Friday, August 31, 2012

අම්මපා හැබෑටම...

මේ මාසෙටම මේකේ ලියන්න හරි හමන් දෙයක්  කම්පනා වුණේ නෑනේ...

Friday, August 17, 2012

Saturday, July 21, 2012

"ස" නතර කළ හේතුව

"ස" කියන අකුරට අලුත් අරුතක් ලබා දුන වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ඊයේ  අවසාන විය. 1973 සිට 2012 දක්වා 1450 වාරයක් ප්‍රදර්ශනය කළ මෙම ප්‍රදර්ශනය අවුරුදු 39කට පසු අවසාන කිරීමේ තීරණය ගැන අප බොහෝදෙනෙක් කම්පා වුණද එය අවසාන කළේ ඇයි දැයි වික්ටර් රත්නායක කළ ප්‍රකාශය ඇසූ කළ එය කොතරම් සාධාරණ දැයි මට සිතිනි. කළ යුතු දේ නම් එයැයි වටහා ගත් පසු "ස" නැති ශෝකය නැති වී ගියා සේ දැණිනි.

වික්ටර් රත්නායකගේ සිංදු වල මා කැමතිම සිංදු බොහෝ තිබුණද ඔහු මගේ ප්‍රියතම ගායකයා නොවීය. බොහෝ විට මෙපමණ කලක් මා "ස" නැරඹීමට නොයාමට හේතුව එය වන්නට ඇත. අමරදේව,අමරසිරි පීරිස්,සුනිල් එදිරිසිංහ,දිවුල්ගනේ,කපුගේ සහ වික්ටර් රත්නායක ලෙස මාගේ ප්‍රියතම අනුපිළිවෙල සකස් කළ හැක.

කෙසේ හෝ මෙපමණ කළක් "ස" නොබැලූ මා අවසාන "ස" බැලීමට මීට මාසයකට පමණ පෙර මිලදී ගත් ටිකට් එකේ පිහිටෙන් ඊයේ ලුම්බිණි රඟහලට ගියේ මගේ ප්‍රථම සහ අවසාන "ස" නැරඹීමටය. මීට අවුරුදු 39කට පෙර "ස" ආරම්භයේදී ලුම්බ්ණි රඟහලේ ජනෙල් දොරවල් කඩාගෙන ආ ජන ගංඟාව ගැන අසා තිබූ කතාව සත්‍ය බව ඊයේ එළිමහනේ සාදා තිබූ ශාලාව තුළ සහ ඉන්පිටත රැස්ව සිටි ජනතාවගෙන් පැහැදිලි විය.

අවසාන ප්‍රසංගය වුවද එහි වූයේ සරල තවත් එක් ප්‍රසංගයක් වැනි සැරසීම් සහ සාමාන්‍ය වේදිකාවකි. පුරුදු නිහතමානී කමින් 39 අවුරුද්දක් කරගෙන ආ ආකාරයටම ආරම්භ කර ගලා ගිය ප්‍රසංගය තුළ සාමාන්‍ය අවසන් ප්‍රසංග තුළ නොදකින චාම් බවක් මම දුටිමි.

ආරාධිත අමුත්තන් පිළිගැනීම්,පිළිගැනීමේ කතා, නිවේදකයාගේ ගුණ වැයුම්, ආරාධිත අමුත්තන්ගේ ගුණ වැයුම්,දේශපාලන ගුණ වැයුම් කිසිවක් එහි නොවීය. විකටර් රත්නායක සුපුරුදු ලෙස ගී ගැයුවේය.

ගී අතර ලබා ගත් විවේකයකදී වික්ටර් රත්නායක සරලව එක් වදනක් කීවේය. "පටන් ගත්ත හැමදේම අපි ඉවර කරන්න ඕනේ නේ. ඒක නිසා මේකත් ඉවර කරල දානවා". සුපුරුදු පරිදි ගීතවල හරය,නියම අයිති කරුවන්, ඒ හා බැඳුණු රසවත් සිදුවීම් අතරින්  පතර මතක් කරමින් සෑහෙන වේලාවක් ගලාගිය ප්‍රසංගයේ අවසන් හරියේදී නිවේදක ලෙස කටයුතු කළ වසන්ත රෝහණ මහතාගේ ආරාධනාවෙන් වික්ටර් රත්නායක "ස" නැවතීම ගැන පැහැදිලි කළේය.

ඔහුගේ ඒ පැහැදිලි කිරීම මට මතක හැටියට මෙසේය.

"ඒක පුද්ගල ප්‍රසංග තව ගොඩක් තියෙනවා. ගොඩක් ඒව අපි දන්නෙම නැතුව ඉවර වෙලා යනවා. එක්කෝ මිනිස්සු ඒව අත ඇරල දාන නිසා ඒවා නතර වෙනවා. නැත්නම් වෙනත් විවිධ ප්‍රශ්න නිසා පටන් ගත්ත අයම ඒවා නතර කරල දානවා. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට මුලින්ම පටන් ගත්ත මේ ප්‍රසංගයට නියම විදියේ අවසානයක් මට පුළුවන් කාලේදි දෙන්න ඕනේ නිසයි මම මේ තීරණේ ගත්තෙ. පටන් ගත්ත කාළෙට වඩා මගේ හඩ වෙනස්. මමත් වෙනස්. තව කාලෙකින් මේ තත්වෙන් වත් මේ ටික කියාගන්න බැරි වෙයි. ඊට කලින් මේක මේ විදියට නතර කරල දාල ඉවර කරන්න මම කැමතියි."

ඇත්තටම මම ලිව්වාට වඩා රසවත් සහ හරවත් ලෙස ඔහූ ඔය අදහස කිව්වා. බොහෝම සරල අහිංසක හිනාවකින් යුතුව කරුණාවෙන් ඔහු ඒ දේ පැහැදිලි කළ ආකාරය නිසා ලත් අවබෝධයෙන් මෙතෙක් කලක් "ස" නොබැලූ එක අපරාදේ කියා සිතුනත් මින් ඉදිරියට "ස" නැතිවීම ගැන බොහෝ අයට දුකක් නොදැනෙන්න ඇති.

ආරම්භයේ සිට මේ දක්වා ප්‍රසංගය සඳහා උදව් කළ අයට වික්ටර් රත්නායක නම් ඒ නිහතමානී මහා මිනිසාගෙ අතින්ම සම්මාන ලබා දුන් අතර, ඔහු වෙනුවෙන් ලබා දුන් උපහාර සම්මාන අතර මතට දුමට ඇබ්බැහි වී ඔහු ගත කළ ජීවිතයෙන් මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමද්‍යප සංගමයෙන් ඔහුට ලබා දුන් සම්මානයෙන් ඔහුගේ නිර්ව්‍යාජ ජීවිත ගමන ගැන අප සැමට සිතන්නට දේ ඉතිරි කළ බව නොකියාම බැරිය.

රු 500 ටිකට් ගත් අපට 1000 හේ අසුන් වල සිට ප්‍රසංගය නැරඹීමට අවස්තාව උදා කළ ඒ පින්වත් සැමට ස්තූතිවන්ත වෙමින් බට්ටි නංඟී සහ (මම  "අපි ඔක්කොම රජවරු" තාලය කාර් එකට තට්ටු දමමින්) ගෙදර ආවෙමු.

Tuesday, July 17, 2012

ලෝකයම අතිශය සුන්දර වූ එක් මොහොතක්...

දිනය මට මතක නැත. බොහෝ විට 2008 හෝ 2007 වසරේ අග භාගය විය හැක. ජීවිතයේ වැදගත් තීරණයක් වෙනුවෙන් මහත් වේදනාවකින් යුතුව රැයක් ගත කළෙමි. හිත කැමති වී සිටි දෙය සහ හිත අකමැති වුවත් ප්‍රායෝගිකව කලයුතු දෙයක් පිළිබඳව තීරණය කිරීමට ගත කළ නිදි වර්ජිත රැයක අවසානයේදී එක්වරම....

මා කළ යුත්තේ මෙයයි යන්න මට ක්ෂණයකින් අවබෝධ විය. ඒ අවබෝධවූ දෙයත් සමඟ මුළු රැය පුරාම මා සිතින් ගතින් විඳි වෙහෙස එක මොහොතකින් අතුරුදන් වී ගිය හැටි මට තාමත් සංවේදනය කළ හැකිය. එය එතරම් සුන්දරය. අඳුරුව හිර වී තිබුණු කාමරය දීප්තියෙන් බැබලෙන සේ දැනිනි. දකින දකින හැම දෙයම පෙර නොදුටු තරම් ලස්සනකින් අතිශය චමත්කාර ලෙස පෙනෙන්නට විය. හිත තුළ වූ සැහැල්ලුව විස්තර කිරීමට හෝ පැහැදිලි කිරීමට නොහැකි තරම්ය. නමුත් ඒ සුන්දරත්වය මා සමඟ පැවතියේ විනාඩි කිහිපයකි. ඉන්පසුව සියල්ල යථා තත්වයට පත්විය. හිතේ සැහැල්ලුව පමණක් ඉතිරි විය. 

රැය පුරා මා පෙළු ගැටළුවට පිළිතුර හිත කැමති දේවත් හිත අකමැති දේවත් කිරීම නොව සිත කැමති දෙය ලබා ගැනීමට උත්සාහ නොකර සහ අකමැති දෙයට වෛර නොකර සිටීමය. එය වචන මාත්‍රයකින් කෙනෙකු දෙන උපදෙසකින් තේරුම් ගැනීමකට වඩා ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයකි. 

අවසානයේදී මට කරන්නට සිදු වූයේ මගේ සිත අකමැතිව තිබූ දෙයයි. සිත කැමතිව සිටි දෙය කිසිසේත්ම සිදු නොකල යුතුව තිබුණු දෙයක් යැයි පසුව අවබෝධවිය. නමුත් සියල්ල අවසානයේ සිදුවූයේ  මා සිතාගෙන සිටි කිසිවක් නොව මගේ ජීවිතයට වඩාත්ම සුදුසු දෙය මට හිමිවීමය. කලින් මා විසින්  කැමති සහ අකමැති යැයි වෙන්කරගෙන තිබූ සියල්ල කිසිවකට බාදාවක් නොවී ක්ෂය වී ගියේය. ඒවා කොතරම් මට අදාළ නොවිය යුතුව තිබූ දේවල් දැයි පසුව මට වැටහී ගියේය.

ජීවිතයේ එක්වරක් හෝ ඔබත් මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්නම් හැර මා මෙහි විස්තර කළ දෙය නිවැරදිව තේරුම් ගත නොහැකි වීමට ඉඩ ඇත. හරියට ඔබ අඳුරු බැලුම් බෝලයක් තුළ හිරවී එළියට යා නොහැකිව, එළියට යාමට දඟලමින්, ඔහේ පාවෙමින් සිටින විට එක්වරම එය බිඳීයාමක් අත්දැකිය හැකිනම් අන්න එවැනි නිදහසක්, ක්ෂණික සතුටක් ඊට සමාන කළ හැකිය.

මෙය කිසිදිනක ලියා තැබීමට මට අවශ්‍ය නොවිණි. එතරම් වැදගත් යැයි කිසිදිනෙක නොසිතුවෙමි.  නමුත් අහේතුකවම අද ලියන්නට සිතුණු නිසාවෙන් ලියා තැබීමි.

Friday, July 13, 2012

වර්ධිත යතාර්ථය හෙවත් Augmented Reality (වීඩියෝ සහිතයි 18+ නෙවෙයි)

මට තියෙන උණ වලින් එකක් ගැන පහුගිය දවස් ටිකේ මම කරපු සොයා බැලීම් ගැන පොඩි සටහනක් දාන්න හිතුණා. අතත්‍ය යාතාර්ථ උණ දැන් ටිකක් හොඳ වෙලා ඒ ගැන දැන් එච්චර උනන්දුවක් නෑ. දැන් තියෙන්නෙ මේ උණ.

Minority Report, Iron Man, Avengers වගේ චිත්‍ර පටි බලල තියෙන අය දැකල ඇති මෙන්න මේ වගේ පොඩි ආතල් වැඩ කෑලි දාන ෆිල්ම් වල ඉන්න අයියලා..




ෆිල්ම් වලදි නම් මේ දේවල් පෙන්නන්නේ පොඩි පොඩි කොම්පියුටර් ජිල්මාට් කෑලි,වීඩියෝ එඩිටින් වගේ දේවල් කරල. නමුත් මේ වගේ දේවල් ඇත්තටමත් කරන්න පුළුවන් සැලකිය යුතු මට්ටමකින්. (ඔය මයිනෝරිටි රිපෝට් මට්ටමට එන්න නම් තව කාලයක් යයි)

මොකක් ද මේ වර්ධිත යතාර්තය කියන්නේ කියන එක මම තේරුම් ගත්ත විදියට කියනවනම් අපි මේ ඉන්න පරිසරයේ තියෙන දේවල් සමඟ පරිගනකය මඟින් නිර්මාණය කරපු දේවල් මික්ස් කිරීම වගේ වැඩක්. ඒ වැඩේ ගොඩක් වෙලාවට චිත්‍ර පටි වලදි කරනවා.. ඒ කියන්නේ සැබෑ මිනිසුන් සහ පරිසරය තුළට පරිගණකයෙන් හදපු කල්පිත සතුන්,ගොඩනැඟිලි, වාහන වගේ දේවල් දාල කෘතිම පරිසරයක් නිර්මාණය කරන එක. හැබැයි ඒක කරන්නේ ගොඩක් වෙලාවට ලොකු පරිස්‍රමයක් දරල ගොඩක් උපකරණ සහ විවිධාකාර තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරල.

අතත්‍ය යතාර්ථය සහ වර්ධිත යතාර්ථය අතර වෙනස තමයි අතත්‍ය යතාර්ථය කියන්නේ ස්වභාවිකව අපි දකින පරිසරය සහ මිනිසුන්,සතුන්,ගහ කොල මේ පරිගණකය ඇතුලේ තියෙන ලෝකය තුළ කෘතිමව නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඔය ගේම් වල තියෙන විදියට පරිසරය සැකසීම, වර්ධිත යතාර්ථයේදි කරන්නේ පවතින පරිසරය තුළට පරිගණකයෙන් නිර්මිත දේ එකතු කිරීම.

මේ දෙක ගැන තාක්ෂණික කරුණු ඕනෙ තරම් විකීපීඩියාවෙන් හොයා ගන්න පුළුවන්. (මට ඒකේ තියෙන සහ ඔය ගූගලය දෙන විස්තර සිංහලෙන් ලියන්න අවංකවම පට්ට කම්මැලියි. මේ ටික ලියන්න හිත හදා ගත්තෙත් සෑහෙන අමාරුවෙන්).

හරි අපි සරලව බලමු කොහොමද මේ වර්ධිත යතාර්ථය කියන එකක් පරිගණකය බාවිතාවෙන් හදා ගන්නේ කියල. මේ කියන්නේ හෙනම ප්‍රාථමික විදියට මේ වගේ එකක් වැඩ කරන විදිය. අපි වෙබ් කැම් එකක් හරි නිකන් කැම් එකක් හරි පාවිච්චි කරල ගන්න පින්තූරය හෝ වීඩියෝ ව තියෙනවනේ. අපිට පුළුවන් මේ පින්තූරය හෝ වීඩියෝව Image Processing හෝ Video Processing Algorithms බාවිතා කරල ප්‍රොසෙස් කර ගන්න. ඊට පස්සේ ඒ ප්‍රොසෙස් (ප්‍රොසෙස් කරනව කියන්නේ ප්‍රොසෙස් කරන එකට. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් කරනවට.. තේරුණානේ) කර ගත්ත පින්තූරෙට හරි වීඩියෝ එකට හරි පරිගණකය මඟින් නිර්මාණය කරපු වස්තුවක් Real Time එකතු කරන්න. මේ පහල පින්තුර බැලුවම තේරෙයි.




දැන් කොම්පියුටරය කොහොමද මේ කෘතිම වස්තු ස්ථාන ගත කරන්න ඕනේ නියමිත තැන හරියටම හොයා ගන්නේ. ඒකට අපිට තෝරාගත් Patterns පාවිච්චි කරන්න පුළුවන්. Patternස් කියන්නේ මෙන්න මේ වගේ ඒවා


අපි යොදා ගන්න පින්තූරේ හරි වීඩියෝ එකේ හරි තියෙන මේ Pattern එක අර ප්‍රොසෙසින් කරනකොට අඳුරගෙන ඒක තියෙන ඛන්ඩාංක වලට අදාල ස්තානයේ අපිට ඕනෙ කරන වස්තුව නිර්මාණය කිරීම තමා මේකෙදි කරන්නේ.

ෆිල්ම් වල දකින ඒවට අමතරව මෙන්න මේව බලන්නකෝ.. කොච්චර අපූරුද කියල..


                                          




හරි මෙන්න මේ වීඩියෝ 2ක බැලුවහම වෙන්නේ මොකක් ද කියල තව හොඳට තේරෙයි... හික්.. ඔය ඉන්නේ මම, අපේ ඔපිස් එකේ, මේ අද තමා වීඩියෝව ගත්තේ මේකට දාන්න .. ජීවිතේ ප්‍රථම වතාවට මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ.. ඒ නිසා අවුල් වෙච්ච ගනන් ගන්න එපා. සිද්දිය විතරක් බලා ගන්න හික්...



මේ මගෙ අතේ තියෙන කොලේ ප්‍රින්ට් කරල තියෙන පැටර්න් එක අඳුරගෙන ඒක උඩ මේ වර්ණවත් ත්‍රිමාණ රූපය පරිගනකය මඟින් නිර්මාණය කිරීම තමයි මේකෙදි වෙන්නෙ.  හොඳට බැලුවොත් පෙනෙයි මේක ඇත්තටම නිර්මාණය වෙන්නේ ඒ පැටර්න් එකට මඳක් ඉහලින් කියල.  අපිට පරිගණක වැඩසටහන් මඟින් මේ දතත වෙනස් කරල ඕනෙ විදියට මේක හදා ගන්න පුළුවන්.


මේ කන්දක් වගේ හැදෙන එක අර පැටර්න් එක උඩ හැදෙනවා.  මම කොලේ එහෙට මෙහෙට කරන නිසා තමයි හැම වෙලේම ඒක නැවත නැවත හැදෙන්නේ. ඇඟිල්ලෙන් ඇනල කඩල දාන්නත් පුළුවන් ඔන්නම්.. හික් හික්...

ඔපිස් වෙලාවේ හදපු නිසා මගේ සුමියුරු ටකරං හඩිං මොකුත් කියන්න විදියක් නෑ.. අනිත් උන්ගේ සද්ද බද්ද නම් ඇහෙනවනේ..

ප්‍රොජෙක්ටර් සහ නියමාකාරයෙන් කැමරා භාවිතා කරල ඇත්තටම මේ දේවල් අපේ  මේසේ උඩ හෝ වෙනත් ඕනෙම මතුපිටක හදන්න පුළුවන් එහෙම කරන්න නම් ඉතින්  අපිටත් රජයෙන් සහයෝගය අවශ්‍යයි. හික් හික් (මම වැඩ තියෙද්දි මේව කරන එක ලොක්ක සද්ද නොකර බලාගෙන ඉන්න එකම මදෑ.. ඔය වීඩියෝ එකේ පිටිපස්සෙන් ලාවට පේන්න ඉන්නේ ලොක්කා තමයි. මම කරන හැමදේම පොරට පේනවා. මම ඉතින් මිනිහටත් බලාගන්න කියල මේවගේ දේවල් කර කර ඉන්නව. තාම පඩිය නම් යනවා පොතට.. අනේ මන්ද ඉතින් තව කී කාලයක් මිනිහා මේවා බලාගෙන ඉඳියි ද දන්නෑ.. හි හි හි..)

මේ වගේ ආතල් වැඩ වලට අමතරව මේ වර්ධිත යාතාර්ථය කියන දේ ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් වල,ක්‍රීඩා වැඩසටහන් විකාශය කරනකොට වගේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඔය ක්‍රිකට් මැච් බලනකොට ග්‍රවුන්ඩ් එක පුරා ඉරි එහෙම ඇඳල ගහපු ෂොට් එහෙම පෙන්නන්නේ මේ තාක්ෂනෙන්.

අනාගත ලෝකෙ බොහෝ දේවල් වල මේක තියෙයි. ඒ කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරල හදපු කන්නාඩියකින් දකින් දකින දේ ගැන විස්තර අපේ ඇස් ඉදිරියේ පෙන්නුම් කරන වගේ දේවල්. ගූග්ල් එකෙන් මේ ලඟදි හදපු Project Glass  කියන නිර්මාණය මේ ක්‍රමයේ සහ තවත් තාක්ෂණික ක්‍රම වල සංකලනයෙන් බිහි වෙච්ච තවත් අපූරු නිර්මාණයක්.

අපි කාටුන් වල ෆිල්ම් වල දකින බොහෝ දේවල් ඇත්ත ජීවිතේට එන්න තව වැඩි කාලයක් යන එකක් නෑ.






Sunday, June 17, 2012

කරනවනම් ජොලි වැඩක්...

මේක අපි ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් හරි ජොලි වැඩක්... නිතරම මඟ  තොටේ වැඩ වලට හිරවෙන නැත්නම් මිනිස්සු එක්ක වැඩි හරියක්  ගැවසෙන වෙලාවට වගේ ආතල් එකේ කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති වැඩක්... වැඩි විස්තර ඕනෙ නෑ...

අවශ්‍ය ද්‍රව්‍ය..

මිනිසුන් සහිත තැනක ඔහේ චාටර් වෙන වෙලාවක්.. හොඳම තැන් ආණ්ඩුවේ කන්තෝරු වල පෝලිම්,බැංකු පෝලිම්,බස් පෝලිම්, ටවුමක් මැද්දේ කවුරු හරි එනකං ඉන්න වෙලාවක්, සභ්‍ය විදියට බස් එකේ වාඩි වෙලා හෝ හිටගෙන යන අවස්තාවක්, කම්මැලි පාටියක්... වගේ මෙලෝ රහක් නැති වෙලාවක් සහ කට්ටියක්...

කරන්නෙ මෙහෙමයි..

දැන් ඔය කලින් කිව්ව වගේ තැනක ඉන්න කොට අපිට දැනෙන්නේ මහ එපා කරපු හැඟීමක් නේ.. කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නෙ කියල බලාගෙන අපි හිටියට අපිට ඕනෙ වෙලාවට ඉවර වෙන්නෙ නෑනේ.. අන්න ඒ වෙලාවට තමයි මම නම් මේ වැඩේ කරන්නේ..

ඉස්සෙල්ලාම  හොඳට පේන මනුස්සයෙක් ව තෝර ගන්නව.. ලස්සන කෙල්ලෝ ඉන්නකොට මේ වැඩේ කරන්න යන්න එපා ඒ වෙලාවට මීට වඩා වැදගත් වැඩ තියෙනවනේ.. මේක හරියන්නේ වයසක හෝ මැදි වයස් වල අයත් එක්ක ඉන්න කොට.. අපේම වයසේ අය උනත් අවුලක් නෑ.. පොඩි උන් හිටියත් අවුලක් නෑ..

දැන් කරන්න තියෙන්නෙ ඒ මනුස්සය දිහා ෂේප් එකේ ටිකක් බලල මුහුණේ ඉරියව් වලයි හැසිරීම් වල ස්භාවයයි පොඩ්ඩක් බලල ඒ මනුස්සය වගේ එකෙක් ඉස්කෝලේ අපේ යාළුවන් අතර හිටියද කියල හිතල බලන එක.. නැත්නම් අපිත් එක්ක පොඩි කාලේ හිටපු එකෙක් නාකි වුනහම මේන් මේ වගේ ඉඳී කියල පොඩ්ඩක් සසඳල බලන එක...

අපිට තියෙන්නෙ එක් එක් මනුස්සය  වගේ හිටපු මම දන්න එකා(එකී) කවුද කියල මතක් කරල බලන එක..

ඒ කියන්නේ ගොඩක් අය පොඩි කාලෙදි කතා බහ කරන විලාසය, බලන විදිය, එහෙට මෙහෙට ඇවිදින විදිය.. ඇඳුම් අඳින විදිය වගේ දේවල් ලොකු වුණහමත් එහෙමම තියෙනවා කියල මට නම් තේරිලා තියෙනවා.. ගතිගුණ ලොකු වෙනකොට වෙනස් උනත් හැසිරීම් වල සියුම් තැන් තියෙනව 100% මැච් කරන්න පුළුවන්..

 මේකෙ ආතල් එක තියෙන්නෙ එහෙම මැච් වෙන කෙනෙක් ව දැක්කම සිරාවට මේ මනුස්සයත් අන්න අරූ වගේ ඉන්න ඇති නේ කියල ඒ මනුස්සය තුළින් අපේ යහළුවාව දකින්න හැකි වෙන එක. ඔන්නම් ඒ වෙලාවේදි ඉස්කෝලෙ කාලේ කරපු ආතල් දේවල් පොඩ්ඩක් මතක් කර ගන්න පුළුවන් ආතල් පොරකට මැච් වුනොත් එහෙම.. ඉස්කෝලෙත් හිටපු එපාම කරපු ඩයල් එකකට මැච් උනොත් කරන්න තියෙන්නෙ ටක් ගාල අනිත් මනුස්සය දිහා බලල මැච් වෙන එකෙක් ව හොයන එක...

පෝලිම් වල බස් වල එහෙම පොඩි උන් ඉන්නකොට කරන්න තියෙන්නෙ මේ පොඩි එකා ලොකු උණාම අපි දන්න මොකා වගේ වෙයි ද කියල මැච් කරල බලන එක...

10ක් ඉන්න පෝලිමක මේ වැඩේ කලොත් අඩුම තරමේ 3-4ක් වත් මැච් වෙන අය ඉන්නව. ඔහොම 3-4ක් මැච් කරල පොඩි ආතල් එකක් අරන් ඉස්කෝලේ කාලේට ආයෙත් ගිහින් එනකොට පෝලිම නිකම් ම ඉවර වෙලා තියෙනවා.. නැත්නම් බස් එක බහින හෝල්ට් එකට කිට්ටු කරල තියෙයි..

පෝලිම් හැදෙන්න හේතුවයි.. බස් වල කොට කොට යෑම් ගැනයි.... ඔපිස් වල ප්‍රස්නයි.... ගෙවල වල ප්‍රස්නයි කල්පනා කර කර හිත නරක් කරගෙන ආන්ඩුවටයි රටටයි මිනිස්සුන්ටයි හිතින් බැන බැන යන්නේ නැතුව මේ වගේ අහිංසක ආතල් එකක් ගන්න එකෙන් නොදැනීම දවස සතුටින් ගෙවන්න පුළුවන්..

කරල බලන්න.. එතකොට තේරෙයි මේ අපි අවට ඉන්න මිනිස්සු ඔක්කොම එකම වගේ අය කියල.. එකම වගේ ගති ගුණ තියෙන අපි හොඳට දන්න කියන අය නේ ද මේ හැම තැනම ඉන්නේ අපි මොකටද කාත් එක්ක වත් ගහ මරා ගන්නේ කියල හිතෙයි.. ගහ මරා ගත්තත් මූත් අර ඉස්කෝලේ දි වලි දාගෙන පස්සේ බුදු ෆිට් වෙච්ච එකා වගේ නේද කියල හිතල ඕනේ ගැටුමක් අල්ලල දාල නිකන් ඉන්න පුළුවන් වෙයි..

නැවතත් මතක් කරන්නේ ලස්සන ගෑනූ ලමයි ඉන්න පුද්ගලික ආයතන වල පෝලිම් වල,බස් වල,පාටි වල සිටින විට මෙවැනි කම්මැලි කාරී,  විකාර වැඩ නොකර තම තමන්ට ප්‍රයෝජනවත් වෙන වෙනත් වැදගත් කාර්‍යයන් වල නිරත වන්න.. තනිකඩ ගෑල්ලමයිනුත් සිරා කොල්ලන් ගැන මෙවැනි මෝඩ දේ නොසිතා ඒ ඒ අවස්තාවට ගැලපෙන සේ වැඩකටයුතු කර ගන්න.

Friday, June 01, 2012

ලැප්ටොප් එකේ මීයා පැනීමේ ගැටළුව

ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අය මේ ගැටලුවට මූණ දෙනව ඇති..(මම නම් හෙන නෑමක් නෑව).. අපි මොකක් හරි ලිපියක් හරි බ්ලොග් පෝස්ට් එකක් හරි ටයිප් කරනකොට එකපාරටම මවුස් පොයින්ටර් එක අපි බලාපොරොත්තු නොවන තැන් වලට පැනීම තමයි මේ ගැටළුව..  ලියපු ඔක්කොම කෙල වෙලා යන සීන් එහෙමත් මේක නිසා වෙන්න පුළුවන්... වැරදි තැනක් එබුනොත්..

මේකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක අපි නොදැනුවත්වම ස්පර්ශ වීම. හැබැයි එහෙම ස්පර්ශනොවී මේ මීයා පැනීමේ ගැටළුව එන වෙලාවලුත් තියෙනවා.. මම පහුගිය දවස් ටිකේ මේක නිසා මහ වදයක් වින්දා.. කරන්නම දෙයක් නැති තැන පොඩ්ඩක් හොයල බලනකොට මම වගේම මේ මී ප්‍රශ්නෙන් පීඩා විඳින අය තව ඉන්නව කියල හොයා ගන්න ලැබුණා.. මේ ප්‍රශ්නේ සමහරවිට මෙහෙයුම් පද්ධතියේ හෝ නැත්නම් හාඩ් වෙයාර් වල ඇති දැනට හඳුනා නොගත් ගැටළුවක් වෙන්නත් පුළුවන් කියල සමහර අය කියල තිබුණා... අර ස්පර්ශයෙන් තොරවම පනින්නේ අන්න ඒ නිසා ලු...

කොහොම හරි මේකට විසඳුමක් විදියට මට මෙන්න මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ල හොයා ගන්න ලැබුණා.. නොමිලේ බාගෙන දාගන්න විතරයි තියෙන්නෙ.. මීයා අපූරුවට  කීකරු වෙනවා (95% විතර කීකරුයි). මේකෙදි කරන්නේ අපි මොනව හරි ටයිප් කරන වෙලාවට ඔටෝමැටිකලිම ටච් පෑඩ් එක අක්‍රීය කරන එක.  මට නම් සෑහෙන්න ලොකු සහනයක් තියෙනව මේක දාගත්තට පස්සෙ.


Thursday, May 31, 2012

ලංකාව නරක ද?

ලංකාව මේ කියන තරම් නරක රටක් ද? නරක නෙවෙයි.. ජීවත් වෙන්න සුදුසු නැති රටක් ද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල හිටල බ්ලොග් එකේ මොනව හරි ලියාගෙන ඉන්න මටත් නිකමට වගේ මේ දේවල් ගැන හිතල බලන්න හිතුණා... රටේ වෙන දේවල් දිහා අඟල් 14-15 ක තිරයක් ඇතුළින් බලාගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට පෙන්නේ මේක මහ එපා කරපු තැනක් වගේ.. කට ඇරියොත්(ඇඟිලි ඉස්සුවොත්) කියන්නෙ (ටයිප් කරන්නේ) මේක මහ එපා කරපු තැනක්.. මේ විදිය හරි නෑ.. මේකේ ඉන්නෙ ඔක්කොම පිස්සො... මුන් ඉන්න කම් මේක හදන්න බෑ.. මීට වඩා අරහේ හොඳයි... ඔන්න ඔය වගේ අදහස්..

මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...

දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..

සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී  තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..

සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලනයට එකතු වී ඇත..

ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...

මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය

මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..

මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ

සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..

හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...

අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..

මම කියන්න හදන්නෙ මේකයි..

රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..

බොහෝ රට වල ස්වභාවය එහෙමයි..

මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම

යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..

මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..

ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?

අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක  අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..

අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.

හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..

සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..

ඉන්ධන සහ අනෙකුත් සම්පත්  ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..

රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..

ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?

එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?

ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..

හිකිස්....

පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..

පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...

අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...

එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..

ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..

බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...

ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..

ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි...  ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?

ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...

හිකිස් බිකිස්...

නිදිමත වේගෙන එන නිසා දැන් ඇති

මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක...  අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..

පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...


අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ 

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව