Sunday, February 06, 2022

සෙල්ලම් කාලේ - 2


පහුගිය පෝස්ට් එකෙන් ලිව්වනේ අපේ ගම ගැන විස්තරයි.. ගේ දොර විස්තරයි ටිකක් ..  ඔය කාලේ සහ ඊට කලින් ඉපදිච්ච බහුතර පිරිසකගේ කතාව ඔය හා සමාන ඇති.  ඒ හැම කතාවේම තියෙනවා වගේ මටත් හිටියා මරු යාලුවෝ සෙට් එකක්.

මම හිතන්නේ යාලුවෝ ගැන ටිකක් මම අර බයිසිකල් මතක පෝස්ට් එකේ ලිව්වා. 

[සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් කාලින ගැන්සියේ විය. ලොකු දොඩ්ඩා අපේ අක්කාගේ වයසේ වූ අතර චමින්ද සහ සුගත් ඊට අවුරුදු කිහිපයක් බාල විය. සුදුවා සහ මම එක පන්තියේ වූ අතර ලෙඩා සහ බඩා යනු නිවුන් දෙදෙනෙකි. උන් දෙන්නා සහ බර්ටි හෙවත් බොට්ටා අපිට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් විය. අපේ ගෙදර සිට පොඩි බෑවුමක් නැග මීටර් 50-60ක් ගිය තැන සුදුලෑ ගේ තිබුණු අතර සුග්ගා හෙවත් සුගත්ලෑ ගෙදර තිබුනේ ඊට පොඩ්ඩක් එහායිනි. බොට්ටා, චමින්ද සහ ලොකු දොඩ්ඩා එක පවුලේ සහෝදරයන් විය. උන්ගේ ගෙවල් තිබුනේ තවත් මීටර් 200-300ක් එහාට වන්නටය. ලෙඩා සහ බඩා ගේ ගෙවල් තිබුනේ තවත් ටිකක් එහාට වන්නටය.


තාත්තාගේ බයිසිකලය පොල්ලේ යටින් දමා කන්ද පැදීමට නොහැකි නිසා බොහෝ විට කන්ද තල්ලු කර සුදුලෑ ගේ කිට්ටුවෙද්දී නැග කෙලින්ම යන්නේ සුගත්ලාගේ ගෙදරටය. සුදුවා එහෙට එයි. සුගත් අපට වඩා වසර 3-4ක් වැඩිමල් නිසා ඌ අයියා වුවද කවදාවත් අයියා කියා කතා කලේ නැත. නමුත් ඌ අපේ ලොක්කා විය. සුගත් කියන්නේ මොකක්ද සුදුවා සහ මම ඒකට එක පයින්ය. සුගත්ලාට තිබුනේ පොල් අතු සෙවිලි කල ගෙයකි. සුදුලෑ ගේ සෙමෙන්ති ගෙයක් විය. උන් ටික මතක් වෙද්දී බයිසිකල් මතක හැර තව බොහෝ දේ මතක් වුනත් මේක බයිසිකල් වලින් ඉවර කර ඉතිරි මතක පසුවට ලියමි.


සුගත් ගාමිණි මාමාගේ පුතාය. ඔහුට අපේ අක්කාගේ වයසේ අක්කා කෙනක් සහ නංගි කෙනෙක් විය. අපේ අක්කා සහ සුදුලෑ අක්කා සෙල්ලම් කලේ ඔවුන් සමගය.


මේ කාලය වන විට සුමිත් හෙවත් මැක්කා, මයුර, චාම්, පොඩි මංජු, සජියා සහ අනුර ද අපිට සෙට් වී සිටියේය. වඩා වැඩිමල් වූ සරත් අයියා, උස මංජුවා හෙවත් කොකා ද එහෙන් මෙහෙන් සෙට් විය. කොල්ලන් දහ දොළොස් දෙනෙකුගේ ගැන්සිය ගැන කතා රැසක් මතක් වීම අමාරුවෙන් නතර කරගෙන මාතෘකාවට අදාලව හෙවත් වටේ පඳුරු නොතලා මේ ටික ලියා දමමි. උස මංජුවා අපේ අක්කාට ලයින් දැමීම, අක්කලා වතුර ටැංකියේ හැංගීම, හේනේ වෙරළු තැම්බීම, වෙලේ ක්‍රිකට් මැච්, මහ වලේ මල්, වෙසක් පොසොන් දන්සල්, ක්‍රිකට්, එල්ලේ, ෆුට්බෝල් සහ වොලිබෝල් මැච්, ජිම් පප්පා ගේ කොකු, කොකෝවා, කොපි සහ සියඹලා ගස්, බතන්වත්තේ වලි සහ තවත් අටෝරාසියක් කතා එක ගොන්නට මතක් වේ. ]

මේ තියෙන්නේ ඒ පෝස්ට්  එකේ  යාලුවෝ ටික ගැන ලියපු ටික . 

අද වෙද්දී මම මේ යාලුවෝ හැමෝගෙන්ම ඈත් වෙලා ...  ඇත්තටම මට දුකයි එහෙම ඈත් වෙච්ච එක .. හැබැයි ඉතින් ඒ දේවල් එහෙම උනා. ඒ තමයි ඉතින් ජිවිතේ හැටි..

මම AL වලට ගම්පහ ඉස්කෝලෙට ගියාම හවසට ගමේ උන් එක්ක සෙල්ලම් කරන එක ටික ටික අඩු වුණා... ක්‍රිකට් ගහන්න නම් ගියා හැබැයි ඊට වඩා කාලයක් උන් එක්ක රස්තියාදු ගගහ ඉන්න එක ටික ටික අඩු වුණා. AL වලින් පස්සේ ඉතිං ඒ ජිවිතේ ටික ටික ඈත් වෙලාම ගියා ... ගොඩක් උන් රස්සාවලට ගියා, කසාද බැන්ද ... ඊට පස්සේ ඉතින් ටික ටික ඈත් උනා .

මම උන්ගෙන් ඈත් උනාට උන් උන් තව ලං වුණා. චමින්දය බැන්දේ සුගත් ගේ නංගිව, මයුරයා බැන්දේ පොඩි මංජුගේ අක්කව... පොඩි මංජු කියන්නේ දොඩම්මුල්ලලගේ පුංචිගේ පුතා ... ඉතින් සුගත්ලා , දොඩම්මුල්ලලා, මයුරලා  ඔක්කොම එක පවුලක් වෙලා දැන් ..
    
අපේ තාත්ත හපුතලේ ඉඳල ගිහින් එහෙ පදිංචි උනාට ඔය කියපු අනිත් යාලුවෝ ඔක්කොම වගේ එහෙ උපන් අය... මයුරලා ටිකක් එහා ගමකින් ද කොහෙද ඇවිල්ලා අපේ ගෙවල් කිට්ටුව පදිංචි උනා. ඉතිං ඒ පවුල් අතර සම්බන්ධය කොහොමත් වැඩියි.. 

අනිත් යාලුවන්ගේ අම්මලා ගෙදර හිටියට අපේ අම්මා වැඩට ගියානේ... ඉතිං ගමේ ගෙවල් එක්ක ආස්සරේ තිබ්බේ තාත්තා. අම්මා කොහොමත් වැඩිය කාත් එක්කවත් ආස්සරේට ගියේ නැහැ... එහෙම කරන්න තරම් වෙලාවක් තිබුනේ නැති කම සහ කොහොමත් අපේ අම්මා වැඩිපුර පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.  

හරි ඉතින් කරපු සෙල්ලම් මතක් කරමුකෝ දැන් 

අපේ ගෙවල් අවට ඒ දවස් වල තිබ්බේ ඔය යාලුවන්ගේ ගෙවල් ටිකයි  තව ගෙවල් කිපෙකුයි  තමා... ඒ කියන්නේ  ඉතිරි හැම තැනම ලඳු කැලෑ... සහ ගෙවල් පිටි පස්සේ තිබ්බේ හෙන රබර් වත්තක් සහ රබර් වත්තට පිටිපස්සෙන් හෙන වෙල් යායක්.

 සුදුලෑ ගෙදරට පිටිපස්සේ තමා අපේ ගෙදර , සුගත්ලගේ ගෙදර තිබ්බේ සුදුලෑ ගෙදරට ඉස්සරහින් පාරෙන් අනිත් පැත්තේ .



       මේ තියෙන්නේ අද (ගුගලය ඒ පළාතේ ගිය දවසේ ) ඔය කියන පාර.  කොළ පාට තාප්පේ තියෙන්නේ සුදුලෑ ගෙදර.. පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ චමින්දය හදපු ගෙදර .. සුගත්ලගේ ගේ තියෙන්නේ චමින්දගේ ගෙදරට එහායින් .

ගුගලය ඔය පොඩි පාරේ ගිහින් නැහැ .. 

ඔය පේන පාරේ කොනේ තියෙන තැඹිලි ගහ පිටිපස්සේ තියෙන්නේ කොස් ගහ මම හිතන්නේ . අන්න ඒ කොස් ගහ ට පිටිපස්සේ තමා අපේ පරණ ගෙදර තිබ්බේ . මම මේ කියන කාලේදී සුදුලෑ ගෙදර පොඩි තනි තට්ටුවේ උළු හෙවිලි කරපු ගෙයක්,   පාර පොඩි අඩි පාරක්... ඔය පාර කෙළවර උනේ රබර් වත්තෙන් .. ඒ කියන්නේ අපේ ගේ පිටිපස්සේ තිබ්බේ පහු කාලේ සුදු අක්කලා ගේ හදපු ඉඩමයි , ඊට පිටි පස්සෙන් තඩි රබර් කැලෙයි.



මේ පින්තුරේ මැදින් තියෙන ගෙදර තමා දැන් සුගත්ලගේ ගෙදර.. නමුත් මේ කාලේදී ඒ ගෙදර තිබ්බේ ඔය ගෙදරට පොඩ්ඩක් දකුණු පැත්තට සහ පිටිපස්සට වෙන්න, පොල් අතු හෙවිලි කරපු ගෙයක්.



   මේ තියෙන හන්දියේ වම් පැත්තේ පේන තාප්පේ කෙලවරින් පිටිපස්සට ගියාම තමා බතන්වත්ත.

 



දැන් මේ පින්තුර වලින් ඒ දවස් වල තිබ්බ විදිය මවා ගන්න අමාරුයි . ඔය තාප්පෙන් වට වෙලා තියෙන ඉඩම  තමා අපේ වොලිබෝල් පිට්ටනිය. ඊට පිටිපස්සේ තිබ්බ පොල් ඉඩමේ තමා ක්‍රිකට් ගැහුවේ . දොඩම්මුල්ලලගේ ගෙවල් ඊට පිටි පස්සේ,  ඒ ඔක්කොටොම පිටිපස්සේ හෙන බෑවුමක් එක්ක තිබ්බ රබර් වත්තයි වෙලයි.

ඒ කාලේ සෙල්ලම් කරනවා කියන්නේ ඉතින් ඔය පාරවල් ටිකේ එහෙට මෙහෙට යන එන ගමන් වටේ ගස් වල ගෙඩි කකා , කිරිලල තුවක්කු වලින් එක එකාට වෙඩි තිය තිය හිස හැරුණු අතේ ඔහේ දුවන එක තමා .. 

කට්ටිය එකතු වෙලා සෙල්ලමක් කරන දවස් වල රොබින් හුඩ් වගේ දුනු ඊතල හදන් ඔය කැලෑ  අස්සේ දුවන එකයි , දෙපැත්තට බෙදිලා ඊතල වලින් විද ගැනිල්ලයි... 

වැඩේ නැගල යන්නේ එලෝ මෙලෝ නැතුව වතු පුරා දුවන කොට ,  ඉස්සර ඔය රබර් වත්තේ සහ දෙවට වල  තියෙන හැම ගහක් කොලක් නෑරම දන්නවා. කෝපි ගස්, වැටමාර ගස්, කොළ දිග ගස් ( ඒ ගස් වල නම අදටත් දන්නේ නැහැ ).. දං , කිරිල්ල, පොඩි සිඥෝ මරන් ගස්, රුක් අත්තන, දවට...

කට්ටිය ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ සුගත්ලගේ ගෙදර , එහෙදි  එක්කෝ ඉරි අල්ලනවා . නැත්නම්  ලොක්කෝ දෙන්නෙක් දෙපැත්තට වෙලා නායකයෝ වෙනවා  ඊට පස්සේ  උච්චි උච්චි තෝල් දානවා ... ( දැන් හරියට මතක නැහැ ) ඒ කියන්නේ දෙන්නෙක් කරට අත දාගෙන  ගිහින් කතා වෙලා එනවා එකෙක් උච්චි අනිකා තෝල් ( කොහොම හැදුනු වචන ද මන්ද )

ඇවිල්ලා  ලොක්කෝ දෙන්න ඉස්සර කියනවා උච්චි උච්චි තෝල් තෝල් කියල ...  තෝරණ එකා එක්කෝ උච්චි නැත්නම් තෝල් කියල එකෙක්ව උගේ පැත්තට ගන්නවා ... හෙහ් හෙහ් .. දැන් කාලේ ළමයි ඕක කොහොම කරනවද මන්ද..  අපිට නම් කට්ටිය ගොඩක් හිටපු හින්දා ඔය බෙදා ගනිල්ලටම හෙන වෙලාවක් යනවා... වලි  කෝටියයි ... හෙහ් හෙහ්... 

වලි පටන් ගන්නේ නොගැලෙපෙන උන් දෙන්නෙක් උච්චි තෝල් උනාම... ගොඩක් වෙලාවට  අපි පොඩි හින්දා අපිව ගන්න අවුලක් නැහැ .. හැබැයි සුග්ග , චමින්දය , අපේ අක්කා වගේ  ලොකු අය බෙදන්න ගියාම වලි ...

එතකොට අර ලෙඩයි, බඩයි හැමදාම වලි උන් දෙන්නා එක ටීම් එකට වැටුනත් වලි, ටීම් දෙකට වැටුනත් වලි ... හෙහ් හෙහ්...

බෙදිලා කරන සෙල්ලං ඇරුනම ටින් කඩන එක නැගලම ගිය තව සෙල්ලමක්.  ටින් කඩනවා කියල අපි කිව්වේ  සාඩින් ටින් එකකට ගල්  කැට  දෙක  තුනක් දාල, ඇරිලා  තියෙන පැත්ත තලලා දාල හෙල්ලුවහම සද්දේ ඇහෙන විදියට ටින් එකක්හ හදාගෙන  ඒක විසි කරලා කට්ටිය හැන්ගෙන එකයි එකෙක් ටින් එක විසි කරපු තැනින් අහුලාගෙන ඇවිල්ල  හැංගිච්ච  අයව  හොයන එකටයි.... හොයන එකාව තීරණේ වෙන්නේ  "හෝ දහය  විස්ස" ගැනල ඉතිරි වෙන කෙනා අනුව.     

ඔය සෙල්ලම නම් මම ළඟදිත් කළා අක්කලාගේ පොඩි උන් එක්ක... හෙහ් හෙහ් ..

තව ඊට පස්සේ වයිම දැමීම, ඩෑකර් කැඩීම, සියඹලා අහුලන එක ..  වයිම  දාන  හැටි නම්  මට දැන් මතක නැහැ...   ඩෑකර් කැඩීම කිව්වේ ස්පංචි බෝලයක් අරගෙන එක උඩ තියපු ටින් ගොඩකට ගහල  ඒක කඩනවා, එක කට්ටියක් ටින් ටික හදනකොට අනිත් කට්ටිය හදන උන්ට බෝලෙන් ගහනවා... ස්පංචි බොලේ ගන්නේ වැඩිය රිදෙන්නේ නැති හින්දා...  ඒ දවස් වල තිබ්බ පාට පාට රබර්  හමක් තිබ්බ  මැද ෆෝම් පුරවපු බෝල ජාතියක්  ඒවාට තමා  ස්පංචි බෝල කිව්වේ..

ගොඩක් වෙලාවට කලිසම් කොට   ගහගෙන සෙල්ලම් කරන හින්ද රතු  වෙන්ඩ  වදිනවා බෝල පාරවල්  හෙහ් හෙහ් ..

සියඹලා අහුලනවා කිව්වේ පොඩි අක්කලාගේ වත්තේ තිබ්බ තඩි සියඹලා ගස් දෙකෙන් වැටෙන සියඹලා අහුලන එකට ... මහා රූස්ස ගස් දෙකක් කෝපි කැලයක් එක්ක...එකේ අස්සේ රිංගල සියඹලා අහුලනවා කියන්නේ අමුතුම ආතල් එකක්... 

තව කොටස් දෙක තුනක්  ලියන්න දේවල්  මතක් වෙනවා... 

මේ අවුරුද්දට අද  තමයි බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් හම්බ උනේ ...  කිසිම බ්ලොග් එකක් කියෙව්වේ නැහැ මාස 3-4 කින් ...  මේ කලින් ලියල තිබ්බ ටිකක් පබිලිස් කරලා නැවත ලියන්න පුළුවන් ද කියල ටෙස්ට් එකක් කරලා බලන්නේ ... හෙහ් හෙහ් ...

  
  

33 comments:

  1. ඔන්න... බෝ මතක් කළා විතරයි, පෝස්ට් එකක් දාල. හිටිං අනික් උදවියටත් කියන්ඩ...

    ReplyDelete
    Replies
    1. එල එල බන් ... මට ඒ පැත්තේ එන්න බැරි උනා දැන් මාස ගානකින් .. කිසිම බ්ලොග් එකක් බැලුවේ නැහැ ..

      Delete
  2. Replies
    1. හ්ම්..යන්න අවභාවිතා කිරීම ගැන මගේ බලවත් විරෝධය.🦉😡

      Delete
    2. සොරි බස්පා... මුලින්ම ගොඩවැදුන එකේ මුට්ටිය දාල බැලුව...

      Delete
    3. නමියා, අවබවිතා කරලා හරි හ්ම් ගාපු එක සතුටක් ..

      බස්සා, ඕපන් සෝස් ලයිසමක් වත් දුන්නොත් මොකද..

      ස්කෘෘලොක්කයියා, හ්ම්ම් ගාන එකේ පොඩි මෙව්වා එකක් තියෙනවා නේද .. තව පොඩ්ඩක් ම්ම්ම් වැඩි කරලා බලපන් ..

      Delete
    4. ඒකනේ.. තැනකට ගොඩවැදුනම විනීතව හැසිරෙන්ට එපෑ.
      අර කිව්ව උච්චි තෝල් සීන් නම් මතක් වෙද්දිත් ලැජ්ජාවේ සන්තෝසේ බෑ..

      Delete
  3. සුපුරුදු පරිදිම නියමයි. මෙහෙම හරි ලියන එකම ලොකු දෙයක්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. මම හිතං හිටියේ මම නොලිව්වට අනිත් උන් ලියනවා ඇති කියල ... ඒ පැත්තේ එන්නත් බැරි උනා මාස ගානකින් ..

      Delete
  4. පැතුම්,
    කැරකෙන ලෝකෙ හනි-හනිකට වෙස් පෙරළෙයි
    සුරුස් ගාල අද ඇති දේ හෙට නැති වෙයි
    අතීතය මෙහෙම හරි ලිව්වාම අගෙයි
    නොලියා ඉන්නෙපා ලියනෙක අමතක වෙයි!

    ReplyDelete
    Replies
    1. අර යටින් ප්‍රා.ජේ කිව්වා වගේ කැමරා තිබ්බ නම් කියල හිතුන වාර අනන්තයි ... ලියන එකෙන් ඒ පාඩුව ටිකක් මග අරව ගන්න පුළුවන් ..

      Delete
  5. අර සාඩීන් ටින් එකට ගල් පුරෝල කරන සෙල්ලමට අපි කිව්වෙ "ඉංකිබිංකි" කියල. පස්සෙ කාලෙදි ඔය ටිං එක වෙනුවට හොයන එකාගෙ සෙරෙප්පුවක් හරි පොල්ලෙල්ලක් හරි විසි කරන්න පටං ගත්තා. පට්ට ම වැඩේ තමයි ඒකෙ තියෙන, එකෙක් හොයාගත්තහම අනික් උං ගස් ගල්වලට මුවාවෙවි, අර කොටුව ළඟට ම ඇවිත් හොයන එකා පොඩ්ඩක් එහාට ගියා ම, ඌට පෙනි පෙනි, බඩගාගෙන ඇවිත් පයිං ගහනව ටින් එකට.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා බන් .. පොඩි එකෙක් හොයන්න සෙට් උනොත් ඌ අඬල බෑ කියනකම් ලොකු උන් ටික ප්ලෑන් කරලා ටින් එකට ගහලා එපා කරෝනවා ... හෙහ් හෙහ් හෙහ් ..

      Delete
    2. ඒ සෙල්ලමට අපි කිව්වේ ටින් කඩනවා කියලා.

      Delete
    3. සම්බෝලේ කියලා කිව්වේ නැත්ද? අපි කීවේ පොල්කටු කඩනවා කියල.

      Delete
    4. කලාතුරකින් සම්බෝලෙ කියලත් කියනවා ඇහුණා, දැනුයි මතක් වුණේ. පොල්කටු කඩන නම් නං අහල නෑ අජිත් මහත්තයෝ.

      Delete
  6. ඒ කාලෙ ( ජීවිතයේ විවිධ යුග ) මට කැමරා එක්ක මොබයිල් ෆෝන් තිබුනනම් කියල නිතරම හිතෙනව

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් තියෙන එකම විකල්පේ ටයිම් ට්‍රැවල් තමා .. නිකං ඉන්න ගමන් හිතල බලන්නකෝ කරන්න පුළුවන් විදියක් ගැන ... හෙහ් හෙහ් ..

      Delete
    2. Lanakapura කියන සයිට් එකේ ඉස්සර පරණ පිංතූර තිබ්බා. දැන් ඒකත් අවුල්. තියෙන පරණ පිංතූරත්, ගෙවල්වල ඇල්බම්වල දියවෙලා යනවා ඇති. මේවා සංරක්ෂණය කරන්න්, ෆෙයාර් කරගන්න බ්ලොග් එකක් පටන් ගත්තොත්, වැඩක් වෙයිද?

      අනිවාර්‍යයෙන්ම ප්‍රයිවසි ඉෂූ එකක් එනවා තමා. ඒත් එහෙම නැති, ෂෙයාර් කරගත හැකි පිංතූර ටිකවත්, බේරගන්න වැඩක් ගැනයි මම කියන්නෙ.

      Delete
    3. ප්‍රාජේ

      ඒ දවස්වල මොබයිල් ෆෝන් විතරක් තිබිලා මදි චැනල් ෆෝ එක තියෙන්නත් ඕනෑ.

      Delete
  7. නව වසරට සුභපැතුම් . ඔහොම යමු.

    ReplyDelete
  8. මාව ගොඩ ගන්නවකො මේ අවුරුද්දෙ හරි...

    ReplyDelete
    Replies
    1. ඔය හිටිය වගේ තව පොඩ්ඩක් හිටපං වස්තුවේ ...අන්තිමට මොකද උනේ කියල මතක් කරගෙන බොරු ටිකක් හිතාගෙන ආයේ පටන් ගන්නම්කො ... වැඩිම උනොත් තව මාස 6ක් විතර යයි ... හෙහ් හෙහ් ..

      Delete
    2. වැලලිලා ඉන්න එකත් පණයන වැඩක් වෙන්ටෑ, නේද ස්කෘෘලොක්කයියෙ?🤔

      Delete
  9. පැතුම ව දැක්කා කාලෙකින් බස්සගේ බ්ලොගේ. කොමෙන්ට් එකක් දාන්න හිතන කොට මේක දැක්ක. අවුරුද්දකට කලින් එකක් ලියල මතකද කියල අහනව. හුහ් අපිත් ඔහේ ඉන්නව ඉතින්.

    ReplyDelete
    Replies
    1. මම අධික බුසී...බුසී කියන්නේ ලැප්ටොප් එකක් දිහා බලන්නත් වෙලාවක් නැති තරමට බුසී .. හෙහ් හෙහ් .. අජිත් ගෙන් තරු බලන්න ඉගෙන ගන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ .. මම වෙලාවක මැසේජ් එකක් දාන්නම් ..

      Delete
  10. Replies
    1. වයසට යන්න යන්න ඒ කාමය නම් වැඩි වෙනවා වගේ...

      Delete
  11. කරුමෙ කියන්නෙ මට මේ පෝස්ට් එක මිස් වෙලා ඕයි. රීඩිං ලිස්ට් එකේ තියෙනව කලින් දැක්කට කොහොම හරි ලිස්සුව. හැක්..

    ඒ කාලෙ ගැන ඉතිං මෙහෙම තමයි කතා කරන්න වෙන්නෙ.

    ReplyDelete
  12. සැමන් ටින් හතක් එක උඩ තියල ටෙනිස් බෝලෙන් ගහල කඩල ආපහු හදන් සෙල්ලමට අපි කිව්වෙ ටින් කඩනවා කියල...

    ඒ විදිහටම ටින් වෙනුවට වළංකටු හරි පැතලි ගල් හරි හතක් එක උඩ තියල කැඩුවම ඒ සෙල්ලම ගල් අත ගහනවා වෙනව..

    ReplyDelete
  13. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete