හිපි සංස්කෘතිය ජනප්‍රිය වෙලා තිබුනේ 1960-1970 දශක වල . අපි පොඩි කාලේ හිපියෝ කියන්නේ මහා නරක මිනිස්සු ජාතියක් විදියට තමා ඔලුවේ තිබුණේ . මම හිතන්නේ හිපි සංස්කෘතිය මේ වෙද්දී දකින්න නැති තරම් ... නමුත් මම හිතනවා 2000 විතර වෙනකම් ඔය සමාජයේ අය හිටියා කියල .. (මම හරියට දැනුවත් නැහැ .. දන්නා කෙනක් විස්තර කියයි කියල හිතමු )
අපි තරුණ කාලේ වෙද්දී (15-20) වගේ ඔය හිපියන්ගේ ගන්න තරම් දේවල් අපේ ලෝකේ තිබුනේ නැහැ .. ගංජා ගහපු එවුන් කොහොමත් හිටියා .. අනිත් විෂයන් වලට ඇදිලා ගිය කොල්ලොත් ඕනේ තරම් හිටියා .. නමුත් ඒවා කෙලින්ම හිපි සංස්කෘතියේ බලපෑම කියල මම හිතන්නේ නැහැ ..
ගෙවල් වලින් පැනල ගිහින් වීරක්‍රියා කරපු ළමයි ගැන නම් අපිට කියවන්න ඔය කාලේ හැකිවුනා . මඩොල් දුවේන් වෙන්න ඇති ඔය කතා අපි අතරට එන්න පටන් ගන්න ඇත්තේ . පොඩි කාලේ එහෙම වීරක්‍රියා කියෙව්වට කවද හරි ගෙදරින් පැනල ගිහින් හිපියෙක් වගේ ඉන්න නම් මට හිතිලා නැහැ ..එහෙම හිතුනු අය ඉන්නවද ? නමුත් මම රට රටවල ඇවිදින්න ආසාවෙන් හිටියා .
මට මතකයි පත්තර වල හිපියන්ට/ ඕෂෝ ට එහෙම බනිනවා සහ ඒ කාලේ තිබ්බ සමහර කල්ට් ගැන ලිපි .. මම එහෙම ලිපි කියවල තියෙනවා .. හැබැයි ඒ මේ මොනවාද කියල දැන ගන්න මිසක් එච්චර අවබෝදෙකින් නෙමේ . අපි තරුණ කාලේ හිපි සංස්කෘතිය විනාස වෙමින් තිබුනේ .
අපි පොඩි කාලේ සුද්දෝ අපේ ගෙවල් පැති වල පාරවල් වල දුවනවා උදේට .. එයාල සමහර හන්දි වල සුදු පාට පොඩි කොළ කෑලි දදා යනවා පාරවල් හොයා ගන්න පහසු වෙන්න .. අපිට තිබ්බ විනෝදයක් තමා ඒ පොඩි කොළ කෑලි (සෙන්ටිමීටරයක් වගේ දිග ත්‍රිකෝණාකාර පොඩි කඩදාසි කෑලි ) ඔක්කොම එකතු කරලා පාර වරදින විදියට වෙන කොහේ හරි හන්දියකට ගිහින් දාන එක හෙහ් හෙහ් .
අපි හිටියේ බියගම නිසා මේ සුද්දෝ බොහෝ විට කොකා කොලා කොම්පැනියේ වැඩට ආපු අය හෝ නැත්නම් බියගම වෙළඳ කලාපේ ෆැක්ටරි හදන කාලේ ආපු ය වෙන්න ඇති . වෙන සංචාරකයෙක් හෝ හිපියෙක් වෙන්න ඉඩක් නැහැ ..
මම මේ ටිකේ පොතක් කියෙව්වා. කියවල ඉවර කළා . One Night's Shelter කියන පොතේ සිංහල පරිවර්තනය එක් රැයෙක නවාතැන - පරිවර්තනය කුරුණෑගොඩ ධම්මාලෝක හිමි
මේක සරසවි ප්‍රකාශනයක් .
මේක ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදානය. පොත කියවල හොයල බලද්දී ඒ හාමුදුරුවොත් බ්ලොගර් කෙනෙක් . මේ තියෙන්නේ බ්ලොග් එක
මේ පොතේ තියෙන්නේ ඇමරිකන් ජාතික තරුණයෙක් යුරෝපෙට ගිහින් එතනින් ආසියාව හරහා හිපියෙක් විදියට ඇවිදිමින් ගෙවන ජීවිතය ගැන . රසවත් කතාවක් . මත්කුඩු බාවිතය , වෙළඳාම සහ රටවල් අතර මත්කුඩු ගෙනියද්දි අහුවෙලා හිර ගත වෙච්ච හැටි .. නිදහසේ කාන්තාවන් සමග හිටපු හැටි ආදී වශයෙන් නියම හිපියෙකුගේ ජීවිතය ඒ කතාවේ තියෙනවා .
ඔවුන්ට තිබුණු ඒ නිදහස නිසා ඔවුන් ජිවිතයේ විවිද සැප දුක් විදපු හැටි ගැන සමහර වෙලාවට ඉරිසියා හිතෙන තරම් දේවල් තියෙනවා .
කතාව අවසන් වෙන්නේ මේ ඇමරිකන් ජාතික තරුණයා ලංකාවට ඇවිල්ලා යෝගාවචර රාහුල නමින් පැවිදිවෙලා .
ඒ ගමන ඔහු ආපු හැටි සහ සියලු සැප අත්හැර මහණ වීම තෙක් ඔහුගේ සිතුවිලි කොහොමද වැඩ කලේ කියන දේ ලස්සනට ලියල තියෙනවා . මම කෙනෙක් මහණ වීම කියන අදහස ගැන මෙච්චර කල් ගැඹුරට හිතල තිබුනේ නැහැ .. ලංකාවේ අපි දකින පන්සල් මහණුන් ගැන අපිට තියෙන නොපහන් හැඟීමට එහා ගිය , හුදෙක් භක්තිය හෝ මොළ සෝදනය නිසා නොව , තම හිත ගැන සැබෑ විදර්ශනාවකින් පසුව මහණ වෙච්ච කෙනෙකුගේ කතාවක්
ඔහු හිනයානයට කලින් මහායානය ඉගෙන ගන්නවා . ඒ නේපාලයෙදී ටිබෙට් ලාමා වරුන්ගෙන් , ඊට පස්සේ භාවනාව , යෝග ඉගෙන ගන්නවා , දවසට එක වේලක් කනවා නැත්නම් නොකා දින ගණන් ඉන්නවා . අල්පේච්ච ලෙස ජිවත් වෙනවා .. මත් ද්‍රව්‍ය වලින් දැනෙන මනසේ සැහැල්ලුව භාවනාවෙන් ලැබෙන කම් ගැඹුරට භාවනා කරනවා . මේ භාවනාව එස් එන් ගොඑන්කා තුමාගෙන් සහ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව ඉඳලත් ඔහු ඉගෙන ගන්නවා . ඒ හැම අවස්තා වලදීම ඔහුට සිතුනු දේ , ඔහු ඔහුගේ සිත දැකපු හැටි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා .
මම මේ ඊයේ පෙරේදා අපේ නිහඩපාල මහත්මයා ලියපු මේ ලිපියට කමෙන්ට් එකක් විදියට මම මම මිට අවුරුදු 10කට විතර කලින් ලියපු ලිපි දෙකක් ගැන දැම්මා . ඒක දාලා මම ආයෙත් ඒ ලිපි දෙකම සහ දෙවෙනි ලිපියේ තිබ්බ දීර්ඝ කමෙන්ට්ස් ඔක්කොම ආයේ කියෙව්වා . ආසන්න වශයෙන් අවුරුදු 15-20ක් විතර කාලයක් තිස්සේ මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියල මම අවදියෙන් ජිවත් වෙනවා . මේ හාමුදුරුවන්ගේ කතාව කියවද්දී මට හිතුනේ ඇත්තටම අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවා නම් බුදු හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න අමාරු නැහැ කියල . නමුත් ඒ ගමන යන්න ඕනේ . වචන වලින් එහා ගිය අවබෝධයක් දක්වා සිත පත් කරගන්න ඕනේ . ඒක හිපියෙක් ලෙස යන්නත් පුළුවන් , මහණෙක් ලෙස යන්නත් පුළුවන් , ගිහියෙක් ලෙස යන්නත් පුළුවන් .
හිපියෙකුට හෝ ගිහියෙකුට වඩා මහණෙකුට ඒ ගමන යන්න තියෙන බාදක අඩුයි .. නමුත් මහණ වුණ පමණින් ගමන ලේසි වෙනවා කියල මම නම් හිතන්නේ නැහැ ..
මේ කතාවේ තියෙන්නේ අසීමිත නිදහසකින් ජිවිතය ජිවත් වෙන ගමන් එකේ තියෙන නිෂ්පල බව දැකීම සමග එයින් පස්සේ ඒ නිෂ්පලතා වලින් පුළුවන් තරම් ඈත් වී ජිවත් වීමටත් , තමා අවබෝධ කරගත් දෙය අනුන්ට වටහා දීමටත් පහසු වෙන අයුරින් මහණ වූ කෙනෙකුගේ කතාවක් කියල තමා මම හිතන්නේ .
නමුත් අපි හිතන්නේ සියලු දෙයින්ම ඈත් උනාට පස්සේ විතරක් ඔය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් කියල .. ඒක අපිට කුඩා කාලේ ඉඳල කාවැදිච්ච වැරදි වැටහීමක් කියල තමා මට තවමත් හිතෙන්නේ ..
අර ලිපි දෙකේ දී , නුවර කුමාරි සහ අනිත් අයගේ තර්කය උනෙත් , අපිට ඔය බණට කියන මාර්ගයේ ඒ විදියට යන්නේ නැතුව ඔය අවබෝධයට ලගා වෙන්න බැහැ කියන එක . නමුත් මට ඒ ලිපි ලියල අවුරුදු 11කට විතර පස්සෙත් , ඒ තර්කයට එකඟ වෙන්න බැහැ ..
නිවන කියන්නේ මේ දැන් මෙතන තියෙන දෙයක් . ඔබට එය දැකීමට අවශ්‍ය නම් එව බලව කියල තමා බුදුන් වහන්සේ කියල තියෙන්නේ . ඔබ එය දකින්නේ ඔබ ඔබේ මනසින් නිදහස් උනාම , ඔබත්, මනසත්, ලොවත් කියල දෙක තුනක් නැහැ කියල ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ඕනෙම අවස්තාවක ඔබ ට නිවන් දකින්න පුළුවන් . නමුත් එහෙම දකින්න නම් ඔබේ හිත ගැන ඔබට මනා අවබෝධයක් තියෙන්න ඕනේ ,
හිත ගැන ඔබට එන අවබෝධය ජිවිතයේ ඔබ සිහියෙන් සිටින හැම මොහොතකම වැඩි වෙනවා . ඔබ කරන කාර්යය කුමක් උනත් ඔබ ඒක කරන්නේ සිහියෙන් නම් ඒක මේ සත්‍යාවබෝධයට හේතුවෙනවා.
1970 දශකයේදී හිපියෙකුව ඇවිදලා , ලංකාවේ ජිවත් වෙලා , ලංකාවේදී මහණ වෙලා නැවත ඇමරිකාවට ගිහින් මම හිතන්නේ තවම ඇමරිකාවේ ජීවත්වෙනවා මේ හාමුදුරුවෝ .
ගිහින් බලන්න බ්ලොග් එකට..
