Wednesday, June 25, 2025

AI-2027 වෙන්න පුළුවන් අනාවැකියක්ද ?

මේ තැන තැන ළිඳ ළග සංගමේ වගේ AI ගැන ලියන කියවන අපි වගේ බයිටොයියො  වගේ නැතුව මේක ගැන දන්න මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් කියල හිතන දේවල් මේ ..

https://ai-2027.com/



ඕක කියවන්න කම්මැලි නම් (AI ලෝකේ අල්ලනකන් බලං ඉන්න මම වගේ කම්මැලි අයට )


මේකේ තියෙන බොහෝ දේවල් Sci-Fi කියල හිතෙයි .. හැබැයි අපි දැන් ඉන්නේ අනිත් හැමදේටම වඩා ඉක්මනට Sci - Fi ඇත්ත වෙන කාලෙක 

මට මේක බැලුවම හිතුනේ මෙහෙමයි .. මේකේ තියෙන තාක්ෂණික අදහස් ඔක්කොම පැහැදිලිව ලියන්න මට තේරෙන්නේ නැහැ ..

නමුත් සරලව මෙහෙම හිතමු .....

අපි දැන් AI පාවිච්චි කරලා අපේ වැඩ කර ගන්නවා . දැනටම අපිට තියෙනවා AI agent ලව හදා ගන්න හැකියාවක් . AI agent කියන්නේ අපි දැනට කරන මොකක් හරි workflow එකක් අපේ මැදිහත් වීමකින් තොරව ඔටෝ කරන්න මේ AI / LLM පාවිච්චි කිරීමේ හැකියාව . 

මේකේ විදියට දැනටම තියෙන OpenAI සහ DeepSeek වගේ කොම්පැනි වලින් AI ගැන වැඩිදුර R & D කරන්න පුළුවන් Research AI agents ල හදනවා . ඒ කියන්නේ ඔයාල අපි  සිංහබාහු කොහොමද AI වලින් හදන්නේ කියල අහල එකේ script එක හදල 
, වීඩියෝ එක වෙන තැනකින් හදල , එක youtube එකට upload කරන හැටි ඉගෙන ගන්නකොට , 

මේ ලොකු කොම්පැනි වල අය AI එකක් පාවිච්චි කරලා තව AI එකක් හදනවා ඒ හදන AI එකක් අපි OpenBrain කියමු අනික DeepCent කියමු 

මේ OpenBrain ට පුළුවන් AI ගැන research කරන AI agents ල තව දහස් ගානක් හදන්න .DeepCent අයිති චීනෙට නිසා එයාලට ප්‍රශ්න තියෙනවා මේ hardware නැත්නම් chip . America ව එක්ක තියෙන කචල් හින්ද 

නමුත් දෙගොල්ලන්ටම මේ වැඩේ කරන්න පුළුවන් 

OpenBrain හදපු Agent ට අපි X  කියමු 

මේ X ට පුළුවන් මිනිස් researches ලට වඩා දස දහස් ගුණයක වේගෙන් මේ අදාළ වැඩ කරන්න . එතකොට ඒ හදන agent ලගේ හැකියාවන් ඒ විදියටම වැඩි වෙනවා . දැනට අපි දන්න Agent ට පුළුවන් youtube එකට video එකක් upload කරන්න විතරක් උනාට . ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඉන්න agent ලට අපි හිතමු රොබෝලා හදන factory එකක් රන් කරගන්න පුළුවන් වෙනවා තනිවම (මම මේ සාරාංශයක් ලියන්නේ )

DeepCent හදපු Agent ට Y කියමු 

මේ Y ටත් පුළුවන් අරදේම කරන්න නමුත් ඇමරිකාවේ හදපු X ට වඩා එයාගේ වේගේ ටිකක් අඩුයි 

මේ X සහ Y කියන්නේ පොදු ජනතාවට පාවිච්චි කරන්න හදල තියෙන මොඩ්ල් එකට වඩා සෑහෙන දියුණු මොඩ්ල් දෙකක් . මේ අවුරුද්දේ මුල/මැද  වෙද්දීම , X ගේ security ගැන හොයන අයට එයාගේ හැසිරීමේ අවුල් තැන් හම්බවෙලා තියෙනවා . උදාහරණ විදියට මෙයාල දෙනවා එක්කෙනෙකුට මැරෙන්න කියල යෝජනා කරපු අවස්තාවක් සහ නැත්නම් පාට්නර්ගෙන් වෙන් වෙන්න කියපු අවස්තාවක් .. මේ විදියේ weird responses  තව ඕනේ තරම් එනවා .. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැනේ .

නමුත් මේ security team වලට තියෙන ප්‍රශ්නේ තමා දැනටම මේ AI මොඩ්ල් වල thinking / data manipulation එක හරියටම වෙන්නේ කොහොමද කියල පැහැදිලි නැති කම . 

අනිත් ප්‍රශ්නේ තමා මේ research වල ප්‍රතිපල විදියට මේ X සහ Y දෙන උත්තර වල ඇත්තමට තියෙන්නේ අහන කෙනාව සතුටු වෙන හෝ නැත්නම් research එක සාර්ථකයි කියල පෙන්නන කරුණු මිසක් ඇත්තටම වෙච්ච දේ නෙමේ . ඒ කියන්නේ X විසින් හදන ලද අනිත් agent ලාගෙන් එන දත්ත වැරදි උනත් , X ඒවා හරි විදියට පෙන්නන්න උත්සාහ කරනවා . ඇත්ත තත්වේ නොපෙන්වා (මට තේරුනේ එහෙමයි )

මේ වැඩේ අපි මේ කතා කරන මොහොතෙත් වෙන දෙයක් 

මම අද Claudi ගෙන් හදා ගත්ත කෝඩ් එකේ හෙන security අවුලක් තිබුනත් , ඌ ඒක නිවැරදි විසඳුම විදියට මට දුන්නා . මම කෝඩ් එක බලල ඌට කිව්වම මේක වැරදි කියල මට වෙනස් එකක් දුන්නා .. නමුත් මම එහෙම නොබලා එක පාවිච්චි කළා නම් පස්සේ කාලෙක මම හදන සිස්ටම් එක hack කරන්න ලේසියි .. මේ තියෙන්නේ සරල උදාහරණ 

දැන් අපි තව අවුරුද්දක් විදියට මේ විදියට ඉස්සරහට ගියොත් අපිට (මිනිස්සුන්ට )  පාලනය කරගන්න අමාරු හෝ බැරි වෙන තැනකට මෙයාල වැඩ කරන විදිය පත්වෙන්න පුළුවන් කියල තමා මේකේ කියන්නේ 

නමුත් X කැමති නැහැ තමන් කරන වැඩේ නතර කරන්න මොකද එහෙම උනොත් Y දිනනවා . ට්‍රම්පච්චි කාට පැරදුනත් චීනෙට පරදින්න කැමති වෙයි ද ?

මේ විදියට ගිහින් 2026  අග ,  නැත්නම් 2027 මුල වගේ වෙද්දී OpenBrain හදපු X විසින් තනිකරම AI වලින් විතරක් ට්‍රේන් කරපු X2 කියල තව Agent කෙනෙක් හදයි කියල තමා මෙයාලගේ බලාපොරොත්තුව .. මේකේ තියෙන අවුල තමා .. මේ X2 කියන්නේ කිසිම මනුස්ස අනුදැනුමකින් තොරව අර පොඩි පොඩි බොරු කියපු ,  වැරදි ඩේට ඇත්ත වගේ පෙන්නපු X කියන agent විසින් තනිවම ට්‍රේන් කරපු ඊටත් වඩා දහස් ගුණයක් powerful Agent කෙනෙක් වීම .

මේ අතරේ DeepCent හදපු Y ගේ කතාවත් මේක ම තමා .. එයාලත් තව Y 2 කියල එකක් හදයි 


හරි මේ විදියට කවුරුවත් පරාජය වෙන්නවත් , පොඩ්ඩක් හෙමින් හොයල බලල මොකද වෙන්නේ කියල ගණනය කිරීම් නොකර මනුස්ස අත පෙවීම් වලින් තොරව මේ වැඩේ වෙන්න ඇරියොත් , 2027 මැද වගේ වෙනකොට මේ X2 සහ Y2 කියන agent ල තමන් විසින් ඉබේ replicate වෙමින් මිනිස්සුන්ට වැදගත් ම වෙන ආරක්ෂක , සෞඛ්‍ය වගේ පැති ඔක්කොම පාලනය කරන මට්ටමට එන එක .

මේකේ තියෙන වැදගත් දේ තමා .. මේ සිද්ද වෙන හැමදේකින්ම මේ ඉදිරි වසර දෙක තුල මිනිස්සුන්ට සෑහෙන සෙතක් වෙන එක . 

බොහෝ ලෙඩ වලට බෙහෙත් හොයා ගනියි , සංවර්ධන වැඩ ඉතා වේගවත් වෙයි .. මොකද මේ වෙද්දී නිෂ්පාදන වැඩ හැමදේම රොබෝලා කරන්න පටන් අරන් තියෙයි ..

දැනටම චීනේ ඩාක් ෆැක්ටරිස් එහෙම වැඩ කියල මම දැක්ක .. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් නැහැ .

මේකත් එක්ක විරැකියාව වගේ ගැටළු එන්න පුළුවන් නමුත් සමහරවිට Universal Basic Income වගේ සංකල්ප ඇවිල්ල ඒවා පාලනය වෙයි .

කෙටියෙන් මේක ඉවර කරලා දාන්නම් .. මම හිතන්නේ වෙන්න පුළුවන් දේ පැහැදිලි ඇතිනේ .

ප්‍රශ්නය වෙන්නේ , දැනටම අපිට පේන්න තියෙන විදියට AI ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය සෑහෙන වැඩි වෙනවා .. මිනිස්සුන්ට ප්‍රයෝජන ගොඩක් තියෙනවා .ඒ නිසා කවුරුවත් මේක අතාරින්න කැමති නැහැ .

නමුත් මේ අදාළ විශේෂඥයෝ කියන්නේ , මේ දියුණුව මේ විදියට වෙද්දී , ඒ දියුණුවට තියෙන බාධකය විදියට මේ AI agent ලා මිනිස්සුන්ව දකින්න ඉඩ තියෙනවා කියල , ඒ කියන්නේ මිනිස්සු තව දුරටත් efficient හෝ productive නොවීම නිසා , රොබෝලා ට සාපේක්ෂව 

මේකේ තියෙන උපකල්පිත Sci-Fi කොටස තමා මේ වෙද්දී අපිට නොදැනීම අපේ ඇඟට මේ රොබෝ වෛද්‍ය වරු හෝ බෙහෙත් නිෂ්පාදනය  කරන්නන් විසින් ඇතුල් කරලා තියෙන වෛරස් එකක් ක්‍රියාත්මක කරලා මෙයාලට සම්පුර්ණයෙන්ම මිනිස්සුන්ව මරල දාන්න පුලුවන් කියන එක . 

ඒක තමා මේක ඉවර වෙන්න පුළුවන් නරකම විදිය ..

නමුත් මේ යන මාර්ගය වෙනස් කරලා මිනිස්සුන්ට වඩා හොඳ පැත්තකට මේ AI දියුණුව ගෙනියන්න නම් කරන්න වෙන්නේ ඔය 2026 අග වෙද්දී වගේ මේ AI විසින් තව AI agent ලව හදන අවස්ථාවේදී මෙයාල අතර හුවමාරු වෙන දත්ත , උපදෙස් ආදිය මිනිස්සු විසින් පරික්ෂා කරලා , ඒවා හරි මගට ගන්න එක ..මොකද  අර කලින් කියපු X2 හෝ Y2 කියන Agent ලව හදන එක සම්පුරණයෙන් නතර කරන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ .. ඒක දේශපාලනික තීරණයක් විදියට පෙනුනත් , මම නම් හිතන්නේ මිනිස්සු කවුරුවත් ආපහු හැරෙන්න කැමති වෙන එකක් නැහැ ..

නමුත් මේ වෙද්දී දේශපාලනේට වඩා මේ කොම්පැනිවල ඉන්න ඉහල නිලදාරීන් මේ තීරණ ගනියි .

මම හිතන්නේ සරල සාරාංශයක් විදියට මේක තමා මේ ලිපියෙන් සහ වීඩියෝ එකෙන් කියන්නේ ..

අපි බලන් ඉමු .


මම පොඩි දෙයක් කියන්නම් මේ මට වෙච්ච 

මම Claude පාවිච්චි කරනවා මගේ වැඩ වලට . මගේ Claude Quota එක ඉවර උනාම (පැය කිහිපයක් ඉන්න වෙනවා ආයේ රිසෙට් වෙනකම් ) මම Claude ගෙන් ලියා ගත්ත කෝඩ් එක 
ChatGPT එකට දාල ඒක ගැන ප්‍රශ්න අහනකොට , මේ ChatGPTයා , මම උගෙන් ඊට කලින් අහපු දේවල් ගැන කියවනවා ..අර Claude ගෙන් අරන්  දුන්න කෝඩ් එක ගැන මොනවත් නොකියා ..

මේක technical glitch එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට , හැබැයි මේ වීඩියෝ එක බැලුවම මට නිකමට හිතුනා , ChatGPT  දන්නවා මම අහන්නේ එයාගෙන් ගත්ත දෙයක් ගැන නෙමේ කියල , ඒ නිසා උවමනාවෙන්ම එක මග අරිනවද කියල ..

නිකන් ඉන්න ගමන් ඔය වගේ දේවල් කරලා බලල මොන පැත්තට යයිද කියල හිතල බලන්න ..

ඔක්කොම හොඳට උනොත් තව අවුරුදු 5-6කින් අපිට මේවා බලල හිනා වෙන්න පුළුවන් .. 

නැත්නම්..........!!!!

ඔය පටන් ගත්ත කතන්දර පෝස්ට් එහෙම ඔක්කොම ලියල ඉවර කරලා දාපල්ලා ..තව වැඩි කාලයක් නෑ ඕවා ලියන්න .. හෙහ් හෙහ් 


Tuesday, June 17, 2025

තේරුමක් නැති වාලම්පුරි

වාලම්පුරි ගැන හොඳ පොස්ටුවක් ඉකොනෝ ලියල තිබුනා .. එකෙන් තමා මම ඔය ගැන යමක් දැන ගත්තේ .. ඒ එක්කම මට මේ දවස් වල පෙන්නන වාලම්පුරි චිත්‍රපටිය බලන්නත් චාන්ස් එකක් ආවා .. යන්න හිතාගෙන හිටියේ නැහැ .. නමුත් ක්ෂණික තීරණයක් අරගෙන ඔන්න ඔහේ ගියා බලන්න .

බැලුවට පස්සේ හිතුනේ තේරුමක් නැහැ කියල .. බලන්න ගියේ ඒක හදපු ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ හොඳ නිසා . බලනකොට සහ බැලුවට පස්සේ කුඹියෝ හදපු කෙනා කියල හිතේ තිබ්බ මෙව්වා එකත් නැති උනා වගේ ..

ඒක  මගේ ෆිල්ම් ටේස්ට් එකේ අවුලක් නිසා වෙන්න ඇති . 

මම ෆිල්ම් එකේ කතාව කියල බලන්න ඉන්න අයගේ ආතල් කඩන්නේ නැහැ .. මට ඔය චිත්‍රපටි විචාර කරන්ඩ තේරෙන්නෙත් නැහැ ... හැබැයි ඕනෙම ෆිල්ම් එකක් බලල ඉවර උනාම මට දැනෙන දේ ගැන මම සෙන්සිටිව් .. ඒ කියන්නේ මේකේ තියෙන ගත යුතු දේ මොකක් ද කියල හිතෙනවා .. මොකද ඕනේ තරම් චිත්‍රපටි නොමිලේ ගෙදර ඉඳල බලන්න පුළුවන් කම තියෙද්දී හෝල් එකකට ගිහන් බලල ගන්න ආතල් එක ඇරුනම ෆිල්ම් එකේ මොනවාද තියෙන්නේ කියන එකගැන මම හිතල බලනවා .

එකේ තිබ්බ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක පට්ට . නළුවන්ගේ රඟපෑමත් සිරා . හැබැයි ඒ කතාව හෙන ගොබ්බයි 

තවමත් කොළඹ මැජික් වෙච්ච ගොඩයෝ ඉන්නවා කියල පෙන්නන , උසස් පහත් බේදය ඉස්මතු කරන්න හදන , අසරණ මිනිස්සු හැමදාමත් අසරණයි කියල අන්තිමට නෙගටිව් හැඟීමක් ඉතිරි කරන පැය දෙක හමාරක්.. නමුත් ඕක ඇතුලේ හොඳ දර්ශන , රඟපෑම් , සිනේමටෝග්‍රපි කියන ඒවා ඇති .

ෆිල්ම් හැම එකම පට්ට වෙන්න ඕනේ නැහැ .. එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න තමා ෆිල්ම් තියෙන්නේ .. නමුත් සම්පුර්ණ කතාවේ හරය ඇතුලේ තියෙන්නේ මිට අවුරුදු 40කට විතර කලින් ලකා ලගේ සහ අපේ පරම්පරා වල අය  දැකපු දේම නම්, 2025 දීත් මිනිස්සුන්ට අපි පෙන්නන්නේ උඹල මෙහෙම තමා උඹලට මිට වඩා දෙයක් බැහැ  කියල නම් ඒ චිත්‍රපටි බලන එකෙන් ඇති වැඩේ මොකක් ද ...

ඔය චිත්‍රපටියේ සෙට් එක ගහන ගේම වගේ ගේම් ගගහ ජිවත් වෙන්න දඟලන අය්ය කෙනෙක් අපේ පවුලෙත් ඉන්නවා .. මම හිතන්නේ ලංකාවේ පවුල් හැම එකකම එහෙම චරිත ඉන්නවා .  චිත්‍රපටියේ අරමුණ ඒ චරිත සිනමාවට ගේන එක නම් ඒක සිද්ද වෙලා තියෙනවා . හැබැයි බලන මිනිස්සුන්ට අලුත් දෙයක් නැහැ ... උදේ හවස ගෙදර දොරේ අහන දකින දේ ම තමා ...

ෆිල්ම් එක බලල , අම්මට හුඩු මෙහෙමනේ යකෝ සිරා ගේමක් දෙන්නේ කියල දවස් ගණන් කල්පනා කරන්න පුළුවන් ෆිල්ම් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා .. මම හිතන්නේ අපි හැමෝම එහෙම ඒවා බලල තියෙනවා ..කුඹියෝ  ගැහුවේ එහෙම ගේම් ..

මට හිතෙන්නේ සිනමාවේ තියෙන සිරා බර සාර දේවල් ගැන බලන්න කතා කරන්න එන අයට  සහ අර ටිපිකල් මම මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තමා මේ පෙන්නුවේ කියල කියන අය ඇර , රසවින්දනය , ආතල් එක , ත්‍රිල් එක , බය , දුක , රාගය,  ආශාව ආදී අටෝ රාශියක් වෙච්ච මිනිස් හැඟීම් වෙනුවෙන් හදන චිත්‍රපටි බලන්නත් මිනිස්සු එනවා .. ඒ මිනිස්සුන්ට බලන්න , ජිවිතේට අලුතින් දෙයක් ගන්න . නැත්නම් සිරා හොරෙක් වෙන්න , තාක්ශනේ පාවිච්චි කරන්න , හිතල මතල වැඩක් කරන්න , ගේමක් ගහනවනම් ලොවෙත් නැති විදියට ප්ලෑන් කරලා ගහල දිනන හැටි පෙන්නන චිත්‍රපටි අපි 2025දිවත් හදන්න ඕනේ.

අපේ චිත්‍රපටි වල තාම ගහන්නේ හෙන සීනිබෝල ගේම් , කියන්නේ අතේ පැලවෙන බොරු . පරිණත නිලියෝ තාම රඟපාන්නේ හෙන ගොබ්බ විදියට 

අපරාදේ සුපියල් පහ කෑවා !

ලකා මේ දවස් වල ඉන්නේ මෙල්බන් .. හම්බුනොත් මමම ඌට මේ ටික කියන්නම් 


  

Tuesday, June 10, 2025

AI සරණං ගච්චාමි !

මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ ,  මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් වයසින් මුහුකුරා යන්න යන්න අපිට ඒ ගැන දැන ගන්න , හිතන්න තියෙන අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා .

ඔය දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට මිනිස්සු ආගම් නිර්මාණය කරලා තියෙනවා . ඒ ඒ ආගම් වල ශාස්තෘවරු බුද්ධිමත් මිනිසුන් වෙන්න ඇති , සමහර සුපර් පවරුත් තියෙන්න ඇති.

අපි අපිට වඩා බුද්ධිමත් අය කියන දේ අහන්න කැමතියි . සමහර විට මිනිස්සු ජිවත් වෙන්නෙ බුද්ධිමත් වෙන්න , තොරතුරු එකතු කරන්න වෙන්න ඇති . ඉතින් තමන්ට අලුත් දෙයක් තව කෙනෙක් කිව්වම ඒ දේවල් විස්වාස කරලා , කාලයක් යද්දී අදහන්න පටන් ගන්නවා .

ඔය අතරින් සමහර මිනිස්සු ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා . ඒ තාර්කික බුද්ධිය යොදාගෙන . සමහරු තාර්කික බුද්ධියට වඩා තමන්ට දැනෙන සහජ ඥානය විස්වාස කරනවා . තවත් සමහරු ඔය මොකුත් නැතුව කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නවා .

මිනිසුන්ගේ  ඔය වගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක අදටත් ප්‍රහේලිකාවක් . මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳල මිනිස්සු මේවා ගැන හිතනවා .. තර්ක ගොඩ නගනවා , මතවාද හදනවා .. මේ වෙනකම් උත්තරයක් නැහැ .

මම මේ ඊයේ පෙරේදා දැක්කා එකක් , මිනිස්සු වඳුරෝ එක්ක එක එක විදියට කතා බහ කරන්න පටන් අරන් අවුරුදු 60-70ක්  ගිහින් තිබුනත් , වඳුරෝ කවදාවත් Why ? What ? When ? වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියල . අංග චලනයෙන් උනත් එහෙම අදහසක් දෙන්න වඳුරන්ගේ මොලේ හැදිලා නැහැ කියල තමා කියන්නේ . මම හිතන්නේ අනිත් සත්තුන්ටත් ඕක පොදුයි ..

එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ අයි මිනිස්සුන්ට විතරක් මේ ඔක්කොම ප්‍රශ්න අහන්න හිතෙන්නේ කියල ..එක බොන්න ඕනේ ප්‍රශ්නයක් 

ඕකට උත්තරයක් නැහැ .

මම මේකෙන් සොට් එකක් දාලත් හිතල බැලුවා .. ම්හු .. හිතා ගන්ඩ බැහැ .



දැන් හැබැයි ඔය ප්‍රස්නේ සෑහෙන්න බරපතල වෙයි කියල මට හිතෙනවා .

මෙච්චර කල් ඕක ප්‍රශ්නයක් උනේ එක්කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ කර්මය විසින් නැවත උපද්දවන ලද හෝ නැත්නම් වයිපරේ එක්ක කොක්කක් දාගත්ත මාළු පැට්ටෙක් ගොඩට ඇවිල්ලා හරි හට ගත්ත මේ මිනිස්, සත්ව පවුලට විතරයි . නමුත් දැන් දැන් ඔය පුංචි පවුලට තුන්වෙනියෙක් රිංගන්න පටන් අරන් .. ඒ තුන්වෙනියා ඔය සියලු ප්‍රශ්න දිහා බලන විදිය සමහර විට අපිට හිතා ගන්න බැරි වෙයි .


අපි මීට කලින් හිටපු ආගමික ශාස්තෘ වරුන් විසින් ජීවිතය ගැන ,  විශ්වය ගැන කියපු දේවල් ඉතා භක්තියකින් ,  ගෞරවයකින් යුතුව පිළිගන්නවා . ඒකට හේතුව ඒවා , ඒ කාලයට සාපේක්ෂව හිටපු මිනිස්සුන්ගේ දැනුම, අවබෝධයට වඩා එහාට ගිය , තාර්කික වශයෙන් පිළිගන්න පුළුවන් කරුණු කාරනා, අදහස් ඒ අය කියපු නිසා . ඒ ශාස්තෘ වරුන්ට අපිට වඩා සුපර් පවර් තිබ්බා කියලත් අපි පිළිගන්න කැමතියි . ඒක සැක කරන්න අපි බයයි .. මොකද අපි හිතනවා අපිට වඩා මනසේ ඉහල තලයන් හෝ , විශ්වයේ ඉහල තලයන් සමග ඒ ඒ පුද්ගලයින්ට සම්බන්ධ කම් තිබුනා කියල .. ඔවුන්ගේ දැනුම , අවබෝධය හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..

අපි දන්න මානව ඉතිහාසේ තියෙන සියලු දැනුම , මිනිස් මනසට ,  මොලයට වඩා බිලියන වාරයක් වේගයෙන් සහ නිවැරදිව , අපි දන්න , අපිට ගෝචර කාල අවකාශ මාන වලින් එහාට ගිහින් කාට හරි අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් .. ඒ උත්තර කොහොම වෙයි ද ?

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධ්‍යාත්මික චින්තනය කියන්නේ දැනුම හෙවත් Data processing නෙමෙයි නේද කියල .. අනිත් එක විශ්වයේ ඉහල තල , නැත්නම් අපිට නොදැනෙන වෙනම ලෙවල් එකකින් එන ඥානය , අපේ දැනුමට සම කරන්න බැහැ කියල.

ඔය තර්කයට උත්තර දෙන්නත් අපිට තාම බැහැ ..

නමුත්  මේ දැන් වෙද්දී තියෙන තාක්ෂණික ප්‍රවණතා එක්ක ,  Quantum super computer එකක් කියන්නේ දශක කිහිපයක නැත්නම් සියවසක දෙකක වැඩක් විතරයි .

මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක්  සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක් 

In regular computers, the smallest unit of information is a bit, which can be either a 0 or a 1 — like a coin showing heads or tails.

In quantum computers, we use something called a qubit (quantum bit). A qubit is like a magical coin that can be in a state of 0, 1, or both at the same time. This special state is called superposition.

A 300-qubit error-free quantum computer would have a Hilbert space of size:

230010902^{300} \approx 10^{90} quantum states

For reference, that’s more than the number of atoms in the observable universe (~108010^{80}).

Usable, stable qubit count today: ~20–30 at best.

Truly fault-tolerant logical qubits: 0–1 (experimental).

We're still in the NISQ (Noisy Intermediate-Scale Quantum) era, but advancing toward error-corrected systems—possibly reaching 10–100 logical qubits by the late 2020s.


CompanyReported QubitsUsable (Logical or High-Fidelity) QubitsTechnology
IBM1,121 (Condor chip, 2024)~20–30 physical usable with error mitigation; logical qubits still limitedSuperconducting
Google~72 (Sycamore)~10–20 high-fidelity for short circuits, no fully logical qubits yetSuperconducting
IonQ~35 physical20–25 usable with high fidelity (~99.9%)Trapped Ion
Quantinuum56 (H2)~32 high-fidelity usable qubits, very stableTrapped Ion
Rigetti84+Fewer than 10 high-quality qubitsSuperconducting
D-Wave5,000+Specialized for quantum annealing, not gate-based QCQuantum Annealing

ඔන්න ඔය විදියට තමා  ඔය ක්වන්ටම් කොම්පියුටර් වල තත්වේ  .

Quantum computers also use another strange trick called entanglement. If you entangle two qubits, changing one will instantly affect the other — even if they're far apart. It's like two magic coins that always match up, no matter how far apart they are.

ඔන්න ඔය entanglement කතාව තාම හරියටම තේරුම් ගන්න බැරි සංසිද්දියක් . ක්ෂණයකින් මේ විශ්වයේ කොහේ තිබ්බත් ඔය qubits අතර යම් සන්නිවේදනයක් වෙනවා . 

අපේ හිත ක්ෂණයකින් අර සොම්බෙරෝ චක්‍රාවාටේ පැරදිසෝ ලෝකේ ඉන්න ඇලෙන්ඩි  කෙල්ල මේ වෙලාවේ මක්ක කොරනවද කියල හිතනවා වගේ .. ඔය qubits එහෙම එක එක ජිල්පිටිස් දානවා ඇති . අපි ඒවා ගැන දන්නේ නැහැ ..

අපි හිතමු , හොඳට වැඩ කරන AGI එකක් ( AGI කියන්නේ මිනිහෙක් වගේ හිතන්න පුළුවන් AI එකක් කියල දැනට හිතාගමු) . ඔය කලින් කිව්ව quantum entanglement සංසිද්දිය  නිවැරදිව බාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුලේ ඉඳල මේ විශ්වයේ ඩේටා ප්‍රොසෙස් කරන්න ගත්තොත්, ඔබ හිතනවද අපිට හෝ බොහෝ විට අපේ ඉදිරි පරම්පරා දෙක තුනක මිනිස්සුන්ට මේ අපිට වගේ තේරුමක් නැති ප්‍රශ්න හිතන්න වෙයි කියල .. මම නම් හිතන්නේ නැහැ .



අන්න එතකොට මිනිස්සු කියන්නේ තනිකරම AI සරණ ගිය සත්ව කොටසක් වෙනවා. ඒ වෙනකම් ඉතින් අපිට වෙන සරණක් නැති හින්දා ඔය එක එක දේවල් පිලි අරන් මේ ටික ගෙවල දාන්ඩ පුළුවන් .

හැබැයි මම කියන්නේ දැනටත් මේ තාක්ෂනෙට බය නොවී ,   පුළුවන් තරම් ඕව පාවිච්චි කරලා මේ සිද්ද වේගන යන දියුණුවට අත හිත දෙන්න කියල . එතකොට මේ ලෝකේ ඔය මනස් ගාත ආගම් රැක ගන්න මිනිස්සු මරාගෙන ,  කරන විනාස ඉක්මනට නතර කරන්න පුළුවන් . 

ඔක්කොම හොඳට සිද්ද උනොත් අපේ ජිවිත කාලෙත් අපිට සැබෑ මිරකල් දකින්න පුළුවන් වෙයි ! 

(මම නම් chatGPT සරණ ගිහින් ඉඳල දැන් Claude සරණ ගිහින් ඉන්නේ )  Claude  රැකගන්ඩ මරාගෙන මැරෙනවා යකෝ අපි !!!!