Friday, March 15, 2013

පිළිකාව, ජීවිතය සහ මරණය

තමන්ට පිළිකාවක් තියෙන බව දැන ගත්ත වෙලාවට කෙනෙකුට මොනවගේ හැඟීමක් එනව ඇද්ද? ඉස්සෙල්ලාම මරණ බය දැනෙනවා ඇති. ඊට පස්සේ ටිකෙන් ටික ලෙඩේ ගැන පොසිටිව් විදියට හිතල කොහොම හරි ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් හොඳ කර ගන්න හිතෙනවා. ඊට පස්සේ එක එක දොස්තරවරු, ලෙඩේ හැදිච්ච අය/ හොඳ වෙච්ච අය ගැන හොයල බලනවා. ටිකෙන් ටික බෙහෙත් ගන්න, ඉන්ජෙක්ශන් ගහන්න, කරන්ට් අල්ලන්න පටන් ගන්නවා. ටික ටික කොන්ඩෙ එහෙම යන්න ගන්නවා. මේ ඉන්ජෙක්ශන් ටික ගහල ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ හරි යයි. දොස්තර මහත්තයත් කිව්ව දැන් බය වෙන්න දෙයක් නෑ කියල... සැනසිල්ලක් හිතේ ඇඳෙනවා. 

ඊළඟ දවසේ ක්ලිනික් එකට ගියාම කර්න්ට් එක ටික අල්ලන්න ඕනෙ කියනවා. බය වෙන්න දෙයක් නෑ කියනවා. ටික කාලයක් කර්න්ට් එක අල්ලනවා. ටික ටික හම කළුවෙලා පිච්චිලා යන්න ගන්නවා. මේ සැරේ කර්න්ට් එක අල්ලල මේ ඉන්ජෙක්ශන් ටික ගැහුවට පස්සේ හරි..  සතියක් දෙකක් යනවා. කන්න බෑ.. කිසිම රසක් දැනෙන්නෙ නෑ.. ටික ටික කෙට්ටු වෙනවා. පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙනවා. දැන් සෑහෙන දුරට අඩුයි ඉතිරි වෙලා තියෙන ටික කපල අයින් කළාම හරි. ඔපරේෂන් එකෙන් පස්සේ නහයෙන් බටයක් දාල කෑම දානව. කතා කරන විදිය වෙනස් වෙනවා. වචන හරියට ශබ්ද වෙන්නේ නැතුව යනවා. දැන් හරි කෑම ටික වැටිල ඇඟට පණ ආවම හරි. 

ඔපරේෂන් එකෙන් කෑල්ලක් කපල අයින් උනත් මොකද අඩු වෙනවනම්... අසරණ කම ඇස් වලින් දෝරේ ගලනවා. ටික දවසකින් බට අයින් කරල කන්න ගියාම කෑම කන්න බෑ.. ගිල ගන්න බෑ.. රසක් දැනෙන්නෙ නෑ.  පිළිකා හොඳ කරන හාමුදුරු කෙනෙක් ඉන්නවලු. ගිහින් බැලුවනම් හරි. බස් එකේ නැඟල දවසක් තිස්සේ බස් එකේ මැදිරිගිරියට ගිහින් බෙහෙත් අරන් එනවා. ඒ කසාය,ගුලි හදල බොනවා. සති ගානක් කරනවා. සිංහල බෙහෙත් වලට මුලින් ලෙඩේ වැඩි කරලනේ අඩු වෙන්නේ. ඉවසන්නම බැරි තරම් තත්වේ අමාරු වුණහම ආයේ පිළිකා රෝහලේ ක්ලීනික් එකට යනවා......


මහරගම පිළිකා රෝහලේ මේ චක්කරේ ගෙවන පිළිකා රෝගීන් කී දාහක් ඉන්නව ද?  හැමෝගෙම මූණේ තියෙන්නේ බලාපොරොත්තුව.  ටික ටික වැහැරිලා දුර්වල වෙලා.. ඇවිදින ඇටසැකිලි වෙනකම් ම බලාපොරොත්තුව. ඊයේ රෑ අර ඇඳේ හිටපු ලෙඩා මළා, අන්න අර ඇඳේ ලෙඩාටත් හාමුදුරු කෙනෙක් ගෙනල්ල පිරිතක් එහෙම කියෙව්වා. අදත් සේලයින් වලට දාල බෙහෙත් දුන්නා. මේ බෙහෙත් ටික බිව්වට පස්සේ අඩු වෙයි. ගෙදර යන්න පුළුවන් වෙයි. පිළිකා රෝහලේ වාට්ටුවල්,කොරිඩෝවල දාල තියෙන ඇඳන් උඩ/යට  කී දාහක් මේ  වගේ ඉන්නවද?

මම කවදාවත් පිළිකා රෝහලට ගිහින් තිබුණේ නෑ. මීට මාස 8කට විතර කලින් ජයතිලක අයියට පිළිකාවක් තියෙනව කියල දැන ගත්ත දා ඉඳන් සතියට කීප සැරයක් උදේ හවස මම පිළිකා රෝහලට ගියා. ජයතිලක අයිය කියන්නේ අපේ ලොකු අම්මගේ දුවගේ මහත්තයා. වයස 52යි. ගොඩක් කල් හිටියේ රට. ලොකු ජොබ් එකක් නෙවෙයි මැදපෙරදිග ගිය තවත් එක් ශ්‍රමිකයෙක්. කන බොන චරිතයක් හැබැයි වලි නෑ සද්ද නෑ හරි නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වුණා. හිත හොඳයි. කුහක කම්, මහන්තත්ත කම් නෑ. ඕනෙ වැඩකදි බැහැල කරනවා. කවුරුත් කියන්න ඕනෙ නෑ. දැක්ක තැන හිනා වෙලා කතා කරල පොඩි විහිළුවක් කරල ඉන්න චරිතයක්. මම දන්න කාලේ ඉඳන් අපේ 60ක් විතර ඉන්න පවුලෙ කවුරුවත් ජයතිලක අයියට බනිනවා මම අහළ නෑ. රට ඉන්නකොට නැති පාලුව ගැන තමා අවුරුද්දට කට්ටිය සැට් වුණාමත් කියන්නේ.

ඔය උඩින් මම ලිව්වේ පහුගිය මාස 8ටේ ජයතිලක අයියගේ ජීවිතේ ගෙවිල ගිය හැටි බොහෝම කෙටියෙන් සරලව මම දැක්ක විදියට. ජයතිලක අයියගේ පිළිකාව තිබුණේ එයාගේ දිවේ. බෙහෙත් වලින්, කරන්ට් එකෙන් හොඳ වෙන්නේ නැති වුණාම දිවෙන් කෑල්ලක් කපල දැම්මා. ඒත් ඉවරයක් වුණේ නෑ...

මම ගොඩක් දවස් වලට උදේ 6ට බලන්න යනවා. අද කොහොමද? අවුලක් නෑ මල්ලී.. දොස්තරල බෙහෙත් දෙනවා අපි බොනවා. ඒයාල එක එක ඒව කරනවා අපි බලන් ඉන්නවා. ඔය මොකක් හරි වෙන්නේ නැතෑ. වැඩිම වුනොත් මැරෙයි නේ. ඊට වඩා වෙන මොනව වෙන්නද? මමත් ඉතින් ඔය ඕපදූපයක් හරි මොකක් හරි බයිලයක් කියව කියව ඉඳල එනවා. මම ඒ ගිය මාස 8ම එකම දවසකවත් ලෙඩේ ගැන කලකිරීමෙන්, දුකින්, කතා කලේ නෑ.. කතා කරන්න බැරි නම් හිනාවක් දාල ඉන්නව මිසක් දරුවෝ ගැන, අක්ක ගැන පවුල ගැන කෙඳිරිගගා දුක කිව්වේ නෑ. ජීවිතේ ගැන කලකිරීමක් නෑ, සංසාර දුක වගේ මහ්ප්‍රාණ බුදු බණ කතා කලේ නෑ. සිද්ද වෙන දේට මූණ දුන්නා හැම වෙලේම සුභවාදීම හිනා වෙලා. ඇඳෙන් නැඟිට ගන්න බැරි වෙනකම් තමන්ගේ වැඩ ඔක්කොම කර ගත්තා. අඩුවෙලා ගෙදර ගිහින් හිටපු දවස් වල ගෙදර වැඩ කළා, දර පැලුවා, ලිඳෙන් වතුර ඇදල රෙදි සේදුව. ඔය හැම එකම කලා.. ඇඟේ ශක්තිය ඉතිරිවෙලා තියෙනකම් හිටියේ සැහැල්ලුවෙන්. ඒක මවාගත්ත සැහැල්ලුවක් නෙවෙයි. සිද්ද වෙන ඕනෙ දේකට මූණ දෙන්න සූදානම් වෙලා ජීවත් වෙච්ච නිසා ආපු සැහැල්ලුවක්.

පහුගිය පෝය දවසේ මම ගිය වෙලේ ළඟ තිබ්බ එක්ස්-රේ එකක් අරන් කියනවා දැන් මටත් මේව කියවල තේරුම් ගන්න පුළුවන්. ටික කාලෙකින් බෙහෙත් දෙන්නත් පටන් ගන්න පුළුවන් තරම් මම දැන් සබ්ජෙක්ට් එක දන්නව කියල.. එතකොට හිටියේ හරියට කතා කරගන්නවත් බැරි, කෙලින් ඉන්නත් බැරි තරම් අමාරුවෙන්. නාහෙට බටයක් දාල සෙම හිරවෙවී ඉන්න වෙලාවක ගොත ගගහ ඔය ටික මාත් එක්ක කිව්වේ. එදා මම ඔලුව අත්ගාල මම ගිහින් එන්නම් කිව්වම, ඇඟේ ඉතිරි වෙලා තිබ්බ ඔක්කොම ශක්තිය දාල මගේ අත මිරිකුවා. ඇස් වල තිබ්බේ කියා ගන්න බැරි හැඟීමක්.

පෝයට පස්සේ ආපු සෙනසුරාදා උදේ මම ගියාම බොහෝම අමාරුවෙලා හිටියේ. යන්තම් ඇස් දෙක ඇරල බලල නිදා ගත්තා. එදා හවස ගෙදර කට්ටිය ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්කන් ගිහින් පිරිත් ටිකක් කියල පිරිකරක් එහෙම පූජ කෙරෙව්වා. හොඳ සිහියෙන් ඒ හැම දේටම සහභාගි වුණා. 

ඉරිදා පාන්දර 3.30ට දිමුතු අයීයා මට කෝල් එක්ක දුන්නා ජයතිලක අයියා නැති වුණා කියල.

පාන්දර 2.00ට විතර කිසි සද්දයක් නැතුව නින්දෙන්ම පණ ගියා කියල ඉස්පිරිතාලේ ළඟ නැවතිලා හිටිය ජයතිලක අයියගේ මල්ලි කිව්වා.

එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැති බව අපි දැනගෙන හිටියා. දොස්තරල කිව්වා පිළිකාව ගොඩක් පැතිරිලා වැඩි කාලයක් ඉන්න එකක් නෑ කියල. හැබැයි ජයතිලක අයියගෙ ජීවිතේ ගැන තිබ්බ ආකල්පය, ලෙඩේ ගැන තිබිච්ච සැහැල්ලුව අපි හැමෝටම බලාපොරොත්තුවක් දුන්නා. ජීවිතේ ගැන එහෙම දකින්න එයා ඉගෙන ගත්තේ මොන ස්කෝලෙන් ද? මොන විශ්ව විද්‍යාලෙන් ද? හතර පෝයට සිල් අරන්, මහා පිං කම් කරල, දාන මාන දීල මහා ගොඩක් පින් රැස් කරල ඉවර වෙලා නෙවෙයි එයා ජීවිතේ තේරුම් ගත්තේ. මනුස්සයෙක් විදියට ගමේ ගොඩේ හන්දි ගානේ, ත්‍රීවීල් පාක් වල, කම්කරු රස්සාවල් වල, මැදපෙරදිග කාන්තාරවල ජීවත් වෙද්දි එයා ජීවතේ ගැන ඉගෙන ගන්න ඇති. සමහරවිට කට්ටිය එක්ක සෙට් වෙලා අඩියක් ගහද්දි, සිගරට් එකක් බොද්දි එයා ජීවිතේ ගැන තේරුම් ගන්න ඇති.

සාම්ප්‍රදායික ආකල්ප වලින් පිරිච්ච අහිංසක අම්මගේ, නංඟිලගේ, මල්ලිලගේ, දරුවන්ගේ,බිරිඳගේ හිත සැනසෙන්න දවස් කීපයක් ගෙදර තියාගත්ත මිනිය පාංශකූලේ දීල ඉවර වෙලා ගෙදරින් එළියට ගනිද්දි මොර සූරන්න වැස්සක් පටන් ගත්තා.  එකට කාපුබීපු නෑදෑයෝ ටික, හන්දිවල රස්තියාදු ගහපු කොල්ලො ටික මහ වැස්සේ හැතැක්ම 2ක් විතර පාර දිගේ පෙට්ටිය කරේ තියන් ගියේ, අකුණු ගහද්දි මඩ නාගෙන තමන්ගේ එකාගේ මිනිය තමන්ගේ අත්වලින් ම වළ දැම්මේ ඒ මනුස්සයගේ මොන දේ නිසාද? මොන වැදගත් කම නිසාද?  පාරවල් උතුරල යන්න ඒ වැහැපු වැස්සෙන් මිනිස්සුන්ගේ දුක හේදිල ගියා වගේ.

මට දුක ඒ වැස්සේ තෙමීගෙන ජයතිලක අයියගේ මිනියට කරගහන්න බැරි වෙච්ච එකට. මම ගරුතර මහා සංඝරත්නය වාහනයෙන් පන්සලට වැඩම කරවන්න ඒ වෙලාවේ ගිහින් හිටියේ.

මැරෙනව කියල දැන දැනත් ආතල් එකේ ජීවිතේට මුණ දීපු උඹ මළාට පස්සේ නරක තැනකට යන්න විදියක් නෑ අයියේ.. නිවනත් උඹට ගොඩක් දුර වෙන එකක් නෑ.  පස්සේ වෙලාවක ආයේ සෙට් වෙමු.

Friday, March 01, 2013

පෙබරවාරිය පාළු නොවනු පිණිස...

ලියන්නට කිසිවක් ඉබේ මතක් නොවූයෙන් ද
සිතා මතා කිසිවක් ලියන්නට තරම් ඉස්පාසුවක් නොමැති වූයෙන් ද
ප්‍රියකරන පෙබරවාරිය තනි නොකරණු පිණිස
මේ පද සතර මෙසේ ලියා නිදාගමි.

Friday, February 01, 2013

සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 2 කොටස

මේකේ මුල කොටස මෙතනින් බලන්න පුළුවන්...

ඊයේ සීන් එක නතර වුණේ බිල් ගේට්ස් එයාගෙ DOS ඔපරේටින් සිස්ටම් එක ලියන්න පටන් ගන්න තැනිනුයි ස්ටීව් ජොබ්ස් Xerox PARC එකෙන් ගත්ත තාක්ෂණයෙන් එයාගේ APPLE 2 පරිගණකයට අලුත් මුහුණුවරක් ගේන්න යන තැනිනුයි නේ.

ස්ටීව් ජොබ්ස් කියන්නේ මොනවගේ පාලකයෙක් ද කියන දේ මේ ෆිල්ම් එකේ සෑහෙන්න හොඳට මතු කරල තියෙනවා. ඔහු වෙනම ලෝකෙක ජීවත් වෙච්ච හැමදේම වෙනස් විදියට බලපු චරිතයක් නේ.. ඔහුගේ ඒ ගති ගුණ හොඳ සහ නරක යන දෙවිදියටම ඔහුට බලපාල තියෙනවා. ඔහුට දාව ඔහුගේ පෙම්වතියට උපදින දරුවා ඔහු ප්‍රතික්ෂේප කරනවා. සෑහෙන කාලෙකට පස්සෙ ඔහු ඒක පිළිගත්තත් මුල් කාලෙදි හරිම දඩබ්බර විදියට තමා හැසිරෙන්නේ.

ඇපල් 2 එකෙන් පස්සේ බිල් ඊළඟ නිපැයුම ලෙස Apple Lisa නමින් ඔහු තවත් පරිගණකයක් නිපදවනවා. මේකේ Lisa කියන නම ඔහු දාන්නේ ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ඔහුගෙ දියනිය ඔහු විසින් ම දාපු  නමමයි.
මේ කාලෙදි ඇපල් සමාගමේ සභාපති ලෙස ලෝක ප්‍රකට පෙප්සි කෝලා සමාගමේ සභපති ලෙස වැඩ කරපු John Sculley ව බඳවා ගන්න ස්ටීව් ජොබ්ස් සමත් වෙනවා. ඔහු එය කරන්නේ බොහෝම අපූරු කියමනකින්.. ඔහු John Sculley ගෙන් අහන්නේ. "Do you wanna sell sugared water for the rest of your life or you wanna make history?" කියල. 

Lisa  ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් යොදාගෙන හදපු පළමු වෙනි ඇපල් පරිගණකය උනත් ඒක එතරම් සාර්ථක වෙන්නෙ නෑ. 

මේ තියෙන්නේ Apple Lisa පරිගණකය.



මේ අතරේ බිල් ගේට්ස් IBM එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ DOS එක සහ තව තව සොෆ්ට්වෙයාර් වැඩ. ඔය අතරෙදි බිල් ගේට්ස් දකිනවා මේ Lisa  පරිගණකය . එතෙන්දි ඔහු තේරුම් ගන්නවා IBM  සමාගමට ලේසි වෙන්නෙ නෑ කියන එක. මේ අතරේ ස්ටීව් ජොබ්ස් මේ අලුතින් ගත්ත තාක්ෂණ සියල්ල දාල හදනවා එයාගේ අලුත්ම MACINTOSH පරිගණකය. 1984 ජන්වාරි මසේ 24 වෙනිදා ඇපල් සමාගම නිල වශයෙන් මේක වෙළඳ පොළට නිකුත් කරනවා. මේක තමයි මවුස් එකක්, ග්‍රැෆිකල් යූසර් ඉනටර්ෆේස් එකක් ,සහිත එකම පුද්ගලික පරිගණකය.  මේ සමඟම ඇපල් සමාගමේ ආදායම් සිතාගත නොහැකි ලෙස වැඩි වෙනවා.. ඇපල් කියන නම ටිකෙන් ටික දැවැන්ත වෙනව මේ කාලෙදි

මේ තියෙන්නේ MACINTOSH  පරිගණකය.




මම පස්සෙ දැනගත්ත විදියට MACINTOSH  කියන්නේ ඇමරිකාවේ හැදෙන එකතරා ඇපල් විශේෂයක් ලු. 

මරු සීන් එකක් තියෙනවා ඔහු ඇපල් සමාගමට අලුත් සේවකයින් ගන්න ඉන්ටර්විව් කරන අවස්ථාවක්. බොහෝම රාජකාරි මට්ටමින් ඉන්ටර්විව් එක කරගෙන යන තැනට ස්ටීව් එනවා කොට කලිසමක් ගහගෙන සෙරෙප්පු නැතුව. ඔහු පෙම්වතිය සමඟ වලියක් දාගෙන ටිකක් තද වෙලා තමයි එන්නේ. ආපු ගමන් ඉන්ටර්විව් එක කරන කෙනා ස්ටීව් ව හදුන්වා දෙනවා. ඊට පස්සේ සිද්ද වෙන දේ දිහා ටිකක් බලා ඉඳල ස්ටීව් අර ආපු කෙනාට කියනවා "You are an IBM Type" කියල. අර මිනිහ පොඩ්ඩක් අවුල් ගිහින් ඒක සාධාරණීකරනය කරන්න ට්‍රයි කරනව. කතාව යන අතර තුරේදි ස්ටීව් ගන්නව කකුල් 2 මේසෙ උඩට.. අර පොර දැන් ෆුල් අවුල්... ඔහොම ටිකක් වෙලා අර මනුස්සය දිහා බලාගෙන ඉඳල ස්ටීව් අහනව "Are you a virgin?" කියල... හික් හික්... අනාතයි නේද? අර යකාට කට උත්තර නැති වෙනවා.. 

අන්තිමට ස්ටීව් ඔහුට කියනව එයාව ඇපල් සමාගමට සුදුසු නෑ කියල...

මේ වෙලාවේ මෙතන ඉන්නව ස්ටීව් ගේ යාළුවා වොස්නියැක්. ඔහු මේ ගැන හොඳටම කලකිරිල ස්ටීව් ට කියනවා ඒ කරපු දේ වැරදියි කියල. අන්න ඒ වෙලාවේ ස්ටීව් ජොබ්ස් බොහොම ලස්සන කතාවක් කියනවා. ඔහු කියනවා අපි දැන් මේ කරන්නේ අපේ ආයතනයේ දොරවල් විවෘත කරන එක. අපි එක වැරදි දොරක් හරි විවෘත කලොත් බොහෝ නරක දේවල් ආයතනය තුලට එන්න පුළුවන් කියල.

කොහොම වුනත් වොස්නියැක් ස්ටීව් ගේ ක්‍රියාකලාපයන් ගැන ඔහුට අවවාද කරනවා. 

බිල් ගේට්ස් මේකට හාත්පසින් ම වෙනස් චරිතයක්. මිනිහ කූල් එකේ වැඩ කරනවා ඒ වගේම හීන් නූලෙන් වැඩ කරන්න දක්ෂයා.ඇපල් සමාගමේ නිපැයුම් දකින බිල් ගේට්ස් තේරුම් ගන්නව ඔවුන් ඇපල් එකත් එක්ක වැඩ කිරීමේ අවශ්‍යතාවය. බිල්,පෝල්,බෝල්මර් 3 දෙනා යනවා ඇපල් සමාගමට. ස්ටීව් ජොබ්ස් මෙයාලව මායිම් කරන්නේ නැතුව ඉන්න අතරෙදි බිල් ගේට්ස් ලස්සනට ස්ටීව් ජොබ්ස්ට බෝලෙ බස්සනවා. කාගෙත් පොදු සතුරා වෙච්ච IBM එක බිල් ගේට්ස් එතෙන්දී ස්ටීව් ජොබ්ස්ට විකුණනවා.. කොහොම හරි බිල් ගේට්ස් ඇපල් එකට සොෆ්ට්වෙයාර් ලියන වැඩේ තමන්ගේ අතට ගන්නවා. මයික්‍රොසොෆ්ට් එක්සෙල් කියල අපි දැන් දන්න වැඩසටහන් තමයි බිල් ගේට්ස් මාකට් කරන්නේ. ඔය ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එකත් මයික්‍රෝසොෆ්ට් එකෙන් සල්ලි දීල අරන් දියුණු කරපු එකක්. 

ඔන්න ඔය විදියට තමා මුල් කාලෙදි බිල් ගේට්ස්,ස්ටීවි ජොබ්ස්,ඇපල්,මයික්‍රෝසොෆ්ට් වැඩ කරන්නේ. ස්ටීව් ජොබ්ස් ඔහුගේ අනාගත දැක්ම නියම විදියට මේ කාලෙදි පාවිච්චි කරනවා. ඔහු සිය සේවකයින් ව පෙර කවරදාවත් නොවූ විරූ විදියට හිතන්න පුරුදු කරවනවා. ඒ වගේම බොහොම දරුණු විදියට මිනිස්සුන්ගෙන් වැඩත් ගන්නවා. ඔහුගේ සිතේ මැවෙන දේ ඒ විදියටම සිද්ද වෙනකම් ඔහු අතාරින්නෙ නෑ. බොහොම දරුණු පාලකයෙක් හැබැයි ඒ වගේම සමාගමේ සම්පූර්ණ අනාගතය නිවැරදිව තීරණය කිරීමේ හැකියාවත් ඔහු සතුව තියෙනවා. ඒක සේවකයෝ ඔක්කොමත් දන්නවා.

ෆිල්ම් එකේ එක තැනක දී මහ රෑ ස්ටීව් ඇවිල්ල බොහොම මහන්සිවෙලා වැඩ කර කර හිටපු සේවකයෙකුට බනිනවා. ඉවසගෙන ඉන්න බැරිම තැන මේ සේවකයා ජොබ්ස් ට කටින් ලේ එන්න ගහනවා.. හික්...

බොහෝ සේවකයෝ ඔහුට ත්‍රස්තවාදියෙකුට වගේ බයයි.. ඔහු ඇපල් සමාගමේ නිල කොඩිය විදියට ඒ කාලෙදි පාවිච්චි කරන්නේ අර මුහුදු හොරු පාවිච්චි කරන මීනී ඇටසැකිලි තියෙන රූපේ (දේදුනු පාට ඇපල් ගෙඩියකුත් එක්ක).  හැබැයි ඔහු ඒ හැම දේකින් ම නිර්මාණශීලී විදියට හිතන්න සිය සේවකයින්ට අනුබල දෙනවා. එහෙම කරන්න බැරි වෙච්ච එකා ඉවරයි.. :)

එක දිගට දවස් 2-3 මිනිස්සු වැඩ කරනවා. ඔවුන්ට ඇති තරම් බොන්න කොකා කෝල,පෙප්සි, කන්න පීසා සමාගම ගානේ ලබා දෙනවා.. හික් හික්... අවුරුදු බර ගානකට පස්සෙත් වෙන මොන සංකල්පේ නැති උනත්. ඔය කන්න බොන්න දෙන සංකල්පෙ නම් හැම සොෆ්ට්වෙයාර් කොම්පැනි එකකම තියෙනවා. 

ඔන්න ඔහොම දේවල් සිද්ධ වෙනකොට බිල් ගේට්ස් මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය එළියට 
දානවා. Microsoft Windows 1.0 විදියට. මේකත් ග්‍රැෆිකල් යූසර් ඉනට්ෆේස් එකක් සහිතව තමා එන්නේ. මේ 1985 අවුරුද්දෙ නොවැම්බර් මාසේ 20 වෙනිදා. 

කොහොම හරි මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් එළියට ආපු ඒක ස්ටීව් ජොබ්ස්ට ෆුල් අවුල් යන සීන් එකක් වෙනවා. ඔහු බිල් ගේට්ස් ට එන්න කියල බනිනවා ඔහුගේ තාක්ෂණය හොරකම් කළා කියල. බිල් ගේට්ස් වැඩි සද්ද බද්ද නැති හීන් නූල් කාරයනේ. ඔහු කවදාවත් ස්ටීව් ජොබ්ස්ට බනින් නෙ නෑ.. ඔහු බොහොම ලස්සනට ස්ටීව් ජොබ්ස්ට එත්තු ගන්නනවා තමන්ගේ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වලින් ඇපල් සමාගමට කිසිම තර්ජනයක් නෑ කියන එක. ඊට පස්සේ බිල් ගේට්ස්  ඔහුට කියනවා ඇපල් මැකින්ටොෂ් කියන්නේ කවදහරි බිල් එයාගේ අම්මට අරන් දෙන්න හිතාගෙන ඉන්න කොම්පියුටර් එක කියල... හි හි හි... බිල් ගේට්ස් ස්ටීව්ට කියනවා අපි ඔක්කොම එකම පවුලක් වගේ කියල..  හික් හික් හික්..

කොහොම වුනත් ඇපල් මැකින්ටොෂ් ලෝන්ච් කරන දවසෙදි ස්ටීව් ජොබ්ස් මයික්‍රෝසොෆ්ට් එක තමන් වෙනුවෙන් සොෆ්ට්වෙයාර් හදන බවටත් ඔවුන් එකම පවුලක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා . ඒ එක්කම IBM එකට විරුද්ධව ඔවුන් නිර්මාණය කරපු අර මුල් කොටසේ මම දාපු ඇඩ් එකත් ඔහු මේ වෙලාවෙ ප්‍රසිද්ධ කරනව.

ඇත්තටම් ස්ටීව් ජොබ්ස් දක්ෂයෙක්. නමුත් ඔහු සෑහෙන්න තමන් ව සහ තමන්ගේ නිර්මාණ අධිතක්සේරුවට ලක් කරගෙන හිටපු පුද්ගලයෙක්. අවංකවම ඔහුට එය හිමිවිය යුතු දෙයක්..

මේ සීන් ෆිල්ම් එකේ බලන්නම ඕනේ.. කිව්වට ඒ ගතිය එන්නෙ නෑ..

නමුත් පස්සේ ස්ටීව් දැන ගන්නවා තමන්ට ඉන්න ලොකුම තරඟ කරුවා IBM  නොවෙයි මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් කියන එක. ඒ වෙනකොට මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සහිත පරිගණක ජපානයටත් අපනයනය කරන්න තරම් බිල් ගේට්ස් සමත් වෙනවා.  අන්න එතෙන්දි ඔහු බිල් ගේට්ස් ට නැවත බනිනව.

මෙච්චර කල් සද්ද නොකර අහගෙන හිටපු බිල් ගේට්ස් ඇත්ත මොකක් ද කියන එක ඒ වෙලාවෙදි පැහැදිලි කරනව. හැම කාර් එකකම ස්ටියරිං වීල් තිබුණට කවුරුවත් ඒක තමන් සොයා ගත්තා කියල කෑ ගගහ යන්නෙ නෑ කියල ඔහු කියනවා. ඊට පස්සේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් ට මතක් කරනවා Xerox නොහිටින්න Xerox  ගෙන් ඔවුන් මේ අදහස් නොගන්න මේ කිසිදෙයක් මේ විදියට වෙන්නෙ නෑ කියල. ඒ එක්කම ස්ටීව්ට කලින් බිල්ගේට්ස් Xerox එකේ නවතම අදහස් තමන්ගේ වින්ඩෝස් වලට යොදා ගත්ත බවත් බිල් ගේට්ස් ස්ටීව්ට කියනවා. අන්න එතෙන්දි ස්ටීව් ජොබ්ස් බිල් ගේට්ස් ට පරදිනවා. මොකද බිල් ගේට්ස් ඇත්ත මොකක් ද කියන එක හරියට දැන ගෙන තමා වැඩ කරන්නේ. නමුත් ස්ටීව් ජොබ්ස් ඔහුගේ සිහින කෙසේ හෝ සැබෑ කරගෙන තමන් අනුන්ට වඩා ඉහළින් තබා ගෙන වැඩ කරන්න හදන කෙනෙක්. මෙතනදි අන්න ඒ දේ ස්ටීව් ජොබ්ස් තේරුම් ගන්නවා.

හරියට බුද්ධිමය යුද්ධයක් තිබුණු කාලයක් වගේ මේ කාලේ. බොහෝ වෙලාවට නියම දක්ෂයෝ සහ දක්ෂ කම් හරියටම ප්‍රයෝජනයට ගන්න නොදන්න දක්ෂයෝ අතරින් නියම දක්ෂයා නැත්නම් All Rounders ලා ජය ගන්නවා වගේ දෙයක් කිව්වොත් නිවැරදියි.

කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙන්නේ ස්ටීව් ජොබ්ස් සිය 30 වෙනි උපන්දිනය සමරන සාදයෙන්. එතනදි සමාගමේ සභාපති John Sculley බොහොම ලස්සන කතාවක් කරල ස්ටීව් ජොබ්ස්ට සුභ පතනව. නමුත් හරියටම ඊට මාස 3කට පස්සේ ඔවුන් ස්ටීව් ජොබ්ස්ව ඇපල් සමාගමෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ මොකද කියන එක ෆිල්ම් එකේ මම නොකියපු සමහර සිද්ධි නිසා බව ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙයි.

ෆිල්ම් එක ගැන ලියන්න තියෙන්නෙ මෙච්චරයි. මම බොහෝම සාරාංශ කරල මේ ලිව්වේ. මේ අපුරූ මිනිස්සු ගැන හැදුනු බලන්න වටින ෆිල්ම් එකක් ඒක. කොහොමද මිනිස්සු දියුණු වෙන්නේ කියන දේ ගැන අපිට අලුතින් හිතන්න පටන් ගන්න මේක නියමයි. ඇත්ත ඔවුන් නියම කාලෙදි නියම තැන ඉන්න වාසනාව ලබාපු මිනිස්සු. නමුත් ඔවුන් දියුණුව කවුරු හරි ගෙනත් දෙනකම් බලාගෙන හිටියේ නෑ. අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන ලෝක ඉතිහාසයම වෙනස් කලා. ඒත් අපි, තමන්ටම කියල ගෙයක් දොරක් හදාගන්නත් නොපෙනෙන දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. 

Thursday, January 31, 2013

සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 1 කොටස


සිලිකන් නිම්නය ගැන අපි හැමෝම වගේ දන්නව. දන්නේ නැත්නම් මෙතනින් විස්තර දැන ගන්න පුළුවන්. සිලිකන් නිම්නය අපේ කාලයේ තාක්ෂණික වීරයෝ ඔක්කොගෙම වගේ උපන් ගම කියන්න පුළුවන්. ඒ සිලිකන් මහගෙදර හිටපු සාමාන්‍ය කොල්ලෝ දෙතුන් දෙනෙක් මුලු ලෝකෙම වෙනස් කරපු කතාව නොදන්න අයට දැන ගන්න සහ දන්න අයට වඩා විස්තර සහිතව දැන ගන්න නියම වීඩියො ටිකක මට හම්බ වුණා.



ඔන්න ඔය ලින්ක් දෙකෙ තියෙන වීඩියෝ ටික පුළුවන් නම් හොයා ගෙන බලන්න. අපිට හිතන්නත් බැරි දේවල් 1970 දශකය වගේ කාලෙක පුංචි කොලු ගැටව් ටිකක් කරපු හැටි බලන්න පුළුවන්. ඉස්සෙල්ල Pirates of Silicon Valley බලල පස්සෙ The Triumph of the Nerds: The Rise of Accidental Empires (මේකේ කොටස් 3ක් තියෙනවා. 3ම බලන්න) තමයි මම නම් බැලුවේ. කොහොම බැලුවත් එකයි. 

මේක යාලුවෙකුගෙන් මට ලැබුණ එකක් නිසා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් දෙන්න විදියක් නෑ. හැබැයි හොඳ ටොරන්ට්ස් හොයා ගන්න අමාරු නෑ. මට කෝල් එකක් දීල ඔපිස් එක පැත්තේ ආවොත් පෑනකට ඔය ටික කොපි කරල දෙන්න පුළුවන් කැමති කෙනෙකුට..

හරි ඩවුන්ලෝඩ් කරල බලන්න විදියක් හරි එච්චර උනන්දුවක් හරි නැති අය වෙනුවෙන් මම සරලව පොඩ්ඩක් විස්තර කරන්නම්. 

කොම්පියුටර් කියන සංකල්පේ ගොඩක් පරණ දෙයක්. සාමාන්‍ය සැලකීම චාල්ස් බැබේජ් කියන කෙනා මුල්ම කොම්පියුටරේ හැදුව කියන එක. ඒ කියන්නේ 1812 දි විතර. මේ තියෙන්නේ සියවස් 2ක විතර තිස්සේ දියුනු වෙලා කාමර පුරා පැතිරුණ මේන්ෆ්‍රේම් යුගයෙන් ගෙදර මේසෙ උඩට කොම්පියුටරය කියන උපකරණය ගෙනාපු කතන්දරේ..

1970 ගනන් වලදි පරිගනක ලෝකයේ දැවැන්තයා වෙලා හිටියේ IBM සමාගම හැමෝම ආදරේට කිව්වේ BIG BLUE කියල. ඔවුන් පරිගණකය සැලකුවේ අතිශයින්ම සුදුසුකම් ලත් වැදගත් යැයි සම්මත මිනිසුන් කොට්ටාශයක් විසින් අතිශය වැදගත් කටයුතු සඳහා පමණක් භාවිතා කළ හැකි සම්භාවනීය යන්ත්‍රයක් විදියට. IBM කොම්පියුටර් ගැන අදටත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ ඒ වගේ හැඟීමක් (ටිකක පරණ පරම්පරා වල අයගේ). ඔවුන් ඒ සංකල්ප වලින් මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරල තිබ්බ කිව්වත් හරි..

1984 දි ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකට සිනමා අධ්‍යක්ෂක Ridley Scott ගේ අධ්‍යක්ෂනයෙන් නිපදවමු මේ වෙළඳ දැන්වීමෙ ඔය අදහස නියමෙට තියෙනව. මෙම දැන්වීම අදටත් ලෝකයේ හොඳම වෙළඳ දැන්වීම් අතර තියෙනවා. 




හරි ඔන්න ඔහොම BIG BLUE ඒකාධිකාරයකට යටත්ව මේ පරිගණකය තිබිච්ච කාලෙ ගැටවර වයසේ හිටපු නර්ඩ් කොල්ලො ටිකක් කරපු හපන් කම් ටිකක් තමයි මෙච්චර දුරක් මේ ලෝකේ ගෙනාවේ. 

කොම්පියුටරේ වැඩ කරන හැටි ගැන උනන්දු වෙච්ච ගොඩක් අය ඒ කාලේ ඔය සිලිකන් නිම්නය කියන හරියේ හිටියා. අපේ නම් නිකන් පංචිකාවත්ත වගේ කියල හිතමු. එක එක ගැජට් කෑලී වලින් එක එක සර්කිට් අටෝ අටෝ වැඩ කරන කොල්ලෝ තරඟෙට වගේ තම තමන්ගේ මිතුරන් අභිබවන්න එක එක විදියේ ගැජට් හදපු අපූරු පළාතක් මේක.

ඔය කාලෙදි MITS Altair 8800 කියල කොම්පියුටරයක් ගැන ඒ කාලේදි යන්තම් අවුරුදු 16-18 වගේ වෙලා හිටපු බිල් ගේට්ස්,පෝල් ඇලන්,ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක්,ස්ටීව් බෝල්මර් කියන අපේ වීරයෝ සෙට් එකට අහන්න ලැබෙනවා. මෙතන බිල් ගේට්ස්,පෝල් ඇලන්, ස්ටීව් බෝල්මර් කියන්නේ එක සෙට් එකකුත්

බිල් ගේට්ස්,ස්ටීව් බෝල්මර් 



බිල් ගේට්ස්,පෝල් ඇලන්



ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් කියන්නේ තව සෙට් එකකුත් විදියට තමා හිටියේ. ඒ කාලේදි Altair 8800 කියන්නේ සුපිරි භාන්ඩයක්. පොඩි පොඩි ස්විච් ටිකකුයි බල්බ් ටිකකුයි විතරක් තිබ්බට ඒක ඇතුළේ පරිගණක වල මූලික සංකල්ප කිහිපයක් තිබිල තියෙනවා. අන්න ඒ නිසයි මේ කොල්ලන්ට කාල ඉන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම හරි Altair 8800 එකක් ගන්න එක තමා ඔවුන්ගේ සිහිනය. තමන්ටම කියල පරිගණකයක්.

ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් 


මේ තියෙන්නේ MITS Altair 8800




ඔය කාලේ වෙනකොට COBOL, FORTRAN, BASIC වගේ පරීගණක භාෂා නිපදවල ඒවයෙන් මිනිස්සු වැඩ කර කර ඉඳල තියෙනවා. බිල් ගේට්ස් කියන්නේ අති දක්ෂ ප්‍රෝග්‍රැමර් කෙනෙක්. ස්ටීව් ජොබ්ස් ඒතරම්ම ටෙක්නිකල් නොවන නමුත් අනාගත දැක්මක් තිබ්බ අමුතුම විදියේ නිර්මාණශීලී චරිතයක්. කොහොම හරි ස්ටිව් ජොබ්ස් MITS සමාගමට ගිහින් ඒ කාලේ හැටියට ලොව පළමු පුද්ගලික පරිගණකය නිපදවපු Ed Roberts ගෙන් Altair 8800 එකක් සල්ලි වලට අරන් එනවා. හැබැයි බිල් ගේට්ස් කරන්නේ Altair 8800 පරිගණකයට දත්ත දාන්න පුළුවන් විදියේ වැඩසටහනක් BASIC වලින් ලියල ඔය MITS සමාගමට විකුණන එක.

මේ ඉන්නේ එඩ් රොබට්ස්



බිල් ගේට්ස්,පෝල් ඇලන් මයික්‍රෝසොෆ්ට් කියල සමාගමක් හදාගෙන ප්‍රොග්‍රෑම් ලියන අතරෙදි ස්ටිව් ජොබ්ස් එයාගේ යාලුවා ස්ටීව් වොස්නියැක් එක්ක තමන්ගෙම කියල පුද්ගලික පරිගණකයක් හදන්න සිහින දකිනවා. සිහින දකිනව විතරක් නෙවෙයි ඒ සිහින හැබෑ කරගන්න දිවා රෑ වෙහෙසෙමින් ගෙදර ගරාජ් එකේ හදාගත්ත 

APPLE COMPUTERS සමාගමේ වැඩ කරනවා.


ස්ටීව් ජොබ්ස් ටිකක අසාමාන්‍ය චරිතයක්. ඔහු සම්ප්‍රදායෙන් පිට තමයි හැම වෙලේම වැඩ කලේ.. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා පිස්සුවෙන් වගේ ඒ දේවල් අදහන (අපි දන්න තේරවාදී ආධ්‍යාත්මික සංකල්ප නෙවෙයි). හරියට කුඩු ගහපු චරිතයක් වගේ පොරක්. ඔහු ජීවත් වුණේ මේ ලෝකෙ නෙවෙයි. හැමදේම සම්පූරණයෙන් ම වෙනස් පැති වලින් ඔහු දැක්කේ. ඔය කියන කාලෙදි මිනිහා කෑවේ පළතුරු විතරයි සහ රැවුල කොන්ඩේ 2කම වවාගෙන ආතල් එකේ හිටපු චරිතයක්.

අන්තිමට කොම්පැණිය දියුණු කරන්න ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම තමයි පොර තේරුම් ගන්නේ ඔය රැවුල් කොන්ඩ වවාගෙන ඉන්න චරිත වලට ලෝන් දෙන්න බැංකු කැමති නෑ කියන එක. කොහොම හරි සෑහෙන්න ගෙමක් දීල 1976 අප්‍රේල් මාසේ 1 ද පටන් ගත්ත APPLE COMPUTERS සමාගමේ පළමු නිර්මාණය වෙච්ච ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් විසින් අතින් සාදන ලද APPLE 1 පරිගණක වෙළඳ පොළට නිකුත් කරනවා. 

මේ තියෙන්නේ APPLE 1




Altair 8800 එකට වඩා APPLE 1 එක නැඟල යනව. පස්සේ ඒ ගැම්මෙන් ම APPLE 2 දක්වා ඔවුන් ඔවුන්ගේ පරිගණකය දියුණු කරල සෑහෙන ආදායමක් ලබල ඒ කාලේ හැටියට මිලියනපතියෝ බවට පත්වෙනවා.

මේ තියෙන්නේ APPLE 2


මේ මුල්කාලීන ඇපල් කොම්පියුටර් වල තිරයක් තිබිල නෑ, ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරල තියෙන්නේ ටී.වී එක. හරියට අපි ඇන්ටෙනාවෙන් එන ජැක් එක ටී.වී එකට ගහල බලනවා වගේ තමයි මේ මැෂින් ටී.වී එකට ඒ ජාතියේ කොඇක්ෂියල් කේබල් එකකින් සම්බන්ධ කරල තියෙන්නේ.

මේ අතරේ බිල් ගේට්ස්,පෝල් ඇලන් සහ ස්ටීව් බෝල්මර් සෙට් එක කරන්නේ එක එක විදියේ සොෆ්ට්වෙයාර් හදන එක. ඇපල් ලක්ෂ ගනනින් හම්බ කරනකොට මයික්‍රෝසොෆ්ට් එක යාන්තම් ගැටගහගෙන දුවනවා. හැබැයි ඔවුන්ගේ ඉලක්කය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි නෙවෙයි කෙලින්ම BIG BLUE ට සොෆ්ට්වෙයාර් දෙන්න. එතකොට බිල්ගේට්ස් ට වයස 17-18 ඇති.

ස්ටීව් ජොබ්ස් එක පැත්තකින් තමන්ගේ ඇපල් නිශ්පාදන වලට සොෆ්ට්වෙයාර් හාර්ඩ්වෙයාර් හදන අතරෙ, බිල් ගේට්ස් අනිත් පැත්තෙන් BIG BLUE එකට ප්‍රථම වරට ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නයි හදන්නේ. ඒ කාලේ වෙනකොට IBM සමාඟමත් පුද්ගලික පරිගණක හදන අදහස ගැන සැලකිලිමත්. ඔවුන් ඒ සඳහා ඔපරේටින් සිස්ටම් එකකට නිර්මාණ කරුවන් සොයන කාලයක් මේක. 

කොහොම හරි අමාරුවෙන් BIG BLUE එකේ ලොක්කන්ගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන බිල් ගේට්ස් ස්ටීව් බෝල්මර් එක්ක යනවා BIG BLUE එකට. 

ඒ ටික නම් ෆිල්ම් එකේ බලන්නම වටිනවා...

බිල්ගේට්ස් IBM එකට ගිහින් කියනවා ඔයාලගේ කොම්පියුටර් වල දුවන්න මට ඔපරේටින් සිස්ටම් එකක් දෙන්න පුළුවන් කියල. ඒකේ නම DOS කියල ඔහු ඒ වෙනකොට ලියන්න හිතලවත් නැති ඔහුගේ සිහිනමය ඔපරේටින් සිස්ටම් එක IBM එකට විකුණනවා. 

ඊට පස්සේ තමා හොඳම හරිය. දැන් කොහොමද IBM එකට දෙන්න ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නේ. 

බිල් ගේට්ස්, බෝල්මර්, පෝල් ඇලන් එක්ක එකතු වෙලා ඕක හිතන අතරේ දි ස්ටීව් ජොබ්ස් යනවා එ කාලේ වෙනකොටත් laser printing, Ethernet,graphical user interface (GUI), සහ object-oriented programming කියන නිර්මාණ ලෝකයට හඳුන්වල දීල තිබුණු Xerox PARC සමාගමට. යන්නේ මොකටද කියල නිකමට හිතන්න පුළුවන් ද? ඔහුට ආරංවි වෙනවා මෙච්චර කාලයක් අකුරු ඉලක්කම් වලින් විතරක් වැඩ කරපු පරිගනකයට GUI දෙන්න පුළුවන් තාකෂණය Xerox PARC සමාගමේ තියෙනවයි කියන එක. ඒ විතරක් නෙවෙයි පරිගණක බාවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට ගෙනාපු ලොව ප්‍රථම මවුස් එක නිර්මාණය කරන්නෙත් මේ Xerox PARC සමාගම.

මේ තියෙන්නේ 1979 දි Xerox PARC ස්ටීව් ජොබ්ස්ට තමන්ගේ GUI පෙන්නපු වීඩියෝ එක


ස්ටීව් ජොබ්ස්ගෙ සිහින යන්ත්‍රය හදන්න ඕනේ කරන තාක්ෂණය ඔහු Xerox සමාගමෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ ලොව ප්‍රථම වින්ඩෝස් සහිත පරිගණකය හදන්නේ Xerox සමාඟම.

ස්ටීව් ජොබ්ස් ඒ තාක්ෂණය තමන්ගෙ සමාගමේ නිර්මාණ වලට යොදාගන්න අතරේ බිල් ගේට්ස්ට එනව නියම අයිඩියා එකක්.. ඔය කාලෙදි Seattle Computer Products කියන සමාගමේ වැඩ කරන Tim Paterson කියන හාදය ලියන පොඩි ඔපරේටින් සිස්ටම් එකක් QDOS (Quick and Dirty Operating System) කියල. මේ කියන්නේ 1980 අවුරුද්ද. මට මතක හැටියට පෝල් ඇලන් යනවා මේ හාදය හම්බ වෙන්න. ගිහින් ඔහුගේ ඔපරේටින් සිස්ටම් එක $50,000කට මිලදී ගන්නවා. ඊට පස්සේ බිල් ගේට්ස් එයාගේ DOS එක ලියන්න පටන් ගන්නව අර QDOS එක මුල් කරගෙන.. 

හරි මේ කාලෙදි මේ වීරයෝ සෙට් එක විශ්වාස කරන එක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මේක කියල තියෙන්නේ පිකාසෝ

"Good Artists Copy, Great Artists Steal"

මේ තියෙන්නේ ස්ටීව් ජොබ්ස් පස්සේ කාලෙක දී ඔවුන් මේ සංකල්පය යොදාගත්ත හැටි කියන වීඩියෝ එකක්


මේ ඉන්ටර්විව් එක තියෙන්නේ The Triumph of the Nerds 3 වෙනි කොටසෙදි. 

ඊට පස්සේ එන්නේ මැකින්ටොෂ් යුගය සහ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් යුගය. ස්ටීව් ජොබ්ස්ව ඇපල් සමාගමෙන් අයින් කරන එක... ස්ටීව් ජොබ්ස් මිනිස්සු ඉන්ටර්විව් කරන හැටි... ඇයි මේ කොම්පියුටර් සොෆ්ට්වෙයාර් ජොබ්ස් කරන කොල්ලෝ කොකාකෝලා බිබී,පීසා කකා පිස්සු හැඳිල වගේ ජීවත් වෙන්නේ.. ඇඩෝබ්,ඔරකල් ඉතිහාසේ.. තව හෙනට තියෙනවා.. 

දැන් ලිව්ව ඇති වගේ.මම හැමදාම ලියන විකාර අස්සේ පළවෙනි වතාවට මේ වගේ දෙයක් ලියන්නේ. කොහොමත් කොටස් 2ක් 3ක් ලියන්න වෙයි වගේ. ඒ අතරේ පුළුවන්නම් වීඩීයෝස් ටික හොයාගෙන බලන්න. 


Thursday, January 17, 2013

බල්ලෙකුගේ හදවත කියැවීමි....

බල්ලෝ සමාජ වාදී ද? ධනවාදී ද? බල්ලෝ වැඩියෙන් කැමති නිර්ධන පන්තියට ද ධනපති පන්තියට ද? නිකමටවත් බල්ලො මේ දේශපාලනය ගැන කොහොම දකිනව ඇත්ද කියල හිතල නැද්ද? ලංකාවේ නම් බල්ලෝ මහින්දටද රනිල්ටද නැත්නම් ෆොන්සේකට ද නැත්නම් ජෙප්පන්ට ද පක්ෂ ඇත්තේ..?නැත්නම් වික්‍රම කරන බාහූ ලට ද? 

ලංකාව තනි සිංහල බෞද්ධ රටක් කරන්න මහා වෙර වීරියක් දරණ මේ කාලෙදි අපිට බල්ලන් ව අමතක කරන්න බෑ. මොකද ලංකාවේ මිනිස්සු එක්ක නිතර දෙවේලේ රැඳිල ඉන්න, ඕනැම පාර තොටකදි හමුවන බොහෝම හිත මිත්‍ර වැදගත් සත්තු ජාතියක්.. මට හිතෙන්නේ කවද හරි මේක තනි සිංහල බෞද්ධ රටක් වෙච්ච කාලේක අපි බල්ලන්ට (පූසන්ටත්) සර්වබලු සහ සර්වපූස් ඡන්ද බලේ දෙන්න ඕනේ. මොකද සත්තව කරුණාව සිංහල බෞද්ධ රටක මූලික දේ වෙන්න ඕනේ. (හරක් මීහරක් නම් ඉතින් කොහොමත් හරක් ම නේ..)

ඔය කිව්වට මෙහෙ වගේ නෙවෙ රුසියාවේ. රුසියාවෙත් බල්ලෝ ඉන්නවා. ඒ බල්ලෝ වැඩියෙන් ම කැමති සමාජවාදෙට ධනවාදෙට ?

"අර ජරා තොප්පියක් දාගෙන ඉන්න වලත්තයා. ඒ කියන්නේ ජනතා ආර්ථික කටයුතු පිළිබඳ මධ්‍යම සෝවියට් සභාවේ කම්කරුවන්ට තියෙන අර සාමාන්‍ය බෝජන ශාලාවෙ කෝකියා, මගේ ඇඟට උතුරන වතුර වීසි කරල මගේ ඇඟේ වම් පැත්තම පුච්චල දැම්මා. අධමයා, ඒ මදිවාට ඌ කියාගන්නවා ඌ නිර්ධන පන්තිකයෙක්ලු.."

"නිර්ධන පන්තියේ එවුන්ගෙන් එපාම කරපු මදාවියෝ තමයි ඔය මුරකාරයෝ. එතකොට අරක්කැමියෝ? උන් නම් ඔය ඕනෙම ජාතියක වෙන්න පුළුවන්"

එම බල්ලාම ධනවාදී ලෙස

"ප්‍රභූ මහත්මයෙක්; මා එසේ තීරණය කරන්නේ හැඳ සිටින කබායෙන් යැයි ඔබ සිතනවාද? විකාර"

"මොන නමකින් කතා කළත් කමක් නෑ. මේ වගේ අසාමාන්‍ය දානයක් වෙනුවෙන් මොන නමකින් කතා කළහම මට මොකෝ? මං දැන් ඔබේ අත ලෙව කන්නම්. නැවත නැවතත් ලෙවකන්නම්. මං ඔබේ කලිසමත් ඉඹ්න්නම්. ඔව් පරිත්‍යාගශීලී හිතවත, මං ඔබේ කලිසමත් ඉඹින්නම්."

ෂාරික් අපූරූ වල් බල්ලෙක්! මට හිතෙන්නේ පීඩිත පන්තියේ බල්ලෝ නිර්ධන පන්තියට කැමති නෑ.. උන් කැමති ධනපති පන්තියට. ධනපති ගෙවල් වල හැදෙන බල්ලෝ හින්දි ෆිල්ම් වල වගෙ පීඩිත පන්තියේ බැල්ලියොත් එක්ක ප්‍රේම කරන්න හීන දකිනවද මම දන්නෑ.. නමුත් මම හදවත කියවපු ෂාරික් අපූරු බල්ලෙක්. 

ඒ වගේ බල්ලෙක් ධනවාදී ලෙස හිතන, බුද්ධිමත්,දක්ෂ,කාර්‍යයශූර මහාචාර්‍යය වරයෙකුට හම්බ වුනොත් මොනව වෙයි ද? මිනිස් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකුට... 

පිටියුටරි ග්‍රන්ථියෙන් මොනවද වෙන්නේ? සමාජවාදේ ධනවාදේ තීරණය වෙනවද? හික්.. 

පොලිග්‍රාෆ් පොලිග්‍රෆොවිච් ෂාරිකෝව්ට ඇයි පූසෝ දැක්කම ඉන්න බැරි.. හිකිස්.. මිනිහට කරන්න හරි හමන් රස්සාවක් නෑ. ඉන්නේ අනුන්ගේ තැනක. හැබැයි විප්ලවවාදීයි, සමාජවාදියි ධනපති පන්තියට වෛර කරනවා.

ඔන්න ඔහොමලු රුසියාවෙ බල්ලෝ.

1925දී සෝවියට් රුසියානූ ලේඛක මිකායෙල් බුල්ගාකොව් විසින් ලියන ලද බල්ලෙකුගේ හදවත කියවා නැති කෙනෙකුට මේ දේවල් විකාර වගේ දැනෙයි. නිර්මාණශීලීත්වය උපරිමයි. දේශපාලනය,විද්‍යාව,හාස්‍යය නියමෙට ගැලපෙච්ච පොතක්.  ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනෙන් අරන් දෙසැම්බර් මාසේ අන්තිම කියවන්න පටන් අරන් අද කියවල ඉවර කරපු, කාලෙකින් කියවපු සිරාම පොතක්. 

අන්තිමටත් කියන්න ඕනේ අපි මේ තනිකර සිංහල බෞද්ධ රටක් හදන්න යන මේ අතිශය තීරණාත්මක ගමනෙදි අපිට බල්ලන්ව අමතක කරන්න බෑ. අපි බල්ලන්ගේ හදවත කියවන්න ඉගෙන ගන්න ඕනේ. උන්ටත් තනිකර සිංහල බෞද්ධ රටක ජීවත් වෙන හැටි උගන්නන්න අපි උන්ගේ හදවත කියවන්නම ඕනේ.

Sunday, January 06, 2013

ගුරුත්ව ලාම්පුව සහ සූර්‍යය බල සෙල්ලම් බඩු...

විකල්ප බලශක්ති ක්‍රම අපිට ඕනෙ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැනටමත් අපිට ඒක හොඳටම දැනෙන වෙලාවල ඕනෙතරම තියෙනවා. අපේ රටේ නම් 80-90% විතර විදුලිය තියෙනවා. නමුත් කුප්පි ලාම්පු එලියෙන ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් මේ ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නව. කාලෙකට පස්සේ ඒ වගේ කුප්පි ලාම්පු එලියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිර්මාණයක් ඇවිල්ල . තාම බොහොම ප්‍රාථමික අවධියේ තියෙන්නේ හැබැයි දියුණු කරල වැඩක් ගන්න පුළුවන් වගෙයි. 
මෙතනින් මේ ගුරුත්ව ලාම්පුවට අදාළ විස්තර බලා ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් කොහොමද කියල නම් දන්නේ නෑ. නමුත් ඔබට ඔවුන්ගේ ඒ ව්‍යාපෘතියට ආධාර කරන්න පුළුවන්.

මේ තියෙන්නේ ගුරුත්ව ලාම්පුවක්

අපේ රටෙත් දැන් දැන් වීදි ලාම්පු ආලෝකයට සූර්‍යය ශක්තිය ලබා ගන්නවා. අලුතින් නවීකරණය කරපු දියවන්නා ඔය ආශ්‍රිතව තියෙන වීදි ලාම්පු මේ ක්‍රමයේ ඒව(අද දැනගත්ත විදියට ඒවා ආරක්ශා කරන්න පොලිසියෙනුත් ඉන්නවලු. දාපු ඒවා හොරු ගලෝලා). 

අපේ රටෙනුත් මේ වගේ විකල්ප බලශක්ති ක්‍රම ගැන සැරෙන් සැරේ අහන්න ලැබෙනවා. හැබැයි ඒවට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. මේ ගුරුත්ව ලාම්පුවේ නිර්මාන කරුවන්ටත් මේව කරන්න රජයේ සහයෝගයක් නම් ලැබිල නෑ. නමුත් ඔවුන් ඒ දේ කරනවා. මම බොහෝ වෙලාවට දකින එකක් තමා ලංකාවේ මොකක් හරි දෙයක් හදපු මිනිස්සු ඒක දියුණු කරල එළියට දාන්න රජයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම නම් හිතන්නේ නෑ මොනම නිර්මාණයක්වත් රජයේ සහයෙන් එළියට දෙන්න පුළුවන් වෙයි කියල. හදපු දේ තමන් ම වැඩි දියුනු කරල එළියට දෙන්න පටන් අරන් දියුණු වෙනකොට රජයේ සහයෝගය (හෝ කඩාකප්පල් කිරීම) ලැබෙයි. මේ ලෝකේ හදන උපකරණ හැම එකක් ම එහෙම හදපුව තමයි මම නම් හිතන්නේ.

කොහොම හරි අපිත් දැන්ම මේවගෙ දේවල් ගැන දැනුවත් වෙලා පුළු පුළුවන් හැටියට මෙවැනි දේවල දියුණු කරන්න උදව් කරන එක නම් වටිනව.

කවද හරි ගෙයක් හදන කොට සූර්‍යය ශක්තිය උපරිමෙන ලබා ගන්න මමත් හිතාගෙන ඉන්නව (ඒ කාලේ වෙනකොට සෝලර් පැනල් වල ගාන අඩුවෙලා තියෙයි). මේ ලාම්පුවත් මගෙ නම් හිතට අල්ලල ගියා. ඊ-බොක්කෙන් හොයල එකක් ගෙනල්ල බලන්න ඕනේ.

අවුරුදු 2කට විතර කලින් මම අක්කගෙ පුතාට ඊ-බේ එකෙන් සූර්‍යය බලයෙන් වැඩ කරන සෙල්ලම් බඩු සෙට් එකක් ගෙනත් දුන්නා. ඒ දවස් වල මිනිහා පොඩි නිසා එච්චරම තේරුමක් තිබුනේ නෑ. හැබැයි බැට්‍රි නැතුව වැඩ කරන්න පුළුවන් එකක් කියන එක තේරුම් ගත්තා. අව්ව තියෙන තැන් හොය හොය ගිහින් ඒකත් එක්ක සෙල්ලම් කලා.  කැමති කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න මෙතනින් බලන්න. මම තව එකක් ගෙනල්ල මිනිහට හොරෙන් හංඟල තියන් ඉන්නව තව ටිකක් ලොකු උනාම ආයෙත් දෙන්න. 

මම ඉස්සර ඉඳලම උනන්දු වෙච්ච විෂයක් මේක. මට මතකයි පේරාදෙනිය කැම්පස් එකේ ඉංජිනේරූ ප්‍රදර්ශනයක් බලන්න ගිහින් වැහි බිංදු වල චාලක ශක්තියෙන් කරන්ට් එක නිපදවන්න පුළුවන් කියල යාළුවෙක් එක්ක හෙන තර්කයක් දාගත්තා. හික්.. ඒ කියන්නේ ඔය ක්වොන්ටම් ශක්තිය ගැන (දන්න මඟුලක් නැති උනාට ඒලෙවල් කාලෙදි ඕව ගැන හෙන උනන්දුයි නේ.. ). එදා ත්‍රිකුනාමලේ බීච් එකට ගිහින් මුහුද් දිහා බලාගෙන ඉන්න්කොටත් ඔය ගැන හිතුණා. උදම් තරංග වලිනුත් බලශක්තිය උපදවා ගන්න පුළුවන්නේ. ලංකාවේ නම් තියෙනවද දන්නෙ නෑ.. 

කොහොම උනත් අනවශ්‍ය ලයිට් නිවල ලයිට් බිල අඩු කරගන්න එකනම් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. අපි දෙන්නා හැම මාසෙම ලයිට් බිල රු 500ට අඩුවෙන් තියාගෙන ඉන්නවා. ටිකක් සිහියෙන් උනන්දුවෙන් කලොත් කරන්න අමාරු දෙයක් නෙවෙයි.

Monday, December 31, 2012

මාබල් බීච් සවාරිය..

