Wednesday, December 12, 2012

ඉබ්බා දියේ දැමීම...

ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක අහසින් යන්න උනත් කල්පනා කලේ ඒ කාලේ දැන් වගේ ටැක්සි තිබ්බේ නෑ නේ...අනිත් එක අහසින් යන්න යූස් කරපු ටෙක්නික් එක.. සෙල්ලං ද.. (පොඩි පොඩි අමතක වීම් කාටත් වෙන්න පුළුවන්)

ඉබ්බ කියන්නේ අපිට නිකන් කම්මැලි ජනක සතෙක් වගේ හිතුණට පට්ට සිරා ඩයල් එකක්.. හරි හැඩයි.. අනිත් එක හොඳට හැදිච්ච, තැන්පත්, අහිංසක , වැඩි සද්ද බද්ද නැති,ගුණ යහපත්,දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ටොප් කොල්ලෙක් වගේ සතෙක්...  

හරි මේ ඉන්නේ ඉබ්බෙක්
                                      
 මේ ඉන්නේ ටිකක් බය ඇරිච්ච ඉබ්බෙක්
 මේ ඉන්නේ ටික ටික සාමාන්‍ය අතට පත්වෙමින් සිටින් ඉබ්බෙක්...
මේ ඉන්නේ ෆොටෝ ජෙනික් ඉබ්බෙක්...
 ෆොටෝ ජෙනික් ඉබ්බාගේ ක්ලෝස් අප් එකක්...
 මෙන්න මෙහෙමයි ඉබ්බෝ කාර් වල යන්නේ..
ඉබ්බෝ දුවන හැටි දැකල නැත්නම් මෙන්න..
හම්මා වතුර ටික 

දියවන්නා ඔයේ ඉපිද එහිම හැදී වැඩී තරුණ වියට පා තබා කෑල්ලක් සෙට් කර ගැනීමේ සහ ටිකක් ලෝකය බැලීමේ පරම පිවිතුරු චේතනාවන් යුතුව කාපට් කර ගල් අතුරා ඇති නවීන මං මාවත් වල සුව විඳිමින් හිටපු ඉබ්බෙක්.  

අතීත පාඩම් සිහි කල්පනාවට අරගෙන හෙමින් ගමන් කෝකටත් හොඳා කියල හෙමිහිට ඇවිදගෙන කෝට්ටේ පුරවරයේ සිරි නරඹමින් පාරවල් ගානේ රස්තියාදු ගසමින්, ඉබ්බියන්ට ලයින් දමමින් ආතල් එකේ සිටි ඉබ්බෙක්. 

කිලෝමීටර් 3-4ක් මාසයක් දෙකක් තිස්සේ ඇවිදිමින් හීන් සීරුවේ කාණුවකට වෙලා හිටපු ඉබ්බෙක්.

අපේ ඔපිසියේ අයගේ සහ මගේ අප්‍රමාණ සත්ත්ව කරුණාව හේතුවෙන් නැවත උගේ වාසස්තානයට ගෙන ගොස් දමා උගේ ලෝක සවාරියට සහ ඉබි කෑල්ලක් සැට් කරගැනීමේ  අහිංසක බලාපොරොත්තුවට කෙළ කිරීමේ ප්‍රීතිය බ්ලොග් අවකාශයේ සිටිනා සැම සමඟ බෙදා ගැනීම නිමිති කරගෙන මෙය 12/12/12 දින පිටකෝට්ටේ පිහිටි මගේ ඔපීසියේ ඇති පුටුවේ වාඩි වී ඔපිසියෙන් ම ලබා දුන් ලැපා ගෙන් කොටා මෙසේ පබ්ලිස් කරනු ලැබේ... 

Thursday, December 06, 2012

ගණිත ගැටළුවක්... amazing logic

මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්..

ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ.  අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ගන්න පුළුවන් එකක් කියල හිතුණ නිසයි දාන්නේ..  මේකයි ගැටළුව

ශිල්පගේ වයස එයාගේ පුතා රාජුට වඩා අවුරුදු 21ක් වැඩියි.
තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා.
දැන් ශිල්පගේ මහත්තය ඉන්නේ කොහෙද?

මේවගේ ගැටළු මීට කලින් දැකල ඇතිනේ...  හැබැයි මේක ජෝක් එකක් නෙවෙයි. ගනිතයෙන් තර්කානුකූලව උත්තරයක් ගන්න පුළුවන්.. සාමාන්‍ය පෙළ ගනිත දැනුම හොඳටම ඇති...

උත්තරේ ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්..

Wednesday, November 28, 2012

නිදහස් අධ්‍යාපනේට 6% ලැබෙනකම්...





මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින්  අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ... 


Monday, November 12, 2012

DSLR කැමරාවක් සමඟ මාස 6ක්...

"These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ  අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම්  DSLR  කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම මම කලේ එක විතරයි වගේ..  

කොහොම හරි දශක 3ක් විතර පෙරුම් පුරල පළවෙනි වෙඩින් ඇනිවසරි ට්‍රිප් එක යන්න ගත්ත මගේ කැමරාවෙන් මොනවද මෙච්චර කල් කලේ කියල මේ ඊයේ පෙරේදා නිකමට හිතල බැලුවා.. (ඇත්තම කිව්වොත් අරූ මාව බයිට් කරන්නේ කෝ පෙන්නපන් බලන්න උඹ ගත්ත හෙන පොටෝස් කියල) ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල ෂේප් වෙනවා..

දැන් ඔය කැමරාව අරන් එළියට බැස්සට දකින දකින දේවල් අපිට ඕනෙ විදියට ගන්න බැහැනේ.. ඒ කියන්නේ කුරුල්ලෙක්, සමනළයෙක්, ඔය කූබියෙක්, කඩියෙක්, වගේ හරි නැත්නම් ගහක අත්තක ඉන්නෙ ලේනෙක්, ඉර බැහැගෙන යන සීන් එකක්, වළාකුළු ඔන්න ඔය වගේ දේවල් පොටෝ ගත්තට අපි බලාපොරොත්තු වෙන විදියේ පොටෝ එකක් ගන්න එක ලේසි නෑ... ඕනෙම කෙනෙක් දන්න විදියට හොඳ ඔප්ටිකල් සූම් එකක් තියෙන්න ඕනෙ නේ ඈත තියෙන දේවල් ලස්සනට ගන්න, ඒ වගේ තමයි හොඳ මැක්‍රෝ ෆොටෝස් ගන්න ඒවට හරියට ලෙන්ස් එකක් ඕනේ... දැන් මේ අමාරුවෙන් ගත්ත කැමරාවත් එක්ක හම්බ වෙන කිට් ලෙන්ස් (18-55) එකත් එක්ක විතරක් කැමරාව පාවිච්චි කරනකොට තමා ඒකෙ රඟේ තේරෙන්නේ..

කැමරාව අරන් කොහෙ හරි ගියාම කොච්චර ආසාවෙන් ෆොටෝ ගත්තත් අපි බලාපොරොත්තු වෙන විදියේ ඒව ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ.. (මම වගේ කම්මැලි ඩයල් වලට ඕක හරි යන්නෙ නෑ)

හැබැයි ඉතින් උනන්දුවයි පොඩි හැකියාවකුයි තියෙනවනම් ඔය කිට් ලෙන්ස් එකෙනුත් සෑහෙන දේවල් කරන්න පුළුවන්.. (මට ඒ දෙකම නැති එක වෙනම කතාවක්)

අනිත් එක තමා DSLR කැමරා එකක් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක.. ඒ කියන්නේ ආවට ගියාට නැතුව දන්න කියන කෙනෙක් ගෙන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ..  මම ඒක කලෙත් නෑනේ.. පන්ති යන්න ඉස්සරත් කම්මැලියි දැනුත් කම්මැලියි... ඔපිස් එකේ ඉන්න අතරේ වීඩියෝ බලලයි වෙබ් සයිට්ස් වල තියෙන දේවල් වලිනුයි තමා යන්තම් ඔය බේසික් ෆීචර්ස් ටිකයි තියරි ටිකයි ඉගෙන ගත්තේ.. තාමත් හරියට දන්නෙ නෑ...

ඔන්න ඔහොම ගෙවිච්ච මාස 6 ට  ගත්ත  පොටෝ ගොඩක් වෙලාවට බලන්නේ මමයි,බට්ටි නඟයි විතරයි.. මොකද ප්‍රසිද්ධියේ දාන්න තරම් දෙයක් තාම ගන්න බැරි වුණා කියල මට ම හිතෙන නිසා (අරූගෙන් බේරෙන්න බැරිම තැන ෆ්ලිකර් එකට ටිකක් දැම්ම)

අපි දෙන්න යන ගමනකදි ඇර  මම තනියම පොටෝ ගන්නම කියල කොහෙවත් යන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කැමරාව ගෙදරම තමා.. ඉතින් මම පොඩ්ඩක් ස්ටොක් ෆොටෝග්‍රැපි පැත්ත ගැන හිතල ඒ අංශෙ දියුනු කරන්න හිතුවා.. හැබැයි ඉතින් ඒකටත් හොඳ ලයිටින් උපකරණ ඕනේ..   http://www.fotolia.com/ එකට ෆොටෝස් 20-25 ක් දාල යන්තම් එක ෆොටෝ එකක් ඇක්සෙප්ට් වුණා.. fotolia එකෙන් නම් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...  මේ තියෙන්න අන්න ඒ එකම එක. 

කැමරාව අරන් මුලින් ම බෙල්ලන්විල පන්සල් ගිහින් (අවංකවම මම පන්සල් යන්නේ ෆොටො ගන්න) ගත්ත මට ටිකක් ලස්සනයි කියල හිතෙන එකක් මේ


 මේ තියෙන්නෙ ඕක අරන් ගාලු ගිහින් ගත්ත තව එකක්... 


ඊට අමතරව ඔය එහෙම මෙහෙ ගිහින් ගත්ත ඒව හැටහුටහමාරක් විතර තියෙනවා.. හැබැයි වැඩක් නෑ..
ගෙදර ඉන්න වෙලාවට නිකන් ඉන්න ගමන් කරපු ඒව 2ක තුනකුත් දාන්නම් බැරි වෙලා හරි මම වගේ තව එක්කෙනෙක් හරි හිටියොත් නිකන් ට්‍රයි එකක් දීල බලන්න








ඉතින් ඔන්න ඔහොමලු වුණේ.. ආසාවට කැමරාවක් ගත්තට ඒකෙන් නියම ප්‍රයෝජනේ ගන්න තාම බැරි වුණා.. ඒකට අවශ්‍ය කැපවීම හරියට කරන්න ඕනේ..  හැබැයි ඉතින් හොඳ ෆොටෝස් ගන්න DSLR කැමරාවක් ම ඕනේ නෑ කියල මට හිතුණා.. මූලික සංකල්ප ටික හරියට දන්නවනම් ඕනෙම කැමරාවකින් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්.. DSLR කැමරාවකින් උසස් තත්වයේ ෆොටෝස් ගන්න නියමිත ලෙන්ස් වලට, ලයිටින් වලට ටිකක් වියදම් කරන්න වෙනවා.. ඒක ඉතින් එක එක්නෙකාගේ කැමැත්ත අනුව තමා...

මේ තියෙන්නෙ ෆිලිකර් එකේ ලිංකුව 

අනිත් වැදගත්ම දේ තමා මේ ගත්ත පොටෝ කෑලි මකල දාන්න තියෙන තන්හාව.. මෙලෝ වැඩක් නැතිව 11GB විතර පුරෝගෙන ඉන්නව මේ එහෙ මෙහෙ අල්ලපු පොටෝ කෑලී වලින්.. මකල දාන්න හිතෙන්නෙම නෑනේ... ඕව රැස් කරල මොන අපායේ යන්න වෙයි ද දන්නෑ...


Monday, October 22, 2012

තනිකම විඳීම...

තනිකමට  බයයි... තනිකම දුකක්...  තනිවෙන එක පවක්... (ද)?  මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද?  අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...

මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?

අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...

මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...

පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.  

මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න.. 

හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ...  මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා  සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව. 

මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......

කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා



මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ.. 

මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...

ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි.. 

කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..

මොනව කිව්වත් ඉතින්...  සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි... 


Friday, October 12, 2012

බාත් රූම් එකේ සිංදුකීම...

මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක..  මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු කවි කරන්න,රි-මික්ස් කරන්න,රැප් කරන්න, ඕනේ දෙයක් කරන්න ඉගෙන ගන්න,ප්‍රැක්ටිස් කරන්න ටොප්..

වැඩට ගිහින් ඇවිත් නානකොට සිංදු නොකියවුණත් එළියට එන්නේ සිංදු මෝඩ් එක ඔන් කරගෙන.. ගොඩක් වෙලාවට හිරවෙච්ච ප්‍රොග්‍රෑම් වල තියෙන බග්ස් වලට විසඳුම බාත් රූම් එක ඇතුළෙදි හම්බ වෙනව...

ඔය ගොඩක් අයට මේ ලෝකේ වෙනස් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ල තියෙන්නේ නානකොට නේ... මම ඉස්සර හිතුවෙ මොළේ පෙඟුනහම ඒ වගෙ අදහස් එනව ඇති කියල.. 

කොහොම හරි මේ ලඟදි දවසක ඔය ගැන හිතුවහම... අපිත් එක්ක ඉන්න ගොඩක් අයට ඔය පුරුද්ද ඇති කියල හිතුණා.. ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ ඔය පුරුද්ද මම දැකල තියෙනවා..  

මට හිතෙන්නේ අපි ඇත්තටම අපි වෙන දවසේ තියෙන හොඳම අවස්තාව මේ නාන වෙලාව කියල... ඒ කියන්නේ.. අනිත් අය ගැන හිතන්න දෙයක් නෑ.. කවුරු මොනව හිතයි ද කියල වොරි වෙන්න දෙයක් නෑ.. කවුරුවත් දකියි ද කියල හිතන්න දේ කුත් නෑ (දොර වහල නම්).. අපේ නැචුරල් ස්භාවයෙන් ඉන්න පුළුවන් හොඳම වෙලාවනේ.. හිතේ ගැටළු නෑ.. නිදහස් මනසක්..

මොකුත් ම හිතන්න දෙයක් නැත්නම් නිකම් ම වගේ සිංදුවක් කියවෙනව ඇත්තේ මේ දැනෙන නිදහස නිසා වෙන්න ඇති.. මොනව හරි දෙයක් ඔළුවේ තියෙනවනම් ඒකට වෙන වෙලාවට නොඑන උත්තර ඔලුවට එනව ඇත්තෙත් ඒ දැනෙන තමා තමාම වීමේ නිදහස් ගතිය නිසා වෙන්න ඇති කියල නිකමට වගේ හිතුණා..

ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට බැස්සම ඉන්නේ අපේ ඇත්ත ස්වරූපයෙන් නෙවෙයි නේ.. ඒ ඒ අවස්තාවට ගැළපෙන ක්‍රමේට ඉන්නකොට අපිට නිදහසේ ඉන්න බැරි වෙන ගතියක් දැනෙනවා..  ගෙදර ඇතුළෙම උනත් 100% අපේ නිදහස කියන එක තියෙන්නේ ඔය නාන කරන විනාඩි 10-15 විතරයි කියලයි මට හිතෙන්නේ..

මම නිකන් හිතල බැලුව මම දන්න මේ පුරුද්ද තියෙන සහ නැති අයගේ චරිත ස්භාවය ගැන.. ඇත්තටම සැළකිය යුතු වෙනස් කම් තියෙනවා..  මේ පුරුද්ද තියෙන මිනිස්සු එක්ක වැඩ කරන්න, සතුටු වෙන්න හරි ලේසියි.. ඒ කියන්නේ ගොඩක් අය එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනව කියල හිතුණා.. වැඩ වලදි අනිත් අයව තේරුම්  ගැනීම, ඊසි ගොයින් කියල සිංහලෙන් කියන ස්භාවය ගොඩක් වෙලාවට තියෙනවා..

මේ වගේ පුරුදු නැති.. ඒ කියන්නේ ජීවිත් වෙලා ඉන්න හැම වෙලේම මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන විසඳුම් හොයන්න ට්‍රයි කරන, සමාජය තුළ අමුතු ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන ඉන්න ට්‍රයි කරන, වැඩ කරන්න්න ගියාම එයාට ඕනේ විදියට වැඩේ කෙරෙන කම් හරි යන්නේ නැති චරිත වල මේ පුරුද්ද නැතුව ඇති කියල මට හිතුණා.. නිකමට හිතල බැලුවොත් ඕනෙම පවුලකින් මේ වගේ අය හොයා ගන්න පුළුවන්.. 

මට හිතෙන්නේ නිදහස් පොඩි කාලයක් නැති වුණාම මේ වගේ ගති මිනිස්සුන්ට පිහිටන්නේ නැතුව ඇති.. නිදහස් පොඩි කාලයක් කියන්නේ අපිට හිතෙන දේ හිතෙන විදියට කරන්න නිදහස නොදෙන පවුල් පසුබිම් වල හැදෙන අයට මේ වගේ දේවල් නුහුරුයි.. මොකද හැම දේම කාගේ හරි උපදෙසක් අනුව, පිළිවෙලකට, සමාජ සම්මතේට අනුව කරන්න පුරුදු වුණාම ඒ පුරුදු මඟ ඇර ගන්න හරි අමාරු නිසා..

නිදහස් විදියට හිතල වැඩ කරල.. ඒ වැඩෙන් සිද්ද වෙන ප්‍රතිඵලය මොකක් වුණත් භාර ගන්න පුළුවන් තරම් ගටක් තියෙන මිනිස්සු මේ වගෙයි කියල හිතුණා..

මම කරන්නම දෙයක් නැතුව ඉන්න වෙලාවට http://www.ted.com/ එකේ වීඩියෝ බලනවා..  මේකේ තියෙන්නේ එක එක විදියේ නව අදහස් තියෙන මිනිස්සු ඒ අය හදපු දේවල, නැත්නම් තේරුම් ගත්ත දේවල් ප්‍රසිද්ධියෙ ඉදිරිපත් කරන වීඩියෝ.. හරිම අපූරු දේවල් තියෙනවා.. තාක්ෂණික,සමාජයීය,කල,විද්‍යාත්මක වගේ ඕනැම විෂයයකට අදාලව මිනිස්සු ඉදිරිපත් කරනවා..

මේ වීඩියෝ බලන වෙලාවක හිතිච්ච දෙයක් තමා මේ බාත් රූම් එකේ සිංදු කීම... නානකොට ඔය අදහස් ඔළුවට එනව කියල මම ප්‍රායෝගිකව ඕනේ තරම් අත් විඳල තියෙනවා.. ඉස්කෝලේ යන දවස් වල මම ලියල පබ්ලිෂ් කරපු පොතේ ගොඩක් කතා වල චරිත, ඒ කතා වල ආකෘතිය  නාන ගමන්  තමයි ඔලුවට ආවෙ.. ඒ දවස් වල මේ ගැන එච්චර වැටහීමක තිබ්බේ නෑ.. දැන් හිතල බලනකොට ඕනේ තරම් සිද්දි මතක් කරන්න පුළුවන්...

ඉතින් මට හිතුනේ.. අපිට මේ නාන ගමන් තියෙන සැහැල්ලුව, තමා තමා විදියට අව්‍යාජව හැසිරෙන්න පුලුවන් කම, සමාජයට අමුතු චරිතයක් විදියට නොගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් (ඒ කියන්නේ උපන් ඇඳුමෙන් යන එන නෙවෙයි.. එක එකා මොනව හිතයි ද කියල නොහිතා ජිවත් වෙන එක)  අපිටත් බොහෝම නිර්මණශීලි විදියට ජීවිතේ දිහා බලල මිනිස්සුන්ට සේවයක් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්.. 

හැබැයි මම දන්නවා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න බෑ කියල තර්ක කරන අය ඕනේ තරම් ඉන්නවා.. ඒ එක්කම මේ විදියේ නිදහස් මනසකින් ලෝකය දිහා බලපු, තමන්ගේ ප්‍රතිරූපය හෝ  බඩගෝස්තරේ රැක ගන්න පමණක් ම උත්සාහ නොකරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න තමයි අපි අද මෙහෙම ඉන්නේ කියලත් නිකමට කල්පනා කරල බලන්න..

Wednesday, September 05, 2012

කඩදාසි සෙල්ලම් බඩු හෙවත් ඔරිගාමි...

මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව).  බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්.

ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල මතක නෑ..  හැබැයි වහලේ බෝට්ටුවට කලින් කුරුල්ලෝ හදන්න ඉගෙන ගත්ත වගේ මතකයි.. වහලේ බෝට්ටුව ටිකක් අමාරුයි නේ..

මම හිතන්නේ මේ කඩදාසි බෝට්ටු හදන එක මම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි එදා සිට අද දක්වා සියළුම පොඩි උන් ඕක දන්නවා..  ඉස්කෝලෙ කාලේ සහ ටියුෂන් කාලේදි කුරුල්ලෝ,රොකට් එක්ස්පර්ට්ල නොවෙන්නේ ඔය ගෙවල් වල ටියුෂන් ගිය ළමයි තමා ඉතින්..

රබර් පටි වලින් වැලක් එකට ගැටගහල ඊතල වගේ යවන රොකට් ඒ දවස් වල මගේ ප්‍රියතම එකක්.. ඒක යවන්න සෑහෙන්න ඉඩක් ඕනේ (ටියුෂන් ක්ලාස් වල අන්තිම පේලියත් මදි රබර් බෑන්ඩ් දාල යවන ඒවට). යවල තියෙන අය දන්නව ඇති..

ඔය හැමෝම දන්න ඒවට අමතරව නෙලුම් මල්,ගෙම්බෝ,ප්ලේන්,තාරාවෝ,පෙට්ටි,පිරමීඩ, හංසයෝ වගේ සිරාම සිරා ඒවා මේ කොලවලින් හදන්න පුළුවන්. කොලෙන් විතරයි.. කතුරු ගම් වගේ දේවල් නැතුව

මම ඔය පොඩි උන් ඉන්න ගෙවල් වලට හදිසියේවත් ගිහින් පැයක් 2ක් චාටර් වෙන වෙලවක් ආපු ගමන් කරන්නේ ඉන්න පොඩි එකාට කොලේකින් ඔය මොකක් හරි එකක් හදල දෙනව.. කොල්ලෙක් නම් ප්ලේන් එකක්.. කෙල්ලෙක් නම් තාරාවෙක්.. දෙන්නෙක් හිටියොත් දෙන්නටම තාරාවෝ දෙන්නෙක් වගේ.. ඊට පස්සෙ ඉඳන් ඕනෙ පොඩි එකෙක් මාත් එක්ක ෆිට්.. ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්..

මම දන්න ඒවා හදන හැටි ස්ටෙප් බයි ස්ටෙප් ලියන්න මට කම්මැලියි.. මට වඩා හොඳට ඕව හදන්න දන්න අය යූ බටේ ට දාපු වීඩියෝ ටිකක් දාන්නම්.. කැමති අය බලන්න..

මේවගේ ඒව එකක් දෙකක් හදන්න ඉගෙන ගෙන තියෙන එක පාඩුවක් නෑ.. ලොකු පොඩි සැමට වටින විනෝදාංශයක්

හපුතලේ ඉන්න අපේ ලොකු අයිය(අපේ කිව්වට අපේ තාත්තගේ අක්කගේ ලොකු පුතා දැන වයස 65ක් විතර ඇති.. මට අයියා,අපේ අම්මට පුතා, හැබැයි අම්මට වඩා වැඩිමල්) ඉස්සර මට ගනන් උගන්නන්න කඩදාසි වලින් ඝණකයි,පිරමීඩයි හදනවා... ඝණකය,පිරමීඩය වගේ දේවල් මුලින්ම තේරුම් ගත්තෙ මේ වයෙන් තමා..

අපි මේ ජොලියට පොඩි පොඩි දේවල් හැදුවට ඔරිගාමි කියන්නේ ලෝකෙ පුරා හරිම ජනප්‍රිය විනෝදාංශයක්.. සෑහෙන්න දේවල් තියෙනව ඉගෙන ගන්න.. කරන්න පුළුවන් නිර්මාණත් හරිම අපූරුයි..

හරි මේ තියෙන්නෙ වීඩියෝ ටික..

නෙලුම් මල
http://www.youtube.com/watch?v=eGPK1vvdyLE

ගෙම්බා
http://www.youtube.com/watch?v=2p4SyN8Y8Is

ප්ලේන් (එක එක විදියේ ප්ලේන් වර්ග තියෙනව)
http://www.youtube.com/watch?v=ox2djol29ts&feature=related

තාරාවා (මම තාරාව කිව්වට නියම ඔරිගාමි වචනේ ක්‍රේන් (කොකා))
http://www.youtube.com/watch?v=FSijU52XJ7w

හංසය (මේක මම හදන්න ඉගෙන ගත්තෙත් මේ වීඩියෝ බලල)
http://www.youtube.com/watch?v=f0zTNCRg-Uc&feature=relmfu

භණකය (ලොකු අයියා උගන්නපු ඝණකේ.. අමතක වෙලා තිබ්බේ)
http://www.youtube.com/watch?v=PNm7g7YVsgA

පිරමීඩේ (අමතක වෙච්ච එකක්)
http://www.youtube.com/watch?v=FaXqIoeIjak

ඔය වීඩියෝ බලනකොට තව තව ඒව හදන හැටි තියෙනවා.. ඒවත් බලල සිරා ඒව ටිකක් හදන්න ඉගෙන ගන්න පුළුවන්.. මේ දවස් වල ඔපිස් එකේ ලයිට් ගියාම මම කරන වැඩක් මේ.. අනිත් උන් කැරම් ගහනවා..හික්...

බලි ඇඳීමේ පෝස්ට් එකට නම් වීඩියෝ හොයා ගන්න බැරි නිසා මම ඉදිරි කාලයේ අඳින බලි එකතු කරල පොටෝ අරන් ලෑස්ති වෙලා ඒක ලියන්නම්..

Sunday, September 02, 2012

අපි කියවන්නෙ ඇයි..?

සාහිත්‍ය මාසේ පටන් ගන්න කොටම ලියන්න කියල හොඳ මාතෘකාවක් සෙට් වුණා.. හෙන සම්භාව්‍ය හෝ හර බර ලෙස නැතුව(එහෙම ලියන්න දන්නෙ නෑ) "මේ මාසේ ගිය මාසේ වාගේ නොවන්න..." කියල මේ ලියන්නේ...

ඇයි අපි කියවන්නේ කියල හිතල බලන්න කලින් මම කල්පනා කළා ඇයි මම කියවන්නේ කියල... අවංකවම බොන්න ඕනෙ ප්‍රශ්නයක්.. ඇයි මම කියවන්නේ...? එකක් පොඩි කාලේ ඉඳල ඇති වෙච්ච පුරුද්ද නිසා.. පොඩි කාලේ දි ඇයි කියවන්න ආස වුණේ ? සමහර පොඩි උන්ට පොත් දිය කරල පෙව්වත් ආසාවක් ඇති වෙන්නෙ නෑ නේ? දැන් මේ ලොකු වෙලා පොඩි කාලේ ගැන හිතල බලද්දි තේරෙනව.. පොඩි කාලේ ඉඳන් ම තිබ්බ ඔහේ පැත්තකට වෙලා ඉන්න කැමති ගතිය වගේ එක හේතුවක් වෙන්න ඇති..  අනිත් උන්ට සාපේක්ෂ්ව මට ටිකක් තිබ්බේ ගෑනු ගති(සුසන්තිකා ජයසිංහ වගෙ ගෑනු ගති නෙවෙයි හරිද) ඒ කිව්වේ මේ පැත්තකට වෙලා ඉන්න ගතිය විතරයි.. පොත් කියවන චරිත වල සාමාන්‍යයෙන් මේ ගතිය තියෙනව කියල මට හිතෙනව.. 

අනිත් එක පවුලෙ අයගෙන් එන පසුබිම... හැබැයි මම පොඩි කාලෙදි අපේ අම්මටයි තාත්තටයි නම් මාත් එක්ක පොත් කියවන්න තරම් නිදහසක් තිබුනේ නෑ.. අක්කටත් මට තරම්ම දැනටත් අවුල් නෑ...

හැබැයි එයාල මට එක එක පොත් ගෙනත් දුන්නා...  මුලින්ම කියවපු පොත් රසවත් වීම නිසා පොත් කියවීමට ආස වුණා වෙන්න පුලුවන්...

කොහොම හරි කියවන්න පටන් ගත්ත කෙනෙකුට ඇයි මේක දිගටම කරන්න ආස හිතෙන්නේ..මොනවද මේකෙන් ලැබෙන්නේ...නිකන් ඇබ්බැහි වීමක් ද?  සිංදුවලට, ෆිල්ම්ස් වලට වගේ..

හරි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කවුද මන්ද කෙනෙක් කියල තියෙනවා.. කොහොමද මේ සම්පූර්ණ වීම වෙන්නේ? මලාට පොතක් නොකියවන වුන් ඔය අපූරුවට ඉන්නේ..? කියවන උන්ට වැඩිය හොඳ තැන්වල ගොඩක් වෙලාවට එහෙම නැති අය ඉන්නවා..(දේශපාලකයෝ ගැන නෙවෙයි මේ කිව්වේ)

ලෝකෙ ගැන හිතන්න කලින් ආයෙත් මං ගැන හිතල බැලුවොත් මට ඒ ඒ පොත් වල හිටපු චරිත වලට ආස හිතුණා.. ඒ මිනිස්සු කරපු වැඩ වලට ආස හිතුණා.. ඒ වගේ වෙන්න ඕනෙ කියල හිතුණා...

ඒ කියන්නේ සරලව ඇඳ උඩ ඉඳන් වීරයෝ වෙන්න අවස්තාව මට කියවීම නිසා ලැබුණ... හැබෑ ලෝකෙදි ඔහේ පැත්තකට වෙලා හිටියට..

අනිත් පැත්තෙන් කවද හරි කවුරුවගෙ වෙන්න ඕනෙද කියන හැඟමත් ඔලුවට ආවා..(මාර්කෝනි හරි, ලොගී බෙයාර්ඩ් හරි,එඩිසන් හරි වෙන කවුරු හරි එකෙක් ගෙදර බිං කාමරේ ඉඳන් පරීක්ෂණ කරපු කතාවක් කියවපු දවසේ ඉඳන් මටත් පරීක්ෂණ කරන්න බිං කාමරයක් ඕනෙ වුණා...)

බැරිවෙලාවත් කවද හරි මම ලොකුවෙලා ගෙයක් හැදුවොත් එහෙම එකක් හදන්න තාමත් මගේ ඔළුවේ තියෙනවා..(බට්ටි නංඟි ඇතුළු පවුලේ සැම කචල් නොදැම්මොත් තමා ඉතින්..)

අපේ පාළුව තනිකම වගේ දේවල් පොත් කියෙව්වහම නැති වෙනව ද? මට නම් ඔව්.. ඒ චරිත ඉන්නවනේ අපිට කතා කර කර ඉන්න.. ප්‍රශ්නයක් වුණාම අර පොතේ වීරය නම් මේ වෙලාවට මොනව කරයි ද කියල හිතිල නැද්ද? ෂර්ලොක් හෝම්ස් ගේ තියරි අපි තාම දානවනේ හිටපු ගමන්...

ඊට පස්සේ පොත්වල ඉන්න චරිතවලට සිද්ද වෙච්ච දේවල් හැබෑවටම අපිටත් වෙනකොට හරි ආතල් නේද? මේව නම් ඉතින් මොනවගේ කතාද කියල හැමෝම දන්නවනේ.. (අර කම්මුලේ හොටු කියල අලුත්ම නවකතාවක් ලියපු අඩන එක්කෙනාගේ ඒව වගේ ඒව)

ඒ ඒ චරිත කියපු කරපු දේවල් ඇත්තට කරන්න ගිහින් චාටර් වෙන්නත් වෙලා ඇති නේ.. හිකිස්..

අනිත් වැදගත් ම දේ දැනුම සහ අවබෝධය ලැබීම..

දැනුම ලැබීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැබැයි අවබෝධය ලැබීම ටිකක් වෙනස් දෙයක්..

එකම කතාව කියවපු කිහිප දෙනෙක් ඒ කතාවෙන් අවබෝධ කරගන්න දේ එකිනෙකාට සාපේක්ෂයි කියල තමයි මට හිතෙන්නේ..

අනිත් අතට සමහර පොත් කියෙව්වහම දැනෙන රසය නම් හැමෝටම එකක් වගේ.. 

අපි කියවන්න ආස වෙන වැදගත්ම කාරණේ වෙන්නේ ඒ ඒ පොත් කියවීමෙන් ලැබෙන ඒ ඒ රස නිසා නේ.. මේ රසාස්වාදන හැකියාව හැබැයි හැමෝටමත් නෑ කියල මට සමහර වෙලාවට හිතිල තියෙනවා... සමහර අයට කෙලින්ම වචන වලින් කියපු අර්තයෙන් රස විඳිනව තවත් සමහරු කියවපු දෙය සාරාංශ කරල තේරුම් ගත්ත දෙයින් රස විඳිනව..(උ.පෙ ආර්ට් කරනකොට තියෙනව නේද රසාස්වාදන කියල සබ්ජෙක්ට් එකක්.. ඉස්සර නම් තිබ්බ කියල මට මතකයි.. හැබැයි මම කවදාවත් ඉගෙන ගෙන නෑ.. මං කලේ ගනන් )

දැන් එතකොට පොත් නොකියවන අයට මේ රස වින්දන ශක්තිය නැද්ද..?  අපිට එහෙම කියන්න බෑ නේද? ඒ අය වෙනත් දෙයක් ඒ වගේ රස විඳියි.. සමහර විට ක්‍රීඩාවක් වගේ දෙයකිනුත් පොතක් කියවල ගන්න ආතල් එක ගන්න පුළුවන් අය ඇති...

කියවීම නිසා දැනුම, අවබෝධය, රස වින්දනය,ආතල් හම්බෙනව කියල අපි හෙන ටෝක්ස් දැම්මට මලපොතේ අකුරක් නොදැනගෙන හිටිය අපේ පරණ කාලේ කට්ටිය කොහොමද ඔය සිරා වැඩ කරල තියෙන්නේ.. පරම්පරා ගානක් රස විඳින දේවල් ඒ මිනිස්සු කලේ කවුරුවත් ලියපු දේවල් කියවල ගත්ත දැනුමෙන්ද? අවබෝධෙන් ද? ශාස්ත්‍රය කාගෙන් හරි ඉගෙන ගන්න ඇති නමුත් නිර්මාණශීලි කම දියුණු උනේ කොහොමද? 

අපේ ජීවිත වෙනස් කරන්න පොත් වලට පුළුවන්... පොත් වල ඉන්න චරිත වලට පුළුවන්...

ඒක තීරණය වෙන්නේ අපි කොච්චර දුරකට විවෘත මනසකින් ලෝකය දෙස ජීවිතය දෙස බලනවද නැද්ද කියන එක මත නේද?  අපි අපේ ඔළුවේ පුරෝගෙන ඉන්න එක එක දෘෂ්ටි වලින් තොරව අලුත් දැනුමක් සහිත දෙයක් කියවීමෙන් සම්පූර්ණ පරිවර්තනයක් අප තුළ සිද්ද වෙන්න පුළුවන්.. හැබැයි ඒකත් එකිනෙකාට සාපේක්ෂයි..

මේ වගේ අංජබජල් මාතෘකාවක් ගැන පොර ටෝක් ටිකක් දාන්න හිතුනේ ෆේස්බුකියේ මගෙ යාළුවෙක් දාපු පින්තූරයක් දැකල.. ඒකෙ තිබ්බෙ මෙන්න මෙහම එකක් 

We Read to Know that We are Not Alone 

මේක නම් මටත් දැනිල තියෙන දෙයක්... 

අනේ මන්ද  මොකක් ද මම මේ ලිව්වේ කියල මටම නිකං මඤඤං  වගේ  කමක් නෑ ඔන්න ඔහේ කියවල අදහසක් දෙන්නකො බලන්න (තව මඤඤං අය ඉන්නවනේ)