දැනට සති 2කට විතර කලින් 2012 වර්ෂය සඳහා වූ අපගේ අවසන් චාරිකාව අපි නිමා කළා. මෙච්චර කාලෙකට ගිහින් තිබුණු නැති නැඟෙනහිර පළාතේ සංචාරයක් දාන්න ලැබීම ලොකු දෙයක් වුණා. මාස කීපයකට කලින් බට්ටින් නංඟිලාගෙ ගෙදර කට්ටියත් එක්ක ගිය නුවර,නුවර එළිය සංචාරෙන් පස්සේ සෙට් වෙච්ච ට්‍රිප් එක මේක. පහුගිය කාලේ තිබිච්ච අධික බිසී බව නිසා අපේ ට්‍රිප් ගමන් සම්පූර්ණයෙන් ම අඩාල වෙලා තිබ්බේ. කොටින්ම මේ ට්‍රිප් එකට බට්ටින් නඟාව ඔපිසියෙන් ගලව ගත්තෙ අන්තිම මොහොතේ.
කොහොම හරි ඉතින් අපි දෙන්නයි,අක්කලයි,අම්මයි,දිමුතු අයියගේ අම්මයි තාත්තයි එක්ක ත්‍රිකුණාමලේට අපි ගියා.
අපේ අක්කගෙ යාළුවෙකුගේ මාර්ගයෙන් කියල බුක් කරගත්තු රජයේ තානායමක් තමා මුල් දවසේ නවාතැන විදියට ලෑස්ති කරගෙන තිබුණේ... රෑ 9ට විතර එතෙන්ට ගියාට පස්සේ තමා රජයෙ වාසස්තාන වල රඟේ තේරුණේ. නමුත් ඒවගේ පළාතක ආන්ඩුවේ එකක් ඒ විදියට හරි තිබිච්ච එක සෑහෙන්න වටිනවා. කොහොම හරි පොඩි පොඩි කචල් බචල් එක්ක එදා රෑ එළිකරගෙන පහුවදා උදෙන්ම ගියා කන්නියා වල උණු වතුර ළිං ටික බලන්න. අපේ වෙලාවට බදු අරං නාන පින්වතුන් කවුරුත් හිටියෙ නැති නිසා ළිං හතේම වතුර ටික අතපත ගාල බලන්න පුළුවන් වුණා. සිරාවටම පට්ට සනීපයි. නාඟන්න කියාපු රස්නේ. හැබැයි අපි කවුරුත් නෑවෙ නෑ.
මෙන්න තියෙනව එක ලිඳක්.
එතනින් පස්සේ ගියා ත්‍රීකෝනේෂ්වර්න් කෝවිලට. ඒකට ගියේ ඇයි කියල නම් මම දන්නේ නෑ නමුත් ත්‍රිකුනාමලේ යන හැමෝම ජාතී බේදෙකින් තොරව ඒකට යනවා. මම පස්සේ දැන ගත්ත විදියට රාවණා රජ්ජුරුවන්ට සම්බන්ධ තැනක් ලු. සම්බන්ධ වෙන්නේ කොහොමද කියල හරියටම දන්නෙ නෑ. ඉස්සර නම් යන යන තැන් වල ඉතිහාසෙයි කතන්දරයි කොහෙන් හරි හොයා ගන්නව. දැන් නම් ගහල තියෙන බෝඩ් එකක් වත් කියවන්නේ නෑ. ඔහේ තියෙන දෙයක් බලාගෙන පොටෝ එකක් අල්ලගෙන එනවා.
මේ ප්‍රතිමාව මොන දෙවියන්ගෙද කියලවත් කොටින්ම දන්නෙ නෑ... (අනේ කාලේ වනේ වාසේ කිව්වලු)
ත්‍රීකෝනේෂ්වරන් වලින් පස්සේ ආයෙත් අපේ රාජකීය රාජ්‍ය නවාතැනට ඇවිල්ල හවස් වරුව ගැන සාකච්චාවක් දැම්මා. හැමෝගෙම අදහස වුණේ අද රෑට නම් මෙතන බෑ. දැන් ඉතින් හොයපල්ලකෝ අලුත් තැනක්..
ඊට පස්සේ මොනව කරන්නත් කලින් කාල ඉමු කියල ගියා කන්න තැනක් හොයාගෙන කින්නියා පාළම් පැත්තට. පාළම් 2ක් ද 3ක් ද පහුකරගෙන ගිහින් අපේ දිමුතුව නතර කළේ නැතෑ අපූරු කඩේක දවල්ට කන්න. සැක්.. අන්න කඩ.. වෙලාවට පොටෝ කෑල්ලක් අල්ල ගන්න අමතක වුණා නේ. රාජකීය රාජ්‍ය නවාතැනට තකට තක.
වෙලාවේ හැටියට වෙන තැනක් තිබුණෙ නැති නිසා සහ පොඩි උන් දෙන්නත් බඩගින්නෙ කෙඳිරි ගාන නිසා ඕන එකක් කියල දීල ඇද්ද බත් එකකට. කඩේ පොර නොමිලේම අපිට අඹ ගෙඩි ටිකකුත් කපල දුන්න බත් කාල කන්න. ඒ තරම් රස කෑම වේල.. හැබැයි අපරාදේ කියන්න බෑ අපේ බඩවල් නම් දැන් ඕනේ එකක් දිරවන්න පුලුවන් විදියට හැඩ ගැහිල තියෙන්නේ. උලත් එකයි පිලත් එකයි හික්ස්
ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියල හිත හිත වාහන දෙකේ කස්ටිය යන අතරේ අපේ බට්ටි නඟා එන ගමන් බලාගෙන ආපු Marble Beach (Air Force) Resort එක දිහාට හරවල බැලුව. අපි මාබල් බීච් එකගැන දැනගෙන හිටියට Marble Beach (Air Force) Resort එකක් ගැන දැනගෙන හිටියෙ නෑ. ඕනෙ එකක් කියල ගිහින් එතන හිටපු ගුවන් හමුදා සහෝදරයෙක් එක්ක කතා කරල බැලුව.
වෙලාවේ හැටියට එතන නිකං දිව්‍යලෝකේ වගේ. කොහොම කොහොම හරි එදා රෑ Marble Beach (Air Force) Resort එකේ ඉන්න කට්ටියම එකඟ වුණා. (අම්මල ටිකක් බැන්නට සල්ලි නම් මොනාද අනේ හික්..)
ඔය තියෙන්නේ මාබල් බීච් එක. මේ ලංකාවද කියල හිතුණා. හැමෝම ලස්සනයි ලස්සනයි කියල කියපු නිලාවැලි බීච් එක දැන් ජරා වෙලා කියල අපිට එහෙදි ලැබුණු ආරංචියක් නිසා නිලාවැලි පැත්තෙ ගියෙ නෑ. හැබැයි මෙතන නම් සුපිරි.
යුද්දෙන් රට බේර ගත්ත අපේ සෙබලුන්ගේ හැකියාව ශ්‍රමය නියම විදියට පාවිච්චි කරල ජාත්‍යන්තර තත්වයෙන් ඒ වෙරළ ඔවුන් පවත්වාගෙන යනවා. වෙරළ කොටස් 2කට වෙන් කරල තියෙන්නෙ. සාමාන්‍යය සංචාරකයින්ට සහ පදිංචි කරුවන්ට වශයෙන්. ඔබ සාමන්‍ය සංචාරකයෙක් විදියට ගියත් ඔබට රු 20ක ටිකට් පතක් ලබා ගත යුතුයි වෙරළට ඇතුල් වෙන්නත්. අපේ රටේ අපේ වෙරළට යන්න අපි මොකටද සල්ලි ගෙවන්නේ වගේ පොර ටෝක් දාන්න කලින් අපේ රටේ අනිත් වෙරළවල් වලට අපේම එවුන් ගිහින් කරල තියෙන විනාශ ටික පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මෙතැන ඒ අතින් සුරපුරයක්. ඔබටම කියල පෞද්ගලික වූ වෙරළක සන්ද්‍යාවක් ගතකරන්න කැමති නම් මෙන්න තැන. ඒ වගේ දේවල් ඉංග්‍රීසි ෆිල්ම්ස් වල විතරයි මීට කලින් දැකල තිබ්බේ. ඒ දවසට වෙරළ අපේ. සෙල්ලං ද.. හික්
නතර වෙන්න තිබුණු කබානාත් සුපිරි. ලංකාවේ තියෙන තරු පන්තියේ හෝටල් ඕනෙම එකකට නොදෙවෙනි වෙන්න ඔවුන් ඒ කබානා සුව පහසු ලෙස හදල තිබුණා. අවශ්‍ය හැමදේම ඔවුන් අප වෙනුවෙන් ලෑස්ති කරල තිබුණා.
මෙතනින් බලන්න අපි දෙන්න හිටපු කබානාවෙ ඇතුළත දර්ශනයක්. වායුසමනය,සැටලයිට් ටීවී ඔවුන්ගේ මූලික පහසුකම් විතරයි. තවත් බොහෝ දේ එහි තිබුණා.
වෙන ඕනෙම බීච් හොටෙල් එකකදි අපිට ලැබෙන්නේ බීච් එකේ නිදහසේ ඉන්න වෙලාවක් විතරයි. රැය ගෙවන්න වෙන්නේ ගොඩබිම තියෙන බිල්ඩින් එකකනේ. මෙතනදි ඒක සම්පූර්ණයෙන් ම වෙනස්. රැළි වදින වෙරළෙ හදපු සුවපහසු කාමරයක රැයක්. මහ රෑට කුණාටු වගේ වැහි එනකොට, දඩ බඩ ගගා හුළං වැදිල දොරවල් ජනෙල් සෙලවෙනකොට, මුහුදු රැල්ල යටින් වදිනකොට හිතට පොඩි බයක් දැනුනත් ඒ අත්දැකීම වෙන කිසිම තැනකින් ලබන්න නම් බෑ.
රෑ කෑම බුෆේ ක්‍රමයට වෙනම ලෑස්ති කරල තිබුණා. ගුවන් හමුදාවේ කොල්ලො ඉව්ව කියල කියන්න බෑ. නියම සූපවේදීයෙක් ගේ රස (ඇත්තටම ඉව්වේ එයාර් ෆෝස් කොල්ලොද කියල නම් මම දන්නේ නෑ). කෑම නියමයි.
මේ තියෙන්නේ ඩයමන්ඩ් හිල් කන්ද
පහුවදා උදේ කෑමෙන් පස්සේ ඔවුන් අපව හයික් එකක් එක්කන් ගියා. ඒ ළඟම තියෙන ඩයමන්ඩ් හිල් කියන කදු ගැටයේ ඇවිදින්න.
ඒක යුද්ධ කාලේ කොටි ගුහාවක්.
මේ තියෙන්නේ කොටි පාවිච්චි කරපු කුලුනක පාදම.
මෙන්න භූගත බංකරයක්.
ඩයමන්ඩ් හිල් කියල නම වැටෙන්න හේතුවෙච්ච කොටින්ගේ මෙහෙයුම් කාර්‍යාලයක් විදියට බාවිතා කල ගොඩනැඟිල්ල
මේ තියෙන්නේ ඩයමන්ඩ් හැඩැති අහස :)
අපේ හයික් එකේ තැන තැන වෙහෙස නිවා ගන්නට නතර වීමට ඔවුන් සාදා තිබූ නිරීක්ෂණ ස්තාන ගැනත් මතක් කරන්න ඕනේ.
මේ තියෙන්නෙ එහෙම තැනකදී අවට පේන දර්ශනයක්.
කන්දේ හිටපු ෆොටෝ ජෙනික් හැකරැල්ලෙක්.
ඒක පැය එකහමාරක විතර හයික් එකක්. මඟ පෙන්වන්නෝ දෙන්නෙක් හිටියා. ඔවුන හරිම සුහදශීලීයි. ටොප් කොල්ලෝ.
හයික් එකෙන් පස්සේ ඉතින් දවල්ට කන කම් මුහුදේ නෑම තමා. අපි මුහුදට බැහැපු සැනින් පළපුරුදු ජීවිතාරක්ශකයෙක් අපිත් එක්කම ඉන්නවා. ඒ නිසා හිතේ හැටියට මුහුදේ නටන්න පුළුවන් අපි වගේ ගොඩ පීනන්න දන්න අයටත්. අපි ගිය දවස් වල වාරකන් කාලේ නිසා මුහුද සැරයි. මාර්තු අප්‍රේල් වගේ හොඳයි ලු.
මේ තියෙන්නේ අපේ කබානාව
මේ තියෙන්නේ තනිකරම වතුරේ හදපු තවත් කබානාවක්
බස්ටි නංඟිට තිබුණ නිවාඩු ප්‍රශ්න නිසා අපි එදා දවල් කෑමෙන් පස්සේ පිට වෙලා ආව. අක්කල නම් තව දවසක් නතර උණා. මම පස්සේ දැන ගත්ත විදියට බීච් එකට ටිකක් එහායින් සුපිරි තත්වයේ ගොල්ෆ් ක්‍රීඩාංගනේකුත් තියෙනවලු. අක්කල නම් එහෙත් ගිහින් තිබුණා ඒකේ වෙනම විදියේ වී.අයි.පී කාමරත් තිබුණ කියලයි අක්ක කිව්වේ. අනිත් එක මහ රජ්ජුරුවෝ හිතුණ ගමන් ඇවිල්ල නතර වෙන ස්පෙෂල් කබානාවකුත් ටිකක් ඇතුළට වෙන්න තිබුනා. (පොටෝ අල්ලන්න ගියේ නෑ කෝකටත් කියල..)
වැදගත් : ඔවුන් තාමත් ක්‍රෙඩිට් කාඩ් නම් පිළිගන්නේ නෑ. කෑෂ් තමා. හැබැයි කල්තියා මෙහෙන් බුක් කරනකොට කොහොමද දන්නේ නෑ. අපි කලේ ක්ෂණික බුකින් නේ.
අපේ ප්ලෑන් එක වුනේ ත්‍රිකුණාමලේ ඇවිදින්න. හැබැයි මේකට ගියාට පස්සේ ඇවිදින්න තිබිච්ච ආසාව කොහෙන් ගියාද නෑ. ආයේ වෙන කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ.
ප.ලි. කබානාවේ නම කියාම බුක් කර ගැනීමේ පහසු කම් ඇත. ත්‍රිල් එක වැඩියෙන් ඕනෑ නම් මුහුදේ තිබෙන එකක් ම බුක් කර ගන්න. අම්මල තාත්තලට පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන එකක් බුක් කරල දෙන්න. මොකද රෑ වෙනකොට සුනාමි බය දැනීමේ සියුම් සම්බාවිතාවක් ඇතිවිය හැක.වෙන කිසිඳු බයක් සන්තාපයක් ඇති කර නොගන්න. පැය 24ම ගුවන් හමුදා කොල්ලන්ගේ රැකවරණය සහතිකයි.
අපේ ත්‍රිකුණාමල සවාරිය මාබල් බීච් සවාරිය වුණේ ඔන්න ඔහොමයි!