Saturday, June 12, 2021

සෙල්ලම් කාලේ - 1


     අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් එකක් විතර ඇතුලේ... ගෙදරට යන්න පැති දෙකකින් පාරවල් දෙකක් තිබුන. එයින් කෙටි පාර තමා ඔය කිලෝමිටරේ . අනිත් පැත්ත මං හිතන්නේ කොහොමත් කිලෝමීටර් 2-3ක් වත් දුර ඇති.  කෙටි පාරෙන් ආවොත් එක කන්දයි, දුර පාරෙන් ආවොත් කඳු දෙකයි.      

මම අර බයිසිකල් මතක පොස්ට් එකේ ටිකක් ලිව්වනේ අපේ ගෙවල් පළාතේ විස්තර. දැන් මේ ගෙයක් අස්සට කොටු වෙලා ඉන්නකොට තමා හිතුනු වෙලාවක හිතුනු  තැනක දුවල එන්න  තිබ්බ ඒ නිදහස මතක් වෙන්නේ.  මම පොඩිම කාලේ අපේ ගේ මැටි ගඩොල් වලින් හදල තිබුනට මට යමක් තේරෙන වයස වෙද්දී ඒක කපරාරු කරපු කාමර දෙකයි සාලෙයි කුස්සියයි තිබ්බ තරමක් ලොකු ගෙයක්. උළු හෙවිලි කරලා තිබුනේ. 

මේ තියෙන්නේ 2017 දී ඒ ගෙදර. ඒ වෙද්දී පාලුවට ගිහින් තිබුනේ  
   

මට අවුරුදු 13-14ක් වෙනකම් හිටියේ මේ ගෙදර. ඊට පස්සේ තමා ඔය පහලින් පේන අනිත් ගෙදර හැදුවේ. ඊට කලින් ඒ පැත්ත තනි කැලේ සහ හෙන පල්ලම.  ඔය දර ගොඩක් දාල තියෙන  හරියේ තිබ්බ ලොකු පේර ගස් දෙකක්, අක්කයි මායි ඒ ගස් දෙක බෙදාගෙන හිටියේ...  ඔය එක ගහක  හරහට ගිය  අත්තක කකුල් දෙකෙන් එල්ලිලා පේර කන එක ඉස්සර තිබ්බ ආසම වැඩක්. ඔලුවෙන් හිටගෙන තමා පේර කන්නේ හෙහ් හෙහ්...

ඒ දවස් වල මට අවුරුදු 7-8 ක් ඇති.  අක්කා මට වඩා අවුරුදු 7ක් වැඩිමල් හින්ද මාත් එක්ක සෙල්ලම් කරන්න එච්චර සෙට් වුනේ නැහැ... වැඩිම උනොත් හැංගිමුත්තමක්, බට්ටෝ පැනිල්ලක් තමා. යාලුවොත් එක්ක සෙල්ලම් නොකරන වෙලාවට ගේ ඇතුලේ තනියම සෙල්ලම් කිරීම තමා ඉතින් . ඔය  කාලේ අපේ ගෙදර පරණ බඩු තිබුනා. ඒ කිව්වේ තාත්තගේ ගමේ ඉඳල  එනකොට ගෙනාපු දේවල් ඒවායින් මතක් වෙන කිහිපයක් තමා අමුතු හැඩයේ පෝසිලෙන් බඩු, ඒ කියන්නේ ටී සෙට් තව සත්තු වගේ දේවල් , ඊළඟට ෆොටෝ  නෙගටිව්, තව බණ්ඩාරනායක මැතිනිගේ/ මහත්තයාගේ  සහ තව එක එක අයගේ ෆොටෝ,  එක එක පොස්ට් කාඩ්,  අර හුරනකොට කීන් ගාල සද්ද එන පොඩි ත්‍රිමාන ගතියක් තිබ්බ කාඩ් ,  පරණ ආයුධ , ඒ කිව්වේ ඔය ට්‍රැක්ටර් එකකින් ගලවපු කෑල්ලක් දෙකක් ,  තව රතුපාට පතුරොම් කොපු  කිහිපයක්, මලකඩ කාපු  කඩුවක් ,  තව  ඉතින් ඔය එක එක ජාතියේ පරණ ලි බඩු එහෙම. ඊට පස්සේ අපේ අම්මගේ පරණ පත්තර මට මතක තියෙන්නේ කුමරි කියල එකක්, එක එක පොත් සහ ඉංග්‍රීසි මැගසින්.. ඉතින් මම තනියම ගෙදර ඉන්න වෙලාවට කරන  ප්‍රියතම වැඩක් තමා ඔය ලට්ට ලොට්ට ඇදගෙන බලන එක.  අර නෙගටිව් වලට ටෝච් එක ගගහ බලන එක. ඊට පස්සේ පත්තර වල තියෙන ඇඳුම් මෝස්‌තර මහන සත්තු, මල් වගේ ඒවා බලාගෙන අඳින එක.. 

මොකද ඒ කාලේ සෙල්ලම් බඩු කියන්නේ හෙනම ලක්සිරි බඩු හින්ද මට තිබ්බේ වයින් කලාම  පී-පෝ පී-පෝ ගාගෙන යන පොලිස් කාර් එකකුයි තව බැටරි වලින් දුවන ඉබ්බෝ පෙලියකුයි විතරයි. ඒ ඉබ්බෝ ටික නම් මම කසාද බඳිනකම්ම තිබ්බ ද කොහෙද .. හෙහ් හෙහ් .. බැටරි කියන්නෙත් හෙන ලක්සිරි බඩු හින්ද ඉබ්බා වැඩි හරියක් කැබිනට් එකක් අස්සේ තමා හිටියේ.. ආ තව අර නුලක් පස්සට ඇදල අත්හැරියම කඩාගෙන දුවන රතු පාට කාර් එකකුත් තිබ්බා.. මට හොඳට මතකයි ඔය ගෙදර එළියේ තියෙන රතුපාට පේමන්ට් එකට ඇවිල්ල ගෙදර කවුරුත් නැති වෙලාවක ඒකට මිටියකින් ගහල කඩපු හැටි...  එහෙම තමා කාර් එක වැඩ කරන්නේ කොහොමද කියල දැන ගන්න තිබ්බ ආසාව ඉස්ට සිද්ද කර ගත්තේ..

මම පොඩි කාලේ අපේ අම්මා වැඩට ගියා. තාත්තා, තාත්තගේ යාලුවෝ කීප දෙනෙක් එක්ක ගිහින් ඔය මේසන් වැඩ එහෙම කළා. ඉතින් තාත්ත වැඩි පුර ගෙදර හිටියා. අම්මට වඩා තාත්තා එක්ක අපි සමීපව හිටියා.  ඉස්කෝලේ තිබ්බේ අර දුර පාරෙන් යන පැත්තේ. ඉතින් එක්කෝ උදේට තාත්තා බයිසිකල් එකෙන් ඉස්කෝලෙට ගිහින් දානවා අක්කවයි මාවයි... නැත්නම් පයින් යනවා.  හවසට නම් කොහොමත් පයින් තමා.. 

තාත්ත ඉන්න දවසක් නම් තාත්ත එනවා ඉස්කෝලේ ලඟට එක්කන් යන්න. ඒ දවස් වල අපේ තාත්ත හෙන හැන්ඩ්සම්. සුදු, උස , ක්‍රේල් කොණ්ඩයක් තිබුනේ... අක්කගේ ඉස්කෝලේ යාලුවෝ ඒ දවස් වල තාත්තට ඉව්වේ මයිකල් නයිට් කියල .. අර නයිට්‍රයිඩර් එකේ නළුවා වගේ තමා කොන්ඩේ තිබුනේ .   තාත්ත ළමයි එක්ක හරි එකතුයි ..මගදී හම්බ උනොත් අහල පහල ගෙදරක අපේ යාලුවෙක් උනත් බයිසිකල් එකේ දාගෙන එක්කන් එනවා.. 

ඉස්කෝලේ ගිහින් ඇවිල්ල හවස් වරුවේ ඉතින් තනි සෙල්ලම තමා.  යාලුවොත් එක්ක කරපු සෙල්ලම් ගැන ලියන්න මහා ගොඩක් ජාති තියෙනවා ඒවා තව කොටසකින් ලියනනම්...  වැස්ස නිසා එලියට බහින්න බැරි දවස් නැත්නම් හවස් වෙලාවට ඉතින් මගේ ලොකුම වැඩේ චිත්‍ර අඳින එක තමා.  ඊට අමතරව, බින්කුන්ඩෝ හාරන එක , ටික්කො පනින එක , ඊට පස්සේ ගේ වටේ තිබ්බ ගස් වල කොළ කඩල එක කොටලා එක එක බීම  ජාති හදන සහ තව රටේ නැති නොයෙක් විකාර කළා. ඔය වැස්ස වෙලාවට අපේ ගෙදර ඇතුලට වහලෙන් වතුර වැටුණා. ඒ වැටෙන වතුර බිම දිගේ ඇඟිල්ලෙන් අඳින වාරි මාර්ග ක්‍රම ඔස්සේ ගේ පුරා අරන් යන එකත් හරි ජොලි වැඩක්.

මට ඒ දවස් වල පොඩි බයිසිකලයක් පදින්න හෙන ආසාවක් තිබ්බ හැබැයි ඉතින් බයිසිකලයක් හම්බ වුනේ නැහැ. අඩුම තරමේ කරත්තයක්වත් තිබ්බේ නැහැ.  මට මතකයි මම ගෙදර තිබ්බ පොඩි ලි බංකුවක කකුල් වලට කෙහෙල් ලෙලි තියෙන ගේ පුරා තල්ලු කරපු හැටි... අම්ම බැන්න කියල ආතල් ගන්න එක නතර කරන්න බැහැනේ.. හෙහ් හෙහ් ..     

තව ඉතින් කඩදාසි ඔරු සෑදීමත් , ඊට අමතරව හපුතලේ ලොකු අයිය කියල දුන්න ඔරිගාමි බඩු හදන එකත් හෙනම ආතල් වැඩ. යාලුවෙකුගේ ගෙදරට යන්න හරි යාලුවෝ අපේ ගෙදර ආවොත් හරි ගෑනු පිරිමි මල් පළතුරු දාන එකත් අපේ ප්‍රියතම වැඩක් වුනා ඒ දවස් වල , තව ඉතින් පංච දාන එක , දාම් ඇදිල්ල , කැරම් තිබ්බා කවුරු හරි සෙට් වෙච්ච ගමන්. 

ඔය කාලේ අපි සුගත්ලගේ ගෙදර ගිහින් චිත්‍රකතා පත්තර බැලුවා. ඒ වයේ හිටපු වීරයෝ අඳින එක තවත් මම ආසම වැඩක්.  සුගත් ගාව තිබුනා ඔය සෙන්රෝ හරි මොකක් හරි නමක් තියෙන වීරයෙක් ගැන ගිය කතාව එකතු කරලා හදපු ලොකු පොතක්. ඒක තමා අපේ ෆැන්ටසි වීර කතාව.  ඒ වගේ අමුඩ ගහ ගත්තු වීරයෝ අඳින්න ඇති එපා වෙනකම්... ඒ කාලේ ගෑනු රූපෙට ඒ හැටි හිත ගියේ නැහැ.. අපි මල් වගේ හැදුනු ළමයි..       

මම පහ වසරේ සිස්සත්තේ කරන කාලේ ඉස්කෝලේ ටීච කරපු පන්තියකට ගියා .. ඊට අමතරව බෝගහමුල පන්සලේ තිබ්බ ඉංග්‍රීසි පන්තියකට ගියා ... ඒ දෙකම ඉතින් ඔන්න ඔහේ ආවට ගියාට තමා කලේ ..සිස්සත්තේ පන්ති කට් කරලා ඇවිල්ල ගෙදරින් බැනුම් අහපු දවසුත් තිබ්බා ..  මල වදේ කියන්නේ එහෙම පන්ති කට් කරලා  ගෙදර ආවම අක්ක උගන්නන්න ගත්තා .. ඒක නම් එපාම කරපු වැඩක් ...  කොහොම උනත් මං සිස්සත්තේ පාස් වුණා.

ඔය සිස්සත්ත කාලේ තමා මට ගෑනුළමයෙක් ගැන පොඩි මෙව්වා එකක් දැනෙන්න පටන් ගත්තේ මුලින්ම.. ඒක හරි සෝක් හැඟීමක්... ඒ ළමයට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්, මටත් පුළුවන් ඒක තමා අපි දෙන්නගේ තිබ්බ ගැලපීම ... හෙහ් හෙහ් .. එකත් වෙනම ලියන්න පුළුවන් කතාවක් ..හෙහ් හෙහ්    

ඒ දවස් වල තව කරපු ආසම සෙල්ලමක් තමා දුනු ඊතල අරං රොබින් හුඩ් දැමීම, ඊට අමතරව ටාසන් , ටුවර් ඔෆ් ඩියුටි කියන්නේ අපි කරපු තව සෙල්ලමක් ... ටුවර් ඔෆ් ඩියුටි  එකේ තිබ්බ බෝම්බ ගැහිල්ලට හරි යන්න අපි  කලේ පස් කුට්ටි වලින් දමලා ගහන එක එහෙම මම ගහපු පාරකින් අල්ලපු ගෙදර සුදුවගේ ඔලුව පැලුනට පස්සේ ද කොහෙද ඒක නතර වුණේ... මේවා එක්ක තව ආතල් සිද්දි තියෙනවා ඒවා ටික පස්සේ ලියන්නම්කො 

යාලුවෝ එක්ක නම් එපා වෙනකම් සෙල්ලම් කරන්න ඇති .  

යාලුවෝ කවුරුත් නැති වෙලාවට කඩදාසි ඊතල රබර් පටි වල අමුණලා යවන එකත් හෙන ආසාවෙන් කළා ..ආ  තව එතකොට රබර් ගෙඩි වලින් කරත්ත හදපු එකත් හෙනම ආස වැඩක් .. රබර් ගෙඩි එක්කෝ කොටස් 4 ට හෝ 3 ට බෙදිලා හැදෙනවා.. ජයසිංහ අංකල්ලාගේ  ගෙවල් පිටි පස්සේ තිබ්බ රබර් වත්තේ ඒ දවස් වල ඕනේ තරම් රබර් ගෙඩි ... ඔය ගෙඩි දෙකක් අරන් මැද්දට කොටුවක් ගහල , තව කරුවක් තියෙන කොටුවකින් තල්ලු කරන එක තමා රබර් කරත්තේ...


මේ තියෙන්නේ රබර් ගෙඩි 

රබර් ඇට බිම අතුල්ලලා රත් කරලා කාගේ හරි ඇඟේ තියෙන එක,  නැත්නම් ඉඳගන්න පුටුවේ කකුල් වලට රබර් ඇට තියෙන එකෙත් තිබ්බේ පුදුම ආතල් එකක් නේ... දැන් මේ ආතල් ගන්න ලක්ස ගණන් සල්ලි වියදම් කලාට   

මිට අමතරව ඒ දවස් වල හපුතලෙන් ගෙනාපු පයිනස් මල්, ටුන මල්  සහ ඉත්තෑ කූරූ කියන්නේ අපේ ගමේ යාළුවන්ට නොතිබ්බ මට විතරක් තිබ්බ ලක්සිරි බඩු ...   

ඔය දවස් වල යුද්ධේ ගොඩක් දරුණුවට තිබ්බා .. අපිට යුද්ධේ නැති රටක් කියන්නේ හීනයක් විතරයි ඒ දවස් වල .. මට මතකයි මම පත්තරේ තිබ්බ ආමි සෙබලෙකුගේ ෆොටෝ එකක් බලාගෙන ඇන්ද චිත්‍රයක් ..චිත්‍ර ගැන හිතන හැම වෙලේම මට ඒක මතක් වෙනවා. 88-89 භීෂණ කාලේ එද්දී මට අවුරුදු 7-8ක් ඒ ගැන වැඩි මතකයක් නැතත් ඒ දවස් වල  තාත්තාගේ දේශපාලන වැඩ ඔක්කොම නතර වුනා.  අපේ තාත්තට ගොඩාක් දේශපාලන සම්බන්ධකම් තිබ්බා .. දේශපාලන රැස්වීම වල නැතිවම බැරි කතිකයෙක් අපේ තාත්තා .. නමුත් මේ දවස් වල අම්ම රණ්ඩු වෙලාම තාත්තා ඒවා ඔක්කොම නතර කළා ..ඊට පස්සේ ගෙදර තිබ්බ මැතිනිගේ සහ බණ්ඩාරනායක මහත්තයාගේ ෆොටෝ , තව තාත්තා ඔය එක එක රැස්වීම වල ගත්ත ෆොටෝ , තව පොත් සඟරා එහෙම ඔක්කොම අල්ලපු වත්තේ තිබ්බ පාලු ලිඳකට දාපු හැටි මට මතකයි .. 

භීෂණ බිය මට නොදැනුනාට අපේ ගෙවල් කිට්ටුවෙන් ගලාගෙන ගිය කැළණි ගගේ පාවෙච්ච මිනී ගැන , හන්දිවල ටයර් දාපු මිනි ගැන අම්මල, තාත්තල කතාවෙන දේවල් ඇහිලා බය වෙලා හිටියා .  ඒ දවස් වල තරුණ වයසේ හිටපු අක්කා හින්ද අම්මයි තාත්තයි හොඳටම බය වෙලා හිටියේ ... එක දවසක් JVP එකෙන් ළමයි අල්ලන්න එනවා කියල ආපු ආරංචියකට අක්කයි, තව අක්කගේ වයසේ යාලුවෝ දෙන්නෙකුයි තව මට වඩා අවුරුදු 4-5 වැඩි මල් අක්කගේ යාලුවාගේ මල්ලියි, සුදුලාගේ ගෙදර වතුර ටැංකිය හිස් කරලා එකේ බස්සල තිබ්බා.  JVP කියන්නේ ඉතින් අපේ පවුල් වල පාරම්පරික හතුරෝ තමා ..  88-89 වගේ කාලයක් නොතිබුනා නම් JVP ගැන මිට වඩා සුබවාදී හැඟීමක් අපේ පරම්පරාවත් ඊට පෙර පරම්පරා වලටත් තියෙන්න ඉඩ තිබුණා.

අම්මා වැඩ කලේ කොළඹ කච්චේරියේ හින්දා චන්ද කාලෙට අපිට හෙන වාසියි ... බීම කේස් පිටින් හම්බ වෙනවා... බත් මුල් , තව බනිස් වර්ග , එක්කන් යන්න එන වාහන , ඒ වයේ එන අම්මගේ යාලුවෝ එහෙම හරි හිතවත් වුණා. මම මුලින්ම කොත්තු රොටි කෑවේ එහෙම ආපු අංකල් කෙනෙක් දීලා...

 ඒ දවස් වල බිම කේස් පිටින් අපි යාලුවන්ගේ ගෙවල් වලට බෙදුවා...ඉතින්  චන්දෙ කියන්නේ අපේ ගෙවල් අහල පහල හැමෝටම ආතල් කාලයක් තමා හෙහ් හෙහ්   මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ෆැන්ට, කොකාකෝලා, ස්ප්‍රයිට් තුනම එකට දාල හැදෙන බිම තමා බොන්නේ හෙහ් හෙහ්   

ඊට පස්සේ ඉතින් චන්දෙ අහන දාට එලි වෙනකම් කාඩ් ගැහිලි, අවුරුදු 10-12 වෙද්දී අපි ඕමි, 304 කාපර්ල වෙලා හිටියේ.. 

තාත්ත මැයි පෙළපාලි වලට වරද්දන්නෙ නැතිව ගියා... ඒ ගිහිල්ලා ආවම දවස් 2-3ක් යනකම් තාත්තට කතා කරන්න බැරි තරමට උගුර බැරැන්ඩි වෙනවා.. මට  ඒ කාලේ ඒවා  හෙන වීරක්‍රියා විදියට තමා හිතුනේ. 

ඔය දවස් වල තාත්ත නිතර අසනීප වුණා, තොවිල් එහෙමත් නැටුවා අපේ ගෙදර, ඒ තොවිල් නටද්දී පාන්දර  වත්තේ කොනට වෙන්ඩ තිබ්බ කොස්ගහක අත්තක් කඩාගෙන යාකා දුවපු සීන් එක මතක් වුනේ ඩ්‍රකියගේ කතාව කියවද්දී... හෙහ් හෙහ් ... ඒ දවස් වල අපේ ගමේ හිටියා  ඊටින් මාමා කියල කට්ටඩියෙක්... ඒ මාමා තමා තොවිලේ කලේ... ඒ හැමදේම පොඩි කාලේ ජිවිතේ හරිම ලස්සන කළා කියල දැන් හිතෙනවා.

ඔය තොවිල් වැඩ හින්දා , ගොක්කොල වලින් එක එක ජාති ගොතන්න , ඊට පස්සේ දුම්මල ගහල ගිනි අවුලන වැඩ එහෙම අපි කළා .. හරි ආතල් ඒවා .. ගමේම අය එකතු වෙලා ඒවගේ වැඩ කරද්දී  දැනෙන හැඟීම හරිම වැදගත්. කොච්චර දුප්පත්, අසරණ ජිවිත ගෙව්වත්  ඒ දවස් වල මිනිස්සු හැමෝටම උදව් පදව් කළා, හැමෝම එක පවුලක් වගේ එකට හිටියා.. ගහ බැන ගැනිලි , වලි නොතිබුනා නෙමෙයි හැබැයි අහිංසක ලෙන්ගතු කමක් ඒ දවස් වල මිනිස්සුන්ගේ හිත් වල තිබුණා කියල මට හිතෙනවා. අපිට කවදාවත් තරඟයක් තිබුනේ නැහැ.

මට වයස 11-12 කාලේදී මෙනින්ජයිටිස් හැදුනා. ඔය ගෙදර ඉන්නකොට.. අපේ තාත්තගේ තිබ්බ හැකියාවත් කඩිසර කමත් හින්දා හරි වෙලාවට මාව ඇම්බියුලන්ස් එකක පවා දාගෙන අරං ගිහින් තමා බේරගෙන තියෙන්නේ..   ඇම්බියුලන්ස් එක පාරේ පේව්මන්ට් එකෙන් පවා එලොගෙන ගිහින් තියෙනවා. ඒ තරමට අමාරු වෙලා. ආමර්විදියේ තිබ්බ සුලෙයිමන් ඉස්පිරිතාලෙ ඩොක්ටර් කෙනෙක් තමා බෙහෙත් කලේ , පස්සේ ළමා රෝහලේ නතර වෙලා හිටියා සති දෙකක් විතර.. අත්දෙකටම කටු ගගහා ඉන්ජෙක්සන් ගහපු හැටි,  නර්ස් ඇන්ටිල, ඊට පස්සේ බලන්න ආපු අම්මගේ යාලුවෝ ගෙනාපු කෑම එහෙම දැනුත් මතක් වෙනවා වගේ හෙහ් හෙහ් ..

ඔය ලෙඩේ හැදිලා ටික කාලයක් යනකම් මම හෙනට දුර්වල වෙලා හිටියේ... අදටත් මගේ අත්  දෙක වෙව්ලනවා ඔය පොඩි සියුම් වැඩ කරද්දී .. ඒ දවස් වල ඉස්කෝලේ ගියාම කොල්ලෝ කියන්නේ අඩෝ අත්දෙක පොඩ්ඩක් දික් කරගෙන හිටපන්කෝ කියල .. මොකද එහෙම ඉන්නකොට අත්දෙක හොඳටම වෙව්ලනවා .. උන්ට ඒක ආතල් හෙහ් හෙහ් ...  

ඒ වෙද්දී මම ඉස්කෝලේ ගියේ ගම්පහ...  ඔය දවස් වල තමා මම ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන්න ඉගෙන ගත්තේ...  ඉස්කෝලේ යාලුවෝ එක්ක එකතු වෙලා හැදුවා , ඊට පස්සේ ලොකු අම්මගේ පුතා වෙච්ච චුටි අයියගෙන් අහගෙන හැදුවා ..බුදු රැස් කරකවන එකයි, තිස්ස පස්සේ මුවා එලවන එකයි තමා ඉතින් ලොකුම වැඩේ , පස්සේ එෆ්. එම් මයික් , රේඩියෝ දක්වා ඒක දියුණු උනා .    විජය, විදුසර කියවන්න අරන් තිබ්බ හින්ද කියවීමත් නැගලම ගියා.. ගෙදර තිබ්බ පරණ නවකතා , සඟරා ඔක්කොම කියවන්න ඇති. 

ඒ දවස් වල අම්ම වැඩට යද්දී මම ඔය සර්කිට් බඩු ලිස්ට් එක ලියල දෙනවා. තව මම ඔය දවස් වල එක එක රසායනික ද්‍රව්‍ය එහෙම මිශ්‍ර කර කර හෙන පරීක්ෂණ කරනවා කියල හිතාගෙන එක එක විකාර කළා.. අර හිරි ලඹ සහ හිරි ටැඹ කියල මැග්නීසියම් සල්ෆේට් වලින් ද කොහෙද හදන්නේ .. අන්න ඒවා, තව ඔය ඉස්කෝලේ පොත්වලයි , පත්තර වලයි තියෙන පොඩි පොඩි පරීක්ෂණ කරන එකත් ප්‍රියතම වැඩක්... අම්මයි තාත්තයි ඉතින් පුළුවන් විදියට හැමදේම ගෙනල්ල දුන්නා .

මට චිත්‍ර අඳින්න පුළුවන් කම හින්දා මම මැටි වලින් පිළිම අඹන එකත් කළා.. අපේ ගෙවල් කිට්ටුව බණ්ඩාරවත්ත කියන්නේ කුඹල් කර්මාන්තෙට ප්‍රසිද්ධ පැත්තක් , තාත්තා එහෙන් හොඳට පදම්  කරපු මැටි ගෙනල්ල දුන්න.. මම සෑහෙන්න හොඳ පිළිමයක් හැදුව මතකයක් තියෙනවා මැටි වලින් ...  මේ ලඟදි ඒ මතකේ හින්ද ඔන්ලයින් කඩෙන් පැකට් කරපු  මැටි ටිකක් ගෙනල්ල එකක් අඹන්න හැදුවට හරි ගියේ නැහැ.. දැන් නම් ඒ හැකියාවල් යට ගිහිල්ලද කොහෙද. නැත්නම් මැටි අවුල් ද කොහෙද. 

මේක ලියද්දි මට හිතුනේ පොඩි උන්ට ආතල් ගන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ නේද කියල.. දෙමව්පියෝ දරුවන්ට සියලු සැප දෙන්න කියල ලොවෙත් නැති දේවල් කර කර නානාප්‍රකාර ජාති ගෙනල්ල දුන්නට පොඩි වයසේදී තියෙන ඕනේ දෙකින් සතුටු වෙන්න, ඉන්න ඕනෙම පරිසරෙකට හැඩගැහෙන්න අපිට පුළුවන්... ඒ දේවල් පසු කාලෙකදි ජිවිතේට අපුරු මතක ඉතිරි කරනවා.  ඇත්තටම ප්‍රස්නේ තියෙන්නේ දරුවන්ට නෙමේ දෙමව්පියන්ට !    

සෙල්ලම්  කාලේ  කිව්වම  වයස අවුරුදු 40 වෙනකම් විතර අයිතියි නේ ... ඒ ඔක්කොම සෙල්ලං ලියන්න ගියොත් මේක ඉවර වෙන්නේ නැහැ...  ගමේ යාලුවොත් එක්ක කරපු සෙල්ලම් කාලෙත් එක්ක තව කොටසක් ලියන්නම්. දැනුත් මේ ගෙයක් අස්සට කොටුවෙලා ඉද්දි කරන්න පුළුවන් වැඩ ගැන හිතද්දී  ඒ කාලේ තනියම ඉන්නකොට කරපු දේවල් මතක් කරගන්න ඕනේ නිසා මේක ලියවුනේ..  හෙහ් හෙහ් ..          


43 comments:

  1. සුලේමන් එක 2017 පෙබරවාරි වෙද්දි තිබුණා. 2018 වෙද්දි නැහැ. දැන් එහෙම ඉස්පිරිතාලයක් නැහැ. ඊට ටිකක් මෙහායින් කොටහේන පැත්තට එද්දි වෙන පොඩි හොස්පිට්ල් එකක් තියෙනවා. ඒකේ තියෙන රෙදි වල නම් සුලේමන් කියලා සටහන් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නැහැ ඒක. ආමර් විදිය පැත්තේ ගියේ නැහැ දැන් අවුරුදු 10-12කින් වත් ...

      ඒ දවස් වල තිබ්බ හොඳ ඉස්පිරිතාලයක් නේද ඒක ?

      Delete
    2. ඔව්. වහනකොටත් අවුරුදු 45ක් වගේ කාලයක් තිබිලා තියෙනවා. මං අවුරුදු 2-3 වගේ කාලේ, ඒකේ නතරකරලා පපුවේ සෙම බට දාලා ඉවත් කළා මට යන්තමට මතකයක් තියෙනවා.

      Delete
  2. හිරි ලඹ / හිරි ටැම් කියන්නෙ stalactites / stalagmites ද?
    වවුල්පනේ තියෙන්නෙ.
    මට ඔය දෙකේ නම් වෙනස් කරලා මතක තියාගන්න අපහසු වුනා හුගකාලයක්. පස්සෙ යාලුවෙක් කියල දුන්නා when mites go up the leg, tights come down කියලා. Stalagmites කියන්නෙ යට ඉදන් උඩට හැදෙන ඒවා, stalactites උඩ ඉදන් පහලට හැදෙන ඒවා. (ඒ යාලුවා ජීවත්ව නෑ දැන්. එයා ගැන හුගක් මතක් වුනා)
    මම හිරි ටැම් හා හිරි ලඹ වචන දැනගෙන හිටියෙ නෑ අද වෙනකම්. ඒවා ලේසියි මතක තියාගන්න නේද? ලඹ උඩ ඉදන් පහලට ටැම් පහලින් උඩට, හරිද?

    ReplyDelete
    Replies
    1. හිරි ලඹ / හිරි ටැම් කියන්නෙ stalactites / stalagmites ද? ඔව් මම හිතන්නේ ඉංග්‍රීසි වචන මට හරියට ෂුවර් නැහැ

      මම ඉංග්‍රීසි වචනේ දැනගත්තේ පස්සේ. ඔලුවේ රෙජිස්ටර් වෙලා තිබුණේ සිංහල වචන දෙක ..

      ලඹ උඩ ඉදන් පහලට ටැම් පහලින් උඩට, හරිද? මට මතක විදියට එහෙම තමා . ඔය වචනේ මම හිතන්නේ අපේ ඉස්කෝලේ විද්‍යා සර් උගන්නපු එකක්.

      මට මතක විදියට ඔය ද්‍රවණය නුලකින් පහලට බේරෙන්න දාල තිබ්බම රැයක් එලි වෙනකොට හිරි ලඹ සහ ටැඹ ටිකක් හැදෙනවා බලන්න පුළුවන්..

      මැග්නීසියම් සල්ෆේට් වගේ තමා මතක නමුත් ෂුවර් නැහැ.


      Delete
  3. අර බයිසිකල් කතාව කීප සැරයක් බැලුවා😊. මේකත් ඒ වගේම නියමයි.

    //ඒ ළමයට ලස්සනට.. එකත් වෙනම ලියන්න පුළුවන් කතාවක් //

    ඔය කතාව කලිනුත් අහල තියනවා.ලියන්න කියල ඉල්ලලත් තියනවා. ඒත් එව්වා නිකං චන්ද පොරොන්දු විතරයි😂

    සමහරු අපහාස කලාට, අපේ හුදී ජන චන්දදායකයො ගැන, මගේ යම් පැහැදීමක් තියනවා. සිරිමාවෝ, JVP නාටක වලින් ලැබුණු අත්දැකීම් වලින් පස්සෙ, අද දක්වාම මේ බොරුව ප්‍රතික්ෂේප කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ගූගල් ස්ට්‍රීට් වලින් ස්ක්‍රීන් කැප්චර් කරල හරි, තව ටිකක් ගමේ පිංතූර දාන්නයි තිබුනෙ, කතාව තව ලස්සන වෙන්න.

      Delete
    2. බස්සා, ලියන්න දේවල් නම් මහා ගොඩයි .. හැබැයි ඉතින් ලියන්න හිත හදාගන්න ලේසි නැහැ. වෙලාව කියන්නෙත් එහෙමම තමා.

      [සිරිමාවෝ, JVP නාටක වලින් ලැබුණු අත්දැකීම් වලින් පස්සෙ]

      එහෙමත් නැහැ නේද , මොකද නළුවා මාරු වෙලා ආපු ගමන් අපි රැවටෙන ගතිය තාම තියෙනවා.

      [ගූගල් ස්ට්‍රීට් වලින් ස්ක්‍රීන් කැප්චර් කරල හරි]

      හොඳ අදහසක්. ප්‍රධාන පාරේ නම් යන්න පුළුවන් කම තිබ්බා. මම ලඟදි ගිහින් බැලුවේ නැහැ

      Delete
    3. //සිරිමාවෝ, JVP නාටක වලින් ලැබුණු අත්දැකීම් වලින් පස්සෙ//

      හුටා! කෑල්ලක් හැලිලා. සහෝදරයන්ගෙ බොරුව. බලය ලැබුනා නං, මේකත් උතුරු කොරියාව වගේ වෙන්න ඉඩ තිබුනා.

      Delete
    4. දැන් මට තේරුනේ ඔයාගේ තාත්ත ශ්‍රීලනිප පාක්ෂිකයෙක් වගේ. එයාලටත් DJV එකෙන් ප්‍රශ්න තිබුනද? මම හිතුවේ යුඑන්පි එකට විතරයි කියල. ශි ලංකා එක ජේවීපී එකට් සපෝර්ට් කලානේ

      Delete
  4. පුංචි කාලෙ නියරත් මහ පව්වක්ය
    වෙල අයිනේ දෙපාව වුව නදියක්ය
    බැලූ හැම අතේ තිබ්බේ අසිරියය
    අද ඒවා දකින පින නැතිවී ගොස්ය!

    ReplyDelete
    Replies
    1. වත්ත පහල ඇලේ
      පැනලා නාපු වෙලේ
      සීය ඇවිත් ඇහුව මගෙන්
      මොකද්ද ඒ කලේ

      Delete
    2. වෙල් එළිවල , රබර් වතුවල
      ලඳු කැලැ තුල මඩ වගුරු වල
      විඳි සුවය අද වර්චුඅල්
      අප සිහින මැවූ සුරංගනා ලොව
      අද පොඩ්ඩන්ගේ සැබැවයි !

      Delete
    3. හෙහ්. හෙහ්

      කාලය මැව් වෙනසක අරුමේ....

      Delete
  5. සමආන අත්දැකීම් ඩු වැඩි ව්ශයෙන් මටත් තියේ... මේක කියවන ගමන් මම කල්පනා කළේ, අපේ ළමයි උන්ගෙ දරුවන්ට මුණූපුරන්ට මොනවා කියයිද කියලා...

    * ඒ කාලෙ අපි ගේම් ගැහුවෙ අතින් ඔපරේට් කරපු ස්මාර්ට් ෆෝන්, ටැබ් වලින්. ඒකට දැන් හැදෙන උන්.. ඇඟිල්ලක්වත් හොල්ලනවද ඔක්කොම හිතෙන් තමා කරන්නෙ.. ඉතිං මුන් ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද?
    * ඉස්සර ඉතිං යන යන හැම තැනකම ඔය ෆෝන් එක උස්සන් යනන් එපැයි.. හැක් හැක් හැක්...
    * අපි පොඩි කාලේ කොහෙ හරි යන්න ඕන වුනාම කාර් එකෙන් තමා ගියේ.. ගමනකට ඉතිං සෑහෙන වෙලාවක් යනවා.. තාත්තා ස්ටියරිං වීල් එක කරකව කරකව ඒක එළවගන ගිය එක මතක් වෙද්දි මටනම් දැන් හිනාත් යනවා. ඒ මදිවට ඒකට තෙල් ගහන්නත් ඕනා. පස්සෙ කාලෙනම් සෝලා පවර් ඒවා ආවා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අනාගතේ නම් කොහොම වෙයිද කියල හිතා ගන්නත් බැරි මට්ටමක් නේද දැන් තියෙන්නේ .. අපි කොළඹ ගියා වගේ අභ්‍යවකාශ චාරිකා යයි ... සමහරවිට හඳේ, අඟහරු වල නිවාඩු ගත කරන්නත් පුළුවන් වෙයි ...

      හැබැයි මට හිතෙන්නේ මොන විදියට ඕවා වෙනස් උනත් පොඩි කාලේ ගන්න සතුට නම් එකම වගේ වෙයි කියල..

      Delete
  6. Harima lassana post ekak! Sthuthiyi.

    ReplyDelete
  7. මම ඉතාමත් ආයාසයෙන් ලිවීම පටන් ගත් තැනම නවත්වනවා.ලියන්නවානම් කොයිතරම් දේවල්ද? ඒ තරම්ම සුන්දර ලිපියක්! ඇත්තෙන්ම ඔබව මුණ ගැසී වචනයක් දෙකක් කතා කරණ්නට උපන් දොළදුක සමග නවතින්නම්. ඇත්තටම ඒ පසුකලේ කොයිතරම් ආතල් කාලයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලියනවානම් සෑහෙන දේවල් තියෙනවා තමා. මොකක් දෝ හේතුවක් හින්ද ලිවීමට දැන් ලැබෙන්නේ අඩු සැලකිල්ලක්.. කම්මැලිකමද , වැඩ වැඩි කමද කියල හිතා ගන්න බැහැ..

      හමුවෙන්න බලමු ලංකාවට ආපු වෙලාවක.

      තව ඉස්සරහට හිතෙයි කොරෝනා කාලෙත් කොයිතරම් සුන්දරද කියල හෙහ් හෙහ් ..

      Delete
  8. ඇත්තට යකා යද්දි කොස් අත්තක් කඩාගෙන වැටුණ ද? ඒක තක්කඩියා (නෑ වැරදුනා කට්ටඬියා) සෙට් කරන මොකක් හරි මැජික් වැඩක් වෙන්ඩ බැරිද?

    ReplyDelete
    Replies
    1. කොස් අත්ත කඩා වැටිච්ච එක නම් ඇත්තටම උනා. මට ඒක හොඳටම මතක දෙයක්. කොස් ගහ තිබුනේ වත්තේ කොනකට වෙන්න පාන්දර වගේ අර පුවක් ගස් දෙකක් බැඳලා ඒක මැද්දේ නටන සීන් එකත් තිබ්බා.. මට මතක විදියට එහෙම නටල ඊට පස්සේ කට්ටඩිය දුවනවා .. ඔය දුවගෙන යනකොට වගේ තමා ඒ සීන් එක වුණේ..

      හැබැයි ඉතින් ඊට කලින් කවුරු හරි ගහට නැගල අත්ත කපල තිබ්බද දන්නේ නැහැ.. එච්චර දේවල් හොයන වයසක් නෙමේ නේ. හැමෝම කතා වුනේ ගහේ අත්ත කැඩිච්ච එක. කුකුලගෙන් ලේ ගන්න සීන් එකත් තිබ්බා..

      ඒ දවස් වල මහසෝනා ගහනවා කියන කතාව හරි ප්‍රසිද්ධයි නේ... පිටේ තිබ්බ ඇඟිලි පාරවල් ගානත් කතා වෙනවා..

      දැන් තරම් මින්ස්සු ඕවා විවේචනය කරන්නවත් , හොයන්නවත් ගියේ නැහැනේ... කට්ටඩිය කිව්වා නම් ඒක තමා ඇත්ත..

      මට අසනීප වෙලා ඉද්දි දෙහි කැපුවා, නූල් දැම්ම, සුර දැම්මා, තව කාක නිල කියල මැණිකක් අල්ලපු පෙන්ඩන්ට් එකක් හදල දාගෙන හිටියා. ඒවායින් මොන සෙතක් උනාද නැද්ද දන්නේ නැහැ ඉතින්

      Delete
  9. 88 89 කාලෙ තමා මං ශිෂ්‍යත්වෙ කළේ. 89 දි මං 6 වසරෙ. අපට මාස තුනක විතර දිග නිවාඩුවක් තිබුණා 89 දි. ඔය කාලෙ මට මතකයි හෙණ වටිනා සෝවියට් පොත්, සෝවියට් දේශය සඟරා වගයක් එහෙම අපේ තාත්ත ගිණි තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් තිබ්බ වටිනා දේවල් අර පාළු ලිඳට දැම්ම.. පොත් ගොඩක්, ෆොටෝ එහෙම විසිකරද්දී තාත්තා හෙන අවුලෙන් හිටියේ.. අම්මගේ බය නිසා ඉතින් ඔක්කොම විසි කළා.. ඒ කාලේ ඉතින් ෂුවර් නෑනේ

      මේවා ගැන තව නියම විස්තර ලියන්න තිබුණා තාත්තා හිටියනම් ..

      Delete
    2. හොඳ වෙලාවට ඒ කාලෙ ඩ්‍රැකියගෙ තාත්ත විතරක් හිටියෙ. මූ හිටියනං එහෙම රුසියාවටත් ගිනි තියල තමා නවතින්නෙ. හැක්..

      Delete
    3. මු හිටියනම් හැබැයි ජෙප්පන්ට ගජබින්න කියල හරි බේරෙනවා මරන්න එනකොට ... හෙහ් හෙහ් ..

      Delete
  10. ගම්පහ ඉස්කෝලෙ ගියෙ, ගෙවල් කොහෙද තිබ්බෙ පැත්තා?

    ReplyDelete
    Replies
    1. අපි හිටියේ බියගම බං

      Delete
    2. ඔය බියගම හිටපු උං ඔක්කොම බය වෙලාද හිටියෙ.

      Delete
    3. බියගම කියන නමට හේතුව ඔය රාජසිංහ හරි වෙන කවුරු හරි රජ කෙනෙක් ගේ වලියක මොකක්දෝ සීන් එකක් ලු... මට දැන් හරියට මතක නෑ කතාව

      Delete
  11. //ඊට පස්සේ තමා ඔය පහලින් පේන අනිත් ගෙදර හැදුවේ.// මගේ ඇස් පෙනෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු මං හිතන්නෙ අජිත් අයියට ඇස් කණ්නාඩි දෙකක් ගන්න කාලහෙරි වගේ. හැක්..
      හතළිහ පැනපු මටත් පෙනුන පල්ලෙහායින් තියෙන ගේ.

      Delete
    2. අර වහළක් පේන එකටද මෙයා මේ ගේ කිව්වේ. 'ස' හොඳයි.

      Delete
    3. ඔහොම නොමග යවනවද මිනිසුන්ව , අපි 69 ලක්ශේ කියල හිතුවද

      Delete
    4. අර අච්චර අපුරුවට පේන්න තියෙන ගේ පෙන්නේ නැද්ද අජිත් ? ඔය කන්නාඩි දෙක ගලවල පොඩ්ඩක් බලන්න ..

      Delete
  12. දැන් කාලෙ පොඩි උං ආතල් ගන්නව කියල කරන්නෙ තනිකර බොරුවක්. ඒවට දෙමාපියොත් වගකියන්න ඕන.
    අපේ කාලෙ මේ වගේ නිවාඩු තිබ්බනං ලංකාවක් ඉතුරු වෙන එකක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බන්.... මේ වගේ ගෙවල් වලට වෙන සීන් එකක් ඒ කාලේ උනා නම් සැප කනේ ...

      කරුමේ කියන්නේ මේ කොටු විල්ල තනිකරම වැඩ වලටම හිර වෙන කාලෙකම උනානේ ...

      Delete
  13. බිත්තිය පෙරළිලා ද?

    ReplyDelete
    Replies
    1. පාලොස් වසක් කෙලින් තිබ්බ බිත්ති එහෙම පෙරලෙන්නේ නෑ නයෝ... උඹල ඇවිල්ල මුක්කු ගහල අටවල තියෙනවනේ ..

      Delete
  14. ඕං මාත් ආව. දැං ඉතිං කොහොම හරි මාව ගොඩට ගන්න එකයි ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ආපු ගමන් ම ආයේ ගියේ මොකද ? උඹව ගොඩ ගන්නකං අර අලෙන්ඩි කෙල්ලව එවන්න විදියක් නැද්ද ?

      Delete
    2. එයාව එවන්න මං කැමතියි. ඒත් ඒ කෙල්ල එන්න බෑ කියනවනෙ. මෙහෙ හොඳයි ලු

      Delete
  15. මරු පෝසට් එක...
    පොඩි කාලේ සෙල්ලම් ගැන ඉතින් අපිම පුරාජේරු කිව්වොත් මිසක්.... ඒවා ඒ කාලේ හරිම වීරක්‍රියා... මම හිටියේ අර්ධ නාගරික උනත් ගමක් වගේ. දැන් ඒ ගම නැහැ. ඒ ගමේ චාරිත්‍රයක් තිබ්බා සිංහල අවුරුද්දේ ඉසතෙල් ගාන දවසට කොල්ලෝ ඔක්කොම එකතුවෙලා එක ගෙදරකින් එකා ගානේ පනිට්ටුවකින් නාවනවා. මේ ගෙදරින් වතුර ගෙනියලා අල්ලපු ගෙදර ඉන්න පිරිමින් මිදුලේ හිටවලා නාවනවා. ආයේ අර නාවපු එකා යනවා සෙට් එකත් එක්ක අනිත් එකාව නාවන්න... එකම පවුලයි ගමේ ඒකට අහු නොවුනේ, ඒ ගෙදරම කෙල්ලෝම 5ක්. තාත්තා වයස නිසා බේරිලා! අපේ ගෙදර උන්නා ඒකට බිලිදෙන්න එකෙක්... හැක් හැක් !
    ලියන්න දේවල් එමටයි... හොඳ ආවර්ජනයක්... පැතුම් මේ බිත්තියේ මම හිතුවේ අර රැල්ලට චිත්‍රවත් ඇඳලා කියල... කම්මැලි වෙන්ඩ එපා අනේ.... මේ වගේ වත් ලියමු

    ReplyDelete