Thursday, March 31, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 4

කලින් කොටස් 3 බලලම ඉන්න




ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!

මේ ගමන ගියේ ඔෆිස් එකේ අම්බානක් වැඩ අස්සේ... යනවද නැද්ද යනවද නැද්ද කියල හිත හිත ඉඳල අන්තිමට සෙනසුරදා රෑ හෝටල් හොයල ඉරිදා උදේ ගියේ.. සඳුදා තිබ්බ නිවාඩුවක් අල්ලලා...

පහුගිය මාස 4-5ක් තිස්සේ නම් සිරාවට වැඩ කළා.. ඔය අවංකවම ඇත්තට  වැඩ කරන මින්ස්සු කොච්චර බිසී වෙනවද කියල ඔන්න මට තේරුනේ මේ දවස් ටිකේ තමයි. මම මේ කියන්නේ මම මේ රස්සාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 12ක් විතර වෙනවා...ඒ කාලෙටම මෙච්චර වැඩ කලාමයිද කොහෙද.. හෙහ් 

කොහොම වුනත් මේ බ්ලොග් ලියන මිනිස්සු මේ වෙනුවෙන් කරන කැප වීම දැක්කම මට අවංකවම මං ගැනම ලැජ්ජයි. කොටින් ම කිව්වොත්  අධික වැඩ නිසා නෙවෙයි මොකුත් නොලියන්නේ මහා මොකක්දෝ කම්මැලි කමක් නිසා.. අනිත් එක මේ අවුරුද්ද පටන් ගද්දිම වගේ ලංකාවට Netflix දුන්නනේ එදාම මලෙසියාවටත් ඕක ලැබුනා.. පලවෙනි මාසේ නොමිලේ දුන්න නිසා මම ඕක ගත්තා.. ඉස්සර වගේ ටොරන්ට්ස් හොයන්නේ නැතුව ඉතින් tv එක දාගෙන ඔහේ කැමති ෆිල්ම් එකක්/ tv සීරිස් එකක් බැලීමේ පහසුව එක නිසා කලින් බ්ලොග් ලියල ගත්ත ආතල් එක  ටික ටික tv විසින් හොරකම් කළා කිව්වොත් හරි... කම්මැලි කම , ඇබ්බැහිවීම , අධික මහන්සිය සහ ඔක්කොටොම වැඩිය වැඩ කරන තැන ඉන්න කැහැටු චීනා සමග උදේ හවස  මල පැනීම නිසාත් මේ බ්ලොග් ලිවිල්ල කඩා කප්පල් වුණා..

යාන්තම් ඉදිරිසති කීපයේදී මද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ වැඩ ටිකක් අඩු වෙයි.. නමුත් කොච්චර වැඩ තිබුනත් මේ බ්ලොග් කලාවට ආදරය කරන මිනිසුන් මේ වෙනුවෙන් කරන කැපවීම දැක්කම සිරාවටම මට ම ලැජ්ජයි..

අනිත් එක මම වගේ යලට මහට ඔහේ ලියන මගේ පෝස්ට් එකක් මේ පහුගිය බ්ලොග් සම්මාන උළෙලට නිර්දේශ වෙලා තිබුනා මම දැක්ක... මම ඒක දැක්කේ දැන් දවස් 3- 4කට කලින්.. එක දැකල මට ඇත්තටම පොඩ්ඩක් අප්සැට් ගියා. මොකද කිව්වොත් මම ඒවා ඔහේ ලියනවා මිසක් අවංකවම උනන්දුවකින් මහන්සියකින් නොලියන නිසා. ඊට වඩා කැපවීමකින් මේ දේ කරන මිනිස්සුන්ට ඒ සම්මාන ලැබිය යුතුයි කියලයි මම හිතන්නේ.. කොහොම උනත් නෙලුම් යායේ සැමට බොහොම ස්තුතියි!! 

අද මේක ලියන්න හිතුන්නෙත් අර කල්‍යාණ මිත්‍ර දාල තියෙන පෝස්ට් එක දැක්කට පස්සේ.. තමුන්ගේ වැඩ රාජකාරී කැප කරලා ඔවුන් ඒ කරපු දේවල් කියෙව්වම අවංකවම සතුටක් සහ කනගාටුවක් ඇති වෙනවා. සතුට ඔවුන් කරපු දේ ගැන. කනගාටුව මං ගැන. අඩුම තරමේ කෝල් එකක් වත් නොදුන්න එකට, චැට් එකක් වත් නොදාපු එකට..  මොනවා කරන්නද ඔය මගේ උපන් හැටි ද කොහෙද හෙහ් හෙහ්

හරි ඉතින් මේ පටන් ගත්ත ට්‍රිප් ගමන් ටික ගැන ලියල ඉවර කරලා දාල අලුතින් මොනවා හරි ලියන්න හිතුවා.. 

මැලේසියාවේ සිතල පළාත් කියල මහ ලොකු පැති නෑ.. ප්‍රසිද්ධ තැන් කීපයක් තියෙනවා  Cameron highlands, Genting Highlands, Fraser Hill හැබැයි ඉතින් හපුතලේ කොල්ලෙක් වශයෙන් මට පොඩ්ඩක් ලැජ්ජයි  ඒ පළාත් වලට සීතලයි කියන්න.. එතකොට නුවර එළියේ කොල්ලෝ ගැන කවර කතා ද හෙහ් හෙහ්

අන්තිම මොහොතේ හෝටල්  හොයන්න ගිය නිසා අපි යන්න හිතපු Fraser Hill වල හරි හමන් එකක් තිබුනේ නෑ..දීර්ඝ සති අන්තයක් නිසා බජට් හොටෙල් හොයන්න අමාරුයි.  ඉතින් ඔන්න ඔහේ කියල ඉතින් යන්න ඕනේ දිහාට 40km විතර දුරින් අපි හෝටලයක් බුක් කළා.. නුවර එළියේ හෝටල් නැති නිසා අඩුම තරමේ හපුතලේ හරි යමුකෝ හිතල පොඩ්ඩක් විඳින්න කියල හිතාගෙන තමයි බුක් කලේ..

සුපුරුදු පරිදි අපි දෙන්න උදෙන්ම පිටත් වුණා. මේ සැරේ ගමනේදී මට සහයට ඩයිබර් කෙනෙක් හිටිය නිසා හාට් එකට පොඩ්ඩක් අවුල් වුනත් මම නිදහසේ ගියා.  ඩයිබර් කවුද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... හෙහ් හෙහ් ලංකාවේදී ලයිසන් අරන් මැලේසියාවේදී මුලින් ම වාහනයක් අතට ගත්ත බට්ටි නගා ඇර වෙන කවුද ඉතින්.. අපරාදේ කියන්න බෑ කරදරයක් නැතුව කිලෝමීටර් 100ක් විතර වාහනේ අරන් ගිහින් සෑහෙන ලොකු සේවයක් කළා.. මගේ හාට් එක දෙතුන් පාරක් නතර වුණා. ඒ ඇර වෙන මොකුත් අවුලක් වුනේ නෑ...

දැන් ඔන්න ඔහොම දෙන්න මාරුවෙන් මාරුවට එලෝලා එලෝලා එලෝලා එලෝලා අපි ආවා කන්දක් උඩට කන්ද උඩට එන්න කලින් ඔය එක තැනකින් බැහැල පොඩි දොළ පාරක් බලන්නත් ගියා...


දොළ පාර

ඕක බලල යද්දී මේ වගේ පොඩි ජලාශයකුත් දැක්ක





වංගු 500ක් විතර කැරකිලා කැරකිලා කැරකිලා අපි කන්ද උඩට ආව

කන්ද උඩ තිබුනේ මෙන්න මේ වගේ හන්දියක්

මෙතන තමයි ඔය ප්‍රසිද්ධ Fraser Hill කියන්නේ

ඔය ඒ කාලේ ටින් කර්මාන්තෙට ආපු සුද්දෙක් ගේ නමක් දාපු කන්දක්. වැඩි දෙයක් නෑ. හීතල ගැන කිව්වොත් නිකන් නුවර වගේ ගතියක් තමයි තිබුනේ.. ඔන්න ඊට පොඩ්ඩක් වැඩි ඇති.. සමහර විට අපි ගිය වෙලාව සහ කාලේ නිසා වෙන්න ඇති. අපි දෙන්නට කන්ද නැගල උඩට ආවම හෙන බඩගිනියි. ළඟ තියෙන හොටෙල් එකකින් දවාලට කාල මොකද කරන්නේ කියල කල්පනා කරනකොට අපේ ඩයිබර් ළමයට ටිකක් වගේ මහන්සියි කියපු හින්ද ඉතින් වැඩිය ඇවිදින්නේ නැතුව හොටෙල් එකට යමු කියල හිතුවා.

අපි ඇවිද්දේ නැති වුනාට මේ පළාත jungle trekking, bird watching වගේ දේවල් වලට ප්‍රසිද්ධයි. ගොල්ෆ් ගහන අයටත් හොඳ පිට්ටනි තියෙනවා

මේ තියෙන්නේ එකක්


ඔන්න ඔහේ හොටෙල් එකට යමු කියල ආයෙත් ඉතින් වාහනේට නැග්ග. ඉතින් ඩයිබර් ළමය හීනියට නිදි අතරේ මම එලෝනවා. මම ඔහොම එලෝලා එලෝලා එලෝලා එලෝලා  බලද්දී දෙයියනේ අර නැග්ග කන්ද ඔක්කොම බැහැල.. හරියට නිකන් ගම්පහ වගේ පැත්තක් (ගම්පහ සිරා පැත්තක්) මම කිව්වේ දේශගුනේ ගැන. අයියෝ සල්ලි කිව්වලු. ඔය හෝටලේ තිබුණු පළාත ට කියන්නේ රවුබ් කියල.. මම හිතන්නේ අපි වෙන්න ඇති ඒ පලාතට ගිය පළවෙනි ෆොරින් ටුවරිස්ට්ස්ල හෙහ් හෙහ්  හෙහ් හෙහ්

ඉතින් මොකෝ කරන්නේ කියල හෝටලේට ගියා. ගිහින් පොඩි රෙස්ට් එකක් අරන් කල්පනා කළා මොකෝ කරන්නේ කියල... හීතලයි කියල නාමයක් නෑ.. ගුග්ල් එකේ හෙව්වට බලන්න කියල ඒ හැටි දේකුත් නෑ.. ගම්පහ ගිහින් අත්තනගලු ඔය බලනවා වගේ පොඩි පොඩි ගංගා දෙක තුනකුයි කොහෙද මන්ද කැලෑවක තියෙන දිය ඇල්ලකුයි ගැන විස්තර තමයි ආවේ..  

ඔන්න ඔහේ ටවුම වටේ යමු කියල ගියා බලන්න

මේ තියෙන්නේ ටවුම

ඔය ළඟ තිබ්බ කඩේකින් බනිසක් වගේ එකක් කාලා

 චීන පන්සලක් තියෙනවා කියල ඒක හොයාගෙන  යමු කියල ආයේ ගියා. අපේ වෙලාවට එක වහල දාපු පාලුවට ගිය පන්සලක් 

මේ තියෙන්නේ

අපි ඕක බලන්න ගියේ නෑ.. අන්තිමට ඉතින් හිස හැරුණු අතේ යනවා වගේ පාර දිගේ ඔහේ ගියා
යද්දී මේ වගේ ලස්සන පොල් / තැඹිලි වත්තක් දැකල ලංකාව මතක් වුණා..

