මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. අවංකවම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ප්ලෑන් කරලා දේවල් ලියල නෑ.. ලියන්න අදහස් සමහර විට ඔය යන එන වෙලාවට කල්පනා කරලා බලනවා. ඒ ඇරුනම යම් අරමුණක්, නැත්නම් බලාපොරොත්තුවක් තියාගෙන මේකේ කිසිම දෙයක් මම ලියල නෑ.
මම කලින් ඔය ඇනිවසරි පෝස්ට් වලදී කියල තියෙන විදියට සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය තුල බාවිතාව අරඹා ටික කාලෙකින් මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ දවස් වල සිංහල අකුරින් කොම්පියුටර් එකේ මොනවා හරි ලියන්න ආපු ආසාව නිසා මේක ලියන්න පටන් ගත්තේ. මොකද ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන , වර්ඩ් වල වගේ කි-පෑඩ් එකක් ඕපන් කරගෙන අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා තමයි මම ඊට කලින් සිංහල ලිව්වේ. හැබැයි මේ යුනිකේත නිසා එහෙම ලියන්නේ නැතුව අපි කී-බෝඩ් එකේ ඉංග්රීසි ලියන විදියට ඉතා පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් වීම ඒ දවස් වල මට නම් ඇත්තටම හෙන සිරා දෙයක් විදියට පෙනුනේ. ඒ ආසාවට ඔහේ ලියපු එකයි කලේ.
මම සිංහල යුනිකෝඩ් සමුහය එක්ක එකතු වෙච්ච හැටි මම කලින් පෝස්ට් වල ලිව්වා. ගොඩක් අය මේ සිංහල යුනිකේත මේ අද තියෙන තත්වයට ගේන්න මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත අය හිටියා. දැන් වගේම නැති වුනත් බ්ලොග් වල හොඳ රසවත් කතා බහ තිබුන.
ඉතින් බ්ලොග් ලියන එක මට නම් මෙච්චර කාලෙකට මගේ පුද්ගලික ජිවිතේටවත්, රැකියාවටවත් අමුතු බාදාවක් හෝ වාසියක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක දවසේ පැය 24න් පැය 12ක් විතර පරිගණකය ඉස්සරහ ගත කරන රස්සාවක් කරන අතරේ සිංහලෙන් මොනවා හරි ලියන්න හිතුනහම ඔහේ ලියන්න පාවිච්චි කරනව එච්චරයි.
ඒ ඒ කාල වලදී මුණ දෙන්න සිද්ද වෙච්ච එදිනෙදා සිද්දි නැත්නම් ඒ ඒ කාලවලට ජිවිතේ ගැන හිතෙන හැටි, නැත්නම් ඔය වල් පල් ටිකක් ඇර වෙන වැදගත් වගේ දේවල් මේකේ නෑ. ඊට වැඩිය සමාජයට ප්රයෝජනවත් වගේ දෙයක් ලියන්න ඇත්තටම මම දන්නේ නෑ කියන්න පුළුවන්. මොකද මම සාමාන්යෙන් මොනවා හරි ලියන්න කලින් හිතල බලනවා මේ ලියන්න යන එක ගැන මම හරියටම දන්නවද කියල. ඔහොම හිතල බැලුවම මම ඇත්තටම මොකුත් දන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. ඉතින් නොදන්න දේවල් ලියන්නේ කොහොමද කියල මම ඕවා ලියන්නේ නෑ.
හැබැයි එක වෙලාවකට මම දන්නා සමහර දෙවල් ලියන්න ඕනේ කියල හිතෙනවා. හැබැයි තාම මට ඒ දේවල් ලියන්න හරියටම හිතුනේ නෑ. හිතුන වෙලාවක ලියන්නම්.
සිංහල බ්ලොග් ලෝකේ බොහොම අපූරු මිනිසුන් ඉන්න තැනක්. හැම දෙයකදිම වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන නිසා මේ බ්ලොග් කියවීම රසවත් දෙයක් වෙලා තියෙනවා. මම බොහොම අඩුවෙන් බ්ලොග් කරුවන් සමග සම්බන්ධ වෙන කෙනෙක්. එහෙම වෙලා තියෙන්නේ එකක් ඒ මගේ හැටි වීම සහ අනිත් එක අන්තර්ජාලය ට වඩා මම සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු එක්ක හොඳින් එන්න කැමති වීම. ඒ කියන්නේ මම වර්චුවල් ප්රතිරූප ගැන තාම එතරම් විස්වාස කරන්නේ නෑ.. එකෙන් අදහස් වෙන්නේ නෑ වර්චුවල් ඉන්න අය නරක මිනිස්සු කියල නමුත් මම වඩා කැමතියි දන්න කියන ගෙදර මිනිස්සු ටිකත් එක්ක වැඩි පුර කාලයක් ගත කරන්න.
බ්ලොග් ලෝකේ විවිධ දේවල් සිද්ද වෙනවා. බොහෝ අය ඇවිල්ල යනවා. බොහෝ හොඳ දේවල් සිද්ද වෙනවා. බ්ලොග් නිසා හඳුනා ගෙන බොහෝ උපකාර කරපු අය ඉන්නවා. මමත් පුළු පුළුවන් හැටියට උපකාර කිහිපයක් කරලත් තියෙනවා. ඉතින් කොයි දේ වගෙත් මේකත් ජීවිතෙත් එක්ක ගලාගෙන යන තව එක දෙයක් විතරයි. අනිත් සම්බන්ද කම් වගේම බ්ලොග් නිසා ඇතිවුන සම්බන්ද කමුත් ඒ විදියට ගලාගෙන යයි.
මට ඉතින් කියන්න තියෙන්නේ දන්නා දෙයක් ලියල තමන්ටවත් අනුන්ටවත් ඇණයක් නොවී මේ වැඩේ කරගෙන යමු කියල. අපි වගේම අනිත් මනුස්සයත් එක එක විදියේ ප්රශ්නත් එක්ක ජිවත් වෙන තවත් කෙනෙක් කියන එක පොඩ්ඩක් කල්පනාවට ගත්තම අපිට කෙනෙකුගේ ජිවිතයට ඇණයක් වෙන්න හිතෙන්නේ නෑ. හැබැයි ආතල් එකට නම් මල ඇණයක් වුනත් කමක් නෑ...
අට වසරේ පොර ටෝක් අවසානයි නමය වසරේදී නැවත හමුවෙමු