Monday, December 27, 2010

ලංකාවේ ඉන්ටර්නෙට්

මට මේ වගේ දේවල් ගැන ලියන්න වස කම්මැලියි හැබැයි මේක දැක්කම නිකමට වගේ ලියන්න හිතුණා... (වැපාට ලියන්න කිව්වට ඌ ලිව්වෙත් නෑ නේ..)

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කරපු පරීක්ෂණයක (එහෙම ඒවා දැන් හරි කෙරෙන එක ලොකු දෙයක්) ප්‍රතිඵල අනුව දීපු වාර්තාවක් මේක.. සරලව කිව්වොත් විකුණන්න තියෙන බොහෝ දේවල් ගැන වෙළඳ දැන්වීම් වලින් මවන සුරංගනා ලෝකයේ ඇත්ත තත්වය අධිවේගී ඉන්ටර්නෙට් වලදි කොහොමද කියන එක තමා මේකෙන් පෙන්නන්නේ.

මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ (අපි මේ ඉන්න හරියෙ) කරපු පරීක්ෂණයක් නිසා ප්‍රතිඵල ඇත්ත වෙන්න පුළුවන්... විස්තරේ හරියම දැන ගන්න මෙතන බලන්න 

Friday, December 24, 2010

මගේ කෑම සතිය...

පසුගිය සතිය සහ ඉදිරි සතිය මම මගේ බඩ වෙනුවෙන් වෙන් කිරීමට සිතා ගතිමි... ලබන්නා වූ වසර තුළ බඩ ටිකක් අඩුකරගෙන ටිකක් පිළිවෙලක් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙතුවක් කල් එකට සිටි බඩට කළගුණ සළකනු පිණිස මේ තීරණය ගන්නා ලදී...

Thursday, December 23, 2010

මේ මොකක් ද?

මේ පින්තූරේ දැක්කම මොකක් ද මතක් වෙන්නෙ? මට මේ ෆොටෝ එක ගන්නකොට එකපාරටම මතක් වුණේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ෆිල්ම් එක... හික් හික්... මේ තියෙන්නෙ කොත්මලේ පිහිටි මහවැලි මහා සෑයේ ඇතුළෙ ඉඳන් ගත්ත ෆොටෝ එකක්... අපේ කාලයේ විශ්මකර්ම වැඩක් කියල කියන්න පුළුවන්..


අඩි 150ක් විතර යට ඉඳල එන කොන්ක්‍රීට් කනු 32ක් උඩ තමා මේ දාගැබ හදල තියෙන්නෙ... දැන් කරන්නේ මේ කණු මතු කරගෙන වටේට පේසා වළලු සහ පහත මළුව හදන එක... ගිහිල්ල බලන්න වටින තැනක්.. මම සි.බො.හමුවීමයි හිතවත් බස් කරුවන්ගේ කිතුල්ගල ට්‍රිපයයි දෙකම කැන්සොල් කරල ගිය ගමනෙදි බලා ගත්ත එක තැනක් තමා ඕක... පවුලේ අයත් එක්ක තනිකඩයෙක් විදියට යන අවසාන ට්‍රිප් එක මේක වෙන්න පුළුවන් නිසා තමා බොහෝ දේ කැප කරල මේ ගමන ගියේ... ගිය ගමන නම් පාඩු නෑ..

ඇතුළත දර්ශනයක් (අපේ කට්ටිය සමඟ)
 මේ තියෙන්නෙ එළියෙන් පේන හැටි.. දේවතාකොටුව,කොත් කැරැල්ල වගේ දේවල් තාම ලෝහ වලින් කරල තියෙන්නෙ ඉවර කරල නෑ මම හිතන්නෙ...

Wednesday, December 15, 2010

මගේ උපන් දිනේ ගැන මම නොදන්න දේ...

මේක හරි අපූරූ වෙබ් සයිටයක්.. විස්තරේ දැන ගත්තේ මෙතනින්...
මිනිස්සු කොච්චර අපූරූ දේවල් කරනව ද...

Thursday, November 18, 2010

බෙල්ලට ඔළුව බරයි කියල දැනිල නැද්ද?

මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...

අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...

Wednesday, November 17, 2010

සැබෑ ආදරය පිහිටන්නේ "මම" යන දෘෂ්ඨිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විටය

උපුටා ගැනීම - නිදහස් චින්තන ධාරාවේ බින්දු කිහිපයක්. ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් තුමා ගේ සිතිවිල්ලක්

මේ මට හිතෙන දේ..

මම නැති විට ආදරය කරන්නේ කවු ද?ආදරය ලැබෙන්නේ කාට ද? කරන්නෙක් හෝ ලබන්නෙක් නැති නම් ආදරයක් පවතී ද? ආදරය කිසිවෙකුටත් අයිති දෙයක් නොවන බව වටහා ගත හැකි නම් මම නැති විට ආදරය කළ හැකි වනු ඇත. ගස් වැල් තුළ ආදරය ඇත. මම නැත. ගංඟා ඇල දොළ තුල ආදරය ඇත. මම නැත. මිහිකත තුළ ආදරය ඇත. මම නැත. අප තුළ මම ඇත. ආදරය.....

ආදරය ලෞකික බැඳීමක් පමණක් ලෙස දකින විට මම නොමැතිව ආදරය කළ නොහැකිය. ආදරය මට ලැබිය යුතුය. මම ආදරය කළ යුතුය. මම ආදරේ නම් මා විසින් මේ මේ දේ කළ යුතුය... මට ආදරේ නම් මට මේ මේ දේ ලැබිය යුතුය. ඒවා මට නොලැබෙන්නේ නම් හෝ මම ඒවා නොදෙන්නේ නම් මම ආදරය කරන්නේ නැත. මට ආදරය ලැබෙන්නේ ද නැත. මා වෙනුවෙන් කර ඇති දේ අනුව මට ඇති ආදරය මැනිය හැකිය. මම කර ඇති දේ අනුව මගේ ආදරය ද මනිනු ඇත. කරන දේ නැවතුන විට ආදරය ද නිමවේ.

ආදරය ආධ්‍යාත්මික බැඳීමක් ලෙස දකින විට කිසිවෙක් කිසිවෙකු වෙනුවෙන් කිසිවක් කළ යුතු නැත. කළ ද නොකළ ද ආදරය ඔවුනොවුන් තුළ පවති. ඔවුනොවුන් වෙනුවෙන් ජීවත් වේ.

මට හිතුන දේ හරි ද වැරදි ද දන්නෙ නෑ... නමුත් දෙදෙනෙකු අතර පවතින සැබෑ ආදරය යනු... Live, Let Live ලෙස මා ඉගෙන ගෙන ඇත.

සමාජ සම්මත විසින් ආදරයට වටිනාකමක් නියම කර ඇති හෙයින් නියම ආදරයක් කිරීමට සහ ලැබීමට නම් අපට කළ යුතු බොහෝ දේ ඇත...

දැන් මේක ලියන එක නවත්තල මට කරන්න තියෙන දේ ගැන හිතන්න ඕනේ...

Saturday, November 06, 2010

කිලෝමීටර් 158ක්,පැය 7.5ක් එක දිගට අම්මයි මමයි...

හොඳටම තෙමුණා... අපේ අම්මා ගැන කියන්න මට වචන නෑ... කිසි දෙයක් සිද්ද වුණේ නෑ වගේ ෆුල් ෆිට් එකේ මාත් එක්ක හිටියා...දැනුත් එහෙමයි...ඊයේ එහෙම එකක් වුණා ද කියල ගානක් වත් නෑ..ඒක ආදරේ ද ජීවිතේ තේරුම් ගැනීම ද කියල හිතා ගන්න බැහැ... අම්මගේ වයස 60යි...

ජීවිතේට මූණ දෙනව කියන්නෙ මෙන්න මේකට නේද කියල හිතුනා... හැමදේම හොඳට වෙනකම්, අපිට ඕනේ විදියට වැඩටික කෙරෙන කම් ජීවිතේ ගැන ලස්සන කතා කියන්න හැමෝටම පුළුවන්... බලාපොරොත්තු නොවෙන දේවල් නොහිතන වෙලාවට සිද්ද වෙනකොට නොසැලී වචනෙකින් හෝ අඩුම තරමේ හැඟීමකින් වත් වෙනසක් නැතුව මොකුත් වුණේ නෑ වගේ ඉන්න පුළුවන් වීමේ ගුණය පුරුදු පුහුණු වුණේ ජීවිතේට මුහුණ දීලම විතරයි කියලයි මම දන්නේ...ඒක ඉගෙන ගන්න වෙන ක්‍රම තියෙන්නෙ විදියක් නෑ...

අපේ අම්මට මේ ආත්මෙදිම මේ සංසාරෙ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ..ලබන ආත්මෙදිත් මගේම අම්ම වෙන්න කියන්න තරම් ආත්මාර්තකාමී වෙන්න බැහැ...මට කරන්න පුළුවන් එකම දේ මෙච්චර කාලයක් හිටිය වගේ අම්මගේ හිතට දුකක් නොදී බරක් නොවී ඉන්න එක විතරයි...අම්මට මේ සංසාරෙන් ගැලවිලා යන්න තියෙන බැඳීම් එකින් එක අයින් කරගන්න උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ... භෞතික සැප සම්පත් ගොඩ ගහල තාවකාලික සතුටක් දීල මගේ යුතුකම මම කලා කියල අතපිහ දා ගන්න එක මහ පුහු දෙයක්... සතුටු වෙන්න කිසිදෙයක් ඕනේ නෑ කියන එක අපේ අම්ම ඕනවටත් වඩා පෙන්නල තියෙනවා...තිබ්බත් සතුටුයි නැතත් සතුටුයි... 

කරන්න පුළුවන් උපරිමෙන් කරල අපිට දෙන්න පුළුවන් දේ දුන්න... හොඳ නරක කියන්නෙ මොකක් ද කියල විතරක් කියල දීල අපිට අපේ ගමන යන්න ඉඩ ඇරියා... අපිට හරියන කොටත් හිටියා වරදින කොටත් හිටියා... උපේක්ෂාවෙන් ඕනේ දෙයක් දිහා බලන්න ඉගැන්නුවා... රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගහන ගහන පදවලට නටන්නේ නැතුව තමන්ගේ තරමට තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්න විදිය ඉගැන්නුවා...  අපිට තියෙන දෙයින් හැමදාම සතුටු වුණා...අපිට මීට වැඩිය දේවල් කරන්න පුළුවන් කියන එක කියල දුන්න විතරයි... අපි ඒ දේ කලත් නොකලත් එකම හිතින් අපි එක්ක හිටියා දැනුත් ඉන්නවා ඉස්සරහත් ඉඳියි.

උපතින් කිසිදෙයක් නොලැබුණ හැමදේම උත්සාහයෙන් ලබා ගත්ත මිනිසුන් තුළ විතරයි ගොඩක් වෙලාවට මේ වගේ ගුණ පිහිටන්නේ... උත්සාහයෙන් ලබා ගත් දෙයිනුත් සෑහීමට පත්වෙලා සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ජීවිතේ හරියටම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි කියලයි මම හිතන්නේ.

අම්ම තෙමෙනකොට මගේ ඇස්වලින් කඳුලු ආවා...ආයේ කවදාවත් අම්මට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ කියල හිතුවා.. හැබැයි අම්මගේ මුහුණේ තිබුණ සැහැල්ලුව දැක්කට පස්සේ මම මේ අඪන්නේ තේරුමක් නැතුව නේද කියන එක තේරුම් ගියා. මොකද කවදාවත් භෞතිකව දෙන දුක සැප කියන එක තීරණේ කරන්න අපිට බැහැ කියන තේරුම් ගියේ එතකොට... භෞතික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපේ පාලනයෙන් තොරව... හැබැයි ආධ්‍යාත්මික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපි ළඟ. ඒක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම පුද්ගලය තමන් විතරයි.

ගෙදර ආවට පස්සේ "කිසි කරදරයක් නැතුව ආපූ එකනම් ලොකු දෙයක්" එච්චරයි කිව්වේ... ඊට පස්සෙ සුපුරුදු විදියට නාට්ටි ටික බලල කඩෙන් ගෙනාපු කොත්තු රොටියයි,ආප්පයි කාලා... හොඳට නිදා ගත්තා...

අම්මත් එක්ක ජීවිතේ ඔන්න ඔහොමයි...

හැම අම්ම කෙනෙක් ම මෙහෙම ඇති...

Wednesday, November 03, 2010

සමුගැනීම

මට ඉස්සර ඉඳලම හෙන ආසාවක් තියෙනවා ඉක්මනට පැන්ෂන් අරන් ඔහේ ගෙදරට වෙලා ඉන්න. පැන්ෂන් ගන්න ආස වුණාට මොකද තාම වැඩ කරන්න පටන් අරගෙනත් අවුරුදු 6 ක් විතර...අනේ අම්මෝ තව ඉතින් අවුරුදු කීයක් කියල වැඩට යන්නද... ඉක්මනට වයසට යාමේ වැදගත් කම පේනව නේ...

අද මේක ලියන්න හිතුණේ මම වැඩ කරපු කාලෙන් හරියටම 2/3ක් විතර හිටිය හැමදාම ආසාවෙන් වගේ වැඩ කරපු (හැමදාම උදේට පට්ට කම්මැලි වීම වෙනම කතාවක්)ආයතනයෙන් වැඩ කරපු අවසන් දවස ඊයේ වීම.

ලංකාවේ ඉන්න හැමෝම නම කිව්ව පමණින් දන්න කොම්පැණියක හොඳ (හොඳ කියන එකත් සාපේක්ෂතා වාදයට අදාලයි ඉතින්)රැකියාවක් අත ඇරපු එක තාම අපේ වට පිට ගෙවල් වල කට්ටිය ඔය නෑදෑ පරම්පරාව දන්නේ නෑ... අද හෙට ඕක දැන ගත්තම ඉතින් "අනේ අපරාදේ නෙ පුතේ අස් වුණේ... හරි ෂෝක් තැන නේ", "අච්චර හොඳ ජොබ් එකක් දාල ඔය ඉතින් කොහෙද යන්න හඳන්නේ.."  ඕවා තමා අහගන්න වෙන්නේ... ලබන් සතියෙ ඉඳන් ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන 10ට විතර යනකොට ඔය වටේ ඉන්න වැඩිය ෆිට් නැති කස්ටිය ෂුවර් එකට හිතන්නේ මූට ජොබ් එක නැති වෙලා දැන් ඉතින් රස්තියාදු ගගහ ඉන්නව කියල... ඕව ඉතින් ඔහොම තමා.

කොහොම වුණත් කොම්පැණියෙන් අස් නොවී ඉන්න තිබුණනම් මමත් කැමතියි... හැබැයි අස් නොවී හිටියනම් මට ගෙදර ඉන්න බැරි වෙන සීන් එකක් වෙන්න තිබුණ තව ටික කාලෙකින්... ගෙදරද කොම්පැණියද වඩා වටින්නෙ කියල හිතල බලල තමා මේ තීරණේ ගත්තේ...

වැදගත් ම දේ තමා ජිවීතේ බොහෝ දේ ඉගෙන ගත්ත, බොහෝම හොඳ යාළුවෝ ටිකක් (බොරු පොෂ් නැති හිත හොඳ කොල්ලෝ කෙල්ලො ටිකක්) සෙට් වෙච්ච තැනක් වීම...

කොහොම වුණත් කිසිදෙයක් ගැන එපාවීමක් වත් කලකිරීමක් වත් හිතේ නැති එක නම් හිතට මාර සහනයක්... කොම්පැණියට කොහෙද වැරදුණේ...(නැත්නම් අපිට වැරදුණා ද)කියල තාම හිතාගන්න බැහැ (අපිට ඉතින් ඔය හෙන මැනේජ්මන්ට් තේරෙන්නෙ නෑ නේ). සමහර විට මේ දවස් වල පල්ලම් බැස්සට හෙට අනිද්දට ආයේ කන්දක් නඟියි (කොම්පැණි ගැන කතා කරන කොට කන්දයි පල්ලමයි මාරු වෙන හැටි පේනව නේද... හික්.. හික්)

කොහොම වුණත් සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ... සියර්ටට වැඩිය පිටරට අපිව අගය කරන කොට ඉතින් (අපි ඉතින් තාම පෘතග්ජනයෝ නේ අනේ)

මම ගෙදර හිටියට ඉතින් අම්ම වැඩනේ.. දැන් අම්මව එක්කගෙන යන්න ඕනේ... පස්සේ ලියන්නම්

අපේ කස්ටියට හිතෙන දේවල් සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි කඩුසිංහලෙන් හරි ලියල දාන්න. සිංහල මැෂිමේ දාල නැත්නම් මගේ මැෂිමේ පබ්ලික් ෂෙයාර්ඩ් එකෙ මම දාල තියෙනවා සිංහල යුනිකෝඩ් පැක් එක (අයි.පී එක 159)

නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිල්ල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න.ඒක හරි වටිනවා

මම සිංහල යුනිකෝඩ් ගැන හැමදේම ඉගෙන ගත්තේ ඔහෙට ආවට පස්සේ ... හික් හික් සිංහලෙන් ඇස්.ඇම්.ඇස් යවන්න හදල බැරි උණාට හෙන වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා...

අවසාන වතාවට කේ.අයි.ටී (KIT) කියල කියන්නම්. කියන්නේ ඇත්තටම.. ඕනේ වෙලාවක ඕනේ දේකට මම එමි.(පේනවනේ නිවැරදි සිංහල භාවිතය.. හික්)