මේ ආගම් අප තුල තියෙන ස්භාවික බවට, අවබෝධයට, සංතෘප්තියට , ජිවිතයේ විඳීමට, සතුටට කරන බලපෑම ගැන හිතල බලල තියෙනවද කවදාවත්...
මේක ලියන්න හේතු වුණේ මගේ ඥාති සහෝදරයෙක් දැන් ටික දවසකට කලින් කියපු දෙයක් නිසා.. මම හිතන්නේ ගොඩක් අය The Matrix චිත්‍රපටය නරඹල ඇති.. දැන් අවුරුදු 20කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය ගැන විවිධ විචාර එහෙම ලියවිලා තියෙනවා.. ලංකාවේ එහෙම ලියවෙච්ච විචාර වලින් 2013 දී බූන්දියේ ලියපු මේ ලිපිය සෑහෙන්න නැගල ගිය එකක් මේ ළඟදී තව කෙනෙක් මෙන්න මේ වීඩියෝ එකත් හදල තිබුණ ඔය චිත්‍රපටය ගැන විචාරයක් විදියට. මම දන්නේ නැහැ මේ ලිපිය සහ වීඩියෝ එක කරලා තියෙන්නේ එකම කෙනා ද කියල.. නමුත් තියෙන්නේ එකම අදහස. ඒ ලිපිය කියවපු කෙනෙක් ඒක වීඩියෝ වලට ගෙනල්ල කියලයි මට හිතෙන්නේ...
මගේ ඥාති සහෝදරයා මට ඔය වීඩියෝ ලින්ක් එක එව්වා. ඔහුගේ අදහස වුණේ ව වීඩියෝ එකෙන් නියමෙට ෆිල්ම් එක පැහැදිලි කරනවා කියල.
1999 දී නිකුත් වෙච්ච ඔය ෆිල්ම් එක මම සමහරවිට 2000-2002 අතර කාලේ බලන්න ඇති.. මොකද A/L කරලා ඉවර වෙච්ච ගමන් නිසා සහ මගේ සයි-ෆයි උණ තදේටම තිබ්බ කාලයක් නිසා. තාත්තගේ මරණෙත් එක්ක මමත් බුදු දහම ගැන සහ ධර්මය ගැන උනන්දුවෙන් හොයපු ඔය ඒ කාලේ මේ ෆිල්ම් එක බැලුවම මටත් ඒ ලිපියේ සහ වීඩියෝ එකේ ඔය කියන සමානකම් සහ ෆිල්ම් එක තුලින් බුදු දහම දැකීමට පුළුවන් කම තිබුණා. ඇත්තම කිව්වොත් ෆුල් හොල්මන් වෙලා යන සිරා ෆිල්ම් එකක් නේද කියල තමා ඉතින් හැමදාම The Matrix ගැන ඔලුවේ තිබුනේ. මම හිතන්නේ මේ ෆිල්ම් එක ලෝකේ පුරා අතිශය ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති එකේ තියෙන මේ අමුතුම අදහස්..
මුලින් බැලුවට පස්සේ මම තව වතාවක් හෝ දෙකක් ඔය ෆිල්ම් එක බලන්න ඇති... ඉතින් මේ සිද්දියෙන් පස්සේ නෙට්ෆ්ලික්ස් එකේ තිබ්බ ෆිල්ම් එකේ කොටස් තුනමත් මම ආයෙත් බැලුවා...
නමුත් දැන් බලද්දී මට මොනම විදියකටත්වත් ඔය ෆිල්ම් එක බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට සමපාත කර ගන්න බැරි වුණා. කොටින්ම එහෙම කරන එක මහ විකාර වැඩක් විදියට තමා මට හිතුණේ.
මට හිතුන දේ තමා මම එහෙම කරන්න යන එක නිසා මට මේ ෆිල්ම් එකේ සැබෑවට පෙන්නන දේ දකින්න බැරි වෙනවා කියන එක.
මේ ලිපියෙන් මම ෆිල්ම් එක ගැන විචාරයක් හෝ ආගම් සමග තියෙන සම්බන්ධය ගැන ලියන්න බලාපොරොත්තුවක් නැහැ. තමන් කැමති විදියට ෆිල්ම් එකක් දකින්න (කියවන්න) සහ විචාරය කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්..
දැන් මේ ලිපියෙන් මම කියන්න අදහස් කරන දේට එමු.
බුදු හාමුදුරුවෝ උත්සාහ කලේ මේ විශ්වයේ පවතින යතා ස්භාවය අපිට පැහැදිලි කරල දෙන්න. බුදු දහම හැම මොහොතෙම පවතින දෙයක් මිස, අවබෝධ කරගෙන ඉවර වෙන හෝ යම් අවබෝධයක් ලැබූ පසු පැහැදිලි වෙන දෙයක් කියල මම හිතන්නෙ නැහැ. මම හිතන්නේ වර්තමානයේ බුදු දහම ගැන උනන්දු වෙන අය මේ අදහස දන්නවා ඇති.
ඔබ ආගම ඉගෙනගෙන, ඒ තුලින් හැමදෙයක් දෙසම බැලීමට යාම නිසා ඔබට දෙයක යථා ස්භාවය, ඔබ දකින මොහොතෙදි, ඒ ආකාරයෙන් දැකීමට තිබෙන උපන් හැකියාව යටපත් වෙනවා. අපිට එහෙම නැවුම්ව , කිසිම විනිශ්චයකින් තොරව දේවල් දිහා දකින්න පුළුවන් කියල අපිට අමතක වෙන තරමට අපේ ඔලු දැන් කුරුවල් වෙලා. ඉතින් යම් කිසි දෙයක ඇති දේ ඇති සැටියෙන් දැකීම අපිට බොහෝ විට මගහැරෙනවා.
දැන් මේ කියන ෆිල්ම් එක බලන කෙනෙක් තමන්ගෙ ආගමේ කියවෙන අදහස් වලට සමපාත කරගෙන ෆිල්ම් එක බලනකොට ඇත්තටම ඒ ෆිල්ම් එකේ තියෙන දේ දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදියට එහි ඇති තාක්ෂණික දේ, නැත්නම් නළු නිළියන්ගේ රඟපෑමේ විශිෂ්ටත්වය, නැත්නම් ආදරය, රාගය, හාස්‍යය වැනි ස්භාවික මිනිස් හැඟීම් ප්‍රතිනිර්මාණය වී ඇති හැටි දකින එක මග හැරී යනවා. ඇසින් දකින්න පුළුවන්, නමුත් ෆිල්ම් එක පුරා ආගම දකින කොට අපිට ඇත්තටම ෆිල්ම් එක බලන්න වෙන්නේ නැහැ. ෆිල්ම් එකේ එක එක චරිත වල කාර්යය, තමන්ගේ ආගමේ කියවෙන දේ මවා පෙන්වීම කියන දෘෂ්ටියෙන් බලනකොට ෆිල්ම් එකේ නිර්මාපකයා කියන්න අදහස් කරන නැවුම්, නිර්මානාත්මක බොහෝ දේ අපිට මග ඇරිලා, පොඩි කාලේ ඉඳල අපේ ඔළුවට දාගෙන ඉන්න ආගමික සංකල්ප විතරක් පේන්න පටන් ගන්නවා.
ආගමික මනසකින් ලෝකය දෙස බලන හැම මොහොතේම අපට සත්‍යයය ඇති හැටියෙන් දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නේ.
ආගමික අන්තවාදය ගැන අපි හැමෝම දන්නවනේ..
නමුත් අපිට මගහැරෙන දෙයක් තමා උපතින් නිර්මල ව සහ කිසිම සංකල්පයකින් තොරව මෙලොවට එන අපි, අපට උරුම වන ආගම නිසා අප දෙසත්, අප ජිවත් වන ලෝකය දෙසත් නිර්මල සිහියකින් යුතුව බැලීමට ඇති හැකියාව යටපත් කරගෙන සිටින බව.
අගමක් නිසා අපිට ලැබෙන දැනුමෙන් හැමදෙයක් ම විනිශ්චය කිරීමට යාම සහ ජීවිතය දෙස බැලීමට පුරුදු වීම නිසා අපේ සැබෑ මනුෂ්‍යත්වය මග හැරෙනවා කියලයි මම හිතන්නේ.
උදාහරණයක් විදියට අසරණ සතෙක්, මනුස්සයෙක් දිහා බලල ... එක්කෝ ඔය ඉතින් පෙර කරුමේ තමා කියල අහක බලාගෙන යන ස්භාවය හෝ අනේ පිං සිද්ද වෙනවනේ කියන තමාට අනාගතයේදී පිං නිසා ලැබෙන වාසියක් වෙනුවෙන් ඒ අසරණයාට උදව් කිරීම ගන්න පුළුවන්.
මේක ඉතා සරලව තේරුම් ගන්න ඔබට පුළුවන් දැඩි ආගම් භක්තිකයෙක් සමග ටික වෙලාවක් ගත කිරීමෙන්... ඔහුට හැමදේම ඔහුගේ ආගමට අනුව විතරයි පෙන්නේ..
ආගම නිසා මිනිසුන් යහපතක් වන බව බොරුවක් නෙමේ... සමස්ත සමාජයක් විදියට ගත්තම ආගම නිසා හොඳක් වෙන්න පුළුවන්... නමුත් සත්‍යයය සහ සැබෑ ධර්මය හොයා යන කෙනෙකුට ආගම නිසා වෙන්නේ හානියක් කියල මට හිතෙනවා .
ශ්‍රී ලාංකික අපි උපතින්ම බෞද්ධ, නමුත් අපි තුල ප්‍රාථමික මට්ටමේ මිනිස් ගති ගුණ වත් නැති අවස්ථා ඕනෑ තරම් තියෙනවා.. අනිත් ආගම් වලටත් මේක පොදුයි.
නමුත් අපේ අවාසනාව තමයි කිසිම දෘෂ්ටියකින් තොරව, කිසිම විනිශ්චයකින් තොරව, යතා ස්භාවය ඒ විදියට දකින්න උගන්නන ධර්මයක් උපතින්ම උරුම වෙලා තියෙද්දී, ඒ ධර්මයම දෘෂ්ටියක් විදියට අරගෙන, හැම දෙයක්ම ඒ තුලින් විනිශ්චය කරමින්, හැම දේකටම ආගමික නිර්වචනයක් දෙමින්, තම පුද්ගල ස්භාවය වර්ධනය කර ගන්න අප උත්සාහ කරන එක. මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති.
ආගම පිළිබඳව තමා තුල ඇති දැනුම නිසා ඔබ තුල ගොඩනැගෙන මමංකාරය ඉතා සියුම් විදියට අපිට මගහැරෙනවා. අපිට සල්ලි නිසා ඇතිවන මමංකාරය, සමාජ තත්වය, රැකියාව ආදිය නිසා ඇතිවන මමංකාරය දකින්න ලේසියි. නමුත් ආගම නිසා ඇතිවන මමංකාරය දකින්න බොහෝ දෙනෙකුට බැහැ. මොකද ඒක හැමවිටම හරි දෙයක් ලෙසයි අපි දකින්නේ. නමුත් ඔබ පිළිනොගන්නා ආගමක් අදහන කෙනෙක් තුල ඇති ආගමික මමංකාරය සමහර විට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ආගම තුලින් විනිශ්චය කරන්න කරන්න අපිට අපි දකින, අහන, දැනෙන දේ සම්පුර්ණයෙන් විඳින්න නොහැකි වෙනවා.. හරියට විඳින්න බැරි වූ විට හැමවිටම ඉතිරි වෙන්න අසංතෘප්ත ස්භාවයක්.
දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් බුදුදහමේ තියෙන අනිත්‍යය තේරුම් ගන්න නම් හැම දෙයක් දෙසම මේ ආගමේ උගන්නල තියෙන ආකාරයෙන් දකින්න ඕනේ කියල. මේක සංකල්පයක් වශයෙන් ඇත්ත නමුත් ප්‍රායෝගිකව මේක කරන්න ගියාම ඇතිවන්නේ ව්‍යාකුල තත්වයක් කියල බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අප කල යුතු වන්නේ මේ අනිත්‍ය දේවල් වලට ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වීමයි කියලත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් එක්කෝ ආගමේ නාමයෙන් මේ ආශාවල් යටපත් කරගෙන , මතුපිටින් සංවර නමුත් ඇතුළතින් අසංතෘප්ත ජිවිත ගෙවනවා. අනිත් අය වැඩිපුරම වචනාර්ථයෙන් පමණක් මේ දේවල් දැනගෙන රිසි පරිදි ලෞකික ජිවිත ගෙවනවා. ඔවුන් බොහෝ විට දැඩි ආගම් භක්තිකයින් සහ ආගමේ විදියට ජිවත් වන බව ලෝකයට පෙන්නන්න කැමති පිරිස්. මෙහි ඇති වරදක් එක වර ඔබට පෙනෙන එකක් නැහැ නමුත් ඔබ සැබවින්ම බුදු දහමේ ඉගැන්වෙන නිර්වාණය හෝ විමුක්තිය සොයන කෙනෙක් නම් මීට වඩා ගැඹුරින් මේ දෙස සිතා බැලිය යුතුයි කියල මට හිතෙනවා.
හැම විටම ගැටලුව ඇතිවන්නේ මෙසේ ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වන්නට යාමේදී. මොකද කොපමණ තේරුම් අරන් තිබුනත්, කොපමණ ඉගෙන ගෙන තිබුනත් නොඇලී, නොබැඳි ඉන්න පෘතක්ගජන පුද්ගලයෝ වශයෙන් අපිට අමාරුයි. ඒක තමා මනුෂ්‍යයා කියන ජිව කොට්ටාශයේ ස්භාවය. ආශාව සහ බලාපොරොත්තුව අපිව ජිවත් කරවනවා. ඉතින් අපිට බැරිද අපි ආස කරන දේවල්, අපිට ඕනේ වෙලාවට උපරිම ලෙස රස විඳලා එයින් සංතෘප්ත වෙන්න. එහෙම සංතෘප්ත වුණාම ඒ දේට තියෙන ඇලීම බැඳීම අඩු කරගන්න පහසුයි කියල හිතෙන්නේ නැද්ද ? නමුත් ඔතන තියෙන ගැටලුව තමා අපේ සිත එහෙම ලේසියෙන් සංතෘප්ත වෙන්න කැමති නැති එක. ඒකට තියෙන විසඳුම තමා සිහිය. සිහිය මනාව තියෙනවනම්, සිත විසින් ඇලෙමින් බැඳෙමින් යන්න හදන ආකාරය දැකල, ඇතිවන මොහොතේම ඒ ඇලීමේ හෝ බැඳීමේ ඇති අනිත්‍ය බව දකින්න පුළුවන්. ඒ දැකීමත් සමග ඒ ඇලීම, බැඳීම නැති වෙලා යනවා. ඔබේ සිහිය මේ තත්වයට දියුණු කර ගැනීමයි ඔබ කල යුත්තේ.
දැන් ඔබට සිතෙයි මේ කියන හැමදේම තියෙන්නේ ආගමේ නේද ඉතින් ආගමික වීමේ වැරැද්ද මොකක් ද කියල.
ඔබ හොදින් සිතා බැලුවොත්, ඔබට තේරෙයි ආගම තුලින් මේ දේ වටහා ගැනීමට යාමේදී අපිට බොහෝ වෙලාවට සිදුවන්නේ ආගම් දේශනා, සුත්‍ර හෝ වෙනත් ඉගැන්වීම් අතර හිර වීම හෝ ඒවා විශ්ලේෂණයට, සාකච්චා කිරීමට, බෙදා හැරීමට, අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට කාලය ගත කිරීම මිස, මුලික කරුණ තමන් විසින් ප්‍රගුණ කිරීම මග හැරී යාම බව . ආගමික දෘෂ්ටිය තුල හිර වූ විට බොහෝ අයට යම් කිසි දෙයක නියම ස්වභාවය සිහියෙන් දකින්න තියෙන හැකියාව ඇහිරී යනවා. ඔවුන්ගේ මනසේ පිරි ඇති ආගමික දැනුමෙන් විවිද සංකල්ප ගොඩ නගමින්, තර්ක විතරක් කරමින් මනසේ කූට උපක්‍රම වල හිරවෙමින් ආගමික මමංකාරයක් තමා තුල ගොඩ නගමින් සහ එය රැක ගැනීමට වෙහෙසෙනවා මිස මේ සියල්ල විශ්වයේ පවතින ස්භාවික තත්වයන් බවද සහ තමා ද ඒ විශ්වයේම කොටසක් බව අමතක වී යනවා.
ඉහත උදාහරණය ගැන නැවත හිතුවොත් අසරණ සතා හෝ මනුස්සයාට අප උදව් කල යුත්තේ ඒ ඉන්නෙත් තමා මෙන්ම අසරණ වූ තවත් ජීවියෙක් යන හේතුව නිසා මිස ආගමෙන් උගන්වා ඇති පින නිසා නොවෙයි. බුදු දහමේ තියෙන්නේ මේ විශ්ව මනුෂ්‍ය සංකල්පය නමුත් අපි බුදු දහමෙන් තේරුම් අරන් තියෙන්නේ අපිට වාසි ලැබෙන පින කියන කොටස විතරයි. සමාජය යහපත් කරන්න පින පව කියන සංකල්ප ප්‍රයෝජනවත් වුණාට පුද්ගල විමුක්තිය සොයන කෙනෙකුට පින සහ පව යන සංකල්ප දෙක නිසාම හානියක් වෙනවා.
මේ කරුණු ගැන කතා කරන හැම වෙලාවෙම මට හිතෙන දෙයක් තමා අනාගතේ දවසක අඟහරු හෝ වෙනත් ලොවක ඇතිවන මිනිස් ජනාවාසයක් දැනට මේ ලොවෙහි තියෙන කිසිම ආගමික සංකල්පයක් නැතුව බිහි කලොත්, ඒවායේ උපදින දරුවන් කොහොම හැසිරෙයි ද කියන එක, ඔවුන්ට ආගම නැතුව ජිවය සහ ජීවයේ පැවැත්ම විතරක් උගන්නල, ජීවයේ පැවැත්මට අවශ්‍ය යහපත සහ අයහපත විතරක් කියල දුන්නොත්, ඔවුන් පෘතුවියේ ඉන්න අපිට කලින් මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න ඉඩක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද..?
ආගම තුලින් අපිට උගන්නල තියෙන ජීවිතය කියන්නේ දුකක්.. නමුත් අපි ජිවත් වෙන මේ සුළු කාලය ජිවිතයේ ඇති දුක් ස්භාවය ගැන මෙනෙහි කරමින් ජිවත් වීමෙන් ඔබට කවදා හරි ඒ දුකින් ගැළවීමට පුළුවන් වේ යැයි සිතන එක ප්‍රයෝජනවත් දෙයක් ද ? කවදා හෝ දුකින් මිදීමට නම් ඔබ ප්‍රගුණ කල යුත්තේ සතුට නොවෙයි ද ? සතුට ඇතිවන්නේ මනසේ කාවැදී ඇති සංකල්ප විශ්ලේෂණය කරමින් සිටීමෙන්ද නැත්නම් ඒ මොහොත තුල අසන දෙය, දකින දෙය, දැනෙන දෙය විඳ තෘප්තිමත් වීමෙන් නොවේද ?
මේ වන විට The Matrix චිත්‍රපට මාලාවේ රචකයින් සහ අධ්‍යක්ෂකයින් වූ Wachowski සහෝදරයින්, Wachowski සහෝදරියන් බවට පත් වී සිටිනවා. ආගම් වල ඇති ලිංග භේද සංකල්ප වලට අභියෝග කල the Wachowskis න් මේ වසරේ බොහෝ විට අපට The Matrix චිත්‍රපට මාලාවේ 4 වෙනි කොටස දකින්න සලස්වනු ඇති.