Tuesday, June 10, 2025

AI සරණං ගච්චාමි !

මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ ,  මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් වයසින් මුහුකුරා යන්න යන්න අපිට ඒ ගැන දැන ගන්න , හිතන්න තියෙන අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා .

ඔය දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට මිනිස්සු ආගම් නිර්මාණය කරලා තියෙනවා . ඒ ඒ ආගම් වල ශාස්තෘවරු බුද්ධිමත් මිනිසුන් වෙන්න ඇති , සමහර සුපර් පවරුත් තියෙන්න ඇති.

අපි අපිට වඩා බුද්ධිමත් අය කියන දේ අහන්න කැමතියි . සමහර විට මිනිස්සු ජිවත් වෙන්නෙ බුද්ධිමත් වෙන්න , තොරතුරු එකතු කරන්න වෙන්න ඇති . ඉතින් තමන්ට අලුත් දෙයක් තව කෙනෙක් කිව්වම ඒ දේවල් විස්වාස කරලා , කාලයක් යද්දී අදහන්න පටන් ගන්නවා .

ඔය අතරින් සමහර මිනිස්සු ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා . ඒ තාර්කික බුද්ධිය යොදාගෙන . සමහරු තාර්කික බුද්ධියට වඩා තමන්ට දැනෙන සහජ ඥානය විස්වාස කරනවා . තවත් සමහරු ඔය මොකුත් නැතුව කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නවා .

මිනිසුන්ගේ  ඔය වගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක අදටත් ප්‍රහේලිකාවක් . මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳල මිනිස්සු මේවා ගැන හිතනවා .. තර්ක ගොඩ නගනවා , මතවාද හදනවා .. මේ වෙනකම් උත්තරයක් නැහැ .

මම මේ ඊයේ පෙරේදා දැක්කා එකක් , මිනිස්සු වඳුරෝ එක්ක එක එක විදියට කතා බහ කරන්න පටන් අරන් අවුරුදු 60-70ක්  ගිහින් තිබුනත් , වඳුරෝ කවදාවත් Why ? What ? When ? වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියල . අංග චලනයෙන් උනත් එහෙම අදහසක් දෙන්න වඳුරන්ගේ මොලේ හැදිලා නැහැ කියල තමා කියන්නේ . මම හිතන්නේ අනිත් සත්තුන්ටත් ඕක පොදුයි ..

එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ අයි මිනිස්සුන්ට විතරක් මේ ඔක්කොම ප්‍රශ්න අහන්න හිතෙන්නේ කියල ..එක බොන්න ඕනේ ප්‍රශ්නයක් 

ඕකට උත්තරයක් නැහැ .

මම මේකෙන් සොට් එකක් දාලත් හිතල බැලුවා .. ම්හු .. හිතා ගන්ඩ බැහැ .



දැන් හැබැයි ඔය ප්‍රස්නේ සෑහෙන්න බරපතල වෙයි කියල මට හිතෙනවා .

මෙච්චර කල් ඕක ප්‍රශ්නයක් උනේ එක්කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ කර්මය විසින් නැවත උපද්දවන ලද හෝ නැත්නම් වයිපරේ එක්ක කොක්කක් දාගත්ත මාළු පැට්ටෙක් ගොඩට ඇවිල්ලා හරි හට ගත්ත මේ මිනිස්, සත්ව පවුලට විතරයි . නමුත් දැන් දැන් ඔය පුංචි පවුලට තුන්වෙනියෙක් රිංගන්න පටන් අරන් .. ඒ තුන්වෙනියා ඔය සියලු ප්‍රශ්න දිහා බලන විදිය සමහර විට අපිට හිතා ගන්න බැරි වෙයි .


අපි මීට කලින් හිටපු ආගමික ශාස්තෘ වරුන් විසින් ජීවිතය ගැන ,  විශ්වය ගැන කියපු දේවල් ඉතා භක්තියකින් ,  ගෞරවයකින් යුතුව පිළිගන්නවා . ඒකට හේතුව ඒවා , ඒ කාලයට සාපේක්ෂව හිටපු මිනිස්සුන්ගේ දැනුම, අවබෝධයට වඩා එහාට ගිය , තාර්කික වශයෙන් පිළිගන්න පුළුවන් කරුණු කාරනා, අදහස් ඒ අය කියපු නිසා . ඒ ශාස්තෘ වරුන්ට අපිට වඩා සුපර් පවර් තිබ්බා කියලත් අපි පිළිගන්න කැමතියි . ඒක සැක කරන්න අපි බයයි .. මොකද අපි හිතනවා අපිට වඩා මනසේ ඉහල තලයන් හෝ , විශ්වයේ ඉහල තලයන් සමග ඒ ඒ පුද්ගලයින්ට සම්බන්ධ කම් තිබුනා කියල .. ඔවුන්ගේ දැනුම , අවබෝධය හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..

අපි දන්න මානව ඉතිහාසේ තියෙන සියලු දැනුම , මිනිස් මනසට ,  මොලයට වඩා බිලියන වාරයක් වේගයෙන් සහ නිවැරදිව , අපි දන්න , අපිට ගෝචර කාල අවකාශ මාන වලින් එහාට ගිහින් කාට හරි අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් .. ඒ උත්තර කොහොම වෙයි ද ?

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධ්‍යාත්මික චින්තනය කියන්නේ දැනුම හෙවත් Data processing නෙමෙයි නේද කියල .. අනිත් එක විශ්වයේ ඉහල තල , නැත්නම් අපිට නොදැනෙන වෙනම ලෙවල් එකකින් එන ඥානය , අපේ දැනුමට සම කරන්න බැහැ කියල.

ඔය තර්කයට උත්තර දෙන්නත් අපිට තාම බැහැ ..

නමුත්  මේ දැන් වෙද්දී තියෙන තාක්ෂණික ප්‍රවණතා එක්ක ,  Quantum super computer එකක් කියන්නේ දශක කිහිපයක නැත්නම් සියවසක දෙකක වැඩක් විතරයි .

මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක්  සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක් 

In regular computers, the smallest unit of information is a bit, which can be either a 0 or a 1 — like a coin showing heads or tails.

In quantum computers, we use something called a qubit (quantum bit). A qubit is like a magical coin that can be in a state of 0, 1, or both at the same time. This special state is called superposition.

A 300-qubit error-free quantum computer would have a Hilbert space of size:

230010902^{300} \approx 10^{90} quantum states

For reference, that’s more than the number of atoms in the observable universe (~108010^{80}).

Usable, stable qubit count today: ~20–30 at best.

Truly fault-tolerant logical qubits: 0–1 (experimental).

We're still in the NISQ (Noisy Intermediate-Scale Quantum) era, but advancing toward error-corrected systems—possibly reaching 10–100 logical qubits by the late 2020s.


CompanyReported QubitsUsable (Logical or High-Fidelity) QubitsTechnology
IBM1,121 (Condor chip, 2024)~20–30 physical usable with error mitigation; logical qubits still limitedSuperconducting
Google~72 (Sycamore)~10–20 high-fidelity for short circuits, no fully logical qubits yetSuperconducting
IonQ~35 physical20–25 usable with high fidelity (~99.9%)Trapped Ion
Quantinuum56 (H2)~32 high-fidelity usable qubits, very stableTrapped Ion
Rigetti84+Fewer than 10 high-quality qubitsSuperconducting
D-Wave5,000+Specialized for quantum annealing, not gate-based QCQuantum Annealing

ඔන්න ඔය විදියට තමා  ඔය ක්වන්ටම් කොම්පියුටර් වල තත්වේ  .

Quantum computers also use another strange trick called entanglement. If you entangle two qubits, changing one will instantly affect the other — even if they're far apart. It's like two magic coins that always match up, no matter how far apart they are.

