Monday, August 18, 2014

8 වසරක් සිංහලෙන් බ්ලොග් ලියා...



මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. අවංකවම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ප්ලෑන් කරලා දේවල් ලියල නෑ.. ලියන්න අදහස් සමහර විට ඔය යන එන වෙලාවට කල්පනා කරලා බලනවා. ඒ ඇරුනම යම් අරමුණක්, නැත්නම්  බලාපොරොත්තුවක් තියාගෙන මේකේ කිසිම දෙයක් මම ලියල නෑ. 

මම කලින් ඔය ඇනිවසරි පෝස්ට් වලදී කියල තියෙන විදියට සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය තුල බාවිතාව අරඹා ටික කාලෙකින් මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ දවස් වල සිංහල අකුරින් කොම්පියුටර් එකේ මොනවා හරි ලියන්න ආපු ආසාව නිසා මේක ලියන්න පටන් ගත්තේ. මොකද ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන , වර්ඩ් වල වගේ කි-පෑඩ් එකක් ඕපන් කරගෙන අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා තමයි මම ඊට කලින් සිංහල ලිව්වේ. හැබැයි මේ යුනිකේත නිසා එහෙම ලියන්නේ නැතුව අපි කී-බෝඩ් එකේ ඉංග්‍රීසි ලියන විදියට ඉතා පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් වීම ඒ දවස් වල මට නම් ඇත්තටම හෙන සිරා දෙයක් විදියට පෙනුනේ. ඒ ආසාවට ඔහේ ලියපු එකයි කලේ.

මම සිංහල යුනිකෝඩ් සමුහය එක්ක එකතු වෙච්ච හැටි මම කලින් පෝස්ට් වල ලිව්වා. ගොඩක් අය මේ සිංහල යුනිකේත මේ අද තියෙන තත්වයට ගේන්න මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත අය හිටියා. දැන් වගේම නැති වුනත් බ්ලොග් වල හොඳ රසවත් කතා බහ තිබුන. 

ඉතින් බ්ලොග් ලියන එක මට නම් මෙච්චර කාලෙකට  මගේ පුද්ගලික ජිවිතේටවත්, රැකියාවටවත් අමුතු බාදාවක් හෝ වාසියක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක දවසේ පැය 24න් පැය 12ක් විතර පරිගණකය ඉස්සරහ ගත කරන රස්සාවක් කරන අතරේ සිංහලෙන් මොනවා හරි ලියන්න හිතුනහම ඔහේ ලියන්න පාවිච්චි කරනව එච්චරයි. 

ඒ ඒ කාල වලදී මුණ දෙන්න සිද්ද වෙච්ච  එදිනෙදා සිද්දි නැත්නම් ඒ ඒ කාලවලට ජිවිතේ ගැන හිතෙන හැටි, නැත්නම් ඔය වල් පල් ටිකක් ඇර වෙන වැදගත් වගේ දේවල් මේකේ නෑ.  ඊට වැඩිය සමාජයට ප්‍රයෝජනවත් වගේ දෙයක් ලියන්න ඇත්තටම මම දන්නේ නෑ කියන්න පුළුවන්. මොකද මම සාමාන්යෙන් මොනවා හරි ලියන්න කලින් හිතල බලනවා මේ ලියන්න යන එක ගැන මම හරියටම දන්නවද කියල. ඔහොම හිතල බැලුවම මම ඇත්තටම මොකුත් දන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. ඉතින්  නොදන්න දේවල් ලියන්නේ කොහොමද කියල මම ඕවා ලියන්නේ නෑ.

හැබැයි එක වෙලාවකට මම දන්නා සමහර දෙවල් ලියන්න ඕනේ කියල හිතෙනවා. හැබැයි තාම මට ඒ දේවල් ලියන්න හරියටම හිතුනේ නෑ. හිතුන වෙලාවක ලියන්නම්.

සිංහල බ්ලොග් ලෝකේ බොහොම අපූරු මිනිසුන් ඉන්න තැනක්. හැම දෙයකදිම වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන නිසා මේ බ්ලොග් කියවීම රසවත් දෙයක් වෙලා තියෙනවා. මම බොහොම අඩුවෙන් බ්ලොග් කරුවන් සමග සම්බන්ධ වෙන කෙනෙක්. එහෙම වෙලා තියෙන්නේ එකක් ඒ මගේ හැටි වීම සහ අනිත් එක අන්තර්ජාලය ට වඩා මම සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු එක්ක හොඳින් එන්න කැමති වීම. ඒ කියන්නේ මම වර්චුවල් ප්‍රතිරූප ගැන තාම එතරම් විස්වාස කරන්නේ නෑ..  එකෙන් අදහස් වෙන්නේ නෑ වර්චුවල් ඉන්න අය නරක මිනිස්සු කියල නමුත් මම වඩා කැමතියි දන්න කියන ගෙදර මිනිස්සු ටිකත් එක්ක වැඩි පුර කාලයක් ගත කරන්න. 

බ්ලොග් ලෝකේ විවිධ දේවල් සිද්ද වෙනවා. බොහෝ අය ඇවිල්ල යනවා. බොහෝ හොඳ දේවල් සිද්ද වෙනවා. බ්ලොග් නිසා හඳුනා ගෙන බොහෝ උපකාර කරපු අය ඉන්නවා.  මමත් පුළු පුළුවන් හැටියට උපකාර කිහිපයක් කරලත් තියෙනවා. ඉතින් කොයි දේ වගෙත් මේකත් ජීවිතෙත් එක්ක ගලාගෙන යන තව එක දෙයක් විතරයි. අනිත් සම්බන්ද කම් වගේම බ්ලොග් නිසා ඇතිවුන සම්බන්ද කමුත් ඒ විදියට ගලාගෙන යයි.

මට ඉතින් කියන්න තියෙන්නේ දන්නා දෙයක් ලියල තමන්ටවත් අනුන්ටවත් ඇණයක් නොවී මේ වැඩේ කරගෙන යමු කියල.  අපි වගේම අනිත් මනුස්සයත් එක එක විදියේ ප්‍රශ්නත් එක්ක ජිවත්  වෙන තවත් කෙනෙක් කියන එක පොඩ්ඩක් කල්පනාවට ගත්තම අපිට කෙනෙකුගේ ජිවිතයට ඇණයක් වෙන්න හිතෙන්නේ නෑ. හැබැයි ආතල් එකට නම්  මල ඇණයක් වුනත් කමක් නෑ...

අට වසරේ පොර ටෝක් අවසානයි නමය වසරේදී නැවත හමුවෙමු




Monday, August 04, 2014

බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!!

මම මගේ CV එකේ මේ බ්ලොග් එක ගැන සඳහනක් දාල තියෙන්නේ. ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන අන්සෙට අදාලව. මගේ CV එකේ ඒ අන්සේ නම  දාල තියෙන්නේ Skills and Competencies කියල. ඒ කියන්නේ මට සිංහල සහ ඉංග්‍රීසි වලින්  යමක් ලිවීමේ හැකියාව තියෙනවා කියන එක ඔප්පු කරන්න තමයි ඕක දාල තියෙන්නේ..

බ්ලොග් එකක් CV එකට දාන එක ගැන අපි එච්චර නොහිතුවට එකෙන් සැහෙන ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම ඔය යම් කිසි විෂය කරුණු ගැන ලියන අයට, එහෙම නැත්නම් තාක්ෂණික දේ වල් ලියන අයට. තමන් කරන රැකියාවට කෙලින් ම අදාළ ව හෝ අදාළ නොවුනත් තමන්ගේ යම් හැකියාවක් පෙන්නුම් කරන්න CV එකේ තමුන්ගේ බ්ලොග් අඩවිය සඳහන් කිරීම වරදක් නෙවෙයි කියල මම හිතන්නේ.. ලියන දේවල් වල ස්භාවය අනුව පොඩි පොඩි අවුල් තිබුනට ලංකාවේ ජොබ් එකකදී නම් ඉතින් බ්ලොග් එක ගැන CV එකේ දාන එකෙන් හොඳක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ගොඩක් වෙලාවට අපි නොදන්නවා උනාට අපිව ඉන්ටර්විව් කරන කෙනා අපේ බ්ලොග් එක කියවන්නෙක් වෙන්න පුළුවන්..  ඉතින් පොඩි සපෝර්ට් එකක් ඉබේම ලැබෙන්නත් ඉඩ තියෙනවා ඒ වගේම ජොබ් එකට කෙල වෙලා යන්නත් පොඩි චාන්ස් එකක් තියෙනවා... හෙහ් හෙහ් මම නම් CV එකට බ්ලොග් එකේ ලින්ක් එක නම් දැම්මේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වලමයි. 

 කාලයක් එකම කොම්පැනියේ වැඩ කරනකොට මේ අපි වගේ සොෆ්ට්වෙයාර් ජොබ් කරන අයට නිකන් මාරු වෙන්න ඕනේ කියන හැඟීම එනවා. ඒ කියන්නේ අපි කරන දේවල් නිතර වෙනස් වෙන නිසා පොඩ්ඩක් අප්ඩේට් වෙන්නයි පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්නයි ඉතින් ඒක හොඳ වැඩක්.  කොහොමත් ඉස්සර වගේ දැන් දැන් අවුරදු 15-20 එකම තැන වැඩ කරනවා අඩුයි නේ පුද්ගලික අංශ වල රැකියා කරන අය.

ඉතින් මිට අවුරුදු එකහමාරකට  විතර කලින් මමත් ඔහොම CV එක දැම්ම. ඔය ඇබෑර්තු තියෙන තැන් වලට. මුලින්ම සෙට් වෙච්ච තැන ඉන්ටර්විව් එක පොඩ්ඩක් අවුල් ගියා මොකද අවුරුදු 3කට විතර පස්සේ මුලින් ම ගියාම අහන ප්‍රශ්න ගැන හරි අයිඩියා එකක් නැති නිසා. එතන පට්ට ටෙක්නිකල් සහ අනිත් එක මම කරපු දේවල් වලට අදාළව නෙවෙයි එයාලගේ අවශ්‍යතාවය තිබුනේ.  මගේ නම් අදහස සොෆ්ට්වෙයාර් ජොබ් කරන අය අවුරුද්දකට 2කට විතර සැරයක් නිකමට වගේ CV එක දාල ඉන්ටර්විව් ගිහින් බැලුවට කමක් නෑ. එතකොට තමන්ගේ දැනුම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

ඊට පස්සේ තමයි මේ මැලේ රටේ එකේ ඉන්ටර්විව් එකට ගියේ. එතනත් ඉතින් 3 දෙනෙක් විතර ඇවිත් පැයක් විතර එක එක දේවල් ඇහුව. හෙනම ටෙක්නිකල් නෙවෙයි හැබැයි කරපු ප්‍රොජෙක්ට්ස් ගැනයි, සමහර ටෙක්නිකල් දේවල් ගැනයි ඇහුව. වැඩිපුරම ඔය කොම්පැනි ගැනයි, ලංකාව ගැනයි, ආගිය කතායි ඒව මේවා තමයි. පස්සේ පොඩි ටෙස්ට් එකක් කරන්නත් වුණා. 

ටික දවසක් යනකොට මෙන්න ආයේ තව කොම්පැනි එකකින් කෝල් එකක් ආවා. මැලේ රටේ එක ගොඩ යයි කියල පොඩි ෂුවර් එකක් තිබුනට ඔන්න ඔහේ කියල මේකටත් ගියා. මොකද ඒ කොම්පැනි එකට පොඩ්ඩක් හදිසි වෙලා තමයි මේ ගන්න හදන්නේ. මට පුළුවන් තරම් ඉක්මනට ඉනටර්විව් එකට එන්න කියල තමයි එයාල කෝල් කලේ. ඔතන අර මගේ අතීසාර මිත්‍රයින්ගෙන් එකෙකුත් වැඩ කළා. ඌට අනුව නිකන් ඉල්ලන ගානක් දීල ගන්න තරම් හදිසි තත්වයක් ලු තිබුනේ. 

එතන ඉන්ටර්විව් 3කට යන්න වුණා. පළවෙනි එක ටෙක්නිකල් එකක්. එයාලගේ අවශ්‍යතාවය වුනේ Android වලට කෙනෙක් ව ගන්න. මම ඒ දවස් වල Android කරපු නිසා ඒ ටෙක්නිකල් ඒවා ගේමක් නැතුව ගොඩ දැම්ම. පස්සේ අහපු සමහර දේවල් එහෙන් මෙහෙන් අවුල් ගියත් ඔන්න දැන් පලවෙනි එක ගොඩ. දැන් ඉතින් පඩි නඩි කොච්චර ඕනෙද එහෙම ඇහුවා. මට ඉතින් මෙතන සෙට් වුනත් එකයි නැතත් එකයි වගේ නිසා මම ටිකක් වැඩි පුර ඉල්ලුවා. ඉන්ටර්විව් එකේ හිටපු CTO බුවා හිනා වෙලා කිව්වා එච්චර නම් දෙන්න අමාරුයි ඕනනම් මෙච්චරක් දෙන්නම් කියල. මම කිව්වා එහෙනම් තේරුමක් නෑ. ඔය ගානට එන එක පාඩුයි කියල. 

කොහොමත් ජොබ් එකකට යනකොට මුලින් ම අපි කතා කරලා ගන්න ගානක් තමයි. ඊට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට කැරට් කකා තමයි ඉන්න වෙන්නේ. 

කොහොම හරි ඉතින් දවස් 2ක් විතර යනකොට මෙන්න මුන් මට ආයේ කෝල් කරනවා තව ඉන්ටර්විව් එකක් තියෙනවා පොඩ්ඩක් එන්න පුළුවන් ද කියල.. 

මට ඇති මහා වැඩක් නොතිබුනත් මම කිව්වා අද නම් හෙන බිසී අද එන්න බෑ ඕනනම් හවස 5න් පස්සේ එන්නම් කියල. එහෙම කියල 6ට විතර වෙලාව සෙට් කරන් ගියා. 

ගිහින් දැන් අර එදා හිටපු CTO බුවා එහෙම හම්බ වෙලා තව කෙනෙක් එක්ක පොඩි සාකච්චාවක් දැම්ම. ඔය පොඩි පොඩි  ප්‍රශ්න ටිකක් අහල දැන් මම ඉල්ලපු ගාන පොඩ්ඩක් අඩු කරගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. මම ඉතින් කිව්වා මට දැන් ඉන්න තැන කිසි අවුලක් නෑ ඉතින් ඒ ගානට වඩා අඩුවෙන් නම් එන එක තේරුමක් නෑ. අරකයි මේකයි කියල. මොකද මම දන්නවා දැන් මෙයාලට මාව ගන්න ෆුල් උවමනාවක් තියෙනවා කියල. අනිත් එක ඔය දවස් වෙනකොට මැලේ රටේ එක හරි ගිහින් තිබුනේ. ඒ කියන්නේ මාව සිලෙක්ට් කියල ඔෆීසියලි දන්නල තිබුනේ.  හැබැයි මම ඒ වෙනකොට ස්ථිරව තීරණේ කරලා තිබුනේ නෑ මැලේසියාවට එනවද කියල. මොකද මට රට යෑම ගැන එච්චර උනන්දුවක් කොහොමත් තිබුනේ නැති නිසා.

හැබැයි ඉතින් එදා ඉන්ටර්විව් එකෙන් පස්සේ මට තීරණයක් ගන්න වුණා. ඒ කියන්නේ එක්කෝ මැලේසියා යනවා නැත්නම් මේ කොම්පැනි එකට සෙට් වෙනවා. මෙතනට සෙට් වෙන්න මට පොඩි කැමැත්තකුත් තිබුන. මොකද එතන මට Android තමයි කරන්න තිබුනේ. මම ඒ වෙනකොට තීරණේ කරලා තිබුනේ දිගටම Mobile පැත්තෙන්ම කරනවා කියල මොකද මට එක එක තාක්ෂණික පැති වල වැඩ කරල ටිකක් ඇති වෙලා තිබුනේ.. ඔන්න ඔහේ  Android App එකක් හදාගෙන ඉන්න පුළුවන්නෙ කියල හිතාගෙන හිටියේ...

හැබැයි ඉතින් අනිත් අතට මැලේසියාවෙ අත්දැකීමත් වැදගත් කියල හිතුනා. ඔය අතරේ දැන් මම මැලේසියා ගියාම බට්ටි නගා ට ජොබ් එකෙන් අස් වෙලා එන්න වෙන ප්‍රශ්නෙත් තිබුනා. අපි දෙන්න නිකන් ගහයි පොත්තයි වගේ 24x7 එකටම හිටපු නිසා යනවනම් දෙන්නම යනවා කියල තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම ඕනේ එකක් වෙන්න කියල මැලේසියාවට දැන්නුව මම එන්නේ බට්ටි නගාටත් ජොබ් එකක් දෙනවනම් විතරයි කියල. එහෙනුත් කිව්වා හරි CV එක එවන්න එකක් සෙට් කරන්නම් කියල..

දැන් ඔහොම දවසක් දෙකක් ගියා.

මෙන්න අර කොම්පැනියෙන් මට ආයේ කෝල් එකක් එනවා. හරි අපි ඔයාව තොර ගත්ත තව ඉන්ටර්විව් එකක් තියෙනවා අපේ CEO ද කවුද එක්ක. වහාම එන්න කියල. දැන් ඉතින් මොකද කරන්නේ. ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල එකටත් ගියා.

දැන් තමා මාතෘකාවට අදාලව සිද්දිය  හෙහ් හෙහ්

වෙලාව රෑ 7ට විතර ඇති. මම ඉතින් පිළිවෙලකට ඇඳලා දැන් අර ඉන්ටර්විව් එකට සෙට් වෙලා ඉන්නවා. එතන ලොක්කා ගෑනු කෙනෙක්. අවුරුදු 40-45ක් වගේ ඇති.

සාමාන්‍ය විදියට දැන් කතාව පටන් අරන් යනවා.  මම ඉතින් පාඩුවේ අහන දෙකට උත්තරයක් දීගෙන ඉන්නවා.

මෙයා මගේ CV එක බලන ගමන් තමයි කතාව. 

ඉංග්‍රීසියෙන් ගිය කතාව සිංහලෙන් මෙහෙමයි

ලො :ඔයා බ්ලොග් එකක් ලියනව නේද?
මම : ඔව් ලියනවා. මම ලින්ක් එක දාල තියෙනවා
ලො: පොඩ්ඩක් ඉන්න මම බලන්නම්
(ලැප්ටොප් එකෙන් මගේ මේ බ්ලොග් එක බලන ගමන්)
ලො : සිංහලෙන් නේද ලියන්නේ ඇයි ඉංග්‍රීසියෙන් තාක්ෂණික දේවල් තියෙන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ?
මම : දවසම ටෙක්නිකල් වැඩ කරන නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම ඕක ලියන්නේ. ටෙක්නිකල් ඒවා ලියන්න මට කම්මැලියි.
ලො: ඒක හොඳයි හැබැයි ඔයා වගේ සීනියර් අය ටෙක්නිකල් එකක් ලියන්න ඕනේ නේ. ගොඩක් වටිනවා එහෙම එකක් ලියන එක.
මම : ඔව් මම දන්නවා. ඒ වුණාට මට කම්මැලියි. තව ගොඩක් ටෙක්නිකල් බ්ලොග්ස් තියෙනවනේ. සිංහල බ්ලොග්ස් අඩුයි නේ.
ලො: මොනවාද ඔයා නිතර බලන ටෙක්නිකල් බ්ලොග්ස්
මම : http://javarevisited.blogspot.com/,http://stackoverflow.com/
ලො: ඔයා පොත් කියවනවද?
මම : ඔව්
ලො :මොකක් ද අන්තිමට කියවපු පොත
මම : පාවුලෝ කොයියෝ ගේ විනාඩි 11 කියෙව්වා. තව එකක් කියවන්න ගත්තා මට නම මතක නෑ.
ලො: නෑ නෑ මම ඇහුවේ ටෙක්නිකල් පොත් කියවනවද කියල?
මම: නෑ. ගොඩක් ටෙක්නිකල් දේවල් ගුග්ල් එකෙන් හොයා ගන්න පුළුවන් නේ.
ලො: ඒ වුනාට පොත් වල ගොඩක් දේවල් තියෙනවා. වෙබ් එකේ තියෙන දේවල් විතරක් මදි හොඳ අවබෝධයක් ගන්න.
මම : ඔව් ඒක ඇත්ත. මම මොනවා හරි දෙයක් දැන ගන්න ඕනේ වෙලා ඒක වෙබ් එකේ නැත්නම් පොත් බලනවා. එහෙම නැතුව කියවන්නේ නෑ.
ලො: Effective Java කියවල තියෙනවද?
මම: ආ එකේ චැප්ටර්ස් 2-3ක් කියවල තියෙනවා. ඔක්කොම කියවල නෑ
ලො: වෙන මොන පොත් ද බලන්නේ?
මම: මම ගොඩක් වෙලාවට ඔය ස්පිරිචුවල් පොත් බලනවා. තව එතකොට ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් මහත්මයාගේ පොත් එහෙම බලනවා.
ලො: සිනාසෙමින්, මගේ තාත්ත ඩොක්ටර් අදිකාරම් ගේ හොඳ ෆෑන් කෙනෙක්. අපේ ගෙදර ඩොක්ටර් අධිකාරම් ගේ පොත් ගොඩක් තියෙනවා.
මම : ගොඩක් වටින දේවල් තියෙනවා ඒ පොත් වල
ලො: ඔව්. මමත් බලනවා
ලො: ඔයා මොකක් ද පාවිච්චි කරන ෆෝන් එක. මට බලන්න පුළුවන් ද?
මම : සිනාසෙමින්, ඔව් පොඩ්ඩක් ඉන්න
මම මගේ පතුරු ගිය nokia 1110i ෆෝන් එක සාක්කුවෙන් අරන් මේසේ උඩින් තිබ්බා
ලො: මොකක්, ඔයා කොහොමද මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කර කර Android Development කරන්නේ? ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?
මම: මම Android Development කරන්න ඕනේ වෙලාවට ඔෆිස් එකෙන් දීල තියෙන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මේක මගේ පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නේ.
ලො: ඔව් මම දන්නවා ඔෆිස් වල Development කරන්න වෙනම ෆෝන් තියෙනවා තමයි. හැබැයි ඔයාල වගේ තරුණ අය අලුත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඒ වයේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ නේ. නැත්නම් කොහොමද හොඳ Apps හදන්නේ?
මම: ආ එකට මගේ ළඟ තියෙනවා Galaxy Tab එකක්. මම ඒක පාවිච්චි කරන්නේ ඒ වගේ වැඩවලට. නමුත් දැන් මගේ ළඟ ඒක නෑ. ඔබට අවශ්‍ය නම් මම කාර් එකට ගිහින් ඒක අරන් ඇවිත් පෙන්නනම්
ලො: සිනාසෙමින් නෑ නෑ ඕනේ නෑ.. ඔයා හරි ඉන්ටරෙස්ටින් චරිතයක් වගේ..
මම: පොඩි හිනාවක්
ලො: ඔයා බැඳලා නේද? වයිෆ් මොනවාද කරන්නේ?
මම: එයත් Java කරන්නේ?
ලො: අ හොඳයි දෙන්නම ටෙක්නිකල් කරන නිසා මිට වැඩිය ටිකක් ටෙක්නිකල් පැති ගැන උනන්දු වුණා නම් නේද හොඳ?
මම: ඔව් ඒක ඇත්ත. මම වැඩ කරන පැය 8 වැඩ කරනවා ඊට පස්සේ නෑ.. ජිවිතේ තව ගොඩක් ඉන්ටරෙස්ටින් දේවල් තියෙනවා ටෙක්නිකල් දේවල් වලට වැඩිය.
ලො: සිනාසෙමින්, ඔව් ඒක හරි හැබැයි රස්සාව හරියට කරන්න තව අමතර දේවල් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක ඔයා සීනියර් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්න අනිත් අයට ඒවා කරන්න ආදර්ශයක් විදියට ඉන්න ඕනේ නේ. ඔයාගේ වයිෆ් ට වුනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ.
මම : සිනාසෙමින්. කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මේ ජොබ් එක මට හම්බ වුනත් නැතත් මම අවංකවම දෙයක් කියන්නම්. 
ලො: සිනාසෙමින්, ඔව් කියන්න ඇය බොහෝ උනන්දුවෙන් බලා සිටියි.
මම:මම දැන් කාලයක් තිස්සේ වැඩ කරලා තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ගොඩක් ඉෆෙක්ටිව් විදියට වැඩ කරන්න නම් අපි රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ෆුල් ම ටෙක්නිකල් චරිතයක් කියන්නේ සාර්ථක මනුස්සයෙක් නෙවෙයි. ජිවිතේ තව ගොඩක් සුන්දර දේවල් තියෙනවා. අපි ටෙක්නිකල් රස්සාවල් කරනකොට අපිට ඒ වගේ දේවල් මිස් වෙනවා වැඩියි. ඉතින් මම හිතන්නේ වැඩ කරන පැය 8 හරියට වැඩ කරනවා ඊට පස්සේ මම කැමති විදියට ජිවත් වෙනවා. හැබැයි හදිසි වේලාවකදී මම රෑ එලි වෙනකම් වුනත් වැඩ කරන්න ලෑස්තියි නමුත් අනිත් වෙලාවට නම් එහෙම කරන්නේ නෑ. මගේ ටීම් එකේ අයටත් ඉතින් මම ඔය විදියටම කියයි. මම මගේ වයිෆ් ටත් ඕකම තමයි කියන්නේ. මේ අවංකවම මගේ හැටි. මට මේ රස්සාව ගන්න බොරු කියන්න ඕනේ නෑ..
ලො: සිනාසෙමින්, ඔයත් එක්ක කතා කරන එක හරිම ඉන්ටරෙස්ටින්, මම හිතන්නේ ඔයාට අපිත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි. දැන් ගොඩක් වෙලා ගිය නිසා අපි පස්සේ වෙලාවක ආයේ කතා කරමු. 
මම: හරි බොහොම ස්තුතියි.

ලො: නමුත් මට ඔයා ඉල්ලපු පඩිය නම් දෙන්න අමාරුයි. මට තව මෙච්චරක් වැඩි කරන්න පුළුවන්.ඒක තමයි මට ඔයාගේ පොසිෂන් එකට දෙන්න පුළුවන් උපරිම ගාන.
මම: හරි කමක් නෑ. මම කැමතියි. 
ලො: හරි එහෙනම් අපි ඔයාට ඔෆර් ලෙටර් එක රෙඩි කරලා කෝල් එකක් දෙන්නම්
මම: හරි බොහොම ස්තුතියි.
------------------------------------------------------------------------------------------------------------
මේ දෙබස මේ විදියටම සිද්ද වුණා. අතින් දාපු කිසි දෙයක් නෑ. 

මම මේ විදියට මේ ඉන්ටර්විවී එකේ කතා කලේ මට මැලේසියාවේ ජොබ් එක හරි ගිය නිසා ඕනේ එකක් වෙන්න කියලම නෙවෙයි. ඒක තිබුන නිසා පොඩි කික් එකක් තිබුන එක ඇත්ත. හැබැයි මම දැන් යන ඕනෙම ඉන්ටර්විව් එකකදී මගේ ඇත්ත විදිය කෙලින් කියනව. ඒ කියන්නේ බැරි නම් බෑ. මතක නැත්නම් මතක නෑ. ඒ කියන්නේ ගහගන්න වගේ නෙවෙයි. උඹල ගන්න හදන්නේ මෙන්න මේ වගේ එකෙක් කියන එක කලින් ම කියනවා. හෙහ් හෙහ්. එහෙම කරන එකේ  පොඩි රිස්ක් එකක් තිබුනට මම හිතන්නේ අපි එහෙම කියන කොට අනිත් කෙනාට අපි ගැන ඇතිවෙන ඉම්ප්‍රෂන් එක හොඳයි. මවා පෑමක් කලොත් ගොඩක් වෙලාවට අනිත් කෙනාට ඒක දැනෙනවා. එකෙන් අපිට හොඳක් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම අපිත් කරන්නේ ඒ ආයතනයට හොඳක්. මොකද බොරු කියල ජොබ් එක අරන් පස්සේ චාටර් වෙන එක කාටත් වැඩක් නෑනේ.

හරි ඉතින් 

පහුවදාම මෙයාල මට ඔෆර් ලෙටර් එක ගන්න කතා කළා. හැබැයි මම ගියේ නෑ. මොකද මට හරි තීරණයක් ගන්න විදියක් නැතුව ඒ වෙනකොට හිටියේ.

මම දවසක් දෙකක් ලියුම ගන්න යන්නේ නැතුව ඇද ඇද හිටිය. ඒ අතරේ අපි දෙන්න තීරණේ කළා දෙන්නටම යන්න සෙට් වුනේ නැත්නම් මැලේසියා යන්නේ නෑ. ඒ නිසා ඕනේ එකක් කියල ගිහින් මේ ඔෆර් ලෙටර් එක ගන්නවා කියල. ඉතින් මම ගිහින් ලෙටර් එක අරගෙන ආවා. අවංකවම නම් මම ලියුම අරන් එන අතරේ තීරණේ කලේ මැලේසියා යන්නේ නෑ. මම මේ ජොබ් එකට යනවා කියන එක. මොකද මේ කොම්පැනිය සැහෙන ස්ථාවර තත්වෙක තිබුන තැනක්. මගේ සැලසුම් කල කැරියර් පාත් එකට හරියට සෙට් වෙන තැනකුත් නිසයි මම එහෙම හිතුවේ.

මට ලියුමේ හැටියට රස්සාව බාර ගන්න තිබුනේ 2013 ජුනි මාසේ පළවෙනිදා ඉඳල. මේ වෙනකොට අප්‍රේල් අන්තිම කාලේ හෝ මැයි මුල.

කොහොම හරි ඉතින් මම ඉන්න තැනට අස්වීමේ ලිපිය දීල එතන වැඩ ටික සෙට්ල් කරලා හිටියේ.

ඔය අතරේ මැලේසියාවෙන් බට්ටි නගාට ඔන්ලයින් ඉන්ටර්විව් එකක් සෙට් කළා. බස්ටි නගා ගානට ඒක ගොඩ දැම්ම. දවසක් 2ක් යනකොට එකත් ගොඩ ගියා කියල දැන ගත්ත. 

හුටා දැන් මොකද කරන්නේ. එක පැත්තකින්  අපි දෙන්නට මැලේසියාවේ එකම තැන වැඩ කරන්න ජොබ්ස් දෙකක් තියෙනවා. අනිත් පැත්තෙන් මම වැඩ කරන්න ආස විදියේ ජොබ් එකක් බලෙන්ම වගේ දෙන්න හදනවා.

පස්සේ ඉතින් මම දන්නා දන්නා අයගේ උපදෙස් ටිකක් ගත්ත මේ සම්බන්ධයෙන්. හැමෝගෙම අදහස වුනේ මැලේසියා යන එක හොඳයි කියන එක.

ෆුල් ම අප්සෙට් වැඩේ උනේ අපි විසා එහෙම හම්බවෙනකල් ෂුවර් නැති නිසා අර කොම්පැණියට මම එන්නේ නෑ කියල කියන්න දවසක් දෙකක් පරක්කු කරපු එක. ඔය අතරේ ඒ කොම්පැනියෙන් වෙල්කම් ඊමේල් එකක් යවල මුළු කොම්පැනියටම අහවල් දවසේ ඉඳන් මෙන්න මෙයා කොම්පැනියට ජොයින් වෙනවා. තව බ්ලා බ්ලා බ්ලා එක්ක...සාමාන්යෙන් නම් එහෙම ඊමේල් එකක් යවන්නේ අලුතින් කෙනෙක් ආවට පස්සේ නේ.. මේක ඊට සති 2කට විතර කලින් මෙයාල යැව්වා. මටත් සී.සී කරලා.. ඉතින් දෙයියනේ මම කියල මොනවා කරන්නද.. 

ආයේ ඉතින් මණ්ඩලේ රැස් කරලා උපදෙස් අරන් මම පහුවදා හරි ඊට පහුවදා හරි ඒ කොම්පැනියේ එච්.ආර් මැනේජර් ට ඊමේල් එකක් යැව්වා. මෙන්න මේ වගේ සිද්දියක් නිසා මට එන්න වෙන්නේ නෑ බොහොම කනගාටුයි කියල. අවංකවම කිව්වොත් මට කෝල් එකක් දීල ඒක කියන්න හිත හදා ගන්න බැරි වුණා. මොකද හෙන වරදකාරී හැඟීමක් තිබුන නිසා. 

ඊමේල් එක දාල මම අර අතීසාර මිත්‍රයට චැට් එකක් දාල බැලුව කොම්පැනියේ තත්වේ ගැන..

"අන්න අර ගෑනි උඹට අමු කුණු හරුපෙන් බනිනවා. තොට ඉතින් ආයේ මේ කොම්පැනියේ ජොබ් එකකට එන්න වෙන්නේ නෑ කවදාවත් කියල..." !!!!!!!!!!

ඒ වැඩේ තමයි මම මෙච්චර කාලෙකට රස්සාවක් වෙනුවෙන් කරපු චාටර්ම වැඩේ..!! හැබැයි ඉතින් ඒ වැඩේ කරන්න වෙන හොඳ විදියක් හිතා ගන්න මට අදටත් බෑ...

ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඕනේ එකක් වෙන්න කියල මැලේ රටට ආවා. දැන් ඇවිල්ල මෙතන චින්නුන්ගේ ආතල් බල බල මේසයක් වටේට වෙලා ඉන්නවා.

Thursday, July 17, 2014

නැන්දම්මාගේ රෙකමදාරුව

නැන්දම්මල ගැන කතා ඉතින් බලංගොඩ මානවයාගේ නැන්දම්මාගේ කාලේ දක්වා දිව යනවා මම හිතන්නේ.. හැබෑට ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑනේ... මම මේ කියන්නේ.. නෑ නෑ එක්කෝ ඕනේ නෑ...

මේක මේ පොඩි කතාවක්.. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි.. පොඩි සිද්දියක්.. 

මෙන්න මේ කතන්දරේ විදියට අපි දෙන්නගේ කතාව පටන් ගත්තට පස්සේ ඉතින් කාලයක් ගෙවිලා ගෙවල් දොරවල් වලින් කතා බහ කරගෙන දැන් වෙඩිම ගන්නත් සුදානම් වෙන කාලේ... වෙඩින් කියන්නේ මහා තේරුමක් නැති දෙයක් කියල මොන පොර ටෝක් අනිත් උන්ට  දැම්මත් තමුන්ගේ මගුල ආවම ඉතින් අපිටත් ඉතින් මෙලෝ සිහි නෑ... සිහිය තිබුනත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉදිරි කාලේ  කනක් ඇහිලා ජිවත් වෙන්න ඕනේ නිසා සිහි නෑ වගේ දුවන එක තමයි කරන්නේ... 

ඔන්න ඔහොම ඉතින් එක එක දේවල් සුජානම් කරගෙන යන අතරේ ඉතින් අපි දෙන්න තීරණය කරලා තිබ්බේ බැන්දට පස්සේ වෙනම පදිංචි වෙන්න.. ඒකට අපේ පවුල් වල කාගේවත් කිසි අවුලක් තිබුනේ නෑ.. හැමෝගෙම අදහස වුනේ ඒක හොඳයි කියන එක. අපි දෙන්න වෙඩිමට මාස 2ක-3කට කලින් ම පත්තරේ බලල ගෙයක් එහෙම හොයාගෙන ඒ ගෙදරට අත්තිකාරම් එහෙම දීල තිබ්බේ..  ඒ ගෙදර ඇන්ටියි අංකලුයි අම්ම තාත්තට වඩා අපි දෙන්නට ආදරෙයි... ගේ කිව්වට උඩ තට්ටුවක්.. හැබැයි සිරා ප්ලේස් එකක්.. හොඳට ප්ලෑන් කරලා හදපු අලුත් ගෙදරක්... ඉතින් අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව දැක්ක දවසෙම ඒක ගත්ත. 

ඉතින් දැන් ඔහොම ටික ටික ලැස්ති වේවි ඉන්නකොට ඉතින් ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු ගන්නත් ටික ටික පටන් ගත්ත.  ටීවී, ෆ්‍රිජ් අපේ කැමැත්තට ගත්තට ඔය ලී බඩු අපි ගන්න ගියොත් ඉතින් අපි නානවනෙ..  මොකද අපි කොච්චර බලල අරන් ආවත් ඉතින් අඩුපාඩුවක් නෑ බැනුම් ගොඩයි. එක්කෝ මොකක් හරි ජරා ලීයක්.. නැත්නම් හදපු කොලිටිය හරි නෑ.. අනිත් එක ඔය වයිරම එහෙමත් බලනවනේ.. හෙහ් හෙහ්..

බට්ටි නගාට මුල ඉඳන්ම ඕනේ උනේ ඔය තනි සුදු පාට ලි බඩු. ඒ කියන්නේ තේක්ක බුරුත නැදුන් කළුවර ලෑලි වැඩක් නෑ.. ෆෝමිකා ගහල හරි කමක් නෑ සුදු පාට තිබුනානම් හරි. මුල්ම කාලේ ඉතින් ඔය විදිහේ ලි බඩු හොයා හොය ගියා..  කොහේ හොයන්නද එහෙම ඒවා ඉතින් හොයා ගන්න නෑනේ.. එහෙමත් තැනක තිබුනත් එක්කෝ පට්ට ගණන් නැත්නම් මෙලෝ රහක් නැති විදියේ ඒවා. ඒ කිව්වේ ඔය ලාබෙට හදන බාල බඩු.. ඉතින් කොහොම හරි එහෙම බඩු නෑ කියල ඔප්පු උනාට පස්සේ බස්ටි නගා කැමති වුණා  ලී පාට ලී බඩු ගන්න..

දැන් ඉතින් ලි බඩු ගන්නවනම් අපි ඕනේ කෙනෙක් යන්නේ ගහට ගහක් හම්බවෙන මොරටුවටනේ.. මොරටු ගිහින් බඩු ගන්න අම්මලවත් එක්කන් යමු කියල දැන් අපි දිනයක් දාගෙන යන්න සෙට් වුණා. අපේ නංගිත් ඔක්කොම බඩු හැදුවේ මොරටුවෙ අහවල් කඩෙන්  තමයි  ඒ කඩේට යන්න එතන ෂෝක්.. එහෙම කියල අවවාද එහෙම දුන්න... එතකොට තව තව අයගෙනුත් එක එක විදියේ උපදෙස්  ආවා..  ඕව ඔක්කොම හිතේ තියාගෙන දැන් අපි හතර දෙනා ඒ කිව්වේ අම්මල දෙන්නයි අපි දෙන්නයි මගේ කාර් එකේ යනවා.

යන ගමන් ඉතින් ඔය එක එක ආගිය කතා.. ඔප දුප තමයි ඉතින්..

දැන් ඔහොම ගිහින් මොරටුවේ කඩවල් දෙක 3ක ඇවිද්දා.. එහෙන් මෙහෙන් බැලුවට ඉතින් හිතට හරි යන්නේ නෑ..  ආයේ ඉතින් කාර් එකේ නැගල තව තව ඇතුලේ තියෙන කඩවල් වලට යනවා.. බලනවා. එනවා.. ඔහොම ගිහින් ගිහින් එක්තරා කඩේක තිබුණු පුටු සෙටියක් ගැන ඔන්න කට්ටියගේ හිත ගියා.. ඒ කියන්නේ අපි හිතපු ගානට හිතපු විදියේ වගේ එකක්.. අපි කිව්වේ බට්ටි නගා හිතපු විදියේ එකක් ඒ කියන්නේ සුදුපාට ලෙදර් එකක් දාපු එකක්.



ඉතින් දැන් ඒ පුටු සෙටියත් බලන අතරේ ඉතින් කතා බහ මෙහෙම යනවා. 

"සුදු පාට නිසා ටිකක් කිලිටු වෙන්න බලනවා නේද? ඒ අපේ අම්ම. 

"මෙයා නම් ඉතින් පොඩි කාලේ ඉඳල හරි පිළිවෙලයි. හැමදේම පිරිසිදුව තියාගෙන ඉන්නවා. සුදුපාට වුණා කියල ගානක් නෑ.. හොඳට පිහදාල තියා ගන්න පුළුවන්" එහෙම කිව්වේ බට්ටි නගාගෙ අම්ම.

බට්ටි නගා මෙහෙම හිටියට ජනාධිපති සම්මාන ලාභී බාලදක්ෂිකාවක්. ඉතින් පිළිවෙල පිරිසිදු කම කියන්නේ කන්න නැති වුනත් කමක් නෑ ක්ලින් එකට ඉන්න ඕනේ.... සෙනසුරාදා උදේ කියන්නේ මුළු ගේම මුල ඉඳන් අනිත් පැත්ත හරවන දවස.. මම හිතන්නේ අපි දෙන්න වැඩිපුරම වලි දාගන්නේ සෙනසුරාද උදේට...

ඉතින් බට්ටි නගාගෙ අම්ම එහෙම කියන එක හරි.. 

එහෙම කියල කට ගන්න හම්බ වුනේ නෑ.. "අපෝ ඒකට මෙයා. වනේ වන සතා වගේ ගෙදර ඉන්නේ" අපේ අම්මා මං ගැනත් දුන්න සිරා රෙකමදාරුවක්...!!!!

ටික වෙලාවකින් "අපි එහෙනම් මේ කළු පාට සෙටි එක ගම්මු නේද පුතා" කියල බට්ටි නගාගෙ අම්ම බොහොම ආදරයෙන් මට කිව්වා..

ඊට පස්සේ සියල්ලෝම සතුටින් ගෙදර ආවා.

Thursday, July 03, 2014

කළු දල මල හම්බ වුනොත් කියනවද

මේ සැරෙත් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේ මිස් වෙන ලකුණු තමයි තියෙන්නේ... මෙහෙන් ගත්ත පොත් සෙට් එක නිසා පොඩ්ඩක් හිතේ අමාරුව අඩු වුනාට .. පොත් ගොඩවල් වටේ ටිකක් ඇවිදල, පොත් වල සුවඳ විඳලා, අත පත ගාල එන ආතල් එක මිස් වෙන එක සැහෙන දුකක්...

මේ පරණ පොත් ගැන මතක් කර කර ඉන්නකොට මතක් වෙච්ච පොතක් ගැන අහ්! අදහසක් විදියට ලියල දාන්න හිතුනේ මේක. මොකද සැප්තැම්බර් කිට්ටු වෙනකොට අමතක වීමේ ඉඩ සැහෙන වැඩි නිසා.. 

ඇලෙක්සැන්ඩර් දුමා ගේ The Black Tulip කියන නව කතාව සිංහලට පරිවර්තනය වෙලා තිබුනා කළු දල මල නමින්. සැහෙන කාලෙකට කලින් මේක මගේ පොත් ගොඩෙන් අතුරුදහන් වුණා. ටීනේජ් (teenage) කාලේ පටන් ගන්න කොටම වගේ කියවන්න ලැබුණු හරි අපූරු කතාවක්.



කියවල නැති කෙනෙකුට පොඩි අසාධාරණයක් වුනත් කතාවේ තියන්නේ මෙහෙම සීන් එකක්

1600 ගණන් වල නෙදර්ලන්තේ කතාවක් මේක. කතාව පාදක වෙන්නේ සහෝදරයින් දෙදෙනෙක් වටා. මට මතක විදියට එක්කෙනෙක් දුෂ්ට චරිතය අනිත් කෙනා තමයි කතාවේ වීරයා. කතන්දරේ ගෙතෙන්නෙ නෙදර්ලන්තයේ බොහොම ප්‍රසිද්ධ Tulip මල් වටා.  බොහොම ආදරණිය ප්‍රේමයක් කතාව පුරාම ගලාගෙන යනවා. ඒක මිනිසෙකු පරිසරයට සහ මල් වල සුන්දරත්වයට ප්‍රේම කිරීම ලෙසත් ඒ වගේම සුන්දර තරුණ හදවත් දෙකක ඇතිවන රහසිගත ප්‍රේමයක් විදියටත් කතාව පුරාම තියෙනවා. දුෂ්ට කම සහ අව නීතිය නිසා දැන් කාලේ වගේම ඒ කාලෙත්  සිද්ද වෙච්ච සමාජ අසාධාරණය කතාවේ කුතුහලය සහ ත්‍රාසය භීතිය ඇති කරලා තියෙනවා. කොහොම වුනත් අවසානය සුඛාන්තයක්.. ඒ නිසා රස වැඩියි... :)

හිර ගෙවල් වල ඉඳන් මිනිස්සු පරෙවියෝ අතේ පණිවිඩ  යවල වැඩ ගත්ත හැටි බොහොම අපුරුවට මේකේ තියෙනවා. මට අදටත් ඔය කුරුල්ලෝ අතේ පණිවිඩ යවන කතාවක් ඇහුනොත් මතක් වෙන්නේ මේ කතාව.

මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් නොබලපු අය පව් නිසා ඔය ඇති..

මට කතාවේ පරිවර්තක ගේ නම මතක නෑ. නමුත් ලස්සනට පරිවර්තනය කරලා තිබුනා. කේ.ජි කරුණාතිලක මහත්මය ද මන්ද.. ෂුවර් නෑ..

පිටුවෙන් පිටුව කියවද්දි ආස හිතෙන පොතක් විදියට තමයි මට නම් මේක මතක තියෙන්නේ. අවුරුදු 20කට විතර පස්සෙ ඒ ආසාව ආයේ වැඩි වෙලා පොත ගැන මතක් වෙලා මේ හොයල බලන්න හිතුනේ.

ඉංග්‍රීසි කොපියක් නම් මේ ලින්ක් එකේ තියෙනවා


හැබැයි මට ඕනේ මම මුලින්ම කියවපු පරිවර්තනේ ආයේ කියවන්න...

කට්ටිය පොත් ප්‍රදර්ශනේ ඇවිදින කොට පොඩ්ඩක් හොයල බලන්න .. හම්බ වුනොත් අරගෙන පණිවිඩයක් එවන්න. 

Tuesday, July 01, 2014

මිනිසුන්ගේ නික්මයෑම

අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්‍රත්‍යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ  අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ අර අවිනිශ්චිත කම අපිට අමතක වෙලා යනවා..

අපේ ගමේ කෙනෙක් හදිසියේම නැති වුණා කියල ඉරිදා යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා..  නිකමටමවත් අපි දැන්ම මැරෙයි කියල හිතපු චරිතයක් නෙවෙයි. ගමේ කාටත් උදව් පදව් කරගෙන හැමොත් එක්කම හොඳින් හිටපු යහපත් කෙනෙක්. වයස 50ක්-55ක් විතර ඇති. අපි කිව්වේ සරත් අයියා කියල. 

පොඩි අක්කයි සරත් අයියයි අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුනාට පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක එකතුයි. සෙල්ලම් වයසේ අපි ඉන්නකොට එයාල කසාද  බැඳලා හිටියේ. පොඩි අක්කලාගේ වතු වල, ගෙවල් අස්සේ, ඉඩම් කඩම් වල අපි ඕනේ තරම් දුවල පැනල ඇති.. හැංගි මුත්තම් කරලා ඇති.. ගහකොළ වල හැදිච්ච දේ අපේ වගේ කඩාගෙන කාල ඇති. ඔහේ හිනාවෙලා හිටිය මිසක් කවදාවත් බැනල අපිව එලවල නෑ. ඒ පළාතේ තිබ්බ ලොකුම සියඹලා ගස් දෙක තිබුනේ පොඩි අක්කලගේ වත්තේ. මම හිතන්නේ මිනිස්සු හතර පස් දෙනෙකුටවත් බදල අල්ලන්න බැරි තරම් මහා විසාල ගස්. එක ගහක් සීනි සියඹලා ගහක්. අමු සියඹලා, ඉදිච්ච කරල් කාල ඇති ගණන් කරන්න බැරි තරමක්. පල්ලෙහයින් තිබ්බා බිලිං ගහකුත්,  වටේම කෝපි ගස් පිරිච්ච කැලෑව.... මී පැණි රස පොඩි අඹ ගහක් පාර අයිනේ තිබ්බ, නමිනන් ගහ, ඔය ගස් යට කොච්චර සෙල්ලම් කරලා ඇත්ද.. 

මම දන්නා විදියට සරත් අයියා පොලිසියේ වැඩ කළා.. පස්සේ පැන්ෂන් අරන් ඔය වතු වල වැඩ කර කර හිටිය.. ගෙදරින් ටිකක් ඈතට වෙන්න හේනක් එහෙම වගා කළා. අපි සරුංගල් කාලෙට වෙලේ සරුංගල් යවල හේනට ගිහින් වෙරළු කඩනව... ඊට පස්සේ ඔය කාගේ හරි ගෙදරක මුට්ටියක් ලිපේ තියල වෙරළු තම්බල කනවා.. අච්චාරු හදනවා.. නියම කාලයක්.. 

සරත් අයිය පාඩුවේ තමන්ගේ වැඩත් කරගෙන ගමේ පොදු වැඩ වලදී හැමොත් එක්කම සහයෝගෙන් වැඩ කරපු බොහොම සාමකාමී කෙනෙක්.. අවසන් කාලේ පාර අයිනේ කඩයක් කරගෙන ජිවත් වුණා පොඩි අක්කත් එක්ක... 

තව බොහෝ දේවල් ලියන්න මතක් වෙනවා. හැබැයි ඉතින් දැන් ඒ මනුස්සය යන්න ගිහින්... මගේ ජිවිතයෙන් මේ වෙනකොට ගෙවිලා තියෙන්නේ දශක 3ක් විතර. ඔය දශක 3න් 2ක් මම ගෙවන්න ඇත්තේ ඔය මිනිස්සු එක්ක. මවා නොගත් උපතින් ආපු සරල කමක් තිබුණු ගොඩක් මිනිස්සු මම ඒ කාලේ ආශ්‍රය කළා. සරල කම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නපු මිනිස්සු කිව්වොත් හරි.. ලොකු කතා නෑ.. වැඩේ කරලා පාඩුවේ ඉන්නවා..  අපි ඒ චරිත වලින් ඉගෙන ගත්තේ ඒ වගේ දේවල්. මහා ලොකු තියරි නෙවෙයි. හතර වටේට බණ කියන හිස් මිනිස්සු දකින කොට  ඇත්තටම හිනා යන්නේ සැබෑ මිනිසුන්ගේ හැසිරීම අපි දැකල තියෙන නිසා...

ඔය ගං ගොඩවල් වල තාම ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් දැන් අපි ඒ මිනිසුන්ව නොසලකා හැරලා දාල තියෙනවා. මොකද අපි ලොකු ලොකු තියරි හතර වටින් ඉගෙන ගන්න නිසා. අපි හෙනට දන්න නිසා. හැබැයි අන්තිමට අපි දන්නේ නෑ කියල දැන ගන්නේ නැතුවම මැරිලා යනවා.

මම ජිවිතේ මේ අවිනිශ්චිතතාවය අත්දැක්කේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. ඒ සිද්දියෙන් පස්සේ මම ලෝකය දකින විදිය 100%ක් වෙනස් වුණා කිව්වොත් හරි. හැබැයි ඒක එක රැයින්  වෙච්ච දෙයක් නෙවෙයි. ජිවිතේට මුහුණ දීල, සමහර දේවල් කැප කරලා සහ සම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එලියට ගිහින් තේරුම් ගත්ත දේවල් නිසා වෙච්ච වෙනසක්. තාත්ත නැතුව ඒ ගෙවිච්ච අවුරුදු 12 ගැන ගොඩක් දේවල් ලියන්න පුළුවන්. 

ජිවත් වෙච්ච මේ පොඩි කාලේ ඇතුලත මට ජිවිතේ ගැන ලොකු ටෝක් දාන්න තරම් අත්දැකීම් නෑ.. හැබැයි මට දැන් දැන් තේරෙනවා අවුරුදු 70-80ක් වෙලාත් හිස් විදියට ගෙවන ජිවිත වලට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙනවා කියල. 

අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු ගැන අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අපි මේ ගෙවන ජිවිතේ නිසා. අඩු වැඩි වශයෙන් හැමෝම ඒ දේට මුහුණ දෙනවා. ඒක වරදක් නෙවෙයි. අපිත් එක්ක ජිවිතේ එක්තරා කාලයක් හිටපු නමුත් දැන් අමතක වෙච්ච මිනිස්සු ගැන හිතල බලන්න අපේ මේ වැඩකට නැතුව බොරුවට බිසී වෙච්ච මොඩර්න් ලයිෆ් එකෙන් පොඩි ටයිම් එකක් හොයා ගන්න ඕනේ.

මිනිස්සු මැරෙන එක වලක්වන්න අපිට බෑ. අපිට කරන්න පුළුවන් දේ ඉන්න කාලේ ඒ මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක. අපි දාගෙන ඉන්න ටාගට් ඔක්කොම ඉවර වෙලා මිනිස්සුන්ට සලකන්න ඉන්න කොට කෝච්චිය ගිහින් ඉවරයි. හැමෝම කියන්නේ අපි නම් සල්ලි පස්සේ දුවන්නේ නෑ කියල. හැබැයි නොදැනීම අපි කරන්නේ ඒක. ඒ දිවිල්ලට අපි පොඩි පොඩි නම් ටිකක් දාගෙන කොටස් වලට වෙන් කරගෙන ටාගට් දාගෙන ඉන්නවා. ඒ ටික ඉෂ්ට වෙනකොට අපි නොදැනීම අපි රේස් එක දුවල හති වැටිලා ඉවරයි. 

මේක ලියන මමත් ඔය වැඩේම කරනවා. ඒක එහෙම නොකර ජිවත් වෙන එක වැඩක් නෑ. ජිවිතේ හිස්ව ගෙවල දානවට වඩා මොනවා හරි වැඩකට ඇති දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා  සැපට ඉන්න එක එකක්. හැබැයි ඉතින් රේස් එක අතරේ අපිට නොදැනිම මිස් වෙන අපේ සැබෑ වටිනාකම් අඳුන ගත්තේ නැත්නම් කවදාවත් නොදිනන ඒ රේස් එක කොහොමත් අපි පරාදයි.

රේස් එකෙන් අයින් වෙච්ච සරත් අයියගේ මරණෙට මට යන්න විදියක් නෑ. ඒ මම මේ රේස් එකේ තාමත් දුවන නිසා. හැබැයි මට පොඩි සැනසීමක් තියෙනවා. ඒ පහුගිය නොවැම්බර් මාසේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක දවස් පහකට මම ලංකාවට ගිය වෙලාවේ හිස් අතින්ම සරත් අයියගේ කඩේට ගොඩවෙලා පොඩි අක්කයි සරත් අයියයි එක්ක විනාඩි 5ක්-10ක් කතා කර කර ඉඳල ආපු නිසා. මට හිස් අතින් යන වුණ එක ගැන මම කණගාටු උනත් මම එහෙම ගිය එක කවදාවත් එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ කියල මම දන්නවා. අඩුම තරමේ සරත් අයිය ගැන මගේ අවසාන මතකය ඒ විදියට හැමදාම මගේ හිතේ තියෙයි. 

ඉතින් ජිවත් වෙච්ච කාලය තුල කල කී දේවල් අනුව හෝ නැත්නම් අපි නොදකින මේ විශ්වීය සිස්ටම් එකේ තවත් සිද්දියක් විදියට සරත් අයියගේ අනාගත පැවැත්ම තීරණේ වෙයි. අපේ විදියට සරත් අයියාට නිවන් සුව පතල මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් කරන දේවල් හොඳ සිහියෙන් නොකර අනුන් පතන නිවනින්වත් රේස් දුවන ගමන් හොයපු සල්ලි වියදම් කරලා ගොඩ ගහ ගන්න පින් ගොඩෙන් වත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නෑ.

Thursday, June 19, 2014

චූටි එකා,පොඩි එකා ලොකු එකා සහ වෙද බාප්පා සමග

චූටි එකා හොඳ එකා සද්ද බද්ද නෑ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ලොකු එකත් අවුලක් නෑ ඌත් වැඩි සද්දයක් නෑ.. චූටි එකාටයි ලොකු එකාටයි දෙන්නටම හරි යන්න ඉන්නවා පොඩි එකා.. මොන නැකතක උපන් එකෙක් ද මන්ද හන්දියේ ලවුස් පීකරේ බැන්ද වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් කෑ ගහනව කෑ ගහනවා ඉවරයක් නෑ..

වෙද බාප්පා ගේ වැඩ ඔක්කොම හීන් නුලෙන් තමයි. සද්දෙට වැඩ නෑ හැබැයි ඉතින් කරන මෙලෝ මගුලක් අපි දන්නෙත් නෑ.

තුන් දෙනාගේ සයිස් එකත් නමටම හරි යනවා. චූටි එකාට මොන්ටිසෝරි ලුක් එකක් තියෙන්නේ. අඩි 4ක් විතර උස ඇති. ඈතට දකින කොට ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ. ලොකු එකා සයිස් එකෙන් ලොකුයි. චීන ඌරු ටයිප් එක. හදිස්සියකට කිලෝ 2ක් 3ක් කපා ගන්න ඇඟේ මස් තියෙනවා. පොඩි එකා නමටම හරි යන්න අරුන් දෙන්නගේ මැද සයිස් එක. කෙට්ටු පැත්තට වැඩියි චූටි එකාට වඩා උස පොඩ්ඩක් වැඩියි.

අපරාදේ කියන්න බෑ 3 දෙනාම ඇවිදිනකොට වයින් කරපු රොබෝල වගේ තමයි.

පුදුමේ කියන්නේ මුන් තුන් දෙනාගේ වයස ගත්තම චූටි එකා ඔක්කොටම වඩා වයසින් වැඩියි. හරියට අර බෙන්ජමින් බට්න්ගේ සීන් එක වගේ. ලොකු එකා තමයි වයසින් බාලයා. පොඩි එකා මැද.

මුන් 3න් දෙනත් එක්ක සමාගමට වැටිලා දැන් අවුරුද්දක් වුණා. ලොකු එකා බැඳලා බබෙක් ඉන්නවා (ඒක දැන ගත්තෙත් ඌ පිතෘ නිවාඩු ගත්ත නිසා). අනිත් උන් දෙන්නා ගැන ඉතින් දන්නේ අපේ හිතළු තමයි. ෂුවර් එකට බැඳලා නම් ඇති.

වැඩ අතින්  ගත්තම ලොකු එකා සද්ද බද්ද නෑ වැඩ. චූටි එකත් වැඩ කරු හැබැයි වැඩි කතා නෑ. ඉඳල හිටලා පොඩි එකත් එක්ක වලි වලට පැටලෙනවා විතරයි (අන්තිමට ඌම සද්දේ වහ ගන්නවා ඉතින් ). අපරාදේ කියන්න බෑ මැනින් මාර්කට් එකට පොළ දවසේ ගියා වගේ පොඩි එකා ආපු ගමන් හතර වටේ දෙදරන්න සද්දේ. ඒ කියන්නේ ඌට තියෙන්නේ ඉන්බිල්ට් ආපු අවුලක්. වොලියුම් කොන්ට්‍රෝල් එක අඩුම කලත් සද්දේ වැඩියි. හරියට බාල චයිනිස් ගැජට් එකක් වගේ. පොඩි එකාගෙත් වැඩ හොඳයි. ඒ කියන්නේ හොඳින් හරි නරකින් හරි ඌට ඕනේ වැඩේ කරගන්න දන්නවා. අනිත් එක බාගෙට වැඩ නෑ. (ඉඳල හිටලා ඇන ගත්තට ගානට සද්දේ දාල බැලන්ස් කරන්න ඌ දන්නවා)

පොඩි එකා නැති දාට පන්සල වගේ තියෙන තැන ඌ ආපු ගමන් මාළු මාකට් එක වගේ.

වෙද බාප්පාගේ කටයුතු ලොකු එකා එක්ක විතරයි.  බාප්පට  අපි ගැන වගක් නෑ.. (වගක් නැතුව වගේ හිටියට ඔක්කොම නිවුස් ටික පොරගේ ඇන්ටෙනාවට වදිනවා)

මුන් 3න් දෙනයි තව නිකන් පතෝල වගේ (ඒ කියන්නේ ගුණත් නෑ අගුනත් නෑ වගේ/ හිටියත් නෑ වගේ) මැලේ ඩයල් එකකුයි එක්ක අපි 4 දෙනා දැන් අවුරුද්දක් ගෙව්වා. සංසාරේ කියල හිතෙනවා අප්පා. අන්තිමට කරලා තියෙන්නේ චීන ආතල් බල බල හිටපු එක විතරයි වගේ තමයි.

කොච්චර සද්දේ දැම්මත් පොඩි එකත් එක්ක වැඩ කරන එකෙන් අපිට සැහෙන දේවල ඉගෙන ගන්න පුළුවන්. උන් මේ ටෙක්නිකල් අන්සෙන් සෑහෙන්න කරුණු කාරණා දන්නවා. ඒ වගේම උන් කම්මැලි නැතුව පොත පත කියවල විස්තර හොයනවා. දෙයක් හරි විදියට එහෙම නැත්නම් කරන්න පුළුවන් හරිම විදියට හෝ පුළුවන් තරම් ඒ ආසන්නයෙන් යන විදියට කරන්න උන් හැමවෙලේම දඟලනවා. ඒක හෙන වටිනවා ඉතින්.

හරි ඉතින් මෙච්චර වෙලා මොකක් ද මේ මු කියන්නේ කියල කාට හරි තේරෙන්නේ නැත්නම් මම මේ කියන්නේ මේ මැලේ රටේ අපිත් එක්ක ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන චයිනිස් සෙට් එක ගැන ගුණ වර්ණනාවක්.

මම ඔය කලින් ලියපු පෝස්ට් එකක ලිව්වනේ අපි කට්ටිය වැඩ කරන්නේ මේසයක් වටේ ඉඳගෙන කියල. ඒ කියන්නේ චීන්නු ටික එක පැත්තක අපි ටික අනිත් පැත්තේ. කෙල්ලෝ ටික දැන් නෑ. තාම ඉතින් ඒ මේසේ වටේ තමයි දවස ගෙවෙන්නේ. අපි හිතුවේ මාසෙන් දෙකෙන් වැඩේ ඉවර වෙලා ටිකක් පිළිවෙලකට ඉන්න ආපහු ඔපිසියට යන්න පුළුවන් වෙයි කියල. මොන සමයං ද මෙයා. මෙහෙ ඉන්නකම් ඉතින් මේ වටමේසේ තමයි. ප්‍රොජෙක්ට් එකේ දෙවෙනි අදියරත් දැන් පටන් අරන් තියෙන්නේ..

ඔය මේසේ වටේ ඉඳන් අපි 4 දෙනාට මුන් ගැන  කතා කරන්න දා ගත්ත ෂෝට් නම් ටික තමයි ඔය චූටි මල්ලි, පොඩි මල්ලි, ලොකු අයියා සහ දොස්තර බාප්පා. පස්සේ පස්සේ අයියා මල්ලි කෑලි හැලිලා "අද පොඩි එකා නෑ වගේ නේද? චූටි එකා නම් ඔය ඉන්නේ.. බාප්පා ඇවිල්ලද? " ආදී වශයෙන් තව දුරටත් කෙටි වුණේ. දොස්තර බාප්පා කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ටර්. කොම්පනියේත් තද පොරක් ඒ කියන්නේ ප්‍රින්සිපල් රිසර්චර් කියන පට්ටම තමයි පොරට තියෙන්නේ. 

දොස්තර බාප්පා කියල ගරු නම්බු දීල මුලින් කතා කලාට දැන් වෙනකොට ඒක වෙදා වෙලා. 

මර්වින් සිල්වාට වගේ නැතුව වැඩ පෙන්නලා ගත්ත දොස්තර පට්ටමක් තමයි වෙදාට තියෙන්නේ.. කනින් කොනින් ආරංචි වෙන විදියට පොරගේ නමට පේටන්ට් බලපත්‍රම 60ක් විතර තියෙනවලු. අපේ ඔය කොම්පැනිය තනිකරම කරන්නේ මේ රටට අනාගතේදී ඕනේ වෙයි කියල හිතෙන තාක්ෂණික දේවල් ගැන එක එක පරීක්ෂණ කරලා පුළුවන් තරම් පේටන්ට් අයිතිය ගන්න එක. ඉතින් මෙහෙ අලුත් විදියකට  චූ කලත් නිකන් පේටන්ට් එකක් ගන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ

ලොකු එකත් නොකර සද්ද වගේ හිටියට ටිකක් සැර ඩයල් එකක් ද කොහෙද. අවංකවම කියන්න අපි මුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒ තරමට මුන් ටික අපිත් එක්ක තියෙන අන්තර් පුද්ගල සම්බන්ධතාවය පට්ට හොඳයි. උදේට එනවා හවසට යනවා. වැඩ ගැන කතා කරනවා. එච්චරයි. 

එක්කෝ අපිට අවුල් අවුරුද්දක් එකට හිටපු උන් ගැන මෙලෝ පුද්ගලික දෙයක් දන්නේ නැති වෙන්න. නැත්නම් මුන් හෙන මන්ද ජාතියක් මනුස්සයෙක් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න දන්නේ නැති.

අපරාදේ කියන්න බෑ ඔය එහෙට මෙහෙට යනකොට මගදී හම්බ වුනත් හායි, බායි විතරයි. අපි සෙට් වෙලා කතා කරන්න හිතනකොට මුන් ගිහිල්ලත් ඉවරයි. දැන් වෙනකොට අපිත් නිකන් රෝබෝකරණය වෙලා තියෙන්නේ. මුන් එක්කම ඉඳල.

අපි හතර දෙනාට තියෙන එකම ආතල් එක තමයි මුණ බලාගෙන මුන්ට ඕනේ තරම් සිංහලෙන් බනින්න පුළුවන් කම. හිනා වෙලා වැදගත් විදියට ඕනේ එකක් කියන්න පුළුවන්. 

අනිත් අතට මුන් ටිකත් අපි කට්ටියට ෂුවර් එකටම මොනවා හරි නම් ටිකක් දාගෙන ඇති චීන ක්‍රමේට. උදාහරණයක් විදියට මටයි බට්ටි නංගිටයි, අර බඩයි උගේ ගෑනියි වගේ...

කොහොම වුනත් මුන්ට අපේ නම් හරියට කියා ගන්න බෑ. මට කියන්නේ පාතුම් කියල, එතකොට බට්ටි නගාට යෝයා, රෝහිතයට කියන්නේ රෝහිතා කියල.. හෙහ් හෙහ් වෙලාවක අපි ඉන්නේ "ඒයි පොඩි එකෝ "තා" නහි "ත ත" කියන්න. අර අමිතා බච්චන් කියනවා වගේ

හැමෝටම කියන පොදු දෙයක් ඇර අනිත් ඔක්කොම චීන බාසාවෙන් තමා කතාව. චක,නක,බක,ජක, චෑන් චින්, චූන්, පචාන්  වගේ සද්ද තමයි ඉතින් අපිට ඇහෙන්නේ... මොනවා කියනවද කියල ඉතින් චින්නුම තමයි දන්නේ.

කොහොම වුනත් දැන් අපිත් මේ ජිවිතේට පුරුදු වෙලා. මේසයක් වටේ ඉඳන් අහසට පොලොව වගේ ගති ගුණ හැඩරුව තියෙන මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්. ඒ සහයෝගේ තියෙන්නේ ඉතින් උන්ගේ විදියට අපි වැඩ කරන නිසා... මේ වෙනකොට දැනිච්ච විදියට නම් මුන් අඩුම තරමේ ඔය අපිට කපන කොටන වැඩ නම් කරන්නේ නෑ. උන්ට ඕනේ අපිවත් දියුණු කරලා උන්ගේ වැඩෙත් කරගන්න. කොහොම වුනත් උන් උන්ගේ වැඩේ කරගන්නවා.

කොච්චර උනත් මුන් තුන්දෙනා මේ ප්‍රොජෙක්ට් එකේ සැහෙන බරක් අදිනවා. ඒ කියන්නේ අවංකවම මහන්සි වෙලා වැඩ කරනවා. අපිට බැරි දෙයක් වුනත් "කම් කම් කම්" කියල ළඟට කතා කරලා අපි මොනවා හරි කිව්වම "යූ ලිස්න් ෆස්ට්" කියල සද්දේ දාල කියල දෙනවා.  අපි මොනවා කලත් සද්දේ නිසා හැමෝම දන්නවා අපි වැඩක් කරනවා ඇති කියල.. 

අනිත් වැදගත් ම සීන් එක තමයි මුන් දුවන්නේ සිගරට් දුමේ පවර් එකෙන්. චූටි එකා නම් විටමින් කූරු පාවිච්චියක් නෑ.. ලොකු එකයි, පොඩි එකයි, වෙදයි තනිකර දුවන්නේ දුම්කොළ බලෙන්. සෑම පැයකට වරක් දුමක් අදිනවාමයි.  ඒ අතරේ කෝඩ් අවුලක් හරි, ඩිසයින් අවුලක් හරි, මොකක් හරි ටෙක්නිකල්  ප්‍රශ්නයක් ආපු ගමන් එලියට ගිහින් දුමක් ඇදල එනවා. ගොඩක් වෙලාවට ආපහු එනකොට ප්‍රශ්නේ ගොඩ දාගෙන තමයි එන්නේ. මම හිතන්නේ මුන් හැදිලා තියෙන්නේ නිකොටින් වලට ලේ පොඩ්ඩක් මිශ්‍ර වෙලාද කොහෙද.


ඔය මදැයි ඉතින් මඩ ගැහුවා. මේ නිකන් ඉන්නවට ඔය ඉහත කියපු අයියලා තුන් දෙනාගේ මුණ බල බල ඉන්න ගමන් ලියල දාපු සටහනක්.. උන් හිතන්නේ මම මේ හෙන කෝඩ් එකක් ලියනවා ඇති කියල වෙන්න ඇති.. හෙහ් හෙහ් හෙහ්... 

හරි ඉතින් මඩ ගැසීම අවසානයි. අපේ චූටි මල්ලියටයි, පොඩි මල්ලියටයි,ලොකු අයියටයි, වෙද බාප්පටයි, පතෝල වගේ හිටියට හිත හොඳ මැලේ බුවාටයි චීන දේවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි.  



Tuesday, June 03, 2014

දුක සහ අපි

අපි අතර ඉන්නවා දුක දකින මිනිස්සු
දුක ගැන කතා කරන මිනිස්සු
දුක් විඳින මිනිස්සු
සැප විඳින මිනිස්සු
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු
දුක සැප යන දෙකම විඳින මිනිස්සු
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු

ඔය මිනිස්සුන්ගේ හරි මිනිස්සු කවුද?

දුක දකින මිනිස්සු දැකල කම්පා වෙලා සිහියෙන් ජිවිතේ ගෙවනවා. ඔවුන් දුකට බයයි. දුකක් වෙනවට කැමති නෑ.. තමන්ට දුකක් වෙන එක වළක්වාගෙන කොහොම හරි ජිවත් වෙන්න බලනවා. නමුත් ඒක කවදාවත් වළක්වන්න බැරි බවත් ඔවුන් දන්නවා

දුක ගැන කතා කරන මිනිස්සු දුක ගැන කතා කර කර ඉන්නවා ඔවුන් දුක දකින්නේ නෑ
ඔවුන් අනුන්ට දුක ගැන කියල දෙනවා නමුත්  තමුන්ට දුකක් වුනාම අනුන්ට දුන් උපදෙස් ඔවුන්ට මතක නෑ..

දුක් විඳින මිනිස්සු ජිවත් වෙන්න අවශ්‍ය මුලික දේ වෙනුවෙන් දුක් විඳිනවා. සමහර විට අවශ්‍යය මුලික දේවල් තිබිලත් දුක් විඳින මිනිස්සු ඉන්නවා. හිත ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගිහින් දුක් විඳින මිනිස්සු ඕනේ තරම් ඉන්නවා

සැප විඳින මිනිස්සු ඔවුන්ගේ ජිවිත හැම විටම සැපවත්ව ගෙවෙනවා. අවශ්‍යය මුලික දේ බොහොම පහසුවෙන් ලැබෙනවා. හිත ඉල්ලන දේවලුත් ලැබෙනවා. නමුත් ඔවුන් තවමත් නොලැබුන දේ වෙනුවෙන් දුක් වෙනවා.

සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු සැප වින්දට එක විඳින්න දන්නේ නෑ. තමන් විඳින සැප දුකක් කිය කියා තියෙන සැප විඳින්නෙ නෑ.. ඔවුන් දුක හරියට දන්නෙත් නෑ.. සැප හරියට දන්නෙත් නෑ..

සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු දුක ගැන කතා කරන මිනිස්සු වගේම තමයි ඔවුන් තමන්ට සැප ලැබෙන කොට හොඳට එක විඳලා අනුන්ගේ සැපේ දී සැප කියන්නෙත් දුකක් බව කිය කිය ඉන්නවා.

දුක සැප යන දෙකම විඳින මිනිස්සු ගෙවන ජීවිතය තුල ඔවුන්ට ලැබෙන දුකත් ලැබෙන සැපත් එකසේ විඳිමින් ජිවත් වෙනවා. ඔවුන් දුකින් කම්පා වෙමින් සැපෙන් සතුටු වෙමින් ජිවත් වෙනවා. අනුන්ගේ දුකේදීත් අනුන්ගේ සැපේදීත් ඔවුන් එක වගෙයි.

දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු දුක් විඳිනවා සේ සමාජයට පෙනෙනුද ඔවුන් දුක් විඳින්නේ නෑ.. ඔවුන් සැප විඳිනවා සේ සමාජයට පෙනුනද ඔවුන් සැප විඳින්නෙත් නෑ... ඔවුන් ට දුකත් දැනෙනවා සැපත් දැනෙනවා නමුත් ඔවුන් ඒ දෙකම විඳින්නේ නෑ...

මේ දුක සැප කියන්නේ ඇත්තටම තියෙන දෙයක් ද නැත්නම් අපි හදා ගත්ත දෙයක් ද?

දුක දකින මිනිස්සු කියයි මේ මුළු ජිවිතයම දුකක් ඔබ ඒක දකින්න කියල
දුක ගැන කතා කරන මිනිස්සු හැමතැනම තියෙන දුක ඔබට පෙන්නයි.
දුක් විඳින මිනිස්සු තමන් විඳින දුක් ගැන ඔබට කියමින් වැළපෙයි.
සැප විඳින මිනිස්සු ඔවුන් විඳින සැප ගැන කියයි. ඔවුන්ට නැති දේ ගැන දුක කියයි
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු ඔබට ඔබ විඳින සැපෙහි ඇති දුක පෙන්නයි.
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු හර බර දේශනා වලින් ඔබට උපදෙස් දෙයි
දුක සැප යන දෙකම විඳින මිනිස්සු ඔබ සමග හැමදාම ඉඳියි දුකේදීත් සැපේදීත්...
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු ඔබෙන් අසයි මොකක් ද සැප කියන්නේ? මොකක් ද දුක කියන්නේ?

කාලෙකට පස්සේ අපබ්‍රන්සයක් ලිව්වා.. හෙහ් හෙහ් හරි ජොලි