Friday, April 24, 2020

කාල යක්ෂ - 2




ගැහැණුන් ව විතරක් නෙවෙයි යක්ෂයො පිසාචයොත් වෂී කර ගන්න ස්කෘලොක් ට පුළුවන් කියල මම අහල තියෙනව.”

නෙමින්දෙර් රජ්ජුරුවෝ හිතන් ඉන්න රට එයාට ලැබෙන්නේ නැහැ මෙහෙම ගියොත්. අසල තිබු වියලි දර කොටුවකින් කොටසක් කඩා ගත් සිම් එය ගඟට විසි කළේය.

කොහොමටත් මේ අලුත් වෙළඳ ගිවිසුම හින්දා රජ්ජුරුවෝ ඕවා ගැන හිතන්නේ නැහැ. එයාට කවදත් ස්කෘලොක් කියන්නේ මිත්‍යාවක්. 

අපි ගෙදර යමු. දැන් රෑ වෙන්නත් ළඟයි.


අද එතැන් සිට ...

ෆ්රිදොම් නගරයේ වූ කර්මාන්ත ශාලා වලට විවිද අමුද්‍රව්‍ය සැපයීම සිය ජීවිකාව කරගෙන සිටි සිම්ටෝන්  සහ ඔහුගේ බිරිඳ බොහෝ දිනවල හවස් යාමයේ වැඩ නිම වීමෙන් පසු ගඟ අද්දර ඇවිදීමට පුරුදු ව සිටියහ. කාලයක් තිස්සේ කනින් කොනින් ඇසෙමින් තිබුණු ස්කෘලොක් නම් බලවත් මායාකාර රජෙකුගේ නැවත නැගිටීමක් ගැන යලිත් හාහෝවක් පැතිරී තිබීම  ඔවුන්ගේ නිසංසල සැන්දෑ සක්මනට බිය සහ චකිතය එකතු කරමින් තිබිණි.

පෙරදිග රාජ්‍යයේ ගම් වැසියන්ගේ දිවිය සරලව ගෙවෙමින් තිබිණි . ප්‍රෞඩ ඉතිහාසයක් සහ දියුණු වර්තමානයක් සහිත එහි පසුගිය ශතවර්ෂ කිහිපයක් තිස්සේ ඇතිවී තිබෙන පුරාණ  මිත්‍යා සහ ආගම් පිළිබඳ මිනිසුන්ගේ උනන්දුව සහ නැතිවී ගිය අද්භූත මායාවන් සහ අමුතු හැකියාවන් ලබා ගැනීම වෙනුවෙන් මිනිසුන් වෙහෙසීම නිසා රට තුල තිබුණු සාමකාමී වාතාවරණය කෙමෙන් කෙමෙන් අහිමි වී ගොස් තිබිණි .

නගරයට යන පාර දෙපස වූ මහා ගස් ඒ පෙදෙසට සුන්දරත්වයක් එකතු කලද, අඳුර වැටීමෙන් පසුව පාලු සහ ගුප්ත බව තීව්‍ර වන්නට ඒවා හේතු විය.

දියුණු ප්‍රවාහන සහ ගමනාගමන ක්‍රම සහිත පෙරදිග රාජ්‍යය, හුදෙකලා ගම්  සහ තනි නිවාස වලින් යුතු රටක් විය. නගර මධ්‍යයය ජනාකීර්ණ වුවද බොහෝ සෙනග පිරි ගිය මුඩුක්කු, තට්ටු නිවාස ආදිය  එහි නොවීය.   

නෙමින්දෙර් රජ පරපුර සිය ශතවර්ෂ 17ක පාලන කාලය තුල පෙරදිග රාජ්‍යය දියණු කිරීමට කැපවී වැඩ කල අතර පාලන අර්බුධ සහ දේශපාලන ගැටුම් රාශියකට මුහුණ දීමෙන් පසුව වුවත් රටවැසියන්ගේ ජිවිත නගා සිටුවීමට ඔවුන් බොහෝ දේ කළේය.

විද්‍යාශුර වර්තමාන නෙමින්දේර් රජු රටේ තාක්ෂණික දියුණුව වෙනුවෙන් සෑහෙන කටයුතු කල උගතෙකි. ඔහු මිත්‍යාවන් සහ සියලු ආගමික මතවාද බැහැර කළ, ප්‍රගතිශීලි අදහස් තිබුණු නායකයෙකු බැවින් රට තුල  නැගෙමින් තිබුණු පුරාණ මතවාද වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීම අවම කර තිබිණි. 

අනෙකුත් රාජ්‍යයන් සමග පෙර පැවති ගැටුම් සහ යුද්ධ සිය තාක්ෂණික දැනුම සහ නවීන අවි ආයුධ නිසා ජයගත් රජු සිය කාලය තුල පෙරදිග රාජ්‍යයේ සිමා පුළුල් කරගෙන තිබුණේය. ඔහුට අධිරාජ්‍යයෙකු වීමේ සිහිනයක් නොතිබුනද සිය දැනුම සහ නිපැයුම් වල හැකියාව ප්‍රචලිත කරමින් ලොවපුරා තාක්ෂණික පෙරලියක් ඇති කිරීමේ ආශාවකින් පෙළුණේය.  ඔහුගේ අභිප්‍රාය සාමකාමී ලෙස සිය අරමුණ ජය ගැනීම වුවද, පුරාණ දැනුම සහ මායාවන් ඇදහුවන්ගේ ප්‍රතිරෝධය දිනෙන් දින බලවත් විය. නමුත් රජු එම ප්‍රතිරෝධය තර්ජනයක් ලෙස නොසලකුවේය. 

“ඔය බොරු මැජික්, මන්තර වලට මොනවද කරන්න පුළුවන්.. “ රජු සිතුවේ එසේය.

නමුත් ඔහුගේ ඥාති සොයුරාගේ මතය ඊට හාත්පසින් වෙනස් විය . රජකම වෙනුවෙන් හට ගත් ආරවුලකින් පසු විරසක වූ ක්‍රොෆින්ගර්, සිය රජුට එතරම් පක්ෂපාතිත්වයක් නොදැක්වීය. රජු මෙන්ම තාක්ෂණික දැනුමැත්තෙකු වුවද ඔහුගේ සිතතුල පැලපදියම් වූ පුරාණ මතවාද නිසා මතුවෙමින් පැවතුනු මිත්‍යා පුනරුදය, සිය රජ වීමේ සිහිනයට යළි පාර සකස් කර ගැනීමට යොදා ගැනීමට ඔහු මාන බැලුවේය.

පෙරදිග රාජ්‍යයට දකුණු දෙසින් වූ කඳුකරය සිය වාස භුමිය කරගෙන සිටි ක්‍රොෆින්ගර් වෙළඳාමට සූරයෙක් විය. හයිලැන්ඩර් වරුන් ලෙස හැඳින්වූ මේ කඳුකර වාසින් සිය කඳුකර පසින් ලබා ගත් බැර ලෝහ සහ රසායනික අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ විකිණීම කල වෙළෙන්දන් විය. කඳුකරයේ ගුප්ත බව ක්‍රොෆින්ගර් තුල මායාවට ඇති ආශාව උද්දීපනය කරන්නට හේතුවිය. රහස් සැඟවීමට කඳුකරය දක්ෂය. මිදුම, සිතල මායාවන්ට ජිවය සපයන උල්පත්ය.  
    
“ඇස්ඩෝව්ස්….මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕනෙ… හොඳින් හරි නරකින් හරි…

ඒක ගැන බය වෙන්න එපා…ප්‍රයිකූල් නියමෙට වැඩේ කරයි… මේක කොහොමවත් වරදින්න විදියක් නැහැ…”         

වියරු හිනාවෙන් යුතු ඇස්ඩෝව්ස් ගේ කපටි ඇස් අඳුරු කුටිය තුල බළල් ඇස් මෙන් දිලිසුණේය.

"උඹ ඔහොම කිව්වට අපිට තව ඉතිරි වෙලා ඉන්නෙ සෙබළු 30,000 යි… තාම ප්‍රයිකූල් ඉන්නෙ පටන් ගත්ත තැනමයි. මේක සෙල්ලමක් නෙවෙයි ඇස්ඩෝව්ස්, මිනිස්සු 60,000ක් බිලි දෙනව කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිහෙක් නොකරන දෙයක්…"

"මම ඒක දන්නව ක්‍රොෆින්ගර් නමුත් අපිට වෙන විකල්පයක් නැහැනෙ… ඒක තමයි ස්කෘලොක් ගේ සාපය… අපිට ස්කෘලොක් ව ආපහු ගන්න නම් ඒක කරන්නම වෙනව… දැන් මැරිච්ච මිනිස්සු 30,000 ගැන වත් මැරෙන්න ඉන්න මිනිස්සු 30,000 ගැනවත් හිතල වැඩක් නැහැ… හිතන්න ඕනෙ එක දෙයක් ගැන විතරයි. "

ක්‍රොෆින්ගර් ඇස්ඩෝව්ස් මත විශ්වාසය තබා තිබුනේය. ඔහු කඳුකරය පාලනය කිරීම හැරුණු විට අලුතින් ඇති කරගත් වෙළඳ ගිවිසුම නිසා කාර්ය බහුලවී සිටියේය. තම නෑයා සමග වෙළඳාම පරිස්සමින් කලයුතු වූ හෙයින් ඒ කටයුතු වෙනකෙකුට පැවරීමට ඔහු පැකිළුනේය. ඇස්ඩෝව්ස් තමාටත් වඩා මේ වැඩ ගැන උනන්දු වූ හෙයින් ගැටලුවක් නොතිබුණේය. 

ක්‍රොෆින්ගර් යනු උඩු රැවුල වැවු කෙසඟ සිරුරකට හිමි, නමුත් ඉතා කඩිසර සහ තියුණු ඇස් සහිත කපටි ගති ලක්ෂණ ඇති නායකයෙකි.  ගනව වැවී තිබුණු ඇහි බැමි සහ හතරැස් වූ හකු ඔහුගේ ඒ පෙනුම තවත් තීව්‍ර කළේය. කඳුකර දුෂ්කර ජීවිතය ඔහුගේ සිරුර බොහෝ දේ දරාගැනීමට හුරු කර තිබුනේය.  දරුවන් නොසිටි ඔහුගේ විවාහය ඔහුව නිවසට බැඳ තැබීමට අසමත් විය. බිරිඳ ඔහු සමග සිටියද ඔවුන් දෙදෙනා අතර වුයේ දුරස්ථ බැඳීමකි.  මිත්‍යා විශ්වාසයන්ගේ එල්බගෙන සිටි ඔහුගේ බිරිඳගේ කටයුතු ඔහු තුල ශේෂ වී සිටි නවීන මිනිසා තවත් යටපත් කිරීමට හේතුවන්නට ඇත.

ඇස්ඩෝව්ස්  සමග කාමරයෙන් එලියට ආ ඔහු සිය මාලිගාව එපිටින් වූ මහා වනය දෙස බලාසිටියේය. “ප්‍රයිකූල් ගේ තියෙන උද්දච්ච ගති නිසා මට සමහර වෙලාවට කේන්තියක් එන්නේ. හැබැයි උගේ තාත්ත නම්බුකාර මිනිහෙක්. “ ඈත බලමින් ක්‍රොෆින්ගර් පැවසීය.

“ප්‍රයිකූල් දක්ෂය. නාහෙට අහන්නේ නැති ගති තියෙන හින්ද තමා මේ වැඩේට තිතට ගැලපෙන්නේ. අනිත් එක මතකනේ ගිය වතාවේ. ටෙයිදෝස් ලට එලව එලව ගැහුවේ, අපේ පතල් ටික බේර ගත්තේ ප්‍රයිකූල්. කිසි අනුකම්පාවක් නෑ. ඒ වගේ මරුමුස් ගතියක් නැති එකෙකුට ඇර අපේ වැඩේ වෙන කාටවත් කරන්ඩ බෑ. ”.  ඇස්ඩෝව්ස් විශ්වාසයෙන් පැවසිය. 

