Wednesday, May 28, 2014

රස්සාවයි පරස්තාවයි දෙකම එකට ගොඩ දැමීම

දැන් කාලේ හැමදේම කොයි කාටත් පහසු විදයට එකම වහලක් යටින් පැකට් කරලා ගන්න පුළුවන් නේ.. තව ඉතින් ඔය නානාප්‍රකාර ප්‍රමෝෂන් කියල ජාති තියෙනවනේ. එකක් ගත්තම තව එකක් නොමිලේ වගේ. ඉතින් ඔය සිස්ටම් එකට මේ රස්සාවයි පරස්තාවයි ගොඩ දැමීමේ කතන්දරයක් තමයි මේක.

මම මේ වෙද්දී කොම්පැනි 4ක වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මැලේ රටේ එකත් එක්ක. ඉතින් ඔය කොම්පැනි වලින් මුලින්ම එකට මම  වැඩට ගියේ බොහොම පොඩි කොල්ලා කාලේ.. ඒ කියන්නේ යන්තම් වයස 22-23ක් විතර. හරියටම 22.5ක් වගේ තමයි එතකොට වයස.  ඉතින් මහා ලොකු පඩි වලට රස්සාවල් දෙන්නේ නෑනේ. ඔය දෙන වැඩක් කරලා වෙන දෙයක් බලාගෙන තියෙන දෙයක් කාල ඉන්න කාලේ නේ. 

මම හරි විදිය කියල සම්මත  හොඳට ඉගෙන ගෙන, විභාග පාස් වෙලා , කැම්පස් ගිහින්, උපාධි අරන් පිළිවෙලකට ජොබ් එකකට ගිහින්, ගෙවල් දොරවල් හදල, කසාද බැඳලා නියම  සිස්ටම් එකට වැඩ කරන ජාතියේ චරිතයක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම කරන්න බැරි වුණ නිසා මම විසින් හදාගත්ත මගේම නොවන මගේ ක්‍රමයක් තමයි තියෙන්නේ (ඕක ඉතින් මේ ලෝකේ ඉන්න ගොඩක් හුදී ජනතාවගේ ක්‍රමේ නේ)

ඉතින් දැන් ඔය මුල්ම රස්සාවට ගිහින් වැඩ කරන කාලේ ඉගෙන ගන්න අන්සේ වැඩත් කළා.. වැඩ කරන ගමන් තමයි ඔය යන්තම් උපාධියක් කියල එකක් ගොඩ දාගත්තේ..  ඒ දවස් වල රාජකාරි වැඩ ඉගෙන ගැනීම , උපාධියට ඉගෙන ගැනීම සහ මේ ගෑනු ළමයි ගැන ඉගෙන ගැනීම ( ඒ කියන්නේ එකක් ගොඩ දමා ගැනීමට  තියෙන ක්‍රම සහ විධි ඉගෙන ගැනීම ) කියන අන්ස තුන තමයි ප්‍රදාන වශයෙන් මුලික වෙලා වැඩ කලේ.

අපරාදේ කියන්න බෑ වටේ පිටේ ඔපිස් වල සිරා කෑලි හිටියට අපේ ඔපිස් එකේ හිටියා පාන් කෑලි වගේ කීප දෙනෙක්.. ගොඩක් අය ඇන්ටි ලෙවල් එකේ.. සමහරු ඒ වෙනකොටම වෙන් කරගත්ත ඉඩම් කෑලි වගේ.. බැරි වෙලා හරි ඉතිරි වෙලා හිටියනම් ඉතින් මෙලෝම රහක් නැති කවුරු හරි තමයි. අවංකවම එහෙම මෙලෝම රහක් නැති කවුරුවත් හිටියෙත් නැද්ද කොහෙද..

ඉතින් ඔපිස් එකෙන් වැඩේ ගොඩ යන්නේ නැති නිසා ඉගෙන ගන්න යන එන තැන් වලදී ගොඩ දාගන්න බැලුවට ඒකත් එච්චර සාර්ථක තත්වයේ තිබ්බේ නෑ.. මොකද ඒ දවස් වල මාත් එක්ක හිටපු (දැනුත් ඉන්න) උන් ටික ඔක්කොම වෙන ඕනේ සබ්ජෙක්ට් එකකට මොකක් හරි වැඩක්  ගන්න පුළුවන් උනාට ඔය ගෑනු සබ්ජෙක්ට් එක නම් නිකන් රින අයන්න වගේ මට්ටමක තිබ්බ උන් ටිකක්. ඒ කියන්නේ කෙල්ලෙක් ළඟට ගියාම කලිසමේ චු යන තත්වේ කියල හිතා ගන්නකො.

උන් ගැන රස කතා වෙනම ලියන්නම්. ඒ තරම් අතීසාර මිත්‍රයෝ ටිකක්.. 

ඒ දවස් වල ඉතින් විභාග 60ක් විතර නේ.. ඒවාට පාඩම් කරනවා. ඊට පස්සේ ඔපිස් එකේ වැඩ වලට කටු කනවා ඔය එහෙන් මෙහෙන් සෙට් වෙන ගෑනු ළමයි ගැන ඇනලයිස් කර කර ඉන්නවා.. ඕක තමයි ඉතින්..

කොහොම හරි ඉතින් අවුරුදු 2ක් විතර ඒ රස්සාව කරන අතරේ අධ්‍යාපන වැඩත් ඉවරයක් කරලා දැම්මා. ඒ කියන්නේ ඔළුවට හතරැස් තොප්පියක් දාල පොටෝ එකක් අල්ල ගත්ත.. හැබැයි ගෑනු සබ්ජෙක්ට් එක තාම බාලාන්ස මට්ටමේ.. (ඔය වෙනකොට අර මගේ අපත යාලුවෙක් ගණන් කරලා තිබ්බ විදියට (උන්ට පුළුවන් ඒ වගේ ඇඩ්වාන්ස් වැඩ තමයි) එක එක සිද්දි 16ක් ද කොහෙද තිබ්බට හැම එකේම අන්තිම රිසල්ට් එක බිංදුව)

ඒ වෙනකොට ඒ කොම්පැනියේ රස්සාව ටිකක් එපා වෙලා පොඩි වෙනසකුත් එක්ක සම්පුර්ණයෙන්ම සිරි ලාංකික දුරකථන සමාගමේ වැඩට ගියා.. මේ සිංහලෙන් බ්ලොග් ලිවිම පටන් ගත්තේ එහෙදි. ඔය මුල්ම කොම්පැනියේ ඉන්න කාලේ තමයි මම මේ සිංහල යුනිකේත ගැන දැන ගත්තේ මොකද ICTA වෙබ් අඩවිය මුලින්ම සිංහල යුනිකේත බාවිතා කරන වැඩේ කලේ ඔය මම වැඩ කරපු කොම්පැනියේ.  ඒ සිංහල වැඩේ කරපු යාලුවා ඒ දවස් වල මට ඕක කිව්වට මම එච්චර ගණන් ගත්තේ නෑ..  

ඉතින් කොහොම හරි අලුත් කොම්පැනියේ වැඩට ගිහින් ඉතින් රස්සාව කරගෙන හිටියට පරස්තා අන්සේ තාම රින මට්ටමේ... ඔය අතරේ ඉතින් පොඩ්ඩක් විතර එක එක සිද්දි නැගල ගියාට අවසාන උත්තරේ අන්තිමට බිංදුව තමයි.. 

කොහොම හරි අන්තිමට අපේ අම්මටත් වැඩේ ටිකක් අවුල් "මුට යකෝ මෙච්චර කරල දීලත් තාම මේ වැඩේ ගොඩ දාගන්න බැරි වුණා නේ. එකත් මටම කරන්න වෙයි වගේ" තත්වයක් තිබ්බේ. කොහොම හරි ඉතින් තව මට ලියන්න කම්මැලි සිද්දි කීපෙකින් පස්සේ ඔන්න ඉතින් මටත් දැන් මේ මොන මගුලක් ද කියල හිතෙන්න පටන් අරන් තිබ්බේ. ඒ කියන්නේ මේක යකෝ මුන්ටම ගිය රටනේ ඇයි අපි කළුද වගේ තත්වයක්.

මම ඉතින් මොන බම්බුවක් ද කියල ඉන්නකොට එක්තරා දවසක අපේ ලොක්කා මට කතා කළා. එතකොට මම ඒ කොම්පැනියේ ටිකක් සීනියර් මට්ටමේ. 

"මචං මේ කොළඹ කැම්පස් එකෙන් ට්‍රේනින් ආපු කට්ටියක් ඉන්නවා . ඔයාට පොඩ්ඩක් පුළුවන් නේද බාර අරගෙන ප්‍රොජෙක්ට් එක ගැන කියල දෙන්න" මමත් ඉතින් "ආ හරි හරි මම බලන්නම්"

අපේ ලොක්කත් ඉතින් ඒ අතින් දෙයියෙක් වගේ මනුස්සයෙක්. මට සැහෙන ලකුණු ටිකක් එහෙම දාල තමයි ඒ ළමයින්ට මාව අඳුන්වල දුන්නේ.. හෙහ් හෙහ්

දැන් පොඩ්ඩක් විතර b ෂේප් වෙලා හිටියට  එදවස මම හිටියේ v ෂේප් එකට

මමත් ඉතින් පොඩ්ඩක් බැලුව .. හි හි මරු බැලිල්ල.. මෙන්න ඉන්නවා හරහට උස ගිය  ළමයෙකුයි, තවත් ළමයෙකුයි, හඳක් වගේ ලස්සන කෙලි පොඩ්ඩකුයි. තව මල්ලි කෙනෙකුත් හිටියා ද කොහෙද.

(මම හිතන්නේ මෙන්න මේ වෙලාවේ තමයි අර දුන්නෙන් විදින එකා උගේ දුන්නේ පැටලුම ඇර ගෙන තිබ්බේ.. )

කොහොම හරි ඉතින් පොඩ්ඩක් කතා බහ කරල ප්‍රොජෙක්ට් එකේ දේවල් කතා කරලා කට්ටිය අදාළ තැන් වලට යොමු කරල මම ඉතින් ගියාද කොහෙද..

අදාළ තැන් කිව්වේ මම හිටිය තැනට ළඟින්ම අර කෙලි පොඩ්ඩ සහ ඇගේ යහළුවන්ගේ ස්ථාන සෙට් කිරීම.

ඊට පස්සේ ඉතින් ඒ ළමයින්ට එන ඔය පොඩි පොඩි ප්‍රශ්න විසඳීම එහෙම මම ම බාර ගත්ත. මෙතන ඉඳන් තමයි කතන්දරේ පටන් ගන්නේ.. 

ඇත්ත වශයෙන් ම මිත්‍රවරුනි මම බොහොම සද්භාවයෙන් තමයි කටයුතු කලේ.. මොකද ඒ වෙනකොට මම හිටියේ අර දුන්නෙන් විදින එකාගේ ආච්චිට හාල් ගරා ගන්න කියල.

හැබැයි ඉතින් අපි එහෙම කිව්වට ඒවා එහෙම සිද්ද වෙන්නේ නෑ නේ.. ඌට විදින්න හිතුනොත් ඌ විදිනවා.. 

අපේ ලොක්කගේ හොඳ කම කියන්නේ ඒ ළමයවයි මාවයි අපේ ප්‍රොජෙක්ට් එකේ එකම මොඩියුල් එකටම දැම්ම.. ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව්වා වගේ.. හෙහ් හෙහ්

ඔය විදියට දවසක් දෙකක් යනකොට අර හඳක් වගේ ලස්සන ළමයාගේ මැෂිමේ එක එක ලෙඩ එන්න ගත්තා .ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ  අනිත් ඔක්කොමලට වැඩ කරන කෝඩ් ඒ මැෂිමේ වැඩ කරන්නේ නෑ.. ඉතින් මට නිතර නිතර එතෙන්ට යන්ට සිද්ද වුණා මිත්‍රවරුනි.

ඉතින් ඔය ගිය වෙලාවක මම කිව්වා "නංගි ඔයා මේ මැෂිමට මෛත්‍රී කරන්න එතකොට ඔය නිතර කැඩෙන ගතිය හරි යයි" කියල.. කට තියන් ඉන්න බැරුවට ඔහේ කිව්වේ. හැබැයි  බොහොම සද්භාවයෙන් යුතුව..

එහෙම කියල මම ගියා. මෙන්න ටික වෙලාවකින් ඒ පැත්තෙන් පොඩි සද්දයක් ඇහෙනවා... මම හීන් සීරුවේ කන දාල බැලුව.. අම්මට හුඩු මෙන්න බොලේ මේ ළමයා හෝ ගාල ටැප් එක ඇරලා.. කැරකෙන දඟර සුලන් කිව්වලු..  මම ටක් ගාල ආයේ ගියා බලන්න..  එතන හිටපු එයාගේ යාලුවෙක් කිව්වා ගණන් ගන්න එපා අයියේ ඒ එයාගේ හැටි කියල.. මම ඉතින් දන්න සෙල්ලන් දාල පොඩ්ඩක් ශේප් කරන්න හැදුවට හරි ගියේ නෑ... මගේ හිතට ෆුල් අවුල්...

හවස් වෙලා අර කියපු යාලුවාගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලන් කෝල් එකකුත් දීල හිත හැදුව කොටින්ම... කොහොම හරි අම්ම එක්කත් කිව්වා අම්මේ මෙන්න මෙහෙම වැඩක් වුණා නේ කියල.. අපේ අම්ම ඉතින් කිරි ගහට ඇන්න වගේ දැනගන්න ඇති.. ගොනා හැරෙන්න පොල් පැලේ ට තමයි කියල.. හෙහ් හෙහ්...

ඔන්න ඉතින් එදා ඔය ගත්ත කෝල් එකෙන් පස්සේ කතන්දරේ බොහොම ලස්සනට සිද්ද වෙලා මිට අවුරුදු 3කට කලින් ඒ හඳ අපේ ගෙදරට පෑයුවා..  (කොහොමද රොමැන්ටික් වචන ටික හෙහ් හෙහ්)

ඉතින් ඔය ගෙවුණු අවුරුදු 3නේ අපි දෙන්න බොහොම සන්තෝසෙන් ජිවත් වුණා.. ඒ කියන්නේ ඉඳල හිටලා පොඩි පොඩි  වලිත් එක්කම..

පහුගිය අවුරුදු වල ඇනිවසරි වලට අපි ගිය සවාරි ගැන මම කලින් ලිව්වා.. මේ ඇනිවසරියටත් අපි දෙන්න බට්ටි නංගිගේ පවුලේ අයත් එක්ක අපි පොඩි සවාරියක් ගියා..

සවාරිය ගියේ මැලේසියාවට අයත් ලංකාවී කියන දුපතට... හරියට ශ්‍රී ලංකාවේ චූටි නංගි වගේ දුපතක්.. පොඩි ලස්සන තැනක්..  සංචාරක කර්මාන්තය හොඳට දියුණු කරලා තියෙනවා.. අපි දවස් 3ක් ඉඳල ආවා..  ඔය ගමනේදී අපි දෙන්නටම ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් කරන්න හිටපු දේවල් කීපෙකුත් කරන්න හම්බ වුණා..

 ඒ කාලේ වගේ නෙවෙයි දැන්.  හදිස්සියකට ජෙට් ස්කී එකේ කඩේට යවා ගන්න පුළුවන් බට්ටි නගාව..


ඔන්න ඔහේ ඕනේ මගුලක් වෙන්න කියල පැරිෂුට් එකෙත් ගියා අපි දෙන්නා.. ඒක නම් අමතක නොවන අත්දැකිමක්.. කුරුල්ලන්ට අහසේ ඉඳන් පොලොව පෙන්නේ කොහොමද කියල දැන ගන්න නම් මේ වගේ පැරිෂුට් සවාරියක් යන්න ඕනේ.. පුදුම ලස්සනයි.

ඔන්න ඔය වගේ තමයි අපේ 3වෙනි ඇනිවසරිය ගෙවිලා ගියේ..  

මිට හරියටම අවුරුදු 3යි මාස 1යි දින 3කට කලින් යෙදුනු ඒ වෙඩිමේ ඇනිවසරිය වෙනුවෙන් සහ මේ මාසේ 6 වෙනිදා ට යෙදුනු මම රස්සාවට ගිහින් අවුරුදු 10ක් පිරීමේ ඇනිවසරිය වෙනුවෙන් මේක ලියල දැම්මේ...

ගෙවුණු අවුරුදු 3 සහ 10 ය ගැන වෙන වෙනම පෝස්ට් ලියන්න හිතුවත් අර දෙකම  එකම වහලක් යටින් දෙන්න ඕනේ කියල හිතල මේක ලිව්වේ.. නැතුව කිසිම කම්මැලි කමක් නිසා නෙවෙයි.. කියවන ඔබලාගේ පහසුව වෙනුවෙන්මයි...

ලබන ඇනිවසරියෙන් නැවත හමුවෙමු...

38 comments:

  1. සුභ පැතුම් සහෝ. චිරං ජයතු

    ReplyDelete
  2. Oyage me bashawen lipiyak keyeuwe adamai.. apo meya pusek wage kollekne e dawas wala he he ..
    Photo dakkama matath asa hithuna appa. Kawada ohoma yannada api..
    Hamadamath sathutin inna.

    ReplyDelete
    Replies
    1. මම වෙනදට ලියන්නෙත් මේ වගේ නෙවෙයි ද? හෙහ් හෙහ්.. වැඩිය ප්ලෑන් කරන්නේ නැතුව දෙන්නත් එක්ක යන්න .. හැමදාම යන්න වෙන්නේ නෑ නේ.. ස්තුතියි..

      Delete
  3. දෙන්නටම උනුසුම් සුබ පැැතුම්. මේ අව්‍යජ ලියවිල්ලත් මරුම තමා. අර පැරාසේලින් ගමනනං බොක්ක රත්වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ පැරා සෙලින් එකට මාර ආස හිතුනා.. බය වෙන්න තියෙන එකම දේ ගහක් උඩට හරි වහලක් උඩට හරි ලෑන්ඩ් වෙයි කියන එක තමයි.. අපි ඉන්න කොට සුද්දෝ දෙන්නෙක් බෝට්ටු ගොඩක් උඩට බෑවා හෙහ් හෙහ්.. අපි දෙන්න නම් යන්තම බීච් එකට බා ගත්තා..

      Delete
  4. ඔය 'සද්භාවය' කියන්නේ මොකක්ද එතකොට හැබෑටම?

    "පුන් චන්ද්‍රා සේ සෝබන සීතා කුලාංගන උන්නාලූ ජ්ම්බූද්වීපේ එදා"

    ReplyDelete
    Replies
    1. සද්භාවය කියන්නේ සද්භාවයට.. ඒ කියන්නේ සද්භාවයට.. අයියෝ තිස්ස අයියා සද්භාවය දන්නේ නැද්ද.. හෙහ් හෙහ්..

      පුන් චන්ද්‍රා සේ සෝබන සීතා කුලාංගන ඉන්නවලු දැන් මෙහෙත්.. :)

      Delete
  5. ඇනවසරියට සුභ පැතුම්!

    ReplyDelete
  6. සද්භාවයෙන් යුතුව ලඟින් ඉන්න අපිට පාටි එකක් දෙන්න වටින අවස්තා දෙකක් මගෑරලා තව බ්ලොග් එකෙත් ලියනවා හ්ම්ම්. පෙනන්න ඕනෙ අපෙ හාමිනේට ..

    ReplyDelete
    Replies
    1. දාමු පාටියක්..

      Delete
    2. පොඩ්ඩක් කලබල නොවී ඉන්න මම එනවා සැප්තැම්බර් වල.

      Delete
    3. එතකල් අල්ලන් ඉන්න අමාරු වෙයි වගේ.. අපි ඒ කාලේට වෙනම එකක් දාමු.. :)

      Delete
  7. දෙකටම සුභ පැතුම්.. යකෝ ලබන ඇනවසරිය ලබන මාසේ හරිද?

    බලං ගියාම හදිස්සියට වත් බොලා ගාව ගැල්ලමයයෙක් ට්‍රේන් කරන්න නරකයි. දැක්ක නේ වැඩේ..

    ReplyDelete
    Replies
    1. අන්න අන්න උඹ මගේ සද්බාවය වැරදියට තේරුම් අරගෙන නේ.. ඕකනේ ඉතින් බැරි.. සද්බාවය යුතුව ට්‍රෙන් කරන්න තමයි උත්සාහ කලේ.. කොහෙද අර දුන්නෙන් විදින එකත් එක්ක මිනිහෙකුට සද්බාවයෙන් ගෑනු ළමයෙක් ව ට්‍රෙන් කරන්නවත් බෑනේ බන්..

      ලබන මාසේත් එකක් ලියල දාන්නම්.. උඹලට සුබ පතලම එපා වෙන්න.. :)

      Delete
  8. අරකටයි මේකටයි ඔක්කෝම සුභ පැතුම්..! :D

    ReplyDelete
    Replies
    1. කියවන්නේ නැතුව දාන සුබ පැතුම් වලංගු නැත... බොරුවට හරි සුබ පැතුව එකට ස්තුතියි.. :D

      Delete
  9. සුබ වේවා....හරි ලස්සන කතා පුවත නියමයි

    ReplyDelete
  10. ඇනිවසරියට සුබ පැතුම් සහෝ..

    ReplyDelete
  11. හැප්පි හැප්පි ඇනිවසරි එකක් වේවා !!!

    ඒක නෙමේ මාත් ආසයි අර වගේ බැලුමක එල්ලිලා ලෝකේ බලන්ඩ යන්ඩ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිව්වා. මධුරංග ට පුළුවන් බැන්දට පස්සේ දෙන්නත් එක්ක මේ වගේ ට්‍රිප් එකක් යන්න.. ලොකු ගානක් යන්නේ නෑ.. අනිත් එක හැමදාම කරන්න පුලුඅව්න් වැඩ නෙවෙයි නේ.. යනවා කියල හිතා ගන්න. එතකොට කවද හරි යන්න පුළුවන් වෙනවා.. :)

      Delete
  12. සුබ ඇනිවර්සරි වේවා !!

    //මම හිතන්නේ මෙන්න මේ වෙලාවේ තමයි අර දුන්නෙන් විදින එකා උගේ දුන්නේ පැටලුම ඇර ගෙන තිබ්බේ.. // හැක්.. නියම කතාව. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හෙහ් හෙහ් එච්චර කාලයක් වැරදි ඒවාටම මු විද්දේ.. :D

      Delete
  13. ඔන්න එහෙනම් ඉරටයි හඳටයි දෙන්නට ම සුබ පැතුවා!!!

    ReplyDelete
  14. හඳ පායා සිනාසීයේ - ඔබගේ මුණේ උදා වීයේ ....
    දහයේ ඒවා තුනක්ද - තුනේ ඒවා දහයක්ද අදින්න වාසනාව ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදික අයියේ.. :)

      Delete
  15. ජයවේවා!

    මං හිතන්නේ අර අඩපු එකත් මල්සරා ගේ ස්ක්‍රිප්ට් එකේම කොටසක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කකා.. අනිත් හැම ස්ක්‍රිප්ට් එකම ඌ වැරදියට ලිව්වට මේක නම් නියමෙටම ලියල තිබ්බා..

      බොහොම ස්තුතියි..

      Delete
  16. සුබපැතුම් සහෝ... :)

    හරි කෙනා හමුවෙනකම් නෙගිටිවූ ම තමා.. @මග ;)

    ReplyDelete
  17. මේක දැක්කෙ දැං නෙව. මරු ආදර කතාව. පරක්කු උනත් සුභපතනව.

    ReplyDelete