අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්‍රත්‍යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ අර අවිනිශ්චිත කම අපිට අමතක වෙලා යනවා..
අපේ ගමේ කෙනෙක් හදිසියේම නැති වුණා කියල ඉරිදා යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා.. නිකමටමවත් අපි දැන්ම මැරෙයි කියල හිතපු චරිතයක් නෙවෙයි. ගමේ කාටත් උදව් පදව් කරගෙන හැමොත් එක්කම හොඳින් හිටපු යහපත් කෙනෙක්. වයස 50ක්-55ක් විතර ඇති. අපි කිව්වේ සරත් අයියා කියල.
පොඩි අක්කයි සරත් අයියයි අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුනාට පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක එකතුයි. සෙල්ලම් වයසේ අපි ඉන්නකොට එයාල කසාද බැඳලා හිටියේ. පොඩි අක්කලාගේ වතු වල, ගෙවල් අස්සේ, ඉඩම් කඩම් වල අපි ඕනේ තරම් දුවල පැනල ඇති.. හැංගි මුත්තම් කරලා ඇති.. ගහකොළ වල හැදිච්ච දේ අපේ වගේ කඩාගෙන කාල ඇති. ඔහේ හිනාවෙලා හිටිය මිසක් කවදාවත් බැනල අපිව එලවල නෑ. ඒ පළාතේ තිබ්බ ලොකුම සියඹලා ගස් දෙක තිබුනේ පොඩි අක්කලගේ වත්තේ. මම හිතන්නේ මිනිස්සු හතර පස් දෙනෙකුටවත් බදල අල්ලන්න බැරි තරම් මහා විසාල ගස්. එක ගහක් සීනි සියඹලා ගහක්. අමු සියඹලා, ඉදිච්ච කරල් කාල ඇති ගණන් කරන්න බැරි තරමක්. පල්ලෙහයින් තිබ්බා බිලිං ගහකුත්, වටේම කෝපි ගස් පිරිච්ච කැලෑව.... මී පැණි රස පොඩි අඹ ගහක් පාර අයිනේ තිබ්බ, නමිනන් ගහ, ඔය ගස් යට කොච්චර සෙල්ලම් කරලා ඇත්ද..
මම දන්නා විදියට සරත් අයියා පොලිසියේ වැඩ කළා.. පස්සේ පැන්ෂන් අරන් ඔය වතු වල වැඩ කර කර හිටිය.. ගෙදරින් ටිකක් ඈතට වෙන්න හේනක් එහෙම වගා කළා. අපි සරුංගල් කාලෙට වෙලේ සරුංගල් යවල හේනට ගිහින් වෙරළු කඩනව... ඊට පස්සේ ඔය කාගේ හරි ගෙදරක මුට්ටියක් ලිපේ තියල වෙරළු තම්බල කනවා.. අච්චාරු හදනවා.. නියම කාලයක්..
සරත් අයිය පාඩුවේ තමන්ගේ වැඩත් කරගෙන ගමේ පොදු වැඩ වලදී හැමොත් එක්කම සහයෝගෙන් වැඩ කරපු බොහොම සාමකාමී කෙනෙක්.. අවසන් කාලේ පාර අයිනේ කඩයක් කරගෙන ජිවත් වුණා පොඩි අක්කත් එක්ක...
තව බොහෝ දේවල් ලියන්න මතක් වෙනවා. හැබැයි ඉතින් දැන් ඒ මනුස්සය යන්න ගිහින්... මගේ ජිවිතයෙන් මේ වෙනකොට ගෙවිලා තියෙන්නේ දශක 3ක් විතර. ඔය දශක 3න් 2ක් මම ගෙවන්න ඇත්තේ ඔය මිනිස්සු එක්ක. මවා නොගත් උපතින් ආපු සරල කමක් තිබුණු ගොඩක් මිනිස්සු මම ඒ කාලේ ආශ්‍රය කළා. සරල කම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නපු මිනිස්සු කිව්වොත් හරි.. ලොකු කතා නෑ.. වැඩේ කරලා පාඩුවේ ඉන්නවා.. අපි ඒ චරිත වලින් ඉගෙන ගත්තේ ඒ වගේ දේවල්. මහා ලොකු තියරි නෙවෙයි. හතර වටේට බණ කියන හිස් මිනිස්සු දකින කොට ඇත්තටම හිනා යන්නේ සැබෑ මිනිසුන්ගේ හැසිරීම අපි දැකල තියෙන නිසා...
ඔය ගං ගොඩවල් වල තාම ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් දැන් අපි ඒ මිනිසුන්ව නොසලකා හැරලා දාල තියෙනවා. මොකද අපි ලොකු ලොකු තියරි හතර වටින් ඉගෙන ගන්න නිසා. අපි හෙනට දන්න නිසා. හැබැයි අන්තිමට අපි දන්නේ නෑ කියල දැන ගන්නේ නැතුවම මැරිලා යනවා.
මම ජිවිතේ මේ අවිනිශ්චිතතාවය අත්දැක්කේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. ඒ සිද්දියෙන් පස්සේ මම ලෝකය දකින විදිය 100%ක් වෙනස් වුණා කිව්වොත් හරි. හැබැයි ඒක එක රැයින් වෙච්ච දෙයක් නෙවෙයි. ජිවිතේට මුහුණ දීල, සමහර දේවල් කැප කරලා සහ සම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එලියට ගිහින් තේරුම් ගත්ත දේවල් නිසා වෙච්ච වෙනසක්. තාත්ත නැතුව ඒ ගෙවිච්ච අවුරුදු 12 ගැන ගොඩක් දේවල් ලියන්න පුළුවන්.
ජිවත් වෙච්ච මේ පොඩි කාලේ ඇතුලත මට ජිවිතේ ගැන ලොකු ටෝක් දාන්න තරම් අත්දැකීම් නෑ.. හැබැයි මට දැන් දැන් තේරෙනවා අවුරුදු 70-80ක් වෙලාත් හිස් විදියට ගෙවන ජිවිත වලට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙනවා කියල.
අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු ගැන අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අපි මේ ගෙවන ජිවිතේ නිසා. අඩු වැඩි වශයෙන් හැමෝම ඒ දේට මුහුණ දෙනවා. ඒක වරදක් නෙවෙයි. අපිත් එක්ක ජිවිතේ එක්තරා කාලයක් හිටපු නමුත් දැන් අමතක වෙච්ච මිනිස්සු ගැන හිතල බලන්න අපේ මේ වැඩකට නැතුව බොරුවට බිසී වෙච්ච මොඩර්න් ලයිෆ් එකෙන් පොඩි ටයිම් එකක් හොයා ගන්න ඕනේ.
මිනිස්සු මැරෙන එක වලක්වන්න අපිට බෑ. අපිට කරන්න පුළුවන් දේ ඉන්න කාලේ ඒ මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක. අපි දාගෙන ඉන්න ටාගට් ඔක්කොම ඉවර වෙලා මිනිස්සුන්ට සලකන්න ඉන්න කොට කෝච්චිය ගිහින් ඉවරයි. හැමෝම කියන්නේ අපි නම් සල්ලි පස්සේ දුවන්නේ නෑ කියල. හැබැයි නොදැනීම අපි කරන්නේ ඒක. ඒ දිවිල්ලට අපි පොඩි පොඩි නම් ටිකක් දාගෙන කොටස් වලට වෙන් කරගෙන ටාගට් දාගෙන ඉන්නවා. ඒ ටික ඉෂ්ට වෙනකොට අපි නොදැනීම අපි රේස් එක දුවල හති වැටිලා ඉවරයි.
මේක ලියන මමත් ඔය වැඩේම කරනවා. ඒක එහෙම නොකර ජිවත් වෙන එක වැඩක් නෑ. ජිවිතේ හිස්ව ගෙවල දානවට වඩා මොනවා හරි වැඩකට ඇති දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා සැපට ඉන්න එක එකක්. හැබැයි ඉතින් රේස් එක අතරේ අපිට නොදැනිම මිස් වෙන අපේ සැබෑ වටිනාකම් අඳුන ගත්තේ නැත්නම් කවදාවත් නොදිනන ඒ රේස් එක කොහොමත් අපි පරාදයි.
රේස් එකෙන් අයින් වෙච්ච සරත් අයියගේ මරණෙට මට යන්න විදියක් නෑ. ඒ මම මේ රේස් එකේ තාමත් දුවන නිසා. හැබැයි මට පොඩි සැනසීමක් තියෙනවා. ඒ පහුගිය නොවැම්බර් මාසේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක දවස් පහකට මම ලංකාවට ගිය වෙලාවේ හිස් අතින්ම සරත් අයියගේ කඩේට ගොඩවෙලා පොඩි අක්කයි සරත් අයියයි එක්ක විනාඩි 5ක්-10ක් කතා කර කර ඉඳල ආපු නිසා. මට හිස් අතින් යන වුණ එක ගැන මම කණගාටු උනත් මම එහෙම ගිය එක කවදාවත් එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ කියල මම දන්නවා. අඩුම තරමේ සරත් අයිය ගැන මගේ අවසාන මතකය ඒ විදියට හැමදාම මගේ හිතේ තියෙයි.
ඉතින් ජිවත් වෙච්ච කාලය තුල කල කී දේවල් අනුව හෝ නැත්නම් අපි නොදකින මේ විශ්වීය සිස්ටම් එකේ තවත් සිද්දියක් විදියට සරත් අයියගේ අනාගත පැවැත්ම තීරණේ වෙයි. අපේ විදියට සරත් අයියාට නිවන් සුව පතල මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් කරන දේවල් හොඳ සිහියෙන් නොකර අනුන් පතන නිවනින්වත් රේස් දුවන ගමන් හොයපු සල්ලි වියදම් කරලා ගොඩ ගහ ගන්න පින් ගොඩෙන් වත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නෑ.







