Friday, May 25, 2018

The princess and her box හෙවත් වෘකයාගේ පෙට්ටිය

   
     Once upon a time, In a land far, far away, there was a magical kingdom. Surrounded by an invisible wall which is taller than the tallest tree ever grown. Kingdom was built by ancient kings whose footprints have already vanished on the sand of time. Nobody knew the existence of that land.  Unlike other magical lands, there were no dragons, there were no witches...

"Who lived there then?" you might wonder..  

There lived a beautiful princess. The most beautiful of all princesses ever lived. Ravishing eyes, alluring smile with kissable lips... "oh! all princesses are like that.. you might say". "Well.. but she had the most ravishing eyes, the most alluring smile and the most kissable lips...!"

She lived with her one and only friend. 

Kingdom was filled with joy and happiness ever since it was built. People lived there were the most intelligent people ever lived. "wasn't there a single stupid kid at least? you might think...

No there wasn't...because there was a huge library which was bigger than the biggest library in all kingdoms ever existed...

"So now you are saying that all people in that kingdom have read all books in that biggest library?

"Well... ummm..... yes... or maybe not...

One bright morning the princess woke up...

"Was she single?"

Of course! she was single...

Ok... hmm..

And she called her friend...

"Oh! I forgot to tell you about her friend... her one and only friend was a wolf..."

"A wolf...?"

"Yes, a wolf. A big bad wolf".

"Why on earth she was keeping a big bad wolf as her best friend?"

"Don't you know? Those lands with magic are mystical... though, there were no witches, no dragons... people were mystical... they had wolves."

"ok...go on..."

The wolf was protecting the most valuable possession of the princess...

"Her Box!"

"The box? what box?"

"Ohhhhh... You mean... that box..that beautiful, ravishing, alluring and kissable box?"

"What? what are you talking about?" "I'm reading a fairytale here... you dirty freaks!"

බෑනේ ඉතින් කරන්න.

මේක මේ ලස්සන සුරංගනා කතාවක්. වෘකයෙකුයි පෙට්ටියකුයි ගැන. මහ ලොකුවට මේ ඉංග්‍රීසියෙන් කතා කලාට සුද්දෝ මහ ජරා සත්තු... අපි වගේ හැදියාව නෑ... කතාව කියන්ඩ දෙන්නේ නෑනේ.. ඔන්න ඔහේ මම වෙච්ච සිද්දිය කියන්නම්. සුරංගනා කතාව ලොකු වුනාම කොහෙන් හරි හොයල කියව ගන්ඩ ලා ...

අර වෘකයා දන්නවනේ, අර බඩ තඩි, උස, කළු, මහත... අර අර රතු හැට්ට කාරීත් එක්ක මොකක් ද හුටපටයක් නටන්න ගිහින් අතේ මාට්ටු වෙච්ච වෘකය අනේ...

ඌ ආයේ මේ පැත්තේ ආවනේ... මේ සැරේ එන්න ඇත්තේ මැලේ කෑල්ලක් අල්ල ගන්න වෙන්න ඇති... ගිය සැරේ ඇවිල්ල චීන කෑලි අල්ල ගන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති... චීන කෑලි එක්ක සෙල්ලං දාන්න බෑ.... ලංකාවටත් ආව නේද? රතු හැට්ට කාරිගේ කේස් එකෙන් පස්සේ ලංකාවේ කෙල්ලෝ පස්සේ යන එක නවත්තල ද කොහෙද... හුහ්...

මම ගියා ආපු දවසෙම බලන්න... අපරාදේ කියන්න බෑ ඌ මෙහෙ එන්නෙම මම මෙහෙ ඉන්න වෙලාවට... ඒ අතින් නම් ඉතින් හොඳ වැඩත් කරනවා...

හරි හරි වැඩි කතා බතා ඕනේ නෑ...

පින්තුර ටික බලන්නකෝ

කාට හරි අගක් මුලක් තේරෙන්නේ නැත්නම් මෙතෙන්ටයි මෙන්න මෙතෙන්ටයි ගිහින් ආගිය කතා දැන ගෙන එන්න.

මේ සැරෙත් ගිය සැරේ වගේම පෙට්ටි වර්ග දෙකක් තිබ්බ. එකක් රිංගිට් 99යි. අනික රිංගිට් 79යි.


පෙට්ටි ගොඩ ගසා ඇති අයුරු



මම පෙට්ටිය ගත්ත වෙලාවේ මගේ නමයි, ටෙලිෆෝන් නම්බර් එකයි, ගත්ත දිනෙයි පෙට්ටියේ ලියනව. මෙහෙම කරන්නේ හොර කරන එක වලක්වන්න. පස්සේ එලියට යද්දී බිලත් එක්ක චෙක් කරලා බලනවා හරි කෙනාගේ පෙට්ටියද කියල. 


මම මේ සැරේ පෙට්ටිය ගන්න කලින් ඇතුලට ගිහිල්ල වටයක් දාල බැලුව ගන්න තරම් පොත් තියෙනවද කියල. පොත් තිබුන. හැබැයි අර මුල්ම සැරේ තිබුන වගේ හොඳ පොත් අඩුයි. තිබුණු පොත් ගොඩක් ඒවා කලින් සැරේ තිබුණු ඒවම තමයි. අනිත් එක පොත් ටිකක් පරණයි. නමුත් අපරාදේ කියන්න බෑ හොඳ පොත් තිබුනා.

මේ තියෙන්නේ පොත් ගොඩවල්,




මේවා දැක්කහම ඉතින් නොදා එන්න හිත දෙන්නේ නෑ... හැබැයි දැන් එහෙම ආවට ගියාට වැඩ කරන්න බෑනේ..


පළවෙනි දවසෙත් හෙනට සෙනග


මෙන්න මෙහෙමයි දැන්වීම් දාල තිබුනේ

හරි දැන් බලමු වටේ කැරකිලා කැරකිලා මම ගත්තු සෙට් එක.



ඔක්කොම පොත් 32ක් තිබුනා.


මේ සැරේ පෙට්ටිය හරියටම වහන්න පුළුවන් විදියට පොත් අහුරන්න වුනා. පොඩ්ඩක් හරි මැදින් ඉස්සිලා තිබුනත් චාන්ස් එකක් දුන්නේ නෑ.. නමුත් ඉතින් පාඩුවක් නෑ...

මැයි මාසේ 10 වෙනිදා ඉඳල 20 වෙනිදා වෙනකම් තිබුනා. මම ආයේ සැරයක් යන්න හිතාගෙන ආවට එක එක දේවල් හින්ද ආපහු සැරයක් යන්න බැරි වුනා. කොහොම වුනත් හොඳ පොත් ටිකක් හම්බ වුනා. ඔය යටම තියෙන The Hobbits ග්‍රැෆික් පොත ගිය සැරේ ලංකාවට ගිය වෙලාවේ අතගාල බලල ගන්නේ නැතුව ආපු එකක්. මේ සැරේ දැක්ක ගමන් පෙට්ටියට දා ගත්තා. ලංකාවේදී රුපියල් 1000ක් විතර වෙච්ච එක මෙහෙ නිකන්...  ඔය EINSTEIN කියන පොතත් මම කලින් ගත්ත එකක්. හැබැයි හෙන සිරා නිසා තව එකක් ගත්තා. ඉස්කෝලෙක පුස්තකාලෙකට දෙන්න වගේ හෙන වටිනවා. 

ගිය සැරවල් වල ගත්තු පොත් ඔක්කොම ලංකාවේ දාල ආපු නිසා එක පොතක්වත් නැතුව හිටියේ. මේක ලැබිච්ච එක නිකන් ඉහේ මල් 5ක් විතර පිපුනා වගේ. 

දැන් කෙනෙක් අහන්න පුළුවන් පොත් ගත්තට කියවන්නේ නෑනේ.. කෝ එකක් හරි කියෙව්වා ද කියල...  හෙහ් 

මේ තියෙන්නේ කියවන්න ගත්තු පොත. සෙල්ලං ද කොල්ලෝ කිව්වලු...

පොත ගැන විස්තර කියවලම තමා ඉතින් කාට හරි දැන ගන්න වෙන්නේ... හැදිච්ච කොල්ලෙක් වශයෙන් ඕවා මේකේ ලියන්න හොඳ නෑ... රට්ටු එක එක දේවල් හිතන්න ඉඩ තියෙනවා.

ඔන්න ඔහොමයි ඉතින් මේ සැරේ වෘකයාගේ පෙට්ටි කතාව සිද්ද වුනේ. මම දැක්ක මේ ප්‍රදර්ශනේ ආයෙත් ලංකාවේ තියෙනවා කියල කතාවක්. ඕක සංවිධානය කරන අයට පුළුවන් නම් මේ පෙට්ටි වැඩේ කරන්න යහපාලනෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට අඩු ගානට හොඳ පොත් ටිකක් වත් ගන්න අවස්තාවක් දෙන්න තිබුනා. කලින් සැරේ සේල් එකේ තිබ්බ පොත් වල ගාන වැඩියි මට නම් හිතුනු විදියට. මොකද ඔය ඕනෙම පොතක් රුපියල් 200ට විතර මෙහෙ තියෙනවා. ලංකාවේදී අඩුම ගාන මම දැක්කේ 500ක් ද කොහෙද...

තව පොත් ප්‍රදර්ශයක් ආපු ගමන් ආයේ හමු වෙමු එහෙනම්..



Sunday, May 06, 2018

කැරකෙන ලෝකේ...

                
                ලියන්න දේවල් 15002ක් විතර ඔළුවට ආවට කිසිම දෙයක් නොලියා මාස 2ක් ගත වුනා. පෙබරවාරි මාසේ අන්තිම එක ලිව්වට පස්සේ ලියන්න ඕනේ තරම් වෙලාව සහ විවිද දේවල්  තිබුනට හැමදෙයක්ම නිකන් අංජබජල් වෙලා තිබුනේ. සිංහලෙන් Unsettle කියන්නේ. අන්න එහෙම වෙලා. කොටින්ම කිව්වොත් දැන් මම මගේ Motto එක විදියට පාවිච්චි කරන්නේ Never Settle කියල. ඔය වයසට ඔහොම ඉඳල බෑ නේද? අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අපි නම් ඔය කාලේදී මෙහෙමයි. ඔන්න  ඔහොම ලැබෙන අවවාද අනුසාසනා අහගෙන සම්මත විදියට වැඩ කරන්න ගත්තට මොකද අන්තර් විශ්වීය කුමන්ත්‍රණ වලින් කොහොම කොහොමින් හරි ඒවා වළක්වල, මේ අහිගුන්ටික හෙවත් සිංහලෙන් කිව්වොත් Posh Nomad ජිවිතේකට ගෙනල්ල අතෑරලා දාල තියෙනවා.  මං ඔය මාවල් චිත්‍රපටි, එතකොට ස්ටාර් වෝර්ස්, ස්ටාර් ගේට්, ස්ටාර් ට්‍රෙක් වගේ ඒවා බලන හින්ද ඔය අන්තර් විශ්වීය කුමන්ත්‍රණ ගැන හොඳට දන්නවා. ඒ නිසා මේ බයියන්ගේ ටොයියන්ගේ උපදෙස් පැත්තක තියල අපි දෙන්නා Finding Neverland වගේ ඉන්නවා. 

                  කොටින්ම කිව්වොත් අපි ආපහු ඒ කියන්නේ බැක් ටු මැලේසියා ආවා. මෙතැන් සිට සියලු දේ මැලේසියාවේ සිටය. දැන් ඔය මගේ කෙරුවාවල් ගැන යන්තම් යන්තම් හරි දන්න කියන අයට ලොවෙත් නැති ප්‍රස්න තියෙනව. ඒ කියන්නේ...

අර ගෙයක් හදන්න ගත්ත කිව්වා නේද? එතකොට ඒක? 
ආ ඒක ද? මම එහෙම එකක් කිව්ව ද? ආ කිව්ව ද? 
ඔව් ඔව් ඒ දවස් වල හෙන ටෝක්ස් දුන්න නේද? 
ආ ඒක මේ.. මේ.. මේ... බාගෙට හැදුවා... ඔව් ඔව්... හදල තියෙන්නේ...  මේ මේ... දැන් පොඩ්ඩක් නතර කළා... 
පොඩ්ඩක් කිව්වේ...? 
පොඩ්ඩක් කිව්වේ... පොඩ්ඩක් හදල නතර කළා...
ඇයි නතර කලේ...? එහෙම නතර කරන්න හොඳ නෑනේ...
නතර කලාට මක් වෙනවද? 
නෑ මේ... මම කිව්වේ ඉතින් මේ..... හදන්න පටන් ගත්තු විදියට ඉතින් අපි හිතුවේ.....
අපි ඒක නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළා...  
එතකොට අර ගෙනිච්ච බඩු...? වික්ක ද? 
නෑ නෑ වික්කේ නෑ... 
විකුණනවද දන්නේ නෑ නේද? 
නෑ නෑ විකුනන්නෙත් නෑ... 
හරි හරි.... මම මේ නිකන් ඇහුවේ...  
ඒ කියන්නේ මැලේසියාවේ ඉදන් ගේ හදනව ද?  
නැවත දැනුම් දෙන තුරු නතර කළාම නැවත දැනුම් දීලා තමයි ආයේ හදන්නේ. එතකං පොඩ්ඩක් ඉන්න. 
හරි හරි මම මේ නිකං ඇහුවේ...  

දෙන්න තුං දෙනා වෙන්න අදහසක් නැද්ද දැම්ම? 
තුං වෙනියා මගක් දුර ඇවිල්ල ආපහු යන්න ගියානේ.. අයේ ඕනේ දවසක එයිනේ...
ඒකත් එහෙම ද? ඕවා ඔහොම තමා. හැබැයි එහෙම කියල බෑ... 
දැන් බලන්න අර අපේ අහවලාගේ අහවල් ගෙදර...
අපි ඒකත් නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළා...
හෙහ් හෙහ් එහෙම පුළුවන් ද? ඕවා කල් දාල බෑ...
නෑ නෑ කල් දාන්නේ නෑ... බය වෙන්න එපා...
ඔය කිව්වට අර අපි දන්න ගෙදරක........
හරි හරි මම කිව්වනේ අපි නැවත දැනුම් දෙන්නම්...

දැන් එතකොට මැලේසියාවේ ඉන්න තැනක් රස්සාවක් එහෙම තියෙනවද..?
ඉන්නේ මැලේසියාවේ හන්දියේ බෝ ගහ යට... රස්සාවට කරන්නේ බෝ ගහේ කපුටෝ ගනන් කරන එක..
හෙහ් හෙහ් එහෙම කියල පුළුවන් ද?
ඉන්න තැනක් රස්සාවක් නැතුව කොහොම ද?
ඉන්න තැනක් රස්සාවක් තියෙනවා...
කලින් තැනම ද?
නෑ නෑ වෙන තැනක්.
එතකොට ඉන්නේ..?
ඉන්නෙත් වෙන තැනක...
ආ ඒක හොඳයි...
උයාගෙන ද කන්නේ?
නෑ මා ළඟ මැජික් පොල්ලක් තියෙනවා. මන්තරේ මතුරලා ඒකෙන් මේසෙට තට්ටු කරන්න විතරයි තියෙන්නේ කෑම ඉබේ පහල වෙනවා. 
හහ් හහ් හා.. හරි ෂෝක් නේ... ලංකාවට ඇවිල්ල ගියාට පස්සේ විහිළු කාරයෙක් වෙලා නෙ..
මැලේසියාවේ හන්දියේ කඩෙන් ගත්තේ... ඕනනම් පොල්ලක් ගෙනත් දෙන්නම්...