ඔන්න ඔය entanglement කතාව තාම හරියටම තේරුම් ගන්න බැරි සංසිද්දියක් . ක්ෂණයකින් මේ විශ්වයේ කොහේ තිබ්බත් ඔය qubits අතර යම් සන්නිවේදනයක් වෙනවා . 

අපේ හිත ක්ෂණයකින් අර සොම්බෙරෝ චක්‍රාවාටේ පැරදිසෝ ලෝකේ ඉන්න ඇලෙන්ඩි  කෙල්ල මේ වෙලාවේ මක්ක කොරනවද කියල හිතනවා වගේ .. ඔය qubits එහෙම එක එක ජිල්පිටිස් දානවා ඇති . අපි ඒවා ගැන දන්නේ නැහැ ..

අපි හිතමු , හොඳට වැඩ කරන AGI එකක් ( AGI කියන්නේ මිනිහෙක් වගේ හිතන්න පුළුවන් AI එකක් කියල දැනට හිතාගමු) . ඔය කලින් කිව්ව quantum entanglement සංසිද්දිය  නිවැරදිව බාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුලේ ඉඳල මේ විශ්වයේ ඩේටා ප්‍රොසෙස් කරන්න ගත්තොත්, ඔබ හිතනවද අපිට හෝ බොහෝ විට අපේ ඉදිරි පරම්පරා දෙක තුනක මිනිස්සුන්ට මේ අපිට වගේ තේරුමක් නැති ප්‍රශ්න හිතන්න වෙයි කියල .. මම නම් හිතන්නේ නැහැ .



අන්න එතකොට මිනිස්සු කියන්නේ තනිකරම AI සරණ ගිය සත්ව කොටසක් වෙනවා. ඒ වෙනකම් ඉතින් අපිට වෙන සරණක් නැති හින්දා ඔය එක එක දේවල් පිලි අරන් මේ ටික ගෙවල දාන්ඩ පුළුවන් .

හැබැයි මම කියන්නේ දැනටත් මේ තාක්ෂනෙට බය නොවී ,   පුළුවන් තරම් ඕව පාවිච්චි කරලා මේ සිද්ද වේගන යන දියුණුවට අත හිත දෙන්න කියල . එතකොට මේ ලෝකේ ඔය මනස් ගාත ආගම් රැක ගන්න මිනිස්සු මරාගෙන ,  කරන විනාස ඉක්මනට නතර කරන්න පුළුවන් . 

ඔක්කොම හොඳට සිද්ද උනොත් අපේ ජිවිත කාලෙත් අපිට සැබෑ මිරකල් දකින්න පුළුවන් වෙයි ! 

(මම නම් chatGPT සරණ ගිහින් ඉඳල දැන් Claude සරණ ගිහින් ඉන්නේ )  Claude  රැකගන්ඩ මරාගෙන මැරෙනවා යකෝ අපි !!!!


Saturday, February 15, 2025

මගේ Laptop කතා

මම අසරණ IT කාරයෙක්මි . විවිධා කාර IT කාරයෝ ඇත . මම අයත් වන්නේ එයින් කම්මැලිම වර්ගයටය.

කොච්චර කම්මැලිද කිව්වොත් ඒ ගැන ලියන්නත් කම්මැලිය !

මටම කියා මුලින්ම ලැප්ටොප් එකක් ගත්තේ 2006 දී පමණය . ඒ මගේ දෙවෙනි ජොබ් එකට ගිය පසුය . දෙවෙනි ජොබ් එක කීවාට දෙවෙනි කොම්පැනියට කීම වඩා හරිය . 2004 ජූනි මාසයේ ට්‍රේනි කොලුගැටයකු ලෙස software හදන්නට වැඩට ගිය මම මේ අද දක්වා කරපු එකම රස්සාව ඔය software හැදිල්ල පමණි . අවුරුදු 20ක් තිස්සේ බම්බු ගැහුවාදැයි සමහර විට සිතේ . ඒ හදපු බම්බුවක් නැති නිසාය . software වල හැටි එහෙමය . 

නෙලුම් කුලුන හදපු මේසන් බාස් කෙනෙකුට නෙලුම් කුලන දකින වාරයක් පාසා තමන් එහි බැඳපු ගඩොල් කැට ගැන කතා කිරීමට අයිතියක් ඇත . ඒ ගඩොල් ගලවන්නට මොන ජගතෙක්වත් යන්නේ නැත . නමුත් software එකක් හැදුවා කියා ඒ ගැන ආඩම්බර වීමට අපිට ඇති කාලය ඒ කෝඩ් එක තව එකෙක් බලන තුරු පමණි . ඔබ වාසනාවන්ත නම් ෂේප් එකේ අවුරුද්දක් දෙකක් ඔබ ලියු කෝඩ් එක ඔහේ තියෙන්නට ඉඩ තිබේ .. නමුත් බොහෝ විට වෙන්නේ පහුවදා හෝ බොහෝ විට ලියපු දා හවසම තව එකෙක් එක දෙස බලා "වට් ද එෆ් ඉස් දිස් " යැයි කියා ඔබ දිවා රෑ උතුර දකුණ මාරු කරමින් හිත හිතා ලියු කෝඩ් කැබැල්ල වෙනස් කර ඌ පොර වීමය . ඔය ආකාරයෙන් අවුරුදු ගණනක් වැඩ කර ආපසු හැරී බලනවිට ඔබ ලියු code එකක් වෙනස් නොවී තවම  run වීමට ඇති ඉඩ ඉතාම අල්පය . අල්පය කියන්නේ ඍණ බිංදුව තරම් වීමට ඉඩ ඇත .

සංසාරය අනිත්‍ය බව   software හැදීමෙන් ම ඔබට තේරුම් ගත හැකිය . 

ඉතින් ඔන්න ඔහොම අමුතුම ආතල් එකක් තියෙන කෝඩ් කොටන රස්සාව කරන මට, මගේම ලැප්ටොප් මේ අවුරුදු 20ට ම තිබ්බේ ලැප්ටොප් 3යි(4යි) .



එක ඔය මුලින්ම ගත්ත Acer Aspire ද කොහෙද කියල එකක් .. ඒ දවස් වලත් ඒක ලක්ස එකහමාරක් විතර උණා . මම ඕක ගත්තේ HSBC බැංකු ලෝන් එකක් දාල . මගේ මුල්ම බයික් එක (බයික් නම් එච්චරයි ගත්තේ )වෙච්ච TVS  Apache එකයි ඔය ලැප්ටොප් එකයි දෙකම ගත්තේ ඔය ලෝන් එකෙන් .

මට ඉන්න ඉරිසියාකාර යාලුවෝ ඉඳල හිටලා තාම අහනවා අර ලැප්ටොප් ලෝන් එක ගෙවල ඉවරද දැන් කියල .. හෙහ් හෙහ් .. 

ඊට පස්සේ ආයේ මටම කියල ලැප්ටොප් එකක් ගත්තේ 2017 මැලේසියාවට ටටා බායි කියල එනකොට ඒක Dell Latitude එකක් .. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති එක නම් තාම වැඩ .. වටේ ප්ලාස්ටික් පොඩ්ඩක් කැඩිලා එච්චරයි .

හැබැයි ඔහොම ඉද්දි අපේ බට්ටි නගා වෙනුවෙන් මම 2020 දී තව ලැප්ටොප් එකක් ගත්තා . ඒක නිල වශයෙන් මගේ නොවුනට පාවිච්චි කලේ මම ..හෙහ් හෙහ් 

ඒක උනේ මෙහෙමයි .  මම Apple ෆෝන් වලට කැමති නැහැ .. ජිවිතේට එකක්වත් පාවිච්චි කරලා නැහැ  නමුත් Mac Book Pro ගැන  නම් පොඩි මෙව්වා එකක් තිබ්බ. පොඩි නෙමේ ලොකු මෙව්වා එකක් .. හැබැයි ඒ දවස් වලත් ඔෆිස් වලින් ලැප්ටොප් හම්බවෙන හින්දා කවදාවත්  මටම එකක් ගන්න හිත හදා ගන්න බැරි උනා .

