ගැහැනුන් ගේ වයස ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සලකන්නේ මන්දැයි මම නොදනිමි. නමුත් ඉතින් ඔය වයස හැංගිම තේරුමක් නැති වැඩක් බව ඒ පාර්ශවයේ අයට තේරුම් කර දීමටද නොහැක. කොච්චර හැංගුවත් කිරි ගහට ඇන්නා වගේ ඔය ගැහැණු ළමයින් ගේ වයස දැන ගැනීමේ අත් බෙහෙතක් ඇත. කාගේත් දැන ගැනීම පිණිස එය මෙසේය. ඔබ කැමති හෝ පොඩි හරි මෙව්වා එකක් ඇති ගැහැණු ළමයෙකුගේ වයස දැන ගැනීමට ඇති ඉතාම සරල ක්‍රමයක් නම් ඒ තැනැත්තියගේ ඊමේල් ඇඩ්රස් එක ඉල්ලා සිටීමයි. කිසි පැකිලීමකින් තොරව එය ඔවුන් ලබා දෙනු ඇත. බොහෝ විට ඊමේල් ඇඩ්රස් එකේ අවසානයට ඇත්තේ ඇගේ උපන් අවුරුද්ද වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මම මෙය බොහෝ තැන් වල පරික්ෂා කර ඇත. උදාහරණ ලෙස අපේ අක්කා සහ නංගි යන දෙපලම ලැජ්ජා බයක් නැතිව උන්ගේ උපන් අවුරුද්ද අගට ඇති ඊමේල් ඇඩ්රස් පාවිච්චි කරති. මම මේ සිටින රටේද එවැනි ඇඩ්රස් දැක ඇත. ඉතින් ඔය හංගන වයස ඔන්න ඔය ආකාරයෙන් දැන ගැනීමට හැකිය.
අපේ ආච්චිගේ වයස හරියටම දන්නා කෙනෙක් නැත. ආච්චි ඊමේල් පාවිච්චි නොකරන නිසා මගේ අත්බෙහෙතද වැඩක් නැත. ඇයගේ උපතට හෝ විවාහයට අදාළ කිසිදු ලියවිල්ලක් ඇය සතුව නැත. ජාතික හැඳුනුම්පතක් ඇත්දැයි දන්නෙත් නැත. දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇයගේ නෑ පරපුරෙන් ඇගේ වයස හරියටම දන්නා කිසිවෙකුත් නැත.
ඇයගේ වයස අපි අනුමාන කරන්නේ අපේ ලොකුම ලොකු අම්මාගේ දැන් වයස අනුවය. අපේ ලොකුම ලොකු අම්මාට දැන් වයස 72කි. අනුමාන වශයෙන් අපේ ආච්චිට වයස විස්සේදී සිය පලමු දරුවා ලැබුනේයැයි සිතුවිට මේ වන විට ඇගේ වයස 92ක් විය යුතුය. ආච්චිට ඇගේ වයස ගැන හැඟීමක් නැත. ඉතින් ආච්චි වෙනුවෙන් ඇගේ වයස සඳහන් කරන අප ඇගේ වයස 90ට වඩා වැඩි බව අසන අයට පැහැදිලි කර දෙයි.
ආච්චිගේ වයස සහ ඇගේ ජීවිතය පිළිබඳව සිතා බැලීමට සිත්වූයේ ගිය සතියේ සිදුවූ ඇගේ දෙවෙනි දියණියගේ හදිසි අභාවය වෙනුවෙන් ලංකාවට ගොස් සිටින විට ඔහේ බලාගෙන සිටින ආච්චි දෙස බලා සිටි මොහොතකය.
ආච්චිගේ ජිවිත කතාව මම හරියටම දන්නේ නැත. නමුත් ඇගේ දෙමව්පියන්ද, ස්වාමියාද, මම දන්නා එක සොහොයුරෙක් ද, මම නොදන්නා තවත් බොහෝ නෑදෑ පිරිස් ද ඇයව හැර ගොස් බොහෝ කල්ය. මිට වසර 15කට පමණ පෙර සිදුවූ මගේ පියාගේ අභාවය ඇයට ප්‍රථම වරට ඇගේ බෑණනුවන් කෙනෙක් අහිමි කල අතර, වසර 4කට පමණ පෙර එක් මුනුපුරකුගේ සැමියෙකුද අහිමි කළේය. අවුරුදු 70ක් පමණ ආයු වළදා ඇගේ දෙවෙනි දියණිය හෙවත් අපේ ලොකු අම්මා ගිය සතියේ ඇයව හැර ගියේය.
ලොකු අම්මාගේ අභාවය අප සැම තුල කම්පනයක් ඇති කලේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස එය සිදුවූ නිසාවෙනි. සිය පවුලට ඉතා ලැදි කරුණාවන්ත සහ මෘදු ගති ගුණ තිබු ලොකු අම්මා ගැන මගේ මතකය බොහෝ දුරට දිව යයි. මම කුඩා කල අපේ අම්මා සහ තාත්තා නිවසින් බැහැරව සිටින විට මාව නවතා තබන්නේ ලොකු අම්මාගේ නිවසේය. මට එහි සෙල්ලම් කිරීමට සිටියේ මගේම නැගණියයි. ලොකු අම්මාගේ දරුවන් මට වඩා වයසින්ගේ වැඩි මහලුය. නංගිගේ සහ මගේ වයස් පරතරය අවුරුදු 2කි. 80 ගණන් වල සිදුවූ වැඩ වර්ජනයට ලක්ව රැකියාව අහිමි වී සිටි අපේ අම්මාට නංගි හම්බවුනු විටම නැවත ලැබුණු රැකියාවට යාමට උදව්වක් ලෙස ලොකු අම්මා නංගිව බලාගැනීමට බාරගෙන ඇති අතර ටිකෙන් ටික නංගි ලොකු අම්මාගේම දරුවෙක් ලෙස ලොකු අම්මා සමග හැදී වැඩුනේය. අපේ නංගි ලොකු අම්මාට අම්මා යනුවෙන් ද අපේ අම්මාට සුදු අම්මා ලෙසද අද වන තෙක් ආමන්ත්‍රණය කරයි. නංගි තාත්තා ලෙස කතා කලේ ලොකු තාත්තාටය. අපේ තාත්තාට ඇය ඇමතුවේ බාප්පා ලෙසය. නමුත් කිසිදිනෙක අපේ අම්මාට හෝ තාත්තාටවත් ලොකු අම්මාට හෝ ලොකු තාත්තාටවත් ඒ පිළිබඳව ගැටලුවක් නොතිබිණි. පවුලේ වෙන කිසිවෙකුට හෝ ගැටලුවක් නොවුනි. අපේ නංගි ඇත්ත නෑ කම් දැන ගත්තේ බොහෝ වැඩි මහලු වූ විටය. ඇයටද එය ඒ හැටි ගානක් නොවුනි.
එසේ වීමට හේතුව ලොකු තාත්තා සහ අපේ තාත්තා යනු එක පවුලේ සහෝදරයින් වීමය. ලොකු අම්මා සහ අම්මා විවාහ වී ඇත්තේ එසේය. කොළඹ වරායේ කම්කරුවෙකු ලෙස රස්සාවට බැඳුනු ලොකු තාත්තාට කපුවෙක් මාර්ගයෙන් සිදු කෙරුණු මගුල් යෝජනාවකින් ලොකු අම්මා විවාහ කරගෙන ඇති අතර අයියාට සපෝර්ට් එකට ලොකු අම්මලාගේ ගෙදර ගිය අපේ තාත්තා අම්මාට ලයින් එක දමා වැඩේ ගොඩ දාගෙන ඇත. ඉතින් අපේ පවුල් දෙක දෙකක් නොව එකකි.
ලොකු අම්මා ගැන ලියා තැබීමට බොහෝ දේ නැතත් ඇය තුල තිබු මෘදු ගතිය සහ කරුණාවන්ත කම ගැන බොහෝ දේ ලිවිය හැකිය. නිවසට වී සිය සැමියාට සහ දරුවන්ට සැලකීම පමණක් ඇයගේ ජීවිතය විය. එවන් ජිවිතයක් ගෙවීම ගැන වෙනම ලිවිය යුතුය. මට හිතෙන්නේ ඇගේ ජීවිතය සාර්ථක ලෙස ඇය ගෙවා නිම කර දැමු බවයි. සංකීර්ණ දේ පසු පස හඹා ගොස් හෙම්බත්වනවාට වඩා සරලව සැමියා සහ දරුවන් සමග අවසාන මොහොත තෙක් ඇය ඇයගේ ජීවිතය ගෙවා දැමුවාය. සිය පවුල වෙනුවෙන් යැයි කියමින් අපි බොහෝ දෙනා ඉබා ගාතේ දුවමින් වඩා හොඳ ජිවිතයක් වෙනුවෙන් අරගල කරයි. ඒ අරගල අස්සේ අපට අමතක වී යන්නේ ඒ සිය පවුල සමග ජිවත් වීමටයි. අවසානයේ අරගලය අතරතුර අප පවුල හැර යාම හෝ පවුල අප හැර යාම සිදුවේ. අරගලය කලේ කුමකටදැයි අපට සිහි වන්නේ එසේ හැර යන අවසාන මොහොතේදීය. ඒ අතින් ලොකු අම්මා සිය ජීවිතය විඳ සැනසිමට පත්වන්නට ඇත.
ලොකු අම්මාගේ ජීවිතය එසේ නිමාවූ පසුවත් ආච්චි ගේ ජීවිතය ඔහේ ගලාගෙන යයි. ඇසීම සහ පෙනීම මද වශයෙන් අඩුවී තිබීම හැර වෙන අවුලක් නැති ආච්චි හොඳින් හැරමිටි වාරුවෙන් ඇවිදියි. දිනපතා අවම වශයෙන් කිලෝමීටර් 2ක් වත් සිය දූ දරුවන්ගේ නිවෙස් අතර ඇය ඇවිදියි. ඒ වාසනාව අයට ලැබී ඇත්තේ ඇගේ දරුවන් එකම කිට්ටුව පදිංචිව සිටින බැවිනි. ඒ හැම නිවසේම සිදුවන දේ ගැන ඇය තවමත් අවධානයෙනි. නමුත් කාටවත් වදයක් වන විදියට හැසිරී නැති අතර, කිසිවෙකුත් ඇයව වදයක් ලෙස නොසලකයි. කියන දෙයක් ටිකක් සද්දෙට කීමට සිදු වීම හැර වෙන කිසි අවුලක් කාටවත් නැත.
අදටත් ඇගේ පවුලේ සියලු දෙනා එකාමෙන් එකතු වේ. දරුවන් මුනුපුරු මිනිපිරියන් සහ ඔවුන්ගේ දරු දැරියන් අතරත් සාමය සහ සමාදානය එකසේ පිහිටන සේ ජිවත් වීමට ඒ සියලු දෙනා හුරුපුරුදු වී ඇත. එය ආච්චි විසින් බලෙන් සිදු කල දෙයක් නොව කිසිවක් නොකර ඔහේ බලාසිටීමෙන් දුන් ආදර්ශය නිසා සිදුවූවක් බව මට සිතෙයි. හැමදේම සොයා බලා දන්න තරමින් උපදෙසක් දෙන ඇය ඒ දේ වුනාදැයි නැවත සොයා බලන්නේ නැත. සිදු කිරීම හෝ නොකිරීම අපට බාර දී ඇය ඔහේ බලා හිඳියි. ලොකු අම්මා අසනීප වී රෝහලේ අසාධ්‍ය වී සිටින විට අපේ අම්මා සිටියේ නංගි සමග ඕස්ට්‍රේලියාවේ ඇගේ කුඩා දියණිය සමගය. අක්කා අම්මා සමග දුරකතනයෙන් කතා කරනු අසා සිටි ආච්චි අම්මාට පවසා ඇත්තේ "උඹ එන්නේ නැද්ද ජේසංව බලන්න" (ජේසං යනු අපේ ලොකු අම්මාගේ නික් නේම් එකය). කෝල් එක දී වරුවක් යන්නට පෙර තනියෙන් ට්‍රාන්සිට් ගෙන රට යන්නට බයේ සිටි අපේ අම්මා නැවත ලංකාවට එන්නට ගුවන්ගත වී හමාරය.
අපේ පවුල වැඩිහිටියන්ට ගරු කරන පවුලකට වඩා වැඩිහිටියන් සමග යාළුවන් සේ සිටින පවුලකි. කට්ටිය සෙට් වූ විට මඩක් නොවැදී සිටීමට හැකි කිසිවෙක් නැත. කොටින් ම ආච්චිටත් එයින් ගැලවීමක් නැත. ගහන මඩක් ඇහුනත් නැතත් ඔන්න ඔහේ සිනාසී සිටීම ඇගේ සිරිතයි. මඩ ගැසීමත් ඇගේ ජානවලින්ම අපට ලැබෙන්නට ඇත.
ආච්චිගේ ජීවිතය ගැන සිතා බලන විට දැනෙන්නේ මහා පුදුමයකි. අවුරුදු 90ක් තිස්සේ දහසක් හැලහැප්පීලි වලට මුහුණ දීමට ඇගේ සිත කෙසේ සවිමත් වුවාදැයි විටෙක සිතා ගත නොහැක. අපි අද සොයන සැප වර්ග කිසිවක් විඳ නොමැති ඇය, අපිට සිහිනෙන්වත් සිතාගත නොහැකි තරම් දුක් ගොඩකට මුහුණ දී ඇත. අප කොතරම් ලාමකදැයි සිතෙන්නේ මෙවැනි ජිවිත ගැන මදක් සිතා බලන විටය.
ආච්චිගේ ජිවිත කතාව අසාගෙන ලියා තැබීම වටී. මේ කලබල ඉවර වූ විට එය කල යුතුය. වයසක මිනිසුන් සමග කතා බහ කිරීම මම ඉතා ප්‍රිය කරන වැඩකි. මල ගෙවල් වල නිදි මැරීම අපුරු වැඩක් වන්නේ එවැනි මිනිසුන්ගේ ජිවිත කතා එලියට ගන්නට නියම අවස්තාවක් ලබා දෙන බැවිනි. මෙවරද අපේම තවත් දුරස්ථ නෑයෙකුගේ තරුණ කාලයේ වීරක්‍රියා අසා සිටීමේ අවස්තාවක් ලැබුණි.
අපිට අපේ ජිවිත ගැන නැවත සිතා බැලීමට අවස්තාවක් මෙවැනි වැඩි මහලු අයගේ ජිවිත දෙස හැරි බලන විට ලැබේ. මහා මිනිසුන්, දක්ෂයින් සහ හෙන චරිත ලෙස සිතා සිටින අපි කොතරම් මල් මල් ටින් ටින් දැයි සිතෙන්නේ ජීවිතය ජිවත් වූ මිනිසුන් ගේ ජීවිතය ගැන සොයා බලන විටය.
මිට වසර 3-4කට පමණ පෙර ගත් අපේ ආච්චිගේ ෆොටෝ එකක්