතර වෙනවා අපි මේ පරීක්ෂණ ටික කරලා ශුද්ධ ශක්තිය නිපදවීම කරපු ගමන්. ඒ වෙනකම් අවශ්‍ය මුලද්‍රව්‍ය මට ඕනේ."

"මහ රජතුමනි, මම ඔබට මගේ සම්පත් දෙන්න එකඟ වුනාට මේ පොලොව විනාශ කරන්න එකඟ වෙන්නේ නැහැ .  දෙන්නගෙන් කවුරු හරි රටට හානියක් කරනවානම් ඒකට විරුද්ධ වෙන්න අයිතියක් දෙන්නටම තියෙනවා. මට හිතෙනවා මම මේ විනාශය දිහා බලාගෙන හිටියා ඇති කියල. "

"හුහ්... මම මේ රට හැදුවා. මම මේක විනාශ කරන්නේ නැහැ. මේ රට පස්සට ගන්නේ උඹල. ඔය මෝඩ අදහස් වලින්. " මේ වන විට රජුගේ ඉවසීම, එහි  සිමාවේ අගට ලං වෙමින් තිබණි.

"වැඩි කතා ඕනේ නැහැ. උඹට ඕනේ දේ කෙලින් කියපන්." රජු අණ කළේය.

"හරි... මට ඕනේ පහතරට මිනිස්සු, කඳුකර අපේ ක්‍රම සහ විධි වලට ගරු කරන්න, ඒවා පිළිගන්න. ඒක තමා මේ විනාශයෙන් මේ රට ගලවගන්න තියෙන එකම විදිය, සමබරතාවය. ඒක මිනිස්සුන්ට දැනෙන විදියට කරන්න නම්  කඳුකරය සහ ෆ්රිදොම් කන්ද අතර ස්ථිර බැඳීමක් ඇති වෙන්න ඕනේ. මිනිස්සු පිළිගන්නේ එතකොට..."

"නීෂා සහ ඇස්ඩෝව්ස් අතර විවාහය තමා ඒකට තියෙන හොඳම විසඳුම.

"මොකක්... මොකක් ද උඹ කිව්වේ....?" නෙමින්දේර් රජු කෝපයෙන් ගුගුලේය.

"ඇස්ඩෝව්ස්  කියන්නේ මගේ මස්සිනා. ඔහු හොඳ කෙනෙක්.    නීෂාගේත් වයස හරි නිසා මම හිතන්නේ මම මෙහෙම යෝජනා කරන එක වරදක් නැහැ." ක්‍රොෆින්ගර්  වැදගත් ලෙස පැවසීය.

"ඒක ... ඒක  කවදාවත් වෙන්නේ නැහැ.... වෙළඳාම එකක්, කසාදෙ එකක්. මගේ දුවගේ ජිවිතේ මේ වෙළඳාමට ගාව ගන්නේ නැහැ.  මේ අහ ගනින් ක්‍රොෆින්ගර්,  මම හොදින් හරි නරකින් හරි මට ඕනේ දේ ගන්නවා. එකක් මතක තියා ගනින් මගේ කෙල්ල මේවට ගාවන්න එපා.." රජුගේ ස්ථිරසාර ලෙස පැවසීය.

ක්‍රොෆින්ගර් කපටි ලෙස මහලු රජු දෙස බලා සිටියේය.    

"එහෙනම් රජතුමනි, අපි බලමු. මම දැන් නවතිනවා." ඔහු සංවාදය නිමා කර දැම්මේය.           
 

Friday, May 15, 2020

කාල යක්ෂ - 5 පුරාවෘත්තයේ පැවැත්ම



හතර වන කොටසට 


"හ්ම්ම්ම් ... ඔයා කියන්නේ මේ අපි දකින්නේ ස්කෘලොක් ගේ ලෝකය කියල ද ?"

"ඔව් මීට දවස් ලක්ෂ 20කට විතර කලින් පෙරදිග රාජ්‍යය මෙහෙම තිබිල තියෙනවා. මීට අමතරව අපි මේ කාලෙට අයිති තවත් අපූරු බඩුවක් හොයා ගත්ත"

"නෙම්සි , අංක 13 විවෘත කරන්න...

අංක 13 විවෘත කරන ලදී ...

සේප්පු බිත්තියෙන් මතු වූ ත්‍රිමාණ රුව දුටු ඇලෙන්ඩිගේ මුව විවර වීය... 

"මොකක් .... ඒ මොකක් ද ඒ ....? "

අද එතැන් සිට ...


එහි වුයේ රන් පැහැ ඇඳුමක් ඇඳගත් ප්‍රතාපවත් පුද්ගලයෙකු සිය දෑත තමා ඉදිරියෙන් වූ  හිස්  අවකාශයට  යොමු කර එකවරම යම් භාණ්ඩයක් මවන අයුරුය.  එය ඔවුන් කිසිදිනෙක දැක නොතිබූ  වර්ගයේ අවියකි.  රන් පැහැ අමුතුම ආකරයක්  ගත් මේ අවිය  කෙසේ ක්‍රියාත්මක වනවාදැයි ඔවුනට අවබෝධයක් නොතිබිණි . සියල්ලටම වඩා ඇලෙන්ඩි මවිත වුයේ  එය ඉබේ පහළවූ ආකරය දුටු විටය .


"අපි හිතන විදියට ඒ බැලස්ටිකා ප්‍රයිම් කියන වර්ගයේ අවියක්... " බ්‍රයිටෝ පැවසිය.


බැලස්ටිකා ප්‍රයිම් IV වර්ගයේ අවියක් 


"එතකොට ඒ හිටියේ ස්කෘලොක් ද ?   

"ඒ  ගැන හරි තොරතුරක් නැහැ ... එක්කෝ ඔහු වෙන්න පුළුවන් නැත්නම් ඔහුගේ සමීපතමයෙක් වෙන්න ඉඩ තියෙනවා.

"හ්ම්ම්.... මේ දේවල් දකින කොට නම් ඔයාගේ කතාව විශ්වාස කරන්න වෙනවා ..   ඇලෙන්ඩි කල්පනාකාරී ලෙස පැවසිය..

"ඒත්  කොහොමද ඔයාල මේවා හොයා ගත්තේ ... මෙච්චර කල් මේවා කොහෙද තිබුණේ .."

"අනිත් එක මේච්චර දියුණු ඉතිහාසයක් අපිට තිබුන නම් ඇයි දැන් කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරි විදියට ඒවා විනාශ වෙලා තියෙන්නේ ..?  "

"මේවා හොයා ගත්ත විදිය මම ඔයාට කියන්නම්... නමුත් වැදගත් වෙන්නේ ඒක නෙමෙයි . අපි කතා කරන මේ මොහොතේත් මේ ස්කෘලොක් ව නැවත ගේන්න මිනිස්සු දහස් ගානක් බිලිදෙන ඉතා භයංකාර පුජාවක් සිද්ද වෙනවා ..." 

"බිලි පුජා කියන්නේ මහා මිලේච්ච වැඩනේ ... මෙච්චර දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගපු මනුස්සයෙක්ව නැගිට්ටවන්න ඒවා කරන්නේ මොකටද ? අනිත් එක මරණයෙන් නැගිටිනවා කියන්නේ කවදාවත් කරන්න බැරි වැඩක් නේ .."

"ඇලෙන්ඩි... ඒ ඔයාල අපි දන්න තරම තමා..."

"මම හොයා ගත්ත ...." ඔහුට කියන්නට හැකිවුයේ එපමණකි. 

සේප්පු කාමරයේ වසා තිබුණු දොර පසාරු කරගෙන ආ අධි බලැති ලේසර් කිරණයක් තරුණ විද්‍යාඥයාගේ හිස හරහා ගියේය . කපා හෙළු කෙසෙල් කඳක්  මෙන් බිම ඇද වැටුණු තරුණයාගේ  කණ අසලින් දුමක් නැගිණි.

සිදුවුයේ කුමක් දැයි සිතා ගන්නටත් පෙර දොර කඩාගෙන ආ ශක්තිමත් සෙබළු දෙදෙනෙකු විසින්  ඇලෙන්ඩිගේ කට වසා ඇයව කුදලා ගත්තෝය .

බ්‍රයිටෝ ... ඇලෙන්ඩි දඟලමින් කෑ ගැසුවාය ...කටින්  ශබ්ධයක් පිට නොවුවත් එලියට පනින්නට මෙන් ඉදිරියට නෙරූ ඇගේ ඇස් තම සගයාගේ නිසල සිරුර වෙත යොමුවී තිබිණි. ක්ෂණයක් තුල සිදුවූ මේ සියල්ල ඇගේ මොලයට එකවර දරාගැනීමට නොහැකි වූවාක් මෙනි . ශක්තිමත් සෙබළු දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදීමට ඇය ගත උත්සාහය නිසා ඇයට සිදුවූ දේ සිතීමට අවකාශයක් නොවීය.  එසැනින් ඇගේ ගෙලට දැනුනු සියුම් වේදනාවත් සමග සියල්ල අඳුරු වී යනු තරුණියට දැනුණි.

*********   


දැවැන්ත කළු වෘකයා පිට නැඟ ඉදිරියේ වූ මහ වනය දෙස බලා සිනා සුනු ප්‍රයිකූල් තම අත වූ කුඩා උපකරණයේ බොත්තම් කිහිපයක් තද කළේය.


දැවැන්ත කළු වෘකයා පිට සිටින ප්‍රයිකූල්


නැඟෙනහිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි…

ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. අසුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය… වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය…

විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ…නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි…සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි. තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..

ප්‍රයිකූල් සිය  වෘක වාහනය මත එල්ලා තිබුණු පැසෙන් ගත් බෝතලයෙන් උගුරු කිහිපයක් හලා ගත්තේය. ලේ රහ වන තෙක් කෑ ගසමින් සෙබළුන් මෙහෙය වූ ඔහුගෙන් දිස්වුයේ රුදුරු බවකි. 

තම අත වූ බෝතලය අසල සිටි සෙබලාට දිගු කල ඔහුට විඩාවෙන් සහ මර බියෙන් හෙම්බත් වී සිටින සිය සෙබළු ගැන චායා මාත්‍රික අනුකම්පාවක් සිය සිත තුල ඇතිවී නැතිවී යනු දැනුනේය. 


“ප්‍රයිකූල් අර කන්ද එහා පැත්තට රෑ වෙන්න කලින් යා ගන්න බැරි වුනොත් අපි අමාරුවෙ.” විඩාවෙන් හෙම්බත්ව පසු පසින් වැටී ගෙන එන සිය අසරණ සෙබළු දෙස අනුකම්පාවෙන් බැලූ සෙන්ට්‍රිනෝ පැවසුවේය. ඩුවෝගේ පිට නැඟුන ප්‍රයිකූල් කෙලින් බලා කිසිත් නොදොඩා සිටියේය.

“මේ මිනිස්සු අපි වෙනුවෙන් මෙහෙම කැප කිරීමක් කරන එක ගැන මට වෙලාවකට පුදුම හිතෙනව. අනිත් එක කිසිම දෙයක් නොලැබෙනව කියල පැහැදිලිවම දැන ගෙන තමන්ගේ ජීවිත මේ විදියට පරිත්‍යාග කරන මිනිස්සු මම නම් කවදාවත් දැකල නැහැ… ”

“ඒක එහෙම වෙන්නෙ නැහැ සෙන්ට්‍රිනෝ… මේ මිනිස්සු මැරෙන්නෙ නිකම් නෙවෙයි… ඔවුන් මැරෙන්නෙ වීරයින් විදියට…”

“හැම සෙන්පතියම යුද්දෙට යන තමන්ගේ සෙබළුන්ට කියන්නෙ ඔහොම තමයි. ඒත් යථාර්තය ඒක නෙවෙයි නෙ. වීරයෙක් විදියට මැරෙන්න නම් වීර කමක් කරල මැරෙන්න ඕනෙ. මට නම් මෙතන කිසිම වීර කමක් පේන්නෙ නැහැ.”

ප්‍රයිකූල් කිසිත් නොකියා ඈත බලාගෙන ගමන් කළේය. සවස් වෙමින් තිබිණි. මල හිරුගේ රශ්මියෙන් නැහැවෙමින් තිබුණු කඳු පෙල ප්‍රතාපවත් ලෙස හාත්පස වසා පැතිර තිබිණි. “ඉක්මන් කර පල්ලා” ඔහු සිය සේනාවට අණ දුන්නේය.

ආදි කල්පික දැවැන්ත වෘක්ෂලතාවන් පිරි කැලෑවේ කෙලවරින් වැටුණු මඟ ඔස්සේ ඉදිරියට ඇදෙන මෙම සෙබල පිරිස සිටියේ මැනවින් සන්නද්ධවය. ඔවුන් අත තිබුණේ අධි බලැති කිරණ තුවක්කු, තියුණු මුවහතින් යුතු වානේ අසිපත්, අධි බලැති පිපිරිම් සිදු කළ හැකි දුරස්ථ පාලක බෝම්බ ආදී ඕනෑම ආකාරයක සටනකට සුදුසු ආයුධය. එක් එක් සේනා කණ්ඩ භාර සෙන්පතියන් පැලද සිටි සන්නාහකයන් ඕනෑම වෙඩි උණ්ඩයකට ඔරොත්තු දීමට සමත් ඔනෑම කඩු පහරකට ඔරොත්‍තු දෙන අන්දමේ අතිශය සවිමත් ලෝහයන් ගෙන් සමන් විත විය.

මායාවන් ගෙන් කෙළ පැමිණ සිටි ස්කෘලොක් ගේ සොහොන් කොත සොයා යන මේ බියකරු ගමන සඳහා ඔවුන්ට මෙවැනි ආයුධ වල සහාය අත්‍යාවශ්‍ය විය.

කඳුකරය රහස් සඟවා ගෙන සිටින බව ඔවුන් දැන සිටියද ඒ රහස් කොතරම් බිහිසුනුදැයි සෙබළු දැන  ගත්තේ මේ සටනට එළැඹීමෙන් පසුවය. පුරාවෘත  යනු  සම්පුරණයෙන්  අසත්‍ය නොවන බව සහ පරම්පරා ගණනක් තිස්සේ මිනිසුන් විශ්වාස කරන සහ අදහන සමහර දේ  එසේ  රැකී ඇත්තේ ඒවාට මුලික වූ සිද්දි වල තිබුණු බරපතල කම නිසා බව ඔවුහු තේරුම් ගනිමින් සිටියෝය...

"උඹට  විශ්වාසද ඒ  මිදුම අස්සෙන් දැකපු ඇස් දෙක සතෙක් ගේ නෙමේ කියල ...?  

සෙබළ  පිරිසේ ගමන් කරමින් සිටි තරුණ සොල්දාදුවා පසෙකින් ගාටමින් සිටි තම සගයාගෙන් ඇසිය...  

"ඔක්ස්ෆෝ  පල්ලා ... ඒ ඇස් පණ තියෙන ඇස් නම් නෙමේ ..."

"මම දැක්ක ... මට එහා පැත්තේ හිටපු උස හාදය කීප සැරයක් වටේට කැරකෙනවා .. හරියට උගේ හෙවනැල්ල අල්ල ගන්න ... හෙවනැල්ලත්  එක්ක කතා කරන්න හදනවා වගේ ඌ කැරකුණේ .. මම හිටියේ  ඊට එහා පැත්තෙන් .... මම මගේ පස්සෙන් ආපු දඩ බල්ලට කඩුවෙන් ගහපු ගමන් මට ඇහුනා මහ අමනුෂ්‍ය සද්දයක් ... උඹ දැක්කනේ ආපු සත්තු ඔක්කොම නිකන් ආවේස වෙලා වගේ හිටියේ ... උන් ඔක්කොම මොකක් හෝ බලයකින් අපේ පස්සේ පැන්නුවේ ... මම ගහපු කඩු  පාරට බල්ලා ආයේ නැගිටින්නේ නැහැ කියල දැකපු ගමන් මම හැරුණා. එතකොටම අර හාදය  වටේට කැරකි කැරකි වෙඩි තියන්න ගත්තා ... "

"හැබැයි ඒ ලේසර් පාරවල් කොහේ ගියාද කියල මම දැක්කේ නැහැ ..." 

"එක පාරටම අදෘශ්‍යමාන අත් දෙකකින් බෙල්ල මිරිකනවා වගේ අර කොල්ලා දඟලන්න ගත්තා ....  උගේ අතේ තිබ්බ තුවක්කුව පත්තු වුනත් ඒවා ඔක්කොම එහෙ මෙහෙ ගියා මිසක් ඉලක්කයක් තිබුනේ නැහැ .. ටිකෙන් ටික කොල්ලව  පොළවෙන් උඩට උස්සල ගත්තා..  ඒ වෙද්දී වටේ තිබුණු මීදුම ගණ වෙන්න පටන් අරන් තිබුනේ .. මම  මගේ වටේ කවුරුත් පෙන්න හිටියේ නැති හින්දා ටක් ගාල පාත් වෙලා ළඟ තිබ්බ ගලකට මුවා වුණා... 

"ඉතින් ..." අනෙකා හුමිටි තිබ්බේය ...

"මම ඒ හාදයාගේ මුණ ඊට කලින් දැකල තිබුණා... කලින් දවසේ දවාලේ වතුර බොද්දි මම ඌව දැක්ක කියල මට මතක් වුණා ..." 

"ටික වෙලාවක් ඌ අත්දෙකෙන් බෙල්ල අල්ලගෙන දඟල දඟල හිටියා. එක පාරටම  බෙල්ල තදින් හිර වෙනවා වගේ කොල්ලා ඇඹරෙන්න ගත්ත ... ඒ එක්කම මිදුම අස්සෙන් මතුවුනේ ගින්දර පාට ඇස් දෙකක් ... චායාව වගේ ඒ ඇස් අයිති  මුහුණ මම දැක්කත් හරියට පැහැදිලිව පෙනුනේ නැහැ ... හැබැයි මගේ හිත එක පාරටම කිව්වා ඒ හිටියේ අර කොල්ලමයි කියල .. මොකද ඌට  තිබුනේ යටට බැහැපු හකු දෙකක් ... හරි හතරැස් වගේ .. මට ඒ මුහුණ මතක තිබුනේ ඒ හින්ද ... මීදුම අස්සෙන් මතු වුන චායාවත් ඒ වගේමයි ...


මීදුමෙන් මතුවූ චායාව 


"මොකක් ...?"

"උඹ කියන්නේ  ...  නපුරු ආත්මයේ  මරණය කියල ද ?"

"ඔව් ... ඔක්ස්ෆෝ  පල්ලා ... මට හිතෙන්නේ ඒ නපුරු ආත්මය කියල ... " 

"ඊළඟ මොහොතේ කොල්ල මැරිලා වැටුණා..."

"මාව හිතල වෙලා ගියා ... මම එහෙමම බිම දිගා වෙලා ශුද්ධ වූ මන්ත්‍රය කියන්න ගත්ත ..."

"ඔක්ස්ෆෝ  පල්ලා අපේ ආච්චි මට ඒක උගන්නපු වෙලාවේ මම අහගෙන හිටපු හින්ද හොඳට ගියා ... " 

"හ්ම්ම්ම් .... මමත් ඒ මන්තරේ දන්නවා ..."

"මම උඹට කියන්නේ  අපි මේ කරන වැඩේ අන්තිම භයානකයි...  ඔක්ස්ෆෝ  පල්ලා... මට ගෙදරට වෙලා මගේ දුවත් එක්ක ඉන්න පුළුවන් කම තියාගෙන මම මේ ගමන ආවේ .. මම ප්‍රයිකුල්ට සලකනවා . ප්‍රයිකුල්  නැත්නම් මගේ කෙල්ලගේ ජිවිතේ බේරෙන්නේ නැහැ ... ඒකට  සලකන්න  මම ගමන ආව මිසක් මේව මහ සහගහන වැඩ.."

"උඹේ නම මොකක්ද?  "

"මට කියන්නේ වැල් ජෝන් කියල .."

"එතකොට උඹ ...?"

"හ්ම්ම්... මම ... හයිලැන්ඩර්  නෙමේ .  මම සෙන්ට්‍රිනොගේ  කුලී  හමුදාවේ . උපන්නේ  හොවාග් වල ...  නම ඩාකි  "
 
"හාහ් ... හොවාග් වල උඹලත් දන්නවද  ශුද්ධ මන්තර ... මම හිතාන උන්නේ කඳුකරේ අපිට විතරයි භූත බලපෑම් තියෙන්නේ කියල ... " 

වැල් ජෝන් නොසැලකිලිමත් ලෙස සිනා සෙමින් පැවසිය. 


මතු සම්බන්ධයි... 


Saturday, May 09, 2020

කාල යක්ෂ - 4 අමතක අතීතය




"නෑ තාත්තා නෑ… යුරිසි කිව්වා යටින් බුබුළු වගයක් එනවා දැක්කා… හැබැයි එයා ඒක ගණන් ගත්තේ නැහැ කියල… අනේ තාත්තා ඉක්මනට මොනවා හරි කරන්න."


රජුගේ අණින් සෙබල බලඇණියක් සහ රොබෝ සහයකන් අදාළ ස්ථානය සහ අවට පරික්ෂා කිරීමට යැවුණු අතර, දිය යටින් අතුරුදහන් වීම සැලවූ වහාම රජුට සිහිවුයේ එක දෙයකි. මාළිගාව සහ ඒ අවට සැලැස්ම පිළිබඳව මනා අවබෝධයක් තිබුණු ඔහුට බොහෝ කලකට පෙර අමතක කර දැමු උමං පද්ධතිය සිහිවිය. 


රජුට ඇතිවුයේ ඇයි? සහ කවුද? යන ප්‍රශ්න පමණි.



අද එතැන් සිට ...


තරුණියගේ සිරුර පරීක්ෂණාගාරයක වූ ඇඳක් මත තබා තිබුණි. සිහිසුන්ව සිටි ඇය සිටියේ අග නගරයෙන් සෑහෙන දුරක වූ හමුදා පරික්ෂනාගාරයක් තුළය. රජුගේ සේනාවන් හා තාක්ෂණික බල ඇණි වල රැහැනින් මිදී රජ පවුලට සෘජු සම්බන්ධයක් ඇති ඇලෙන්ඩි වන් තරුණියක් පැහැර ගැනීමට හැකි වූවන් පෙරදිග රාජ්‍යයේ සිටියේ අතලොස්සකි . 

ටිකෙන් ටික පියවි සිහියට පත් ඇලෙන්ඩිට සිදුවුයේ කුමක්දැයි සිතා ගැනීමට මොහොතක් ගත විය. 

කිමිදෙමින් සිටින විට පසුපසින් ඇතිවූ තද ග්‍රහණයත් , එක වරම ජලය තුලට ඇදී යාමත් ඇයට මතක් විණි. ඉන්පසුව අඳුරු පැහැ ගුහාවක් වන් නලයක් තුල අසිහියෙන් මෙන් ඇදී යන අයුරුත් , කිහිප දෙනෙකුගේ කටහඩ ත් ඇයට චායා මාත්‍රිකව මතක් විණි . නිරුවතින් පිහිනමින් සිටි ඇය දැන් සිටින්නේ සිය ප්‍රියතම වර්ගයේ ඇඳුම් කට්ටලයකින් සැරසීගෙන ය . කාමරයේ අවට බැලු ඇය තමා සිටින්නේ කොහේදැයි වටහා ගැනීමට උත්සාහ දරුවාය. 

එය නවීන පරික්ෂනාගාරයක වීදුරුවකින් වෙන් වූ කාමරයක් විය. වීදුරුවෙන් එපිට තිබු බොහෝ උපකරණ හඳුනා ගැනීමට හැකි වුවද, එහිවූ ප්ලාස්මා ඇක්සලරේටරය දුටු විට ඇලෙන්ඩිට තමා සිටින තැන ගැන යම් අදහසක් ඇතිවිය. තවමත් තෝන්තු ගතියකින් සිටි ඇය සිදුවූ දේ පිළිබඳව  සිතා බැලීමට පටන් ගත්තාය. 

ලාබාලම විද්‍යාඥයාට හිමි සම්මානය දෙවරක් දිනා සිටි, සහ අන්තර් ග්‍රහලෝක නව නිර්මාණ ශුරී පදක්කම් ලාභිනියක් වූ ඇලෙන්ඩි පෙරදිග රාජ්‍යයේ සිටි අති දක්ෂම තරුණියන් අතරින් කෙනෙක් විය . ඉහල අධ්‍යාපනය ලබමින් සහ පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටි ඇය ගේ වර්තමාන පර්යේෂණය ලේසර් සහ විශ්වයේ මූලික තැනුම් පදාර්ථය ලෙස පැරදිසෝ වැසියන් හඳුනා ගත් බෝසෝන සම්බන්ධ වුවක් නිසා ඇයට එහි වූ උපකරණ අමුතු නොවීය. 

" ඇලෙන්ඩි අපිට සමාවෙන්න ." එවිටම දොර ඇරගෙන ආ බ්‍රයිටෝ පැවසීය. 

"මොකක් ? බ්‍රයිටෝ ඔයා ... මොකක් ද මේ කලේ ? පිස්සුද ?"

ඇලෙන්ඩි කෑ ගසාගෙන වැඩිවී සිටි ඇඳෙන් බිමට පැන්නාය...

"හරි හරි පොඩ්ඩක් කලබල නොවී ඉන්න ... මම පැහැදිලි කරන්නම් .."

"මොනවා පැහැදිලි කරන්නද ? මොකක් ද මේ පිස්සුව ?"

"ඊඊඊඊ .... හම්බවෙන්න ඕනේ නම් කියන්න තිබුනනේ ... පැහැරගන්නේ  පිස්සු ද .."

"අනිත් එක ... අනිත් එක ... මම නානකොට ... ෂිකේ  මොන ලැජ්ජා  නැති වැඩක් ද ..?"

"පිස්සු ද හැබෑටම ..?"

ඇලෙන්ඩි  නොනවත්වා කෑ ගැසුවාය..

"කලබල වෙන්න එපා. අපි කිසි කෙනෙක් මොනවත් දැක්කේ නැහැ . තනිකරම  රොබෝලා දාල තමයි උමග දිගේ ගෙනාවේ . ඊට පස්සේ ඇඳුම් අන්දලා තමා මෙතනට ගෙනාවේ ."

බ්‍රයිටෝ  පැහැදිලි කරන්නට පටන් ගත්තේය. 

"මොකටද එහෙම කලේ ..? රොබෝලා දාල  අරන් එන්න තරම් මොකක් ද තියෙන හදිස්සිය .?" 

"මැදින් පනින්නේ නැතුව පොඩ්ඩක් ඉන්නවනම් මම පැහැදිලි කරන්නම් ."

 "අනිත් එක .. දැන්  රජ තුමා මාව හොයනවා ඇති. නීෂා ත්  එක්ක මම ආවේ." 

"අයියෝ  ඒ හැමෝම කලබල වෙලා ඇති."
  
"රජතුමා  දැනටම  මෙතන හොයාගෙන ඇති . කොහෙද මේ මම ඉන්නේ ? මොනවද මේ ලැබ් එකේ කෙරෙන්නේ ..?

"කෝ ඉතින් මට කියන්න දෙනවද ?" 

"මේකයි. අපිට ඔයාව ඕනේ.. මේක ඉතාමත් හදිසි වැඩක්. "    

"මට කිව්ව නම්  මම එනවනේ . "

"නෑ  ඔයා ඇවිල්ල වැඩක් නැහැ . අපිට ඕනේ රජතුමාට මේක දැනෙන්න . එයා හිතනවට වඩා ප්‍රශ්නය බරපතලයි කියල එයා තේරුම් ගන්න ඕනේ .

"මොන ප්‍රශ්නයක් ගැනද මේ කියන්නේ ..?"

බ්‍රයිටෝ මොහොතකට නතර වී හාත්පස බැලුවේය. එය ඔහුගේ තැනක් වුවද  මේ ගැන කතා කිරීම ඔහුට හැමවිටම චකිතයක් ගෙනදුන් වැඩක් විය.

"ස්කෘලොක්". 

"මොකක් ? ඇලෙන්ඩි ගේ ඇස් උඩ ගියාය . කෝපයෙන් සිටි ඇය තුල ක්ෂණිකව  උපහාසය  මුසු  සිනාවක්  මතුවිය . "අර මායාකාරය ගැන...  ඔයා මොනවද මේ කරන්නේ ? මම හිතුවේ ඒක මේ තව බහුබුතයක් කියල ." අනිත් එක... අනිත් එක ... මාත් එක්ක මොකක් ද තියෙන සම්බන්දෙ ?"

"ඒක බහුභුතයක් නෙමේ ඇලෙන්ඩි... අපිට වහාම ක්‍රියාත්මක වෙන්න වෙනවා. " බ්‍රයිටෝ  බැරෑරුම් ලෙස පැවසීය.

ඇලෙන්ඩි  යනු කිසිදිනෙක මිත්‍යා හෝ අඩුම වශයෙන් ඉතිහාසය , සාහිත්‍යය වැනි දේට වැදගත් කමක් දුන්  හෝ උනන්දුවක් දැක්වුවෙකු  නොවීය .  බ්‍රයිටෝ  යනු  ඇය  සමග එකට ඉගෙන ගත් ඇගේ මිතුරෙකි . ඇලෙන්ඩි ට අනුව ඔහුද ඈ මෙන් විද්‍යාව සහ නවීන දේ ගැන උනන්දු වූ තරුණයෙකි .  බ්‍රයිටෝ සහ ඇය පෙරදිග රාජ්‍යයේ සිටි ඉතා දීප්තිමත් තරුණ විද්‍යාඥයින් දෙදෙනෙකි.

"මට බොන්න මොනවා හරි දෙනවද ?  පිපාසයෙන් සහ තෝන්තු ගතියෙන් සිටි ඇය පැවසීය .

 බ්‍රයිටෝ  ඇයට බීම  වීදුරුවක් ලබා දුන්නේය .

"හරි  දැන් මට කියන්න බලන්න මොකක් ද මේකේ අග මුල කියල..."

ශීත කල බීමෙන් සිය සිරුර ප්‍රාණවත් වන්නට හැර  ඇලෙන්ඩි පැවසීය .

"මමත් මේකේ අගමුල තාම තේරුම් ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ . මම දන්න ටික කියන්නම්..."

"ස්කෘලොක්  කියන්නේ මිත්‍යාවක් නෙවෙයි. අපි මේ කතා කරන මොහොතෙත් ඔහුව මරණයෙන්ආපසු ගේන්න  ලොකු උත්සාහයක් ගන්නවා. "

"මරණයෙන්  නැගිට්ටවන්න ...?"   ඇලෙන්ඩි  අවඥාවෙන් පැවසීය.

ඇලෙන්ඩි ගේ  හැටි දන්නා  බ්‍රයිටෝ ඇයව  නොසලකා   සිය කතාව දිගට   ගෙන ගියේය .

"චොන්ඩ්‍රයිට්  වළාවේ  නියම ස්භාවය තේරුම් අරන්  ඒකෙන්  හරියටම වැඩ ගත්  කෙනෙක්  මේ  ස්කෘලොක්  කියන්නේ.  අපේ  ගැලක්සිය  මැදි  කරගෙන  තියෙන මේ  කොස්මික්  දූවිලි  වල  අපි නොදන්න බොහෝ දේවල් තියෙනවා.  අපි  දන්නේ  ඒකෙන්  අපේ පොළවට ලැබිල තියෙන දේ ගැන විතරයි .  අපි දන්නේ  චොන්ඩ්‍රයිට්  වල  රසායනික  වැදගත් කම විතරයි .  හැබැයි  මූල ශක්තිය,  නැත්නම්  ශුද්ධ  ශක්තිය නිස්සාරණය  කියන්නේ  අපිට තාම තේරුම් ගන්න තියා හිතා ගන්නවත් බැරි දෙයක් .  "

"ශුද්ධ  ශක්තිය  කියල දෙයක් නැහැ  බ්‍රයිටෝ.  ශක්තිය හැමවෙලාවෙම පදාර්ථය  මත රඳා පවතිනවා. ඔය ශුද්ධ ශක්තිය කියන්නේ සංකල්පයක් විතරයි. කොටින්ම ක්වන්ටම් මට්ටමේදීත් කම්පනය වෙන්න දෙයක් තියෙන්න ඕනේ . එහෙම දෙයක් නැතිව ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඕව පොඩි ළමයිනුත් දන්න මුලික දේවල් නේ .

"මම ත්  ඔහොම තමයි හිතාගෙන හිටියේ. හැබැයි ඒ අපි දන්න තරම. ක්වන්ටම් කියන්නේ අපිට මෙච්චර කාලයක් ගිහිල්ල තේරුම් ගන්න පුළුවන් වෙච්ච උපරිම මට්ටම. ඒක හරියට ද්‍රව යුගේ මිනිස්සු ද්‍රව ඉන්ධන පාවිච්චි කරද්දි  න්‍යෂ්ටික ශක්තිය තරම් වෙන දෙයක් නෑ  කියල හිතාගෙන ඉන්නවා වගේ තමා. අපි දැන්  ඉන්නේ ක්වන්ටම් තරම් දෙයක් නෑ  කියන තැන. හැබැයි  අපිට හංගපු , අපෙන් වසන්  කරපු කාලෙක මිනිස්සු  ක්වන්ටම් එන්ජින් වලින් ළමයින්ට සෙල්ලම් බඩු හදල දීලා තියෙනවා. "

"ඇලෙන්ඩි  මහා හඩින්  සිනා සෙන්නට විය .... "

"අනේ මන්ද බ්‍රයිටෝ ... මම හිතුවේ ඔයා හරි  බුද්ධිමත් කෙනෙක් කියල. ඔයා කොහොමද මේවා විශ්වාස කරන්නේ . ඕව සංකල්ප, ඔය විදියේ සුපිරි ශක්තිය ගැන මිනිස්සු හැමදාම සිහින දකිනවා . හැබැයි  ප්‍රායෝගික ව  එහෙම දේවල් නැහැ ."

"මමත් ඔයා වගේ තමයි හිතාගෙන හිටියේ. අපිව හිතන්න පුරුදු කරලා තියෙන්නේ එහෙම .  හැබැයි  ඒක එහෙම නෙමෙයි කියන්න සාක්ෂි තියෙනවා.

"සාක්ෂි ...? මොනවද  තියෙන සාක්ෂි ?.."

"මාත් එක්ක යමු....." යැයි  පවසමින්  බ්‍රයිටෝ  ලැබ් එක අයිනෙන් වූ කොරිඩෝරය දෙසට ඇවිද ගියේය.

බොමින් සිටි බීම වීදුරුවේ අන්තිම උගුරද ගිල දමා ඇලෙන්ඩි ඔහු පසු පසින් ඇදුනේ තම සගයාට හැදී ඇති අලුත්ම පිස්සුවෙන් විනෝදයක් ලබා ගනු පිණිසය.

පරීක්ෂනාගාරය පසුකරමින් යන  ඇලෙන්ඩි  එහි වූ  අති නවීන සහ ඉතාමත්  රහසිගත සහ සංකීර්ණ උපකරණ දෙස ඉතා ඕනෑ කමින්  බැලීය.  මෙහි  සිදුවන දේ කුමක් වුවද එහි සිතනවාට වඩා යමක් ඇති බව ඇයට දැනිණි.

දොරවල්  කිහිපයක් සහ කොරිඩෝ කිහිපයක් පසු කරමින් ගිය බ්‍රයිටෝ  සේප්පුවක් ඉදිරිපිට නතර වී එහි වූ චිත්ත තරංග ස්කෑනරය දෙස මොහොතක් බලා සිටියේය .  ඔහු ඉදිරියෙහි වූ බිත්තිය දෙපසට ටිකෙන් ටික අතුරුදන් වී සේප්පුව විවර විය. එහි වූ  කුඩා පාලක පුවරුව වෙතට ගිය බ්‍රයිටෝ ගේ චිත්ත තරංග හඳුනා ගත් සේප්පු පාලක කෘතීම  බුද්ධිය  විසින් ඔහු විසින් පෙර විවෘත කරන ලද අයිතම කිහිපයක් පිළිබඳව විමසීය.

ඔහු පසු පසින් සිටි  ඇලෙන්ඩි, තමා ඉදිරියෙහි වූ  බිත්තිය තුලින් මතුවූ  ත්‍රිමාණ දර්ශන දෙස මුව අයා බලා සිටියාය.

"නෙම්සි, අංක 4 විවෘත කරන්න. බ්‍රයිටෝ චිත්ත විධානය නිකුත් කළේය.

"ඔබගේ ඉල්ලීම ඉටු කරන ලදී.  සේප්පු පාලක රොබෝ හඬ වූ  නෙම්සි පැවසිය.

ඔවුන් ඉදිරියේ දර්ශනය වුයේ ඔවුන් කිසි දිනෙකවත් නොදැක තිබු තරම් අපූරු සහ මායාකාරී ශිෂ්ටාචාරයක දර්ශන පෙළකි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන සහ සොබා දහමේම  කොටසක් බඳු වූ මාළිගා , සහ නගර සහිත ඉතා මනරම් ත්‍රිමාණ ලොවක් ඔවුන් ඉදිරියෙහි මැවිණි .

උපන්දා සිට අධිතාක්ෂණික සහ කෘතීම ලොවක ජිවත් වූ ඇලෙන්ඩි මින් පෙර කිසි දිනෙක නොදුටු විරූ මේ දර්ශනයෙන් මොහොතකට වශී වී ගියේය .



සුරංගනා ලොවක් බඳු වූ මාලිගා 



     පරිසරයේම කොටසක් වූ නගර 



මේ මොනවද බ්‍රයිටෝ ... දෑස දල්වා බිත්තිය තුලින් මතුවන අපූරු දර්ශන පෙළ නරඹමින් ඇය ඇසීය.

"මේ තමයි ස්කෘලොක් ගේ කාලයේ පෙරදිග රාජ්‍යය. "

"මොකක් ...කොහොමද එහෙම කියන්නේ ...? මේ වගේ දෙයක් ඕනේ කෙනකුට හදන්න පුළුවන් නේ ..."  

 "ඔව් එහෙම කරන්න පුළුවන් තමා . හැබැයි  මේ බලන්න මේ දර්ශන මුලින්ම සටහන් වෙච්ච දවස, මේ මෙටා දත්ත කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ. හරියට කාබන් කාල නිර්ණය වගේ තමයි. මේ වීඩියෝ දර්ශන වල තියෙන අංශු හරියටම දවස් 1909315ක් පරණයි.  ඒ කියන්නේ  අපි දන්න ද්‍රව යුගේටත් වඩා සෑහෙන පරණයි. නමුත් මේ බලන්න මේ යාන වාහන, කොහොමද මේවා මේ උඩින් යන්නේ ? "

"මෙන්න මෙතන බලන්න. ඔයාට අඳුර ගන්න පුළුවන් ද ? බ්‍රයිටෝ වීඩියෝ දර්ශනය මදක් නතර කර එක දර්ශනයක් පෙන්නුවේය.

ඇලෙන්ඩි ඒ දෙස මොහොතක් බලා  වර්තමානයේ තමාට සමීප භුමි දර්ශන සමග සසඳා බැලිය.

"කොරන්වේලි ද ? කන්දයි මුහුදයි තියෙන විදිය ඒ වගේ ...

"තව හොඳට බලන්න. මෙන්න මේ ටික ..... "

"හ්ම්ම්ම් .... හිතා ගන්න අමාරුයි ..."

 "මේ ගල් කුළු ටිකයි ... මුහුදේ හැඩයයි ... මෙන්න මේ පොඩි කන්දයි තාම තියෙනවා.  මේ බලන්න මේ ටික . මේ යානාව මතු වෙච්ච තැන..."

"ඒ කොහොමද ඒ වාහන අතුරුදහන් වෙලා ආයේ මතු වෙන්නේ ...?

"මම සැක කරනවා ඒවා ක්‍ෂුද්‍ර වෝම්හෝල් (Wormhole)  කියල ... ඔවුන්ට තමන්ට ඕනෙම තැනක ඉඳල ඕනෙම තැනකට යන්න වෝම්හෝල්  මවා ගන්න පුළුවන් කම තිබිල තියෙනවා ."

"මම හිතන්නේ  මෙතන තමයි දැන් වයිට් හාර්ට් තැබෑරුම තියෙන්නේ ..." හහ් .... ඒ කාලෙත් එතන මොකක් හරි බීම හලක් තිබිල වගේ..."

ඇලෙන්ඩි  තමන් මේ දකින දර්ශන පෙළත් සමග ඇගේ  මිතුරාගේ කතාව සසඳා බැලුවාය....

"හ්ම්ම්ම් ... ඔයා කියන්නේ මේ අපි දකින්නේ ස්කෘලොක් ගේ ලෝකය කියල ද ?"

"ඔව් මීට දවස් ලක්ෂ 20කට විතර කලින් පෙරදිග රාජ්‍යය මෙහෙම තිබිල තියෙනවා.   මීට  අමතරව අපි මේ කාලෙට අයිති තවත් අපූරු  බඩුවක් හොයා ගත්ත"

"නෙම්සි , අංක 13 විවෘත කරන්න...

අංක 13 විවෘත කරන ලදී ...

සේප්පු බිත්තියෙන් මතු වූ  ත්‍රිමාණ  රුව දුටු ඇලෙන්ඩිගේ  මුව විවර වීය...   

"මොකක් .... ඒ මොකක් ද ඒ ....? "