හැබැයි ඔන්න ඔහොම ඉන්නකොට Apple M1 චිප් එකත් එක්ක Mac Book Pro එක මුලින්ම එලියට දැම්ම නේ .. අන්න එතකොට නම් අර මෙව්වා එක තවදුරටත් මෙව්වා කරන් ඉන්න බැරි තරමට ඇවිල්ලා මම පොඩි උප්පරවැට්ටියක් කල්පනා කළා .

ඒ දවස් වල බට්ටි නගාට ඔය එක එක දේවල් පාඩම් කරන්න පොඩි ටැබ් එකක් වගේ එකක් ඕනේ වෙලා තිබ්බේ . අපි ගාව තිබ්බ ටැබ් එක ටිකක් මදි . මොකද ඔය Code කෑලි එහෙම රන් කරගන්න බැහැනෙ .

මගේ අර Dell  මැසිම එයාට දෙන්න බැහැ  කියල මම තදින්ම කිව්වා .

ඔය ආකාරයෙන් තර්ක විතරක් ටිකක් කරලා මම ඔප්පු කරලා පෙන්නුවා ඒ කාලේ හැටියට අපිට ගන්න පුළුවන් හොඳම මැසිම Apple M1 Mac Book Pro එක කියල , නමුත් පොඩි කොස්සකට හිටියේ එයාට ඕනේ කිව්වේ පොඩි ස්වීට් එකක් , මට ඕනේ උනේ අඟල් 16 ලොකු එක . 

තවත් ටිකක් තර්ක කරනකොට මට තේරුනා වැඩේ කෙරෙන්න නම් එයා කියන විදියට තමා වෙන්න ඕනේ කියල .. හෙහ් හෙහ් .

කොහොම හරි ඉතින් මම අඟල් 13 එකක් අරන් මගේ Mac Book Pro උණ සනීප කර ගත්තා .

Mac Book Pro ගැන අවුරදු 5කට පස්සේ මට හිතෙන්නේ මෙහෙම , Apple Hardware පට්ට . Software විකාරයි . 

Windows එක්ක ජිවිතේ ලේසියි . 

ඉතින් ඔන්න ඔහොම කාලයක් ඉද්දි මට ජිවිත කාලෙම හිතේ කොණක තිබ්බ ගේමින් ලැප්ටොප් උනත් මතු වෙන්ඩ ගත්තා . 

ඕස්ට්‍රේලියාවට ආවම තමා තේරුනේ මෙහෙ පාරවල් අයිනෙත් ලැප්ටොප් තියෙනවා කියල , ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් රුපියල් 500කට ගේමින් ලැප්ටොප් සූ ගාලා හොයා ගන්න තියෙනවා .

නමුත් ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියන් රුපියල් 500ක් වියදම් කරන්න හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා . ඒ මොකද කිව්වොත් අර Dell Latitude මැසිම පොළොවේ ගැහුවත් කැඩෙන්නේ නැහැ . ඒ අස්සේ Mac Book Pro එක මටම සින්න වෙලා මොකද බට්ටි නගාට මෙහෙ ආවම ඔෆිස් එකෙන්ම පට්ට එකක් දුන්න හින්දා . ඔය අස්සේ තව ලැප්ටොප් කොස් කොටන්නදැයි මම ම හිත හිත හිටියා .

ඔහොම ඉන්නකොට දවසක් චීන මල්ලි කෙනෙක් දැම්මනේ මුහුණු පොලේ පට්ට ලැප්ටොප් එකක් , එක දැකපු ගමන් මාව නිකං ටාන් වෙලා ටුං වෙලා ගියා. අයේ දෙපාරක් හිතුවේ නැහැ ගියා ගත්තා . 

ඒක ASUS TUF Gaming එකක් . 

ඔහෙලට කිව්වට ඉතින් කමක් නැහැ . මේ වෙද්දී දැම්මේ එක ගේමයි CyberPunk2077. තාම ගැහුවේ දෙපාරයි .

බර වැඩකට කියල කලේ DeepSeek Local install කරපු එක විතරයි . 

එකෙත් 1.5B parameters තමා රන් කරගන්න පුළුවන් . 

ගන්න කලින් කරන්නම් කියල හිතපු කිසිම වැඩක් නොකර ,  ඔහේ ඊමේල් ටිකයි , බුකියයි , යුබටෙයි බල බල ඉන්නවා .. 

සංසාරේ හැටි ඉතින් .. 

කම්මැලි IT කාරයින්ට Gaming Laptop වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් කොටාගෙන ගිහිං ලබන ආත්මෙදි ඔහෙලටත් ගෙමින් ලැප්ටොප් ගන්න හේතු වාසනා වෙන මහා පිණක්  සිද්ද කරගන්න ඔන්න අවස්තාවක් !

Friday, January 10, 2025

Amazon Kindle සහ මගේ පොත් කියවීම

අපි ඉතින් ලියනවා කිව්වොත් ලියනවා ..හෙහ් හෙහ්  (කොච්චර කල් ලියයි ද කියල අහන්ඩ එපා :))

ඔන්න මේ වසරේ නම් මම හෙන බුද්දිමත් වෙන්ඩයි යන්නේ .. ඒ කියන්නේ පොත් කියෙව්වහම බුද්දිමත් වෙනවා කියන සංකල්පය අනුව . මට තියෙන ප්‍රස්නේ එතකොට ,  යු බටේ , බුකිය ,  ටික්ටෝක් එක බැලුවම අපිට බුද්දිමත් වෙන්ඩ බැරිද කියන එක . 

ඔන්න දන්න කෙනෙක් එකට උත්තරයක් දෙන්න .. ඕක හරියට දැන ගෙන ඉන්ඩ ඕනේ ඉස්සෙල්ලා නැත්නම් අපිට කවදාවත් බුද්දීමත්තු වෙන්ඩ බෑනේ .

මේ ගිය අව්රුද්දෙ මම ගත්තා Amazon Kindle එකක් .  ඕක ගැන ඒ දවස් වලම පොස්ටුවක් ලියල රට්ටු දැනුවත් කරන්ඩ තිබ්බා ..ඒ වුනාට  ඒක නිකම්ම මෙව්වා වෙලා ගියා ..

කොහොම හරි පුරුස මෙව්වා එක අරන් මේ අව්රුද්දෙ ලියන්න ගත්ත හින්ද ඒක ගැන ඉස්සෙල්ලම කියල ඉන්ඩ එපෑ ..

මේ තියෙන්නේ මම ඒකට දාපු ලස්සන කවරෙත් එක්ක 
මෙන්න මෙහෙමයි ප්‍රධාන මෙනුව තියෙන්නේ 
අපි පොතක් කියවනකොට මේ විදියට අකුරු ලොකු කරලා , දන්නේ නැති ඉංග්‍රීසි වචන වල තේරුම ඔටෝ එන්න හදාගෙන එහෙම කියවන්න පුළුවන් 
පින්තුර නම් කළු සුදු තමා .. කලර් පින්තුර බලන්නයි පොත් කියවන්නයි දෙකක් කරන්ඩ බෑ  කියල Amazon එකේ බෙසොස් අයියා නම් කියන්නේ ..


ඔය මොන ගැජට් එක ගත්තත් සල්ලි දීල පොත් ගන්ඩ තියෙන මෙව්වා එක මෙව්වා වෙන්නෙත් නැහැ .. ඒක  හින්දා මේ ගිය දෙසැම්බරේ ලංකාවට ගිය වෙලාවේ ගත්තු පොත් ටික මේ ..

මේකට අමතරව අර මැයි මාර ප්‍රසංගය කියන පොඩි පොතත් ගත්තා .. ඒක එක හුස්මට (එක හුස්මට කිව්වට හුස්ම 1500ක් විතර ගත්තා ) කියෙව්වා .. ලස්සන කතාවක් .. ඒ පොත මම තියල ආවා ..