දැනට සති 2කට විතර කලින් 2012 වර්ෂය සඳහා වූ අපගේ අවසන් චාරිකාව අපි නිමා කළා. මෙච්චර කාලෙකට ගිහින් තිබුණු නැති නැඟෙනහිර පළාතේ සංචාරයක් දාන්න ලැබීම ලොකු දෙයක් වුණා. මාස කීපයකට කලින් බට්ටින් නංඟිලාගෙ ගෙදර කට්ටියත් එක්ක ගිය නුවර,නුවර එළිය සංචාරෙන් පස්සේ සෙට් වෙච්ච ට්‍රිප් එක මේක. පහුගිය කාලේ තිබිච්ච අධික බිසී බව නිසා අපේ ට්‍රිප් ගමන් සම්පූර්ණයෙන් ම අඩාල වෙලා තිබ්බේ. කොටින්ම මේ ට්‍රිප් එකට බට්ටින් නඟාව ඔපිසියෙන් ගලව ගත්තෙ අන්තිම මොහොතේ. 
කොහොම හරි ඉතින් අපි දෙන්නයි,අක්කලයි,අම්මයි,දිමුතු අයියගේ අම්මයි තාත්තයි එක්ක ත්‍රිකුණාමලේට අපි ගියා.

අපේ අක්කගෙ යාළුවෙකුගේ මාර්ගයෙන් කියල බුක් කරගත්තු රජයේ තානායමක් තමා මුල් දවසේ නවාතැන විදියට ලෑස්ති කරගෙන තිබුණේ... රෑ 9ට විතර එතෙන්ට ගියාට පස්සේ තමා රජයෙ වාසස්තාන වල රඟේ තේරුණේ. නමුත් ඒවගේ පළාතක ආන්ඩුවේ එකක් ඒ විදියට හරි තිබිච්ච එක සෑහෙන්න වටිනවා. කොහොම හරි පොඩි පොඩි කචල් බචල් එක්ක එදා රෑ එළිකරගෙන පහුවදා උදෙන්ම ගියා කන්නියා වල උණු වතුර ළිං ටික බලන්න. අපේ වෙලාවට බදු අරං නාන පින්වතුන් කවුරුත් හිටියෙ නැති නිසා ළිං හතේම වතුර ටික අතපත ගාල බලන්න පුළුවන් වුණා.  සිරාවටම පට්ට සනීපයි. නාඟන්න කියාපු රස්නේ. හැබැයි අපි කවුරුත් නෑවෙ නෑ. 

මෙන්න තියෙනව එක ලිඳක්.



එතනින් පස්සේ ගියා ත්‍රීකෝනේෂ්වර්න් කෝවිලට. ඒකට ගියේ ඇයි කියල නම් මම දන්නේ නෑ නමුත් ත්‍රිකුනාමලේ යන හැමෝම ජාතී බේදෙකින් තොරව ඒකට යනවා. මම පස්සේ දැන ගත්ත විදියට රාවණා රජ්ජුරුවන්ට සම්බන්ධ තැනක් ලු. සම්බන්ධ වෙන්නේ කොහොමද කියල හරියටම දන්නෙ නෑ. ඉස්සර නම් යන යන තැන් වල ඉතිහාසෙයි කතන්දරයි කොහෙන් හරි හොයා ගන්නව. දැන් නම් ගහල තියෙන බෝඩ් එකක් වත් කියවන්නේ නෑ. ඔහේ තියෙන දෙයක් බලාගෙන පොටෝ එකක් අල්ලගෙන එනවා. 

මේ ප්‍රතිමාව මොන දෙවියන්ගෙද කියලවත් කොටින්ම දන්නෙ නෑ... (අනේ කාලේ වනේ වාසේ කිව්වලු)

ත්‍රීකෝනේෂ්වරන් වලින් පස්සේ ආයෙත් අපේ රාජකීය රාජ්‍ය නවාතැනට ඇවිල්ල හවස් වරුව ගැන සාකච්චාවක් දැම්මා. හැමෝගෙම අදහස වුණේ අද රෑට නම් මෙතන බෑ. දැන් ඉතින් හොයපල්ලකෝ අලුත් තැනක්.. 

ඊට පස්සේ මොනව කරන්නත් කලින් කාල ඉමු කියල ගියා කන්න තැනක් හොයාගෙන කින්නියා පාළම් පැත්තට. පාළම් 2ක් ද 3ක් ද පහුකරගෙන ගිහින් අපේ දිමුතුව නතර කළේ නැතෑ අපූරු කඩේක දවල්ට කන්න. සැක්.. අන්න කඩ.. වෙලාවට පොටෝ කෑල්ලක් අල්ල ගන්න අමතක වුණා නේ.  රාජකීය රාජ්‍ය නවාතැනට තකට තක.

වෙලාවේ හැටියට වෙන තැනක් තිබුණෙ නැති නිසා සහ පොඩි උන් දෙන්නත් බඩගින්නෙ කෙඳිරි ගාන නිසා ඕන එකක් කියල දීල ඇද්ද බත් එකකට. කඩේ පොර නොමිලේම අපිට අඹ ගෙඩි ටිකකුත් කපල දුන්න බත් කාල කන්න. ඒ තරම් රස කෑම වේල..  හැබැයි අපරාදේ කියන්න බෑ අපේ බඩවල් නම් දැන් ඕනේ එකක් දිරවන්න පුලුවන් විදියට හැඩ ගැහිල තියෙන්නේ. උලත් එකයි පිලත් එකයි හික්ස්

ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියල හිත හිත වාහන දෙකේ කස්ටිය යන අතරේ අපේ බට්ටි නඟා එන ගමන් බලාගෙන ආපු Marble Beach (Air Force) Resort එක දිහාට හරවල බැලුව. අපි මාබල් බීච් එකගැන දැනගෙන හිටියට Marble Beach (Air Force) Resort එකක් ගැන දැනගෙන හිටියෙ නෑ. ඕනෙ එකක් කියල ගිහින් එතන හිටපු ගුවන් හමුදා සහෝදරයෙක් එක්ක කතා කරල බැලුව.

වෙලාවේ හැටියට එතන නිකං දිව්‍යලෝකේ වගේ. කොහොම කොහොම හරි එදා රෑ Marble Beach (Air Force) Resort එකේ ඉන්න කට්ටියම එකඟ වුණා. (අම්මල ටිකක් බැන්නට සල්ලි නම් මොනාද අනේ හික්..)

ඔය තියෙන්නේ මාබල් බීච් එක. මේ ලංකාවද කියල හිතුණා. හැමෝම ලස්සනයි ලස්සනයි කියල කියපු නිලාවැලි බීච් එක දැන් ජරා වෙලා කියල අපිට එහෙදි ලැබුණු ආරංචියක් නිසා නිලාවැලි පැත්තෙ ගියෙ නෑ. හැබැයි මෙතන නම් සුපිරි.

යුද්දෙන් රට බේර ගත්ත අපේ සෙබලුන්ගේ හැකියාව ශ්‍රමය නියම විදියට පාවිච්චි කරල ජාත්‍යන්තර තත්වයෙන් ඒ වෙරළ ඔවුන් පවත්වාගෙන යනවා. වෙරළ කොටස් 2කට වෙන් කරල තියෙන්නෙ. සාමාන්‍යය සංචාරකයින්ට සහ පදිංචි කරුවන්ට වශයෙන්. ඔබ සාමන්‍ය සංචාරකයෙක් විදියට ගියත් ඔබට රු 20ක ටිකට් පතක් ලබා ගත යුතුයි වෙරළට ඇතුල් වෙන්නත්. අපේ රටේ අපේ වෙරළට යන්න අපි මොකටද සල්ලි ගෙවන්නේ වගේ පොර ටෝක් දාන්න කලින් අපේ රටේ අනිත් වෙරළවල් වලට අපේම එවුන් ගිහින් කරල තියෙන විනාශ ටික පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මෙතැන ඒ අතින් සුරපුරයක්. ඔබටම කියල පෞද්ගලික වූ වෙරළක සන්ද්‍යාවක් ගතකරන්න කැමති නම් මෙන්න තැන. ඒ වගේ දේවල් ඉංග්‍රීසි ෆිල්ම්ස් වල විතරයි මීට කලින් දැකල තිබ්බේ. ඒ දවසට වෙරළ අපේ. සෙල්ලං ද.. හික්

නතර වෙන්න තිබුණු කබානාත් සුපිරි. ලංකාවේ තියෙන තරු පන්තියේ හෝටල් ඕනෙම එකකට නොදෙවෙනි වෙන්න ඔවුන් ඒ කබානා සුව පහසු ලෙස හදල තිබුණා. අවශ්‍ය හැමදේම ඔවුන් අප වෙනුවෙන් ලෑස්ති කරල තිබුණා.  මෙතනින් බලන්න අපි දෙන්න හිටපු කබානාවෙ ඇතුළත දර්ශනයක්. වායුසමනය,සැටලයිට් ටීවී ඔවුන්ගේ මූලික පහසුකම් විතරයි. තවත් බොහෝ දේ එහි තිබුණා.

වෙන ඕනෙම බීච් හොටෙල් එකකදි අපිට ලැබෙන්නේ බීච් එකේ නිදහසේ ඉන්න වෙලාවක් විතරයි. රැය ගෙවන්න වෙන්නේ ගොඩබිම තියෙන බිල්ඩින් එකකනේ. මෙතනදි ඒක සම්පූර්ණයෙන් ම වෙනස්. රැළි වදින වෙරළෙ හදපු සුවපහසු කාමරයක රැයක්. මහ රෑට කුණාටු වගේ වැහි එනකොට, දඩ බඩ ගගා හුළං වැදිල දොරවල් ජනෙල් සෙලවෙනකොට, මුහුදු රැල්ල යටින් වදිනකොට හිතට පොඩි බයක් දැනුනත් ඒ අත්දැකීම වෙන කිසිම තැනකින් ලබන්න නම් බෑ. 

රෑ කෑම බුෆේ ක්‍රමයට වෙනම ලෑස්ති කරල තිබුණා. ගුවන් හමුදාවේ කොල්ලො ඉව්ව කියල කියන්න බෑ. නියම සූපවේදීයෙක් ගේ රස (ඇත්තටම ඉව්වේ එයාර් ෆෝස් කොල්ලොද කියල නම් මම දන්නේ නෑ). කෑම නියමයි. 
මේ තියෙන්නේ ඩයමන්ඩ් හිල් කන්ද
පහුවදා උදේ කෑමෙන් පස්සේ ඔවුන් අපව හයික් එකක් එක්කන් ගියා. ඒ ළඟම තියෙන ඩයමන්ඩ් හිල් කියන කදු ගැටයේ ඇවිදින්න.

ඒක යුද්ධ කාලේ කොටි ගුහාවක්.
මේ තියෙන්නේ කොටි පාවිච්චි කරපු කුලුනක පාදම.
මෙන්න භූගත බංකරයක්.
ඩයමන්ඩ් හිල් කියල නම වැටෙන්න හේතුවෙච්ච කොටින්ගේ මෙහෙයුම් කාර්‍යාලයක් විදියට බාවිතා කල ගොඩනැඟිල්ල

මේ තියෙන්නේ ඩයමන්ඩ් හැඩැති  අහස :)

අපේ හයික් එකේ තැන තැන වෙහෙස නිවා ගන්නට නතර වීමට ඔවුන් සාදා තිබූ නිරීක්ෂණ ස්තාන ගැනත් මතක් කරන්න ඕනේ.

මේ තියෙන්නෙ එහෙම තැනකදී අවට පේන දර්ශනයක්.


කන්දේ හිටපු ෆොටෝ ජෙනික් හැකරැල්ලෙක්.

ඒක පැය එකහමාරක විතර හයික් එකක්. මඟ පෙන්වන්නෝ දෙන්නෙක් හිටියා. ඔවුන හරිම සුහදශීලීයි. ටොප් කොල්ලෝ.

හයික් එකෙන් පස්සේ ඉතින් දවල්ට කන කම් මුහුදේ නෑම තමා. අපි මුහුදට බැහැපු සැනින් පළපුරුදු ජීවිතාරක්ශකයෙක් අපිත් එක්කම ඉන්නවා. ඒ නිසා හිතේ හැටියට මුහුදේ නටන්න පුළුවන් අපි වගේ ගොඩ පීනන්න දන්න අයටත්. අපි ගිය දවස් වල වාරකන් කාලේ නිසා මුහුද සැරයි. මාර්තු අප්‍රේල් වගේ හොඳයි ලු. 

මේ තියෙන්නේ අපේ කබානාව
මේ තියෙන්නේ තනිකරම වතුරේ හදපු තවත් කබානාවක්

බස්ටි නංඟිට තිබුණ නිවාඩු ප්‍රශ්න නිසා අපි එදා දවල් කෑමෙන් පස්සේ පිට වෙලා ආව. අක්කල නම් තව දවසක් නතර උණා. මම පස්සේ දැන ගත්ත විදියට බීච් එකට ටිකක් එහායින් සුපිරි තත්වයේ ගොල්ෆ් ක්‍රීඩාංගනේකුත් තියෙනවලු. අක්කල නම් එහෙත් ගිහින් තිබුණා ඒකේ වෙනම විදියේ වී.අයි.පී කාමරත් තිබුණ කියලයි අක්ක කිව්වේ. අනිත් එක මහ රජ්ජුරුවෝ හිතුණ ගමන් ඇවිල්ල නතර වෙන ස්පෙෂල් කබානාවකුත් ටිකක් ඇතුළට වෙන්න තිබුනා. (පොටෝ අල්ලන්න ගියේ නෑ කෝකටත් කියල..)

මෙතනින් ගිහින් සියළු විස්තර බලා ගන්න පුළුවන්

වැදගත් : ඔවුන් තාමත් ක්‍රෙඩිට් කාඩ් නම් පිළිගන්නේ නෑ. කෑෂ් තමා. හැබැයි කල්තියා මෙහෙන් බුක් කරනකොට කොහොමද දන්නේ නෑ. අපි කලේ ක්ෂණික බුකින් නේ. 

අපේ ප්ලෑන් එක වුනේ ත්‍රිකුණාමලේ ඇවිදින්න. හැබැයි මේකට ගියාට පස්සේ ඇවිදින්න තිබිච්ච ආසාව කොහෙන් ගියාද නෑ. ආයේ වෙන කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ.

ප.ලි. කබානාවේ නම කියාම බුක් කර ගැනීමේ පහසු කම් ඇත. ත්‍රිල් එක වැඩියෙන් ඕනෑ නම් මුහුදේ තිබෙන එකක් ම බුක් කර ගන්න. අම්මල තාත්තලට පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන එකක් බුක් කරල දෙන්න. මොකද රෑ වෙනකොට සුනාමි බය දැනීමේ සියුම් සම්බාවිතාවක් ඇතිවිය හැක.වෙන කිසිඳු බයක් සන්තාපයක් ඇති කර නොගන්න. පැය 24ම ගුවන් හමුදා කොල්ලන්ගේ රැකවරණය සහතිකයි. 


අපේ ත්‍රිකුණාමල සවාරිය මාබල් බීච් සවාරිය වුණේ ඔන්න ඔහොමයි!

Friday, December 28, 2012

ලයිෆ් බැලන්ස් ...

අපි බැලන්ස් ද? අපේ ජීවිත බැලන්ස් ද? කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ.. ?

අපි බැලන්ස් එකේ ඉන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම එහෙම ද...? බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද?

හොඳ පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල හොඳ කසාදයක් බැඳල පවුලට හොඳට සලකල හොඳට පින් දහම් කරල  මැරිල යන එක ද බැලන්ස් ලයිෆ් එක?

ඔය ඉස්සෙල්ල වාක්‍යයෙන් හොඳ කියන ටික අයින් කරල ගත්තොත් පවුලක ඉපදිලා ඉගෙන ගෙන රස්සාවක් කරල කසාදයක් බැඳල පවුලට සලකල පින් දහම් කරල මැරිල යන එක එතකොට බැලන්ස් නැද්ද?

ඉපදීම බැලන්ස් කරන්න බැරි නිසා ඒක ලැබෙන විදියට භාර ගන්නව. ඉගෙන ගන්න කාලෙදි ඉගෙනීමත් එක්ක ක්‍රීඩාව හරි වෙනත් විෂය බාහිර දේවල් කරනව ඉගෙනීම බැලන්ස් එකේ කරගන්න. රස්සාව බැලන්ස් කරන එකත් එක එක මිනිස්සුන්ගෙ උවමනා එපාකම් වලට අනුව කොහොම හරි දන්න සෙල්ලම් වලින් ගොඩදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ කසාද බැඳල පවුලක් උනාම ඒක බැලන්ස් කරන්න එක එක ගැට හැට හුට හමාරක් ගහනව. ඔන්න ඔය ගැට හැට හුට හමාර ගහන එක කොහොමද බැලන්ස් එකේ කරන්නේ..?

ඒ ගැට ටික හරියට බැලන්ස් වෙන්න නම් යන්න එන්න වාහනයක් (එස්.යූ.වී එකක්) ඉන්න හිටින්න ගෙයක් දොරක් (අමුතු ඩිසයින් එකක් තියෙන සිරා ගෙයක්), ළමයි දෙන්නෙක් (කොල්ලෙකුයි කෙල්ලෙකුයි)වත්, ළමයි ලංකාවේ හොඳම ඉස්කෝලවලට යන්න ඕනේ(ඉන්ටර්නැෂනල් හරි),කරන රස්සාව හෙන පඩියක් (බින්දු 5ක් එක්ක තව ටිකක් ලොකු ඉලක්කමක්වත් වෙන්න ඕනේ. 1 හරි යන්නෙ නෑ ), ඊට පස්සේ සමාජ සැලකිල්ල හැමවෙලේම හැමතැනදිම ප්‍රමුඛත්වය අරගෙන කැපිල පේන චරිතයක් වෙන්න ඕනේ (ටිකක් හරි). ඊට පස්සේ ළමයින් ව හොඳට හදන්න ඕනේ (උන්ට ඕනේ විදියට නෙවෙයි. හරි විදියට. හරි විදිය දන්නේ ඉතින් දෙයියෝ තමා),  පස්සේ උන්ව හොඳම තැන්වලට බන්ඳල දීල උන්ගේ ළමයින්වත් හොඳම විදියට හදන ගමන් මේ රට යන විදිය හරි නැත්නම් ඩුවල් සිටිසන්ෂිප්වත් හදාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්නම් ඊළඟ ආත්මෙත් මේ වගේම හොඳට ගෙවන්න පුළුවන් වෙන්න හොඳට පින් දහම් කරල දඩාස් ගාල මැරිල යන්න ඕනේ.

ඔය ටික සම්පූර්ණ වෙනකම් අපිට බැලන්ස් වෙන්න බැරිද?

පුළුවන් අපි හැමෝම වගේ ඉන්නේ එහෙම තමා..  එහෙම ඉන්න අතරේ කොහොම හරි අර මම ඉස්සෙල්ල කියපු ටික අඩු වැඩි වශයෙන් සම්පූරණ කරගන්න ඕනේ.. ඒකට ඉතින් එක එක ගැට ගගහ ජීවිත ගමන යන්න ඕනේ.

ඔය යන ජීවිත ගමන බැලන්ස් කරන්නේ කොහොමද?

මොන බැලන්ස් කිරිලිද ඔන්න ඔහේ යන විදියට යන්න අරිනව මිසක්. (යන විදියට යන අතරේ ඉතින් අර ටික කොහොම හරි කරගන්න ට්‍රයි කරන්න ඕනේ.)
*****************************************
ඔය හැමදේටම විසඳුම අපේ ආගමේ නම් තියෙනවා. පොඩ්ඩක් ඒක ස්ටඩී කරල බලන්න. හරියට තේරුම් අරන් බලන්න. ඔයාලගේ ආගම වගේ නෙවෙයි මේක තමා ඇත්ත. අනිත් ඔක්කොම ආගම් වල තියෙන්නේ තනි බොරුව. මේක තමා ඇත්ත.  ඒක තේරුම් ගත්තටම මදි. අපි ලෝකයටම සේවයක් කරන්න ඕනේ. අපි මේක හැමෝටම කියල දෙන්න ඕනේ. මේක තමයි ඇත්ත. ආයේ සැක කරන්න දෙයක් නෑ. මෙන්න මේ ටික දිනපතා කරල බලන්න බොරුනම්, නියම බැලන්ස් ජීවිතයක් ලැබෙයි!!!

Thursday, December 20, 2012

පෑනේ මිතුරුකම්...

පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ..

පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ඉන්නව මම හිතන්නේ..

පෑනේ මිතුරු මිතුරියන් හොයා ගන්න ඉස්සර නම් පත්තර වල විස්තර දානව.. දැනුත් තියෙනව ද මන් ද. අපි ඉස්කෝලෙ 6-7 වසරෙදි මොකක් හරි ජත්‍යන්තර ආයතනයකින් ඔය වගේ පෑනේ යාළුවෝ හොයල දෙන වැඩසටහනක් ගැන කියල දුන්නා. ඒකේ තිබිච්ච කූපන් වගයක් පුරෝල දාල මාත් සෙට් කර ගත්ත පෑනේ මිතුරෙක්. 

මට මතක හැටියට මගෙ වයසෙම ද කොහෙද.  ජර්මන් ළමයෙක්.  කොල්ලෙක්. නම අන්ද්‍රේස් ස්කෙන්කල් වගේ නමක් . ලියුම් 5-6ක් එව්වා. කියවන්න්අ හරිම අමාරු ඉංග්‍රීසි අකුරු. හික්.. කොහොම හරි ගලපගෙන කියෝලා මමත් දන්න ඉංග්‍රීසියෙන් මොනව හරි ටිකක් ලියල දානව.. ෆොටෝස් එහෙමත් එව්ව. දැන්නම ඒවා කොහෙද දන්නේ නෑ. මුද්දර,පෝස්ට්කාඩ් තමයි වැඩිපුරම හුවමාරු කර ගත්තේ..කොහොම හරි මාස 6ක් අවුරුද්දක් විතර ලියුම් යැව්ව. පස්සෙ හෙමිහිට මඟ ඇරිල ගියා.. අපේ නංඟිටත් මට මතක හැටියට ඔස්ට්‍රියාවේ ගෑනු ළමයෙක් සෙට් වුණා..  ලොකු වෙන කොට ටික ටික සම්බන්ධකම් නැති වුණා.. අපරාදේ මේ වෙන කම් තිබුණනම් ගිහින් හම්බ වෙන්න වත් තිබ්බා.. බුකියෙ හෙව්වට දැන් හොයා ගන්න බෑ...

ඉස්සර හරි ජොලි ඉතින් එක ලියුමක් ආවම..  ඉංග්‍රීසි තේරෙනෙනේ නැති නිසා අල්ලපු ගෙදර ඩෙනිස් අයියගෙන් තමා සමහර ඒවා අහගන්නේ.. හික්.. මමත් මොනව හරි ලියාගෙන පොරටම කියල වැරදි හදාගෙන තමයි තැපැල් කරන්නේ.. 

ඒක නැති වුණාට පස්සේ ආයෙත් ට්‍රයි කලේ නෑ.. ඊට පස්සේ ඉතින් ලෝකල් ස්ත්‍රී මිතුරියන් හෙවීමනේ කලේ.. ෆොරිජින් කොල්ලො කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එක හීන වෙලා ගියා..

ඉස්කෝලෙක් ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෝ සෙට් එකක් ආපු බස් එකකට ටෙලිෆෝන් නම්බර් එක දාල එක ගෑනු ළමයෙක් කෝල කරල පස්සේ පස්සේ ඒ ළමයට ලියුම් දාපු එක වෙනම සීන් එකක්.. ඒක මේ ඔෆීසියල් පෑනේ මිතුරු ගනයට වැටෙන්නේ නෑ මම හිතන්නේ.. ඒ සීන් එක පස්සේ ලියන්නම්.. මොකද ඒක වෙනම සබ්ජෙක්ට් එකක් හික්...

ඊට පස්සේ අර මම ලියල දාපු පොත කියෝපු ඔය දකුණු පළාතේ ගෑනු ළමයෙක් මට ලියුම් එව්වා. ඒකත් නැඟල ගියා ටික කාලයක්.. පස්සේ අපේ අම්මගේ දැඩි උපදෙස් මත ඒකත් නවත්තල දාන්න සිද්ද වුණා.. ඒවත් ඉතින් මොන කැටගරියට අයිති ද මන්ද... හික්සි බික්සි

ගෙදරට ටෙලිපෝන් ගන්න කලින් අපේ නංඟිගේ වෑන් එකේ ගිය තව ළමයෙක් එක්ක (මගේ වයසේ.. බාල අපරාද නෙවෙයි) ඔය ලියුම් කරදහි කීපයක් නංඟි අතේම හුවමාරු කර ගත්ත.. අනේ මන් ද ඉතින් ඒවත් මොන කැටගරියෙද මන්ද.. හික්ස් බිකිස්

ඔන්න ඔයවගේ පෑනේ මිතුරු කම් කීපයක් ම තිබ්බා..  පස්සේ පස්සේ ඊමේල් වලිනුත් ඊටත් පස්සේ බ්ලොග් වලිනුත් මිතුරු මිතුරියන් සෙට් වුණා..  දැන් ඉතින් මොකට මුද්දර ගහල ලියුම් දානවද.. කොහොම වුණත් ඒ පෑනේ මිතුරු සංකල්පය අභාවයට ගිය එක නම් අපරාදේ..  අනේ මන් ද දැන් ඉතින් මිනිස්සු පෑනේ මිතුරගෙන් හරි කමක් නෑ මොකක් හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන නේ ඕව පටන් ගන්නේ..  හැබැයි අවුරුදු 10-12 වගේ වයස් වල ළමයින්ට ඒ වගේ පෑනේ මිතුරෙක් මිතුරියක් ඉන්න එක හරි සුන්දර දෙයක් වෙනව..  අක්කගෙ පොඩි උන් දෙන්නට 2ක් සැට් කරල දෙන්න ඕනේ බලන්න.. 

Wednesday, December 12, 2012

ඉබ්බා දියේ දැමීම...

ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක අහසින් යන්න උනත් කල්පනා කලේ ඒ කාලේ දැන් වගේ ටැක්සි තිබ්බේ නෑ නේ...අනිත් එක අහසින් යන්න යූස් කරපු ටෙක්නික් එක.. සෙල්ලං ද.. (පොඩි පොඩි අමතක වීම් කාටත් වෙන්න පුළුවන්)

ඉබ්බ කියන්නේ අපිට නිකන් කම්මැලි ජනක සතෙක් වගේ හිතුණට පට්ට සිරා ඩයල් එකක්.. හරි හැඩයි.. අනිත් එක හොඳට හැදිච්ච, තැන්පත්, අහිංසක , වැඩි සද්ද බද්ද නැති,ගුණ යහපත්,දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ටොප් කොල්ලෙක් වගේ සතෙක්...  

හරි මේ ඉන්නේ ඉබ්බෙක්
                                      
 මේ ඉන්නේ ටිකක් බය ඇරිච්ච ඉබ්බෙක්
 මේ ඉන්නේ ටික ටික සාමාන්‍ය අතට පත්වෙමින් සිටින් ඉබ්බෙක්...
මේ ඉන්නේ ෆොටෝ ජෙනික් ඉබ්බෙක්...
 ෆොටෝ ජෙනික් ඉබ්බාගේ ක්ලෝස් අප් එකක්...
 මෙන්න මෙහෙමයි ඉබ්බෝ කාර් වල යන්නේ..
ඉබ්බෝ දුවන හැටි දැකල නැත්නම් මෙන්න..
හම්මා වතුර ටික 

දියවන්නා ඔයේ ඉපිද එහිම හැදී වැඩී තරුණ වියට පා තබා කෑල්ලක් සෙට් කර ගැනීමේ සහ ටිකක් ලෝකය බැලීමේ පරම පිවිතුරු චේතනාවන් යුතුව කාපට් කර ගල් අතුරා ඇති නවීන මං මාවත් වල සුව විඳිමින් හිටපු ඉබ්බෙක්.  

අතීත පාඩම් සිහි කල්පනාවට අරගෙන හෙමින් ගමන් කෝකටත් හොඳා කියල හෙමිහිට ඇවිදගෙන කෝට්ටේ පුරවරයේ සිරි නරඹමින් පාරවල් ගානේ රස්තියාදු ගසමින්, ඉබ්බියන්ට ලයින් දමමින් ආතල් එකේ සිටි ඉබ්බෙක්. 

කිලෝමීටර් 3-4ක් මාසයක් දෙකක් තිස්සේ ඇවිදිමින් හීන් සීරුවේ කාණුවකට වෙලා හිටපු ඉබ්බෙක්.

අපේ ඔපිසියේ අයගේ සහ මගේ අප්‍රමාණ සත්ත්ව කරුණාව හේතුවෙන් නැවත උගේ වාසස්තානයට ගෙන ගොස් දමා උගේ ලෝක සවාරියට සහ ඉබි කෑල්ලක් සැට් කරගැනීමේ  අහිංසක බලාපොරොත්තුවට කෙළ කිරීමේ ප්‍රීතිය බ්ලොග් අවකාශයේ සිටිනා සැම සමඟ බෙදා ගැනීම නිමිති කරගෙන මෙය 12/12/12 දින පිටකෝට්ටේ පිහිටි මගේ ඔපීසියේ ඇති පුටුවේ වාඩි වී ඔපිසියෙන් ම ලබා දුන් ලැපා ගෙන් කොටා මෙසේ පබ්ලිස් කරනු ලැබේ... 

Thursday, December 06, 2012

ගණිත ගැටළුවක්... amazing logic

මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්..

ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ.  අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ගන්න පුළුවන් එකක් කියල හිතුණ නිසයි දාන්නේ..  මේකයි ගැටළුව

ශිල්පගේ වයස එයාගේ පුතා රාජුට වඩා අවුරුදු 21ක් වැඩියි.
තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා.
දැන් ශිල්පගේ මහත්තය ඉන්නේ කොහෙද?

මේවගේ ගැටළු මීට කලින් දැකල ඇතිනේ...  හැබැයි මේක ජෝක් එකක් නෙවෙයි. ගනිතයෙන් තර්කානුකූලව උත්තරයක් ගන්න පුළුවන්.. සාමාන්‍ය පෙළ ගනිත දැනුම හොඳටම ඇති...

උත්තරේ ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්..

Wednesday, November 28, 2012

නිදහස් අධ්‍යාපනේට 6% ලැබෙනකම්...





මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින්  අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ... 


Monday, November 12, 2012

DSLR කැමරාවක් සමඟ මාස 6ක්...

"These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ  අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම්  DSLR  කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම මම කලේ එක විතරයි වගේ..  

කොහොම හරි දශක 3ක් විතර පෙරුම් පුරල පළවෙනි වෙඩින් ඇනිවසරි ට්‍රිප් එක යන්න ගත්ත මගේ කැමරාවෙන් මොනවද මෙච්චර කල් කලේ කියල මේ ඊයේ පෙරේදා නිකමට හිතල බැලුවා.. (ඇත්තම කිව්වොත් අරූ මාව බයිට් කරන්නේ කෝ පෙන්නපන් බලන්න උඹ ගත්ත හෙන පොටෝස් කියල) ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල ෂේප් වෙනවා..

දැන් ඔය කැමරාව අරන් එළියට බැස්සට දකින දකින දේවල් අපිට ඕනෙ විදියට ගන්න බැහැනේ.. ඒ කියන්නේ කුරුල්ලෙක්, සමනළයෙක්, ඔය කූබියෙක්, කඩියෙක්, වගේ හරි නැත්නම් ගහක අත්තක ඉන්නෙ ලේනෙක්, ඉර බැහැගෙන යන සීන් එකක්, වළාකුළු ඔන්න ඔය වගේ දේවල් පොටෝ ගත්තට අපි බලාපොරොත්තු වෙන විදියේ පොටෝ එකක් ගන්න එක ලේසි නෑ... ඕනෙම කෙනෙක් දන්න විදියට හොඳ ඔප්ටිකල් සූම් එකක් තියෙන්න ඕනෙ නේ ඈත තියෙන දේවල් ලස්සනට ගන්න, ඒ වගේ තමයි හොඳ මැක්‍රෝ ෆොටෝස් ගන්න ඒවට හරියට ලෙන්ස් එකක් ඕනේ... දැන් මේ අමාරුවෙන් ගත්ත කැමරාවත් එක්ක හම්බ වෙන කිට් ලෙන්ස් (18-55) එකත් එක්ක විතරක් කැමරාව පාවිච්චි කරනකොට තමා ඒකෙ රඟේ තේරෙන්නේ..

කැමරාව අරන් කොහෙ හරි ගියාම කොච්චර ආසාවෙන් ෆොටෝ ගත්තත් අපි බලාපොරොත්තු වෙන විදියේ ඒව ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ.. (මම වගේ කම්මැලි ඩයල් වලට ඕක හරි යන්නෙ නෑ)

හැබැයි ඉතින් උනන්දුවයි පොඩි හැකියාවකුයි තියෙනවනම් ඔය කිට් ලෙන්ස් එකෙනුත් සෑහෙන දේවල් කරන්න පුළුවන්.. (මට ඒ දෙකම නැති එක වෙනම කතාවක්)

අනිත් එක තමා DSLR කැමරා එකක් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක.. ඒ කියන්නේ ආවට ගියාට නැතුව දන්න කියන කෙනෙක් ගෙන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ..  මම ඒක කලෙත් නෑනේ.. පන්ති යන්න ඉස්සරත් කම්මැලියි දැනුත් කම්මැලියි... ඔපිස් එකේ ඉන්න අතරේ වීඩියෝ බලලයි වෙබ් සයිට්ස් වල තියෙන දේවල් වලිනුයි තමා යන්තම් ඔය බේසික් ෆීචර්ස් ටිකයි තියරි ටිකයි ඉගෙන ගත්තේ.. තාමත් හරියට දන්නෙ නෑ...

ඔන්න ඔහොම ගෙවිච්ච මාස 6 ට  ගත්ත  පොටෝ ගොඩක් වෙලාවට බලන්නේ මමයි,බට්ටි නඟයි විතරයි.. මොකද ප්‍රසිද්ධියේ දාන්න තරම් දෙයක් තාම ගන්න බැරි වුණා කියල මට ම හිතෙන නිසා (අරූගෙන් බේරෙන්න බැරිම තැන ෆ්ලිකර් එකට ටිකක් දැම්ම)

අපි දෙන්න යන ගමනකදි ඇර  මම තනියම පොටෝ ගන්නම කියල කොහෙවත් යන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කැමරාව ගෙදරම තමා.. ඉතින් මම පොඩ්ඩක් ස්ටොක් ෆොටෝග්‍රැපි පැත්ත ගැන හිතල ඒ අංශෙ දියුනු කරන්න හිතුවා.. හැබැයි ඉතින් ඒකටත් හොඳ ලයිටින් උපකරණ ඕනේ..   http://www.fotolia.com/ එකට ෆොටෝස් 20-25 ක් දාල යන්තම් එක ෆොටෝ එකක් ඇක්සෙප්ට් වුණා.. fotolia එකෙන් නම් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...  මේ තියෙන්න අන්න ඒ එකම එක. 

කැමරාව අරන් මුලින් ම බෙල්ලන්විල පන්සල් ගිහින් (අවංකවම මම පන්සල් යන්නේ ෆොටො ගන්න) ගත්ත මට ටිකක් ලස්සනයි කියල හිතෙන එකක් මේ


 මේ තියෙන්නෙ ඕක අරන් ගාලු ගිහින් ගත්ත තව එකක්... 


ඊට අමතරව ඔය එහෙම මෙහෙ ගිහින් ගත්ත ඒව හැටහුටහමාරක් විතර තියෙනවා.. හැබැයි වැඩක් නෑ..
ගෙදර ඉන්න වෙලාවට නිකන් ඉන්න ගමන් කරපු ඒව 2ක තුනකුත් දාන්නම් බැරි වෙලා හරි මම වගේ තව එක්කෙනෙක් හරි හිටියොත් නිකන් ට්‍රයි එකක් දීල බලන්න








ඉතින් ඔන්න ඔහොමලු වුණේ.. ආසාවට කැමරාවක් ගත්තට ඒකෙන් නියම ප්‍රයෝජනේ ගන්න තාම බැරි වුණා.. ඒකට අවශ්‍ය කැපවීම හරියට කරන්න ඕනේ..  හැබැයි ඉතින් හොඳ ෆොටෝස් ගන්න DSLR කැමරාවක් ම ඕනේ නෑ කියල මට හිතුණා.. මූලික සංකල්ප ටික හරියට දන්නවනම් ඕනෙම කැමරාවකින් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්.. DSLR කැමරාවකින් උසස් තත්වයේ ෆොටෝස් ගන්න නියමිත ලෙන්ස් වලට, ලයිටින් වලට ටිකක් වියදම් කරන්න වෙනවා.. ඒක ඉතින් එක එක්නෙකාගේ කැමැත්ත අනුව තමා...

මේ තියෙන්නෙ ෆිලිකර් එකේ ලිංකුව 

අනිත් වැදගත්ම දේ තමා මේ ගත්ත පොටෝ කෑලි මකල දාන්න තියෙන තන්හාව.. මෙලෝ වැඩක් නැතිව 11GB විතර පුරෝගෙන ඉන්නව මේ එහෙ මෙහෙ අල්ලපු පොටෝ කෑලී වලින්.. මකල දාන්න හිතෙන්නෙම නෑනේ... ඕව රැස් කරල මොන අපායේ යන්න වෙයි ද දන්නෑ...


Monday, October 22, 2012

තනිකම විඳීම...

තනිකමට  බයයි... තනිකම දුකක්...  තනිවෙන එක පවක්... (ද)?  මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද?  අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...

මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?

අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...

මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...

පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.  

මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න.. 

හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ...  මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා  සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව. 

මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......

කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා



මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ.. 

මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...

ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි.. 

කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..

මොනව කිව්වත් ඉතින්...  සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි...