Tuesday, July 01, 2014

මිනිසුන්ගේ නික්මයෑම

අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්‍රත්‍යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ  අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ අර අවිනිශ්චිත කම අපිට අමතක වෙලා යනවා..

අපේ ගමේ කෙනෙක් හදිසියේම නැති වුණා කියල ඉරිදා යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා..  නිකමටමවත් අපි දැන්ම මැරෙයි කියල හිතපු චරිතයක් නෙවෙයි. ගමේ කාටත් උදව් පදව් කරගෙන හැමොත් එක්කම හොඳින් හිටපු යහපත් කෙනෙක්. වයස 50ක්-55ක් විතර ඇති. අපි කිව්වේ සරත් අයියා කියල. 

පොඩි අක්කයි සරත් අයියයි අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුනාට පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක එකතුයි. සෙල්ලම් වයසේ අපි ඉන්නකොට එයාල කසාද  බැඳලා හිටියේ. පොඩි අක්කලාගේ වතු වල, ගෙවල් අස්සේ, ඉඩම් කඩම් වල අපි ඕනේ තරම් දුවල පැනල ඇති.. හැංගි මුත්තම් කරලා ඇති.. ගහකොළ වල හැදිච්ච දේ අපේ වගේ කඩාගෙන කාල ඇති. ඔහේ හිනාවෙලා හිටිය මිසක් කවදාවත් බැනල අපිව එලවල නෑ. ඒ පළාතේ තිබ්බ ලොකුම සියඹලා ගස් දෙක තිබුනේ පොඩි අක්කලගේ වත්තේ. මම හිතන්නේ මිනිස්සු හතර පස් දෙනෙකුටවත් බදල අල්ලන්න බැරි තරම් මහා විසාල ගස්. එක ගහක් සීනි සියඹලා ගහක්. අමු සියඹලා, ඉදිච්ච කරල් කාල ඇති ගණන් කරන්න බැරි තරමක්. පල්ලෙහයින් තිබ්බා බිලිං ගහකුත්,  වටේම කෝපි ගස් පිරිච්ච කැලෑව.... මී පැණි රස පොඩි අඹ ගහක් පාර අයිනේ තිබ්බ, නමිනන් ගහ, ඔය ගස් යට කොච්චර සෙල්ලම් කරලා ඇත්ද.. 

මම දන්නා විදියට සරත් අයියා පොලිසියේ වැඩ කළා.. පස්සේ පැන්ෂන් අරන් ඔය වතු වල වැඩ කර කර හිටිය.. ගෙදරින් ටිකක් ඈතට වෙන්න හේනක් එහෙම වගා කළා. අපි සරුංගල් කාලෙට වෙලේ සරුංගල් යවල හේනට ගිහින් වෙරළු කඩනව... ඊට පස්සේ ඔය කාගේ හරි ගෙදරක මුට්ටියක් ලිපේ තියල වෙරළු තම්බල කනවා.. අච්චාරු හදනවා.. නියම කාලයක්.. 

සරත් අයිය පාඩුවේ තමන්ගේ වැඩත් කරගෙන ගමේ පොදු වැඩ වලදී හැමොත් එක්කම සහයෝගෙන් වැඩ කරපු බොහොම සාමකාමී කෙනෙක්.. අවසන් කාලේ පාර අයිනේ කඩයක් කරගෙන ජිවත් වුණා පොඩි අක්කත් එක්ක... 

තව බොහෝ දේවල් ලියන්න මතක් වෙනවා. හැබැයි ඉතින් දැන් ඒ මනුස්සය යන්න ගිහින්... මගේ ජිවිතයෙන් මේ වෙනකොට ගෙවිලා තියෙන්නේ දශක 3ක් විතර. ඔය දශක 3න් 2ක් මම ගෙවන්න ඇත්තේ ඔය මිනිස්සු එක්ක. මවා නොගත් උපතින් ආපු සරල කමක් තිබුණු ගොඩක් මිනිස්සු මම ඒ කාලේ ආශ්‍රය කළා. සරල කම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නපු මිනිස්සු කිව්වොත් හරි.. ලොකු කතා නෑ.. වැඩේ කරලා පාඩුවේ ඉන්නවා..  අපි ඒ චරිත වලින් ඉගෙන ගත්තේ ඒ වගේ දේවල්. මහා ලොකු තියරි නෙවෙයි. හතර වටේට බණ කියන හිස් මිනිස්සු දකින කොට  ඇත්තටම හිනා යන්නේ සැබෑ මිනිසුන්ගේ හැසිරීම අපි දැකල තියෙන නිසා...

ඔය ගං ගොඩවල් වල තාම ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් දැන් අපි ඒ මිනිසුන්ව නොසලකා හැරලා දාල තියෙනවා. මොකද අපි ලොකු ලොකු තියරි හතර වටින් ඉගෙන ගන්න නිසා. අපි හෙනට දන්න නිසා. හැබැයි අන්තිමට අපි දන්නේ නෑ කියල දැන ගන්නේ නැතුවම මැරිලා යනවා.

මම ජිවිතේ මේ අවිනිශ්චිතතාවය අත්දැක්කේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. ඒ සිද්දියෙන් පස්සේ මම ලෝකය දකින විදිය 100%ක් වෙනස් වුණා කිව්වොත් හරි. හැබැයි ඒක එක රැයින්  වෙච්ච දෙයක් නෙවෙයි. ජිවිතේට මුහුණ දීල, සමහර දේවල් කැප කරලා සහ සම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එලියට ගිහින් තේරුම් ගත්ත දේවල් නිසා වෙච්ච වෙනසක්. තාත්ත නැතුව ඒ ගෙවිච්ච අවුරුදු 12 ගැන ගොඩක් දේවල් ලියන්න පුළුවන්. 

ජිවත් වෙච්ච මේ පොඩි කාලේ ඇතුලත මට ජිවිතේ ගැන ලොකු ටෝක් දාන්න තරම් අත්දැකීම් නෑ.. හැබැයි මට දැන් දැන් තේරෙනවා අවුරුදු 70-80ක් වෙලාත් හිස් විදියට ගෙවන ජිවිත වලට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙනවා කියල. 

අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු ගැන අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අපි මේ ගෙවන ජිවිතේ නිසා. අඩු වැඩි වශයෙන් හැමෝම ඒ දේට මුහුණ දෙනවා. ඒක වරදක් නෙවෙයි. අපිත් එක්ක ජිවිතේ එක්තරා කාලයක් හිටපු නමුත් දැන් අමතක වෙච්ච මිනිස්සු ගැන හිතල බලන්න අපේ මේ වැඩකට නැතුව බොරුවට බිසී වෙච්ච මොඩර්න් ලයිෆ් එකෙන් පොඩි ටයිම් එකක් හොයා ගන්න ඕනේ.

මිනිස්සු මැරෙන එක වලක්වන්න අපිට බෑ. අපිට කරන්න පුළුවන් දේ ඉන්න කාලේ ඒ මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක. අපි දාගෙන ඉන්න ටාගට් ඔක්කොම ඉවර වෙලා මිනිස්සුන්ට සලකන්න ඉන්න කොට කෝච්චිය ගිහින් ඉවරයි. හැමෝම කියන්නේ අපි නම් සල්ලි පස්සේ දුවන්නේ නෑ කියල. හැබැයි නොදැනීම අපි කරන්නේ ඒක. ඒ දිවිල්ලට අපි පොඩි පොඩි නම් ටිකක් දාගෙන කොටස් වලට වෙන් කරගෙන ටාගට් දාගෙන ඉන්නවා. ඒ ටික ඉෂ්ට වෙනකොට අපි නොදැනීම අපි රේස් එක දුවල හති වැටිලා ඉවරයි. 

මේක ලියන මමත් ඔය වැඩේම කරනවා. ඒක එහෙම නොකර ජිවත් වෙන එක වැඩක් නෑ. ජිවිතේ හිස්ව ගෙවල දානවට වඩා මොනවා හරි වැඩකට ඇති දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා  සැපට ඉන්න එක එකක්. හැබැයි ඉතින් රේස් එක අතරේ අපිට නොදැනිම මිස් වෙන අපේ සැබෑ වටිනාකම් අඳුන ගත්තේ නැත්නම් කවදාවත් නොදිනන ඒ රේස් එක කොහොමත් අපි පරාදයි.

රේස් එකෙන් අයින් වෙච්ච සරත් අයියගේ මරණෙට මට යන්න විදියක් නෑ. ඒ මම මේ රේස් එකේ තාමත් දුවන නිසා. හැබැයි මට පොඩි සැනසීමක් තියෙනවා. ඒ පහුගිය නොවැම්බර් මාසේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක දවස් පහකට මම ලංකාවට ගිය වෙලාවේ හිස් අතින්ම සරත් අයියගේ කඩේට ගොඩවෙලා පොඩි අක්කයි සරත් අයියයි එක්ක විනාඩි 5ක්-10ක් කතා කර කර ඉඳල ආපු නිසා. මට හිස් අතින් යන වුණ එක ගැන මම කණගාටු උනත් මම එහෙම ගිය එක කවදාවත් එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ කියල මම දන්නවා. අඩුම තරමේ සරත් අයිය ගැන මගේ අවසාන මතකය ඒ විදියට හැමදාම මගේ හිතේ තියෙයි. 

ඉතින් ජිවත් වෙච්ච කාලය තුල කල කී දේවල් අනුව හෝ නැත්නම් අපි නොදකින මේ විශ්වීය සිස්ටම් එකේ තවත් සිද්දියක් විදියට සරත් අයියගේ අනාගත පැවැත්ම තීරණේ වෙයි. අපේ විදියට සරත් අයියාට නිවන් සුව පතල මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් කරන දේවල් හොඳ සිහියෙන් නොකර අනුන් පතන නිවනින්වත් රේස් දුවන ගමන් හොයපු සල්ලි වියදම් කරලා ගොඩ ගහ ගන්න පින් ගොඩෙන් වත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නෑ.

30 comments:

  1. හරිම සංවේදී රචනාවක් පැතුම්...

    සරත් අයියා ගැණ කණගාටුයි... සුභ ගමන් කියමු..

    ඔබ කියන කතාව ඇත්ත. අපි බොහොමයක් දෙනා ටාගට් දාගෙන ඉන්නවා. ඒවා ඉවර වෙලා පස්ස හැරිලා බලද්දි ජීවිතේ ගොඩක් දේවල් අතහැරිලා ඉවරයි... මං තාමත් එහෙම නොවී ඉන්න උත්සහ කරනවා. ඇත්තට ම මං හිතනවා මං ගොඩක් දුරට ඔය කියන තරගය අස්සේ නිදහස් මිනිහෙක් කියලා. ඒත් අපිත් දුවන්නැතුව ම නෙමෙයි කියලත් මං පිළිගන්නවා........ සරල ජීවිතේ හරිම රසයි පැතුම්......

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ඕනේ වුනේ මරණයේ තියෙන සංවේදී කම ගැන කියන්න නෙවෙයි. අපිට ජිවිතයේ මිස් වෙන සරල දෙයක් ගැන කියන්න..

      කොහොම වුනත් දැන් නම් අපේ ජිවිත සරල වෙන්න අපිට හිතෙන දේ කරන්න පුළුවන් විදියට සල්ලි තියෙන්න ඕනේ.. එහෙම නැති උනොත් සරල වීම කෙසේ වෙතත් යහතින් ජිවත් වෙලත් හමාරයි.. :D

      ලද දෙයින් සතුටු වීමේ සරල කම අපිට ගොඩක් ආගන්තුක වෙලා .. සරල රස විඳින මිනිස්සු අඩු වෙලා යනවා..

      Delete
  2. Replies
    1. වඩා මනරම් ජිවිතයද? මරණයද?

      Delete
  3. අපි කාටත් නොහිතන වෙලාවක යන්න වෙනවා මේවා හරිම සංවේදියි තමා එත් දුවන රේස් එකත් එක්ක අපි අපටම අසරණයි. මගේ තාත්තා නැතිවුණෙත් මං ඕ එල් කරන්න සතිදෙකකට කලින්.. ඒකත් නොහිතපු වෙලාවක නොහිතපු විදියකට...

    ReplyDelete
    Replies
    1. මරණයට සංවේදී වෙලා වැඩක් නෑ අයියේ... මැරෙන එක බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ.. රේස් දිවීම වරදක් නෙවෙයි වටේ ඉඳන් වතුර ගහන උන් ගැන අමතක නොකර..

      Delete
  4. ඉතාම සංවේදී සටහනක්. මට මතක් උනේ අපේ ගමේ රාළෙ මාමට වෙච්ච දේ..

    ReplyDelete
    Replies
    1. මනොෂ් මම ඒ කතාව කියෙව්වා... අපිට මිස් වෙන මේ පොඩි මනුස්ස කම ගැන ලියන්නයි මටත් ඕනේ උනේ..

      Delete
  5. මේවා බොහොම දැනෙන දේවල් උනාට උපේක්ෂාවෙන් පිලිගත යුතු බලාපොරොත්තු විය යුතු දේවල්. මරණය කියන්නේ පුදුම දෙයක් නෙමෙයි. කවදා හෝ අපි වැළඳ ගත යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියේ මම මරණය බාර ගන්න පුරුදු වුනේ තාත්තගේ මිනිය වලදාළ ගෙදර ආපු වෙලාවේ.. එදා ඉඳන් මරනෙකදී මගේ ඇස් වලින් කඳුලක් වැටෙන්නේ බොහොම කළා තුරකින්..

      හැබැයි ජිවත් වෙලා ඉන්න මිනිස්සු ගැන මතක් වෙන සමහර වෙලාවල් වලදී මට මං ගැනම දුක හිතිලා ඇහැට කඳුළු ඇවිත් තියෙනවා.. මේ කතාවත් ඒ ගැන හිතල ලියපු එකක්..

      Delete
  6. හරිම සංවේදීයි..එත් මොනවා කරන්නද..අපි හැමෝටම ඔය ටික තමයි අන්තිමේදී.

    ReplyDelete
    Replies
    1. අපි මැරෙන එක ඇත්ත. ඒක ගැන කතා කරලා වැඩක් නෑ ෂෙහාන්.. හැබැයි ජිවත් වෙලා ඉන්න අතරේ අපේම මිනිස්සු අපිට මග ඇරෙන එක අපරාදයක් කියල හිතෙන්නේ නැද්ද..

      Delete
  7. අපරාදයක් තමයි...එත් අපිට අනිත් ඒවා වගේ එක නවතන්න බෑ නේ,

    ReplyDelete
    Replies
    1. ෂෙහාන් මැරෙන්න කලින් මනුස්සයෙක් එක්ක හොඳින් ජිවත් වෙන්න වෙලාව හදා ගන්න අපිට බෑ කියන්නේ අපි සෑහෙන්න අනාථයි බන්..

      Delete
  8. සංවේදී වගේම යථාර්තය තේරුම් ගන්න පුළුවං සටහනක්..
    ඇත්ත තමයි..මේ රේස් එක හන්ද අපිට කොයි තරම් සමීප මිනිස්සු මගහැරෙනවද..කොයිතරම් අත්දැකීම් ගොන්නක් අතපසු වෙනවද..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි සංචාරකයෝ මට කියන්න ඕනේ වෙච්ච දේ.. ගොඩක් මිනිස්සුන්ගේ වටින කම අපි කවදාවත් තේරුම් ගන්නේ නැතුවම මැරිලා යනවා..

      Delete
  9. අපි කාටත් දවසක යන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, යන්න කලින් අපිට කරන්න පුළුවන් වැඩ හරියට තේරුම් ගන්න එක වැදගත් නැද්ද? :)

      Delete
  10. දශක තුනක් ගෙවිලා ද ? ඒ කියන්නේ දැන් තරුණ කාලයෙන් සමු අරගෙන කියන එකනේ... හෙහ්.. තිත් දෙකයි පී අකුරයි

    සටහන නම් සංවේදියි !!

    ReplyDelete
    Replies
    1. මධුරංග ,දශක 3 ගෙවිලත් දැන් අචුරුදු 2-3ක් වෙන්න ආවා.. හෙහ් හෙහ්

      සමහර දේවල් වලට අපි සංවේදී වෙන්නේ වයසට යන්න යන්න.. උඹට තව ටික කාලෙකින් තේරෙයි.. :)

      Delete
  11. හෆොය් අපි රේස් එකේ කොච්චර දුවනවද කිව්වොත් මට මේ ලඟදි අම්ම කිව්වා මම මළොත් පුතේ ඔයා මළගෙදර එන්න කරදර වෙන්න එපා මම දන්නවනේ ඔයා කොච්චර බිසිද කියලා.... අයිය්යෝ මට ඇඩේන්න අවා බන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය බොරු බිසිය තමයි රාළ අපිට තියෙන කරුමේ.. අර බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ වගේ.. අන්තිමට කරපු මගුලක් නෑ.. පසු තැවීමක් ඉතිරි වෙයි...

      Delete
  12. පොඩිකාලේ ඉඳන් උඹව දන්නකියන එකෙක්විදිහට උඹ ලියල තියෙන බොහෝ දේවල්වල සාරාංශය ගත්තහම ඒව්වා මටත් වලංගුයි කියල මට හිතුනා. අපිට මගහැරුන සහ තවමත් මගහැරෙමින් පවතින, එවාට එහේම වෙන්න දිලා බලාන ඉන්න තත්පර බොහෝයි බං.

    ReplyDelete
    Replies
    1. ඔහේ බලන් ඉන්නේ නැතුව ඔය පුළු පුළුවන් වෙලාවට කතා බහ කරලා ඉන්න එක බන් අපි කරන්න ඕනේ.. අපේ ප්ලෑන් ඔක්කොම ඉවර වෙනකම් ඉන්නේ නැතුව..

      Delete
  13. පැතුම්...උඹ තරහ වෙන්නේ නැත්නම් මම සින්දු කෑල්ලක් ලියන්නම්.

    සිනහා සෙසී නැඟ එන්න සූර්‍යා උදේ... සූර්‍යා උදේ
    සිනහා වෙවී නැග එන්නා සූර්යා උදේ....

    ReplyDelete
    Replies
    1. අරූ මම උදේ ඉඳන් කල්පනා කළා මේ සිංදුව මේකට ආදාළ කරගන්න. තාම නම් හිතා ගන්න බැරි වුණා නේ.. හෙහ් හෙහ්

      Delete
  14. හ්ම්ම් අපි හිතන වෙලාවට නෙමෙයිනේ කොහොමත් යන්න වෙන්නේ ඇත්තටම මේ සිදුවීම මාවත් අවුරුදු හයක අතීතෙට එක්කගෙන ගියා අපි හිතාගෙන ඉන්න දේවල් වලින් කීයෙන් කීයද කරන්න වෙන්නේ කියල හැම වෙලාවේම වගේ මටත් හිතෙනවා.

    ReplyDelete