 කළුවර වැටෙද්දී ඔන්න ඔහේ ආපහු යමු කියල හරවගෙන ඇවිල්ල මෙන්න මේ කෝවිල අස්සට ගිහින් බැලුව

ඒකෙත් ඇති දෙයක් නැති හින්ද ඉතින් අන්තිමට හෝටලේ ළඟ කඩේකින් රෑටකාල ආපහු ආව.. හෙහ් හෙහ්

අපරාදේ කියන්න බෑ හෝටලේ wifi speed එක හොඳ හින්ද මම Netflix එකේ Breaking Bad කොටස් දෙකක් විතර බලල නිදා ගත්තා.. හෙහ් හෙහ්

ට්‍රිප් යනවනම් ඉතින් එහෙමයි!!

ඊට පස්සේ පහුවදා උදෙන් ම හොටෙල් එකෙන් පිටත් වෙලා ආවා එද්දී අතර මගදී මෙන්න මේ චීන පන්සල දැක්ක. කලින් දවසේ හැන්දෑවේ අපි හෙව්වේ මේ පන්සල හැබැයි ගියේ වෙන එකකට. ඊට පස්සේ  ඉතින් ඒ පන්සලේ පොඩ්ඩක් ඇවිදලා ආපහු ආවා

මේ තියෙන්නේ පන්සලේ තිබ්බ අපුරු තැන් ටිකක්








ඔය ටික බලල ඩයිබර් ළමය වාහනේ එලවද්දී මම මෙන්න මේ වගේ ආපු පාරේ පොටෝ එකක් ගත්තා.





ඔන්න ඔය විදියට අපේ බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් සංචාරය නිමා වුණා (බුකිට් කියන්නේ මැලේ බාසාවෙන් කන්ද (Hill) කියන අදහස)

ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි ආයෙත් වැඩට යන අතරේ පෙබරවාරි මාසේ අපි තව ගමනක් ගියා!!!!

( ඒ ගමන ගැන කවද හරි ලියනකම් දැනට ඔය ඇති)


Wednesday, February 10, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 3



කලින් කොටස් 2ක බලලම ඉන්න

එක

දෙක

අක්කල එන්න කලින් ම අපි එයාලගේ ට්‍රිප් එක ප්ලෑන් කළා.. අපි මෙහෙ ආවට පස්සේ 3න් පාරක් අක්කල ගැන්සිය මෙහෙ ආව නිසා එයාලටත් ක්වලාලාම්පුර් වලින් එහා මැලේසියාව බලන්න ඕනේ වෙලා තිබුනේ.. 

ඔය නඩේට මුලින් ම සැරේ 11දෙනෙක් ආව. ඊට පස්සේ සැරේ 9 දෙනෙක් ආවා මේ සැරේ 10ක් ආවා.. මුල්ම සැරේ හොඳට කටු කෑවා කට්ටියම එක්කන් යන්න ටැක්සි හොයන්න ගිහින් . අපිත් ආව විතර නිසා අපිටත් නිකන් හොල්මන් වගේ..... දෙවෙනි සැරේ එනකොට අපි ටැක්සි එහෙම ටිකක් අඳුරගෙන කලින් තරම්ම චාටර් වෙන්නේ නැතුව එහෙ මෙහෙ ඇවිද්දා.. මේ සැරේ ඉතින් අපි කලින් ම වාහනයක්  බුක් කළා.  

අපේ මස්සිනා ගොයියා ඉන්ටර්නැෂනල් ලයිසන් එක එහෙම අරන් ආවේ.. එයා තමයි වාහනේ ගෙනිච්චේ.. මෙහෙ වාහන එලවන එක අමාරු නෑ.. ලංකාවට වඩා සැහෙන්න අචාරසිලි විදියට මිනිස්සු වාහන එලවනවා.. එහෙන් මෙහෙන් දාන්න ත්‍රී වීල් නැති නිසා ඒ හැටි බය වෙන්න දෙයක් නෑ.. මෝටර් සයිකල් වලින් ටිකක් පරිස්සම් වුනාම අවුලක් නැතිව වාහනයක් අරන් යන්න පුළුවන්.. නීති රීති ඔක්කොම එකයි..

පළවෙනි දවසේ හවස් වරුවේ කට්ටිය පුත්‍ර ජයා පැත්ත බලන්න ගියා.. ටිකක් පාරවල් හුරු වෙන්නයි වාහනේ හුරු වෙන්නයි එක්ක.. පුත්‍ර ජයා ගැන මම වෙනම එකක් ලියන්නම්.. ලියන්න සෑහෙන්න දෙයක් තියෙන පැත්තක්.. හෙහ්

අපි කලින් ගමන් දෙක ගිහින් බැලුවේ අක්කල ආවම පොඩි අයත් එක්ක යන්න හොඳ කොහෙද කියන එක.. ඒ කියන්නේ මලක්කා ද , ඉපෝ ද කියල.. ඉපෝ ගමන අපෝ වෙච්ච නිසා අපි මලක්කා ටුවර් එකක් ප්ලෑන් කළා..

ඉතින් දෙවෙනි දවසේ උදේ 11ට විතර කට්ටිය ඉතින් ඔන්න ගමන පිටත් වුණා.. පොඩි උන් පස් දෙනා කොහේ යන්නත් කලින් උදේම පුල් එකේ නටන්න ඕනේ කියන කන්ඩිෂන් එක මුලින් ම දැම්ම.. ඉතින් උදේ 7-8 වෙද්දී පුල් එකට බැහැල නාල තමයි කට්ටිය කොහේ ගියත් යන්නේ... (අපරාදේ කියන්න බෑ මාත් ඒ දවස් ටිකේ පාන්දරම  නා ගත්තා..හෙහ් හෙහ් )


ඔය ඉන්නේ 5 දෙනාගෙන් 4 දෙනෙක්.. අනිත් එකී ඇඩ්වෙන්චර් වලට බයයි, ෆොටෝ එකට අහු වෙන්න හිටියේ නෑ.. හෙහ් හෙහ්

අපි කරදරයක් නැතුව දවල් 2 විතර වෙද්දී මලක්කාවට ආවා.. ඊට පස්සේ ටිකක් වටේ රස්තියාදු ගහල කන්න තැනක් හොයාගෙන 3-3.30 වෙද්දී හොටෙල් එකට ගියා.. පස්සේ හවස් වරුව ඇවිදින්න පටන් ගත්තා.

වාහන දෙකේ ගිය නිසා ඉතින් මම නඩේ ගුරා වගේ Waze (GPS app එකක්) දාගෙන ඉස්සරහින් යනවා.. දිමුතුවා සුවච කීකරුව මගේ පස්සෙන් එනවා.. ඔන්න ඔහොම දැන් අපි අර A Famosa බලකොටුව හොයාගෙන ගියා..

මේ තියෙන්නේ ඔය A Famosa බලකොටුව


පින්තුරය ගුග්ල්

දැන් මම මැප් එක බලාගෙන යනවා.. එක තැනකට ගියාම මැප් එක කචල් යනවා.. ඊට පස්සේ මම ආයේ හරවගෙන වටයක් ගහල ආයේ එනවා.. එතෙන්ට ආවම මැප් එක ආයේ කචල් යනවා.. කචල් යනවා කියන්නේ මම දකුණට හරවන්න හිතාගෙන ආවට Waze එකේ මට කියන්නේ වමට යන්න.. ඔය විදියට 3න් සැරයක් විතර ඔහොම මෙහෙම අතේ දුරින් තියෙන තැනක් හොයාගන්න බැරුව අපි වට 3ක් විතර ගියා.. 

අන්තිම පාරත් වැරදිලා කොහෙද මන්ද පාරක යනකොට මෙන්න මට කෝල් එකක් එනවා.. "මේ වාහනේ පොඩ්ඩක් හීට් වෙනවා . මම නතර වුණා කියල...." හෙහ් වෙලාවට ඉතින් පේන දුරින් තමයි නතර වුනේ.. අපි රෙන්ට් එකට ගත්ත වාහනේ නිසා එන්න කලින් වතුර බලන්න බැරි වුණා.. කර වෙන්න වේලිලා තිබුනේ.. හැබැයි අපි වතුර දැම්මත් හරි ගියේ නෑ.. ඊට පස්සේ ඒ ළඟම තිබ්බ කාර් පාක් එකක වාහන දෙකම දාලා මලක්කා නගරයේ පයින් ටුවර් එකක් යන්න පටන් ගත්තා...

අපේ කට්ටියගේ හොඳක් තියෙන්නේ පයින් යන්න ඕනේ වෙලාවක රෙඩි...

ඒ වෙද්දී වෙලාව 7ට කිට්ටුයි.. මැලේසියාවට කළුවර වැටෙන්නේ හවස 7.30 ට විතර ඉතින් හවස් වරුව ටිකක් වැඩිපුර තියෙනවා.. අපි බලන්න ප්ලෑන් කලේ A Famosa බලකොටුව උනාට පස්සේ තීරණේ කළා ඒක හොයාගෙන යන්නේ නැතුව ළඟ තිබුණු මෙන්න මේ කුලුනට නගින්න..




                                                            පින්තුර ගුග්ල් එකෙන්

මේ කුළුන මීටර් 80ක් උසයි.. ඔය වේදිකාව වටේට කැරකෙනවා.. මුළු මලක්කාවම බලන්න පුළුවන්

මම මේකේ දී දැම්මේ එදා උඩට නැග්ග වෙලේ ගත්ත ෆොටෝස් තමයි..

ඕක උඩට නැගල බැහැල ඊට පස්සේ ගියේ අර Flor de la Mar (Flower of the Sea) කියන පෘතුගීසි වෙළඳ නැව බලන්න..  කලින් පෝස්ට් එකේ නැවේ පින්තුරයක් දැම්මට නැව ඇතුලේ පින්තුර දැම්මේ නෑ නේ..

මේ තියෙන්නේ 

 නැවේ ක්ලෝස් අප් එකක්
 කපිතාන්ගේ කාමරේ ගැන විස්තරයක්
 කපිතාන්ගේ කාමරේද කොහෙද....
ඇතුලේ ෆොටෝ එකක්
 නැවට නැග්ග ගමන් 

කුඹ ගහේ උඩ 

මේ නැව පොඩි කෞතුකාගාරක් වගේ හදල තියෙන්නේ..  ඇතුලේ බලන්න දේවල් ගොඩක් තියෙනවා.. මම වැඩිය ෆොටෝ ගත්තේ නෑ...

හරි නැව බලල ඉවර වෙලා සෙට් එකම ගියා රෑට කන්න.. කන්න යන අතරේ මලක්කාවට අලංකාරයක් දෙන මෙන්න මේ මල් බයිසිකල් වල රවුම් යන්න කට්ටියට ආස හිතුනත්  පොඩි දුරක් යන්න කියපු බොරු ගණන් හින්ද මල් බයිසිකල් රවුම් ගහන්නේ නැතුව  කාල ඉවර වෙලා අර අපි කලින් සැරේ ඇවිල්ල ගිය Jonkar විදියේ පොඩි ෂොපින් පාරක් දැම්ම...

මේ තියෙන්නේ මල් බයිසිකල්





ජෝන්කර් විදියට කිට්ටු තැනකින් හොටෙල් බුක් කරපු නිසා ලෙඩ ගානේ තිබ්බ වාහනේ හොටෙල් එකට ගෙනත් දාල පයින් ගියා ජෝන්කර් එකේ ෂොපින්..

අවුරුද්ද අන්තිම නිසා ජෝන්කර් විදියේ ෂොපින් යද්දී මෙන්න මේ වගේ අපුරු මල්වෙඩි සන්දර්ශනෙකුත් බලන්න ලැබුනා..




ඊට පස්සේ පහුවදා පාන්දරම ළඟ තිබ්බ ගරාජ් එකකට ගිහින් වාහනේ අවුල හදා ගත්තා.. රේඩියේටර කැප් එක මාරු කරපු එක විතරයි කලේ ලොකු අවුලක් වුනේ නෑ... ඊට පස්සේ පහුවදා ආයෙත් A Famosa හොයාගෙන ගියා.. එකත් බලල ඊට පස්සේ ගියා ඒ ළඟම තියෙන මලක්කාවෙ සුල්තාන් මාලිගාවක ආකෘතියට හදපු තව කෞතුකාගාරයක් බලන්න..

මේ තියෙන්නේ..
පින්තුරය ගුග්ල්

මේක තනිකරම ලී වලින් හදපු මාලිගාවක්.. වැඩි විස්තර මෙතන තියෙනවා. විකිපීඩියාවේ හැටියට නම් ක්‍රි.ව 1458 සිට 1477 හිටපු Sultan Mansur Shah ගේ මාලිගාවේ ආකෘතිය විදියටලු මේක හදල තියෙන්නේ..


මේ තියෙන්නේ මාලිගාව ඇතුලත පින්තුර ටිකක්

 මාලිගාවේ අනුරුවක්
 පොඩි විස්තරයක්
 ඒ කාලේ සුල්තාන්ගේ සභාව තිබුණු හැටි
 සුල්තාන්ගේ නිදන කාමරේ

තව එක එක දේවල්

ඕක බලල ඊට පස්සේ දවල්ට කන්නත් එක්ක ගියා ඒ ළඟම පොඩි ෂොපින් මෝල් එකකට.. එක ඇතුලේ අපුරු පොඩි පොඩි බඩු විකුනන්න තියෙනවා.. ගොඩක් දේවල් මලක්කා ඉතිහාසයට සම්බන්ද පොඩි පොඩි ආකෘති, ලි වලින් හදපු දේවල්.. ඊට අමතරව ඉතින් අනෙකුත් ඕනෑම දෙයක් තියෙන ලොකු මෝල් එකක්...

ඕක ඇතුලට ගියාට පස්සේ ඉතින් ආයේ මොන මලක්කා ද කියල කට්ටිය ෂොපින්... හෙහ් හෙහ්

අන්තිමට හවස 6.30ට විතර මලක්කාවෙන් පිට වුණා..

මලක්කාවෙන් පිට වෙලා ක්වාලා ලාම්පුර් එන්න හයි වේ එකට දාල කිලෝ මීටරයක් එන්න හම්බ වුනේ නෑ අර වාහනේ පැච් එකක් ගියා... හෙහ් හෙහ්... 

පස්සේ හයි වේ හදිසි ඇමතුම් එකටකෝල් එකක් දුන්නම විනාඩි 15ක් යද්දී දෙන්නෙක් ඇවිල්ල සිං සිං ගාල ටයර් එක මාරු කරලා දුන්නා.. ඒ සේවය නොමිලේ.. හැබැයි ඉතින් අපි යුතුකමක් වශයෙන් ඒ ආපු දෙන්නට පොඩි ගානක් දුන්නා.. 

ඊට පස්සේ ඉතින් "අනේ පුතේ අපි හිමින් යන්.. පිටි පස්සේ වාහනේ එක්කම යන් ....."....ආදී වශයෙන් ලැබෙන වැඩිහිටි උපදෙස් රැසක් සමග රෑ 11.30 වගේ වෙද්දී යාන්තම් ගෙදරට ආවා.... ගෙදර ඇවිල්ල රෑට උයාගෙන කාල පහුවදා උදේ කට්ටිය ගියා මෙහෙ තියෙන  Sunway Lagoon Theme Park එකට.. කලින් සැරේ ඇවිල්ලත් ගියාට පොඩි උන්ගේ බලවත් ඉල්ලීම නිසා දෙවෙනි සැරෙත් ගියා..

ඊට පස්සේ ඉතින් තව ෂොපින් රවුම් දෙක තුනක් ගිහිල්ලා අක්කල කට්ටියම ආපහු ගියා..අම්මත් ගියා.. එහෙම කට්ටිය ඉඳල ගියාම හරි පාලුයි...

ඊට පස්සේ ඉතින් ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!




Monday, February 01, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 2




අම්මා ආවට පස්සේ රට තොට බලන්නත් එක්ක අපි තවත් අලුත්ම පැත්තකට ගියා. කලින් මලක්කා ගිය නිසා අපිත් මීට කලින් නොගිය පළාතක් වෙච්ච Ipoh තමයි අපේ ගමනාන්තය වුනේ..

ඉපෝ කියන්නේ මෙන්න මේ වගේ අමුතු විදියේ හුණුගල් (Limestone) කඳු ගැට තියෙන ක්වාලා ලාම්පුර් වල ඉඳල කිලෝමීටර් 200 විතර දුරින් තියෙන පළාතක්. මැලේසියානු අර්ධද්වීපයේ උතුරු පැත්තට වෙන්න තමයි මේ ඉපෝ නගරය පිහිටලා තියෙන්නේ.. මේ නගරය ටින් ආකර (Tin Mining) කර්මාන්තයට ප්‍රසිද්ධයි. දැන්නම් එහෙම ලොකුවට ටින් ආකර නැද්ද කොහෙද... මේ නගරය ගැන විස්තර හොයද්දි දැන ගත්තා අර Anna and the King කියන සිනමාපටය රුගත කරලා තියෙන්නේ මේ පළාතේ කියල.. 

පින්තුරය ගුග්ල්ගෙන්

අම්මත් එක්ක යන නිසා කලින් හොටෙල් එකක් බුක් කරගෙන තමයි මේ ගමන ගියේ.. උදේ පාන්දර 6-6.30ට වගේ හොඳට සුදානම් වෙලා හරි උනන්දුවෙන් අපි ගමන පටන් ගත්තා.

ඉපෝ නගරයට කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ කඳු ගැටයක් උඩ නම ගහල තියෙනවා



පින්තුරය ගුග්ල්ගෙන් 

අපි කොහොම හරි උදේ 10.30-11.00 වගේ වෙද්දී ඉපෝ වලට ආවා..  මැලේසියාවේ තියෙන දියුණු මාර්ග පද්ධතිය නිසා ඕනෙම ගමනක් පහසුවෙන් යන්න පුළුවන්..

අපි යන්න කලින් ගුග්ල් එකෙන් හොයාගත්තු තැන් දෙක තුනක් බලන්න තමයි ප්ලෑන් එක තිබුනේ ඉතින් කොහොම හරි GPS app එකේ පිහිටෙන් පාර හොයාගෙන අපි ඔන්න එක Qing Xin Ling Leisure & Cultural Village කියන තැනට ආවා.



මෙන්න මේ වගේ තැනක්. ඔය ගෙවල් වගේ තියෙන ඒවා අපිට කලින් වෙන් කරගෙන නතර වෙන්න පුළුවන්..  බලන්න කියල ලොකු දෙයක් නෑ.. මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ ටිකක්


 පොඩි ගල් ගුහාවක් තියෙනවා මෙන්න මේ වගේ අමුතු ගල් තියෙන

මෙන්න මේ වගේ විස්තරයි ෆොටෝ එහෙම තිබුනා. මම එච්චර කියවල බැලුවේ නෑ.. ඔය නගරේ ඉතිහාසේ ගැන මම හිතන්නේ..

මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ඉඳන් එලිය පේන හැටි

ටිකක් උඩහට වෙන්න තියෙනවා කඳු ගැට දෙකක් මැද්දෙන් යන්න පොඩි පාරක්.. එක පැත්තකින් දිය සිරාවක් තියෙනවා අනිත් පැත්තේ ඔය පරණ ඇන්ටික් වගේ බඩු තියපු පොඩි පොඩි කඩ කෑලි ටිකක් තියෙනවා. විකුණන්න තියෙන බඩු නෙවෙයි. නිකන් සිහිවටන වගේ තියල තියෙන්නේ


 මේ තියෙන්නේ ඒවායේ තියෙන බඩු



කන්ද උඩට ගියාට බලන්න දෙයක් නෑ.. කන්දේ අනිත් පැත්තට යන්න පොඩි අඩි පාරක් තිබුනා. අපි ගියේ නෑ..

ඒ වෙද්දී දවල් 12ට කිට්ටු වෙලා ගිනි අවුව නිසා අම්මා සහ බට්ටි නගාට ටිකක් ඇති වෙලා වගේ තිබුනේ.. මම ඉතින් එයාලට ඉන්න කියල ඔය එහෙ මෙහෙ අස්සේ රිංගල මේ වගේ ෆොටෝ කෑලි ටිකක් අල්ල ගත්තා..






ඊට පස්සේ එතනින් ආවා... එන ගමන් කතා බහ මේ වගේ


"ඒ හැටි බලන්න දෙයක් නෑ වගේ නේද? අනිත් එක මේ අවුව... ඉවසන්න බෑ... ඔය වටේ තියෙන කඳු ටික තමයි ඉතින්, තව චීන පන්සල් එහෙම තියෙනවලු.. අනේ චීන පන්සල් වල බලන්න දෙයක් නෑ.. මේ අවුවේ එලියට බහින්න බෑ... අපි හොටෙල් එකට ගිහින් හවස් වෙලා එමු... හැබයි ඉතින් හොටෙල් එකට ගිහින් නිකන් සල්ලි දීලා හිටිය කියල බලන්න මහලොකු දෙයක් නෑ වගේ නේද..."


මම ඉතින් සුවච කීකරු රියදුරා වශයෙන් හැම එකටම හ්ම් හ්ම් කිය කිය හිටිය.. ඔන්න ඔහේ මෙන්න මේකත් බලන්න යමු කියල අපි තව තැනකට ආවා...


එතනත් පොඩි පාක් එකක්... එකේ තියෙන වැවක බෝට්ටුවක් තියෙනවා.. ඒ බෝට්ටුවෙන් වැවෙන් එගොඩට ගියාම කනාටු වෙච්ච මුවෝ දෙතුන් දෙනෙකුයි, පැස්බරු දෙතුන් දෙනෙකුයි ඉන්නවා එච්චරයි..



  මේ ඉන්නේ කනාටු සත්තු ටික.. දැක්කම දුක හිතෙනවා





මේ ටික බලල එද්දී නම් ගිනි අවුවයි, බඩ ගින්නයි නිසා හොඳ ගණන්...

දැන් යන ගමන් කතා බහ මෙහෙමයි...

"හොටෙල් එකට අච්චර ගානක් දීලා ඉන්න එක තේරුමක් නෑ වගේ නේද.. මාත් හිතන්නේ එහෙම තමයි එච්චර වැඩක් නෑ.. දැන් ඉතින් මොකද කරන්නේ.. ඉස්සෙල්ල මොනවා හරි කාල ඉමුකෝ"

ඔන්න ඉතින් ඉන්දියන් කඩයක් හොයාගෙන ගිහිල්ල නැති තැන අන්තිමට චීන කඩේකින් බාගෙට බැදපු කුකුල් මස් එක්ක බත් චුට්ටක් කෑවා...


"හරි එහෙනම් දැන් අවසාන තීරණේ මොකක් ද? ආපහු යමුද? හොටෙල් එක කැන්සල් කරමු? මම හිතන්නේ ගියොත් හොඳයි.. නිකන් තේරුමක් නෑ..."


මම ඉතින් හෝටලේට කතා කරලා ඒක කැන්සල් කරලා දැම්ම. ඊට පස්සේ ඉතින් කවුද බෝයි වගේ උදේ ඇද්ද කිලෝමීටර් 200ම ආයෙත් ඇදල හවස 4 වගේ වෙද්දී ආපහු ගෙදර ආවා.. හෙහ් හෙහ්..


හැබැයි ඉතින් ගෙදර ඇවිල්ල උණුවෙන් බතක් උයල , අම්මා ගෙනාපු මාළු ඇඹුල් තියල් ටිකක් පරිප්පු හොද්දක් එක්ක කාල, හොඳ ප්ලේන්ටියක් අලුවා කැල්ලක් එක්ක බීල සැපට ටීවී එකෙන් ඔය පරණ නාට්ටි කෑල්ලක් බලන එක මොන තරම් ආතල් ද කියල හිතුනා.. හෙහ් හෙහ්


හොඳට ප්ලෑන් කරලා පාන්දරින් නැගිටලා අධික උනන්දුවෙන් ගිය අපේ ඉපෝ ගමන ඉවර වුනේ එහෙමයි..



අම්මා ඇවිල්ල සති දෙකකට පස්සේ අක්කලා ආවනේ... අක්කල කිව්වට ගැන්සියක් ම බැස්ස.. පොඩි උන් ම 5 දෙනෙක්.. ඔක්කොම නඩේ 12ක්... හෙහ් හෙහ්


ඔය නඩේත් එක්ක ඊට පස්සේ සතියේ අපි තව ගමනක් ගියා...




මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ්

සුබ අලුත් අවුරද්දක් වේවා!

මම හිතන්නේ තාම මේ අවුරුද්ද අලුත් අවුරුද්දක් කියල සලකන එක වලංගුයි... 

මලක්කා සමුද්‍ර සංදිය ගැන ඉස්සර නම් ඉස්කෝලේ සමාජ අධ්‍යනය පොතේ තිබුනා. දැනුත් ඇති..

මලක්කා නගරය පිහිටලා තියෙන්නේ මැලේසියානු අර්ධද්වීපයේ දකුණු කොටසට වෙන්න. මලක්කා සමුද්‍ර සංදිය කියන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත අතර තියෙන කිලෝමීටර් 805 ක් විතර වෙන පටු මුහුදු තිරයට. පළල ආසන්න වශයෙන් 2.8 km වගේ තමයිලු වෙන්නේ..

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ එක්තරා සති අන්තයක අපි දෙන්න ගියා ඔය මලක්කා නගරයට. මලක්කාව මැලේසියාවේ සංචාරක ආකර්ෂණය තියෙන පැරණි නගරයක්. ක්වාලා ලාම්පුර් ඉඳල පැය දෙකක විතර ගමනකින් යන්න පුළුවන්.

පහුගිය සැප්තැම්බර් මාසේ එක්තරා දවසක අපි අවුරුදු 2 හමාරක් විතර හදල 90% විතර ඉවර කරලා තිබුණු  ප්‍රොජෙක්ට් එක රැයකින් නතර කරලා දාන්න මේ රටේ ලොකුම තැනින් නියෝගයක් ආවා.. අපිට ආරංචි විදියට එකට හේතුව අපි කරපු ප්‍රොජෙක්ට් එක රටේ ලොකුම තැන ගේ (බිරිඳගේ)  ඉතා හිතවත් මිත්‍රයකුගේ පෞද්ගලික ආයතනයකට බාර දීලා... එතුමාගේ අත්සනින් ආපු ලිපියක් මගින් මේ රටේ රජයේ තැනක් වෙච්ච අපේ ආයතනය විසින් සෑහෙන වෙහෙසක් දරල බොහොම හොඳ තත්වයෙන් හදපු ප්‍රොජෙක්ට් එක රැයකින් නතර කරලා  අපිට මැලේසියාවේ ආශ්චර්යය පෙන්නලා දුන්න...  මැලේසියාවත් හරිම ආශ්චර්යමත් රටක්.  අපි ඒ ආශ්චර්ය ගැන වෙනම විස්තර පස්සේ කතා කරමු..

ඊට පස්සේ ඉතින් සුපුරුදු විදියට අපි තවත් ප්‍රොජෙක්ට් එකකට සෙට් වුණා. අපරාදේ කියන්න බෑ.. මෙහෙ එකක් යන්න එකක් වැඩ තියෙනවා..

ඔය සෙට් වෙච්ච දෙවෙනි ප්‍රොජෙක්ට් එකේ අම්බානක් වැඩ.. අම්බානක් කියන්නේ පැය 8ම ෆුල් ටයිම් වැඩ. ඒ කියන්නේ ඔළුව කචල් වෙන්නම වැඩ.. පහුගිය මාස 2-3 හරි හමන් දෙයක් ලියා ගන්න බැරි වුනේ ඇත්තටම කිව්වොත්  ඉහල රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් නිසා හෙවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා කියල කියන්නත් පුළුවන් ඕන නම් (මම කොහොමත් කම්මැලි නැති, ඉතා උනන්දුවෙන් බ්ලොග් ලියන, කියවන et cetra et cetra බ්ලොග් කරුවෙක්  නිසා මොකුත් ලියන්න බැරි වුනේ ඒ නිසාමයි ඔන්න.. ).

හරි ඉතින් ඔහොම අධික වැඩ කර කර ඉන්න අතරේ අපි දෙන්න ඔය මලක්කා නගරේ රවුමක් ගියා.කොටින්ම හෝටලයක් වත් බුක් කරන්නේ නැතුව ගියේ.. ගිහිල්ලා හොයා ගන්නම් කියල.. මෙහෙ සාමාන්‍යයෙන් තරු 3-4 මට්ටමේ හෝටල් කාමරයක් සැහෙන්න අඩු මුදලකට හොයා ගන්න පුළුවන්.  හැබැයි දීර්ඝ සති අන්ත වල නම් කීයටවත් කලින් බුක් කරන්නේ නැතුව යන්න හොඳ නෑ.. සාමාන්‍ය සති අන්තවල එච්චර අවුලක් නෑ.. අපි දෙන්න උදේ පාන්දර 9-10 ට විතර ගෙදරින් පිටවෙලා දවල් 12,1,2 වගේ වෙද්දී මලක්කාවට ආවා. ටවුම පුරා කැරකිලා හොටලෙකුත් හොයා ගත්තා...  ඊට පස්සේ හවස් වරුව ඇවිද්දා

දැන් අපි පින්තුර කීපයක් බලමු...

මේ පින්තුරය නම් ගුගල් එකෙන් උස්සපු එකක්..

මේ තියෙන්නේ ඔය මලක්කා වල බලන්න තියෙන දේවල් වලින් කීපයක් තියෙන පින්තුරයක්.. ඔය උඩින්ම තියෙන කණුව නගරයේ සිරි නරඹන්න එන සංචාරකයින් වෙනුවෙන් හදපු එකක්.. උඩින් තියෙන රවුම් වේදිකාව වටේට කැරකෙනවා. මුළු මලක්කා නගරයම බලන්න පුළුවන් ඕක උඩට නැග්ගහම..

කණුවට වම් පැත්තෙන් තියෙන්නේ මෙහෙ බලන්න තියෙන A Famosa කියන පරණ පෘතුගීසි කාලෙට අයත් බලකොටුවක්, ඊට යටින් තියෙන්නේ නගරේ මැද්දේ තියෙන තව පෞරාණික තැනක්, ඊටත් යටින් තියෙන්නේ චීන විදියක්,  කණුවට කෙලින්ම යටින් තියෙන්නේ A Famosa බලකොටුව උඩට නැග්ගම තියෙන කවුද ශාන්තු වරයෙක්ගේ ප්‍රතිමාවක්...

මේ තියෙන්නේ ඔය කණුව උඩ ඉඳල මම ගත්ත පින්තුර දෙක තුනක්


ඔන්න මලක්කා කියන්නේ ඔය වගේ නගරයක්..


ඊට පස්සේ රෑ වෙලා මෙහෙ තියෙනවා Jonker walk කියල පොඩි ෂොපින් කරන්න හොඳ පාරක්, පාර දෙපැත්තේම කඩ දාගෙන පොඩි පොඩි විසිකුරුත්තන් බඩු විකුනනවා, එක එක කෑම ජාති එහෙම ඕනේ තරම්.. සෙනසුරාදා රෑ එළිවෙනකම් වගේ මේකේ බිස්නස් යනවා.. 

මේ තියෙන්නේ අපි ගිය දවසේ තිබුණු මොකක් ද චීන උත්සවයක්

අරුමෝසම් බඩු විකුණන කඩ
 මේවා නම් හරි ලස්සනයි.. හෙන ක්‍රියේටිව් බඩු තිබුන..


මේ තියෙන්නේ තව




පොද වැස්සක් එක්ක ජනාකීර්ණ වෙච්ච ජෝන්කර් වීදිය තමයි මේ

හරි ඉතින් රෑ 12 විතර වෙනකම් බස්ටි නගයි මමයි ඕකේ ඇවිදලා. පුච්චපු දැල්ලෝ එහෙම කාලා..  පහුවදා උදේ ගියා මෙහෙ තියෙන සමුද්‍ර කෞතුකාගාරේ බලන්න..

මෙතන තියෙනවා මරු නැවක්..


මේ තියෙන්නේ Flor de la Mar (Flower of the Sea) කියන පෘතුගීසි වෙළඳ නැවේ ආකෘතියක්.. මේක ක්‍රිස්තු වර්ෂ 1511 දී මේ මලක්කා සමුද්‍ර සන්ධියේදි මුහුදුබත් වෙලා තියෙනවා. පස්සේ මැලේසියානුවන් මේ ආකෘතිය මෙතන හදල තියෙනවා..

මේ නැව ඇතුලට යන්න පුළුවන්.. අපි දෙන්න පැයක් විතර නැවයි ඊට ටිකක් එහායින් තියෙන සාගර කෞතුකාගාරෙයි විතරයි එදා බැලුවේ.. ඊට පස්සේ ආපහු ආවා...

අපි මලක්කාවෙන් ගියේ ආයේ පස්සේ වෙලාවක එන්න හිතාගෙන මොකද බලන්න තිබුණු ගොඩක් දේවල් අපි බැලුවේ නෑ..

ඊට පස්සේ දෙසැම්බර් මාසේ අපේ අම්මා ඇනුවල් ලීව් දාල මෙහෙ ආවනේ.. අපේ අම්මා අවුරුදු 30-35ක් රජයේ සේවය කරලා දැන් පැන්ෂන් අරන් ඉන්නේ..හැබැයි ඉතින් ගමනක් බිමනක් යන්න නිවාඩු ගන්න ඇනුවල් ලීව් ටික අක්කගේ පොඩි උන්ගෙන් අනුමත වෙන්න ඕනේ හෙහ් හෙහ්... 

අම්මා ආවට පස්සේ ඉතින් රට තොට බලන්නත් එක්ක අපි තව ගමනක් ගියා..




Tuesday, October 27, 2015

මාරුව...!


             සුබ සැන්දෑවක් මිස්ටර් බෝ, කොහොමද පයිනස් ... අප්පා මේ සුළඟ හරි සැරයි නෙ අද.. රෑ වෙනකොට කුණාටුවක් එයි ද මන් ද..  මේ කාලෙට කොහොමත් හුලං ටිකක් සැරයි මිස්ටර් බෝ.. සමහරවිට රෑ වෙද්දී වහියි.. අන්න මිස්ටර් ජැක් දැනටමත් ඇවිල්ල ඉන්නේ.. මිස්ටර් බෝ ගිහින් වාඩි වෙන්න මම කෝපි අරගෙන එන්නම්.. ආ පයිනස් මට ටිකක් සැර කෝපි එකක් ගේන්න... සීනි චුට්ටක් වැඩියෙන් දාලා.. හොඳයි මිස්ටර් බෝ..

තානායමේ කෙළවර පිහිටි මේසය කොනේ සුරුට්ටුවක් උරමින් හවස පත්තරය බලමින් සිටි ජැක් සිය මිතුරා දෙස ඇස් කොනින් බලා නැවත කියවමින් සිටි ලිපිය දෙස අවදානය යෙදෙව්වේ එහි ඇති රසවත් බව නිසාමය.. 

සිය උඩු කබාය කබා රාක්කයේ එල්ලූ බෝ අවට සිටි සුපුරුදු මුහුණු දෙස අලස බැල්මක් හෙලුවේය. කඳුකර කුඩා නගරයේ මේ තානායමට අමුත්තන් පැමිණියේ නම් ඒ කලාතුරකිනි. හැමදාම හමුවන සුපුරුදු කිහිප දෙනා හැර වෙන කිසිවෙක් නොවුයෙන්  ජැක් උවමනාවෙන් බලමින් සිටි ලිපිය දෙස එබී බලමින් ගොස් සිය සුපුරුදු අසුනට බර දුන්නේය. තානායමේ කෙළවර මේසයේ වාඩිවී සිටි අඳුරු පැහැති රුව දෙස බෝ ගේ නෙත යොමු වුයේ පුරුද්දට මෙනි.. ගලා හැලෙන සැන්දෑ අඳුර නිසා හරියටම හඳුනා ගත නොහැකි වුවද මිට පෙර දැක නොමැති නුපුරුදු බවක් ඒ කෙරෙන් දිස් විය...


කෝ තාම නා ආවේ නැද්ද? පුවත්පත දෙස බලමින් සිටි මිතුරාගේ අවදානය ගැනීම පිණිස ඔහු හඬ අවදි කළේය...නෑ තාම නෑ..... බැම්බු එක්කම එනවා කිව්වා.. මම හිතන්නේ දැන් මග එනවා ඇති.. පත්තරයෙන් අවදානය නොබිඳ ගත් ජැක් හඬ අවදි කළේය. කෝ මටත් දෙනවකො ඔය සුරුට්ටුවක්..  මම තමුසෙගෙන් මේ සුරුට්ටු පෙට්ටියක් ගෙන්න ගන්න කී දවසක් කිව්වද...අදත් ගෙනාවේ නෑ නේද? ඕවා කාටද අයිසේ මතක් වෙන්නේ මේ රටේ ලෝකේ සිද්ද වෙන දේවල් දැක්කම .. ඇයි දැන් මොකක් ද වෙලා තියෙන්නේ.. මොකක් ද ඔය උනන්දුවෙන් කියවන ආටිකල් එක. .. පොඩ්ඩක් ඉන්නවා මේ අන්තිම ටික... ඒ ටික ඉවර වෙලාම මම සිද්දිය කියන්නම්.. ඔහු අනිත් අතින් සිය කබායේ තිබුණු සුරුට්ටුවක් ගෙන සිය මිතුරා දෙසට තල්ලු කළේය.

ඕ..පයිනස්... අනේ මට ගින්දර ටිකක් දෙන්න... අද මගේ ලයිටරේ අමතක වෙලා ද කොහෙද.. හරි පොඩ්ඩක් ඉන්න මිස්ටර් බෝ.. අසල මේසයට රැගෙන ආ බීර බෝතල් කීපය මේසය මතින් තැබූ පයිනස් ආචාරශීලි ලෙස පවසා කවුන්ටරය වෙත ගියේය.

හාත්පස ගලා එන සැන්දෑ අඳුර දෙස බලා සිටි බෝ සුරුට්ටුව මේසයට තට්ටු කරමින් දොර දෙස බැලුවේ නා සහ බැම්බු ගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.. 

අයිසේ බෝ ... තමුසේ හිතන්නේ මේ යක්කු මේ කරන්න හදන වැඩේ හරි කියල ද.. මම කිව්වේ මේ න්‍යෂ්ටික ආයුද සෙල්ලම.. දැන් බලනවා දෙගොල්ලෝ ගාවම ආයුද තියෙනවා. දෙගොල්ලොම කාටවත් පරදින්න කැමතිත් නෑ.. අන්තිමට මොකක් ද වෙන්නේ...?  කව්රු හරි ගැහුවොත් දෙගොල්ලොම ඉවරයි.. ඇයි දැන් කවුරු හරි ගහනවා කියල ද? බෝ ඇසුවේය.. නෑ නෑ එහෙම එකක් කියල නෑ.. හැබැයි වමේ ලොක්කා පොඩි සද්දයක් දාල තියෙනවා..  මේ බලනවා මේ කතාව... මම නම් හිතන්නේ නෑ තව වැඩි කාලයක් මේක බැලන්ස් වෙලා තියෙයි කියල.. කෝ දෙනවා බලන්න පත්තරේ.. ජැක් පත්තරය බෝ දෙසට තල්ලු කළේය.

ඒ පයිනස් කන්න මොකුත් නැද්ද... ඔය තියෙන දෙයක් අරන් එනවකෝ... කෝ මේ නා  තාම නෑ නේ.. 

හරි මිස්ටර් ජැක්  මස් ස්ටු එකක් ගේන්න ද? නැත්නම් ෆ්‍රයිස් මොනවා හරි ගේන්න ද?
ඒයි බෝ තමුසේ මොනවට ද කැමති..  ?

අනේ මට ඕවා කන්න බෑ ජැක්.... මම ඔය මොනවා හරි පැණි රහක් කාලා කෝපි බොනවා.. තමුසේ කැමති එකක් ගන්නවා.. 

හරි පයිනස් එහෙනම්  ස්ටු එක ගේනවා තව බිර එකකුත් එක්කම.

හලෝ බිරියෝසා .. කොහොමද ඉතින් ..තමුසේ මහත් වෙලා නේ.. අපරාදේ කියන්න බෑ තමුසෙලා නම් හරහට උස යනවා හිටු කියල.. එකට අපි...  හෙහ් හෙහ්.. මම දැක්ක ඊයේ හවස පාර දිගේ නොන්ඩි ගගහ යනවා.  මොකෝ වුනේ.. ? අල්ලපු මේසය දෙස හැරුණු ජැක් බිරියෝසා ට තට්ටුවක් දමමින් ඇසුවේය..

අනේ මන්ද ජැක් මේ මුලක් පොඩ්ඩක් අවුල් ගිහින් .. හරියට ඇවිදින්න අමාරුයි...  එකක් අනිකේ පැටලෙනවා...

ආ ඕක ද .. ඕක මහ දෙයක් ද... මම හිතුවා බරපතල කේස් එකක් කියල... හෙහ් හෙහ්.. ඒ එක නෙවෙයි... මම මේ අහන්නමයි හිටියේ අර අල්ලපු ඉඩමේ ඉන්න රෝස මෙනවිය තමුසේ හොඳට දන්නවා නේද... හෙහ් හෙහ් ජැක් ඇස් පුංචි කරමින් ඇසුවේය...  ඔව් ඔව් පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක හැදිච්ච රෝසව මම නොදනන්නවයි...  ඇයි තමුසෙට හදිස්සියේම රෝසව මතක් වුනේ.. ජැක් ගේ අවඥා සහගත කතා විලාසයට නොරිස්සුමෙන් බිරියෝසා ඇසුවේය...

ආ බැම්බු... දැන්ද එන්නේ...කෝ... නා.. අනේ මන්ද වෙලාවක් කිව්වා නම් වෙලාවට එනවා අයියේ... තමුසෙලා හැමදාම ඔහොම නේ..ඒ වෙලෙහිම තානායම ට ඇතුළු වුනු මිතුරන් දෙදෙනා ජැක් පිළිගත්තේය..

අනේ ජැක් මේ නා ගේ පොඩි වැඩක් තිබ්බා.. එකයි පොඩ්ඩක් පරක්කු වුනේ..

හලෝ පයිනස්.. හලෝ ටර්ප්.. සුබ සැන්දෑවක් මිස්ටර් ටූනා.... හප්පා මේ හුළඟ .... තද සුළඟින් ගැලවීමට පොරවා ගත් කබාය ගලවමින් ඇතුලට පැමිණි නා සිනා මුසු මුහුණින් තානායමේ රැඳී සිටියවුන් ට ආචාරශීලි වෙමින් ඇතුලට ආවේය..

නෑ නෑ අයිසේ මම රෝස ගැන හොයල බැලුවේ ඉතින් යුතු කමට... මම දන්නවා රෝස ගැන. අනිත් එක රෝසල අපේ පවුල් වල දුර නෑයොත් වෙනවා...  අනේ බොරු නොකියා යනවා ජැක්...තමුසෙලා කොහොමද රෝසලගේ නෑයෝ වෙන්නේ.. රෝස ල අයිති වෙන්නේ Rosaceae ලට නේ තමුසෙලා
Artocarpus පවුලේ නේද... .  නිකන් අහසයි පොළොවයි වගේ.. හැබැයි නෑයෝ ලු.. මන් නොදන්නවයි තමුසේ ගැන...නිකන් වැඩක් බලාගෙන ඉන්නවා ජැක්..

ඔව් ඔව් අපි  Artocarpus Heterophyllus තමයි ඉතින් ... Artocarpus මොකද Rosaceae මොකද... 

ඕ  ජැක් ඔය බිරියෝසට පාඩුවේ ඉන්න ඇරලා මට ඔය ටිෂු එකක් අරන් දෙනවා.. මේ හුළඟ හින්ද හරි අමාරුයි.. සිය අතුපතර සෙමින් ගසා දැමු නා පැවසීය...

බැම්බු සිය උස්වූ සිරුර හරි බරි ගස්සමින් පයිනස් විසින් රැගෙන එන ලද කෝපි කෝප්පය තොල ගාන්නට ගත්තේය..

මුන්ට පිස්සු මේ ලෝකේ මෙච්චර විසදන්න ප්‍රශ්න තියෙද්දී නිකන් බොරුවට කා කොටා ගන්නවා.. දැන් බලන්න මේ සත්තු, පරිසරය, වතුර දිහා කාටවත් කරදරයක් නෑ නේ.. ගල් කාරයෝ එහෙන් මෙහන් ටිකක් කචල් දැම්මත් පාඩුවේ ඉන්නවනේ... අනිත් ඒක මේ ශිෂ්ටාචාරය දියුණු වෙන්න පටන් අරන් ගෙවුණු පරිබ්‍රමණ 20000-30000ක කාලේ ඇතුලත අපි කොච්චර ආත්මාර්ථකාමී වෙලා ද කියල... දැන් මේ එකේ හිනි පෙත්තටම ඇවිල්ල තියෙන්නේ... බැරිවෙලා හරි න්‍යෂ්ටික යුද්ධයක් ආවොත් ආයේ මේක සුන්නද්දුලි වෙලා යනවා .. දෙකක් නෑ.. කියවමින් සිටි පුවත් පත ඉවත දමමින් බෝ පැවසුවේය... 

අයිසේ බෝ... තමුසේ හිතන විදියට මේ ලෝකේ වැඩ වෙන්නේ නෑ...ඒවා සිද්ද වෙන්නේ ඒවාට ඕනේ විදියට. නිකන් කෑ නොගහ මේ මස් කෑල්ලක් කාල බීර ටිකක් බොනවා.

සිය දෛනික කටයුතු වලින් අනතුරුව සවස් කාලය තානායමේ ගෙවා දැමීම ටවුමේ බොහෝ දෙනාගේ සිරිත විය. සති අන්තයේ ආරම්භයත් සමග ඔවුන් එහි ගෙවන කාලය වැඩි වීම සාමාන්‍ය දසුනක් විය.

බෝ, නා, බැම්බු සහ ජැක් එකම විශ්වවිද්‍යාලයේ සේවය කල පර්යේෂකයින් වූ අතර ඔවුන් ගේ විශ්ව විද්‍යාලය පිහිටියේ කඳුකර ටවුමට පහලින් වූ නිම්න නගරයේය. කුඩා කල පටන් එකට හැදුනු වැඩුණු නා සහ බෝ,  ජැක්  සහ බැම්බු සමග මිතුරු වුයේ සිය පර්යේෂණ කටයුතු වලදිය. එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇතත් ඔවුන් සිවු දෙනා තමන්ට පොදු වූ සමහර කරුණු හේතුවෙන් මිතුරන් බවට පත්විය. 

එක නෙවෙයි බෝ ඊයේ කතාවේ ඉතිරි ටික කියන්න මේක හොඳ වෙලාව නේද..? උණුසුම් කෝපි කෝප්පයෙන් මදක් තොල ගාමින් නා ඇසුවේය..

මොකක් ද ඊයේ කතාව ..මස් කෑල්ලක් සමග ඔට්ටු වෙමින් සිටි ජැක් වෙර දරමින් මස් කටුව වෙන් කරන අතරතුර ඇසීය...

මම දන්නෙත් නෑ මොකක් ද ඒ... සාමාන්යෙන් කතා අඩු බැම්බු ද හවුල් විය..

හ්ම්... සුරුට්ටුවෙන් උගුරක් ඇද දුම් වළල්ලක් පිට කල බෝ මදක් වට පිට බැලුවේ පුරුද්දට මෙනි... එහි කිසිම රහසක් නොවුවද ඔහුට යම් සැකයක් අවට පරිසරය පිළිබඳව ඇතිවී තිබිණි...

ඒක එච්චර දෙයක් නෙවෙයි මම පොඩි ටෙස්ට් වගයක් කරනවා. මේ සත්තු එක්ක. 

මිස්ට බෝ කොහොමත් සත්තු එක්ක නේ වැඩ කරන්නේ .. 

ඔව් බැම්බු... හැබැයි මේ සැරේ මේ වැඩේ මම කරන්නේ පොඩ්ඩක් යටින්.. ඒ කිව්වේ මගේ නෝමල් වැඩ වලට අමතරව.. මොකද මේක කෙලින් ම මිනිස්සුන්ට සම්බන්ධ දෙයක්...

මම ඊයේ නා හම්බ වෙච්ච වෙලාවේ පොඩ්ඩක් කතාව කිව්වා හැබැයි හදිසියේම ප්‍රොෆෙසර් බැන්යන් ආපු නිසා අපේ කතාව නතර වුණා. 

කියන දෙයක් දැන් මුල ඉඳන්  ම කිව්වොත් හොඳයි බෝ මහත්මයා... කටකාර ජැක් මස් කැබැල්ල ලිස්සා යාමට පහසු වෙන පරිදි බීර උගුරක් බී කට පිසදා ගත්තේය... ඔහුගේ අත්තක් අසල සිටි බිරියෝසා ගේ කඳේ වැදී ගිය ද ඔහු ඒ ගැන මායිම් නොකළේය... නොරිස්සුමෙන් හැරුණු බිරියෝසා වෙත සමාව ඉල්ලන බැල්ම ක්  හෙළුවේ අනෙක් පස සිටි නා විසිනි.

වැඩි දෙයක් නෙමේ ජැක් මේකයි... මතකද අපි දවසක් කතා වුණා මේ 3න් වෙනි ග්‍රහයා විතරක් මේ විදියට ජිවය සහිත වෙන්න පුළුවන් හේතු ගැන..

ඔව් ඉතින් පිහිටීම නිසා ඇති වෙච්ච දේශගුණික වාසි නිසා තමයි ඕක වෙන්න පුළුවන්..මම එදත් කිව්වේ .. ජැක් පැවසුවේය...අනිත් එක වායු ගෝලයේ සංයුතිය.. අපි වගේ කාබනික ජිවය පවතින්න අයිඩියල් ම විදියට ඒක හැදිලා තියෙනවා. පරිසරය සහ දේශගුණය පිළිබඳව ප්‍රධාන වශයෙන් සිය පර්යේෂණ මෙහෙය වූ ජැක්  සිය ජීවිතය සැහැල්ලුවෙන් ගෙවු විනොදබර චරිතයකි.

ජීවයේ උපත ගැන ඔය එක එක මත තියෙනවනේ. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ... හැමදාම තර්ක විතරයි..

මම කියන්නේ ඒ තර්ක ගැන නෙවෙයි.. දැන් මේ ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ වර්ග 3යි. අපි වතුර අතාරිමුකෝ.. එක ශාඛ, දෙක සතුන්, තුන පාෂාණ.

හෙහ් හෙහ් ගල් ද? ගල් කාරයෝ ගැන මතක් කරන්න එපා.. අන්න ඊයෙත් පල්ලෙහා වලියක් දාගෙන තිබුනා..

දැන් බලන්න මේ ලෝකේ තියෙන සම්පත් නාස්ති වෙලා තියෙන තරම..  අපේ බෝවීම පාලනය කරන්න අපිට හැකියාවක් නෑනේ.. අනිත් එක මම හිතන්නේ නෑ පොලවේ තියෙන සාරය තව වැඩි කාලයක් මේ විදියට තියෙයි කියල...

නමුත් බෝ පොලවේ සාරය කියන එක චක්‍රීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නේ.. ඒක නැති වෙන්න විදියක් නෑ නේද.. කවදත් සාවධානව අසා සිටින නා ඇසුවේය...

ඒක හරි නමුත් දැන් දැන් ඒ චක්‍රය බිඳවැටෙමින් නේ යන්නේ... අපේම වැඩ වලින්..

හරි බෝ ... දැන් තමුසෙගෙ කතාව කියනවකො.. මේ සිස්ටම් එකේ අවුල් විසදන්න පුළුවන් විදියක් තමුසේ හොයා ගත්තද..

පොඩ්ඩක් ඉන්න ජැක් මම මේ ඒක තමයි පැහැදිලි කරගෙන එන්නේ... මම කියන්නේ මේ ග්‍රහයා තුල ජිවය පරිනාමය වීම සිද්ද වෙලා තියෙන්නේ වැරදි විදියට කියල .හේතුව මේකයි අපි මුළු ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරිලා ගිය ජිව කොට්ටාශයක්.. කිසිම පාලනයක් නැතුව ඔහේ ව්‍යාප්ත වෙනවා.. ගණන් කරන්න බැරි තරමක් විවිධ ප්‍රබේධ ... අනිත් එක බහුතරයක් කිසිම ඵල දායි දෙයක් කරන්නේ නෑ.. කිසිම නිෂ්පාදනයක් නෑ.. ඔහේ පොලවේ සාරය උරාගෙන ජිවත් වෙලා මැරිලා යනවා..දැන් ඔය ජැක් කියපු ගල් කාරයෝ.. මෙලෝ වැඩක් තියෙන ජාතියක් ද... ඔහේ එහාට මෙහාට කැරකි කැරකි දකින දකින දේ විනාශ කරලා දාන එක නේ කරන්නේ.. බුද්ධියක් කියල කිසිම දෙයක් උපතින්ම නෑනේ.. ඉතින් මොකක් ද ප්‍රයෝජනේ .. මගේ තර්කය මේකයි අපි වෙනුවට සත්තු පරිණාමය වුණා නම් මේ ලෝකේ මීට වැඩිය සාර්ථක වෙන්න තිබුනා...

ඒකට මට එකඟ වෙන්න බෑ මිස්ටර් බෝ...

මමත් බැම්බුගේ පැත්තේ.. මොකක් ද ඔහේ ගේ පදනම...

මගේ පදනම කියන්න කලින් අපි සාර්ථකයි, අපි යන්නේ විනාශය දෙසට නෙවෙයි කියන්න ඔයාලට තියෙන විශ්වාසය මොකක් ද?

ඒයි පයිනස් තව මොනවා හරි ගේනවා.. අද නම් සෑහෙන්න බොන්න ඕනේ දවසක් වගේ... ජැක් වේටර් වරයාට කෑගැසුවේය....

අපේ පදනම අපි පොළෙවෙන් ම හට ගෙන පොළොවටම පස් වෙලා යන ජීවයක් වීම...ඒ කියන්නේ අපි මේ විශ්වයේ නීතියට අනුව ඉන්න ජාතියක් වීම...  නා කල්පනා කාරී ලෙස පැවසුවේය.. ආ අන්න ඔන්න ඕකයි මමත් කියන්න ගියේ... මේ ටික බීලා ඉවර වෙලා ඕකමයි මමත් කියන්න හැදුවේ...ජැක් සිය අවසන් බීර උගුර හලා ගනිමින් පැවසුවේය...

අනිත් එක බෝ සත්තු කියන්නේ නිෂ්ක්‍රිය ජාතියක් නේ... සත්තු ඔහේ තියෙන ඔක්සිජන් ටික උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කර කර ඉන්නවා... අනිත් එක සත්තුන්ගේ බුද්ධිය අපිට වඩා උසස් කියල කියන්නේ කොහොමද.. ? ආ ආ ඒකනේ...ඔය තියෙන්නේ තර්ක.. ජැක් ඔහු අසල සිටි බැම්බු ට තට්ටුවක් දමමින් පැවසිය..

සත්තු ගැන මම දැන් කාලයක් තිස්සේ පර්යේෂණ කරනවා. සමහර සතුන් ගැන ඔය කියන තර්ක හරි... හැබැයි එකෙන් කියන්නේ නෑ අපි ඒ සත්තුන්ට වඩා දියුණුයි කියන එක.. මම සරල උදාහරණයක් ගන්නම් දැන් බලන්න මේ තානායම කොච්චර ලොකු ද කියන එක.. මේකේ වහලේ අපිට වඩා කොච්චර උසද? අපේ ශරීර ප්‍රමාණ හැටියට අපිට ඕනේ කරන සම්පත් ප්‍රමාණය හරි වැඩියි.. අපි වගේ 10 ගුණයක් නැත්නම් 20 ගුණයක් කුඩා ප්‍රමානෙට හැදිච්ච සතුන්ට අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය මිට වැඩිය කොච්චර අඩු වෙන්න ඕනේ ද? මම හිතන්නේ සත්තුන්ගේ මුලික අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න ඕනේ වෙන්නේ සොබා දහමෙන් ඉතාමත් කුඩා සම්පත් ප්‍රමාණයක් විතරයි..

අනිත් කාරණේ අපි මේ පහුගිය පරිභ්‍රමණ 20000-30000 ඇතුලත ලබාගෙන තියෙන දියුණුව මහ ලොකු එකක් නෙවෙයි.. අපි ප්‍රවාහනයට යොදා ගන්න යන්ත්‍ර කොතරම් විශාල ද? ඒ වෙනුවෙන් වැය වෙන ශක්තිය කොතරම් ද..? හරි විද්‍යාත්මක පැත්තෙන් අපි දියුණුයි.. නමුත් ඒක අපි මේ ලෝකයේ ජිවත් වෙච්ච කාලයට සාපේක්ෂව හරිම අඩු දියුණුවක්.. අපි හරිම ඒකාකාරී රාමුවක් ඇතුලේ ජිවත් වෙන ජිව කොට්ටාශයක් කියල හිතෙන්නේ නැද්ද.. ? එහෙම වෙන්න හේතුව අපේ පද්ධතිය හැදිලා තියෙන්නේ සරල සිද්ධාන්ත වලින් වීම නිසා... නමුත් සත්තුන්ගේ ශරීරය ඊට වඩා සෑහෙන්න සංකීර්ණයි.. විශේෂයෙන් ම මිනිස්සුන් ගේ ශරීරයේ ඉහලින් ම පිහිටලා තියෙන කොටස... මම ඒ ගැන තමයි පරීක්ෂණ කරන්නේ මේ දවස් වල...

මේ වන විට වැස්සක් සහිත තද සුළං හමමින් මද කුනාටු තත්වයක් ඇති වෙමින් තිබිණි. ගෙරවිලි සහිත අකුණු ගැසීම් බොහෝ වුවත් තානායමේ රැඳී සිටියවුන් අතර අවට පරිසරය පිළිබඳව එතරම් අවධානයක් දැක්වූ කිසිවෙක් නොවිය... එබැවින් තානායම ඉහල අහසේ පාවී ගිය ඩ්රෝන යානය ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවිය..

පයිනස් විසින් මිතුරන් සිව් දෙනාට අවශ්‍ය කෑම බිම ආදිය මේසය මතින් තබා පිටව ගියේය..

ඔහේලා දන්නවනේ අපිට සත්තු ගැන පරීක්ෂණ කරන්න දාල තියෙන බාධක ගැන...  ඇයි අපිට මිනිස්සු ගැන පරීක්ෂණ කරන්න එපා කියල තියෙන්නේ... ? දුම් දමමින් තිබුණු කෝපි උගුරක් බිව් බෝ ඇසුවේය...

වෙන මොකක් ද ඉතින් සතුන් සුරැකීම ට නේ... මොකද සතුන් කියන්නේ මේ පරිසරය අලංකාර කරන සීමිත ජීවී විශේෂයක් නිසා ආරක්ශාවටනේ ඔය එපා කියන්නේ.. එසේ පැවසුවේ බැම්බු ය..

හෙහ් හෙහ් අනේ බැම්බු තමුසේ දන්නේ පොතේ තියෙන දේ විතරනේ... අයිසේ ඕකට කියන්නේ ගස් පාලනේ.. ගස් පාලනේ.. පේනවනේ ඉතින් අර වමෙයි දකුනෙයි දෙන්න න්‍යෂ්ටික යුද්ධයක් ඇදගෙන අපිට තියෙන සැබෑ ප්‍රශ්න අමතක කරවන්න හදන අපූරුව... හෙහ් හෙහ් ජැක් පැවසුවේය..

විශේෂයෙන් මිනිසුන් ව පරික්ෂා කිරීම තහනම් කරලා තියෙන්නේ නම් බෝ ඔය කියපු සංකීර්ණ පද්ධතිය නිසා.. මොකද ඒක තේරුම් ගන්න මිනිසුන් විනාශ කරන එක අපරාදයක් විදියට නේ සලකන්නේ.. නා පැහැදිලි කළේය..

හ්ම්.. ඔය සංකීර්ණ පද්ධතිය ඇතුලේ හරිම පුදුමාකාර දේවල් තියෙනවා ..

මම මේ නිකමට අහන්නේ බෝ, දැන් ඔය පරිණාමය මාරු වුණා කියමුකෝ ඒ කියන්නේ අපි වෙනුවට සත්තු පරිණාමය වුණා කියල.. එහෙම උනා නම් අපි කොහොම හිටියි ද? ජැක් උනන්දුවෙන් ඇසුවේය..

මට ඒක හරියටම කියන්න බෑ.. සමහර විට අපි එක තැනක ඉඳන් උසට උසේ හැදිලා.. ඔහේ මැරිලා යයි.. සත්තු සමහර විට අපේ ශරීර වලින් ප්‍රයෝජන ගනියි.. සමහරවිට ඔය තමුසෙගෙ ඇඟ පුරා හැදෙන ගෙඩි එහෙම කයි ද දන්නෙත් නෑ.. හෙහ් හෙහ්...

හ්ම්... ඔව් ඉතින් අපි මේ ඔය ඔහේ හැදෙන සත්තුන් ව කන්නේ.. මස් විදියට... සමහරවිට ඒක අනිත් පැත්තටත් වෙන්න තිබ්බා තමයි..  ජැක් කල්පනාකාරී ලෙස පැවසුවේය..

මිස්ට බෝ , අපිට වැඩිය සත්තුන්ගේ බුද්ධිය වැඩි වුණා නම් මොන මොන පැති වලින් කියල ද හිතන්නේ..  නා ඇසුවේය..

මම දැනට තේරුම් අරන් තියෙන විදියට සතුන් අතරින් මිනිසා තමයි පරිනාමයේ ඉහලටම එන්න ඉඩ තියෙන්නේ.. අනිත් සතුන් සමහරවිට විවිධ පැති වලින් දක්ෂ වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට දිවීම, පැනීම වගේ දේවල් වලින් නමුත් මිනිස්සු සමස්තයක් විදියට හැම පැත්තෙන් ම දියුණු වෙන්න ඉඩ තියෙනවා..

අනිත් එක ආදරය, සෙනෙහස, කරුණාව වගේ දේවල් මිනිස්සු තුල ඉතාමත් ගැඹුරු විදියට පිහිටන්න ඉඩ තියෙනවා... ඒවගේම තරහව වෛරය වගේ දේවලුත් ඒවගේම ගැඹුරු විදියටම තියෙන්න ඉඩ තියෙනවා.. අනිත් එක ඔය උඩින් ම තියෙන කොටසේ සංකීර්ණත්වය නිසා මම හිතන්නේ අපිට වැඩිය බොහොම කලින් ඒ කියන්නේ සත්ව ශිෂ්ටාචාරය දියුණු වෙන්න පටන් අරන් පරිබ්‍රමණ 2000-3000ක් වගේ කාලයකදී අපි දැන් මේ ඉන්න මට්ටමේ ඉඳියි.. මොකද මම දැනට හොයා ගත්ත විදියට ඒකට බොහොම අපුරු විදියට යමක් මතක තියා ගැනීම සහ නැවත ඒ මතකය ලබා ගැනීමේ හැකියාව පිහිටලා තියෙනවා. සමහරවිට නිර්මාණශීලි විදියට හිතන්න පුළුවන් හැකියාව අපිට හිතා ගන්නත් බැරි තරම් වෙන්න පුළුවන්...අනිත් එක මට තාම නොතේරෙන විදියේ පිරිසිදු සිහියක් පවත්වා ගන්න මිනිසුන්ට පුළුවන්.. හැබැයි මම දන්නේ නෑ ඒක කොහොම ද සිද්ද වෙන්නේ කියල..

දැන් බෝ හිතන්නේ මේක මේ විදියට වෙන්න ඇත්තේ මොකක් නිසා කියල ද? බැම්බු ඇසුවේය..

මොකක් මොන විදියට ද? ජැක් මැද්දට පැන්නේය..


ඇයි මේ ලෝකේ පරිණාමය වෙනස් වෙලා තියෙන්නේ.. සත්තු වෙනුවට ශාඛ, ගල් වගේ දේවල් බුද්ධිමත් ව, චලනය වෙන්න පුළුවන් වෙලා තියෙද්දී සත්තු විතරක් ඇයි ඒක තැන පැලවෙන නිෂ්ක්‍රිය ජාතියක් වෙලා තියෙන්නේ..

අවංකවම බැම්බු මට ඒක හිතාගන්න බෑ...  සමහරවිට අපිට නොතේරෙන දේවල් නිසා ඒක එහෙම වෙන්න ඇති..

හැබැයි මම එක දෙයක් හොයා ගත්ත කියල මට හිතෙනවා...

අපි මේ ඔහේ වර්ගයා බෝ කර කර ඉන්න එක කවදාවත් ඉවරයක් වෙන දෙයක් නෙවෙයි.. ඒ කියන්නේ අපිට අවශ්‍යය කරන මුලික අමුද්‍රව්‍ය ටික ලබා ගන්න පුළුවන් තාක්කල් අපි ඔහේ ඇති වෙයි, කාලයක් ඉඳල පුළුවන් තරම් අපේ වර්ගේ අය බෝ කරලා මැරිලා යයි.. ආයෙත් අපි හැදෙයි.. මේක හැමදාම චක්‍රා කාරව සිද්ධ වෙයි කියල හිතිලා නැද්ද..?

හ්ම්... ඕක ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ බෝ... අපි මේ ඔහේ දුවන්නම් වාලේ දුවනවා.. එක්කෝ අපිට හැකියාවක් නෑ ඕක නවත්තන්න.. නැත්නම් අපි ඒක කරන විදිය දන්නේ නෑ... මම ගොඩක් වෙලාවට ඔය ගැන කල්පනා කරනවා.. හැබැයි උත්තරයක් හොයා ගන්න හරි අමාරුයි... නා පැවසුවේය..

තානායමේ එළියෙන් දඩ බඩ හඬින්  නැගෙන ශබ්දය ඔවුනට ඇසුනද ඔවුහු නෑසුකන්ව සිටියෝය..

අවංකවම මට නම් ඔය ගැන ඒ හැටි ප්‍රශ්නයක් නෑ.. මම මේ තියෙන දෙයක් කාල බීලා කාටවත් කරදරයක් නැතිව ඉන්න කොස් ගහනේ... පුළුවන් තරම් කොස් පැල ටිකක් බෝ කරලා ඔහේ මැරිලා යන්නයි මට ඕනේ.. ආයේ හැදෙනවා ද නැද්ද.. ඔව්ව කවුද අයිසේ දන්නේ.. ජැක් සිනාසෙමින් පැවසුවේය..
 
හ්ම්ම්ම් මමත් එච්චරම ඕක ගැන හිතල තිබුනේ නෑ.. අපි ඉතින් කොහොමත් එක පඳුරට හැදිලා ඔහේ හුළඟට වැනි වැනි ඉන්න කැමති ජාතියනේ.. නමුත් මේ කතාව නිසා මට අවංකවම ඒ ගැන හිතල බලන්න හිතෙනවා ඉතින් මිස්ට බෝ මොකක් ද දැන් හොයා ගත්තේ.. බැම්බු ඇසුවේය..
 
ඔය මිනිස්සුන්ගේ  ඉහළ කොටසේ තියෙන සිහියක් ගැන මම කිව්වා නේද.. මට හිතෙනවා අන්න ඒ සිහියේ උපරිම මට්ටමට ළඟා වෙන්න පුළුවන් උනොත් .............................

මිස්ට බෝ..... තානායම කෙළවරින් නැගුනු ගැඹුරු කටහඩ නිසා සියල්ලෝම ඒ දෙස බැලීය..
 
දැවැන්ත දේවදාර නිලධාරියෙක් බෝ දෙසට එමින් සිටියේය.. මිස්ට බෝ... කරුණාකර කට වහන්න.. මම සම්පුර්ණ කතාව අහගෙන හිටියේ.. අර උඩ තියෙන ඩ්රෝන යානයේ සියලුම දේ පටිගත වෙලා තියෙන්නේ.. නීතිවිරෝධී මිනිස් පරීක්ෂණ ගැන ප්‍රචාරය කිරීමේ වරදට අපි ඔබව ගස්තඩන්ගුවට ගන්නවා.. ඔබට පුළුවන් නිස්ශබ්ධව සිටින්න.. ඔබ කියන ඕනෙම දෙයක් ඔබට විරුද්ධව අධිකරණයේ දී යොදා ගන්න ඉඩ තියෙනවා..   
 
ඒ සමගම තානායමට ඇතුළු වුනු කබොක් සහ කළු ගල් පොලිස් නිලධාරින් විසින් ඔවුන් සිටි මේසය වට කර ගත්තෝය...



ප.ලි

විකාරයි වගේ නම් සමාවෙන්න.. ඔළුව කචල් ගියාම ඔහොම තමයි ඉතින්.. හෙහ් හෙහ්

මේ කතාවෙ තියෙන සංකල්පය තියෙන කතාවක් මම 2004- 2005 කාලේදී පරිගණක සඟරාවට ලිව්වා.. ඒක ඒ දවස් වල එකේ පලවෙච්ච කතා අතරින් හොඳ කතාවක් විදියට තේරුනා..නමුත් ඒක මේකට හාත්පසින් ම වෙනස් බොහොම සරල කතාවක්..මේ සත්තු ගස් මාරු වීමේ අදහස විතරයි එකේ තිබුනේ කතාව මේක නෙවෙයි..

ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 10කට විතර පස්සේ මම ලියපු පළවෙනි කතාව මේ.. දෙතුන් පාරක් කියවද්දී මටම නිකන් චාටර් වගේ..

හැමදාම අනිත් අයගේ කතා කියවල රසවිඳින එකේ පුළුවන් විදියට මොකක් හරි ලියන්න ඕනේ කියල හිතල ඔන්න ඔහේ ලියල දැම්මේ .. :)

Thursday, September 17, 2015

සිඳුලෝලී සේලරුවා හෙවත් මොන මගුලේ කතාවක් ද

සාහිත්‍ය මාසේ ඇවිල්ල පොත් ප්‍රදර්ශනෙත් එන හින්ද පොතක් ගැන මොකක් හරි ලියන්න හිතුවා.මේ සැරෙත් ප්‍රදර්ශනේ මිස් වෙනවා හැබැයි හිතට දුක නෑ මොකද අපිව බලා ගන්න වෘක රාළහාමි ඉන්නවනේ. වෘක රාළහාමි මේ අවුරුද්දෙත් එක පාරක් ආවා. මම හිතන්නේ ආයේ එයි. හිතේ දුක යන්නත් එක්ක මැලේසියාවට ඇවිල්ල ගෙවුණු අවුරුදු 2ක ඇතුලත ගත්ත පොත් ටිකේ ෆොටෝ එකක් දාන්නම්කෝ. 





හෙහ් හෙහ් අම්ම ගහයි බැට් එකෙන් නේද? 

ඔය උස ගොඩේ තියෙන ඔක්කොම පොත් මේ පහුගිය අවුරුදු 2කෙ ගත්තුව. මිටි ගොඩේ තියෙන්නේ ලංකාවෙන් ගෙනාපු සිංහල පොත්. තව සිංහල පොත් ටිකක් තිබුනා ඒ ටික අදින්න කම්මැලි නිසා පොටෝ ගත්තේ නෑ.  සිංහල පොත් වලින් නම් එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම ටික කියෙව්වා. දෙවෙනි වර හෝ ඊට වැඩි වාරයක් ආතල් ඒක පිණිස කියවන්න තමයි ගොඩක් ඒවා ලංකාවෙන් අරන් ආවේ. 

උඹ දැන් මේකෙන් කීයක් කියෙව්වද වගේ නොහොබිනා ප්‍රශ්න අහන්න එපා. මේවා මේ අනාගත ඉන්වෙස්ට්මන්ට් විදියට එකතු කරන්නේ. අනාගත ඉන්වෙස්ට්මන්ට් කියන්නේ හදිසියේ කරන්න මෙලෝ වැඩක් නැති වුනොත් කියවන්න තියෙන වත්කම් කියල හිතාගෙන. ඒ කියන්නේ දැන් ඔන්න එකපාරටම කරන්ට් එක නැති වෙලා, ඉනටර්නෙට් නැති වෙලා,  ඔෆිස් නිවාඩු දීලා, එලියට බහින්න බෑ වැස්ස/ ගංවතුර වගේ සිද්දි ගොඩක් වෙලා ගෙදර නන්නත්තාර වෙන්න සිද්ද වුනොත් ඔන්න මේ පොත් ගොඩේ වටිනාකම තේරෙන්න ගන්නවා. 

මම මේ ඊයේ පෙරේදා දවසක් ඔය ගැන කල්පනා කළා. ඒ කියන්නේ ඔය විදියට ගේ ඇතුලට වෙලා ඔහේ කරන්න මෙලෝ වැඩක් නැතුව ඉන්න එක ගැන. මිට අවුරුදු 15-20කට විතර කලින් නම් මගේ දවස් ගොඩක් ගෙවුනේ ඔන්න ඔහොම.  වැස්ස ගංවතුර නැති වුනත් ගෙදර කරන්ට් එක තිබුනත් කරන්න මෙලෝ වැඩක් නැති ළමා කාලයක් තිබුනනේ. ඒ දවස් වල අම්මයි තාත්තයි වැඩට ගිහින් අක්කත් ඔය පන්ති හරි කොහේ හරි ගියාම මට කරන්න මෙලෝ වැඩක් නැති වෙනවා. යාලුවෝ හිටියොත් හරි සමහර වෙලාවට උනුත් ඔය එහාට මෙහාට වෙලා මොකෙක්වත් නැති දවස්. ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ඉස්කෝලේ නොගිහින් ඉන්න දවස් වලට. ටීවී එකෙත් බලන්න කියල ඒ හැටි දෙයක් නෑ. ඉන්ටර්නෙට් හෝ කොම්පියුටර් කියන්නේ තනිකරම අදාල නැති දන්නෙවත් නැති දේවල්. එතකොට ගෙදර ඉතිරි වෙන්නේ ඔය ගෙනාපු පොත් පත්තර තමයි. ඒ දවස් වල එක්කෝ පොතක් කියවනවා. නැත්නම් චිත්‍රයක් අඳිනවා. එහෙමත් නැත්නම් ඔය සර්කිට් කෑල්ලක් අටවනවා. ඔය ටික තමයි දවස ගෙවා ගන්න උපකාරී වුනේ. හොඳ පොතක් අතට අහු වුනාම කන්න බොන්න ඕනෙත් නැතුව නිකන් ම දවස ගෙවිලා යනවා. අන්න එහෙම කාලයක් බැරිවෙලාවත් ආයේ ආවොත් කියවන්න තමයි මම ඔය පොත් එකතු කරන්නේ.. හෙහ් හෙහ් 

හරි දැන් ඔහොම කියපු පොත් හැට හුටහමාරක් අතරෙන් මෙච්චර කාලෙකට කියවපු මෙලෝ රහක් නැති පොත ගැන මොකක් හරි කොටන්න හිතුනා. මොකද ඉතින් නොකා නොබී කියවන පොත් වගේම මොන මගුලට කියෙව්වද කියල හිතෙන පොතුත් තියෙනවනේ.

වැඩි විස්තර ඕනේ නෑ. මිට අවුරුදු 3,4,5,6 කට කලින් ඔය පොත් ප්‍රදර්ශනෙන් ම අරගෙන මෙච්චර කාලයක් තිස්සේ පොත් ගොඩේ එහෙ මෙහෙ වේවි, අන්තිමට මැලේසියාවටත් ආපු මෙන්න මේ පොත දැන් සති 2-3කට කලින් මම කියවල ඉවර කළා. ඉවර වෙච්ච ගමන් මට හිතුනේ මොකක් ද දන්නවා ද  

"මොන මගුලේ කතාවක් ද මේ.. "

හරි මේ තියෙන්නේ පින්තුරේ. 


පින්තුරේ දැක්කම හිතෙන්නේ පොඩි 18+ හැඟීමක් නේද

ඔබ හරි.  මේ කවරයේ කතාව කියෙව්වම ඒක මහ අප්සට් 18+ කතාවක් ද කියල හැදිච්ච වැදගත් අයට හිතෙයි. 

මේ තියෙන්නේ කතාව කෙටියෙන්.

හරි දැන් මේක මුල් පිටු ටික කියවද්දී පොඩි මෙව්වා එකක් තියෙනවා. පොඩි අප්සට් ගතියක් දැනෙනවා. මොනවා උනත් අපි හැදිච්ච ළමයි නිසා. 

ටික වෙලාවක් යද්දී ඉතින් තව පොඩි විකාර කැල්ලක් තියෙනවා ඊට පස්සේ ඉතින් ඔය සාමාන්‍ය කතාවක් බවට පත්වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් නැති නිකන්ම නිකන් කතාවක් නිසා. කොහොම හරි අන්තිම පිටු ටික කියවල අවසාන පිටුවේ අන්තිම ටික කියවල ඉවර වෙද්දීම හිතෙනවා

"මොන මගුලේ කතාවක් ද මේ.. " කියල

මේ පොත කියවල තියෙන මිට වඩා වෙනස් හැඟීමක් දැනිච්ච අය ඉන්නවා ඇති. මේක සැහෙන්න හොඳ පොතක් විදියට තමයි කර්තෘ සටහන එහෙම තියෙන්නේ. එක්කෝ මගේ රස නහර මේ මැලේ කෑම වල තියෙන මෙලෝ රහක් නැති ගතියට හුරු වෙලා මට මේ පොතේ තියෙන නියම අදහස තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් අනේ මන්ද කොහොම හිතුවත් මට හිතෙන්නේ "මොන මගුලේ කතාවක් ද " කියල