Monday, January 15, 2018

පරිණාමයේ වේදනාව II



පලමු කොටස මෙතනින් කියවන්න


පෙර වදන,

කීර්ති විමලසුරිය නම් රසිකයෙකු විසින් පෙර කොටසේ ලිපියට පිළිතුරක් ලෙස පුවත්පතට ඒවා තිබුණු ලිපියක් හේතුවෙන් මෙම දෙවන කොටස ලියැවිණි. නමුත් මේ කොටස මම පත්තරයට යැව්වාදැයි හරි මතකයක් නැත.  ඔහුගේ එම ලිපියෙන් උද්දාමයට පත්ව මෙහි එන දෙවෙනි කොටස ලිව්වෙමි. මතකය නිවැරදි නම් ඒ වන විට මම පොත ලිවීමේ තීරණයට පැමිණ කතා ලියමින් සිටි කාලයයි.

එම ලිපිය යුනිකේත කිරීමට නොහැකි (කම්මැලි) බැවින් පහත ඇති එහි පොටෝව නරඹා සතුටු වන්න


කීර්ති විමලසුරිය නම් නොහදුනන මිතුරා විසින් පුවත් පතට එවූ ලිපිය


මෙම කොටසේ එන පිළිතුරු ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ ඒ නොදන්නා මිතුරාටය.




                                                                                                             

ක්‍රි.ව. 2424 පෙබරවාරි 23 දින,
ශ්‍රී ලංකාවෙන්



ක්‍රි.ව. 2000 අප්‍රියෙල් 28 දින,
ශ්‍රී ලංකාවට,


මා ප්‍රිය මිතුර,

     ඔබ මා එවූ ලිපිය පිළිබඳ සැලකිලිමත් වීම ගැන මම මගේ මුළු හඳින්ම ඔබට කෘතඥ වෙමි. නමුත් එහි වූ සමහර කරුණූ සම්බන්ධයෙන් මා තුළ යම් ආකාරයක ගැටළු සහිත බවක් පැන නැඟී ඇත. මක්නිසාදයත් එහි එක්තරා තැනක සඳහන් වන පරිදි ඔබ හා මා අතර වසර 400ක පමණ කාල පරතරයක් ඇති බවත් එබැවින් අප තුළ ඔබලාට සාපේක්ෂව බුද්ධිමය, අධ්‍යාත්මික හා පරිණෘමික දියුණුවක් ඇති බවක් ඔබ සිතන බව පෙනේ. එය මම පිළිගනිමි. එනමුදු අපි තවමත් පෘථග්ජන මිනිසුන් වෙමු. එබඳු මිනිසුන් තුළ ආශාව, ආදරය ඇති වීම ස්වාභාවික බව ඔබ දන්නා බව මම සිතමි. එය ජීවමයද යාන්ත්‍රිකද යන්න මත රඳා නොපවතින බව මගේ අදහසයි.

එසේම ඔබ දකින ලෙස මා තුළ පැමී කෙරෙහි ඇති වූ ආදරය, විවාහය දක්වාම පැවතිය යුතු බවත් මානව සංහතියේ මූලික අරමුණ ඔබ දකින අන්තරාභිජනන ක්‍රියාවලිය අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ම නොසිතමි. මක්නිසාදයත් මා දන්නා පරිදි ඔබ ජීවත්වන කාලයෙන් වසර 100කට පමණ පසු මිනිසා ජීවමය ලෙස පරිණාමය වීමට වඩා අධ්‍යාත්මික ලෙස පරිණාමය වීමට උත්සහ දැරූ බවත් එබැවින් මා ජීවත්වන සමය වන විට මිනිසා තුළ වැඩි වශයෙන් ඇත්තේ එකිනෙකා කෙරෙහි වූ රා‍ගයෙන් තොර ආදරයන් වන නිසාත්ය. ඒ බව ඔබ නොදන්නා බැවින් ඔබ මෙසේ සිතන්නට ඇතැයි සිතමි.

එලෙසම ඔබේ ලිපියෙහි තවත් තැනක මානවයා ආදරය වෙනුවෙන් නොපවතින බව සඳහන් වී ඇත. එසේනම් ඔබ ජීවත් වන්නේ කුමක් සදහාදැයි මට නොවැටහේ. මෙහිදී ඔබ ජීවත් වූ අතීතය දෙසත් ජීවත් වන්නට බලාපොරොත්තු වන අනාගතය දෙසත් මඳක් ගැඹුරින් කල්පනා කර බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි. මන්දයත් ඔබත් විරහ වේදනාවට පත්ව සිටින බවක් ඔබේ ලිපියේ අග භාගයෙන් ගම්‍ය වන බැවිනි.

ඔබ තුළ අපගේ වර්තමානය පිළිබඳව එතරම් පැහැදිලි අවබෝධයක් නොමැතිකම නිසා ඔබට මාව හොදින් තේරුම් ගැනීමට නොහැකි වුවත් ඔබගේ ලිපිය තුළින් මට මඳ අස්වැසිල්ලක් ලැබුණූ බව සතුටින් දනවමි. එසේම ඔබේ ලිපියේ අවසාන වැකියේ සඳහන් වන පරිදි “කාලය සියල්ල විඳනු ඇත.” යන්න සම්පූර්ණ සත්‍යයක් බවත් මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

ඔබේ ලිපිය මා වෙත ලැබෙන විට මම පැමී පිළිබඳව තීරණයකට එළඹ සිටියෙමි. (මාගේ කාල තැපැල් හුවමාරුවේ සිදුවී තිබුන පුමාද දෝෂයක් කරණ කොටගෙන මට ඔබගේ ලිපිය ලැබුණේ සතියක් පමණ ප්‍රමාදවය. නමුත් ඒ වනවිට සියල්ල තීරණය වී තිබිණි.)

දැන් මේ ලිපිය ඔබට ලියන මම, ඔබට මුලින ලිපිය එවූ තැනැත්තාම නොවෙමි. ඒ මක්නිසාදැයි මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

මම පසුගිය සතිය තුළ වූ සිද්ධි මාලාව මට ලැබී තිබෙන කාලය අනුව හැකි පමණ පැහැදිලිව ඔබ වෙත ඉදිරිපත්  කරමි.




*********************************************************************************





මගේ එකම හිතවතිය මගේ මිතුරිය මට අහිමි විය. ඇය මා අතහැර දමා ගියාය. එය ඔබ දන්නෙහිය. මගේ දිවියේ ගෙවූ ඉතා දීර්ඝතම රාත්‍රිය නිමා කරමින් පසුදිනට පහන් විය. මගේ සිතිවිලි ලෝකය බිඳ හෙලමින් මා වෙත දුරකථන ඇමතුමක් ලැබුණි.

“ට්‍රෙවෝ, වහාම සිකයි ලැබ් එකට එන්න. ඉතාම හදිස්සියක්.” එයින් කියවිණි.

මට සියල්ලම අමතක විය. මක්නිසාදයත් මගේ ප්‍රධානියා වූ වෛද්‍ය මෝගන් එක්ස්සේවියර් මින් පෙර කිසි දිනෙක මේ ආකාරයෙන් කතාතර නැත. මම මොහොතකින් ස්කයි ලැබ් වෙත ගියෙමි. මගේ පුදුමයට මෙන් ඒ තුළ ප්‍රධාන පෙලේ වෛද්‍යවරු හා ඉංජිනේරුවෝ රැසක් පැමිණ සිටියහ.

මා දුටු වෛද්‍ය මෝගන්, “ අයිසේ ට්‍රෙවෝ මේ බලනවකෝ. මාර ප්‍රශ්නයක්නේ” පැවසීය.

“මොකද වෙලා තියෙන්නේ?” යැයි අසමින් මම පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි.

“අර බලන්න පස්වෙනි මොනිටරය දිහා” පරීක්ෂණාගාරය භාර දෙවන සහාය වෛද්‍ය ටොම් ෆීලික්ස් පැවසීය.

“ඒ මොකක්ද ඒ?” මම ඇසුවෙමි.

“ඒක ගමයි ලෝක විනාශය” ටොම් පැවසීය.

“තේරෙන්න කියනවකෝ අයිසේ. ඒක උල්කාපාතයක්ද? ඇස්ටරොයිඩයක්ද?” මම ඇසීමි.

“ඒ මොකක්වත් නෙවෙයි. ඒක තමයි අපිට දකින්න ලැබෙන අවසාන ධූමකේතුව. දැනට අපි ඒක RY6179AW ලෙස නම් කලා. ඒක කෙලින්ම එන්නේ මෙහාට.”

“කොච්චර දුර තියෙනවද?”

“වැඩි දුරක් නෑ.  කොහොම නමුත් තව සතියකින් විතර ඒක අඟහරුත් පහුකරයි.” මෝගන් පැවසීය.

“කොහොමද විශ්වාස කරන්නේ ඒක එන්නේ මෙහෙටමයි කියලා. බ්‍රහස්පතිට කිට්ටුවෙනකොට ඒකේ ගමන්මඟ වෙන්න ඉඩ තියෙනවා.” මම කීවෙමි.

“ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක බ්‍රහස්පතිටත්, ගැනිමිඩ්ටත් අතරින් ගැනිම්ඩ් දෙසට ආතර් 34ක ආනතියක් සහිතව එයි කයලා.”

“අනිත් එක ඒකේ වේගය පැයට සැතපුම් 350000ක් විතර වෙනවා. ඒක නිසා බ්‍රහස්පතිගේ ගුරුත්වය එච්චර බලපාන එකක් නෑ.”

“අපි කොහොමද හරියටම දන්නේ පෘථිවිය දෙසට එනවා කියලා?” මාත් සමඟම එතැනට පැමිණි රොබොට්  ආයතනයේ ප්‍රධානියා ඇසීය.

“අපට මැගලන් චක්‍රාවාටයේ ඉදලා පණිවිඩයක් ආවා. ඒකෙ තියෙන්නේ මට තේරුන විදියට නම්, පෘථිවියේ තියෙන සියළුම කාබනික ජීවී ද්‍රව්‍ය ඉලක්ක කරගෙන එන ධූමකේතුවක් කියලා. ඒක හැදිලා තියෙන ද්‍රව්‍යය හරියට කාන්දමට යකඩ ඇ‍දෙන විදියට කාබනික ජීවී ද්‍රව්‍ය දෙසට ඇ‍දෙනවාලු. පණිවිඩේ තිබුණ සිංහල වචන ටික තේරුම්ගත්ත හැටි තමයි ඒ. සිංහල හරියට ඉගෙන නොගත්ත එකේ මෝඩකම” මෝගන් කනස්සලක් සහිත බැල්මකින් සිය කතාව නැවැත්වීය. ඉන්පසු ඔහු එම පණීවුඩය අප ඉදිරියේ වූ තිරය මතට ගෙන ආවේය.

“අහස් පරීක්ෂක වෙත,
රහසිගතව.

හෝකින් චතුරස්‍රයෙන් නිකුත් වූ වල්ගාතරුවක් පැයට කිලෝමීටර 350000ක වේගයෙන් අපේ ග්‍රහ ලොව පසුකලා. අපේ ගණනය කිරීම් නිවැරදිනම් ඒක ක්ෂීරපථයට ඇතුල් වී 3 වැනියා වෙත එනවා. පස්වැනියාගේ යුරො‍්පාට අපි දැන්වීමක් කළා. ඒක කෙලින්ම එන්නේ සජීවී ජීවමය කාබන් සොයාගෙන. හරියට යකඩ සොයාගෙන කාන්දම් එනවා වගේ. තවම ඒක හැදිලා තායෙන මූලද්‍රව්‍ය පිළිබඳව ස්ථීර නිගමනයකට එන්න බෑ. නමුත් එයට එතරම් තද නැති ඔබලා ළඟ ඇති හිම වැනි දුව්‍යයකින් සැදුන න්‍යෂ්ටියක් තිබෙන බව අපිට දැනගන්නට ලැබුණා. නමුත් එම මූලද්‍රව්‍යය කුමක්දැයි ස්ථීරවය පැවසිය නොහැකියි. අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න. යුරො‍පාගෙන් උදව් ගන්න. 

අවසානයි”

මැගලන්ගේ යාත්‍රාව.

මම පණිවිඩය කියවීම්. රැස්ව සිටි සියල්ලන්ගේම මුහුණු බැරෑරුම් විය.

“යුරෝපාගෙන් පණිවිඩයක්” ප්‍රධාන පරිගණක පාලක ස්ටෑන්ස්, මෝගන්ට දැන්වීය.

“ට්‍රෙවෝ පොඩ්ඩක් මේක බලනවද? මට මේ සිංහල හරියට තේරුම් ගන්න බෑ.” මම වහා පණිවිඩය දෙස බැලීමි.

“අහස් පරීක්ෂක වෙත,
රහසිගතව

මැගලන්ගේ යාත්‍රාවෙන් පණිවිඩය ලැබුණූ විදියට අපි අධිබලැති න්‍යෂ්ටික ටොර්පීඩෝවක් වදින්න යැව්වා. ඒක
සාර්ථක වුණොත් ඔබලා ආරක්ෂිතයි. මේක පිටතට දන්වන්න එපා. සාර්ථක වුණොත් දන්වන්න. කලබල නොවන්න.

අවසානයි.”
මුහුදු අශ්වයා

එය ඇසූ පිරිස සැනසුම් සුසුම් හෙළනු පෙනුණි. “මේක එවලා තියෙන්නේ අපේ යාළුවා. මයිකල් ජෝන්ස්.” මම කීවෙමි.

“ ආ... මුහුදු අශ්වයා. මිනිහගේ පවුලම ඉන්නේ යුරෝපා වලනේ. හරි හොඳ මනුස්සයා ඒ කාලේ....”

“ඇති ඇති මෝගන්. ඕක නවත්වනවකෝ. අපිට ඔක්කොම දන්නවනේ මිනිහා ගැන. තමුසේ හැමදාම ගිරවා වගේ කච කච ගානවා. පොඩ්ඩක් කට වහගන්නවකෝ.” සුපුරුදු පරිදි රිකී නෙල්සන් රණ්ඩුව පටන් ගත්තේය.

“අනේ මේ රිකී, තමුසෙට බෑ මගේ කට වහන්න.” මෝගන් ඔහු දෙසට හැරී රණ්ඩුවට පැටලෙන්නට සූදානම්ව
පැවසීය.

“ඇයි තමුසේ මට ගහන්නද?” රිකීද අතහරින පාටක් නත. තත්වය උග්‍ර අතට හැරෙන්නට විය. වෙලාවට ටොමී
ෆීලික්ස් දෙදෙනාව දෙපැත්තට කළේය.

“මොකද අයිසේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුසෙලාට වැදගත් විදියට ඉන්න බැරිද? තාම ප්‍රශ්න විසඳුනේ නැහැනේ. පොඩිවුන් වගේ ගහගන්නවා.” එවිට දෙදෙනා මඳක් පසු බැසීය.

“ප්ලීස් මෝගන් පොඩ්ඩක් බලන්න මේක සාර්ථකද කියලා සාර්ථක නොවුණොත් ඇති තරම් ගහගන්නවා. මොකද ඒ තමුසෙලාගේ අන්තිම ගහගැනිල්ලනේ.” නැවතත්  පිරිස පෙර පරිදිය.

“යුරෝපා අසාර්ථක වුනොත් මොකද කරන්නේ?” රිකී ඇසීය.

“අසාර්ථක වෙන්න විදියක් නැහැ. යුරෝපා වල තාක්‍ෂණය සෑහෙන්න දියුණුයි.” ටොමී ෆීලික්ස් පැවසීය.

“ඒක ඇත්ත අපේ අයයි චැංග්ස්ලයි එකතුවෙලා සෑහෙන්න ලොකු දේවල් යුරෝපා වල කරලා තියෙනවා. චැංග්ස්ලාගේ තාක්ෂණය නම් කියලා වැඩක් නෑ. ඒගොල්ලොත් එක්ක බලපුවහම අපි සෑහෙන්න පහලයි.” රිකී පැවසීය.

“හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. වල්ගාතරුව සජීවී ජීවමය කාබන් වලට ඇදෙනවා කිව්වා නේද? යුරෝපා අසාර්ථක වෙන්න පුළුවන්.” මෙච්චර වෙලා නිහඬව සිටි මෝගන් පැවසීය.

“ඇයි එහෙම කියන්නේ?” රිකී ඇසුවේය.

“මේකනේ රිකී.......”

“සර් තවත් පනිවිඩයක්” ස්ටෑන්ස්  පැවසීය.

“ට්‍රෙවෝ පොඩ්ඩක් බලනවද?” මෝගන් මට දැන්වූවේය.

“අපි ඉවරයි. ඔවුන් අසාර්ථක වෙලා.” මම කෑ ගැසුවෙමි.

“මම කිව්වේ නැද්ද? මම ඕක හිතුවා” මෝගන් කල්පනාකාරීව පැවසීය.

“තව මොනවද එයාලා  කියන්නේ?”

“මුහුදු අශ්වයා තමා පණිවිඩය එවලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට හිතාගන්න බැරිව ගියාලු. ටොර්පිඩෝ එක ටික ටික ධුමකේතුවට ලංවෙනකොට ධූමකේතුව ටික ටික ඒකෙන් ඉවතට අපගමනය වෙන්න පටන් අරන්. හරියට ඒක පදවගෙන යනවා වගේ. කොහොම හරි ඒක ටෝර්පිඩෝ එක මඟ ඇරලා අපේ දිශාවට එන්න පටන් අරන්. එයාලා කියනවා අපිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් කියන්න කියලා.”

“ඔය ටික මම හිතුවා” මෝගන් පැවසීය. ඒ සමඟම

“අයිසේ විල්ස් තමුසෙගේ අර පරීක්ෂණයට මොකද වුණේ?”

“මොන පරීක්ෂණයද?” විලිස් කර්නෝච් ඇසීය.

“අර තමුසේ කියපු ලෝහ සැකිල්ලේ වැඩේ?”

“ආ... ඒකද? ඒක කරලානම් ඉවරයි. ඒ වුණත් සාර්ථකද දන්නේ නැහැ.”

“එහෙමද?” මෝගන් බිම බලාගෙන කල්පනා කරන්නට විය.

“මෝගන් මොකද අපි මේකට කරන්නේ?” මම ඇසීමි.

“ඒක තමයි ට්‍රෙවෝ මටත් එක පාරටම මොකුත් කියන්න බැහැ. මම රෑට ජනාධිපතිත් එක්ක මේක ගැන කතා
කරන්නම්. ඊට පස්සේ අපි තීරණයකට බහිමු.” මෝගන් පැවසීය.

මම මගේ රථයෙන් නිවස බලා පැමිණියෙමි. “ලෝක විනාශය!” පෙර දින සැදෑවේ මට අහිමි වූ ලෝකය ගැන මගේ මතකයට නැගිණ. මම සිහින මැවූ සුන්දර ලෝකය පෙරදින විනාශ විය. දැන් සැබෑ ලොව විනාශ වන්නට සැරසෙයි.

මට පැමී ගැන සිහිවිය. කරන්නට කිසිවක් නැත. උපදෙස් ලබා ගැනීමට පැමීවත් නැත. පෙරදින සිදු වූ සිද්ධියෙන් පසු ඇය මගේ නිවස හැර දමා ගියාය. ඇය කොහේ සිටිනවාදැයි මම නොදනිමි. නමුත් කොහේ හෝ හොඳ තැනක සිටින බව නම් විශ්වාසය. මක්නිසාදයත් ඈ වැනි අතිශය සුරූපි දක්ෂ රොබෝවක් තබා ගැනීමට මේ නගරයේ කිසිවකු අකමැති නොවන බැවිනි.”

“මම විල්ස්ට කතා කළෙමි. “ විල්ස් අපි මොකද මේකට කරන්නේ? මටනම් මොකුත් හිතාගන්න බෑ.”

“මටත් එහෙමයි. මට දැන් රිකීත් කතා කළා. එයා නම් කියන්නේ යුරෝපා කළා වගේ මිසයිල ගහලා විනාශ කරමු කියලා.”

“ඒක හරි යයිද?” මම ඇසීමි.

“මට නම් විශ්වාස නෑ. අච්චර දියුණු යුරෝපා අසාර්ථක වුනානම් අපි ගැන වැඩි විශ්වාසයක් තියන්න බැහැනේ.” ඔහු පැවසීය.

රාත්‍රී 9.00ට පමණ අපි සියළු දෙනා නැවත පරීක්ෂණාගාරයේදී හමුවීමු. ඒ වන විට මෝගන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබුණි.

“මේකයි මහත්වරුනි තත්වය.” මෝගන් කතාව පටන් ගත්තේය.

“දැන් කොහෙන් නතර කරයිද දන්නේ නෑ”රිකී මගේ කනට කර මිමිණුුවේය. මම ඔහුව නිශ්ශබ්ද කර ඇහුම්කන් දුනෙමි.

“ජනාධිපතිතුමා කියන්නේ දැනට මෙහෙ තියෙන ප්‍රබලම ආයුධ පාවිච්චි කරලා විනාශ කරමු කියලා. අකමැත්තෙන් වුනත් අපට කරන්න තියෙන එකම දේ ඒකයි. නිකම්ම පරාජය පිළිගන්නවට වැඩිය අවසාන මොහොත තෙක් සටන් කරලා පරදින එක හොඳයි.” මෝගන් කීවේය.

ඔහුගේ මුහුණේ වූයේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකි.

“සර් අපිට මෙහෙම දෙයක් කරන්න බැරිද?” මම ඇසුවෙමි.

“ඔව් ට්‍රෙවෝ......”

“සර් මම එකඟයි මිසයිල යවන වැඩේට. ඒ වුණාට යුරෝපා අසාර්ථක වුණ නිසා අපිට ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. සියල්ලෝම හිස සලා මට එකඟ වූහ.

මගේ අදහස මේකයි. යුරෝපා කියපු විදියට ධූම කේතුව ඒ ගොල්ලෝ යවපු ටෝර්පිඩෝ එකෙන් විකර්ෂණය වුණා.

එහෙම වුනේ ඒකේ සජීවී ජීවමය කාබන් වලින් තැනුණ කිසිම දෙයක් තිබුණේ නැති නිසා කියලයි මම හිතන්නේ.”

“මම හිතුවෙත් ඒකම තමයි.” රිකී ද පැවසීය.

“මේ අයිසේ තමුසේ මාව අවුස්සන්නද හදන්නේ?” කෝපයෙන් ඔහු දෙස බැලූ මෝගන් ඇසුවේය. නමුත් මෙවෙලේ රණ්ඩුවක් ඇති නොවීය.

“ට්‍රෙවෝ තමුසේ කියනවා.” ටොමි ෆීලික්ස් පැවසීය. “මම කියන්නේ අපි සජීවි ජීවමය කාබන් සහිත මිසයිලයක් යැව්වොත් ඒක ධූමකේතව දෙසට ආකර්ෂණය වෙයි.”

“නමුත් අපි කොහොමද ඒක කරන්නේ. සජීවි ජීවමය කාබන් තවම කෘතිමව නිපදවලා නැහැනේ.” රිකී ඇසුවේය.

“ඒකට තමයි රිකී මිනිස්සු ඉන්නේ. මම කියන්නේ අපි මිනිහෙක් එක්ක මිසයිලයක් යවමු.”

“මමත් ඕක කියන්න තමයි හිටියේ.” මෝගන් පැවසීය.

“ඔන්න ඕක තමයි කියන්නේ උගත්තු නිතරම එකම විදියට හිතනවා කියලා.” මෝගන් රිකී දෙස අවඥාවෙන් බලා පැවසීය.

“අනේ නිකන් ඉන්නව මෝගන්.” රිකී මඳ කෝපයෙන් යුතුව පැවසීය.

“නමුත් ඔතනදී සෑහෙන්න ප්‍රශ්න ඇති වෙනවා.” ටොම් ෆීලික්ස් පටන් ගත්තේය.

“අපි හිතමු මිනිහෙක් යැව්වා කියලා. ධූමකේතුව මුණ ගැහුණා කියලත් හිතමුකෝ. නමුත් ඒ දෙකේ ඝට්ටනයෙන් ඇතිවන කම්පනයයි අධීක ත්වරණයයි මිනිසි සිරුරට දරාගන්න බැරිවෙයි. කොටින්ම අපේ ඇට සැකිල්ල විනාශ වෙන්න පුළුවන්.” ජීව වෛද්‍යවරයා පැවසීය.

“ඒකට තමයි හියුමන් රොබොට්ස්ලා ඉන්නේ” මෝගන් පැවසීය.

විල්ස් දැන් කියනවා තමුසෙලා කරපු පරීක්ෂණ ගැන.” මෝගන් විල්ස් දෙස බැලීය.

“හොඳයි. මම හිතන්නේ නැ මේක සාර්ථක වෙයි කියලා. නමුත් මම කියන්නම්” විල්ස් කථාව ඇරඹීය.

“අපේ ආයතනය මෙච්චරකල් කළේ මිනිස් අවයව වලින් රොබෝලාව දියුණු කරන එකනේ. නමුත් අපි සැලසුම් කලා මිනිහෙක් තුලට කෘතිම ඒ කියන්නේ ලෝහමය අවයව සවි කරලා මිනිහගේ සවිමත් බව වැඩි කරන්න. ඒ සඳහා අපි අපේ ආයතනය විසින්ම නිපදවපු මෙතෙක් කලක් ලෝකයට එළ නොදක්වපු ලෝහ වර්ගයකින් ඇට සැකිල්ලක් හැදුවා. ඊට අමතරව ඊටම සරිලන පේශි පද්ධතියකුත් තියෙනවා. මේක අපිට කාගේ හරි ශරීරයකට සාර්ථකව සවි කරන්න පුළුවන් වුණොත් එයා මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම පුද්ගලයා වගේ සියගුණයක් විතර ශක්තිමත් වෙනවා. ඔහුට ටොන් 1000ක ස්කන්ධයක් නිසා ඇතිවන පීඩනයකට වුනත් ඔරොත්තු දෙන්න පුවවන් කමක් ලැබෙයි.”

“පොඩ්ඩක් ඉන්නව විල්ස්.” රිකී මැද්දට පැන්නේය.

“දැන් අපි ඔය වැඩේ කළා කියමුකෝ. එතකොට ඒ මිනිහා හරි භයානක වෙනවනේ. මිනිහව මෙල්ලකරගන්න බැරිව යනවනේ.”

“ඒක තමයි අපි මේ පරීක්‍ෂණය තවම නොකලේ. ඒකට සුදුස පුද්ගලයෙක් තවම හමුවුනේ නෑ. අනික මේක බොහොම රහසිගතව කරන්න ඕනේ දෙයක්.”

“ඩොක්ට මෝගන්, මම කැමතියි. ඔබලා කැමතිනම් ඒ වැඩේට සහභාගි වෙන්න.” මම පැවසුවෙමි.

සියල්ලෝම ගල් වුණා වැනිය. මොහොතක නිශ්බ්දතාවයක් කාමැය පුරා පැවතිණි.

“විකාර කතා කරන්න එපා ට්‍රෙවෝ.” ටොම් ෆීලික්ස් නිහඩතාවය බිඳිමින් පැවසීය.

“විකාරයක් නෙවේ........” මම කියන්නට තැත් කළෙමි.

“කට වහගන්නවා අයිසේ, තමුසෙගේ මොළේ හොඳ නැතිද? තමුසේ අපිට ඉන්න හොඳම රොබෝ ඉංජිනේරුවා. පිස්සුනම් කතා කරන්න රපා.” රිකීද කෑ ගැසුවේය.

“මේකයි රිකී...” මම තැත් කළෙමි. “කට වහගෙන ඉන්නවද?” රිකී කෑගැසුවේය.

“විල්ස් ඔයා දන්නවනේ මං ගැන. ම‍ට මේ ලෝකේ කවුරුවත් නෑ. මට හිටිය එකම යාළුවත් මාව දාලා ගියා. මම මේ සාකච්ඡාවට ආවෙත් තීරණයක් අරගෙන. ඒක නිසා ඔයාලට මාව විශ්වාසයි නම් මම කැමතියි ඒ අභියෝගයට මුහුණ දෙන්න.” මම ස්ථීරසාරව පැවසීමි.

නැවතත් සියළු දෙනාම නිශ්ශබ්ද විය. අවසානයේ මෙතෙක් වෙලා නිශ්හබ්දව සිටි මෝගන් නැඟී සිටියේය.

“මේක සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්. ට්‍රෙවෝ කියන දේ නොකළොත් ලෝකේ විනාශ වේවි. ට්‍රෙවෝව එකට යවන එකත් අපරාධයක්.”

මේකයි ඩොක්ට මෝගන්, එක්කෙනෙක් නිසා ලෝකයක් විනාශ කරන්න එපා ඒක ඔක්කොටම වඩා අපරාධයක්.” මම පැවසුවෙමි.

“එක මට තේරෙනවා. මෙතන ඉන්න තරුණම පුද්ගලයා හැටියට ට්‍රෙවෝ තමයි ඒකට සුදුසු. තව දෙවක් ජනාධිපතිතුමා කිව්වා මේක ස්කයිලැබ් එකෙන් පිටතට යවන්න එපා කියලා.””ඒක තමයි ඩොක්ට මම කිව්වේ.” මෝගන් නිහඩ විය. මුළු කාමරයම සොහොන් පිටියක් මෙනි.

“හරි මම එකඟයි” මොගන් පැවසීය. “මොකක්ද අයසෙ කිව්වේ?” ටොම් ෆීලික්ස් කෑ ගැසුවේය.

“මම හිතුවා තමුසේ ඔය වගේ හොඳට කල්පනා කරලා මෝඩ උත්තරයක් දෙයි කියලා.”

“නෑ ටොම් ඒක තමයි වෙන්න ඕනේ.” සෑම දෙනාම පුදුමයට පත් කරමින් රිකීද පැවසීය.

“ මොනවා තමුසෙත්....” ටොම් ඔහු දෙසට පැන්නේය.

“ඔව් මහත්වරුනි, මට තේරුණා අපිට වෙන විකල්පයක් නැති බව. ඉතින් ට්‍රෙවෝ ඒ සඳහා යා යුතුමයි. නමුත් මේ මිසයිලය සෑදීමේ කටයුතු මට භාරදෙන මෙන් මම මගේ හොඳම මිත්‍රයාගෙන් ඉල්ලා සිටිනවා.” අප අතර මඳ සිනහවක් ඇති කරමින් රිකී, මොග්න් දෙසබලමින් පැවසීය.


මම විල්සගේ පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි. “ ට්‍රෙවෝ තමුසේ මගේ හොඳම යාළුවා නිසා කියන්නේ මේක අතහැරලා දානවා.  අපි එන විදිහක් බලමු.”

“ නෑ විල්ස් මේක තමයි හරි දේ. මම මේක කරන්නේ පැමී වෙනුවෙන්. මට කොහොමහරි එයාව ඕනේ. මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව ඉන්නකම් එයා මට කැමති වෙන්නේ නෑ. මේක සාර්ථක වුණොත්...” මම ඔහුගේ පිටට තට්ටු කරමින් පැවසීමී. අපි දෙදෙනා එකිනෙකා වැළඳ ගතිමු.

අවසාන වතාවට මම නිවසට ගියෙමි. මට පැවරී තිබූ වැඩ සියල්ල මම මගේ අසල්වැසියා වූ නිකොල්ට පවරා ටික කලකට ඇමෙරිකාවට යාමට සිදුවන බව පැවසීමි.

ඉන්පසුව අවසාන වතාවට මගේ මුළු පරීක්‍ෂනාගාරයත්, නිවසත් දෙස බැලූ මා මගේ ජීවිතයේ මට ඉතාම වටිනා සහ මගේ ජීවිතයටත් වඩා ආදරය කරන දේ රැගෙන හියුමන් රොබොට්ස් වෙත ගියෙමි.

මා එහි යන විට මෝගන්, රිකී, ටොම් ඇතුව ස්කයි ලැබ්හි මා දන්නා තවත් කිහිප දෙනෙක් මට සුභ පැතීමට පැමිණ සිටියෝය.

මා එතැනට ගිය විට මෝගන්, “නියමයි පුතා මට සන්තෝෂයි තමුසේ ගැන. බය වෙන්න එපා. තමුසෙට අපේ  ආශිර්වාදය තියෙනවා.” යැයි පවසමින් වැළඳ ගත්තේය.

ටොම්ද දෑසට කදුළු පුරවාගෙන මට සුභ පැතීය. අප අතර සිටි විහිළුකාරයා වූ රිකී තුලද වූයේ කණගාටුදායක බැල්මකි. නමුත් ඔහුගේ දිප්තිමත් දෑස් තුල බලාපොරොත්තුව පිළිබිඹු කළේය.

අයිසේ විල්ස්, තමුසේ හරියට වැඩේ කරනවා. තව ටිකකින් මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා අපේ එකෙක්.

කාටද ආඩම්බර” ඔහු පැවසීය.

මෙලොව මෙතෙක් කලක් සිදු නොවූ ඒ මහා අත්හදා බැලීම පැය 10 ½ක් තුළ දී සිදුවිය. මට සිහිය එන විට විල්ස් මා දෙස බලා සිටියේය. මට ඔහු හඳුනාගත හැකි විය. දින දෙකක් මම එලෙස සිටි අතර ක්‍රමයෙන් යථා තත්වයට පත් වුනෙමි. මා හට වෙනසක් නොදැනුන නමුත් මාද රොබෝවක් යන හැඟීම මා තුළ ඇති විය.

ධූමකේතුව සෑහෙන්න තරම් ලංවී තිබුණ අතර එහි සංයුතිය පිළිපඳව මැගලන් වළාවෙන් ගවේෂණය කර තිබුණි.

එයින් කියවුණේ එය ඔවුන්ගේ ලොවෙන් මෙතෙක් සොය නොගත් අති සංකීර්ණ ජීවමය දුව්‍යයක් බවත් තම සිරුර ඛණ්ඩනය කරමින් ප්‍රජනනය වන ඇමීබාවෙක් මෙන් නිරන්තරයෙන්ම එය සංවෘත පද්ධතියක් තුල වර්ධනය වන බවත්ය. ඒ විලස්ගෙන් මට ලැබුණූ තොරතුරුය.

“දෙවි පිහිටෙන් අපි සාර්ථක වුණා. තමුසෙනම් නියම දක්‍ෂයේ විල්ස්.”

මෝගන් විල්ස්ගේ පිටට තට්ටු කරමින් පැවසීය.

“කොහොමද ඉලන්දාරියා දැන් ඇඟට.” ඔහු මා වෙත හැරී ඇසීය.

“ශාරීරිකව නම් කිසිම ප්‍රශ්නයක් දැනෙන්නේ නෑ ඩොක්ටර්. හැබැයි මට හිතෙනවා මමත් දැන් හරියටම රොබොවක් වගේ කියලා.”

“අයිසේ ට්‍රෙවෝ මට විශ්වාස කරන්නත් බෑ. එදා අර කාමරේ ඇඳ උඩ හිටපු විදියට මම හිතුවා මෙලහකටත් නිවන් දැකලා ඇති කියලා.” රිකී සපුරුදු පරිදි පිස්සුවෙන් මෙන් පැමිණ මා වැළඳගෙන සුභ පැතුවේය.

ස්කයිලැබ් සේවය කරන සියළු දෙනාගේම සුභ පැතුම්, ආශිර්වාද, උපදෙස් මට ලැබුණි.

“මේ විල්ස් මම අර කියපු වැඩේ කළාද?” සියල්ලන්ම නික්ම ගිය පසු මම විල්ස්ගෙන් විමසුවෙමි.

“මමත් කට්ටිය යනකම් තමයි හිටියේ. පොඩ්ඩක් ඉන්න.” යැයි කියමින් ඔහු කාමරයෙන් ඉවතට ගියේය. මීට දින කීපයකට පෙර මා අතරින් වෙන්වී ගිය සුන්දරිය මගේ ඉදිරියේ සිටියාය. අපි දෙදෙනාම එකවර සිනාසුනෙමු.

“පැමී ඔයා කොහෙද ගියේ?”

මට සමාවෙන්න ට්‍රෙවෝ. එදා මම හදිසි වුණා වැඩියි. ඒක නෙමෙයි දැන් ඔයාට කොහොමද?” ඇය ඇසීය.

මම ඇගේ නෙළුම් මලක් බඳු වූ මුහුණ දෙස බලා සිටියෙමි.

“මම හොඳින් පැමී. ඔයාට කොහොමද?”

“මටත් වරදක් නෑ. ඇයි ට්‍රෙවෝ ඔයා මේ වගේ දෙයක් කර ගත්තේ? අපිට වෙන විසඳුමක් හොයන්න තිබුණනේ?”

“මේක තමයි පැමී මේකට තියෙන එකම විසඳුම. මේක සාර්ථක වුණොත් මම හරි වාසනාවන්තයෙක්.” ඇයට එය නිවැරදිව තේරුණිදැයි මම නොදනිමි.

“කොහොමද මෝගන් මගේ වැඩ? හිතාගෙන හිටියේ මමත් තමුසේ වගේ හිත හිතා ඉන්න මිනිහෙක් කියලද? මම හිතහිතා ඉන්නේ නෑ. හිතෙන දේ කරනවා තේරුණාද?

“හරි හරි පණ්ඩිතයා. බලමු තමුසෙගේ වැඩ.” යැය කියමින් මෝගන්, රිකීගේ නිපැයුම පරීක්‍ෂා ක‍ළේය.

“ඇත්තටම රිකී, තමුසේ මම හිතුවට වඩා දක්‍ෂයිනේ. ඒ වුණා‍ට මේක සාර්ථක වෙයිද?”

කිසි පුශ්නයක් නෑ මෝගන්. ඒ ගැන බය වෙන්න එපා.”

“දින කිහිපයක් අවසා‍නයේ මම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වුනෙමි. මට සුපුරුදු පරිදි ඇවිද යා හැකි විය. මගේ සිත තුල වූ මාද රොබෝවකි යන හැඟීම නොදැනුණි නම් මා දින කීපයක් නිදාගෙන සිට අවදි වූවෙකු මෙන් විය.

“ට්‍රෙවෝ දැන් මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ නියමු කුටීරය මේක ඇතුලේ තමුසෙට දවස් දෙකකට අවශ්‍ය සෑමදේම තියෙනවා. මේක කෙළින්ම ධූමකේතුවේ න්‍යෂ්ටියට වදින්න සලස්වනවා. මේකට පුළුවන් ඕනෑම ඝන දුව්‍යයන් විඳගෙන යන්න. එහෙම කරලා න්‍යෂ්ටියේ මැදට යානය ආවාට පස්සේ මෙන්න මේ කොළපාට ස්විචය දානවා. එතකොට මේ කොටස පුපුරණ දුව්‍ය වලින් වෙන් වෙනවා. වෙන්වෙලා තත්තපර 22දී මේ ස්විචය දාලා මිසයිලය පුපුරවන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට ඔයා න්‍යෂ්ටියෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ. ඒකට වෙන් වීමේ ස්විචය දාලා ත්තපර 2.5 දී මේ ලීවරය පහළ දාලා මේ ස්විච තුනම එකවර දා‍න්න ඕනේ. තේරුණාද? මේවා ස්වයංක්‍රීයව සිද්ධ කරන එක අනතුරුදායක වැඩියි. මුළු ගමනේදීම කරන්න තියෙන්නේ මෙච්චරයි. කමක් නැහැනේ?” රිකී ඔහු විසින් නිපද වූ යානය පිළිබඳ පැහැදිලි කළේය.

“ඒ වුනාට රිකී, අර මැගලන් වලින් කියපු විදියට ධූමකේතුවේ තියෙන්නේ මහ අමුතු ද්‍රව්‍යයක්නේ. ඒක ඇතලේදී මේක වැඩ කරයිද?”

“අපි වාසනාවන්ත නම් ඒක එහෙම වෙන්න ඕනේ. දන්නවද ධූමකේතුවේ තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා?” රිකී මගෙන් ඇසුවේය.

“දන්නවා නේද බාඳුරා මල් ගැන. එතකොට අර අප්‍රිනාවේ තියෙන මාංශ භක්ෂක ශාක ගැන..” මම හිස සැලීමි.

“ඒ ශාක වල ජීවී සත්ත්ව සෛල වලට ආකර්ෂණය වන ඒවා කෙරෙහි ඇල්මක් දක්වන දුව්‍යයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ.....”

“දෙවියනේ..... මට කියවිණි.

“මේක සාර්ථක නොවුණොත් දෙවියන්ටවත් බෑ අපිව බේරගන්න.  ඒ වඟකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ
ට්‍රෙවෝගේ අතේ.”

“ජනාධිපත්තුමෙනි, අපේ වැඩේ සාර්ථක වුණා. ඔබතුමාගේ තීරණය දැනගන්නයි කතා කළේ.” මොගන් ජනාධිපතිවරයා සමඟ සම්බන්ද වෙමින් පැවසීය.

‘බොහොම හොඳයි ඩොක්ටර් මෝගන්. මම ඊයේ ඇමෙරිකාවටයි, ජපානෙටයි මේක දැන්නුවා. ඒ ගොල්ලෝ කියන්නේ මේක සාර්ථක වෙයි කියලා. මේක සාර්ථක නොවුණොත් ඒ එක්කම හයිඩ්‍රජන් බෝම්බයක් යවන්න ප්ලෑන් කරලා තියෙනවා කිව්වා. එයාලට ඔයාලා ගැන සෑහෙන්න විශ්වාසයි. කොහොම වුනත් මේ ආරංචිය දැන් ටික ටික පැතිරිලා. මිනිස්සු කලබල වෙන්න පටන් අරන්.  දැන්  ධූමකේතුව පියවි ඇසට පේන නිසා මිනිස්සු මේ ගැන හොයනවා. පුළුවන් තරම් ඉක්මනින් අවශ්‍ය දේවල් කරන්න.”

*********************************************************************************

“පැමී,

ඔයා දන්නවනේ මම මේ ගමන යන්නේ මුළු ලෝකයම වෙනුවෙන්. ඇතතටම මමත් දැන් ඔයාගෙ වගේ මගේ ඇඟත් ලෝහ ජීවී පද්ධතියක්. ඒක නිසා දැන් මමයි ඔයයි සමානයි. ඔයා යන්ත්‍රයකින් උපන් ජීවියෙක්. මම ජීවයෙන් උපන් යන්ත්‍රයක්. එක විතරයි අපි අතර තියෙන වෙනස. මම හිතනවා මීට දවස් කීපයකට කලින් අපි අතරෙ ත්බ්ණු බැම්ම බිඳුණා කියලා. මම එදා කිව්වා වගේම ඔයාට තවමත් ආදරෙයි. ඔයාගේ සිත වෙනස් වුණානම් මම තවමත් බලාගෙන ඉන්නවා.”

මීට ඔයාට හැමදාමත් ආදරය කරන,
ට්‍රෙවෝ.

*********************************************************************************

මම මා මෙලොවින් පිටත් වීමට පැයකට පෙර පැමීට දෙන ලෙසටත් ඊට පෙර කුමන හේතුවකටවත් මෙය විවෘත නොකරන ලෙසත් දන්වා විලිස්ට මෙම ලිපිය දුන්නෙමි.

“යාළුවා තමුසේ නම් පුදුම මිනිහෙක්. තමුසේ තවමත් ඒ රොබෝවට ආදරෙයිද?” විල්ස් ලිපිය කියවූවාක් මෙන් මගෙන් ඇසීය.

“විල්ස් දන්නවනේ ප්‍රථම ප්‍රෙමය ගැන. අනිත් එක ආදරේ අන්ධයිලුනේ.....

“ආ ට්‍රෙවෝ තව එකක්....” යන්නට ගිය විල්ස් ආපසු හැරී ආවේය.

“අර ඔයා මට කිව්ව කෙල්ල කැතී, පණිවිඩයක් එවලා එයා ලබන සතියේ විවාහ වෙනවලු. යුරෝපා වල චිත්‍ර ශිල්පියෙක් එක්ක. ට්‍රෙවොටත් පුළුවන්නම් එන්න කියලා. උත්සවය තියෙන්නේ පෘථිවියේ තියෙන මනමාලයාගේ ගෙදරලු.” විල්ස් කට පාඩමින් කියාගෙන ගියේය.

“හ්ම්, ඒකත් එහෙමද? පව් අහිංසක කෙල්ල. අන්තිමේදී හරි ගියා. පුවවන්නම් පණිවිඩයක් යවනවා, මම මුළු හදින්ම සුභ පැතුවා කියලා මට එන්න වෙන්නේ නෑ කියලත් කියනවා.”

විල්ස් යන්නට ගියේය.

ඉතින් ප්‍රිය මිත්‍රය, දැන් ඔබට වැටහී ඇති, පසුගිය දින කිහිපය තුළ සිදුවූ සියල්ලම පිළිබඳව. නමුත් මින් ඉදිරියට සිදුවන දේ පිළිබඳව නම් මට විස්තර දැන්වීමට නොහැකිය. ඒ මක්නිසාදැයි ඔබට වැටහෙනු ඇත. කෙසේ නමුත් මා හෙට සාර්ථක වුවහොත් මම පසුව ඔබට විස්තර දන්වා එවන්නෙමි. නමුත් මා අසාර්ථක වුවහොත්...... ඔබලා ඉදිරියෙහි ඇති වසර 400ක අනාගතයකට මම සුභ පතමි.

මීට,
ට්‍රෙවෝ.





*********************************************************************************




ඉතිරි කොටස ලබන සතියේ දමන්නට පොරොන්දු නොවී පහතින් දමා කතාව ඉවර කර දමමි. ඔය ලබන සතිය කවදා නැවත ලබයි දැයි මටම ෂුවර් නැති බැවිනි ඒ... හෙහ් හෙහ් හෙහ්







හිතවත් මිත්‍රය,

          ඔබ මා නොහඳුනන බව මම දනිමි. මාද එසේමය. නමුත් මා මෙය ඔබට එවීමට අදහස් කළේ එය මා විසින් කල යුතුමැයි මගේ හදවත මට දන්වන බැවිනි. ඇත්තෙන්ම කෙනෙකුගේ එක්තරා අවසාන ඉල්ලීමක් මම මෙසේ දන්වමි.

එදා ට්‍රෙවෝ හා මා වෙන්ව ගිය මොහොත තෙක් සිදුවූ සියල්ල ඉහතදී ඔබ දැනගන්නට ඇත. ඉන්පසුව සිදුවූ සිද්ධි මාලාව පිළිබඳව කෙටියෙන් මම මෙසේ සටහන් තබමි.

“ඔක්කොම ලෑස්තියිනේ රිකී, යානය සර්ව සමුපූර්ණයිනේ. පුතා ට්‍රෙවෝ එහෙනම් ගිහින් එන්න.” මෝගන් පියෙකු මෙන් ඔහුට ආශිර්වාද කළේය. ටෙුවෝ ඔශුගේ දෙපා අල්ලා වැන්දේය.

සැබැවින්ම මහල්ලා හඬා වැටුණී. “මම දන්නව පුතා. ඔයා මේ ගමන යන්නේ ලෝකය වෙනුවෙනුයි, පැමී වෙනුවෙනුයි කියලා. කිසි දේකට බය වෙන්න එපා. ඔයා දිනනවා.” ඔවුන් දෙදෙනා අපමණ සෙනෙහසින් යුකුව වැළඳ ගත්තෝය.

අප අතර සිටි විහිළුකාරයා රිකී “පුතා මම තමුසෙට වඩා දෙතුන් ගුණයක් වයසයි. ඒ වුණාට තමුසේ මට වඩා ශ්‍රේෂ්ඨයි.” කියමින් ඔහුව වැළඳ ගත්තේය.

ට්‍රෙවෝ ඔහුට වැදීමට පහත් වුණ මුත්, “නෑ පුතා ඔයා ආපසු එන බව මට විශ්වාසයි ඒ නිසා මට වඳින්න එපා. කවදා හරි දවසක මැරෙන්න යනවනම් අන්න එදාට වඳිනවා.”

රිකීද මහත් සෙනෙහසකින් ආදරයකින් යුතුව ට්‍රෙවෝව වැළඳ ගනිමින් පැවසීය.

ටොම් ෆීලික්ස්ද “මම දැන් වුණත් කැමතියි තමුුසේ නතර වෙනවනම්. ඒ වුනත් මම තමුසෙට හදවතින්ම සුභ පතනවා. තමුසේ ආපහු එනවා.” යැයි කියමින් ඔහුට සමුදුන්නේය.

ස්කයිලැබ්හි සියළුම සේවකයන්ද, ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන ඇමති මණ්ඩලයේ කිහිප දෙනෙක්ද පැමිණ ඔහුගේ මෙම ඓතිහාසික ගමනට සුභ පැතුවෝය.

“පිටත්වීම තව මිනිත්තු 48කින්” පාලක මැදිරියේ හඩ නැඟීය.

ඔහු මා දෙස බැලුවේය. “කලබල වෙන්න එපා යාළුවා, එයා එයි. තව වෙලා තියනවනේ.”  “පිටත්වීම මිනිත්තු 40කින්”

“අන්න ඇය.” පැමීගේ සුදුපාට වාහනය ගේට්ටුව ඉදිරියේ නවත්වනු දුටු ට්‍රෙවෝ කෑගැසුවේය.

“එහෙනම් එයා ආවා....” ඔහු තුළ වූ සතුට ඔහුගේ දෑසින් එළියට පැන්නේය.

“දැන්නම් විල්ස් මට මළත් කමක් නෑ.” ඔශු පැවසීය.

“අනේ ට්‍රෙවෝ මට සමාවෙන්න. ඔයා මේ ගමන යන්න එපා ප්ලීස්.” අප ඉදිරියට ආ පැමී හඬා වැටුණාය.

මා විසින් නිපදවනු ලැබූ මේ අසාමාන්‍ය රොබෝව මිනිස් දුවක මෙන් කදුළු සලනු දුටු මා තලද ඇත වූයේ කව නොහැකි වේදනාවකි.

“කමක් නෑ පැමී, අපි ආයේ කවදාහරි හමුවේවි. මේ අසාර්ථක වුණොත් අපි සඳහටම වෙන්වේවි. මම ඔයාට ආදරෙයි.”

“අනේ ට්‍රෙවෝ.....” පැමී ට්‍රෙවෝව වැළඳ ගත්තාය. එතරම් සංවේදී අවස්ථාවක් මින් පෙර මමම අත් දැක නොතිබිණී.

“පිටත්වීමට විනාඩි 30යි”

“පැමී මම දැන් යන්න ඕනේ.” ඔහු පැමීගෙන් වෙන්වෙමින් පැවසීය.

අනේ ප්ලීස් ට්‍රෙවෝ ඔයා නවතින්න. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. අනේ විල්ස් මෙයාට කියන්න.”

ඇය ඒ වදන් පැවසූ ආකාරය, මට ජීවිතයටම අමතක නොවනු ඇත.

“දුක් වෙන්න එපා පැමී, එයා ආපහු එනවනේ....” මට හැකි පමණ මා ඇයව සනසන්නට උත්සහ කළෙමි.

අවසන් වතාවට ඇය වැළඳගත් ට්‍රෙවෝ ඉන්පසු ඈ දෙස නොබලා යානය වෙත ගියේය.

“පැමී අපි යමු කන්ට්‍රෝල් රූම් එකට. අපිට එතනදී ඔක්කොම බලාගන්න පුළුවන්.” ඇය මට හේත්තු වී මා සමඟ පාලන මැදිරිය වෙත ගියාය.

“බය වෙන්න එපා පැමී, මට විශ්වාසයි එයා ආපහු එනවා....”

“පිටත් වීමට තව මිනිත්තු 15යි.” ශබ්ද විකාශකය හඬ නැගීය.

ට්‍රෙවෝ යානය තුලට ඇතුල් විය. සියල්ලෝම නිසි තැන්වල සිට මේ අද්විතීය අවස්ථාවට පූදානම් වූහ.

ට්‍රෙවෝ යානය තුළ සියල්ල සූදානම් බව දැන්වීය. “මතකනේ පුතා, වම් පැත්තේ ලීවරය පහළට දාලා ස්විඡ 3ම එකවර... කිසි දේකට බය වෙන්න එපා. ඔක්කොම හරි යනවා. ඔයා එනකම් අපි, එතකොට මේ.... මෙයා.... අපි ඔක්කොම බලාගෙන ඉන්නවා.” රිකී සිය පණිවුඩය යැවීය.

“පිටත් වන්නට තව මින්ත්තු 2යි.”

“පුතා අපි ඔක්කොම ඔයාට සුභ පතනවා. නිතරම තමාව විශ්වාස කරන්න. ඔයාට මේ දේ කරන්න පුවවන්.” මෝගන්ද සිය අවසාන පණිවිඩය යැවීය.

“පිටත්වීමට තව තත්පර 50... 45.... 40....”

“ට්‍රෙවෝ මම ඔයාට ආදරෙයි.” 

පාලක මැදිරියේ සියල්ලන් තුළම දයාන්විත හැඟීමක් ඇති කරමින් අසල වූ මයික්‍රෝෆෝනයට පැමී කෑ ගැසුවේය.

මිසයිලය දුම් දමමින් අහස් තලය දෙබෑ කරමින් ඇදී ගියේය. සියල්ලොම ඇසිපිය නොහෙලා බලා සිටියෝය. පැය 8ක් යන තුරුත් කිසිවක් සිදු නොවුණි. ට්‍රෙවෝ සුපුරුදු පරිදි අප හා කථා කරමින් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් වෙනසක් නොමැතිව ගමන් කළේය.

අවසානයේ ඒ තීරණාත්මක මොහොත එළඹිණි. මුළු ලොවෙහිමත් යුරොපාහිත් සහ මැගලන් වළාවෙහිත් දෑස් යොමු වී තිබුණේ මේ මොහොත දෙසටය. මෙවර වල්ගාතරුවෙන් පෙර මෙන් විකර්ෂණයක් පෙන්නුම් නොකෙරුණි. එය අපගේ සාර්ථකත්වය පිළිබඳ පෙන් වූ මුල්ම සලකුණ විය.

ක්‍රමයෙන් යානය වල්ගා තරුවට ළංවනු පෙනුණි. අප සියළු දෙනාගේම හදවත් මොහොතකට නතර වූ ඒ මොහොත උදා විය. වල්ගාතරුවේ න්‍යෂ්ටියත් ට්‍රෙවෝ සහිත මිසයිලයේ ඝට්ටනයත් සිදු විය. යානය මඳක් සෙලවී ගිය බවක් පෙනුන නමුත් ට්‍රෙවෝටනම් එයින් එතරම් බලපෑමක් සිදුවුණ බවක් නොපෙනුණි.

“හරි පුතා නියමයි. දැන් ඉතිරි ටික. තව ටිකයි. තව ටිකයි.... හරි දැන් කොලපාට ස්ව්ච් එක.” ට්‍රෙවෝට නොඇසෙන බව දැන දැනත් රිකී මැදිරිය තුල සිට මොරදුන්නේය.

මිසයිලය න්‍යෂ්ටියේ මද්‍යයටම පැමිණියේය. ට්‍රෙවෝ බොත්තම් කිහිපයක් ස්පර්ශ කරනු දක්නට ලැබුණි. යානය තුළ වූ දර්ශන පැනලයේ යමක් සටහන් වනු පෙනුණි.

“අපි සාර්ථකයි” 

ඔහු මෙතෙක් සඟවාගෙන සිටි ඔහුට මෙලොව ඇති වඩාත්ම වැදගත් දෙය ලෙස වරක් මට පෙන්වූ පැමීගේ ඡායාරූපයත් ගෙන එය පපුවට තබා තද කර ගනිමින් අප දෙස හැරී අතවැනුවේය. එය ඔහුගේ අවසාන සමුගැනීම විය.

“අනේ ට්‍රෙවෝ................”

මිනිස් වර්ගයා අනතුරින් මුදවා ගත් ප්‍රේමයෙන් උමතුව සිටි P.I.S.S.U ට්‍රෙවෝ Y.A.K.E.K නම්වූ ඒ අවාසනාවන්ත සයිබොග්වරයා..... ඔබගේ මිතුරා...... වල්ගාතරුවත් සමඟම අපෙන් සඳහටම වෙන් වී ගියේය.

අවාසනාවන්ත ශෝකලාපී විද්‍යා ප්‍රබන්ධයක් බඳු වූ, එහෙත් අපට වර්තමාන යථාර්ථයක් වූ, කෙදිනක හෝ ඔබලාට යථාර්ථයක් වන්නාවූ මේ කතාවේ අවසානයත් සමඟ මම ඔබෙන් සමුගනිමි. මින් මතුවට මටත් ඔබටත් ට්‍රෙවෝ නමින් මිතුරෙකු නොසිටිනු ඇත.

මීට, 
O. විල්ස්. K





ප.ලි

නැවත කියවන විට දැනුනු පුංචි අඩුපාඩු කිහිපයක් පමණක් වෙනස් කර ඇත. කතාවේ යමක් ගුග්ල් කර සොයා බලන විට මේ කතාව මා නොදැනුවත්ව ෆේස්බුක් දැමු ලිංකුවක් ද හමුවිය හෙහ් හෙහ්.. තවත් පිස්සන් සිටින බව දැක සතුටු සිතිණි.


ෆේස්බුක් ලිංකුව




20 comments:

  1. වොව් වොව්. නියමයි පුතා. අම්මප ලැජ්ජා නැද්ද බං සුද්දන්ට වදින්න. හැක්.

    නියමයි බං. Ex machina එකෙත් රොබො ලව් එකක් තියෙන පිලුමක්. පෝන් එකෙන් නිසා වැඩිය කොටන්න අමාරුයි බං. Excellent in old days..

    ReplyDelete
    Replies
    1. මම ඒ දවස් වල හැදිච්ච ළමයනේ බං.. එකයි සුද්ද සුද්ද කියල බලන්නේ නැතුව වැන්දේ හෙහ් හෙහ්... විලි ලැජ්ජාවයි දැන් කියවද්දී.... හෙහ් හෙහ්

      Ex machina මම බැලුවා. ඒ රොබෝ කෙල්ල සිරා. එයාගේ තව ෆිල්ම් එකක් තියෙනවා Danish Girl. බලපන්. වෙනස් විදියේ සිරා කතාවක්

      Delete
    2. I dont like the genre falls on danish girl. I hav watched it.

      Delete
    3. මම නම් ඒ වගේ කතා වලට කැමතියි. මේ දවස් වල ඩේටා අතිරික්තයක් තියෙනවා හොඳ ෆිල්ම් ටිකක් කියපන් බලන්න

      ලින්ක් ටික දාපන් බා ගන්නම

      Delete
    4. මම ගොඩක් වෙලාවට ඕනෙම ෆිල්ම් එකක් බලනවා. හොරර් ඇර. මේ දවස් වල බයෝග්‍රෆි වලට තමා වඩා කැමති..

      Delete
    5. මාත් හෙන ආසයි බයෝග්‍රැෆි වලට. මං වැඩිපුරම බලන්නේ based on movies.

      2016 ආපු හොද ෆිල්ම් දෙක තුනක් තියෙනවා තාමත් මතක. Bridge of spies, hidden figures, spotlight. 2017 දී the post, american made

      Delete
  2. //ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක බ්‍රහස්පතිටත්, ගැනිමිඩ්ටත් අතරින් ගැනිම්ඩ් දෙසට ආතර් 34ක ආනතියක් සහිතව එයි කියලා// මේ ටික කියෝනකොට 2001 තමයි මතක් උනේ.

    අගේ ඇති කතාවක්නෙ මෙයා මේක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔය කාලේදී ආතර් සී ක්ලාක් ගේ පොත් කට පාඩම් වෙලා තිබුනේ. ඕකේ ඔය තියෙන යුරෝපා වල ඉන්න චැංග්ස්ල කියල මම ලිව්වේ ඔය 2010 පොතේද කොහෙද තියෙන යුරෝපා වල දී හම්බ වෙන ජීවීන් ගැන. ඒ පොතේ තියෙනවා ඒ ජීවින් ව හොයා ගන්න චීන විද්‍යාඥයාගේ නම ඒ ජිවින්ට දාන්න කියල කියන සීන් එකක්... හෙහ් හෙහ්

      මේකට වඩා මම කැමති කතා ටිකක් තියෙනවා. බලමු ඔය නිකන් ඉන්න වෙලාවට ටයිප් කරලා දාන්න..




      Delete
  3. මට කතාව තේරුනා මදි.. දෙතුන් පාරක්වත් කියවන්න වෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. A robotic engineer loves a robot who created but he has to save the planet from unkown treat. For the love matters just jump to prev. Post

      Delete
    2. සෙන්නා, මුල් කොටස කියෙව්වා නම් තේරුම් ගන්න අමාරු දෙයක් නෑ.. සරල ලව් ස්ටොරියක් තියෙන්නේ.. සුපර් හීරෝ ටයිප් ලෝක විනාශ සිද්දියකුත් එක්ක.. හෙහ් හෙහ්

      Delete
    3. අර සවුදියෙන් සිටිසන් දීපු රෝබෝ නංගිගෙ ඉන්ටර්වීව් එකක් බැලුවා ළඟදි.. අනාගතේදී මිනිස්සු රෝබෝලා එක්ක යුද්ධ කරණ විදිහ ගැන හිතිලා ඇඟ හීතලා වෙලා යනකොට පැතුම්වත් මතක් වුනා..

      අරූ මොනාද කියවන්නේ.. මට මෙලෝ මළදානයක් තේරෙන්නෑ... :-)

      Delete
  4. හම්මට සිරි ඒක........

    ReplyDelete
  5. මේක අවු 14ද කොහෙද පරණයි කිව්ව නේද?
    සෑහෙන හොඳ කොලිටි එකකින් ලියල තියන නිසා දැන් ලිව්වොත් හොඳටම තියෙයිනෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රා.ජේ, අවුරුදු 17කට කලින් ලිව්වේ. හෙහ් හෙහ්
      දැන් ඔහොම ලියන්න හිතෙන්නේ නැති එකයි අවුල.

      Delete
  6. නියමයි.. ට්‍රෙවෝ.. අපේ අනාගත රණවිරුවාට ජය වේවා!

    ReplyDelete
  7. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete