Wednesday, April 24, 2019

අනේ අපි...

මුස්ලිම් පල්ලියේ
වෙඩි වදින විට
මුස්ලිම් දෙවියන්
පැමිණියේ නැත

කිතුනු පල්ලිය
දෙදරා යන විට
කිතුනු දෙවියන්
පැමිණියේ නැත

හින්දු කෝවිලට
බුද්ධ පන්සලට
දෙවියන් වඩිනවා
අනේ අපි...


Tuesday, April 23, 2019

නැවත නැගිටිමු !


මේ වෙච්ච දේත් එක්ක හරි ම අවුල් ගතියක් තියෙන්නේ .  වැඩට ආවට වැඩක් කරන්න හිතෙන්නේ නෑ . යුද්ධයක් තිබ්බ රටක ජිවිත කාලෙන් වැඩි හරියක් ගෙවිලා ගිය හින්ද මෙච්චර  කල්  බෝම්බ පුපුරන එක අමුතු දෙයක් විදියට දැනුනේ නෑ . හැබැයි මේ සිද්දියත් එක්ක දැනුන කම්පනය  යුද්ධ කාලෙට වඩා වැඩියි . හරියට පහු ගිය අවුරුදු 10ට  බෝම්බ අමතක වෙලා ගිහින් තිබුනා වගේ . නමුත් මේ සිද්දිය ඒ  හැමදේම ආයෙත් අවුස්සලා ගත්තා .

දන්න  කියන කාටවත් කරදරයක් වෙලා නැති වුනත් මෙච්චර කාලයක් තිස්සේ සිද්ද වුනේ නැති තරමට මහා කනගාටුවක්, හිස් බවක් දැනෙන්නේ . හැම තප්පරේකදිම  මේ ලෝකේ මිනිස්සු මැරෙනවා . තමන්ගේ කෙනෙක් නොවෙන තාක් අපිට ඒවා ගැන සංවේදී  කමක් නෑ ... මේ මිලේච්ඡ  වැඩේ හින්ද මැරුණු මිනිස්සු ගැන දැනෙන දුකට වඩා ඇත්තටම තියෙන්නේ කාලකන්නි දේශපාලකයෝ ගැන කේන්තියක් .  මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් අවංකවම දැනෙන්නේ නෑ ... ඒකට හේතුව ත්‍රස්තවාදීන් කියන්නේ ආගමක් ජාතියක් නැති මිනිස්සු කොටසක් විදියට මම හිතන හින්දා. ඒ මිනිස්සු මේ වැඩේ කරන්න හේතුවත් ඔවුන්ගේ ආගමවත් , ජාතියවත් නිසා නොවේ මේ රටේ පරම්පරා ගානක් හිටපු අමන අසාර්ථක කාලකන්නි දේශපාලකයෝ කරන අතිශය පිළිකුල් සහගත වැඩ නිසා කියලයි මට හිතෙන්නේ . මනුස්සයෙක් ත්‍රස්තවාදියෙක් වෙන්න පෙලබෙන හේතු බොහොමයක් නැති කරන්න රටක් හරි විදියට යනවනම් පුළුවන් කියල මම විස්වාස කරන්නේ .  මිනිස්සු හැමදේම කරන්නේ තමන්ගේ පෞද්ගලික ආසාවන් උවමනාවන් තමන් කැමති පරිදි ඉෂ්ට කර ගන්න . ජාතිය ආගම වෙනස් වුනා කියල නෑ  අපි හැමෝම දුවන්නේ එකම රේස් එක . කෙනෙක් මරාගෙන මැරෙන්න හිත හදා ගන්නවා කියන දේ නම් මට  තාම තේරුම් ගන්න බෑ .. ඒ අපේ හිත් හැදිලා තියෙන විදිය නිසා වෙන්න ඇති . හැබැයි ඉතින් ඒ මනුස්සයෙක් ඒ තත්වයට පත්වෙන හේතු බොහොමයක් නැති කරන්න හරි හමන් පාලකයෝ ඉන්න රටකට පුළුවන් .  නමුත් අපි දැන් මෝඩ කම් කරලා ඉවරයි .

අවුරුදු 30ක් තිස්සේ අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා .  අපි ඒක  ඉගෙන ගත්තද නැද්ද කියල හිතල බලන්න කාලේ ඇවිල්ල . ආයෙත් අපි කරන්න ඕනේ මුල ඉඳල පාඩම් ඉගෙන ගන්න එකද නැත්නම් ඉගෙන ගත්ත දෙයින් දැන් වත් වැඩක් ගන්න එකද කියල හිතල බලන්න.

මේ ඉන්න හැම දේශපාලකයාගේ හැසිරීම මුල ඉඳල හොදට නිරීක්ෂණය කරලා,  ඔලුවේ තියෙන පරම්පරා ගත අදහස් වලින් බැහැර වෙලා හරි තීරණ ගන්න කාලේ ඇවිල්ල. අපි හිතන සර්ව සම්පුර්න සමාජය එක රැයින්  හැදෙන්නේ නෑ.  හැබැයි හරි හෝ වැරදි ගමන කෙලින් යන්න පුළුවන්, එක මතයක ඉඳල වැඩ කරන මිනිසුන්ව නිවැරදි විදියට තෝර  ගන්න ඕනේ. අවුරුදු ගණන් පල්  කරන එකම පල හෑලි  වලින් මඩ  ගගහ හැමදාම කාලෙයි , රටයි කන ,  සීනි  බෝල තර්ක දදා ලිස්සසලා යන (එහෙම නොයන එවුන් නම් එකෙක්වත් නෑ ..)  මිනිස්සු නැතිව,  ජිවිතේ යම් දෙයක් තමන් වෙනුවෙන් සහ රට වෙනුවෙන්  කරලා තියෙන , විවෘත මනසකින් හැම දෙයක් දිහාම බලන්න පුළුවන්, සුභවාදී ආකල්ප තියෙන අයව අපි තෝර ගන්න ඕනේ. 

අසරණ මුස්ලිම් මිනිහට, දෙමල මිනිහට බැන බැන අපේ අඩු පාඩු , අපේ ගොං කම් වහ ගන්නේ නැතුව, දියණු සමාජයක් , දියුණු ආකල්ප, තෘප්තිමත් ජිවිතයක් ගෙවන්න අවශ්‍යතාවයක් ඇති කරගෙන වැඩ කරන්න ඕනේ. බහුතර බෞද්ධ අපි බුදු දහමේ එන අල්පේච්ච කම අපේ කම්මැලි කම වහගන්න හොඳ මෙවලමක් විදියට පාවිච්චි කරනවා . හැබැයි  අල්පේච්ච කම කියන්නේ ඔබ භෞතිකව අලසව ඉඳල කිසි දෙයක් නොකර සියල්ල අනිත්‍යයි කියල කුම්මැහි  කමට ඉන්න එකට නෙමේ . ඔබට කරන්න පුළුවන් දෙය උපරිම වශයෙන් කරලා , ඒ දෙය තමන්ගේ කියල මනසින් අල්ලගන්නේ නැතිව, ඕනේ කෙනෙක් වෙනුවෙන් දීලා අතැරලා දාන්න පුළුවන් කමට. ඔබ භෞතිකව කරන දේ කියන්නේ ඔබේ හැකියාව, ඔබේ දක්ෂකම, එයින් ලැබෙන දේ කුමක් උනත් එකෙන් සතුටු වෙන්න පුළුවන් කම තමා අල්පේච්ච ජීවිතය, ඔබේ හැකියාව, ඔබේ නිදහස් අදහස්  අකුලාගෙන ජිවත් වෙන එක නෙමෙයි ආගමික ජීවිතය.. ඔබ කුමන ආගමක් ඇදහුවත් , ඔබේ ජාතිය මොකක් උනත් ජාතිය සහ ආගම ඔලුව උඩ  තියාගෙන ඉන්නකම් අපි කාටවත් සැනසීමක් , සහනයක් සහිත යහපත් ජිවිතයක් තියෙන රටක් ලබා ගන්න බෑ ...

අපි හැමෝගෙම හැකියාව, දක්ෂතා ඕනේ වෙනවා මේ රට හදන්න නම් ... (මම ඉන්නේ පිට රට තමා හැබැයි රට ඉන්න අපිත් බොහෝ දේ කරනවා පුළු පුළුවන් හැටියට )

අපි හැමෝම  තුල තාම හෙන ගොබ්බ, නොදියුණු , ගති ලක්ෂණ ඕනේ තරම් තියෙනවා . ඒව ගොඩක් වෙලාවට එලියට එන්නේ ජාතියේ හෝ ආගමේ නාමයෙන්. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් මොලේ ඇතුව කල්පනා කරලා බලන්න මේ ගොබ්බ හැඟීම පස්සෙන් දුවල විනාස වෙනවද නැත්නම් පොඩ්ඩක් වෙනස් විදියට හිතල හැමෝටම සෙතක් වෙන සුබවාදී දෙයක් වෙනුවෙන් වැඩ කරනවද කියල.

මේ මැරිච්ච අසරණ මිනිස්සු වෙනුවෙන් ඔබට මට කරන්න පුළුවන් හොඳම දෙය, හැඟීම් වලට වහල් වෙලා ආයේ මරා ගන්න දඟලන එක නෙමෙයි. පලිගන්න එකත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා කටයුතු කරන එක. ගොබ්බ රැලකට නැවත රට බාරදෙන එක වලක්වන එක.



Thursday, February 21, 2019

මරණය සහ දුක


      කාලෙකට පස්සේ හිත කම්පනය වෙලා ගිය කවියක් ෆේස්බුක් එකේ දැක්ක. ඒ එක්කම පහු ගිය ටිකේ දන්න කියන කිහිප දෙනෙක් ගේ මව් පියන්ගේ මරණ ගැන අහන්න ලැබුණා.  පෙබරවාරි 7 වෙනිදට තාත්ත නැති වෙලා අවුරුදු 17ක් පිරුනා. ඒකත්  එක්ක ඉතින් මේ වෙනකොට මරණය සහ දුක මට දැනෙන්නේ කොහොමද කියල කලපනා කරලා බැලුවා.

කවිය කියවල ඉන්න


පුරුදු පාරේම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
ගොඩක් අය මගෙ පස්සේ එනවා
තනිව මං ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ

කන්ද පා මුල සොහොන හුරු නෑ
දන්නවා මං  මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුර ගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමං මේ බේත් තුණ්ඩුව
අරං පලයන් අම්මගේ

                    ඉරේෂා හේමමාලි



ෆේස්බුක් එකේ ෂෙයාර් වෙච්ච මේ පින්තුරේ සහ කවිය  ඉරේෂා හේමමාලි  කියල කෙනෙක් ලියපු එකක්. ෆොටෝ හිටපු ගමන් නොපෙනන හින්ද කවිය ලියලම දැම්ම 


පොඩි කාලේදී තාත්තා අසනීප වෙනකොට මට හරියට බය හිතුනා. අපේ තාත්තට හතිය සහ සෙම ප්‍රශ්න තිබුනා. සමහර වෙලාවට බීලා වැඩිවෙලා  වැටිලා ඉන්නකොටත් මට හිතුනේ සනීප නෑ කියල... එතකොට මම ගොඩක් පොඩියි. 

තාත්තා නැති වෙනකම්ම මමයි තාත්තයි නිදා ගත්තේ එකට. පොඩි කාලේ තාත්ත අසනීප වෙලා ඇඳේ නිදාගෙන ඉන්න කොට මම තාත්තව බදාගෙන ඉන්නවා. තාත්තා මැරෙයි කියල බයට. මීට අවුරුදු 30කට විතර කලින් අපි හැමෝගෙම වගේ ජිවිත ගෙවුනේ එතරම් වත් පොහොසත් කම් මැද නෙවෙයි නේ... අපිට කියලත් වෙනසක් නෑ... සෑහෙන ගැටළු ගොඩක් මැද්දෙන් කොහොම හරි අම්මයි තාත්තයි එකතු වෙලා ජිවිතේ ගොඩ නැගුවා. සමහර දේවල් කලේ කොහොමද කියල අදටත් හිතා ගන්න බෑ... අම්ම ආණ්ඩුවේ රස්සාවෙන් පැන්ෂන් ගන්නකම්ම ණය ගෙව්වා. මම හිතන්නේ අපි හැමෝගෙම කතාව ඔය වගේ වෙන්න ඇති. 

පොඩි කාලේ මම හිතපු එක දෙයක් මට හොඳට මතකයි. කවද හරි අම්ම හරි තාත්ත හරි මැරෙනවනම් අඩුම තරමේ මට වයස 30-35ක් වත් වුනාට පස්සේ මැරෙන එක කමක් නෑ කියල. මොකද ඊට කලින් මැරුනොත් මට ඒ දුක දරා ගන්න බැරි වෙයි කියන බය මට හැමදාම තිබුනා. 

අපිට ඕනේ විදියට දේවල් ඒ වෙන්නේ නෑ කියන එක ජිවිත කාලෙටම මතක හිටින විදියට උගන්නල හීනෙන් වත් බලාපොරොත්තු නොවෙච්ච විදියට තාත්ත නැති වුනා.

මට තාත්ත නැති වෙච්ච දවසේ දැනිච්ච දුක දැන් දැනෙන්නේ නෑ... මම තාත්ත මැරුණු දවසේ උදේ පාන්දර කොළඹ මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ගාව මහා හයියෙන් කෑ ගහල අඬපු එක නතර වුනේ තාත්තගේ මිනිය උස්සන වෙලාවේදී. මල ගෙදර වැඩ වලට අදාලව කිසි දෙයක් මම කලේ නෑ... අපේ අම්මගේ සහ තාත්තගේ පැත්තේ නෑයෝ හැමෝම එකා වගේ තාත්තට පණ ඇරලා ආදරේ කළා. ඒ තාත්තා ඒ හැමෝගෙම හැම ප්‍රශ්නෙදීම ඕනේ දේකට සපෝර්ට් එකට හිටපු  බල කණුවක් වෙච්ච නිසා. තාත්ත තරුණ කාලේ තදටම දේශපාලනේ කරල බොහෝ අයව ආශ්‍රය කරපු චරිතයක්. බොහෝ දේවල් කරන්න හැකියාව සහ සම්බන්දතා තිබුන. හැබැයි තාත්තා සංවේදී කෙනෙක්, ටක් ගාල ඇස්වලට කඳුළු එන, බඩේ තියෙන දෙයක් හරි අරන් අනුන්ට දෙන ජාතියේ කෙනෙක්. ඒ වගේම ඕනෙම තැනක ඕනේ ලොක්කෙක් ගාව කිසි බයක් නැතිව හිතට එන දේ කෙලින් කියන කෙනක්.  නෑයෝ වගේම ගමේ අයත් එයාට ආදරේ කලේ ඒ නිසා. තාත්තගේ මරණේ  හැමෝටම දැනිච්ච දෙයක් වුනේ ඒකයි. මම අපේ නෑදෑ පරපුරට හැමදාම ආදරේ ඒ හැමෝම එදා වගේම අදත් එක විදියටම අපිත් එක්ක ඉන්න නිසා. තාත්තා ඉන්න කාලේ සහ නෑ කියල ඒ කවුරුවත් වෙනස් වුනේ නෑ. මලගෙදර  වැඩ කොහොම වුනාද කියල මම අදටත් දන්නේ නෑ... ඒ දේවල් හැමදේම කලේ නෑදෑයො සහ ගමේ අය.

පෙට්ටිය උස්සගෙන කනත්තට යද්දී මට දුකක් දැනුනේ නෑ... කනත්තට යන කම් එක විදියට මම පෙට්ටිය අරන් ගියා. භුමිදානේ කරලා ආවට පස්සේ අද වෙනකම් අපි කවුරුවත් ආයේ කනත්තට ගියේ නෑ...

මල ගෙදර වැඩ වලින් පස්සේ තාත්තගේ ඇඳුම්, පාවිච්චි කරපු බඩු හැමදේම එක්කෝ අපි ඔය පරණ ඇඳුම් එකතු කරන අයට දුන්න නැත්නම් විසි කරලා දැම්මා. අම්මයි මමයි ඔය බඩු අස්කරද්දී මම අම්මට කිව්වා අපි මේවා තියා ගමු කියල. අපේ අම්මා ඇහුවේ තාත්ත නැතුව මේවා තියාගෙන මොනවා කරන්නද කියල... ඒ අපේ අම්මගේ හැටි... මම තාත්තගේ ෆොටෝ එකක් මගේ පර්ස් එකේ දාගෙන හිටියා. තරුණ කාලේ ගත්තු කළු සුදු එකක්... කාලයක් යද්දී ඒක පර්ස් එකට ඇලිලා දිය වෙලා මැකිලා යන්න ගත්තා... මම ඒ ෆොටෝ එක ටිකෙන් ටික දියවෙලා මැකිලා යන හැටි බලං හිටියා මිසක් ඒක ආරක්ෂා කරන්න බැලුවේ නෑ... ඒ සමහරවිට අම්මගෙන් මට ලැබිල තියෙන දේ නිසා වෙන්න ඇති...

අපි අවුරුදු පතා තාත්තා වෙනුවෙන් දාන දුන්නා, පන්සලට මල් ආසනයක් හදල පුජා කළා, ඔය වගේ නොයෙක් වැඩ අවුරුදු 12ක් විතර නොකඩවා කළා. පස්සේ එක එක හේතු නිසා අවුරුදු 2-3ක් දානේ නොදුන්නත් පුළුවන් හැමවෙලේම තාත්ත වෙනුවෙන් පිං කම් කළා.

හැමෝගෙම මරණය සහ පිං කම් වැඩ ඔය විදියට වෙනවා ඉතීන්... 

හැබැයි අපිට දැනෙන දුක නැති වෙන්නේ කොහොමද?

කාලය ගත වෙද්දී දුක තුනී වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඇත්තටම දුක නැති වෙන්න පටන් ගන්නේ අපි ඒ මරණය පිළිගත්ත ගමන්. මරණය පිළිගන්න එක ජිවිතේ පරිණත වෙද්දී කරන්න ලේසියි. මම තාත්තගේ මරණය පිළිගත්තේ පෙට්ටිය උස්සගෙන කනත්තට යන අතර මගදී. එකෙන් කියන්නේ නෑ තාත්තා නැති පාළුව, දුක එදායින් පස්සේ නැති  වුනා කියන එක, නමුත් ඒක ප්‍රත්‍යක්ෂයෙන් ම පිලිගත්තට පස්සේ පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ අපිට දුක දැනෙන්නේ තනිකරම අපේ ආත්මාර්ථකාමී ආසාවල් හින්ද.

පන්සල, බණ, පිංකම් දුක යටපත් කරන්න, මග අරින්න, හිත හදා ගන්න උදව් වෙනවා. හැබැයි දුකට හේතුව තේරුම් ගන්න කම් දුක නැති වෙන්නේ නෑ...

මම ඊට පස්සේ ඔය දුක නැති කරන්න හිතාගෙන කරපු දේවල් මේකේ ලිව්වා...

තාත්තා නැති වෙලා කාලේ ගෙවෙද්දී ඇත්තටම තිබුනේ දුකට වඩා හිටියනම් හොඳයි නේද   කියන හැඟීම.  කොහොමත් මරණයක්  වෙලා  අවුරුදු 2-3ක් යනකොට දුක තුනී වෙනවා. ඒක  කාටත් පොදු දෙයක්.  මම තාත්තගේ මරණෙත් එක්ක මේ ගැන පොත පත ගොඩක් කියෙව්ව. බණ අහල බැලුවා  හැබැයි  ඒ හැම එකක්ම  තනිකරම ඉස්කෝලේ පොතක තියෙන පාඩමක් වගේ දෙයක් මිසක්  අපිට ඒ වෙලාවේ ප්‍රයෝජනෙට  ගන්න පුළුවන්  දෙයක් විදියට තිබුනේ නෑ. බොහෝ පොත පත ලියපු අයත්, බන දේශනා කරපු හාමුදුරුගොල්ලොත් කරලා තිබුනේ  තමුන් කොහෙන් හරි අහපු දැකපු දෙයක් ලියල තැබීමක්, අනුන්ට දේශනා  කිරීමක් මිසක් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ලියපුව නෙමෙයි.   ඒ නිසා ඒවායේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නියම ධර්මය තියෙනවද කියන සැකය මට හැමදාම තිබුන.

ඔය ඉහත ලිපි දෙකේ මම ලිව්වේ ඒ සැකය පස්සේ හොයාගෙන ගිය හැටි ...

දැන් ඔය දේවල් වෙලත් අවුරුදු 10-15ක් ගෙවිලා ගිහින්. දැන් මට තාත්තා ගැන දුකක් හෝ තාත්තා නෑ  කියල පාළුවක් දැනෙන්නේ නෑ ... එහෙම වෙන්න හේතුව මම බොරුවට බිසී වෙලා තාත්තා ගැන හිතන්න වෙලා නැති නිසාද නැත්නම් ඇත්තටම තාත්තා ගැන තියෙන  හැඟීම්  අඩු වෙලා ගිහින් නිසාද? නැත්නම් ඇත්තටම මම මගේ තාත්තා කියල අල්ලාගෙන හිටපු කෙනාව මේ සම්පුර්ණයෙන්ම අතැරලා දාපු නිසාද කියල මම කල්පනා කළා.

සමහරවිට මම තාත්තාගේ මරණේ නිසා සම්පුර්ණයෙන්ම මානසිකව ඇද  වැටිලා  මගේ ජිවිතේ ඔහේ නාස්ති වෙන්න ඇරිය  නම් මම අදටත් එදා වගේම තාත්ත ගැන හිත හිත දුක් වෙන්න ඉඩ තිබ්බා. කාලයත් එක්ක උනත් දෙයක් වෙනස් වෙන්නේ අපි මානසිකව ඒක  අතාරින්න සුදානම් නම් විතරයි. එහෙම නැතුව  කාලය ගෙවුනා කියල  ඉබේ කිසි දෙයක් වෙන්නේ නෑනේ. මට ඒක මානසිකව අතාරින්න වැඩියෙන්ම හේතු වුනේ  මොකක් ද  කියල හිතල බැලුවම මට හිතෙන්නේ වැඩිපුරම බලපෑවේ අම්මාගේ හැසිරීම කියල. අම්මා තාත්තාගේ බඩු  බාහිරාදිය පරිස්සමට  රැකගෙන  චිත්‍රපටි වල වගේ මැරෙන කම්  ඒ  ඔස්සේම යන කෙනෙක් වුනා නම් අපිටත් ඒ හැඟීම් වලින් ගැලවෙන්න බැරි වෙන්න ඉඩ තිබුන. හැබැයි අම්මා තනිවම ජිවිතේට මුහුණ දුන්නා. එයා වැටුනේ නෑ.  මගේ ළඟ තාත්තාගේ අර තරුණ කාලේ ෆොටෝ එක නැති එක ගැන සමහරවිට මට අප්සට් හැබැයි ඒ ෆොටෝ එක තාත්තාගේ මතකය දිය කරලා දාල එකෙන් ගැලවෙන්න මට උදව් කළා. එතකොට අහපු බන, කියවපු පොත් පත්, මට කාටවත් මෙන්න මේ පොත කියවන්න කියල රෙකමදාරු කරන්න පුළුවන් විදියේ එක පොතක් වත් හම්බ වුනේ නෑ ... නමුත්  කෙනෙකුට අපේ හිත සහ අපි  විඳවන හැටි ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න නම් මම ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශනා අහන්න කියන්න කැමතියි. ඒවායේ තියෙන්නේ ආගමකින් ස්වායක්ත වෙච්ච පිරිසිදු ධර්මයක්. බුදු හාමුදුරුවෝ කියපු ධර්මයට ඒ කියන දේ සමානයි කියල මට හිතෙනවා. මොකද ඔබ ඒවා අහන අහන මොහොතක් ගානේ ඔබ තුල වෙනස් වීමක් වෙනව. එහෙම වෙන්නේ ඒ කියන කරුණු වල තියෙන ගැඹුරු බව සහ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධකරගත්ත කෙනෙක් තුලින් ඉබේ එන දෙයක් මිසක් කට පාඩම් දහමක් නොවන නිසා. ඊට අමතරව මට හමුවූ ගුරු තුමා වෙච්ච බාලසූරිය  මහතා ගැන මට ඕනේ කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන්. ඒවත් ඒ වගේම තමයි.

හරි ඔය හැමදේම කරලා අවසානයේ මට තේරුම් ගිය දේ මෙන්න මේක. මම සහ මගේ තාත්තා කියල මම හදාගෙන තියෙන හැම දේම තනිකරම මායාවක් කියන එක. ඒක මහා බොරුවක් කියන එක. තාත්තා නැති වුනා කියල මම නැති  වුනේ නෑ ... තාත්තා හිටිය නම් දැන් ඉන්න මම වෙනුවට මම ගැන මම හිතන සහ ඔබට කියන දේ මිට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඊට අමතරව කිසි දෙයක් වෙන්නේ නෑ ... තාත්තා අපි වෙනුවෙන් සහ නෑදෑයෝ, යාලුවෝ වෙනුවෙන් තව බොහෝ දේ කරන්න ඉඩ තිබුනා.  එයාට අවසාන කාලේ චන්දෙ  ඉල්ලන්න ආසාවකුත් තිබුනා. දේශපාලනෙන් බොහොම පරිණත  වෙලා හිටපු කෙනෙක් නිසා සමහරවිට මේ හැමදේම භෞතික වශයෙන් වෙනස් වෙන්න ඉඩ තිබුන. ඒ ඇර  කිසි වෙනසක් වෙන්නේ නෑ ... ප්‍රයෝගික දේවල් මොන විදියට සිද්ධ උනත් අපි හැමෝම අපේ ජිවන ගමන යනවා. ඒ  යන්නේ තනිවම. ඉතින් ඇත්තටම තාත්තා නැතිවීම සහ තාත්තා සිටීම ගැන මම හිතින්  හදා ගන්න සිතිවිලි සියල්ල බිඳ වැටෙන්න ඉඩ ඇරලා  මේ ලෝක සත්‍යයක් වෙච්ච ඇතිවීම , නැතිවීම කියන දේ ගැන හිතල බැලුවොත්  වෙලා තියෙන්නේ මම හිතින් හදාගත්ත සිතිවිලි ගොඩක් මම ම හිතින් හදා ගත්ත ප්ලෑන්  එකට අනුව වැඩ නොකිරීම විතරයි . නමුත් අපි කවුරුවත් බලාපොරොත්තු නොවන ප්ලෑන්  එකකට  ජිවිතේ ගලාගෙන යනවා. තාත්තගේ පැත්තෙන් හිතල බැලුවොත් තාත්තගේ අවසාන මොහොතේත් එයා අපි ගැන හිතල දුක් වෙන්න ඇති. මොකද අක්කවත්, මමවත්, නංගිවත්  භෞතිකව  කිසිම ස්ථාවර තැනක ඒ වෙද්දී හිටිය නැති නිසා. තාත්තට ඔය  උඩින් කිව්වා කවිය වගේ හැඟීම්  එන්න ඇති .. සමහර විට තාත්තා අපි නොහිතන විදියට අපිව අතැරලා දාල මරණයට මුහුණ දෙන්න ඇති. ඕවා හිත හිත   මට තව සිතුවිලි ගොඩක පැටලී පැටලී ඒ දුක රස කර කර ඉන්න පුළුවන්. නමුත් මම ඒ  කරන හැමදේම හුදෙක් මගේ වින්දනය උදෙසා  කරනවා මිසක්  එහෙම කිරීමෙන් කිසි ඵලයක් තියෙනවා කියල මට හිතෙන්නේ නෑ ...

සරලව හිතුවොත් මගේ හිතට  දැන් තාත්තා කියන චරිතය පරණ මතකයක් බවට පත්වෙලා. මේ ලෝකේ මේ මොහොතේ මැරෙන දහස් ගානක් වෙච්ච පිට මිනිස්සු මැරෙනකොට මට කිසි ගානක් නැතිව ඉන්න පුළුවන් වගේම තාත්තා මැරුණා කියන දේ එක්කත් මට කිසි ගානක් නැතුව ඉන්න පුළුවන්. නමුත් තාත්තා අපි වෙනුවෙන් කරපු හැමදේම ගැනම ස්තුතියක්, ආදරණිය හැඟීමක් හැමදාම තියෙනවා. එතන තියෙන්නේ විඳවීමක් නෙමෙයි අතීතය ගැන සුන්දර මතකයක්.  මට තාත්තා වෙනුවෙන් භෞතිකව  කිසි දෙයක් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ .. නමුත් ඉතින් මම අමතර වදයක් නොදී තාත්ත එක්ක සන්තෝසෙන් හිටය කියන දේ විතරක් හිතේ තියෙනවා.

දැන් මම මේ දුක ගැන මෙහෙම හිතනකොට ඊලඟට හිතෙන දේ තමයි කවද හරි මුහුණ දෙන්න සිද්ධ වෙන අම්මගේ මරණය, සමහර විට අපි බලාපොරොත්තු නොවන වෙනත් සමීප කෙනෙකුගේ මරණයක් ඊට කලින් වෙන්න පුළුවන්. තාත්තගේ මරණෙන් පස්සේ පවුලේ සිද්ද වෙච්ච මරණ කිහිපයකදීම මට ඒ හැටි දුකක් දැනුනේ නෑ... නමුත් අම්මාගේ මරණයට එච්චර ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් ද කියල මට සමහර විට හිතෙනව.  කොහොමත් තාත්තා නැති උන දවසේ තරම් දුකක් නොදැනෙයි. එතරම් දුකක් නොවිඳ ඉන්න පුළුවන් වෙයි. මොකද මේ මරණය සහ වෙන්වීම කියන දේ තුල  තියෙන  මායාකාරී බැඳීම දකින්න පුළුවන් කමක් තියෙන නිසා. නමුත් දුක දැනෙන එක, අම්මා නැති අඩුව දැනෙන එක බොහෝ  කාලයක් යනකම් තියේවි.

මේ ඔක්කොම හිතනකොට අපේ හිතට දැනෙන ඊළඟ  බොළඳ  හැඟීම තමා මම අනිත් ඔක්කොටොම කලින් මැරුනොත් අනිත් අයට මොකද වෙන්නේ කියන එක. මේ වෙද්දී මට තේරිලා තියෙන දේ නම් අනිත් හැමෝගෙම ජිවිත ගලාගෙන යන විදිය අපි හිටිය, නැති වුනා කියල මහ  ලොකු වෙනසක් වෙන්නේ නෑ  කියන එක.  ආර්ථික ප්‍රශ්න ඔක්කොම විසඳලා අපිට මැරෙන්න බෑනේ.. ඊට පස්සේ ළමයි ඉන්නවනම් උන් ඔක්කොම ලෝකු වෙලා ඔක්කොම සෙට්ල් වෙනකම් ඉඳලත් අපිට මැරෙන්න බෑනේ ... ඉතින් ඇත්තටම කරන්න පුළුවන් දේ  ඉන්න කම්  හැමෝම එක්ක පුළුවන් තරම් හොඳින් ඉන්න එක. මැරෙන මොහොතේදී  කරපු දේවල් හෝ  කරන්න බැරි වෙච්ච දේවල් ගැන නොහිතා ඉන්න හිත පුරුදු කර ගන්න එක. බැඳීම් කියන්නේ තනිකර මායාවක්. ඔබ සිටීම නොසිටීම නිසා අනිත් අයගේ ජිවිත වලට වෙන බලපෑම අඩු වෙන විදියට ඒ අයට  මේක පැහැදිලි කරල, එයාලව ස්වාධින චරිත බවට පත්කරන එක තමා අපිට කරන්න පුළුවන් දේ .. ඒ වගේම ඉතින් අපි හැමෝම හිතන්න ඕනේ මේ ලඟින් ඉන්න මනුස්සය කොයි වෙලේ නැති වුනත් තමන් ජිවිතේට මුහුණ දෙන්න ඕනේ  කියන එක. බොළඳ ප්‍රාර්ථනාවන් කර කර එක එක දෙවිවරු පස්සේ දුවනවට වඩා කරන්න ඕනේ තමන්ගේ හිත ශක්තිමත් කරන එක. බන අහ අහ පන්සල් ගානේ දුවනවට වඩා කරන්න ඕනේ අහල තියෙන එක බන පදයක හරි තියෙන දෙයක් තේරුම් අරගෙන ඒ අනුව එදිනෙදා ජිවත් වෙන එක.


ඔබට ඔබේ මනස පුරුදු කර ගන්න බැරි නම් වෙන කිසිම දේකින්  සහනයක් ලබා ගන්න බෑ... ඔබ මොන ආගම, මොන පොත පත, මොන ගුරුවරයා පසු පස ගියත් සිදු වෙන හැම දෙයකදීම ඔබේ සිතේ හැසිරීම දකින්න, ඒක  පාලනය කරන්න බැරි නම් ඔබට සහනයක් ලැබෙන එකක් නෑ. අපි කවුරුත් නරක මිනිස්සු නෙමෙයි. හැබැයි අපිට  නොදැනෙන තරමට සියුම් විදියට අපි නරකයි. ඒ ගැන ඔබට දැන  ගන්න පුළුවන් වෙන්නේ ඔබ ඔබේ සිත ස්කෑන්  කරලා බලනකොට විතරයි.  වෙන කාටවත් ඔබට උපකාරයක් කරන්න බෑ. ඉතින් මරණය, වෙන්වීම, තනිවීම  ඔය හැමදේදීම  අපේ හිත හැසිරෙන විදිය කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන එක වැදගත්.   ඉතින් ඕක පුරුදු කරන්න පුළුවන් වෙන්නේ මේ සියල්ලෙන්ම ඈත්  වෙලා පැන්ෂන් ගත්තම හරි වන ගත වෙලා හරි නෙමෙයි. මේ දැන් ඔබ කරන වැඩේ දී, නැත්නම් ඔබ කතා බහ කරන මනුස්සය එක්ක, ඔබට පෙන්නන්න බැරි බොසා එක්ක තමා ඕක පුරුදු කරන්න ඕනේ. ඔබේ ප්‍රොමෝෂන්  එක නැති වෙන්න අරින්න, ලොක්කාගෙන් කුණු වෙන්න බැනුම් අහල බලන්න, හිත රිදෙනකොට තේරුම් ගන්න පුළුවන් නොතිබ්බ ප්‍රොමෝෂන් එක, කොහෙවත් නැති මනුස්සයෙක් කියන වචන ටිකකුයි අපිට කොච්චර රිදවනවද කියල. අපේ ඇතුලේ තියෙන කුණු  ඔක්කොම එලියට ගන්න පුළුවන්. හැමදේම ඉවර වෙලා වෙනම ඕවා කරන්න කාලයක් ඔබට ලැබෙන්නේ නෑ...

මේ විදියට හැමදේකදිම  සිත ගැන හොයල බලන එක උපාසක කමක් නෙමෙයි. ඔබට වඩා පරිපුර්ණ, සාර්ථක, තෘප්තිමත් මනුස්සයෙක් වෙන්න තියෙන ලේසිම ක්‍රමයක්. ඔබට එදිනෙදා ජිවිතයේ තමන් කැමති ඕනේ දෙයක් කරන්න, ලබා ගන්න ඕන නම් සහ  කැමති නම්  ඔය ආගමේ දාල තියෙන නීති කඩල බලන්න උනත් පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නෑ. ඔබේ සිතේ කන්ට්‍රෝල් එක ඔබට තියෙන තාක් ආගම් වලට බය වෙන්න අවශ්‍යය නෑ... මොකද අපේ හිතේ තියෙන දුක හෝ බය නැති කරන්න ආගමට බෑ  වගේම, දුකක්, බයක් නැති සිතක් තියෙන කෙනෙකුගේ ඉරණම තීරණය කරන්නත් ආගමට බෑ. නමුත් සත්‍යයය සහ සොබාව ධර්මය (බුද්ධ/කතෝලික/ඉස්ලාම්/අප්‍රිකානු/ඇන්ටාටිකානු  ආදී වශයෙන් නැතිව )   කියන දේ ඔබගේ  දුකෙන් ගැලවීම හෝ තව දුරටත් දුකෙහිම එල්ලී එල්ලී සිටීම යන දේ තීරණය කරාවි.

මේ විදියට හිතල බැලුවම මේ ලෝකේ ඔබට මට සිද්ද වෙන හැමදෙයකදීම  අපිට  කම්පා වෙන්න හෝ සතුටු වෙන්න පුළුවන්. ඒක  තනිකරම ඔබගේ තීරණයක්.  මරණයකදී  සතුටු වෙන්නත් අපිට පුළුවන් (කිරිබත් කාපු මිනිස්සු වශයෙන් )

Monday, January 28, 2019

ඉස්කෝලේ කාලේ කතා 3 කොටස - කෙල්ලන් සමග කපුටා සහ ICQ චීන නංගි


            කලින් කොටසේ කිව්වනේ මගෙයි යාලුවගෙයි චැට් කිරිල්ල ගැන... දැන් අර A ළමයගෙ සීන් එක ඉවර වෙලා ආපහු එකක් හොයා ගන්න ට්‍රයි කර කර හිටියේ. කලින් කිව්වා වගේ මගේ යාලුවට තිබුනේ කොහොම හරි පිට රට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌ වැඩි හරියක් ICQ එකේ. මම කපුටා සහ ICQ දෙකේම හිටියා.  ඉතින් ඔන්න ඔහොම ටික දවසක් යද්දී මෙන්න ICQ එකෙන් මට සෙට් වෙනවා තව ගෑනු ළමයෙක්... අපි ඒ ළමයට B ළමය කියමුකෝ... 

මේ B ළමයා චීන ළමයෙක්. හැබැයි එයාගේ අම්මා ලංකාවේ, තාත්තා චීන ජාතිකයෙක්. සිංහල කතා කරන්නත් පුළුවන්... හෙහ් හෙහ් එකපාරට නිකං විස්වාස කරන්නත් බෑ වගේ... කොහොම උනත් දවසක් දෙකක් කතා කරද්දී කියන දේවල් ඇත්ත ගතියක් දැනුනා. මට අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ෆොටෝ එකත් එව්වා. ඒ කියපු විදියට වැඩේ ඇත්ත. හෙහ් හෙහ් මම ඉතින් අරූටත් කතාව කිව්වා... ඌ ඉතින් එල එල කියල විස්තර එහෙම ඇහුවා... අපි දෙන්න හැම එකම කතා බහ කරන හින්ද මම ඉතින් ඔක්කොම විස්තරේ කියල දැම්ම... මට අවංකවම ඒ දවස් වල චීන කෙල්ලෙක්ට කිසිම කැමැත්තක් තිබුනේ නෑ... මට ඕනේ වුනේ ලංකාවේ ළමයෙක්. හැබැයි ඉතින් සෙට් වෙච්ච හින්ද ඔන්න ඔහේ කතා කර කර හිටියා... 

ඔහොම ඉද්දි මගේ යාලුවා දවසක් මගෙන් ඔය ළමයගේ  ICQ id එක ඉල්ලුවා... මම ඉතින් ටක් ගාල දීලා දැම්ම ඌටත් කතා කරන්න කියල... ඊට පස්සේ ඉතින් අපි දෙන්නම කතා කර කර හිටියා. පස්සේ මේ ළමයා මාත් එක්ක ස්කයිප් එකෙන් පවා කතා කළා. ඒ වෙද්දී එයා කියන කතා ඇත්ත කියන බවත් තේරිලා ඉතින් ඔන්න ඔහේ වැඩේ ඇදගෙන ගියා. ඒ කාලේ කොහොමත් ඉතින් ඔය කසාද බඳින කෙනා ගැන වගේ දේවල් කතා බහ කරනවනේ... මේ ළමයට ඕනේ වෙලා තිබ්බේ කොහොමත් ලංකාවේ කොල්ලෙක්ව. මොකද මට කිව්වා චයිනිස් කොල්ලන්ට කැමති නෑ... උන් නිකන් ගෑනු වගේ... අපේ හමේ පාටට, පොඩ්ඩක් හැඩි දැඩි ගතියට තමා එයා කැමති කියල... මම ඉතින් ඒ හැටි හැඩි දැඩි  නම් නෑ කියල ඔන්න ඔහේ කතා කර කර හිටියා... හෙහ් හෙහ්

යාලුවත් ඉතින් සැරෙන් සැරේ විස්තර අහ අහ ෂේප් එකේ හිටියා. මේ කෙල්ල ෂේප් හින්දා චීනෙන් මොනවා හරි ගෙන්න ගන්නත් අපි දෙන්නා ප්ලෑන් කළා... හෙහ් හෙහ්

මට ඒ දවස් වල ස්ටාර් වෝර්ස් පිස්සුව තදටම තිබුනා. ඔෆිස් එකේ ඉන්න කම් කලේ ඔය ටි.වී සීරිස් ඩවුන්ලෝඩ් කරන එක. මට මතකයි මම දවසක් මේ ළමයාගෙන් ඇහුවා lightsaber එකක් එවන්න පුළුවන් ද කියල හෙහ් හෙහ්...  (lightsaber දන්නේ නැති අය බැරි වෙලා හරි ඉන්නවනම්... අනේ මන්ද... එහෙම අය ඉඳල වැඩක් නෑ.. හෙහ් හෙහ්)

මේ කෙල්ලට පුදුම හිනා මම ඉල්ලපු එක අහල... ඒවා අර පොඩි ළමයින්ට සෙල්ලං කරන්න හදපු ලයිට් පත්තුවෙන පොලු වගේ කියල හොඳටම හිනා වේවි හිටියා... කොටින්ම මගේ  ඇත්ත වයස ගැනත් ඇහුවද කොහෙද... හෙහ් හෙහ් අපි කොච්චර අහිංසක ලමයිද කියල තේරෙනවනේ ඉතින්...

කතා කරපු වෙන කිසිදෙයක් දැන් මතක නෑ... ඔය lightsaber කතාව නම් තාම මතක් වෙනවා ඔය කඩවල ඒවා දැක්කම... හෙහ් හෙහ්   ඉතින් මේ ආකාරයෙන් යද්දී ඔන්න ටික ටික මේ ළමයාගේ කතා බහ අඩු වෙන්න ගත්තා ... කතා කරපු වෙලාවල මට කිව්වේ ඉතින් එක එක වැඩ..තාත්තා කැමති නෑ වැඩිය චැට් කරනවට ඕවා මේවා තමා...  මට මතක විදියට ඒ දවස් වල තව ලංකාවේ අය කීප දෙනෙක් එක්කත් කතා බහ කරනව කියලත් කිව්වා. මට ඉතින් ඒවා ඒ හැටි වැදගත් වුනේ නෑ මොකද කිව්වොත් වෙන වෙන ඔන්ලයින් නොවන සිද්දි දෙක තුනකුත් ඒ දවස් වල මගේ ඔලුවේ තිබුන එකයි කොහොමත් මේ ළමයා මගේ ටයිප් නොවන බව මට තේරිච්ච හින්දා නිකං යාලු කමක් විතරයි ඉතින් තිබ්බේ...

ඔහොම දවස් දෙක තුනක් යද්දී මේ කෙල්ල දවසක් මට කතා කරලා එක පාරටම බනින්න ගත්තා... මම මහා එපා කරපු මිනිහෙක්.. එයා මං ගැන හොයල බැලුවා.. එයාට ලංකාවේ කන්ටැක්ට්ස් තියෙනවා.. මම මේ හතර වටේ කෙල්ලෝ එක්ක චැට් කර කර ඉන්නවා... අරකයි මේකයි කියල... 

එක පාරටම මොකක් ද මේ පාත් වෙච්ච මල ඉලව්ව කියල ඉතින් මාත් ඉතින් පොඩි සද්දයක් දැම්ම... මගේ චරිතේ ගාතනේ කරන්න දෙන්න බෑනේ... ඉතින් දවසක් දෙකක් ඔහොම වලි සීන් ගියා... 

පස්සේ මම මගේ යාලුවත් එක්කත් මේ සිද්දිය කියල ඕනේ එකක් කියල හිටියා...

කොහොම කොහොම හරි මේ කෙල්ල හේතුවක් නැතුව මට බනින එක වැඩි වෙන්න ගත්තා... අන්තිමට නිකන් වැඩේ මල ඇනයක් වෙන්න අරං අන්තිමට චැට් එකෙන් ගහ මරාගන්න මට්ටමට ආවා.. හෙහ් හෙහ්...  මට මතක විදියට මං ගැන දන්නා තව ලංකාවේ එක්කෙනෙක් එයා දන්නවා.. මං ගැන හොයල බැලුවා  අරකයි මේකයි කියල තමා ඔය වලි පටන් ගත්තේ... මට ඉතින් මේ මොන මගුලක් ද කියල තමා හිතිලා තිබ්බේ.. කොහොම හරි ඔහොම ගිහින් ඒ හුට පටෙත් නතර වෙලා ගියා...

මට ඔය වලි යන්න මුලික වෙච්ච කතා බහ කිසි දෙයක් මට දැන් මතක නෑ.. හැබැයි මේ කෙල්ල පස්සේ පස්සේ පාවිච්චි කරපු වචන එහෙම ඒ ළමයට තිබ්බ සිංහල දැනුමත් එක්ක කියන්න පුළුවන් කමක් නෑ කියල මට ඔය සිද්දි ඉවර වෙලා කාලයක් ගියාම තේරුම් ගියා... මොකද ස්කයිප් කෝල් එහෙම නුහුරු සිංහලෙන් කතා කලේ... හැබැයි පස්සේ වලි චැට් එහෙම නියම සිංහලෙන් ආවා..... හෙහ් හෙහ් හෙහ්... 

ඉතිං ඔය ආකාරයෙන් ඒ චීන ශ්‍රී ලංකා සම්බන්දතාවයත් කැඩිලා ගිහින් මම ඔය වෙන වෙන අක්කලා නංගිලාගේ සීන් වලට පැටලිලා ඉතින් ඕවා අමතක වෙලා ගියා...

තව මාස 3 4ක් යද්දී මගේ යාලුවත් ඒ කොම්පැනියෙන් අස් වෙලා ගියා. මිනිහා රට යනවා කියල තමා අස් වුනේ... මමත් ඊට මාස 6කට විතර පස්සේ ඒ කොම්පැනියෙන් අස් වෙලා ගිහින් ඔක්කොම වෙනස් වුනා. කපුටා සහ ICQ චැට් කිරිල්ලත් අලුත් තැන වැඩට ගියාම නතර වෙලා.. පොඩ්ඩක් වගකීමෙන් හැසිරෙන්න පටන් ගත්තා මම.. ඒ කිව්වේ ඔන්ලයින් ලයින් නොදා පොලවේ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්න එක... හෙහ් හෙහ්... 

ඊටත් අවුරුදු 2-3ට පස්සේ ඔය ICQ, කපුටා ඔක්කොම පරාද කරගෙන ෆේස්බුක් ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලේදී අපිත් ඉතින් කසාද බඳින වයසටත් ඇවිල්ලා හිටියේ. ෆේස් බුක් එක මට මුලින්ම හඳුන්වල දුන්නෙත් ඔය ඔහොම ඔන්ලයින් හම්බවෙච්ච ගෑනු ළමයෙක්... ඒ ලමයව සෙට් වුනේ Orkut එකෙන්ද කොහෙද.. එයා නම් තාම ෆේස්බුක් එකේ ලයික් එකක් දාගෙන ඉන්නවා... හෙහ් හෙහ්.. තව ආතල් ජනක සිද්දි ෆේස්බුක් එකේ සිද්ද වෙන අතරෙදි අර මගේ යාලුවා චීන ගෑනු ළමයෙක්ව කසාද බැඳලා එයාගේ ෆොටෝස් ෆේස්බුක් එකේ දාල තිබුනා... ඌ පදිංචි වෙලා හිටියේ පිට රට...

හෙහ් හෙහ් හෙහ්...

ඌ බැන්දේ අර මාත් එක්ක කතා කරපු චීන ළමයද කියන එක මට අදටත් හරියට කියන්න බෑ... මම කවදාවත් උගෙන් ඒක ඇහුවෙත් නෑ... මොකද ස්කයිප් එකෙන් යාන්තමට දැක්ක රුපෙක මතකයක් විතරයි මට තිබුනේ.. ඒ වෙද්දී ඒ කෙල්ල ගැන කිසිම තොරතුරක් හොයා ගන්න බැරි විදියට id ඔක්කොම වෙනස් වෙලා... ඇත්තටම මට ඒක උගෙන් ඕනේ වෙලාවක අහන්න පුළුවන් කම තිබ්බත් මම ඇහුවේ නැත්තේ  මට ඒ ගැන හොයන්න කිසිම වුවමනාවක් ඒ දවස් වල තිබුනෙ නැති එක. අනිත් එක බැරි වෙලා හරි ඌ බැඳලා හිටියේ ඒ කෙල්ල නම් මම ඒක අහන එකෙන් ඌ අවුල් යයි කියල මට හිතුන නිසා...  මොකද මට ඒක කිසි වැඩකට නැති සිද්දියක් වුනාට ඌට ඒක ඌ හැමදාම හොයපු දේ වෙන්න ඇති නේ... 

නමුත් අර අපිට සමහර දේවල් ඉබේ දැනෙන ගතියක් තියෙන්නේ.. අන්න ඒ ගතිය අනුව මට හිතෙනවා මගේ යාලුවා ඉතා දක්ස අන්දමින් ඌට හැමදාම ඕනේ වෙච්ච දේ කරගෙන කියල... හෙහ් හෙහ් හෙහ්


Tuesday, January 22, 2019

ඉස්කෝලේ කාලේ කතා 2 කොටස - කෙල්ලන් සමග කපුටා සහ ICQ


      මේක නම් ඉස්කෝලේ කාලේ කතාවක් නෙවෙයි. එත් කෙල්ලන් සමග වෙච්ච හින්ද ඒ කැටගරියටම දැම්ම. මේ තියෙන්නේ කලින් ලියපු එක. මේ සිද්දි ටික සිද්ද වුනේ ඉස්ල්කොලෙන් අස් වෙලා පලවෙනි රස්සාව කරන කාලේදී. මේ ටික මතක් වුනේ කලින් දාපු වෙන පෝස්ට් එකකට බුරා ICQ චැට් එක ගැන දාල තිබ්බ කොමෙන්ට් එක හින්දා.

මම මුලින්ම වැඩ කරපු කොම්පැනියේ ඉන්න කාලේ අපිට හොඳට අන්තර්ජාල පහසුකම් එහෙම තිබුනා. ඉතින් ගෙදර යන්න එහෙම ඒ තරම් උවමනාවක් තිබ්බේ නෑ ඒ දවස් වල. නොමිලේ ඉන්ටර්නෙට් එක්ක දවස ගෙවන්න ලැබීමට වඩා සැපයක් ඒ දවස් වල තිබුනේ නෑ.

කරන්න වැඩක් තිබ්බත් නොතිබ්බත් උදේ පාන්දර ආපු ගමන් අපේ පලවෙනි වැඩේ වෙන්නේ කපුටා චැට් එකටයි, ICQ චැට් එකටයි ලොග් වෙලා දවස ගත කරන්න චැට් කරන්න කවුරු හරි අල්ල ගන්න එක. ඔය කපුටා චැට් එක ඒ දවස් වල පට්ටම නැගල ගිය තැනක්. මම හිතන්නේ එකේ චැට් කරපු අය දන්නවා ඇති ඒ ආතල් එක ගැන. හෙහ් හෙහ් ලොවෙත් නැති නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන මරු ආතල් ගත්ත තැනක්. ඔය අස්සේ කෙල්ලෙක් හොයා ගැනීමේ අධික උණෙන් හිටපු මමයි ඔපිස් එකේ හිටපු මගේ තව යාළුවෙකුයි එක එක දවසට එක එක නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලන්ගේ නම් බල බල ASL අහන එක තමා කරන වැඩේ... හෙහ් හෙහ්. ASL අහනවා කියන්නේ Age, Sex, Location අහන එක. කපුටා චැට් රුම් එකේ ප්‍රධාන චැට් එකේ පැත්තකින් ගෘප් එකට සෙට් වෙලා ඉන්න අයගේ නම් ටික පෙන්නනවා. ඒ නම ක්ලික් කලාම අදාළ කෙනාට වෙනම චැට් කරන්න පුළුවන්. එහෙම චැට් කරද්දී ඉස්සෙල්ලම hi පාරක් දාල reply එකක් ආවොත් ඊළඟ එක asl? ඕකට reply එක 20 f වගේ ආවොත් ඉතින් පැණි හැලීම පටන් ගන්නවා. 35 m වගේ අපු ගමන් ක්ලෝස් කළා වෙන එකක් හෙව්වා.. හෙහ් හෙහ් ඔන්න ඔහොමයි වැඩේ යන්නේ... 

ගොඩක් වෙලාවට කොල්ලෝ ආතල් එකට බොරු දානවා. හැබයි ටිකක් චැට් කරද්දී බොරුවක් කියල මාට්ටු වෙනවා. මුල් කාලේ නිසා ගෑනු ළමයි ඕකේ හිටියා. මම දන්නේ නෑ දැන් නම් එකේ කට්ටිය ඉන්නවද කියල. ඉතින් අපිට ලංකාවේ කෙල්ලෝ හොයා ගන්න ඕනේ උනාම ඒ කාලේ පිහිටට හිටියේ කපුටා චැට් එක තමා.

මම මේ බ්ලොග් ලියන්න යුනිකෝඩ් ගැන දැනගත්තෙත් ඔය කාලේදී තමා. පස්සේ පස්සේ ඔය කපුටා අඩවිය කරන ආයතනයේ ඉන්න කට්ටියවත් අඳුරගන්න ලැබුණා.  මම හිතන්නේ දැන් අවුරුදු කීපයකට ( කීපයක් කියන්නේ අවුරුදු 7කට විතර කලින් හෙහ් හෙහ්)  කලින් ඔය ගැන මම සටහනක් ලිව්වා. මේ තියෙන්නේ



ඊට පස්සේ පිට රටවල ගෑනු ළමයි නිතර ගැවසුණු තැනක් තමා ICQ චැට් එක. ගොඩක් වෙලාවට පිට රටවල ජිවත් වෙච්ච ලංකාවේ ළමයි ඕකේ හිටියා. මගේ යාලුවාගේ ට්‍රයි එක තිබ්බේ කොහොම හරි පිටරට කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌට ඉංග්‍රීසිත් හොඳට පුළුවන්. ඉතින් ඔන්න ඔහොම ඔය චැට් රුම් දෙකත් එක්ක ඔපිස් එකේ වැඩත් කරගෙන අපි දෙන්න සහයෝගෙන් හිටියා.

ඕකෙදි සෙට් වෙච්ච නානාප්‍රකාර ගෑනු ළමයි අතරෙන් 2ක් ගැන මේ පොඩ්ඩක් ලියල දාන්නම්... හෙහ් හෙහ්.. මතක හිටින මට්ටමේ දෙයක් තියෙන්නේ ඒ දෙක ගැන විතරයි...

අපි පලවෙනි ළමයට A ළමය කියමුකෝ. මේ ළමයාගේ ගම් පළාත නම් මට මතක නෑ.. හැබැයි ඉතින් දවස් දෙකතුනක් චැට් කරලා ටෙලිෆෝන් නම්බර් එකත් දීලා, ඔන්න දැන් ෆෝන් එකෙන් වැඩේ යන මට්ටමට දියුණු වෙලා තියෙන්නේ... හෙහ් හෙහ් ඒ දවස් වල චැට් මාස්ටර්ලා වෙලා හිටියේ ... හෙහ් හෙහ්...  අපි දෙන්න ඉතින් වැඩ කරන ගමන් එදා චැට් එකට සෙට් වෙච්ච කෙල්ලෝ ගැනත් කතා කරනවා. මම ඉතින් අරූට ඔක්කොම කියනවා ඌත් මට විස්තර වාර්තාව දෙනවා. 

දැන් මේ ෆෝන් එකෙන් කතා කරන මට්ටමට ආවට පස්සේ වැඩේ පොඩ්ඩක් විතර බැරෑරුම් මොකද ඉතින් චැට් වගේ ක්ලෝස් කරලා දාන්න බෑනේ...  කොහොම උනත් SMS ගගහ රෑට රෑට කෝල් කර කර මල් කඩ කඩ කාලේ ගත වුනා. අරූටත් එකක් සෙට් වෙලා ඌත් වැඩේ ගොඩ දාගෙන යනවා. 

මේ A ළමය එයාට තිබ්බ පවුල් ප්‍රශ්න, ඔය එක එක දේවල් එහෙම කියාගෙන මුලින් සෙට් වෙලා ආවා. මට අවංකවම විස්තර කිසි දෙයක් මතක නෑ... හැබැයි ටික දවසක් කතා කරද්දී සබ්ජෙක්ට් එක පොඩ්ඩක් ට්‍රැක් මාරු වෙනවා කියල මට තේරුනා. ඒ කියන්නේ කතාව වැඩි හරියක් සෙක්ස් පැත්තට යනවා. මුලින් මුලින් මම ඒ හැටි ගණන් ගන්නේ නැතුව ෂේප් එකේ හිටියට ඒ පැත්තෙන් හෙනම අසහනෙන් ඉන්න ගතියක් මට තේරුනා. මම ඉතීන් අරූට මේවා ගැන වාර්තාව ඔක්කොම දෙනවා. හෙහ් හෙහ්...

ඌ ඉතින් මට ඕනේ කොල්ලෙක් දෙන උපදෙස් ටික ඔක්කොම දුන්නා. ඒ කියන්නේ ඉතින් හම්බවෙන්න පලයන් කියල... දැන් වීරයා වගේ මෙව්වා කිව්වට මම ඒ දවස් වලත් හෙන හැදිච්ච ළමයා.  වැඩි වැඩ කරන්න බයයි... ඉතින් ඕකට උපක්‍රමයක් විදියට මම ෆොටෝ එකක් ඉල්ලුවා කවුද මේ කියල බලන්න. මේ කෙල්ල පොඩ්ඩක් අදිමදි කරලා ඔන්න දවසක් පොටෝ එකක් එව්වා.  ඒ දවස් වල ඉතින් ටක් ගාල සෙල්ෆියක් ගහල එවන්න පහසුකම් තිබ්බේ නැති හින්ද ඔය ස්කෑන් කරපු මුහුණ අපැහැදිලි පරණ පොටෝ එකක් එවල තිබ්බා. ෆොටෝ එක දැක්කම ඉතින් මට පොඩ්ඩක් වැඩේ ගැන අවුල් ගතියක් ආවා.. හරියට පැහැදිලි නැති නිකන් වෙන කාගේ හරි ෆොටෝ එකක් වගේ හැඟීමක් තමා දැනුනේ... හැබැයි ඉතින් ඔහොම චැට් කරපු කෙල්ලෙක් ෆොටෝ එකක් එවීම කියන්නෙත් සෑහෙන ජයග්‍රණයක් නේ... හෙහ් හෙහ්..

කතා බහ ටික ටික කෙරුනට පස්සේ අරුටයි මටයි දෙන්නටම සැකයක් ආව මේ කවුරු හරි ඇන්ටි ටයිප් කෙනෙක් ද දන්නේ නෑ කියල... මොකද ඇන්ටිලගේ කේස් වලට පැටලිලා අහක යන ලෙඩ දාගන්න අසරණ අහිංසක පොඩි ළමයි දෙන්නෙක් වෙච්ච අපි දෙන්නටම ඕනේ වුනේ නෑ. අනිත් එක වෙද්දී කොහොමත් අපේ ඩේලි චැට් වලින් තව තව ලස්සන නම් තියෙන නම්කිල එහෙන් මෙහෙන් සෙට් වෙන හින්ද ( එකක් සෙට් වුනා කියල අලුත් ඒවා හොයන එක නතර කරන්න බෑනේ ෆෙන්ස්) මේ අහක යන ඇන්ටිලගේ කේස් පටලවගන්නේ මොකටද කියල මම ඒ වැඩේ අතැරලා දැම්ම. ඔය පොඩි ඊමේල් එකක් දෙකක් ඊට පස්සේ ඇවිල්ල ඒක එහෙමම දිය වෙලා ගියා...

ආතල්ම වැඩේ වුනේ මට ICQ එකෙන් චයිනිස් කෙල්ලෙක් සෙට් වුනාට පස්සේ... හෙහ් හෙහ්...

තව කොටසකින් ඒ ටික කියන්නම්කො. දැන් මට නිදි මතයි.


Sunday, January 20, 2019

සංක්‍රාන්ති සමනලයින්


         අපි කොච්චර දේවල් වලට ආස වෙලා, ඒ ඒ දේවල් ලබා ගන්න වෙහෙස මහන්සි වෙනවද? සමහරවිට පොඩි කාලේ හිතට ආපු පොඩි ආසාවක් වෙනුවෙන් ජිවිතේ බොහෝ දේවල් කැප කරමින් වෙහෙසෙනවා. සමහර අයට ඒවා ඉෂ්ට කරගෙන සතුටු වෙන්න පුළුවන්, තවත් අය ඒ බොහෝ ආසාවන් ජිවිතේ එන නොයෙකුත් ප්‍රශ්න නිසා මගදී අතැරලා දාල ඊට වඩා වැදගත් දේවලට ප්‍රමුඛතාවය දෙනවා. අඩු වැඩි වශයෙන් අපි හැමෝම මේක ඇතුලේ ඉන්නවා. හැබයි ඉතින් බහුතරයක් අපි අපිට දැනටම ලැබිල තියෙන අපූරු දේවල් ගැන සතුටු වෙන්න දන්නේ නෑ... 

ලද දෙයින් සතුටු වීම කියන අල්පේච්ච සංකල්පය ගැන නෙමේ මම මේ කියන්නේ. අපිට සාමාන්‍යය මිනිසුන් විදියට ලැබිල තියෙන ශරීරය, ලෙඩක් දුකක් නැතිව ජිවත් වෙන්න පුළුවන් නිරෝගිකම,  කැමති රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් කම, නිදහසේ යාලු මිත්‍රයෙක් ආස්සරේ කරගෙන, පාරේ තොටේ ඇවිදලා පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් කම කියන්නේ අපි නොහිතන තරම් වටිනාකමක් තියෙන දෙයක්.  අපි ගොඩක් වෙලාවට ශාරීරිකව හෝ මානසිකව අබාධිත කෙනෙක් දැක්කම ඒ මිනිස්සුන්ට අනුකම්පා කරලා අපිට ලැබිල තියෙන මේ අපුර්ව සුවපහසු ජිවිතේ ගැන පොඩ්ඩක් හිතනවා. ඒ ඇරෙන්න අපි මේ අපිට ලැබිල තියෙන අපුරු ජීවිතය ගැන සංවේදී වෙන්නේ නෑ...

අපේ බේසික් ප්‍රශ්න විසඳිලා නිසා අපිට අපේ ආසාවන් ගැන හිතල වැඩ කරන්න පුළුවන්. බොහෝ ආබාධිත අයට උනත් එයාලට හුරු වෙච්ච ජිවන ක්‍රමයක් එක්ක කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් කම තියෙනවා. සමාජය ඔවුන්ව පිලිගන්නවා. නමුත් මේ අපේ සමාජයේ අප අතර ඉන්න තව එක පිරිසක් ගැන සමස්ත මිනිස් සමාජයේම තියෙන්නේ හරි වෙනස් ආකල්පයක්. රටේ ජනාධිපතිත් විහිළුවට ගන්න ඒ මිනිසුන් ගැන පොඩ්ඩක් හිතල බලන්න හිතෙන්නේ නැද්ද ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට.

මට මේ ලිපිය ලියන හේතු වුනේ මම දැනට ඉන්න මැලේසියාවේ උදේ හවස වැඩට යන එන පාරේ ඉන්න ඔය පිරිසක් නිතර නිතර ඇස ගැටීම හින්ද... ක්වාලා ලාම්පුර් නගරයේ කාර්යබහුල ප්‍රධාන මාර්ගයක,  අයිනට වෙන්න තැනක මෙවැනි මිනිසුන් නිතර රැස් වෙනවා. එතන තියෙන මාර්ග සංඥාවට වාහනේ නතර වෙන නිසා දවසට මිනිත්තු කිහිපයක් මේ මිනිසුන් දකින්න ලැබෙනවා. 

මේ මිනිසුන් ගැන ලියන්න තරම් වෙනසක් මට පේන්නේ ඇයි කියල මම කල්පනා කළා. ඇත්තටම ඔවුන් අපි වගේමයි. එකම වෙනස, ඔවුන් ගැහැණු සිතිවිලි පහල වෙන පිරිමි ශරීර. සාමාන්‍ය පිරිමි අපි රළු බවට, දහඩියට, ගොරෝසු ගතියට කැමති යි, ගැහැණුන් සිනිදුවට, සෞම්‍ය බවට,  මෘදු බවට කැමති යි... මේ මිනිසුන්ගේ ඒ ආශාවල් පොඩ්ඩක් මාරු වෙලා... ඉතින් රළු හැඩි දැඩි ශරීර තිබුනට ඔවුන් කැමති සිනිදු ඇඳුම් අඳින්න, පාට තවරලා ලස්සනට ඉන්න,ලතාවට ඇවිදින්න, කතා කරන්න... 

මේ සංක්‍රාන්ති ලිංගික මිනිසුන්ගේ සැබෑ ජිවිත මොනවගේ ද කියල කියන්න තරම් දැනුමක් මට නෑ... නමුත් පිරිමි මුහුණකට පුන් පියයුරු දෙකක් එක්ක, කොට සායක් ඇඳගෙන, රෝසපාට කම්මුල් එක්ක නැළවෙමින් ගමන් කරනකොට මැවෙන චිත්‍රය ගැන අපේ හිතේ ඇතිවෙන්නේ පොඩි අසහනයක්. සමහර අයට මේක අප්පිරියාවක්, තව කෙනෙකුට තනිකර විහිළුවක්, බොහෝ දෙනෙක් මේ මිනිසුන්ට වෛර කරනවා. හැබැයි ඒක ඔවුන්ගේ පොඩි කාලේ ඉඳල තිබ්බ ආසාව වෙන්න ඇති.

මම ලොකු වුනාම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙනවා වගේ ආසාව තියෙන ළමයි අතරේ මට ලොකු වුනාම ගැහැණියෙක් වෙන්න ආසයි කියල හිතෙන ළමයි, නැත්නම් මට පිරිමියෙක් වෙන්න ආසයි කියල හිතෙන ළමයි, එතකොට ටිකක් තරුණ වෙද්දී ගැහැණු අවයව තියෙන පිරිමි හෝ පිරිමි අවයව තියෙන ගැහැණු වෙන්න කැමති මිනිස්සු මේ බිලියන ගානක් අතරේ ඉන්න එකේ අවුල මොකක් ද?

මේ වගේ ගති ලක්ෂණ තියෙන අය මග තොටේදී අපිට හම්බ වෙනවා. බස් එකේ යද්දී කිහිප සැරයක් මේ වගේ මිනිස්සු හමු වෙලා තිබුනට මට කවදාවත් මෙවැනි මිනිසුන් ආශ්‍රයක් ලැබිල නෑ... ඉතින් ඔවුන්ගේ සිතුම් පැතුම් තේරෙන්නේ නෑ.. නමුත් ලංකාවේ සාමාජය මේ මිනිසුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවද කියන දේ නම් මම දන්නවා. ගොඩක් වෙලාවට වැඩිපුර නින්දාවට සමච්චලයට ලක්වෙන්නේ ගැහැණු ගති ලක්ෂන පෙන්නුම් කරන පිරිමි අයව. බොහෝ වෙලාවට පිරිමි ගති තියෙන ගැහුණු අයව මිනිස්සු එහෙම පහත් කරන්නේ නෑ... ගොඩක් වෙලාවට පිරිමි වගේ අඳින පළදින, කතා බහ කරන, හැසිරෙන ගැහැනුන් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වෙනවා කියල මම හිතන්නේ. මොකද ගොඩක් වෙලාවට පිරිමි අපිට ඔවුන් ගැන ලොකු අමුත්තක් දැනෙන්නේ නෑ... ගැහැණු අයට එවැනි අයව කොහොම පේනවද දන්නේ නෑ.. කොහොම උනත් ගැහැණු වගේ හැසිරෙන පිරිමි අය ගැන තියෙන ලාංකික ආකල්ප නම් තවම සෝචනීයයි කියලයි මම හිතන්නේ...

මම පෞද්ගලිකව දන්න හොඳට කනබොන,සෙට් වෙන, ජිම් යන නියම පිරිමි විදියට හැසිරෙන කෙනෙක් ඔෆිස් එකේදී පොඩ්ඩක් අසනීප වෙලා පොඩි ගැහැණු ළමයෙක් වගේ ඉකිගගහ ගෙදර එක්කන් යන්න කියල අඬපු අවස්තාවක් මට මතක් වෙනවා මේ වගේ මිනිස්සු දකිද්දී. මේ මොන ***යෙක් ද කියල එදා ඌ ගැන මට හිතුනා. හැබැයි ඉතින් ඌ හෙන පිරිමියෙක් වගේ තමා අදටත් ඉන්නේ. සමාජයේ අපි අතර ඉන්න ලාබ ප්‍රයෝජන තකා මෙහෙම හැසිරෙන හෝ ඇත්තටම වෙනත් පවුල් ගැටළු, පොඩි ශාරීරික ගැටළු නිසා මෙහෙම හැසිරෙන මිනිසුන් පවා අපි විහිළුවට ගන්නවා. 

ඔබ මේ මිනිසුන් ගැන වෛරයක්, පිළිකුලක් ඇතිවෙන කෙනෙක් නම් Danish Girl චිත්‍රපටය බලන්න කියල මම කියන්න කැමතියි. මට මේ මිනිස්සු ගැන තිබුනේ පොඩි අපහසුතාවයක් වගේ හැඟීමක්. දැනටත් ඒක එහෙම තියෙනවා. නමුත් ඒ චිත්‍රපටය මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ මොකද කියන දේ ගැන මට තේරුම් ගන්න උදව් වුනා. ඔවුන් දෙස අමුතු ලෙස නොබලා ඉන්න, මග තොටේදී ඔවුන්ව විශේෂ මිනිසුන් ලෙස නොසලකා පාඩුවේ ඉන්න එක අපිට කරන්න පුළුවන්.

මැලේසියාවේ මෙවැනි මිනිසුන් ගොඩක් සාමන්‍යය විදියට ජිවත් වෙනවා. අර මම දකින පාර අයිනේ හැඩ වෙමින් නැලවෙමින් ඉන්න මිනිසුන් ගැන ඒ අසලින් යන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නෑ... උපතින් මැලේසියානුවන් නොවන නේපාල, බංග්ලාදේශ ආදී රටවල මිනිසුන් පවා ඔවුන් දෙස කිසිදු වෙනසක් දක්වන බවක් මට දැනුනේ නෑ... මේ අය සමාජයේ අඩුම මට්ටමට අයිති අය. ඉහල පන්තිවල මෙවැනි මිනිසුන් බොහෝ වැදගත් ආයතන වල රැකියාවල් කරනවා. ගොඩක් වෙලාවට රුපලාවන්‍යය සමාගම් මෙවැනි මිනිසුන්ගේ සේවය ලබා ගන්නවා. 



බොහෝ රටවල දැන් මෙවැනි අයට තම තමන් කැමති පරදී අවයව මාරු කරගන්න ඔපරේෂන් එහෙම කරගන්න පුළුවන්.  ඔවුන්ගේ හැඟීම් සහ පෞද්ගලික ජීවිතය කොහොම ගෙවෙනවද කියන එක නම් හිතා ගන්න අමාරුයි.  නමුත් එහෙම කරගෙන ඔවුන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න එක සමහරවිට අපිට අපේ සිහින රස්සාව ලැබුන වගේ දැනෙනවා ඇති. 

බුද්ධාගම්කාර අපි කරුමෙටත්, අනෙක් අය දෙවියන්ගේ කැමත්තටත් බැර කරලා දාල සමාජයෙන් කොන් කරලා, වෙනස්වූ ආශාවන් ඇති මේ මිනිසුන්ගේ ජීවිතය කටුක කිරීම හරි පහත් දෙයක්. කාලයක් තිස්සේ ඔද්දල් වෙලා තියෙන  අපේ සිතුවිලි එකපාර වෙනස් කරගන්න අපිට බැරි වෙයි. නමුත් අඩුම තරමේ ඔවුන් සමග ගැටෙන එදිනෙදා ජීවිතේදී සරලව සාමාන්‍ය විදියට ඔවුන්ට සලකන්න පුරුදු වෙන එක එච්චර අමාරු වෙන එකක් නෑ. ඔවුන්ට අපේ අනුකම්පාවවත්, විශේෂ සැලකිල්ලක්, නොසැලකිල්ලක් නොදක්වා ඉන්න එක තමා අපිට කරන්න පුළුවන් හොඳම දේ. 

බොහෝ රටවල දැන් සමලිංගික, සංක්‍රාන්ති ලිංගික බව සාමන්‍යය දෙයක් බවට පිළිගන්න පටන් අරන් තියෙන නිසා අනාගත පරම්පරාවලට මේවා ප්‍රශ්න වෙන එකක් නෑ.. හැබැයි ගොබ්බ අදහස් වලින් පිරිච්ච අපේ නායකයින් සහ ඔවුන් පසු පස යන අඳ බාල වැඩිහිටි පරම්පරාවටත්, ඔවුන්ගේ සෙවනේ හැදුනු වැඩුණු අපේ පරම්පරාවලටත් සමාජයක් වශයෙන් මේ මිනිසුන් සාමාන්‍යයි කියල පිළිගන්න තව කාලයක් යයි.


Tuesday, December 04, 2018

ත්‍රිමාන - 2 කොටස


මුල් කොටසට මෙතනින් යන්න

ජනාධිපතිතුමනි, දැන් අපි මොකද කරන්නේ?

තවදුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථිරයි. රාජ්‍ය ලේඛම්වරයා පැවසීය.

“මම ඕස්ට්‍රේලියාවටයි, අප්‍රිකාවටයි කතා කළා. ඒගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සියලුම ස්ථාන ජනාවාස වෙලා, නමුත් දැන් සම්පූර්ණයෙන්ම ජනගහන වර්ධනය වීම නතර කරලා නිසා ඒ රටවල ආයේ ජන වර්ධනයක් ඇති වෙන එකක් නැහැ කියල. ජන අතිරික්තයක් ඉන්න රටවල මිනිස්සුන්ව එහි පදිංචි කරවන්න කියලා තිබුණා. වීසා,පාස්පෝට් නැති වුනත් ප්‍රශ්නයක් නෑ කිව්වා.”

“ඒ වුණාට ඒක තාවකාලික විසඳුමක් විතරනේ. මේ මුළු ලෝකෙම උපත් පාලනය කරන්න තිබුණෙ මීට ගොඩක්  ඉස්සර. දැන් ඉතින් අශ්වයා පිට වුණාට පස්සෙ ඉස්තාලේ දොර වැහුවා වගේ බලාගෙන ඉන්නවා. "

"කොහෙද මේ කෙහෙල්මල් මානව හිතවාදී සංවිධාන මැරෙන්න හැදුවනේ.”  ලේඛම්වරයා ඉතිරිය සම්පූර්ණ කළේය.

“ඇත්තමයි මිස්ටර් රෙනොල්ඩ්ස් මට ඉල්ලලා අස්වෙන්න හිතෙනවා.”

මේ අතර දැනට ලෝකයේ ඉතිරිව තිබුණු වැසි වනාන්තර අතරෙන් එකක් තුළ වනයේ ඒ පරිසරයට නොගැලපෙන යමක් සිදුවෙමින් තිබිණි. අවකාශයේ සහ පදාර්ථයේ සිදුවුණු ක්ෂණික වෙනසට වනය සංවේදී නොවුවා මෙනි.  මෙලොවට ආගන්තුක එවැනි විපර්යාසයක් මීට පෙර දුටුවේ පෞරාණික හා නායක දියබල්ලන් පමණි.

සේවකයෝ දෙදෙනෙක් අනන්තයේ සිට මෙන් අවකාශය තුලින් මතු වූහ.

"ආදොන් බලන්න. වෘක්ෂ වහන්සේලායි පරිවාර වෘක්ෂයි පිරිලා."

“මොකද්ද මේක?”  හොදොන් කෑගැසීය.

නේක වර්ගයේ රූස්ස ගස් වලින් පිරිණු මහා වනය දුටු ඔවුන් දෙදෙනා කුල්මත් වී ගියේය.

"මේක සමහරවිට අපේ පුරාවෘත්ත වල තියෙන වනාන්තරයක් වෙන්න ඇති." ආදොන් මතක් කළේය.

“අපේ අධිරාජයාණන් ගොඩක් සතුටු වෙයි. දිය බල්ලන්ගේ ලෝකයේත් වෘක්ෂ ගොඩක් තිබුණා කියලා එතුමා බොහෝම සතුටු උනා."

"ඒ උනාට මෙච්චර විශාල වනාන්තරයක් අපේ ලෝකේ කවුරුත් දැකලා නැතිව ඇති.” ආදොන් වටපිට බලමින් මහත් සතුටින් යුතුව පැවසීය.

“අපි අර පර්වතය උඩ නැගලා බලමු ඈත මොනවද තියෙන්නෙ කියලා”

මොහොතකින් දෙදෙනා තම ප්‍රතිගුරුත්ව යන්ත්‍ර භාවිතයෙන් පර්වතය මුදුනට නැගීම ආරම්භ කළෝය.

“මගෙ දකුණු කකුලේ තියෙන සෙරෙප්පුවේ වෑල්ව් එකක් නරක් වෙලාද කොහෙද ඒ පැත්ත ටිකක් පහත් වෙනවා” හෝදොන් ඉහළ නගින අතර තුර පැවසීය.

රක්ෂිතයේ සීමාවෙන් ඔබ්බෙහි වූ ජනාකීර්ණ නගරය තුල වූ තට්ටු ගණන් උස ගොඩනැගිලි සේවකයන් දෙදෙනා තුළ අමුතු ආකාරයේ හැඟීමක් ඇති කළේය.

"මම හිතන්නේ ඒ මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වෙන්න ඇති.  හැබැයි ඉතින් මෙච්චර නිවාස තියෙනවා නම් මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ඇති. කොයි එකටත් යමුද පොඩ්ඩක් බලන්න" ආදොන් ඇසිය.

"ඒ ගොල්ලො කවුරුද කියල නොදැන එහාට යන එක භයානකයි නේද?"  හෝදොන් අනතුරු ඇඟවීය.

 "නමුත් මෙච්චර උසට ගොඩනැගිලි හදන්න තරම් දියුණු තාක්ෂණයක් හා බුද්ධියක් තියෙනවා නම් ඒ මිනිස්සු නරක වෙන්න බැහැ.  ඕන එකක් වෙච්චදෙන් කියලා බැහැලා බලමු පල්ලම" යැයි පවසමින් ආදොන් ඉදිරියට පා තැබීය.

"පොඩ්ඩක් ඉන්න එහෙනම් අපි මේ පාවෙන සෙරෙප්පු ගලවලා තියෙන යමු. නැත්තං ඒ ගොල්ලන්ට අපිව අමුතු විදිහට පෙනෙයි. හෝදොන් පැවසීය. පර්වතයෙන් පහලට පැමිණ සිය  පාවහන් ගලවා තැබූ ඔවුහු වනයේ තුරු ලතා අතරින් පෙනෙන නගරය දෙසට ඇවිදීමට පටන් ගත්තෝය. වනයේ සුවද සහ පයට දැනුනු තෙත් ගතිය ඔවුන් තුල ඇති කලේ පෙර කිසිදිනෙක අත් නොවිදි සංවේදනයකි.

පින්තුරය ගූග්ල්



***********************************************


"ඔබතුමා හිතනවද සේවකයන්ගේ පැමිණීම අපේ ලෝකයේ පැවැත්මට තර්ජනයක් නෙවෙයි කියල?" පෞරාණික දියබල්ලා නායක දියබල්ලා ගෙන් විමසීය. ඒ එකදු වචනයක්වත් නොපවසා ය.

"ඔවුන් අපේ සම්මතයන්ට හා නීති වලට ගරු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව ඔවුන්ගේ ලොවෙන් වඳවෙලා ගිය ශාක හා සත්වයන් මෙහෙන් අරන් ගිහිල්ලා එහේ නැවතත් ඇතිකරන එක. අධිරාජ්‍යයා අපිව පාලනය කරනවා කියන එකෙන් මම අදහස් කළේ ඔවුන් හා අප අතර අන්තර් ලෝක සම්බන්ධතා ඇතිකර සිටීම හා ඔවුන් සමග ඒ සම්බන්ධය වඩාත් තහවුරු වන ලෙස විවිධ ගනුදෙනු පවත්වා ගෙන යාමයි. එසේ නොමැතිව ඔවුන් රටේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වීමට උත්සාහ දරයි කියලා මම නම් හිතන්නේ නැහැ." නායක දියබල්ලා සිය අදහස සන්නිවේදනය කළේය.

කොහොම උනත් අපි අපේ පුරාවෘතයේ ඇති අදහස් වලට ගරු කරන්න ඕනේ. මෙවැනි බාහිර ලෝක සම්බන්ධයක් ඇතිවන බව එහි පැහැදිලිව සඳහන් වෙන නිසා මම බලාපොරොත්තු වෙනවා හැමදේම හොදින් සිද්ද වෙයි කියල. පෞරාණිකයා ද ඒ අදහසට එකඟ වෙමින් මද සිනාවක් සැලුවේය. නමුත් මෙම සිදුවීම දියබල්ලන් තුල බියක් නොව උද්යෝගයක් ඇතිකිරීමට හේතුවීම ගැන පෞරාණික දියබල්ලා තුල වුයේ තරමක නොසන්සුන් බවකි. වෙනස සැමවිටම සුභවාදී නොවන බව ඔහුගේ දීර්ඝ ජීවිතය ඔහුට බොහෝ විට ඔප්පු කර තිබුනේය. නමුත් ඔහු සිදුවෙන දෙය සුභවාදිව බලාසිටීමට තීරණය කළේය.

*********************************************

"ඒයි ඔහොම නවතිනවා හෙල්ලෙන්න එපා."

ආදොන් ශබ්දය ආදෙස බැලීය. ගිනි අවියක් අමෝරාගෙන අමුතු ඇඳුමක් ඇඳගෙන ඔවුන් දෙසට එන මේ පුද්ගලයා දෙස සේවකයන් දෙදෙනා බලා සිටියෝය. ඔවුන් දෙදෙනාගේ සිත් කුහුලෙන් පිරී ගියේය.

"උඹලා මොකද මෙහෙ කරන්නේ? දන්නැද්ද මේක අධිආරක්ෂිත රක්ෂිතයක්." සේවකයන්ට ඔහුගේ වදන් නොවැටහුනි.

"කතා කරපල්ලා." ආරක්ෂකයා සිය අවිය හෝදොන් දෙසට එල්ල කර පැවසීය.

"සමාවෙන්න අපි ආවෙ වෙන ලෝකෙකින්. අපිට ඔබව තේරුම් ගන්න බැහැ." හෝදොන් තුවක්කුව ගණනට නොගෙන, ඔවුන්ගේ ක්‍රමයට යටත් යටහත් පහත් ලෙස පැවසීය.

ඇත්තෙන්ම ආරක්ෂකයා අතේ තිබූ මෙම කළු පැහැති උපකරණය පිළිබඳව  ඔව්හු කිසිවක් නොදත්හ.

"මොනවද උඹලා කියන්නේ? ඔය භාෂාව මම දන්නෙ නැහැ. කොහොම උනත් වරෙල්ලා අපේ කුටියට එතනදි මම දැන ගන්නම් උඹල කවුද කියලා." කෝපයට පත් නිලධාරියා සේවකයන් දෙදෙනා ඉදිරියට තල්ලු කරමින් පැවසීය.

"හෝදොන් මෙයා අපට සලකන විදිය නම් එච්චර හොද නැහැ." මේ මිනිස්සු දරුණු ජාතියක් වෙන්න ඕන. අපිට මොනව කරයිද දන්නේ නැහැ." ආදොන් සැකයෙන් මෙන් පැවසීය

"මොනව උනත් ගිහිල්ලා බලමු. මට හිතෙනවා මේ මනුස්සයා එක්තරා විදිහක ආරක්ෂකයෙක් කියලා. සමහරවිට මෙයා අපිව ඒගොල්ලන්ගෙ ප්‍රධානියා  ලගට අරන් යයි. අපි පොඩ්ඩක් ඉවසලා බලමු."

ආරක්ෂකයා ඔවුන් දෙදෙනාව ඔහුගේ කුටිය වෙත රැගෙන ගියේය.

එහි වූ පරිගණකය ක්‍රියාත්මක කරවා මයික්‍රෆෝනය  ඔවුන් වෙත ලංකර, "හ්ම්... දැන් කියනවා…"

කුටිය තුළ වූ අපිළිවෙළ බව සහ ඒ පරිසරයේ වූ නොරුස්නා ගතිය ආදොන් සහ හෝදොන් නොසන්සුන් තාවයට පත් කළේය. කෙසේ වුවත් ඔවුන් ආරක්ෂකයාගේ සිතිවිලි තේරුම් ගෙන මයික්‍රෆෝනය ඉදිරියේ "අපි ආවෙ වෙන ලෝකෙකින්" යැයි පැවසීය.

"හරි පොඩ්ඩක් ඉන්නවා." යැයි පැවසූ ආරක්ෂකයා ඔවුන්ගේ භාෂාව කුමක්දැයි පරිගණකය දෙස බලා හඳුනාගත්තේය.

"තමුසෙලා කතාකරන්නේ  සිංහලනේ.  මම නම් සිංහල දන්නෙ නෑ.  කොහොම උනත් කියන දේ මයික් එකට කියනවා. " ඔවුන් දෙදෙනා දෙස නැවත වරක් හිසේ සිට පාදාන්තය තෙක් බැලු ආරක්ෂකයාට ඔවුන් තුල වූ මින්පෙර කිසි දිනෙක කැලයෙන් හමුවූ මිනිසුන්ගෙන් නොදක්නා ලද ශාන්ත පෙනුමත්,   වටිනා රෙද්දකින් මනාව සැකසු අමුතු ඇඳුමත් නිසා මොවුන් සැබවින්ම කවුද යන සැකයේ සිතිවිල්ල  ඇතිවිය. නමුත් ඒ ගැන වැඩිදුර සිතීමට තරම් උවමනාවක් ඔහුට නොවිය.

ආරක්ෂකයා පැවසූ දෙය හෝදොන්ට සහ ආදොන්ට යන්ත්‍රය මගින් සිය මව් භාෂාවෙන් පැවසිය.

"ඔයාල ගොඩක් දියුණුයි නේ." හෝදොන් මද සිනාවෙන් යුතුව පැවසීය.

"විකාර කතා නෙමෙයි. තමුසෙලා කවුද? මොකටද ආවේ? මොනවද කරන්නේ කියලා ඉක්මනට කියනවා. මට තව වැඩ තියෙනවා."

"අපි සේවකයෝ ." ආදොන් කතාව ආරම්භ කරමින් පැවසීය.

 "හොඳයි.  තමුසෙලා කාගේ සේවකයෝ ද?

ආරක්ෂකයා මැද්දට පැන ඇසුවේය

ඒ ප්‍රශ්නයෙන් සේවකයෝ පුදුම වූහ.  "අපි කාගෙවත් සේවකයෝ නෙමෙයි. සේවකයෝ කියන්නේ අපිට තමයි."   පුදුමයට පත්වූ ආදොන් පැවසීය.

"මොනවද අයිසේ  කියන්නේ.   බොරු කියලා මගෙන් ගැලවෙන්න බෑ.  මම දැන් අවුරුදු දහයක් මේ වැඩේ කරනවා. තමුසෙලා දන්නවනේ අධිආරක්ෂිත රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වුණොත් දඬුවම මරණය. කිසිම සමාවක් නෑ.  මේ ජනගහණය වැඩි වෙලා ඉන්න වෙලාවේ දෙන්නෙක් මැරෙන එකත් ලොකු දෙයක්. ආරක්ෂකයා මුහුණ පුළුටු කරමින් පැවසිය.

සේවකයින් එයින් බොහෝ දේ තේරුම් ගත්තෝය.

"මහත්මයා මේ අහන්න. අපි මේ ලෝකේ අය නෙමෙයි. අපි ආවේ සමාන්තර ලෝකෙකින්.  අපි නොදැනුවත්ව ඔබලා මෙච්චර ආරක්ෂා කරන පූජනීය වෘක්ෂයන්ගෙන් පිරි භූමියකට ඇතුළු වුණේ. ඒ ගැන අපි සමාව ඉල්ලනවා. අපි කැමතියි ඔබලාගේ ප්‍රධානියා හමුවන්න" ඔහු පැවසීය.

එබස් අසා මදක් කැළඹීමට පත් ආරක්ෂකයා හෝදොන් ගේ දෑස් දෙස මොහොතක් බලා සිටියේය.  "සමාන්තර ලෝක? අපිට අඩු දැන් සමාන්තර ලෝක තමා. උඹල දෙන්නා කාගේ කවුරු උනත් අමුතුම විදියකට තමා හැසිරෙන්නේ." ආරුඩ කරගත් කේන්තියකින් යුතුව අසල තිබු දුරකථනය අතට ගෙන "සර් මම මිනිස්සු දෙන්නෙක් අල්ල ගත්තා. ඔවුන්ට ඔබව හමු වෙන්න ඕනෙලු."

"මොන කරදරයක්ද අයිසෙ... දැන්  ටිකකට කලින් දකුණේ එකත් කාවද අල්ලගත්තා කිව්වා. දන්නවනේ කරන්න ඕනෙ දේ. මගෙන් අහන්න දෙයක් නෑනේ. අනිත් එක අද ඉරිදා. අද මගේ නිවාඩු දවස. මට එන්න බැහැ. " ඒ මොහොතේ වෙරි මතින් පසු වූ ප්‍රධානියා පැවසීය. ආරක්ෂකයාට අවශ්‍යය වුයේ වාර්තා පිණිස සිය ප්‍රධානියාට දැන්වීම පමණි.  ලැබෙන උත්තරය ඔහුට කට පාඩම් වී තිබිණි.

ලොක්කට තමුසෙලා ව හම්බවෙන්න එන්න බැහැ ලු. තමුසෙලා මට ඇත්ත කියනවද? නැත්නම් මම මගේ වැඩේ කරන්න ද? මට අණ දීලා තියෙන්නෙ අනවසරයෙන් ඇතුළු වන සියලු දෙනාම මරන්න.

ආරක්ෂකතුමාණෙනි පොඩ්ඩක් ඉවසනු මැන. අපට ඔයාලට උදව් කරන්න පුලුවන්. අපිට පුලුවන් ඔයාලගේ වැඩි වන ජනගහණයට විසඳුමක් දෙන්න. ආදොන් ආරක්ෂකයා දෙස බලා පැවැසීය.

"ඕව කියල වැඩක් නැහැ. ඔය එක එක ජාතියේ බොරු කියලා මාව රවට්ටන්න බැහැ..." වැඩිවෙන ජනගහනෙට විසදුමක් දෙන්න තමා මම මේකට එන එන එකාලට වෙඩි තියන්නේ.  එනවල යන්න….  පැනලා එහෙම යන්න හදන්න එපා.  මගෙන් බේරෙන්න බැහැ."

"හරි පොඩ්ඩක් ඉන්න අපි ඔප්පු කරන්නම් අපි මේ ලෝකෙ නෙමෙයි කියලා." හෝදොන් පැවසීය.

"කොහොමද තමුසෙ ඔප්පු කරන්නේ. ඔය සමාන්තර ලෝක කතා මම අහල තියෙනවා. බොරු කතා."

"අපිට අපි ආපු තැනට ආපහු යන්න පුළුවන් නං අපි ආවෙ වෙන ලෝකෙකින් කියන එක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්."

"මේ යාලුවා තමුසෙට බෑ මාව ගොනාට අන්දන්න. තමුසෙලා කවුරු උනත් මට ප්‍රශ්නයක් නැහැ. නීති කඩ කළොත් මරණය.... එච්චරයි."

"මහත්මයා පොඩ්ඩක් ඉවසන්න. මේක අපි දෙගොල්ලන්ටම ඉතාම වැදගත් දෙයක්." හෝදොන් ඉල්ලා සිටියේය.

"වැඩක් නෑ අයිසෙ. ඔය කතා  අහ අහ මගේ කාලේ නාස්ති කරන්න මට බැහැ. එක එක විදියේ බොරු අහලා මට දැන් ඇති වෙලා. මේ රට අස්සේ සිංහලයොයි, චින්නුයි, කල්ලොයි, බල්ලොයි ඔක්කොම දාගෙන මළ කරදරේ…"

"එනවල යන්න." සිය කුටියෙන් එළියට බහිමින් ආරක්ෂකයා පැවසීය.

"හෝදොන්, කරන්න දෙයක් නැහැ. මේ මනුස්සය අපි කියන දේ තේරුම් ගන්නේ නැහැ. මට හිතෙන විදිහට මේ මිනිස්සු කොහොමත් අපිට හරියන අය නෙමෙයි. මෙයාලා දියුණු වුණාට මෙයාලගේ ගතිගුණ එතරම් හොඳ නැහැ. මේ මනුස්සය අපිව මරන්න කලින් අපි ආපසු යා යුතුයි නැත්නම් දිය බල්ලනුත් අපිට නැති වෙයි." ආදොන් කල්පනාකාරීව පැවසිය.

"මමත් හිතුවේ ඒක තමයි. දිය බල්ලොත් එක්ක බලනකොට මේ මිනිස්සු කොහොමත් නොදියුණු ජාතියක්.  ඒත් කොහොමද අපි දැන් මෙයාගේ ගැලවෙන්නේ." කුටියෙන් එළියට බසිමින් හෝදොන් ඇසුවේය.

පරිගණක  සහාය නොමැති බැවින් ඔවුන් කතා කළ දේ ආරක්ෂකයාට  නොතේරුනේ ය.

"උඹල දෙන්න කතා කරන්නේ පැනලා යන එක ගැන නම් ඒක බොහොම නිශ්ඵල දෙයක්.  මොකද මේ තුවක්කුවෙන් බේරෙන්න බැහැ. මම තරම් දක්ෂ වෙඩික්කාරයෙක් මුළු කැලෑ ආරක්ෂක සේවයේම නැහැ.  ගිය අවුරුද්දේ හොදම වෙඩි තබන්නාට හිමි පදක්කම හම්බුනෙත් මට. සිය ඇඳුමේ වූ පිත්තල කැබැල්ල දෙස බලමින් ආරක්ෂකයා උජාරුවෙන් පැවසීය.  ඒක නිසා උඹ පැනලා යන්න හදන්නේ නැතිව ගෞරවාන්විත විදිහට මැරියන්. මේ ලෝකෙට දැන් කරන්න පුළුවන් ලොකුම සේවය තමයි ඉක්මනට මැරෙන එක."  ආරක්ෂකයා අවඥාවෙන් පැවසීය.

ඔහුගේ මේ වදන් සේවකයන් දෙදෙනාට නොතේරුන නමුත් තවදුරටත් ඔහුට සවන් දීමට ඔවුන් දෙදෙනා තුළ කිසිදු අවශ්‍යතාවක් නොතිබිණි.

"හෝදොන් මතකනේ "මික්ස් කික්".  මෙයාට දෙකක් දුන්න ගමන් අපිට ගැලවෙන්න පුළුවන්." ආදොන් සිය මුතුන්මිත්තන්ගෙන් ලැබුණු කුඩා කල සිය ඉගෙනුම් හල් වලදී ඉගෙනගත් සටන් ක්‍රමය සිය මිතුරාට මතක් කළේය.

ඔවුන් මෙය අත්හදා බලන්න ප්‍රථම අවස්ථාව මෙයයි මීට පෙර ඔවුන්ගේ ලෝකයේ දී කිසිදු අවස්ථාවක මෙවැනි අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති නොවුණි.

ගස්වැල් පිරුණු පරිසරය දෙස බැලූ ඔවුනට මේ ලෝකය කෙරෙහි ආදරයක් ඇති වුවද, මේ අකාරුණික මිනිසාගේ ස්වභාවය දෙස කල්පනා කරන විට ඇති වූයේ කලකිරීමකි. ආයුධයක්  උලුප්පාගෙන පිටුපසින් එන මේ මිනිසාගේ ක්‍රියාව නිසා සමස්ත ලෝකය පිළිබඳව තීරණය ගැනීම හරිද වැරදිද යන්න පිළිබඳව ඔවුන් තුළ ගැටළුවක් ඇති වුවද මේ ලෝකය මුහුණ පා ඇති අර්බුදකාරී ස්වභාවය නිසා සාමකාමී සම්බන්ධයක් ගොඩනගා ගැනීම අපහසු වනු ඇතැයි ඔවුන් දෙදෙනාටම තේරුම් ගියේය. වනයෙන් එපිට අහස උසට නැගුණු ගොඩනැගිලි  තුලින් ඔවුන් දුටුවේ අසහනය මිස සාමකාමී සංතෘප්ත බවක් නොවේ.

ඔවුන් දෙදෙනාට තීරණයක් ගැනීමට මේ මිනිසා සහ ඈත පෙනෙන අසන්තෘප්ත පරිසරය ප්‍රමාණවත් විය.

ඔවුන් දෙදෙනා වට පිට බලනු දුටු ආරක්ෂකයා පිටුපසින් පැමිණ දෙදෙනාව ඉදිරියට තල්ලු කළේය.  පියවර කිහිපයක් ඉදිරියෙන් තිබූ හිස් බිම වෙතට පැමිණි සැනින්

"හෝදොන් දැන්" යැයි ආදොන් සංඥාව දුන්නේ ය.

අසුරු සැනින් ආපසු හැරුණු ඔවුන් දෙදෙනා අහසට පැන අඩ වටයක් කැරකී දුන් පා පහරින් අන්දමන්ද වී ගිය ආරක්ෂකයා සෑහෙන කාලයකට නැවත නොනැගිටින  ලෙස වැදහොත්තේය.

"අපිට සමාවෙන්න යාලුවා. අපි ඔබත් එක්ක තරහා නැහැ. අපි ඔයාට ගරු කරනවා ඒ තමන්ට ලැබෙන අණ අකුරටම පිළිපදින නිසා, නමුත් ඔයාගේ ලෝකය අපිට ගැළපෙන්නෙ නැහැ. මේ විශ්වයේ තවත් හොඳ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. 


***************************************

සේවකයන්ගෙන් ලොවෙහි දර්ශන පුවරුවකින් අප ජීවත්වන සමාන්තර ලොවේ සංඛ්‍යාතයන් සදහටම මැකී ගියේය.


නිමි 

Monday, November 26, 2018

ත්‍රිමාන - 1 කොටස


“අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය  යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය.

“එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය. අධිරාජ්‍යයා නැගී සිටියේය.

සේවකයන්ගේ ලොවෙහි තත්වය මෙයයි. අධිරාජ්‍යයාට සියළු බලතල ඇත.  නමුත් ඔහු සිය අතවැසියන්ට ගෞරව කළ යුතු‍ය. එනම් මෙහි පිදුම් ලබන්නෝ දෙවර්ගයකි. ඒ පාලකයන් හා අතවැසියන්ය.

කිසිම සේවකයෙකුට සිය අධිරාජ්‍යයාගේ මුහුණ දෙස බලාගෙන කතා කිරීම සේවකයන්ගේ නීති වලට අනුව තහනම්ය. මෙහි සිටින සමහර සේවකයන් අධිරාජ්‍යයා එක් වරක් හෝ පියවි ඇසින් දැක නැත.

අධිරාජ්‍යයා සිය මාළිගාවෙහි වූ දැවැන්ත වෘක්ෂය වෙතට ගියේය. ගෙබිම පැන නැගී තිබුණ මුල් මත සිටගත් ඔහු පත්‍රයන් හිස මත තබා වෘක්ෂයේ ආශිර්වාය ලබා ගත්තේය. ඉන් අනතුරුව සිරිත් ලෙස සියලු කාර්යකය ක්‍රියාත්මක කර සිංහාසනය මත වාඩි විය. සියළු කාර්යකය මගින් දිය බල්ලන්ගේ ලොව පිළිබඳව මෙතෙක් අනාවරණය කරගත් කරුණු සියල්ල සිය වටකුරු හිස තුල තැන්පත් කරගත්තේය. ඉන් අනතුරුව සියළු කාර්යකය මගින් ලැබුණු විධානයකට අනුව එකම කලාව තුළ සිය සංඛ්‍යාතයේ පිහිටීම විචල්‍යය කරවමින් සේවකයන් කලින් සැලසුම් කල පරිදි දිය බල්ලන්ගේ ලොවෙහි අදාල ස්ථානයට ප්‍රක්ෂේපණය විය.

දිය බල්ලෝ අත් පොලසන් දෙමින්, හූ කියමින් සිය නව නායකයා පිළිගත්හ. දැනට සිටින නායක දිය බල්ලා සම්පුර්ණ රාජකීය ඇඳුමින් සැරසී සිය නව නායකයා පිළිගැනීමට සැදී පැහැදී බලා සිටියේය. ප්‍රක්ෂේපිත රුව සම්පූර්ණයෙන් සෑදුන පසු ප්‍රධාන දියබල්ලා මෙතෙක් වෙලා රැඳී සිටි සිය චිත්ත ශක්තී යානයෙන් බැස සේවකයන්ගේ අධිරාජ්‍යයා වෙත ගියේය.

අධිරාජ්‍යයාගේ රූපය ඔහුට තමාගේ ක්‍රමයට ආචාර කළේය. ඒ සමගම ඔහු සිය සියළු කාර්යකයේ වූ බොත්තම් කිහිපයක් තද කළේය. දියබල්ලන්ගේ නායකයා එහි සිට අධිරාජ්‍යයාගේ රුවට තමාගේ ක්‍රමයට ආචාර කළේය. එය සේවකයන්ගේ ලොවෙහි වූ සියළු කාර්යකයේ තැන්පත් විය.

“උතුමාණෙනි, ඔබ අපව සොයා ගත්තා. ඊයේ වනතුරු අප සිතා සිටියේ මේ විශ්වයේ අපි තනිවෙලා කියලා. නමුත් අපේ ලෝකයට අයිති මාන දෝරටුව විවෘත වෙලා ඔබේ ලොවේ අය මෙහාට පැමිණි විට අපි පුදුම වුණා. මුලින්ම මම ඒක විශ්වාස කළේ නෑ. නමුත් පෞරාණික දියබල්ලා පැහැදිලි කළා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ.” නායක දියබල්ලා පැවසීය.


“මමත් එහෙම තමයි. මගේ ප්‍රධාන අතවැසියානන් කෙනෙක් ඔබලාගේ ලෝකයට අයිති සංඛ්‍යාත පරාසය සොයාගෙන ඒ බව මට සැලකල විට මම ඒක විශ්වාස කළේ නැහැ. නමුත් ඔවුන් අපේ ලෝක අතර දොරටු විවෘත කරපුවහම මට ඒක විශ්වාස කරන්න සිද්ධ වුණා.”

“ඔබතුමාගේ අකමැත්තක් නැතිනම්  මම කැමතියි දැනගන්න ඔබතුමා මෙහාට ප්‍රක්ෂේපිත රුවක් පමණක් එවීමට හේතුව?”

“ඒක සම්බන්ධයෙන් මම දැන් කණගාටු වෙනවා. මගේ සේවක ජනතාව දන්වා සිටියා ඔබලා කෙබඳු පුද්ගලයන්දැයි නොදැන එහි යෑම අනතුරුදායක විය හැකියි කියලා. නමුත් මට දැන් පෙනෙනවා ඔබලා සාමකාමී මිනිසුන් බව.”



“එතකොට උතුමාණෙනි, ඔබතුමා ලැහැස්තිද  දැන් අපේ නව නායකයා වීමට” දියබල්ලා ඇසීය. අධිරාජ්‍යාය පුදුම විය.

“ඔබ මාව නායකයා ලෙස පිළිගන්නවාද? මම හිතුවේ මට යුද්ධ කරන්න වෙයි කියලා.” ඔහු පැවසීය.

“ඒක එහෙම විය යුතුයි. පෞරාණීක දියලබල්ලාගේ අදහස්වලට අනුව කවදා හෝ උපතින් දියබල්ලෙක් නොවන පුද්ගලයෙක් අපේ ලොවට පා තැබුවහොත් ඔහුව අපේ පාලකයා ලෙස පිළිගත යුතුයි. මේක අපේ පරම්පරාගත නීතියක්.”

නායක සේවකයා සිය හිස දෑතින් බදා ගත්තේය. එය සේවකයන් පුදුම වූ විට දක්වන චලිතයයි.

“ඇයි ඔබ බය වෙලා වගේ. බය වෙන්න කිසිම දෙයක් නැහැ.” දියබල්ලා පැවසීය.

“නැහැ බය වුණා නෙවෙයි. මට පුදුම හිතුණා. මට විශ්වාස කරන්න බැරිවූණා. ඒ වගේ වෙලාවේදී හිස බදා ගැනීම අපිට උපතින්ම උරුම වෙච්ච දෙයක්.” අධිරාජ්‍යයා පැහැදිලි ක‍ළේය.

“අපිට අපි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.” දියබල්ලා පැවසීය.

හදිසියේම අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය අස්වාභාවික ලෙස සෙලවී ගියේය. එය දුටු දියබල්ලා මඳක් වික්ෂිප්ත විය.

“ඔබ කොහොමද ඒක කළේ?”

“ඇත්තටම ඒක මම උවමනාවෙන් කළ දෙයක් නොවෙයි. දැන් අපේ ලෝකයට අඳුර වැටෙන්න ආසන්නයි. ඒ නිසා සූර්යාලෝකයේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඉතින් මගේ ප්‍රක්ෂේපණයට සුළු සුළු බාධා ඇති වෙනවා.” දිය බල්ලා කිසිවක් නොකියා අසමින් සිටියේය.

“කොහොම වුණත් මට තව වැඩි වෙලාවක් ඔබත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා ඉන්න අවසර ලැබිලා නෑ. වෘක්ෂයේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය කරන එක තහනම් නිසා මම දැන් පිටව යනවා. මට බොහොම සන්තෝෂයි ඔබලව හඳුනගන්න ලැබීම ගැන. ඒ ව‍ගේම මම බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපේ ලෝක දෙක අතර සම්බන්ධයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මම ළගදිම අපේ ලෝක දෙක අතර ස්ථීරවම දොරටුවක් විවෘත කරන්නට කටයුතු කරන්නම්. එතෙක් අපේ ලොවට ඇතුල් වීමට මේ උපකරණය පාවිච්චි කරන්න යැයි අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය ඝණකාභ හැඩැති උපකරණයක් දියබල්ලාගේ අතට දුන්නේය.

“මේකේ තියෙන මේ සංකේත තුන ස්පර්ශ කිරීමෙන් ඔබලාට අවශ්‍ය විටෙක මාන දොරටුව විවෘත කළ හැකියි.”

දියබල්ලා ඒ මේ අතර හරවමින් ඒ දෙස පුදුමයෙන් බැලුවේය.  නමුත් ඔහුට ඒ පීළිබඳව අධිරාජ්‍යාය‍ගෙන් කිසිවක් දැනගැනීමට නොහැකි විය. මක් නිසාදයත් ඒ වන විටත් අධිරාජ්‍යයාගේ රුව මැකී යමින් තිබුන බැවිනි.

“ආදොන් මේ බලන්න. තවත් සංඥාවක්” හෝදොන් දර්ශක පැනලය දෙස බලමින් තම මිතුරාට පැවසීය. තිරයේ දකුණුපස ‍කෙලවරින් තවත් සංඥාවක් ලැබෙන බව දැක්වෙමින් තිබිණි.

“ඒ කියන්නේ තව ඒවා තියෙනවා. පොඩ්ඩක් ඒක තීව්‍ර කරන්න බලන්න.”

“ඒක සෑහෙන්න අමාරුයි. ඒ තරංග සෑහෙන්න විකෘති වෙලා. අපට අවශ්‍ය සංඛ්‍යාතය තෝරාගන්න අමාරුයි.” හෝදොන් උපකරණ සීරුමාරු කරමින් පැවසීය.

සිය අධිතාක්ෂණික පර්යේෂණාගාරයේ තිර වල සටහන් වූ සංඛ්‍යා වලින් පෙන්නුම් කල අනෙක් මානය කෙසේ වේදැයි දෙමිතුරන් තුල වුයේ උද්යෝගයකි. දියබල්ලන් හමුව සේවක ඉතිහාසය තුල ඔවුන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි.


අධිරාජ්‍යායා සිය මාළිගාවේ වූ මහා වෘක්ෂය ඉදිරිපිට සක්මනෙහි යෙදුණි. ඔහුගේ සිත තුල සතුටකි. ලෝක දෙකක පාලකයා වීම.... එය ඔහුට සිතාගත නොහැකි අන්දමේ ත්‍යාගයකි.  එමෙන්ම විශාල වගකීමකි. නමුත් ඔහු සතුටිනි.

ද්විත්ව ලෝකයම එළිය කරමින් සූර්යයා පායා ආවේය. “අධිරාජ්‍යයාණෙනි, සුභ උදෑසනක්!” මාළිගයට පැමිණි සේවකයා පසුපස හැරී පැවසීය.

“ආදොන් හා හෝදොන් අපේ ලොවට දකුණු පසින් මඳක් ඇලව පිහිටා ඇති තවත් සමාන්තර ලොවක සංඛ්‍යාත පරාස ගණනය කරමින් සිටින නමුත් ඒවා එතරම් පැහැදිලි නැතැයි ඔවුන් කියනවා.” සේවකයා පැවසීය.

“අහා! එය ඉතාමත් සතුටට කාරණයක් සේවකයාණෙනි. ඔවුන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න. ඔවුන් කෙබඳු මිනිසුන්ද?” සතුටට පත් අධිරාජ්‍යයා ඇසුවේය”

“ඒ ගැන තවම දැනගන්න විදියක් නැහැ කියලා ආදොන් පැවසුවා. අපේ සංඛ්‍යාතයන්වත් ඔවුන්ගේ ලොවට ඇතුල්  කරන්න බැරිවෙලා. ඒ ලෝකයේ සංඛ්‍යාත එතරම්ම විකෘති වෙලා. නමුත් ආදොන් හා හෝදොන් උත්සහය අතහැරලා නෑ” සේවකයා ඉවත බලා පැවසීය.

“හොඳමයි සේවකයාණෙනි, තවත් තොරතුරු ඇතොත් මට වහාම දන්වනු මැන. මම දැන් දියබල්ලන්ගේ ලොවෙහි පාලනයට අවශ්‍ය නීති රීති සකස් කරමින් ඉන්නේ. ඒ සියල්ල නිම වූ වහාම සේවක මණ්ඩලයට දන්වන්නම්.” අධිරාජ්‍යායා යටහත් පහත් ලෙස පැවසුවේය. සේවක විද්‍යාඥයා යන්න ගියේය.




*****************************************


දෙලොවටම පෑයු හිරු ඇමරිකානු ජනාධිපතිවරයාට තවත් කාර්යබහුල දවසක් උදාකරමින් පායා ආවේය.

ජනාධිපතිවරයා සිය අතෙහි තිබූ නවතම සංඛ්‍යාලේඛණ වාර්තා දෙස නැවතත් බැලුවේය. අසුනෙන් නැගිට සක්මනෙහි යෙදුනේය. කරන්නට කිසිවක් නැත. මුළු ලොවෙහි ඇති භාවිතයට ගත හැකි ගොඩබිම් වලින් 98.5% පමණ මේ වන විට ජනාවාස වී හමාරය. තව ඉතිරිව ඇත්තේ ලෝක උරුමයන් ලෙස සලකනු ලැබූ මහා වනාන්තර කිහිපයකුත් පහසුවෙන් තරණය කළ නොහැකි කඳුවැටි කිහිපයකුත් පමණි. සියළුම කාන්තාර ජනාවාස වී අවසන්ය. චන්ද්‍රයාගේ කොටසකටද මේ වන විට පදංචිකරුවන් යවා ඇත. අභ්‍යාවකාශයේ තැනූ අතිවිශාල නැවතුම්පොළවල් වලද මිනිසුන් පදිංචි වී ඇත. ඔවුන්ට සමහරවිට කෙදිනකවත් තම මාතෘභුමියට ආ නොහැකි වන්නට ඉඩ ඇත.


ජනාධිපතිවරයා හිස කැසුවේය. පෙරදා රාත්‍රිය අඩ නින්දෙන් ගෙවීමෙන් ඇතිවූ තෙහෙට්ටුව ඔහුගේ සිතීමේ ශක්තිය හීන කර දමා ඇත. ඔහුට කිසිවක් කරකියාගත නොහැක. විවිධ රටවලින් ආධාර ඉල්ලමින් පණිවිඩ දුසිම් ගණන් එවා ඇත. වැඩි වූ ජනගහණයට සාපේක්ෂව ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවලට අවශ්‍යය සම්පත් වල වැඩි වීමක් නොවුණි. ප්‍රචණ්ඩ ක්‍රියා,මිනිමැරුම්,හොරකම්, වංචා දූෂණ ආදිය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ලොවපුරා බිලියන ගණනක් ජනතාව පීඩිතව සිටී. මේ අතර 3වන ලෝකයේ රටවල් ප්‍රධාන තැනක් ගෙන තිබුණි. ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස ජනාධිපති ස්ටීවන් ආර්.විලියම්ට මේ සදහා යමක් නොකර සිටීමට නොහැක. නමුත් ඔහුට කල හැකි දෙයක්ද නොවීය.

*****************************************

ප්‍රධාන දියබල්ලා සිය වායුපායානය සුවිසල් මැදුරක දොරකඩ අසල නැවැත්වීය. දියබල්ලන්ගේ ලොවෙහි ඇති එකම ප්‍රවාහන මාධ්‍යය මෙය වේ. එහි වෙසෙන සෑම දියබල්ලකෙුටම එවැනි වායුපායානය බැගින් ඇති අතර ස්වකීය සන්තානයේ ඇති අසීමිත ශක්තියෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ඔවුන් තමන්ගේ රථයේ ඉන්ධන ලෙස යොදාගනී.

මාළිගාවේ දොරවෙත ස්වකීය මොළයෙන් නිකුත් වන ජෛව සංඥා කිහිපයක් එක්තැන් කර යැවූ දියබල්ලා ඉදිරියේ ඒ සුවිසල් දොර විවෘත විය. සේවකයන් හා සම්බන්ධය ඇරඹුණු පසු ඔහු මෙම දොරින් ඇතුළු වන ප්‍රථම වතාව මෙය වේ. ඔහු නොපැකිලිව ඉදිරියට ගියේය. තවත් දියබල්ලන් කිහිප දෙනෙක් මාළිගය තුල සිටි නමුත් ඔවුන් ස්වකීය නායකයා කෙරෙහි එතරම්ම සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඔවුනට දැන් නව නායකයෙකු සිටින නිසා නොව සදාකාලිකවම එය ඔවුන්ගේ පිළිවෙත වූ නිසාවෙනි.

නායක දියබල්ලා දෙතුන් වරක් වමට හා දකුණට හැරෙමින් මාළිගාවේ කොරිඩෝර ඔස්සේ ඇවිද ගියේය. අවසානයේ ඔහුට හමුවිය. දෙපසින් වූ දිගුවන් කැරලි ගැසුණු කොණ්ඩය නිසා කැපී පෙණුනු විශාල තට්ට හිස සහිත දිය බල්ලන්ගේ ලොවෙහි සිටින වයස්ගතම පුදුගලයා වූයේ මොහුය. අතිශය දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් අතිවිශාල දැනුම් සම්භාරය නිසා එලොවෙහි ජිවත් වූ අතිශය සම්භාවනීය පුද්ගලයා වුයේ මෙම පෞරාණික දියබල්ලාය. නායක දියබල්ලා ඔහු ඉදිරියේ සිටියේය.


“ඔව් මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය?” පෞරාණිකයා සිතුවේය. දියබල්ලා තමා රැගෙන ආ ආගන්තුක වස්තුව පෞරාණිකයා අතෙහි තබා පෙර දින සැඳැවේ සිදුවූ සියල්ල නැවත සිතුවේය. ඒ දෙස අවධානය යොමුකර බලා සිටි පෞරාණිකයා අධිරාජ්‍යයා පැවසු සළකුණු ස්පර්ශ කර බැලුවේය.

අවකාශයේ වූ පදාර්ථවල ආසාමාන්‍ය පෙරලියක් ඇති විය. මොහොතක් ගත විය. ඔවුන් ඉදිරියේ අඩි 6ක පමණ විෂ්කම්භය සහිත නිමක් නොමැති උමං  මගක් වැනි, සැබැවින්ම තිබේද නොතිබේද යන්න පවා පැහැදිලිවම සිතාගත නොහැකි යමක් දර්ශනය විය.

“බාද්-ෆිල්-හා-ඩා!” නායක දියබල්ලා කෑගැසුවේය. (බාද්-ෆිල්-හා-ඩා යනු දියබල්ලන්ගේ ලෝකයේ අපේ නම් දෙවියාය.)

පෞරාණික දියබල්ලාල ඒ දෙස විශ්මයෙන් බලා සිටියේය. ඔහගේ ජීවිත කාලය තුලදී මෙවැනි දෙයක් දුටු පළමු වතාව මෙය විය.

“ඇත්තටම ඒ ගොල්ලෝ බොහොම දියුණු ජාතියක්” ඔහු කතා කළේය. 

“මම ඇතුළට යන්නද?” නායක දියබල්ලා ඇසුවේය.

පෞරාණිකයා මඳක් කල්පනා කර හිස සැලුවේය.

සිත තුළ වූ දෙගිඩියාවෙන් යුතුව දියබල්ලා මඳක් ඉදිරියට ගොස් උමඟ තුළට පා තබා ඉදිරියට එබුණි. ඔහු ඉදිරියේ වූයේ ගිනිගෙන දැවෙන කාන්තාරයකි. සම්පූර්ණ මුඩු බිමකි.

නායක දියබල්ලා මින්පෙර කිසි දිනෙක කාන්තාරයක් දැක නොතිබුණු අතර ඔහුගේ සිරුරේ ඉදිරිපසට මෙතරම් උණුසුමක්ද දැනී නොතිබුණි. මක්නිසාදයත් දියබල්ලන්ගේ ලෝකයේ කොතැනක හෝ කාන්තාර මුඩු බිම් නැත. සම ශීතෝෂ්ණ දේශගුණයක් සෑම දිනකම පවතින ලෝකයක දිවි ගෙවන ඔවුන්ට මෙවැනි උණුසුමක් දරාගත නොහැකි සේය. ඔහු වහා තමාගේ ලොවටම ඉදිරි පයත් ගෙන ආවේය.

“පුදුම උණුසුමක්........ ඒ ලෝකේ ඉන්න අය කොහොම ඉන්නවද මන්දා. ඒක හරියට අපේ පැරණි ලේඛණ වල තියෙන වැලි බිමක් වගේ” නායක දියබල්ලා පැවසීය.

“ඔබ එහි තව මොනවද දැක්කේ?” පෞරාණික දියබල්ලා සිතුවේය.

“දිගටම වැලි බිම විතරයි. උැතින් නිකම් ක්‍ෂේම භූමියක් වගේ දැක්කා. හැබැයි ඒකත් හරි කෘතිමයි.” නායක දියබල්ලා පැවසීය.

ඔහු වෙනදානම් මෙවැනි පැන වලට පිළිතුරු පැවසීමට සිය මුව වෙහෙස නොකරනනමුත් ඔහු තුල වූ තැතිගැස්ම ඔහුව ඔහුගේ ඒ ගොළුබවින් මුදවා ගත්තේය.

දියබල්ලෝ කලෙක ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ ඉතා අහිංසක ජන කොට්ඨාශයක් වූහ. එසමයෙහි ඔවූහු තමන්ට උපතින්ම ලැබී තිබුණූ ස්වකීය මනස පාලනය කිරීමේ ශක්තිය ප්‍රයෝජනයට නොගත්හ. නමුත් ශතවර්ෂ කිහිපයකට පෙර ඔවුන්ගේ ලොව තුළ ඇති වූ පුනරුද සමයෙන් පසු ඔවුන්ගේ දියුණුවට අඩිතාලම වැටුණි. ඔවුන් දියුණු වූයේ සීමා සහිතවය. දියබල්ලන්ට අවශ්‍ය වූයේ සිය මූලික අවශ්‍යතා නියමාකාරයෙන් සපුරාගැනීම පමණි. ඉන් එහාට වූ දියුණුවක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව තිබුණු නමුදු ඒ සඳහා උත්සහ නොකළහ. වසර සිය ගණනකට පසු සේවකයන්ගේ ලෝවැස්සන් දියබල්ලන්ගේ ලොවට ඇතුල් වන තුරුම ඔවූහූ තමන් විසින් තනාගත් පුංචි හුදෙකලා ලොව තුළ ස්වාභාවිකත්වයට ආදරය කරමින් ජීවත් වූහ. ඔවුන් අතර ගැටුමු ඇති නොවීය. එහි වූ සෑම දියබල්ලෙකුටම සම අයිතිවාසිකම් ලබාදී තිබුණි. කෙනෙක් තව කෙනෙකු පරයා වාසි ප්‍රයෝජන ලැබීමට උත්සහ නොකලෝය. සියල්ලෝම වෛරය, ක්‍රෝධය වැනි සිතුවිලි යටපත් කරගැනීමට පුරුදු වූහ. ඔවුන් තුල වූයේ එකිනෙකා කෙරෙහි වූ සෙනෙහසකි. ඔවුන් කිසිවෙක් කිසිවෙකුට කිසිදාක වෛර නොකළෝය. අවශ්‍ය තරමට පමණක් තාක්ෂණික අතින් දියුණු වූ ඔවුහූ සිය අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩිපුර යොමුවූහ. සේවකයන්ගේ පැමිණීමෙන් පවා ඔවුන් වෙනස් නොවනු ඇත.

සේවකයන් යනුද දියබල්ලන් මෙන්ම අහිංසක ජන කොටසකි.ඔවුන්ට උදාවී ඇත්තේ දියබල්ලන්ට සිදුවූ දෙයෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් පෙර ඉතා දියුණු ජාතියක් වූ සේවකයෝ දැන් අතිශය දුක්ඛිත තත්ත්වයකට පත්වෙමින් සිටිති.

එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ අතීතයේ වූ අධිතාක්ෂයේ අතුරු බලපෑමයි. මීට වර්ෂ දෙතුන් සීයයකට පමණ පෙර සිට සේවකයන්ගේ ලොවෙහි කාන්තාරකරණය ආරම්භ විය. සේවකයන්ගේ ලොවෙහි පෙර විසූ පරම්පරාවලට අවශ්‍ය වූයේ ස්වාභාවිකත්වය ඉක්මවා යෑමටය. ඔවුහු දෙවියන් වීමට උත්සාහ දැරුහ. කාලගුණය පාලනය කළෝය. තාක්ෂණය භාවිතයෙන් වෘක්ෂලතාවන්ගේ වර්ධනය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළෝය. වර්ෂාව තමන්ට අවශ්‍ය කලට නියමිත තැනට ලබාගැනීමට ඔවූහු සමත් වූහ. සැබැවින්ම ඔවුහූ ස්වාභාවධර්මය පාලන කළෝය. ස්වකීය මනුෂ්‍ය වර්ගයාට ලෙඩදුක් වලින් තොරව දිගුකලක් ජීවත් වීමට හැකි ක්‍රම ඔවුහූ සිය ඥාණ ශක්තිය මෙහෙයවා ලබාගත්හ. සැබැවින්ම ඔවුහු පරිපූර්ණ ලොවක ජීවත් වූහ.


නමුත් අවසානයේ ස්වාභාවධර්මය ඔවුන්ට එරෙහි විය. සේවකයන්ගේ පසහෙි තවදුරටත් බෝග හට නොගත්තේය. උල්පත් වලින් ජලය නොගැලුවේය. පරිසරයේ වූ ස්වාභාවික තුල්‍යතාවය බිඳ වැටිණි. එනමුදු ඔවුහු ස්වාභාවධර්මය සමඟ උරණ නොවූහ. පසු පරම්පරාවල් මුල් පරම්පරාවල ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල භුක්ති විදින්නෝය. එ‍හෙත් එවුහූ නොසැලෙති. මෙය සේවකයන් තුල වූ වැදගත්ම ගතියයි. සිය පැරැණ්නන් විසින් රචිත තාක්ෂණයේ බලයෙන් ඔවුහු දිවි රැකගත්තෝය.


දැන් ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ විනාශ වී යන සිය ලෝකය රැක ගැනීමයි. ඒ සඳහා ඔවුහූ වෙනත් විශ්වයන් සොයමින් බහුමානයේ පිහිට පැතුවෝය. මේ වන විට එයින් යම් ප්‍රගතියක් ඔවුන්ට අත් වී ඇත. මක්නිසාදයත් ඔවුන්ට අවශ්‍ය තුරුලතා සරු පස් ආදිය දියබල්ලන්ගෙන් ලැබෙනු ඇත.

මිනිස් සම්පත සොයා ගැනීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වී ඇත. සේවකයන් නම් වූ මිනිස් කොට්ඨාශය විශ්වයෙන් අතුගෑවි යාම වැළැක්වීමටනම් එය අත්‍යවශ්‍යම වේ.

“අධිරාජ්‍යයාණෙනි, හෝදොන් හා ආදෝන් ඔවුන් සොයා ගත් අළුත් ලෝකයට යාම සඳහා දොරටුව විවෘත කර එහාට ඇතුල් වී තිබෙනවා. එසේම අද උදෑසන දියබල්ලන්ගේ ලොවේ සිට අපේ ‍ලොවට ඒමට ඔවුන් දොරටුව විවෘත කර තිබෙන නමුත් කිසිවෙක් එයින් ඇතුල් වී නැහැ.” එදින තුළ ඒ දක්වා සිදුවූ  අධිරාජ්‍යයාට දැන්වීමට තරම් වැදගත් කරුණු දැන්වීම සිය වෘත්තීය කරගත් එක් සේවකයෙක් අධිරාජ්‍යයා හමුවේ පැවසීය.


“හොදයි සේවකයාණෙනි, මා ද දියබල්ලන්ගේ ලොවෙහි කටයුතු සඳහා අප විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්පාදනය කර අවසානයි. වහාම ඒ බව දන්වා උත්තරීතර සේවක මණිඩලයේ නියෝජිතයෙකු මෙහි කැඳවාගෙන එනු මැනවි. අද සවස මම එය සේවක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමි.”

මොහොතකින් අධිරාජ්‍යයාගේ පුරෝහිත ලෙස කටයුතු කළ සේවකයා අධිරාජ්‍යයාගේ කුටිය වෙත පැමිණ ආපසු හැරී සිටියේය. ඒ දුටු අධිරාජ්‍යයා සිය වාර්තා යන්ත්‍රය සේවකයා අසල වූ මේසය මත තබා ආපසු හැරු‍ණේය. මෙවිට සේවකයා ඒ දෙසට හැරී යන්ත්‍රයට සවන් යොමා වාර්තාව ඇසීය.

“තව හිරු උදාවන් සතකින් පසු එළබෙන අටවන හිරු උදාවේ සිට අපි ඔබලාගේ පාලනය භාර ගනිමු. අප මෙහිදී පාලනය භාර ගැනීම යනු ඔබ සැම යුද්ධයකින් යටත් කරගත් කලෙක මෙන් මවිසින් නිකුත් කරන නියෝග අනුව ක්‍රියා කරන බව නොව අපේ විනාශ වී යන ලොව ජනාවාස කිරීම සඳහා හැකිනම් ඔබලාගේ ලොවෙහි වෙසෙන ජනතාවෙන් කොටසක්ත් ලබාගැනීම හා අපේ ලොවෙහි අප සතුව ඇති එකම සම්පත වන අපේ තාක්ෂණික උපකරණ සහ දැනුම ඔබ වෙත ලබාදීම වැනි අන්තර් ලෝක සම්බන්ධතා ක්‍රමවත් ලෙස පවත්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.”


අපට මෙහිදී ඔබගේ ලොවෙහි ඇති සරු පස් වලින් කොටසක්, සෑම වෘක්ෂ වර්ගයකින්ම එක් වෘක්ෂයක් පමනක් ලැබීම සෑහේ. ඉන්පසු ඒවා ක්‍ෂණික ලෙස වර්ධනය කරගත හැකි තාක්ෂණය අප සතුය. එබැවින් අපට ඔබලාගේ වෘක්ෂ හා පස් හැකි ඉක්මනින් ලබාගත හැකිනම් අපට දින 30ක් වැනි කාලයක් තුල අපේ ලොවින් වැඩි ප්‍රමාණයක් ජනාවාස කිරීමට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකිය. එසේම ඔබලාගේ ලොවෙහි සිදුකිරීමට ඇති ඕනෑම තාක්ෂණික කටයුත්තක් සඳහා අවශ්‍යය ඕනෑම උපකරනයක් ලබාදීමට අපට හැකියාව ඇත.”


“අධිරාජයයාණෙිනි මේ වාර්තාව ඉතාම සුදුසුයි. නමුත් අපට දියබල්ලන්ගේ ලොවෙන් මිනිසුන් මෙහි රැගෙන ආ හැකිවේයැයි මම හිතන්නේ නෑ. එහි සිටින මිනිසුන්ට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් තියෙනවා. අනිත් එක ඔවුන් කාලයක් තිස්සේ ගොඩනගගෙත් ලෝකය අතහැරලා මෙහෙට එන්න කැමති වේයැයි හිතන්න අමාරුයි.”


“එහෙමයි සේවකයාණෙනි, නමුත් අපේ ලෝකයේ ජනතාව සම්පූර්ණයෙන්ම වඳ වෙන්න කලින් අපි මිනිස්සු සොයාගත යුතුයි. ඊයේ මට වාර්තාවක් ලැබුණා ඊසාන දිග කොටසේ පිහිට කෙම්ක්‍රිස්ප්වල මිනිස්සු කිහිපදෙනෙක් ආහාර හිඟවීම නිසා මිය ගියා කියලා. දැන් මේ මුළු ලෝකෙම ජනගහණය 1000ටත් අඩුයි. ජනගහණ වර්ධන වේගය අවමයට ඇවිත්. මේ විදියට ගියොත් තව වැඩි කාලයක් අපිව ඉතුරු වෙන එකක් නැහැ. මිනිස්සු නැතිව හරි වෘක්ෂ ටිකක් අපට ලබාගන්න පුළුවන් වුණොත්........”


මතු සම්බන්ධයි...

ප.ලි

2001 වසරේ පොතක් ලෙස පළවූ මගේ විද්‍යා ප්‍රබන්ධ එකතුවේ තිබු කතාවකි.  ඉතිරි කොටස හැකි ඉක්මනින් ටයිප් කර පලකිරීමට බලාපොරොත්තු වෙමි. මේ ටික මිට වසර කිහිපයකට පෙර විද්‍යාව.com අඩවියේ පල කිරීම පිණිස ඒ අඩවිය කල මල්ලි විසින් ටයිප් කර තිබී මා සොයා ගත් කොටසයි. විද්‍යාව.com අඩවිය අකර්මන්‍ය වී ඇති නිසා ඉතිරි කොටස් සොයා ගැනීමට නොහැක. කතාව ටයිප් කිරීම අතිශය කම්මැලි ජනක වැඩක් වුවත් මම ඉතා කම්මැලි නොවන බැවින් මේ වසරාවසානයට පෙර ඉතිරි කොටස ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


දෙවෙනි කොටසට



Tuesday, October 23, 2018

නාසා එකෙන් ලියුමක්


හදිසියේම මේ කෙටි සටහන ලියන්න හිතුනේ පහුගිය දවසක අපේ ඉස්කෝලේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් තිබ්බ ප්‍රදර්ශනයෙදී ඉස්කෝලේ මල්ලි කෙනෙක් හදපු රොකට් එකක් ගැන ජනාධිපතිතුමා ටිකක් සීරියස් අරගෙන පොඩි ප්‍රසිද්ධියක් දීල තිබුණු නිසා.

ඒක ගැන විස්තර ටිකක් මේ පහත ලින්ක් වලින් බලාගන්න පුළුවන්

මේකේ තියෙනවා විස්තරේ
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20181015/281539406922002

මේකෙත් කෙටියෙන් තියෙනවා
http://www.dailynews.lk/2018/10/15/local/165510/presidents-support-student-launch-rocket

මේක ගැන ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ අගය කිරීමක් කළා
https://www.youtube.com/watch?v=7hwNjrokoTk


ඉකොනොමැට්ටා ලියල තිබ්බ මෙන්න මේ පෝස්ට් එකේ මීළඟ හඳ ගමන ගැන තිබ්බ සටහනක් දැකල මට මේ සිද්දිය මතක් වෙලා ඒක හදපු මල්ලිට(පුතාද මන්ද) නාසා එකෙන් උපදෙස් ටිකක් ගන්න පුළුවන් ද අහල පොඩි කොමෙන්ට් එකක් දැම්ම. සමහරවිට නාසා එකේ ඉන්න කාගේ හරි අවදානය ලැබෙන්න ඉඩ තියෙනවා. 

ඩිස්කවරි ෂටල් යානය ගුවන් ගත කරන අවස්තාවක් පින්තුරය නම් ගුග්ල් එකෙන්

ඒක තමා හදිස්සියේම මේක ලියන්න මට මතක් කරලා දුන්නේ...

මේ බ්ලොග් එකේ මම ඔය මගේ ඉස්කෝලේ කාලේ කතා කීපයක් ලියල තියෙනවා. අපි ඉස්කෝලේ ඉන්නේ කාලේ තමයි 80 වෙනි හෝ 85වෙනි සංවත්සරය තිබුනේ. ඕකට අපි කට්ටිය ටයිම් මැෂින් එකක් හදපු හැටි මම මේකේ ලිව්වා. ඔන්න බලන්න ඒ කාලේ යහපාලනේ තිබුන නම් ජනාධිපති තුමා මට ටයිම් මැෂින් එකක් හදන්න ලක්ෂ 100ක් දෙන්න ඉඩ තිබුනා.  අපේ වෙලාවට ඒ කාලේ එතුමා ජනාධිපති නෙමෙයි. 

මට පොඩි කාලේ තිබුන අභ්‍යවකාෂගාමියෙක් වෙන ආසාවක්. ඕක තිබ්බේ 5 වසර විතර වෙනකම්. ඊට පස්සේ එක ටිකක් අඩු වෙලා විද්‍යාඥයෙක් වෙන්න හිතුවා, 8 වසරේදී විතර ඉංජිනේරුවෙක් වෙන්න ආසාව ආවා. ඊට පස්සේ 10 වසරේදී වගේ ආකිටෙක් කෙනෙක්. ඔය විදියට ඇවිල්ල  11 වෙද්දී යාන්තම් A/L වලට මැත්ස් කරගන්න පාස් උනොත් ඇති මට්ටමට ආවා. A/L වලින් පස්සේ අනේ මේ යන්තම් කීයක් හරි හොයාගෙන ඉන්න ජොබ් එකක් තිබ්බ නම් මදැයි කියන අතිශය ගැඹුරු කාරණය මම තේරුම් ගත්තා. ඊට පස්සේ ඉතින් ඒකට අනුව මම දැන් ඔන්න ඔහේ කාල බීල වැටිලා ඉන්නවා. 

මම ඔය 6-7 වසර වගේ ඉන්න කාලේ මට තදටම අභ්‍යවකාශ පිස්සුව තිබුනා. ඇත්තටම තාමත් මට ඒක තියෙනවා. ෆේස්බුක් එකේ ලයිව් දෙන රොකට් ලෝන්ච් ගොඩක් ඒවා බලනවා. අපේ දේශකයත් ඔය සබ්ජෙක්ට් එකට උනන්දු හින්ද අපි දෙන්න ඔය ලයිව් යන අවස්ථා ගැන පොඩි පොඩි අප්ඩේට් එහෙම හුවමාරු කරගන්නවා. රොකට් එකක් උඩ යන එක හරි ආතල් ජනක වැඩක්. දැන් තාක්ශනේ  දියුණු නිසා අපිට ගෙදර ඉඳලම ඒවා බලන්න පුළුවන්නේ...

මම ඔය ඉස්කෝලේ ඉන්නකොට ඔය සබ්ජෙක්ට් එකට උනන්දු උනාට දැන් වගේ  විස්තර, ෆොටෝ, වීඩියෝ බලන්න තිබුනේ නෑනේ.. ඔය විජය පත්තරේ, නවයුගය, විදුසර පත්තරේ තමයි ඉතින් මොනවා හරි දෙයක් දැන ගන්න තිබ්බේ. ඔහොම ඉද්දි මට හරියට මතක නැති උනත් මතක විදියට අපිට විද්‍යාව උගන්නපු රංජිත් සර් හරි ඉංග්‍රීසි උගන්නපු සමන් සර් හරි දවසක් කිව්වා නාසා එකෙන් එයාලගේ මිෂන් ගැන විස්තර ලබාදෙන වැඩසටහනක් තියෙනවා. විශේෂයෙන් ඉස්කෝලේ ළමයින්ට එයාල විස්තර දෙනවා කියල කතාවක්. ඊට පස්සේ එකට ලියුම් දාන්න ඕනේ ඇඩ්රස් එකත් සර් දුන්නද කොහෙද...

මම ඉතින් එදාම ගෙදර ගිහින් රට ලියුම් කවරයක් හොයාගෙන, ඔය කාලේ මට ජර්මන් පෑනේ මිතුරෙකුත් හිටියා. ඉතින් රට ලියුම් යවන වැඩේ ටිකක් හුරු වෙලා තිබුනේ. ඒ පෑනේ මිතුරාගේ කතාව වෙනම ලියන්නම්කො

ඉතින් මම ලියුම් කවරෙක දන්නා විදියට ඉංග්‍රීසියෙන් ලියල, දීල තිබ්බ ඇඩ්රස් එකට ලියුමක් දාල දැම්ම. ලියුමක් දාල ලියුම් පෙට්ටියේ කටට හුවක් කිව්වේ නැත්නම් ලියුම යන්නේ නෑ කියල අපේ අම්මා මට ඒ දවස් වල උගන්නල තිබුනා. හෙහ් හෙහ්.. සිරාවට මම දවසක් එහෙම ලියුමක් දාල හුවක් කිව්වා. අපේ ඉස්කෝලේ ගාව තිබුනා උපතැපල් කන්තෝරුවක්. කැන්ටිම පිටිපස්සේ.. දැන්නම් තියෙනවද මන්ද.. මේ ලියුම නෙමෙයි වෙන ඔය මොකක් හරි ලියුමක් දාන්න ගිය වෙලාවක මම කොයි එකටත් කියල ලියුම දාල හයියෙන් හුවක් කිව්වා ලියුම් පෙට්ටියේ කටට... හෙහ් හෙහ් කොටින්ම ගෙදර ඇවිල්ල අම්මටත් කිව්වා වීරයා වගේ.. අපේ අම්මා තාම හිනාවෙනවා. එතකොට 8-9 වසරේ වගේ ඇති මම හිතන්නේ.. අන්න එහෙමයි අපි ඒ කාලේ...

ඉතින් ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගිහින් මට ඔය ලියුම් සීන් එක අමතකත් වෙලා තිබ්බ කාලෙක මෙන්න අපේ ගෙදරට ඇවිල්ල තිබුනා කහපාට අඩියක් විතර දිග අඟල් 8-10ක් පළල ලියුම් කවරයක්. 

To: මට
From: NASA Jet Propulsion Laboratory
           4800 Oak Grove Dr, Pasadena, CA 91109

ලියුම් කවරේ දැක්ක විතරයි අර ලියුම දාද්දි කිව්ව හුවට වඩා 10 ගුණයක් හයියෙන් කෑගහගෙන මම ගෙට දිව්වේ.

මේ අන්තර්ජාලෙයි, තාක්ෂනෙයි හින්දා අපිට බොහෝ දේවල් ලැබිල තියෙන එක ඇත්ත. හැබැයි මේ දියුනුව හින්ද දැන් තප්පරෙන් ලැබෙන දේවල් මිට අවුරුදු 15-20කට කලින් කට ඇරගෙන මාස ගානක් බලාගෙන ඉඳල, හිතේ තියෙන ආසාවල් අතැරලා දාල, ඔන්න ඔහේ පත්තර කෑල්ලක් බලාගෙන ඉන්නකොට, බලාපොරොත්තු නොවෙන දවසක, බලාපොරොත්තු නොවෙන වෙලාවක අතට හම්බවෙනකොට දැනෙන සතුට, ප්‍රීතිය, උත්කර්ෂය, ප්‍රහර්ෂය ආදී හැමදේම අපිට අහිමි වෙලා ගිහින් තියෙනවා. 

හරි ඉතින් දැන් අර ලියුම් කවරේ මොනවද තිබුනේ... 

අඩි 2ක් විතර පළල, අඩි 3ක් විතර උස ගණ කඩදාසියේ වර්ණයෙන් මුද්‍රිත අඟහරු ග්‍රහයාගේ ඒ කාලේ ගත්ත ෆොටෝ එකක් හෝ ඇඳපු එකක් ද මන්ද, ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලේ ගැන විස්තර තියෙන තවත් ඒ වගේම ලොකු පෝස්ටරයක්, මේකේ සෙනසුරුගේ ලස්සන ෆොටෝ එකක් තිබුනා මම හිතන්නේ, ඒ ඔක්කොටම වඩා ඒ දවස් වල මිෂන් වලට ගිය discovery shuttle  එකේ හරි endeavour shuttle එකේ හරි අරවගේම සයිස් පෝස්ටර් එකකුයි. තව ඔය මිෂන් ගැනයි, ග්‍රහයෝ ගැනයි වර්ණ ඡයා රූප තියෙන පිටු 20-30ක පොතකුයි... 

තව වෙන මොනවද ඉතින් ඕනේ.  

ඕවා ටික ආවට පස්සේ ඉතින් අර යටගිහින් තිබ්බ අභ්‍යවකාශ ගාමියෙක් වෙන උණ ආයේ හැදුනට ගණන් විද්‍යාව අමාරුයි කියල තේරෙද්දී ඒ උණ හොඳ වුනා. නමුත් ඒ පින්තුර දිහා බලාගෙන ඉන්න, මනෝ විකාර හදාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. ඔය ටික කාමරේ බිත්ති වල අලවල (මිට අමතරව ටයිටැනික්‌ නැවේ පෝස්ටර් එකකුත් ගහල තිබ්බ බිත්තියේ...)  දවල් හීන බලන්න පුරුදු වුනා...

ඕවා ආව දවසේ ඉදල අපේ පවුලේ ඔය සබ්ජෙක්ට් සම්බන්දයෙන් පොර වෙලා හිටියේ මම. නාසා එකෙන් ලියුම් එනවා කියන්නේ එසේ මෙසේ පොරක් නෙමෙයි නේ...

ඒ දවස් වල ගෙදරට එන මගේ යාලුවෝ, අල්ලපු ගෙවල් වල පොඩි උන්, නෑදැයෝ හොල්මන්.. පුදුම ආතල් එකක් තිබුනේ...

ඊට ටික කාලෙකට පස්සේ මම ආයෙත් අර ඇඩ්‍රස් එකට ලියුමක් දාල තව ඔය වගේම පෝස්ටර්, විස්තර පත්‍රිකා වගයක් ගෙන්න ගත්තා. ඉරේ ලොකු පින්තුරයක් ද කොහෙද ඒ සැරේ එව්වා. කොහොම හරි මම බැඳලා වෙන ගෙදරක පදිංචියට යනකම් ඔය පින්තුර ටික කාමරේ බිත්තිවල තිබුනා. පස්සේ මම ඒ ටික අපේ අල්ලපු ගෙදර ඇන්ජලෝ මල්ලිට දුන්නා. සමහරවිට මිනිහා ගාව තාම ඒවා ටික ඇති. මම කිව්වා තියෙනවනම් ෆොටෝ ටිකක් ගහල එවන්න කියල. හම්බුනොත් ෆොටෝ ටික දාන්නම්කො

ඉතින් මේ ඉකොනොමැට්ටගේ පෝස්ට් එකයි අර ඉස්කෝලේ මල්ලිගේ වැඩෙයි දැක්කම හිතුනේ නිකමට වගේ නාසා එකෙන් පොඩි ඊමේල් එකක්, නැත්නම් ඔය රොකට් යවන හැටි ගැන පොඩි උපදෙස් ටිකක් වගේ ගන්න පුළුවන් වෙයි ද කියන එක. නමුත් දැන් ඕනේ තරම් ඔය වගේ විස්තර තියෙන නිසා මට ඒ කාලේ නාසා එකේ ලියුම ලොකු දෙයක් වුනා වගේ ඒ මල්ලිට සමහරවිට ලොකු දෙයක් වෙන එකක් නෑ...

JPL එකේ ඒ විස්තර එවන වැඩ සටහන තාම තියෙනවද කියල මම දන්නේ නෑ... නමුත් ඔය සම්බන්ද උනන්දුවක් තියෙන පොඩි අයට පුළුවන් ඕනනම් ලියුමක් දාල බලන්න. ඇඩ්රස් එක මම ගුග්ල් එකෙන් බලල ඔතන දැම්මේ.. ඉස්සර මට ලියුම් ආවෙත් ඔය ඇඩ්රස් එකෙන් ම තමා.




Wednesday, September 26, 2018

මස්සිනාගේ සිංදුව


මස්සිනාල සහ සිංදු කියන්නේ ජිවීතේට නැතුවම බැරි අංග දෙකක්. මස්සිනාලා ඉන්න ඕනේ කෙනෙක් මස්සිනාලගේ අගය දන්නවනේ... මටත් අපරාදේ කියන්ඩ බෑ අපුරු මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නගේ ඇඩ්වෙන්චර් ගැන වෙන වෙනම ලියන්න ජාති තියෙනවා. 

ඉස්සෙල්ල මේ සිංදුව අහල ඉන්නකෝ




මේ තියෙන්නේ පද වැල...

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී...
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

දෝර ගලා යයි හිත තුල සෙනෙහස
නුඹේ උණුසුම් සෙවනින් //
එපා අයිතියක් කිසිදා මා හට
හිනැහෙමු මේ විලසින්
හිනැහෙමු මේ විලසින්

කවුරුවත් නොවී.....

හදද තැවෙයි නෙත කඳුල නැගෙයි
විය නොහැකිය කිසිවෙක්//
පුංචි ඉඩක්වත් තියන්න හිත තුල
යදම් නොමැති තැනකින්
යදම් නොමැති තැනකින්

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

මේ සිංදුව අපි වගේ පොඩි ළමයින්ට තාම ගැඹුරු වැඩියි... 40 පැනපු සහ ඒ ආසන්නයේ ඉන්න අයට හිතෙන දේවල් නේ ඕවා... කොහොම උනත් ඉතින් කව්රුවත් නොවී ඉන්නකොට නම් ෂේප් එකේ ඉන්න පුළුවන් කියල නම් මටත් තේරෙනවා.

දිමුතු අයියා ඉතින් බොහෝ අංශවලට දක්ෂ, හොඳ රසවින්දනයක් තියෙන, කලාකාමී චරිතයක්. මේ ඉතින් ඒවගේ තව එක දක්ෂතාවයක් එලියට දාපු අවස්තාවක්. ඔය යු.ටියුබ් චැනල් එකේ තව වීඩියෝ කීපයක් තියෙනවා. වටින අදහස් තියෙන.

එයාට මේ සිංදුව ලියන්න හේතු බූත වෙච්ච කාරනා කාරනා නම් මම දන්නේ නෑ... පස්සේ වෙලාවක අහල බලල දැන ගන්න ඕනේ. ඒ වයසට එද්දී අපිටත් වැදගත් වෙන්න පුළුවන් නේ...  අපේ අක්කගෙන් ඇහුවහම නම් කිව්වේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බෑ... කියල... එයාටත් මේ දවස් වල සිංදු, නැටුම් ගැයුම් ගැන පොඩි උණක් හැදිලා...

ඉතින් මේ සිංදුව ගැන ඔබලාගේ අදහස් කියන්න. මට හිතෙනවා මේ දවස් වල නිතර ඇහෙන ජාතියේ නොවන වෙනස් නිර්මාණයක් කියල.

දිමුතු අයියගේ යු.ටියුබ් චැනල් එකට දිගට වීඩියෝ දාන්න තමා අපේ බලාපොරොත්තුව. එයා මානව සංවර්ධනය සහ තව වෘත්තීය උපදේශනය සහ තව අන්න ඒ වගේ ජාති ගැන ප්‍රබුද්ධයෙක්. ඉතින් කාට හරි ඒ අංශ ගැන දැන ගන්න සහ උනන්දු නම් සම්බන්ද කරලා දෙන්න පුළුවන්. ඒ සම්බන්ද කාරණා ගැන ලංකාව පුරා බොහෝ ආයතන වල වැඩමුළු එහෙම පවත්වනවා. (කොයි වෙලාවෙත් ගෙදර නෑ කියල තමා අක්ක නම් බනින්නේ). ඕවා ඉතින් ඔහොම තමා.

මේ සිංදුව ගයන කෙනා සහ තනු නිර්මාණය කරපු කෙනෙත් මේ ක්ෂේත්‍රයට අලුත්ම අය මම හිතන විදියට. ඒ දෙදෙනාත් සිංදුව ලස්සන කරන්න උපරිමෙන් දායක වෙලා තියෙනවා. මේක රේඩියෝ වල ඇහෙයි ද කියල නම් මම දන්නේ නෑ... නමුත් නිතර අහනකොට එපා නොවන ලස්සන සංගීතයක් සහ අපේ හිත් සහ බැඳීම් ගැන නිවාඩු පාඩුවේ හිතල බලන්න පුළුවන් විදියේ සිංදුවක්.

බ්ලොග් ලියන කියවන ඔබගේ අදහස් සහ විවේචන (පස්සේ ගැසීමට මඩ)  ඉතා ආදරයෙන් බාරගන්නවා.



Friday, September 14, 2018

බුකී බුක් චැලේන්ජ් හෙවත් කැමති පොත් වලින් 7ක්



        මම ඔය ෆෙස්බුකියේ පැය 24ම ඔන්ලයින් හිටියට, (මම කිව්වට අපි දෙන්නම ඉන්නේ මගේ නමින්.) මලාට කාත් එක්කවත් චැට් කරන්නේ නැති, කිසිම දේකට සම්බන්ද වෙන්නේ නැති, යාන්තමට ලයික් එකක් දාල, කලාතුරකින් කොමෙන්ට් එකක් දාල, ඊටත් වඩා කලාතුරකින් මිනිස්සුන්ගේ උපන්දින වලට විශ්කරන, ඔප දුප ටිකක් විතරක් බලල යන, නුතන ඔන්ලයින් වර්ගීකරණ වල හැටියට මෙලෝ රහක් නැති ඔන්ලයින් චරිතයක්. මොකක් දෝ කම්මැලි කමක් තියෙනවා මට ඕකේ තියෙන කතා බහට එකතු වෙලා කයිය ගහන්න. ෆේස්බුක් එක එන්න කලින් ගුග්ල් එකේ තිබුන Orkut කියල පොඩි සෝෂල් නෙට්වර්කින් සේවාවක්. මම අන්න ඒකෙ නම් බැහැල කයිය ගහල ගෑනු ළමයි කිහිප  දෙනෙක් එහෙම අඳුනගෙන, සම්භාව්‍ය දේවල් ගැන එහෙම කතා කළා. දැන් එක ගුග්ල් එකෙන් වහල.  හැබැයි ඔය ලින්ක් එකේ තියෙන විදියට එක හදපු ඉංජිනේරුවා තාම වැඩේ ඇදගෙන   යනවා. කොහොම වුනත් බුකියෙන් රටේ නිවුස් එකක් බලාගෙන, ඔය මොනවා හරි   දෙන දෙයක් කාල ඉන්න එක තමා දැන් මම කරන්නේ. 

අර වාන් පතුල් රවියා හෙවත් අපේ හිතාදර රවී අයියා මම ඔහොම බොහොම අසරණ විදියට පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා දැකල, මේ ලඟදි දවසක මට චැලේන්ජ් එකක් කළා. "අඩෝ පැතුමා, ඔය ගල්බමුණ වගේ ඉන්නේ නැතුව උඹ කියවල තියෙන ආසම පොත් 7තේ පිට කවර දාපංඩො පුළුවන් නම්" කියල.  රවියටත් කව්ද ගෑනු ළමයෙක් ද කොහෙද චැලේන්ජ් කරලා (අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ)  රවියා වැඩේ බැහැලම කර කර ඉන්න අතරේ තමා මේ මාවත් පටලව ගත්තේ...

මේ තියෙන අන්දබූත ගතිය මගෑරිලා යන්නත් එක්ක ගේමට බහිමු ඔන්න ඔහේ කියල මම කැමති පොත් ගැන කල්පනා කරන්න ගත්තා. කල්පනා කරනකොට කරනකොට ඉතින් මොකකට වැඩියෙන් ආසද කියල හිතා ගන්න එක තමා තිබ්බ ලොකුම ප්‍රශ්නේ.

පොඩි කාලේ ඉඳල එක එක පොත් පත්තර කෑලි කියවන්න පුරුදු වෙලා හිටපු හින්දා මුලින්ම කියෙව්ව එක මේකයි කියන්න මතක නෑ... පොඩිම කාලේ හෙනම ආසාවෙන් ළඟ තියාගෙන හිටපු වෘක හාමිගේ සාදය සහ මාෂා සහ වලහ කියන පොත් දෙක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. . මම ඔය පොඩියට හිටියේ අසුව දසකේ පටන් ගත්තම කාලේ... ඉතින් තාම පොඩි එකා... ඊට පස්සේ මහා විද්‍යාඥයෝ කියල තව පොඩි පොතක් තිබුනා. එකෙන් තමා මාර්කෝනි, ලොගි බෙයාර්ඩ්, එඩිසන්, රයිට් සහෝදරයෝ ගැන එහෙම දැන ගත්තේ... ඒ අතරේ තාත්තගේ මහ ගෙදර වෙච්ච හපුතලේ ගෙදර තමා රුසියන් සුරංගනා කතා කියවන්න පුරුදු කරපු තැන. දැනටත් රුසියන් කතාවක් කියවද්දී ඒ ගෙදර මතක් වෙනවා. කඳු යායකින් වටවුණු, අඳුරු පයිනස් කැලෑවක් අයිනේ, ලස්සන දොර පාරක් කිට්ටුව තිබුණු ගෙයක්. මැටියෙන් හදපු ලිපකට පයිනස් දර දානකොට එන සුවද, ලිපෙන් නගින ගිනි දැල්ලෙන් හීතල මකාගෙන, රුසියාවේ හීතල හිතෙන මවාගෙන තමා ලස්සන වසිලිස්සා මුලින්ම කියෙව්වේ. ඊට පස්සේ තොල්යා සහ ඔහුගේ යහළුවෝ හමුවුනා, ගපුර් ගුලයාම් මගේ හපන්කම් ගැන කිව්වෙත් එහෙදි තමා. කවුරු හරි ලේඛකයෙක් ගේ ලස්සන චිත්‍ර කතා පොතක් තිබුනා. පැන්සලකින් ඇඳපු චිත්‍ර වගේ කළු සුදු හැබැයි පොඩි ළමයිගේ චිත්‍ර නොවන උසස් මට්ටමේ චිත්‍ර තිබුණු පොතක්. මගේ ඔලුව ෆැන්ටසි වලින් පිරිච්ච, විද්‍යාවට ආස, චිත්‍ර අඳින්න කැමති චරිතයක් විදියට ප්‍රෝග්‍රෑම් වෙන්න ඇත්තේ ඔය කියපු පොත් සෙට් එක හින්ද වෙන්න ඇති. 

ඊට පස්සේ ඉඳල ගොඩක් උපන්දිනවලට මට හම්බ වුනේ පොත් තමා. ඉතින් ඔහොම පොත් ගැන කල්පනා කරද්දී මේ චැලේන්ජ් එකට ඉස්සෙල්ලම දාන්න හිතට ආපු පොත තමා මේක


මේ පොත මට 1994 මගේ උපන්දිනේට අපේ අක්කා දුන්නු පොතක්. අක්ක ලියපු නෝට් එකක් තාම පොතේ මුල් පිටුවේ තියෙනවා. මට මතක විදියට මේ පොතත් එක්ක අදිසි මිනිසා සහ භුතාවේශය කියන පොත් දෙකත් හම්බ වුනා. ඒ දෙක බොහොම අභාවයට ගිහිල්ලා තිබුනා මම දැක්ක. භුතාවේශය නම් තිබුනද කියල මතකත් නෑ...අදිසි මිනිසා මම කැමතිම තවත් පොතක්. ඔය කාලේදී මම ආසම කරපු අනිත් පොත තමා රත්නාගාරය. ඇලන් ක්වාර්ටමේන් ව අඳුර ගත්තේ එකෙන්. දැන් මේ ලියද්දි මතක් වෙන අනිත් පොත් ටිකත් ලියල දාන්නම්. තව ආසම එකක් වුනේ විජයග්‍රාහී කෝනාන් හෙවත් මකරාගේ හෝරාව, ඈ හෙවත් අයේෂා, ලෝකය වටේ දින අසුවකින්, කල්ලන්දුවේ මුතුකොල්ලය, පාලු දුපත, කේ.ජි කරුණාතිලක මහත්තයගේ ටාසන් සෙට් එක...හපොයි මේකේ ඔක්කොම ටික ලියන්න වෙනවා මෙහෙම ගියොත්.. ඔය මදැයි දැනට...

මේ  චැලේන්ජ් එකේ කැමතිම පොත් 7 දාන්න කිව්වට මම දැම්මේ කැමති පොත් වලින් 7ක්. ඔක්කොම තියෙන්නේ කැමති පොත් නේ.

පොතක් ගියොත් ගියාමයි කියල කිව්වට කලාතුරකින් එහෙම ගියපු පොත් අපේ අතට එන වෙලාවලුත් තියෙනවා. මේ පොත අවම අවුරුදු 10ක් වත් ඒ විදියට අතුරුදහන් වෙලා තිබුණු පොතක්. මම හිතෙන් අතැරලා දාල තිබුනේ මේක.  අපේ අම්මගේ පැත්තේ ඉන්න ලොකු අම්මල, පුංචිල පොත් ගුල්ලෝ. කොහෙන් හරි පොතක් දැක්කොත් උස්සන් යනවා. ඉතින් මිට අවුරුදු බර ගානකට කලින් මේ පොත අපේ ගෙදරින් අතුරුදහන් වුනා. මම මේ සැරේ ලංකාවෙන් එන්න ඉස්සර අක්කලාගේ ගෙදර ඉන්නකොට අපේ ලොකු අම්මා  ගෙදර ඉස්තෝප්පුවට වෙලා මෙන්න ලෝඩ් වගේ පොතක් බල බල ඉන්නවා. එයාටත් ඉතින් බණ පොතේ සිට මල පොත දක්වා අහුවෙන ඕනේ එකක් කියවනවා. මේකේ කවරේ දැක්ක විතරයි කොටින්ම මම ලොකු අම්ම වාඩි වෙලා හිටපු පුටුව ගාවට පැනල පොත අතට ගත්තේ... "කොහෙන්ද මේ පොත? කොහෙද මේක මෙච්චර කල් තිබුනේ..? මේක මගේ... " ආ ඕක ඔයාගේද? අන්න අර අපේ ගෙදර තිබිල මම මේ අරං ආවේ බලන්න.." මගේ තමා.. මේ තියෙන්නේ නම..  ලොකු අම්මට කිසි ගානක් නෑ... "ආයේ එහෙම කාටවත් දෙන්න එපා.. බලල ඉවර වෙලා මටම දෙන්න ඕනේ.. ඕක මම අරං යනවා මේ සැරේ.." 

ඉතින් එහෙම තමා ඔය පොත මට ආයේ හම්බ වුනේ. මේ පොතේ ෂර්ලොක් හෝම්ස් කතා 12ක් තියෙනවා. පිටු 386ක්. අනුවාදය එන්.ඒ.ඩි ගුණතිලක කියල මහත්මයෙක් පලවෙනි මුද්‍රණය 1961 දී. මගේ ළඟ තියෙන එක 1991 4 වෙනි මුද්‍රණය. මිට අමතරව බැස්කර්විල් දඩ බල්ලා කියල තව පොතක් තිබුනා හැබැයි එකත් දැනට අතුරුදහන් වෙලා තියෙන්නේ. මම මෑතකාලීනව ෂර්ලොක් හෝම්ස් කතා නිසා ජනප්‍රිය වෙච්ච චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොත් එකක්වත් කියවල නෑ.. මේ පොතේ තිබ්බ කතා ටික කියෙව්වට පස්සේ ෂර්ලොක් හෝම්ස් අලුත් ඒවා කියවන්න හිතුනේ නෑ...

ඔය කාලේදී ඩීමන් ආනන්ද මහත්මයාගේ ජේම්ස් බණ්ඩා පොතත් මගේ ළඟ තිබුනා. දැන් නම් තියෙනවද මන්ද එක.

මේ පොත බුකියට දාල මම අපේ සභාපතිතුමාව මේ අභියෝගෙට මාට්ටු කළා, අපරාදේ කියන්න බෑ.. උන්දැ තාම අභියෝගෙට දාන්න පොත් කල්පනා කරනවා කියල තමා ආරංචිය.

දෙවෙනි දවස



ඔය කාලෙම තමා මම විදුසර කියවන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳල කියවපු විද්යාප්‍රබන්ධ වලින් මම ආසම එක 2001, මේ කතාව වෙනස් මානයකට හිතන්න පුරුදු කරපු කතාවක් කිව්වොත් හරි. විද්යාප්‍රබන්ධ සාහිත්‍යය කියන්නේ වෙනමම කලාවක්. ඒ පැත්ත ගැන ඔලුව විකාර කරගෙන හිතන්න මේ කතාව උදව් වුනා කියන්න පුළුවන්. 2001 කතාව සිව් ඈදුතු කතාමලාවක්. මම 2010 ට කැමතියි නමුත් 2061 සහ 3001 ඒ තරම් අල්ලලා ගියේ නෑ... 2001 කතාවේ  ඩේව් බෝමන් අභ්‍යවකාශයේ කාත් කවුරුවත් නැතුව තනිවෙනවා. මට අන්න ඒ විදියට තරුවලින් පිරිච්ච අභ්‍යවකාශේ තනිවෙන්න ඕනේ වගේ මොලේ කොලොප්පන් ආසාවල් ඇති වෙලා තියෙන්නේ මේ පොත කියෙව්වට පස්සේ ඉඳල.

මම මේ පොතට අපේ ප්‍රා.ජේ මහත්තයව එල්ලලා පොත් අභියෝගය පැටලෙව්වා. අභියෝගය අපේ විදියට බාර නොගත්තත් මට තව මේ වගේම සයි-ෆයි ෆැන්ටසි සීරිස් එකක් ගැන හොඳ ඔත්තුවක් දුන්නා. ඒ Colin Wilson ගේ Spider World කියල සීරිස් එකක්. Colin Wilson ගේ චිත්ත පරපෝෂිතයෝ පොත ගැන රවී අයියා දාපු කොමෙන්ට් එක හින්දා ඒ පොතත් මතක් උනා. මම ඔය විද්‍යා ප්‍රබන්ධ පිස්සුව හැදිලා තිබ්බ කාලේ ගත්ත තව පොතක් ඒක. ඒ එක්කම හිතන පතන යන්ත්‍ර කියලත් පොතක් තිබුනා. මේ ඔක්කොම පොත් එස්.එම් බන්දුසිල මහත්මයාගේ පරිවර්තන. එස්.එම් බන්දුසිල මහත්මයාව පෞද්ගලිකව හඳුනා ගන්නත්, ශ්‍රී ලංකා විද්‍යා ප්‍රබන්ධ කරුවන්ගේ සංගමය කියල ඒ දවස් වල පිහිටවපු සංගමයක ආරම්භක සාමාජිකයෙක් වෙන්නත් ඔය පොත් සෙට් එක හේතු වුනා කියන්න පුළුවන්. 

තුන් වෙනි දවස



මම විදර්ශන පාටක සංගමයේ මුල් කාලින සාමාජිකයෙක්. මම විදර්ශන පොත් වලට ඇලුම් කලේ වෙනස් විදියේ පරිවර්තන සහ මම කලින් නොදැන සිටි බොහෝ විදෙස් පරිවර්තකයින්ගේ පොත පත ඔවුන් ළඟ තිබුන නිසා. බ්‍රසීලියානු ලේඛක Paulo Coelho de Souza ගැන මම දැන ගත්තේ මේ පොතෙන්. කියවල නැති අය ඉන්නවනම් කියවන්න වටින පොතක්. තාත්තගේ මරණින් පස්සේ මම ආගම දහම ගැන, ජිවිතේ ගැන එක එක විදියෙන් කරුණු හොයන්න පටන් ගත්තා. මේ පොතේ තියෙනව අපිට ජිවිතේ දිහා සුබවාදීව බලන්න පොළඹවන අපුරු දර්ශනයක්. ඒක ආගමෙන් ස්වායක්ත දෙයක්. ඕනෙවට වඩා රැඩිකල් නොවී සිම්පල් විදියකට දේවල් තේරුම් ගන්නත්, ආගම් වල මිත්‍යාවන් ගැන වෙනස්ව හිතන්නත් ඔය කාලේදී මම පුරුදු පුහුණු වුනා.   ඇල්කෙමිස්ට් ඒකට උදව් වුනා කියන්න පුළුවන්. පවුලෝ කොයියෝගේ මම කියවපු අනිත් පොත් තමා යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය, විනාඩි 11, පියෙද්රා ගගබඩ සිට වැළපුනෙමි.  manuscript found in Accra පොත ගත්තත් කියවන්න බැරි වුනා. ඒක ලංකාවේ.

මේ පොතට මම අපේ දේශකයා තුමා ව එල්ලුවා. අපරාදේ කියන්න බෑ දේශකයා වැඩේ හෙනම උනන්දුවෙන් කරලා මම කියවල නැති පොත් 7ක්ම දාල, කොටින්ම දාපු පොත් ගැන පෝස්ට් එකකුත් ලියල, මේ වගේ පොත් ගැන ලිපි ලියන මට්ටමට අපිව උනන්දු කළා. ඔය කාට හරි වෙන ඕනෙම වර්ගයක අභියෝග එහෙම තියෙනවනම් අපේ දේශකයව ටැග් කරන්න කියල මම හයිලි රෙකමන්ඩ් කරනවා. 


හතරවෙනි දවස



ප්‍රථම වතාවට මැලේසියාවේ ජිවත් වෙන්න ආපු කාලේ සිංහල පොත් කියවීම සෑහෙන්න මග ඇරිලා ගියා. හැබැයි ඒ එක්කම ඉංග්‍රීසි පොත් කියවන්න මම හුරු වුනා. මුලින්ම Big Bad Wolf ප්‍රදර්ශනෙන් ගත්ත පොත් සෙට් එකෙන් එකක් මේක. මම මයිකල් ක්‍රයිටන් ගැන දැනගෙන හිටියේ ජුරාසික් පාර්ක් එකෙන්. Big Bad Wolf එකෙන් මම මේ පොතයි Micro එකයි ගත්තා. සයි-ෆයි ෆැන්ටසි වගේම පයිරට් කතා කියන්නෙත් මගේ ප්‍රියතම පැත්තක්. මේක නම් පුදුම ලස්සනට ගලාගෙන යන මරු කතාවක්. ලොකු සංකීර්ණ නැති කතාවක්. ඉංග්‍රීසි කියවන්න පටන් ගන්න හොඳ පොතක්. පොත බිමින් තියන්න හිතෙන්නේ නෑ. දැන් වෙනකොට මුහුදු හොරු කියන්නේ සාහිත්‍ය ශානරයක් බවට පත්වෙච්ච මිනිස්සු පිරිසක් නේ (සෝමාලියානු සෙට් එක ඇර). තව කාලයක් අනාගතයේදී දැන්  පාරේ ඉන්න ගැන්ග්ස්ටර්ස් ල මේ වගේ ශානරයක් බිහිකරයි කියල මම කොහේ හරි සඟරාවක කියෙව්වා. හැබැයි වෙන්නත් පුළුවන් නේද? නිකන් තනිකරම Virtual Reality එකක් වෙච්ච, උඩින් යන කාර් වලින් ගමන් බිමන් යන කාලෙකදී පාරේ යන එන මිනිස්සුන්ට පොඩි සද්දයක් දාල, දාමරික කමක් කරපු මිනිස්සු කියන්නේ අමුතුම ෆැන්ටසි එකක් වෙන්න පුළුවන්. තව වැඩි කාලයක් යන එකක් නෑ.


මේ පොතට මම එල්ලුවේ අපේ හද ගී පොත ලියන අසරණ තිස්ස අයියව, අනේ ඊට පස්සේ ආගිය අතක් දැක්කේ නෑ.. පරණ සිංදු කෑල්ලක් කියාගෙන ආතල් එකේ හිටපු මනුස්සයට මොන මුහුදු හොරුද කියල හිතෙන්න ඇති. 


පස්වෙනි දවස


පස්වෙනි දවස වෙද්දී කැමති පොත් එක පිට එක මතක් වෙලා මොකක් දාන්න ද කියල හිතා ගන්න බැරි තත්වයක් තිබ්බේ. මම ඉස්සර ආසාවෙන් කියවපු පොතක් තමා ගමක වත. මේක මිණිවන් පී. තිලකරත්න මහත්මය ලියපු පොතක්. අම්මා අම්මගේ ඔෆිස් එකේ පුස්තකාලෙන් ද කොහෙද ගෙනල්ල අපේ ගෙදරට සින්න වෙච්ච පොතක් ඒක. මම හරි ආස වෙච්ච කතාවක්. කතාවේ තිබ්බ ඔය රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේද කොහෙද උඩ රටින් පැනල ආපු ගැමියෝ ටිකක් අලුතින් ගමක් හදන හැටි. ප්‍රධාන චරිතේ උනේ මහපතිරන්නැහේ එයත් එක්ක ආරෝවට හිටියේ පහළ වත්තේ ලේඛම්රාළ, හරි ලස්සන කතාවක්. දැන් නම් ඒ පොත හොයා ගන්න තියෙනවද දන්නේ නෑ. එකත් එක්ක මතක් වෙච්ච අනිත් පොත කළු දළ මල. කළු දළ මල පොත ගැන මම ලියපු මේ පෝස්ට් එක දැකල මගේ බොහොම පරණ මිතුරියක් මම ඔය ලංකාවට ආපු වෙලාවක ඒක මට දුන්නා. අවාසනාවක මහත කියන්නේ මම කීප සැරයක් ආපහු ඒ පොත දෙන්න උත්සාහ කලත් කොහොම හරි ඒක බැරි වුනා. අන්තිමට මම හිතන්නේ අර අපේ ලොකු අම්මගේ මරණේ වෙලාවේ අක්කලාගේ ගෙදර තිබුණු පොත කවුරු හරි අතුරුදහන් කරවල. දැන් ඒ පොත ආගිය අතක් නෑ... ඒක ගැන තියෙන්නේ හරිම කණගාටුදායක හැඟීමක්. කොටින්ම පොත ගන්න ගිය වෙලාවේ වත් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා හරියට කතා කරන්න බැරි වෙච්ච එක ඔක්කොටොම වඩා අප්සැට්... කළු දළ මල කියන්නේ මගේ සදා ෆේවරිට් පොතක්. වසිලිස්සා පොත ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑනේ. මම කාලෙකට කලින් මේ ෆොටෝ එක දාල තියෙන පොත ගැන ලිව්වා මෙන්න මේක.

මේ පොත දාල මම අපේ හිතාදර ඩ්‍රැකියව මාට්ටු කළා. අපරාදේ කියන්න බෑ  ඌ අපුරු පොත් සෙට් එකක් දාල අභියෝගේ බාර ගත්තා. සමහර පොත් ජිවිතේට අහලවත් නැති වටිනා පොත්. 


හයවෙනි දවස 




මම Dan Brown ගේ පොත් කියවල තිබුනේ නෑ. Angels and Demons ෆිල්ම් එක නම් බලල තිබුනා. හැබැයි වෘකයාගේ කඩෙන් මේක ගත්තට පස්සේ එක හුස්මට කියවල ඉවර කරපු පොතක්. ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා වගේ තමා. මේකෙන් පස්සේ Dan Brown අනිත් පොත් කියවන්න හිතුවත් මම ආස කරන ගණ පිට කවරේ තියෙන පොත් හම්බ වුනේ නෑ. වෘකයාගේ සේල් වල තියෙන්නේ ඔක්කොම ලාබෙට ප්‍රින්ට් කරපු කුරුමිණි අකුරු තියෙන පොත්. මට ඒවා ගන්න හිතෙන්නේ නෑ. පොත් කඩවල තියෙන උසස් තත්වයේ පොත් තාමත් ගාන වැඩියි. කොයි වෙලාවේ හරි වෘකයා හොඳ කොපි දායිනේ කියල ලෝභ කමට බලන් ඉන්නවා. ලංකාවේ හිටපු කාලේදී ප්‍රා.ජේ කිව්වා කොළඹ මහජන පුස්තකාලේ ඔක්කොම අලුත් පොත් තියෙනවා පුළුවන් නම් ඒකට බැඳෙන්න කියල. හැබැයි ලංකාවේදී තිබ්බ තේරුමක් නැති බිසී ජීවිතෙත් එක්ක ඒක කරන්නත් බැරි වුනා. මෙහෙදී හම්බවෙච්ච ඇමරිකන් සුද්දෙක් කිව්වා Dan Brown ගේ පොත් කියෙව්වට කමක් නෑ. පොත් වල තියෙන තැන් හොයාගෙන යන්න හදන්න එපා කියල. Dan Brown ගේ රසිකයෝ කතාවල තියෙන තැන් ඇත්තට හොයන්න යන එක හෙන ජනප්‍රිය වැඩක් ලු.

මේකට ටැග් කරන්න එකෙක් කල්පනා කර කර ඉද්දි මට අපේ පුරාණ බ්ලොග් කරුවෙක් වෙච්ච, ඕනේ වෙලාවක මැන්ටල් වෙලා හිටපු, මේ වෙද්දී ටුවිටර් කුරුල්ලා එක්ක වැඩි කාලයක් ගෙවන ඕනයා හෙවත් දුලිප් සිකුරජපතියව මතක් වෙලා අභියෝග කරලා බැලුවා. තාම නම් කිසිම සද්දයක් නෑ... ඌට ට්විටරෙන් ගැලවෙන්න බැරි හැඩක් තියෙන්නේ.


හත් වෙනි දවස



අන්තිම එකට ආස කරන සිංහල පොතක් වෙච්ච බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ රන් කරඩුව පොත දාන්නත් හදල පස්සේ මේක දැම්මේ කියවන්න වටින කතාවක් තියෙන නිසා. රුසියන් සාහිත්‍යයට පොඩි කාලේ ඉඳල ආස  කලාට ලෝකේ විවිද රටවල ලියවෙච්ච පොත් කියවල ඒ ඒ සංස්කෘතීන් ගැන දැන ගන්න එක වඩා හොඳයි කියල හිතල මම දැන් ටික කාලෙක ඉඳල ප්‍රිය කරන්නේ මේ වගේ කතා කියවන්න. කාලිඩ් හොසෙයිනි ඇෆ්ගන්-ඇමරිකන් ලේඛකයෙක්. ඇෆ්ගනිස්තානය දැන් පවතින තත්වෙට එන්න කලින් සමාජය කොහමද කියන එක සහ ඇෆ්ගනිස්තානෙට මොකද වුනේ කියල අදහසක් මේ පොතෙන් ගන්න පුළුවන්. සංවේදී ඒ වගේම අපිට අපි ගැනත් නැවත හිතන්න සිද්ද වෙන කතාවක්. ලස්සනට ලියල තියෙනවා. ඔය විදෙස් රටවල පොත් ගැන කියද්දී මතක් වුන තව පොත් කිහිපයක් තමා නෙරුදා ගේ ලියුම් කාරයා, සෝර්බා නම් ග්‍රීකයා, Memories of My Melancholy Whores, ඊළඟට මේ දවස් වල බාගෙට කියවන සියක් වසක හුදකලාව, තව කළු වැස්ස කියල ජපන් පොතක් එතකොට The Shape of Water. මේ The Shape of Water පොත මම අර වෘකයාගේ පොත් ගොඩේ තිබිල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව  ගත්තේ මේ ගිය අවුරුද්දේ ද කොහෙද හොඳම චිත්‍රපටිය වෙච්ච ෆිල්ම් එකේ පොත වෙන්න ඇති කියල හිතාගෙන. මම ෆ්ලිම් එක බලල නැති වුනාට කතාව ගැන  යන්තම් දැනගෙන හිටියා. ෆිල්ම් එක බලන්න කලින් හම්බ වෙච්ච නිසා පොත කියවලම ඉන්නවා කියල  තමා කල්පනා කලේ...  මරු වැඩේ කියන්නේ ඔන්න මම ඕක කියවන්න පටන්  ගත්තා.    පරිච්චේද දෙක තුනක් ගියත් කතාවේ මම බලාපොරොත්තු වෙච්ච දේවල් නෑ... පස්සේ බලද්දී මේක මේ වෙන පොතක් An Inspector Montalbano Mystery කියල තියෙන වෙන කතාවක්... හෙහ් හෙහ්.. එකත් පොඩි ගතියක් තියෙන කතාවක්. තාම කියවල ඉවර නෑ හැබැයි...


පහු ගිය පොත් ඔක්කොටම බ්ලොග් ලෝකෙන් හදුනා ගත්තු සහෘදයින් ව ටැග් කරපු නිසා මම අන්තිම පොත ජාත්‍යන්තරයට ගෙනියන්න හිතාගෙන මැලේසියාවේදී හඳුන ගත්තු, පොත පත සහ සංචාරයට බෙහෙවින් උනන්දු මැලේ ස්ත්‍රී රත්නයක් ව ටැග් කරලා බැලුවා. එයාගෙනුත් මේ වෙනකම් නම් සද්දයක් නෑ... මං වැඩිය කරදර කරන්න ගියෙත් නෑ ඊට පස්සේ...


ඔන්න ඔහොමයි දවස් හතේ අභියෝගයට මම මුණ දුන්නේ. මාව මේකට ටැග් කරලා මේ පොත් එක්ක ආතල් එකක් ගන්න ඉඩක් දුන්න රවියටත්, මම ටැග් කරලා වැඩේට සෙට් වෙච්ච නොවෙච්ච හැමෝටමත් බොහොම ස්තුතියි. 

ප.ලි

මේක ලියද්දි කියවපු අකමැතිම පොත් ගැනත් ලියන්න හිතුවා. හැබැයි දිග වැඩි වෙන හින්ද ඒක පස්සේ ලියන්නම්.