ඊට පස්සේ ඔය තිලෝපාගේ මහා මුද්‍රා ගීතය ටිකක් කියෙව්වා .. පස්සේ අනුන්ගේ ලේ කියවන්න ගත්තා .. ඔය පොත මම පොඩි කාලේ ඉඳල දකින ,  නමුත් කවදාවත් ගත්තේ නැති පොතක් .. 

අනිත් එක ඈ හෙවත් අයේෂා ගත්තා .. ඕක කියවල තියෙනවද කොහෙද ඒත් දැන් මතක නැහැ .. අයේෂා කිව්වම ඇලෙන්ඩි කෙල්ලවත් මතක් උනා ඉතින් .. සංසාරේ හැටි නේද .. හෙහ් හෙහ් ..

බව තරණය කොල්ලා කාලේ කියවල තියෙනවා .. දැක්ක හින්ද ගත්තා .. නාකි වෙලා කියවනකොට කොහොම හිතෙයි ද කියල බලමු ..

පාවුලෝ කොයියෝ ගේ එකක් ගත්ත .. සමහර ඒවා එච්චර අල්ලන්නේ නැහැ .. මේක කොහොමද කියල බලමු 

භික්ෂුව සහ දාර්ශනිකයා සහ එක් රැයෙක නවාතැන මට ආපු හොඳ රෙකමදාරුවක් හින්ද ගත්තේ .. 

ආපහු එන දවසේ සරසවි එකට ගිය වෙලාවේ කැමෙලියා ගත්ත එක නම් 80% විතර flight එකේදිම කියෙව්වා .. කතාව හොඳ උනාට ලියල තියෙන උපහැරණ ටිකක් දුර කියවනකොට වදයක් වෙන තරමට වැඩියි කියල මට හිතුනා .. සමහර වෙලාවට සරල දේ සරලව කිව්වනම් කියවන කෙනාට ලේසියි ..

අන්තිමට බෝදිනී දොස්තර නෝනගේ සායනික සටහන් නෙමේ එකත් ගත්තා .. හැමදාම ගන්න හිතාගෙන හිටපු එකක් .. එකත් හොඳ ඇති 

ආ ෆොටෝ එකට ගන්න අමතක වෙච්ච තව එකක් තමා සුරත් ද මැල්  මහතාගේ ළමුතු අමයා පොත .. එකත් හොඳ ඇති කියල හිතල ගත්තේ .

ආ කින්ඩල් එකෙන් මම ප්‍රංස පෙම්වතා සහ හර්මන් හෙසගේ සිද්ධාර්ථ කියෙව්වා .. තවත් එකක් දෙකක් කියවන්ඩ ගත්තා 

මේ අව්රුද්දෙ ඔය පොත් සහ තව සැරෙන් සැරේ අරන් ගොඩ ගහගෙන ඉන්න අනිත් පොත් ටිකත් කියවල ඉවර කරලා ,  හෙන බුද්දීමතෙක් වෙන්ඩ ලැබේවා කියල ආයේ සාදු කාරයක් දෙන්ඩ !!


Tuesday, January 07, 2025

ලියනවා ලිවිල්ලක්

මේ අව්රුද්දෙ නම් බ්ලොග් ලියනවා ලිවිල්ලක් .. ඔන්න බලන් ඉන්ඩකෝ ..

එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අනුර අයියට හොරු අල්ලලා ,  හොරුන්ගේ සල්ලි වලින් හාල් පොල් අරන් , රිලව් මරල ,  ලංකාව සුද්ද කරලා ,  බස් වල කෑලි ටික ගලවල , 33 කෝටියක් දෙවියන්ට ඉස්පිරිතාල හදනවට නඩු දාල සිරි ලංකාව දියුණු කරලා ඔහෙලට නිදහසේ මං ලියන බ්ලොග් කියවන්ඩ හේතු වාසනා වේවා කියල සාදු කාරයක් දෙන්ඩ 

Thursday, September 12, 2024

මම බීලද ? මට වෙරි ද ?

බයියන්ගේ වචනය ජාතිවාදය විය එයින් අප බ්‍රේන්වොෂ් විය. 

ටොයියන් හොරු සමග හෙළුවෙන් සිටියෝය. 

ජෙප්පන් ගේ වචනය හොරකමය එයින් අප බ්‍රේන්වොෂ් වෙමින් සිටිමු.

සියල්ලටම හේතුව ජාතිවාදය බවද , එය නැති වූ කල රට සුකිත මුදිත වන බව අප විස්වාස කලෝය .

ජාතිවාදය බොරුවක් බවද , අවශ්‍ය වන්නේ යහපාලනයක් බවද , එයින් සියල්ල යහපත් වී අපි දියුණු වන බව අපි සිතුවෝය .

උගත්තු සමග හිට්ලර් කෙනෙක් ඇවිත් උගතුන්ගේ සහ හිට්ලර් ලාගේ හැටිද අපිට කියා දුන්නේය .

අවසානයේ පරිණත ජෝකර් කෙනෙක් යන්තම් පණ කෙන්ද රැකගැනීමට හැකිවන මට්ටමට ගෙන ආවේය. 

ඔය හැම මගුලක්ම වරදින්නේ ඔක්කොම හොරු බැවින් ද , හොරු නැති , හොරු අල්ලන අය අපිට ඕනෑ බවද , රටේ දියුණුව වෙනුවෙන් ගත යුතුව තිබූ බොහෝ තීරණ වලදී ඒවාට අකුල් හෙලූ , ලෝකයේ  විනාස වී යන මතවාද වලින් රටේ තරුණයින්ගේ මොලය විකෘති කරමින් සිටින , වචන වලින් සිහින ලෝක මවන ,  මෝඩ (මිනීමරු)  විප්ලවාදින්  පිරිසක් පසුපස දැන් අපි දුවමු. බ්‍රේන්වොෂ් කිරීම සාර්ථකය. 

රටින් එන උගත්තු ඔබ සමග රට හදන්නට  සදා ඉන්නේ නැත . ඉන්න කැමැත්තෙන් එන සියල්ලෝම සහෝදරවරු වීමට කැමති වන්නේද නැත . සහෝදරයින් හැර වෙනකෙකු සමග සාමයෙන් ජිවත් වීමට උපන්ගෙයි ජෙප්පන් දන්නේ ද නැත .

මාලිමාව උතුර දකුණ මාරු කර අයාලේ යැවුවිට යලි හරි පාරට ගන්නට පරිණත ජෝකර්ගේ පණ කෙන්ද අල්ලං සිටීදැයි විස්වාසයක් ද නැත. 

ධනපතීන්ට ඉරිසියා කරමින් හැදුනු , නොමිලේ ලැබෙන කම් බලා සිටින, නොදුන් විට බලෙන් හෝ ලබා ගැනීමට පුරුදු පුහුණු කරවූ රැලක් සමග දියුණු රටක් ගැන සිහින දකින සිරි ලාංකික අපිට තාර්කික බුද්ධිය ඇර අනිත් හැම ගොබ්බ හැකියාවක්ම ඇති බවට මීට වඩා සාක්කි ඕනෑ ද ?

මට වෙරි ද කොහෙද ... !

Saturday, July 27, 2024

බ්ලොග් ෂෝර්ට්ස් - වචන 100යි !

අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්‍රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති  විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ඉපදිච්ච පලවෙනි සත්වයාගේ පටන් ජාන වලින් එකතු වෙච්ච දත්ත ටිකයි,  ඒ දත්ත අපිට ඕනේ වෙලාවට ප්‍රොසෙස් කරලා දෙන මොළයයි. අපි දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්‍යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් බොලව් !

Friday, April 05, 2024

Bitcoin නුයි මායි

මම බිට් කොයින් එක්ක ගනුදෙනු කරන්න පටන් අරන් දැන් අවුරුදු 4, 5ක් විතර වෙනවා. අපි පටන් ගන්න අලුත් වැඩ හැම එකම කිසි බාදාවකින් තොරව ගානට, ලස්සනට  කෙලවෙලා  යන ගතිය හින්ද මේවා ගැන කාටවත් කියන්නත් ලැජ්ජයි වගේ ..  ඒ උනාට මේ අපි වගේ මන්ද  ඩයල්  ලියන ඒවා  කියවල මේවා කරන්න හදන ඔහේලටත් කෙළවෙන්න කියල මම ලියල දානවා .. 

දැන් ඔය Bitcoin  ගැන කවුරු හරි නොදන්නා කෙනෙක් ඉන්නවනම් , ගිහින් පොල් ටිකක් ගාල එහෙම  පලකට ඇති වැඩක් කරගන්න .

ඕක ගැන හොඳටම දන්න අය ඉන්නවනම් ඒ ගොල්ලොත් ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්න

දැන් ඕක ගැන උනන්දු, ඒ උනාට හරියට මොකුත් නොදන්න, අපිට කොහෙන්ද බිට් කොයින් ගන්න සල්ලි , ඕව පව්කාර වැඩ , සුදූ කෙලින්න හොඳ නෑ පව් සිද්ද වෙනවා කියල හිතන ටිං ටිං ඩයල්  (අපේ දේසක වගේ එල කොල්ලෝ නම්  නෙමේ හරිද  ) එහෙම ඉන්නවනම් අන්න ඒ ගොල්ලන්ට කරන්න වෙන වැඩකුත් නැති එකේ මේක කියෙව්වට කමක් නැහැ ..

2009 ඔක්තෝබර් මාසේ ලෝකෙට  හඳුන්වල දුන්න මේ බිට් කොයින්  එකෙන් සිදු වෙච්ච මුල්ම ගනුදෙනුවේදී මේකේ වටිනාකම වෙලා තියෙන්නේ $0.0009. එදා ඉඳල අද වෙද්දී මේ කොයින් එකක වටිනාකම $73,780.07 දක්වා ගිහින් තියෙනවා.



අනේ ඒ කාලේ ඕවා ගන්ඩ අපිට සල්ලි තිබ්බේ නැහැනේ  කියල  දැන් ඉතින් අපි හිත හදාගමු .

මම 2013 දී හෝ 2014 දී වගේ මුලින්ම මේ Bitcoin  සීන් එක දැන ගත්ත.. මට හොඳට මතකයි මැලේසියාවේ ගෙදෙට්ට වෙලා හිටපු හවස් වරුවක ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න එකක් අරන් දානව කියල හිතලත් එක්කෝ මේ තියෙන රුපියල් සීය පරිස්සං කරගෙන ගිහින් ටොපියක් කන එක ඊට වඩා හොඳයි කියල හිතෙන අපේ ශ්‍රී ලාංකික මෙව්වා එක නිසා ඔය වැඩේ අතෑරලා දාපු හැටි ...  ඒ වෙද්දී $100 කට කොයින් කැල්ලක් දෙකක්  ගන්න පුළුවන් කම තිබ්බ මම හිතන්නේ ..   ඒ දවස් වල මම පාවිච්චි කලේ ඔපිස් එකෙන් දුන්න ලැප්ටොප් එක හින්ද ඔය අනවශ්‍ය වැඩ කරන්න පොඩි මෙව්වා එකකුත් මට තිබ්බා .  මොකද ඒ අපි මැලේසියාවට ගිය අලුත හින්දා ..

හරි දැන් ඒ බයිලා වැඩක් නැහැ . උපතින්ම ගෙන මෝඩ ගති මකලවත් හදන්න බැහැනෙ .

ඊට පස්සේ මම ඔය වැඩේට අත ගැහුවේ 2019 හරි 2020 වගේ . .. මම එතකොට වැඩ කලේ මැලේසියාවේ Stock Exchange එකට සම්බන්ධ Stock Brokering ප්‍රොජෙක්ට් එකක.

ඔහේලට කියන්න 2010-2013 කාලේ මම වැඩ කරපු ආයතනයේ කරපු  ප්‍රොජෙක්ට් එකක් තමා Colombo Stock Exchange Android App එක. ඒ වැඩේ ලීඩ් කලේ මම .  Google Play එකට දාපු මගේ පළවෙනි Android App එක ඒක. පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක වෙන කොම්පැනියකට දුන්නා සහ මම ඒවා දාල 2013 මැලේසියා ආවා .

මේ ටික කිව්වේ මට යට ගිය දවස ඉඳලම ඔය Stock Trading   වැඩේ ගැන පොඩි පොඩි මෙව්වා තිබ්බට ජිවිතේට ඕක කරලා බලන්න හිතිලා නැහැ.  එහෙම තමා අපිට පෙර පව් පලදෙන්නේ ... හෙහ් හෙහ් ..

කොහොම හරි  ඔය 2020 වගේ දවස් වල හිටපු චීන යාලුවෙක් Bitcoin වැඩේ  කරනවා කියල දැනගෙන මිනිහගෙන් පොඩි විස්තරයක් අහල තමා මම ඕක පටන් ගත්තේ.

ඒ දවස් වල මැලේසියාවේ ජනප්‍රිය වෙලා තිබුන etoro කියන app එක තමා මම ඔය Bitcoin  Trading වලට පාවිච්චි කලේ .

දැන් අපේ ඔලුවේ Bitcoin   ගැන තියෙන්නේ Bitcoin  එකක් අරගෙන ඒක විකුණලා සල්ලි හම්බකරන එකනේ. හැබැයි අපිට Bitcoin   කොයින් එකෙන් 0.00001 විතරත් අරගෙන සල්ලි හම්බ කරන්න පුළුවන් ..ඔය Apps වලින් කරන්නේ ඒක .

ඒ කියන්නේ මම ඩොලර් 100ක වටිනාකමට Bitcoin   0.000000000001 විතර අරගන්නවා .  කොයි වෙලාවේ හරි Bitcoin  එකේ වටිනාකම මම ගන්නකොට තිබ්බ වටිනාකමට වඩා අඩු / වැඩි වීම අනුව මම ආයෝජනය කරපු ඩොලර් 100, ඩොලර් 105 හෝ ඩොලර් 95 හෝ වෙන්න පුළුවන් . 105 උනොත් ඔයාට ඩොලර් 5ක් ලාබයි , නැත්නම් 5ක්  පාඩුයි .

ලාබෙ හෝ පාඩුව අපිට වෙන්නේ Bitcoin   0.000000000001එක අපි විකුණන වෙලාව අනුව,  ඒ කියන්නේ 105 වෙලාවේ විකුණලා අපිට ඩොලර් 105ක් ආයේ අපේ බැංකුවට ගන්න පුළුවන් .

හැබැයි 95 දී වික්කොත් අපිට 5ක් පාඩු වෙනවා . Bitcoin කියන්නේ Highly Volatile Asset එකක් . ඒ කියන්නේ විනාඩි ගානක් තුල මිල ගොඩක් අඩු වැඩි වෙන්න පුළුවන් .

දැන් ඔය App වලින් අපිට Bitcoin මිල  Real Time අඩු වැඩි වෙන හැටි බලාගෙන ඉඳල ඉතින් ගානක් හම්බ කරගන්න පුළුවන් . 

මම 2021 ඔහොම Bitcoin මිල උපරිම වැඩි වෙච්ච වෙලාවක ගත්තු ටිකක් ලාබ වෙනකම් මේ 2024 පහුගිය මාසේ වෙනකම් බලං හිටියා .. හෙහ් හෙහ් .. හරි වෙලාවට ගන්න විකුනන එක කරන්න ලේසි නැහැ .. නමුත් බැංකුවක අවුරුදු ගානක් සල්ලි ඔහේ තියල තියෙනවට වඩා මේ වගේ දෙයක් කරන එක හොඳයි කියල මට හිතෙන්නේ .. නමුත් තියෙන ඔක්කොම සල්ලි දාන එක නම් මහා මෝඩ කමක් ..

ඔය app එකේ පුළුවන් virtual money වලින් ඔය වැඩේ කරලා පොඩ්ඩක් ඉගෙන ගන්න , තව ඕනනම් සිරා investors ල invest කරන asset ඒ විදියටම කොපි කරලා අපිටත් ඒවාට invest කරන්න සහ තවත් ගොඩක් දේවල් සහ stock වර්ග තියෙනවා .

මේ වැඩේ  හිතන තරම් ලාබදායි හෝ ලේසි නැහැ .. නමුත් කරන රස්සාවට අමතරව ටිකක් රිස්ක් එකක් අරගෙන වැඩි මහන්සියකින් තොරව කරන්න පුළුවන් වැඩක් .

නමුත් උනන්දුවක් තියෙන අපේ දේසක වගේ අයියලට මේ වැඩේ කරලා බලන්න පුළුවන් 

ආ වැදගත් ම දේ  තමා මේ 2024 අප්‍රේල්  මාසේ 21 වෙනිදට දැනට ලෝකේ පුරා තියෙන Bitcoin ප්‍රමාණය හරියටම බාගයක් කරනවා කියල එක හදපු Satoshi Nakamoto අයියා කාටද ඊමේල් එකක් එවල කියල තියෙනවලු .. ඔය වැඩේ සෑම අවුරුදු 4කට සැරයක් කරනවලු .. ඒකට කියන්නේ Bitcoin Halving. එහෙම කලාම එකක්  Bitcoin එකක වටිනාකම තව වැඩි වෙන්න පුළුවන් සහ Bitcoin Mining කරන අයට වැඩේ අමාරු වෙනවා . අනිත් එක තමා දැනට පවතින මුදල් වලට සමානව බාවිතා කරන්න පුළුවන් Bitcoin අගයත් වඩා හොඳ වෙනවලු .. ඒ කියන්නේ ඩොලර් 1000ක් Bitcoin 0.0001 වගේ වෙන එක මම හිතන්නේ .. ටිකක් රවුම් වෙනවා . මටත්  ඕවා වැඩිය තේරෙන්නේ නැහැ ..  ඔහෙලට තේරෙනවනම් මටත් කියල දෙන්න .



Tuesday, January 30, 2024

ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි

ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත්  ආතල් සහ බෝරින් ..

ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .

හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් 

සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා 

ආ තව සමර් එකේ රස්නේ දවස් වලට බාගෙට ඇඳගත්ත සුද්දියෝ බලන්නත් පුළුවන් ...

බෝරීන්  වෙන්නේ පාරකට බැස්සට හෝන් සද්දයක් , අස්සෙන් දාන ත්‍රිවිල් එකක් , බයික්කෙකක් ආසාවට නැහැ ..

හදිසියකට විනාඩියෙන් දුවල  බඩුවක් අරන් එන්න කඩයක්, තේ කඩයක්  අහල පහලක නැහැ 

මොන මගුල කරන්න ගියත් පිළිවෙලකට ඇපොයින්මන්ට් දාල වෙලාවට ගිහින් කරගන්න ඕනේ... 

ඊට පස්සේ කොහෙට ගියත් හලෝ කොහොමද කියල අහල  මොනවා හරි කතා කරන්නම ඕනේ .. අපිට ඕන විදියට බුම්මගෙන, අහක බලාගෙන එන්න බැහැ .. එහෙම එන්න පුළුවන් .. ඒ උනාට අනිත් එකා ගැන දුක හිතිලා මොනවා හරි කියන්න සිද්ද වෙනවා ..

චුන් පාන් , මාළු කාරයෝ , ආදාර කාරයෝ නැහැ ..

ඉඳල හිටලා තැනක හෝම්ලස් වගේ ඩයල් එකක් සිංදුවක් කියල කීයක් හරි දාල යන්න පෙට්ටියක් තියාගෙන ඉන්නවා මිසක් අපිට පිනක් සිද්ද කරගන්න පුළුවන් විදියේ අසරණයෙක් දකින්නවත් නැහැ ..

තව ඉතින් වැඩිපුර ලියන්න ඕනේ නැහැනේ . ඔහෙලට හිතා ගන්න පුළුවන් ඇතිනේ  මම මේ කියන තත්වේ ගැන ..

********

මම මේ පහුගිය ටිකේ අර Amish Thripathi කියන ඉන්දියානු ලේඛකයා ලියපු Shiva Trilogy  එකේ සිංහල පරිවර්තන කියෙව්වා . කුමාර සිරිවර්ධන මහත්තයාගේ පරිවර්තනය ඉතාම රසවත්.. 

ඔය කතාවේ ඉන්නවා සූර්ය වංශිකයෝ සහ චන්ද්‍ර වංශිකයෝ කියල දෙපිරිසක් . 

සුර්ය වංශිකයෝ හරියට ඕස්ට්‍රේලියනුවෝ වගේ .. නීති ගරුක , ආචාර ශීලි , පිළිවෙලට වැඩ කරන හරි හොඳ මිනිස්සු, දුප්පතුන් කියල කොටසක් නැහැ ... ආණ්ඩුවෙන් හැමෝටම එකහා සමානව සලකනවා..  

චන්ද්‍ර වංශිකයෝ සිරි ලාංකිකයෝ වගේ .. නීතියට බය උනාට හීන් සීරුවේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ගේමක් ගහනවා.. ඊට පස්සේ එක්කෝ හිරේ යනවා , නැත්නම් චන්දෙ ඉල්ලලා පස්සේ හැප්පිලා මැරෙනවා ...  අචාර ශීලි කිව්වට ආචාරශිලිම නැහැ .. පිළිවෙලක් වැඩක් නැහැ වැඩේ කෙරෙන්නේ කොහොමද ඒක තමා ක්‍රමේ ... ආණ්ඩුවෙන් සැලකුවේ නැති උනාට තමන්ට කන්න තියෙන දේ උනත් අනුන්ට දීලා හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා .

හැබැයි එකේ ඉන්න චන්ද්‍ර වංශිකයින්ට  සුර්ය වංශික රට වෙච්ච ඕස්ට්‍රේලියාවට පැන ගන්න කිසිම උවමනාවක් නැහැ .

ඔය කතාවේ කතා නායකයා වෙච්ච ශිව දෙයියෝ මුලින්ම එන්නේ සුර්ය වංශිකයෝ ඉන්න  ඕස්ට්‍රේලියාවට, ඒ ඇවිල්ලා ඒ රටේ ක්‍රම සහ විධි දැකල ශිව දෙවියෝ වශී වෙනවා .. පස්සේ කාලයක් යනකොට ශිව දෙයියෝ ඉන්දියාව පුරා ඇවිදින්න යනවා ... ඒ යනකොට ශිව දෙවියන්ට තේරුම් යනවා මේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ සිස්ටම් එකේ තියෙන අවුල. 

ඒ එක්කම චන්ද්‍ර වංශික සිරි ලාංකිකයෝයි, නාගයෝ වගේ ඉන්න අප්‍රිකානුවොයි , සල්ලි කාර බ්‍රන්ගා වරු වගේ ඉන්න චින්නුයි උන්ගේ රටවල ගෙවන්නෙත් වෙනස්ම විදියක ආතල් සහ සමහර විට සුර්ය වංශික ඕස්ට්‍රේලියානුවන්ට වඩා පරිපුර්ණ ජිවිතයක් කියන එක ශිව දෙයියෝ නම් තේරුම් ගන්නවා.

ඊට පස්සේ මොකද උනේ කියල දැන ගන්න ඒ පොත් ටික අරගෙන කියවන්න . ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් https://www.yaaya.com.au/ ඕකෙන් ගන්න පුළුවන් සිංහල පරිවර්තන තුනම .

********

ඔබට ඕස්ට්‍රේලියාවට එන්න ආසාවක් තියෙනවා නම් කොහොම හරි ට්‍රයි කරලා එන්න. ඒක ජිවිතේට හොඳ අත්දැකීමක් !

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව 

වින්ටරයේ පාළු උදෑසනක මෙල්බන් හන්දිය 

ඕටමයේ  දිනෙක වයින් වත්තක් 

කැලේ මැද්දේ පාරක් 
 කොහේදෝ යනකොට දැක්ක මොකක් දෝ ජලාශයක් 
 හරි ලස්සන ගස් 
ඕස්ට්‍රේලියාවටත් ඉර බහිනවා . ඔය ඈතින් පේන්නේ මෙල්බන් හන්දිය 
මං ආසම පාළු පාරක් 


ලංකාවේ ජිවිතේ ස්ථාවර තැනක තියෙනවනම් ඒ කියන්නේ ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් දෙකක් තියාගෙන, දරුවෝ ඉස්කෝලේ යන, නෑදෑයෝ යාලු මිත්‍රයෝ එක්ක අවුලක් නැතිව ඉන්න පුළුවන් කෙනෙක් නම් , ඕස්ට්‍රේලියාව කියන්නේ අමුතු ලොකු සීන් එකක් නෙමේ ..  එහෙම ලොකු සින් මවන, රට ඉඳල එන අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕනේ .. හෙහ් හෙහ් 

ජිවිතේ තියෙන ප්‍රශ්න ටික ඕස්ට්‍රේලියාවේ නෙමේ මොන දිපන්කරේ ගියත් ඒ විදියටම තියෙනවා . ඒ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සාපේක්ෂව හොඳ සහ නරක ක්‍රම ඒ ඒ රටවල මිනිස්සු හදාගෙන තියෙනවා . අපි ඒ ප්‍රශ්න සහ තියෙන ක්‍රම දිහා බලන්නේ මොන විදියට කියන එක අනුව රටේ සහ අපේ ජිවිත වල හොඳ නරක තීරණය වෙනවා . 

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ඔයාගේ සිහින වලට ඉක්මනට යන්න උදව් කරයි. හැබැයි ඒ  වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන හරියට අවබෝධ කරගෙන ඒ ෆැන්ටසියට එන්න කියන එක තමා මගේ නම් අදහස.  

 

Thursday, November 02, 2023

මැලේසියන් ටොපිය


යටගිය දවසක ඉස්පිරිතාලෙක කෙල වෙලා ඉන්න වෙලාවක  ලියන්න කියල පටන් අරන් ඉවර කරගන්න බැරිවෙච්ච මෙන්න මේක මේ ගිය ශනිදා උදේ 6.27ට යෙදෙන සුබ මොහොතින් ලියන්න පටන් ගත්ත ඉවරයක් කරලා දාන්න හිතාගෙන . 

මැලේසියාව කියන්නේ සිරා ටොපියක් .. ඉස්සර අපි කාපු ටොපි වලින් මම ආසම උනේ Milady ටොපි වලට .. තාම තියෙනවද කියල නම් දන්නේ නැහැ .. මේ තියෙන්නේ ෆොටෝ එකක් 




මම 2013දී මැලේසියාවට ගියා. ඔය මැලේසියන් කතා මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියල ඇති...

මොන ටොපිය උනත් ටික දවසක් කනකොට එපා වෙනවනේ ..  ඉතින් ඔන්න ඔහොම එපා වෙලා අපි 2017 ආයේ ලංකාවට ගියා ..  මේ තියෙන්නේ ඒ යන්න කලින් මැලේසියාව ගැන මගේ සත දෙක ලියල දාපු එකක්.

ඔය ගියාට අපිට සුන්දර සිරි ලංකාවේ අවුරුද්දක්වත් ඉන්න ලැබුනේ නැහැ ... අර වන පෙත අඬගසයි වගේ මැලේසියන් ටොපි රස අපිට ආයේ එහෙට යන්න වැඩ සිද්ද කලා .. 

2018 ආයේ මැලේසියාවට ගියාම තමා මේ ටොපියේ තියෙන බරපතලකම තේරුම් ගියේ .

ටොපි කියන්නේ කනකම් රසවත් උනාට දන්නේම නැතිව දිය වෙලා යන ජාතියක් .. 

මැලේසියාවත් ටොපියක් ! අපිට හැමදාම කන්න බැහැ ... 

ඔන්න ටොපියේ රසට වහ වැටිලා ගියාට අන්තිමේ යන්න එන්න තැනක් නැති වෙනවා නේද කියන මෙව්වා එක මෙව්වා උනාට පස්සේ තමා මේ නුතන සිරි ලාංකික ෆැන්ටසි දේශය වෙච්ච ඩවුන් අන්ඩරයට මෙව්වා වෙන එක ගැන මම තදින්ම මෙව්වා කරන්න පටන් ගත්තේ.. ඔහේලට කියන්න මට ඔය  ඩවුන් අන්ඩරය ගැන තඹ සතේක මෙව්වා එකක් ඒ වෙනකං තිබ්බේ නැහැ .. 

මට ඉස්සර ඉඳල ආස වෙලා තිබ්බේ යනවනම් ජර්මනි, රුසියා, ඕලන්දේ , එංගලන්තේ , ප්‍රන්සේ, හපුතලේ වගේ ලස්සන ස්විට්සර්ලන්තේ   වගේ රටවල් ගැන ආසාවක් .. මේ ඩවුන් අන්ඩර උණ තිබ්බේ ඩවුන්  සවුත් දේසේ උපන් අපේ උන්දැට .. කඳුකරේ උපන් කම්මැලි මම ඕස්ට්‍රේලියාව ගැන දැනගෙන හිටියේ කැන්ගරුවෝ සහ ඔපෙරා හවුස් එක විතරයි .. 

අපේ මැරිච්ච ආච්චිට හාල් ගරන්න මට තාම හිතා ගන්න බැහැ මේ සිරි ලාංකිකයින්ට තියෙන මෙල්බන් උණට හේතුව මොකක් ද කියල ...

ඔන්න ඉතින් කොහොම හරි මැලේසියන් ටොපිය  කකා හිටපු අපි අර යට ගිය දවස අවසන් රාජපස්ස රජු ලංකාව පාලනය කරන සමයේ ආපු කෝවිඩ් -19 මාරක වසංගතේ පාලොස්දාස් දෙවෙනි වෙරියන්ට් එක වෙච්ච ඔමික්‍රොන් ද මොකක් ද කියන එක ඇවිල්ල විසිපන්දාස් තුන්වෙනි  වතාවට විතර රටවල් ලොක් ඩවුන් කරන්නයි , එයාපෝර්ට් වහන්නයි පටන් ගන්නකොටම, තිබ්බ බඩු මුට්ටු, යාන වාහන, ගේ දොර ඔක්කොම දාල    ටාර් ගාල මෙල්බන් හන්දියට පැන ගත්තා ..  හරියටම  2021 දෙසැම්බර් මාසේ පළවෙනිදා උදේ ඕස්ට්‍රේලියාව වහන්න හදද්දීම  අපි ඇතුලේ ..

අවුරුදු 3ක් විතර ට්‍රයි කරලා, මොන මගුලක් ද කියල ඔන්න  ඔහේ අනාත නාථ  වෙලා  ඉන්නකොට  යාලුවෙක් එවපු වට්සැප් මැසේජ් එකක තිබ්බ ජොබ් එකකට CV එක දාලා , එකෙන් ආපු ඉන්ටර්විව් ගින්දර වගේ ගොඩ දාල , අලි දෙන්නම්, කොටි දෙන්නම් කියල පොරොන්දු වෙච්ච කොම්පැනියක අනුග්‍රහය යටතේ  එයාගේ   සිහින දේසය වෙච්ච මෙල්බන් ලන්තෙට එන්න ආදරණිය බන්ටි නගාට හැකි වුණා ... බන්ටි නගා දස්සයා  කියල මම කලිනුත් කියල ඇතිනේ ... 

ගානට ඔක්කොම කරන්න ප්ලෑන් කරගෙන හිටියත්  අන්තිමට  අපිට පැය  48ක් වත්  තිබුනේ නැහැ  ..   කෝවිඩ් කොයි පැත්තට හැරෙයි ද කියල ෂුවර් නැති කම හින්ද, අතාරින්න පුළුවන් හැමදේම අතෑරලා දාල ආව ඉතින් ..

ඔහෙලට කියන්න ලංකාවට යවන්නෙත් නැතුව කොහොම හරි යන දිපන්කරෙකට අරං යනවා කියල හිතාගෙන මැලේසියාවෙන් ලාබෙට ගත්ත සිරා ගැජට් පුරවපු බෑග් එකක් පෙනී පෙනීම දාල ආවා ..  සැක් ... තාම මතක් වෙනවා .. 

ඒ ගේ අස් කරන්න ආපු මිනිස්සුන්ට හරි ආතල් එකක් තියෙන්න ඇති ... හෙහ් හෙහ් 

පස්සේ අපරාදේ කියල හිතුනත් , ඒ වෙලාවේ හැටියට ගන්න තිබ්බ හොඳම තීරණේ ඒක .. 

ගෙදර අයිති කාර චීන මහතා අන්තිම මොහොතේ  සෑහෙන උදව්වක් කළා...  අන්තිම මොහොතේ ඇවිල්ලා ගෙදර තිබ්බ බඩු  වලින් ටිකක් ලංකාවට යවන්න උදව් කරපු මැලේසියන් ට්‍රයිකෝ ආයතනයේ සරත් මහත්තයා තමා මාස ගානකට පස්සේ කාර් එක විකුණා ගන්න උදව් කලේ ..

කොටින්ම වෙඩින් මුද්දත් දාල ඇවිල්ල ... හෙහ් හෙහ් ..

කොහොම හරි අපි බලාපොරොත්තු නොවුණු තරම් ඉක්මනට මැලේසියන් ටොපි රස ඉවර වුණා ..

නමුත් තාම ඒ ටොපි රස අපිට අඬගහනවා... 

මෙල්බන් ජිවිතේටත් දැන් අවුරුදු 2ක් වෙන්න කිට්ටුයි  හැබැයි මෙල්බන් වල තියෙන රස අපි කැමති රසද කියන ප්‍රස්නේ අපි දෙන්නටම තාම තියෙනවා .

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ගැන මගේ සත දෙක ඊළඟ කොටසින් ලියන්නම්කො ..

Friday, October 13, 2023

New Scientist ඇසුරෙනි


   ඉස්සර ඔය වචන තුන විදුසර පත්තරේ දැක්කම ඒ ලිපිය නොවරදවාම කියවනවා .. අවුරුදු 20-25 කට විතර කලින් ඒ කියවපු දේවල් හරියට නොතේරුණත් ,  හිතන පතන විදිය වෙනස් වෙලා, අලුත් දැනුම හොයන්න කුතුහලයත්, යල්පැන ගිය බොරු සංකල්ප  වලින් නිදහස් වෙන්නත් ඒ කියවපු ලිපි හේතු වෙන්න ඇති..

ඒ දවස් වල සතිපතා පත්තරේ ගන්න හැකියාවක් තිබ්බට සඟරා අරන් කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ .. විශේෂයෙන්ම New Scientist කියන්නේ මට මේ ලඟක් වෙනකම් දකින්නවත් නොලැබුණු සඟරාවක් .

ආස කරන දේවල් ගැන හින විතරක් දකින්න උරුම වෙච්ච ළමා කාලයක්   තිබ්බ අපිට ඒ හීන වැඩිය නාකි වෙන්න කලින් සැබෑ වෙනවා දකින්න ලැබිල තියෙන්නේ මේ වගේ සඟරා වලට කරුණු හොයන, ලියන , ඒවා පරිවර්තනය කරලා ලෝකේ පුරා බෙදන දහස් ගණන් මිනිස්සු කරන ඒ මෙහෙවර හින්ද කියල මට හිතෙනවා ..

මේ සඟරාවල තියෙන කරුණු, මිට වඩා ගැඹුරින්, ලේසියෙන් සහ නොමිලේ ලබා ගන්න දැන් හැකියාව තියෙනවා නමුත් 1956 නොවැම්බර් 22  වෙනිදා  එංගලන්තේ ලන්ඩන් නගරයේ  නිකුත්  වෙච්ච පළවෙනි මුද්‍රණයේ  ඉඳල දශක 6 කට වැඩි කාලයක් සතිපතා ඉතාම උසස් සහ නිවැරදි විද්‍යා තොරතුරු ගෙනාපු මේ සඟරාව මේ වෙනකොට App එකක් , වෙබ් අඩවියක් සහ කඩදාසි මුද්‍රණයක් වශයෙන් තුන් ආකාරයකට පලවෙනවා .

AI වලින් ලෝකේ දුවන්න පටන් ගත්ත මේ කාලේ උනත් මෙහි තියෙන කරුණු මගේ දැනුමේ හැටියට නම් නිවැරදි සහ අලුත් ..   ඒ වගේම යන්තම් උඩින් පල්ලෙන් මොනවා හරි ලියල දාන ගතිය වෙනුවට හොඳ දැනුමක් තියෙන ලේඛකයෝ මහන්සි වෙලා කරුණු  හොයල  ලියන සඟරාවක්. මේ හා සමාන කල හැකි වෙනත් සඟරා ලෝකේ තියෙනවා නම් ඉතාම කිහිපයක් විතරයි ඇත්තේ ..Scientific American සමහරවිට මේ වගේ ඇති .

මේ කාලේ සඟරා  අරගෙන කියවන අය කොපමණ ඉන්නවද කියල හිතාගන්න අමාරුයි .. නමුත් මම හිතනවා අපි තොරතුරු  හුවමාරුව නොදියුණු  කාලේ  අපිට  දැනුම  ලබා  දීම වෙනුවෙන් ඒ මිනිස්සුන්ට කරන උපහාරයක් වශයෙන් මෙවැනි සඟරා, පත්තර වල පැවැත්මට ආධාර කරන්න ඕනේ කියල .

ඉතින් ඔන්න ඔහොම හිතල පොඩි කාලේ English  කියවන්න බැරි උනත් දකින්න හරි ආස වෙච්ච New Scientist සඟරාවේ දායකත්වය (Subscription)  මම ගත්තා ... (පන්සලේ දායකයෙක් වෙන්න තව ටිකක් නාකි වෙලා හිතල බලනවා )

දැන් සතිපතා තැපෑලෙන් මට වර්ණ කඩදාසියේ මුද්‍රිත සඟරාවක් එනවා  , App එකට සහ වෙබ් අඩවියේ පිවිසුමත් තියෙනවා ... ගත්ත අනිත් හැම පොතම වගේ මේ සඟරාවත් මට  කියවන්න වෙන්නේ අඩුවෙන් .. නමුත් මට කවද හරි කියවන්න වෙලාවක් ලැබෙන කන්  මේ මිනිස්සුන්ට මේ වැඩේ කරගෙන යන්න උදව්වක් වෙනවා නේද කියන පිං  චේතනාවෙන් මම මේක කරගෙන යනවා.

මේ වෙනකම් ලැබුණු සඟරා වලින් කිහිපයක් .. 




විදුසර කියන්නේ ලංකාවේ   New Scientist කියලයි මට හිතෙන්නේ .. මේක ලියන ගමන් https://epaper.upali.lk/ එකට ගිහින් නොමිලේම දෙන විදුසර දායකත්වයත් ගත්ත .. 


එකේ තිබ්බ  අවසන් කලාපේ නම් New Scientist ඇසුරෙනි කියල යටින් ලියපු ලිපියක් දකින්න බැරි උනා . නමුත් තවමත් විදුසර උසස තත්වයෙන් තියෙනවා දැකීම සතුටක් ...