මටත් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ...
මැලේසියාවේ බඩු ගණන් ද?
නෑ... ඔක්කොම මන්තර බලෙන් ලැබෙන්නේ... 
විහිළු නෙමෙයි අනේ...
මැලේසියාවේ තියෙන්නෙත් ලංකාවේ තියෙන බඩුම තමා. එකම කොම්පැනි වල හදන, එකම බිස්නස් කරන මිනිස්සු ඉන්නේ, බඩු ගණන් තමා.
වෙන රටකට යන්න තිබ්බනේ... ඇයි අපහු මැලේසියා ගියේ?
මේක ඉතින් දන්න කියන තැන නේ...
වෙන කොහේ හරි යනව ද?
අහිගුන්ටික ජිවිතේ නෙ.. කොහේ යයි ද කවුද දන්නේ...
ඒ වුණාට ඔය වයසට ඔහොම ඉඳල බෑ... පිළිවෙලක් වෙන්න එපෑ..
හරි හරි...එහෙම කරන්නම්කො.... එහෙනම් මම ගියා බායි...

ඔන්න ඔහොමයි ඉතින් ඕවා සිද්ද වෙන්නේ. ලෝකේ කැරකෙන එකේ අපිත් ඔය කවද හරි නතර වෙනකම් ඔන්න ඔහේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න එකනේ... 


Tuesday, February 06, 2018

සෝර්බා ද බුද්ධ



සෝර්බා ගැන සම්භාව්‍ය විදියට කියන්න මගේ සාහිත්‍ය දැනුම මදි. හැබැයි සරල කියවන්නෙක් විදියට සෝර්බා ගැන මට දැනුනේ මෙහෙමයි.

අපි සෝර්බා වෙන්න ආසයි! ඒත් බයයි

මම මේ සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගත්ත පොත් කිහිපයෙන් එකක් තමා සෝර්බා නම් ග්‍රීකයා පොත. පොත ගත්තේ තරුරසී ගේ කඩෙන්. පොත කියවල ඉවර වෙලා අන්තිම පිටුව බලද්දී තමා දැක්කේ පොතේ දෙවෙනි මුද්‍රණය වෙනුවෙන් තරුරසී ගේ දායකත්වය ගැන. මෙවැනි පොතක් අප වෙත සිංහලෙන් ගෙන ඒමට දායකත්වය දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ.  මේ පොත ගන්න ප්‍රදර්ශනේ තිබුණු කුටියට ගිය වෙලාවේ මේ වසරේ තරුරසී එලි දක්වපු දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නවකතා පොත කඩේ තිබුනේ නෑ... පස්සේ මම ඒ පොත දැක්කත් මට ගන්න හිතුනේ නෑ... ඒ මොකද මට හිතුනු විදියට මම ඒ පොත ලියවිලා තියෙන කරුණු සහ ඒ සම්බන්ද කතා කියවන්න අකමැති නිසා. මම ඒක තරු රසිට කිව්වා. හැබැයි ඉතින් කවද හරි මම ඒ පොත ගනියි... කියවන්නත් ඉඩ තියෙනවා. මම වැඩිය කැමති ෆැන්ටසි කතා කියවන්න. ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් කියවන්න මම කැමති නෑ... ෆැන්ටසි කතා වල තියෙන විකාර අදහස් අපි හිතන පතන විදිය වෙනස් කරන්න පොළඹවනවා. අනේ මන්ද මට නම් එහෙමයි.


සෝර්බා නම් ග්‍රීකයා පොතේ පින්තුරයක්

සෝර්බා නම් ග්‍රීකයා පොත සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මයා විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙන්නේ. මට පරිවර්තනය ගැන නම් කියන්න වරදක් තිබුනේ නෑ. නිදහසේ කියවගෙන යන්න පුළුවන්. 

සෝර්බා පොත ගැන මම එහෙන් මෙහෙන් කියවල තිබුනට කතාව දැනගෙන හිටියේ නෑ. දැන් ටික දවසකට කලින් පොත කියවන්න අරගෙන, සැරෙන් සැරේ ටික ටික කියවල තිබුනා.  මේ පහුගිය ඉරිදා එක හුස්මට කියවල ඉවර කළා. එක හුස්මට පිටු 250ක් විතර කියෙව්වා. 


සෝර්බා චරිතය අපුරුයි. ඒ චරිතය ගොඩ නගපු නිකොස් කසන්සාකිස් ගේ ජීවිතය ඊට වඩා අපුරු ඇති. මේ පොත The Life and Times of Alexis Zorba නම් කෘතියේ සිංහල පරිවර්තනය.



 නිකොස් කසන්සාකිස් ගේ පින්තුරයක්. විකිපීඩියාවෙන්


ඔරිජිනල් පොත කවද හරි කියවන්න ඕනේ. මට හිතෙනවා මේ පොතේ තියෙන අදහස් වල හැටියට මේ පරිවර්තනය සුමට වැඩියි කියල.

තරුණ කාලේ පටන් ගනිද්දී සෝර්බා කියන්නේ තනිකර විකාරයක්. මෙහෙම දේවල් නම් වෙන්න අමාරුයි. මිනිස්සු ඔහොම ඉඳල හරි යන්නේ නෑ. සමාජයට ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔහොම හිතෙයි.

දශක තුනක් විතර ගෙවෙන්න කිට්ටු වෙනකොට සෝර්බා වගේ වෙලා බෑ. හැමදේම පිළිවෙලක් තියෙන්න ඕනේ කියල හිතෙයි.

නෝටි ෆෝර්ටි කිට්ටු වෙනකොට සෝර්බා කියන්නේ ඇත්ත. හැබැයි සෝර්බා වෙන්න බයයි. සෝර්බා ගැන ඉරිසියයි.

ගිය සිකුරාදා හවස බාලසුරිය මහත්තය අපේ ගෙදර ආවා. සෑහෙන්න වෙලාවක් කතා කර කර හිටියා. බාලසුරිය මහත්තය ගැන මම කලින් ලියල තියෙනවා. අපි ගොඩක් දේවල් කතා කළා. ඒ දේවල් සැරෙන් සැරේ මම මේකේ ලියන්නම්. බාලසුරිය මහත්තයා ඉස්සර කියපු සමහර කරුණු තේරුම් ගන්න මට අවුරුදු 4-5ක් ගියා. අපේ ජිවිත දැක්ම වෙනස් කර ගන්න, හිතන පතන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කර ගන්න සහ ඒ වෙනස තුලින් සැබෑව අත්දකින්න හැකියාව ලැබුණා. 

ඔය කතා කර කර ඉද්දි මේ පොත ගැන මම කිව්වා. නමුත් බාලසුරිය මහත්තය පොත කියවල තිබුනේ නෑ. මගෙන් ඇහුවා කියෙව්වා ද කියල... මමත් ඒ වෙද්දී සම්පුර්ණයෙන් කියවල තිබුනේ නෑනේ. ඉරිදා තකහනියේ පොත කියවල ඉවර කරන්න ඒ කතා බහ හේතු වුණා.

සෝර්බා ගේ ජීවිතය පිස්සුවක්. හැබැයි ඒක ඇතුලේ නිදහස තියෙනවා. ඔහුට රාමු නෑ. හිර වෙලා නෑ. ඔහුගේ ජීවිතය සැපවත් නෑ එහෙම වෙන්නේ සැප කියන්නේ භෞතික සැප නම්... හැබැයි දුකකුත් නෑ...  දුක කියන එක භෞතික හෝ අභෞතික වෙන්නේ නැති නිසා ඔහු තුල දුක නෑ. දුකක් නැති වීමේ සැප හැම වෙලේම සෝර්බා තුල තියෙන්න ඇති.

මම ඕෂෝ ගේ පොත් කියවල නෑ. මට කවදාවත් කියවන්න හිතිලත් නෑ... ඕෂෝ ගේ දර්ශනය මට තේරුම් ගන්න පුළුවන් ද කියලත් මම දන්නේ නෑ. ඕෂෝ රාජිනිෂ් සෝර්බා ගැන කියල තියෙන්නේ දේ පොතේ පිටකවරේ තියෙන්නේ මෙහෙම

"සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍ය යි. සෝර්බා තනිකර ගත්තම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත් වෙනවා. ඒ නිසා සෝර්බා සහ බුද්ධ එකතු වුනොත් විතරයි පරිපුර්ණ මිනිසා ගොඩනැගෙන්නේ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස් ම බලවේගය. සරල ව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ

අලුත් නමක් - අලුත් මිනිසෙකුට,
අලුත් නමක් - අලුත් යුගයකට,
අලුත් නමක් - අලුත් ඇරඹුමකට,

සෝර්බා සහ බුද්ධ ගේ හමුවීම තමයි ඉතිරි ව තිබෙන එක ම ප්‍රාර්ථනාව"

සෝර්බා නම් ග්‍රීකයා පොතේ පෙර වදනට පසුව මෙන්න මෙහෙම තියෙනවා

"මං රටෙනුත්, පුජකයන්ගේනුත්, සල්ලිවලිනුත් බේරුණා.
මං තවත් හුඟක් දේවල්වලින් බේරී බේරී ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කරගත්තේ.
මම - කොහොමද ඒක තේරුම් කරන්නේ?-
මගේ විමුක්තිය මම ම හොයා ගත්තා...
මං මිනිහෙක් වුණා!"


බුද්ධ ගේ ජිවිතය (සමාවෙන්න බුදුහාමුදුරුවන්ගේ ජීවිතය) ගැන අපිට පුජකයෝ (සමාවෙන්න ගරුතර සංඝ රත්නය) කියන දෙයට අමතරව හිතල බලන්න නිදහස තියෙනවා නේද?  සමහර විට ඕෂෝ(ල) ට අපිට වඩා නිදහසේ ඕවා ගැන හිතන්න පුළුවන් ඇති.  නිකොස් කසන්සාකිස් බුදු දහම හදාරපු කෙනෙක්. ඔහු ගේ අතින් සෝර්බා බිහිවෙන්න හේතුව සමහර විට ගරුතර පුජක රත්නය ග්‍රීසියේ බණ නොකියන නිසා වෙන්න ඇති.

සෝර්බා ගේ ජීවිතය සරලයි. ඇති සැටියෙන්ම ඔහු ජිවත් වෙනවා. ලොක්කා සහ සෝර්බා අතර වෙනස කතාව පුරාම තියෙනවා. අපි කැමති ලොක්කා වෙන්න. අපිට උගන්නල තියෙන්නේ ලොක්කා විදියට හැදෙන එක තමයි හරි කියල. විමුක්ති මාර්ගය තියෙන්නේ ලොක්කාගේ ක්‍රමය තුල කියන එක තමයි අපේ ඔලුවේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ (ප්‍රෝග්‍රෑම් කිව්වම මතක් වුණේ, ඔය ප්‍රෝග්‍රෑම් කියන්නේ තනිකර බග්ස්  Program Bugs) ගොඩවල්. අපි වගේ අයි.ටි කාරයින් ජිවත් වෙන්නේ ඔය බග්ස් වලට පිං සිද්ද වෙන්න). හිතල බලන්නකෝ ඉතින් රටක මිනිස්සුන්ගේ ඔලුව එක විදියකට ප්‍රෝග්‍රෑම් කරලා, ඒ ප්‍රෝග්‍රෑම් වල අවුල් නිරවුල් කරන්න ඉදිරිපත් වීමෙන් කොච්චර සේවයක් කරන්න පුළුවන් ද කියල...

කලාතුරකින් සෝර්බා වගේ මිනිස්සු හමු වෙනවා. හැබැයි අපි ඒ මිනිස්සුන්ව නොසලකා හරිනවා. අර ප්‍රෝග්‍රෑම් එක ඔවුන් තුල රන් වෙන්නේ නැති නිසා. අපිට ඔවුන් සමග සංහිඳියාවට පත් වෙන්න අමාරුයි... සිංහලෙන් කිව්වොත් ඒ vibes එක්ක sync වෙන්න අපිට බෑ... 

ඊළඟට කියවන්න ඉන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ සියවසක හුදෙකලාව. එක කියෙව්වම තව ටිකක් කොලොප්පන් වෙයි. කොහොම වුනත් මේ දවස් වල මම ගෙවන්නේ සෝර්බගේ පැත්තට චුට්ටක් බර අඥකොරොස් ජිවිතයක්. 





Monday, February 05, 2018

සියුම්


සියුම් තැන්
ගැන සියුම් සිතුවිලි
වසාලන සඳ දුවන සිත
දුරස් වී යයි
සහන හැඟුමන්

සිහිය මගහැර
සිතට මුල්තැන
එකක් පසු පස තව එකක් ලෙස
ගැටළු පැන එයි
දිවිය රළු කොට

ගැඹුරු දේ ගැන
වෙහෙස වන විට
පුංචි සිතුවිලි පසෙකලා
උදම් වී එයි
මාන හැඟුමන්

පිටට පෙන්වන
මවාගත් බව
දකින්නට හැකි වන
දිනක මතු යම්
නිසල වී යයි සැලෙන සිත

හොඳයි නම් මම
දනට පිනට ලැදි නම් සිත
බණත් දහමත්
පරතෙරට දැන
නිවන් මග ඒවි විවරව

සැබෑ සත්‍යය
දකින්නට නම්
ඔබත් ලොවත් යනු
එකක් මිස දෙකක්
නොවන වග

දනට පිනට ලැදි
බණෙන් පිරුණු
හරිම හොඳ ඔබේ සිත
කඩතුරා හැර
දැකිය යුතු මය එය

සොබා දහම ද
ජිවය ද
ඔබ සහ අනෙකා ද යනු
සත්‍යයේ පැවතුමයි
විශ්වයේ ඇති සැබෑවයි

කෙළවරක ඇති
නිවන පිළිබඳ
සිහින දකිමින්
පිං කරන සඳ
වැසී යන්නේ ඒ සැබෑවයි

සියුම් සිතිවිලි
මග හැරී යන
සිහින නිවනෙන්
මෙපිට ඇවිදින්
දකින්නට හැකිනම්

නිවන ඇත්තේ
මෙතැන මේ මොහොතේම බව



Monday, January 15, 2018

පරිණාමයේ වේදනාව II



පලමු කොටස මෙතනින් කියවන්න


පෙර වදන,

කීර්ති විමලසුරිය නම් රසිකයෙකු විසින් පෙර කොටසේ ලිපියට පිළිතුරක් ලෙස පුවත්පතට ඒවා තිබුණු ලිපියක් හේතුවෙන් මෙම දෙවන කොටස ලියැවිණි. නමුත් මේ කොටස මම පත්තරයට යැව්වාදැයි හරි මතකයක් නැත.  ඔහුගේ එම ලිපියෙන් උද්දාමයට පත්ව මෙහි එන දෙවෙනි කොටස ලිව්වෙමි. මතකය නිවැරදි නම් ඒ වන විට මම පොත ලිවීමේ තීරණයට පැමිණ කතා ලියමින් සිටි කාලයයි.

එම ලිපිය යුනිකේත කිරීමට නොහැකි (කම්මැලි) බැවින් පහත ඇති එහි පොටෝව නරඹා සතුටු වන්න


කීර්ති විමලසුරිය නම් නොහදුනන මිතුරා විසින් පුවත් පතට එවූ ලිපිය


මෙම කොටසේ එන පිළිතුරු ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ ඒ නොදන්නා මිතුරාටය.




                                                                                                             

ක්‍රි.ව. 2424 පෙබරවාරි 23 දින,
ශ්‍රී ලංකාවෙන්



ක්‍රි.ව. 2000 අප්‍රියෙල් 28 දින,
ශ්‍රී ලංකාවට,


මා ප්‍රිය මිතුර,

     ඔබ මා එවූ ලිපිය පිළිබඳ සැලකිලිමත් වීම ගැන මම මගේ මුළු හඳින්ම ඔබට කෘතඥ වෙමි. නමුත් එහි වූ සමහර කරුණූ සම්බන්ධයෙන් මා තුළ යම් ආකාරයක ගැටළු සහිත බවක් පැන නැඟී ඇත. මක්නිසාදයත් එහි එක්තරා තැනක සඳහන් වන පරිදි ඔබ හා මා අතර වසර 400ක පමණ කාල පරතරයක් ඇති බවත් එබැවින් අප තුළ ඔබලාට සාපේක්ෂව බුද්ධිමය, අධ්‍යාත්මික හා පරිණෘමික දියුණුවක් ඇති බවක් ඔබ සිතන බව පෙනේ. එය මම පිළිගනිමි. එනමුදු අපි තවමත් පෘථග්ජන මිනිසුන් වෙමු. එබඳු මිනිසුන් තුළ ආශාව, ආදරය ඇති වීම ස්වාභාවික බව ඔබ දන්නා බව මම සිතමි. එය ජීවමයද යාන්ත්‍රිකද යන්න මත රඳා නොපවතින බව මගේ අදහසයි.

එසේම ඔබ දකින ලෙස මා තුළ පැමී කෙරෙහි ඇති වූ ආදරය, විවාහය දක්වාම පැවතිය යුතු බවත් මානව සංහතියේ මූලික අරමුණ ඔබ දකින අන්තරාභිජනන ක්‍රියාවලිය අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ම නොසිතමි. මක්නිසාදයත් මා දන්නා පරිදි ඔබ ජීවත්වන කාලයෙන් වසර 100කට පමණ පසු මිනිසා ජීවමය ලෙස පරිණාමය වීමට වඩා අධ්‍යාත්මික ලෙස පරිණාමය වීමට උත්සහ දැරූ බවත් එබැවින් මා ජීවත්වන සමය වන විට මිනිසා තුළ වැඩි වශයෙන් ඇත්තේ එකිනෙකා කෙරෙහි වූ රා‍ගයෙන් තොර ආදරයන් වන නිසාත්ය. ඒ බව ඔබ නොදන්නා බැවින් ඔබ මෙසේ සිතන්නට ඇතැයි සිතමි.

එලෙසම ඔබේ ලිපියෙහි තවත් තැනක මානවයා ආදරය වෙනුවෙන් නොපවතින බව සඳහන් වී ඇත. එසේනම් ඔබ ජීවත් වන්නේ කුමක් සදහාදැයි මට නොවැටහේ. මෙහිදී ඔබ ජීවත් වූ අතීතය දෙසත් ජීවත් වන්නට බලාපොරොත්තු වන අනාගතය දෙසත් මඳක් ගැඹුරින් කල්පනා කර බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි. මන්දයත් ඔබත් විරහ වේදනාවට පත්ව සිටින බවක් ඔබේ ලිපියේ අග භාගයෙන් ගම්‍ය වන බැවිනි.

ඔබ තුළ අපගේ වර්තමානය පිළිබඳව එතරම් පැහැදිලි අවබෝධයක් නොමැතිකම නිසා ඔබට මාව හොදින් තේරුම් ගැනීමට නොහැකි වුවත් ඔබගේ ලිපිය තුළින් මට මඳ අස්වැසිල්ලක් ලැබුණූ බව සතුටින් දනවමි. එසේම ඔබේ ලිපියේ අවසාන වැකියේ සඳහන් වන පරිදි “කාලය සියල්ල විඳනු ඇත.” යන්න සම්පූර්ණ සත්‍යයක් බවත් මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

ඔබේ ලිපිය මා වෙත ලැබෙන විට මම පැමී පිළිබඳව තීරණයකට එළඹ සිටියෙමි. (මාගේ කාල තැපැල් හුවමාරුවේ සිදුවී තිබුන පුමාද දෝෂයක් කරණ කොටගෙන මට ඔබගේ ලිපිය ලැබුණේ සතියක් පමණ ප්‍රමාදවය. නමුත් ඒ වනවිට සියල්ල තීරණය වී තිබිණි.)

දැන් මේ ලිපිය ඔබට ලියන මම, ඔබට මුලින ලිපිය එවූ තැනැත්තාම නොවෙමි. ඒ මක්නිසාදැයි මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

මම පසුගිය සතිය තුළ වූ සිද්ධි මාලාව මට ලැබී තිබෙන කාලය අනුව හැකි පමණ පැහැදිලිව ඔබ වෙත ඉදිරිපත්  කරමි.




*********************************************************************************





මගේ එකම හිතවතිය මගේ මිතුරිය මට අහිමි විය. ඇය මා අතහැර දමා ගියාය. එය ඔබ දන්නෙහිය. මගේ දිවියේ ගෙවූ ඉතා දීර්ඝතම රාත්‍රිය නිමා කරමින් පසුදිනට පහන් විය. මගේ සිතිවිලි ලෝකය බිඳ හෙලමින් මා වෙත දුරකථන ඇමතුමක් ලැබුණි.

“ට්‍රෙවෝ, වහාම සිකයි ලැබ් එකට එන්න. ඉතාම හදිස්සියක්.” එයින් කියවිණි.

මට සියල්ලම අමතක විය. මක්නිසාදයත් මගේ ප්‍රධානියා වූ වෛද්‍ය මෝගන් එක්ස්සේවියර් මින් පෙර කිසි දිනෙක මේ ආකාරයෙන් කතාතර නැත. මම මොහොතකින් ස්කයි ලැබ් වෙත ගියෙමි. මගේ පුදුමයට මෙන් ඒ තුළ ප්‍රධාන පෙලේ වෛද්‍යවරු හා ඉංජිනේරුවෝ රැසක් පැමිණ සිටියහ.

මා දුටු වෛද්‍ය මෝගන්, “ අයිසේ ට්‍රෙවෝ මේ බලනවකෝ. මාර ප්‍රශ්නයක්නේ” පැවසීය.

“මොකද වෙලා තියෙන්නේ?” යැයි අසමින් මම පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි.

“අර බලන්න පස්වෙනි මොනිටරය දිහා” පරීක්ෂණාගාරය භාර දෙවන සහාය වෛද්‍ය ටොම් ෆීලික්ස් පැවසීය.

“ඒ මොකක්ද ඒ?” මම ඇසුවෙමි.

“ඒක ගමයි ලෝක විනාශය” ටොම් පැවසීය.

“තේරෙන්න කියනවකෝ අයිසේ. ඒක උල්කාපාතයක්ද? ඇස්ටරොයිඩයක්ද?” මම ඇසීමි.

“ඒ මොකක්වත් නෙවෙයි. ඒක තමයි අපිට දකින්න ලැබෙන අවසාන ධූමකේතුව. දැනට අපි ඒක RY6179AW ලෙස නම් කලා. ඒක කෙලින්ම එන්නේ මෙහාට.”

“කොච්චර දුර තියෙනවද?”

“වැඩි දුරක් නෑ.  කොහොම නමුත් තව සතියකින් විතර ඒක අඟහරුත් පහුකරයි.” මෝගන් පැවසීය.

“කොහොමද විශ්වාස කරන්නේ ඒක එන්නේ මෙහෙටමයි කියලා. බ්‍රහස්පතිට කිට්ටුවෙනකොට ඒකේ ගමන්මඟ වෙන්න ඉඩ තියෙනවා.” මම කීවෙමි.

“ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක බ්‍රහස්පතිටත්, ගැනිමිඩ්ටත් අතරින් ගැනිම්ඩ් දෙසට ආතර් 34ක ආනතියක් සහිතව එයි කයලා.”

“අනිත් එක ඒකේ වේගය පැයට සැතපුම් 350000ක් විතර වෙනවා. ඒක නිසා බ්‍රහස්පතිගේ ගුරුත්වය එච්චර බලපාන එකක් නෑ.”

“අපි කොහොමද හරියටම දන්නේ පෘථිවිය දෙසට එනවා කියලා?” මාත් සමඟම එතැනට පැමිණි රොබොට්  ආයතනයේ ප්‍රධානියා ඇසීය.

“අපට මැගලන් චක්‍රාවාටයේ ඉදලා පණිවිඩයක් ආවා. ඒකෙ තියෙන්නේ මට තේරුන විදියට නම්, පෘථිවියේ තියෙන සියළුම කාබනික ජීවී ද්‍රව්‍ය ඉලක්ක කරගෙන එන ධූමකේතුවක් කියලා. ඒක හැදිලා තියෙන ද්‍රව්‍යය හරියට කාන්දමට යකඩ ඇ‍දෙන විදියට කාබනික ජීවී ද්‍රව්‍ය දෙසට ඇ‍දෙනවාලු. පණිවිඩේ තිබුණ සිංහල වචන ටික තේරුම්ගත්ත හැටි තමයි ඒ. සිංහල හරියට ඉගෙන නොගත්ත එකේ මෝඩකම” මෝගන් කනස්සලක් සහිත බැල්මකින් සිය කතාව නැවැත්වීය. ඉන්පසු ඔහු එම පණීවුඩය අප ඉදිරියේ වූ තිරය මතට ගෙන ආවේය.

“අහස් පරීක්ෂක වෙත,
රහසිගතව.

හෝකින් චතුරස්‍රයෙන් නිකුත් වූ වල්ගාතරුවක් පැයට කිලෝමීටර 350000ක වේගයෙන් අපේ ග්‍රහ ලොව පසුකලා. අපේ ගණනය කිරීම් නිවැරදිනම් ඒක ක්ෂීරපථයට ඇතුල් වී 3 වැනියා වෙත එනවා. පස්වැනියාගේ යුරො‍්පාට අපි දැන්වීමක් කළා. ඒක කෙලින්ම එන්නේ සජීවී ජීවමය කාබන් සොයාගෙන. හරියට යකඩ සොයාගෙන කාන්දම් එනවා වගේ. තවම ඒක හැදිලා තායෙන මූලද්‍රව්‍ය පිළිබඳව ස්ථීර නිගමනයකට එන්න බෑ. නමුත් එයට එතරම් තද නැති ඔබලා ළඟ ඇති හිම වැනි දුව්‍යයකින් සැදුන න්‍යෂ්ටියක් තිබෙන බව අපිට දැනගන්නට ලැබුණා. නමුත් එම මූලද්‍රව්‍යය කුමක්දැයි ස්ථීරවය පැවසිය නොහැකියි. අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න. යුරො‍පාගෙන් උදව් ගන්න. 

අවසානයි”

මැගලන්ගේ යාත්‍රාව.

මම පණිවිඩය කියවීම්. රැස්ව සිටි සියල්ලන්ගේම මුහුණු බැරෑරුම් විය.

“යුරෝපාගෙන් පණිවිඩයක්” ප්‍රධාන පරිගණක පාලක ස්ටෑන්ස්, මෝගන්ට දැන්වීය.

“ට්‍රෙවෝ පොඩ්ඩක් මේක බලනවද? මට මේ සිංහල හරියට තේරුම් ගන්න බෑ.” මම වහා පණිවිඩය දෙස බැලීමි.

“අහස් පරීක්ෂක වෙත,
රහසිගතව

මැගලන්ගේ යාත්‍රාවෙන් පණිවිඩය ලැබුණූ විදියට අපි අධිබලැති න්‍යෂ්ටික ටොර්පීඩෝවක් වදින්න යැව්වා. ඒක
සාර්ථක වුණොත් ඔබලා ආරක්ෂිතයි. මේක පිටතට දන්වන්න එපා. සාර්ථක වුණොත් දන්වන්න. කලබල නොවන්න.

අවසානයි.”
මුහුදු අශ්වයා

එය ඇසූ පිරිස සැනසුම් සුසුම් හෙළනු පෙනුණි. “මේක එවලා තියෙන්නේ අපේ යාළුවා. මයිකල් ජෝන්ස්.” මම කීවෙමි.

“ ආ... මුහුදු අශ්වයා. මිනිහගේ පවුලම ඉන්නේ යුරෝපා වලනේ. හරි හොඳ මනුස්සයා ඒ කාලේ....”

“ඇති ඇති මෝගන්. ඕක නවත්වනවකෝ. අපිට ඔක්කොම දන්නවනේ මිනිහා ගැන. තමුසේ හැමදාම ගිරවා වගේ කච කච ගානවා. පොඩ්ඩක් කට වහගන්නවකෝ.” සුපුරුදු පරිදි රිකී නෙල්සන් රණ්ඩුව පටන් ගත්තේය.

“අනේ මේ රිකී, තමුසෙට බෑ මගේ කට වහන්න.” මෝගන් ඔහු දෙසට හැරී රණ්ඩුවට පැටලෙන්නට සූදානම්ව
පැවසීය.

“ඇයි තමුසේ මට ගහන්නද?” රිකීද අතහරින පාටක් නත. තත්වය උග්‍ර අතට හැරෙන්නට විය. වෙලාවට ටොමී
ෆීලික්ස් දෙදෙනාව දෙපැත්තට කළේය.

“මොකද අයිසේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුසෙලාට වැදගත් විදියට ඉන්න බැරිද? තාම ප්‍රශ්න විසඳුනේ නැහැනේ. පොඩිවුන් වගේ ගහගන්නවා.” එවිට දෙදෙනා මඳක් පසු බැසීය.

“ප්ලීස් මෝගන් පොඩ්ඩක් බලන්න මේක සාර්ථකද කියලා සාර්ථක නොවුණොත් ඇති තරම් ගහගන්නවා. මොකද ඒ තමුසෙලාගේ අන්තිම ගහගැනිල්ලනේ.” නැවතත්  පිරිස පෙර පරිදිය.

“යුරෝපා අසාර්ථක වුනොත් මොකද කරන්නේ?” රිකී ඇසීය.

“අසාර්ථක වෙන්න විදියක් නැහැ. යුරෝපා වල තාක්‍ෂණය සෑහෙන්න දියුණුයි.” ටොමී ෆීලික්ස් පැවසීය.

“ඒක ඇත්ත අපේ අයයි චැංග්ස්ලයි එකතුවෙලා සෑහෙන්න ලොකු දේවල් යුරෝපා වල කරලා තියෙනවා. චැංග්ස්ලාගේ තාක්ෂණය නම් කියලා වැඩක් නෑ. ඒගොල්ලොත් එක්ක බලපුවහම අපි සෑහෙන්න පහලයි.” රිකී පැවසීය.

“හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. වල්ගාතරුව සජීවී ජීවමය කාබන් වලට ඇදෙනවා කිව්වා නේද? යුරෝපා අසාර්ථක වෙන්න පුළුවන්.” මෙච්චර වෙලා නිහඬව සිටි මෝගන් පැවසීය.

“ඇයි එහෙම කියන්නේ?” රිකී ඇසුවේය.

“මේකනේ රිකී.......”

“සර් තවත් පනිවිඩයක්” ස්ටෑන්ස්  පැවසීය.

“ට්‍රෙවෝ පොඩ්ඩක් බලනවද?” මෝගන් මට දැන්වූවේය.

“අපි ඉවරයි. ඔවුන් අසාර්ථක වෙලා.” මම කෑ ගැසුවෙමි.

“මම කිව්වේ නැද්ද? මම ඕක හිතුවා” මෝගන් කල්පනාකාරීව පැවසීය.

“තව මොනවද එයාලා  කියන්නේ?”

“මුහුදු අශ්වයා තමා පණිවිඩය එවලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට හිතාගන්න බැරිව ගියාලු. ටොර්පිඩෝ එක ටික ටික ධුමකේතුවට ලංවෙනකොට ධූමකේතුව ටික ටික ඒකෙන් ඉවතට අපගමනය වෙන්න පටන් අරන්. හරියට ඒක පදවගෙන යනවා වගේ. කොහොම හරි ඒක ටෝර්පිඩෝ එක මඟ ඇරලා අපේ දිශාවට එන්න පටන් අරන්. එයාලා කියනවා අපිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් කියන්න කියලා.”

“ඔය ටික මම හිතුවා” මෝගන් පැවසීය. ඒ සමඟම

“අයිසේ විල්ස් තමුසෙගේ අර පරීක්ෂණයට මොකද වුණේ?”

“මොන පරීක්ෂණයද?” විලිස් කර්නෝච් ඇසීය.

“අර තමුසේ කියපු ලෝහ සැකිල්ලේ වැඩේ?”

“ආ... ඒකද? ඒක කරලානම් ඉවරයි. ඒ වුණත් සාර්ථකද දන්නේ නැහැ.”

“එහෙමද?” මෝගන් බිම බලාගෙන කල්පනා කරන්නට විය.

“මෝගන් මොකද අපි මේකට කරන්නේ?” මම ඇසීමි.

“ඒක තමයි ට්‍රෙවෝ මටත් එක පාරටම මොකුත් කියන්න බැහැ. මම රෑට ජනාධිපතිත් එක්ක මේක ගැන කතා
කරන්නම්. ඊට පස්සේ අපි තීරණයකට බහිමු.” මෝගන් පැවසීය.

මම මගේ රථයෙන් නිවස බලා පැමිණියෙමි. “ලෝක විනාශය!” පෙර දින සැදෑවේ මට අහිමි වූ ලෝකය ගැන මගේ මතකයට නැගිණ. මම සිහින මැවූ සුන්දර ලෝකය පෙරදින විනාශ විය. දැන් සැබෑ ලොව විනාශ වන්නට සැරසෙයි.

මට පැමී ගැන සිහිවිය. කරන්නට කිසිවක් නැත. උපදෙස් ලබා ගැනීමට පැමීවත් නැත. පෙරදින සිදු වූ සිද්ධියෙන් පසු ඇය මගේ නිවස හැර දමා ගියාය. ඇය කොහේ සිටිනවාදැයි මම නොදනිමි. නමුත් කොහේ හෝ හොඳ තැනක සිටින බව නම් විශ්වාසය. මක්නිසාදයත් ඈ වැනි අතිශය සුරූපි දක්ෂ රොබෝවක් තබා ගැනීමට මේ නගරයේ කිසිවකු අකමැති නොවන බැවිනි.”

“මම විල්ස්ට කතා කළෙමි. “ විල්ස් අපි මොකද මේකට කරන්නේ? මටනම් මොකුත් හිතාගන්න බෑ.”

“මටත් එහෙමයි. මට දැන් රිකීත් කතා කළා. එයා නම් කියන්නේ යුරෝපා කළා වගේ මිසයිල ගහලා විනාශ කරමු කියලා.”

“ඒක හරි යයිද?” මම ඇසීමි.

“මට නම් විශ්වාස නෑ. අච්චර දියුණු යුරෝපා අසාර්ථක වුනානම් අපි ගැන වැඩි විශ්වාසයක් තියන්න බැහැනේ.” ඔහු පැවසීය.

රාත්‍රී 9.00ට පමණ අපි සියළු දෙනා නැවත පරීක්ෂණාගාරයේදී හමුවීමු. ඒ වන විට මෝගන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබුණි.

“මේකයි මහත්වරුනි තත්වය.” මෝගන් කතාව පටන් ගත්තේය.

“දැන් කොහෙන් නතර කරයිද දන්නේ නෑ”රිකී මගේ කනට කර මිමිණුුවේය. මම ඔහුව නිශ්ශබ්ද කර ඇහුම්කන් දුනෙමි.

“ජනාධිපතිතුමා කියන්නේ දැනට මෙහෙ තියෙන ප්‍රබලම ආයුධ පාවිච්චි කරලා විනාශ කරමු කියලා. අකමැත්තෙන් වුනත් අපට කරන්න තියෙන එකම දේ ඒකයි. නිකම්ම පරාජය පිළිගන්නවට වැඩිය අවසාන මොහොත තෙක් සටන් කරලා පරදින එක හොඳයි.” මෝගන් කීවේය.

ඔහුගේ මුහුණේ වූයේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකි.

“සර් අපිට මෙහෙම දෙයක් කරන්න බැරිද?” මම ඇසුවෙමි.

“ඔව් ට්‍රෙවෝ......”

“සර් මම එකඟයි මිසයිල යවන වැඩේට. ඒ වුණාට යුරෝපා අසාර්ථක වුණ නිසා අපිට ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. සියල්ලෝම හිස සලා මට එකඟ වූහ.

මගේ අදහස මේකයි. යුරෝපා කියපු විදියට ධූම කේතුව ඒ ගොල්ලෝ යවපු ටෝර්පිඩෝ එකෙන් විකර්ෂණය වුණා.

එහෙම වුනේ ඒකේ සජීවී ජීවමය කාබන් වලින් තැනුණ කිසිම දෙයක් තිබුණේ නැති නිසා කියලයි මම හිතන්නේ.”

“මම හිතුවෙත් ඒකම තමයි.” රිකී ද පැවසීය.

“මේ අයිසේ තමුසේ මාව අවුස්සන්නද හදන්නේ?” කෝපයෙන් ඔහු දෙස බැලූ මෝගන් ඇසුවේය. නමුත් මෙවෙලේ රණ්ඩුවක් ඇති නොවීය.

“ට්‍රෙවෝ තමුසේ කියනවා.” ටොමි ෆීලික්ස් පැවසීය. “මම කියන්නේ අපි සජීවි ජීවමය කාබන් සහිත මිසයිලයක් යැව්වොත් ඒක ධූමකේතව දෙසට ආකර්ෂණය වෙයි.”

“නමුත් අපි කොහොමද ඒක කරන්නේ. සජීවි ජීවමය කාබන් තවම කෘතිමව නිපදවලා නැහැනේ.” රිකී ඇසුවේය.

“ඒකට තමයි රිකී මිනිස්සු ඉන්නේ. මම කියන්නේ අපි මිනිහෙක් එක්ක මිසයිලයක් යවමු.”

“මමත් ඕක කියන්න තමයි හිටියේ.” මෝගන් පැවසීය.

“ඔන්න ඕක තමයි කියන්නේ උගත්තු නිතරම එකම විදියට හිතනවා කියලා.” මෝගන් රිකී දෙස අවඥාවෙන් බලා පැවසීය.

“අනේ නිකන් ඉන්නව මෝගන්.” රිකී මඳ කෝපයෙන් යුතුව පැවසීය.

“නමුත් ඔතනදී සෑහෙන්න ප්‍රශ්න ඇති වෙනවා.” ටොම් ෆීලික්ස් පටන් ගත්තේය.

“අපි හිතමු මිනිහෙක් යැව්වා කියලා. ධූමකේතුව මුණ ගැහුණා කියලත් හිතමුකෝ. නමුත් ඒ දෙකේ ඝට්ටනයෙන් ඇතිවන කම්පනයයි අධීක ත්වරණයයි මිනිසි සිරුරට දරාගන්න බැරිවෙයි. කොටින්ම අපේ ඇට සැකිල්ල විනාශ වෙන්න පුළුවන්.” ජීව වෛද්‍යවරයා පැවසීය.

“ඒකට තමයි හියුමන් රොබොට්ස්ලා ඉන්නේ” මෝගන් පැවසීය.

විල්ස් දැන් කියනවා තමුසෙලා කරපු පරීක්ෂණ ගැන.” මෝගන් විල්ස් දෙස බැලීය.

“හොඳයි. මම හිතන්නේ නැ මේක සාර්ථක වෙයි කියලා. නමුත් මම කියන්නම්” විල්ස් කථාව ඇරඹීය.

“අපේ ආයතනය මෙච්චරකල් කළේ මිනිස් අවයව වලින් රොබෝලාව දියුණු කරන එකනේ. නමුත් අපි සැලසුම් කලා මිනිහෙක් තුලට කෘතිම ඒ කියන්නේ ලෝහමය අවයව සවි කරලා මිනිහගේ සවිමත් බව වැඩි කරන්න. ඒ සඳහා අපි අපේ ආයතනය විසින්ම නිපදවපු මෙතෙක් කලක් ලෝකයට එළ නොදක්වපු ලෝහ වර්ගයකින් ඇට සැකිල්ලක් හැදුවා. ඊට අමතරව ඊටම සරිලන පේශි පද්ධතියකුත් තියෙනවා. මේක අපිට කාගේ හරි ශරීරයකට සාර්ථකව සවි කරන්න පුළුවන් වුණොත් එයා මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම පුද්ගලයා වගේ සියගුණයක් විතර ශක්තිමත් වෙනවා. ඔහුට ටොන් 1000ක ස්කන්ධයක් නිසා ඇතිවන පීඩනයකට වුනත් ඔරොත්තු දෙන්න පුවවන් කමක් ලැබෙයි.”

“පොඩ්ඩක් ඉන්නව විල්ස්.” රිකී මැද්දට පැන්නේය.

“දැන් අපි ඔය වැඩේ කළා කියමුකෝ. එතකොට ඒ මිනිහා හරි භයානක වෙනවනේ. මිනිහව මෙල්ලකරගන්න බැරිව යනවනේ.”

“ඒක තමයි අපි මේ පරීක්‍ෂණය තවම නොකලේ. ඒකට සුදුස පුද්ගලයෙක් තවම හමුවුනේ නෑ. අනික මේක බොහොම රහසිගතව කරන්න ඕනේ දෙයක්.”

“ඩොක්ට මෝගන්, මම කැමතියි. ඔබලා කැමතිනම් ඒ වැඩේට සහභාගි වෙන්න.” මම පැවසුවෙමි.

සියල්ලෝම ගල් වුණා වැනිය. මොහොතක නිශ්බ්දතාවයක් කාමැය පුරා පැවතිණි.

“විකාර කතා කරන්න එපා ට්‍රෙවෝ.” ටොම් ෆීලික්ස් නිහඩතාවය බිඳිමින් පැවසීය.

“විකාරයක් නෙවේ........” මම කියන්නට තැත් කළෙමි.

“කට වහගන්නවා අයිසේ, තමුසෙගේ මොළේ හොඳ නැතිද? තමුසේ අපිට ඉන්න හොඳම රොබෝ ඉංජිනේරුවා. පිස්සුනම් කතා කරන්න රපා.” රිකීද කෑ ගැසුවේය.

“මේකයි රිකී...” මම තැත් කළෙමි. “කට වහගෙන ඉන්නවද?” රිකී කෑගැසුවේය.

“විල්ස් ඔයා දන්නවනේ මං ගැන. ම‍ට මේ ලෝකේ කවුරුවත් නෑ. මට හිටිය එකම යාළුවත් මාව දාලා ගියා. මම මේ සාකච්ඡාවට ආවෙත් තීරණයක් අරගෙන. ඒක නිසා ඔයාලට මාව විශ්වාසයි නම් මම කැමතියි ඒ අභියෝගයට මුහුණ දෙන්න.” මම ස්ථීරසාරව පැවසීමි.

නැවතත් සියළු දෙනාම නිශ්ශබ්ද විය. අවසානයේ මෙතෙක් වෙලා නිශ්හබ්දව සිටි මෝගන් නැඟී සිටියේය.

“මේක සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්. ට්‍රෙවෝ කියන දේ නොකළොත් ලෝකේ විනාශ වේවි. ට්‍රෙවෝව එකට යවන එකත් අපරාධයක්.”

මේකයි ඩොක්ට මෝගන්, එක්කෙනෙක් නිසා ලෝකයක් විනාශ කරන්න එපා ඒක ඔක්කොටම වඩා අපරාධයක්.” මම පැවසුවෙමි.

“එක මට තේරෙනවා. මෙතන ඉන්න තරුණම පුද්ගලයා හැටියට ට්‍රෙවෝ තමයි ඒකට සුදුසු. තව දෙවක් ජනාධිපතිතුමා කිව්වා මේක ස්කයිලැබ් එකෙන් පිටතට යවන්න එපා කියලා.””ඒක තමයි ඩොක්ට මම කිව්වේ.” මෝගන් නිහඩ විය. මුළු කාමරයම සොහොන් පිටියක් මෙනි.

“හරි මම එකඟයි” මොගන් පැවසීය. “මොකක්ද අයසෙ කිව්වේ?” ටොම් ෆීලික්ස් කෑ ගැසුවේය.

“මම හිතුවා තමුසේ ඔය වගේ හොඳට කල්පනා කරලා මෝඩ උත්තරයක් දෙයි කියලා.”

“නෑ ටොම් ඒක තමයි වෙන්න ඕනේ.” සෑම දෙනාම පුදුමයට පත් කරමින් රිකීද පැවසීය.

“ මොනවා තමුසෙත්....” ටොම් ඔහු දෙසට පැන්නේය.

“ඔව් මහත්වරුනි, මට තේරුණා අපිට වෙන විකල්පයක් නැති බව. ඉතින් ට්‍රෙවෝ ඒ සඳහා යා යුතුමයි. නමුත් මේ මිසයිලය සෑදීමේ කටයුතු මට භාරදෙන මෙන් මම මගේ හොඳම මිත්‍රයාගෙන් ඉල්ලා සිටිනවා.” අප අතර මඳ සිනහවක් ඇති කරමින් රිකී, මොග්න් දෙසබලමින් පැවසීය.


මම විල්සගේ පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි. “ ට්‍රෙවෝ තමුසේ මගේ හොඳම යාළුවා නිසා කියන්නේ මේක අතහැරලා දානවා.  අපි එන විදිහක් බලමු.”

“ නෑ විල්ස් මේක තමයි හරි දේ. මම මේක කරන්නේ පැමී වෙනුවෙන්. මට කොහොමහරි එයාව ඕනේ. මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව ඉන්නකම් එයා මට කැමති වෙන්නේ නෑ. මේක සාර්ථක වුණොත්...” මම ඔහුගේ පිටට තට්ටු කරමින් පැවසීමී. අපි දෙදෙනා එකිනෙකා වැළඳ ගතිමු.

අවසාන වතාවට මම නිවසට ගියෙමි. මට පැවරී තිබූ වැඩ සියල්ල මම මගේ අසල්වැසියා වූ නිකොල්ට පවරා ටික කලකට ඇමෙරිකාවට යාමට සිදුවන බව පැවසීමි.

ඉන්පසුව අවසාන වතාවට මගේ මුළු පරීක්‍ෂනාගාරයත්, නිවසත් දෙස බැලූ මා මගේ ජීවිතයේ මට ඉතාම වටිනා සහ මගේ ජීවිතයටත් වඩා ආදරය කරන දේ රැගෙන හියුමන් රොබොට්ස් වෙත ගියෙමි.

මා එහි යන විට මෝගන්, රිකී, ටොම් ඇතුව ස්කයි ලැබ්හි මා දන්නා තවත් කිහිප දෙනෙක් මට සුභ පැතීමට පැමිණ සිටියෝය.

මා එතැනට ගිය විට මෝගන්, “නියමයි පුතා මට සන්තෝෂයි තමුසේ ගැන. බය වෙන්න එපා. තමුසෙට අපේ  ආශිර්වාදය තියෙනවා.” යැයි පවසමින් වැළඳ ගත්තේය.

ටොම්ද දෑසට කදුළු පුරවාගෙන මට සුභ පැතීය. අප අතර සිටි විහිළුකාරයා වූ රිකී තුලද වූයේ කණගාටුදායක බැල්මකි. නමුත් ඔහුගේ දිප්තිමත් දෑස් තුල බලාපොරොත්තුව පිළිබිඹු කළේය.

අයිසේ විල්ස්, තමුසේ හරියට වැඩේ කරනවා. තව ටිකකින් මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා අපේ එකෙක්.

කාටද ආඩම්බර” ඔහු පැවසීය.

මෙලොව මෙතෙක් කලක් සිදු නොවූ ඒ මහා අත්හදා බැලීම පැය 10 ½ක් තුළ දී සිදුවිය. මට සිහිය එන විට විල්ස් මා දෙස බලා සිටියේය. මට ඔහු හඳුනාගත හැකි විය. දින දෙකක් මම එලෙස සිටි අතර ක්‍රමයෙන් යථා තත්වයට පත් වුනෙමි. මා හට වෙනසක් නොදැනුන නමුත් මාද රොබෝවක් යන හැඟීම මා තුළ ඇති විය.

ධූමකේතුව සෑහෙන්න තරම් ලංවී තිබුණ අතර එහි සංයුතිය පිළිපඳව මැගලන් වළාවෙන් ගවේෂණය කර තිබුණි.

එයින් කියවුණේ එය ඔවුන්ගේ ලොවෙන් මෙතෙක් සොය නොගත් අති සංකීර්ණ ජීවමය දුව්‍යයක් බවත් තම සිරුර ඛණ්ඩනය කරමින් ප්‍රජනනය වන ඇමීබාවෙක් මෙන් නිරන්තරයෙන්ම එය සංවෘත පද්ධතියක් තුල වර්ධනය වන බවත්ය. ඒ විලස්ගෙන් මට ලැබුණූ තොරතුරුය.

“දෙවි පිහිටෙන් අපි සාර්ථක වුණා. තමුසෙනම් නියම දක්‍ෂයේ විල්ස්.”

මෝගන් විල්ස්ගේ පිටට තට්ටු කරමින් පැවසීය.

“කොහොමද ඉලන්දාරියා දැන් ඇඟට.” ඔහු මා වෙත හැරී ඇසීය.

“ශාරීරිකව නම් කිසිම ප්‍රශ්නයක් දැනෙන්නේ නෑ ඩොක්ටර්. හැබැයි මට හිතෙනවා මමත් දැන් හරියටම රොබොවක් වගේ කියලා.”

“අයිසේ ට්‍රෙවෝ මට විශ්වාස කරන්නත් බෑ. එදා අර කාමරේ ඇඳ උඩ හිටපු විදියට මම හිතුවා මෙලහකටත් නිවන් දැකලා ඇති කියලා.” රිකී සපුරුදු පරිදි පිස්සුවෙන් මෙන් පැමිණ මා වැළඳගෙන සුභ පැතුවේය.

ස්කයිලැබ් සේවය කරන සියළු දෙනාගේම සුභ පැතුම්, ආශිර්වාද, උපදෙස් මට ලැබුණි.

“මේ විල්ස් මම අර කියපු වැඩේ කළාද?” සියල්ලන්ම නික්ම ගිය පසු මම විල්ස්ගෙන් විමසුවෙමි.

“මමත් කට්ටිය යනකම් තමයි හිටියේ. පොඩ්ඩක් ඉන්න.” යැයි කියමින් ඔහු කාමරයෙන් ඉවතට ගියේය. මීට දින කීපයකට පෙර මා අතරින් වෙන්වී ගිය සුන්දරිය මගේ ඉදිරියේ සිටියාය. අපි දෙදෙනාම එකවර සිනාසුනෙමු.

“පැමී ඔයා කොහෙද ගියේ?”

මට සමාවෙන්න ට්‍රෙවෝ. එදා මම හදිසි වුණා වැඩියි. ඒක නෙමෙයි දැන් ඔයාට කොහොමද?” ඇය ඇසීය.

මම ඇගේ නෙළුම් මලක් බඳු වූ මුහුණ දෙස බලා සිටියෙමි.

“මම හොඳින් පැමී. ඔයාට කොහොමද?”

“මටත් වරදක් නෑ. ඇයි ට්‍රෙවෝ ඔයා මේ වගේ දෙයක් කර ගත්තේ? අපිට වෙන විසඳුමක් හොයන්න තිබුණනේ?”

“මේක තමයි පැමී මේකට තියෙන එකම විසඳුම. මේක සාර්ථක වුණොත් මම හරි වාසනාවන්තයෙක්.” ඇයට එය නිවැරදිව තේරුණිදැයි මම නොදනිමි.

“කොහොමද මෝගන් මගේ වැඩ? හිතාගෙන හිටියේ මමත් තමුසේ වගේ හිත හිතා ඉන්න මිනිහෙක් කියලද? මම හිතහිතා ඉන්නේ නෑ. හිතෙන දේ කරනවා තේරුණාද?

“හරි හරි පණ්ඩිතයා. බලමු තමුසෙගේ වැඩ.” යැය කියමින් මෝගන්, රිකීගේ නිපැයුම පරීක්‍ෂා ක‍ළේය.

“ඇත්තටම රිකී, තමුසේ මම හිතුවට වඩා දක්‍ෂයිනේ. ඒ වුණා‍ට මේක සාර්ථක වෙයිද?”

කිසි පුශ්නයක් නෑ මෝගන්. ඒ ගැන බය වෙන්න එපා.”

“දින කිහිපයක් අවසා‍නයේ මම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වුනෙමි. මට සුපුරුදු පරිදි ඇවිද යා හැකි විය. මගේ සිත තුල වූ මාද රොබෝවකි යන හැඟීම නොදැනුණි නම් මා දින කීපයක් නිදාගෙන සිට අවදි වූවෙකු මෙන් විය.

“ට්‍රෙවෝ දැන් මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ නියමු කුටීරය මේක ඇතුලේ තමුසෙට දවස් දෙකකට අවශ්‍ය සෑමදේම තියෙනවා. මේක කෙළින්ම ධූමකේතුවේ න්‍යෂ්ටියට වදින්න සලස්වනවා. මේකට පුළුවන් ඕනෑම ඝන දුව්‍යයන් විඳගෙන යන්න. එහෙම කරලා න්‍යෂ්ටියේ මැදට යානය ආවාට පස්සේ මෙන්න මේ කොළපාට ස්විචය දානවා. එතකොට මේ කොටස පුපුරණ දුව්‍ය වලින් වෙන් වෙනවා. වෙන්වෙලා තත්තපර 22දී මේ ස්විචය දාලා මිසයිලය පුපුරවන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට ඔයා න්‍යෂ්ටියෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ. ඒකට වෙන් වීමේ ස්විචය දාලා ත්තපර 2.5 දී මේ ලීවරය පහළ දාලා මේ ස්විච තුනම එකවර දා‍න්න ඕනේ. තේරුණාද? මේවා ස්වයංක්‍රීයව සිද්ධ කරන එක අනතුරුදායක වැඩියි. මුළු ගමනේදීම කරන්න තියෙන්නේ මෙච්චරයි. කමක් නැහැනේ?” රිකී ඔහු විසින් නිපද වූ යානය පිළිබඳ පැහැදිලි කළේය.

“ඒ වුනාට රිකී, අර මැගලන් වලින් කියපු විදියට ධූමකේතුවේ තියෙන්නේ මහ අමුතු ද්‍රව්‍යයක්නේ. ඒක ඇතලේදී මේක වැඩ කරයිද?”

“අපි වාසනාවන්ත නම් ඒක එහෙම වෙන්න ඕනේ. දන්නවද ධූමකේතුවේ තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා?” රිකී මගෙන් ඇසුවේය.

“දන්නවා නේද බාඳුරා මල් ගැන. එතකොට අර අප්‍රිනාවේ තියෙන මාංශ භක්ෂක ශාක ගැන..” මම හිස සැලීමි.

“ඒ ශාක වල ජීවී සත්ත්ව සෛල වලට ආකර්ෂණය වන ඒවා කෙරෙහි ඇල්මක් දක්වන දුව්‍යයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ.....”

“දෙවියනේ..... මට කියවිණි.

“මේක සාර්ථක නොවුණොත් දෙවියන්ටවත් බෑ අපිව බේරගන්න.  ඒ වඟකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ
ට්‍රෙවෝගේ අතේ.”

“ජනාධිපත්තුමෙනි, අපේ වැඩේ සාර්ථක වුණා. ඔබතුමාගේ තීරණය දැනගන්නයි කතා කළේ.” මොගන් ජනාධිපතිවරයා සමඟ සම්බන්ද වෙමින් පැවසීය.

‘බොහොම හොඳයි ඩොක්ටර් මෝගන්. මම ඊයේ ඇමෙරිකාවටයි, ජපානෙටයි මේක දැන්නුවා. ඒ ගොල්ලෝ කියන්නේ මේක සාර්ථක වෙයි කියලා. මේක සාර්ථක නොවුණොත් ඒ එක්කම හයිඩ්‍රජන් බෝම්බයක් යවන්න ප්ලෑන් කරලා තියෙනවා කිව්වා. එයාලට ඔයාලා ගැන සෑහෙන්න විශ්වාසයි. කොහොම වුනත් මේ ආරංචිය දැන් ටික ටික පැතිරිලා. මිනිස්සු කලබල වෙන්න පටන් අරන්.  දැන්  ධූමකේතුව පියවි ඇසට පේන නිසා මිනිස්සු මේ ගැන හොයනවා. පුළුවන් තරම් ඉක්මනින් අවශ්‍ය දේවල් කරන්න.”

*********************************************************************************

“පැමී,

ඔයා දන්නවනේ මම මේ ගමන යන්නේ මුළු ලෝකයම වෙනුවෙන්. ඇතතටම මමත් දැන් ඔයාගෙ වගේ මගේ ඇඟත් ලෝහ ජීවී පද්ධතියක්. ඒක නිසා දැන් මමයි ඔයයි සමානයි. ඔයා යන්ත්‍රයකින් උපන් ජීවියෙක්. මම ජීවයෙන් උපන් යන්ත්‍රයක්. එක විතරයි අපි අතර තියෙන වෙනස. මම හිතනවා මීට දවස් කීපයකට කලින් අපි අතරෙ ත්බ්ණු බැම්ම බිඳුණා කියලා. මම එදා කිව්වා වගේම ඔයාට තවමත් ආදරෙයි. ඔයාගේ සිත වෙනස් වුණානම් මම තවමත් බලාගෙන ඉන්නවා.”

මීට ඔයාට හැමදාමත් ආදරය කරන,
ට්‍රෙවෝ.

*********************************************************************************

මම මා මෙලොවින් පිටත් වීමට පැයකට පෙර පැමීට දෙන ලෙසටත් ඊට පෙර කුමන හේතුවකටවත් මෙය විවෘත නොකරන ලෙසත් දන්වා විලිස්ට මෙම ලිපිය දුන්නෙමි.

“යාළුවා තමුසේ නම් පුදුම මිනිහෙක්. තමුසේ තවමත් ඒ රොබෝවට ආදරෙයිද?” විල්ස් ලිපිය කියවූවාක් මෙන් මගෙන් ඇසීය.

“විල්ස් දන්නවනේ ප්‍රථම ප්‍රෙමය ගැන. අනිත් එක ආදරේ අන්ධයිලුනේ.....

“ආ ට්‍රෙවෝ තව එකක්....” යන්නට ගිය විල්ස් ආපසු හැරී ආවේය.

“අර ඔයා මට කිව්ව කෙල්ල කැතී, පණිවිඩයක් එවලා එයා ලබන සතියේ විවාහ වෙනවලු. යුරෝපා වල චිත්‍ර ශිල්පියෙක් එක්ක. ට්‍රෙවොටත් පුළුවන්නම් එන්න කියලා. උත්සවය තියෙන්නේ පෘථිවියේ තියෙන මනමාලයාගේ ගෙදරලු.” විල්ස් කට පාඩමින් කියාගෙන ගියේය.

“හ්ම්, ඒකත් එහෙමද? පව් අහිංසක කෙල්ල. අන්තිමේදී හරි ගියා. පුවවන්නම් පණිවිඩයක් යවනවා, මම මුළු හදින්ම සුභ පැතුවා කියලා මට එන්න වෙන්නේ නෑ කියලත් කියනවා.”

විල්ස් යන්නට ගියේය.

ඉතින් ප්‍රිය මිත්‍රය, දැන් ඔබට වැටහී ඇති, පසුගිය දින කිහිපය තුළ සිදුවූ සියල්ලම පිළිබඳව. නමුත් මින් ඉදිරියට සිදුවන දේ පිළිබඳව නම් මට විස්තර දැන්වීමට නොහැකිය. ඒ මක්නිසාදැයි ඔබට වැටහෙනු ඇත. කෙසේ නමුත් මා හෙට සාර්ථක වුවහොත් මම පසුව ඔබට විස්තර දන්වා එවන්නෙමි. නමුත් මා අසාර්ථක වුවහොත්...... ඔබලා ඉදිරියෙහි ඇති වසර 400ක අනාගතයකට මම සුභ පතමි.

මීට,
ට්‍රෙවෝ.





*********************************************************************************




ඉතිරි කොටස ලබන සතියේ දමන්නට පොරොන්දු නොවී පහතින් දමා කතාව ඉවර කර දමමි. ඔය ලබන සතිය කවදා නැවත ලබයි දැයි මටම ෂුවර් නැති බැවිනි ඒ... හෙහ් හෙහ් හෙහ්







හිතවත් මිත්‍රය,

          ඔබ මා නොහඳුනන බව මම දනිමි. මාද එසේමය. නමුත් මා මෙය ඔබට එවීමට අදහස් කළේ එය මා විසින් කල යුතුමැයි මගේ හදවත මට දන්වන බැවිනි. ඇත්තෙන්ම කෙනෙකුගේ එක්තරා අවසාන ඉල්ලීමක් මම මෙසේ දන්වමි.

එදා ට්‍රෙවෝ හා මා වෙන්ව ගිය මොහොත තෙක් සිදුවූ සියල්ල ඉහතදී ඔබ දැනගන්නට ඇත. ඉන්පසුව සිදුවූ සිද්ධි මාලාව පිළිබඳව කෙටියෙන් මම මෙසේ සටහන් තබමි.

“ඔක්කොම ලෑස්තියිනේ රිකී, යානය සර්ව සමුපූර්ණයිනේ. පුතා ට්‍රෙවෝ එහෙනම් ගිහින් එන්න.” මෝගන් පියෙකු මෙන් ඔහුට ආශිර්වාද කළේය. ටෙුවෝ ඔශුගේ දෙපා අල්ලා වැන්දේය.

සැබැවින්ම මහල්ලා හඬා වැටුණී. “මම දන්නව පුතා. ඔයා මේ ගමන යන්නේ ලෝකය වෙනුවෙනුයි, පැමී වෙනුවෙනුයි කියලා. කිසි දේකට බය වෙන්න එපා. ඔයා දිනනවා.” ඔවුන් දෙදෙනා අපමණ සෙනෙහසින් යුකුව වැළඳ ගත්තෝය.

අප අතර සිටි විහිළුකාරයා රිකී “පුතා මම තමුසෙට වඩා දෙතුන් ගුණයක් වයසයි. ඒ වුණාට තමුසේ මට වඩා ශ්‍රේෂ්ඨයි.” කියමින් ඔහුව වැළඳ ගත්තේය.

ට්‍රෙවෝ ඔහුට වැදීමට පහත් වුණ මුත්, “නෑ පුතා ඔයා ආපසු එන බව මට විශ්වාසයි ඒ නිසා මට වඳින්න එපා. කවදා හරි දවසක මැරෙන්න යනවනම් අන්න එදාට වඳිනවා.”

රිකීද මහත් සෙනෙහසකින් ආදරයකින් යුතුව ට්‍රෙවෝව වැළඳ ගනිමින් පැවසීය.

ටොම් ෆීලික්ස්ද “මම දැන් වුණත් කැමතියි තමුුසේ නතර වෙනවනම්. ඒ වුනත් මම තමුසෙට හදවතින්ම සුභ පතනවා. තමුසේ ආපහු එනවා.” යැයි කියමින් ඔහුට සමුදුන්නේය.

ස්කයිලැබ්හි සියළුම සේවකයන්ද, ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන ඇමති මණ්ඩලයේ කිහිප දෙනෙක්ද පැමිණ ඔහුගේ මෙම ඓතිහාසික ගමනට සුභ පැතුවෝය.

“පිටත්වීම තව මිනිත්තු 48කින්” පාලක මැදිරියේ හඩ නැඟීය.

ඔහු මා දෙස බැලුවේය. “කලබල වෙන්න එපා යාළුවා, එයා එයි. තව වෙලා තියනවනේ.”  “පිටත්වීම මිනිත්තු 40කින්”

“අන්න ඇය.” පැමීගේ සුදුපාට වාහනය ගේට්ටුව ඉදිරියේ නවත්වනු දුටු ට්‍රෙවෝ කෑගැසුවේය.

“එහෙනම් එයා ආවා....” ඔහු තුළ වූ සතුට ඔහුගේ දෑසින් එළියට පැන්නේය.

“දැන්නම් විල්ස් මට මළත් කමක් නෑ.” ඔශු පැවසීය.

“අනේ ට්‍රෙවෝ මට සමාවෙන්න. ඔයා මේ ගමන යන්න එපා ප්ලීස්.” අප ඉදිරියට ආ පැමී හඬා වැටුණාය.

මා විසින් නිපදවනු ලැබූ මේ අසාමාන්‍ය රොබෝව මිනිස් දුවක මෙන් කදුළු සලනු දුටු මා තලද ඇත වූයේ කව නොහැකි වේදනාවකි.

“කමක් නෑ පැමී, අපි ආයේ කවදාහරි හමුවේවි. මේ අසාර්ථක වුණොත් අපි සඳහටම වෙන්වේවි. මම ඔයාට ආදරෙයි.”

“අනේ ට්‍රෙවෝ.....” පැමී ට්‍රෙවෝව වැළඳ ගත්තාය. එතරම් සංවේදී අවස්ථාවක් මින් පෙර මමම අත් දැක නොතිබිණී.

“පිටත්වීමට විනාඩි 30යි”

“පැමී මම දැන් යන්න ඕනේ.” ඔහු පැමීගෙන් වෙන්වෙමින් පැවසීය.

අනේ ප්ලීස් ට්‍රෙවෝ ඔයා නවතින්න. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. අනේ විල්ස් මෙයාට කියන්න.”

ඇය ඒ වදන් පැවසූ ආකාරය, මට ජීවිතයටම අමතක නොවනු ඇත.

“දුක් වෙන්න එපා පැමී, එයා ආපහු එනවනේ....” මට හැකි පමණ මා ඇයව සනසන්නට උත්සහ කළෙමි.

අවසන් වතාවට ඇය වැළඳගත් ට්‍රෙවෝ ඉන්පසු ඈ දෙස නොබලා යානය වෙත ගියේය.

“පැමී අපි යමු කන්ට්‍රෝල් රූම් එකට. අපිට එතනදී ඔක්කොම බලාගන්න පුළුවන්.” ඇය මට හේත්තු වී මා සමඟ පාලන මැදිරිය වෙත ගියාය.

“බය වෙන්න එපා පැමී, මට විශ්වාසයි එයා ආපහු එනවා....”

“පිටත් වීමට තව මිනිත්තු 15යි.” ශබ්ද විකාශකය හඬ නැගීය.

ට්‍රෙවෝ යානය තුලට ඇතුල් විය. සියල්ලෝම නිසි තැන්වල සිට මේ අද්විතීය අවස්ථාවට පූදානම් වූහ.

ට්‍රෙවෝ යානය තුළ සියල්ල සූදානම් බව දැන්වීය. “මතකනේ පුතා, වම් පැත්තේ ලීවරය පහළට දාලා ස්විඡ 3ම එකවර... කිසි දේකට බය වෙන්න එපා. ඔක්කොම හරි යනවා. ඔයා එනකම් අපි, එතකොට මේ.... මෙයා.... අපි ඔක්කොම බලාගෙන ඉන්නවා.” රිකී සිය පණිවුඩය යැවීය.

“පිටත් වන්නට තව මින්ත්තු 2යි.”

“පුතා අපි ඔක්කොම ඔයාට සුභ පතනවා. නිතරම තමාව විශ්වාස කරන්න. ඔයාට මේ දේ කරන්න පුවවන්.” මෝගන්ද සිය අවසාන පණිවිඩය යැවීය.

“පිටත්වීමට තව තත්පර 50... 45.... 40....”

“ට්‍රෙවෝ මම ඔයාට ආදරෙයි.” 

පාලක මැදිරියේ සියල්ලන් තුළම දයාන්විත හැඟීමක් ඇති කරමින් අසල වූ මයික්‍රෝෆෝනයට පැමී කෑ ගැසුවේය.

මිසයිලය දුම් දමමින් අහස් තලය දෙබෑ කරමින් ඇදී ගියේය. සියල්ලොම ඇසිපිය නොහෙලා බලා සිටියෝය. පැය 8ක් යන තුරුත් කිසිවක් සිදු නොවුණි. ට්‍රෙවෝ සුපුරුදු පරිදි අප හා කථා කරමින් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් වෙනසක් නොමැතිව ගමන් කළේය.

අවසානයේ ඒ තීරණාත්මක මොහොත එළඹිණි. මුළු ලොවෙහිමත් යුරොපාහිත් සහ මැගලන් වළාවෙහිත් දෑස් යොමු වී තිබුණේ මේ මොහොත දෙසටය. මෙවර වල්ගාතරුවෙන් පෙර මෙන් විකර්ෂණයක් පෙන්නුම් නොකෙරුණි. එය අපගේ සාර්ථකත්වය පිළිබඳ පෙන් වූ මුල්ම සලකුණ විය.

ක්‍රමයෙන් යානය වල්ගා තරුවට ළංවනු පෙනුණි. අප සියළු දෙනාගේම හදවත් මොහොතකට නතර වූ ඒ මොහොත උදා විය. වල්ගාතරුවේ න්‍යෂ්ටියත් ට්‍රෙවෝ සහිත මිසයිලයේ ඝට්ටනයත් සිදු විය. යානය මඳක් සෙලවී ගිය බවක් පෙනුන නමුත් ට්‍රෙවෝටනම් එයින් එතරම් බලපෑමක් සිදුවුණ බවක් නොපෙනුණි.

“හරි පුතා නියමයි. දැන් ඉතිරි ටික. තව ටිකයි. තව ටිකයි.... හරි දැන් කොලපාට ස්ව්ච් එක.” ට්‍රෙවෝට නොඇසෙන බව දැන දැනත් රිකී මැදිරිය තුල සිට මොරදුන්නේය.

මිසයිලය න්‍යෂ්ටියේ මද්‍යයටම පැමිණියේය. ට්‍රෙවෝ බොත්තම් කිහිපයක් ස්පර්ශ කරනු දක්නට ලැබුණි. යානය තුළ වූ දර්ශන පැනලයේ යමක් සටහන් වනු පෙනුණි.

“අපි සාර්ථකයි” 

ඔහු මෙතෙක් සඟවාගෙන සිටි ඔහුට මෙලොව ඇති වඩාත්ම වැදගත් දෙය ලෙස වරක් මට පෙන්වූ පැමීගේ ඡායාරූපයත් ගෙන එය පපුවට තබා තද කර ගනිමින් අප දෙස හැරී අතවැනුවේය. එය ඔහුගේ අවසාන සමුගැනීම විය.

“අනේ ට්‍රෙවෝ................”

මිනිස් වර්ගයා අනතුරින් මුදවා ගත් ප්‍රේමයෙන් උමතුව සිටි P.I.S.S.U ට්‍රෙවෝ Y.A.K.E.K නම්වූ ඒ අවාසනාවන්ත සයිබොග්වරයා..... ඔබගේ මිතුරා...... වල්ගාතරුවත් සමඟම අපෙන් සඳහටම වෙන් වී ගියේය.

අවාසනාවන්ත ශෝකලාපී විද්‍යා ප්‍රබන්ධයක් බඳු වූ, එහෙත් අපට වර්තමාන යථාර්ථයක් වූ, කෙදිනක හෝ ඔබලාට යථාර්ථයක් වන්නාවූ මේ කතාවේ අවසානයත් සමඟ මම ඔබෙන් සමුගනිමි. මින් මතුවට මටත් ඔබටත් ට්‍රෙවෝ නමින් මිතුරෙකු නොසිටිනු ඇත.

මීට, 
O. විල්ස්. K





ප.ලි

නැවත කියවන විට දැනුනු පුංචි අඩුපාඩු කිහිපයක් පමණක් වෙනස් කර ඇත. කතාවේ යමක් ගුග්ල් කර සොයා බලන විට මේ කතාව මා නොදැනුවත්ව ෆේස්බුක් දැමු ලිංකුවක් ද හමුවිය හෙහ් හෙහ්.. තවත් පිස්සන් සිටින බව දැක සතුටු සිතිණි.


ෆේස්බුක් ලිංකුව




Saturday, December 30, 2017

පරිණාමයේ වේදනාව - 1 කොටස



               මීට වසර 17කට පමණ පෙර, ටීනේජ් වියේ අවසන් සමය ගත කරමින්, විවිද විකාර ඔලුවේ දමාගෙන ආතක් පාතක් නොමැතිව ආතල් ලෙස පාවෙමින් සිටි කාලයේ ඔහේ ලියවුනු කතාවකි. ලියා නිකන් සිටීමට නොහැකිව විදුසර පුවත් පතට දැමු විට එහි පලවී පොඩි කික් එකක් ලබා දුන් කතාවකි. එය කියවූ රසිකයෙකු විසින් කතාවට පිළිතුරක් ලෙස ලියු තවත් ලිපියක් හේතුවෙන් දෙවෙනි කොටසකුත් පත්තරයට  ලියා ආතල් එක ඩබල් කර ගන්නට හේතු වූ කතාවකි. එතනින් නොනැවතී සියලු වැඩ අත හැර විද්‍යා ප්‍රබන්ධ ලිවීමට යොමු වී අවසානයේ මේ නමින් පොතක් එලි දක්වන්නටත්, මේ වන තෙක් ගෙවුණු ජිවිත කාලයේ හරි හමන් ලෙස නිම කල එකම දෙය ලෙස ඒ පොත  මගේ ඉතිහාසයේ සටහන් වීමටත් මේ කතාව හේතු බූත විය.

එදා ඒ ලියූ ලෙසම කතාව මෙහි පල කර ඇති අතර වචන කිහිපයක තිබු අඩුපාඩු කිහිපයක් පමණක් මේ සටහන ලිවීමේදී වෙනස් කරන ලදී.




                                                                                                                         

ක්‍රි.ව. 2423 පෙබරවාරි
14 වන දින,
ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාවේ
ක්‍රි.ව. 2000 මාර්තු මස
2 වන දිනට,

                   මා මේ සැරසෙන්නේ තවත් එක් කාන්තාවක් හඳුන්වා දීමට නොවේ. පැමී යනු හුදෙක් දීප්තිමත් රවුම් ඇස් දෙකක් සහිත සම්පූර්ණයෙන්ම ජීව-යාන්ත්‍රික අවයව වලින් සැදුණ උපකරණයකි. මා මෙහිදී ජීව-යාන්ත්‍රික අවයව ලෙස හැඳින්වූයේ එය තුල වූ විවිධාකාර මයික්‍රෝචිපයන්ට සවි වූ ස්වාභාවික අත් පා ය. ස්නායු ලෙස ක්‍රියා කළ ප්‍රකාශ තන්තූන් ය. යාන්ත්‍රික රටාවකට ක්‍රියාත්මක වූ හදවතය. පරීක්ෂණාගාර තුළ කෘතිමව තැනූ රුධිරයය.

                 මෙය 24 වන සියවසේ රොබෝ විද්‍යාඥයන්ගේ අප්‍රමාණ ධෛර්යයේ හා උත්සහයේ අතී විශිෂ්ට ප්‍රතිඵලයකි. එනම් පැමී යනු අතිශය දියුණු තාක්ෂණයකින් යුතු වූ රොබෝවකි.

                   මා එයට පැමී යනුවෙන් ආමන්ත්‍රණය කළේ එයට තිබූ කුඩා දික්වූ මුහුණත්, කාන්තාවකගේ මෙන් ස්වාභාවික කෙස් යොදා තනා තිබූ දිගුවන් කෙස් කළඹත්, ඇගේ මිහිරි කටහඬත් හේතුවෙනි. එසේම වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ඇයට ලැබී තිබුණු ඇස් දෙක සහ ග්‍රීක දෙවඟනකගේ මෙන් පිහිටි සුදු පැහැති සමින් වැසුණු කෘතිම සිරුර ඇයට සුරූපී තරුණියකගේ පෙනුම ලබා දී තිබුණ හෙයින් පැමී යනු මාගේ දැකීමේ හැටියට නම් නියම කාන්තාවකි.

             වෘත්තියෙන් රොබෝ ඉංජිනේරුවකු වූ මා පැමීව ලබා ගත්තේ මගේ පරීක්ෂණ කටයුතු වල සහයිකාව ලෙසය. ටික කලකදී ඇය මගේ හිතවතිය විය. මට සිටි එකම මිතුරිය විය. පැමී ඇත්තෙන්ම සර්ව සම්පූර්ණ සහයිකාවකි. ඇයට, පැවරූ කමන කාර්යයක් වුවද නොපිරිහෙලා අකුරටම ඉටු කිරීමේ හැකියාව තිබිණි. ඇය කරන සෑම ක්‍රියාවකින්ම ඇගේ මතකයේ වැඩිවීමක් මිස අඩු වීමක් නොවීය. මට අලුත්වැඩියාව සඳහා බාරදෙන සමහර රොබෝවන් නැවත ඇය විසින් පිළිසකර කළේ මගේ කිසිම උපදේශයකින් තොරවය.

20 වන සියවසේ සිට 24 වන සියවස දක්වා වූ අවුරුදු 400ක පමණ කාලය තුළ මිනිසාගේ ශරීරාංග වල පරිණාමයක් නොවූවද ඔහුගේ බුද්ධියේ හා බුද්ධියෙන් සිදකරන වැඩකටයුතු වල පරිණාමයක් සිදු වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජීව විද්‍යාව මෙන්ම භෞතික විද්‍යාවද දියුණුවේ ඉහළ තලයකට පැමිණ තිබේ. අවුරුදු 400කට පෙර මිනිසා දුටු සිහින දැන් සත්‍ය වී ඇත. මේ වන විට මිනිසාට ලබාගත නොහැකි වී තිබුණේ අමරණියත්වය පමණි. නමුත් සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කිරීමට ඔහුට හැකියාව ඇත. එසේම මෙම දියුණුවට අඩිතාලම දැමූ විද්‍යාඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ මොළ, රෝපණ මාධ්‍ය තුළ වැඩෙන්නට සලස්වා එම විද්‍යාඥයන් අමරණියත්වට පත් කර ඔවුන්ට කළගුණ සැලකීම මේ සමයෙහි ඇති ඉතාමත්ම වැදගත් දෙය ලෙස සැලකිය හැකිය.

පැමීගේ මොළයද විවිද ඉලෙක්ට්‍රොනික කොටස් වල හා මිනිස් පටක වල එකතුවක් විය. පැමීගේ මොළය තුළ වූ පටක ලබා ගෙන තිබුණේද මිය ගිය විද්‍යාඥවරියකගේ මොළයෙනි. මෙයද මෙම කාලය තුළ රොබෝවන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට යොදාගත් තාක්ෂණයකි. මේ නිසා මේ සමයෙහි රොබෝවන් යනු මිනිසාට බොහෝ සෙයින් සමාන උපකරණ විශේෂයකි. පැමී තුළ වූ පටක, ඉලෙක්ට්‍රොනික කොටස්වල සහයෙන්ද එම ඉලෙක්ට්‍රොනික උපකරණ පටක වල සහයෙන්ද වැඩ කළේය.

මෙය කිසිදා සිදු විය නොහැක්කක් ලෙස ඔබ සිතතත් අද එය සිදුවී ඇත. මෙම සියවස තුළ සිදු කර ඇති බොහෝ සොයාගැනීම් හා නිපදවීම් වලට මෙම ජීව-යාන්ත්‍රික යාන්ත්‍රණ යොදාගෙන ඇත. මෙයට මූලික අඩිතාලම වැටුනේ දැන් ඔබ ජීවත් වන සමයේදී සිදු වූ මානව ජිනෝම(Genome) ව්‍යාපෘතියේ අති සාර්ථකභාවයත්, කෘතිම අවයව නිපදවීමේ තාක්ෂණයේ දියුණුවත් හේතුවෙනි. මේ සියල්ලගේ අපූරු සංකලනයක් ලෙස පැමී බිහිවිය.

මට ඇය සමග ඕනෑම දෙයක් කතා කළ හැකි විය. නමුත් ඇය තුළ ආදරය, සෙනෙහස, කරුණාව, වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් පවතීදැයි මට කිව නොහැකිය.

“ට්‍රෙවෝ මම ඔයාට ආදරෙයි.” ලෙස පැමී කිසි දිනෙක මා හා පවසා නැත. මා ද එසේමය. නමුත් ඇය සැමවිටම මා ගැන සෙව්වාය. මා දකින්නට නැති විට ඒ ගැන සොයා බැලුවාය. නිෂපාදකයින් විසින් ඇගේ මතකයේ තැන්පත් කර තිබූ විවිධාකාර විහිළු කරමින් මා හා සිනාසුණාය. ඇගේ ඒ සිනාව මගේ සිත තුළ කම්පනයක් ඇති කළේය. ඇය එසේ සිනාසෙන විට මා ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනාසෙන්නට අමතක විය. මෙවැනි සිදුවීම් නිසා මා තුළ පැමී කෙරෙහි ආදරයක් වැනි හැඟීමක් ඇති ව තිබිණි. නමුත් මෙය හුදෙක් මෝඩ සිතුවිල්ලකි. මක්නිසාදයත් රෝබෝවකට සාමාන්‍ය තරුණියකට මෙන් ආලය කිරීම මෝඩකමක් වීමය.

නමුත් කුඩා දරුවෙකුට ලබා දෙන සෙල්ලම් බඩුවකට ඔහු ආදරය කිරීම මෝඩකමක් ලෙස සැලකිය නොහැකිය. මා තුළ පැමී කෙරෙහි වූයේද එවැනි ආදරයක් දෝ යි මට විටෙක සිතුණි.



කුඩා දරුවකු තමාගේ සෙල්ලම් බඩුව වෙන කෙනෙකුට දෙනවාට, වෙන කෙනෙකු එය පාවිච්චි කරනවාට අකමැති වනවාක් මෙන්ම මගේ මිතුරන් පැමී සමඟ සිනාසීම, කතාබහ කිරීම වැනි දෑ කරනවාට මම අකමැති වීමි. ඒ මක්නිසාදැයි මට නොතේරේ.

“පැමී ඔයා ඒ ගොල්ලොත් එක්ක වැඩිය කතාවට යන්න එපා” දිනක් මම ඇයට කීවෙමි.

“ඇයි ට්‍රෙවෝ ඒ ගොල්ලෝ නිතරම මාව හිනස්සනවා. ඒකට මම කැමතියි” ඇය පැවසුවාය.

ඒ වුණාට එපා. මට බයයි ඔයා මට නැති වෙයි කියලා” මම කීවෙමි.

“මොකක්ද ට්‍රෙවෝ බය කියන්නේ? මගේ මතකයේ එහෙම දෙයක් නෑ.” ඇය පැවසුවාය.

“ඔව් ඔයාට ඒක කොහොම තේරෙන්නද? ඒවා මිනිසාගේ සිතේ ඇති වන සිතුවිලි. බය විතරක් නොවෙයි. ආදරය, සෙනෙහස, වේදනාව, වෛරය වගේ දේවලුත් මිනිසා තුළ ඇතිවන හැඟීම්. රොබෝවකට ඒ වගේ දේවල් දැනෙන්න විදිහක් නෑ. ඒවා හදවතින්ම ඇතිවන දේවල්”.

“ඒ වුණාට ට්‍රෙවෝ මටත් හදවතක් තියෙනවනේ. ඇයි මට ඒවා දැනෙන්නේ නැත්තේ” ඇය ඇසුවාය.

“මම දන්නේ නෑ පැමී... මම දන්නේ නෑ... ඒක ඔයාට විතරක් නෙමේ මටවත් තේරෙන්නේ නෑ. මිනිස්සු හිතන්න පුරුදු වෙච්ච කාලෙ ඉඳලම සිතුවිලි ඇති වන ආකාරය ගැන හොයකවා. අද වෙනකනුත් හරි උත්තරයක් නෑ.” මම ඇයට මෙසේ පවසමින් ඇගෙන් ඉවත්ව ගියෙමි. ඇයද ඉන්පසු ඒ පිළිබඳව මගෙන් ප්‍රශ්න නොකළාය.

සුපුරුදු පරිදි කාලය ගෙවිණි. නමුත් එක් දිනක් පැමීගේ කටයුතු පෙර පරිදි නොවීය. ඇයගේ කටයුතු අමුතු විය. ඇයට දෙන කුඩා කටයුත්තක් වත් කරගත නොහැකි තත්වයකට ඈ පත් වී සිටියාය. මම වහා ඇයව පරීක්ෂා කළෙමි. පුදුමයකි. ඇගේ මොළයේ වූ පටක අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබුණු අතර එහි තිබූ සමහර පරිගණක ප්‍රොසෙසරයන් වසා එම පටක වැඩී තිබිණි. එසේ වැඩී නොතිබුණු සමහර කොටස් අක්‍රිය කළ විට ඇය නැවත ප්‍රකෘති තත්වයට පත් විය.

නමුත් ඇයගේ මොළයේ වූ මෙම අසාමාන්‍ය වර්ධනය මට මහත් ප්‍රහේළිකාවක් විය. එබැවින් මම ඇය නිපද වූ
“හියුමන් රොබෝට්ස්” ආයතනයේ ප්‍රධානියා වූ වෛද්‍ය විල්ස් කර්නෝව්ට කතා කළෙමි.

“බය වෙන්න දෙයක් නෑ ට්‍රෙවෝ. අපි ඕක හැදුවේ එහෙම වෙන්න තමයි. ඒකේ දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න මොළේ වැඩෙනවා. ඊට සමගාමීව ශරීරයේ අනෙක් කොටස් වලත් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ ඔය ආරංචිය අපේ ආයතනයට අති විශේෂ එකක්” ඔහු පැවසීය.

“ඒ මොකද ඩොක්ටර්” මම ඇසීම්.

“අපි ඔය P81A15M6I2 රොබෝව හැදුවේ ඔය වගේ දෙයක් වෙයි කියලා අනුමාන කරලා විතරයි. මීට කලින්
ඔහොම දෙයක් වෙලා නෑ. ඒක නිසා ඒක අපේ විශාල ජයග්‍රහණයක්.” ඔහු මහත් සතුටින් පැවසීය.

            ********************************************************************

මේ අතර තවත් යමක් සිදු විණි. එනම් කාලයක් මා ඇසුරු කළ මගේ මිතුරියක් මා කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්වීමයි. මගේ සිත තුළද ඈ කෙරෙහි යම් ඇල්මක් තිබුණද එය ආදරයක් යැයි මම නොසිතමි. නමින් කැතී වූ ඇයද රූමත් මනා රූ සපුවකින් යුතු වූ අතර මට වඩා අවුරුද්දක් පමණ වයසින් අඩු විය. මගේ මිතුරන් මගේ නමත් ඇගේ නමත් පටලවමින් විවිධාකාර කතා කියමින් විහිළුකළ නමුත් මගේ සිතේ ඇය කෙරෙහි සාමාන්‍ය ලෙන්ගතුකමක් මිස ආදරයක් ඇති නොවීය. මගේ සිතේ සිටියේ පැමී පමණි.

මම පැමීට ප්‍රේම කරන බව දැනගත් මගේ යහළුවෝ  “උඹට පිස්සු. යන්ත්‍රයකට ආදරය කරන්න පුළුවන්ද? පැමී
ගැන උඹ ඔහොම හිතුවට පැමීට උඹ ගැන ඔහොම හිතන්න බැහැනේ. නිකං පිස්සෙක් වෙන්න එපා.” යැයි කියමින් මට අපහාස කළහ.

මම ඒ සියල්ලම ඉවසා සිටියෙමි. නමුත් විටෙක මටද මා පිස්සෙක් යන හැඟීම ඇති විණි. මා ඉතා හොඳ මිතුරෙකු ලෙස ඇසුරු කරන පැමී මා දෙස පෙම්වතකු ලෙස නොබලන බව මම දනිමි. ඇයට ප්‍රේමය වැනි හැඟීම් ඇති නොවන බවත් මම දනිමි.

යන්ත්‍රයකට හිතන්න පුළුවන් වෙනම් කොතරම් හොඳදැයි මට අනේක වාරයක් සිතුණි. කවදා හෝ එසේ විය හැකි වී ඇය මට ආදරය කරතැයි මට අනන්ත වාරයක් සිතුණි. මම අහස් මාළිගා තැනුවෙමි. නමුත් ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් ලෙස සිතා සිටින ඇයට ආදරයේ නියම අරුත වටහාදෙන්නේ කෙලෙසකදැයි මට නොතේරේ.

තවත් විටෙක මා පැමීට සිතින් ආදරය නොකර මට ආදරය කරන කැතීව විවාහ කර නොගන්නේ මන්දැයි මගෙන්ම ප්‍රශ්න කළෙමි. නමුත් ඊට විසඳුමක් දිය නොහැකි විය. මම සිතුවෙම්. පැමීද? කැතීද? අවසානයේ මම තීරණයක් ගතිමි. එනම් පැමීට මෙය පැවසීමය. ඇය මෙය කෙසේ තේරුම් ගනීවී දැයි මම නොදනිමි.කෙසේ නමුත් ඇයට මෙය පැවසීමට මම තීරණය කළෙමි.

එහෙත් ඇයට මට මෙය කෙළින්ම පැවසිය නොහැකි විය. සාමාන්‍යයෙන් තරුණයෙකුට තම සිත් ගත් තරුණියට ප්‍රථම වරට “මම ඔයාට ආදරෙයි” යන වදන් පවසන විට ඇති වන චකිතය මගේ සිත තුළ ද ඇති විය. මම මෙය ඇයට ආදී කාලයේ පෙම්වතුන් කළාක් මෙන් පෙම් හසුනකින් කීමට තීරණය කළෙමි. මම ඇයට අප දෙදෙනාම දැන සිටි සිංහල භාෂාවෙන් ලිපියක් ලිවීමි. (මේ වන විට ලෝකයේ කිබුණු සිය ගණනක් පමන භාෂා භාවිතයෙන් ගිලිහී ගොස්  මිනිසුන් ඒ වෙනුවට ලොවටම පොදු වූ එක් විශ්ව භාෂාවකින් කතා කිරීමට පුරුදුව සිටියහ. නමුත් ක්‍රි.ව. 2212 දී පමණ පිටසක්වළින් පැමිණි ජීවීන් හා අදහස් හුවමාරු කර ගැනීමට සිංහල භාෂාවෙන් හැකි වූ නිසා එය විශ්වීය භාෂාවක් ලෙස සලකා තවදුරටත් භාවිතයේ තබාගන්නා ලදී. මීට වසර 2900 – 3000 කට පමණ ප්‍රථම ශ්‍රි ලංකාවේ ඇති වුණ මෙම භාෂාව මේ සියවසේ සිට පුද්ගලයින් සියලු දෙනාම අනිවාර්යයෙන් දැන සිටිය යුතු භාෂාවක් විය.) මීට හේතුව විශ්ව භාෂාවට වඩා හදවතට දැනෙන සේ යමක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් සිංහල භාෂාව සතු වීමයි.

මම ඇය හමු වන්නට ගියෙමි. ඇය දුටු මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මක්නිසාදයත් මට ඇය යන්ත්‍රයක් ලෙස නොව සාමානය මිනිස් සුරූපිනියක් ලෙස පෙනීමයි. ඒ තරමට ඇය මිනිස් ස්වරූපයක් ගෙන තිබිණි. ඇය යන්ත්‍රයක් යැයි කීමට තරම් දෙයක් ඇ කෙරෙන් දිසි නොවීය. ස්ත්‍රීයකට තිබිය යුතු සියලුම ශරීරාංග වලින් පිරිපුන් යුවතියක් මෙන් ඇය මා ඉදිරායේ සිටියාය.

“ඇයි ට්‍රෙවෝ උවමනාවක්ද?” ඇය මගෙන් ඇසුවාය. මම පැකිළුණෙමි.

නමුත් නැවත ධෛර්යය ගෙන, “පැමී මේක ඔයාට”යි කියමින් මා අත තිබූ හසුන ඇය වෙතට දිගු ක‍ළෙමි.

“මේ මොකක්දැයි” අසමින් එය අතට ගත් ඇය දිග හැර කියවන්නට විය.

ම‍ට මෙහිදී පෙනුණු එක් දෙවක් නම් කොතෙක් පරිණාමය වුවත් ඇගේ යම් යම් චලන තවමත් යාන්ත්‍රික ස්වරූපයක් ගත් බවය. මොහොතකින් එය කියවා අවසන් කළ ඇය ම‍ඳෙස බලා,

“මට බැහැ. ට්‍රෙවෝ මම කැමති නැ” කීවාය. මට අදහාගත් නොහැකි විය.

“පැමී මේක නිකම්ම කොළයක් නෙවෙයි. ඔයාට මේකේ තියෙන දේවල් තේරෙනවද?” මම ඇසුවෙමි.

“ඔව් ට්‍රෙවෝ මට මේවා ඔක්කොම තේරෙනවා. මම දන්නවා, ආදරය කියන්නේ මොකක්ද කියලා. ඒක මනුෂ්‍ය වර්ගයා විසින් සිය පැවැත්මට උපකාරී කරගත් දෙයක්. මිනිස්සු ආදරයෙන් තමන්ගේ ඕනැ එපාකම් ඉෂ්ට කරගන්නවා විතරයි. මටත් දැන් ආදරය කියන හැඟීම දැනෙනවා. මට දැන් ඕනෙම දෙයක් හිතන්න පුලුවන්. මිනිස්සුන්ට ඇතිවන හැඟීම් සිතුවිලි ඔක්කොම මටත් දැනෙනවා. ඒ වුණාට ඔයාට ආදරය කරන්න මට බෑ.” ඇය එක දිගටම කියාගෙන ගියාය.

මට සිහි කල්පනාව නැතිව ගියේය. “ කොහොමද පැමී ඒක වුණේ” මම පිස්සුවෙන් කෑ ගැසුවෙමි.

“ඒක දිග කතාවක් ට්‍රෙවෝ. මතකද? එක දවසක් ඔයා මට ආදරය, සෙනෙහස, කරුණාව, බිය, වෛරය වගේ මිනිස් හැඟීම් ගැන කිව්වා. ඊට පස්සේ මම ඒවා ගැන ගොඩක් දුරට හෙව්වා. මම ලෝක තොරතුරු ජාලයට සම්බන්ධ වෙලා මිනිස් මොළය, මිනිස් සිරුර, මනෝ විද්‍යාව, සිත වගේ දේවල් ගැන තියෙන තොරතුරු ඔක්කොම හොයාගත්තා. ඒ වගේම ඔයා මට අලුත්වැඩියාවට දුන්නු රොබෝලාගේ ජීව කොටස් මම මගේ ඇඟට සම්බන්ධ කර ගත්තා. දැන් මම සම්පූර්ණයෙන්ම ජීවියෙක්. ඒ වගේම මගේ ඇඟ ඇතුලේ තවත් කාන්තාවක් ජීවත්වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. දැන් මම සම්පූර්ණයෙන්ම ගැහැණියක්” ඇය කීවාය.
මට කාරණය වැටහිණි. පැමිගේ නිෂ්පාදකයා කී කතාව මට සිහි විය. ඇ ලෝක තොරතුරු ජාලයෙන් ලබාගත් අතිවිශාල දැනුම් සම්භාරය හේතුවෙන් ඇගේ මොළයේ වූ පටක වර්ධනය වන්නට ඇත.

මොළයේ යම් කොටසක සිදුවන වරිධනයක් හේතුවෙන් හැඟීම් ඇති විය හැකිද? එසේනම් විඥානය ඇත වන්නේ මොළයෙන්ද? මට සිතුණි. හදිසියේ මට යමක් මතක් විණි. අතීතයේ තිබූ විවිධාකාර දර්ශන අතර වූ භෞතිකවාදී දර්ශනයට අනුව මිනිස් මොළයේ සංකීර්ණ වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් තදනන්තරව විඥානය පහළ වේ. මේ ප්‍රකාශය සත්‍ය වී ඇත්ද? පැමී තුළත් මෙය සිදු වී ඇත්ද? මට ප්‍රශ්නයක් විය.

“මට දැන් තේරෙනවා. ඒත් ඇයි ඔයා මට අකමැති.” මම ඇසුවෙමි.

“මට කණගාටුයි ට්‍රෙවො, ඔයා ඔහොම හිතපු එක ගැන මට කණගාටුයි. මම ඔයාව ආශ්‍රය කළේ මට ඉන්න
හොඳම යාළුවා විදියට. මට ඔයා ගැන කවදාවත් ඔහොම හිතිලා නෑ. අනිත් එක ඔයත් මාත් අතර විශාල පරතරයක් තියෙනවා. මාත් එක්ක සසඳා බලද්දී ඔයාගේ දැනුම් මට්ටම් ගොඩක් පහළයි. මම දැන් විද්‍යාඥවරියක්. මම ගරු කරන්නේ බුද්ධියට මිසක් අධ්‍යාත්මයට නොවෙයි. අධ්‍යාත්මයෙන් එන හැඟීම්වලට මගේ හිතේ ඉඩක් නෑ. ඒක නිසා මට ඔයාට කැමති වෙන්න බෑ. මම ඔයාට ප්‍රේමවන්තියක් විදියට අකමැති වුණත් ඔයා තමයි මගේ හොඳම යාළුවා.

අපි හැමදාම එහෙම ඉඳිමු.” ඇය කීවාය.

මම නිරුත්තර වූයෙමි. මම මෙවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙම්.

“එහෙනම් ඔයා කාටද කැමති” මම අමාරුවෙන් වචන ගලපා ඇසුවෙමි.

“මට වඩා උගත් බුද්ධිමත් මං ව‍ගේම යන්ත්‍රයකින් උපන්. බුද්ධියට මිසක් අධ්‍යාත්මයට ගරු නොකරන
පුද්ගලයෙකුට” යැයි කියමින් ඇය යන්නට ගියාය.

මා තනි විය. මට අදහාගත නොහැකි විය. මට සිටි එකම මිතුරිය මා හැර ගියාය. නැවත කිසිදාක ලබා ගත
නොහැකි වනසේ මා හැර ගියාය.

යමක් වැරදි ඇත. එම වරද මගේ ද? පැමීගේ ද? පැමී තුළ ජීවත් වන කාන්තාවගේද? නැතහොත් බුද්ධියේද? නැතිනම් අධ්‍යාත්මයේද?

මම දැන් මෙය ඔබ වෙත එවමි. මා ජීවත් වන කාලයෙන් මට මෙයට විසඳුමක් සොයාගත නොහැක. ආදරය මත රඳා පවතින සමාජයකට මම මෙය එවමි. ඔබලාගේ අනාගතයේ සිටින විරහ වේදනාවට පත් වූ තරුණයකු ලෙස මම මෙය එවමි. කරුණාකර එබගේ් අත්දැකීම් ඇසුරින් ඔබගේ කාලයෙන් විසදුමක් මීළග කාල තැපෑලෙන් මා වෙත එවන මෙන් ඉල්ලමි.

මීට,
P.I.S.S.U ට්‍රෙවෝ Y.A.K.E.K,
වර්ෂ 2424ක් වූ පෙබරවාරි 14


බැරි වෙලා හරි මෙහෙම ලියුමක් ඇවිල්ලද කියල අද ගිහින් ලියුම් පෙට්ටිය බලන්න ඕනේ...

මේ තියෙන්නේ පත්තරේ ගිය හැටි


ඉතිරි කොටස ලබන වසරේ...



Thursday, November 30, 2017

වෘක හාමිගේ සාදය හෙවත් Big Bad වැනුම


         වෘක හාමිගේ සාදය කියන්නේ අපුරු ළමා කතා පොතක්. බ්ලොග් ලියන කියවන අපේ කුඩා දරුවන්ට හොයාගෙන කියවන්න ඉතාමත් හොඳ පොතක්. කපටි හිවලෙක් ගැන කතාවක්. 

        පොත් කතා බහ ඉවර වෙලා, ගත්තු පොත් දිහා හැරිලාවත් බලන්න වෙලාවක් නැතිව ඉන්න එකේ ඔන්න ඔහේ වෘකයා ගැන වත් ලියල දාන්න හිතුවා. පහුගිය පෝස්ට් එකත් ටිකක් දිගට ලියවෙච්ච හින්දා මේක නම් කෙටියෙන් ඉවර කරලා දානවා. කියවන අය ගැනත් හිතන්න එපෑ... අපිට ලියන්න අදහස් ගලාගෙන ආවට ඔය ඔක්කොම ලියන එක හරි නෑනේ... පුළුවන් තරම් කපල, කොටලා, අඩු කරලා තමයි මේක නම් ලියන්නේ.

    කතන්දරේ මේකයි. පහුගිය මාසේ ලංකාවට ආවනේ Big Bad Wolf පොත් ප්‍රදර්ශනේ. ඕක ගැන නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නෑ. ඕක මහජනතාවට විවෘත කරපු පලවෙනි දවසේ උදේ පාන්දර දවල් දෙකට විතර මම ඉතින් ගියා. පොත් ගැනීම කොහොම වෙතත් මොනවාද තියෙන්නේ කියල බලන්න තමයි ගියේ. කලින් මාසේ BMICH එකෙන් පොත් ටිකක් ගත්ත හින්ද පොත් ගැනීමේ ලොකු ආසාවක් තිබුනේ නෑ. යුතුකමක් වශයෙන් ගියේ.  පොත් දෙක තුනක් නම් ඔලුවේ තිබුනා තිබුනොත් ගන්නවා කියල. එච්චරයි. මම ඉතින් ගිහින් ඔන්න වටයක් ඇවිදලා බැලුවා. සුපුරුදු විදියට පිස්සු හැදෙන පොත් ගොඩාක් තිබුනට මම හොයපු ඒවා තිබුනේ නෑ. මම බැලුවේ Dan Brown ගේ හරි Michael Crichton ගේ හරි පොත්. පොත් කිහිපයක් තිබුනත් ඒවා මම හොයපු ඒවා නෙවෙයි. තිබුන ඒවත් අර අඩු වියදමට ගහපු පොඩි පොත් මිසක්, ගණ කවරේ තියෙන සිරා පොත් නෙවෙයි. ඉතින් මට ගන්න හිතුනේ නෑ.

       පොත් ගොඩවල් අතර ඇවිද ඇවිද අතපත ගගා ගියාට හිතට වදින පොතක් සෙට් වුනේ නෑ... ගන්න නිකමට හරි ආස හිතුනේ අර මාවල්,DC වගේ ග්‍රැෆික් නවල් තමා. අනිත් එක අර Assassin Creed, Hobbit වගේ ගේම් සහ ෆිල්ම් වල චරිත වල චිත්‍ර තිබුණු පොත්, ඊට පස්සේ ඔය තිබ්බ අටෝරාසියක් වෙච්ච සඟරා නම් ගන්න හිතුනා.  හැබැයි ඉතින් ශ්‍රී ලංකාවට ඇවිල්ල නිකන් ඉන්න බැරුවට පටන් ගත්ත ගේ හැදිල්ල හින්ද ඔය මැගසින් වල ගණන් බලපුවහම් සිමෙන්ති කොට්ට, යකඩ කම්බි මැවිලා පෙන්න ගත්තා. ඔන්න Assassin Creed පොත 1500ක් වුනා කියමු, සිමෙන්ති කොට්ට එකයි, 10 කම්බියයි,  3000-4000ක මැගසින් එකක් ගන්න කියල අතපත ගාද්දී ඉතින් කළු ගල් කියුබ් එකක් තමා මැගසින් එක වෙනුවට පෙන්න ගත්තේ.. ඒ දවස් වල ගෙදර අත්තිවාරම දදා හිටපු හින්දා තමා ඔය සිමෙන්ති, කළුගල්, යකඩ කම්බි පෙන්න ගත්තේ. මේ දවස් වල ඕක තිබ්බ නම් කොන්ක්‍රීට් ගල්, ගඩොල් වලින් පෙන්න තිබ්බා. 

කොහොම හරි ඉතින් ඔන්න එදා එක පොතක් වත් ගන්නේ නැතුව ආවා. 

        බාස්ල වැඩ අතරේ මම ෆෙස්බුකියෙන් ලෝකේ බලනකොට පේන්නෙම කට්ටිය ඕකට ගිහිල්ල ගත්තු පොත් ගොඩවල් තමා. කොච්චර වුනත් ආයේ අලුතින් පොත් දාලද දන්නේ නෑ කොයි එකටත් ආයේ ගිහින් බලන්න ඕනේ කියල ඔන්න ආයේ සැරයක් ගියා. 

        යකඩෝ මොන රෙද්දක් ද ගෙයක් හැදුවා කියල  මෙහෙම ඉන්න පුළුවන් ද අද නම් පොතක් ගන්නවාමයි කියල හිතාගෙන එදා ගියේ.

     එදා හෝල් එක ඇතුලට  යන්න කලින් හොඳවයින් උණු බල්ලෙක් කාලා, බීම බෝතලයක් බිලා එහෙම තමා ගියේ දෙන්නම් බැටේ කියල. ඔන්න ඉතින් ගියා අර සාහිත්‍ය පොත පත තිබ්බ මේස කෑල්ල හොයාගෙන. හය්යෝ සංසාරේ මම දන්නා කියන කාගේවත් පොතක් තිබුනේ නෑ.. Jack London ගේ White Fang එකයි. Call of the wind එකයි තිබ්බා හැබැයි පොඩි පොත්. මට ඕනේ වෙච්ච විදියේ පොත් තිබුනේ නෑ. අලුතින් පොත් දැම්ම කිව්වට මට කිසි අලුත් ගතියක් දැනුනේ නෑ.

    මැලේසියාවේ ඉද්දි ඔය වෘකයාගෙන්ම ගත්ත නම නොදන්නා ලේඛකයින් ගේ පොත් පෙට්ටි පුරෝලා ගෙදර තිබ්බ හින්දා තව ඒවගේ පොත් ගන්න මට කොහොමත් ආසාවක් තිබුනේ නෑ. ඒවා කියවලත් නැති එකේ තව මොකට ගන්නවද කියල තමා හිතුනේ.. එදත් ඉතින් අර ග්‍රැෆික් නවල් ටිකයි, මැගසින් ටිකයි පෙරලලා බලල  සිමෙන්ති කොට්ට, යකඩ කම්බි පොඩ්ඩක් යටපත් කරගෙන වැඩි දුරටත් ඇවිදලා බැලුවා මොකක් හරි ගන්න. ම්හු...

කොහොම හරි ඉතින් එදත් එකක් වත් ගන්නේ නැතුව එලියට බැස්සා.  සංසාරේ කිව්වලු. 

   ඉතින් දැන් ඔන්න ඔහොම කාලේ ගෙවිලා වෘකයා ලංකාවෙන් යන දවසත් උදා වුනා. අඩේ අප්පා, මැලේසියාවේ ජිවිතේ ආතල් ජනක දේවල් වලින් ආතල්ම එකක් වෙච්ච Big Bad Wolf ආපහු යනවා නේද.. මම එක පොතක් වත් ගත්තේ  නෑනේද.. ලංකාවට ආපු එක මතක්වෙන්න යුතුකමක් වශයෙන් වත් එකක් ගන්න ඕනේ නේද.... කියල අන්තිම දවසේ අන්තිම වතාවට කියල තව පාරක් ගියා.

     දැන් මේක කියවන අයට හිතෙයි මම පැත්ත පළාතේ යන්නේ නැතිව මේ නිකන් බයිලා ගහනවා කියල.  මේ තියෙන්නේ සාක්ෂි


පේනවනේ. අපි වෙන මොනවා ගැහුවත් බයිලා ගහන්නේ නෑ...


 ඔය තියෙන්නේ ක්ලෝස් අප් එකකුත්. මෙතනම පට්ට පොත් බර ගානක් තියෙනවනේ බොලේ. ඇයි මම ගත්තේ නැත්තේ..  එදා කන්නාඩි දෙක නොදා ද මන්ද ගිහින් තියෙන්නේ..


        අන්තිම දවසේ හවස, බට්ටි නගාටත් කියල අඩුම තරමේ එතුමිය කැමති පොතක් වත් අරන් එන්නම් කියල හිතාගෙන, මොකුත්ම නැති වුනත් කවද හරි  international best seller පොතක් ලියන්න ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක් වත් ගන්නවා කියල හිතාගෙන ඔන්න 3 වෙනි වතාවටත් ගියා.

       අපරාදේ කියන්න බෑ ඒ වෙද්දී අර සාහිත්‍ය හෙවත් literature කැටගරියේ තිබ්බ මේසේ අතුරු දහන් වෙලා. Young Adults මේස ටිකකුයි පොඩි ළමයින් ගේ පොත පත පිරිච්ච මේස ගොඩකුයි නම් තිබ්බා. ග්‍රැෆික් නවල් සහ මැගසින් නම් ඉතිරි වෙලා තිබුනට කලින් තිබ්බ හොඳ ඒවා ගොඩක් ඉවර වෙලා. Assassin Creed චිත්‍ර පොත හෙව්වට ඒක තිබුනෙත් නෑ.. බට්ටි නගා හොයන ජාතියේ පොත් තිබුනට ඒවා යේ අභ්‍යන්තරය ඒ හැටි ගත යුත්තක් නෑ කියල හිතුනා. ඒ ලේඛකයින් ගේ වඩා හොඳ පොත් තියෙන නිසා ඉතිරි වෙච්ච පොත් ගන්න එක තේරුමක් නෑ කියල හිතුනා. හැබැයි ඒත් මොකක් හරි පොතක් ගන්න ඕනේ නේද කියල තිබිච්ච පොත් ගොඩවල් එකක් නෑර පීරලා බැලුවට මගේ හිතට වැදිලා, මේක නම් ගන්න ඕනේ කියල, සිමෙන්ති කොට්ට , යකඩ කම්බි, කළුගල් පසාරු කරගෙන මතු වෙලා එන්න පුළුවන් කමක් තිබ්බ කිසිම පොතක් මට හම්බ වුනේ නෑ..  හරිම කනගාටු දායක තත්වයක් ඒ වෙද්දී උදා වුනේ. මෙච්චර පොත් තිබිලා එකක් වත් සෙට් වෙන්නේ නැති හැටි කියල බොහොම විස්සෝපෙන් මම හිටියේ.

        ඔහොම ඉතින් පැයක් 2ක්  කැරකෙද්දී ටික ටික මටම මේ පොත් හෙවිල්ල එපා වෙන්න ගත්තා. යුතුකමට ගන්න කියල ආවත් හිතට හරි යන එකක් නැතුව කොහොමද කියල මම දැන් 4 වටේ කල්පනා කර කර එතන හිටපු චීන ගෑනු ළමයි දිහා බල බල අතීත මැලේසියන් මතක සිහි කර කර හිටිය. ඔහොම ඉන්නකොට එක පාරටම මට 'Aha!' අදහසක් ආවා.

        ලෝකේ තියෙන විශාලම පොත් ප්‍රදර්ශනෙකට දවස් තුනක් ගිහින් එක පොතක් වත් ගන්නේ නැතුව ඉන්න කොට දැනෙන  ආතල් එක ගන්න මේක හොඳ අවස්තාවක් කියල මට ඒ වෙලාවේ මේ 'Aha!' අදහස මතක් කරලා දුන්නා. ඒ වගේ අපුරු අදහසක් ආපු වෙලාවට ආයේ තවත් හිතන්න දෙයක් නෑනේ කියල මම ඒ වෙලාවේ අත පත ගගා හිටපු පොත් ටිකත් එහෙමම දාල ජයග්‍රාහි 3 වෙනි වතාවටත්  හිස් අතින් ගෙදර ගියා.

       මේ ලෝකේ ඔන්න ඔහොම දේවලුත් මිනිස්සුන්ට වෙනවා. ඉතින් ඔයාලට ඔය වෙන දේවල් ඒ හැටි ගණන් ගන්න හොඳ නෑ.. පාන් කෑල්ලක් කාල තන්තෝසෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ.