ජීවිතය තියෙන්නේ කොහෙද...? අපි ට ජිවත් වෙනව කියල දැනෙන්නේ මොනවා කරන කොටද? මම කියන්නේ හොඳට ජිවිතේ දැනෙන විදියට ජිවත් වෙන්න අපි මොනවා කරන්න ඕනේ ද?
එක එක්කෙනාට ජීවිතය දැනෙන විදිය වෙනස් ඇති.. සමහරු වැඩ කරන එක ජිවත් වෙනවා කියල හිතනවා.. තව කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන එක තුල ජිවත් වෙනවා කියන එක දකිනවා ඇති.. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් එක්ක ඉන්න එකෙන් ජීවිතය දකිනවා ඇති.. සමහරවිට මොකුත් නොකර ඔහේ ඉන්න එක තුලත් ජීවිතය දකින අය ඇති..
මට හිතෙනවා අපි හැමෝම තමන් ජිවත් වෙනවා කියල දැනෙන දේ කරන්න බොහොම කැමතියි ... ඒක අපේ ඇතුලෙන් එන දෙයක් මිසක් බාහිර සමාජයෙන් අපිට කාවද්දන දේවල් කිරීම තුලින් ඒ හැගීම ගන්න බෑ කියලයි මට හිතෙන්නේ.. බොහෝ වෙලාවට අපි හැමෝම කරන්නේ කවුරු හරි අපිට කරන්න හොඳයි කියල ඔළුවට දාපු රස්සාවක්, වැඩක්, සේවාවක් වගේ දෙයක් මුළු ජිවිත කාලෙම කර කර ඉඳල ඔහේ මැරිලා යන එක.. ඒ අතරේ මොකක් හරි ආගමක් තුලින් තමන්ට අහිමි වෙච්ච සැබෑ ජීවිතය හොයන්න දඟලන එක..
ගොඩක් වෙලාවට මේ වගේ සියුම් දේ ගැන අපි හිතන්නේ නෑ... ඒ කියන්නේ මම මේ කරන්නේ මට ජිවිතේ ජිවත් වෙනවා කියල දැනෙන රස්සාවද? නැත්නම් මේක මේ සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ නිසා සමාජ සම්මත වලින් එකක් තෝරාගෙන ඔහේ කරගෙන යන තව එක වැඩක් විතරද කියන එක හිතල බලල තියෙනවද?
මට හිතෙනවා අපි කරන බොහෝ දේවල් අපි කරන්නේ යාන්ත්රිකව කියල.. ඒ කියන්නේ සිස්ටම් එක හැදිලා තියෙන විදියට අපි ඒක ඔහේ කරනවා.. එතනින් එහාට අපි ගැන (මම ගැන) සියුම් ව හිතල බලන්න අපි දන්නේ නෑ වගේ.. (මම අතාරින්න කලින් මම කියන්නේ මොකාද කියල හරියටම දැන ගෙන ඉන්න ඕනේ නේද)...
ඔහොම හිතල බලනකොට තේරුම් යනවා අපි ඇතුලේ සියුම් ව තියෙන සැබෑ චරිතය කවුද කියන එක ගැන.. මම කියන්නේ අහවල් රස්සාව කරන, අහවල් සුදුසුකම් තියෙන, අහවල් පවුල් පසුබිමේ හැදුන.. මෙන්න මේ වගේ දුක සැප වලට මුහුණ දුන්න, සමාජයේ මෙන්න මේ තැන ඉන්න/ බොහොම හොඳ /වැදගත් /පාඩුවේ ඉන්න/ අහිංසක චරිතයක් කියල මතුපිටින් ඉන්න මම ගැන අපිට ඉතින් සරලව හිතා ගන්න පුළුවන්..
ඔය හිතුවිල්ලෙන් හිතන දේට වඩා සියුම් විදියට අපි අපිව ඇනලයිස් කරලා බැලුවොත් අපිට ඔය මතුපිටින් ඉන්න එකාට යටින් ඉන්න සියුම් එකාව හොයා ගන්න පුළුවන් .. ඌ ඔය කියන තරම් වැදගත් , අහිංසක ,උගත් පොරක් ද යන එක ගැන අපිම හිතල බලන්න ඕනේ..
සමහර විට ඇතුලේ ඉන්න මම බොහොම දක්ෂ සංගීත කාරයෙක් / චිත්ර ශිල්පියෙක්/ ගොවියෙක් /ලේඛකයෙක්/කම්කරුවෙක් වෙන්න පුළුවන්.. අපි ඒ අපේ ඔරිජිනල් චරිතෙට සාධාරණයක් වෙන විදියට දැන් ජිවත් වෙන්නේ කියල හිතල බලන්න.. සමහර විට අහසට පොලොව වගේ වෙනස් චරිත දෙකක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා ඇති.. සමාජ සම්මත වලට බයේ..
ඔය වෙනස අඳුන ගත්තත් අපිට ඒක අපිට ඕනේ විදියට ආපහු වෙනස් කරන එක පහසු නෑ.. මොකද ඒ තරමට අපි මේ සමාජ සම්මත වලට බැඳිලා ඉන්න නිසා.. සම්මත බිඳින්න අපිට බෑ අපි මත යැපෙන අය තව ඉන්න නිසා.. (මේ ගැලවීම ගැන තමයි අපේ ආගමේ කියන්නේ කියල එකට වන්දනා කරන එක නැතුව අපිට බැරිද මේකෙන් මේ ඉන්න ගමන්ම ගැලවිලා අපේ ඇත්ත ජීවිතය ඇතුලේ ජිවත් වෙන්න...)
මට ඔය හැඟීම බොහොම තදට දැනෙන්න ගත්තේ මෙහට ආවට පස්සේ... මම ඉස්සර ඉඳන් ලංකාවේ ඉන්න, ලංකාවට වැඩ කරන්න කැමතියි.. අලි දෙන්නම් කොටි දෙන්නම් කියල එන්න කිව්ව නිසා ඇවිල්ල බැලුව මිසක් අවංකවම ආවේ හෙන උනන්දුවකින් නෙවෙයි.. (බැංකු ණය නිසා ) ටික කාලයක් යනකොට මට මොකක්දෝ දෙයක් මිසින් කියන හැඟීම එන්න ගත්තා... ඒක පාළුව වත් තනිකම වත් නෙවෙයි.. (ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්.. හෙහ් හෙහ්)
ගිය සුමානේ හදිසියේම ලංකාවට ගියා මේ බස්ටි නංගිගේ පොඩි ඩෙන්ටල් කේස් එකක් වෙලා (මෙහෙ පට්ට ගණන් ) .. ඔය ගිය වෙලාවේ අර මිසින් වෙලා තිබ්බ දේ ආයෙත් දැනුන කියල මට හිතුන.. ඒ කියන්නේ ලංකාවේ තියෙන පිළිවෙලක් නැති, කුණු පිරිච්ච ,ඔහේ දුවන, ප්රශ්න වලින් හෙම්බත් වුණ.. එහෙත් ගැඹුරු හදවත් තියෙන මිනිස්සු එක්ක මට ජීවිතය පෙනුනා කියල හිතුනා... ලංකාවයි මෙහෙයි භෞතික විදියට සංසන්දනයෙන් ඔය දේ විඳින්න බෑ.. ඉන්දියාවට ගියත් සමහර විට මට ඔය ගතිය දැනෙයි..
මෙහෙ ජීවිතය සැපයි.. පහසුයි.. හැබැයි මම මෙහෙ ඉන්නවා මිසක් ජිවත් වෙන්නේ නෑ... පිළිවෙලට රොබෝලා වගේ කන්ඩිෂන් වෙච්ච .. හරි විදියට ජිවත් වෙන්න ට්රයි කරන (සුද්දෝ හරි කියල හිතාගෙන ඉන්න ) මිනිස්සුන්ට වඩා.. හිත් වලට එන නැචුරල් තරහට/ආදරයට/කම්මැලි කමට / මුස්පේන්තු කමට පොඩ්ඩක් ඉඩ දීලා .. එක එකාට බැන බැන ... දුෂ්ට කම් කර කර .. හිතට එන දේ කරන ඔහේ ගෙවන ජිවිත තියෙන අපේ මිනිස්සු අතර ජීවිතය තියෙනවා කියල මට හිතුනා...
(ඕක හරියටම දැනෙන්න මම ඒ.සී කාර් එකේ සහ අනිත් උන් දුක් විඳගෙන පයින්/බස් වල යන්න ඕනේ.. පැත්ත මාරු වෙච්ච ගමන් ..අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි රටක් .. )