2016 ගංවතුර ආපු වෙලාවේ ලියු සටහන මේ . ආයේත් ඒ වගේම කාලයක් ඇවිත් . ගං වතුර තාමත් එහෙමමයි , අපේ ගමේ අපිත් එක්ක ගංවතුරට කොටු වුනු බොහෝ දෙනාත් තාමත් එහෙමමයි .
සමහර ජිවිත අලුත් නොවෙන්න පරිසර සාධක බලපානවද ? ඔය අපි හිටපු පළාත දැන් අවුරුදු 30-40කට පස්සෙත් එච්චර වෙනසක් වෙලා නැහැ .. ඒ පාර , ඒ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් , රස්සා ආදිය ලොකු වෙනසක් වෙලා නැහැ .. මම ගිය අවුරුද්දේ ගියා පරණ යාළුවන් ගේ ගෙවල් කීපෙකට , ඒ ගෙවල් මිට අවුරුදු 30-40කට කලින් තිබ්බ තත්වෙට වඩා දශම ගානකින් ඕනනම් වෙනස් වෙලා ඇති . බොට්ටා තාම ඉන්නේ උන්ගේ මහ ගෙදර , ඒ ගෙදර අපි පොඩි කාලේ ගිය ගෙදරමයි , ඉස්සර කුප්පි ලාම්පු තිබ්බ ගෙදරට දැන් ලයිට් තියෙනවා . අජ්ජා ඉන්නෙත් තාත්තා හදපු පුංචි ගෙදරමයි , ලොකු දොඩ්ඩ අලුතින් ගෙයක් හදන්න පටන් අරගෙන හැබැයි මම කලුවරට දැක්කේ යන්තම් උස්ස ගත්ත බිත්ති ගොඩක් විතරයි , උගේ ජිවිත කාලෙම ඌ ඒ ගේ හදයි ..
සුගත් , චමින්ද හොඳ ගෙවල් දෙකක් හදාගෙන තරමක් හොඳට ඉන්නවා , උන්ගේ ජිවිත වෙනස් වෙන්නේ හරි හෙමින් .
අපි හිටිය බියගම කියන්නේ කොළඹ ඉඳල 20km වත් නැති තරම් රටේ ප්‍රධානම නගරයට ළඟ තැනක් හැබැයි ඒ ජීවිතයි , ඈත දුම්බර මිනිස්සුන්ගේ ජීවිතයි අතර මහා වෙනසක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා අපේ රටේ දියුණුව කියන එක මහා අබූත විදියකට තමා ව්‍යාප්ත වෙන්නේ .
මම මේ ජිවත් වෙන්නේ තුන් වෙනි රටේ . අනිත් රටවල් දෙකේම ප්‍රධාන නගර වල ඉඳල 20km කියන්නේ ඒ රටේ prime location විදියට සැලකෙනවා . ලංකාවේ ප්‍රධාන නගරය තුලම කොච්චර අවාසනාවන්ත ජිවිත තියෙනවද ?
අපි ඔය ගමට පිටින් ඇවිල්ලා පදිංචි වෙච්ච අය . ඒ කියන්නේ අපේ තාත්තා එහෙට ආවේ හපුතලේ ඉඳල . ඔය මගේ යාලුවෝ ඔක්කොම පරම්පරාවෙන් ඒ ගමේම උපන් අය . ඉස්සර මට මතකයි ඔය ගමේ කට්ටිය කියනවා ගමට පිටිං ආපු මිනිස්සු හැමදාම දියුණු වෙනවා , ගමේ උන් එකම තැනමයි කියල ..ඒක ඇත්ත
නගරෙට කිට්ටුව තියෙන තැනකට දුර ඉඳල එන කෙනෙක් දියුණු වෙන්නයි , උපන්දා ඉඳල එක්කෝ නගරෙම හැදුනු , නැත්නම් ඒ ආසන්නයේ ජිවත් වෙච්ච මිනිස්සු ඔහේ ඉන්නං වාලේ ඉන්නයි හේතුව මොකක් ද මන්ද ?
මම හිතන්නේ risk ගන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන් කියල , උන්න තැන අතෑරලා අලුත් තැනකට යන කෙනා යන්නෙම risk එකක් ගන්නනේ , එතන ඉඳල කරන හැමදේම risk තමා , හැබැයි අතාරින්නෙ නැතුව ඇදගෙන යනවා , නමුත් උපන්දා ඉඳල එකම තැන ඉන්න මිනිස්සු වෙනසක් වෙන්න කැමති නැහැ .. ඔය ඇති , මේ හොඳයි , අපේ පරම් පරාවම හිටියේ මෙහෙම තමා , තණ්හාය ජායති සෝකෝ නේ කියල ඔහේ තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා වගේ දෙයක් කියල තම මට නම් හිතෙන්නේ ...
ඒකෙ ඇති වැරැද්දක් නැහැ .. හැබැයි ඒ ජිවිත අපරාදේ , ඔවුන්ට හැමදාම ප්‍රශ්න , ජීවිතේම දුකක් කියල හිතෙනවා , ඔවුන් සැප හොයන්නේ කෙළවර තමා ... ඒ වෙනකම් ඔවුන්ට මොනවා හරි කරදරයක් උනාම රටේ ඉන්න අර risk අරගෙන, දැඩි මහන්සියකින් වැඩ කරන මිනිස්සු ඔවුන් වෙනුවෙනුත් මහන්සි වෙලා, ඔවුන්ව ජිවත් කරලා දෙන්න ඕනේ .
මේ අදහස වැරදියට ගන්න එපා , නමුත් අපේ වගේ රටවල මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අවුලක් තියෙනවා . ඒ අවුල අපි දකින්නේ රටේ දේශපාලනයේ අවුලක් කියල නමුත් ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද කියල ඔවුන් නොදැනීම තමා තියෙන අවුල කියල මට නම් හිතෙන්නේ ..
උදාහරනෙකට ඔය බියගම කියන්නේ හැමදාම ගංවතුරට යටවෙන පලාතක් . මම මේ ජිවත් වෙච්ච දසක 4ටම ඔය පළාතේ කිසිම සංවර්ධනයක් ගංවතුර වැළැක්වීමටවත් , අඩුම තරමේ ගංවතුරක් ආවම නිසි පරිදි ඒක කළමනාකරණය කරගන්න වත් ක්‍රමයක් නැහැ .. කොළඹ නුවර යන අලුත් පාර තියෙන්නේ ඔය පලාත හරහා , පිටත වටරවුම් පාරේ ප්‍රධාන exit තුනක් ඔය අවට තියෙනවා. මේ වගේ රටේ ප්‍රධාන නගරයට කිට්ටුව තියෙන ප්‍රදේශ ගොඩක් කිසිම සැලකිල්ලකින් තොරව දශක ගානක් තිස්සේ ඔහේ තියෙන්නේ කොහොමද කියල හිතල බලනකොටත් පුදුමයි .
ලංකාවට සිදුවෙන විනාස හැමදේකින්ම , හැමදාම වෙන්නේ අසරණ වෙන මිනිස්සුන්ට කට්ටිය හෝ ගාල උදව් කරනවා , සති දෙකකට පස්සේ හිටපු විදියටම ආයේ ඔහේ ඉන්නවා , ආයේ විනාසයක් එනකම් !
මම සරල දෙයක් විදියට කිව්වොත් , ඔය බියගම අපේ ගෙවල් තිබ්බ හරිය ගොඩක් උසයි , කවදාවත් යටවෙන්නේ නැහැ . ඒ මිනිස්සු හැමදාම කොටුවෙනවා .හැබැයි එක ගෙදරකවත් පොඩි මෝටර් බෝට්ටුවක් නැහැ . වතුර ටිකක් වැඩිවෙනකොට පළාත යටවෙනවනම් අත්‍යාවශ්‍ය බදු ටිකක් ගෙනල්ල ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි ගබඩා සංකීර්ණයක් හදන්න මහා වියදමක් යන්නේ නැහැනේ .. වටේ 5km විතර කොටුවෙලා අසරණ වෙන මිනිස්සුන්ට දවස් දෙක තුනක් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න පුළුවන් මුලික පහසුකම් ටික හදන්න කාටවත් සැලසුමක් නැහැ , ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට එහෙම දේවල් තමන්ට ඕනේ කියල අඩුම තරමේ හැඟීමක් වත් නැහැ .
මම හිතන්නේ නැහැ කිසිම රජයක් ඔය ඔක්කොම ගැටළු වලට හිතල උත්තර හදල දෙයි කියල . ඒ ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ට රජයට සහ දේශපාලනයට බල කරලා තමන්ගේ ආරක්ෂාව , තමන්ගේ සුව පහසුව සඳහා වැඩ කරව ගන්න දැනුම සහ අවශ්‍යතාව තියෙන්න ඕනේ .
අසරණ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ , අසරණ නොවී සිටින්න තමන්ට අවශ්‍යතාවයක් නැති හින්ද කියල හිතෙන්නේ නැද්ද ?
හැබැයි අපිට අසරණයින්ට සරණ වෙලා පින් කරලා කෙළවර සැප විදින්න තියෙන චාන්ස් එක අඩුවෙනවා !!!
No comments:
Post a Comment