Tuesday, November 04, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය

ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ ... හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති . මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා . ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති . ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද දන්නේ කියන එක. 

එක අතකින් දන්න දෙයක් ලියල තිබ්බම කවදාහරි කාටහරි වැදගත් වෙයි නේ කියලත් හිතෙනවා . අනිත් අතින් මේ වගේ ගොඩක් අය  සංවේදී දේවල් ගැන කතා කරන එක ගොඩක් පරිස්සමින් කරන්න ඕනේ කියලත් හිතෙනවා  

කොහොම වුනත් දැන් බොහෝ කාලයක් තිස්සේ ලියම් දෝ නොලියම්දෝ කිය කිය හිතපු දිග කතාවක් මේ ලියන්න හදන්නේ .. සමහරවිට කොටස් කීපයක් ඇදෙයි ...

මේක තනිකරම මගේ අත්දැකීමක් . පහුගිය අවුරුදු 10-12ක් තිස්සේ මම කරපු එක්තරා විදියක රිසර්ච් එකක් එහෙම නැත්නම් යමක් පිළිබඳව සොයා බැලීමක් ගැන මගේ අත්දැකීම් තමයි මේ ලියන්නේ . හැඩ වැඩ කරන්න කිසිම දෙයක් අතින් නොදමා මම අත්විඳපු දේවල් ඒ විදියටම ලියන්නම්. 

අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ මේ දේවල් තම තමන් ගේ දැනුමේ අවබෝධයේ හැටියට කෙනෙක් තේරුම් ගන්න ඕනේ දේවල් මිසක්  මතයක් විදියට කාගේවත් ඔළුවට දාල කෙනෙකුට උගන්නන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ .. 

මගේ අරමුණ මම දැනටත් අත්විඳින, සහ අත්විඳපු දේවල් ලියා තැබීම. මේ සටහනේ ලියවෙන කිසිම දෙකින් කිසිම පුද්ගලයෙකුගේ මතයක් ,දැකුමක් හෝ පුද්ගලයෙක් බලෙන් ප්‍රමෝට් කිරීමක් මට අවශ්‍ය නෑ .. අනිත් එක බුද්ධ ධර්මය ගැන අටුවා ටීකා ලියන්න හෝ ඒ ගැන නව මත ඉදිරිපත් කිරීම නෙවෙයි මේ ලිපියේ අරමුණ . මට ඕනේ මම කරපු සහ මම දැනගත් දේ බෙදා ගැනීමට විතරයි   . නමුත් මෙහි ඇති යම් යම් කාරණා ගැන වැඩිදුර විස්තර ඇත්තටම අවශ්‍ය කෙනෙකුට ලබා දෙන්න පුළුවන් .

මේ කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දේදී . ඒ කියන්නේ මට වයස 20-21 ක් ඇති . ජනවාරි මාසේ අන්තිම හරියේ දවසක අපේ තත්තා සදිසියේම අසනීප වුණා . සාමන්‍ය ලෙඩක් කියල හිතල බෙහෙත් ගත්තත් සති දෙකක් විතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත්ත තාත්ත අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ඒ  අවුරුද්දේ පෙබරවාරි මාසේ 7 වෙනිදා සදහටම අපෙන් සමු අරන් යන්න ගියා . තමන්ගේ මවගේ පියාගේ මරණයේ වේදනවා අත්දැකපු අයට මෙහෙම වුනාම දැනෙන දුක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ ... වයසින් මුහුකුරා ගිහින් ඉන්න තරම අනුව ඒ දුකේ ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා වුනත් කෙනෙකුගේ ලෝකය උඩුයටිකුරු කරන්න ඒ වගේ සිදුවීමක් හොඳටම ප්‍රමාණවත් .

උසස් පෙළ දෙපාරක් කරලා නමුත්  ඉදිරි අනාගතය ගැන පැහැදිලි විශ්වාසයක් නැතුව හිටි මම , අම්මාගේ උනන්දුව නිසා  මාමාගෙන් ණයට ගත්ත සල්ලි වලින් කරන්න පටන් ගත්ත පරිගණක ඩිප්ලෝමාවේ පලවෙනි සෙමෙස්ටර් එකේ අවසාන හරියේ  ඒ වෙනකොට හිටියේ .

ඒ  අතරෙදි ලෝකේ පෙරලුනා වගේ සිද්ද වෙච්ච මේ සිදුවීම  කොහොමත් ලාමක හිතක් තිබ්බ මට දරාගන්නම බැරි වුණා . අපේ පවුලේ කවුරුවත්  සිහිනෙන් වත් බලාපොරොත්තු නොවුන දෙයක් . ඒ වෙනකොට අක්ක කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් හොයන ගමන් හිටියේ . තාත්ත ඉස්පිරිතාලේ ඉන්න අතරෙදි  තමයි අක්ක පරිපාලන විභාගේ පාස් කියල දැන ගත්තේ . නමුත් ජොබ් එකක් තිබුනේ නෑ . අම්ම කරපු ආණ්ඩුවේ රස්සාව විතරයි තිබුනේ .

කොහොම වුනත් අපිට අපේ නෑදෑයෝ සෙට් එකම හිටියා .  කට්ටිය 50-60ක් විතර ඕනේ වෙලාවක ඉන්නවා . නමුත් ඒ හැමෝම අපි වගේ එකම මට්ටමේ . මාමා විතරයි ඉහල මට්ටමක හිටියේ . නමුත් ඒ නෑදෑයෝ ටික තාත්තගේ මරණේ දුක තුනී කරන්න අපිත් එක්ක හිටියා .

තාත්තගේ මරණේ දැන ගත්ත මොහොතේ මම කෑ ගගහ ඇඬුව. ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ගාව උදේ පාන්දර 7.30-8.00 වගේ වෙලාවේ මමයි අම්මයි අක්කයි කෑ  ගගහ අඬපු හැටි මට මැවිලා පේනවා .

මම  අඬන එක නතර වුනේ දවස් 2කට පස්සේ තාත්තගේ මිනිය උස්සගෙන කනත්තට ගිහින් අවසන් කටයුතු කරලා  ආපහු එනකොට . ඒ වෙනකොට තවදුරටත් අඬල වැඩක් නෑ  කියන එක මට දැනුන . මොකද තාත්ත නැති ගෙදර තව කරන්න බොහෝ දේවල් තියෙනවා කියල මට යන්තම් වගේ දැනුනා . 

මමයි අක්කයි දෙන්නම පොඩි කාලේ ඉඳලම තාත්තට ගොඩක් එකතුයි .  තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර . තරුණ කාලේ බොහොම ජයට තාත්තගේ ගම වෙච්ච හපුතලේ දේශපාලනේ කරලා පස්සේ ඒ සියල්ල අතැරලා අම්මගේ ගමට ඇවිල්ල හිටියේ . මම පොඩි කාලේදී තාත්තා කලේ මේසන් වැඩට අත්  උදව් දෙන්න ගිය එක . පස්සේ පස්සේ පොඩියට කොන්ත්‍රාත් වැඩ කළා . අවසාන කාලේදී කොළඹ නිවාස සංවර්ධන අධිකාරියේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩ කළා . නමුත් ඒවා එතරම් සාර්ථක වුනේ නෑ . ඉතින් තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර. අම්ම හැමදාම වැඩට යන නිසා අපි ගොඩක් කිට්ටු උනේ තාත්තට .

ඉතින් තාත්තගේ වියෝව අපිට බොහොම තදින් දැනුනා . 

මගේ කෝස් එකේ වැඩත් එහෙම් පිටින් ම කඩා වැටුන . ඒ කියන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ ගොඩක් සබ්ජෙක්ට් ෆේල් වුණා. මම කොහොමත් ඉස්සර ඉඳලම ඉලක්ක හඹා යන කෙනෙක් නෙවෙයි . ඉතින් අර ෆීනික්ස් කුරුල්ලා වගේ අළු මතින් නැගිටින්න ඕනේ කියල ලොකු ශක්තියක් මට තිබුනේ නෑ ... පටන් ගත්ත කෝස් එක කොහොම හරි ඉවර කරන්න ඕනේ කියන හැඟීම විතරයි තිබුනේ . 

කොහොම හරි තාත්තගේ තුන් මාසේ දානේ දීලා ඉවර වෙලා අපි අක්කගේ වෙඩින්  එක බොහොම සුළුවට ඉවර කළා . ඒ වෙනකොට තාත්තත් දැනුවත් ව සියලු දේ තීන්දු වෙලා තිබුන  නිසා සියලු දෙනාගේම උපදෙස් මත තමයි අක්කගේ වෙඩින්  එක ගත්තේ . ඊට පස්සේ අක්කලත් අපිත් එක්කම ගෙදර නතර වුණා . තාත්තගේ මරණෙන් පස්සේ පොඩි කාලේ ඉඳල ලොකු අම්මලාගේ ගෙදර හැදුන නංගිත් අපේ ගෙදරට ආවා . එයා ඒ දවස් වල උසස් පෙළ කර කර හිටියේ .

ඊට පස්සේ ඉතින් අපේ ජිවිත ඔහේ ගලාගෙන ගියා . ඒ හැටි සාර්ථකව නොවුනත් මම කෝස්  එකේ වැඩ ටික කරගෙන ගියා . නමුත් තාත්ත නැති දුක අපේ ජිවිත අඳුරු වලාවක් වගේ වහගෙන හිටියේ .

ගොඩක් වෙලාවට ඇස්වල කඳුළු පුරෝගෙන බලාගත්තු අත බලාගෙන ඉන්න එක තමයි කලේ .. මග යන එක බස් වලදීත් , ඉගෙන ගන්න ලෙක්චර්ස් අතරේදීත් ඕනේ තරම් අඬල  ඇති . 

දුක තුනී කරගන්න පන්සල් යන එක කලාට මගේ හිතට පන්සලෙන් සැනසීමක් ඒ හැටි දැනුනේ නෑ .පන්සලේ තියෙන වට පිටාව නිසා සැහැල්ලුවක් දැනුනට ඇත්තටම හිතට දැනුන දුක අඩුවීමක පන්සල් ගියාට වත් බණ ඇහුවටවත් සිදු වුණේ  නෑ .. වෙච්ච එකම දේ පොඩි වෙලාවකට අවධානය බිඳිලා තාවකාලික සැහැල්ලුවක් දැනෙන එක විතරයි .

අපේ ගෙදර කොහොමත් ලොකුවට පන්සල බදාගත්ත , ආගම දහම ඔළුවට ගත්ත තැනක් නෙවෙයි . එහෙම පන්සල් වලට කරන්නවත්, අපිට මෙලොව පරලොව සඳහා පින් කරන්නවටවත් වඩා අපේ අම්මටයි තාත්තටයි එදිනෙදා ජිවත් වීමට ලොකු සටනක් කරන්න වෙලා තිබුණ . ඉතින් පන්සල කියන්නේ තවත් එක තැනක් විතරයි .

නමුත් තාත්ත හැමපෝයටම පන්සල් ගිහින් සිල් ගන්න අයට දානේ බෙදල, ඒවා ගානට සංවිධානය කරලා, පන්සලේ තියෙන වැඩ වලට උදව් පදව්  කරලා , ඔය ගමේ කාගේ කාගේත් වැඩවලටත් ඒ විදියට උදව් පදව් කරලා කාත් එක්කත් එක වගේ හොඳින් හිටපු  හවසට හීනියට පොඩ්ඩක් අනුමත වෙලා ගෙදරට වෙලා මැයි පෙළපාලි වල කියන සිංදු  කිය කිය ඉන්න ජාතියේ චරිතයක් .

තාත්ත ගැන වෙනම සටහනක් ලියන්නම්

අම්මත් රස්සාවට යන නිසා කොහොමත් වැඩිය පන්සල එක්ක සම්බන්ද වෙච්ච කෙනෙක් නෙවෙයි . නමුත් දානේ ටිකක් හදල යවන එක , ඔය බෝධි පුජාවකට යන එක එහෙම කළා .

අපි තාත්ත වෙනුවෙන් හැම අවුරුද්දේම දානයක් දුන්න . දැනටත් ඒක   කරනවා . පුළුවන් හැටියට පන්සලේ මල් ආසනයක් එහෙම හදල පින් දෙන වැඩ කළා .

ඒ දේවල් කිරීම නිසා අපිට පොඩි අස්වැසිල්ලක් තිබුනට හිත ඇතුලේ තියෙන දුක කිසි වෙනසක් වුනේ නෑ . ඒවත් කරගෙන ඔහේ ජිවත් වුණා . මේ කාලේදී මම ගොඩක් පොත් කියෙව්වා . මට අවංකවම ඕනේ වුනා බුදුහාමුදුරුවෝ මේ කියල තියෙන දුක නැති කිරීම ගැන ඉගෙන ගන්න . එක ගැන හොයන්න .



ඒ වෙනුවෙන් මම ඔය ගොඩක් හාමුදුරුවරුන්ගේ පොත් කියෙව්වා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත් පත් , රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත පත එහෙම . රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම ගැඹුරු ධර්ම කරුණු තියෙනවා . නමුත් මට ටික කාලෙකදී ඒවා කියවන එක එපා වුණා . මොකද ඒක  තව එක විෂයක් ඉගෙන ගන්නවා වගේ කියල හැඟීමක් ආපු නිසා . ඒ හැම එකම කියවද්දී මට හිතුනේ පොත් වල දැනුම ගොඩක් තියෙනවා හැබැයි කොහොමද මේක මම ප්‍රායෝගිකව යොදා ගන්නේ කියන එක.

අනිත්  එක ඒ හැම එකම පැවිදි වෙච්ච අය  ලියපු දේවල් . ඒවා කියවද්දී ඔළුවට එන්නේ මේ දේවල් අපිට මේ අපේ ගිහි ජිවිතේ ඉන්න ගමන් කරන්න බෑ  කියන එක . නමුත් මට කවදාවත් ජිවිතේ ගැන කලකිරීමක් ආවේ නෑ. මොකද මම හොඳට තේරුම් අරන් හිටිය මට තිබ්බ ආසාවල් , බැඳීම්  එක්ක කවදාවත් මහන වෙන නැත්නම් එවැනි අපිස් ජිවිතයක් ගෙවන්න බෑ කියල .

තාත්ත නැතිවීමේ දුක සසර කලකිරවන තරම් වුනත්  ඔක්කොම අතාරින්න තරම්  හයියක් මට තිබුනේ නෑ .

අනිත් එක අපේ අම්ම පුදුම විදියට තාත්ත නැති ජිවිතේට හුරු වුණා . කාලයක් අඬමින්  දුක් වෙමින් හිටියට පස්සේ අම්මත් තේරුම් අරන් අපිටත් කිව්වේ මේ දේවල් ඉතින් කාටත් මෙහෙම තමයි . අපි පුළුවන් හැටියට තාත්තට පින් දීල ජිවත් වෙමු කියන එක . ඒක වචන වලින් කියපු අදහසකට සිමා නොකර  අම්මා ප්‍රායෝගිකව ඒ විදියට ජිවත් වෙන්න පටන් ගත්තා . ඉතින් එහෙම තියෙද්දී මට නිකමටවත් අම්මව තනිකරලා සත්‍යය සොයන්න යන්න ඕනේ වගේ හැඟීමක් ආවේ නෑ .

