Friday, May 01, 2020

කාල යක්ෂ - 3



දෙවන කොටසට 

“මම එහෙනම් දැන් යන්නම් නිෂා. මට දවල් වෙලා පොඩි සාකච්චාවක් තියෙනවා. “ ෆෝමැටො යන්නට හැරෙමින් පැවසිය.

"හරි එහෙනම් 119 දා ආයේ මෙහෙදී කන්න එනවනේ. අහ් අද 116 නේද? මට අමතක වුනානේ. මට දැන් යාලුවෝ ටිකක් හම්බ වෙන්න යන්න තියෙනවා. මමත් එන්නම් ඔයත් එක්ක යන්න. "

ඔවුන් දෙදෙනා පියාගෙන් සමුගෙන සිය මයින්ඩ් ජෙට් යානා ගියෝය.


අද එතැන් සිට ...

ස්ප්ලේන්දි මාළිගාව පිහිටි කඳු බෑවුමට පෙරදිග රාජ්‍යයේ සෑහෙන ප්‍රමාණයක් දර්ශනය විය. මුහුදින් වටවූ කෘතීම නිර්මාණයක් වූ ෆ්රිදොම් කන්ද උඩ පිහිටි මාළිගය ශතවර්ෂ ගණනාවක් තිස්සේ පෙරදිග රාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය විය . ආරක්ෂාව අතින් ඉතාම ඉහල මට්ටමක් තිබුණු මාළිඟය නවීන තාක්ෂණයේ අග්‍රගන්‍ය නිර්මාණයක් විය . මාළිගය වටා පිහිටි කොරන්වෙලි නගරය සහ ටෙරිමි නගරය බොහෝ කර්මාන්ත ශාලා සහ පෞද්ගලික ආයතන වලින් සමන්විත තාක්ෂණික නගර විය. 

ස්ප්ලේන්දි මාළිගාව

රටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් නව තාක්ෂණික නිෂ්පාදන සහ රසායනික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකිරනශීලි බල සැපයුම් නිෂ්පාදනය මත පදනම් විය . නවීන යන්ත්‍රෝපකරණ , රොබෝ තාක්ෂනය සහ අභ්‍යවකාශ යානා සඳහා අමතර කොටස් නිෂ්පාදනයට පෙරදිග රාජ්‍යය ලොව පුරා ප්‍රචලිත වී සිටියේය.

කොරන්වෙලි නගරයේ දසුනක් 

පෙරදිග වැසියන් දියුණු සහ සැපවත් ජිවත ගත කරන්නෝ වූහ. රොබෝවරුන්ගේ සහය සහ නවීන ගමනාගමන ක්‍රමත්, ක්‍රමානුකුල යටිතල පහසුමක් නිසා රට වැසියන්ගේ ජිවිත පහසු වී තිබිණි. 

මයින්ඩ් ජෙට් යානා නිර්මාණයේ පුරෝගාමීන් වූ ඔවුන්ගේ ජනප්‍රියම වාහන විය. විකිරනශීලි බල සැපයුමකින් පණ ගැන්වී ඉහල නගින මේ යානා සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය වුවද, පදවන්නාගේ සිතිවිලි වලින් වුවද පාලනය කල හැකිවීම ඒවා ජනප්‍රිය වීමට හේතු විය. සැබවින්ම වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් වූ මයින්ඩ් කන්ට්‍රෝල් තාක්ෂනය, මේ යානය තරුණ තරුණියන් අතර ජනප්‍රිය වීමට හේතු විය. අවශ්‍ය විට ස්වයංක්‍රීය හෝ සිතිවිලි මගින් තොරව පාලනය පදවන්නාගේ අතට ගැනීමේ හැකියාවද මේ යානා සතු විය. තනි පුද්ගල , පවුල් සහ ප්‍රභූ වශයෙන් මාදිලි රැසකින් වූ මයින්ඩ් ජෙට් යානා අපනයනය පෙරදිග රාජ්‍යයේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. 



විවධ මාදිල්යේ මයින්ඩ් ජෙට් යානා 

අවශ්‍යය වෙලාවට පාලනය අතට ගැනීමේ හැකියාවද මේ යානා සතු විය .


දරුවන්ගේ නික්මයාමෙන් පසු නෙමින්දෙර් රජු, රාජ මණ්ඩලයේ දෛනික රැස් වීමට සහභාගී වීම පිණිස සාකච්චා කාමරයට ගියේය. ව්‍යාපාරික ප්‍රජාව, රටේ විද්වතුන් සහ ඇමති මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සමන්විත වූ මෙම රැස් වීම බොහෝ විට කිහිප දෙනෙකුගේ භෞතික සහභාගිත්වයෙන් සහ වැඩිපුර හොලොග්‍රෑම් හෝ වීඩියෝ සාකච්චා මගින් සිදුවිණි. එදින පැමිණ සිටියේ සමාජ සුභ සාධන ඇමතිනිය වූ ගෙරෙන්සි සහ තවත් ආයතන හිමි කරුවන් කිහිප දෙනෙකි.

“රජතුමනි, අපි එක්සත් චක්‍රාවාට සංගමයේ සමාජිකත්වය සඳහා කරපු ඉල්ලීම ආයෙත් ප්‍රතික්ෂේප වෙලා.” සාකච්චාව ආරම්භ කරමින් විදේශ ඇමති පැවසිය. 

"හ්ම් .. ඒක එතරම් වැදගත් දෙයක් නෙමේ. කොහොමත් ඔය ලොකු ලොකු රටවල් එක්ක හැප්පෙන්න අපිට අමාරුයි. අනිත් එක මම හැමදාම කියනවා වගේ ඉන්ටර්ගැලක්ටික් වැඩ වලට යොමු වෙන්න කලින් අපිට කරන්න තව වැඩ තියෙනවා."

“හැබැයි රජතුමනි. අපි ඔහොම හිතුවොත් කවදාවත් අපිට ඉදිරියට යන්න බැහැ. හැමදාම එයාලට ඕනේ අමතර කොටස් හද හද විකුණලා අපිට දියුණු වෙන්න බැහැනේ.”

විදේශ ඇමති වරයා සහ තවත් සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙක් රජුගේ අදහසට විරුද්ධ විය. 

“අනිත් එක සුපර් ලයිට් කෘසර් වල එන්ජින් සහ සියලුම කොටස් හදන්නේ අපි. අපේ තාක්ෂනය කුණුකොල්ලෙට අරන් එයාල ගැලක්සිය පුරා වෙළඳාම් කරනවා. අපිව හැමදාම කපල දානවා. චක්‍රාවාට සංගමේ ලොක්ක එක්ක පොඩ්ඩක් කතා කරලා පෞද්ගලික මැදිහත්වීමක් නැතුව නම් අපිට සාමාජිකත්වය ගන්න බැරි වෙයි."

“මම කිව්වනේ. දැන්ම අපි ඔය අභ්‍යවකාශ වෙළඳාමට යන්න ඕනේ නැහැ . මේ රටේ තව කරන්න වැඩ ගොඩක් තියෙනවා” රජු ස්ථිර ලෙස පැවසීය .

“අපි දැන් බලන්න ඕනේ අපේ නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳන්න. එක්කෝ මේ තියෙන ක්‍රම වෙනස් කරලා අලුත් විදියට විකිරනශීලි ද්‍රවය නිස්සාරණය කර ගන්න ක්‍රම හොයන්න වෙනවා. අපේ තියෙන නිධි වලින් තව වැඩි කාලයක් අපිට දුවන්න බැහැ. හයිලැන්ඩර්ල එක්ක ගනුදෙනු කරද්දී පරිස්සම් වෙන්න වෙනවා. ඒ ගණන් වලට අමුද්‍රව්‍ය අරන් මේ වැඩ කරන්න බැහැ . තව ප්‍රොජෙක්ට්ස් ගොඩක් තියෙනවා අපි මුලිකත්වය දෙන්න ඕනේ. චක්‍රාවාට සංගමයට බැඳෙන්න අපේ ධාරිතාව තව වැඩි වෙන්න ඕනේ ..”


"අනිත් එක මැජික් පස්සේ දුවන කණ්ඩායමක් ගැනත් මට තොරතුරු ලැබිල තියෙනවා. අපි කීප සැරයක් ඔය මිත්‍යා කණ්ඩායම් පරාද කළාට , මේ සැරේ ටිකක් දරුණුවට රැල්ල එන පාටයි."

"ඉස්සෙල්ල රටේ මිනිස්සු දෙපැත්තට බෙදිලා රට පස්සට යන එක වළක්වන්න ඕනේ." 

"පස්සේ පුළුවන් ඔය ජේත්තුකාර පිටසක්වලයින්ට බඩු විකුණන්න. "

රජුගේ කතාව අසමින් කාමරයේ සිටි අය මුහුණට මුහුණ බලා ගත් අතර දුරස්ථව සම්බන්ධ වුවන් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගත්හ.

“මෙයා බයයි. මෙහෙම ගියොත් අපි හැමදාම එක තැන… “ ඒ පණිවිඩ බොහොමයක යටින් ගම්‍ය වුයේ පාලනයේ වෙනසකට කාලය හරි බවයි.

Sombrero චක්‍රවාටයේ වළල්ලක ආකාරයෙන් පිහිටි තරු පන්ති අතරේ, චක්‍රවාට මධ්‍යයට කිට්ටුව ඇතුල් පැත්තේ පිහිටි තරුවක් වටා භ්‍රමණය වූ ග්‍රහලෝක 4 කින් සමන්විත ග්‍රහ පද්ධතියක දෙවෙනි ග්‍රහයා වූ පැරදිසෝ නමින් එහි වැසියන් හැඳින්වූ ලෝකය, අන්තර් චක්‍රාවාට වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසද , අභ්‍යවකාශ යානා නඩත්තු සහ නැවතුම් පොළක් ලෙසද ක්‍රියාත්මක විය. එහි වූ බලවත් රාජ්‍යයන් සියල්ලක්ම පාහේ අන්තර් චක්‍රවාට වෙළඳාම් සහ දේශපාලන කටයුතු වලට යොමුවී සිටි අතර පෙරදිග රාජ්‍යය තවමත් එකසත් චක්‍රවාට සංගමයේ සාමාජිකත්වය හෝ ලබා නොතිබිණි. රටේ බොහෝ දෙනෙකුට අනුව නම් ඔවුන් දැනටමත් තාක්ෂණිකව අවශ්‍ය තරම් දියුණු වී සිටි අතර, පාලනයේ ඇති පසුගාමී බව නිසා ඔවුන්ට බොහෝ අවස්තා අහිමිවී ඇති බවය. ව්‍යපාරික ප්‍රජාව රජුගේ නොහැකියාව ටිකෙන් ටික රජුට විරුද්ධ මහජන මතයක් බවට පත් කරමින් සිටියෝය . 



මධ්‍යයේ වූ සුපර් මැසිව් කළුකුහරයක් වටා භ්‍රමණය වන, විශ්වාරම්භක මොහොතේ නිකුත් වූ වා ධූලි වලාවක් මැදි කොට ගත් Sombrero චක්‍රාවාටය, පැරදිසෝ ලෝකයෙහි පස විශ්වයේ අති දුර්ලභ ලෝහ සහ ඛනිජ වර්ග වලින් සංතෘප්ත කර තිබිණි.

ඒ ඛනිජ නිස්සාරණය සහ විවිධ රසායනික ඉන්දන වර්ග සහ විකිරනශීලි මුලද්‍රව්‍ය පැරදිසෝ ලෝකයේ නුතන දියුණුවට බොහෝ සෙයින් බලපෑවේය. ඔවුන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිය මුලික බල සැපයුම බවට පත්කර ගෙන සිටි අතර, සියලු බල ශක්තිය න්‍යෂ්ටික බලයෙන් ලැබිණි. 

චක්‍රවාටය තුල පැරදිසෝ හි පිහිටීම නිසා බොහෝ වාසි ඔවුන්ට ලැබී තිබුණු අතර, විශ්වයේ ගුප්ත රහස් ඔවුන්ගේ ලොව තුල විවධ ස්වරුපයෙන් පැතිරී තිබුණු බව දැන සිටියේ කිහිප දෙනෙකි .

නෙමින්දේර් යනු සිය පොළොවෙන් ලැබුණු සම්පත් තාක්ෂණයට පෙරළන නුතන නායකයෙකි. 

ස්කෘලොක් යනු විශ්වය විසින් එහි සඟවා තිබුණු මායාකාරී රහස් වලින් වැඩ ගත් යටපත් කර දැමු ශ්‍රේෂ්ඨ යුගයකට අයිති රජ කෙනෙකි.


**********


"නීෂා  මම  දෙයක්  අහන්න  මට ඇත්ත  කියනවද ?"  නාන තටාකයේ සිය මිතුරියන් දිය කෙලින අතර ඇලෙන්ඩි  ඇසුවාය.

"ඔයාට ෆෝර්මැටෝ ව  විශ්වාස ද ?"

නිෂා  පුදුමයෙන්  ඇලෙන්ඩි   දෙස බැලුවාය.

"විශ්වාසද ? ඇයි  මම අවිශ්වාස කරන්නේ ?"  

"ඔයා දන්නවනේ... අපි දෙන්න පොඩි කාලේ ඉඳල යාළුවෝ . මට  එයාව අවිශ්වාස කරන්න හේතුවක් තාම  නැහැ .

"මොකද එහෙම ඇහුවේ ...?  අර  වැඩ කරන තැන  ඉන්න  කෙල්ලත්  එක්ක  මොකක් හරි  ඔයාට ආරංචි වුණා ද?"

"නෑ  නෑ ... මම  කිව්වේ ඒ වගේ සැකයක් ගැන නෙමේ . "

"එහෙනම්  ?"

"මේක ෆොර්මැටෝ ගැන  විතරක් නෙමේ  මට ගොඩක් අය  ගැන තියෙන සැකයක් .  මම  හැම දෙයක් දිහාම සැකෙන් සහ හාර  අවුස්සලා බලන හින්ද  වෙන්න ඇති . එක්කෝ  ඒක  ගැන හිතන්න එපා. අමතක කරලා දාන්න .

"මොකක් ගැනද  ඔය  කියන්නේ ? 

නෑ  නෑ  දැන් ඒක  අමතක කරලා දාන්න . මේ  අව්ව හින්ද මට එක එක විකාර  හිතෙනවා . යමු  නාන්න  යැයි  පවසමින්  ඇලෙන්ඩි   ඇඳ  සිටි ඇඳුම් උනා දමා  නිරුවතින් නාන තටාකයට පැන්නාය .  

ඇලෙන්ඩිගේ තේරුමක් නැති වැඩ ගැන දන්නා නීෂා දෑත දෙපසට ගසා දමා හුන් තැනින් නැගිට්ටාය. සිය මිතුරියන්ගේ සිනා හඩත් , කෑ ගැසීමත් නිසා ඇලෙන්ඩි කී දෙය ගැන කල්පනා කිරීමට ඇයට අවකාශයක් නොවීය. දහවලේ රශ්මිය කෙරෙන් පැනයාම වඩා වැදගත් වූ හෙයින් නීෂා ද වතුරට පැන සිය මිතුරියන් වෙත පිහිනා ගියාය. 

පෙරදා උදෑසන කතා කරගත් පරිදි මිතුරියන් සමග මේසේ පිහිනීමට යෑම ඔවුන් දෙදෙනා පුරුද්දක් ලෙස කරන ලදී. ස්භාවික ලවණ සහ රසායනික මුලද්‍රව්‍ය මිශ්‍රිත උණුසුම් ජලයෙහි නෑම සිය රූප සොබාව වැඩි කරගැනීමට හේතු වන බව පෙරදිග රාජ්‍යයේ තරුණියන්ගේ විශ්වාසය විය. සාගරයේ කොටසක් පුරවා සාදා තිබුණු කෘතීම බිමක වූ මෙම තටාකය, කුඩා වන රොදකින් වටවූ නිස්කලංක පරිසරයක විය. අවසරලත් පුද්ගලයින්ට පමණක් ඇතුළුවීමට හැකි ආරක්‍ෂිත ගේට්ටුවකින් ඇතුළු විය යුතු නිසා පෞද්ගලිකත්වය ආරක්ෂා වූ අතර ගැහැණු පිරිමි භේදයකින් තොරව කැමති කෙනෙකුට පැමිණිය හැකිවිය. නමුත් නීෂා සහ ඇලෙන්ඩිගේ රාජකීය සම්බන්ද කම් නිසා එදින පැමිණ සිටියේ ඔවුන් දෙදෙනාගේ මිතුරියන් පමණි. 

සිනා සෙමින් විහිළු තහළු කරගනිමින් විනෝද වූ ඔවුන්ගේ සතුට ක්ෂණයකින් අතුරුදහන් වුයේ දිය යටට කිමිදී ගිය ඇලෙන්ඩි නැවත මතුපිටට නොපැමිණීමත් සමගය. 

“කෝ ඇලෙන්ඩි ? ඇය නැති බව දැන කලබල වූ තරුණියෝ කෑ ගසන්නට විය. නීෂා වහා ගොඩට පිහිනා ගොස් සිය සළුව සිරුර වටා දවටා ගනිමින් සිය පියාට කතා කලාය..

“මොකක් ? දියේ ගිලිලා අතුරුදහන් වුණා? හොඳට බැලුවද යටට ගිහින්? මම හිතන්නේ යටින්ම පිනගෙන ගිහිල්ල කොහෙන් හරි ගොඩට ඇවිල්ල ඇති… ඔයාලව බය කරන්න. 

නෑ තාත්තා නෑ… යුරිසි කිව්වා යටින් බුබුළු වගයක් එනවා දැක්කා… හැබැයි එයා ඒක ගණන් ගත්තේ නැහැ කියල… අනේ තාත්තා ඉක්මනට මොනවා හරි කරන්න.

රජුගේ අණින් සෙබල බලඇණියක් සහ රොබෝ සහයකන් අදාළ ස්ථානය සහ අවට පරික්ෂා කිරීමට යැවුණු අතර, දිය යටින් අතුරුදහන් වීම සැලවූ වහාම රජුට සිහිවුයේ එක දෙයකි. මාළිගාව සහ ඒ අවට සැලැස්ම පිළිබඳව මනා අවබෝධයක් තිබුණු ඔහුට බොහෝ කලකට පෙර අමතක කර දැමු උමං පද්ධතිය සිහිවිය. 

රජුට ඇතිවුයේ  ඇයි? සහ කවුද? යන ප්‍රශ්න පමණි.



5 comments:

  1. Replies
    1. ++++ විතරක් නැතුව අර නිදි වගේ ------ ත් ගහමු නේද... නැත්නම් අපි කොහොමද දියුණු වෙන්නේ .. හෙහ් හෙහ්

      Delete
  2. පැතුම්, දවස් තුනකට කලින් මේක කියෙව්වේ. කමෙන්ට් එකක් නොදා පහුගිය ටිකේම ඇවිත් බැලුවා. අනෙක් අයට කොහොමද දැනෙන්නේ කියලා. ම්හු!
    Pra Jay මහත්තයා නම් එතුමාට සුපුරුදු ක්‍රමේට කමෙන්ට් එකක් දාලා තියෙනවා. එච්චරයි.
    ඉතින් මගේ අවංක හැඟීම් ලියනවා. තරහ වෙන්න එපා. මට ඔයාගේ කතාව වැදුනේ නැහැ, මහත්තයෝ.
    මෙහෙමත් හිතෙනවා. කතන්දර දහයක විතර දේවල් එකකින් කියන්න යනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිදි, තියෙන අඩුපාඩු කියන එක මට මාර විදියට වටිනවා.

      කීප දෙනෙක් ම කලින් කොටස් වලදී ඔය කතාව කිව්වා. මට තාම ඒ අවුල හරියට හදා ගන්න විදියක් හිතා ගන්න බැරි වෙලා තියෙන්නේ.

      මම මේක එක චරිතයක් වටා නැතුව සිද්දියක් වටා ගොඩ නැගෙන්න තමා ලියන්න හදන්නේ. ප්‍රධාන චරිතේ තවම හැදෙමින් යනවා කියලයි මම හිතාගෙන ලියන්නේ.

      කතන්දර ගොඩක් තියෙනවා කියන කතාව හරි. මම උත්සාහ කරන්නේ ඒ කතන්දර ටික ඔක්කොම එක සිද්දියකට එකතු කරන්න.

      මේ මම ලියන පලවෙනි දිග කතාව. වරදින්න සෑහෙන ඉඩ තියෙනවා.

      කොහොමත් මේක ෆැන්ටසි කතාවක් නිසා දුරස්ථ ගතියක් දැනෙනවා ඇති කියල මට හිතෙනවා.

      හැම කොටසම බලල දැනෙන දේ කියන්න. කිසිම අවුලක් නැහැ. අඩුපාඩු කියන්න කෙනෙක් සිටීම තමා වැදගත්ම දේ ..



      Delete
    2. කියෙව්වෙ දැන්. අවුලක් නෑ. හතරත් කියවලම කමෙන්ට් එකක් දාන්නං.

      Delete