අපේ අම්මා ගැන මම ටිකක් කලින් පෝස්ට් වල ලියල තියෙනවා . හැම උපන්දිනෙම වගේ ගොඩක් වෙලාවට ගෙවෙන්නේ ඔය පොඩි කිරිබත් ටිකක් කාල , එක්කෝ අක්කල එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා , නැත්නම් ඔය කඩේකින් කාල , ගෙදර අවට ඉන්න අම්මගේ නෑයෝ ටික එකතු වෙලා ඔය මොනවා හරි උයාගෙන කාල සෙට් වෙන අවස්ථාත් තිබ්බා . ගොඩක් උපන්දින හැබැයි නිකන්ම ගෙවිලා යන ඒවා .. අපේ අම්මලට ඕවා කොහොම උනත් වෙනසක් නෑ .
මේ සැරේ 75 නිසා අපි පොඩි වෙනසක් කළා . ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප තිදෙනාත්, නංගීත් ඇගේ ලොකු පුතාත් ඒ වෙනුවෙන්ම ලංකාවට ගියා. අක්කා ගෙවල් කිට්ටුව තියෙන හොටෙල් එකක් බුක් කරලා ඒ අවට සිටින අපේ සියලු නෑදැයින්ට ආරාධනා කරලා තිබ්බා . අම්මා දැනට ආශ්‍රය කරන ඇගේ පරණම මිතුරු මිතුරියෝ කිහිප දෙනෙකුත් එක්ක අපි පොඩි උත්සවයක් ලැස්ති කළා .
උපන්දිනේ දවසේ උදේ අම්මා දහවල් දානයක් ලැස්ති කරලා අම්මා නිතර යන එන පන්සලේ හාමුදුරු දෙනමට දානයක් දුන්නා . මේ දානේ දීම හැම මසකම වගේ වෙන දෙයක් .
උත්සවේ ෆොටෝ ටිකක් පහලින් දාන්නම් .
අපි උත්සවේ ගත්තේ රෑ . සෙනසුරාදා දවසේ හැමෝටම තියෙන වැඩ ටික ඉවර කරලා එන්න පහසු විදියට . මේ අවස්ථාවට අපි ආරාධනා කරපු හැමදෙනාම ඇවිල්ලා හිටියා . උත්සවය බොහොම සරල නමුත් ලස්සනට තිබුනා . නංගි සහ අපේ ළමා පිරිස විසින් අම්මා සහ අපේ නෑ හිත මිතුරන් එකට සිටින ෆොටෝ අලවපු පොතක් හදල ඒ හැමෝටම දුන්නා අම්ම ගැන එයාලට දැනෙන දෙයක් ලියන්න කියල . හැමෝම සිය අදහස් දක්වල තිබුණා.
අපේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 5, අපේ අම්මා තුන් වෙනියා , ලොකු අම්මලා දෙදෙනාගෙන් එක්කෙනෙක් දැනට අවුරුදු කීපයකට කලින් නැති වුණා . අම්මට බාල මල්ලියි , නංගියි . ආච්චි නැති වුනේ 2022. සීයා නම් අපි පොඩි කාලේම පරලොව ගිහින්.
අපේ මාමා සෑහෙන උගත් , දක්ෂ කෙනෙක් . එයා තමා අපේ පවුලේ හැමෝගෙම රෝල් මොඩ්ල් එක වගේ ඉන්නේ . ලොකු අම්මලා දෙදෙනා එතරම් ඉගෙන නැතත් අපේ අම්මා සහ පුංචි මම හිතන්නේ A /L දක්වා පමණ ඉගෙන ගෙන තියෙනවා.
ඔය අවස්ථාවේදී මාමා , ලොකු අම්මා , සහ ඇවිල්ල හිටිය ගොඩක් අය තම තමන්ට අපේ අම්මා ගැන දැනෙන දේ , ඇය ඔවුන් වෙනුවෙන් කරපු දේ ගැන කතා පැවැත්තුවා . අවුරුදු 25කට පස්සේ මමත් රැස්ව සිටි 80ක් පමණ පිරිස ඉස්සරහ කතාවක් පැවැත්තුවා . මම මුලින්ම ඒ වගේ කතාවක් පැවැත්තුවේ මගේ පොත එලි දක්වන දවසේදී . එදාට පස්සේ ඔය ඔෆිස් වල කිහිප දෙනෙකු ඉන්න තැන කතා කරලා තිබ්බට මම කතා පවත්වල නැහැ .
ඔය අම්මගේ පවුලේ නෑදෑයෝ හරිම හොඳ සහ තවමත් කිසි අහිතක් නැතුව ඕනේ වෙලාවක ඕනේ කෙනෙක් වෙනුවෙන් ඉන්න පිරිසක්. මම හිතන්නේ මම කලිනුත් ඔය නෑදෑයෝ ගැන කියල තියෙනවා. එයාල එදිනෙදා කීයක් හරි හම්බ කරන රස්සාවල ඉඳල NASA එකේ වැඩ කරන කෙනෙක් දක්වා විවිද රැකියාවල් කරන අය . නමුත් ඕනේ වෙලාවක 50-60ක් පිරිස එකතු කරගන්න අපිට පුළුවන් . ඔක්කොම නෑදෑයෝ. කිසි අවුලක් නැතුව තමන්ගේ දේවල් කතා බහ කරලා නිදහසේ ඉන්න පුළුවන් පිරිසක් . මම හිතන්නේ එහෙම නෑයෝ හම්බවෙන්නේ කළාතුරකින්.
තාත්තගේ පැත්තේ අයත් එහෙම තමා . එයාල පදිංචිය දුරින් නිසා වැඩිය හම්බවෙන්නේ නැහැ .. නමුත් එයාලගේ ආදරය හිතවත් කම තවම එහෙමම තමා .
අපේ ආච්චි 5 වෙනි පරම්පරාවේ කුඩා දියණියක් දකින්න තරම් වාසනාවන්ත වුණා. අම්මගේ පවුලේ අය හරියට වැඩ කරනවා . එයාල වැඩ කරන්න කැමතියි . වැඩ කියන්නේ වදයක් විදියට සලකනවා මම කවදාවත් දැකල නැහැ . අපේ අම්මා අවුරුදු 30-40ක් රජයේ රස්සාවක් කළා . 60න් පැන්ෂන් ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා .
හැමදාම උදේට සාරියක් ඇදගෙන බස් එකේ හිර වේවි කොළඹ කොටුවේ වේල්ල විදියේ තිබ්බ කච්චේරියේ (කොළඹ දිස්ත්‍රික් ලේඛම් කාර්යාලේ) වැඩට ගිය හැටි මට තවම මතකයි. වේල්ල විදිය කියන්නේ ඔය කොළඹ තියෙන අපිරිසිදුම පැත්තක් . දැන්නම් අවුරුදු 10-15කින් ගියේ නැහැ . නමුත් ලොකු වෙනසක් වෙලා ඇති කියල මම හිතන්නේ නැහැ . වැස්සට මඩ ගොහොරු වෙන කොටුවේ පාරවල් වල, නාටාමිලාගේ කරත්ත අස්සෙන් හැමදාම අම්මා වැඩට ගියා . කවදාවත් රස්සාව වදයක් කියල හිතුවේ නැහැ ..
අම්මා ඔෆිස් වල අයත් එක්කත් හිතවත්ව කටයුතු කළා . ඉස්සර මම අම්මගේ ඔෆිස් එකට යනවා ඉස්කෝලේ නිවාඩු දවස් වලට . මම හිතන්නේ මම මුලින්ම කොම්පුටර් අත පත ගාන්න ගත්තේ ඔෆිස් එකෙදීද කොහෙද . ඒ පරණ කච්චේරි බිල්ඩින් එක එහෙම දැන් මතක් වෙනකොට හරි අමුතු හැඟීමක් දැනෙන්නේ .. යන්න ඕනේ ආයේ බලන්න අම්මත් එක්කගෙන
මම එදා ඔය කරපු කතාවේදී මතක් කරපු කරණු දෙක තුනක් ලියල දාන්නම් . එකක් තමා අපේ ගෙදර අම්මා හෝ තාත්තා කවදාවත් මට ගහල බැනල නැහැ . ඒ කියන්නේ ඉඳල හිටලා මොනවා හරි දඟ වැඩක් කලොත් දෙන ආදරණිය ෂොට් එකක් ඇරෙන්න තරහින් , වද දීමේ චේතනාවෙන් ගහපු බැනපු කිසිම අවස්තාවක් නැහැ . ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතනවා කොල්ලෙක් හදනකොට ගහල බැනල රළුවට හැදුවට කමක් නැහැ කියල . හැබැයි මගේ අදහස නම් සුමට ලෙස හැදුනු පිරිමි ජිවිතේට වඩා ශක්තිමත්ව මුහුණ දෙනවා කියන එක . මම පෙනුමෙන් , සමාජ වැඩ වලදී එතරම් රළු , දැඩි චරිතයක් නොවුනට බොහෝ එවැනි චරිත ෆේල් වෙනකොට මම අවුලක් නැතුව ඉඳල තියෙනවා . මේකට හේතුව විදියට මම හිතන්නේ මට සමාජයෙන් approval එකක් validation එකක් අවශ්‍ය නොවීම වෙන්න ඇති . සමාජේ මට මොනවා කලත් මට ගෙදර යන්න පුළුවන් , අම්මයි තාත්තයි මට ඉන්නවා කියන දේ විතරක් මට හැමදාම තිබ්බා .
ඊට පස්සේ අපේ අම්මා මට කියපු දේවලින් මට කාවැදුණු දෙයක් තමා ඔයාට ඉන්නේ ඔයා විතරයි කියන එක . මේකේ අදහස ආත්මාර්ථකාමී වෙන එක නෙමේ , ජිවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න පුරුදු වෙයන් කියන එක තමා මම තේරුම් ගත්තේ . ඔය ශක්තිමත් කම එන්න වැදගත්ම සාධක තමා ආර්ථික ශක්තිය සහ මානසික ශක්තිය. ඔය දෙක සමබරව හදා ගැනීම ඉතා වැදගත් . අපි කවුරුත් මිලියන පතියෝ නෙවෙයි නමුත් , අනුන්ට වදයක් නොවී , කෙනෙකුට අවශ්‍යතාවයකදී උදව්වක් කරගෙන ඉන්න පුළුවන් තැනක ජිවත් වෙනවා . ජිවත් වීම වදයක් වෙලා නැහැ
ඊළඟ කරුණ තමා අපිව ආගමකට හිර නොකිරිම . අපි බෞද්ධ , දාන මානාදී වැඩ ගොඩක් කරනවා . හැබැයි මට ආගම ගැන තද භක්තියක් , බයක් හෝ එවැනි කිසිම බැඳීමක් නැහැ . අපේ අම්මා ජිවත් වෙන්නෙත් එහෙම තමා . ඇය රැඩිකල් බෞද්ධ නෙමේ . නමුත් හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන් තරමේ බෞද්ධ කියල මට හිතෙනවා . අම්මා අපිව දහම්පාසල් යැව්වා , බෞද්ධ ජීවිතය ඇගේ ජිවිතයෙන් ගෙවලා අපිට පෙන්නුවා . එච්චරයි ඊට පස්සේ එයා උඹලට ඕනේ විදියකට හිටපල්ලා කියන නිදහස අපිට දුන්නා .
ඊළඟ එක තමා විවාහයෙන් පස්සේ මට දුන්න වැදගත් උපදෙසක් තමා "ඔය ළමය කියන දේ අහගෙන හිටපන් කියන එක " හෙහ් හෙහ් .. අම්මා දන්නවා එදා ඉඳන් මගේ හැටි .. ඔය ගැන විස්තර මම කතාවේ ටිකක් පැහැදිලි කලාට මේක කියවන ඔහෙලට මෙන්න මේක පොඩ්ඩක් කියෙව්වනම් ආයේ වැඩි විස්තර ඕනේ වෙන එකක් නැහැ හෙහ් හෙහ් .
බොහොම අමාරුවෙන් මේ අවුරුද්දට එකක් ලියල දා ගත්තා . බ්ලොග් එක නොලියන්න හේතු වෙච්ච තව ආතල් ජනක දේවල් ටිකක් එක්ක තව එකක් ලියන්නම්කො (මේ අවුරුද්දේ ද කියල අහන්ඩ එපා )




රෙජිස්ටරේ එක දාන්න, ඈ? ආයෙ හතර පස් පාරක් එඤ්ඤං.
ReplyDelete