Sunday, August 17, 2014

8 වසරක් සිංහලෙන් බ්ලොග් ලියා...



මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. අවංකවම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ප්ලෑන් කරලා දේවල් ලියල නෑ.. ලියන්න අදහස් සමහර විට ඔය යන එන වෙලාවට කල්පනා කරලා බලනවා. ඒ ඇරුනම යම් අරමුණක්, නැත්නම්  බලාපොරොත්තුවක් තියාගෙන මේකේ කිසිම දෙයක් මම ලියල නෑ. 

මම කලින් ඔය ඇනිවසරි පෝස්ට් වලදී කියල තියෙන විදියට සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය තුල බාවිතාව අරඹා ටික කාලෙකින් මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ දවස් වල සිංහල අකුරින් කොම්පියුටර් එකේ මොනවා හරි ලියන්න ආපු ආසාව නිසා මේක ලියන්න පටන් ගත්තේ. මොකද ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන , වර්ඩ් වල වගේ කි-පෑඩ් එකක් ඕපන් කරගෙන අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා තමයි මම ඊට කලින් සිංහල ලිව්වේ. හැබැයි මේ යුනිකේත නිසා එහෙම ලියන්නේ නැතුව අපි කී-බෝඩ් එකේ ඉංග්‍රීසි ලියන විදියට ඉතා පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් වීම ඒ දවස් වල මට නම් ඇත්තටම හෙන සිරා දෙයක් විදියට පෙනුනේ. ඒ ආසාවට ඔහේ ලියපු එකයි කලේ.

මම සිංහල යුනිකෝඩ් සමුහය එක්ක එකතු වෙච්ච හැටි මම කලින් පෝස්ට් වල ලිව්වා. ගොඩක් අය මේ සිංහල යුනිකේත මේ අද තියෙන තත්වයට ගේන්න මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත අය හිටියා. දැන් වගේම නැති වුනත් බ්ලොග් වල හොඳ රසවත් කතා බහ තිබුන. 

ඉතින් බ්ලොග් ලියන එක මට නම් මෙච්චර කාලෙකට  මගේ පුද්ගලික ජිවිතේටවත්, රැකියාවටවත් අමුතු බාදාවක් හෝ වාසියක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක දවසේ පැය 24න් පැය 12ක් විතර පරිගණකය ඉස්සරහ ගත කරන රස්සාවක් කරන අතරේ සිංහලෙන් මොනවා හරි ලියන්න හිතුනහම ඔහේ ලියන්න පාවිච්චි කරනව එච්චරයි. 

ඒ ඒ කාල වලදී මුණ දෙන්න සිද්ද වෙච්ච  එදිනෙදා සිද්දි නැත්නම් ඒ ඒ කාලවලට ජිවිතේ ගැන හිතෙන හැටි, නැත්නම් ඔය වල් පල් ටිකක් ඇර වෙන වැදගත් වගේ දේවල් මේකේ නෑ.  ඊට වැඩිය සමාජයට ප්‍රයෝජනවත් වගේ දෙයක් ලියන්න ඇත්තටම මම දන්නේ නෑ කියන්න පුළුවන්. මොකද මම සාමාන්යෙන් මොනවා හරි ලියන්න කලින් හිතල බලනවා මේ ලියන්න යන එක ගැන මම හරියටම දන්නවද කියල. ඔහොම හිතල බැලුවම මම ඇත්තටම මොකුත් දන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. ඉතින්  නොදන්න දේවල් ලියන්නේ කොහොමද කියල මම ඕවා ලියන්නේ නෑ.

හැබැයි එක වෙලාවකට මම දන්නා සමහර දෙවල් ලියන්න ඕනේ කියල හිතෙනවා. හැබැයි තාම මට ඒ දේවල් ලියන්න හරියටම හිතුනේ නෑ. හිතුන වෙලාවක ලියන්නම්.

සිංහල බ්ලොග් ලෝකේ බොහොම අපූරු මිනිසුන් ඉන්න තැනක්. හැම දෙයකදිම වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන නිසා මේ බ්ලොග් කියවීම රසවත් දෙයක් වෙලා තියෙනවා. මම බොහොම අඩුවෙන් බ්ලොග් කරුවන් සමග සම්බන්ධ වෙන කෙනෙක්. එහෙම වෙලා තියෙන්නේ එකක් ඒ මගේ හැටි වීම සහ අනිත් එක අන්තර්ජාලය ට වඩා මම සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු එක්ක හොඳින් එන්න කැමති වීම. ඒ කියන්නේ මම වර්චුවල් ප්‍රතිරූප ගැන තාම එතරම් විස්වාස කරන්නේ නෑ..  එකෙන් අදහස් වෙන්නේ නෑ වර්චුවල් ඉන්න අය නරක මිනිස්සු කියල නමුත් මම වඩා කැමතියි දන්න කියන ගෙදර මිනිස්සු ටිකත් එක්ක වැඩි පුර කාලයක් ගත කරන්න. 

බ්ලොග් ලෝකේ විවිධ දේවල් සිද්ද වෙනවා. බොහෝ අය ඇවිල්ල යනවා. බොහෝ හොඳ දේවල් සිද්ද වෙනවා. බ්ලොග් නිසා හඳුනා ගෙන බොහෝ උපකාර කරපු අය ඉන්නවා.  මමත් පුළු පුළුවන් හැටියට උපකාර කිහිපයක් කරලත් තියෙනවා. ඉතින් කොයි දේ වගෙත් මේකත් ජීවිතෙත් එක්ක ගලාගෙන යන තව එක දෙයක් විතරයි. අනිත් සම්බන්ද කම් වගේම බ්ලොග් නිසා ඇතිවුන සම්බන්ද කමුත් ඒ විදියට ගලාගෙන යයි.

මට ඉතින් කියන්න තියෙන්නේ දන්නා දෙයක් ලියල තමන්ටවත් අනුන්ටවත් ඇණයක් නොවී මේ වැඩේ කරගෙන යමු කියල.  අපි වගේම අනිත් මනුස්සයත් එක එක විදියේ ප්‍රශ්නත් එක්ක ජිවත්  වෙන තවත් කෙනෙක් කියන එක පොඩ්ඩක් කල්පනාවට ගත්තම අපිට කෙනෙකුගේ ජිවිතයට ඇණයක් වෙන්න හිතෙන්නේ නෑ. හැබැයි ආතල් එකට නම්  මල ඇණයක් වුනත් කමක් නෑ...

අට වසරේ පොර ටෝක් අවසානයි නමය වසරේදී නැවත හමුවෙමු




70 comments:

  1. සිංහල බ්ලොග් ලෝකේ 8 වසරක් එක දිගට ඉන්නවා කියන එක බොහොම වටිනා කියන කාරණයක්.

    යන්තම් සති දෙකක් පිරුණු අපි වගේ අයට අට අවුරුද්දක් රන් වෙච්ච බ්ලොග් එකක් කියන්නේ බොහොම වටිනා අත්දැකීමක්.

    බ්ලොග් උපන්දිනයට අපේ පැතුම් හේරත් සහෝදරයට දෙවැනි විභීෂණ ගෙන් රාජකීය සුබපැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දෙවෙනි විභීෂණ, හෙමිහිට දිගටම කරගෙන ගියාම කාලේ යනවා දැනෙන්නේ නෑ.. ලියාගෙන යමු ඔන්න ඔහේ.. :)

      Delete
  2. මගෙන් සුබ පැතුම් අයියේ ,,
    ඔයාගේ බ්ලොග් ලිපි කියවන්න අරන් අවුරුද්දක් වගේ ඇති,,, නොදැකපු නොදන්න ඔයාගෙන් මාත් මගේ ජීවිතේට යම් යම් දේවල් අරන් තියෙනවා... අවුරුදු 8 ක් ලිවුවා කියන්නේ සෙල්ලන් නැහැ, මන් මේ අවුරුද්දක් ලියලා දැන් කම්මැලි වෙලා ඉන්නේ,,

    පුළුවන් තරම් කාලයක් ලියන්න කාලය, නිදහස සහ සිතුවිලි එකතුවෙන්න කියලා හදවතින් සුබ පතනවා ඔයාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔමා, කම්මැලි උනාම ලියන්නේ නැතුව ඉඳල ලියන්න හිතුනම ලියන්න.. වැඩිය හිතන්න දෙයක් නෑ.. එතකොට ඉබේම ලියවෙනවා..

      Delete
  3. සක්‍රීය බ්ලොග් අතර මං දන්න තරමින් පැරණිම සිංහල බ්ලොග් එක ඔබගේ මෙම අඩවිය. වසරක්වත් නොපිරුනු අපි වැනි ආධුනිකයන්ට ඔබ සුවිසල් පරමාදර්ශයක්. ඒ වගේම ඔබේ මෙම අඛන්ඩ මෙහෙවර පැසසිය යුතු කාරණයක්. එමඟින් ගන්න තියෙන දේ බොහෝයි. ඔබට අනේක වාරයක් ස්තූතියි. වසර 8ක්!! දිගු කාලයක්, ඇත්තෙන්ම.

    උණුසුම් සුබපැතුම්.. එමෙන්ම තව චිරාත් කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට ඔබට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා.

    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනොෂ්, ඔයාගේ බ්ලොග් එකෙත් බොහොම රසවත් දේ තියෙනවනේ.. හෙමිහිට ලියාගෙන යමු..

      Delete
  4. සුබ පැතුම් ඔයාට.

    මමත් බ්ලොග් ලියන්න අරන් අවු 6ක් වගේ වෙනවා . එත් ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා Comment එකක් දැම්මේ අද . මම වැඩියෙන් යන්නේ තාක්ෂණික බ්ලොග් වලට එක නිසා ඔයාගේ බ්ලොග් එක වගේ කතා වගේ දේවල් තියෙන බ්ලොග් කියවනවා අඩුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නදුන්, ඔබගේ බ්ලොග් අඩවිය දැකල නෑ මම. ලින්ක් එක දාන්න. අවුරුදු 6ක් ටෙක්නිකල් දේවල් ලියන එකත් සෙල්ලන් වැඩක් නෙවෙයි නේ.

      Delete
  5. සුබපැතුම් ..... ලේසි වැඩක් නෙවෙයි අවුරුදු අටක්‌ බ්ලොග් ලියනවා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Sanjaya සිතුවිලි :)

      Delete
  6. අවුරුදු අටට සුභ පැතුම්..
    මේච්චර කාලයක් ලියාගෙන ආව එක ගැනම සතුටුයි..

    ReplyDelete
  7. අට වෙනි සංවත්සරයට උණුසුම් සුබ පැතුම් !!! වඩාත් වටිනා කාරණය තමයි, පරිණත කමත් එක්ක එන නිහතමානී කම.

    ReplyDelete
    Replies
    1. +1 මේක තමයි බොහොමයක් අයට නැති, පැතුම්ට තියන ආබරණය..

      Delete
    2. ඇත්ත තත්වේ හැබැයි කම්මැලි කම... :D

      Delete
  8. අවුරුදු 8ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි.. ඒ කියන්නේ දැන් අපි එක්ක ඉන්න පැරැන්නා ඔබයි.. හදවතින්ම සතුටුයි.. තව දිගු ගමනකට හදවතින්ම සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්, පැරැන්නා වුනාට තාම පොඩි කොල්ලා.. හෙහ් හෙහ්

      Delete
  9. පැතුම්ගේ අටට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සුබ පත පත ඉන්න අතරේ මොනවා හරි ලියල දාමු ඒ පැත්තෙත්... :) බොහොම ස්තුතියි

      Delete
  10. 8වෙනි සංවත්සරයට හද පිරි සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා.. අර චිත්‍ර කතා ටිකෙන් පස්සේ සද්ද නැති වුනේ මොකද?

      Delete
    2. හහ් සද්දෙ නැත්තෙ මොකද මේ ඉන්න අපි සද්දෙ දාගන.. :D මත් හිතන් ඉන්නෙ උඹ වගේම අවුරුද්දට එක පෝස්ට් එක ගානෙ දාන්න කියලා.. බ්ලෝග් ලෝකෙ ජේෂ්ඨයව අනුගමනය නොකළොත් හරිනෑනෙ.. නැද්ද ? :D

      Delete
  11. අවුරුදු අටක් කියන්නේ බ්ලොග් ලෝකේ බොහොම දිග කාලයක්. බ්ලොග්ලෝකය තුල නිහතමානීම පුද්ගලයන් අතර ඔබ පෙරමුණේ සිටිනවා .
    අටට සුබ පැතුම්.... පැතුම් තව අසූවක් විතර ලියන්න පුළුවන් වෙයි කියලා හිතනවා .

    ReplyDelete
    Replies
    1. 80ක් අමාරුයි පුතා.. සියල්ල හොඳින් සිද්ද වුනොත් සහ මට දිගටම ලියන්න හිතෙයි කියල උපකල්පනය කලත් උපරිම යන්න වෙන්නේ 67ක් විතර. ඒ කියන්නේ වයස 100දිත් මේ විදියටම ලිව්වොත් හෙහ් හෙහ් .. සුබ පැතුමට ස්තුතියි..

      Delete
  12. යකඩෝ බිත්තිට ගහපු ඇනේ අවුරුදු අටක්ද??? ජයම වේවා...

    අපි නැත්නං උඹ කරයි මේ මගුල.. හැක්.. හැක්..

    උණුසුම් සුභ පැතුම් පැතුමෝ..

    බ්ලොග් වලින් වැඩක් ගත්තේ නෑ කිව්වට ඒක සීවි එකට දාලා අර ගෑනු කෙනාට උඹ බුට් එක තිබ්බා නේ..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ඉඳල හිටලා හරි බලන්න ඇවිල්ල මෙහෙම කොමෙන්ට් එකක් දාන නිසා නේ ලියන්න හිතෙන්නේ.. බිත්තිය බඳින්න බදාම සප්ලයි කරන්නේ උඹල තමයි.. හෙහ් හෙහ්

      ඒ නෝනා පව්ව්ව්ව්ව්ව්ව් අනේ..

      Delete
    2. සෙන්නා ඔය දේශකයා අපි කියල තියෙන්නේ අපි ඔක්කොටම තමයි

      Delete
    3. සෙන්නා මට ඉන්න හොදම කොක්කකි.. හැක්..

      Delete
    4. උඹේ කොක්කක් වුණාට පස්සෙද කොහෙද ඌ මෙලෝ දෙයක් ලියල නෑ.. හෙහ් හෙහ් අපිට චිත්‍රකතා ටිකක් පෙන්නලා අයිස් ගහනවා..

      Delete
  13. පැත්තා සුබ පැතුම් මචං... හයේ හතේ ඉඳන් පැත්තව දැනගෙන හිටියට බ්ලොග් ලොකේදි අපි හම්බවුනේ අහම්බෙන් නේද බං ඒත් පරණ යාලු මිත්‍ර කං ආපහු අලුත්වෙන්ඩ මේ බ්ලොගේ ඒදන්ඩක් උනා පාලමක් නොකියා ඒදන්ඩක්ය කිව්වේ පාලමට වැඩිය ඒ දන්ඩ සුන්දර නිසා ජය

    ReplyDelete
    Replies
    1. සිරාවට වෙන අපිත් එක්ක හිටපු කවුරුවත් ලියන්නේ නෑ නේද? හැබැයි බ්ලොග් කියවනවා ඇති.

      Delete
  14. පැතු‍ම්ගේ අටවැන්නට සුබ පැතුම්. බිත්තිය තව තවත් ශක්තිමත් වෙන්න පතනව.

    ReplyDelete
    Replies
    1. ඔයාල ඇවිල්ල මේ වගේ පොඩි බැකප් එකක් දෙන නිසා මකුළු දැල් නොබැදි තියාගෙන ඉන්නවා.. හෙහ් හෙහ් බොහොම ස්තුතියි Praසන්ன

      Delete
  15. වසර අටක් මේක ඇදගෙන යනවා කියන එක ලේසිපාසු කටයුත්තක් නෙවෙයි..
    දිගටම ලියමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියාගෙන ආව බන්.. අමුතු මහන්සියක් වුනේ නෑ.. නිකම්ම කාලේ යනවා..

      බොහොම ස්තුතියි..

      Delete
  16. අටට සුභ පැතුම්! පැතුම් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! වැප් :D

      Delete
  17. ඉන්දික තමයි පෙන්නුවෙ.
    සුභ පැතුම්!

    ReplyDelete
  18. අටට දාසයක් ආයු බෝ වේවා..!

    ReplyDelete
    Replies
    1. 16ක් නම් ගොඩ දාගන්න පුළුවන් වෙයි මගේ හිතේ.. අවුරුද්දට එක ගානේ ලිව්වත් වලංගුයි නේ :)

      Delete
  19. "කියවහං මෙන්න මේක" කියන ගතියක් නැති නිසා මේං මේ බ්ලොග් එකට කැමතියි..

    [කොහොමත් නිදිමරන්න කාලයක් ඉස්සරහට එන හින්ද තව ලියන්න හැකි වේවි - සදා ජය ;-) ]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස අයියා.. නිදිමරන කාලේ එන්න තව කල් තියෙනවා.. :D

      Delete
  20. උණුසුම් සුබ පැතුම් පැතුම්ට... අට වසරක් ලොකු කාලයක් අගනා මෙහෙවරක්. තවත් දිගුකාලයක් මේ බ්ලොග පවත්වාගන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා..

      Delete
  21. අගෝස්තුවෙ සැමරෙන ලොකු ලොකු වැදගත් දේ අස්සෙ බොගෙ මේ බිත්තියත් රිංගෝල තිබ්බ නේද?

    ජයවේවා!

    ReplyDelete
  22. ඒ මොකක් ද ඒ සීන් එක.. ?

    ReplyDelete
  23. පැතුම්ගේ අටට මගේ සුබ පැතුම්.අටක් ඇදගෙන යනවා කියන්නෙ සුළුපටු වැඩක් එහෙම නෙවෙයි.වැඩිය නෙවෙයි අට අගට බිංදුවක් එකතුවෙනකන් ලියන්න ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ... හැලප කතාත් පුළුවන් තරම් ලියමු... හිතෙන කම් ලියනවා.. කම්මැලි නම් නොලිය ඉන්නවා.. අමුතු මහන්සියක් නොගෙන ඔහේ ලියන්නයි තියෙන්නේ..

      Delete
  24. පැතුම්ට සුබ පැතුම් අටක් නොකඩවා ඇද්දාට. තවත් බොහෝ දුර යන්න හැකි වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලක සිත.. :)

      Delete
  25. මගේ සුභ පැතුම් පිළිගන්න.

    සිංහල යුනිකෝඩ් නිසා ඇතිවුනේ මහා විප්ලවයක් කීවොත් නිවරදියි.

    මං මුලින් ගූගල්ලා ගේ බ්ලොගර් ගැන දැකලා පොඩි උනන්දුවක් ගත්තු කාලේ මේ යුනිකෝඩ් තිබුණේ නෑ. කපුටාවලින් කොටලා, පින්තූර විදියට හදලා පිකාස්වලින් අප්ලෝඩ් කරලා බ්ලොග් එකක් කරන්න ගිහින් සෑහෙන කාලේ නාස්ති කර ගත්තා ඒ කාලේ.

    හැබැයි ඒකෙන් කවි ගැන උනන්දුවක් තියෙන නෙට් ඇක්ටිව් බොහෝ දෙනෙක් හඳුණා ගන්න ලැබුණා! ඒක ලොකු දෙයක් මොනවා වුණත්.

    අටවසරක් තිස්සේ බ්ලොග්කරනයට මේ තියෙන උනන්දුව ඉදිරියටත් අඩු නොවී පවතීවා කියා ප්‍රාර්ථනය කරනවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කතන්දර,
      මම මුලින්ම බ්ලොග් එකක් ලිව්වේ ඉංග්‍රීසියෙන් යාහූ 360 කියල වෙබ් අඩවියක. මම හිතන්නේ 2005 අන්තිම හරි 2006 මුල හරියේ වගේ. ඒ සේවය 2009 දි නතර කළා. සිංහල යුනිකෝඩ් ගැන දැනගන්න කම් සිංහලෙන් අකුරු ලියන එක හෙන අමාරු වැඩක් විදියට තමයි මට නම් පෙනුනේ.

      සිංහලෙන් මොනවා හරි ලියන්න කැමැත්ත තියෙනකම් ඉතින් බ්ලොග් එක ලියන්න පුළුවන් කියලයි මම නම් හිතන් ඉන්නේ..

      කතන්දර බ්ලොග් ලියන එක නතර කලේ සිංහලෙන් ලියන්න එපා වෙලා නෙවෙයි නේ.. ආයේ ලියන්න පටන් ගන්න. ඔහේ ලියමු.. :)

      Delete
  26. සුභපැතුම්..ඔහොම යං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Mayya, ඉස්සර අපිත් එක්ක සෙල්ලං කරපු පොඩි මල්ලි කෙනෙකුට අපි කිව්වේ මයියා කියල... හෙහ් හෙහ්

      Delete
  27. කිරි කාරයෝ, පත්තර කාරයෝ, පාන් කාරයෝ අතරේ බිත්ති කාරයෙකුත් ඉන්නවා කියලා දැන ගත්තේ සරත් අයිආ උබ ගැන මගේ බ්ලොගේ දාපු කොමෙන්ටුවකට ගිය උබලාගේ සන්වාදෙන් ..... එදා ඉඳන් මමත් මේ පැත්තේ නිතර අවා ගියා .... උබගේ සිම්පල් ලියවිල්ලට ඕන එකක් එක හුස්මට කියවලා දන්මකි. අර ලොකු එකා පොඩි එකා මහා එකා වගේ ඒවා උනත් උබ රහට ලියල තිබ්බා (මට හරි ආසයි එක කොම හරි චීන බාසාවට හරවලා උන්ට පෙන්නන්න පුලුවන්නම් .. හි හි හි. )

    එහෙනම් අටට ඉඳන් හැටට යනකම්ම ලියන්න ලැබේවා
    මට තියෙන දුක උබව ඉස්සර කරන්න බැරි එක ගැන (අන්න මගේ සිංහල කම එලියට පැන්නද කොහෙද )

    අනිවසරියට තේ තරේ පාටියක්වත් දානවනම් කියහන් ඒ පැත්තේ ඇවිත් යන්න (ලාස්ට් moment invitation accipted )

    ReplyDelete
    Replies
    1. මැලේට පිස්සු වගේ... හැක්..

      Delete
    2. බොහොම ස්තුතියි මැලේ රාළ, හෙහ් හෙහ් කවද හරි මෙහෙන් යනදාක ස්තුති කතාවක් කරද්දී ඔය නම් ටික උන්ට කියන්න ඕනේ කියල තමයි අපි හිතාගෙන ඉන්නේ.. හෙහ් හෙහ්

      පාටියක් දාන්න අත්‍යාවශ්‍යම සරත් අයියා-මහතා මේ දිනවල රටේ නෑ.. අපි වෙලාවක හම්බවෙමු..හේතුවක් නැතුවම.. :)

      Delete
    3. දේශක යා, මැලේ රාළ ට පිස්සු නෙවෙයි උගේ හැටි මම හිතන්නේ.. හෙහ් හෙහ්

      Delete
  28. මේකට ඉස්සෙල්ලම ඇවිල්ල ආකයිව් එක දැක්කම මට කියවුනේ අම්මට සිරි කියල. මොකද ඒ වෙද්දි මම හිතාගෙන හිටියෙ පරණම බ්ලොගත් පටන් ගන්න ඇත්තෙ 2009 විතර කියල.
    8ට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්, බ්ලොග් නැගල යන්න පටන් ගත්තේ නම් 2009 දි විතර තමයි. මටත් කලින් ලියන්න පටන් ගත්ත අය හිටිය බන්. ඒ බ්ලොග් දැන් තියෙනවද දන්නෙත් නෑ..

      Delete
  29. බලාගෙන ගියහම අපි කවරුත් ඔබ වගේම තමයි කියල මට හිතෙන්නෙ මාත් එහෙම කෙනක් වන නිසයි.

    ReplyDelete
  30. අටට සුභ පැතුම් ...පැතුමෝ (මම නම් කලින් ඇවිත් තියනවා ,කොමෙන්ට් නොකලට )

    සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න 
    එන්න මිත්‍රයෝ...
    ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ 
    ඇයි අහෝ මෙසේ...

    ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
    නෑ කිසි දා ලෝකෙ දිනාලා...

    මේ දිවියා මේකා බළලා
    වාද වෙලා බෑ බෑ කිසි දා...

    මේක මගේ මේක ඔබේ
    කාගෙ ද මේ ලෝකෙ අපේ...

    එන්නෙ නිකං යන්නෙ නිකං
    ඒ වෙනකං ඉන්න හොඳිං...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
    ගායනය : සමන් ද සිල්වා

    ReplyDelete
  31. අඩේ... සුබ පැතුම්... !!!
    අවුරුදු 8ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමේ... තව කාලයක් ඇදගෙන යම්මු ! ඊට පස්සෙ දරුවෙක්ට කියමු මේක කරගෙන යන්න කියලා..

    ReplyDelete
  32. උණුසුම් සුභපැතුම්...! මුල ලිපි නම් මගෑරුනා... දැන් නම් එහෙම වෙන්නේ නෑ... පැතුම් ලිපි කැටගරි වලට ලේබල් කරලා තිබ්බානම් පස්සේ එන කෙනෙකුට තෝරාගත් කැටගරියක් හරි කියවන්න පුළුවන් නේද...?

    ReplyDelete
  33. ඔයාගේ බ්ලොග් එකේ ස්පෑම් Commnet වැටෙනවා වැඩි . වර්ල්ඩ් වෙරිපෙෂන් හරි Commnet මෝඩිරේට් හරි දාගන්න බලන්න. නැතිනම් බ්ලොග් එක Google එකෙන් Delete කරලා දාවි .

    මගේ බ්ලොග් 4කට එහෙම උනා . ඉන්ටෙර්නෙට් හොයලා බලනකොට තිබුනේ Google ලා ස්වංක්‍රියව සේවිලෙන් ඉන්නේ කියලා එයාලගේ බ්ලොග් ගැන . එහෙම ස්පෑම් Commnet වැටෙන බ්ලොග් Delete කරනවලු . වර්ල්ඩ් වෙරිපෙෂන් දාලා තියෙනකොට ස්පෑම් දාන්න බැහැ ඕවා දාන්නේ මිනිස්සු නමේ.

    Commnet මෝඩිරේට් දාලා තියෙනකොට ස්පෑම් වැටුනට අවුලක් නැහැ . ඔයා එක ස්පෑම් එකට යවන්න Publish නොකර . එතකොට ඉබේම අය ස්පෑම් එකක් දාපු ගමන් ස්පෑම් එකටම යනවා .

    ස්පෑම් ගොඩක් වැටෙන නිසා කියන්න හිතුවේ .

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් නදුන්, මම දැන් මේ පෝස්ට් එකක් දැම්ම එක ගැන. දැන් ඉඳන් කොමෙන්ට් මොඩරේට් කරන්නත් සෙට් කළා.

      Delete