මට හොඳට මතකයි මම පර්ස් එකේ තාත්තගේ තරුණ කාලේ ගත්ත කලුසුදු  ෆොටෝ එකක් දාගෙන හිටිය . ටික දවසක් යනකොට පර්ස් එකේ ඉටි කවරේට ඇලිල ඒ පින්තුරේ ටික ටික දියවෙලා යන්න පටන් ගත්ත . ඒක දැකපු වෙලාවේ මම ඒ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරන්න හදනකොට මට එක පාරටම ඔළුවට ආවේ තාත්ත නැතුව මම මේ පින්තුරයක් රැක ගන්න හදන එකේ තේරුම මොකක් ද කියන එක . ඒවගේ වෙන පින්තුර එකක් වත් නෑ. හැබැයි මම ඒ පින්තුරේ රැක ගන්න ට්‍රයි කලේ නෑ. මම ඒ පින්තුරේ ඔහේ දියවෙන්න ඇරිය. මට එහෙම කරන්න පුළුවන් වුනේ අම්මගේ ඒ හැසිරීම නිසා වෙන්න ඇති .

ඔහොම කාලේ ගෙවෙද්දී මට එක්තරා පොතක් කියවන්න ලැබුන . ඒ තමයි අහිංසාවේ උල්පත කියන ආචාර්ය ඊ .ඩබ්ලිව් අධිකාරම් මහතාගේ ජිවන චරිතය ලියවෙච්ච පොත . ඒ පොතේ තිබුන සමහර කරනු කියෙව්වම මට හිතුනා මේ කියල තියෙන දේවල් ප්‍රායෝගිකයි කියන එක . අධිකාරම් මහත්මය ගිහියෙක් . ක්‍රියාවෙන් පරම අවිහිංසාවාදියෙක් . මට මග ඇරුණු කාලයකදී ඒ කියන්නේ මම ඉපදෙන්න කලින් එතුමා බොහොම ක්‍රියාශීලිව මේ අවිහිංසාවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තිබුනා . මම හිතන්නේ තාමත් ඒවා තියෙනවා  නමුත් ඒ හැටි ඇක්ටිව් නෑ දැන්.

ආචාර්ය ඊ. ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා  (පින්තුරය ගුගල් වෙතින්)

ඉතින් ඔය පොතේ තිබුණු එක කරුණක් මගේ හිතට තදින් වැදුන .

"අපි කරන්නේ වෙදාටයි බෙහෙත්වලටයි වැඳ වැඳ ඉන්නවා විතරයි . කවදාවත් බෙහෙත් ගන්නේ නෑ  කියල " .

පොඩි කාලේ ඉඳන් එක එක අනම් මනම් පොත් කියවපු මට මේ වගේ රැඩිකල්  අදහස් හොඳට වදිනවා . ඉතින් මම සෑහෙන්න මේ ගැන හිතුව .

 ඒ වගේම උදේ හවස පන්සිල් ගන්න එක, ඔය පින්කම් කරන එක ගැනත් අධිකාරම් මහත්මය දරල තිබුන අදහස් මගේ සිත් ගත්ත . ඒ කියන්නේ  උදාහරනෙකට කෙනෙක් ජිවිතේ එක පාරක් පන්සිල් ගත්ත නම් ඇති කියන එක . මේ අදහස් මගේ සිත ගත්ත .  මටත් හැමදාම පන්සල් ගිහින් ගාථා කියවන වගේ දේවල් පොඩි කාලේ ඉඳන් ඒ හැටි අල්ලලා ගියේ නෑ ... ඕක නොකළ කියල මොනවා වෙන්නද කියල තමයි හිතිලා තිබුනේ .

කොහොම හරි මේ අදිකාරම් දර්ශනය මාව සම්පුර්ණයෙන් වෙනස් පාරකට  ගෙනිච්චා .  මම කොහොමත් අමද්‍යප චරිතයක් සහ ඒ හැටි වල බහින ජාතියේ නොවන, ගෙට වෙච්ච කොල්ලෙක් නිසා ඒ කියපු බොහෝ දේවල් නිරායාසයෙන් ම මගේ ළඟ තිබුන .

මේ ඉන්න අතරේ ඉතින් මගේ වැඩත්  ඔහේ කෙරීගෙන ගියා , අක්කටත් රස්සාවක් හම්බ වෙලා අක්කගේ මහත්තය වෙච්ච දිමුතු අයියටත් හොඳ රස්සාවක් ලැබිල ආර්ථික ප්‍රශ්න එතරම් දැනුනේ නෑ... අමාරුවෙන් රිපීට්  වේවි මමත් කොහොම හරි කෝස්  එක කර ගත්ත .

දිමුතු අයියත් අවංකවම මගේම සහෝදරයා වගේ තමයි . එයා අපි වෙනුවෙන් බොහෝ දේවල් කළා . අක්කත් එක්ක හොඳ සැප ජිවිතයක්  ගෙවන්න ඕනේ තරම් පුළුවන් කම තියෙද්දී අපිත් එක්ක අපේ ගෙදර නතර වෙලා සැහෙන උදව් කළා . ඒ වගේම වැදගත් ම දේ තමයි එයත් මම වගේම මේ ඇත්ත මොකක් ද කියල හොයන්නන් උනන්දු වෙච්ච චරිතයක් වීම . මගේ ජීවිතේ  කඩා වැටිච්ච ගොඩක් වෙලාවට ආයේ මාව ගොඩ ගත්තේ දිමුතු අයිය . අදටත් ඕනේ වෙලාවක ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියන්නේ එයාට .

මේ අතරේ මමත් ජොබ් එකකට ගිහින් ඉතින් දැන් ඔහේ ජිවිතේ ගෙවාගෙන යනවා . නමුත් හිත ඇතුලේ තිබුණු දුක , තාත්තාගේ මතකය නිසා සැරින් සැරේ හිත අඳුරු වෙලා ජිවිතයම දුකින් බර වෙන ස්භාවය තිබුනා . ඒ එක්කම තව දුරටත් පන්සලෙන් හෝ හාමුදුරුවරුන් ගේ බණ  අසා වැඩක් නැති බවත් මට තේරුම් ගියා . ඒක  පුද්ගල සාපේක්ෂ දෙයක් . මට පුද්ගලිකව හිතුනේ එහෙමයි . නමුත් අම්මට අක්කට පන්සල සහ හාමුදුරුවරු ගැන ගැටලුවක් තිබුනේ නෑ .

ඔහොම විවිධ විදියට මේ බුදුදහම සහ ධර්මය ගැන විස්තර හොය හොයා ඉන්නකොට මට කියවන්න ලැබුන බුදුහාමුදුරුවන් සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පසුව මෙලොව ඉපදුනු ශාස්තෘ කෙනෙක් විදියට මිනිස්සු සලකන ජේ. ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන . ක්‍රිෂ්නමුර්ති තුමා ගැන මම මුලින්ම කියෙව්වෙත් අදිකාරම් මහත්මය ගැන ලියවෙච්ච පොතෙන් .  මේ කාලේ 2007 වගේ . මේ බ්ලොග් එකේ මම 2007 අවුරුද්දේ ලියල තියෙන්නේ එකම එක ලිපියයි.  ඒ ලිපිය මේ ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන බොහොම සරල හැඳින්වීමක් .

ජේ.ක්‍රිෂ්නමුර්ති තුමා 

 ඒ  ලිපිය ලියන්න හේතු වුනේ මම දවසක් ඔය ඒ දවස් වල පොඩි සින්  එකක් තිබ්බ ගෑනු ළමයෙක් සම්බන්ධ මොකක් හරි වැඩකට බයික් එකේ නුගේගොඩ ගිය වෙලාවක නුගේගොඩ තියෙන ජාත්‍යන්තර ක්‍රිෂ්ණ මුර්ති මධ්‍යස්ථානය ගැන දැන ගන්න ලැබීම . ඒ බෝඩ් එක දැකපු මම යන්න ගිය ගමන පැත්තක දාල ඒ ක්‍රිෂ්නමුර්ති  සෙන්ටර් එකට ගියා .

එදා ඉඳන්, මම ඒ වෙනකොට හොයන්න උත්සාහ කරපු දේ ලැබෙන මාර්ගයේ මම යනවා කියන හැඟීම මට දැනෙන්න පටන්  ගත්තා .

මම ක්‍රිෂ්නමුර්ති තුමා විසින් කරපු හැම දේශනාවකවම වගේ වීඩියෝ හොයා ගත්තා . ඔය නුගේගොඩ තියෙන සෙන්ටර් එකේ හොඳ පුස්තකාලයක් තියෙනවා . ඒ වගේම එතන ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශන අසන්න ඉඩ පහසුකම් තියෙනවා . මම ඉතින් සමහර වෙලාවට එතෙන්ට ගිහින් ඔය දේශනා අහගෙන ඉඳල එනවා . ඒ හැම එකම ඉංග්‍රීසියෙන් තියෙන ඒවා නිසා මට ගොඩක් දේවල් නොතේරුණත් ඒ කියන සමහර කරුණු ගැන හිතන්න සැහෙන දේවල් තියෙනවා කියල මම ඒ වෙනකොට තේරුම් අරන් තිබුනේ .

පස්සේ මම ගෙදර ඇවිත් ඉන්ටර්නෙට් එකේ තිබුණු ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශනා සහ සාකච්චා ඩවුන්ලෝඩ් කළා . ගොඩක් ඒව සබ්ටයිටල් එක්ක තිබුණු නිසා නතර කර කර බලල තේරුම් ගන්න පුළුවන් වුණා.

මේක කියවන කෙනෙකුට මේ කතාව ගැන නිකන් හරි උනන්දුවක් තියෙනවනම්  ඒ වගේම ඔබ බුදුදහම නැත්නම් මේ ආගම් ගැන විවෘතව  හොයල බලන්න කැමති කෙනෙක් නම් මම කියන්නේ ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශන, සාකච්චා  සහ ලිපි පොඩ්ඩක් කියවල බලන්න කියන එක . මේ කියන්නෙත් අර කියපු දේම නේ කියල ඔබට තේරෙයි . නමුත්  දවටන වලින් තොර හරය ඒ කතාවල තියෙනවා කියල ඔබට දැනෙයි .

ඒ වගේ ම ක්‍රිෂ්නමුර්ති  තුමාගේ ජිවිත කතාව කියවල බැලුවොත් ඔබට තේරුම් යයි  එතුමා තමන් විසින් අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා මිසක් කටපාඩම් දැනුමක් දේශනා කරන කෙනෙක් නෙවෙයි කියල. ඒ ඔරිජිනල් ගතිය මම ඒ වෙනකොට කියවපු කිසිම පොතකින් වත් කතා බහ කරපු කිසිම හාමුදුරුකෙනෙක් තුල වත්  දැක්කේ නෑ ...

එසේම මේ ක්‍රිෂ්නමුර්ති තුමා ගැන සහ එතුමාගේ ඉගැන්වීම් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ගේ අදහස්  හැකිනම් කියවා  බලන්න. අපි නොදන්න  තව බොහෝ දේවල් ඉතිහාසයේ තියෙන බව ඔබට වැටහේවි .

මෙන්න මෙතන තියෙනවා බලංගොඩ  ආනන්ද මෛත්‍රී හිමියන් ක්‍රිෂ්ණ මුර්ති තුමා ගැන ලියපු සටහනක්

ගොඩක් වෙලාවට අපි හිරවෙන තැනක් තමයි අපි මේ උපන්දා සිට උදේ හවස අහන බණ  ටික විතරයි හරි  එතනින් එහාට දෙයක් නෑ කියන  එක . මම හිතන්නේ ඒක තමයි අපිට මේ බුදු දහම තේරුම් ගන්න බැරි වීමේ මුලික අවුල. බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි . බුදු දහම ලෝකය පුරා තව විවිධ විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා . සෙන් දහම , මහායානය ආදිය කිසිත් නොදැන මේවා බොරු කියල ප්‍රතික්ෂේප නොකර ඒවා ගැන ඉගෙනීමෙන්  බුදු දහමේ අපෙන් සැඟව  ගිය බොහෝ කරනු හොයා ගන්න පුළුවන් .

බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කවුරු කිව්වත් පිළිගන්න එපා . තමන් විසින් සොයා බලල තේරුම් ගන්න කියල. ඉතින්  ඇයි  අපි ඒක නොකරන්නේ ?  බුදු දහම කියන්නේ අපිට තර්කයෙන් හිතල , ඇනලයිස් කරලා  තමන් විසින් ප්‍රඥාව මෙහෙයවල තේරුම් ගන්න ඕනේ ධර්මයක් කියලයි මම විස්වාස කරන්නේ. මම ඒ දවස් වල කලේ අන්න ඒක.

කොටින් ම කිව්වොත් සමහර දවස් වල ඔය දේශනා වල තිබුණු සමහර කරනු ගැන ඔලුව කැක්කුම හැදෙන කම් මම කල්පනා කරලා තියෙනවා . ඒ කරුණු සැහෙන ගැඹුරුයි .

දිමුතු අයියයි  මමයි සැහෙන්න මේ කරුණු ගැන සාකච්චා කරලා තියෙනවා . ඔය ක්‍රිෂ්නමුර්ති තුමාගේ සාකච්චා දාගෙන ඒවායේ තියෙන කරනු ගැන අපි සැහෙන්න කතා කරනවා . ගොඩක් දේවල් අපි දෙන්නටම තේරෙන්නේ නෑ මොකක් කියන්නේ කියන එක. නමුත් අපි අත අරින්නේ නැතුව ඉතින් බලනවා.   

අක්කත් අපිත් එක්ක එකතු වුනාට  ඒ වෙනකොට අක්කට බබාලා ලැබිල එයා ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ. 

ඔය විදියට කාලේ ගෙවෙද්දී මම රස්සාවත් හොඳට කරගෙන ගියා . මේ දේවල් වලට යොමු වුණා කියල මගේ පුද්ගලික ජිවිතේ වෙනස් වුණේ  නෑ .. කෙල්ලන්ට ලයින් දාන ඒවා , පොඩි පොඩි රස්තියාදු ගහන දේවල් ඒ විදියටම තිබ්බා . හැබැයි ඉතින් ඒ වෙනකොට ජීවතේ දිහා බලන විදිය සහ ප්‍රශ්න වලදී මුණ දෙන විදිය සැහෙන්න වෙනස් වෙලා තිබුනා .  තාත්ත නැතිවෙලා අවුරුදු 4-5ක් ගෙවිලා තිබුන නිසා දුක තුනී වෙලා අපි තාත්ත නැති ජිවිතේට පුරුදු වෙලා තිබුනේ.

මෙහෙම කාලයක් ඉන්නකොට මට හිතෙන්න පටන් ගත්තා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන කොට අපිට එන ගැටළු  නැත්නම් මේ කියන්නේ මොකක්ද කියන එක තව ටිකක් පැහැදිලි කරගන්න විදියක් ඕනේ කියන එක . දිමුතු අයියත් ඒ ගැන සැහෙන උනන්දුවකින් හිටපු නිසා  අපිට මේවා ගැන කෙලින් කතා බහ කරන්න පුළුවන් කෙනෙක් හෝ  කණ්ඩායමක් ඕනේ කියන හැඟීම ඇවිල්ල තිබුනේ .

හැබැයි අපි තේරුම් ගත්ත හාමුදුරුවරුන් ගෙන් මේ දේවල් ගැන අහල ඒ හැටි වැඩක් නෑ  කියන එක. මොකද අපි ඔය දාන වලට එන හාමුදුරුවරු වාහනේ එක්ක යන අතරේ ඔය වගේ මාතෘකා ඇදල  ගත්තට ගොඩක් වෙලාවට හාමුදුරුවරු දෙන්නේ අර පොතේ තියෙන උත්තරේ. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මෙච්චර කාලෙකට මට හම්බවෙච්ච කිසිම හාමුදුරු කෙනෙක් විවෘතව මේ ධර්ම කරුණු ගැඹුරින් සාකච්චා කරන්න තරම් ඒවා ඉගෙන ගෙන ඇති කියල මට හිතුනේ නෑ.  ඒ කියන්නේ එක්කෝ පොතේ තියෙන දෙයින්  එහා ගිය දෙයක් ගැන හාමුදුරුවරු හිතල බලල නෑ . නැත්නම් අපි ඇහුවට  කියන්නේ නෑ . මම මේ කියන්නේ ඉතින් ගමේ පන්සල් වල ඉන්න හාමුදුරුවරු ගැන . මේ දැනුම තියෙන හාමුදුරුවරු ඉන්නවා නමුත් අපිට හම්බ වුනේ නෑ .

මට ඒ වෙනකොට මේ ධර්මය ගැන තර්ක කරන්න දැනුමක් තිබුනේ නෑ . නමුත් කියන දේ ඒ කියන පුද්ගලයාවත් හරියට තේරුම් අරගෙනද කියන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් කමක් තිබුණ. මම අදිකාරම් චරිතය සහ ක්‍රිෂ්නමුර්ති  ගේ ඉගැන්වීම් වලට කැමති වුණේ  තමන් විසින් පිළිපදින තමන් විසින් අවබෝධ කරගත්ත දෙයක් ඔවුන් ගේ දේශනා වල තිබිච්ච නිසා .  

ඉතින් මේ විදියට කාලයක් යනකොට අක්කල අලුතින් ගෙයක් හදල පදිංචි වුණා . මමයි අම්මයි නංගියි විතරක් ගෙදර හිටිය . ටික කාලෙකින් නංගිත් බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි මමයි විතරක් ගෙදර ඉතිරි වුණා.

මෙහෙම ඉන්නකොට අපේ දිමුතු අයියට තවත් අපුරු චරිතයක් හම්බ වුණා....

ඒ චරිතය අපි හැමෝගෙම ජිවිත වෙනස් කරපු හැටි පස්සේ ලියන්නම්

41 comments:

  1. මමත් ආගම ගැන දරන්නේ බොහොම විවෘත මතයක්. පැතුම්ගේ තාත්තා ගැන සංවේදී කතාව කියවාගෙන යද්දී මට හිතුනා මොන තරම් හයිය හිත් තියෙන මිනිස්සුන්ට වුනත් යම්කිසි තර්කානුකුල දර්ශනයක පිහිටක් ඕනි වෙන අවස්ථා තියෙන්න පුළුවන් කියලා. මේ කතාවේ ඊළඟ කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. ඔව් තිලකසිරි අයියා , හිත හයිය වගේ ඉන්න මිනිස්සුන් තමයි ඉක්මනට කඩා වැටෙන්නේ .. ඉතිරි කොටසත් විවෘත මනසෙන් ම කියවන්න .. :)

      Delete
  2. ඊලග කොටසත් කියවන්න පුළුවන් උනානම් කියල හිතුන :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්නම් .. මේක ටිකක් වැඩියෙන් ලියවෙච්ච නිසා නතර කලේ

      Delete
  3. වට්ටෝරු දහම අහලා ඇති වෙනවා. මමත් මේ දවස් වල ප්‍රායෝගික විදියට කරන ධර්ම දේශනාවකට සවන් දෙනවා. මේ සටහන හරි රසවත්. ඉතිරි කොටසින් බලමු.

    ReplyDelete
    Replies
    1. මේක ධර්මය ගැන විග්‍රහයක් නම් නෙවෙයි . මේ තියෙන්නේ මම ගිය මාර්ගය ... සමහරවිට සුදික අයියටත් අල්ලලා යයි .. :)

      Delete
  4. මේ පොස්ටුවට පිළිතුරක් මම ලිව්වොත් පොස්ටුවක් වෙනවා පැතුම්.

    සහතික ඇත්තම කියනවා නම් පැතුම්... මේ වගේ ජිවන අත්දැකීමක් මටත් තියෙනවා. (මගේ නම් දෙමවුපියෝ තාම ඉන්නවා. මට උනේ එහෙම දෙයක් නෙවෙයි) මමත් මේ වගේ දෙයක් ගැන ලියම්දෝ, නොලියම්දෝ කියල හිත හිත දැන් අවුරුද්දක් වෙනවා. බයට නෙවෙයි.. මේ ගැන ලියන්න ගියොත් කියෝන අයට වදයක් වෙන තරම් දේවල් මට ලියවෙයි කියල.

    ආගම ගැන අදහස් දැක්වීම සංවේදී කාරණාවක් කියල කියන්නේ මම හිතන්නේ මෑතකාලේ වෙන්න ඕනේ. මම නම් කියන්නේ සංවේදී කමට වඩා අපේ තියෙන්නේ වලිගෙන් අල්ලාගන්නා ගතිය හින්ද, සංවාදයක් නොවී මඩගොහොරුවක් වෙන එක. ඒ තමයි අපිට දැනට ඉතුරු වෙලා තියෙන ලාංකික කම....

    ඔබ කියවපු පොත් අතර මමත් ගතකලා මගේ ජිවිතේ මගේ වයස අවුරුදු 17-18 වගේ කාලවල්. නමුත්, බොරු පුරසාරම් කියනවා කියල හිතන්න එපා ( එහෙම හිතුවත් මට මොකෝ.. හෙහ්..) මට 'අදටත්' රේරුකානේ චන්දිවිමල හාමුදුරුවන්ගේ පොතකින් තරම් දෙයක් උකහාගන්න බැරි උනා. ඔව්... උන්වහන්සේ ඒ පොත් ලිව්වේ නම් අපේ ගිහි ජිවිතයට නෙවෙයි. ධර්මය හොයන උන්ට ප්‍රවේශයක් විදියට. සමහර වෙලාවට මට ඒවා අල්ලලා යන්න තව හේතුවක් වෙන්න ඇති මම ඔයා ඔය කියන අධිකාරම්, ක්‍රිෂ්නමුර්ති කියන මහත්වරුන්ගේ පොත් මම වයස 12-13 කාලේදී 'පොඩ්ඩක් විතර' කියවලා තිබීම. ඊට අමතරව මගේ ජිවිතේ ලොකු බලපෑමක් කරපු පොතක් තමයි 'සංසාර මන්දිර' කියන්නේ. ඒක මම කියෙව්වේ වයස 14-17 කාලය ඇතුලත, කිහිප පාරක් සහ 19 කාලේදී තදින්. මේ ගැන ලියන්න ගියොත් ඔයාටත් වදයක් වෙනවා. ඒ හින්ද දැනට ඇති..

    ඔබේ මස්සිනා.. දිමුතු... මම ඔහුව දන්නවා. ඔහු මාව නොදන්නවට. ( හෙහ්.. ඔහු කොහොමත් ලංකාවම හඳුනන චරිතයක් නේ) වාසනාවන්ත මස්සිනෙක්.. නෑ .. නෑ ... මම කිව්වේ පැතුමා ගැන. දිමුතු නම් පව් දෙය්යනේ...

    ReplyDelete
    Replies
    1. මගේ පලවෙනි ප්‍රශ්නය දිමුතුව දන්නේ කොහොමද?
      දෙවෙනි ප්‍රශ්නය මේ කියන දිමුතුත් ඔය කියන දිමුතුත් එකාමදැයි දන්නේ කෙසේද ?

      හරි දැන් ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙමු ..

      [සංවේදී කමට වඩා අපේ තියෙන්නේ වලිගෙන් අල්ලාගන්නා ගතිය හින්ද, සංවාදයක් නොවී මඩගොහොරුවක් වෙන එක. ඒ තමයි අපිට දැනට ඉතුරු වෙලා තියෙන ලාංකික කම....]

      ඔන්න මට කියන්න ඕනේ වෙච්ච දේ සරල සිංහලෙන් පිහියෙන් ඇන්න වගේ ලියල තියෙනවා . මේ වගේ දේවල් ගැන යමක් දන්න මිනිස්සු කතා නොකර ඉන්නේ ඔන්න ඔය නිසා. අපි වගේ බාගෙට දන්න අය මේ වගේ පොර ටෝක් දැම්මට ඇත්තටම දන්නා අය තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යනවා ..

      නුවර ආච්චි ඉතිරි ටිකත් කියවන්නකෝ .. ඊට පස්සේ අපි ගහගමු ...

      Delete
    2. ප්‍රශ්න අහල තිබ්බ හින්ද පිළිතුරු දෙන්නත් එපැයි
      1. දිමුතු රුවන් පියසේන කියන්නේ නුවර විතරක් නෙවෙයි, ලංකාවම දන්නා චරිතයක්.
      2. ඒ දෙන්නම එකෙක් කියලා 'මම' දන්නවා.

      මම හරි නේද? ( ලංකාව පොඩි රටක් පැතුමෝ )

      ඔයා ඉතින් පරිස්සමෙන් කුකුල් අඩි තිය තියා මඩ නොගෑවී එනවා දැක්කම මට හිතුන ඔය ටික කියල දාල කකුල් දෙකේ තියෙන බාධකේ අයින් කරලා දාන්න. බාගෙට දන්නවද, ඊටත් වඩා දන්නවද කියලවත් සමහරු දන්නේ නැහැ. ඒ ගැන තමයි මගේ කණගාටුව. මම ඉස්සර ගොඩාක් මේ වගේ දේවල් හෙව්වා, ඒ වගේම හම්බවුනා. නමුත් සමහර දේවල් හින්ද මට දිගටම හෙවිල්ලේ නිරතවෙන්න බැරිඋනා. මගේ වැරැද්ද. වෙලාවක් නැතිකම නෙවෙයි, අපි වෙලාවක් හොයාගන්නේ නැතිකම. ( මමත් ඇතුළුව)

      දැන් ඉතින් මම වලියට ගෙනාපු කඩු , කිනිසි, තෝමර, පොල් අඩි, යගදා, ජොනි බට්ටෝ එහෙම කොහෙද තියන්නේ? සැක් විතරක්... වලියක් නැති උනහම එතැන හෙළයෙක් නැහැ වගේනේ දැන් හිතෙන්නේ.... හරි හරි... ඉක්මනට ඉතිරි ටික ලියන්ටකෝ මේ ජොනි බට්ටෝ එක්ස්පයර් වෙන්ට කලින්.. හෙක්..

      Delete
    3. [ඒ දෙන්නම එකෙක් කියලා 'මම' දන්නවා.]
      එඩ්වඩ් ස්නොඩන් ට කියන්න වෙන කේස් එකක් වගේ

      (පරණ ලව් එකක් ද මන්ද ... :D :D )

      ඇනිවේ ... බාධකේ අයින් කරපු එක නම් ලොකු දෙයක් .. දැන් අනිත් අයත් තම තමන් දන්න දේවල් ලියයි නේ ...

      ඉතිරි කොටස ලියමින් සිටිනවා ... මාගල වගේ ලියවෙන එක අඩු කරලා කපල කොටලා හදල දාන්නම් .

      අවුලක් නෑ .. ඕව එක්ස්පයර් වුනොත් ඉලපත අරන් හරි වලිය දාමු

      Delete
    4. කුරුම්බැට්ටියThursday, January 15, 2015 8:41:00 PM

      යකෝ උඹේ මස්සිනා බෞද්ධ සඟරා වලටත් ලිපි ලියන කෙනෙක් නේ. එහෙම මස්සිනෙක් ඉඳලත් උඹ අපිට කිව්වෙ නෑ. උඹට නම් කපුටො කොටන්න ඕන. :ඩී

      Delete
    5. අඩේ අප්පා තත්වය භයානකයි වගේ ... මම අසරණයි යකෝව් !!! :D

      Delete
  5. කියෙව්වා.. ධර්මය උනත් එක් එක්කෙනා අහන දකින විිදින විදියටයි අල්ලගන්නේ.. ඔය වගේ දාර්ශනික අදහස් තියෙන හුගක් අය ඉන්නවා නෙව... ඒ අයට මුණිවරයෝ කියලත් කියනවා.. ඉතිරි කොටසත් ලියමු බලන්න.. හැබැයි අනේ මන්දා බං මම අම්මා මැරුන වෙලාවේ ඉදල මේ වෙනකං තාම අඩල නෑ.. දැං අවුරුදු දහයක්..

    ReplyDelete
    Replies
    1. [ධර්මය උනත් එක් එක්කෙනා අහන දකින විිදින විදියටයි අල්ලගන්නේ..]

      මේ මම ලියන්නේ මම අල්ල ගත්ත තැන සහ අල්ලාගෙන ගිය දුර ...

      මමත් තාත්තගේ මරණෙන් පස්සේ නම් ඇඩුවේ නෑ බන් ... ජිවිත කාලෙට ඇති වෙන්න එදා ඇඩුව.

      Delete
  6. අර හම්බ උනා කිව්වා චරිතය ගැන විස්තරත් ඉක්මනින් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් දාන්නම් .. බොහොම ස්තුතියි ..

      Delete
  7. විසාල ගඟක් පටන් ගන්නේ උල්දිය දහරකින්නේ
    උල්දිය උනන තැන ඉඳන් මහමූදට වැටෙන තැන දක්වා ඕනම තැනකින් ගඟට සම්බන්ධ වෙන්න හැකි
    එනිසා අප ගඟට හාමුවෙන තැන දිහා බලලා කරදියෙන් එලෝ යන තැන ගැනවත් උඩහට වෙන්න පැරකුම්බා දිය රන්දා කල දෑ ගැන වත් වැටහීමක් එන්නෙත් නෑ
    සංසන්දය කරන්නත් බෑ
    අවසාන වුවමනාවට අපි ලඟාවෙන්නේ කොහොමදැයි කියන එකයි වැදගත්
    දේශක යා එක වැකියකින්ම එය කියා තියෙනව
    ස්වාමීන් වහන්සේලා කියන දේ තේරුම් ගන්න මම හිතන්නේ අපේ හිත එතනට ගන්න ඕනේ - අපේ අවබෝධය (කියවා ලද දැනුම නෙමේ) නැති තාක් කල් ඒ බොහොමයක් වචන හිස් - නමුත් ඇත්තටම හිස් අපේ හිත්!!
    බලවත් ප්‍රයත්නයකින් හැකිතාක් කරුණු කාරණා කියවල මේ "වැඩේ" ගොඩදාගන්න හදන එක, සම්ප්‍රදායික "රීසර්ච්" පිළිවෙතින් වෙනස් වෙන්නේ නෑ (සම්ප්‍රදායික කීවේ දැන් රීසර්ච් කරන එක සම්ප්‍රදාය වෙලා ඇතිනිසා)
    ප්‍රස්න නගන්න හිතෙන්නේ විචිකිච්චාව නිසා
    තාමත් ගඟට බැහැල නැති නිසා
    ගඟේ දිග, පලල, සාන්ද්‍රණ, ටර්බියුලන්ස්, වෝටෙක්ස් ෆොර්මේෂන්, ඔව්ව ගැන අපි සොය සොය ඉන්නව බහින්නේ නැතිව
    මම තෝරාගත්තේ සරලම මගක්
    විස්වාසා පරමා ඥාතී කියල මුලින්ම අරගෙන දාන සීල භාවනා මාර්ගයේ යෑම
    බලන්නකෝ එක අරමුණක හිත තියාගෙන විනාඩි පහක් ඉන්න අවංකවම හැකිද කියල
    මූලික හිතුවිල්ලට යටින් බිත්තර වී අංකුර දාන්නැහෙ කොච්චර නම් හිතිවිලි රැලි මාලා උඩට නගිනවද කියල
    කිව්වට නිකම් කරල බලන්න
    එහෙම කරගන්න පුලුවන් උනහම - බලන්න පෑ බාගෙට ඒක දික්කරගන්න හැකිද කියල - සමහර විට එතකොට තේරෙයි උපසම්පදා ලැබූ භික්ෂුවක් ඒ දෙසිය පණස් ගනනක් වන සීලය රකින්න කොච්චරනම් බලවත් හිතක ඉන්නවද කියල
    තර්ක නොකරන්නත් විෂයක් විදිහට නොගන්න එකත් ගොඩක් වටිනව
    ප්‍රස්න දෙක සරලයි - සසරක් ඇතිද? ඒහි ස්ථිර සැපයක් ඇත්ද?
    රුක් සටහන ස්ටෙප්ස් දෙකකින් ඉවර කල හැකි
    සසරක් ඇතිද? - නෑ - ඉන්න විදිහට ඉන්න
    සසරක් ඇතිද? - ඔව් - ස්ථිර සැපයක් ඇත්ද? - ඔව් - ඉන්න විදිහට සැප යැයි හිතාගන්න දේ ලබාගෙන ඒව එක්ක ඉන්න
    සසරක් ඇතිද - ඔව් - ස්ථිර සැපයක් ඇත්ද? - නෑ - ගඟට බහිමු!
    නමස්කාර කරණකොට ස්වාමීන් වහන්සේලා "සුවපත් වේවා" කියන්නේ නිකමට නෙමේ!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියේ ඔය කියන දේ මට හොඳට තේරෙනවා . මම ඉතිරි ටිකත් ලියන්නම් . තිස්ස අයියා අවබෝධ කරගෙන එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන් ම අරගෙන තිස්ස අයියගේ ජීවිතයට කොහොමද ඇප්ලයි කර ගත්තේ නැත්නම් ඔය මාර්ගයේ ගිය හැටි ලියන්නකෝ .. මොකද එක එක තැනින ගඟට සම්බන්ධ වෙන අයට ඒවගේ දේවල් වැදගත් වෙයි ...

      Delete
  8. පස්සේ ලියන්න හිතගෙන ඉන්න කොටසත් ඉක්මනටම දෙන්න පුලුවන් නම් මාර ගති. !

    ReplyDelete
  9. ඔක්කොම කියවලාම ඕනෙ අදහස් කියන්න. බුදු දහම නම් නෙල්ලි ගෙඩියක් කාල රසය විඳිනවා වගේ අවබෝධකලයුතුයි.. පොත පතින් එන මතුපිට දැනුම හරියට ගොඩ ඉඳන් පීනන්න ඉගෙනගන්න මනුස්සයාගෙ පිහිනීමේ හැකියාව වගෙයි.. ඔබ්බ පැතුම් සැබෑ ජීවිතේ සටහනක් ලියනවා.. ලියමු ලියමු..

    ReplyDelete
    Replies
    1. හරි ඉතිරි කොටස් ටික ලියන්නම් කෝ .. ඊට පස්සේ අපි නොදන්නා දේවල් ටික කියල දෙන්නකෝ ...

      Delete
  10. Malli puluwannam ajan cha swaminwahanse (thai) nisala vila potha kiyawalabalanna
    ,http://www.ajahnchah.org/singhala/
    me link ekata gihin downlode karaganna, (ajhan cha netha)

    ReplyDelete
    Replies
    1. ඇනො අයියා/අක්කා ,

      මම අජාන් චා හිමියන් ගේ පොත් කියවල තියෙනවා . අජාන් චා නැත කියන ඔය කුඩා පොත් පිංචත් කියවල තියෙනවා . බොහොම ස්තුතියි ඔබට

      Delete
  11. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ පොත් කියවලා තිබේද පැතුම් අයියා ?

    ReplyDelete
    Replies
    1. එසේය කියවා තිබේය. :) ඉතිරි කොටසත් මම ලියන්නම් . එකත් බලන්න

      Delete
  12. ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන් සහ ක්‍රිෂ්ණමූර්තිතුමන් ගැන ලියූ පොතක් මෑතකදී කියැවූවා.. ඉතින් තවත් ඔබේ අදහස් එයින් සනාථ වෙනවා.... අගනා රචනයක්

    ReplyDelete
  13. ස්තුතියි කුරුටු , මම ළඟදීම ඉතිරි කොටසත් ලියල දාන්නම් ... එකත් බලන්න.

    ReplyDelete
  14. බුදුදහම කියන්නෙ තනිකරම පුළුල් ජීවන දර්ශනයක්. ඒ තුල මං හිතන්නෙ අපිට අපේහැම ප්‍රශ්නෙකටම විසඳුම් තියෙනවා. හැබැයි බුද්ධ දර්ශනය ආගම්ක් කරගෙන උදේ හවා ගාථා කිය කිය වැඳ වැටෙන එක මට හරි පිලිකුල්. ගරු කරන එක වෙනම දෙයක්. නමුත් ඒ පුළුල් දර්ශනයෙන් ජීවිතාවබෝදය නොලබා තේරුමක් නැති වන්දන් වීම තමයි බෞද්ධයන්ට වෙලාතියෙන හෙනේ. ජීවිතේට එක වතාවක්වත් සිල් ගන්න ඔනි නෑ. ඕනි සිල් රකින්න විතරයි. ඒ කියන්නෙ කාටවත් කරදරයක් නොවී ජීවත්වීමයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම තමයි හිතන්නේ . මනොෂ් ඉතිරි කොටසත් බලන්නකෝ ..

      Delete
  15. පැතුම්......මම මේ දේවල් ගැන හොයන්න යන්නේ නැහැ. නමුත් මම මගේ විදිහට අවබෝධ කරගත්ත විදිහක් තියෙනවා. ඒක සිදුවීම අනුව තමයි තීරනය වෙන්නේ. පැහැදිලි කරන්න බැහැ. මගේ පහුගිය වසර දෙක තුන ඇතුලත වුනු බොහෝමයක් සිදුවීම් නිසා මම ඉතාම නිරවුල් සහ නිදහස් මනසින් මෙවැනි දේ ගැන බලන්න හුරුවුනා. බොහෝම සරලයි මේ සියල්ලක්ම. මගේ දෙමව්පියන් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් අපෙන් වෙන්වෙන දවසක මට දුකක් නොදැණෙන විදිහට හිත හදාගෙන තියෙන්නේ. ඒ අය නොවෙයි ඊටත් වඩා සමීප කෙනෙක් වුනත්. මෙහෙම කතා කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ, ඔබ ඔය කියන දේ මට හොඳට තේරෙනවා . ඔබ අවබෝධ කරගන්නට ඇත්තේ ඔබේ ජිවිතයෙන්මයි කියල මට හිතා ගන්න පුළුවන් .. මම මේ කියන්නෙත් අන්න දේ මේ සංවිධානාත්මක සංකල්ප කිසිවක් නැතුව තේරුම් ගන්න හැටි මම ඉගෙන ගත්ත කතාව ...

      ඇත්ත ඒවා මේ විදියට කතා කරන්න බෑ තමයි . මම මේ ලියන්න දේ සමහරවිට වැඩක් නැති වෙයි . ඔන්න ඔහේ කියල තමයි මේ ලියන්නේ ..

      Delete
    2. පැතුම්.......මේක දිගටම ලියපන්...ඒකත් යම් අවබෝධයක් ලබාගන්න උදව්වක් වෙයි කාටහරි.

      Delete
  16. අර තිලකෙ උඩ කියලා තිබ්බා වගේ... සමහර දේවල් වලට අපිට ගයිඩ් කෙනෙක් උවමනා වෙනවා. මට ඒක හිතෙන්නේ මෙහෙම... තමන්ගේ ජීවිතේ අරමුණක් නැති බව දැනෙනවා නම් කිසිම පොතකට, දේශනාවකට ජීවිතයකට අරමුණක් දෙන්න බැහැ. නමුත් ඒවායෙන් යම් උදව්වක් වෙන්න පුළුවන්. ජීවිතයකට අරමුණු ලැබෙනවා කියල මම හිතන්නේ, හදාගන්න අමාරුයි. හරියට හොඳ යාලුවෝ වගේ... යාලුවෙක්ව හදාගන්න බැහැ, හැදෙනවා මිසක්. සමහර වෙලාවට අපිට කරන්න අමාරුම දේ තමයි අර අරමුණක් නැති ගන්දබ්බ අවධිය ගත කරගන්න එක...

    පාවුලෝ කොයියෝගෙ එක පොතක තියනවා... රචනය බිහිවෙන්නේ අකුරු වගේම හිස් තැනුත් තියන නිසා, සංගීතය බිහිවෙන්නේ හඬ වගේම නිහඬතාවයත් තියන නිසා. ඒ නිසා අපි යමක ගැඹුරට යනකොට, හිස්තැන, නිහඬබව, ඒ කියන්නේ කිසිදෙයක් නැති හිස්බවටත් මුහුණ දෙන්න පුරුදුවෙන්න ඕනේ කියලා.

    අනිත් දෙය තමයි අරමුණක් දිශාවක් තියන වෙලාවට.. අපි කොච්චර දන්නවා වුණත් අපිට මොනවද ඕනේ, මොනවද කරන්න ඕනේ කියලා... අපේ ගති පැවතුම්, ක්‍රියාකාරකම්, හිතන පතන විදිය ඒ වෙනුවෙන් හැඩගස්ස ගන්න තියන අපහසුතාවය. අන්න ඒ සම්බන්ධයෙන් නම් මමත් පොත පත ඇසුරෙන් කරුණු හොයනවා...

    ඒක නෙමෙයි, කිසි කතාවක් නෑ මේක නම් බොහොම වැදගත් සටහනක් වෙයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර .. ඉතිරි කොටස ඉක්මනින් දාන්නම් ... ඔබ කියපු ඒ නිවැරදි ගයිඩ් එක ලබා දුන්න පුද්ගලයා ගැන තමයි මම මේ ලියන්නේ ...

      Delete
  17. මම යන පාරේ යන තව එකෙක් හමුවීම සතුටුයි

    ReplyDelete
    Replies
    1. ඉදිරියටත් ගිහින් බලමු ... :)

      Delete
  18. මේකේ මම මුලින්ම කොමෙන්ට් එකක් දැම්මා පලවෙලා නැහැ. මට යාළුවෙක් ගෙනත දුන්න ක්‍රිෂ්නමුර්තිගේ පොතක් ඉස්කෝලේ යන කාලේ. අපි ඒ දවස්වල පොරට නම දැම්මෙත් ක්‍රිෂ්නමුර්ති කියලා. එකක් කියනවනම් අපේ ජිවිතත ඒ දවස්වල හැඩ ගැහෙන්න අදිකාරම් මහත්තයාගේ හා ක්‍රිෂ්නමුර්තිගේඅදහස් උදව් වුනා කියලා හිතෙනවා. හැබැයි මට දැන් හිතෙන්නේ මේ දෙන්නගෙම අදහස් බුද්ධ ධර්මය කියව හැඩ ගැසුන ඒවා බව. මොකද මා ඉස්කෝලේ ගිය කාලෙට වඩා හොඳින් බුදු දහම හැදෑරුවා පස්සේ. එතෙන්දි ආපු අදහසක්.

    ReplyDelete
    Replies
    1. අජිත් ගේ කොමෙන්ට් එකක් නම් මම දැක්කේ නෑ .. සමහරවෙලාවට ගුග්ල් එකවුන්ට් එකෙන් බ්ලොග් එකට ලොග් වෙලා නැතුව දාන කොමෙන්ට් එහෙම අතුරුදහන් වෙනවා . . අපිට හිතෙන්නේ කොමෙන්ට් එක සබ්මිට් වුනා කියල හැබැයි වෙන්නේ නෑ ...

      ඔය ගැන මම තේරුම් අරන් ඉන්නේ මෙන්න මෙහෙම .. මම වැරදි වෙන්න පුළුවන් ..

      බුදුන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ මේ සොබාදහමේ පවතින ක්‍රියාවලිය සහ සත්වයා එම ක්‍රියාවලියට නැවත නැවත යටත් වීමෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් කියලයි මම තේරුම් අරන් තියෙන්නේ .. ඉතින් එම ක්‍රියාවලිය සහ එයින් මිදීමට අවශ්‍ය කරන හරය ආගමෙන් වෙන් කරලා අඳුන ගෙන එයින් තමන්ගේ ජීවිතය හදාගස්ස ගත්ත කෙනෙක් විදියට තමයි මම අදිකාරම් මහත්මය ගැන හිතන්නේ ... එතුමා හොඳින් බුදු දහම අධ්‍යනය කරපු කෙනෙක් වෙන්න ඇති ..


      ක්‍රිෂ්නමුර්ති තුමාගේ ජිවිත කතාවේ තියෙන්නේ එතුමා එයාගේ මල්ලිගේ මරණයෙන් ඇතිවූ ශෝකය දිගේ කල්පනා කරලා මේ ඇතිවීම නැතිවීම සහ මමත්වය කියන දේවල් තමන් විසින් අවබෝධ කරගත් බවක් ... ඒ වගේම ආනන්ද මෛත්‍රිය හිමියන් එතුමාගෙන් බුද්ධ ධර්මය ඉගෙන ගෙන ඇත්දැයි විමසු විට "ළපටි වියේදී gospel of buddha සහ ධම්ම පද ආදී පොත් කීපයක් කියවූ බවත් ඉන්පසු කිසිදාක බෞද්ධ හෝ වෙනත් කිසිම ආගමික පොතක් නොකියවූ බවත් තමයි සඳහන් වෙන්නේ "

      නමුත් සාමාන්‍යයෙන් ක්‍රිෂ්නමුර්ති තුමා හඳුන්වන්නේ එතුමා විසින් අවබෝධ කරගත් ධර්මය දේශනා කරපු කෙනෙක් විදියට .. ඔබට හැකිනම් සාකච්චා ඇතුලත් වීඩියෝ කීපයක් බලන්න .. ඒ කතාවල තියෙන නැවුම් බව තේරෙයි .. එක උගත් දෙයක් කතා කරනවාට වඩා කෙලින්ම අවබෝධ වූ දෙයකට වඩා සමානයි ..

      Delete
  19. මට හිතෙන හැටියට ගොඩ දෙනෙකුට වෙලා තියෙන්නෙ ආගම සහ ධර්මය යන දෙක වෙන වෙනම වටහාගැනීමට නොහැකි වීම. ආගමක යම් දෙයක් ඇදහීමට පමණක් තිබුණත් ධර්මය කියන්නෙ තමන් විසින් සිහි බුද්ධියෙන් වටහාගතයුතු දෙයක්.
    නමුත් ඒ වටහාගැනීමට මාර්ගය පෙන්නන්න පුද්ගලයන් බොහොම දුලබ බව තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි .. මම මේ සටහන ලිව්වේ අන්න එහෙම වටහා ගන්න මම කරපු දේවල් ගැන .. ප්‍රසන්න ඉතිරි කොටසත් බලන්න . වැදගත් වෙයි ..

      Delete