Sunday, March 07, 2021

බුදු දහම සහ අපේ දැක්ම


මේ ආගම් අප තුල තියෙන ස්භාවික බවට, අවබෝධයට, සංතෘප්තියට , ජිවිතයේ විඳීමට, සතුටට  කරන බලපෑම ගැන හිතල බලල තියෙනවද කවදාවත්... 

මේක ලියන්න හේතු වුණේ  මගේ ඥාති සහෝදරයෙක් දැන් ටික දවසකට කලින් කියපු දෙයක් නිසා..  මම හිතන්නේ ගොඩක් අය The Matrix චිත්‍රපටය නරඹල ඇති..   දැන් අවුරුදු 20කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය ගැන විවිධ විචාර එහෙම ලියවිලා තියෙනවා..  ලංකාවේ එහෙම ලියවෙච්ච විචාර වලින්  2013 දී බූන්දියේ  ලියපු මේ ලිපිය සෑහෙන්න නැගල ගිය එකක්  මේ ළඟදී තව කෙනෙක් මෙන්න මේ වීඩියෝ එකත් හදල තිබුණ ඔය චිත්‍රපටය ගැන විචාරයක් විදියට.  මම දන්නේ නැහැ මේ ලිපිය සහ වීඩියෝ එක කරලා තියෙන්නේ එකම කෙනා ද කියල.. නමුත් තියෙන්නේ එකම අදහස. ඒ ලිපිය කියවපු කෙනෙක් ඒක වීඩියෝ වලට ගෙනල්ල කියලයි මට හිතෙන්නේ...   

මගේ ඥාති සහෝදරයා මට ඔය වීඩියෝ ලින්ක් එක එව්වා. ඔහුගේ අදහස වුණේ ව වීඩියෝ එකෙන් නියමෙට ෆිල්ම් එක පැහැදිලි කරනවා කියල. 

1999 දී  නිකුත් වෙච්ච ඔය ෆිල්ම් එක මම සමහරවිට 2000-2002 අතර කාලේ බලන්න ඇති.. මොකද A/L  කරලා ඉවර වෙච්ච ගමන් නිසා සහ මගේ සයි-ෆයි  උණ තදේටම තිබ්බ කාලයක් නිසා. තාත්තගේ මරණෙත් එක්ක මමත් බුදු දහම ගැන සහ ධර්මය ගැන උනන්දුවෙන් හොයපු ඔය ඒ කාලේ මේ ෆිල්ම් එක බැලුවම මටත් ඒ ලිපියේ සහ වීඩියෝ  එකේ  ඔය  කියන සමානකම් සහ    ෆිල්ම් එක තුලින් බුදු දහම දැකීමට  පුළුවන් කම තිබුණා.  ඇත්තම කිව්වොත් ෆුල් හොල්මන් වෙලා යන සිරා ෆිල්ම් එකක් නේද කියල තමා ඉතින් හැමදාම   The Matrix ගැන ඔලුවේ තිබුනේ.  මම හිතන්නේ මේ ෆිල්ම්  එක  ලෝකේ පුරා අතිශය ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති  එකේ තියෙන මේ අමුතුම අදහස්..  

මුලින් බැලුවට පස්සේ මම තව වතාවක් හෝ  දෙකක් ඔය ෆිල්ම් එක බලන්න ඇති... ඉතින් මේ සිද්දියෙන් පස්සේ නෙට්ෆ්ලික්ස් එකේ තිබ්බ ෆිල්ම් එකේ කොටස් තුනමත් මම ආයෙත් බැලුවා...  

නමුත් දැන් බලද්දී මට මොනම විදියකටත්වත් ඔය ෆිල්ම් එක බුදු දහමට  හෝ   වෙනත් කිසිම ආගමකට සමපාත කර ගන්න බැරි වුණා. කොටින්ම එහෙම කරන එක  මහ විකාර වැඩක් විදියට තමා මට හිතුණේ. 

මට හිතුන දේ තමා මම  එහෙම කරන්න යන එක නිසා මට  මේ ෆිල්ම් එකේ සැබෑවට පෙන්නන දේ දකින්න බැරි වෙනවා කියන එක. 

මේ ලිපියෙන් මම ෆිල්ම් එක ගැන විචාරයක් හෝ  ආගම් සමග තියෙන සම්බන්ධය ගැන ලියන්න බලාපොරොත්තුවක් නැහැ.  තමන් කැමති විදියට ෆිල්ම් එකක් දකින්න (කියවන්න) සහ විචාරය කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්..  

දැන් මේ ලිපියෙන් මම කියන්න අදහස් කරන දේට එමු.

බුදු හාමුදුරුවෝ උත්සාහ කලේ මේ විශ්වයේ පවතින යතා ස්භාවය අපිට පැහැදිලි කරල දෙන්න. බුදු දහම හැම මොහොතෙම පවතින දෙයක් මිස, අවබෝධ කරගෙන ඉවර වෙන හෝ යම් අවබෝධයක් ලැබූ පසු පැහැදිලි වෙන දෙයක් කියල මම හිතන්නෙ නැහැ. මම හිතන්නේ වර්තමානයේ බුදු දහම ගැන උනන්දු වෙන අය මේ අදහස දන්නවා ඇති. 

ඔබ ආගම ඉගෙනගෙන, ඒ තුලින් හැමදෙයක් දෙසම බැලීමට යාම නිසා ඔබට දෙයක යථා ස්භාවය, ඔබ දකින මොහොතෙදි,  ඒ ආකාරයෙන් දැකීමට තිබෙන උපන් හැකියාව යටපත් වෙනවා. අපිට එහෙම නැවුම්ව , කිසිම විනිශ්චයකින් තොරව  දේවල් දිහා දකින්න පුළුවන් කියල අපිට අමතක වෙන තරමට අපේ ඔලු දැන් කුරුවල් වෙලා.  ඉතින් යම් කිසි දෙයක ඇති දේ ඇති සැටියෙන් දැකීම අපිට බොහෝ විට මගහැරෙනවා. 

දැන් මේ කියන ෆිල්ම් එක බලන කෙනෙක් තමන්ගෙ ආගමේ කියවෙන අදහස් වලට සමපාත කරගෙන ෆිල්ම් එක බලනකොට ඇත්තටම ඒ ෆිල්ම් එකේ තියෙන දේ දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදියට එහි ඇති තාක්ෂණික දේ, නැත්නම් නළු නිළියන්ගේ රඟපෑමේ විශිෂ්ටත්වය,  නැත්නම් ආදරය, රාගය,  හාස්‍යය වැනි ස්භාවික මිනිස් හැඟීම් ප්‍රතිනිර්මාණය වී ඇති හැටි දකින එක මග හැරී යනවා. ඇසින් දකින්න පුළුවන්, නමුත් ෆිල්ම් එක පුරා ආගම දකින කොට අපිට ඇත්තටම ෆිල්ම් එක බලන්න වෙන්නේ නැහැ.   ෆිල්ම් එකේ එක එක චරිත වල කාර්යය, තමන්ගේ ආගමේ කියවෙන දේ මවා පෙන්වීම කියන දෘෂ්ටියෙන් බලනකොට ෆිල්ම් එකේ නිර්මාපකයා කියන්න අදහස් කරන නැවුම්, නිර්මානාත්මක බොහෝ දේ අපිට මග ඇරිලා, පොඩි කාලේ ඉඳල අපේ ඔළුවට දාගෙන ඉන්න ආගමික සංකල්ප විතරක් පේන්න පටන් ගන්නවා.      

ආගමික මනසකින් ලෝකය දෙස බලන හැම මොහොතේම අපට සත්‍යයය ඇති හැටියෙන් දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නේ.

ආගමික අන්තවාදය ගැන අපි හැමෝම දන්නවනේ..

නමුත් අපිට මගහැරෙන දෙයක් තමා උපතින් නිර්මල ව සහ කිසිම සංකල්පයකින් තොරව මෙලොවට එන අපි, අපට උරුම වන ආගම නිසා අප දෙසත්, අප ජිවත් වන ලෝකය දෙසත් නිර්මල සිහියකින් යුතුව බැලීමට ඇති හැකියාව යටපත් කරගෙන සිටින බව.

අගමක් නිසා අපිට ලැබෙන දැනුමෙන් හැමදෙයක් ම විනිශ්චය කිරීමට යාම සහ ජීවිතය දෙස බැලීමට පුරුදු වීම නිසා අපේ සැබෑ මනුෂ්‍යත්වය මග හැරෙනවා කියලයි මම හිතන්නේ.

උදාහරණයක් විදියට අසරණ සතෙක්, මනුස්සයෙක්  දිහා බලල  ... එක්කෝ ඔය ඉතින්  පෙර කරුමේ තමා කියල අහක බලාගෙන යන ස්භාවය හෝ   අනේ  පිං සිද්ද වෙනවනේ කියන තමාට  අනාගතයේදී පිං නිසා ලැබෙන වාසියක් වෙනුවෙන් ඒ අසරණයාට උදව් කිරීම ගන්න පුළුවන්. 

මේක ඉතා සරලව තේරුම් ගන්න ඔබට පුළුවන් දැඩි ආගම් භක්තිකයෙක් සමග ටික වෙලාවක් ගත කිරීමෙන්... ඔහුට හැමදේම ඔහුගේ ආගමට අනුව විතරයි පෙන්නේ..

ආගම නිසා මිනිසුන් යහපතක් වන බව බොරුවක් නෙමේ... සමස්ත සමාජයක් විදියට ගත්තම ආගම නිසා හොඳක් වෙන්න පුළුවන්... නමුත් සත්‍යයය සහ සැබෑ ධර්මය හොයා යන කෙනෙකුට ආගම නිසා වෙන්නේ හානියක් කියල මට හිතෙනවා . 

ශ්‍රී ලාංකික අපි උපතින්ම බෞද්ධ, නමුත් අපි තුල ප්‍රාථමික මට්ටමේ  මිනිස් ගති ගුණ වත් නැති අවස්ථා ඕනෑ තරම් තියෙනවා.. අනිත් ආගම් වලටත් මේක පොදුයි.

නමුත් අපේ අවාසනාව තමයි කිසිම දෘෂ්ටියකින් තොරව, කිසිම විනිශ්චයකින් තොරව, යතා ස්භාවය ඒ විදියට දකින්න උගන්නන ධර්මයක් උපතින්ම උරුම වෙලා තියෙද්දී, ඒ ධර්මයම දෘෂ්ටියක් විදියට අරගෙන, හැම දෙයක්ම ඒ තුලින් විනිශ්චය කරමින්, හැම දේකටම ආගමික නිර්වචනයක් දෙමින්, තම පුද්ගල ස්භාවය වර්ධනය කර ගන්න අප උත්සාහ කරන එක.  මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති. 

ආගම පිළිබඳව තමා තුල ඇති දැනුම නිසා ඔබ තුල ගොඩනැගෙන මමංකාරය ඉතා සියුම් විදියට අපිට මගහැරෙනවා. අපිට සල්ලි නිසා ඇතිවන මමංකාරය, සමාජ තත්වය, රැකියාව ආදිය නිසා ඇතිවන මමංකාරය දකින්න ලේසියි. නමුත් ආගම නිසා ඇතිවන මමංකාරය දකින්න බොහෝ දෙනෙකුට බැහැ. මොකද ඒක හැමවිටම හරි දෙයක් ලෙසයි අපි දකින්නේ.  නමුත් ඔබ පිළිනොගන්නා ආගමක් අදහන කෙනෙක් තුල ඇති ආගමික මමංකාරය සමහර විට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි.  ආගම තුලින් විනිශ්චය කරන්න කරන්න අපිට අපි දකින, අහන, දැනෙන දේ සම්පුර්ණයෙන් විඳින්න නොහැකි වෙනවා..    හරියට විඳින්න බැරි වූ විට හැමවිටම ඉතිරි වෙන්න අසංතෘප්ත ස්භාවයක්.

දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් බුදුදහමේ තියෙන අනිත්‍යය තේරුම් ගන්න නම් හැම දෙයක් දෙසම මේ  ආගමේ උගන්නල තියෙන ආකාරයෙන් දකින්න ඕනේ කියල.  මේක සංකල්පයක් වශයෙන් ඇත්ත නමුත් ප්‍රායෝගිකව මේක කරන්න ගියාම ඇතිවන්නේ ව්‍යාකුල තත්වයක් කියල බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.  ඉතින්  අප කල යුතු වන්නේ මේ අනිත්‍ය දේවල් වලට ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වීමයි කියලත් අපිට තේරුම් ගන්න පුළුවන්.  ඉතින් බොහෝ දෙනෙක් එක්කෝ ආගමේ නාමයෙන් මේ ආශාවල් යටපත් කරගෙන , මතුපිටින් සංවර නමුත් ඇතුළතින් අසංතෘප්ත ජිවිත ගෙවනවා. අනිත් අය වැඩිපුරම වචනාර්ථයෙන් පමණක් මේ දේවල් දැනගෙන රිසි පරිදි ලෞකික ජිවිත ගෙවනවා. ඔවුන් බොහෝ විට දැඩි ආගම් භක්තිකයින් සහ ආගමේ විදියට ජිවත් වන බව ලෝකයට පෙන්නන්න කැමති පිරිස්.   මෙහි ඇති වරදක් එක වර ඔබට පෙනෙන එකක් නැහැ නමුත් ඔබ සැබවින්ම බුදු දහමේ ඉගැන්වෙන නිර්වාණය හෝ විමුක්තිය සොයන කෙනෙක් නම්  මීට වඩා ගැඹුරින් මේ දෙස සිතා බැලිය යුතුයි කියල මට හිතෙනවා. 

හැම විටම ගැටලුව ඇතිවන්නේ මෙසේ ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වන්නට යාමේදී. මොකද කොපමණ තේරුම් අරන් තිබුනත්, කොපමණ ඉගෙන ගෙන තිබුනත් නොඇලී, නොබැඳි ඉන්න පෘතක්ගජන පුද්ගලයෝ වශයෙන් අපිට අමාරුයි. ඒක තමා මනුෂ්‍යයා කියන ජිව කොට්ටාශයේ ස්භාවය. ආශාව සහ බලාපොරොත්තුව අපිව ජිවත් කරවනවා.  ඉතින් අපිට බැරිද අපි ආස කරන දේවල්, අපිට ඕනේ වෙලාවට උපරිම ලෙස රස විඳලා එයින් සංතෘප්ත වෙන්න.  එහෙම සංතෘප්ත  වුණාම ඒ දේට තියෙන ඇලීම බැඳීම අඩු කරගන්න පහසුයි කියල හිතෙන්නේ නැද්ද ? නමුත් ඔතන තියෙන ගැටලුව තමා අපේ සිත එහෙම ලේසියෙන් සංතෘප්ත වෙන්න කැමති නැති එක. ඒකට තියෙන විසඳුම තමා සිහිය. සිහිය මනාව තියෙනවනම්, සිත විසින් ඇලෙමින් බැඳෙමින් යන්න හදන ආකාරය දැකල, ඇතිවන මොහොතේම ඒ ඇලීමේ හෝ බැඳීමේ ඇති අනිත්‍ය බව දකින්න පුළුවන්. ඒ දැකීමත් සමග ඒ ඇලීම, බැඳීම නැති වෙලා යනවා. ඔබේ සිහිය මේ තත්වයට දියුණු කර ගැනීමයි ඔබ කල යුත්තේ. 

දැන් ඔබට සිතෙයි මේ කියන හැමදේම තියෙන්නේ ආගමේ නේද ඉතින් ආගමික වීමේ වැරැද්ද මොකක් ද කියල.

ඔබ හොදින් සිතා බැලුවොත්, ඔබට තේරෙයි ආගම තුලින් මේ දේ වටහා ගැනීමට යාමේදී අපිට බොහෝ වෙලාවට සිදුවන්නේ ආගම් දේශනා, සුත්‍ර හෝ වෙනත් ඉගැන්වීම් අතර හිර වීම හෝ ඒවා විශ්ලේෂණයට,  සාකච්චා කිරීමට, බෙදා හැරීමට, අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට කාලය ගත කිරීම මිස, මුලික කරුණ තමන් විසින් ප්‍රගුණ කිරීම මග හැරී යාම බව . ආගමික දෘෂ්ටිය තුල හිර වූ විට බොහෝ අයට යම් කිසි දෙයක නියම ස්වභාවය සිහියෙන් දකින්න තියෙන හැකියාව ඇහිරී යනවා. ඔවුන්ගේ මනසේ පිරි ඇති ආගමික දැනුමෙන් විවිද සංකල්ප ගොඩ නගමින්, තර්ක විතරක් කරමින් මනසේ කූට උපක්‍රම වල හිරවෙමින්  ආගමික මමංකාරයක්  තමා තුල ගොඩ නගමින් සහ එය රැක ගැනීමට වෙහෙසෙනවා මිස මේ සියල්ල විශ්වයේ පවතින ස්භාවික තත්වයන්  බවද  සහ තමා ද ඒ විශ්වයේම කොටසක් බව අමතක වී යනවා.

ඉහත උදාහරණය ගැන නැවත හිතුවොත් අසරණ සතා හෝ මනුස්සයාට  අප උදව් කල යුත්තේ ඒ ඉන්නෙත් තමා මෙන්ම අසරණ වූ තවත් ජීවියෙක් යන හේතුව නිසා මිස  ආගමෙන් උගන්වා ඇති පින නිසා නොවෙයි.  බුදු දහමේ තියෙන්නේ මේ විශ්ව මනුෂ්‍ය සංකල්පය නමුත් අපි බුදු දහමෙන් තේරුම් අරන් තියෙන්නේ අපිට වාසි ලැබෙන පින කියන කොටස විතරයි. සමාජය යහපත් කරන්න පින පව කියන සංකල්ප ප්‍රයෝජනවත් වුණාට  පුද්ගල විමුක්තිය සොයන කෙනෙකුට පින සහ පව යන සංකල්ප දෙක නිසාම හානියක් වෙනවා.

මේ කරුණු ගැන කතා කරන හැම වෙලාවෙම මට හිතෙන දෙයක් තමා අනාගතේ දවසක අඟහරු හෝ වෙනත් ලොවක ඇතිවන මිනිස් ජනාවාසයක් දැනට මේ ලොවෙහි තියෙන කිසිම ආගමික සංකල්පයක් නැතුව බිහි කලොත්, ඒවායේ උපදින දරුවන් කොහොම හැසිරෙයි ද කියන එක,  ඔවුන්ට ආගම නැතුව ජිවය සහ ජීවයේ පැවැත්ම විතරක් උගන්නල, ජීවයේ පැවැත්මට අවශ්‍ය යහපත සහ අයහපත විතරක් කියල දුන්නොත්,  ඔවුන් පෘතුවියේ ඉන්න අපිට කලින් මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න ඉඩක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද..? 

ආගම තුලින් අපිට උගන්නල තියෙන ජීවිතය කියන්නේ දුකක්.. නමුත් අපි ජිවත් වෙන මේ සුළු කාලය ජිවිතයේ ඇති දුක් ස්භාවය ගැන මෙනෙහි කරමින් ජිවත් වීමෙන් ඔබට කවදා හරි ඒ දුකින් ගැළවීමට පුළුවන් වේ යැයි සිතන එක ප්‍රයෝජනවත් දෙයක් ද ? කවදා හෝ දුකින් මිදීමට නම් ඔබ ප්‍රගුණ කල යුත්තේ සතුට නොවෙයි ද ? සතුට ඇතිවන්නේ මනසේ කාවැදී ඇති සංකල්ප විශ්ලේෂණය කරමින් සිටීමෙන්ද නැත්නම් ඒ මොහොත තුල අසන දෙය, දකින දෙය, දැනෙන දෙය විඳ තෘප්තිමත් වීමෙන් නොවේද ?

මේ වන විට The Matrix චිත්‍රපට මාලාවේ රචකයින් සහ අධ්‍යක්ෂකයින් වූ Wachowski සහෝදරයින්,  Wachowski සහෝදරියන් බවට පත් වී සිටිනවා. ආගම් වල ඇති ලිංග භේද සංකල්ප වලට අභියෝග කල  the Wachowskis න්  මේ වසරේ බොහෝ විට අපට  The Matrix චිත්‍රපට මාලාවේ 4 වෙනි කොටස දකින්න සලස්වනු ඇති.   


47 comments:

  1. නියමයි. හොඳ ලිපියක්. ලිපියේ මාතෘකාව, අන්තර්ගතයට එච්චර සාධරණයක් ඉටු කරන්නෙ නෑ. හොඳවෙලාට, බිත්තියෙ ලියන ඕන දෙයක් කියවන නිසා ආවෙ. නැත්නම් මේ අපූරු ලිපිය මඟ හැරෙනවා.

    ReplyDelete
    Replies
    1. [ලිපියේ මාතෘකාව, අන්තර්ගතයට එච්චර සාධරණයක් ඉටු කරන්නෙ නෑ] ඇයි මෙහෙම හිතුනේ ? මාතෘකාව දැක්කම හිතෙන දේ සහ ලියල තියෙන දේ වෙනස් ද ? මට පැහැදිලි නැහැ

      Delete
    2. මාතෘකාව දැකලා ආවෙ සාමාන්‍ය බුදු දහම ගැන ලිපියක් වෙන්ටෑ කියන හිතෙන්. ඒක එහෙම නෙමයි නිසයි, එහෙම කිව්වෙ.

      Delete
    3. වෙන මොන මාතෘකාවක් දාන්නද කියල හිතා ගන්න බැහැ...
      ඔන්න බුද්ධාගමට බැනල මොකක් හරි මාතෘකාවක් දැම්ම නම් වැඩිපුර කට්ටිය ඇවිල්ල බලයි... හෙහ් හෙහ්

      Delete
    4. මැට්‍රික්සය තුලින් බුදු දහම

      Delete
  2. \\ආගම නිසා මිනිසුන් යහපතක් වන බව බොරුවක් නෙමේ... සමස්ත සමාජයක් විදියට ගත්තම ආගම නිසා හොඳක් වෙන්න පුළුවන්... නමුත් සත්‍යයය සහ සැබෑ ධර්මය හොයා යන කෙනෙකුට ආගම නිසා වෙන්නේ හානියක් කියල මට හිතෙනවා\\

    වටිනා කියමනක්. කාලයක් මම හිතන් හිටියෙ බුදුදහම වගෙ අවිහිංසාවාදී ධර්මයකින් අන්තවාදී කොටස් බිහි නොවන බවයි. දැන් නම් ඒ අදහස වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. [අවිහිංසාවාදී ධර්මයකින් අන්තවාදී කොටස් බිහි නොවන බවයි] ධර්මය නිසා මිනිස්සු අන්තවාදී වෙන්නේ නැහැ නමුත් ධර්මය ආගමක් වෙලා ආගම අදහන්න ගත්තාම නම් එහෙම වෙනවා නේද ? ධර්මය දකින්නා බුදුන් දකී කිව්වට අපි දකින්නේ ආගමනේ ... හෙහ් හෙහ් ..

      Delete
  3. බුදු දහමට අනුව නැවත් ඉපදීම 100 % ෂුවර් දෙයක්ද?
    එහෙමනම් ඒක මූලික පදනම විදිහට අරන්ද යථා ස්වාභාවය තේරුම් ගන්නෙ? එහෙමනැත්නම් ඒක 100% විශ්වාස නොවුනත් පුලුවන්ද?

    එහෙම නැත්නම් ඒක බෞද්ධ ආගමේ මිනිසුන් හොඳ කරන්න පිං කරන්න පොළඹවන්න තියන invented incentive එකක්ද?

    ReplyDelete
  4. ප්‍රාජේ, බුදුන් වහන්සේගේ ධර්ම දේශනා නැවත ඉපදීමක් මුල් කොට ගෙන දේශනා කරලා තියෙන නිසා අපිට එහෙම හිතන්න පුළුවන් නේද ? නමුත් මම පෞදගලික ව නම් නැවත ඉපදීම කියන අදහස X (ගණිතයේ නොදන්නා විචල්‍යය වගේ ) විදියට අරගෙන තමා ඉන්නේ... ඒ කියන්නේ නොදන්නා දෙයක් විදියට.. මගේ අදහස නම් අපි එවැනි සංකල්ප මුල් කරගෙන ජිවත් වෙන්න පටන් ගත්ත ගමන් අර ආගමෙන් අපි ඉගෙන ගෙන තියෙන කන්ඩිෂනින් වලට ආයේ හිර වෙනවා.

    මම තේරුම් අරන් තියෙන විදියට බුදු හාමුදුරුවෝ දේශනා කලේ සත්වයාගේ පැවැත්ම සහ පැවැත්ම නැති කිරීම පිළිබඳව ධර්මයක් නිසා වැදගත් කම දිය යුතු වන්නේ ඇයි අපි පවතින්න උත්සාහ කරන්නේ කියන එක තේරුම් ගැනීමට .. ඒ කිව්වේ "මම" කියන සංකල්පය තව දුරටත් පවත්වා ගැනීමට අපි වෙහෙසීම තේරුමක් තියෙනවද, අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ "මම" නැති නිර්වාණයක් අවබෝධ කර ගැනීමටනම්..

    යතා ස්භාවය කියන්නේ "මම" යනුවෙන් අපි හදාගෙන ඉන්න සිතුවිලි සමුහයෙන් බැහැරව ලෝකය දිහා බැලුවහම අපිට පෙනෙන දේ... ඒ කියන්නේ "මම හිතන විදිය නැතුව පවතින දෙය දෙස බලා සිටීම.." උදාහරණයක් විදියට The Matrix ෆිල්ම් එක හුදෙක් අපිට පෙනෙන දේ බලා රස විඳීම... ඔබ ඉගෙන ගෙන තියෙන දේ අනුව වින්ශ්චය නොකර.. නැත්නම් රෝස මලක් දිහා එහි ලස්සන දකින්න බලන් ඉන්න එක, ඔබගේ උද්භිද විද්‍යා දැනුම හෝ, රෝසමල් පිළිබඳව ව්‍යාපාරික දැනුමෙන් මල ගැන විශ්ලේෂණය නොකර...

    [ඒක බෞද්ධ ආගමේ මිනිසුන් හොඳ කරන්න පිං කරන්න පොළඹවන්න තියන invented incentive එකක්ද?]

    මට හිතෙන්නේ මේ වගේ පොයින්ට්ස් ගැන කතා කරලා තේරුමක් නැහැ... නිකන් වාද කරන්න හොදයි

    යහපත සහ අයහපත කියන දෙක විශ්වයේ හැමදාම තියෙනවා. පින කියන්නේ යහපත සහ පව කියන්නේ අයහපත කියල තමා මම හිතන්නේ... පිනෙන් ලැබෙන වාසි නම් මට හිතෙන්නේ ආගමික සාහිත්‍යය කියල... ලැබෙන වාසි කියන්නේ ආගම අපිට උගන්නපු දෙයක් (invented incentive එකක් කියන්නත් පුළුවන්) . වැදගත් වෙන්නේ වාසි ලැබීම ගැන නොසිතා යහපත් දේ කිරීම.. ඒකට ආගමක් අදාළ නැහැ..

    ReplyDelete
  5. ලිපිය රහයි, සාරයි සිත අවදි කරයි
    මට නම් වටින්නේ ආගමෙ දහම තමයි
    'දහම' වටා විච්චූර්ණ එමට වගෙයි
    ඒවා තේරීම සුළු-පටු වැඩක් නෙවෙයි!

    සිඳ-බිඳ දමා හිරවී ඇති සිපිරි ගෙවල්
    නැණසෙන් බලා විමසා සේරම දේවල්
    නිදහස් මනසකින් ලොව තතු විමසනකල්
    සත්‍ය නොතේරෙයි, විසුවත් සීයක් කල්!

    ReplyDelete
    Replies
    1. නිදි ගේ කවි නම් දිනෙන් දින දියුණු වෙයි
      සැබෑ දහම වෙන කිසිවක් නොව යහපත් ජීවිතයයි
      දහමත් ජීවිතයත් දෙකක් නොව එකක් මැයි
      එය වටහා ගැනුමට බොරු විච්චුරණ කුමටයි :)

      Delete
    2. පැතුම්, ප්‍රශංසාවට ස්තුතියි.
      මගේ කවි දියුණු වෙනවා නම් එහෙම වෙන්නේ දැන් සතියකට කවි පහ- හයක්වත් ලියවෙන නිසයි; බ්ලොග් පෝස්ට්ස්වලට කමෙන්ට් කරද්දී.... සතතාභ්‍යාසය හින්දා වෙන්නැති.

      Delete
  6. /ඉතින් අපිට බැරිද අපි ආස කරන දේවල්, අපිට ඕනේ වෙලාවට උපරිම ලෙස රස විඳලා එයින් සංතෘප්ත වෙන්න./

    මේක වෙන්න ඇති කාමසුඛල්ලිකානු යෝගීන් අදහස් කළේ...?

    ReplyDelete
    Replies
    1. කාමසුඛල්ලිකානු යෝගීන් විඳීම සිහියෙන් දැකල සංතෘප්ත වීමක් ගැන කතා කරලා තියෙනවද ? නැත්නම් විඳීම වරදක් නොවන විදියට විතරක් අරගෙන තියෙනවද ?

      Delete
    2. මං ඒ ගැන ලොකුවට දන්නෑ. ඒත් විඳීම මඟින් ලබාගන්නා විමුක්තියක් (ඒ වචනය ගැළපෙන් නෑ හරියටම) වගේ දෙයක් මට හිතෙන්නෙ...

      Delete
  7. //ඒකට තියෙන විසඳුම තමා සිහිය. සිහිය මනාව තියෙනවනම්, සිත විසින් ඇලෙමින් බැඳෙමින් යන්න හදන ආකාරය දැකල, ඇතිවන මොහොතේම ඒ ඇලීමේ හෝ බැඳීමේ ඇති අනිත්‍ය බව දකින්න පුළුවන්. ඒ දැකීමත් සමග ඒ ඇලීම, බැඳීම නැති වෙලා යනවා. ඔබේ සිහිය මේ තත්වයට දියුණු කර ගැනීමයි ඔබ කල යුත්තේ. //

    මේක තමයි මට හිතෙන්නෙ "එළඹ සිටි සිහිය" හෙවත් අප්පමාදය...

    ReplyDelete
  8. මම ලිපිය එක හුස්මට කියවගෙන යන ගමං දැකපු දැකපු තැන් දෙකක් ගැන පොඩි සටහනක් තිබ්බා උඩ.

    මගෙ අදහස කෙටියෙන් කියන්නං...

    බුදුන් දේශනා කළේ ආගමක් නෙවෙයි. එයා පෙන්නුවෙ දර්ශනයක්. ඒක දැකපු කෙනෙකුට ඒක තමන්ගේ දර්ශනයක් විදිහට අවබෝධ කරගෙන නිවීමක් ඇති කරගන්න පුළුවන් වෙයි. සමහර විට සෙන්වල කියවෙන, තම තමන්ගේ ශෛලියේ බුද්ධත්වය කියන්නෙ ඒක වෙන්න ඇති.

    නමුත් පස්සෙන් පහු මේක මිනිස්සුන්ට ආගමක් සහ පැවිද්දන්ට ජීවිකා වෘත්තියක් වෙනව. ඒකෙන් තමයි ආගම බිහි වෙන්නෙ. ආගමකට අයිති කාරයො ඉන්නව, ඒ වගේම ආගම ඒ උදවියට පරම සත්‍යය වෙනව. ඒත් බුදුන් ට ආගම පරම සත්‍යය වුණේ නෑ. ඒකයි එතුමා කියන්නෙ "මේක මම කිව්වට හෝ ගුරුවරයා කිව්වට හෝ පරම්පරාවෙන් පැවතෙනවට අදහන්න එපා, තම තම නුවණින් විමසලා තේරුම් ගන්න" කියලා.

    ඒ නිසා ඇත්තට බෞද්ධයෙක් නම් කරන්න තියෙන්නෙ මේ දර්ශනය තේරුම් ගෙන ජීවිතය අවබෝධ කරගන්න එක. ඒකත් ඉතින් තමන්ට උවමනා නම්... එහෙම නැතුව ආගමක් කර තියාගෙන යන්න තෝරගන්නව නම් කවුරු හරි, ඒක එයාගෙ කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, ආගම සහ දර්ශනය කියන අදහස් දෙකම අයින් කරලා, ධර්මය තමයි අපි තේරුම් ගන්න ඕනේ දේ.. මෙතන ධර්මය කියන්නේ මේ විශ්වයේ පවතින ස්භාවික තත්වය..

      ආගමක් හෝ දර්ශනයක් අපි මනසින් අල්ල ගත්තම අපිට ඒ විශ්වයේ පවතින සත්‍ය ස්භාවය දකින එක මගහැරෙනවා. ගොඩක් වෙලාවට අපි ඔය හැමෝම එක්ක තර්ක කරන්නේ ආගම සහ දර්ශනය යන දෙක ගැන මිසක්, මිනිස්සු ධර්මය ගැන කතා කරන්නේ නැහැ.. ධර්මය කියන්නේ බුද්ධ ධර්මයෙහි එන සියලු ගාථා, සුත්‍ර වලින් දේශනා කරලා තියෙන මේ පවතින සත්‍ය ස්භාවය... අපි හැමවෙලේම එක්කෝ ගාථා හෝ සුත්‍ර අතර හිරවෙනවා, නැත්නම් ඔය ධර්මය වටා ගොඩ නැගිලා තියෙන ආගම හෝ දර්ශනය ඇතුලේ හිර වෙනවා.

      නමුත් මේ දැන්, මේ මොහොතේ, මෙතැන තියෙන ඔය විශ්ව සත්‍යය අපිට දකින්න තේරෙන්නේ නැහැ..

      Delete
  9. යහපත සහ අයහපත කියන්නෙ මොකද්ද? අනික් උදවියට කරදරයක් වෙන්නැතුව සමාජ ජීවියෙක් විදිහට ඉන්න එක ද යහපත? සමහරවිට බහුතරයකගේ හිත සුව පිණිස කෙනෙකුට වැරදි යැයි සමාජ සම්මත දෙයක් කරන්න ිසිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒකත් යහපත් කියල මට හිතෙනව. එතකොට හොද නරක / පින් පවු කියන්නෙ හුදෙක් සමාජ සම්මතයක් විතරයි... ඒක වෙන්නැති රහත් කෙනෙක් කරන කිසි දෙයක් පවු නොවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. [අනික් උදවියට කරදරයක් වෙන්නැතුව සමාජ ජීවියෙක් විදිහට ඉන්න එක ද යහපත? ]

      මේක සතා සීපාවා ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්මට හානියක් කරදයක් නොකර ඉන්න එක කියලයි මම හිතන්නේ .. පාඩුවේ වැඩක් බලන් ඉන්න එක එක මට්ටමක්.. නමුත් එතනින් එහා ගිය කරුණාවක්, ආදරයක් ඇති වෙලා සියලු ජීවීන්ගේ පැවැත්මට උපකාරී වෙන විදියට ජිවත් වීම වෙන්න ඕනේ..

      රහත් කෙනෙක් කරන දේවල් හැම වෙලේම අයිති වෙන්නේ ඒ ගොඩට නේද ?


      [සමහරවිට බහුතරයකගේ හිත සුව පිණිස කෙනෙකුට වැරදි යැයි සමාජ සම්මත දෙයක් කරන්න ිසිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒකත් යහපත් කියල මට හිතෙනව]

      සමාජ සම්මත කියන්නේ මිනිස්සු පාලනයට හදා ගත්ත දෙයක් මිසක් හැමෝටම සාධාරණ දෙයක් නෙමේ නේ. ඉතින් සමාජ සම්මත කඩලා යහපත් දෙයක් කිරීම හරි නේද .

      Delete
  10. ඉතාම වටිනා අදහස්. කමෙන්ට් එකක් නොදා යන්නම බැරිවුනා. සැහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනු දේවල් ටිකක් තවත් හොඳට ගලපගන්න පුලුවන්වුනා. thank you. ඇත්තටම ආගම නිසා අපේ worldview එකට එන බලපැම ඉතාම සියුම්, තේරුම්ගන්නත් බැරි තරමට. මගේ යාලුවෙක් ඉන්නවා කාට හරි ජීවිතේ යම් ප්‍රශ්නයක් ආපු ගමන් 'ඔන්න එයා ගියා ආත්මෙක මෙන්න මේ දේ කරලා ඒකයි දැන් ඔහොම වුනේ' කියලා ස්ථීර විදිහටම එයාගෙ මතය ප්රකාශ කරන. අපි කොයි තරම් කිව්වත් තව කෙනෙක්ගෙ කර්මය ගැන කොහොමද එහෙම කතා කරන්නෙ කියලා එයා හිතන්නේ එයාගෙ 'ධර්ම' දැනීම ඒතරම් දියුනුයි කියලා. ලස්සනට අඳින පළඳින එක පවා ධර්මය තේරුම් ගන්න බාධාවක් කියලා එයා හිතන්නෙ.

    ඔබ කියලා තියෙනවා වගේම ධර්මය කියන්නෙ 'මේ විශ්වයේ පවතින යථා ස්භාවය' ලෙස තේරුම් ගැනීම ඉතාම වැදගත් කියලා මටත් හිතන්නෙ. බුදු හාමුදුරුවො තමන්ගෙ නුවනින් අවබෝධ කරගත්තෙ මේ විශ්වයේ තියෙන නීතිම තමයි law of karma, law of attraction, law of projection වගේ. නමුත් හුඟක් අය එහෙම කියනකොට අකමැති වගේම වැඩිපුර explore කරන්න උනන්දුත් නැහැ. ලන්කාවෙ වැඩිහිටි කාන්තාවක් එක්ක මම දවසක් Law of attraction ගැන කතාකරන්න ගියා, එයා ගත් කටටම කිවා ඔවයින් කරන්නෙ වෙනත් ආගම් promote කරන එක, හැම දේම දෙන්න පුලුවන් බලගතු දෙවියෙක් ඉන්නවා කියන මතය පතුරුවන එක කියලා. එහෙම හිතනකොට වෙන්නෙ අපේ සිතුවිලි කොයි තරම් ප්‍රබලද කියලා අපි කවදාවත් තේරුම් නොගැනීම. නමුත් බුදු හාමුදුරුවො දේශනා කලෙත් what you think, you become කියලා නේද.

    ReplyDelete
    Replies
    1. ඔතන පොඩ්ඩක් ඇත්තකුත් තියනව. අපි දිගින් දිගටම වගේ බෞද්ධ ප්‍රශ්න ගැන විවේචනය කළා කාලයක්. එහම් කරන කොට අපේ අතර සිටි මිතුරියක් වෙනත් දහමකට ගියා. එයා කියන්න ගත්ත කොපමන හොඳද ඒ ආගම . ඔයාලත් එන්න. අපේ බුද්ධාගම හා හාමුදුරුවෝ වගේ නෙමේ කියල.

      Delete
    2. ඕකෙම දෙවෙනි කොටස තමයි බෞද්ධ නොවන වෙනත් ආගම් වල අය රැඩිකල් මුවාවෙන් ඔය හමුදුර්වනට හා සිංහල බෞද්ධ හෙජමොනියට බනින එක. ඒවා ප්‍රශ්න අබව ඇත්ත. නමුත් ඊළඟට මම දුටු දෙය තමයි තමන්ගේ ආගමට සම්බන්ධ ආගමික නයාක්යෙකු ගැන (උදා බෝන් අගේන් 0 අර රැඩිකල් කම වාෂ්ප වෙලා යන එක. මට නම් ඒක හෙන බයස් එකක්. ඒක නිසා මම දැන් ඔය ආගම් විවේචනය අත හැරලා තියෙන්නේ. (බුද්ධාගම ඇතුළුව )

      Delete
    3. Lotus, ස්තුතියි. මට හිතෙන්නේ සමස්ථ බුදු දහමෙම තියෙන්නේ නිදහස් වීම ගැන. ඒ කියන්නේ එක එක විදියේ මානසික හිරවීම් වලින් නිදහස් වීම. ඒ සඳහා ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් බුද්ධාගමේ තියෙනවා. නමුත් අපි හැමදාම ඒ ගයිඩ් එකේ එකම තැන හිර වෙලා ඉන්නවා. මට අවශ්‍ය වුණේ ආගමත් තවත් දෘෂ්ටියක් විදියට අරගෙන ඒක ඇතුලේ හිර වෙන එක ගැන කතා කරන්න.

      Law of attraction, Manifestation කියන්නේ ආගමකට අයත් නොවන සොබාදහමේ නීති. නමුත් ඔබ කිව්වා වගේ ආගම් අස්සේ හිර වුන අය සොබා දහමේ නීතිත් වෙන් කරගෙන ඒවත් එක්කත් ගැටෙමින් ජිවත් වෙනවා.

      Delete
    4. අජිත්, මම මේක ලිව්වේ ආගම විවේචනය කරන අදහසින් නෙමේ. කුමන ආගමක් ඇදහවුවත්, අපිට නිදහසේ ලෝකය දිහා බලන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මට කියන්න ඕනේ කලේ

      මේ ඔය හෙජමොනිය කියන වචනේ තේරුම මොකක් ද ?

      මමත් මේ ආගම් ගැන හෝ ආගමික කල්ලි ගැන කතා කරන්න කැමති නැහැ. තේරුමක් නැති වැඩ. නමුත් ඉතින් ආගම නිසා වැහිලා යන වඩා උසස්, ප්‍රීතිමත් ජිවිතයක් තියෙනවා කියන එක ගැන දන්න දේ ලියල තියෙන එක වැදගත් කියල හිතුනා. මේ දවස් වල මේ සම්බන්ධ උනන්දුවක් ගොඩක් දෙනා තුල තියෙනවනේ.

      Delete
    5. 'එහම් කරන කොට අපේ අතර සිටි මිතුරියක් වෙනත් දහමකට ගියා'. එහෙම වෙන්න පුලුවන් අජිත්. හොඳම දේ මේ වගේ දේවල් ගැන යම් මට්ටමකට විවෘතව බලන්න පුලුවන් අය එක්ක විතරක් කතා කිරීම. නැත්නම් ඉතාම අප්‍රසන්න සිදුවීම් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ.

      පැතුම් කියනවා වගේ මමත් හිතන්නෙ මේවා ගැන කතා කිරීම විවේචනයක් නෙවෙයි. අපි හිර වෙලා ඉන්න තැන් තේරුම් ගැනීමක්. මම බෞද්ධ පරිසරයක ඉපදීම, හැදී වැඩීම ගැන මම ඉතාම කෘතවේදීයි. නමුත් අර පාරුව කරේ තියාගෙන යනවා වගේ සමහර තැන් තියෙනවා පැතුම් කියලා තියෙන විදිහට දකින්න ඕනෙ. 'එංගලන්ත බෞද්ධ' හොඳ option එකක්.

      Delete
    6. Lotus, ඔබට පුළුවන් නම් J. ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා අහල බලන්න. යු ටියුබ් එකේ තියෙනවා.

      Delete
    7. පැතුම්- මම හිතන්නෙ මම එකක් විතර අහලා ඇති. මට ඔහුගේ ඉංග්‍රීසි භාවිතාව ටිකක් විතර old school වගේ දැනෙනවා (ඒ මගේ සිතීමේ වැරැද්දක්). මන් හිතන්නෙ ඒනිසා කම්මැලි හිතෙන්න ඇති. නමුත් ට්‍රයි කරන්නම්. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

      Delete
    8. Lotus, මම ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා ඇහුවේ මිට අවුරුදු 15-18 කට විතර කලින්.. ඒ දවස් වල මට ඉංග්‍රීසිත් බැහැ. නමුත් ඔහු කියන දේ වල තියෙන ගැඹුර මට තේරුම් ගන්න පුළුවන් වුණා. ක්‍රිෂ්නමුර්ති තුමා කියන්නේ බුදු වරයෙකුට තියෙන අවබෝධය එලෙසින්ම තිබුණු කෙනෙක් විදියටයි සැලකෙන්නේ, ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ කියල තියෙන්නේ ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා කියන්නේ අභිධර්මයට තියෙන අටුවා ටීකා හා සමානයි කියල.

      අපිට මග හැරුණු කාලෙක හිටපු කෙනෙක්... අමාරුවෙන් හරි අහන්න පුළුවන් නම්.

      මිට අමතරව මගේ ගුරුතුමා වෙච්ච A.S බාලසුරිය මහතාගේ youtube චැනල් එකටත් ගිහින් බලන්න. ඔබ මේ ගැන උනන්දු නිසයි මම මේවා දාන්නේ..

      https://www.youtube.com/user/balasooriyaas/videos

      Delete
    9. හෙජමොනිය කියන්නේ අවධියක තියෙන වඩාත්ම බලපාන මතවාදයට. සිංහල බෞද්ධ කියන එක තමයි අද ලංකාවේ දෙහ්ස්පලනයේ ප්‍රධානම මෙහෙයවන බලවේගය හෙවත් හෙජමොනිය. ඒක සාර්ථකව ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා. සජිත්ලා හෙම උත්සහ ගත්තත් සාර්ථක වුනේ නැහැ. විජේවීර පවා එකට යටවෙලා හිටියේ. මම කියන්නේ විවේචනය කිරම මේ වගේ සංවාදයක් ලෙස කළ හැකියි.

      Delete
    10. මම ක්‍රිෂ්නමුර්ති කියවන්න පටන් ගත්තේ ඒ ඩබ් අදිකාරම් ගෙන් පොත් කියවල. අපේ පන්තියේ ඕකට වහ වැටිච්ච යාලුවෙකුට අපි නම තිබ්බේ ක්රිශ්නමුර්ති කියල. පැතුම් , ක්‍රිෂ්ණ මුර්ති නිරාගමිකයි නේ.

      Delete
    11. ඔව් ක්‍රිෂ්ණමුර්ති නිරාගමිකයි තමා.. නමුත් අපි හැදුනේ සහ ඉන්නේ ආගමික පසුබිමේ හින්ද සමහර ආගමික දේවල් වලට ආසාවක් තියෙනවා මට නම්.. උදාහරණයක් විදියට මම කැමතියි බෝගස් යට, රුවන්වැලි සෑය වගේ තැන් වල පාඩුවේ ඉඳගෙන ඉන්න... වැඳීමත් කරනවා ඒ වගේ තැනකට ගිහින් අමුතු චරිතයක් වෙන්න ඕනේ නැති හින්ද.. නමුත් ඒක ඉරියව්වක් විතරයි ඉතින්..

      ඊට පස්සේ මම ආසයි හින්දු කෝවිල් වල ගන්ටාර සද්දෙට... ඒ යාතිකා වලත් පොඩි ගතියක් තියෙනවා

      මුස්ලිම් ගෑනු ළමයි එක්ක පොඩි පොඩි එව්වා මෙව්වා තිබ්බ කාලවල දවසට 5 ක් වරක් අර ලවුඩ්ස්පිකර් යාතිකාව අහන් ඉන්නේ එකෙත් පොඩි මෙව්වා එකක් තිබ්බ හෙහ් හෙහ්...

      මට හිතෙන්නේ ආගමකට හිර නොවී ඉන්න එක හොඳයි කියල නිරාගමික කියල ආගම් එක්ක ගැටෙන්නේ නැතුව..

      Delete
  11. //මේ කරුණු ගැන කතා කරන හැම වෙලාවෙම මට හිතෙන දෙයක් තමා අනාගතේ දවසක අඟහරු හෝ වෙනත් ලොවක ඇතිවන මිනිස් ජනාවාසයක් දැනට මේ ලොවෙහි තියෙන කිසිම ආගමික සංකල්පයක් නැතුව බිහි කලොත්, ඒවායේ උපදින දරුවන් කොහොම හැසිරෙයි ද කියන එක, ඔවුන්ට ආගම නැතුව ජිවය සහ ජීවයේ පැවැත්ම විතරක් උගන්නල, ජීවයේ පැවැත්මට අවශ්‍ය යහපත සහ අයහපත විතරක් කියල දුන්නොත්, ඔවුන් පෘතුවියේ ඉන්න අපිට කලින් මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න ඉඩක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද..?// එංගලන්තයේ හුඟක් වෙලාවට ළමයි හදන්නේ එහෙම. අපේ ළමයි දෙන්න ක්‍රිස්ටියන් පාසලකට ගියේ. හැබැයි බෞද්ධ පන්සලකටත් ගියා. (ටිබෙටන්) පස්සේ දෙන්නම ආගම අත හැරිය. ලොකු දුව ආයෙත් පල්ලි ගියා යෙහෙලියක් යන නිසා. දැන් බෞද්ධ කියල කියනවා. මොන තෙරුමෙන්ද කියල එයාම තමා දන්නේ. පොඩි එක්කෙනා මන් වගේම නිරාගමික. ඒ කියන්නේ කෙටියෙන් කීවොත් එංගලන්ත බෞද්ධ (තේරුනාද මන්ද)

    ReplyDelete
    Replies
    1. මමත් මොන ආගමේද කියල ෂුවර් නැති, ගහකට ගලකට උනත් වැඳගෙන ඉන්න පුළුවන් ජාතියේ. නමුත් මම හිතනවා බුදු දහමේ තියෙන ගැඹුරු දේවල් ඕනේ කෙනෙකුගේ ජිවිතයට වැදගත් කියන එක. නිරාගමික වෙලා ආගම් සමග ගැටෙන්න මට කම්මැලියි.

      මම මේ දවස් වල සෙන් සහ ඕෂෝ කියවනවා..

      Delete
    2. නිරාගමික කියන වචනයේ ලංකාවේ තේරුම වෙනස් එකක්. ඒ ගොල්ලෝ ගැටෙනවා. එංගලන්ත බෞද්ධ කියල කිව්වේ ඒකයි . නිරාමිස සුවය අහල නැත්ද? නිරාමිස - ආශාවක් නැති, ඇල්මක් නැති එක, බුදු දහමේ ප්‍රධාන දෙයක්. ආශා ප්‍රහින කල. බුදු දහමට වුනත් ලේබල් ගහගෙන ඇලෙන්නේ නැතිව ඉන්න එක. එංගලන්තයේ බෞද්ධ නිරාගමිකයි න් සටන් කරන්න යන්නේ නැහැ.

      Delete
    3. මාත් එහෙම තමා ඉතින්... හැබැයි මම ඔය දාන මාන දෙන වැඩ, පල්ලි , කෝවිල් වලට යන එක වගේ දේවල් කරන්නත් අකමැත්තක් නැහැ.. ඒවා හරි විනෝදජනක වැඩ .. හෙහ් හෙහ් ..

      Delete
  12. මගේ ආගම් පිළිබ්ඳ වර්ථමාන කියවීම තමා දැන්, බුදුන් හෝ ජේසුස් වදාල දහම් කොහෙවත් නෑ, දැන් තියෙන්නෙ ඒ ඇසුරෙන් ගොඩ නගාගත්තු හොඳ බිස්නස් විතරයි..

    (දැන් ලංකාවෙ බුදු කෙනෙක් පහල වෙලා ඉන්නෙ. පුළුවන්නම් එයාගෙන් බණක් අහලා ගොඩ යන්න බලන්න :D )

    ReplyDelete
    Replies
    1. සෙන්නා, දැකීම සතුටක්. ඔය මොන බුදුන් ද කියල කිව්වා නම් ලේසියි නේද ? කීප දෙනෙක්ම ඉන්නවනේ.. :)

      Delete
    2. හුටා කීප දෙනෙක්ම් ඉන්නවද දැන්? මම කිව්වෙ සමන්ත බඩ්ඩ තථාගතයන් වහන්සේ ගැන...

      Delete
    3. එතුමා කියන දේවල ගත යුත්තක් තියෙනවා නේද හැසිරීම සාම්ප්‍රදායික නොවුනට... බොරු පින්වත් චරිතෙට වඩා අවංකයි මම නම් හිතන්නේ..

      Delete
    4. හොඳට ඉගෙන ගෙන කියවල තියනවා, ඒ දැනුම භාවිතා කරනවා ගේම් වලට.

      Delete
    5. අජිත් හිතන්නේ සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ කතා කරන්නේ පොත පතින් ගත්ත දැනුමෙන් කියල ද ? මට නම් හිතෙන්නේ ගැඹුරු අවබෝධයක් තියෙනවා කියල... හැසිරීම සාම්ප්‍රදායික නොවෙන්නේ එකක් ඒ අවබෝධය හින්ද සහ අනිත් එක උවමනාවෙන්ම ඉන්න පුජකයින්ට සහ ආගමික ක්‍රම වලට පහර ගහන්න ඕනේ හින්ද කියල...

      Delete
  13. //ඊට පස්සේ මම ආසයි හින්දු ...XXXX ගෑනු ළමයි එක්ක පොඩි පොඩි එව්වා මෙව්වා තිබ්බ කාලවල .....යාතිකාව අහන් ඉන්නේ එකෙත් පොඩි මෙව්වා එකක් තිබ්බ හෙහ් හෙහ්...//

    "බයිසිකල් මතක" කියෙව්වා. මම කැමතියි ඔබ ලියන රටාවට. බොහොම අත්දැකීම් බහුලයි කියල පේනවා. නරකද බයිසිකල් මතක දෙවන කොටස, ඒ අනුසාරයෙන් ප්‍රබන්ධයක් විදිහටවත් ලිව්වොත්? හැකි නම් සලකා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා, පරණ දේවල් ලියන්න ආසාවක් ඇවිල්ල තියෙන්නේ ටික ටික ලියන්නම්... පොඩි කාලේ අත්දැකීම් තමා වැඩි.. මේ නොරටක හිර වුනාට පස්සේ මෙලෝ රහක් නැතිව ඉන්නේ .. හෙහ් හෙහ්

      Delete