Tuesday, December 13, 2016

යල්පැනගිය සම්භාව්‍ය පොතක්

           
            ලෝක සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච පොත් උනත් ඉතින් සමහර වෙලාවට කියෙව්වට පස්සේ වැඩක් නෑ කියල හිතෙනවා. කියවන පුදගලයාගේ රුචි අරුචි කම් අනුව ඉතින් ඕක වෙනස් වෙනවා තමයි. මම මේ ලඟදි මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියෙව්වා. ගොඩක් කාලයක් තිස්සේ ළඟ තියාගෙන හිටියටත් නොකියවා තිබුණු පොතක්. ඔන්න ඔහේ කියවල දැම්ම. ඒ පොත ගැන මම හිතාගෙන හිටියේ හෙන වෙනස් විදියකට. ඒ කියන්නේ මාතෘත්වයේ ප්‍රතිමුර්තියක් වෙච්ච කාන්තාවක් ගැන ලියවෙච්ච කතාවක් වෙන්න ඇති කියල. මොකද ඒක ඒ තරම් සාහිත්‍ය ලෝකේ ජනප්‍රිය සහ මිනිස්සු පිළිගන්න පොතක් නිසා. 

              මම කියවපු පරිවර්තනය "දැදිගම වී රුද්‍රිගු" මහත්මයා විසින් පරිවර්තනය කරපු එකක්. එහි පරිවර්තන ශෛලිය නම් මට අල්ලලා ගියා. ලාංකීය අපිට දැනෙන විදියට අපේ භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙන නිසා. රුසියානු සාහිත්‍යට අපේ ඇති මේ කැමැත්තට හේතුව මේ පරිවර්තකයින් ඒවා ලස්සනට පරිවර්තනය කිරීම වෙන්න ඇති කියල මට හිතුනා. නැත්නම් අපිට කොහෙත්ම නුහුරු නුපුරුදු දේශයක් ගැන ලියවෙච්ච කතා වලට අපි මේ හැටි කැමති මොකද? මම ඔය රුසියන් නොවන වෙනත් විදේශික පොත් කියවල තිබුනට කවදාවත් ඒ රටවල් ගැන ලොකු ආසාවක් දැනෙන්නේ නෑ.. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා රුසියන් පොත් කියෙව්වම ඒ රට ගැන ආසාවක් ඇති වෙනවා. සමහර විට ඒ සංස්කෘතිය අපිට වඩා සෑහෙන වෙනස් නිසා වෙන්න ඇති. හැබයි ඉතින් ගේබ්‍රියල් ගාසියා මාකේස් ගේ පොත් කියෙව්වට ඒ පොතට සහ ගත් කරුවා ගැන කැමැත්තක් සහ ඇති වෙනවා මිසක් කොලොම්බියාව ගැන ආසාවක් ඇති වෙනවද? කොලොම්බියාවයි ලංකාවයි කියන්නෙ කිසිම සංස්කෘතිකමය වශයෙන් සම්බන්ධ කමක් නැති රටවල් දෙකක් නේ.. රුසියාවයි ලංකාවයි වගේ. රුසියාව විතරක් මෙච්චර අල්ලලා යන්නේ මොකද අපිට.. හෙහ් හෙහ්..

             අවුරුදු 5-6ක් විතර පොත් ගොඩ අස්සේ තියාගෙන ඉඳල  මම මේ "අම්මා" පොත කියෙව්වා. පොත කියවල ඉවර වුනාම මට හිතුනේ මේ "අම්ම" ගේ තියෙන අනිත් අම්මලාගේ නැති අමුතු විශේෂත්වය මොකක් ද කියන එක. ඒ පොත ලියවෙච්ච කාලයට සාපේක්ෂව වුනත් මට ඒ "අම්මා" ගේ චරිතය ඒ තරම් වැදගත් දෙයක් කරපු චරිතයක් විදියට දැනුනේ නෑ. පුතා කරන විප්ලවයට සහය දෙන අම්මල ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවනේ. ඔය පොතට පාදක වෙච්ච විප්ලවය සහ ලෝකයේ සිද්ද වෙච්ච බොහෝ කම්කරු අරගල වල මේ වගේ අම්මලා ඕනේ තරම් ඉන්න ඇති. ඉතින් මේ "අම්මා" ගේ චරිතයේ ඇති විශේෂත්වය මොකක් ද? පොතේ තව කාන්තා චරිත කිහිපයක්ම විස්තර වෙනවා. ඉතින් විප්ලව වලට කාන්තා සහභාගිත්වය වගේ අරුතකින් බැලුවත් ලොකු දෙයක් නෙවෙයි වගේ. අනේ මන්ද මට හිතුනේ එහෙමයි. ඒ පොත සාහිත්‍ය ලෝකයේ මෙච්චර පිළිගැනීමට ලක්වීමට හේතුව මොකක් ද කියලා මට හිතා ගන්න අමාරුයි. පොතේ පෙරවදනේ තියෙන විදියට පොතේ කතාවට පදනම් වෙලා තියෙන්නේ 1902 දී සොර්මොවෝ කියන නගරයේ ඇති වෙච්ච මැයි දින පෙළපාලිය සහ එයට මුලික වෙච්ච පාවෙල් ව්ලාසව් සහ ඔහුගේ මවගේ කතාව. මේ චරිත ප්යෝතර් සලොමොව් සහ ඔහුගේ මව වූ ආන්නා කිරිලොව්නා සලොමොවා ගේ චරිත අනුසාරයෙන් බිහිවී ඇත. ඔවුන් සැබවින්ම මේ විප්ලවයට සහභාගී වූ විප්ලව වාදීන්. 

               සමාජවාදී විප්ලවීය අදහස් දරන අයට මේ වගේ කතා  වැදගත් වුනාට සමස්ත සාහිත්‍යය ගැන හිතුවම මට නම් ඒ කතාව එච්චර අල්ලලා ගියේ නෑ. මට කොහොමත් ඔය සමාජවාදී අරගල සහ ඒ වගේ අදහස් එච්චර දිරවන්නේ නැති නිසා වෙන්න ඇති. ජිවන අරගල වල යෙදිච්ච පරමාදර්ශීය අම්මාවරුන් ගේ චරිත ඕනේ තරම් තියෙද්දී දේශපාලනික අදහස් නිසා පමණක් සාර්ථක වෙච්ච පොතක් වුනත් "අම්මා හෝ මව" කියන චරිතයට සාධාරණයක් ඉටු වෙච්ච  පොතක් විදියට මට නම් මේ පොත ගැන හිතුනේ නෑ.. 

මේ තියෙන්නේ මම කියවපු පොත...


පින්තුරය - මැක්සිම් ගෝර්කි ගේ අම්මා කෘතියේ කවරය

           සමහර පොත් සර්ව කාලීනයි. ඕනෙම සමාජයක ඕනෙම කෙනෙකුට ඕනෙම කාලෙකදි එක හා සමාන විදියට රසවිඳින්න පුළුවන්. ඒත් සමහර පොත් ඒ ඒ කාලයට සාපේක්ෂව හොඳට වුනාට පස්සේ කාලෙකදී කාලයත් එක්කම යල්පැන ගිය ගතියක් එනවා. මට හිතෙන්නේ මේ පොත එහෙම යල්පැනගිය පොතක්. මම මැක්සිම් ගෝර්කිගේ පොත් ගොඩක් කියවල නෑ. මට මතකයි මම ඔහුගේ "කමකට නැති එකෙකුගේ ජීවිතය" කියල පොතක් කියෙව්වා. ඒ පොත අවසානයේ මට හිතුනේ ඇත්තටම ඒ පොත පට්ට සිරා මොකද කතාව කියවල ඉවර වුනාම කතාවේ එන චරිතය සිරාවටම කමකට නැති චරිතයක් නේද කියල මට දැනුන නිසා. නමුත් මේ කතාවේ අම්මා ගේ චරිතය නියම අම්මා කෙනෙක් නේද කියන හැඟීම පොත කියවල ඉවර වුනාම දැනුනේ නෑ..  මීට වඩා අම්මල මුණ ගැහිලා තියෙනවා නේද කියල හිතුනා. 

දැන් කියවන්නේ සමුගනිමු ගුල්සාරි.. ඒක නම් දැනට අල්ලලා යනවා. මම හිතන්නේ අස්සයින්ගේ කතා සර්ව කාලිනයි..

Wednesday, November 23, 2016

ඇගේ ඇස අග - Let her cry


මම මිට කලින් අශෝක හඳගම ගේ ෆිල්ම් එකක් මුල සිට අගට බලා ඇත්දැයි අවංකවම මට මතක නැත.  ඔය වැඩිහිටියන්ට පමණක් වෙච්ච කොටස් ටික නම් අනිවාර්යයෙන් කොහෙන් හෝ හොයා ගෙන බලන්න ඇති මුත් සම්පුර්ණ කතාව නිදහසේ බැලු බවක් නම් මතකයේ නැත. ඉතින් මම කවදාවත් අශෝක හඳගම නම් නිර්මාණ කරුවා ගැන විවේචන හෝ වර්ණනා කිරීමට උත්සාහ දරා නැත. එහෙම කිරීමේ හැකියාවක් මෙතුවක් කාලයකට තිබී ද නැත. කිරි ගහට ඇන්නා වගේ ඉදිරි අනාගතයේදී එහෙම හැකියාවක් ලැබෙන්නේද නැත. 

අහම්බෙන් මෙන් මගේ ඇස ගැටුණු "ඇගේ ඇස අග" දුටු විට මට හිතුන දේ ජොලියට මේන් ලියා තබමි.

පින්තුරය Let her cry සිනමා පටයේ ප්‍රචාරාත්මක පෝස්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිළියගේ චායාරුපයක් පසුබිමේ ඇත.

පළවෙනි පැය භාගයම වගේ නිකන් අමුතු විදියට කරන්න හදපු ටිපිකල් R rated ෆිල්ම් එකක් වගේ හැඟීමක් තිබුනේ. කොටින්ම ඈනුම් දෙක තුනක් ගිහින් ඇහැත් පොඩ්ඩක් පිය වුණා.  

ටිකක් වෙලා යද්දී පොඩි වෙනස් ගතියක් දැනෙන්න පටන් ගත්තත් හැබැයි මේ ඉතින් අපේ අසරණ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ අසහනය පෙන්නන තවත් එක විදියක්දො කියලත් හිතුනා. නළු නිළියන්ගේ රඟ පෑම් ඇති විශිෂ්ටයි කියන්න බෑ. හැබැයි අර අලුත් නිළියට නම් සම්මානයක් දෙන්න වටිනවා ඒ වගේ චරිතයක් කරපු එකට. (ඒ නිළිය අලුත් දැයි මම නොදනිමි. මම මුල් වරට ඇය දුටුවේ ඒ ෆිලිම් එකෙනි)

කතාව ගලාගෙන ගිහින් අමුතු අමුතු සිද්දි මතු වෙලා එද්දී ඔන්න පොඩ්ඩක් පුටුවේ හරි බැරි ගැහිලා බලන්න හිතුනා. මාත් එක්ක එකට ඉඳන් බලපු අපේ ලොකු මස්සිනා නම් මට වැඩිය උනන්දුවෙන් කතාව බැලුවා.

"අනේ මන්ද ටිකක් කොලොප්පන් වගේ නේද?"  මම උගෙන් ඇහුවා. "හඳගමයා හදන කතා කොහොමත් ඔහොමනෙ.. මට නම් හැබැයි අල්ලලා යනවා.." 

"ඒ කියන්නේ ප්‍රොෆෙසර් කාරයා මේ කෙල්ලට සිරාවට ලව් ද?"

"එහෙම කියන්නත් බෑ හැබැයි .. එහෙම නෑ කියන්නත් බෑ... " ඌ නිකන් උපුල් ශාන්ත සන්නස්ගල වගේ උත්තරයක් දුන්නා..

හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්..  ඒ නිසා අපිට ඒවා මදි.

කතාවේ ලස්සන දෙබස් ටිකක් තිබුනා. කෙල්ල ගානට දිවේ කටේ ගෑවෙන්නේ නැතිව ලස්සනට කියනවා. අන්න ඒවා නම් අපේ කමට නියමෙටම තියෙනවා. මට මතක් වුනේ මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා අර Air Port එකේ දී හොඳට හිනා වෙලා "හු%$%$#%$ කියල මාරු වෙලා යන සීන් එක. හෙහ් හෙහ්..

හරි කතාවේ සිද්දි ටික කියල නිකන් ස්පොයිල් කරන්න ඕනේ නෑනේ.  ආරම්බය සහ අවසානය එකට ගෙනල්ල කතාව නතර කරනවා. 

මම තේරුම් ගත්ත විදියට කතාව ඇතුලේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන දෙකේ පන්තියේ ශෘන්ගාරෙවත්, හැම කෙනාම පට්ට ගහන අපේ මිනිස්සුන්ගේ අසහනෙවත් නෙවෙයි.

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා කියන බඹරෙකු සහ නෙලාගනු බැරි හන්තාන සිහිනයක් දකින කෙල්ලෙකුට මැදි වෙච්ච ලා දළු බෝපත් සෙමින් සලන යශෝදරා දේවියක්. අන්තිමට දුවේ නුඹ මගේ ප්‍රාණයයි තරම් වෙච්ච පිතෘ සෙනෙහසකුත් මට එකේ පෙනුනා. 

හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා. 

ෆිල්ම් එක පටන් ගද්දි ප්‍රොෆෙසර් Let her cry කියන එක කොච්චරක් දුරට මේ ෆිල්ම් එකට ගැලපෙනවද කියල අන්තිමේදී හිතුනා. 

ෆිල්ම් එක බලල ඉවර වුනාම හිතුනේ හඳගම කියන්නේ සිරා පොරක් කියන එක.  සිංහල ෆිල්ම් එකක් බැලුවම නැවත හිතන්න දෙයක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. මට නම් මේ ෆිල්ම් එකේ නැවත නැවත හිතන්න බොහෝ දේ තිබුනා. 

අපේ සිනමාවේ ගත යුත්තක් නෑ කියල හිතුන ගතිය ටිකක් මග ඇරිලා ගියා මේ ෆිල්ම් එක බැලුවහම. ඇත්තටම ගත යුත්ත මිනිස්සුන්ට පෙන්නන විදිය කොච්චර වැදගත් ද කියල හිතුනා. මේ ෆිල්ම් එක ලංකාවේ තහනම් කලාද කියල මම දන්නේ නෑ.. හැබැයි එහෙම තහනම් නොවෙන විදියටත් මේ ෆිල්ම් එක හදන්න තිබුනා කියල මට හිතුනා. ඔය තහනමට හේතු වෙන සීනි බෝල කෑලි වලින් ෆිල්ම් එකට හොදක් වෙලා නෑ කියන එකයි මගේ අදහස. මොකද ඇකිලිලා තියෙන ඒවා ඇකිලිලාම තියෙන හින්ද ෆිල්ම් එක පුරාවටම.. හැබැයි ෆිල්ම් එකෙන් අපේ ඔළුව කෙලින් කරලා අපිට අපේ මිනිස්සුන්ගේ තියෙන වටිනා කම් ගැන හිතන්න දෙයක් ඉතුරු කිරීම සියල්ලටම වඩා වටිනවා.

ප.ලි

මේ ෆිල්ම් එක මම බැලුවේ NetFlix එකේ. කැමති කෙනෙකුට මාසයක් නොමිලේ දෙන NetFlix සේවාවෙන් බලන්න පුළුවන්. සල්ලි ගෙවන්න අකමැති නම්. මම හිතන්නේ ලංකාවේ තහනම් වෙන ෆිල්ම් ඉස්සරහට අපිට කරදරයක් නැතිව බලන්න පුළුවන් වෙයි. 

Tuesday, November 22, 2016

ඔරිජිනල් අපි


හරිම සංකීර්ණ තත්වයක්. කොච්චර ට්‍රයි කලත්  ගොඩ දා ගන්න බැරි තරමට ම  තත්වය දරුණු වෙලා. වෙච්ච සිද්දිය මම කෙටියෙන් කියන්නම්කො..

ඔන්න මම බොහොම පාඩුවේ අහිංසක ළමයා වගේ අම්මයි තාත්තයි කියන දෙයක් අහගෙන ඉස්කෝලේ ටීචර් ල සර් ලා කියන දෙයක් අහගෙන අවුරුදු 10-12ක් ගෙවල දැම්මා.. ඒ කාලේ මට ඔය "මගෙන්" ඒ හැටි කරදරයක් තිබුනේ නෑ.. මට ඕනේ නම් සෙල්ලම් කළා, ඕනේ නම් කාටුන් බැලුවා, ඕනේ නම් චිත්‍රයක් ඇන්දා, පොතක් පත්තරයක් කියෙව්වා,  සිංදුවක් කිව්වා.. දෙන දෙයක් කාලා  ඔහේ හිටියා. ලෙඩක් දුකක් හැදුනම අම්මයි තාත්තයි බලා ගත්ත.  ඒ හැටි අවුලක් තිබුනේ නෑ.. කොටින් ම කිසි මට මම ගැන කිසිම හැඟීමක් වත් තිබුනේ නෑ... ඔය ඉස්කෝලේ කොල්ලෝ එක්ක තිබ්බ පොඩි පොඩි වලි, ඊට පස්සේ ඔය එක පුංචි කෙල්ලෙක් ගැන හිතේ පොඩිම පොඩි මෙව්වා එකක් වගේ එකක් තිබුනා වගේ දේවල් ඇරුනම කිසිම ලොකු ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ගෙදරදී තිබ්බ ලොකුම ප්‍රශ්නේ අක්කත් එක්ක ටි වී බලන එක.. ඒ යකා මට වැඩිය අම්බානක් වයස වීම මට මල වදයක් වෙලා තිබුනේ..මට ඕනේ කාටුන් එකක් බලන්න විදියක් නෑ...  හැබැයි ඉතින් අනිත් අතින් ඒ දවස් වල සබ්ටයිටල් දාපු ඉංග්‍රීසි කතා වල සබ්ටයිටල් ටික මට කියවල දීලා උදව් එහෙම කරන හින්ද මට වැඩිය අක්කට විරුද්ද වෙන්න විදියක් තිබුනෙත් නෑ.. 

කොහොම හරි අවුරුදු 15-16 වගේ වෙද්දී ඔන්න ඉතින් ටික ටික මේ "මම" මට වද දෙන්න පටන් ගත්තා.. එක එක විභාගයි, ඔය ගෑනු ළමයි ගැන ප්‍රශ්නයි, ලොකු වුනාම මොනවාද කරන්නේ කියන ඒවයි අනම් මනම් හැටක් විතර ටික ටික ඔළුවට දාන්න  ගත්තා.. කොටින් ම පොඩි කාලේදී හිතන් ඉන්න "මම ලොකු වුනාම මෙන්න මෙහෙම වෙනවා කියන එක" පොඩ්ඩක් විතර විහිළු සහගත දෙයක් නේද ඔය කිව්වට ඕවා කරන්න ලේසි නෑ වගේ එකක් ටික ටික ඔළුවට දැම්ම.. ඒ අස්සේ මේ හොර්මොනත් පිස්සු කෙලින්න ගත්තම වැඩේ තවත් බරපතල වුණා. හැබැයි ඉතින් මොන දේටත් ඒ අම්මයි තාත්තයි හිටපු නිසා ලොකු අවුලක් වුනේ නෑ..

අම්මයි තාත්තයි එක්ක කියන්න බැරි වෙලා තිබ්බ එකම දේ වෙච්ච ඔය කෙල්ලන්ගේ හුට පට ටිකත් යාලුවෝ මාර්ගයෙන් පොඩ්ඩක් ශේප් කර ගත්තා.. හැබැයි මට අපේ නංගිගෙන් ඒ දවස් වල ඒ සබ්ජෙක්ට් එකට ෆුල්ම සපෝර්ට් එකක් තිබුනේ. නංගිගෙයි මගෙයි වයස ගැප් එක අවුරුදු 2ක් විතර නිසා දෙන්නම එකම වගේ.. අපි දෙන්න අතර රහස් නෑ. යාලු පිට් එක තමයි තිබුනේ. ගානට වැඩේ කරගෙන යන්න ෆුල් සපෝර්ට් එක දුන්නා. 

වැඩිය චාටර් එකක් නැතිව 18ට පන්න ගත්තා කියමුකෝ. අපරාදේ කියන්න බෑ හෝර්මෝන අවුල් වලටත් ඒ දවස් වල වීඩියෝ සෙන්ටර් වල හිටපු අයියල ගාව බෙහෙත් තිබුනා.. ඉතින් එකත් මහ ලොකු අවුලක් වුනේ නෑ.. අනිත් එක "අඩෝ වරෙන් $%$%^"  කියපු ගමන් බයිසිකල් කටුවක නැගල කඩාගෙන බිඳගෙන එන්න යාලුවෝ කීප දෙනෙක් හිටපු හින්ද ඒ සම්බන්ද ප්‍රශ්න ඒ ඒ වෙලාවල් වලදීම විසඳගන්න පුළුවන් වුණා.. 

හැබැයි ඔන්න ඔය කාලේදී "මම" බලවත් වෙලා හිටියේ.. මට "මම" කියන දේ අහන්න සිද්ද වුණා අනිත් අය කියන දේට වඩා.. කොටින් ම මට තේරුනා මට හරියටම හරි යන දේ මේ "මම" මට කියනවා නේද කියල. කොටින්ම ඒ දවස් වල අනිත් හැමෝටම ඕනේ වුනේ විභාගේ හොඳට පාස් වෙලා කැම්පස් යන්න. මටත් එහෙම ඕනේ වුනාට මේ "මම" දවසක් මට තේරුම් කරලා දුන්න උඹට ඕක හරි යන මගුලක් නෙවෙයි උඹ උඹ කැමති දේ උඹට ඕනේ විදියට කරපන්. අනිත් අය ඒ අයගේ විදියට කර ගනියි කියල.. අන්න එදා එදා ඉඳන් මම මේ "මම" කියන දේ විශ්වාස කරන්න පටන් ගත්තා. 

කොටින් ම අවුරුදු 18 විතර ඉඳල අවුරුදු 23 වගේ වෙනකම් මගේ "මම" උපරිම බලවත් වෙලා තිබුනේ. ඒ කාලේ මට ඕනේ දෙයක් කිරීමේ හැකියාව තිබුනා. හිත අලුත් අදහස් වලින් පිරිලා තිබුනා, තිබුන සීමිත දේවල් වලින් බොහෝ දේවල් කර ගත්තා. ගම, ගමේ මිනිසුන්, නගරය,  ප්‍රේමයේ චමත්කාරය, වේදනාව, මිතුරු කම්, ගැහැණු ළමයි, කවි,  කතා, නිසදැස්, චිත්‍ර, පරිගණක වැඩ ඕනේ එකක්. හැමදේම සුන්දරයි.. හිතන සැනින් අදහස් ගලාගෙන එන අපුරු කාලයක්. අනුන් වෙනුවෙන් අපේ කාලය,  අනුන්ගේ වැඩ, සල්ලි වලට සතපහක අගයක් දුන්නේ නෑ. පරිසරය ගහකොළ හරිම අපුරුවට පෙනුනා.  ලෝකයම දිනන ශක්තියක් ඇඟේ තිබුනා. 

ඔය කාලයෙන් මම නෙලා ගත් අග්‍ර ඵලය තමයි මට ලියන්න හැකියාවක් තියෙනවා කියන එක තේරුම් ගැනීම. ඒ හැකියාවේ එක ඉමක් දක්වා "මම" මාව ගෙනිච්චා. 

ජිවිතයේ කිසි දෙයක් ස්ථිර නෑ කියන එක නැවතත් පසක් කරමින් සිදුවූ තාත්තාගේ වියෝව නිසා කඩා වැටුණු ජිවිතයට මුහුණ දෙන්න, ඒ ජීවිතය යලි ගොඩ නගන්න මට "මම" සෑහෙන පිහිට වුණා. අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම" විතරක් කියන එක මට හොඳටම තේරුම් ගියා.  අවසානයේ ප්‍රිය විප්පයෝගයෙන්  දැනුන මහා දුකේ හේතුවත් මා තුල ඉන්න "මම" කියල තේරුම් ගැනීම දක්වාත් ඒ "මම" මාත් එක්ක හිටියා.

සියල්ල උඩු යටිකුරු වෙන්න ගත්තේ අවුරුදු 23 දී පළවෙනි රස්සාවට ගියාට පස්සේ. එතනදී මට "මම" කියන දේ අහන්න විදියක් තිබුනේ නෑ. මොකද රස්සාව කරන්න ඕනේ වුනේ අනුන්ට ඕනේ විදියට. අනුන්ට ඕනේ විදියට වැඩ කලාම ඒ අනුන් මට සල්ලි දුන්න. මුල් කාලේදී හරි ජොලි. මොකද මට ඕනේ වෙච්ච දේවල් "මම" මට පැහැදිලි කරලා දුන්නට ඒවා කරන්න ඕනේ කරන සල්ලි බාගේ දුන්නේ අනුන් නිසා මේ අනුන්ට වැඩ කිරීම වාසි දායක දෙයක් වුණා. මුල් කාලේදී මම සහ "මම" බොහොම සතුටින් හිටියා. හැබැයි ටික ටික "මම"  මට අවවාද  කළා උඹ ට උඹ නැති වෙන්න යන්නේ පරිස්සමින් හිටපන් කියල. මම ඒවා ඒ හැටි ගණන් ගත්තේ නෑ.. 

ටිකෙන් ටික කාලය ගත වුණා. අනුන් මගේ ඔළුවට විවිධ දේවල් පුරවන්න පටන් ගත්තා. ඒ පුරවපු දේවල් වලින් සල්ලි හම්බ කරන විදියත් අනුන් මට කියල දුන්න. බොහෝ අලුත් මිනිසුන් , අලුත් කෙල්ලන්, අලුත් ප්‍රේමයන්, අලුත් වේදනාවන් හමු වුණා. ඒ හැම දේම ලෞකික සහ සමාජීය කියන සාධක දෙක ඇතුලෙම දිය වෙලා ගියා මිසක් ඒ කිසි දේකින් අලුත් දෙයක් හිතන්න ඕනේ කමක් මට තිබුනේ නෑ. මා තුල හිටපු "මම" ටිකෙන් ටික අක්‍රිය වෙන්න පටන් ගන්න බවක් දැනුනත් භෞතික සාධක නිසා මම ඒ හැටි ඒක ගණන් ගත්තේ නෑ.. 

රස්සාවන් මාරු වුණා. ජීවිතය වෙනස් වුණා. මා තුල හිටපු "මම" වෙනුවෙන් මෙලොව ඉපදුනු මගේ අනිත් "මම" හමු වුණා බොහොම අපුරු විදියට. ජීවිතය අලුත් වුණා. "මම" සතුටු වුණා. මින්පසු ජීවිතය ඇය වෙනුවෙන් ජිවත් වීමට පටන් ගත්තා. හැමදේම හොඳින් සිද්ද වුණා. මම සතුටු වුණා හැබැයි ටිකෙන් ටික මට "මාව" අමතක වෙන්න පටන් ගත්තා.

රස්සාව වෙනස් වුණා. ජිවත් වෙචච පරිසරය වෙනස් වුණා. මා තුල හිටි "මම" සැරෙන් සැරේ සියුම් ලෙස අවදි වුනත් මට ඒ ගැන වැඩි අවදානයක් යොදන්න බැරි වුණා. 

අපි තාවකාලිකව රට මාරු කළා. බොහෝ අලුත් දේ ලැබුනා. අලුත් ජිවිතයක්, අලුත් පරිසරයක්,අලුත් සමාජයක්, අලුත් මිතුරන්, හැමදේම සැපවත් වුණා. හැමදේම හොඳින් සිද්ද වෙනකොට කොහේ හෝ තැනකින් ඒ හොඳ වෙනුවෙන් යම් මිලක් ගෙවන්නත් සිද්ද වුණා. ජිවිතයේ හැම සැපක් පසු පසම ගොනා පසු පස එන කරත්ත රෝදය වගේ යම් දුකකුත් එන බව මනාව පසක් කරමින් ඒ සැප සමග අපි යාන්ත්‍රික , ඒකාකාරී ජිවිත රාමුවක් ඇතුලේ හිර වුණා.

හැබැයි සුව දායි ජීවිතය නිසා ඒ රාමුවේ ඇති පීඩාකාරී බව එතරම් දැනුනේ නෑ. හැබැයි මට "මම" ජිවිතයේ කියා දුන්නු වැදගත්ම පාඩම වෙච්ච මට ඕනේ විදියට ජිවත් වීමේ ක්‍රමය ටිකෙන් ටික අහිමි වුණා. මොකද දවසේ හොඳම කාලය යාන්ත්‍රිකව වැඩ කරන මිනිසුන් පිරිසක් සමග වැඩ කිරීමටත් , ඉතිරි කොට ඒ වැඩ කිරීමේ වෙහෙස නිවීමටත් ගෙවා දමන්නට වූ නිසා මම සහ "මම" හමු නොවී ජිවත් වීමට සිද්ද වුණා. නමුත් පැය විසි හතරම ඇය මා සමග සිටීම නිසා මට "මම" නොමැති අඩුව එතරම් දැනුනේ නෑ.

අනුන් වෙනුවෙන් වැඩ කිරීම නිසා අනුන් විසින් ඔළුවට පුරවන දේවල් වලින් ටිකෙන් ටික වැසි ගිය "මම" විටෙන් විට අමාරුවෙන් මතු වී ආවත් වැඩි කාලයක් මා සමග රැඳී සිටිමට "මට" නොහැකි වුණා. 

හිත පුරා ගලා ගිය නිදහස් අදහස් ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා නැති වෙලා ගිහින්. බොහෝ වෙලාවට එලියට එන අදහස් කුමක් හෝ භෞතික සාධකයක් මුලික කරගෙන එන දෙයක් මිස නිවහල් නිදහස් අදහස් නොවන බව මට වැටහෙන්න පටන් ගත්තා. 

මගේ ජීවිතයත් අනුන්ගේ ජිවිතත් සැපවත් කිරීමේ මිල විදියට මට මා තුල සිටි ඔර්ජිනල් "මම" කැප කරන්නට සිදු වී ඇති බව ටිකෙන් ටික වැටහුනා. 

අනුන් වෙනුවෙන් මුදල් පතා වැඩ කිරීම අපව සම්පුර්ණයෙන් ම රාමු  ගත කරපු, විකෘති චරිත බවට පත් කරන ආකාරය දැන් මට මැනවින් පසක් වෙලා. ඒ සියල්ලට ගත වුනේ අවුරුදු 12ක් විතර. 

දශකයක් රස්සාව කරන කොට අපි වෙනස් වෙන විදිය හරිම පුදුමයි. ඒ වෙනස නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක අපේ ඔරිජිනල් ජීවිතය නෙවෙයි. අනුන් විසින් ප්ලෑන් කරපු ජිවිතයක් අස්සේ අපි හිර වෙනවා. ඒ ජිවිතයේ සැප තියෙනවා. හැබැයි ඒ සැප ඇතුලේ මහා දුකකුත් තියෙනවා. ඒ දුක සැරෙන් සැරේ අපිට දැනුනත් ලැබෙන සැප නිසා අපි ඒ දුක නොසලකා හරිනවා. 

පුංචි සියුම් දේවල් වල තියෙන රසය විඳීම අපිට දැන් අමතක වෙලා. ඒ රසය විඳීමේ අරුත අපි හොයන්න පටන් අරන්. අරුත හොයන්න ගිහින් අපිට රස විඳීම අමතක වෙලා.

අපි තව දුරටත් ඔරිජිනල් නෙවෙයි. අපි ඇතුලේ හිටපු ඔරිජිනල් "අපි" අපිව දාල ගිහින්.



ගුග්ල් වලින් සොයා ගත් පින්තුරයක්. 
I'm Simply Me and that is all I need to be යනුවෙන් සඳහන් වී ඇත. 


Wednesday, October 19, 2016

ලංකාවේ ජපන් වාහන මගඩි


          ජපානේ හදන කාර් එකක් විකුණලා ජපන් රජය  ලබන ආදායමට වැඩිය ආදායමක් ලංකාවේ රජය ඒ වාහනේ ලංකාවට ගෙන්වලා ලබා ගන්නවා කියන එක මම හිතන්නේ හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ ඒ වාහනේ හදල තියෙන සියලුම අමුද්‍රව්‍ය වලට, හදන්න ගිය වියදම, හදපු මිනිස්සුන්ගේ මහන්සිය, ආදී මෙකි නොකී සියලු වියදම පියවල ඉවර වුනාම ලැබෙන ලාභයටත් වඩා වැඩි මුදලක් අපි  ලංකා රජයට  ජපානෙන් වාහනයක් ගෙන්නද්දී   ගෙවනවා. හැබැයි කොච්චර නොවටිනා ගණන් වලට වුනත් අපි තාම ගන්න බලන්නේ ජපන් වාහනයක්. 

ජපන් වාහනයක් ගන්න එකේ කිසි වරදක් නෑ. යුරෝපියන් වාහන නඩත්තු කරන්න වත්කමක් නැති අපි වගේ රටකට හරි යන්නේ උසස්ම තත්වයේ තියෙන ජපන් වාහන තමයි. ඉන්දියන් වාහන ගැන කතා කරන එක වැඩක් නෑ. මොකද ඒ වාහන අනිත් ඒවා එක්ක සංසන්දනය කරන්න හදන එකම තේරුමක් නැති වැඩක් නිසා. 

මම වාහන ගැන දන්න දෙයක් නෑ. මේ ජපන් වාහන ගැන හදිස්සියේම එකක් ලියන්න හිතුනේ මේ පහුගිය දවස් ටිකේ අපේ ළඟම ඥාතියෙකුට මේ දවස් වල ලංකාවේ නැගලම යන හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න ගිහින් මුහුණ දුන්න සිදුවීම් කීපයක් නිසා. 

ඔය අපේ ඥාතියා විසින් එයාට හොඳ ටොයෝටා Aqua එකක් හොයල දෙන්න කියල මට නිලවශයෙන් දැනුම් දුන්නා.  ඉතින් මම නිල වශයෙන් වැඩේ බාරගෙන ඔය වාහන හොයන්න ගත්ත මෙහෙ ඉඳන් ඔන්ලයින්. ඔය වගේ වාහන, යකඩ බඩු, ටින් බෙලෙක්ක, වයර් කෑලි වැඩ වලට නියම යාලුවෙක් මට ඉන්නවා. නොකා නොබී හරි වැඩේ කරලා දෙනවා කියන පරක්කුවෙන්. ඒ කියන්නේ හැබැයි ගරාජ් බාස් කෙනෙක් නෙවෙයි. ඔන්ලයින් බාස් කෙනෙක්. මිනිහත් යහපාලනේට නිතර කඩේ යන හැබැයි රාජ ආණ්ඩුව පෙරලෙන්න කලින් අඩු ගානට ජපානේන් ඔය ටොයෝටා Aqua එකක් ගෙන්න ගත්තු හාදයෙක්. වාහනේ පට්ට.

අපි මුලින්ම කලේ මගේ යාලුවා වාහනේ ගේන්න ගත්තු ලංකාවේ ප්‍රසිද්ධ වාහන ගෙන්නවන ආයතනයකට කතා කරපු ඒක. RamaDBK එක දැනට තියෙන අනිත් වාහන ආනයනය කරන ආයතන වලට සාපේක්ෂව සාධාරණ මිලකට උසස් තත්වයේ වාහනයක් ගෙන්නලා දෙනවා කියල තමයි මගේ යාලුවා ගේ අදහස. එයාගේ වාහනේ ගෙන්නලා දීල තිබුනේ ඒ ආයතනයෙන්. වැදගත් දේ මේ ආයතනයේ වැඩ කරන අය එක්ක අපිට skype එකෙන් කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් වීම. ඕනේ වෙලාවක ඔන්ලයින් ඉන්නවා.

ඉතින් මුලින්ම මම එහෙම කෙනෙකුට කතා කරලා ඇහුවම කිව්වේ, මේ දවස් වල ඔය වර්ගයේ කාර් එකක් ගෙන්නන්න ආසන්න වශයෙන් ලක්ෂ 50ක් වත් යනවා. ටැක්ස් එක ගොඩක් වැඩි නිසා කියල. අපේ ඥාතියාගේ වාහන බජට් එක ඒ තරම් නැති වෙච්ච නිසා අපි අලුත් වාහනයක් ගෙන්නන අදහස අත ඇරලා දැම්ම. පස්සේ තිබුන විකල්පය තමයි අතේ ඇති මුදලට වෙනත් වර්ගයක වාහනයක් ගැනීම හෝ ලංකාවේ දැනට තියෙන Aqua එකක් ගැනීම.

අපි ඉතින් යෝජනා කළා වෙනත් වර්ගයක වාහනයක් ගන්න හැබැයි ඉතින් මේ දවස් වල ලංකාවේ නැගලම යන මාකට් කාර් එක ඔය Aqua එක නිසා වෙන එකක් හොයන වැඩේ ජෝන් බාස් ට ගිහින් තවත් දන්නා අදුනන අය මාර්ගයෙන් ජපානෙන්ම එකක් ගේන්න ගන්න බැලුවා. එහෙම හොයද්දි ටිකක් දුර පලාතක ඒ ආකාරයට වාහන ගෙන්වන තැනකින්  පුළුවන් කිව්වා අපේ අතේ තියෙන ගානට එකක් ගෙන්නලා දෙන්න.

මම කිව්වා හරි එහෙනම් එහෙන් ගන්න හැබැයි ගන්න කලින් අපිට වාහනේ Auction Sheet එක බලන්න ඕනේ කියල.

ජපන් වාහන ලංකාවට හෝ වෙනත් රටකට අපනයනය කරන්න කලින් එහෙදි  Auction වලට දානවා. ඒ Auction  වලදී ඒ වාහනයේ තත්වය අනුව වාහනේ වර්ගීකරණය කරනවා.  ඒ විස්තර තියෙන පත්‍රිකාව තමයි ඔය  Auction Sheet  එක කියන්නේ. මේ Auction Sheet එක තියෙන්නේ ජපන් භාෂාවෙන් හැබැයි ඉතින් එකක් දෙකක් බැලුවහම තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙනවා වාහනේ නිෂ්පාදිත වර්ෂය සහ මාසය, දුවපු කිලෝමීටර් ගාන, චැසි නම්බරය සහ වාහනයට සිදුවී ඇති සියලු අලාබහානි ඒ කියන්නේ කුඩා සීරුම් පවා ලකුණු කරලා තියෙනවා. සමහර සීරුම් අපි නම් ගණන් ගන්නේ වත් නැති තරම්. නමුත් ඒ හැමදේම ලකුණු කරලා තියෙනවා. මේ සියලු කරනු වලට අනුව වාහනේ වර්ගීකරණය කරලා තියෙනවා

මෙන්න මේ සයිට් එකෙන් කැමති කෙනෙකුට ඔය වර්ගීකරණය සහ Auction Sheet  ගැන වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

මෙන්න මේ එළකිරි අඩවියේ තියෙන විස්තරෙන් සිංහලෙන් ම ඔය ගැන ඉගෙන ගන්න පුළුවන්. ලින්ක් එක දුන්න හසිතට බොහොම ස්තුතියි.

සාමන්යෙන් S  කියන්නේ අලුත්ම කාර්, 5 කියන්නෙත් නිකන් අලුත් කාර් එක  Auction එකට එන්න ගෙනාපු කිලෝමීටර් ගාන විතරක් දුවල අන්න ඒවගේ.

මේ වර්ගීකරණ වල අන්තිම ගොඩේ තියෙනවා A,R,RA වගේ වර්ගීකරණය වෙච්ච. ඒ කියන්නේ අනතුරක් නිසා වෙච්ච අලුත් වැඩියා හෝ වෙනත් මොනයම් වර්ගයක හෝ අලුත් වැඩියාවක් කරපු වාහන. ගොඩක් වෙලාවට R කාණ්ඩයේ ඒවා හරි අඩු මිලට මේ වෙන්දේසි වලදී අලෙවි වෙනවා.

ඉතින් ජපානයෙන් අලුත්ම තත්වයේ හොඳ වාහනයක් ගන්න නම් අපි අඩුම තරමේ කාණ්ඩ අංක 4න් උඩවත් එකක් ගන්න ඕනේ.

හරි ඔය විස්තර ඔක්කොම මගේ යාලුවගෙන් ඉගෙන ගෙන මම පොර වගේ උපදෙස් දුන්නා වාහනේ Auction එකෙන් ගන්න කලින් අපිට Auction Sheet එක බලන්න ඕනේ ඊට කලින් වාහනේට Bid කරන්න එපා කියල.



දවසකින් දෙකකින් මෙන්න ඒ මනුස්සය අපිට කියනවා හරි මට හොඳ වාහනයක් හම්බ වුණා. කාලාතුරකින් හම්බ වෙන හොඳ  එකක් අරකයි මේකයි කියල. ඊට පස්සේ අපි ඉල්ල ගත්තා Auction Sheet එක. අඩුපාඩුවක් නෑ තඩි R අකුරක් ගහපු හතර වටේ හැප්පිච්ච සලකුණු මාක් කරලා තියෙන එකක් හෙහ් හෙහ්.. මිනිහ නම් කියන්නේ ඒ මාක් කරලා තියෙන ඔක්කොම පොඩි පොඩි දේවල් R ගහල තියෙන්නේ මේ පොඩි රෙපෙයාර් එකක් කරපු නිසා කියල. ජපන් වලින් තියෙන්නේ එහෙම ලු. මිනිහා එහෙම කියල දැන් මේ වාහනේට මම bid කරලා තියෙන්නේ දැන් ආයේ කැන්සල් කරන්න බෑ වගේ කතා ටිකක් කියල තිබුනා. අපි කිව්වා ඉතින් අපි පැහැදිලිව කිව්වනේ bid කරන්න කලින් අපිට බලන්න ඕනේ කියල. ඒ නිසා අපි මේක ගන්නේ නෑ කියල. කොහොම හරි ඒක ෂේප්.

ලක්ෂ 40ක් 50ක් දීලා ගන්න වාහනේ මොකට හැප්පිච්ච එකක් ගන්නවද කියල අපි ඒ වැඩේ අතෑරලා දැම්මා. මොකද R වාහනයක් පස්සේ කාලෙක විකුනන්න ගියාමත් මේ  Auction Sheet  ගැන දන්න අය ගන්නේ නෑ. අපි හරියටම දන්නේ නෑනේ වෙලා තියෙන දේ.

ලංකාවේ තියෙන සේල් වලින් වාහනයක් ගන්න අදහස ගැන ආයේ සලකල බලද්දී හැමෝගෙම අදහස වුනේ ලංකාවේ සේල් වල 99%ක් තියෙන්නේ ඔය වගේ R වර්ගයේ වාහන හොඳ එකක් නම් හොයා ගන්න හරි අමාරුයි ගාන ටිකක් වැඩි පුර ගෙවල හරි අලුත් එකක් ජපානෙන් ගෙන්න ගන්න බලන්න කියල.

ඊට පස්සේ අයවැය ආයේ සලකල බලල අපි ආයෙත් අර RamaDBK එකට කතා කරලා බැලුව එකක් ගේන්න ගන්න. මේ සැරේ අපි Auction Grade 4න් උඩ වගේ කිලෝමීටර් 10,000-20,000ක් වගේ දුවපු එකක් තමයි හොයන්න බැලුවේ. හැබැයි අපිට පොඩි බයක් තිබුනා හදිස්සියෙවත් අපි වාහනේ එහෙන් ගත්තට පස්සේ නොවැම්බර් වල ජාතික අයවැයෙන් වාහන බදු ආයේ වැඩි කරයි ද කියල. RamaDBK කතා කරපු කෙනත් මට කිව්වේ එයාලගේ ඊළඟ ෂිප්මන්ට් එක බජට් එකෙන් පස්සේ එන නිසා ටැක්ස් ගැන නම් ෂුවර් නෑ කියල.

සෑහෙන දියුණු ආර්ථික තත්වයක් තියෙන රටක් නිසා  එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව අඩු උනත්, හදිසියෙවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැත්නම් හිටපු රජ පවුලේ කවුරු හරි කරපු හොරකමක් හින්ද හරි රට ගොඩ ගන්න බැරි තරමට ආර්ථිකේ බංකොලොත් වෙලා හදිසියෙවත් ආයේ වාහන බදු වැඩි කලොත් කියල අපි ඒ අදහසත් අතෑරලා දැම්ම.

ඊට පස්සේ ඉතිරි වුනේ අර ලංකාවේ තියෙන හැප්පිච්ච කාර් 99%ට අහු නොවී කොහොම හරි අපේ බජට් එකට වාහනයක් හොයා ගන්න එක.

ඉතින් හැමෝම වගේ ලංකාවේ වාහන හොයන්න පාවිච්චි කරන්නේ ලංකාවේ ජනප්‍රියම වෙබ් සයිට් දෙකක් වෙච්ච autolanka එකයි ikman.lk එකයිනේ. ඊට අමතරව ඉතින් ඉරිදා පත්තරේ තමයි. අපි මෙහෙ ඉඳන් ඔන්ලයින් වාහන හෙව්වා. එහෙම හොයද්දි තමයි මෙන්න මේ ආතල් ජනක වැඩේ වුනේ.

ඔහොම හොයද්දි අපිට මෙන්න මේ වාහනේ හම්බ වුණා

ඕකේ තියෙන විස්තරේ හැටියට අපේ බජට් එකට වඩා පොඩ්ඩක් වැඩි වුනත් කතා බහ කරලා අඩු කර ගන්න බලාපොරොත්තුවෙන් මම කතා කළා මෙහෙ ඉඳන්.

"ඔව් ඔව්  මේ ලඟදි තමයි වරායෙන් නිදහස් කර ගත්තේ. අලුත්ම වාහනේ. Unregistered, ෆුල් ඔප්ෂන් ඔක්කොම තියෙනවා. හරි හරි කෑෂ් දෙනවනම් ඉතින් බලමුකෝ අඩු කරන්න. මම විස්තර එවන්නම්" ආදී වශයෙන් කතා බහ කරලා මම එයාලගෙන් ඔය වාහනේ Auction Sheet එක ඉල්ල ගත්තා. මේ තියෙන්නේ.




විස්තර ටික ඔක්කොම WhatsApp එකේ දාල මිනිහ මට කියනවා ඔයාට ඕනේ නම් Toyota Lanka එකට දාල ටෙස්ට් කරලා බලන්න කිසි අවුලක් නෑ කියල. 

දැන්වීම දාල තියෙන විදියට මේක ජපානේ දුවල තියෙන්නේ  20,000km. හැබැයි මේ ෂිට් එකේ හැටියට 45,662Km දුවල තියෙනවා. පොඩ්ඩක් බැලුවොත් තේරෙයි. ඔය උඩම දකුණු කොනේ තියෙන්නේ සමස්ත වර්ගීකරණය ඒ කියන්නේ මේකේ හැටියට 4. අවුලක් ම නෑ. අපි හොයපු මට්ටමේ එකක්.

දුවපු කිලෝමීටර් ගාන බොරුවක් වෙච්ච එක කමක් නෑ කියමු. මොකද ඉතින් ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි. එකේ දාල තියෙන ෆුල් ඔප්ෂන් ඔක්කොමත් එක්ක බැලුවම ඉතින් ඒ හැටි අවුලක් නෑ වගේ.

මම ඉතින් මේක ලැබුණු සැනින් අර යටකී යාළුවාට මේක දැම්ම skype එකේ. විස්තර හොයල දියන් කියල. විනාඩි 10ක් ගියේ නෑ මෙන්න skype එකේ හිනා මුණු ගොඩාක් එක්ක එනවා "මෙන්න මල්ලි ඔයාගේ වාහනේ කියල" හෙහ් හෙහ්

මේ තියෙන්නේ ඔරිජිනල් Auction Sheet එක



හෙහ් හෙහ් පොඩ්ඩක් උඩ එකත් එක්ක බලන්න. පේනවා නේද දකුණු පැත්තේ උඩ කොනේ තියෙන R අකුර. ඊටපස්සේ වම් පැත්තේ කොනේ තියෙන 1534 කියන අංක 4න් මුල දෙක හැලිලා ගිහින් 34 විතරක් ඉතිරි වෙලා. මොනවා උනත් km ගාන වෙනස් කරලා නෑ. මට හිතෙන්නේ පොරට ෆොටෝෂොප් එඩිටින් ඒ හැටි බැරුව ඇති. හෙහ් හෙහ්.  මේ Auction Sheet එකයි උඩින් තියෙන Auction Sheet  එකයි එකම කාර් එකේද කියල දැන ගත්තේ වාහනේ චැසි නම්බර් එකෙන් . චැසි අංකෙ තමයි ඔය කාර් එකේ දළ සටහනක් ඇඳපු රූපේ ට උඩින් තියෙන ඉලක්කන් 7තේ නම්බර් එක. හෙහ් හෙහ් කොහොමද ඔරිජිනල් එකේ තියෙන රෙපෙයාර් මාක් ටික. මිනිහ මට එවපු එකේ තියෙන්නේ යාන්තම් එකයි වම්පැත්තේ කොනට වෙන්න.

අපි දෙන්නට හරි ජොලි මේ වැඩේ නිසා.

ඕක මට එවල ටික වෙලාවකින් වාහනේ අයිති කෙනා මගෙන් ඇහුවා විස්තර ටික හම්බ වුණා නේද  මොකද කියන්නේ කියල. මම ඉතින් හැරෙන තැපෑලෙන්  පණිවිඩයක් දැම්ම මේ කාර් එක මට එපා. ඔයාට ඕන නම් මම ඔය කාර් එකේ ඔරිජිනල් Auction Sheet එක එවන්නම් කියල..

"ආ එවන්න බලන්න .." , "අනේ ඔව්මයි.... මේක එඩිට් කරපු එකක් නේ..... අනේ මම දන්නේ නෑ. ඕක තමයි මට හම්බ වුනේ. මම නෙවෙයි මේක ගෙන්නුවේ... මම ඩිලර් කෙනෙක් ගෙන් ගත්තේ. මට කිසිම අවුලක් මේ වාහනේ පෙන්නේ නෑ. එකයි මම ටොයෝටා ලංකා දාල බලන්න කිව්වේ"

 ආදී වශයෙන් මට පිළිතුරු රාශියක් ලැබුනා. මම ඉතින් බොහොම ස්තුතියි කියල නිකන් හිටිය. හෙහ් හෙහ්

මම මේ දැන්වීමේ ලින්ක් එක මෙතන දැම්මේ කිසිම තරහකින් හෝ ඒ තැනැත්තාගේ වෙළඳාමට බාධාවක් කරන අරමුණින් නෙවෙයි. මේ වාහනේ නරක එකක් කියල මම කියන්නේ නෑ. ගන්න කෙනෙකුට ගත්තට කිසිම පාඩුවක් වෙන එකකුත් නෑ. හැබැයි අපි වියදම් කරන මුදලට උසස්ම තත්වයේ වාහනයක් ගන්න හොයන කෙනෙකුට මේ වගේ දැන්වීම් නිසා වෙන්නේ පාඩුවක්. මේ දාපු කෙනා මේක නොදැනුවත්ව කරා වෙන්න පුළුවන් හැබැයි ඉතින් ලංකාවේ වාහන සේල් වල සැබෑ තත්වය හොඳටම පැහැදිලි වුණා අපිට නම්.

අපිට මේ වැඩේ හොයා ගන්න ගියේ විනාඩි 10යි. අද අන්තර්ජාලයේ ඕනෙම බඩුවක් ගැන විස්තර , පාවිච්චි කරපු අයගේ අදහස (User Reviews), තරඟ කාරී මිල ගණන් යටතේ ලාබෙට ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා. ඕනෙම බඩුවක් ගන්න කලින් විනාඩි 10ක්-15ක් වැය කරලා හොයල බැලුවට පාඩු නෑ.

ඕකෙන් පාඩමක් ඉගෙන ගත්ත අපි වාහන සේල් වල සහ පෞද්ගලිකව විකුනන්න තියෙන වාහන බලන්න ගිහින් එකක් හොයන්න තීරණේ කළා. මගේ යාලුවා ඉතින් මම කවද හරි ලංකාවට එන දවසක ගේන්නම් කියපු Kandos චොකලට් එකකට පොරොන්දු වෙලා අපේ කට්ටියත් එක්ක ලංකාවේ ඇවිදල වාහන හොයන්න එකඟ වුණා.  මොනවා උනත් හරි හොඳ එකා.

එහෙම ඇවිදපු පහුගිය දවසක ඌ මට කෝල් එකක් දීලා කිව්වේ මෙහෙම

"යකෝ මුන් ඔක්කොම අලි හොරු. එකෙක් මට කියනවා අපි ගාව  Auction Sheet නම් නෑ. ඔයාලට ඕනේ නම් අපි එකක් හදල දෙන්නම් අවුලක් නෑ ලු.  මොනවා උනත් ඌ නම් අවංක හොරෙක් හෙහ් හෙහ් හෙහ්".

ආයේ කියනවා "මචං වාහනේ ටයර් 4 නම් හොඳටම ගෙවිලා හැබැයි මීටරේ දුවල තියෙන්නේ නම් කිලෝමීටර් 3000යි. හෙහ් හෙහ් "

ඔය විදියට වාහන සේල් වල ඇවිදපු උගේ අන්තිම අදහස වුනේ සේල් වලින් නම් වාහන ගන්න එපා. ඔක්කොම අලි බොරු. මීටර් කරකවපු R කාර් කියල.

මගෙයි උගෙයි අවසන් අවවාදය වුනේ බජට් එකෙන් ඔය කියන තරම් ගාන වැඩි වෙන එකක් නෑ.. දැනටම ලක්ෂ 30ක් බදු ගහන එකේ තව මොනවා ගහන්නද පොඩ්ඩක් බලල හොඳ එකක් ගෙන්න ගන්න කියන එක. හැබැයි ඉතින් එයාලගේ කැමැත්ත සේල් වලින් නැතිව ගෙදරක පාවිච්චි කරපු එකක් ගන්න. මේ වෙද්දී නම් විශ්වාසවන්ත එකක් හම්බ වෙලා තියෙන්නේ ගෙදරක තියෙන එකක්. ලඟදි ගනියි.

ඉතින් ඔන්න ඔහොමයි ලංකාවෙන් කාර් ගන්න ගියාම වෙන්නේ. එහෙම ගන්න අදහසක් තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න. ෆේස් බුක් එකෙත් තියෙනවා ඔය හයිබ්‍රිඩ් කාර් වලටම වෙන් වෙච්ච ගෘප් එකක්. ඒවාට සම්බන්ද වෙලා හොඳට දැනුවත් වෙලා වාහනයක් ගන්න.

Tuesday, October 04, 2016

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපිට නිදහසේ හිතන්න නෑ
හිතන එකත් කෘතීම  වෙලා
අපි නොසැලකිල්ලෙන් හිතුවොත්
බොහෝ වැරදි වැටහීම් වෙන්න පුළුවන්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඔළුව ඉලෙක්ට්‍රොනික වෙලා
මේ හිස් වැසුමට අපි ඇබ්බැහි වෙලා
මේක නැතිව දැන් කිසි දෙයක් කරගන්න බෑ
මිනිස්සු අතර දැන් තියෙන්නේ  ඉලෙක්ට්‍රොනික බැඳීමක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඇඟ ඇතුලේ චිප් හයි කරලා
අපි දැනටම අර්ධ ඉලෙක්ට්‍රොනික වෙලා
මිනිස්සු මහන්සි වෙලා වැඩක් කරන්නේ නැති තරම්
ඔක්කොම තොරතුරු අදහස් හුවමාරුව චිප් වලින්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ පටිය අතේ බැඳ ගත්තේ නැත්නම්
අපි නිකන් කොන් වෙලා යනවා
අර පෙන්නේ නැද්ද අර හොලොග්‍රෑම් එකේ හැටි
ප්‍රසිද්ධ තැන් වල පෙන්නන්න හොඳ දේවල් ද හැබෑට
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ලෙන්ස් එකක් ඇහැට දාගෙන
කන් දෙකේ තව කෑලි දෙකක් ගහගෙන
අනිත් එක තව කැල්ලක් සාක්කුවේ දාගන්නත් වෙලා නේ
ඔය කිව්වට මේවා මේ ඇස් කන් වල දාගෙන ඉන්න හොඳද මන්ද
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ෆෝන් එක විනිවිද පේනවා
ඊයේ මගේ අතින් නැමුනත් එක්ක
කොච්චර දේවල් කරන්න පුළුවන් වුනත් වැඩක් නෑනේ
පොඩි පෙනුමක් එක්ක අතට අහුවෙන්න හරියට නැති වුනාම
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම කෙනා ළඟම ෆෝන් එකක්
මනුස්සයෙක් එක්ක හරියට කතා බහක් නෑනේ
කොයි වෙලාවෙත් බෙල්ල කඩාගෙන එක දිහා බලාගෙන
පොඩි ළමයි පවා ඇබ්බැහි වෙලා නේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම ගෙදරම ටෙලිවිෂන් ටෙලිෆෝන්
මිනිස්සුන්ගේ ඔළුව නරක් වෙන දේවල් ම නේ තියෙන්නේ
ඒ කාලේ  නම් පණිවිඩයක් කිව්වම මිනිස්සු එකට සලකනවා
එකට දැන් එක සැරයක් කතා කරලා එකක් කියනවා පස්සේ තව එකක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම දේම මේ පත්තර වල දානවනේ
ඕනේ දේවලුයි එපා දේවලුයි
ඒ මදිවට ඕවා කියවන්න පුළුවන් කාටද ඔය හැටි
වැදගත් දෙයක් තියෙනවනම් අණ බේර කාරයෙක් එවන ඒකනේ 
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
පොඩි දෙයක්  කියන්නත් අණ බේර ගගහ යන්න ඕනේ
අනිත් එක දවස පුරා උගුර ලේ රහ වෙනකම් කෑ ගහන එක සෙල්ලමක් ද
රජ තුමාට නම් ඉතින් මොකද එයා කියයි
අපි එපැයි රට පුරා යන්න
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ගිනි මැලේ පත්තු කරගන්න මම විඳපු දුකක්
හොඳට ඇවිලුනේ නැත්නම් එහා කන්දට පෙන්නේ නෑ
අරූ හූ කිව්වට පස්සේ නේ මට මේක පත්තු කරන්න වෙන්නේ
මොන හදිස්සියක් ද හැබෑට හෙමිහිට ගිහින් කියන්න තිබුනනේ ඕනේ පණිවිඩයක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපි දෙයක් හොයා ගත්තම අපි කනවා
ඕනනම් ළඟ ඉන්න එකෙකුට පොඩ්ඩක් දෙනවා
මේ හතර වටේ ඉන්න හැම එකාටම මේවා බෙදන්න යන්න පුළුවන් ද
උන්ට ඕනේ නම් උන් හොයාගෙන කයිනේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!

Tuesday, September 27, 2016

බෝර්නියෝ සංචාරය - 2 මුහුණට මුහුණ හමුවුණු මාළු සහ පැරිෂුට් ගමන..

අපේ බෝර්නියෝ සංචාරයේ පළවෙනි දවස කොහොමද ගෙවුනේ කියල පහලින් බලන්න


දෙවෙනි දවසේ උදේ 9.30ට වගේ කලින්දා වගේම වෑන් එකක් ඇවිත් අපිව Kota Kinabalu නගරයේ තිබුණු ජැටිය ට එක්කන් ගියා. අපි හිටපු හොටෙල් එකේ ඉඳල විනාඩි 10ක වගේ දුර. මේ නගරය දකුණු චීන මුහුදට මායිම් වෙච්ච නගරයක්. නගරය අවට තිබුණු පුංචි දුපත් සමුහයක් තියෙනවා. ඒ හැම දුපතක් ම වගේ සංචාරක ආකර්ෂන. ටිකක් විශාල දුපතක වෙනමම පාසලක් පවා තියෙන බව අපි පස්සේ දැන ගත්තා. 

මෙතන ඉඳල ඉතින් පොටෝ ටිකක් දාන්නම්. මේ තියෙන්නේ ජැටිය


අපේ නඩේ ගුරා තමයි මේ මැද ඉන්නේ.. අපිත් එක්ක ගිය අනිත් සෙට් එකත් එක්ක.


බෝට්ටුව අධි වේගයෙන් යනවා. දෙතුන් තැනකදීම කනේ වැලි (සොරි සොරි වැලි නෙවෙයි... වතුර වතුර..) ගෑවෙන්න නවල අරන් පොඩි පොඩි වැඩ කෑලි දාපු අපේ බෝට්ටුවේ ඩයිබර් මලය දක්ෂය..

ඔහොම විනාඩි 15-20 වගේ ගිහින් අපි මුලින්ම ගොඩ බැස්සේ මෙන්න මේ Sapi දුපතට.. දුපතේ තියෙන පිළිගැනීමේ කවුන්ටර් එක තමා මේ.


මේ තියෙන්නේ දුපතේ වෙරළ

මේකට ආවට පස්සේ අපේ නඩේ ගුරා අපිට එයාල කරන තව එක එක ඇක්ටිවිටිස් වර්ග කීපයක් ගැන කියල දුන්නා.  ස්කුබා ඩයිවින්, පැරා සේලින්, බනානා බෝට්, සී වෝකින් වගේ ඒවා.. කැමති අයට ඒවාට යන්න පුළුවන් ඉතිරි අයට තිබුනේ ඉතින් ස්නොර්ක්ලින් කරන්න තමයි. අපි දෙන්න මොකද කරන්නේ කියල පස්සේ තීරණේ කරන්න හිතාගෙන ස්නොර්ක්ලින් වලට මුහුදට බැස්ස. හැබැයි ඒ වෙරළ එතරම් ලස්සන  කොරල් තියෙන තැනක් නෙවෙයි.. අනිත් එක ගොඩක් සංචාරකයෝ හිටපු නිසා වතුර බොර වෙලා තිබුනේ.. ස්නොර්ක්ලින් වලට එච්චර සුදුසු නෑ.. 

මෙන්න මේ වෙලාවේ තමයි මම මෙන්න මේ පෝස්ට් එකේදී කිව්ව මගේ ඇක්ෂන් කැමරාව එලියට අරන් මුලින්ම වතුරට බැස්සේ..

ලාබෙට ගත්ත චයිනීස් කැමරාවේ වැඩ කිඩ බලන්නත් එක්ක දෙයියෝ බුදුන් සිහි කරගෙන ඕනේ එකක් වෙන්න කියල දිය යට ඔබලා බැලුවා.. පුදනකොටම කාපි යකා කියල මෙන්න බොලේ බඩු වැඩ හෙහ් හෙහ්..

මේ තියෙන්නේ එහෙන් මෙහන් ගත්තු ෆොටෝ ටිකක්... වීඩියෝ කරපු ටිකකුත් තියෙනවා. ඒවා මේකේ දැම්මේ නෑ.. 

කැමරාවේ දිනේ හරියට හදපු නැති නිසා වැරදි දිනයක් තියෙන්නේ.. ඒක නොසලකා බලන්න.. :)

මුහුණට මුහුණ ආපු මාළුවෙක්..
එන්නේ පිඹගෙන..
කොරල් නම් වැඩක් නෑ..

මේ ඉන්නේ තව එකෙක්

මාළුත් ගොඩක් නෑ.. සෙනග වැඩි නිසා මාළු හැංගිලා ද කොහෙද

මේ ඉන්නේ තව සෙට් එකක්

ඔය විදියට පැය දෙකක් විතර මාළු පස්සේ ගිහින් කොරල් වලට කකුල් තුවාල කරගෙන ෆොටෝ ගත්තා ,වීඩියෝ කළා. මට අමතර බැටරි එකක් එහෙම අරන් යන්න බැරි වෙච්ච නිසා ෂුවර් නැතිව තමයි කැමරාව පාවිච්චි කලේ.  හැබැයි අවුලක් නැතිව හවස් වෙනකම් කැමරාව වැඩ කළා.  චීන මුහුදේ දී චීන බඩු හොඳට වැඩ කරනවා මගේ හිතේ.. හෙහ් හෙහ්..

ඊට පස්සේ අපේ දුපතේ සුදානම් කරලා තිබ්බ අපේ දවල් කෑමට ගොඩට ආවා.

මේ තියෙන්නේ

බුෆේ ක්‍රමයට කෑම නම් හොඳටම තිබුනා.

කාල බීලා  පොඩි කයියක් ගහල ඊලඟ ගමනාන්තය  වෙච්ච Manukan දුපතට පිටත් වුණා.

තව විනාඩි 15ක් විතර බෝට්ටුවේ ගිහිල්ල Manukan දුපතේ ජැටියේ දී අපේ නඩේ ගුරා කිව්වා පැරා සේලින් කරන අයට දැන් කරන්න පුළුවන් කැමති අය එන්න කියල.  ෆෝම් එකක් දුන්න අපේ නම් ලියන්න.  ඒ සැරේ අපි දෙන්නයි තව කොරියන් දෙන්නෙකුයි පැරා සේලින් වලට නම් දුන්න.

එතනින් පස්සේ අපි ආපු බෝට්ටුවෙන් අපිව වෙන බෝට්ටුවකට දාගෙන මෙන්න පැරා සේලින් කරන්න පිටත් වුණා.

අපි දෙන්න මීට කලින් එක පාරක් පැරා සේලින් කළා. ඒ මැලේසියාවට අයිති ලංකාවී කියන දුපතට ගිය වෙලාවේ. එකේදී තිබුනේ අපි වෙරළේ ඉන්නවා පැරිෂුට් එක දාගෙන . මුහුදේ තියෙන බෝට්ටුවකින් පැරිෂුට් එකත් එක්ක අපිව ඇදගෙන වේගෙන් යනවා..  අන්තිමට අපි ගොඩ බහින්න ඕනෙත් ආයේ වෙරලටමයි.. ඒක ටිකක් භයානකයි මොකද ආපහු බානකොට හරි තැනදී පැරිෂුට් එක පාලනය කර ගන්න බැරි වුනොත් වෙරළට නෙවෙයි පොල් ගහක් උඩට වුනත් වැටෙන්න පුළුවන්.. ගිය සැරේ ගිය වෙලාවේ මම නම් ගානට වෙරළට බා ගත්තා.. හැබැයි එක ජෝඩුවක් වෙරළේ නතර කරලා තිබ්බ බෝට්ටු ගොඩක් උඩට ගොඩ බෑව.. හෙහ් හෙහ්

ඉතින් මේ සැරේ අපි දෙන්න වීරයෝ වගේ ගියා

බෝට්ටුව ඉතින් දැන් මුහුද මැද්දට යනවා. ටික වෙලාවකින් මෙන්න  බෝට්ටුවේ හිටපු මල්ලි කෙනක් ඇවිල්ල දඩ බඩ ගාල අපි දෙන්නට නයිලෝන් කඹ වලින් හදපු බෙල්ට් වගයක් ඇඳ ගන්න කිව්වා.. ඊට පස්සේ ඕකේ, ඕකේ කම් කම් කියල අපි දෙන්නව බෝට්ටුවේ පිටිපස්සේ තිබ්බ වේදිකාවට නග්ගල ඒ වෙද්දී දිග ඇරල තිබ්බ පැරිෂුට් එකට අමුණලා උඩ ඇරියනේ.. හෙහ් හෙහ්..මදැයි මම වීරයා වගේ වෙරළේ ඉඳල පැරිෂුට් එකේ යන්න හිතා ගෙන හිටියා .. 

මේ තියෙන්නේ කතන්දරේ

බෝට්ටුවෙන් පිටත් වෙච්ච ගමන් ම


ටික ටික ඈත් වෙන බෝට්ටුව


දකුණු චීන මුහුද උඩින් කකුල් දෙකත් වන වන..

මේ තියෙන්නේ පැරිෂුට් එක

මේ තියෙන්නේ වට පිටාව



බහින්න කිට්ටුව ටික ටික ලං වෙන බෝට්ටුව. ඔය බෝට්ටුවේ තියෙන මැෂින් එකෙන් තමයි කඹේ උඩට යවල අපහු ගේන්න ගන්නේ.. කිසිම අමාරුවක් නෑ.. අපිට තිබුනේ අර නයිලෝන් බෙල්ට් එකේ ෂපාන් එකේ වාඩි වෙලා ඉන්න විතරයි..



යන්තන් ඇඟට ලේ ටිකක් ඉනුවේ ඔන්න දැනුයි.. හෙහ් හෙහ්



මේ ගමන මම ෆුල් වීඩියෝ කළා. හැබැයි හොඳ සෙල්පි පොල්ලක් එහෙම නැතිව අමාරුවෙන් අතින් අතට මාරු කරන වීඩියෝ කරපු නිසා ගොඩක් හෙලවිලා. කැමරාව අලුතින් ගත්ත නිසා නියම විදියට සුදානම් වෙන්න බැරි වුණා මේ ගමනේදී..


අපි ගොඩට ආවට පස්සේ අර කොරියන් ජෝඩුවත් ගියා. මේ වැඩේ විදි දෙකකට කරන්න පුළුවන්. අපි යන්න කලින් අපේ අහනවා වතුර ටච් කරන්න ඕනේ ද කියල .. අපෙන් ඒක අහපු වෙලේ අපි හිතුවේ උඩට ගෙනිහින් කෙලින්ම මුහුදට බාන සීන් එකක් වෙන්න ඇති අනේ මේ පිනන්නත් බැරි අපිට ඒක එපා ඔන්න ඔහේ උඩින් ම අපි දෙන්නව අරන් එන්න කියල අපි කිව්වා. අර කොරියන් දෙන්න වතුර ටච් කරන වැඩෙත් කළා. මේ තියෙන්නේ මම බෝට්ටුවේ ඉඳල ඒ දෙන්නගේ ගත්ත ෆොටෝ ටිකක්.

මෙන්න මෙහෙමයි උඩට ගියාම

මේ තියෙන්නේ බෝට්ටුව ටිකක් ස්ලෝ කලාම ගානට මුහුදට පාත් වෙන හැටි..


බෝට්ටුවෙ වේගේ වැඩි වුනාම ආයේ උඩ යනවා.. එකත් ආතල් වැඩේ. අපිට ඒක තේරුනේ පස්සේ.. හෙහ් හෙහ්

මේ ඉන්නේ ඒ ජෝඩුව බාන වෙලාවේ



මේ වැඩේ හරිම ලේසියි. බය වෙන්න දේකුත් නෑ.. හැබැයි උඩට ගියාම පොඩ්ඩක් විතර බය හිතෙනවා. මම නම් එක අතකින් කඹේ අල්ලන් අනිත් අතින් කැමරාවේ සෙල්ලං කර කර යන්න ගිහින් මග දිගට බැනුම් අහ අහ ගියේ.. හෙහ් හෙහ්..

මේ පැරිෂුට් ගමනින් පස්සේ තමයි අපි ගියේ Manukan දුපතට.. ඊට පස්සේ හවස 4-5 වෙනකම් ඒ දුපතේ ස්නොර්ක්ලින් කරලා ආපහු ආවා.

ආපහු ගමනේදීත් කනේ වතුර ගෑවෙන විදියට බෝට්ටුව නවල ආතල් එකේ සිංදු කිය කිය අපේ නඩේ ගුරා ඇතුළු කට්ටිය අපිව පරිස්සමින් Kota Kinabalu ජැටියට එක්කන් ආවා. එතනින් පස්සේ වෑන් එකේ හොටලේටම ගෙනත් ඇරලවල එදා දවස ඉවර කළා.

හෝටලේට ආපු අපි දෙන්න ආයෙත් රෑට කන්න එක්ක කියල Kinabalu ටවුමේ පොඩි රවුමක් ඇවිදලා.. පොඩි ෂොපින් පාරක් දාල ආයෙත් හෝටලේට ආවා.

මේ තියෙන්නේ ජැටිය කිට්ටුව හදල තිබුණු ලස්සන මාළුවෙක්..



ඉතින් ඔන්න ඔය විදියට අපේ බෝර්නියෝ සංචාරය ඉවර කරලා පහුවදා උදේ ආයෙත් ක්වාලා ලාම්පුර් නගරෙට එන්න ගුවන් ගත වුණා. 

ගොඩක් වෙලාවට දෙසැම්බර් මාසේ මැලේසියාවේ නැගෙනහිර වෙරළේ තියෙන තව දුපත් දෙකකට යන්න හිතාගෙන ඉන්නවා. ඒ ගමන ගියොත් මිට වඩා හොඳ ෆොටෝ එක්කම තව එකක් ලියන්නම්. 



Monday, September 19, 2016

බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ



       ලෝකයේ තුන්වෙනි විශාලම දුපත වන බොර්නියෝව පිහිටලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ. ජාවා දුපතට උතුරිනුත්, සුමාත්‍රා දුපතට නැගෙනහිරිනුත්, සුලාවෙසි දුපතට බටහිරිනුත් තමයි මේ බෝර්නියෝ දුපත පිහිටලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් රටවල් තුනකට මේ දුපත අයත් වෙනවා. ඒ රටවල් තමයි බෘනායි රාජ්‍යයය, ඉන්දුනීසියාව සහ මැලේසියාව. ඉන්දුනීසියානු භාෂාවෙන් Kalimantan විදියට තමයි මේ දුපත හඳුන්වන්නේ. මැලේ භාෂාවෙන් සහ ජාත්‍යන්තරව දුපත හඳුන්වන්නේ Borneo නමින්. දුපතේ විශාලත්වය වර්ගකිලෝමීටර් 743,330 ක් පමණ වෙනවා. ඒවගේම උතුරු සහ වයඹ දෙසින් දකුණු චීන මුහුදත්, ඊසාන දෙසින් Sulu මුහුදත්, නැගෙනහිරින් Celebes මුහුද සහ Makassar සමුද්‍ර සන්දියත්, දකුණින් ජාවා මුහුද සහ Karimata සමුද්‍ර සන්දියත් මේ දුපතට මායිම්ව තියෙනවා. ඒවගේම පිලිපීන දුපත් තියෙන්නේ මේ බෝර්නියෝ දුපතට ඊසාන දෙසින්.

මේ තියෙන්නේ මැප් එක



          බෝර්නියෝ වැසි වනාන්තරය ලොව ඇති පැරණිතම වැසි වනාන්තර වලින් එකක්. විකිපීඩියාවට අනුව අවුරුදු මිලියන 140ක් විතර පරණයි. සපුෂ්ප ශාක විශේෂ 15000ක් පමණ සහ ශාක විශේෂ 3000ක් බෝර්නියෝ වනාන්තරය තුලදී හමුවෙනවා. ඒ වාගේම ක්ෂීරපායින් විශේෂ 221 ක් සහ කුරුළු විශේෂ 420 ක් ද මිරිදිය මසුන් විශේෂ 440ක් පමණද මේ බෝර්නියෝ වනාන්තරය තුලදී හමුවෙනවා. ඒවගේම වඳවී යන සත්ව විශේෂයක් විදියට සලකන බෝර්නියෝ ඔරන් ඔටන් ගේ නිජභුමියත් මේ බෝර්නියෝ වනාන්තරය. ඒ වගේම බෝර්නියෝ අලියා, Bornean rhinoceros, Sunda clouded leopard , Hose's palm civet වැනි ආවේනික සත්ත්ව විශේෂ මේ වනාන්තරය තුල හමුවෙනවා.

අග්නිදිග ආසියාවේ උසම ශිඛරය වෙච්ච Kinabalu කන්ද පිහිටලා තියෙන්නේ මේ බෝර්නියෝ දුපතේ Sabah කියන ප්‍රදේශයේ. මැලේසියාවේ පාලනයට යටත් මේ Sabah වලට තමයි ගිය සතියේ අපේ සංචාරය. 

මෙහෙට ආපු දවස් වල ඉඳන් මේ Sabah වලට යන්න ආසාවක් තිබුනා. එකක් මේ බෝර්නියෝ වනාන්තරය දැක බලා ගන්න. අනිත් එක Sabah වල තියෙන සුදු වැලි සහිත  අපූරු දුපත් වල සංචාරය කරන්න. මේ වෙද්දී බටහිර මැලේසියාවේ තියෙන ඔය සංචාරකයෝ වැඩිපුර යන ගොඩක් පැති වලට අපි දෙන්න ගියා. නොගිය තැන් ගොඩක් තිබුනත් ප්‍රධාන වශයෙන් යායුතුයි කියන තැන් ගොඩක අපි ඇවිද්ද.. තව තියෙනවා මැලේසියාවේ නැගෙනහිර වෙරළ තිරයේ තියෙන දුපත් කීපයකට යන්න.. එක පස්සේ යන බලාපොරොත්තුවෙන් මේ සැරේ මේ බෝර්නියෝ සංචාරය සැලසුම් කළා.  ක්වාලා ලාම්පුර් වල ඉඳල පැය දෙක හමාරක ගුවන් ගමනකින් අපිට Kota Kinabalu නගරයට යන්න පුළුවන්. විශේෂ විසා අවශ්‍යය නෑ.  Kota Kinabalu ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාසයක් එහි රැඳෙන්න අපිට විසා දෙනවා. 


අපේ සවාරිය කෙටි එකක් ඉතින් අපි ප්ලෑන් කලේ ටවුමේ ඇවිදින්න යන දවසේ හවස් වරුව.  එක දවසක් බෝර්නියෝ වනාන්තරයේ සහ Kinabalu කන්ද බලන්න යන්නත් අනිත් දවස දුපත් සවාරියක් යන්නත් හතරවෙනි දවසේ ආපහු එන්න. අපි දෙන්න සාමාන්යෙන් මේ වගේ ගමන් යද්දී ඔය තරු 3-4 ක පහසුකම් තියෙන බජට් හොටෙල් තමයි බුක් කරන්නේ.. මේ සැරේ යන්න සති දෙක තුනකට කලින් Kota Kinabalu නගරයේ තියෙන එවැනි හෝටලයක් බුක් කළා. දවස්තුනම එකම හෝටලයේ ඉන්න සැලසුම් කලේ අපිට අපේ ගමන් නිදහසේ යන්න පුළුවන් නිසා. උදේ ගියාම හවස කීයට එන්න වෙන්නේ නැද්ද කියල ෂුවර් නැති ගමන් යද්දී එකම හොටෙල් එකේ ඉන්න එක හරි ලේසියි. දවසින් දවස හෝටල් මාරු කරන එකට කාලේ නාස්ති කරන එක අපරාදයක්.

හොටෙල් එකට ගිය ගමන් කලේ අපේ සංචාර සඳහා ඒ පහසුකම් දෙන ආයතන කීපයකට කතා කරන එක. දෙක තුනකට කතා කරලා ගාන සාපේක්ෂව අඩුවට දුන්න එකක් බුක් කර ගත්තා. ඒ කියන්නේ දවස් දෙකට සංචාරක ස්ථාන නැරඹීම , හෝටලයේ සිට ගමන් පහසුකම් සහ දවල් කෑම එක්ක. එක එක තැන්වලට ඇතුල් වීමේ ගාස්තුත් මේ පැකේජ වලට ඇතුලත්. ඔය වැඩ ටික ඉවර කරලා හවස් වරුවේ ටවුමේ අවිද්න්න ගියා..ක්වාලා ලාම්පුර් තරම් දියුණු නගරයක් නෙවෙයි. නිකන් කොළඹ වගේ හෝ ඊට වඩා පොඩ්ඩක් විතර දියුණුයි වගේ නගරයක්. 

මේ තියෙන්නේ හෝටල් කාමරයට පෙනුන නගරය සහ ආපසු එන ගමනේදී මම ගත්ත ගුවන් චායාරුපයක්.




එදා හවස ඔය රස්තියාදුවක් ගහල ඇවිල්ල අපි දෙන්න එකතුවෙලා පොඩි කේක් කැල්ලක් කාල එදාට යෙදිලා තිබුණු මගේ උපන්දිනෙත් පොඩියට වගේ සමරලා දැම්ම. මේ තියෙන්නේ අපේ පුංචි සැමරුම


ඊට පස්සේ රෑට කන්න කියල තව මරු තැනකට ගියා. එතන ෆුඩ් කොට් එකක්. ඕනෙම කෑමක් තියෙනවා. එතනදී අපිට හම්බ වුණා මල්ටි ලේයර් පලතුරු බිම එකක්. ඒ කියන්නේ අපි කියන ඕනෙම වර්ගයක (කඩේ තියෙන ඒවා) වර්ග තුනක් හතරක් හෝ ඊට වැඩි ගණනක්  එකට දෙන බිම එකක්. වැඩේ කියන්නේ එකේ පලතුරු වල රස වෙන වෙනම දැනෙන විදියට පල්ප වගේ හදල තමයි දෙන්නේ.. නිකන් මික්ස් ෆෘට් සීන් එකක් නෙවෙයි.. මේ ඔත්තුව අපිට දුන්නෙත් අර ටුවර් එක සුදානම් කරපු චීන හාදය තමයි.

මේ තියෙන්නේ අපි දෙන්න ගත්ත බිම දෙක

වම් පැත්තේ තියෙන එකේ තියෙන්නේ යටම තියෙන්නේ ඩ්‍රැගන්ෆෘට්, ඊට උඩින් අඹ, උඩින් ම අලිගැටපේර, අනිත් එකේ යටම තියෙන්නේ කිවි. ඉතිරි ටික එකමයි. සීනි නොදා ඉල්ලගත්තම නියම පලතුරු රස දැනෙනවා.
මේ තියෙන්නේ කඩෙයි කඩේ ඇන්ටියි..

ඊට පස්සේ බඩ පැලෙන්න රෑට කාලා ආවා..  හෙහ් හෙහ්..

හරි ඊට පහුවදා උදෙන් ම පොරොන්දු විදියට හරි වෙලාවට වෑන් එකකින් ආව අපිව එක්කන් යන්න. අපි දෙන්නව දාගෙන ඊට පස්සේ තව හොටෙල් එකකට ගිහින් තවත් චීන පවුලක් වෑන් එකට දාගෙන කට්ටියම ගියා Kinabalu Park එක, Poring Hot Spring සහ Desa Farm කියන ස්ථාන ටික බලන්න.


චීන පවුලේ හිටියේ අවුරුදු 6ක විතර පොඩි බට්ටේකුයි එයාගේ අම්මයි තාත්තයි. සෑහෙන වෙලාවක් යනකම් කතා බහක් නැතිව ගිහින් පස්සේ අපේ වාහනේ ඩ්‍රයිවර් සහ ටුවර් ගයිඩ් වෙච්ච Mr.One ගේ ඔය එක එක ප්‍රශ්න වලින් කට්ටියම කතා බහට සෙට් වුණා.


ඒ චීන යුවලේ පිරිමි කෙනාගේ ඉංග්‍රීසි භාවිතාව දුර්වලයි. එයා එයාගේ නෝනව පරිවර්තක විදියට යොදාගෙන තමයි කතා කලේ. අපි දෙන්න ලංකාවේ කියල දැන ගත්තම එයාලට ගොඩක් සතුටුයි මොකද එයාල ලංකාවේ අයව සලකන්නේ චීන අයගේ මිතුරන් විදියට. පස්සේ දැන ගත්ත විදියට මහත්තයා HR Manager කෙනෙක්. නෝනා නම් මොනවා කරනවද කියල ෂුවර් නෑ.. හැබැයි එයා එංගලන්තේ ගිහින් Msc කරපු කතාවක් කිව්වා. අපිත් ඉතින් කැඩුණු ඉංග්‍රීසියෙන් එක එක දේවල් කතා කර කර ගමන ගියා.

එකිනෙකා අදහන ආගම් ගැන කතා කරද්දී එයාල කිව්වේ ඒ ගොල්ලෝ කොමියුනිස්ට් කියල. ඒ කියන්නේ කිසිම ආගමක් අදහන්නේ නෑ නමුත් එයාල හොඳ මිනිස්සු විදියට ජිවත් වෙනවා කියල. එතනින් එහාට වැඩිය ආගම් ගැන කතා කලේ නෑ..

ඊට පස්සේ ඒ මනුස්සය මගෙන් ඇහුවා ලංකාවේ සිංහයෝ කී දෙනෙක් ඉන්නවද කියල හෙහ් හෙහ්.. මම හොල්මන්.  මම කිව්වා සත්තු වත්තේ ඉන්න උන් ඇර වෙන නම් සිංහයෝ නෑ කියල.. හෙහ් හෙහ් මිනිහ ඒ සැරේ මගෙන් අහනවා ශ්‍රී ලංකා කොඩියේ සිංහයෙක් දාගෙන ඉන්නේ ඇයි කියල.. දීපල්ලකෝ ඉතින් ඕවට උත්තර .. මම බොහොම අමාරුවෙන් අර වැඩිහිටියන්ට පමණක් වෙච්ච සිංහයගෙයි අර කව්ද මන්ද දෙවියගෙයි හුට පටේ කියාගෙන යද්දී මිනිහ වෙලාවට කිව්වා "ආ මට තේරෙනවා චීන මිනිස්සු මකර ගැන කියනව වගේ mythical කතාවක් නේද කියල.. මම අහ්හ් ඔව් ඔව් මේ දන්නේ නැද්ද පරණ කතානේ ඕවා " කියල ජාමේ බේර ගත්තා.. සිරාවට රෙද්දක් ඇඳන් මනුස්සයෙකුට කියන්න පුළුවන් කතාවක් ද ඔය සිංහයාගේ හුටපටේ.. අවංකම ඔය කතාව පොඩ්ඩක් වෙනස් කරලා ඉතිහාසේ පොඩ්ඩක් එඩිට් කරලා අලුත් වර්ෂන් එකක් දෙන්න බැරිද මේ යහපාලන ආණ්ඩුව යටතේ වත්..

ඊට පස්සේ ඉතිහාස ලෝලියෙක් වෙච්ච චීන මහතා පරණ චීන ශ්‍රීලංකා මිත්‍රත්ව කතා බොහොම ආමාරුවෙන් කිය කිය ගියා.. අපි දෙන්නත් ඉතින් ඔක්කොම තේරුනා වගේ හුමිටි තිය තිය ගියා..

ඔය විදියට පැයක් පැය එකහාමාරක් විතර ගියා.. අපේ ට්‍රිප් එක පටන් ගත්ත නැකත හොඳයි කියන්නේ මග දිගට අනෝරා වැස්ස.. කඳුකර පැත්තක් වෙච්ච ඒ පළාතේ පාරවල් පෙන්නේ නැති තරම් මිදුම.

කොහොම හරි ඔහොම ගිහින් ගිහින් අපේ ප්‍රධාන නැවතුම ට කලින් තියෙන තවත් නැවතුමකට මහ වැස්සේම ළඟා වුණා.

මෙතන තියෙන්නේ දේශීය අත්කම් භාණ්ඩ විකුනන කඩ,  වැසිකිලි පහසුකම් තව ඔය කෑම බිම තියෙන පොඩි කඩ පේලියක්. එතන විනාඩි 40කට විතර අපි නැවතුනා.

මේ තියෙන්නේ කඩ වල තිබ්බ විසිතුරු බඩු


මෙන්න මේ ආච්චි අම්මගේ කඩෙන් මම වෙස්මුනක් ගත්තා


මේ තියෙන්නේ ඒ වෙද්දී කඳුකරයට පාත්වෙලා තිබ්බ මීදුමෙන් වැසුනු බෝර්නියෝ වනාන්තරය. අපේ ගමන පාඩු වෙන ලකුණු මේ මන්දාරම් අඳුර සහ මිදුම අපිට කල්තියාම දැනුම් දුන්නා.


ඕනේ එකක් කියල අපි ආපහු ගමන පටන් ගත්තා. වැඩි වෙලාවක් නොගිහින් අපේ පළවෙනි නැවතුම වෙච්ච Kinabalu Park එකට ආවත් ඒ හරියේදී තද වැස්ස. පස්සේ අපේ ඩයිවර් මහත්තයා එයාගේ යාලුවෙකුට කතා කරලා පොඩ්ඩක් කාලගුණ විස්තරේ දැනගෙන අපිට යෝජනා කළා වැස්ස පායනකම් ඊට ටිකක් දුරින් තිබුණු අපේ තවත් නැරඹුම් ස්ථානයක් වෙච්ච Poring Hot Spring බලන්න යමු කියල. ඒ වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ එක නිසා අපි එකඟ වෙලා නොනැවතීම ඉදිරියට ගියා.

ඒ වෙද්දී දවල් 12 පහු වුණා විතරයි වගේ.  අපිට යන්න තිබුණු දුර තවත් කිලෝමීටර් 40ක් විතර. නමුත් අපි ගමන පිටත් වෙච්ච සෙනසුරාදා දිනය දීර්ඝ සති අන්තයක ආරම්භක දිනය නිසාත් යන අතරමග එක තැනක තිබුණු දුරියන් උත්සවය (Durian Festival එකේදී RM 20 පමණ ගෙවා තමන්ට රිසි පරිදි දුරියන් කෑමේ අවස්තාව තියෙනවා කියල අපි දැන ගත්තා. දුරියන් කෑමේ රුසියන් වෙච්ච මැලේ ජාතිකයින්ට ඉතින් ඊට වඩා දෙයක් නෑ..) නිසාත් අතර මග පැය දෙකක පමණ තද බදයකට අහු වෙන්න සිද්ද වුණා.  කොහොම හරි ඉතින් දවසෙන් බාගයක් ම වාහනේ ඉඳල අපේ දවල් කෑම සුදානම් කරලා තිබුණු මේ Poring Hot Spring  බලන තැනට ආවා. ඒ වෙද්දී ඒ පලාතට මහ වැස්ස අඩු වෙලා නමුත් පොද වැස්සක් තිබුනා


මේ තියෙන්නේ Kinabalu නගරයේ ඉඳල Poring Hot Spring වෙනකම් ගමන් මාර්ගය. මේ මැප් එකේ Nabalu කියන තැන තමයි අර කඩවල් ටික තිබුනේ. ඒ වගේම Ranau කියන නගරයේ තිබ්බ දුරියන් උත්සවය නිසා තමයි අපේ ගමනෙන් පැය දෙකක් විතර පාරටම ඉවර වුනේ අධික ට්‍රැෆික් නිසා.

මේ තියෙන්නේ කෑම කාපු කඩේ


කඩේ ෆොටෝ එක දාන්න හිතුනේ කඩේ ඇතුලේ එල්ලලා තිබුණු ලංකාවේ කොඩිය නිසා.. රටවල් ගොඩක කොඩි මේ කඩේ එල්ලලා තිබුනා.

මේ තියෙන්නේ කෑමෙන් පස්සේ අතුරුපසට ලැබිච්ච වල් දෙල් ගෙඩිය. වල් දෙල් කියන්නේ හරිම රස අතුරුපසක්. මම පලවෙනි වතාවට කෑවේ. තද පැණි රසක් තියෙන්නේ. වැල මදුල වගේ උනාට වැල වලට වඩා පැණි රසයි..


මම හිතන්නේ ලංකාවේ තියෙන වල් දෙල් සහ මේ වල් දෙල් දෙකම එකයි. ලංකාවට ගිය වෙලාවක කාල බලන්න ඕනේ.

කෑමෙන් පස්සේ අපි ගියා මේ උණු දිය උල්පත බලන්න. තේ එකක් හදා ගන්න පුළුවන්  තරම් උණු වතුර එන උල්පතක්. හැබැයි මේ වතුරේ සල්ෆර් මිශ්‍ර වෙලා තියෙන්නේ. සල්ෆර් ගඳ වතුරෙන් එනවා. මේ තියෙන්නේ උල්පත තියෙන තැන සහ මිනිසුන්ට නාන්න සහ විනෝද වෙන්න හදපු තැන්.


මේ තියෙන්නේ උල්පත . හොඳට බැලුවොත් පෙනෙයි දුම් දාන හැටි..

මේ තියෙන්නේ නාන තැන්


ඔතනින් තව පොඩ්ඩක් ඇතුලට ගියාම අපිට කැලේ ඇතුලට යන්න පුළුවන්. එතන තියෙනවා තව අපුරු දෙයක්.

මේ තියෙන්නේ බෝර්නියෝ වනාන්තරයට අපි පිවිසෙච්ච තැන.


මෙන්න මේ වගේ මහා රූස්ස ගස් එහෙමත් තිබුනා


ඔතනින් කැලෑව ඇතුලට ගියාම තියෙනවා මේ වගේ මහ රූස්ස ගස් වල කඳ මැද්දෙන් බැඳපු මෙන්න මේ වගේ කැනොපි මාවතක්. ගහෙන් ගහට යන්න.


බිම් මට්ටමේ ඉඳල අඩි 50-60ක් විතර උඩින් මහ ගස් වල කඳන් යා කරලා මේ වගේ එල්ලෙන පාලම් 4ක් බැඳලා තියෙනවා. අපිට ගහෙන් ගහට මාරු වෙන්න පුළුවන්.

මේ ඉන්නේ අන්න එහෙම ගහෙන් ගහට මාරු වෙන 'මම' නැමැති ශ්‍රී ලාංකික සංචාරකයෙක්.

මේක හරි ජොලි වැඩක්.. තැන් දෙක තුනකදී නම් බය හිතුනා. පහල බලද්දී. හැබැයි ඉතින් පැද්දී පැද්දී මේ වැල් පාලම් වලින් යන එක අපුරු අත්දැකීමක් වුණා.

ගමන පටන් ගන්න ගහේ කඳට නගින්න තියෙන්න මෙන්න මේ වගේ අට්ටාලයක්.



අට්ටාලය මැදින් එන කඹ ගහට සම්බන්ද වෙලා තිබුනේ මෙන්න මෙහෙම



මේ තියෙන්නේ බිමට බැහැල බලපුවහම වැල් පාලම් පේන හැටි




බෝර්නියෝ කැලෑවේ වැල් පාලම් ටුවර් එකෙන් පස්සේ අපි කඩිමුඩියේ ආපහු ආවා මොකද ඒ වෙනකොට හවස 3.30 වගේ වෙලා අපේ නැරඹුම්  ස්ථාන වලින් දෙකක් එහෙම් පිටින්ම ඉතිරි වෙලා තිබුන නිසා.

ඔය කඩිමුඩි ගමන නිසා අපේ ලෝකේ ලොකුම මල වෙච්ච මෙන්න මේ මල බලන්න යන වැඩේ අතෑරලා දැම්ම. පෞද්ගලික අයගේ ඉඩම් වල පිපෙන මේ මල් බලන්න වෙනම ගානක් ඒ අයට ගෙවන්න ඕනේ.  අපි කාටවත් ඒ වෙලාවේ ඔය මල් බලන්න යන්න අදහසක් තිබුනේ නෑ. මේ තියෙන්නේ මම මගදී දැක්ක එහෙම මලක් ගැන දැන්වීමක්


මල බැලිල්ල අත ඇරලා දාල ඊට පස්සේ අපි ආවේ හරියට අඹේවෙල තියෙන ෆාර්ම් එක වගේ  Kinabalu කන්ද පාමුල තියෙන මේ ෆාම් එක බලන්න.  මෙච්චර වෙලා මීදුමෙන් වැහිලා තිබුන  Kinabalu ශිඛරය යාන්තමින් දැක ගන්න පුළුවන් වුනේ අන්න ඒ වෙලාවේදී.

මේ තියෙන්නේ


මේ කන්ද නගින එක කඳු නගින්නන් අතර ජනප්‍රිය වැඩක්. කන්ද නැගල බහින්න දවස් දෙකක් යනවා කියල තමයි කියන්නේ. මාස 6කට විතර කලින් බුක් කරන්න ඕනේ ලු. මේ තියෙන්නේ කන්ද මුදුනට ගියාම පේන දර්ශනයක්. මහන්සි වෙලා නැග්ගට පාඩු නෑ නේද

මේ පින්තුරය නම් ගුගුල් ගෙන්


කවද හරි මේවගේ කන්දක් නගින්නත් හිතේ ආසාවක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ල පිදුරුතලාගලවත් නැගල ඉන්න ඕනේ කියල හිතුනා හෙහ් හෙහ්..

මේ Kinabalu කන්දේ විශේෂත්වය තමයි මේක ගිනි කන්දක් නිසා ඇති වෙච්ච කන්දක් වීම. තනිකරම ගලක් තමයි තියෙන්නේ. මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තරේ

ෆාම් එකේ ඉතින් අමුතු විශේෂයක් නෑ.. අඹේවෙල ෆාම් එක වගේම තමයි. පොඩ්ඩක් සීතලයි. පින්තුර ගොඩක් දාපු නිසා ෆාම් එකේ පින්තුරයක් දාන්නේ නෑ.

කොහොම හරි ඉතින් ෆාම් එකේ ඇවිදලා ආපහු එන්න පිටත් වෙද්දී හවස 5ත් පහුවෙලා. ඒ වෙද්දී හැමෝටම නිකන් ආපහු යන හැඟීමක් තමයි තිබුනේ. නමුත් ගමනේ එක ප්‍රධානම නැරඹුම් ස්ථානයක් වෙච්ච Kinabalu Park එක මිස් වෙන එක අපරාදේ නිසා අපේ ඩ්‍රයිවර් මලය අපිව එතෙන්ටත් එක්කන් ගියා. හැබැයි එතන වැඩි දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ... හවස 6.30 වෙද්දී සම්පුර්ණයෙන් අඳුරු වෙන බොර්නියෝව අඳුරු වෙන්න ඒ වෙලාවේ පටන් අරන් තිබුනේ. අපි නිකන් නමට විතරක් පාක් එකට ඇතුල් වුණා. චීන පවුල නම් වාහනයෙන් බස්සෙවත් නෑ.. අපි දෙන්න ඉතින් විනාඩි 10-15ක් විතර ලෝක උරුමයක් වෙච්ච මේ පාර්ක් එකේ ඇවිදලා ආවා. 

මේ තියෙන්නේ පාක් එකට ඇතුල් වෙන තැන . මේ පින්තුරයත් ගුග්ල් ගෙන්


පාක් එකේ නිදහසේ ගත කරන්න බැරි වෙච්ච එක ලොකු පාඩුවක්. මොකද Kinabalu කන්ද නගින්න ආරම්භ කරන තැන පිහිටලා තියෙන්නේ මේ පාර්ක් එකේ. ඊට අමතරව බෝර්නියෝ වනාන්තරය පිළිබඳව වැදගත් කරුණු රාශියක් මේ පාර්ක් එකෙන් දැන ගන්න තිබුනා. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ කියල අපි ආපහු ආවා.

මිට පස්සේ මේ වගේ ගමනක් යද්දී කාලගුනේට මිට වඩා සලකන්න ඕනේ කියන පාඩම නම් මම ඉගෙන ගත්තා.

ආපහු හෝටලේට ඇවිත් පහුවදා ගමන ප්ලෑන් කරන ගමන් වැස්ස වලාහක දෙයියන්ට පිං වලින් පොඩි අල්ලසක් දීලා හොඳට කාල නිදා ගත්තා.

දුපත් සංචාරය ගැන ඊලඟ පෝස්ට් එකෙන් බලමු නේද..