ක්‍රොෆින්ගර්ට අවංකවම හිතවත් ඇස්ඩෝව්ස් ඔහුගේ මස්සිනාය.  කඳුකරයේ පාරම්පරික වංශවත් පවුලකින් පැවතුනු ඇස්ඩෝව්ස් සිය සොයුරිය සහ ක්‍රොෆින්ගර් අතර විවාහයට පෙර සිටම ඔහුගේ මිතුරෙකුව සිටියේය. පෙරදිග රාජ්‍යට අයිතියක් තිබුණු ක්‍රොෆින්ගර්ව සිය පවුලට බඳවා ගැනීමට ඔහුට අවශ්‍යය විය. නුතනත්වය නිසා වැළලී ගිය පෞරාණික උරුමයට නැවත පණදීමට ඔහු දුටු සුදුසුම පුද්ගලයා  ක්‍රොෆින්ගර් විය.

 *******************

නෙමින්දේර් රජු පණිවිඩ කාමරය තුලට යන විටම විශාල තිරය මත ආරක්ෂක ඇමතිගේ රුව දර්ශනය වෙමින් තිබුණි. 

“මොකද වෙලා තියෙන්නේ ෆ්ලොයිඩ් ? රජු ඇසුවේය .

“දකුණු කඳුකරයේ නිරිත දිශාවට වෙන්න සේනා සංවිධානය වීමක් ගැන අපිට තොරතුරු ලැබුණා. රෙඩ් වුල්ෆ් කඳවුරෙන් කැලෑවේ අධි ආරක්‍ෂිත කොටසට ඇතුළු වෙන්න අවසර ඉල්ලපු සිග්නල් එකක් අපි ග්‍රහණය කර ගත්ත. මට පෙන්නේ හයිලැන්ඩර්ල අර මිත්‍යා රජු හොයාගෙන යන වැඩේ ආයේ පටන් අරන් වගේ. ඔබ තුමාව දැනුවත් කරන්න මම මේ පණිවිඩේ එව්වේ.. අපිට තර්ජනයක් නැහැ”

“බොහොම ස්තුතිය් ෆ්ලොයිඩ්. මට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු මොනවා කරන්න හදනවද කියල. මොන බොරු වැඩක් ද ඔය මන්තර කාරයෝ පස්සේ දුවන එක. කොහොමත් අපි හයිලැන්ඩර්ලගේ වැඩ වලට අත දාන්න යන්න හොඳ නැහැ මේ වෙලාවේ.  122 වෙනි දවසේ මට ක්‍රොෆින්ගර් එක්ක සාකච්චාවක් තියෙනවා. මම අහල බලන්නම් මේ ගැන. එතකන් ඒ ගැන මොකුත් කරන්න යන්න එපා. අපි උනන්දු වෙනවා කියල දැන ගත්ත ගමන්   හයිලැන්ඩර්ල ඕක වාසියට ගන්නවා. මට මේ වෙලාවේ ගොඩක් වැදගත් එහෙන් එන බඩු ටික. “

“හරි රජතුමනි. මම හෝදිසියෙන් ඉන්න අපේ කට්ටියට කියන්නම්. එහෙනම් මම නවතිනවා.”

පණිවිඩ අංශයේ සිටි සෙබළුන් සහ සේවකයන්ගේ සුවදුක් විමසා සුහද කතා බහක යෙදුනු රජු කාමරයෙන් ඉවත් ශාලාව ඔස්සේ මාළිගා ද්වාරය වෙත පියමැන්නේය.  නෙමින්දෙර් රජු උස, ප්‍රතාපවත් පෙනුමක් සහිත තැනැත්තෙකි. පෙරදිග රට වැසියන්ට පොදු වූ පිළිවෙල සහ, ක්‍රමානුකුල බව රජු තුලින් මනාව දිස් විය. ගානට සකස් කරන ලද මුහුණ පුරා වැවුණු ඝන රැවුල සහ ක්‍රමානුකුලව පසුපසට පීරා තිබුණු කොණ්ඩය නිසා ඔහුගේ රාජකීය පෙනුම කැපී පෙනුනි. කළු පාටට හුරු තද නිල් පැහැති ඇඳුම එහි වූ රන්පැහැති චාම් වැඩ නිසා මහේශාක්‍ය බව ඔප්නංවා තිබුණි. බුට් සපත්තු සහ උරහිසින් පහලට වැටුණු කබාය, රජ ඇඳුමේ රජු එතරම් ප්‍රිය නොකල කොටස උවද සම්ප්‍රදාය රකිනු පිණිස  ඒවා පැළඳිය යුතු විය. නමුත් රජු සිය රාජකාරි නොවන ගමන් බිමන් වලදී  කලිසම සහ සරල ටී ෂර්ටය ප්‍රිය කළේය.  ජිවිතයේ මැදි වයස පසු කරමින් සිටි නෙමින්දෙර් රජු ක්‍රියාශීලිව සහ නිරෝගිව සිටීමට ප්‍රියකළ කඩිසර චරිතයකි.

“තාත්තා මොකක් ද ආපු පණිවිඩය. ෆෝමැටෝ සමග මාළිගා අංගනයෙහි ඇවිදිමින් සිටි නිෂා ඇසුවාය. “

“මේ මන්තර කාරයෝ නැගිට්ටවන්න හදනවලු කඳුකරේ. මට නම් හිතා ගන්න බැහැ ඇයි මේ මිනිස්සු ඔය මනස්ගාත පස්සේ දුවන්නේ කියල. හයිලැන්ඩර්ලට කිසි අඩු පාඩුවක් නෑනේ. ඒ වුනාට ඒ මිනිස්සු ඉස්සරහට යනවට වඩා කරන්නේ පස්සට යන වැඩ.” කඳු බෑවුමින් එපිට පෙනන මහා සාගරයත් පසෙකින් වූ කඳු වැටියත් දෙස බලමින් රජු පැවසිය.

“ක්‍රොෆින්ගර් මාමා දන්නවා ඇති. කොහොමත් නැන්දා ඔය බහුභූත පස්සේ දුවන කෙනානේ.. “ නිෂා පැවසිය.

“මාත් අහගෙන ඔය තැන් තැන් වල ස්කෘලොක් ගැන කතා වෙනවා. මිනිස්සු කැමතියි කොහොමත් මොකක් හරි මනස් ගාතයක් පස්සේ එල්ලිලා ජිවත් වෙන්න.” ෆෝමැටෝ කතාවට සම්බන්ද විය.

“ඔව් පුතා. අපි මේ රට මේ තත්වයට ගෙන්න සෑහෙන මහන්සි වුණා. මම කියන්නේ නැහැ මිනිස්සුන්ගේ සියලුම ප්‍රශ්න විසඳුවා කියල. හැබැයි මේ මිනිස්සු විද්‍යාවට වඩා මිත්‍යාව විශ්වාස කරද්දී රටේ අනාගතය කොහොම වෙයිද කියල හිතා ගන්න අමාරුයි.”

“මිනිස්සුන්ට බැරි ඇයි මන්තර  කාරයෝ  නැතුව මැරිච්ච දෙවිවරු ආයේ නැගිට්ටවන්න ?”

කතාව මැද්දට පැන නිෂා ඇසුවාය.

“දෙවියෝ සහ මන්තර කාරයෝ කරන්නේ එකම දේ. හැමදේම ඉබේ ලැබෙන මැජික් එයාල ළඟ තියෙනවා කියල මිනිස්සුන්ව රවට්ටනවා. “ 

“දෙගොල්ලම එකයි.” නෙමින්දෙර් රජු සිනාසෙමින් පැවසීය.

“මම එහෙනම් දැන් යන්නම් නිෂා. මට දවල් වෙලා පොඩි සාකච්චාවක් තියෙනවා. “ ෆෝමැටො යන්නට හැරෙමින් පැවසිය. 

"හරි එහෙනම් 119 දා ආයේ මෙහෙදී කන්න එනවනේ. අහ් අද 116 නේද? මට අමතක වුනානේ. මට දැන් යාලුවෝ ටිකක් හම්බ වෙන්න යන්න තියෙනවා. මමත් එන්නම් ඔයත් එක්ක යන්න. "

ඔවුන් දෙදෙනා පියාගෙන් සමුගෙන සිය මයින්ඩ් ජෙට් යානා ගියෝය.




ප.ලි 

මීට වඩා ටිකක් වැඩිපුර ලිව්වා පින්තුරත් එක්කම :) . අන්තිම මොහොතේ පබ්ලිෂ් කරද්දී මොකක් දෝ අවුලක් වෙලා ලියපු ටික නැති වුණා . බැකප් එකෙන් අරන් මේ ටික අද දානවා  මොකද මම හිතුවා හැම සිකුරාදටම කොටසක් දානවා කියල .

6 comments:

  1. //රෙඩ් වුල්ෆ් කඳවුරෙන් කැලෑවේ අධි ආරක්‍ෂිත කොටසට ඇතුළු වෙන්න අවසර ඉල්ලපු සිග්නල් එකක් අපි ග්‍රහණය කර ගත්ත// එංගලන්තය සම්බන්ධ කතාවක් වගේ වෙලාවකට,. හයිලන්ඩර් (ස්කොට්ලන්ත වාසීන් ) ගැන කියන නිසාත්. බලමු බලමු
    වයිට් හාට් ලේන් එකේ තැබැරුම ගැන කීවම මම හිතුවේ අපේ ගෙවල් පැත්ත ගැන කියනවා කියල.

    ReplyDelete
    Replies
    1. අජිත් නැහැ මේක එංගලන්තෙට සම්බන්ද කතාවක් නෙමේ . මම ඔය නම් දාන්නේ මම මේක ලියන තැනට පෙන්න තියෙන එක එක ඉංග්‍රීසි වචන සහ ඔය කාලයක් තිස්සේ ඔලුවේ තියෙන කතා සහ චරිත වලින් .. හෙහ් හෙහ්

      රෙඩ් වුල්ෆ් කියල පොතක් මගේ පොත් ගොඩේ තියෙනවා. දාන්න නම හිතද්දී එක දැක්ක ... නම දැම්ම

      හයිලන්ඩර් කියල කතාවක් 1990 ගණවල ටීවී එකේ ගියා මතකද ? මම ඉස්සර ආසාවෙන් බලපු එකක්. එකෙන් කොපි කළා ඒ නම ... හෙහ් හෙහ්

      ඇස්ඩෝව්ස් කියන නම දැම්මේ මේක මුලින්ම ලියන්න ගත්ත කාලේ. එක හැදුවේ කීබෝර්ඩ් එකේ ASDOWS කියන අකුරු ටික බලල ..

      ස්කෘලොක් හැදුවේ PrtScr key එකයි Caps Lock එකයි එකතු කරලා ... හෙහ් හෙහ් ..



      Delete
  2. හැම සිකුරාදටම.... හොඳ අදිටනක් පැතුම්, ඒ වගේම කරන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට ඕව කරයි ද දන්නේ නැහැ ඉතින් ... හෙහ් හෙහ් .. මේ නිවාඩු කාලේ පුළුවන් තරමක් ලියල දානවා ... ස්තුතියි නිදි ඇවිල්ල අදහස් දෙන එකට ..

      Delete
  3. හොඳයි. කතාව යන්තම් පටං ගත්තා කියල හිතෙනව. දැනට මොකුත් කියන්න බෑ. resurrection එක හරියයි. අපිි බලමු....

    ReplyDelete
    Replies
    1. පසුතලය නිර්මාණය කරගන්න ම සෑහෙන වෙලාවක් යනවා මේවගේ බොරු කතා ලියද්දි හෙහ් හෙහ් ..

      බලමු බලමු කතාවක් ගොතා ගන්න ..

      Delete