Monday, December 31, 2012

මාබල් බීච් සවාරිය..

දැනට සති 2කට විතර කලින් 2012 වර්ෂය සඳහා වූ අපගේ අවසන් චාරිකාව අපි නිමා කළා. මෙච්චර කාලෙකට ගිහින් තිබුණු නැති නැඟෙනහිර පළාතේ සංචාරයක් දාන්න ලැබීම ලොකු දෙයක් වුණා. මාස කීපයකට කලින් බට්ටින් නංඟිලාගෙ ගෙදර කට්ටියත් එක්ක ගිය නුවර,නුවර එළිය සංචාරෙන් පස්සේ සෙට් වෙච්ච ට්‍රිප් එක මේක. පහුගිය කාලේ තිබිච්ච අධික බිසී බව නිසා අපේ ට්‍රිප් ගමන් සම්පූර්ණයෙන් ම අඩාල වෙලා තිබ්බේ. කොටින්ම මේ ට්‍රිප් එකට බට්ටින් නඟාව ඔපිසියෙන් ගලව ගත්තෙ අන්තිම මොහොතේ. 
කොහොම හරි ඉතින් අපි දෙන්නයි,අක්කලයි,අම්මයි,දිමුතු අයියගේ අම්මයි තාත්තයි එක්ක ත්‍රිකුණාමලේට අපි ගියා.

අපේ අක්කගෙ යාළුවෙකුගේ මාර්ගයෙන් කියල බුක් කරගත්තු රජයේ තානායමක් තමා මුල් දවසේ නවාතැන විදියට ලෑස්ති කරගෙන තිබුණේ... රෑ 9ට විතර එතෙන්ට ගියාට පස්සේ තමා රජයෙ වාසස්තාන වල රඟේ තේරුණේ. නමුත් ඒවගේ පළාතක ආන්ඩුවේ එකක් ඒ විදියට හරි තිබිච්ච එක සෑහෙන්න වටිනවා. කොහොම හරි පොඩි පොඩි කචල් බචල් එක්ක එදා රෑ එළිකරගෙන පහුවදා උදෙන්ම ගියා කන්නියා වල උණු වතුර ළිං ටික බලන්න. අපේ වෙලාවට බදු අරං නාන පින්වතුන් කවුරුත් හිටියෙ නැති නිසා ළිං හතේම වතුර ටික අතපත ගාල බලන්න පුළුවන් වුණා.  සිරාවටම පට්ට සනීපයි. නාඟන්න කියාපු රස්නේ. හැබැයි අපි කවුරුත් නෑවෙ නෑ. 

මෙන්න තියෙනව එක ලිඳක්.



එතනින් පස්සේ ගියා ත්‍රීකෝනේෂ්වර්න් කෝවිලට. ඒකට ගියේ ඇයි කියල නම් මම දන්නේ නෑ නමුත් ත්‍රිකුනාමලේ යන හැමෝම ජාතී බේදෙකින් තොරව ඒකට යනවා. මම පස්සේ දැන ගත්ත විදියට රාවණා රජ්ජුරුවන්ට සම්බන්ධ තැනක් ලු. සම්බන්ධ වෙන්නේ කොහොමද කියල හරියටම දන්නෙ නෑ. ඉස්සර නම් යන යන තැන් වල ඉතිහාසෙයි කතන්දරයි කොහෙන් හරි හොයා ගන්නව. දැන් නම් ගහල තියෙන බෝඩ් එකක් වත් කියවන්නේ නෑ. ඔහේ තියෙන දෙයක් බලාගෙන පොටෝ එකක් අල්ලගෙන එනවා. 

මේ ප්‍රතිමාව මොන දෙවියන්ගෙද කියලවත් කොටින්ම දන්නෙ නෑ... (අනේ කාලේ වනේ වාසේ කිව්වලු)

ත්‍රීකෝනේෂ්වරන් වලින් පස්සේ ආයෙත් අපේ රාජකීය රාජ්‍ය නවාතැනට ඇවිල්ල හවස් වරුව ගැන සාකච්චාවක් දැම්මා. හැමෝගෙම අදහස වුණේ අද රෑට නම් මෙතන බෑ. දැන් ඉතින් හොයපල්ලකෝ අලුත් තැනක්.. 

ඊට පස්සේ මොනව කරන්නත් කලින් කාල ඉමු කියල ගියා කන්න තැනක් හොයාගෙන කින්නියා පාළම් පැත්තට. පාළම් 2ක් ද 3ක් ද පහුකරගෙන ගිහින් අපේ දිමුතුව නතර කළේ නැතෑ අපූරු කඩේක දවල්ට කන්න. සැක්.. අන්න කඩ.. වෙලාවට පොටෝ කෑල්ලක් අල්ල ගන්න අමතක වුණා නේ.  රාජකීය රාජ්‍ය නවාතැනට තකට තක.

වෙලාවේ හැටියට වෙන තැනක් තිබුණෙ නැති නිසා සහ පොඩි උන් දෙන්නත් බඩගින්නෙ කෙඳිරි ගාන නිසා ඕන එකක් කියල දීල ඇද්ද බත් එකකට. කඩේ පොර නොමිලේම අපිට අඹ ගෙඩි ටිකකුත් කපල දුන්න බත් කාල කන්න. ඒ තරම් රස කෑම වේල..  හැබැයි අපරාදේ කියන්න බෑ අපේ බඩවල් නම් දැන් ඕනේ එකක් දිරවන්න පුලුවන් විදියට හැඩ ගැහිල තියෙන්නේ. උලත් එකයි පිලත් එකයි හික්ස්

ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියල හිත හිත වාහන දෙකේ කස්ටිය යන අතරේ අපේ බට්ටි නඟා එන ගමන් බලාගෙන ආපු Marble Beach (Air Force) Resort එක දිහාට හරවල බැලුව. අපි මාබල් බීච් එකගැන දැනගෙන හිටියට Marble Beach (Air Force) Resort එකක් ගැන දැනගෙන හිටියෙ නෑ. ඕනෙ එකක් කියල ගිහින් එතන හිටපු ගුවන් හමුදා සහෝදරයෙක් එක්ක කතා කරල බැලුව.

වෙලාවේ හැටියට එතන නිකං දිව්‍යලෝකේ වගේ. කොහොම කොහොම හරි එදා රෑ Marble Beach (Air Force) Resort එකේ ඉන්න කට්ටියම එකඟ වුණා. (අම්මල ටිකක් බැන්නට සල්ලි නම් මොනාද අනේ හික්..)

ඔය තියෙන්නේ මාබල් බීච් එක. මේ ලංකාවද කියල හිතුණා. හැමෝම ලස්සනයි ලස්සනයි කියල කියපු නිලාවැලි බීච් එක දැන් ජරා වෙලා කියල අපිට එහෙදි ලැබුණු ආරංචියක් නිසා නිලාවැලි පැත්තෙ ගියෙ නෑ. හැබැයි මෙතන නම් සුපිරි.

යුද්දෙන් රට බේර ගත්ත අපේ සෙබලුන්ගේ හැකියාව ශ්‍රමය නියම විදියට පාවිච්චි කරල ජාත්‍යන්තර තත්වයෙන් ඒ වෙරළ ඔවුන් පවත්වාගෙන යනවා. වෙරළ කොටස් 2කට වෙන් කරල තියෙන්නෙ. සාමාන්‍යය සංචාරකයින්ට සහ පදිංචි කරුවන්ට වශයෙන්. ඔබ සාමන්‍ය සංචාරකයෙක් විදියට ගියත් ඔබට රු 20ක ටිකට් පතක් ලබා ගත යුතුයි වෙරළට ඇතුල් වෙන්නත්. අපේ රටේ අපේ වෙරළට යන්න අපි මොකටද සල්ලි ගෙවන්නේ වගේ පොර ටෝක් දාන්න කලින් අපේ රටේ අනිත් වෙරළවල් වලට අපේම එවුන් ගිහින් කරල තියෙන විනාශ ටික පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මෙතැන ඒ අතින් සුරපුරයක්. ඔබටම කියල පෞද්ගලික වූ වෙරළක සන්ද්‍යාවක් ගතකරන්න කැමති නම් මෙන්න තැන. ඒ වගේ දේවල් ඉංග්‍රීසි ෆිල්ම්ස් වල විතරයි මීට කලින් දැකල තිබ්බේ. ඒ දවසට වෙරළ අපේ. සෙල්ලං ද.. හික්

නතර වෙන්න තිබුණු කබානාත් සුපිරි. ලංකාවේ තියෙන තරු පන්තියේ හෝටල් ඕනෙම එකකට නොදෙවෙනි වෙන්න ඔවුන් ඒ කබානා සුව පහසු ලෙස හදල තිබුණා. අවශ්‍ය හැමදේම ඔවුන් අප වෙනුවෙන් ලෑස්ති කරල තිබුණා.  මෙතනින් බලන්න අපි දෙන්න හිටපු කබානාවෙ ඇතුළත දර්ශනයක්. වායුසමනය,සැටලයිට් ටීවී ඔවුන්ගේ මූලික පහසුකම් විතරයි. තවත් බොහෝ දේ එහි තිබුණා.

වෙන ඕනෙම බීච් හොටෙල් එකකදි අපිට ලැබෙන්නේ බීච් එකේ නිදහසේ ඉන්න වෙලාවක් විතරයි. රැය ගෙවන්න වෙන්නේ ගොඩබිම තියෙන බිල්ඩින් එකකනේ. මෙතනදි ඒක සම්පූර්ණයෙන් ම වෙනස්. රැළි වදින වෙරළෙ හදපු සුවපහසු කාමරයක රැයක්. මහ රෑට කුණාටු වගේ වැහි එනකොට, දඩ බඩ ගගා හුළං වැදිල දොරවල් ජනෙල් සෙලවෙනකොට, මුහුදු රැල්ල යටින් වදිනකොට හිතට පොඩි බයක් දැනුනත් ඒ අත්දැකීම වෙන කිසිම තැනකින් ලබන්න නම් බෑ. 

රෑ කෑම බුෆේ ක්‍රමයට වෙනම ලෑස්ති කරල තිබුණා. ගුවන් හමුදාවේ කොල්ලො ඉව්ව කියල කියන්න බෑ. නියම සූපවේදීයෙක් ගේ රස (ඇත්තටම ඉව්වේ එයාර් ෆෝස් කොල්ලොද කියල නම් මම දන්නේ නෑ). කෑම නියමයි. 
මේ තියෙන්නේ ඩයමන්ඩ් හිල් කන්ද
පහුවදා උදේ කෑමෙන් පස්සේ ඔවුන් අපව හයික් එකක් එක්කන් ගියා. ඒ ළඟම තියෙන ඩයමන්ඩ් හිල් කියන කදු ගැටයේ ඇවිදින්න.

ඒක යුද්ධ කාලේ කොටි ගුහාවක්.
මේ තියෙන්නේ කොටි පාවිච්චි කරපු කුලුනක පාදම.
මෙන්න භූගත බංකරයක්.
ඩයමන්ඩ් හිල් කියල නම වැටෙන්න හේතුවෙච්ච කොටින්ගේ මෙහෙයුම් කාර්‍යාලයක් විදියට බාවිතා කල ගොඩනැඟිල්ල

මේ තියෙන්නේ ඩයමන්ඩ් හැඩැති  අහස :)

අපේ හයික් එකේ තැන තැන වෙහෙස නිවා ගන්නට නතර වීමට ඔවුන් සාදා තිබූ නිරීක්ෂණ ස්තාන ගැනත් මතක් කරන්න ඕනේ.

මේ තියෙන්නෙ එහෙම තැනකදී අවට පේන දර්ශනයක්.


කන්දේ හිටපු ෆොටෝ ජෙනික් හැකරැල්ලෙක්.

ඒක පැය එකහමාරක විතර හයික් එකක්. මඟ පෙන්වන්නෝ දෙන්නෙක් හිටියා. ඔවුන හරිම සුහදශීලීයි. ටොප් කොල්ලෝ.

හයික් එකෙන් පස්සේ ඉතින් දවල්ට කන කම් මුහුදේ නෑම තමා. අපි මුහුදට බැහැපු සැනින් පළපුරුදු ජීවිතාරක්ශකයෙක් අපිත් එක්කම ඉන්නවා. ඒ නිසා හිතේ හැටියට මුහුදේ නටන්න පුළුවන් අපි වගේ ගොඩ පීනන්න දන්න අයටත්. අපි ගිය දවස් වල වාරකන් කාලේ නිසා මුහුද සැරයි. මාර්තු අප්‍රේල් වගේ හොඳයි ලු. 

මේ තියෙන්නේ අපේ කබානාව
මේ තියෙන්නේ තනිකරම වතුරේ හදපු තවත් කබානාවක්

බස්ටි නංඟිට තිබුණ නිවාඩු ප්‍රශ්න නිසා අපි එදා දවල් කෑමෙන් පස්සේ පිට වෙලා ආව. අක්කල නම් තව දවසක් නතර උණා. මම පස්සේ දැන ගත්ත විදියට බීච් එකට ටිකක් එහායින් සුපිරි තත්වයේ ගොල්ෆ් ක්‍රීඩාංගනේකුත් තියෙනවලු. අක්කල නම් එහෙත් ගිහින් තිබුණා ඒකේ වෙනම විදියේ වී.අයි.පී කාමරත් තිබුණ කියලයි අක්ක කිව්වේ. අනිත් එක මහ රජ්ජුරුවෝ හිතුණ ගමන් ඇවිල්ල නතර වෙන ස්පෙෂල් කබානාවකුත් ටිකක් ඇතුළට වෙන්න තිබුනා. (පොටෝ අල්ලන්න ගියේ නෑ කෝකටත් කියල..)

මෙතනින් ගිහින් සියළු විස්තර බලා ගන්න පුළුවන්

වැදගත් : ඔවුන් තාමත් ක්‍රෙඩිට් කාඩ් නම් පිළිගන්නේ නෑ. කෑෂ් තමා. හැබැයි කල්තියා මෙහෙන් බුක් කරනකොට කොහොමද දන්නේ නෑ. අපි කලේ ක්ෂණික බුකින් නේ. 

අපේ ප්ලෑන් එක වුනේ ත්‍රිකුණාමලේ ඇවිදින්න. හැබැයි මේකට ගියාට පස්සේ ඇවිදින්න තිබිච්ච ආසාව කොහෙන් ගියාද නෑ. ආයේ වෙන කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ.

ප.ලි. කබානාවේ නම කියාම බුක් කර ගැනීමේ පහසු කම් ඇත. ත්‍රිල් එක වැඩියෙන් ඕනෑ නම් මුහුදේ තිබෙන එකක් ම බුක් කර ගන්න. අම්මල තාත්තලට පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන එකක් බුක් කරල දෙන්න. මොකද රෑ වෙනකොට සුනාමි බය දැනීමේ සියුම් සම්බාවිතාවක් ඇතිවිය හැක.වෙන කිසිඳු බයක් සන්තාපයක් ඇති කර නොගන්න. පැය 24ම ගුවන් හමුදා කොල්ලන්ගේ රැකවරණය සහතිකයි. 


අපේ ත්‍රිකුණාමල සවාරිය මාබල් බීච් සවාරිය වුණේ ඔන්න ඔහොමයි!

Friday, December 28, 2012

ලයිෆ් බැලන්ස් ...

අපි බැලන්ස් ද? අපේ ජීවිත බැලන්ස් ද? කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ.. ?

අපි බැලන්ස් එකේ ඉන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම එහෙම ද...? බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද?

හොඳ පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල හොඳ කසාදයක් බැඳල පවුලට හොඳට සලකල හොඳට පින් දහම් කරල  මැරිල යන එක ද බැලන්ස් ලයිෆ් එක?

ඔය ඉස්සෙල්ල වාක්‍යයෙන් හොඳ කියන ටික අයින් කරල ගත්තොත් පවුලක ඉපදිලා ඉගෙන ගෙන රස්සාවක් කරල කසාදයක් බැඳල පවුලට සලකල පින් දහම් කරල මැරිල යන එක එතකොට බැලන්ස් නැද්ද?

ඉපදීම බැලන්ස් කරන්න බැරි නිසා ඒක ලැබෙන විදියට භාර ගන්නව. ඉගෙන ගන්න කාලෙදි ඉගෙනීමත් එක්ක ක්‍රීඩාව හරි වෙනත් විෂය බාහිර දේවල් කරනව ඉගෙනීම බැලන්ස් එකේ කරගන්න. රස්සාව බැලන්ස් කරන එකත් එක එක මිනිස්සුන්ගෙ උවමනා එපාකම් වලට අනුව කොහොම හරි දන්න සෙල්ලම් වලින් ගොඩදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ කසාද බැඳල පවුලක් උනාම ඒක බැලන්ස් කරන්න එක එක ගැට හැට හුට හමාරක් ගහනව. ඔන්න ඔය ගැට හැට හුට හමාර ගහන එක කොහොමද බැලන්ස් එකේ කරන්නේ..?

ඒ ගැට ටික හරියට බැලන්ස් වෙන්න නම් යන්න එන්න වාහනයක් (එස්.යූ.වී එකක්) ඉන්න හිටින්න ගෙයක් දොරක් (අමුතු ඩිසයින් එකක් තියෙන සිරා ගෙයක්), ළමයි දෙන්නෙක් (කොල්ලෙකුයි කෙල්ලෙකුයි)වත්, ළමයි ලංකාවේ හොඳම ඉස්කෝලවලට යන්න ඕනේ(ඉන්ටර්නැෂනල් හරි),කරන රස්සාව හෙන පඩියක් (බින්දු 5ක් එක්ක තව ටිකක් ලොකු ඉලක්කමක්වත් වෙන්න ඕනේ. 1 හරි යන්නෙ නෑ ), ඊට පස්සේ සමාජ සැලකිල්ල හැමවෙලේම හැමතැනදිම ප්‍රමුඛත්වය අරගෙන කැපිල පේන චරිතයක් වෙන්න ඕනේ (ටිකක් හරි). ඊට පස්සේ ළමයින් ව හොඳට හදන්න ඕනේ (උන්ට ඕනේ විදියට නෙවෙයි. හරි විදියට. හරි විදිය දන්නේ ඉතින් දෙයියෝ තමා),  පස්සේ උන්ව හොඳම තැන්වලට බන්ඳල දීල උන්ගේ ළමයින්වත් හොඳම විදියට හදන ගමන් මේ රට යන විදිය හරි නැත්නම් ඩුවල් සිටිසන්ෂිප්වත් හදාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්නම් ඊළඟ ආත්මෙත් මේ වගේම හොඳට ගෙවන්න පුළුවන් වෙන්න හොඳට පින් දහම් කරල දඩාස් ගාල මැරිල යන්න ඕනේ.

ඔය ටික සම්පූර්ණ වෙනකම් අපිට බැලන්ස් වෙන්න බැරිද?

පුළුවන් අපි හැමෝම වගේ ඉන්නේ එහෙම තමා..  එහෙම ඉන්න අතරේ කොහොම හරි අර මම ඉස්සෙල්ල කියපු ටික අඩු වැඩි වශයෙන් සම්පූරණ කරගන්න ඕනේ.. ඒකට ඉතින් එක එක ගැට ගගහ ජීවිත ගමන යන්න ඕනේ.

ඔය යන ජීවිත ගමන බැලන්ස් කරන්නේ කොහොමද?

මොන බැලන්ස් කිරිලිද ඔන්න ඔහේ යන විදියට යන්න අරිනව මිසක්. (යන විදියට යන අතරේ ඉතින් අර ටික කොහොම හරි කරගන්න ට්‍රයි කරන්න ඕනේ.)
*****************************************
ඔය හැමදේටම විසඳුම අපේ ආගමේ නම් තියෙනවා. පොඩ්ඩක් ඒක ස්ටඩී කරල බලන්න. හරියට තේරුම් අරන් බලන්න. ඔයාලගේ ආගම වගේ නෙවෙයි මේක තමා ඇත්ත. අනිත් ඔක්කොම ආගම් වල තියෙන්නේ තනි බොරුව. මේක තමා ඇත්ත.  ඒක තේරුම් ගත්තටම මදි. අපි ලෝකයටම සේවයක් කරන්න ඕනේ. අපි මේක හැමෝටම කියල දෙන්න ඕනේ. මේක තමයි ඇත්ත. ආයේ සැක කරන්න දෙයක් නෑ. මෙන්න මේ ටික දිනපතා කරල බලන්න බොරුනම්, නියම බැලන්ස් ජීවිතයක් ලැබෙයි!!!

Thursday, December 20, 2012

පෑනේ මිතුරුකම්...

පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ..

පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ඉන්නව මම හිතන්නේ..

පෑනේ මිතුරු මිතුරියන් හොයා ගන්න ඉස්සර නම් පත්තර වල විස්තර දානව.. දැනුත් තියෙනව ද මන් ද. අපි ඉස්කෝලෙ 6-7 වසරෙදි මොකක් හරි ජත්‍යන්තර ආයතනයකින් ඔය වගේ පෑනේ යාළුවෝ හොයල දෙන වැඩසටහනක් ගැන කියල දුන්නා. ඒකේ තිබිච්ච කූපන් වගයක් පුරෝල දාල මාත් සෙට් කර ගත්ත පෑනේ මිතුරෙක්. 

මට මතක හැටියට මගෙ වයසෙම ද කොහෙද.  ජර්මන් ළමයෙක්.  කොල්ලෙක්. නම අන්ද්‍රේස් ස්කෙන්කල් වගේ නමක් . ලියුම් 5-6ක් එව්වා. කියවන්න්අ හරිම අමාරු ඉංග්‍රීසි අකුරු. හික්.. කොහොම හරි ගලපගෙන කියෝලා මමත් දන්න ඉංග්‍රීසියෙන් මොනව හරි ටිකක් ලියල දානව.. ෆොටෝස් එහෙමත් එව්ව. දැන්නම ඒවා කොහෙද දන්නේ නෑ. මුද්දර,පෝස්ට්කාඩ් තමයි වැඩිපුරම හුවමාරු කර ගත්තේ..කොහොම හරි මාස 6ක් අවුරුද්දක් විතර ලියුම් යැව්ව. පස්සෙ හෙමිහිට මඟ ඇරිල ගියා.. අපේ නංඟිටත් මට මතක හැටියට ඔස්ට්‍රියාවේ ගෑනු ළමයෙක් සෙට් වුණා..  ලොකු වෙන කොට ටික ටික සම්බන්ධකම් නැති වුණා.. අපරාදේ මේ වෙන කම් තිබුණනම් ගිහින් හම්බ වෙන්න වත් තිබ්බා.. බුකියෙ හෙව්වට දැන් හොයා ගන්න බෑ...

ඉස්සර හරි ජොලි ඉතින් එක ලියුමක් ආවම..  ඉංග්‍රීසි තේරෙනෙනේ නැති නිසා අල්ලපු ගෙදර ඩෙනිස් අයියගෙන් තමා සමහර ඒවා අහගන්නේ.. හික්.. මමත් මොනව හරි ලියාගෙන පොරටම කියල වැරදි හදාගෙන තමයි තැපැල් කරන්නේ.. 

ඒක නැති වුණාට පස්සේ ආයෙත් ට්‍රයි කලේ නෑ.. ඊට පස්සේ ඉතින් ලෝකල් ස්ත්‍රී මිතුරියන් හෙවීමනේ කලේ.. ෆොරිජින් කොල්ලො කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එක හීන වෙලා ගියා..

ඉස්කෝලෙක් ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෝ සෙට් එකක් ආපු බස් එකකට ටෙලිෆෝන් නම්බර් එක දාල එක ගෑනු ළමයෙක් කෝල කරල පස්සේ පස්සේ ඒ ළමයට ලියුම් දාපු එක වෙනම සීන් එකක්.. ඒක මේ ඔෆීසියල් පෑනේ මිතුරු ගනයට වැටෙන්නේ නෑ මම හිතන්නේ.. ඒ සීන් එක පස්සේ ලියන්නම්.. මොකද ඒක වෙනම සබ්ජෙක්ට් එකක් හික්...

ඊට පස්සේ අර මම ලියල දාපු පොත කියෝපු ඔය දකුණු පළාතේ ගෑනු ළමයෙක් මට ලියුම් එව්වා. ඒකත් නැඟල ගියා ටික කාලයක්.. පස්සේ අපේ අම්මගේ දැඩි උපදෙස් මත ඒකත් නවත්තල දාන්න සිද්ද වුණා.. ඒවත් ඉතින් මොන කැටගරියට අයිති ද මන්ද... හික්සි බික්සි

ගෙදරට ටෙලිපෝන් ගන්න කලින් අපේ නංඟිගේ වෑන් එකේ ගිය තව ළමයෙක් එක්ක (මගේ වයසේ.. බාල අපරාද නෙවෙයි) ඔය ලියුම් කරදහි කීපයක් නංඟි අතේම හුවමාරු කර ගත්ත.. අනේ මන් ද ඉතින් ඒවත් මොන කැටගරියෙද මන්ද.. හික්ස් බිකිස්

ඔන්න ඔයවගේ පෑනේ මිතුරු කම් කීපයක් ම තිබ්බා..  පස්සේ පස්සේ ඊමේල් වලිනුත් ඊටත් පස්සේ බ්ලොග් වලිනුත් මිතුරු මිතුරියන් සෙට් වුණා..  දැන් ඉතින් මොකට මුද්දර ගහල ලියුම් දානවද.. කොහොම වුණත් ඒ පෑනේ මිතුරු සංකල්පය අභාවයට ගිය එක නම් අපරාදේ..  අනේ මන් ද දැන් ඉතින් මිනිස්සු පෑනේ මිතුරගෙන් හරි කමක් නෑ මොකක් හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන නේ ඕව පටන් ගන්නේ..  හැබැයි අවුරුදු 10-12 වගේ වයස් වල ළමයින්ට ඒ වගේ පෑනේ මිතුරෙක් මිතුරියක් ඉන්න එක හරි සුන්දර දෙයක් වෙනව..  අක්කගෙ පොඩි උන් දෙන්නට 2ක් සැට් කරල දෙන්න ඕනේ බලන්න.. 

Wednesday, December 12, 2012

ඉබ්බා දියේ දැමීම...

ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක අහසින් යන්න උනත් කල්පනා කලේ ඒ කාලේ දැන් වගේ ටැක්සි තිබ්බේ නෑ නේ...අනිත් එක අහසින් යන්න යූස් කරපු ටෙක්නික් එක.. සෙල්ලං ද.. (පොඩි පොඩි අමතක වීම් කාටත් වෙන්න පුළුවන්)

ඉබ්බ කියන්නේ අපිට නිකන් කම්මැලි ජනක සතෙක් වගේ හිතුණට පට්ට සිරා ඩයල් එකක්.. හරි හැඩයි.. අනිත් එක හොඳට හැදිච්ච, තැන්පත්, අහිංසක , වැඩි සද්ද බද්ද නැති,ගුණ යහපත්,දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ටොප් කොල්ලෙක් වගේ සතෙක්...  

හරි මේ ඉන්නේ ඉබ්බෙක්
                                      
 මේ ඉන්නේ ටිකක් බය ඇරිච්ච ඉබ්බෙක්
 මේ ඉන්නේ ටික ටික සාමාන්‍ය අතට පත්වෙමින් සිටින් ඉබ්බෙක්...
මේ ඉන්නේ ෆොටෝ ජෙනික් ඉබ්බෙක්...
 ෆොටෝ ජෙනික් ඉබ්බාගේ ක්ලෝස් අප් එකක්...
 මෙන්න මෙහෙමයි ඉබ්බෝ කාර් වල යන්නේ..
ඉබ්බෝ දුවන හැටි දැකල නැත්නම් මෙන්න..
හම්මා වතුර ටික 

දියවන්නා ඔයේ ඉපිද එහිම හැදී වැඩී තරුණ වියට පා තබා කෑල්ලක් සෙට් කර ගැනීමේ සහ ටිකක් ලෝකය බැලීමේ පරම පිවිතුරු චේතනාවන් යුතුව කාපට් කර ගල් අතුරා ඇති නවීන මං මාවත් වල සුව විඳිමින් හිටපු ඉබ්බෙක්.  

අතීත පාඩම් සිහි කල්පනාවට අරගෙන හෙමින් ගමන් කෝකටත් හොඳා කියල හෙමිහිට ඇවිදගෙන කෝට්ටේ පුරවරයේ සිරි නරඹමින් පාරවල් ගානේ රස්තියාදු ගසමින්, ඉබ්බියන්ට ලයින් දමමින් ආතල් එකේ සිටි ඉබ්බෙක්. 

කිලෝමීටර් 3-4ක් මාසයක් දෙකක් තිස්සේ ඇවිදිමින් හීන් සීරුවේ කාණුවකට වෙලා හිටපු ඉබ්බෙක්.

අපේ ඔපිසියේ අයගේ සහ මගේ අප්‍රමාණ සත්ත්ව කරුණාව හේතුවෙන් නැවත උගේ වාසස්තානයට ගෙන ගොස් දමා උගේ ලෝක සවාරියට සහ ඉබි කෑල්ලක් සැට් කරගැනීමේ  අහිංසක බලාපොරොත්තුවට කෙළ කිරීමේ ප්‍රීතිය බ්ලොග් අවකාශයේ සිටිනා සැම සමඟ බෙදා ගැනීම නිමිති කරගෙන මෙය 12/12/12 දින පිටකෝට්ටේ පිහිටි මගේ ඔපීසියේ ඇති පුටුවේ වාඩි වී ඔපිසියෙන් ම ලබා දුන් ලැපා ගෙන් කොටා මෙසේ පබ්ලිස් කරනු ලැබේ... 

Thursday, December 06, 2012

ගණිත ගැටළුවක්... amazing logic

මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්..

ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ.  අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ගන්න පුළුවන් එකක් කියල හිතුණ නිසයි දාන්නේ..  මේකයි ගැටළුව

ශිල්පගේ වයස එයාගේ පුතා රාජුට වඩා අවුරුදු 21ක් වැඩියි.
තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා.
දැන් ශිල්පගේ මහත්තය ඉන්නේ කොහෙද?

මේවගේ ගැටළු මීට කලින් දැකල ඇතිනේ...  හැබැයි මේක ජෝක් එකක් නෙවෙයි. ගනිතයෙන් තර්කානුකූලව උත්තරයක් ගන්න පුළුවන්.. සාමාන්‍ය පෙළ ගනිත දැනුම හොඳටම ඇති...

උත්තරේ ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්..

Wednesday, November 28, 2012

නිදහස් අධ්‍යාපනේට 6% ලැබෙනකම්...





මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින්  අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ... 


Monday, November 12, 2012

DSLR කැමරාවක් සමඟ මාස 6ක්...

"These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ  අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම්  DSLR  කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම මම කලේ එක විතරයි වගේ..  

කොහොම හරි දශක 3ක් විතර පෙරුම් පුරල පළවෙනි වෙඩින් ඇනිවසරි ට්‍රිප් එක යන්න ගත්ත මගේ කැමරාවෙන් මොනවද මෙච්චර කල් කලේ කියල මේ ඊයේ පෙරේදා නිකමට හිතල බැලුවා.. (ඇත්තම කිව්වොත් අරූ මාව බයිට් කරන්නේ කෝ පෙන්නපන් බලන්න උඹ ගත්ත හෙන පොටෝස් කියල) ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල ෂේප් වෙනවා..

දැන් ඔය කැමරාව අරන් එළියට බැස්සට දකින දකින දේවල් අපිට ඕනෙ විදියට ගන්න බැහැනේ.. ඒ කියන්නේ කුරුල්ලෙක්, සමනළයෙක්, ඔය කූබියෙක්, කඩියෙක්, වගේ හරි නැත්නම් ගහක අත්තක ඉන්නෙ ලේනෙක්, ඉර බැහැගෙන යන සීන් එකක්, වළාකුළු ඔන්න ඔය වගේ දේවල් පොටෝ ගත්තට අපි බලාපොරොත්තු වෙන විදියේ පොටෝ එකක් ගන්න එක ලේසි නෑ... ඕනෙම කෙනෙක් දන්න විදියට හොඳ ඔප්ටිකල් සූම් එකක් තියෙන්න ඕනෙ නේ ඈත තියෙන දේවල් ලස්සනට ගන්න, ඒ වගේ තමයි හොඳ මැක්‍රෝ ෆොටෝස් ගන්න ඒවට හරියට ලෙන්ස් එකක් ඕනේ... දැන් මේ අමාරුවෙන් ගත්ත කැමරාවත් එක්ක හම්බ වෙන කිට් ලෙන්ස් (18-55) එකත් එක්ක විතරක් කැමරාව පාවිච්චි කරනකොට තමා ඒකෙ රඟේ තේරෙන්නේ..

කැමරාව අරන් කොහෙ හරි ගියාම කොච්චර ආසාවෙන් ෆොටෝ ගත්තත් අපි බලාපොරොත්තු වෙන විදියේ ඒව ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ.. (මම වගේ කම්මැලි ඩයල් වලට ඕක හරි යන්නෙ නෑ)

හැබැයි ඉතින් උනන්දුවයි පොඩි හැකියාවකුයි තියෙනවනම් ඔය කිට් ලෙන්ස් එකෙනුත් සෑහෙන දේවල් කරන්න පුළුවන්.. (මට ඒ දෙකම නැති එක වෙනම කතාවක්)

අනිත් එක තමා DSLR කැමරා එකක් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක.. ඒ කියන්නේ ආවට ගියාට නැතුව දන්න කියන කෙනෙක් ගෙන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ..  මම ඒක කලෙත් නෑනේ.. පන්ති යන්න ඉස්සරත් කම්මැලියි දැනුත් කම්මැලියි... ඔපිස් එකේ ඉන්න අතරේ වීඩියෝ බලලයි වෙබ් සයිට්ස් වල තියෙන දේවල් වලිනුයි තමා යන්තම් ඔය බේසික් ෆීචර්ස් ටිකයි තියරි ටිකයි ඉගෙන ගත්තේ.. තාමත් හරියට දන්නෙ නෑ...

ඔන්න ඔහොම ගෙවිච්ච මාස 6 ට  ගත්ත  පොටෝ ගොඩක් වෙලාවට බලන්නේ මමයි,බට්ටි නඟයි විතරයි.. මොකද ප්‍රසිද්ධියේ දාන්න තරම් දෙයක් තාම ගන්න බැරි වුණා කියල මට ම හිතෙන නිසා (අරූගෙන් බේරෙන්න බැරිම තැන ෆ්ලිකර් එකට ටිකක් දැම්ම)

අපි දෙන්න යන ගමනකදි ඇර  මම තනියම පොටෝ ගන්නම කියල කොහෙවත් යන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කැමරාව ගෙදරම තමා.. ඉතින් මම පොඩ්ඩක් ස්ටොක් ෆොටෝග්‍රැපි පැත්ත ගැන හිතල ඒ අංශෙ දියුනු කරන්න හිතුවා.. හැබැයි ඉතින් ඒකටත් හොඳ ලයිටින් උපකරණ ඕනේ..   http://www.fotolia.com/ එකට ෆොටෝස් 20-25 ක් දාල යන්තම් එක ෆොටෝ එකක් ඇක්සෙප්ට් වුණා.. fotolia එකෙන් නම් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...  මේ තියෙන්න අන්න ඒ එකම එක. 

කැමරාව අරන් මුලින් ම බෙල්ලන්විල පන්සල් ගිහින් (අවංකවම මම පන්සල් යන්නේ ෆොටො ගන්න) ගත්ත මට ටිකක් ලස්සනයි කියල හිතෙන එකක් මේ


 මේ තියෙන්නෙ ඕක අරන් ගාලු ගිහින් ගත්ත තව එකක්... 


ඊට අමතරව ඔය එහෙම මෙහෙ ගිහින් ගත්ත ඒව හැටහුටහමාරක් විතර තියෙනවා.. හැබැයි වැඩක් නෑ..
ගෙදර ඉන්න වෙලාවට නිකන් ඉන්න ගමන් කරපු ඒව 2ක තුනකුත් දාන්නම් බැරි වෙලා හරි මම වගේ තව එක්කෙනෙක් හරි හිටියොත් නිකන් ට්‍රයි එකක් දීල බලන්න








ඉතින් ඔන්න ඔහොමලු වුණේ.. ආසාවට කැමරාවක් ගත්තට ඒකෙන් නියම ප්‍රයෝජනේ ගන්න තාම බැරි වුණා.. ඒකට අවශ්‍ය කැපවීම හරියට කරන්න ඕනේ..  හැබැයි ඉතින් හොඳ ෆොටෝස් ගන්න DSLR කැමරාවක් ම ඕනේ නෑ කියල මට හිතුණා.. මූලික සංකල්ප ටික හරියට දන්නවනම් ඕනෙම කැමරාවකින් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්.. DSLR කැමරාවකින් උසස් තත්වයේ ෆොටෝස් ගන්න නියමිත ලෙන්ස් වලට, ලයිටින් වලට ටිකක් වියදම් කරන්න වෙනවා.. ඒක ඉතින් එක එක්නෙකාගේ කැමැත්ත අනුව තමා...

මේ තියෙන්නෙ ෆිලිකර් එකේ ලිංකුව 

අනිත් වැදගත්ම දේ තමා මේ ගත්ත පොටෝ කෑලි මකල දාන්න තියෙන තන්හාව.. මෙලෝ වැඩක් නැතිව 11GB විතර පුරෝගෙන ඉන්නව මේ එහෙ මෙහෙ අල්ලපු පොටෝ කෑලී වලින්.. මකල දාන්න හිතෙන්නෙම නෑනේ... ඕව රැස් කරල මොන අපායේ යන්න වෙයි ද දන්නෑ...


Monday, October 22, 2012

තනිකම විඳීම...

තනිකමට  බයයි... තනිකම දුකක්...  තනිවෙන එක පවක්... (ද)?  මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද?  අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...

මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?

අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...

මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...

පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.  

මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න.. 

හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ...  මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා  සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව. 

මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......

කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා



මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ.. 

මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...

ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි.. 

කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..

මොනව කිව්වත් ඉතින්...  සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි... 


Friday, October 12, 2012

බාත් රූම් එකේ සිංදුකීම...

මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක..  මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු කවි කරන්න,රි-මික්ස් කරන්න,රැප් කරන්න, ඕනේ දෙයක් කරන්න ඉගෙන ගන්න,ප්‍රැක්ටිස් කරන්න ටොප්..

වැඩට ගිහින් ඇවිත් නානකොට සිංදු නොකියවුණත් එළියට එන්නේ සිංදු මෝඩ් එක ඔන් කරගෙන.. ගොඩක් වෙලාවට හිරවෙච්ච ප්‍රොග්‍රෑම් වල තියෙන බග්ස් වලට විසඳුම බාත් රූම් එක ඇතුළෙදි හම්බ වෙනව...

ඔය ගොඩක් අයට මේ ලෝකේ වෙනස් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ල තියෙන්නේ නානකොට නේ... මම ඉස්සර හිතුවෙ මොළේ පෙඟුනහම ඒ වගෙ අදහස් එනව ඇති කියල.. 

කොහොම හරි මේ ලඟදි දවසක ඔය ගැන හිතුවහම... අපිත් එක්ක ඉන්න ගොඩක් අයට ඔය පුරුද්ද ඇති කියල හිතුණා.. ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ ඔය පුරුද්ද මම දැකල තියෙනවා..  

මට හිතෙන්නේ අපි ඇත්තටම අපි වෙන දවසේ තියෙන හොඳම අවස්තාව මේ නාන වෙලාව කියල... ඒ කියන්නේ.. අනිත් අය ගැන හිතන්න දෙයක් නෑ.. කවුරු මොනව හිතයි ද කියල වොරි වෙන්න දෙයක් නෑ.. කවුරුවත් දකියි ද කියල හිතන්න දේ කුත් නෑ (දොර වහල නම්).. අපේ නැචුරල් ස්භාවයෙන් ඉන්න පුළුවන් හොඳම වෙලාවනේ.. හිතේ ගැටළු නෑ.. නිදහස් මනසක්..

මොකුත් ම හිතන්න දෙයක් නැත්නම් නිකම් ම වගේ සිංදුවක් කියවෙනව ඇත්තේ මේ දැනෙන නිදහස නිසා වෙන්න ඇති.. මොනව හරි දෙයක් ඔළුවේ තියෙනවනම් ඒකට වෙන වෙලාවට නොඑන උත්තර ඔලුවට එනව ඇත්තෙත් ඒ දැනෙන තමා තමාම වීමේ නිදහස් ගතිය නිසා වෙන්න ඇති කියල නිකමට වගේ හිතුණා..

ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට බැස්සම ඉන්නේ අපේ ඇත්ත ස්වරූපයෙන් නෙවෙයි නේ.. ඒ ඒ අවස්තාවට ගැළපෙන ක්‍රමේට ඉන්නකොට අපිට නිදහසේ ඉන්න බැරි වෙන ගතියක් දැනෙනවා..  ගෙදර ඇතුළෙම උනත් 100% අපේ නිදහස කියන එක තියෙන්නේ ඔය නාන කරන විනාඩි 10-15 විතරයි කියලයි මට හිතෙන්නේ..

මම නිකන් හිතල බැලුව මම දන්න මේ පුරුද්ද තියෙන සහ නැති අයගේ චරිත ස්භාවය ගැන.. ඇත්තටම සැළකිය යුතු වෙනස් කම් තියෙනවා..  මේ පුරුද්ද තියෙන මිනිස්සු එක්ක වැඩ කරන්න, සතුටු වෙන්න හරි ලේසියි.. ඒ කියන්නේ ගොඩක් අය එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනව කියල හිතුණා.. වැඩ වලදි අනිත් අයව තේරුම්  ගැනීම, ඊසි ගොයින් කියල සිංහලෙන් කියන ස්භාවය ගොඩක් වෙලාවට තියෙනවා..

මේ වගේ පුරුදු නැති.. ඒ කියන්නේ ජීවිත් වෙලා ඉන්න හැම වෙලේම මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන විසඳුම් හොයන්න ට්‍රයි කරන, සමාජය තුළ අමුතු ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන ඉන්න ට්‍රයි කරන, වැඩ කරන්න්න ගියාම එයාට ඕනේ විදියට වැඩේ කෙරෙන කම් හරි යන්නේ නැති චරිත වල මේ පුරුද්ද නැතුව ඇති කියල මට හිතුණා.. නිකමට හිතල බැලුවොත් ඕනෙම පවුලකින් මේ වගේ අය හොයා ගන්න පුළුවන්.. 

මට හිතෙන්නේ නිදහස් පොඩි කාලයක් නැති වුණාම මේ වගේ ගති මිනිස්සුන්ට පිහිටන්නේ නැතුව ඇති.. නිදහස් පොඩි කාලයක් කියන්නේ අපිට හිතෙන දේ හිතෙන විදියට කරන්න නිදහස නොදෙන පවුල් පසුබිම් වල හැදෙන අයට මේ වගේ දේවල් නුහුරුයි.. මොකද හැම දේම කාගේ හරි උපදෙසක් අනුව, පිළිවෙලකට, සමාජ සම්මතේට අනුව කරන්න පුරුදු වුණාම ඒ පුරුදු මඟ ඇර ගන්න හරි අමාරු නිසා..

නිදහස් විදියට හිතල වැඩ කරල.. ඒ වැඩෙන් සිද්ද වෙන ප්‍රතිඵලය මොකක් වුණත් භාර ගන්න පුළුවන් තරම් ගටක් තියෙන මිනිස්සු මේ වගෙයි කියල හිතුණා..

මම කරන්නම දෙයක් නැතුව ඉන්න වෙලාවට http://www.ted.com/ එකේ වීඩියෝ බලනවා..  මේකේ තියෙන්නේ එක එක විදියේ නව අදහස් තියෙන මිනිස්සු ඒ අය හදපු දේවල, නැත්නම් තේරුම් ගත්ත දේවල් ප්‍රසිද්ධියෙ ඉදිරිපත් කරන වීඩියෝ.. හරිම අපූරු දේවල් තියෙනවා.. තාක්ෂණික,සමාජයීය,කල,විද්‍යාත්මක වගේ ඕනැම විෂයයකට අදාලව මිනිස්සු ඉදිරිපත් කරනවා..

මේ වීඩියෝ බලන වෙලාවක හිතිච්ච දෙයක් තමා මේ බාත් රූම් එකේ සිංදු කීම... නානකොට ඔය අදහස් ඔළුවට එනව කියල මම ප්‍රායෝගිකව ඕනේ තරම් අත් විඳල තියෙනවා.. ඉස්කෝලේ යන දවස් වල මම ලියල පබ්ලිෂ් කරපු පොතේ ගොඩක් කතා වල චරිත, ඒ කතා වල ආකෘතිය  නාන ගමන්  තමයි ඔලුවට ආවෙ.. ඒ දවස් වල මේ ගැන එච්චර වැටහීමක තිබ්බේ නෑ.. දැන් හිතල බලනකොට ඕනේ තරම් සිද්දි මතක් කරන්න පුළුවන්...

ඉතින් මට හිතුනේ.. අපිට මේ නාන ගමන් තියෙන සැහැල්ලුව, තමා තමා විදියට අව්‍යාජව හැසිරෙන්න පුලුවන් කම, සමාජයට අමුතු චරිතයක් විදියට නොගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් (ඒ කියන්නේ උපන් ඇඳුමෙන් යන එන නෙවෙයි.. එක එකා මොනව හිතයි ද කියල නොහිතා ජිවත් වෙන එක)  අපිටත් බොහෝම නිර්මණශීලි විදියට ජීවිතේ දිහා බලල මිනිස්සුන්ට සේවයක් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්.. 

හැබැයි මම දන්නවා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න බෑ කියල තර්ක කරන අය ඕනේ තරම් ඉන්නවා.. ඒ එක්කම මේ විදියේ නිදහස් මනසකින් ලෝකය දිහා බලපු, තමන්ගේ ප්‍රතිරූපය හෝ  බඩගෝස්තරේ රැක ගන්න පමණක් ම උත්සාහ නොකරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න තමයි අපි අද මෙහෙම ඉන්නේ කියලත් නිකමට කල්පනා කරල බලන්න..

Wednesday, September 05, 2012

කඩදාසි සෙල්ලම් බඩු හෙවත් ඔරිගාමි...

මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව).  බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්.

ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල මතක නෑ..  හැබැයි වහලේ බෝට්ටුවට කලින් කුරුල්ලෝ හදන්න ඉගෙන ගත්ත වගේ මතකයි.. වහලේ බෝට්ටුව ටිකක් අමාරුයි නේ..

මම හිතන්නේ මේ කඩදාසි බෝට්ටු හදන එක මම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි එදා සිට අද දක්වා සියළුම පොඩි උන් ඕක දන්නවා..  ඉස්කෝලෙ කාලේ සහ ටියුෂන් කාලේදි කුරුල්ලෝ,රොකට් එක්ස්පර්ට්ල නොවෙන්නේ ඔය ගෙවල් වල ටියුෂන් ගිය ළමයි තමා ඉතින්..

රබර් පටි වලින් වැලක් එකට ගැටගහල ඊතල වගේ යවන රොකට් ඒ දවස් වල මගේ ප්‍රියතම එකක්.. ඒක යවන්න සෑහෙන්න ඉඩක් ඕනේ (ටියුෂන් ක්ලාස් වල අන්තිම පේලියත් මදි රබර් බෑන්ඩ් දාල යවන ඒවට). යවල තියෙන අය දන්නව ඇති..

ඔය හැමෝම දන්න ඒවට අමතරව නෙලුම් මල්,ගෙම්බෝ,ප්ලේන්,තාරාවෝ,පෙට්ටි,පිරමීඩ, හංසයෝ වගේ සිරාම සිරා ඒවා මේ කොලවලින් හදන්න පුළුවන්. කොලෙන් විතරයි.. කතුරු ගම් වගේ දේවල් නැතුව

මම ඔය පොඩි උන් ඉන්න ගෙවල් වලට හදිසියේවත් ගිහින් පැයක් 2ක් චාටර් වෙන වෙලවක් ආපු ගමන් කරන්නේ ඉන්න පොඩි එකාට කොලේකින් ඔය මොකක් හරි එකක් හදල දෙනව.. කොල්ලෙක් නම් ප්ලේන් එකක්.. කෙල්ලෙක් නම් තාරාවෙක්.. දෙන්නෙක් හිටියොත් දෙන්නටම තාරාවෝ දෙන්නෙක් වගේ.. ඊට පස්සෙ ඉඳන් ඕනෙ පොඩි එකෙක් මාත් එක්ක ෆිට්.. ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්..

මම දන්න ඒවා හදන හැටි ස්ටෙප් බයි ස්ටෙප් ලියන්න මට කම්මැලියි.. මට වඩා හොඳට ඕව හදන්න දන්න අය යූ බටේ ට දාපු වීඩියෝ ටිකක් දාන්නම්.. කැමති අය බලන්න..

මේවගේ ඒව එකක් දෙකක් හදන්න ඉගෙන ගෙන තියෙන එක පාඩුවක් නෑ.. ලොකු පොඩි සැමට වටින විනෝදාංශයක්

හපුතලේ ඉන්න අපේ ලොකු අයිය(අපේ කිව්වට අපේ තාත්තගේ අක්කගේ ලොකු පුතා දැන වයස 65ක් විතර ඇති.. මට අයියා,අපේ අම්මට පුතා, හැබැයි අම්මට වඩා වැඩිමල්) ඉස්සර මට ගනන් උගන්නන්න කඩදාසි වලින් ඝණකයි,පිරමීඩයි හදනවා... ඝණකය,පිරමීඩය වගේ දේවල් මුලින්ම තේරුම් ගත්තෙ මේ වයෙන් තමා..

අපි මේ ජොලියට පොඩි පොඩි දේවල් හැදුවට ඔරිගාමි කියන්නේ ලෝකෙ පුරා හරිම ජනප්‍රිය විනෝදාංශයක්.. සෑහෙන්න දේවල් තියෙනව ඉගෙන ගන්න.. කරන්න පුළුවන් නිර්මාණත් හරිම අපූරුයි..

හරි මේ තියෙන්නෙ වීඩියෝ ටික..

නෙලුම් මල
http://www.youtube.com/watch?v=eGPK1vvdyLE

ගෙම්බා
http://www.youtube.com/watch?v=2p4SyN8Y8Is

ප්ලේන් (එක එක විදියේ ප්ලේන් වර්ග තියෙනව)
http://www.youtube.com/watch?v=ox2djol29ts&feature=related

තාරාවා (මම තාරාව කිව්වට නියම ඔරිගාමි වචනේ ක්‍රේන් (කොකා))
http://www.youtube.com/watch?v=FSijU52XJ7w

හංසය (මේක මම හදන්න ඉගෙන ගත්තෙත් මේ වීඩියෝ බලල)
http://www.youtube.com/watch?v=f0zTNCRg-Uc&feature=relmfu

භණකය (ලොකු අයියා උගන්නපු ඝණකේ.. අමතක වෙලා තිබ්බේ)
http://www.youtube.com/watch?v=PNm7g7YVsgA

පිරමීඩේ (අමතක වෙච්ච එකක්)
http://www.youtube.com/watch?v=FaXqIoeIjak

ඔය වීඩියෝ බලනකොට තව තව ඒව හදන හැටි තියෙනවා.. ඒවත් බලල සිරා ඒව ටිකක් හදන්න ඉගෙන ගන්න පුළුවන්.. මේ දවස් වල ඔපිස් එකේ ලයිට් ගියාම මම කරන වැඩක් මේ.. අනිත් උන් කැරම් ගහනවා..හික්...

බලි ඇඳීමේ පෝස්ට් එකට නම් වීඩියෝ හොයා ගන්න බැරි නිසා මම ඉදිරි කාලයේ අඳින බලි එකතු කරල පොටෝ අරන් ලෑස්ති වෙලා ඒක ලියන්නම්..