Thursday, May 31, 2012

ලංකාව නරක ද?

ලංකාව මේ කියන තරම් නරක රටක් ද? නරක නෙවෙයි.. ජීවත් වෙන්න සුදුසු නැති රටක් ද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල හිටල බ්ලොග් එකේ මොනව හරි ලියාගෙන ඉන්න මටත් නිකමට වගේ මේ දේවල් ගැන හිතල බලන්න හිතුණා... රටේ වෙන දේවල් දිහා අඟල් 14-15 ක තිරයක් ඇතුළින් බලාගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට පෙන්නේ මේක මහ එපා කරපු තැනක් වගේ.. කට ඇරියොත්(ඇඟිලි ඉස්සුවොත්) කියන්නෙ (ටයිප් කරන්නේ) මේක මහ එපා කරපු තැනක්.. මේ විදිය හරි නෑ.. මේකේ ඉන්නෙ ඔක්කොම පිස්සො... මුන් ඉන්න කම් මේක හදන්න බෑ.. මීට වඩා අරහේ හොඳයි... ඔන්න ඔය වගේ අදහස්..

මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...

දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..

සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී  තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..

සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලනයට එකතු වී ඇත..

ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...

මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය

මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..

මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ

සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..

හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...

අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..

මම කියන්න හදන්නෙ මේකයි..

රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..

බොහෝ රට වල ස්වභාවය එහෙමයි..

මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම

යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..

මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..

ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?

අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක  අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..

අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.

හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..

සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..

ඉන්ධන සහ අනෙකුත් සම්පත්  ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..

රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..

ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?

එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?

ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..

හිකිස්....

පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..

පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...

අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...

එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..

ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..

බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...

ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..

ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි...  ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?

ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...

හිකිස් බිකිස්...

නිදිමත වේගෙන එන නිසා දැන් ඇති

මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක...  අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..

පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...


අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ 

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව



Friday, May 25, 2012

අයියලාවත් දන් දුනෙමි

දන් දීම නිකං දීම තෑගි දීම පිනට දීම අපි හැමෝම නිතර කරන දෙයක් නේ... වැඩි වැඩියෙන් දන් දෙන්න හැමෝම කැමතියි... කලාතුරකින් කෙනෙක් ඇරෙන්න යම් දෙයක් කෙනෙකුට දීමෙන් සතුටු නොවන කෙනෙක් නෑ..

සතුටු වෙන්නේ අවංකවම අත්හැරීම නිසා දැනෙන සැහැල්ලුව නිසාද අනිත් කෙනා තමාට වඩා අසරණ නිසා ඒ පුද්ගලයාව සතුටු කිරීමට තමාට හැකිවීම නිසා ද සියුම් විදියට හිත යටින් බලාපොරොත්තු වෙන උසස් බව ලබා ගෙන සතුටු වීමට ඇති ආසාව නිසා ද යන්න එතරම් වැදගත් නොවුනත් දන් දීම නිසා ඕනෙම කෙනෙක්ගේ හිතේ පොඩි සතුටක් දැනෙනවා...

මමත් ඉතින් පොඩි කාලේ ඉඳලම මගෙ ලඟ තියෙන එක එක දේවල් ඔය කාට හරි දීල දාන්න හරි කැමතියි... සෙල්ලම් බඩු,ඉලෙක්ට්‍රොනික් සර්කිට් කෑලි, පොත්, මැගසින්, සඟරා, ස්ටිකර්,චිත්‍ර ඕවා තමා පොඩි කාලේ දන් දුන්නේ.. (ලෝක ප්‍රසිද්ධ වෙච්ච සමහර ධනවතුන් වගේ පොඩි කාලේ ඉඳලම තියෙන දෙය යොදාගෙන යමක් උපයා ගැනීමට වඩා තියෙන සියල්ල නැති කර ගැනීමේ උපන් හැකියාව සහිත වීම නිසා වෙන්න ඇති)..

පස්සේ කාලේ කොම්පුටර් දන් දීම කළා... මුලින් ම තාත්තයි අම්මයි අරන් දුන්න එක එක්කෙනෙකුට දන් දුන්නා.. පස්සෙ මම පඩි අරන් හදා ගත්ත එක ආයේ දන් දුන්නා... ඊට පස්සේ ගත්ත ලැප්ටොප් එකත් දීල දැම්මා... ( මටම කියල කොම්පියුටරයක් නෑනේ හැබෑටම.. දැන දුවන්නේ කොම්පැණි ප්‍රොපටි වලින්...)  බයික් එක ගත්තම ඒ වෙනකම් පැද පැද පට්ට ගහපු බයිසිකල් එකත් දීල දැම්මා..  කාර් එක ගත්තට පස්සේ බයික් එක දීල දාන අදහස නම් ගොඩක් සැරයක් ඔලුවට ආවා... තාම දුන්නෙ නෑ... කාර් එකෙන් විතරක් ගොඩ දාන්න අමාරු ගමන් බිමන් තියෙනවනේ... (බට්ටි නංඟි නම් උඩින්ම කැමතියි මම බයික් එක කාට හරි දීල දානවට.. මමනේ දන්නේ කාර් එක එහෙ මෙහෙ පාර්ක් කරන්න ගියාම කන්න වෙන කට්ට..)

මේ ළඟදි මම තවත් මහා දානයක් දුන්නා... එකට වැටිල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන අයියයි මල්ලියි වගේ කාලයක් තිස්සේ හිටපු හෙලිකොප්ටර් අයියාව මම දීල දැම්මා... ඇත්තටම කිව්වොත් මුලින් ම ගත්ත  එකයි... ඊට පස්සේ ගත්ත එකයි දෙකම දුන්නා...

මුලින් ගත්ත එක මා වැනි ම පිස්සුවක් සහිත රුවන් මාමාගේ හිතසුව පිණිසද.. දෙවැනි එක මට වගේම පොඩි කාලයක් හිමි... බට්ටි නංඟිලාගේ පවුලට හිතවත් රත්නපාල අයියාගේ පුතාගේ සතුට පිණිස ද වශයෙන් දීල දැම්මා...




අයියා දන් දීමට පෙර දින රාත්‍රියේ මල්ලී සම්ඟ ගත් අවසන් පොටෝ කිහිපය

ඇත්තටම මගේ හෙලිකොප්ටර් උණ දැන් සනීප වෙලා... ගේ ඇතුළේ ඉඳන් යවන්න කියල හිතාගෙන මේ ලඟදි ගෙන්න ගත්ත හෙලිකොප්ටර් මල්ලියා හරියට වැඩ කරන්නේ නැති වුණාට පස්සේ නිකං කම්මැලියි වගේ.. (සෝරෝට ඇමතුමක් දීල උපදේසයක් ගන්නවත් හිතෙන්නෙ නෑ වගේ...) මේ සතියෙවත් ආයේ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ...

ඔන්න ඔහොම තමා ඉතින් මගේ දන් දීම්... මේ ඊයේ පෙරේදා ගත්ත ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවටත් ඔය ආනිසංසෙම වෙයි තව ටික කාලෙකින්.. හික්ස් බිකිස්...

ඉස්සර මට කොම්පුටරයක්, මේ වගේ හෙලිකොප්ටර් ,සෙල්ලම් බඩු සහ ආස හිතෙන තව එක එක දේවල් ගන්න බැරුව ගෙදර ඔහේ ඉන්න වෙලාවට අනන්තවත් හිතිල තියෙනවා මට ඒව අරන් දෙන්නවත් කවුරු හරි හිටියනම් කියල... එහෙම කවුරුවත් නෑ කියල ෂුවර් එකටම දැන දැනත්..  දැනුත් ඉතින් එහෙම හිතන පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවනේ... එහෙම කරන්න බැරි දෙමව්පියොත් ඕනෙ තරම් ඉන්නවනේ... ඉතින් එහෙම හිතෙන පොඩි එකෙකුගේ හීනයක් හීනියට හරි සැබෑ කරල පොඩි ආතල් එකක් ගන්න එක වරදක් නෙවෙයි නේ...

රස්සාව කරල ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන තව අමතර ආදායම් මාර්ග හදාගෙන සල්ලි කාරයෙක් උනාට පස්සේ දාන දීල නැති බැරි අයට උදව් කරල පින් කම් කරල ඉන්නම් කියල කල් දාන්නෙ නැතුව දෙන්න හිතෙන වෙලාවට දීල ඔන්න ඔහේ පාන් කෑල්ලක් කාල ඉන්න එක හෙන ආතල් මට නම්...

Saturday, May 19, 2012

පොටෝ එක

ගෙවුනු වසරේ අපේ සවාරි වලට අදාල පොටෝ එක.. ඇනිවසරිය දිනට සති කිහිපයක සිට සෑදීම අරඹා මා දන්නා සියළුම පොටෝසොප් වැඩ කිඩ දමා මගේ අතින් නිෂ්පාදනය වූ අපේ ඇනිවසරි පොටෝව. නිතර කැඩෙන සුළු ලැප්ටොප් වල දමා රැක ගැනීම ෂුවර් නැති බැවින් මතු කලෙක බලා සතුටු වනු පිණිස මෙසේ බ්ලොගයට දමනු ලැබේ...
                                    
 ඇනිවසරි දින ඔපිසියෙන් පැනගොස් ලබා ගත් ප්‍රින්ටය බට්ටී නංඟී විසින් අධික පරිස්සමට කොහේ හෝ හංඟා ඇති බැවින් මට නිතර දැක බලා ගැනුම පිණිස මෙසේ ජාල ගත කළෙමි...

Saturday, May 12, 2012

ගෙවුනු වසරේ අපේ සවාරි.. ඡායාරූප රහිතයි

අපි දෙන්නගේ ෆස්ට් වෙඩින් ඇනිවසරිය පහුවෙලා දැන් සති 2ක් විතර.. ඇනිවසරි ටුවර් එකට රවුමක් ගහල ගෙදර ආපු ගමන් කොම්පීටරේට කෙල වෙච්ච නිසා මොකුත් කර ගන්න බැරි වුණා.. අලුතින් හම්බවෙච්ච එකට අවශ්‍ය අඩුවැඩිය දාලා හදා ගත්තේ මේ ඊයේ පෙරේදා...

අපි දෙන්නගේම හීනයක් වෙලා තිබ්බ දඹුල්ල කණ්ඩලම හෝටල් ගමන ෆස්ට් ඇනිවසරි එකේදි යන්න පුළුවන් වෙච්ච එක ගැන හරි සතුටුයි... පොඩි කාලේ ඉඳල තිබ්බ හීන එකින් එක හෙමින් හෙමින් හැබෑකරගන්න පුළුවන් වෙන එක හරි ජොලි... හැමදේම අපි දෙන්නම මහන්සිවෙලා හම්බකරගත්ත දේවල් වලින් කරනකොට අවංකවම හිතට සැහැල්ලුයි සතුටුයි..

කණ්ඩලම හෝටලය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ස්වභාවික පරිසරයට සිදුවෙන හානිය අවම කරගෙන හදපු විශිෂ්ට නිර්මාණයක්... මම හිතන්නේ සම්මාන පවා හම්බ වෙලා තියෙනවා පරිසරය සුරැකීම සම්බන්ධව...මීට අවුරුදු 10-15කට කලින් ඔය හෝටලේ හදපු කාලේ ඉඳල හෙන ආසාවක් තිබ්බ ඕකට යන්න.. ඒ කාලේ ඒව නිකං හීනම විතරක් වෙලා තිබුණේ..

කණ්ඩලමෙන් පස්සේ රුවන්වැලි සෑයටයි,ශ්‍රී මහා බෝධියටයි ගියා පහුවදා රෑ.. අනුරාධපුරේ ගිහින් හතරවටේ ඇවිදින්නේ නැතුව රුවන්වැලි සෑ මළුවේ ගේට්ටුව වහනකම් වාඩිවෙලා හිටියා... එහෙම ඉන්නකොට දැනෙන දේ ගැනත් ඉතින් වචන වලින් කියන්න අමාරුයි..

පහුවදා උදේම නැග්ගා සීගිරී.... ඒකත් අවුරුදු 10-15කින් තමා ගියේ.. උඩටම නඟිනකොට නම් නිකන් සුදුකොඩි, ගොක්කොල පේන ගතියක් දැනුනා .. හිකිස්...ඒතරම් ඇඟේ ෆිට්නස් නේ...

ඇනිවසරි ටුවර් එක එතනින් ඉවරයි...

වෙඩිමෙන් පස්සේ දවසේ අපි දෙන්නා කෙලින් ම ගියේ නුවර හුනස් ෆෝල්ස් හොටෙල් එකටනේ.. බැඳපු අලුත යන්න තියෙන සිරාම හොටෙල් වලින් එකක් ඒක.. ගිය අය දන්නව ඇති.. පුදුම ලස්සනක්...  බඳින්න ඉන්න අය පුළුවන් නම් ගිහින් ආවට කමක් නෑ.. ජීවිතේටම මතක හිටින තැනක් වෙයි..

හෝම් කමිමෙන් පස්සේ දවසේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව තායිලන්ත සවාරියකුත් ගිහින් ආවනේ... දවස් 5ක් තායිලන්තෙ නැවතිලා රට තොට බලල එන්න එච්චර ලොකු ගානක් ගියෙ නෑ.. ලංකාවේ හිටිය හෝටලේට එක දවසට ගෙවපු ගානින් අපි දෙන්න සාමාන්‍යයෙන් 3-ස්ටාර් වගේ හොටෙල් එකක දවස් 4ක් හිටියා... හරිම ලාබයි.. කිසිම අඩුපාඩුවක් නෑ.. එහෙ ගිහින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ රවුමකුයි, මැඩම් ටුසාඩ් වැක්ස් මියුසියම් එකේ රවුමකුයි ගහල ගෙවල් වල අයටයි අපිටයි පොඩි පොඩි තෑගියි (මට හෙලිකොප්පරේ) අරන් එන්න අපිට ගියේ යන්න එන්න ටිකට් වලටත් එක්කම 120,000ක් වගේ (ගාන දැම්මේ යන කෙනෙකුට අදහසක් ගන්න)

ඒ ගමනෙන් පස්සේ අපි කීප සැරයක් හපුතලේ ගියා.. ට්‍රිප්ම නුනත් ට්‍රිප් තමා ඉතින්.. නෑදෑ ගෙවල් වලයි ප්‍රේමසිරි අයියගේ මළ ගේ, බුද්ධික මල්ලිගේ දානේ වගේ හේතු නිසා. දියළුම, බබරකන්ද දිය ඇලි බලල, දොලපාරවල් වලින් නාලා, අලි බලල, මඩවල උපාලි හාමුදුරුවන්ගේ මියුසික් තෙරපි විඳල ආපු නිසා ඒ ගමන් ටිකත් ඉතින් ට්‍රිප් ම තමා..

ඔය අතරේ අපි දෙන්නා ආයේ ගියා මේ ළඟපාත පොඩි හොටෙල් එකකට... ඒ කියන්නේ කොළඹින් 20-30 කි.මි වගේ දුරකින් තියෙන සෙරනිටි විලේජ් කියල ලස්සන පොඩි හොටෙල් එකක්... දවස ගෙවල එන්න මරු තැනක්.. වැඩි ගානක් නෑ.. පෙට්‍රල් වියදමත් එක්කම 5000කට අඩුවෙන් ගියේ අපි දෙන්නට.. හැබැයි රෑ හිටියෙ නෑ...

ඊට පස්සේ කතරගම ටුවර් එකක් සෙට් වුණා... පවුලේ අයත් එක්ක... ඒකෙදි ලෝක ප්‍රසිද්ධ නැව් එන්නැති වරාය එහෙමත් දැකබලා ගත්තා.. හැබැයි ඇත්තටම මම නම් ගලක් දැක්කෙ නෑ...  කවුරු මොනව කිව්වත්..

කලින් වැඩ කරපු කොම්පැණියේ සැට් එකත් එක්ක ගිය නුවර එළි ට්‍රිප් එකත් මරේ මරු...  නුවර එළියේ ගිහින් ඉට්ටෝබෙරි ෆාම් එකේ ට්‍රැක්ටර් ගමනත් මරු.. කොත්මලේ ජලාශේ තත්වෙත් බලාගෙන තමයි ඒ රවුම කැරකිලා ආවේ...

නුවර එළියේ ටුවර් එකට කලින් (ලියපු ඕඩර් එක නම් වැරදියි... ගනන් ගන්න එපා) මම හිතන්නේ කතරගම ටුවර් එකටත් කලින් ද මන් ද... අකුරැස්සේ ගිය වෙලාවෙදි අපි ගියා කඹුරුපිටියේ එකෝ විලේජ් කියල තව පොඩි ලස්සන හොටෙල් එකකට.. ගෙදර කට්ටියත් එක්ක හවස් වෙලා ගිහින් රෑ කෑම කාල එන්න හෙන අඩු ගානක් ගියේ.. ලස්සන තැනක්...

අහ් කියන්න අමතක වෙච්ච තව සිරා ගමනක් තියෙනවනේ.. බට්ටි නංඟිගේ කොම්පැනිය ගානේ ජෙට් ලයිනර් නැව් සවාරියකුත් සැට් උණානේ... නොමිලෙම... යන්න වටින ගමනක් ඒකත්... නැව් කියන්නෙත් හෙන සිරා වාහන ජාතියක්...

අපේ කොම්පැණිය ගානෙත් වත්තල පෙගසස් හොටෙල් ගමනකුත් සැට් වුණා.. හැක්.. බැඳල මාසයයි ද කොහෙද.. කෙහෙල් ගහට ඩි.එස්.එල්.ආර් කැමරාවෙන් ගැහුව වගේ... බීච් වොලිබෝල් ගහන්න ගිහින් මගේ වෙඩින් මුද්ද නැත්තටම නැති උණා එහෙදි... හිකිස්..  කොම්පැනියේ කට්ටිය කොම්පැනිය ගානේ මට අලුත් මුද්දක් අරන් දුන්න එකත් කවදාවත් අමතක වෙන්නෙ නෑ...  ඩේ ඇන්ඩ් නයිට් සේවය කළත් කමක් නෑනේ ඉතින්...

දැනට මතක් වෙන විදියට ඔන්න ඔහොම තමා අපි දෙන්න රවුම් ගැහුවේ... අවර් කාර් අවර් පැට්‍රෝල් නේ කියල අපිට හිතුනම ඉතින් ඔය වගේ රවුම් යනවා.. (බැංකු වල සතපහක් වත් නැති එක වෙනම කතාවක්)

බැඳල අවුරුද්දක් 2ක් යනකම් සල්ලි පොඩ්ඩක් නාස්ති කලාට කමක් නෑ ඔන්න ඔහේ.... (ඊට පස්සෙත් කමක් නෑ ඉතින්)... ඊලඟ මාසේ ගානට බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් (හිකිස්... බැරිම උනොත්  ක්‍රෙඩිට් කාඩ් තියෙනවනේ ඉතින් )

ඉන්න ඩිංඟ ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියන පිස්සු පූසාගේ තියරියට වන්දනා මාන කරලනේ මම ඉන්නේ.. බට්ටි නංඟිත් ඉතින් මම ම තමා නේ...

ප.ලි
ගිය ගමන් වල පින්තූර සියල්ල මදර්බෝඩ් එකට කෙලවී ගිය මගේ පරණ ලැප්ටොපයේ බැවින් මේ අවස්තාවෙදී ලබා ගත නොහැක..

ප.ප.ලි
සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව අම්මාගෙන්,අක්කාගෙන් සහ දිමුතුවාගෙන් බැනුම්/ අවවාද අසමින් බට්ටි නංඟිගේ පූර්ණ අනුමැතිය සහිතව කන්ඩලම් ටුවරය යන්න ඔන්න මෙන්න තියා තකහනියේ මිලදී ගත් මගේ ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවේ පින්තූර සමඟ නැවත හමුවෙමු...

ප.ප.ප.ප.ප.ලි.ලි.ලි.ලි.ලී

කොහොමද නයාගෙ තරම.. හිකිස් බිකිස්...


Wednesday, April 04, 2012

සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...

ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ..මේකේ ආරම්භය සහ විකාශනය ගැන මම දන්න දේවල් ටික ලියන්න ලියල දාන්නම්.. පහුගිය කාළේ කිහිප දෙනෙක්ම පරණ බ්ලොග් සහ මීට වසර 5-6කට කලින් කොහොමද මේ සිංහල යුනිකේත සහ බ්ලොග් කලාව තිබුණේ කියන එක ගැන උනන්දු වෙලා තිබ්බා.. ඉතින් දන්න දේවල් ටික ලියල දාන්න හිතුවා...මට මඟ හැරුනු පුද්ගලයින් සහ බ්ලොග් පිළිබ්ඳව මට වඩා මේ ගැන දන්නා කෙනෙක් විසින් අප සැම දැනුවත් කරයි කියල බලාපොරොත්තු වෙනවා..

සිංහල යුනිකේතයේ ආරම්භය ගැන නිල වශයෙන් දැන ගැනීමට දැනට ඇති හොඳම අඩවිය http://www.siyabas.lk/history ලෙස සළකන්න පුළුවන් මේක රාජ්‍ය මට්ටමින් දියුණු වෙච්ච තාක්ෂණයක්  ඒ නිසා බොහෝ වගකිව යුතු අය ඉන්නවා.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිංහල යුනිකේත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහය සහ වර්තමානයේ දී ලබා දෙන සහය පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැක.

යුනිකේත භාවිතා කරන්නන් හට මුල් කාලයේ ඇතිවූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිණිස පිහිටුවා ගත් සිංහල යුනිකෝඩ් සමූහය 2006 වසරේදී ආරම්භ කරන කළා.

සිංහල යුනිකේත සමූහයේ ආරම්භය සඳහා මුලීකත්වය ගැන ඇත්තේ අප සැවොම දන්නා කපුටා සිංහල අකුරු සෑදූ ඊ ෆියුෂන් සමාගමේ සාමාජිකයින් විසින්. සමූහයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ නිරංජන් මීගම්මන මහතා, කපුටා කට්ටියත් එක්ක හිටපු රන්දුනු සහෝදරයාවත් මතක් කළ යුතුයි.

මා සිංහල යුනිකේත සමූහය හා සම්බන්ධ වූ ආකාරය මෙහි සරලව දක්වා ඇත.

මුල්ම කාලේදි තිබිච්ච ගැටලු
  1. සිංහල යුනිකේත අකුරු වල ඉස්පිලි පාපිලි කොම්බුව ආදී දේවල නිවැරදිව නොපෙන්වීම, 
  2. ගොඩක් වෙලාවට  යුනිකේත අකුරු නිවැරදිව දර්ශනය නොවීමේ රෙන්ඩරින් ගැටලු තිබුණා. 
  3. අනිත් එක විවිධ බ්‍රව්සර් වලදි ආපු ගැටළු.. 
  4. ඊට පස්සේ වින්ඩෝස් ඔෆිස්,ෆොටො ෂොප් වගේ එදිනෙදා අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලදි ආපු ගැටළු...
  5. ඩෙස්ක්ටොප් පබ්ලිෂින්  වැඩ වලදි අතීතයේ පාවිච්චි කරපු විවිධ ෆොන්ට් වර්ග වෙනුවට යුනිකේත භාවිතා කිරීම සහ ඒ සම්බන්ද ගැටළු 
  6. ලිනක්ස් වල සිංහල පිහිටුවීමේදී සහ භාවිතයේදී ආපු ගැටළු 
  7. සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර සහ ඒවායේ යෙදීම් ගැනත් කතා බහ වුණා.. ගොඩක් වෙලාවට අන්තර්ජාතික සම්මත සමඟ සිංහල භාෂාව සම්බන්ධ වීමේදී ඇතිවූ ගැටළු.
ඔන්න ඕවට විසඳුම් සාකච්ඡා කරන එක තමයි මුලික වශයෙන් අපි (මම කළේ බලන් හිටපු එක විතරයි) මේ සමූහයේදි කළේ..

සිංහල ටයිප් කිරීමේ ගැටළුවත් ගොඩක් දෙනෙකුට තිබ්බා.. ඒකට විසඳුම් වශයෙන්
  1. ගාර්ප් සිංහල යතුරු ලියනය
  2. අපි කවුරුත් දන්න විජේසේකර කී බෝඩ් එක 
  3. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදපු එසැනින් පරිවර්තකය  
වගේ දේවල් භාවිතා කිරීම සහ ඒවායේ ගුණ දොස් විචාරය වගේ දේවල් සිද්ධ වුණා. මේ කාලේදී කොළඹ විශ්වවිද්‍යාලීය භෂා තාක්ෂ්ණ පර්යේෂණ ආයතනය විසින් යුනිකේත සම්බන්ධ බොහෝ අත්හදා බැලීම් සහ නව නිපැයුම් සිද්ධ කළා මම හිතන්නේ..
  1. ෆයර් ෆොක්ස් වලට හදපු ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂය ගොඩක් ම ජනප්‍රිය වෙලා තිබුණා..  මම හිතන්නේ දැන් නම් ඒක වැඩ නැද්ද කොහෙද.. මේක හැදුවේ අසංක වාසල කියල සහෝදරයෙක් මට මතක විදියට
  2. ඩනිෂ්ක නවීන් සහෝදරයා විසින් ෆයර් ෆොක්ස් සිංහල වර්ෂන් එකක් නිකුත් කිරීම.. 
  3. මලින්ත මල්ලි ගේ වර්ඩ්ප්‍රෙස් සිංහල සංස්කරණයක් නිකුත් කිරීම, 
  4. දසුන් සමීර මල්ලි ගේ ෆොන්ට්ස් සම්බන්ධ ගැටළු විසඳීම් එහෙම ගොඩක් තිබ්බා... 

මීට අමතරව තව බොහෝ අය විසින් විවිධ දේ කළා.. මම නම් කළේ සිංහලෙන් එක එක බයිල ලිය ලිය හිටපු එක තමා.. හැබැයි ඒ කාලේ මම දන්න කියන හැමෝගෙම මැෂින් වලට යුනිකෝඩ් දාල හීන් සැරේ පොඩි පොඩි පබ්ලිසිටි වැඩ කළා..

සිංහල යුනිකේත සඳහා විවිධ අකුරු වර්ග හැදීම ගැනත් අවධානය යොමු වෙලා තිබුණා.. මම හිතන්නේ කපුටා ෆොන්ට් එක හදපු ඊ ෆියුෂන් සමාගමේ කට්ටිය ඒ වෙනුවෙන් වැඩ කළා..

ජංගම දුරකතන සඳහා සිංහල යුනිකේත සහය ගැනත් අපි හෙව්වා බැලුවා.. (මම ඕකට සැට් උනේ CDMA වලට සිංහල දාන්න පුළුවන් ද බලන්න ගිහින් නේ)

සිංහලෙන් ලියන්න ආස නිසා මම මුලින් ම ගෙදර ගිහින් වර්ඩ් වල සිංහලෙන් ලිව්වා.. එහෙම ලියපු ලෝකෝපකාරය පොතේ පිටු කිහිපයක්  මම පස්සේ බ්ලොග් එකට දැම්මා.. ලෝකෝපකාරය ලියන්න හේතුව වුණේ ඒ දවස් වල මගෙ ළඟ ඔය විවිධ සිංහල මහාප්‍රාණ අකුරු තියෙන පොතකට තිබ්බේ ඕක විතරක් නිසා... ඕකෙ තියෙන එක එක අකුරු ලියන්න පුළුවන් ද බැරිද කියන එක ටෙස්ට් කරන්නත් එක්ක මම ඕක වර්ඩ් වල ටයිප් කළා..

සිංහලෙන් අකුරු ලියන්න ඇත්තටම ඒ දවස් වල මම නම් හෙන ආස කළා.. මොකද එක එක ෆොන්ට්ස් වර්ග දාගෙන අකුරු ගලප ගලප හොය හොය ලියනවට වඩා සිංහල යුනිකේත භාවිතාව මාර විදියට ලේසි වෙච්ච නිසා.. මට කොහොමත් විජේසේකර කී බෝඩ් එක එච්චර බැරි නිසා මම හුරු උනේ ගාර්ප් එකට.. එදා සිට අද දක්වා ගාර්ප් ම තමා.

සිංහල යුනිකෝඩ් සමූහයේ හෙන රසවත් දේවල් තිබ්බා.. ඒ කියන්නේ මුලින්ම සමහර අයට තිබ්බා කොම්පුටරේ සිංහලෙන් වැඩ කරන්න හදන එක මහ විකාරයක් අපී තාම ඉන්නේ දූපත් මානසිකත්වයේ ඒ නිසා මේව මහ තේරුමක් නැති වැඩ කියල තර්ක දාපු අයට උත්තර දෙන එක නැඟල ගියා... වලි හෝ ගාලා..

ඊට පස්සේ ආයේ එකක් තිබ්බා සිංහලට මුර්ධජ අකුරු අවශ්‍යද නැද්ද කියන එක ගැන කතාබහක්.. ඒකත් හොඳට නැඟල ගියා වගේ මතකයි.. වෙබ් අලෝචනා බ්ලොග් එක ලියන ආනන්දවර්දන මහත්තයා එයාගේ සයිට් එකේ කිසිම  මුර්ධජ  අකුරක් භාවිතා නොකරනව කියල ඒ දවස්වල  මුර්ධජ  නැතුව බ්ලොග් ලිව්වා.. තාමත් ඒක එහෙම ද කියල මම බැලුවෙ නම් නෑ.. නමුත් ඒ දවස් වල නම්  මුර්ධජ නැතුව බ්ලොග් ලිව්වා..

තව සිරාම සංවාදයක් ගියා ජැක්සන් ඇන්තනීගේ අබා ෆිල්ම් එක හදපු දවස් වල... මහාචාර්‍යය නලින් ද සිල්වා මහත්මයගේ චින්තන පර්ෂදයේ කට්ටියක් සෙට් වෙලා හෙන ටෝක්ස් දුන්නා.. ෆිල්ම් ඒකේ තිබිච්ච සිංහලට විරුද්ධ සමහර දර්ශන ගැනයි ෆිල්ම් එක ගැනයි..  බොහොම රසවත් කතා බහක් උනා ඒකත්.. 

 ඒ වගේම සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණයත් මේ වෙනකොට පටන් අරං තිබුණා... ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මූලිකත්වය ගෙන පටන් ගත් නැණසල මධ්‍යස්තාන වල සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම, ශිල්ප සයුර  වැනි අධ්‍යාපනික වෙබ් අඩවි නිර්මාණය, ශිල්ප සයුරේ තේමා පාඨය ගැන අදහස් විමසිම් එහෙම සිංහල යුනිකේත සමූහයේ කතා බහ වුණා.. ඒ වගේම එම අඩවියේ මූලික වටයේ ටෙස්ටින් වලටත් අපි සහභාගි වුණා..

ඔය අතරේ එක් එක් අය පුද්ගලික් බ්ලොග් ලියන්න පටන් ගත්තා..

ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් තමා වෙබ් අලෝචනා... ඒක ලියන ආනන්දවර්දන මහත්මයගේ සැබෑ නම මොකක් ද කියල මම නම් අද වෙනකන් දන්නෙ නෑ.. නමුත් ඒක හරි ජනප්‍රිය උණා...  තව ධම්මිකගේ බ්ලොග් සටහන් කියල එකක් ලිව්වා ධම්මික කියල මහත්මයෙක් සිංහල බ්ලොග් කියවනයේ අන්තිම පිටුවට ගිහින් බැලුවොත් ඒක තමා අන්තිමටම තියෙන්නෙ.. ඒ කියන්නේ මුලින් ම සින්ඩිකේට් වෙලා තියෙන්නෙ ඒක..

මට මතක හැටියට මලින්තගේ සටහන්, හර්ෂණ ගේ බ්ලොග් එක,ශ්‍රී ශානු ගේ බ්ලොග් එක,  ඒ දවස් වල ලියවුණා. සුපුන් සුදාරක මල්ලිත් සිංහල යුනිකේත සමූහයේ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගි වුණා. කොත්තු සයිට් එක ඒ කාලෙත් තිබුණා සිංඩිකේටරයක් විදියට. හැබැයි ගොඩක් සිංඩිකේට් කළේ ඉංග්‍රීසි බ්ලොග්.. 

ඔය බ්ලොග් සහ සාකච්ඡා යන අතරේ මට මතක විදියට කාලිංගත් සිංහල යුනිකෝඩ් ගෘප් එකේ තාක්ෂණික ගැටළු සාකච්ඡා කරන්න එකතු වුණා. ඔය කතා බහ යන අතරේ මලින්ත මල්ලිගේ යෝජනාවකින් ද කොහෙද මේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගත්තා.. ඊට පස්සේ සිංඩිකේටරේ පටන් අරං ටිකෙන් ටිකෙ මේ බ්ලොග් ලියවිල්ල මේ අද දක්වා ඇවිල්ල තියෙනවා..

පස්සේ ටිරෝන් වික්‍රමරත්න කියල කෙනෙක් අපිත් එක්ක එකතු වුණා.. ගොඩක් තාක්ෂණික කරනු වලදි කතාබහට එකතු වෙලා පස්සේ සිංහලෙන් ලංකාවේ ඉතිහාසය ගැන වෙබ් අඩවියක් කිරීමේ අදහසක් ගෙනල්ලා ඒ වෙනුවෙන් වැඩ කළා. Lanka History Portal  කියල ගූග්ල් සමූහයක හදාගෙන අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා.. දවසක් නුවර ගිහින් පෙරාදෙණිය කැම්පස් එකේදී මීට් වෙලා අපි ඔය ඉතිහාස ප්‍රොජෙක්ට් එක ගැන සාකච්ඡා කළා (මම බයික් එකේ මුලින් ම නුවර ගියේ එදා හික්). ටිරෝන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.. මලින්ත මල්ලි ලස්සන සයිට් එකකුත් ඩිසයින් කළා මතකයි.. චාමර පීරිස් ,වරුණ  එහෙම ඒ කාළේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා.  ශ්‍රී ලංකාවට විජය කුමාරය එන්න කලින් ඉතිහාසය හොයල ඒක ලියන වැඩේ මම බාර ගත්තා.. රාවණා උණ හැදිල තිබිච්ච කාලේ නිසා..  හැබැයි වැඩි දෙයක් හොයා ගත්තේ නෑ.. ලංකා වත කියල මරු පොතක් හොයා ගෙන බැලුවා... හරි ලස්සන ප්‍රබන්ධ කතාවක්.. හැබැයි ඇත්ත නෙවෙයි..

අපිට වෙඩ් අඩවියට ගන්න ඕනේ වෙච්ච ඩොමේන් නේම් එක ගැනීමේ ගැටළුවක් නිසා ඒ වැඩේ ටිකෙන් ටික මඟ ඇරිලා ගියා.

මම දන්න විදියට 2006 සිට සිංහල යුනිකේතය සහ සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙන යන්න විවිධාකාර වශයෙන් සහයෝගය දීලා ඒ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරපු අය ගොඩාක් හිටියා... මෙතන ඒ අය හැමෝගෙම  නම් කියවෙලා නෑ.. මම අවංකවම ඒ අය ගැන දන්නෙ නෑ.. නමුත් එහෙම පිරිසක් සිටි බව විතරක් දන්නවා.

මට මඟහැරුණු  නම් සහ බ්ලොග් අඩවි තව ගොඩක් ඇති.. ඒ අයෙගෙන් අවංකවම සමාව ඉල්ලන ගමන් අපි නොදන්න විස්තර ලබා දෙන්න කියලත් මතක් කරන්නම්.

Monday, April 02, 2012

කුංෆූ බලන්න කැමති ද?

පහු ගිය දවස් ටිකේ ලියපු පෝස්ට් වලදි මතක් වෙච්ච නිසා මට මේක හොයල ඩවුන්ලෝඩ් කරන්න හිතුණා...  පළවෙනි සීසන් එකේ කොටස් කීපයක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. ටී.වී එකේ බලපු  කොලිටි එකම වගේ තියෙනවා.. කැමති අය බාගෙන බලන්න...

සීසන් 1

සීසන් 2

මේකේ තියෙන අදහස් ටිකක් තේරුම් අරං අපේ එදිනෙදා ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා... අපි මේ හැමදාම දකින මිනිස්සු,දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතෙයි..

මේකේ කතාව ගැන පූර්ව හැඳින්වීමක් අනවශ්‍යයි කියල හිතුණා... ලියන්න කම්මැලි කම නම් නෙවෙයි..


Monday, March 19, 2012

Accept the way of others

මේ අදහස කොච්චර ලස්සනට මේකේ තියෙනවද...? අපි අවුරුදු බර ගානක් තිස්සේ මේවගේ  ගැඹුරු දේ ගැන දන්නවා... ඒ දන්න දේ ගැන ලොකු ආඩම්බරේකුත් තියෙනවා... හැබැයි මේ සරල දේ අපේ ප්‍රායෝගික් ජීවිතේදී ක්‍රියාත්මක කරන්න අපිට නොතේරෙන්නෙ ඇයි.. ?  ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියල ලිස්සල යන අය අතරේ උපේක්ෂාවෙන් බලල තමන්ගේ අභ්‍යන්තරය ගැන පුංචි හරි වැටහීමක් ලබා ගන්න උත්සාහ කරන අය ඉන්නෙ හරි ස්වල්පයයි කියලයි මට හිතෙන්නේ...  එහෙම තේරුම් ගන්න තරම් විවෘත සිහියක් අපට නෑ වගේ... එදිනෙදා ජීවිතේදී අපිට කොච්චර මිනිස්සු හම්බ වෙනවද.. කොච්චර මිනිස්සු එක්ක අපි වැඩ කරනවද? යාළුවෝ, නෑදෑයෝ, ආදරේ හිතෙන අය, පේන්න බැරි චරිත, එපා කරපු උන්, සිරා පොරවල් ඔන්න ඔය වගේ එක එක විදියේ අය...

ඔය කැටගරි වලට අපි දාගෙන ඉන්න ඔක්කොම මිනිස්සු අපි වගේමයි කියල නිකමට හිතෙන්නෙ නැද්ද? එක එක්කෙනා ජීවිතේ ජීවත් වෙලා තියෙන විදිය අනුව, එයාලට ජීවිතෙන් ලැබිල තියෙන දේ අනුව, ජීවත් වෙච්ච සමාජය හා පරිසරය අනුව ඒ මිනිස්සු ඒ ඒ විදියේ චරිත වෙනවා... ඒ චරිත අපිත් එක්ක ජීවත් වෙනකොට එක එක විදියේ ගති ගුණ අපිට පේනවා... ඒ පෙනෙන දේ අනුව අපි ඒ මනුස්සය ගැන තීරණ ගන්න එක කොච්චර හරිද වැරදිද කියල හිතල බලන්න හිතෙන්නෙ නැද්ද.... එහෙම තීරණ ගතයුතු අවස්තා සහ නොගත යුතු අවස්තා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ... එහෙම නොකලොත් අපි අමාරුවේ.. හැබැයි ඒක ඒ මොහොතට විතරක් සීමා කරල අවස්තාවට හරි යන විදියට හැසිරිලා හිත ඇතුලින් ඒ මනුස්සයව මැනල එයා ගැන අපි තීරණ අරගෙන ඒ මනුස්සයගේ පවුල,රැකියාව,කතා බහ,හැසිරීම් ඔක්කොම අපේ ඔලුවට අරගෙන.. සිතිවිලි ජාලයක් ගොඩනඟාගෙන ඉන්න එක හෙන තේරුමක් නෑ නේද..

අපි කොච්චර මිනුම් වලින් මිනිස්සු මැනල ඒ මිනිස්සු ගැන තීරණ අරගෙන ජීවත් වෙනවද..? එහෙම මිනිස්සු තේරුම් අරගෙන ජීවත් වෙන එක අනිවාර්‍යයෙන් ම කරන්න ඕනේ දෙයක්... එහෙම නොවුනොත් මේ සමාජේ අපිට ඉන්න අමාරුයි... හැබැයි ඒ මනුස්සය ගැන අපේ හිත ඇතුළේ  තියෙන්න ඕනේ හැඟීම හරිම සරල වෙන්න ඕනේ.. මේ යකා මෙහෙම කරන්න මේ නිසා මිසක් වෙන මොකුත් නිසා නෙවෙයි කියල සරල ව හිතල අර හිත ඇතුලේ ස්ටාර්ට් වෙන්න ට්‍රයි කරන සිතිවිලි එන්ජින් එක නතර කරල දාන්න පුළුවන් නම් අපිට මේ සමාජේ ඕනේම තැනක ඕනෙම කෙනෙක් එක්ක කිසි අවුලක් නැතුව ඉන්න පුළුවන්...

වැදගත් ම දේ අපි කාත් එක්ක හෝ ගත කරන මොහොත ඒ මනුස්සය සමඟ අදාල කාරණේට පමණක් සීමා කරගෙන ඉන්න එක.. අපි කාත් එක්ක හරි ඉන්න අතරේ අර සිතිවිලි එන්ජිම ස්ටාර්ට් කරගෙන මම කවුද මූ කවුද වගේ හිතන්න පටන් ගත්තම වෙන්නේ.. ඌ උගේ විදියට ඉඳල උගේ වැඩේ කරගෙන යයි.. අපි ඔක්කොම පැත්තක දාලා මෙහෙම කලේ ඇයි, මෙහෙම කරන එක හරිද වැරදිද.. හරි ෂෝක් අනේ, මට නම් පේන්න බෑ, මහ කපටියෙක්, නියම පොරක්, මම නම් එයා එහෙමයි කියල හිතුවා.. මට නම් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න බෑ... ඊ.ටී.සී,ඊ.ටී.සී

මම හිතන්නේ මේ දේවල් අපි හැමෝම දන්නවා.. හැබැයි ප්‍රායෝගිකව කරන්නෙ නෑ.... ප්‍රායෝගිකව කලත් කරන්නේ බාගෙට.. හිත හදාගන්නව කියල අර ස්ටාර්ට් කරගත්ත එන්ජිම ටිකක් ලෝ ගියර් එකකට දා ගන්නව වගේ දෙයක් කරල තාවකාලිකව පොඩ්ඩක් සැනසෙනවා.. හැබැයි ආයෙත් අර සිද්ධියට මූණ දෙනකොට ටොප් ගියර් එකට ඔටෝ වැටිල හතර අතේ ගා ගන්නවා...

එහෙම නොකර ඔහේ යන්න අරින මිනිස්සු අපිට ජීවිතේ හම්බ වෙනවා.. ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද කියල අපිටම දැනෙනවා.... හැබැයි අපිත් අනිත් කෙනාට ඒ වගේ දැනෙන්න ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ නෑ... සරල කම ගැන කතා කර කර අපි සංකීර්ණව ජීවත් වෙනවා...

අපිට බැරි වුණානේ 70 ගණන් වල හදපු මේ කුංෆූ වගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරවන්න පුළුවන් අදහස් තියෙන එක කතා මාලාවක් හදා ගන්න...

අපිට නියම සභ්‍යත්වයක් සහ සිස්ටාචාරයක් උපතින්ම ලැබෙන නිසා මේ වගේ දේවල් ගැන නිර්මාණශීලීව හිතන්න හිතෙනනෙ නෑ මම හිතන්නේ.. කොහොම හරි කරල පොෂ් විදියට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න විදියක් හොයන එක තමා අපි කර ගන්න ඕනේ...

Wednesday, March 14, 2012

ලංකාවට හඳ අහිමි වූ හැටි...

මේක දැක්කම මට නම් අවංකවම හිතා ගන්න බැරි වුණා... හැබැයි ඉතින් අපිට මේව ගැන තියෙන උණ ගොඩක් අයට නැති නිසා මෙහෙම දේවල් ඉතිහාසේ වෙලා තියෙන එක සාධාරණයි..   අපි හැමෝම බනින (මමත් එක්ක) ඇමරිකාව මේ ලෝකෙට කරන දස දහසක් විනාශ  අතරේ මුළු මිනිස් වර්ගයාටම වැදගත් වෙන වැඩත් කරනවා..    ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් හිතාගෙන වැඩ කළාට  අනිත් අයත් එක්ක තමන්ගේ මහන්සියෙන් දියුණු කරගත්ත දේවල් බෙදා හදා ගන්න අවස්ථාත් තියෙනවා..  ඒකෙන් ඔවුන් වෙන වෙන සැඟවුණු වාසි ලබා ගන්න එක වෙනම කතාවක්... නාලක ගුණවර්ධන මහත්මයගේ මේ ලිපිය කියවල බලන්න... අපේ ඉතිහාසේ අපි නොදන්න දේවල් කොච්චර වෙලා ඇති ද කියල හිතුණා මට නම්..

කම්මැලි පෝස්ට් අංක 2...  අච්චර ලස්සනට ලියල තියෙන පෝස්ට් එකකින් අදහස් අරගෙන මගේ මෝඩ ආතල් ටිකක් දාල අලුත් පෝස්ට් එකක් ලියනවට වඩා සරලවම ලින්ක් එක දාල වැඩේ ගොඩ දාන එක කොච්චර ලේසි ද..