Tuesday, March 13, 2012

විශ්වයේ අන්තිම සිංහල වචනය...

මේක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. හැබැයි සම්පූර්ණ විස්තරය මමත් හරියටම දැන ගත්තේ අද..  වැඩි විස්තර මම කියනවට වඩා මෙතනින්ම බලා ගන්න එක හොඳයි..


Tuesday, March 06, 2012

ඔරායන් දැක්කෙමි

හෙන කාලෙකින් ඔරායන් දැක්ක. කලුවරේ ගලක් උඩ නිදාගෙන තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්න එක කොච්චර ආතල් වැඩක් ද? මමයි මමයි අක්කයි දිමුතුවයි ගල් පර්වතේ උඩ හතර පැත්තට නිදාගෙන අහස බලන් හිටියා.. අනිත් 3දෙනා නම් ඇස් පියාගෙන ද කොහෙද ...මම නම් තරු බැලුවා..  තාරකා විද්‍යා උණ කවදාවත් හොඳවෙන එකක් නෙවෙයි..  ඉස්සර උත්තල කාචෙකුයි අවතල කාචෙකුයි බටේකට හයි කරගෙන දුරදක්න හදන් අහසේ තරු බැලුවා කවදා හරි අභ්‍යවකාශ ගාමියෙක් වෙනව කියල හිතාගෙන... දැන් මේ ගලක් උඩට නැඟල තරුවක් බලාගෙන ඉන්නවා.. සංසාරේ කිව්ව ලු...

Monday, March 05, 2012

වීරයෝ

වීරයෝ ගොඩක් ඉන්නවා.. එක එක කාලෙට මේ වීරයෝ වෙනස් වෙනවා.. ඉස්සර හිටපු වීරයෝ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ අද ටී.වී එකේ සිටුවර මොන්ට ක්‍රිස්ටෝ බැලුවට පස්සේ... රූපවාහිනය ඉපදුනේ මම ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ.. අපිට ටී.වී එකක් බලන්න හම්බවුණේ ඉපදිලා අවුරුදු 7-8ක් ගියාට පස්සේ.. ටී.වී එක දකින්න කලින් පොත පතින් කියවල තිබ්බ.. සුරංගනා කතාවල වීරයෝ ගැන.. ඊට පස්සේ තුන් යහළු වික්‍රමය,කල්ලන්දූවේ මුතු කොල්ලය,මඩොල් දූව වගේ පොත් වලින් තවත් වීර චරිත හම්බ වුණා... ඉස්කෝලෙදි ඉතින් දුටුගැමුණු,වළගම්බා,දසමහ යෝධයෝ වගේ පුරාණ වීරයෝ ගැන ඔළුවට දැම්මා..  පස්සෙ පස්සේ සැබෑ ලෝකයේ අය වීරයෝ වුණා.. ඒ කිව්වේ තෝමස් අල්වා එඩිසන්,මාර්කෝනී,ලොගී බෙයාර්ඩ් ඒවත් ඔය පොඩි පොඩි පොත පත කියවල දැන ගත්තේ...

ටික කාලෙකින් ටී.වී එකෙන් හිතා ගන්න බැරි විදියේ වීර චරිත දැක්කා.. මැගයිවර්,රොබින් හුඩ්,ටාසන්,නයිට් රයිඩර්,ස්ට්‍රීට් හෝක්,කාටුන් වල හිටපු ගලිවර්,හී මෑන්,මන්කි මෑන්.. හිතා ගන්න බැරි තරම් වීරයෝ විදියට අපේ පුංචි හිත් වලට කා වැදිල තිබුණා...

රොබින් හුඩ් ගේ දුන් සෙල්ලම්,ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්න.. ඊට වැඩිය දෙයක් තිබ්බෙ නෑ.. මේ තාක්ෂණික රැකියාවල් වලට එන්න අපේ හිත් යොමු කළේ මයිකල් නයිට් ද මන්ද... අපේ අක්කට ලැම්බට් කියන නම අද දක්වාම පවුලේම ජනප්‍රිය නමක් ලෙස මා විසින් රෙජිස්ටර් කළේ ඒ දවස් වල තිබ්බ ටයිම් ට්‍රැක්ස් කියන කතාවේ වීරයගේ නම.. සිරා සීන් එක කියන්නේ..කතාව පටන් ගන්න කලින් පොඩි පොඩි කමිං කෑලී දානකොට අක්ක කිව්ව ඔන්න ඔය කතාවේ ඉන්න වීරය නම් මමයි ඈ කියල.. හික් හික්.. වීරයගේ නම ඩැරියන් ලැම්බට්... එදා ඉඳන් මට අපේ අක්ක ලැම්බට් තමා..(අක්ක මේක බලන්නෙ නෑ.. ඒ නිසා අවුලක් නෑ)

පස්සෙ පස්සේ මනුතාපය,මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයා, කුංෆූ වගේ කතා මාලාවල් වලින් අපේ ජීවිත වලට වෙනස්ම විදියේ වීර චරිත ඇතුලත් කළා.. ජෝන් වැල් ජෝන් ගේ අසරණ කම.. අසරණ කම තුළින් ජීවිතය දිනන හැටි.. බඩගින්නට පාන් ගෙඩියක් හොරකම් කලත් ජීවිත කාලයක් දුක් විඳින්න සිද්ද වෙන්න පුළුවන් කියන පුංචි පාඩම් අපේ ඔලුවල තැන්පත් කළා.. ක්වායි චෑන් කේන් ගේ ජීවිතය,පළගැටියා,ගුරුතුමා.. සංකීර්ණ ජීවිත පාඩම් හරීම ලස්සන විදියට අපේ හිත්වලට කාවැද්දුවා... (කුංෆූ සීරීස් එක නම් ආයේ බලන්න නියම කාලේ දැන්)... මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයාගේ හිරෙන් පැනීම, ඔහුගේ කුමන්ත්‍රණ.. හැමදාම හිතේ තිබුණා....

ටී.වී එක දියුණු වෙලා තොරතුරු වැඩි වැඩියෙන් එනකොට.. චිත්‍ර පටි වලින් විජය,ජීවන්, බෘස් ලී,ආනෝල්ඩ්,ජැකී චෑන්,වෑන් ඩෑම්,චක්නෝරිස් අපිට හම්බ වුණා.. ඒ වෙනකොට ටාසන්,රොබින් හුඩ් ටිකක් යල් පැනල...
ආනෝල්ඩ්ගේ, බෘස් ලී ගේ පිංතූර කොල ගන්න එක තරම් වෙන ආතල් වැඩක් තිබ්බේ නෑ.. ඉස්කෝලේ ගාව ස්ටිකර් විකුණන සීයලගෙන් හොයන්නෙම ඕවා තමා...

ලව් සික් ඔළුවට ගහන් කාලේ එනකොටම මෙන්න ආවේ නැතෑ.. අමීර් කාන්,සලමන් කාන්,ෂාරුක් කාන්,අමිතා බච්චන්,ජැකී ෂරොෆ්,සංජේ දත්,මධුරි ඩික්සිත්(මගේ ප්‍රථම ප්‍රේමය),ශ්‍රී දේවී,ජූහි චව්ලා.. පිස්සු ගොඩයි..
ඉස්සර ගැමුණු විජේසූරිය රේඩියෝ එක්කෙ ඇඩ් එක කියවන්නේ..සුරූපී ශ්‍රී දේවි,ලස්සන අමීර් කාන් රඟන අලුත්ම චිත්‍රපටිය ආවා අවා ආවා.. කියල.. හික් හරි ආතල් අප්පා..

ඊට පස්සේ හින්දි ඉංග්‍රීසි ෆිල්ම් වලින් තව සෑහෙන්න වීරයෝ ටිකක් සෙට් වුණා.. පස්සෙ පස්සේ කාටුන් වලින් තවත් අමුතුම වීර චරිත හම්බ  උනා සුපර් මෑන්,ස්පයිඩර් මෑන්, බැට් මෑන්,හල්ක්, ප්‍රොෆෙසර් එක්ස්,එක්ස් මෙන් සෙට් එක,තන්ඩර් කැට්ස්,සිල්වර් හොක්ස් සිරාම ෆැන්ටසි ලෝකයක් මැව්වා... තාම මතකයි මම ත්න්ඩර් කැට්ස් එකේ තිබ්බ වාහන කඩදාසි වලින් හදන්න ට්‍රයි කරපු හැටි..(ඔරිගාමී හංසයෝ,ප්ලේන්,ගෙම්බෝ,නැව්,රුවල් නැව්) ඕව හදන්න තාම ආස හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති..

අර්ජුණ,අරවින්ද,ගුරුසිංහ,මහානාම,වකාර් යුනිස්,අක්‍රම්,ලාරා,ඇම්බ්‍රෝස්,වොල්ෂ්,ආසර්ඩීන්,අනිල් කුම්බ්ලේ,තෙන්ඩුල්කාර් කාලයක් වීරයෝ වෙලා හිටියා.. .. 

උ.පෙ ට ගණන් කරන්න ගත්තට පස්සේ අයින්ස්ටයින් තරම් පොරක් හිටියේ නෑ... ආතර් සී ක්ලාක්,අයිසැක් ඇසිමෝව්,කාල් සාගන්,ඇලික්සි ලියනොෆ්, හික් හික්.. හල් 9000,ඩේව් බෝමන් අම්මට හුඩු අන්න පොරවල්.. 

පස්සේ ඉතින් බිල් ගේට්ස්, ජේම්ස් ගොස්ලින් (ජාවා හැදුවේ මෙයා) ට තමා දෙයියන්ට වගේ සැලකුවේ..
ඉගෙන ගෙන ඉවරයක් කරල රස්සාව කරනකොට ජීවිතේ බර ටිකක් දැනිලා දැන් ඉතින් සෙල්ලං නෑ වගේ කියල හිතෙනකොට හම්බ වුණා තවත් වීරයෝ ටිකක්... මහත්මා ගාන්ධි,බලංගොඩ ආනන්ද මෙත්‍රිය හාමුදුරුවෝ, ඒබ්‍රහම් ටී කෝවුර් (පස්සෙ මට එපා උණා), ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්මයා, ජේ.ක්‍රිෂ්ණමූර්ති තුමා වගේ අය ගැන කියවනකොට සැබෑ වීර චරිත වල දැක්ක මවා ගත් ප්‍රතිරූපවලට වඩා ප්‍රතිරූප නැති අවිහිංසක චරිත වීරයෝ වුණා... 

ඉස්සරහට තව අලුත් වීරයෝ හම්බ වෙයි... හැබැයි ඒ ගොඩක් වීරයෝ මවාගත් ප්‍රතිරූප විතරයි කියන එක ගොඩක් වෙලාවට දැනෙන නිසා ඉස්සර තරම් හිතට වදින එකක් නෑ.. ඒ වෙනුවට මහමඟ යදින අසරණ මිනිස්සු ඇතුලේ තියෙන මනුස්ස කමෙන් වීරයෝ දකින්න තමයි දැන් හිත කැමති


Thursday, March 01, 2012

උපන් දින සුභ පැතුම් සහ නිවන් සුව පැතීම

මේවගේ දේවල් ගැන මම කතා කරන්න වැඩිය කැමති නෑ...  වඩා හරි දේ මේකයි කියල මතයක් ප්‍රකාශ කරල පොඩි ආතල් එකක් ගන්නවට වඩා.. තියෙන දේ තමන්ට හරියනවනම් ගත්තා නැත්නම් නිකා හිටියා තමා මගේ උපන් හැටි...

මේක ගැන ඔලුවට ඇවිල්ල දැන් ටික කාලයක් උනාට ලිව්වෙ නෑ... නමුත් කලින් පෝස්ට් එකේ තාත්තාගේ ජීවිතය සහ මරණය ගැන ලිව්වට පස්සේ මේකත් ලියල දාන්න හිතුණා...

වැඩි විස්තර නැතුව සරලව කියල දාන්නම්...ඉතා කලාතුරකින් ලැබෙනවායැයි කියන මිනිසත් බවක් ලැබී.. හොඳ නරක තේරේන සමාජයක ජීවත් වීමේ වාසනාව තියෙන අපි මේ ලබාගත් ජීවිතය තුළ ලබා ගත හැකි වටිනාම දෙය ලෙස සලකන නිවන් (අනෙකුත් ආගම් වලටත් අදාලව) සැප කෙනෙකුට ලැබේවා යැයි ජීවත් වන සෑම වසරකම සුභ පැතීම වරදක් ද..?

මිය ගිය පසු නැවත් ඉපදීමක් ගැන අප විස්වාස කරනවානම්.. නොදන්නා තැනක උපදින්න යන අපගේ නෑයාට,හිතවතාට සුභ උපන්දිනයක් මළගමෙදී පැතීම වරදක් ද..?

ප.ලි.

ඩෝන්ට් ට්‍රයි දිස් ඇට් හෝම්...

Wednesday, February 15, 2012

දස වසර

තාත්‍තා නැතිව දශකයක්... ජීවිතේ ගෙවිල යනවා... බොහෝ දේ වෙනස් වෙනවා... තාත්තා නෑ කියන එක දැනිච්ච වාර ගාන අනන්තයක් විතර ඇති... තාමත් ගොඩක් දවස් වලට රෑට මතක් වෙලා කඳුලක් දෙකක් එනවා... මොනව කරන්න ද මෙච්චර කාලයක් හිටපු එක ඉස්සරහටත් ඉන්නවා කියල හිත හදා ගන්නවා... මට අවුරුදු 20දි තාත්තා නැති වුණේ... වෙලාවකට මං කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.. මොකද අවුරුදු 20ක් තාත්තා මාත් එක්ක හිටපු නිසා... එහෙම නැති ළමයි කොච්චර ඉන්න ලෝකයක් ද මේක...

තාත්තා ගැන ලියන්න මහා දේවල් නෑ... සරලව කිව්වොත් සිරා පොරක්... ඕනේ දේකට ඔට්ටු හරිම අහිංසක චරිතයක්.. ඉස්සර අක්කගේ යාළුවෝ තාත්තට කිව්වේ නයිට් රයිඩර් කියල... මයිකල් නයිට්ගේ වගේ කොන්ඩේ ක්‍රේල් නිසා.. හැබැයි මැරෙණකම් ම තාත්තා ගියේ ෆුට් සයිකලේ... තාම අපේ ලොකු තාත්තා පදින්නේ ඒ සයිකලේ...

මම නොදන්න කාලේ ඒ කියන්නේ මම නැති කාලේ හපුතලේ හේරත් කිව්වම පළාතම දන්න මනුස්සයෙක්.. ඒ අපි බියගමට එන්න කලින්..  බොහෝම කාලයක් දේශපාලනේ කරල හොඳට අත්දැකීම් තියෙන.. දැන් රටේ ලොකුම තැන් වල ඉන්න අයත් එක්ක එකට කකා බිබී රට රට වල ඇවිදල අත්දැකීම් ගොඩක් තිබුණා... ඉස්සර බුලත් විටක් කකා ඔය කතා කියනවා...

මම හිතන්නේ ඔය 70 ගණන් වල නිල්පාට ආණ්ඩුව පෙරළිලා කොල පාට ආණ්ඩුව ආවට පස්සේ ඒ දේශපාලන වැඩ ගොඩක් ඒවා අත ඇරල තමයි 83 දී විතර බියගමට ආවේ.. හැබැයි හැම මැයි දිනේටම පෙලපාලි ගියා... කට්ටියම සෙට් කරගෙන ඡන්දේ ඇහුවා... රැස්වීම් වල කතා කළා... ඔන්න ඔය වගේ වැඩ නම් අන්තිම කාළේ වෙනකම් කළා... මරු කටක් තිබ්බේ... ඕනේ තැනක ඕනේ කෙනෙක් එක්ක කතා කරන්න හැකියාව තිබ්බා...

මුලින් අමාත්‍යාංශ ලේඛම් කෙනෙක් වෙලා ඉඳල පස්සේ එම්.බී.බී.එස්  (මේසන් බාස්ට බදාම සප්ලයි) කළා..ඒ මම පොඩි කාලේදි... රස්සාවක් නැතිකාලේ උගස් වවල උගස් අඹරණ මැෂිමට අත අහු වෙලා වම් අතේ මහපට ඇඟිල්ල විතරයි මම උපදින කොට තිබුණේ.. ජීවත් වෙච්ච අවුරුදු 55න් අවුරුදු 30ක් විතර හැමදේම කලේ තනි අතින්... ඉස්සර හැමෝම තාත්තව දන්නව අත නිසා..

බයිසිකලේ ඉස්සරහ බ්‍රේක් පස්ස බ්‍රේක් මාරු කරල හදාගෙන තිබ්බේ අත නිසා..

මහ වැස්සේ තෙමි තෙමී ඉස්සර මාව දාගෙන පදිනවා... හැමදාම හවසට අම්ම වැඩ ඇරිල එන වෙලාවට,අක්ක හරි මම හරි පන්ති හරි ඉස්කෝලේ හරි ගිහින් එන වෙලාවට පාර අයිනට වෙලා බයිසිකලේ තියාගෙන ඉන්නවා..  බයිසිකලේ නැඟල යන එන වෙලාවට ලඟ ගෙදරක කෙනෙකුට ඕනේ දෙයක් කඩෙන් ගෙනත් දෙන්න හරි කැමතියි...

දර පැළීමේ ඉඳන් උයල කන්න දෙන්න පැයක් යන්න නැතුව ඇති... හැමදාම නොවරදින ලුණු මිරිස, මයියොක්ක මැල්ලුම්... දවල්ට උයල ඉතිරි වෙන ටිකට බත් දාල වලඳෙම අනල හවසට කවන බත් කටවල් ටික... හදල දෙන තේ එක...

පරණ ගෙදර ඉඳන් අලුත් ගේ හදන්න බ්ලොක් ගල් ඔක්කොම හැදුවේ තනියම.. මැෂින් නැතුව ලෑලී අව්වුවට කබොක් ගලුයි බදාමයි දාල හදපු බිත්ති වලට අදටත් ගහන්න පුළුවන් කොන්ක්‍රීට් ඇණ විතරයි...

හැමදාම හවසට මද පමණින් ගත්තට වලි නෑ.. සද්ද නෑ.. පෙළපාලී යනකොට කිය කිය ගිය සිංදු කෑලී කිය කිය බිමට කුෂන් කෑල්ලක් දාගෙන හාන්සි වෙලා ඉන්න එක තමා කරන්නේ... පන්සලේ පෝය දවසට බැහැල වැඩ.. දායක සභාවෙත් හිටියද කොහෙද....කවදාවත් සිල් එහෙම නම් අරන් නෑ මම හිතන්නේ..

මාවයි අක්කවයි ඔඩොක්කුවෙ තියාගෙන ඉන්න ඇති මැරෙන්න දවස් ගානකට කලින් වෙනකම් ම...

යන්න එන්න වාහනයක් නැති නිසා තාත්තව ඉස්පිරිතාලේ අරං ගියේ ත්‍රීවීල් එකේ.. අම්ම තනියම... මම එන්.අයි.බී.එම් යනවා අක්ක කැම්පස් එකේ... පොඩි සෙම අමාරුවක් කියල තමා මුලින් ම ගෙනිච්චේ..
ඉස්පිරිතාලේ හිටපු සති දෙකේම මම විජේරාමේ ඉඳන් මහ ඉස්පිරිතාලේට පයින් ගිහින් තාත්තව බැලුවා... එක දවසක් මම ගියාම පුතේ මගේ අතපයහරියට රිදෙනවා පොඩ්ඩක් අතගාන්න කිව්වා... මම ඉතින් හෙමින් අතගානකොට.. මාව බඳාගෙන ඇඩුවා...  මම හැම වෙලේම හිතුවේ තාත්තට සනීප වෙයි කියලා... පොඩි කාලේ ඉඳන් මට තිබ්බ එකම බය තාත්ත නැති වෙන එක... ඒකට මම ඒ කාලේදිත් බය වෙලා හිටියේ...

අපි 3න් දෙනා හවස 5ට තාත්තව බලල බස් එකේ යනවා... යනකොට 3න් දෙනාටම ඇඩෙනවා... ඒ දවස් වල වතුර නැතුව ලයිට් කපන කාලේ... මම ගෙදර ගිහින් බාත්‍ රූම් එකට ඉටි පන්දමක් පත්තු කරගෙන ගියා.. යනකොටම ඒක නිවුණා... එකපාරටම මට හිතුණා තාත්ත නැති වෙයි කියල.. ඊට පස්සේ ආයෙත් පත්තු කරගෙන යනකොට හිතුව මේ සැරේ පත්තු වෙලා තිබුනොත් තාත්තාට සනීප වෙයි කියල...ඒ සැරෙත් නිමුණා... මම කලුවරේ හොඳටම ඇඩුවා.. හැබැයි 3වෙනි සැරේ නිමුණේ නෑ... මම හිතුවා හැමදේම හරියයි මට පිස්සු කියලා...

ඊට දවස් 2කට පස්සේ තාත්තා නැති වුණා...

කොළඹ මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ඉස්සරහා පිස්සෙක් වගේ මම ඇඩුවා... යන එන මිනිස්සුන්ට දුක කිය කියා ඇඩුවා...

මම අඩන එක නතර වුණේ තාත්තව භූමිදානේ කරල ආවට පස්සේ...

මල ගෙදරට ආපූ ගමේ මිනිස්සුත් ඇඩුවා... එච්චරට ගමේ අයත් එක්ක හිතවත්

අපිට හිත හදාගන්න තිබුණ එකම දේ මැරෙන වෙලාවේ තාත්තගේ මූණේ තිබ්බ ලස්සන හිනාව... මම මෝවරියට ගිහින් මිනිය අඳුර ගන්නකොටත් ඒ හිනාව දැක්කා...

අපි අවුරුදු 10ක් හැම්දාම තාත්තව මතක් කරල දානේ දුන්නා... 7 දවසෙ දානෙටයි 3න් මාසේ දානෙටයි විතරයි පිට මිනිස්සු ගෙනල්ල කෑම ඉව්වේ.... ඊට පස්සෙ ඉඳන් දානේ වැඩ හැමදේම කලේ අපේ නෑදෑයෝ විතරයි...

අවුරුදු 10කට පස්සේ බොහෝ දේවල් වෙනස් වෙලා... තාත්තා නැතිවෙලා අවුරුදු 10 වෙන්න දවස් 5කට කලින් මම මගේ දෙවෙනි කාර් එක ගත්තා... අක්කා රට නියෝජනය කරමින් පිටරටවල යන මට්ටමේ රැකියාවක් කරනවා.. අපිත් එක්ක පොඩි කාලේ නොහිටපු අපේ නංඟත් හොඳ රස්සාවක් කරගෙන හොඳට ඉන්නවා.. අම්ම අපි වෙනුවෙන් කරන්න තිබ්බ හැමදේම කරල පැන්ෂන් අරං නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා...

අපි එක්කෙනෙකුටවත් භෞතික වශයෙන් තාත්තට සලකන්න බැරි වුණා...  හැබැයි අපි අපේ උත්සාහෙන් මේ දැන් ඉන්න මට්ටමට ආවා... එහෙම එන්න පුලුවන් වුණේ තාත්තගෙ තිබ්බ නිහතමානී ගතිගුණයි ඕනේ දේකට මූණ දිල හිත හදාගන්න තිබිච්ච හැකියාවයි අම්මගේ හරි උපදෙසුයි නිසා... වෙන කිසිම දෙයක් අපිට තිබ්බෙ නෑ... අපිට කාත් එක්කවත් තරඟයක් තිබ්බේ නෑ... ලබා ගන්න ට්‍රයි කලේ නෑ.. රැල්ලට යන්නෙ නැතුව පාඩුවේ අපේ වැඩේ කරගෙන හිටපු එක විතරයි හැමදාම කළේ...

මම මේක ලිව්වේ තාත්තට නිවන් සුව පතන්න නෙවෙයි... නිවන ලබන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න මේ ආත්මෙදි විතරයි කියන එක මම විස්වාස කරන නිසා තාත්තට සුභ උපන්දිනයක් පතන්නයි මට ඕනේ...

Thursday, January 26, 2012

නිවන්/මෝක්ෂය/ස්වර්ගය/ඊ.ටී.සී දකින ගස්...

එක ගහක් කවද හරි ආයේ හැදෙයි ද? ඒ ජාතියෙම වෙන ගහක් හැදෙයි.. නැත්නම් ඒකෙන් හට ගත් බීජයකින් හරි අංකුරයකින් හරි තව ගහක් හැදෙයි.. හැබැයි ඒ හැදෙන්නේ අර මුල් ගහ නෙවෙයි නේද..?  එක් වරක් ඉපදුන ගහක් නැවත මේ ලෝකේ ඉපදෙන්නෙ නෑ කියල ගන්න එක සාධාරණයි නේද..? (ඒ වගේ නේද..?)

ගස් කියන්නේ තමාට ජීවත් වෙන්න අවශ්‍යම දේ විතරක් ලබාගෙන තමන් සතු සියළු දේ අනුන්ට දීල හිටියද  නැද්ද කියල කාටවත් නොදැනෙන ලෙස මියැදිලා යන ජාතියක්..(ජීවී ද /අජීවී ද කියන තර්කය පොඩ්ඩක් අමතක කරල හිතුවොත්)

නිදහසේ ඉන්න වෙලාවක ගහක් ලඟට ගිහින් පොඩ්ඩක් බලන්න.. ගස් වල බොහෝ දේවල් වෙනවා.. ඒ කියන්නේ.. එක පැත්තකින් අළුත් කොල ලියලනව.. අනිත් පැත්තෙන් සමහර කොල දිරල යනවා.. තව තැනක මල් පිපිනෙවා.. තව අත්තක ගෙඩි හැදෙනවා... එක තැනක ලස්සන පොහොට්ටුවක් තව තැනක අකලට කුණු වෙච්ච හැකිලිච්ච මලක්... ලස්සන කුරුල්ලෝ ඇවිත් පැණි බොනව.. නැත්නම් ගෙඩි වල රස බලනවා... ඔය අතරේ.. කඩි,කූඹී, මැස්සෝ වගේ සත්තු පොඩි පොඩි අතු දිගේ එහෙ මෙහෙ යනවා.. ගහේ අතු වලට හානි කරනවා... ලොකු ලොකු ගස් නම් මිනිස්සුගෙන් වෙන හානී, වෙනත් සතුන්ගෙන් වෙන හානී , සමහර වෙලාවට පැත්තක් ලෙඩ වෙලා.. පුස් හැදිල තියෙන්නත් පුළුවන්..  සුළං හමනකොට එහෙට මෙහෙට වැනි වැනී.. අව්වට වේලී වේලී.. වැස්සට තෙමි තෙමී.... උපන් තැන ම මියෙන තුරා ඉන්නවා..  

මෙච්චර දේවල් වෙන ගහක් එයට වෙන කිසිම දෙයක් වලක්වන්න හෝ මඟ හරින්න උත්සාහ කිරීමක් කවද හරි දැකල තියෙනවද..?  අනිත් ගස් එක්ක තරඟ කරල තමාට වඩා වැඩියෙන් මල් හෝ ගෙඩි හෝ හට ගන්න තරඟයක් තියෙන ගතියක් දැකල තියෙනවද...(ඉර එලිය තියෙන දිහාට ඇදිල ගිහින් අතුපතර විහිදිලා යන්නේ පැවැත්ම වෙනුවෙන් මිසක් තරඟෙකට නෙවෙයි කියල හිතමුකෝ...) තමාට සහ තමා අවට සිදුවෙන දෙයින් නොසැලී තමන් මේ ලෝකෙට කරන්න කියල ආපූ වැඩේ කරල නිදහසේ මැරිල යනවා...

ගස් සහ අපි අතර තියෙන මහා වෙනස් කම් ගොඩ අතර මහා පුදුම සමාන කමක් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද...  අපි සහ ගස් නිදහසේ ඔහේ ඉපදෙනවා... මොකක් හරි හේතුවක් හෝ ආයුෂ අවසන් වීමෙන් ඔහේ මැරිල යනවා... ඔය දෙක අතරේ අපිට සහ ගස් වලට උපන් දා සිට බාහිරින් එන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා... 

බාහිරින් එන දේවල් වලට ඒ කියන්නේ ගස් වලට නම් අව්ව,වැස්ස,මැස්සෝ,කුරුල්ලෝ,පනුවෝ... අපිට නම්.. අම්මා තාත්තා ඇතුළු නෑදෑ පිරිවර සහ ඇසුරට වැටෙන අනෙකුත්  සියලු මිනිසුන් සහ සතුන්..
අභ්‍යන්තරෙන් එන දේවල් ගත්තොත්.. ගස් වල නම් මල්,ගෙඩි,කොල,සවිමත් කඳ,අතු... අපිට නම් රූපය, ලස්සන, ශක්තිය,හැකියාවල්.. ඔන්න ඕවා..

නිකන් හිතල බැලුවොත් බාහිර සහ අභ්‍යන්තර දේවල් නිසා වැඩියෙන් ම වෙනස් වෙන්නේ ගස් ද අපි ද... 
ඉපදෙනකොට ගහක් සතුව තියෙන නිර්මල ජීව ගුණය මැරෙන මොහොතෙත් ඒ ගස් වල තියෙනවා... අපි උපදිනකොට අපි සතුව තියෙන නිර්මල සිහිය නැත්නම් නිර්මල ජීවී ගතිය අපි මැරෙන කොට තියෙනවද..?

නිර්මල සිහියෙන්, නිර්මල ජීව ගුණයෙන් මැරිල (විනාශ වෙලා) යන දෙයක නැවත් හට ගැනීමක් තියෙන්න හේතුවක් නෑ නේද..?

අපි ඇතුලේ තියෙන නිර්මල සිහිය දකින්න නිකමට වගේ උත්සාහයක් දරල බලන්න හිතෙන්නෙ නැද්ද... 

නිදහසේ ගසක් යටට වෙලා සුව විඳමින් ඉන්න වෙලාවක නිකමට හිතල බලන්න... 

හැමෝගෙම අදහස් වලින් පොඩි සංවාදයක් ඇති කරගෙන පොඩ්ඩක් අපි ගැන හිතල බලන්න ට්‍රයි එකක් දෙමුද..? 

Tuesday, January 24, 2012

බලනවනම් ටී.වී සීරීස් එකක් හම්බ වුණා.. කියල වැඩක් නෑ පට්ට

මෙන්න මෙතෙන්ට ගිහින් බාගෙන බලන්න... 
http://helayekgen.info/2012/01/blog-post_24.html

මේ වීදුරුව පෙරළුනොත්...

මේ වීදුරුව පෙරළුනොත් කියල හිතුණ...
දුක හිතෙන එකක් නෑ...
මොකට දුක් වෙන්න ද... 
මොනව නැති වෙන්න ද...

2012 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා...