Monday, January 11, 2021

බදුල්ල නයිට් මේල්


බදුල්ල නයිට් මේල් එක ගැන ෆේස්බුක්  එකේ ළඟදී දැකපු  ෆොටෝ ටිකක් හින්දා  මගේ පරණ මතක ආයේ අලුත් වුණා. 

බදුල්ල නයිට් මේල්  එකේ ගිහින් උදේ පාන්දර එළිවෙන කොට කඳුකරයේ ලස්සන නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න. මම හිතන්නේ ලංකාවේ කෙනෙකුට ගන්න පුළුවන් අමතක නොවෙන අත්දැකීමක් ඒක.

දැන් මේ නොරටක හිර වෙලා හිටියට මමත් කඳුකරයේ උපන් කොල්ලෙක්.  

ඔබ 1960-80 අතරේ හපුතලේ පළාතේ ජිවත් වෙච්ච වැඩිහිටි කෙනෙක් නම් සමහර විට ඒ කාලේ හපුතලේ හේරත් විදියට ගොඩක් අය අඳුරන අපේ තාත්තව මතක ඇති. ඒ කාලේ දේශපාලන ලෝකේ,  ඒ පළාතේ හිටපු ජනප්‍රිය චරිතයක් වගේම, දේශපාලන රැස්වීම් වලට නැතුවම බැරි  අති දක්ෂ කථිකයෙක් අපේ තාත්තා.  තාත්ත ගැන නොකියා මට හපුතලේ ගැන කියන්න බැරි නිසයි මේ චුට්ටක් කිව්වේ. තාත්ත ගැන මම ඉස්සරහට ලියන්නම්.

මම ඉපදුනේ හපුතලේ උනාට හැදුනේ වැඩුනේ කොළඹට කිට්ටුව අපේ අම්මලාගේ ගමේ. මම ඉපදිලා අවුරුදු 2ක්  විතර යද්දී තාත්තා හපුතලේ අතෑරලා අම්මලාගේ ගමේ ගෙයක් හදාගෙන පදිංචි වෙච්ච නිසා  අපි හපුතලෙන් දුරස් වුණා. ඒත් ඒක හින්ද මට මං හැදුනු  ගමේ හිටපු  මගේ යාලුවෝ සෙට් එකට  නොලැබුණ විදියට කෝච්චියේ යන්න පුළුවන් උපන් ගමක් ලැබුණා.

ඒ කාලේ තරමක් වියදම් අධික වැඩක් වෙච්ච කොච්චි ගමන් අපිට එතරම් කරදරයක් නොවුනේ අම්මට ඔෆිස් එකෙන් වොරන්ට් ලියා ගන්න පුළුවන් වෙච්ච හින්දා. මට මතකයි අම්මා ඔය වොරන්ට් ගැන හරියට කතා වෙනවා. මට ඒ දවස් වල ඒ මොනවාද කියල ඒ හැටි අවබෝධයක් තිබ්බේ නැහැ ( බොරු කියන්නේ මොකටද අදටත් මම දන්නේ නැහැ ඔය වොරන්ට් කියන්නේ මොනවද කියල ... හෙහ් හෙහ් )

කොහොම හරි ඉතින් අම්ම අපි 4 දෙනාට වොරන්ට් ලියාගෙන නයිට් මේල් එකේ හපුතලේ යනවා.

හපුතලේ යෑම කියන්නේ මට කවදාවත් එපා නොවන වැඩක්. විශේෂයෙන් කෝච්චියේ යන එක. පොඩි කාලේ බස් එකේ යද්දී නම් බලන්ගොඩින්  එහා ටික තනිකරම වමනේ ගොඩක් වුනත්, බස් එකෙන් බැහැල ගෙදරට යන කොට දැනෙන සුවඳ, හීතල, වටපිටාවේ ලස්සන හැමදාම අර වමනේ අපහසුව අමතක කරලා දැම්මා.   කෝච්චිය කියන්නේ හැබැයි වමනේ ප්‍රශ්න නැති තනිකරම ආතල්ම ගමනක්.

මට මතක විදියට නයිට් මේල් එක කොළඹ කොටුවෙන් රෑ 8.15 ට කොහෙද පිට වෙනවා. ඉතින් ඔය හපුතලේ යන දවස් වලට අපි ගෙදරින් හවස 5 ට විතර පිටත් වෙනවා. අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් 900m  විතර දුරින් හින්ද ලොකු ට්‍රැවලින් බෑග්  එහෙම උස්සගෙන ඔය ටික පයින් යද්දී ගමේ හැමෝම දැනගන්නවා අපි හපුතලේ යනවා කියල.  ඔන්න ඉතින් ගෙදරින් එලියට බැහැපු  වෙලාවේ ඉඳල මගදී  හම්බෙන හැමෝම,

"ආ කට්ටියම ගමේ යනවා වගේ ...."

අපේ තාත්තා .. "ඔව් මේ ගෙවල් පැත්තේ ගිහින් එන්න කියල..."

ආ කවද්ද එන්නේ ..

දවස් දෙක තුනකින් එනවා ...

හා හොඳයි හොඳයි ...

"මෙන්න මේ ඉලන්දාරියට දෙන්න ඔය බෑග්  එකක් උස්සන් යන්න .."

එහෙම කියල මගේ ඔලුවත් පොඩ්ඩක් අත ගාල තමා ඔය ගොඩක් වැඩිහිටි උදවිය යන්නේ...

අපරාදේ කියන්න බැහැ ඔය දුර යද්දී අවම 10 පාරක් වත් ඔය ටික කියවෙනවා

ඔය ඔහොම යද්දී හම්බ වෙච්ච එක සීය කෙනෙක් හිටියා. ඒ දවස් වල එයාට කිව්වේ පොඩි මහත්තය කියල...    

අඩි 6කට වඩා උස කළු කෙට්ටු චරිතයක්. කොයි වෙලේ බැලුවත් සුරුට්ටුව කටේ. ඉතින් ඔය මනුස්සය මගදී හම්බ උනොත් , ඔය ටිකට අමතරව අපේ අම්මයි අක්කයි "අම්මෝ සුරුට්ටු ගඳ කියලත් කියනවා.. " හෙහ් හෙහ් 

මම  නම් ඒ සුරුට්ටු  සුවඳට හෙන ආසයි. තව චුට්ටක් විතර ලොකු වෙලා හොඳ කියුබන් සුරුට්ටුවක්ම උරන්න කියල තමා මම නම් හිතාගෙන ඉන්නේ..

ඉතින් ඔහොම බස් එකේ ඇවිල්ල කොහොම හරි 7 විතර වෙද්දී අපි කොටුව ස්ටේසමට එනවා.  ඒ  ආපු ගමන් අපේ තාත්තට කොහේ හරි කඩේකින් කන්න ඕනේ වෙනවා.  අම්ම එදාට වැඩට නොගිහින් හදන එළවලු රොටි, රෑට කන්න උයා ගන්න බත් මුල්, බිස්කට් ජාති එහෙම මොනවා තිබ්බත් අපේ තාත්තට කඩේකට ගිහින් මොනවා හරි කාල ප්ලේන්ටියක් බොන්න ඕනෙම වෙනවා. ඉතින් අම්ම බනිද්දි යනවා ඔය බස් ස්ටෑන්ඩ් එකේ එක කිට්ටුව තියෙන කඩේකට..  ඒ දවස් වල කොත්තු රොටි කියල ජාතියක් නම් තිබ්බද කියල මට මතක නැහැ. හැබැයි ඉතින් කොටුවේ කඩවල තියෙන නානාප්‍රකාර කෑම ජාති වල සුවඳ මේ දැනුත් දැනෙනවා වගේ.

ඔය කෑමට අමතරව තාත්තා බුලත් විට කනවා. ඉතින් බුලත් විටක්, දෙකක් එහෙම දැක්කොත් ගන්නවා. ඊට පස්සේ ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. 

කෝච්චියට නැගල ඉන්නකොට ඉස්සෝ වඩේ, කඩල එහෙම ආවම අම්ම බනිද්දි ඒවත් ගන්නවා. ගමන පටන් ගත්තම ඉතින් අක්කයි මායි රණ්ඩු වේවි ඕවා කකා යන එක තමා කරන්නේ.  කෝච්චියේ ගමන පටන් ගත්තම ජනේලෙන් එන හුලං පාරත් වැදී වැදී පාර දෙපැත්තේ පාස් වෙන ගෙවල්, වාහන , කළු වරට පේන ගස් කොලන් දිහා බලාගෙන යන එක මට නම් හරි විනෝද ජනක වැඩක්. වැදගත්ම දේ තමා බස් වල යද්දී වගේ නෙමේ කෝච්චියේ ෆුට් බෝඩ් එකේ යන එකට අම්මයි තාත්තයි වැඩිය විරුද්ධ වෙන්නේ නැති එක. මුලින්ම යද්දී තාත්ත ඇවිල්ල අතින් අල්ලන් මට ෆුට් බෝඩ් එකේ යන්න ඉඩ දෙනවා. සමහර දවස් වලට තාත්තා එක්ක පත්තර කොලයක් එලාගෙන ෆුට්බෝඩ් එක ළඟ බිම වාඩි වෙලත් ගිහින් තියෙනවා. මට මතකයි ගොඩක් වෙලාවට කෝච්චියේ බිම මිනිස්සු වාඩි වෙලා යනවා. ගොඩක් වෙලාවට දෙමළ මිනිස්සු තමා. මට මතකයි අපි සීට් වල වාඩි වෙලා යද්දී බිම ඉඳගෙන යන ඒ මිනිස්සු දැක්කම මට හරි අප්සට්... හැබැයි ඉතින් මාත් බිම ඉදගෙන යද්දී ඒක ගානක් නැති වෙනවා.  

ගමනේ මුල් හරිය ඔය විදියට ගිහින් ටිකෙන් ටික බිම් ගෙවල් අහුවෙද්දී ඔන්න හූ කියන වැඩේ පටන් ගන්නවා. බිම් ගේ ඇතුලෙන් යද්දී ජනේලෙන් ඔලුව දාල හූ කියන එක හරි ජොලි වැඩක්. අක්කයි මායි තරඟෙට හූ කියනවා. මට මතකයි කෝච්චිවල යන ගොඩක් ළමයි වගේම ලොකු අයත් ඒ දවස් වල ඔය හූ කියන වැඩේ කරනවා. දැන් නම් දෙමව්පියෝ එහෙම කරන්න දෙනවද දන්නේ නැහැ. අපිට නම් අම්මයි තාත්තයි තමා ඕව පුරුදු කලේ. කොටින්ම මට දැනටත් කාර් එකේ උමගක් අස්සෙන් යද්දී ඔය හූ කීමේ ආසාව එනවා. සමහර දවස් වලට එහෙම හූ කියනවා කාර් එක ඇතුලෙත්... ඒවා හරි ජොලි වැඩ..

ගමන අතර මගදී ඉතින් ගෙනාපු බත්මුලක් , පාන් ටිකක් එහෙම කනවා. ගොඩක් වෙලාවට කෝච්චිය සිග්නල් පරක්කු වෙලා නතර කරන් ඉන්නවනේ. ඒක තමා ඒ දවස් වල එපාම කරපු වැඩේ. අනිත් එක ඔය පේරාදෙණියේදී ද කොහෙද මොකක් ද මාරුවක් තියෙනවා නේද බදුලු යන කෝච්චියේ.. ඒකත්  එපා වෙන වැඩක්.. මොකද පොඩි කාලේ වෙලාව යන්නේ හරි හෙමින් නේ...  නතර කරගෙන ඉන්නකොට එපා වෙනවා.    ඊට අමතරව ඔය ස්ටේෂන් වල නතර කරපුවහම එක දොරකින් බැහැල ගිහින් අනිත් දොරෙන් නැගල එන එක එහෙම  හරි ලොකු වැඩක් වගේම ජොලි වැඩක්...  

ඔය අතරේ සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් නිදත් ගන්නවා. 

අපි එක සැරයක් හෝ දෙසැරයක් නිදන මැදිරි බුක් කරගෙන ගියා. මට මතක විදියට හපුතලේ පොඩි අක්කගේ වෙඩින් එකට යද්දී එහෙම ගියා  ඒ වෙඩිමේ  ජය මංගල ගාථා කියන්න හිටියේ අපේ අක්කයි, ලොකු අම්මගේ දුව වෙච්ච චූටි අක්කයි, තව අක්කගේ යාලුවෙක් වෙච්ච ගීතානි අක්කත් හිටියද මන්ද, කොහොම හරි ඔය ගමනේදී අපි ගියේ නිදන මැදිරි බුක් කරන් තමා ගියේ .. ඒ ගමනට නම් අපේ නංගිත් ආවද කොහෙද අපිත් එක්ක කෝච්චියේ යන්න.  නිදන මැදිරි ගමන හරි ජොලි මොකද කට්ටිය ගොඩයි නේ.. උඩ ඇඳයි යට ඇඳයි ද කොහෙද තිබුනේ.  අපි කට්ටිය සිංදු කිය කිය, ගෑනු පිරිමි මල් පලතුරු දදා තමා  මුළු රෑම ගමන ගියේ... මං හිතන්නේ කාඩ් ගහන වැඩෙත් කළා. ඒ වෙද්දී  අපේ තාත්තා කාඩ් කුට්ටමේ සෙල්ලම් සෑහෙන ගොඩක් අපිට උගන්නල තිබුනේ. ඒ දවස් වල අපේ ගෙදර තමා කට්ටිය කාඩ් ගහන්න සෙට් වෙන්නේ, ඕමි, බුරුවා, 304, තව අර කොළ පෙරලන සෙල්ලමක් තිබ්බා, හෙන ගොඩක් සෙල්ලන් ඒ දවස් වල දැනගෙන හිටියා...  කොටින්ම එලි වෙනකම් නින්දක් නැතුව නටනවා එහෙම දවස් වලට 

ඉතින් ඔහොම යන නයිට් මේල් ගමනේ මම ආසම ටික එන්නේ උදේ පාන්දර... මම හිතන්නේ කෝච්චිය හපුතලේ ස්ටේෂන් එකට යද්දී පාන්දර 5.30-6.30 වගේ වෙලාවක් වෙනවා.. ඒ වෙද්දී කඳු අතරෙන් ඉර එළිය  ලාවට වැටීගෙන,  කැලෑවයි,  මිදුමයි  අස්සෙන් කෝච්චිය යන එක තරම් ලස්සන  අත්දැකීමක්  මට නම් මතක් කර ගන්න බැහැ... ඒ පරිසරෙන් එන සුවඳ තාමත් දැනෙනවා වගේ...  ඒ වෙලාවට කොච්චි පාරේ ඉන්න මිනිස්සු හිනා වේවි අත වනනවා. පරිසරයේ තියෙන්නේ පුදුම නැවුම් ගාම්භීර බවක්.. ඔය නයිට් මේල්  ගමනට මම ආස ඔන්න ඔය කොටස හින්ද..    ඊට පස්සේ හීතලේ වෙව්ල වෙව්ල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ඉන්න එකත් ඒ වගේ... පුදුම සුන්දර හැඟීමක් ඒක.

හපුතලේ ස්ටේෂන් එකේ ඉඳල තාත්තගේ මහ ගෙදරට ටිකක් දුරයි.  ස්ටේෂන් එකෙන් බැහැල පොඩ්ඩක් එලියට එද්දී ගොඩක් දවස් වලට තාත්තව දන්නා අය හම්බ වෙනවා. කීප වතාවක් ඒ අයගේ වාහන වල අපිව ගෙනත් බස්සපු අවස්ථා තිබුණා. ඒ කාලේ ඉතින් වෑන් එකක වගේ ගමනක් යන්න ලැබෙන එක අමුතුම විදියේ ආතල් එකක් නේ.. එහෙම කවුරුවත් සෙට් වුනේ නැත්නම් බස් එකේ. තාත්තගේ මහ ගෙවල් තිබුනේ හල්දුම්මුල්ල,  වල්හපුතැන්න මහා විද්‍යාලේ ගාවින් ඇතුලට යන්න තියෙන පාරේ. ඒ කියන්නේ හපුතලේ ටවුන් එකේ ඉඳල කොළඹ පාරේ. ඔය ගමන බස් එකේ එද්දී බෙරගල හරිය එනකොට හෙන බයයි ඒ දවස් වල. පාර හදන්න කලින් ඒ ටික හරි පටුයි. මහා ප්‍රපාතේ පේනකොට ඉස්සර හරි බයයි. දැන් නම් එහෙම ගතියක් දැනෙන්න නැහැ ඒ පාරේ යද්දී.  




මට මතක විදියට ඔය බස් එන්නේ හාල්අටුතැන්නට විතරයි. දිගටම එන බස් එකක් හම්බ වුනේ නැත්නම් එතනින් බැහැල ඒ ටික පයින්. ඉතින් අර බෑග්  ටිකත් උස්සන් බස්සෙකෙන් බැහැල එන ටිකත් අර මුලින් ගමන පටන් ගත්තා වගේම තමා..

"අහ්... හේරත් මහත්තයා... ගොඩක් කාලෙකින්..."

"දැන් එන ගමන් ද ..?"

"දැන් කොළඹ නේද ඉන්නේ...?" 

" නයිට් මේල් එකේද  ආවේ..."

"මේ පුතා ද ...?" දුව නම් දැන් හරි ලොකුයි නේ.. 

"කවද්ද අපහු යන්නේ... ? "

ඔය ප්‍රශ්න ටිකට අමතරව හම්බ වෙන පුද්ගලයා අනුව තව තව එකතු වෙනවා. සමහර වෙලාවට  ඉතින් දේශපාලන කතාත් ඇදිල ඇවිල්ල තාත්තත් කතාවට සෙට් වෙනවා.. 

ඔහොම අඩුම තරමේ දහ පාලොස් දෙනෙක් එක්කවත් මග නතර වේවි කතා බහ කර කර තමා ගෙදරට යන්නේ... 

මට හොඳට මතකයි අපි තාත්තත් එක්ක අන්තිමට ඔහොම ගිය ගමනේදී කතා වුනා ඊළඟ සැරේ එද්දී බෝඩ් එකක  ඔය ප්‍රශ්න ටිකට උත්තර   ලියාගෙන අරන් එමු කියල... හෙහ් හෙහ්.. මම හිතන්නේ ඒ වෙද්දී මම A/L  කරන්න කිට්ටුවද කොහෙද.

මේක ලියද්දි මතක් වෙච්ච තව සිද්දියක්. එක සැරයක් ඔහොම ආපු ගමනකදී තාත්තා කිව්වා ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ඔය හල්දුම්මුල්ලට එන්න පුළුවන් කියල. ඉතින් අපි එදා හපුතලේ ස්ටේෂන් එකට යන්නේ නැතුව ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ස්ටේෂන් එකට පිටි පස්සෙන් තිබ්බ පොඩි අඩි පාරක් දිගේ හෙන පල්ලමක් බැහැගෙන ආවා. වතු වල වැඩ කරන මිනිසුන්ගේ ලයින් කාමර අස්සෙන් ගල් උඩ නැග නැග ආපු ඒ ගමනත් කවදාවත් අමතක නොවන ගමනක්. මට මතකයි ඒ ලයින් වල හිටපු පොඩි ළමයින්ට අපි ළඟ තිබ්බ බිස්කට් එහෙම දුන්නා.  මට ඒ පාර කොහෙටද වැටෙන්න කියල මතක නැහැ හැබැයි එතන ඉඳල  ගෙදරට පයින් යන්න පුළුවන් කම තිබ්බා.        

ඉතින් නයිට්මෙල් එකෙන් බැහැල ඔය විදියට පාර දිගේ ගමේම මිනිස්සු එක්ක කතා කර කර පයිනස් කැලයක් අස්සෙන් ගිහින් යන්න තිබ්බ තාත්තගේ ගෙදර සහ තාත්තගේ අක්කා හිටපු ගෙදරට තමා අපි යන්නේ. තාත්තගේ ගෙදර මම පොඩි කාලේ ඉඳලම අතැරලා දාල තිබුනේ. පොඩිම කාලේ එහෙ හිටියා ඇල්බට් සියා කියල තාත්තගේ මාම කෙනෙක්. එයා මැරුණට පස්සේ ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. අපි ගිහින් නතර වුනේ තාත්තගේ අක්කගේ ගෙදර. 

ඒ ගෙදරත් එක්ක තව අපුරු මතක ගොඩක් තියෙනවා... ලිප්බෝක්කක් ලඟට වෙලා හීතලේ උණු කෝපි බිබී නැන්දම්මා (තාත්තගේ අක්කට අපි කිව්වේ නැන්දම්මා කියල..) උයල දෙන රතු කැකුළු බතුයි,  ගෝව කොළ මැල්ලුමයි, ඔය තව මොකක් හරි හොද්දක් එක්ක බත් කන එක,  ලස්සන වසිලිස්සා, තොල්යා සහ ඔහුගේ යහළුවෝ, මගේ හපන්කම්.. මම රුසියන් කතා ඔක්කොම කියෙව්වේ එහෙදි...  පයිනස් කැලෑවේ සුවඳ, ගෙදරට පල්ලෙහා තිබ්බ දොලෙන් නාපු හැටි... තව කතන්දර ගොඩක් මතක් වෙනවා... හෙහ් හෙහ් ..        

කවද හරි ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් උනොත් මම ඉස්සෙල්ලම යන්නේ මෙන්න මේ කාලෙට....            


41 comments:

  1. පැතුම් තව ලියන්නයි තිබුනේ . ලස්සන මතකයක්. කියවද්දී ලස්සන රූප පෙළක් මැවෙනවා .

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යද්දී නතර කරන්න හිතුනේ නැහැ. හැබැයි හපුතලේ කතා වෙනම ලියන්න හිතාගෙන මේක නතර කළා. ස්තුතියි අනුරුද්ධ

      Delete
  2. පැතුම් අනිවාර්යයේනම් මේක මගෙත් අත්දැකීමක්. බදුලු දුම්රිය තමා හපුතලේ පහු කරන යන්නේ. ඉදල් ගස් හින්න හපුතලේ , දියතලාව , බණ්ඩාරවෙල ඇල්ල එහමනේ යන්නේ. අපිත් තාත්ත ගේ වොරන්ට් එකෙන් යන්නේ එන්නේ. ජොලි ගමන. අපි හය දෙනක් නිසා බිම දානවා ඝන ෂීට් එකක් . ඒකෙ එක එක සෙල්ලම්. හිතුනම නැගිටලා එලිය බලන් යනවා. මටත් ඔය උදේ වෙනකොට මීදුම ගතිය හෙම දැක්කම අමුතු හැඟීමක් තමයි එන්නේ. අර පොඩි කෝප්පෙට ෆ්ලාස්ක් එකෙන් අම්ම දෙන කොපි එකේ සුවඳ , තවම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. අමතක වුනා ලියන්න. ලස්සනයි කතාව

      Delete
    2. ඔව් අජිත් මම හිතන්නේ කාර් එකක හෝ වෙන වාහනේක ගිහින් ගන්න බැරි අත්දැකීමක් ඒක. දැන් ආයේ යන්න හිතුනත් යන්න වෙන්නේ නැහැ කෝච්චියේ ගිහින් ආපහු එන්න වාහනයක් නැති නිසා. බස් වල ආපසු ගමනට නම් මම තාම ආස නැහැ..

      Delete
    3. මම ඉනේස්ට සහ ළමයින්ට කියල තිබුන නිසා මේ පාර ඒ ගොල්ලොත් එක්ක ගිය. වෑන් එක වෙනම ඇරිය බදුල්ලට. නැත්නම් කරන්න බහ ඔය වැඩේ. ඔයිට කලින් ගිහින් පේරාදෙණියේදී කෝච්චිය කැඩිලා නුවර ගියේ නවතිලා හිටි ගෙදර කාර් එක. ගාන සැරයි. මේපාර ඒ මෝඩ වැඩේ කලේ නැහැ

      Delete
  3. පැතුම්, බදුල්ල හෙවන් කියන fb කියනකේද අර foto තිබ්බේ.

    පිස්සු හැදෙනවා ඒ පැත්ත දකිද්දී. මාත් බදුල්ලේ ඉපදිලා අවුරුදු එකොළහ වෙනකල්ම එහෙ හිටි නිසාත්, රේල්ලුවේ කොළඹ ආ-ගිය නිසාත් වෙන්නැති.

    ඉස්සර සමහර දවසට නයිට් මේල් එක බදුල්ලට යන්නේ දවල් එකොළහ-දොළහත් වෙලා!

    සත්තයි කෝච්චියෙ ඌවට යන්න වටී
    සීතල මීදුමේ ලස්සන බලනු වටී
    උදා ළහිරු ලොව දැකුමට වඩින හැටී
    තෙත පින්නේ තෙමී දුටිවෙමි දැපනෙ වැටී

    ReplyDelete
    Replies
    1. නැහැ නිදි අපේ මල්ලිකෙනෙක් (පුතෙක්) දාල තිබ්බ ෆොටෝ ටිකක්.. කොහෙන් ගත්ත ඒවාද මන්ද

      ඇත්තටම අපි කොළඹ එන්නේ නැතුව හපුතලේම ජිවත් උනා නම් කියල මට අනන්තවත් හිතිලා තියෙනවා' ඒ පළාත දකිනකොට... හැබැයි ඉතින් එහෙ ජිවිතේ එච්චරම සුන්දර නැහැ කියලත් හිතෙනවා සමහර දේවල් ගැන හිතල බලද්දී..

      පැන්ෂන් අරං ඉන්න නම් මරු... හෙහ් හෙහ්

      Delete
  4. හරියට හරි.. ඒ අවදියට යන්න නම් ටයිම් ට්‍රෑවල් කරන්න වෙනවා. ඒ කියන්නෙ යන්න වෙන්නෙ නෑ... මනෝ ලෝකෙන් තමයි...
    හුඟක් අයට ලන්කාවෙ ලස්සන ඔය විදිහට පෙනෙන්නෙ වෙන රටක ඉන්නකොටයි.. හෑබෑයි ඉතින් ඈත ඉඳන් වර්ණනා කලාට ලඟට එන්නෙ නම් නෑ. තවත් ඈතට යනවා මිස
    සත්යය කටුකයි.. ලන්කාවෙ ඉන්න අපි දකින්නෙ කටුක සත්යය .. ඒකෙ ලස්සන දකින්නෙ රට ඉන්න පෑතුම්ලා.

    ReplyDelete
    Replies
    1. පැතුම් රට අතෑරලා ලංකාවට ආවොත් ඒ කටුක සත්‍යය වෙනස් වෙනවද? නෑනෙ, ඒ නිසා එයා එහෙම හිටපුවාවෙ. අතීතෙ මතක්වෙන ලස්සන පෝස්ට් එකක් ලිව්වා, ඉතිං මොකද?

      අනික, වෙන රටවල් කියන්නෙ, සුරංගනා ලෝකමත් නෙමෙයි, එහෙ තියෙන්නෙ වෙනම ප්‍රශ්ණ සෙට් එකක්. කොහෙන් කැපුවත් රාත්තලයි.

      Delete
    2. ඇනෝ, ටයිම් ට්‍රැවල් කියන එකත් කවද හරි කරන්න පුළුවන් වෙයි.. දැන් මේ සිද්ද වෙන්නේ මිට කලින් වෙච්ච දේවල් නෙමේනේ.. බලං ඉමු.

      පිටරට ආවම ලංකාව වැඩියෙන් හොඳට, ලස්සනට පේනවා කියල මට හිතෙන්නේ නැහැ. මම හැමදාම ලංකාවේ ජිවිතේට ආස කළා. ඔබ කිව්වා වගේ හැම රටේම වෙනස් විදියේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවනේ.

      එකම දේ දැන් අපි මේ රටවලට හුරුවෙලා නිසා ලංකාවේ තියෙන ප්‍රශ්න වලට හිර වෙන්න තියෙන අකමැත්ත විතරයි.

      නැති දේට අපි හැමදාම ආසයි නේ... හෙහ් හෙහ්

      Delete
  5. අර පොඩි මහත්තෙය වර්ගෙ සුරුට්ටු අපිත් බීල තියෙනව සිගරැට් එහෙකට සල්ලි මදි වෙච්ච දවස්වල. අනූ ගණංවල අග හරියෙ ඔය සුරුට්ටුවක් රුපියල් 1.50 යි.

    ReplyDelete
    Replies
    1. මම අරගෙන ඉඹල බලල එහෙම තියෙනවා. හැබැයි බිල නැහැ කවදාවත්... පොඩ්ඩක් හිටපන් තව අවුරුදු දෙකතුනකින් බොන්න ඉන්නේ හොඳ හුරුට්ටුවක්

      Delete
    2. අපේ තාත්ත සුරුට්ටු බොනවා. මම සිගාර්ස් බොන්න පුරුදු වුනේ එක නිසා වෙන්නත් ඇති. තවමත් සුරුට්ටු සුවඳට ආසයි

      Delete
    3. ඇත්තට... සුරුට්ටු සුවඳ මටත් මතක් වුනේ දැන් තමයි. ඔයිං මෙයිං ආපහු දුම් බොන්න ආස හිතෙනව.

      Delete
    4. කොරෝනාව පොඩ්ඩක් සෙට්ල් වෙනකම් ඉඳල බීපන්.

      Delete
  6. //ඉතින් ඔහොම යන නයිට් මේල් ගමනේ මම ආසම ටික එන්නේ උදේ පාන්දර... මම හිතන්නේ කෝච්චිය හපුතලේ ස්ටේෂන් එකට යද්දී පාන්දර 5.30-6.30 වගේ වෙලාවක් වෙනවා.. ඒ වෙද්දී කඳු අතරෙන් ඉර එළිය ලාවට වැටීගෙන, කැලෑවයි, මිදුමයි අස්සෙන් කෝච්චිය යන එක තරම් ලස්සන අත්දැකීමක් මට නම් මතක් කර ගන්න බැහැ... ඒ පරිසරෙන් එන සුවඳ තාමත් දැනෙනවා වගේ... ඒ වෙලාවට කොච්චි පාරේ ඉන්න මිනිස්සු හිනා වේවි අත වනනවා. පරිසරයේ තියෙන්නේ පුදුම නැවුම් ගාම්භීර බවක්.. ඔය නයිට් මේල් ගමනට මම ආස ඔන්න ඔය කොටස හින්ද.. ඊට පස්සේ හීතලේ වෙව්ල වෙව්ල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ඉන්න එකත් ඒ වගේ... පුදුම සුන්දර හැඟීමක් ඒක.//

    මෙන්න මේ ටික නං පපුවට හොඳටම බරට දැරනන අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. කන්ද උඩරට ඉපදුනත්, පාතරටින් ආ පාත්තයෙක් වෙච්ච පවට, බදුලු කොච්චියෙන් යන්න, උඩරට ගමක් අපට තිබ්බෙ නෑ. අපේ ගමේ යන්න තිබ්බෙ "පවර් සැට්" ඒත් බදුලු නයිට් මේල් එක මතකයි, හෝර්ටන් තැන්නට ගිය නිසා.

      නයිට් මේල් කෝච්චියෙ, තැපැල් පියුං මහත්තුරු පඩි පිට හොඳ ආතල් එකක් ගන්නව කියලා තමයි, මට ඒ දවස්වල හිතුනෙ. කොළඹ ගිණි කාස්ටක අව්වට කරවෙන කොට, හපුතලේ අල ගොයියෙක් උනා නං කොච්චර අපූරු කියල තමා ඒ දවස්වල හිතුනෙ. දෙවේලේ දකින කුකුලාගේ කරමලය සුදු බවත්, අතිරහ වුනත් හැමදාම කනකොට එපාවෙන බවත් ඉගෙන ගත්තෙ පස්සෙ.පස්සෙ, උඩරට , අල, කැරට් ගෝවා වවපු ගොවි මහත්තයෙක් කිව්වා, ඒකත් හිතෙන තරම් සුන්දර නෑ කියලා.

      ඉගෙන ගත් පාඩම: Grass is always green on other side

      Delete
    2. ඩ්‍රැකී සහ බස්සා,

      කඳුකරයේ උදෑසන කියන්නේ මට නම් කවදාවත් එපා වෙන්නේ නැති දෙයක්. ජිවිත කාලෙම එහෙ ඉන්න අයට උනත් පරිසරයේ තියෙන නැවුම් ගතිය එපා වෙනවා ඇති කියල මට හිතෙන්නේ නැහැ.

      එහෙ ජීවිතෙයි වෙන කොහේ හරි ජීවිතෙයි නම් ඉතින් එකම තමා.

      බස්සා, ඔය අල්ලපු වත්තේ තණකොළ ටික නේද අපිට ජිවත් වෙන්න බලාපොරොත්තු දෙන්නේ හැමදාම .. හෙහ් හෙහ්

      Delete
    3. බකුස්... ඩ්‍රැකියානිගෙ ගමට යද්දි මම දකින විඳින සුන්දරත්වය, එහෙ උපදිලා උස් මහත් වෙච්ච ඩ්‍රැකියානි විඳින් නෑ. ඒ් තණකොළවල කොළ පාට හිංද වෙන්ඩැති.

      පැතුම්... කඳුකරයේ උදෑසන වගේම හැන්දෑවත් රෑත් මරු. ඒ්ක හරිහැටි විඳින්ඩ නං තව තව අනුපාන. සංගීීතය සහ සහෘද කැල උවමනා වෙනව. සමහර විට හුදෙකලාවත් උපකාරී වෙනව.

      Delete
    4. මනෝ පාරවල් ගහන්න මරු!

      Delete
  7. බ්ලොග්කාරයන්ගෙන් 75%කට බදුල්ලට කනෙක්ෂන් එකක් තියනව වගේ

    ReplyDelete
  8. අතීතයේ සුන්දර මතක......

    ReplyDelete
  9. බදුල්ලට දවල් යන කෝච්චියක ගිහින් තියෙනවා. බදුල්ලට යනකොට රෑවෙලා. රාත්‍රී කොච්චි ගමන් ගැන අත්දැකීම නම් කීප වරක්ම තත්තාගෙ වොරන්ට් වලින් මඩු පල්ලියට ගිය එක. එක්තරා කාලයක අඹේවෙල මිල්කෝ කිරිපිටි කම්හලට නිතර ගිය නිසා ඔය පැත්තේ උදෑසන ලස්සන ගැනනම් අදහසක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම එක සැරයක් දවල් ගියා අර නැරඹුම් මැදිරියේ.. එහෙම යනකොට ලස්සනට බලන්න පුළුවන්. ඒක තමා අන්තිමට ලංකාවේ කෝච්චියේ ගියේ

      Delete
  10. මටනං තාම ඔය බදුලු කෝච්චියෙ යන්න ලැබිල නෑ. මාත් ලොකු උනාම ඔහොම ගමනක් යන්න තමයි බලාගෙන ඉන්නෙ. හැබැයි එකපාරක් සිරීපාදෙ යනකොට කොල්ලො කට්ටියත් එක්ක බණ්ඩාරවෙල ඉඳල හැටන් වලට කෝච්චියෙ ගියා. ඇත්තටම බස්සෙකේ යනව වගේ නෙමෙයි කෝච්චියෙ යනකොට වෙනම ෆීලින් එකක් තියෙනව.

    අර කියුබං සුරුට්ටුවක් බොන්න ඔහේට ඉක්මනින් ලොකු වෙන්න පුලුවං වෙන්න කියල පතනව හිටං.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙන් කොච්චි යන්නේ නැද්ද ? මාත් ඔය හපුතලේ ගමන් විතරයි කෝච්චියේ ගිහින් තියෙන්නේ.

      දැන් කීප දවසක්ම සුරුට්ටු කඩයක් වටේ කැරකිලා බැලුවා. මේ කොරෝනා සීන් එක හින්දා ඒ ආතල් එකත් නැති වුණා.

      අපි තව ලොකු වෙලා සුරුට්ටු බිබී කොච්චි ටුවර් එකක් දාමු. දැන්ම කලබලයක් නැහැනේ

      Delete
  11. බදුල්ල කෝච්චියේ කීප සැරයක් ගිහින් තියෙනවා නමුත් නයිට් මේල් එකේ ගිහින් නෑ. මේක කියෙව්වම ඒකත් බකට් ලිස්ට් එකට දාගන්න හිතුවා.අවූරුදු දහයකට විතර උඩදි ළමයින්ව නැරඹුම් මැදිරියෙ බදුල්ලේ එක්ක යන්න හැදුවත් දුම්රිය මාෆියාව ටිකට් දෙන ක්‍රමය නිසා ගන්න පුළුවන් වුනේ බදුල්ල ඉඳන් කොළඹ ට ටිකට්.නැතිකමට ඒකත් කමක් නෑ කියලා ඒ ටිකට් අරං ආවා.හැබැයි ළමයින්ට එක හොඳ අත්දැකීමක් වුනා වෙච්චි සමහර දේ නිසා. බදුල්ල ඉඳලා කන්ද නැගලා ඇවිත් එන්ජින් එක බොයිල් කරලා ස්ටේෂන් එකක නවත්තලා වතුර දදා නිව්වා. හැටන් වලදී රේල් පාර නඩත්තු කරන්න යන ලොකු ඩක්කුවක් කඹයකින් කෝච්චියේ අමුනලා ඇදගෙන ආවා. ඒකෙ කම්කරුවන් නැගල ආවා.

    ReplyDelete
    Replies
    1. ඔය ලැබිල තියෙන්නේ හොඳ අත්දැකීමක්. නයිට්මෙල් එක දැන් කඳුකරයට ළඟාවෙන වෙලාව හොයල බලන්න. පාන්දර එළිය වැටෙන වෙලාවට නොගියොත් ඉතින් ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මට මතක් වුනේ අපි පොඩි කාලෙ මීරිගම (බෝතලේ) ගිය විදිහ.. ඒකත් අඩු වැඩි නැතුව ඕකම තමා දුර සහ වෙලාව ඇරුනම.. අයියෝ ඒ කාලෙ සදහටම ඉවරයි බන්.. ආයෙ අපේ පොඩි එකෙක්ටවත් විදින්න බෑ ඒවා..

    ReplyDelete
    Replies
    1. [අයියෝ ඒ කාලෙ සදහටම ඉවරයි බන්.. ආයෙ අපේ පොඩි එකෙක්ටවත් විදින්න බෑ ඒවා..]

      ඇත්ත. මොනවා කලත් ඒ ෆීලින් එක නම් එන්නේ නැහැ තමා. දැන් මගදී හම්බවෙන මිනිස්සු එක්ක කතා කරනවා කියන පොඩි දේවත් අපිට කරන්න බැරි වෙලානේ තියෙන්නේ...

      Delete
  14. බදුල්ලේ නයිටි මේල් නොගියට හපුතලේට මමත් කෝච්චියේ ගිහින් තියනවා. එය ඇත්තටම සුන්දර ගමනක්. ඔබගේ මතකය හරි අපූරුයි. සීතල දරා ගන්න බැරිකම මිසක් එහි ගිහින් ජීවත්වෙන්න ආසයි .උපතින්ම එහි හිටියනම් සමහරවිට මම නම් ඒ පරිසරය දාලා නොයේවි.
    විචාරක දියණිය

    ReplyDelete
  15. නයිට්මේල් එකේ ගමන! යස මාතෘකාවක් පැතුම්. මාත් ලියනවා හොඳේ

    ReplyDelete