Tuesday, June 28, 2016

කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල

                  ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත මම කලින් කියවල ඇති කියල.. මේ ඊයේ පෙරේදා ලංකාවට යද්දී ෆ්ලයිට් එකේදී කියවන්න කියල අරන් ගියේ.. කියවගෙන යද්දී තමයි තේරුනේ මේකේ තියෙන සිද්දි එහෙන් මෙහෙන් අහල තියෙනවා විතරයි කවදාවත් පොත කියවල නෑ කියල.. යන එන ගමන් ටිකක් කියෙව්වා.. ඊයේ හවස් වරුවේ ඉතිරි ටික කියවල ඉවර කළා..

කැප්ටන් නෙමෝ ඉන්න සහ නෞටිලස් තියෙන ෆිල්ම් එකකුත් තියෙනව. නම LXG (League of Extraordinary Gentlemen) ෆිල්ම් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්.. ෆිල්ම් එකේ තව මරු චරිත ටිකක් ඉන්නවා.. Allan Quatermain, Professor James Moriarty, Mina Harker, Rodney Skinner හෙවත් අදිසි මිනිසා  වගේ මරු චරිත ටිකක් ඉන්නවා.. 

බැරිවෙලා හරි මේක කියවන කෙනෙක් Allan Quatermain ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ශ්‍රීමත් රයිඩර් හැගාර්ඩ් ගේ King Solomon's Mines කෘතියේ ප්‍රධාන චරිතය. Professor James Moriarty කියන්නේ ෂර්ලොක්හෝම්ස් කතා මාලාවේ ඉන්න ප්‍රධානම දුෂ්ට චරිතේ.. මම වැඩිය එයා ගැන නම් දන්නේ නෑ.. Mina Harker කියන්නේ සුප්‍රසිද්ධ Dracula (ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල) පොතේ  ඉන්න කාන්තා චරිතය. අදිසි මිනිසා කියන්නේ H.G Wells ගේ The Invisible Man පොතේ ඉන්න අදිසි මිනිසා.

Mina Harker ගේ හස්බන්ඩ් තමයි Jonathan Harker. පොර තමයි දැතිහුලහ ගෙන් ගේම ඉල්ලන්නේ. Jonathan Harker එදා ගේම ඉල්ලන්නේ නැතුව නිකන් පොඩි කාමරයක් වගේ ඉල්ලගෙන ශේප් එකේ හිටියනම් දැතිහුලහ අදටත් ඉන්නවා.. Mina Harker ටත් ඔය ළමයෙක් දෙන්නෙක් හදාගෙන ගේ දොර වැඩ ටිකක් කරගෙන ඉන්න තිබුනා.. කොහෙද ඉතින් ගේම මනේ ඉල්ලුවේ.. (කොහොමත් ගෑනු ඉතින් ලොකු ගෙවල් වලට ආසයි නෙ.. නැද්ද හා)

මේ වගේ පෝස්ට් ලියද්දි දේවල් ඔළුවට එන විදියට අර ඔපිස් එකේ වැඩ කරනකොටත් අපේ ඔලු හරියට වැඩ කරනවානම් අම්මපල්ල මහින්ද නැතුව උනත් ලංකාව ආශ්චර්යමත් කරන්න පුළුවන් නේ.. කරුමේ කියන්නේ ඔළුව වැඩ කරන්නේ මේ වගේ ෆැන්ටසි ලෝක වලදී විතරයිනේ.. 

හරි දැන් ආයෙත් මේ කැප්ටන් නෙමෝ දැක්ක සාගර පතුල ගැන කිව්වොත් එහෙම.. පොර ඒවා බලන්න මුහුදේ ගිලුනේ මිනිහම හදපු නෞටිලස් සබ්මැරින් එකෙන් . අපි මේ කතා කියවල මනෝ ගහල බුදිය ගත්තට ඒ මනෝ ලෝකවලින් එලියට ඇවිල්ල වැඩ කරන සුද්දෝ පස්සේ කාලෙක හදපු මුල්ම න්‍යෂ්ටික සබ්මැරින් එකට නම තිබ්බේ නෞටිලස් කියල.   ඒ සබ්මැරින් එකක් ගැන හිතාගන්නවත් බැරි තරම් ඈත කාලෙක සබ්මැරින් සංකල්පය මේ තරම් අපුරු විදියට කතාවකට ගොතපු ජුල්ස් වර්න් ට උපහාරයක් විදියට.. කතාව කියවද්දී ඇත්තටම මාර සංකල්ප ටිකක් පොතේ තියෙනවා... මම හිතන්නේ තාමත් ඒ කතාවේ ලෙවල් එකට අපි ඇවිල්ල නෑ..

හරි ඉතින් දැන් ඔය කතාවේදී කැප්ටන් නෙමෝ දැක්ක මුහුදු පතුල මොකක් ද..

හෙහ් හෙහ් මේ බ්ලොග් ලෝකයේ මාතෘකාවට අදාල නැති පෝස්ට් එකක් ලියල පොඩි ආතල් එකක් ගන්න එක හරි ම සුලබ දෙයක්.. මමත් මේ ඒ වැඩේ කරන්නේ..  දැන් මම කැප්ටන් නෙමෝ ගැන පෝස්ට් එකක් ලියන්න කියලද.. පොර ගැන මම දන්නෙත් පොත කියවපු අනිත් උන් දන්න ටිකමයි.. ඉන්දියානු සාගර පතුල ගැන ඉතින් මොනවා ලියන්නද.. මම මේ ස්විමිං පුල් එකේ යාන්තම් හුස්ම තදකරන් පොඩ්ඩක් අත පය ගහන මනුස්සය වෙච්චි කොට.. සාගර පතුල් ගැන ලියන්න.. .. හෙහ් 

මොනවා උනත් මාතෘකාවක් දැම්ම නම් එකට අදාලව මොනවාම හරි ලියන්න ඕනේ.. වැල් බයිලා කොච්චර ලිව්වත් කමක් නෑ..  (තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ..)

මේ තියෙන්නේ ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන සාගර පතුල නේ



අපූරුයි නේද..මේක බුකියේ යාලුවෙක් දාල තිබ්බ ෆොටෝ එකක් මට දැක්ක ගමන් ආස හිතුනා..මොනවා හරි ලියන්න හිතද්දී තමයි කැප්ටන් නෙමෝ ඔළුවට ආවේ.. පොරත් මේවා දකින්න ඇති නේද කියල හිතුනා.. අනේ අර Jonathan Harker දැතිහුලහ ගෙන් ගේම ඉල්ලුව වගේ මේ කැප්ටන් නෙමෝ ටත් පොඩි මුලග්ගින්නක් තිබුනා මගේ හිතේ..මිනිහටත් එක විදියකට ඉන්න බැරි වුනානේ..ඔය පාඩුවේ සබ්මැරින් එක එලොගෙන හිටියනම් අදටත් ඉන්නවනේ..  NatGeo එකට ෆොටෝ ගහන රස්සාවක් අපුරුවට කරන්න තිබුනා.. යු ටියුබ් එකේ, බුකියේ හොඳට හිට් වෙන චරිතයක් මෙලහට හිටියනම්..
ඔය තියෙන්නේ කැප්ටන් නෙමෝ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ල ලංකාවේ මුතු පර වල මුතු හොයද්දි ගත්තු පින්තුරයක් නෙවෙයි.. මේ 1967 ඔක්තෝම්බර් මාසේ National Geographic සඟරාවේ පලවෙච්ච පින්තුරයක්. කවුද මන්ද කෙනෙක් ඇඳපු මැප් එකක්..  ඔය මැප් එකේ උඩ හරිය බැලුවොත් පෙනෙයි නිකන් රොන් මඩ තැන්පත් වෙච්ච ගතියක්.. මේ ෆොටෝ එක දාල තිබුණු reddit එකේ පොඩි කතා බහක් තිබුනා ඔය ලංකාව පැත්තට වෙන්න තියෙන රොන් මඩ වගේ ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඉන්දියාවේ ගංගා නම් ගඟ නිසා කියල.. බැලු බැල්මට එහෙම හිතෙනවා.. හැබැයි ඇත්තද බොරු ද දන්නේ නෑ..


මට ඉතින් ඕක දැකල මේක ලියන්න කලින් හිතුනා මේ මැප් එක ඇත්තද බොරු ද කියල හොයන්න.. එහෙම හොයද්දී  Nasa එකෙන් පල කරපු මේ පින්තුරේ හම්බ වුණා..




පොඩ් සමාන කම් ටිකක් තියෙනවා නේද..මුල් පින්තුරේතරම් ගතියක් නැති උනාට..

සාගර පතුල ගැන හොයන්න මම ආසයි බයයි.. ඒ කියන්නේ ඔය ගැඹුරු මුහුදට නම් මම බයයි.. අර කැමරන් කාරයා.. (ඉල්ලලා අස් වෙනවයි කිව්ව කැමරන් හාදය නෙවෙයි.. චිත්‍ර පටි හදන බුවා) කොහොම මරියානා ආගාදෙට බැස්ස ද මංද..

අපි ඉතින් මේ වගේ මැප් වලින් ඔය තියෙන දෙයක් බලාගෙන ඉන්නවා.. හැබැයි බැරි වෙලා හරි නෙමෝ ලොක්කගේ නෞටිලස් එකේ අඩු ගානට ටුවර් පැකේජ් තිබ්බ නම් අපිත් බය නැතුව යනවා..  පේනවනේ හිටියනම් පොරට කරන්න තිබ්බ බිස්නස්..

කොටින් ම මේ කැප්ටන් නෙමෝ ගේ පොත කියවල ඉවර වෙලා ඊයේ ටීවී බලද්දී ටීවී එකේ තිබුනා එකක් ඔය මහ මුහුද මැද්දේ කිමිදිලා මාළු මරණ සීන් එකක්.. දැල් දාල අල්ලනවා නෙවෙයි කෙලින් ම උලකින් වගේ ඇනල අල්ලන්නේ.. ඕක බලද්දී මතක් වුනේ නෙඩ් ලෑන්ඩ්ගේ ඇවුලුම් බිලිය.. ඇවුලුම් බිලිය කියන්නේ මොකක් ද කියල මම දන්නේ නෑ හැබැයි ඒ පෙන්නපු ආයුදේ ඒ වගේ වෙන්න ඇති.. ඔය ඇවුලුම් බිලියෙන් තල්මස්සු මරණ කතාව මිට කලින් කියවල තියෙනවා.. මම හිතන්නේ මොබි ඩික් එකේ ද කොහෙද.. ෂුවර් නෑ..

දැන් මේ මැප් එක දකිද්දී මතක් වුනේ.. ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන ඇට්ලන්ටිස් මහාද්වීපයේ සුං බුං ටික..  ඔන්න බලන්න මම කිව්වේ බොරු ද කියල.. පොර අද හිටියනම් .. පවුලේ සැමට ඇට්ලන්ටිස් සවාරියක් යන්න තිබුනනේ ... අපිත් ඇට්ලන්ටිස් බලනවනේ එහෙනම්

දැන් ඔය කාරනා කාරනා දන්න අය කියයි ඇට්ලන්ටිස් කියන්නේ බොරුවක් කියල.. හැබැයි ඉතින් ඔය ඇට්ලන්ටිස් මහාද්වීපය තිබුනයි කියන්නේ දැන් අප්‍රිකානු සහ ඇමරිකානු මහද්වීප දෙක අතර ලු.. සෑහෙන්න දියුණු ශිෂ්ටාචාරයක් තිබුන(ලු) ..ලු.. අනේ මං ද

මම අර කලින් කිව්වා වගේ බැරිවෙලා හරි Jonathan Harker දැති හුලහ ගෙන් ගේම ඉල්ලන්නේ නැතුව ශේප් වෙලා දැතිහුලහ අද වෙනකම් හිටියනම්  ඔය දැතිහුලහ ට තියෙන නොමැරෙන ලේ වල රහස ශේප් එකේ එක්කෝ ගානක් දීලා.. නැත්නම් ඔය පොඩි සුදු ළුණු ටිකක් පොඩි කරලා  දැති හුලහව මඥ්ඥන් කරලා හොයාගෙන නෙමෝ ගේ ටෙක්නොලොජි පාවිච්චි කරලා මොන මොන දේ කරන්න තිබුනද...අනිත් එක අර අදිසි මිනිසා නොපෙනී ඉන්න ටෙක්නික් එක, අදිසි මිනිහ මලේ මක් වෙලා ද? මට මතක නෑනේ.. මට මතක එකම දේ තව අදිසි පුසෙක් මේ ලෝකේ ඉන්නවා කියල විතරයි... ඒ පුසාත් මලා ද? කාට හරි මතක ද?

කියල වැඩක් නෑ.. ගම්පහ ඉන්න තිබ්බ මිනිස්සු..

කැප්ටන් නෙමෝ වගේ නෙවෙයි ඇලන් ක්වාටර්මේන්,  වැදගත් මනුස්සය. අර සොලමන් රජ්ජුරුවන්ගේ වස්තුව හොයන්න ගිය හැටි කට්ටිය දන්නවා ඇති නේ.. ඔය සොලමන් රජ්ජුරුවොයි ෂිබා රැජිනයි කියන්නේ බයිබලේ එන චරිත දෙකක්.. දැන් ඔය King Solomon's Minesපොත සිංහල ට පරිවර්තනය වෙලා තිබුනා රත්නාගාරය කියල.. ඔය පොතේදී තමයි මම ඉස්සෙලම ඇලන් ක්වාටර්මේන් අඳුර ගත්තේ.. දැන් නම් ඒ පොත තියෙනවා ද දන්නේ නෑ සල්ලි දීල ගන්න. ඔකේ තියෙනවා ඇලන් ක්වාටර්මේන් සහ ඔහුගේ පිරිස කාන්තාරේ යද්දී ඈතින් පේන කඳු ශිකරය ගැන කියන්නේ ෂිබාගේ දෙපියයුරු කියල.. මට ඒ දවස් වල ඕක කියවද්දී නිකන් හෙන අවුල් වගේ.. හෙහ් හෙහ්.. දැන් මේ කොහෙන් හරි ඇලන් ක්වාටර්මේන් මතක් වුනත් මතක් වෙන්නේ පොතේ ඒ කෑල්ල හෙහ් හෙහ් හෙහ්...

රයිඩර් හැගාර්ඩ් ගේ ඈ හෙවත් අයේෂා කියන පොතේ තියෙන්නේ ඔය ෂිබා රැජින ගැන කියල මම හිතාගෙන හිටියේ හැබැයි මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි.. අයේෂා පොත ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ..දැන් මේ පොත් ගැන මතක් වුන වෙලාවේ මතක් වෙච්ච තව එකක් තමයි භුතාවේශය කියන පොත.. එකේ තිබුනෙත් ඔය කවුරු හරි කුමාරියක් ගැන තියෙන ඇඩ්වෙන්චර් කතාවක්.. එකේ චරිත නම් මතක නෑ.. හැබැයි පිට කවරේ තිබුණු දුහුල් සළුවක් ඇඳගත්ත නග්න ගෑනු රූපේ නම් ගලේ කෙටුව වගේ මතකයි හෙහ් හෙහ්..

එක පොතක් කියෙව්වම අපිට කොච්චර දුරක් යන්න පුළුවන් ද.. චිත්‍රපටයක් බැලුවට මේ විදියට මනස්ගාත ගොතන්න ටිකක් අමාරුයි මම හිතන්නේ.. මොකද චිත්‍රපටි වලින් අපේ ඔළුවේ සිද්දි ටික ඔක්කොම ඇඳලා ඉවර කරන නිසා අපිට අලුතින් අඳින්න දෙයක් නෑ.. පොත් වලින් ඉතින් පිස්සු හැදෙන කම් මවන්න පුළුවන්..

දැන් අර මම උඩින් කියපු LXG ෆිල්ම් එක මෙලෝ රහක් නැති එකක් වෙනවා ඔය චරිත ටික කලින් කියවල අඳුරගෙන හිටියේ නැත්නම්..

හරි එහෙනම් ඔය ඉන්දියන් සාගරේ උඩින් යද්දී හදිස්සියෙවත් ප්ලේන් එකක් කඩා වැටුනොත් සාගරේ තියෙන ඔය උස් කණ්ඩියකට නැගල පොඩ්ඩක් අල්ලන් ඉන්න පුළුවන්නේ කවුරු හරි බේර ගන්න එනකම්... පොඩ්ඩක් මැප් එක ඔළුවට දාගන්න.. කොයි එකටත් කියල..

කළුවරේ නිදා ගන්න ලැස්ති වෙලා ඉන්න අය මෙන්න මේකත් බලල අපේ හිතාදර දැතිහුලහා මහතා ගැන සිහිපත් කරගෙන ඔස්ති පාන් කෑල්ලක් කාල ,  සුදු ළුණු ටිකක් ඇඳවටේ තියාගෙන නිදා ගන්න.. සුබ රාත්‍රියක්!!

රිංගිට් 5ට ගත්තු මගේ රාජකීය දැතිහුලහ පොත


Friday, May 20, 2016

කොටු වීම

කොටු වීම කිව්වම මේ දවස් වල හැමෝටම මතක් වෙන්නේ ගංවතුරට කොටු වීම. කැළණි ගං මිටියාවතේ ජිවත් වෙන මිනිස්සුන්ට ඔය කොටු වීමට අවුරුදු කීපයකට සැරයක් මුහුණ දෙන්න වෙනවා. මේ සැරේ තරම් නැති වුනත් ගොඩක් අවුරුදු වලදී ගංවතුරෙන් නිතර හානි වෙන පැත්තක්.  මිට අවුරුදු 20කට විතර කලින් (20කට වැඩි මිසක් අඩු නෑ).. කාලේදී ආවට පස්සේ ආපු ලොකුම ගංවතුර කියල තමයි අපේ වැඩිහිටියෝ නම් කියන්නේ..  

ඔය ඉස්සර ආපු ගංවතුරෙදි අපි හොඳටම කොටු වුණා. ගෙවල් නම් යට වුනේ නෑ නමුත් අපිට වෙන කිසිම දිහාවකට යන්න එන්න බැරි විදියට හොඳටම කොටු වුණා.. ඒ දවස් වල මට ඕනනම් අවුරුදු 10ක් වගේ ඇති.. මහ ලොකු දෙයක් මතක නෑ හැබැයි බෝට්ටු වලින් කෑම ගෙනත් දෙනකම් බලන් හිටියා හොඳට මතකයි..වතුර බොන ලිඳ යටවෙලා අල්ලපු ගෙවල් වලින් තාත්තා වතුර ගෙනාපු හැටි මතකයි..ඒ වගේම හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා ඔය වියලි ආහාර එහෙම දාල ගිය සීන් එකකුත් මතකයි.. අපිට ගංවතුර කියන්නේ පට්ට ආතල් දෙයක්.. පවුල් පිටින් යන්නේ වතුර බලන්න..  යන්න පුළුවන් උපරිම දක්වා වතුරේ බැහැල යනවා හෙහ් හෙහ් ...

මම හිතන්නේ ඔය ගංවතුරේ දී ද කොහෙද 1990 හරි 1989 වගේ කාලේ ද  කොහෙද මට හරියට ෂුවර් නෑ.. අපේ යාලුවෙකුගේ තාත්තා කෙනෙක් නැති වුණා ගංවතුරේ යද්දී කරන්ට් එක වැදිලා.. ඒ සිද්දිය ගැන මුළු ගමම කම්පා වුණා.. දැන් වගේ කරන්ට් එක ඕෆ් කරන වැඩ සමහරවිට ඒ දවස් වල තියෙන්න නැතුව ඇති..ඒ තාත්ත නැති වුනාට පස්සේ කොල්ලෝ හතර දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා උන් ටික හදන්න වෙච්ච මහන්සිය මුළු ගමම දන්නවා.. අද උන් ඔක්කොම හොඳ තැන් වල ඉන්නවා.. 

ඒ දවස් වල ඔහොම දවස් ගණන් වහිද්දි ඉතින් අපිට කරන්න වැඩක් නෑ..ඉස්කෝල වහනවනේ.. අපේ ගෙවල් තිබ්බ හරිය යට වෙන්නේ නෑ.. ඒ නිසා කොල්ලන්ට ෆුල් ආතල්.. කෙහෙල් කොට ඔරු හදන එකයි, නැත්නම් කාගේ හරි ඔය තියෙන ඔරුවක නැගල වතුර පිරිච්ච වෙල වල් වල මාළු බාන එකයි, වතුර බලන්න යන එකයි තමයි එකම වැඩේ.. මම ජිවිතේ පළවෙනි සහ අන්තිම මාළුවා බෑවේ ඔන්න ඔහොම ආපු ගංවතුරකදී.. අපේ ගේ පල්ලෙහා තිබුනේ මහ විශාල වෙල් යායක්.. පුරන් වෙච්ච .. වෙල මැද්දේ තිබුන මහ වල කියල වතුර වලක්.. එකේ හැමදාම වතුර තිබුනා.. කැළණි ගඟ උතුරන්න ගත්තම ඔය පට්ටිවිල,රග්ගහවත්ත හරියෙන් දාන වතුර ඔක්කොම ඔය වෙලට එනවා.. මම දන්න විදියට ඔය සියඹලාපේ හංදියේ තියෙන වෙල පිරෙන්නෙත් ඔහොම ගලාගෙන එන වතුර වලින්..අනිත් පැත්තෙන් ඔය දෙල්ගොඩ උඩුපිල හරියෙන් එන වතුර..

එක සැරයක් ඔහොම ගංවතුර ආපු වෙලාවක මම ඔය අපේ කොල්ලෝ ටිකත් එක්ක ගියා ගංවතුරේ මාළු බාන්න.. ඒ කියන්නේ වෙල පිරිලා තියෙද්දී රබර් වත්තේ කොනකට වෙන්න තිබුණු කමත කියල අපි හඳුන්වපු ගොඩබිම් කෑල්ලේ ඉඳල පිරිච්ච වෙලේ මාළු බෑමක් තමයි අපි කලේ.. මට මතක විදියට කිතුල් පිත්තකට කිත්තන් නූලක් ගැට ගහල එකේ කොනට උල් වෙච්ච කම්බි කොක්කක් එල්ලලා.. ඔය ගැඩවිලෙක් හරි මොකෙක් හරි තමයි ඇමට දැම්මේ.. අපි ඉතින් ඕක වතුරට දාල කයිය ගගහ ඉන්නවා ටික වෙලාවක් ඔහොම අල්ලන් ඉද්දි මෙන්න එක පාරටම ඔය මොකෙක් හරි මාළුවෙක් අහුවුනා.. මාළුවාගේ ජාතිය නම් මොකක් ද මන්ද අඟල් 2-3 වගේ දිග පොඩි මාළුවෙක්.. කිතුල් පිත්ත උස්සල එක පාරට උඩට ගනිද්දී පට්ට ආතල් එකක් ගියා.. ඊට පස්සේ ළඟට අරන් බලද්දී අනේ ඒ මාළුවාගේ කට හරහා අර කට්ට ඇනිලා අනිත් පැත්තට මතු වෙලා තිබ්බා.. රතු පාටට ලේ ටිකකුත් තිබුනා මම හිතන්නේ..කොක්කේ එල්ලිලා දඟල දඟල හිටියේ.. ඒක දැක්ක ගමන් මට ෆුල්ම අවුල්.. අර තිබ්බ ආතල් එක කුඩේ කුඩු.. මට මතක නෑ අපි ඒ මාළුවට මොකක් කළා ද කියල.. මට ඕනේ වුණා ඌව ආපහු වතුරට දාන්න.. හැබැයි දැම්මේ නැද්ද කොහෙද.. මොකද ඒ වෙද්දීත් ඌ මැරිලා මම හිතන්නේ.. කොහොම හරි ඒක දැක්ක ගමන් මට මාළු ඇල්ලිල්ල එපාම වුණා..

වෙලේ වතුර වැඩි වෙලා ඊට පස්සේ පිරෙන්නේ වෙලත් එක්කම තියෙන රබර් කෑල්ල.. රබර් වත්තෙන් උඩහට වතුර එනවා කියන්නේ ගංවතුර සෑහෙන දරුණුයි කියන එක.. අපේ ගෙවල් තියෙන්නේ රබර් වත්ත මායිමේ ඉඳලත් තව මීටර් 30-40ක් උඩහට වෙන්න..  මේ සැරේ සහ ඔය අතීත දවසක ආපු වතුරේදී වගේ තමයි අපේ වත්තට අල්ලපු වත්ත වෙච්ච සුදු අක්කලාගේ වත්තට වතුර දැම්මේ..  ඒ හරියට බෝට්ටු වලින් එන්න තරම් වතුර දානවා.

ඔහොම වතුර දාල කොටු වුනාම තියෙන ජිවිතේ පුදුම අත්දැකීමක්.. ගෙදර හැමෝම ඉන්නවා.. කාටවත් කරන්න පුළුවන් දෙයක් නෑ.. ඉස්සර ඔහොම ඉද්දි තමයි අපේ තාත්තා අපේ ගෙවල් අවට හිටපු අපේ යාළුවන් වත් එක්ක අපිත් එක්ක කාඩ් ගහන්නේ.. අපි ඕමි ගහන්න, බුරු ගහන්න, 304 ගහන්න ඉගෙන ගත්තේ ඔහොම ගෙදරට කොටු වෙලා ඉන්න කාලේදී.. පංච දාන එක, නයයි ඉනිමගයි අදින එක ඒ දවස් වල ගෙට වෙච්ච අපිට තිබ්බ සෙල්ලං.. ඊට ටිකක් ලොකු අපේ අක්කල ගෑනු පිරිමි මල් පලතුරු දාන එක.. අම්මල තාත්තලත් අපිත් එක්ක සෙල්ලං කරන්න එන එක මරු ආතල්..

මම මෙහෙ ආවට පස්සේ මම ඔය පොත් සේල් වලට ගිහින් පොත් ගොඩවල් අරන් එද්දී මට හැමදාම හිතෙන දෙයක් තමයි.. කවද හරි ආයේ එහෙම කොටු වුනොත් කියවන්න තමයි මේ පොත් මම ගන්නේ කියන එක.. හෙහ් හෙහ්.. විකාරයි වගේ හිතුනට.. ලයිට් නැති, ටීවී නැති, ඉන්ටර්නෙට් නැති ඔය වගේ වෙලාවල් කොයි වෙලේ එයි ද දන්නේ නෑ.. දැන් මේ පේනවනේ..  අනිත් එක තමයි ඔහොම කොටු වෙලා ඉද්දි අපිට කියවන්න කියල පොත් ඒ දවස් වල තිබුනේ නැති එක...ඒ කාලෙට ඇරියස් එක්ක දැන් ගන්නවා හෙහ් හෙහ්..

තව ඔය දවස් ගණන් වහින කොට කරපු දෙයක් තමයි වහලේ උළු අස්සෙන් බේරෙන වතුර පුරවනන්න පොඩි පොඩි භාජන ගේ පුරා තියෙන එක.. හෙහ් හෙහ් ඒක හෙන ආතල් වැඩක්.. මොකද තෙමෙන්න ගත්තම හැම තැනම තෙමෙනවා.. බාජන තියල බේරන්න බෑ.. 

මට අදටත් චිත්‍රයක් අඳින්න කිව්වම එක පාරටම ඔළුවට එන අදහසක් තමයි වැසි දිනයක් කියන එක.. ඔහොම ගෙදරට කොටු වෙලා ඉද්දි කරපු තව වැඩක් තමයි ඒක.. වැස්සේ තියෙන ලස්සනට, ඒ පාටවල් වලට , මඩ පාටට, අඳුරු කොල පාටට මම හෙන ආසයි..

මේ වගේ දේවල් මතක් වෙන එක හෙන සුන්දරයි අපට කිසි කරදරයක් නැතුව මේ සැපට ඉන්න නිසා.ඒත් කී දාහක් දෙනා මේ මොහොතත් එහෙම ඉන්නවා නේ කියන දේ මතක් වෙන කොට ඒ ඔක්කොම ආතල් කුඩේ කුඩු වෙනවා..

වැඩි දුර යන්න ඕනේ නෑ.. මේ තියන්නේ ඔය මම උඩින් කිව්ව සුදු අක්කල කොටු වෙලා තියෙන හැටි..


 මේ තියෙන්නේ පෙරේදා වෙද්දී සුදු අක්කලාගේ වත්තට වතුර දාන්න අරන් තිබ්බ වෙලාව
 ඔය තියෙන්නේ වෙලට යන පාර..අබලන් වෙච්ච කෙහෙල් කොටඔරුවකුත් තියෙන්නේ..
 මේ තියෙන්නේ අද වෙද්දී බියගම ගනේවත්ත පන්සල පේන හැටි

දැන් දවස් 3ක් විතර කොටු වෙලා හිටපු සුදු අක්කලා අද හවස මේ විදියට වතුරේ බැහැගෙන සියඹලාපේ පැත්තට එන්න ඇවිල්ල තිබුනා..හැබැයි මම හිතන්නේ එන්න බැරුව ආපහු ගිහින්.. අපේ පවුලේ වයිබර් චැට් එකෙන් ආපු පිංතුර මේ...  මේ වෙද්දී අපේ ලොකු අම්මගේ පවුලේ අය කොහේටවත් යන්න බැරුව හිර වෙලා ඉන්නේ..

එයාල පෙරේදා දවාලේ සියඹලාපේ හංදියේ 13 නේ කණුව ගාවට එනකම් පයින් ඇවිල්ල තිබුනා හැබැයි එතන වතුර වැඩි කම හින්ද ආපහු ගිහින් තිබුනා.. එයාල ඉන්න ගෙවල් නම් යට වෙන්නේ නෑ.. හැබැයි මේ වෙද්දී කරන්ට් එක කපල කියල අන්තිමට පණිවිඩේ ආවේ..  අවුලක් නැතුව ඉන්න අපේ අනිත් කට්ටියට මෙයාලව ගේන්න ගන්න විදියක් නෑ මේ වෙද්දී..  අවුලක් නෑ ඉතින් ලොකු කරදරේක නෙවෙයි ඉන්නේ.. මම හිතන විදියට.. 

මේ දැන් කතා කරල දැන ගත්ත  විදියට අපේ සුප්‍රසිද්ද දේශපාලක තුමෙක් ඒ පැත්තට ඇවිල්ල  ඒක කෝල් එකක් දීලා කරන්ට් එක නම් අරන් දුන්නලු.. අනේ මන්ද.. කරන්ට් එක දුන්න වගේ නෙවයි මොකක් හරි කේස් එකක් වුනොත්..

දැන් අපිට ඕනෙම කරදරෙකදී යන්න එන්න තැන් තියෙනවා.. වාහන තියෙනවා.. හැබැයි ඉස්සර ඔහොම කොටු වුනාම කාත් කවුරුත් නෑ.. මොකද කාටවත් අනිත් අය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් හැටියට නෙවෙයි හිටියේ.. 

ඉතින් ඒ වගේ අදටත් ඉන්න දස දහස් ගණනක් මිනිස්සු වෙනුවෙන් ඇත්තටම අපි මොනවා හරි කරන්න ඕනේ.. පොඩි උන්ට ගංවතුර ආතල් වුනාට.. ගෙවල් වල වැඩි හිටියන්ට දැනෙන හිතේ දුක ගැන මේ පින්තුර බලල හිතා ගමු.. 


පින්තුර උපුටා ගැනීම ෆේස්බුක් එකෙන්
 
වෙලාවට අපි දෙන්න හෙට ලංකාවට යනවා.. අඩුම තරමේ පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි ලංකාවේ ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන්..



Saturday, April 30, 2016

උඩු යටිකුරු වී ත්‍රිමාණ වුණු ඇනිවසරිය

හොඳට හිතල බැලුවොත් හැම දවසක් ම සමරන්න ඕනේ. මොකද ආයේ කවදාවත් ඒ දවස එන්නේ නෑනේ.. ඔය උදේ හවස කන පැලෙන්න බොන මිනිස්සු ඒ අතින් හරි. මොකද ඒ ගොල්ල හැම දවසම සමරනවා. දැන් එකට අපි, ඒ කිව්වේ මේ උදේ හවස කන පැලෙන්න ඔය පොඩ්ඩක් කචල් වෙන ජාති නොබොන මිනිස්සු ඔය සැමරීම කරන්නේ අවූරුද්දකට සැරයයි නේ.. 

අනේ මන්ද කොහේ හරි අවුලක් වෙලා තියෙනවා වගේ නේද..?

හැබැයි දැන් දැන් අවුරුද්දේ දවස් 365න් 300කට කිට්ටු වෙන්න එක එක දින නම් කරලා සමරන්න පටන් අරන් තියෙනවා.. මට හිතෙන්නේ මිනිස්සු  තේරුම් අරගෙන යනවා මේ හැම දවසකම තියෙන වටිනා කම..  ඒ කියන්නේ හැමදාම ඕනනම් බොන්න පුළුවන් සාධාරණ හේතුවක් ඇතුව.. පොඩ්ඩක් නම්බුකාර විදියට.. බේබද්දෙක් නොවී..

ඔය සැමරිලි වලින් උපන්දිනේ ප්‍රධානයි නේ... අනේ මන්ද මට නම් කවදාවත් උපන්දිනේ සමරන්න ඕනේ කියල හිතිලා නෑ.. ඒ දවස් වල උපන්දිනයක් වෙනුවෙන් අපේ ගෙදර කරන වැඩිම දේ තමයි කිරිබත් හදන එක.. එක්කෝ ලුණු මිරිස් එක්ක, නැත්නම් ළුණු  ගෙඩියක් තෙල් දාල.. ඔච්චරයි උපරිම.. ඒක කෙරෙන්නේත් ඉතින් ඕක මතක් වුනොත් විතරයි හෙහ් හෙහ්

නොබැඳි ජාතීන්ගේ මණ්ඩලේ ඉන්නකම් ඔය ඕනේ විදියකට ඕවා සමරගන්න පුළුවන්.. හැබැයි ඉතින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලේට බැඳුනු ගමන් ඒවා හඳේ. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් එකසත් කම ඉවරයි.. කොහොම හරි ඉතින් පිළිවෙලකට සමරන්නම වෙනවා.. ලෝක සාමය ගැන අපි හිතන්න ඕනේ නේ.. ලෝක සාමය පටන් ගන්නේ ගෙදරින් නේ..හා  නැද්ද..?

ඉතින් ඔය දෙන්නෙක් එකසත් වෙලා ලෝක සාමය වගේ ඉතා බැරෑරුම් කටයුත්තක් වෙනුවෙන්  වැඩ කරගෙන යද්දී අවුරුද්දකට සැරයක් ඉතින් පොඩි මෙව්වා එකක් කරන්න ඕනේ.. මොකද ලෝක සාමය වෙනුවෙන් නේ දෙයියනේ  මේ හැමදේම

දැන් කාට හරි ඔය ලෝක සාමය වෙනුවෙන් අපි මේ සමගියෙන් ඉන්නේ කියන අපබ්‍රන්සේ තේරුනේ නැත්නම් මෙන්න මේ විදියට උදාහරණයක් ගන්න පුළුවන්

ඔන්න උදේ පාන්දරම අපි දෙන්නගේ සාමය ඔය මොකක් හරි සීනි බෝල වලියක් නිසා අවුල් වෙනවා.. ඒ අවුල පිටින් ගිහින් මම අපේ ඔපීසියේ ඉන්න කට හැකර චිනාට මොකක් හරි කියනවා.චිනත් බැරි වෙලා හරි උගේ මණ්ඩලේ කචල් එකක් දාගෙන තදවෙලා හිටියොත් ඌත් නිකා ඉන්නේ නෑ.. ඔපිස් එකේ දවසම වලිය යනවා.. අන්තිමට ඒ වලිය දුර දිග ගිහින් මග රැකලා ගහ ගන්න උනත් ඉඩ තියෙනවා.. බැරි වෙලා හරි අපි හිතමු ඔහොම වලියකදී චීනා මලා කියල.. අන්න ටික දවසක් යද්දී සමස්ත චීන ප්‍රජාවම අපිට විරුද්දව නැගී සිටිනවා.. දැන් ඔයාල හිතන්නේ අපේ ශ්‍රී ලාංකික ජනතාව නිකන් ඉඳියි කියල ද... නෑ... කිසිසේත් ම නෑ නේ.. මොකද ශ්‍රී ලාංකික විදියට අපිට වලියක් නැතුවම බෑනේ.. හරි ඊට පස්සේ ලංකාවට සපෝර්ට් එකට ඉන්දියාව එනවා.. අපි හිතමු ඉතින් මැලේසියාවේ චීන්නුන්ට සපෝර්ට් එකට මුළු චිනෙම සෙට් වුණා කියල.... ඊට පස්සේ හින් සීරුවේ ඇමරිකාව රුසියාව වගේ ඔන්න එහෙන් මෙහන් අත දාන්න පටන් ගන්න ඉඩ තියෙනවා.. හරි නේ ඉතින් ඊට පස්සේ ලෝක සාමේ ඉවරයි..

දැන් පේනවනේ ඔය පවුලේ සමගිය කොච්චර වැදගත් ද කියල.. සමහර විට ඔය පවුල් අවුල් යන්න එළියේ ඉන්න පොඩි කුරුමිනියෙක් ගෙට ආවත් ඇති..අර Butterfly Effect වගේ කුරුමිණි Effect වුනත් ඇති වෙන්න පුළුවන්.. 

අන්න ඒ නිසා තනිකඩ කාලේ කොහොම වුනත් බැන්දට පස්සේ නම් පුතෝ ඇනිවසරි සමරන එක  කරන්නම ඕනේ...! ආයේ දෙකක් නෑ

මම ඉතින් කවදත් සාමකාමී මනුස්සය නිසා මේ සැරෙත් ඔන්න ඕක සමරලා දැම්ම..

අපරාදේ කියන්න බෑ 3න් වෙනි ඇනිවසරි එකට බට්ටි නගාගෙ ගෙදර අය මෙහෙ ඇවිල්ල හිටියා වගේ මේ සැරේ අපේ කස්ටිය මෙහෙ ගොඩ බැහැල හිටියේ..  (අපේ සෙට් එක නම් දැන් වැඩි හරියක් ඉන්නේ මෙහෙ තමයි හෙහ් හෙහ්)

අපේ ඇනිවසරි කතා ගැන බ්ලොග් කියවන මිනිස්සුන්ට ඇති වැදගත් කමක් නැති වුනාට, බැරි වෙලා හරි ඕවා කියවන්න කැමති අය ගැන හිතල මේ ලියන්නේ.. (මට ලියන්න වෙන මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නැති බව අපි අමතක කරමු)

රයිට් මම අර කලින් ලියපු පෝස්ට් ටිකේ කිව්වනේ අපේ ගෙදර සෙට් එක මෙහෙ ඇවිල්ල අපි ඔය ගිය ගමන් දෙක තුනක් ගැන.. ඒ ඇවිල්ල මේ පහුගිය දෙසැම්බර් මාසේ.. ඔය අතරේ අපේ අක්ක කිව්වා අන්න මාමල අප්‍රේල් මාසේ එනවා කිව්වා කියල.. මම ඉතින් මාමල පිළිගන්න සැදී පැහැදී හිටියේ.. මොකද අපේ මාම නිසා තමයි  අපි මේ යම් තැනකට ඇවිල්ල ඉන්නවනම් ඉන්නේ.. ඒ කියන්නේ නැත්තටම නැති බැරි කාලේ අතදීලා ගොඩ යන්න උදව් කලේ මාමා. ඉතින් මාමල එන එකට මම ආසාවෙන් හිටියේ. 

ඉතින් ඔහොම ඔය කට්ටිය ඇවිල්ල ගියානේ.. 

ජනවාරි අන්තිම හරියේ මෙන්න අපේ අක්කා කෝල් එකක් දෙනවා.. "මේ මල්ලි (අපේ අක්ක මට මල්ලි කියන්නේ හෙන කලාතුරකින් නැත්නම් ඉතින් මේ ඕයි, මේ උලමෝ, මේ බන්ඩෝ, මේ පැතුමෝ, ආදී වශයෙන් තමයි අමතන්නේ  ) ඔන්න ඔහේ අපිත් තීරණේ කළා මාමලත් එක්ක ආයේ එන්න හී හී හී..."

මම ඉතින් බට්ටි නගාට "අන්න අර සෙට් එක ආයේ එනවලු..." "කවුද ? මාමල නේ...." "මාමල විතරක් නෙවෙයි අන්න අක්කලත් ආයේ එනවලු..." හෙහ් හෙහ්...

"අයියෝ මේ ඇවිල්ල ගිහින් ගේ අස් කරලා ඉවර වුණා විතරනේ.. "... මුණ දෙක වෙයි..

ඔන්න ඔය ආකාරයට අපේ අම්මා ඇතුළු හුදී ජනතාව 9 දෙනෙක් අප්‍රේල් මාසේ මුල සතියේ ගොඩ බැස්සා...

කලින් ට්‍රිප් ගිහින් අත්දැකීම් තියෙන නිසා ඔය කට්ටිය එක්ක යන්න ට්‍රිප් අපි කලින් ම ප්ලෑන් කළා.. මේ සැරේ ගියේ මැලේසියාවට අයිති තව දුපතක් වෙච්ච Penang වලට.. ක්වාලා ලාම්පුර් ඉඳල 400km විතර දුර..

කලින් වගේ ම වාහන දෙකේ පැය 5කින් විතර ගියා..

මේ තියෙන්නේ දුපත


මේ දුපතට යන්න 13.5km දිග පාලමක් තියෙනවා. එහෙම නැත්නම් ferry එකේ යන්නත් පුළුවන්..  ප්‍රධාන භුමියේ තියෙන Butterworth නගරෙට ආවම. නැත්නම් කෙලින්ම flight එකේ එන්නත් පුළුවන් 

අපි ගියේ පාලම දිගේ.. හරි අපුරු අත්දැකීමක් ඒක.. මුහුද මැද්දෙන් යනකොට මාර ලස්සනයි..

මේ තියෙන්නේ පාලම


Penang කියන්නේ මැලේසියාවට අයත් තව එක ස්ටේට් එකක් . පිහිටලා තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. සෑහෙන්න දියුණු නගරයක් තමයි. ඒවගේම UNESCO World Heritage Site  එකක් විදියට නම් කරලා තියෙනවා මොකද 1786 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබිලා හරියට අපේ ගාල්ල වගේ ඉතිරි වෙච්ච නගරයක්.. හැබැයි ඉතින් ගාල්ලට වඩා සෑහෙන්න දියුණුයි..

ජනගහනය වැඩි හරියක් ඉන්නේ චීන අය. සල්ලි තියෙන චීන්නු, සංචාරක කර්මාන්තය ඉතාමත් ඉහල තත්වයක තියෙනවා.. 

මම කලින් සැරයක් ලිව්ව Street Art ගැන පෝස්ට් එකේදී මම Penang ගැන ලිව්වා.

හරි ඉතින් අපි හවස් වෙද්දී Penang වලට ඇවිල්ල. පොඩි ෂොපින් පාරක් දාල රෑ හොටෙල් එකේ නතර වුණා

හැමදේම උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ.....

Penang කියන්නේ ටිකක් පෞරාණික පැත්තක් නේ.. ඉතින් ඔය පැරණි ගොඩ නැගිලි එහෙම ගොඩක් තියෙනවා. අපේ හොටෙල් එක තිබුනේ ඔය ජෝර්ජ් ටවුන් කියන පැරණි නගරේ..හොටෙල් එකේ අපේ මාමල ගත්ත රුම් එකෙන් එළියේ තිබුනේ කනත්තක්!....

නගරයක් මැද්දේ කනත්තක් තියෙන එක ටිකක් අමුතු වුනාට මේක UNESCO World Heritage Site එකක් නිසා පැරණි ඒවා ඒ විදියටම තියෙන්න ඇරලා .. කනත්තත් මම හිතන්නේ කෞතුක වටිනාකමක් තියෙන තැනක්.. 

අපි රෑට කන්න එලියට යද්දී ඔය කනත්ත ගාවින් ගියා.. ඒ වෙලාවේදී නැන්ද කිව්වා අපේ රූම් එකට පේන්නේ මෙන්න මේ කනත්ත තමයි කියල.. අපි ඉතින් විහිළු කර කර ගියා අද රෑට චීන්නු ඇවිත් හොල්මන් කරයි කියල.. කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ...

හරි ඉතින් ඊට පස්සේ රෑට කාල ඇවිත් අපි කාමර වලට ගිහින් නිදා ගත්තා...

හැමදේම හොඳින් සිද්ද වුණා..

මොකුත් අමුත්තක් තිබුනේ නෑ...

රෑ අපිට නම් හොඳට නින්දත් ගියා...
 .
.
.
.
.
.
.
.
.
.
.
.
ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා ලැස්ති වෙලා අපි මාමලාගේ රුම් එකට තට්ටුවක් දැම්ම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුලක් නෑ ඉතින් කට්ටිය ලැස්ති වෙලා දොර ඇරියා..ඊට පස්සේ අපි ඔක්කොම හොටෙල් එකෙන් කෑම ගන්න පහලට බැස්ස..

අපේ නැන්ද කන අතරෙදි කියනවා අනේ මට ඊයේ මුළු රෑම නින්ද ගියේ නෑ.. මේ බෙල්ල හරියෙන් මුළු රෑ තිස්සෙම කවුරු හරි මොකකින් හරි අනිනවා අනිනවා වගේ දැනුනා අන්තිමට පාන්දර මාමත් නැගිටලා පොඩ්ඩක් අතගාල ඉන්නකොට තමයි හරි ගියේ කියල....

හෙහ් හෙහ්... අපි ඉතින් ඕක එච්චර ගණන් ගත්තේ නෑ... මාමත් ඔය විහිළුවක් කරලා නිකන් හිටියා..

කාල ඉවර වෙලා අපි එලියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න ගියා..

මේ තියෙන්නේ ගිහින් වෙච්ච දේ... නිකමට විශ්වාස කරන්න පුළුවන් ද








හැමදේම උඩු යටිකුරු වෙලා... කිව්වට විස්වාස කරන්න ගුරුත්වාකර්ශනේ වැඩ කරන්නේ අනිත් පැත්තට..  බොහොම අමාරුවෙන් ඔය තියෙන එකක් අල්ලන් බේරිලා හිටියේ...
මයිකල් ජැක්සන් වගේ බොරු ජිල්මාට් දැම්මේ නෑ අපි... පේනවනේ අංශක 45ක් විතර ඇලවෙලා ගිය හැටි..
අපිට ඉතින් උලත් එකයි පිලත් එකයි හින්ද හොඳයි .. තව පොඩ්ඩෙන් හොම්බ කට රිවට් වෙනවා...

හරි ඉතින් අපි ඒ හරියේ වැඩි වෙලා ඉන්නේ නැතුව ආපහු ආව.. ඇවිල්ල බලද්දී නේ දැක්කේ මේක






යාන්තම් ඕකෙන් බේරිලා එලියට ඇවිල්ල දවල්ට කෑව.. අපරාදේ කියන්න බෑ හොඳ බුරියානි පාරක් දැම්ම.. 

ඔලුවෙන් හිටගෙන ඉඳල හොඳ ගණන් නේ..

ඊට පස්සේ අනේ අම්මෝ මේ ටවුම නම් එපා කියල යද්දී 

මෙන්න මේ වගේ බස් එකක් ආවා

බස් එකෙන් බැහැල ටික දුරක් යද්දී  අපේ ඇලඩින් අයියා කාපට් එකේ නැගල උඩින් ඇවිල්ල ඇහුව නේ "හලෝ පැතුම් මල්ලි මොකෝ මේ පයින් එන්න මම ගිහින් බස්සනනම් කියල... " කාලෙකින් හම්බවෙච්ච නිසා මිනිහත් එක්ක ගියා..ඕනේ එකක් වෙන්න කියල..
 

ඔය ඔක්කොම උනාට පස්සේ ඉතින් පේනවනේ... .. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හමුවේ පිරිමි අපි කොච්චර පොඩි ද කියල... පේනවනේ..
 ඒ මදිවට පොඩි උන්ටත් වැඳගෙන ඉන්න වෙනවා.. කාලයක් යද්දී..
 පොඩි වුන් කරන නොසන්ඩාල වැඩ වලින් බේරෙන්න ලේසි නෑ...පේනවනේ මෝර ගේ සයිස් එක..

ඒ මදිවට දැන් හැදෙන උන් දුවන්නේ ලඳු කැලෑ වල නෙවෙයි නේ.. කෙලින් ම ජුරාසික් පාර්ක් වල..

 ඔක්කොමත් හරි බටේ ඇතුලේ හිටපු මේ පිඹුරත් හරි...
 අනුනමයෙන් බේරුනේ...


යාන්තම් ඔය වගේ මහ ජන්ජාල ගොඩකින් බේරිලා අපි දෙවෙනි දවසට බුක් කරගත්ත හෝටලේට ගියා... අනේ අම්මේ එහෙමත් බේරිල්ලක්

ඊට පස්සේ පහුවදා  Penang හිල් කියන කන්ද නැග්ග...මම මෙච්චර වෙලා කිව්වේ බොරු කියල කාට හරි හිතෙනවනම් පොඩ්ඩක් බලන්න මේ කෝච්චිය දිහා

ඇදවෙලා නේද... හෙහ් හෙහ්


අංශක 50-60 ආනත වෙච්ච මේ කන්ද නගින්න ඇද වෙච්ච කොච්චි නැතුව බෑ



උඩට ගියාම පෙන්නේ මෙන්න මෙහෙම




ඔන්න ඔහොමයි ඉතින් සිද්ද වුනේ..

යාන්තම් ඒ ගමන ඉවර කරලා පන බේරගෙන ආපහු ආවා... අක්කල මාමල ආපහු ගියා.. අම්ම නම් අවුරුදු කන්නත් අපි එක්ක ඉඳලම ගියා...

අපි දෙන්නගේ 5වෙනි ඇනිවසරිය ඔන්න ඔය විදියටයි ගෙවිලා ගියේ...


Monday, April 04, 2016

ජීවිතය



හරිම සරලයි
ඔබ ජිවත් වෙන්න
අනෙකාට ජිවත් වෙන්න ඉඩ දෙන්න.
එච්චරයි...

ඔබ දකින ලෝකය ඔබේ මිස
අනෙකාගේ නොවෙයි.
අනෙකාට ඇත්තේ ඔබට කිසිදිනෙක නොවැටහෙන
ලෝකයක් විය හැකිය.

ඔබ අනෙකා ගැන සිතන්නේ
ඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බව
ඔබට පිළිගත හැකි නම්
දෙදෙනාම සතුටු වනු ඇත.

සතුට ඇත්තේ
ඔබ අනෙකා වෙනුවත්
අනෙකා ඔබ වෙනුවෙන් වත්
ජිවත් නොවීම තුලයි.

ජිවත් වීම
ගැටලුවක් වන්නේ
ඔබ තුලින් අනෙකාව
ඔබට දකින්නට නොහැකිවූ විටයි

අප සැවොම
එකම හේතුවකින් හටගෙන
එකම හේතුවකින් නැතිවී යයි
හේතුව හැමදාම එකමයි

අවසානයේ
ඔබ සහ අනෙකා යනු
එකම හේතුවක ඵලයන් දෙකක් මිස
වෙන කිසිත් නොවේ.

ගසක ගෙඩි වලට
කෙදිනක වත් අනෙක් ගෙඩි සමග තරඟයක් නැත.
එකම හේතුවක විවිධ ඵල
සහජීවනයේ උපරිමය.

ඔබ අනෙකා කෙරෙහි ඇති බැඳීම
සහජීවන බැඳීමක් නම්
එහි ගැටුමක් නැත
නමුත් බැඳීමක් ඇත.

ඒ බැඳීම සුමටය
මිදීම පහසුය
මිදුණු පසුත්
අනෙකා සහ ඔබ, දෙදෙනාම සතුටිනි

බැඳීම රළු වන්නේ
ඔබ අනෙකාවද
අනෙකා ඔබවද
දැකුමෙන් බැඳ ගත් විටය..

ඔබේ දැක්ම ඔබේය
අනෙකාගේ නොවේය
අනෙකාගේ දැක්ම
ඔබේ නොවේය

ගසක ගෙඩි
ගංගාවේ ජලය
අහසේ වලාකුළු
බැඳී ඇත නමුත් මිදී යයි

බැඳීම් විඳින්නට හැක
බැඳීම දකින්නට ද හැක
නිවැරදි ලෙස දකින විට
විඳීමක් ඉතිරි නොවනු ඇත

බැඳීම් සමග ජිවිතය
හරිම සරලයි

නිවන් දකින ගස්


Thursday, March 31, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 4

කලින් කොටස් 3 බලලම ඉන්න




ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!

මේ ගමන ගියේ ඔෆිස් එකේ අම්බානක් වැඩ අස්සේ... යනවද නැද්ද යනවද නැද්ද කියල හිත හිත ඉඳල අන්තිමට සෙනසුරදා රෑ හෝටල් හොයල ඉරිදා උදේ ගියේ.. සඳුදා තිබ්බ නිවාඩුවක් අල්ලලා...

පහුගිය මාස 4-5ක් තිස්සේ නම් සිරාවට වැඩ කළා.. ඔය අවංකවම ඇත්තට  වැඩ කරන මින්ස්සු කොච්චර බිසී වෙනවද කියල ඔන්න මට තේරුනේ මේ දවස් ටිකේ තමයි. මම මේ කියන්නේ මම මේ රස්සාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 12ක් විතර වෙනවා...ඒ කාලෙටම මෙච්චර වැඩ කලාමයිද කොහෙද.. හෙහ් 

කොහොම වුනත් මේ බ්ලොග් ලියන මිනිස්සු මේ වෙනුවෙන් කරන කැප වීම දැක්කම මට අවංකවම මං ගැනම ලැජ්ජයි. කොටින් ම කිව්වොත්  අධික වැඩ නිසා නෙවෙයි මොකුත් නොලියන්නේ මහා මොකක්දෝ කම්මැලි කමක් නිසා.. අනිත් එක මේ අවුරුද්ද පටන් ගද්දිම වගේ ලංකාවට Netflix දුන්නනේ එදාම මලෙසියාවටත් ඕක ලැබුනා.. පලවෙනි මාසේ නොමිලේ දුන්න නිසා මම ඕක ගත්තා.. ඉස්සර වගේ ටොරන්ට්ස් හොයන්නේ නැතුව ඉතින් tv එක දාගෙන ඔහේ කැමති ෆිල්ම් එකක්/ tv සීරිස් එකක් බැලීමේ පහසුව එක නිසා කලින් බ්ලොග් ලියල ගත්ත ආතල් එක  ටික ටික tv විසින් හොරකම් කළා කිව්වොත් හරි... කම්මැලි කම , ඇබ්බැහිවීම , අධික මහන්සිය සහ ඔක්කොටොම වැඩිය වැඩ කරන තැන ඉන්න කැහැටු චීනා සමග උදේ හවස  මල පැනීම නිසාත් මේ බ්ලොග් ලිවිල්ල කඩා කප්පල් වුණා..

යාන්තම් ඉදිරිසති කීපයේදී මද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ වැඩ ටිකක් අඩු වෙයි.. නමුත් කොච්චර වැඩ තිබුනත් මේ බ්ලොග් කලාවට ආදරය කරන මිනිසුන් මේ වෙනුවෙන් කරන කැපවීම දැක්කම සිරාවටම මට ම ලැජ්ජයි..

අනිත් එක මම වගේ යලට මහට ඔහේ ලියන මගේ පෝස්ට් එකක් මේ පහුගිය බ්ලොග් සම්මාන උළෙලට නිර්දේශ වෙලා තිබුනා මම දැක්ක... මම ඒක දැක්කේ දැන් දවස් 3- 4කට කලින්.. එක දැකල මට ඇත්තටම පොඩ්ඩක් අප්සැට් ගියා. මොකද කිව්වොත් මම ඒවා ඔහේ ලියනවා මිසක් අවංකවම උනන්දුවකින් මහන්සියකින් නොලියන නිසා. ඊට වඩා කැපවීමකින් මේ දේ කරන මිනිස්සුන්ට ඒ සම්මාන ලැබිය යුතුයි කියලයි මම හිතන්නේ.. කොහොම උනත් නෙලුම් යායේ සැමට බොහොම ස්තුතියි!! 

අද මේක ලියන්න හිතුන්නෙත් අර කල්‍යාණ මිත්‍ර දාල තියෙන පෝස්ට් එක දැක්කට පස්සේ.. තමුන්ගේ වැඩ රාජකාරී කැප කරලා ඔවුන් ඒ කරපු දේවල් කියෙව්වම අවංකවම සතුටක් සහ කනගාටුවක් ඇති වෙනවා. සතුට ඔවුන් කරපු දේ ගැන. කනගාටුව මං ගැන. අඩුම තරමේ කෝල් එකක් වත් නොදුන්න එකට, චැට් එකක් වත් නොදාපු එකට..  මොනවා කරන්නද ඔය මගේ උපන් හැටි ද කොහෙද හෙහ් හෙහ්

හරි ඉතින් මේ පටන් ගත්ත ට්‍රිප් ගමන් ටික ගැන ලියල ඉවර කරලා දාල අලුතින් මොනවා හරි ලියන්න හිතුවා.. 

මැලේසියාවේ සිතල පළාත් කියල මහ ලොකු පැති නෑ.. ප්‍රසිද්ධ තැන් කීපයක් තියෙනවා  Cameron highlands, Genting Highlands, Fraser Hill හැබැයි ඉතින් හපුතලේ කොල්ලෙක් වශයෙන් මට පොඩ්ඩක් ලැජ්ජයි  ඒ පළාත් වලට සීතලයි කියන්න.. එතකොට නුවර එළියේ කොල්ලෝ ගැන කවර කතා ද හෙහ් හෙහ්

අන්තිම මොහොතේ හෝටල්  හොයන්න ගිය නිසා අපි යන්න හිතපු Fraser Hill වල හරි හමන් එකක් තිබුනේ නෑ..දීර්ඝ සති අන්තයක් නිසා බජට් හොටෙල් හොයන්න අමාරුයි.  ඉතින් ඔන්න ඔහේ කියල ඉතින් යන්න ඕනේ දිහාට 40km විතර දුරින් අපි හෝටලයක් බුක් කළා.. නුවර එළියේ හෝටල් නැති නිසා අඩුම තරමේ හපුතලේ හරි යමුකෝ හිතල පොඩ්ඩක් විඳින්න කියල හිතාගෙන තමයි බුක් කලේ..

සුපුරුදු පරිදි අපි දෙන්න උදෙන්ම පිටත් වුණා. මේ සැරේ ගමනේදී මට සහයට ඩයිබර් කෙනෙක් හිටිය නිසා හාට් එකට පොඩ්ඩක් අවුල් වුනත් මම නිදහසේ ගියා.  ඩයිබර් කවුද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... හෙහ් හෙහ් ලංකාවේදී ලයිසන් අරන් මැලේසියාවේදී මුලින් ම වාහනයක් අතට ගත්ත බට්ටි නගා ඇර වෙන කවුද ඉතින්.. අපරාදේ කියන්න බෑ කරදරයක් නැතුව කිලෝමීටර් 100ක් විතර වාහනේ අරන් ගිහින් සෑහෙන ලොකු සේවයක් කළා.. මගේ හාට් එක දෙතුන් පාරක් නතර වුණා. ඒ ඇර වෙන මොකුත් අවුලක් වුනේ නෑ...

දැන් ඔන්න ඔහොම දෙන්න මාරුවෙන් මාරුවට එලෝලා එලෝලා එලෝලා එලෝලා අපි ආවා කන්දක් උඩට කන්ද උඩට එන්න කලින් ඔය එක තැනකින් බැහැල පොඩි දොළ පාරක් බලන්නත් ගියා...


දොළ පාර

ඕක බලල යද්දී මේ වගේ පොඩි ජලාශයකුත් දැක්ක





වංගු 500ක් විතර කැරකිලා කැරකිලා කැරකිලා අපි කන්ද උඩට ආව

කන්ද උඩ තිබුනේ මෙන්න මේ වගේ හන්දියක්

මෙතන තමයි ඔය ප්‍රසිද්ධ Fraser Hill කියන්නේ

ඔය ඒ කාලේ ටින් කර්මාන්තෙට ආපු සුද්දෙක් ගේ නමක් දාපු කන්දක්. වැඩි දෙයක් නෑ. හීතල ගැන කිව්වොත් නිකන් නුවර වගේ ගතියක් තමයි තිබුනේ.. ඔන්න ඊට පොඩ්ඩක් වැඩි ඇති.. සමහර විට අපි ගිය වෙලාව සහ කාලේ නිසා වෙන්න ඇති. අපි දෙන්නට කන්ද නැගල උඩට ආවම හෙන බඩගිනියි. ළඟ තියෙන හොටෙල් එකකින් දවාලට කාල මොකද කරන්නේ කියල කල්පනා කරනකොට අපේ ඩයිබර් ළමයට ටිකක් වගේ මහන්සියි කියපු හින්ද ඉතින් වැඩිය ඇවිදින්නේ නැතුව හොටෙල් එකට යමු කියල හිතුවා.

අපි ඇවිද්දේ නැති වුනාට මේ පළාත jungle trekking, bird watching වගේ දේවල් වලට ප්‍රසිද්ධයි. ගොල්ෆ් ගහන අයටත් හොඳ පිට්ටනි තියෙනවා

මේ තියෙන්නේ එකක්


ඔන්න ඔහේ හොටෙල් එකට යමු කියල ආයෙත් ඉතින් වාහනේට නැග්ග. ඉතින් ඩයිබර් ළමය හීනියට නිදි අතරේ මම එලෝනවා. මම ඔහොම එලෝලා එලෝලා එලෝලා එලෝලා  බලද්දී දෙයියනේ අර නැග්ග කන්ද ඔක්කොම බැහැල.. හරියට නිකන් ගම්පහ වගේ පැත්තක් (ගම්පහ සිරා පැත්තක්) මම කිව්වේ දේශගුනේ ගැන. අයියෝ සල්ලි කිව්වලු. ඔය හෝටලේ තිබුණු පළාත ට කියන්නේ රවුබ් කියල.. මම හිතන්නේ අපි වෙන්න ඇති ඒ පලාතට ගිය පළවෙනි ෆොරින් ටුවරිස්ට්ස්ල හෙහ් හෙහ්  හෙහ් හෙහ්

ඉතින් මොකෝ කරන්නේ කියල හෝටලේට ගියා. ගිහින් පොඩි රෙස්ට් එකක් අරන් කල්පනා කළා මොකෝ කරන්නේ කියල... හීතලයි කියල නාමයක් නෑ.. ගුග්ල් එකේ හෙව්වට බලන්න කියල ඒ හැටි දේකුත් නෑ.. ගම්පහ ගිහින් අත්තනගලු ඔය බලනවා වගේ පොඩි පොඩි ගංගා දෙක තුනකුයි කොහෙද මන්ද කැලෑවක තියෙන දිය ඇල්ලකුයි ගැන විස්තර තමයි ආවේ..  

ඔන්න ඔහේ ටවුම වටේ යමු කියල ගියා බලන්න

මේ තියෙන්නේ ටවුම

ඔය ළඟ තිබ්බ කඩේකින් බනිසක් වගේ එකක් කාලා

 චීන පන්සලක් තියෙනවා කියල ඒක හොයාගෙන  යමු කියල ආයේ ගියා. අපේ වෙලාවට එක වහල දාපු පාලුවට ගිය පන්සලක් 

මේ තියෙන්නේ

අපි ඕක බලන්න ගියේ නෑ.. අන්තිමට ඉතින් හිස හැරුණු අතේ යනවා වගේ පාර දිගේ ඔහේ ගියා
යද්දී මේ වගේ ලස්සන පොල් / තැඹිලි වත්තක් දැකල ලංකාව මතක් වුණා..

 කළුවර වැටෙද්දී ඔන්න ඔහේ ආපහු යමු කියල හරවගෙන ඇවිල්ල මෙන්න මේ කෝවිල අස්සට ගිහින් බැලුව

ඒකෙත් ඇති දෙයක් නැති හින්ද ඉතින් අන්තිමට හෝටලේ ළඟ කඩේකින් රෑටකාල ආපහු ආව.. හෙහ් හෙහ්

අපරාදේ කියන්න බෑ හෝටලේ wifi speed එක හොඳ හින්ද මම Netflix එකේ Breaking Bad කොටස් දෙකක් විතර බලල නිදා ගත්තා.. හෙහ් හෙහ්

ට්‍රිප් යනවනම් ඉතින් එහෙමයි!!

ඊට පස්සේ පහුවදා උදෙන් ම හොටෙල් එකෙන් පිටත් වෙලා ආවා එද්දී අතර මගදී මෙන්න මේ චීන පන්සල දැක්ක. කලින් දවසේ හැන්දෑවේ අපි හෙව්වේ මේ පන්සල හැබැයි ගියේ වෙන එකකට. ඊට පස්සේ  ඉතින් ඒ පන්සලේ පොඩ්ඩක් ඇවිදලා ආපහු ආවා

මේ තියෙන්නේ පන්සලේ තිබ්බ අපුරු තැන් ටිකක්








ඔය ටික බලල ඩයිබර් ළමය වාහනේ එලවද්දී මම මෙන්න මේ වගේ ආපු පාරේ පොටෝ එකක් ගත්තා.





ඔන්න ඔය විදියට අපේ බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් සංචාරය නිමා වුණා (බුකිට් කියන්නේ මැලේ බාසාවෙන් කන්ද (Hill) කියන අදහස)

ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි ආයෙත් වැඩට යන අතරේ පෙබරවාරි මාසේ අපි තව ගමනක් ගියා!!!!

( ඒ ගමන ගැන කවද හරි ලියනකම් දැනට ඔය ඇති)


Wednesday, February 10, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 3



කලින් කොටස් 2ක බලලම ඉන්න

එක

දෙක

අක්කල එන්න කලින් ම අපි එයාලගේ ට්‍රිප් එක ප්ලෑන් කළා.. අපි මෙහෙ ආවට පස්සේ 3න් පාරක් අක්කල ගැන්සිය මෙහෙ ආව නිසා එයාලටත් ක්වලාලාම්පුර් වලින් එහා මැලේසියාව බලන්න ඕනේ වෙලා තිබුනේ.. 

ඔය නඩේට මුලින් ම සැරේ 11දෙනෙක් ආව. ඊට පස්සේ සැරේ 9 දෙනෙක් ආවා මේ සැරේ 10ක් ආවා.. මුල්ම සැරේ හොඳට කටු කෑවා කට්ටියම එක්කන් යන්න ටැක්සි හොයන්න ගිහින් . අපිත් ආව විතර නිසා අපිටත් නිකන් හොල්මන් වගේ..... දෙවෙනි සැරේ එනකොට අපි ටැක්සි එහෙම ටිකක් අඳුරගෙන කලින් තරම්ම චාටර් වෙන්නේ නැතුව එහෙ මෙහෙ ඇවිද්දා.. මේ සැරේ ඉතින් අපි කලින් ම වාහනයක්  බුක් කළා.  

අපේ මස්සිනා ගොයියා ඉන්ටර්නැෂනල් ලයිසන් එක එහෙම අරන් ආවේ.. එයා තමයි වාහනේ ගෙනිච්චේ.. මෙහෙ වාහන එලවන එක අමාරු නෑ.. ලංකාවට වඩා සැහෙන්න අචාරසිලි විදියට මිනිස්සු වාහන එලවනවා.. එහෙන් මෙහෙන් දාන්න ත්‍රී වීල් නැති නිසා ඒ හැටි බය වෙන්න දෙයක් නෑ.. මෝටර් සයිකල් වලින් ටිකක් පරිස්සම් වුනාම අවුලක් නැතිව වාහනයක් අරන් යන්න පුළුවන්.. නීති රීති ඔක්කොම එකයි..

පළවෙනි දවසේ හවස් වරුවේ කට්ටිය පුත්‍ර ජයා පැත්ත බලන්න ගියා.. ටිකක් පාරවල් හුරු වෙන්නයි වාහනේ හුරු වෙන්නයි එක්ක.. පුත්‍ර ජයා ගැන මම වෙනම එකක් ලියන්නම්.. ලියන්න සෑහෙන්න දෙයක් තියෙන පැත්තක්.. හෙහ්

අපි කලින් ගමන් දෙක ගිහින් බැලුවේ අක්කල ආවම පොඩි අයත් එක්ක යන්න හොඳ කොහෙද කියන එක.. ඒ කියන්නේ මලක්කා ද , ඉපෝ ද කියල.. ඉපෝ ගමන අපෝ වෙච්ච නිසා අපි මලක්කා ටුවර් එකක් ප්ලෑන් කළා..

ඉතින් දෙවෙනි දවසේ උදේ 11ට විතර කට්ටිය ඉතින් ඔන්න ගමන පිටත් වුණා.. පොඩි උන් පස් දෙනා කොහේ යන්නත් කලින් උදේම පුල් එකේ නටන්න ඕනේ කියන කන්ඩිෂන් එක මුලින් ම දැම්ම.. ඉතින් උදේ 7-8 වෙද්දී පුල් එකට බැහැල නාල තමයි කට්ටිය කොහේ ගියත් යන්නේ... (අපරාදේ කියන්න බෑ මාත් ඒ දවස් ටිකේ පාන්දරම  නා ගත්තා..හෙහ් හෙහ් )


ඔය ඉන්නේ 5 දෙනාගෙන් 4 දෙනෙක්.. අනිත් එකී ඇඩ්වෙන්චර් වලට බයයි, ෆොටෝ එකට අහු වෙන්න හිටියේ නෑ.. හෙහ් හෙහ්

අපි කරදරයක් නැතුව දවල් 2 විතර වෙද්දී මලක්කාවට ආවා.. ඊට පස්සේ ටිකක් වටේ රස්තියාදු ගහල කන්න තැනක් හොයාගෙන 3-3.30 වෙද්දී හොටෙල් එකට ගියා.. පස්සේ හවස් වරුව ඇවිදින්න පටන් ගත්තා.

වාහන දෙකේ ගිය නිසා ඉතින් මම නඩේ ගුරා වගේ Waze (GPS app එකක්) දාගෙන ඉස්සරහින් යනවා.. දිමුතුවා සුවච කීකරුව මගේ පස්සෙන් එනවා.. ඔන්න ඔහොම දැන් අපි අර A Famosa බලකොටුව හොයාගෙන ගියා..

මේ තියෙන්නේ ඔය A Famosa බලකොටුව


පින්තුරය ගුග්ල්

දැන් මම මැප් එක බලාගෙන යනවා.. එක තැනකට ගියාම මැප් එක කචල් යනවා.. ඊට පස්සේ මම ආයේ හරවගෙන වටයක් ගහල ආයේ එනවා.. එතෙන්ට ආවම මැප් එක ආයේ කචල් යනවා.. කචල් යනවා කියන්නේ මම දකුණට හරවන්න හිතාගෙන ආවට Waze එකේ මට කියන්නේ වමට යන්න.. ඔය විදියට 3න් සැරයක් විතර ඔහොම මෙහෙම අතේ දුරින් තියෙන තැනක් හොයාගන්න බැරුව අපි වට 3ක් විතර ගියා.. 

අන්තිම පාරත් වැරදිලා කොහෙද මන්ද පාරක යනකොට මෙන්න මට කෝල් එකක් එනවා.. "මේ වාහනේ පොඩ්ඩක් හීට් වෙනවා . මම නතර වුණා කියල...." හෙහ් වෙලාවට ඉතින් පේන දුරින් තමයි නතර වුනේ.. අපි රෙන්ට් එකට ගත්ත වාහනේ නිසා එන්න කලින් වතුර බලන්න බැරි වුණා.. කර වෙන්න වේලිලා තිබුනේ.. හැබැයි අපි වතුර දැම්මත් හරි ගියේ නෑ.. ඊට පස්සේ ඒ ළඟම තිබ්බ කාර් පාක් එකක වාහන දෙකම දාලා මලක්කා නගරයේ පයින් ටුවර් එකක් යන්න පටන් ගත්තා...

අපේ කට්ටියගේ හොඳක් තියෙන්නේ පයින් යන්න ඕනේ වෙලාවක රෙඩි...

ඒ වෙද්දී වෙලාව 7ට කිට්ටුයි.. මැලේසියාවට කළුවර වැටෙන්නේ හවස 7.30 ට විතර ඉතින් හවස් වරුව ටිකක් වැඩිපුර තියෙනවා.. අපි බලන්න ප්ලෑන් කලේ A Famosa බලකොටුව උනාට පස්සේ තීරණේ කළා ඒක හොයාගෙන යන්නේ නැතුව ළඟ තිබුණු මෙන්න මේ කුලුනට නගින්න..




                                                            පින්තුර ගුග්ල් එකෙන්

මේ කුළුන මීටර් 80ක් උසයි.. ඔය වේදිකාව වටේට කැරකෙනවා.. මුළු මලක්කාවම බලන්න පුළුවන්

මම මේකේ දී දැම්මේ එදා උඩට නැග්ග වෙලේ ගත්ත ෆොටෝස් තමයි..

ඕක උඩට නැගල බැහැල ඊට පස්සේ ගියේ අර Flor de la Mar (Flower of the Sea) කියන පෘතුගීසි වෙළඳ නැව බලන්න..  කලින් පෝස්ට් එකේ නැවේ පින්තුරයක් දැම්මට නැව ඇතුලේ පින්තුර දැම්මේ නෑ නේ..

මේ තියෙන්නේ 

 නැවේ ක්ලෝස් අප් එකක්
 කපිතාන්ගේ කාමරේ ගැන විස්තරයක්
 කපිතාන්ගේ කාමරේද කොහෙද....
ඇතුලේ ෆොටෝ එකක්
 නැවට නැග්ග ගමන් 

කුඹ ගහේ උඩ 

මේ නැව පොඩි කෞතුකාගාරක් වගේ හදල තියෙන්නේ..  ඇතුලේ බලන්න දේවල් ගොඩක් තියෙනවා.. මම වැඩිය ෆොටෝ ගත්තේ නෑ...

හරි නැව බලල ඉවර වෙලා සෙට් එකම ගියා රෑට කන්න.. කන්න යන අතරේ මලක්කාවට අලංකාරයක් දෙන මෙන්න මේ මල් බයිසිකල් වල රවුම් යන්න කට්ටියට ආස හිතුනත්  පොඩි දුරක් යන්න කියපු බොරු ගණන් හින්ද මල් බයිසිකල් රවුම් ගහන්නේ නැතුව  කාල ඉවර වෙලා අර අපි කලින් සැරේ ඇවිල්ල ගිය Jonkar විදියේ පොඩි ෂොපින් පාරක් දැම්ම...

මේ තියෙන්නේ මල් බයිසිකල්





ජෝන්කර් විදියට කිට්ටු තැනකින් හොටෙල් බුක් කරපු නිසා ලෙඩ ගානේ තිබ්බ වාහනේ හොටෙල් එකට ගෙනත් දාල පයින් ගියා ජෝන්කර් එකේ ෂොපින්..

අවුරුද්ද අන්තිම නිසා ජෝන්කර් විදියේ ෂොපින් යද්දී මෙන්න මේ වගේ අපුරු මල්වෙඩි සන්දර්ශනෙකුත් බලන්න ලැබුනා..




ඊට පස්සේ පහුවදා පාන්දරම ළඟ තිබ්බ ගරාජ් එකකට ගිහින් වාහනේ අවුල හදා ගත්තා.. රේඩියේටර කැප් එක මාරු කරපු එක විතරයි කලේ ලොකු අවුලක් වුනේ නෑ... ඊට පස්සේ පහුවදා ආයෙත් A Famosa හොයාගෙන ගියා.. එකත් බලල ඊට පස්සේ ගියා ඒ ළඟම තියෙන මලක්කාවෙ සුල්තාන් මාලිගාවක ආකෘතියට හදපු තව කෞතුකාගාරයක් බලන්න..

මේ තියෙන්නේ..
පින්තුරය ගුග්ල්

මේක තනිකරම ලී වලින් හදපු මාලිගාවක්.. වැඩි විස්තර මෙතන තියෙනවා. විකිපීඩියාවේ හැටියට නම් ක්‍රි.ව 1458 සිට 1477 හිටපු Sultan Mansur Shah ගේ මාලිගාවේ ආකෘතිය විදියටලු මේක හදල තියෙන්නේ..


මේ තියෙන්නේ මාලිගාව ඇතුලත පින්තුර ටිකක්

 මාලිගාවේ අනුරුවක්
 පොඩි විස්තරයක්
 ඒ කාලේ සුල්තාන්ගේ සභාව තිබුණු හැටි
 සුල්තාන්ගේ නිදන කාමරේ

තව එක එක දේවල්

ඕක බලල ඊට පස්සේ දවල්ට කන්නත් එක්ක ගියා ඒ ළඟම පොඩි ෂොපින් මෝල් එකකට.. එක ඇතුලේ අපුරු පොඩි පොඩි බඩු විකුනන්න තියෙනවා.. ගොඩක් දේවල් මලක්කා ඉතිහාසයට සම්බන්ද පොඩි පොඩි ආකෘති, ලි වලින් හදපු දේවල්.. ඊට අමතරව ඉතින් අනෙකුත් ඕනෑම දෙයක් තියෙන ලොකු මෝල් එකක්...

ඕක ඇතුලට ගියාට පස්සේ ඉතින් ආයේ මොන මලක්කා ද කියල කට්ටිය ෂොපින්... හෙහ් හෙහ්

අන්තිමට හවස 6.30ට විතර මලක්කාවෙන් පිට වුණා..

මලක්කාවෙන් පිට වෙලා ක්වාලා ලාම්පුර් එන්න හයි වේ එකට දාල කිලෝ මීටරයක් එන්න හම්බ වුනේ නෑ අර වාහනේ පැච් එකක් ගියා... හෙහ් හෙහ්... 

පස්සේ හයි වේ හදිසි ඇමතුම් එකටකෝල් එකක් දුන්නම විනාඩි 15ක් යද්දී දෙන්නෙක් ඇවිල්ල සිං සිං ගාල ටයර් එක මාරු කරලා දුන්නා.. ඒ සේවය නොමිලේ.. හැබැයි ඉතින් අපි යුතුකමක් වශයෙන් ඒ ආපු දෙන්නට පොඩි ගානක් දුන්නා.. 

ඊට පස්සේ ඉතින් "අනේ පුතේ අපි හිමින් යන්.. පිටි පස්සේ වාහනේ එක්කම යන් ....."....ආදී වශයෙන් ලැබෙන වැඩිහිටි උපදෙස් රැසක් සමග රෑ 11.30 වගේ වෙද්දී යාන්තම් ගෙදරට ආවා.... ගෙදර ඇවිල්ල රෑට උයාගෙන කාල පහුවදා උදේ කට්ටිය ගියා මෙහෙ තියෙන  Sunway Lagoon Theme Park එකට.. කලින් සැරේ ඇවිල්ලත් ගියාට පොඩි උන්ගේ බලවත් ඉල්ලීම නිසා දෙවෙනි සැරෙත් ගියා..

ඊට පස්සේ ඉතින් තව ෂොපින් රවුම් දෙක තුනක් ගිහිල්ලා අක්කල කට්ටියම ආපහු ගියා..අම්මත් ගියා.. එහෙම කට්ටිය ඉඳල ගියාම හරි පාලුයි...

ඊට පස්සේ ඉතින් ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!