Thursday, August 01, 2019

පරිගණකයයි ලෙඩයි

     


     මේ පරිගණක නිසා අපිට හැදෙන ලෙඩ ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ කියල මට හිතෙනවා. අනිත් අය කොහොම වුනත් මම නම් ඒ හැටි ඕව ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ. හැබැයි වැඩේ අපි හිතනවට වඩා බරපතලයි. මේ ලියන්න යන්නේ පහු ගිය අවුරුදු 20ක විතර කාලයක් දවසෙන් බොහෝ කාලයක් පරිගණකය ඉස්සරහට වෙලා ජිවත් වීම හින්ද අවසානයේ උරුම වෙලා තියෙන දේ ගැන. හොඳ සහ නරක දෙකම තිබුනට හොඳ ගැන නැතුව නරක ගැන ලියන්නම්.

මම කණ්නාඩි දාන්න පටන් අරන් දැන් අවුරුදු 9ක් වගේ වෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳල හොඳට තිබුණු ඇස් දෙක රස්සාවට ගිහින් පළවෙනි අවුරුදු 5-6 ඇතුලත දුර්වල වුනා. මට මතක විදියට රස්සාවට ගිහින් තුන් වෙනි අවුරුද්දෙදි වගේ දවසක් මගේ ප්‍රධානියා වශයෙන් හිටපු කෙනා කිව්වා මොනිටර් එකට වැඩිය කිට්ටු වෙලා බලන්න එපා කියල. නමුත් මට ඒක ඒ හැටි අවුලක් විදියට තේරුනේ නෑ. වයසත් එතකොට 25ක් වගේ ඇති. කොහොම උනත් ඒ දවස් වල දවසේ පැය 12-15ක් විතර අනිවාර්යෙන් මේක ඉස්සරහ තමා. ඔෆිස් එකේ අවම පැය 8-9ක් වැඩ කරලා ගිහින් ගෙදරත් අඩුම තව පැය 4-5ක් වත් එක එක ටීවී සීරීස් ඇතුළු නොයෙක් දේ බලමින්, කරමින් ගෙවිච්ච කාලයක්. ඒ දවස් වල මට ඩෙස්ක්ටොප් පරිගණකයක් සහ ලැප්ටොප් එකක් තිබුනා. ඔය දෙකේම මාරුවෙන් මාරුවට එක එක වැඩ තමා. නමුත් නිවැරදි දුරකින් හරි ඉරියව්වකින් බැලීම ගැන කිසිම අවධානයක් තිබුනේ නෑ... දැනෙන්න කිසිම ලෙඩක් අමාරුවක් තිබිච්ච නැති නිසා කොහොමත් කවුරුවත් කියන ඒවා ගණන් ගත්තෙත් නෑ. ඔය විදියට තව අවුරුදු 3ක් වගේ යද්දී ටික ටික ඔලුව කැක්කුම හැදෙන්න ගත්තා කම්පියුටරේ වැඩ කරද්දී. අවසානයේ කන්නාඩි දාන්න සිද්ද වුනා. ඇස් දෙකම දුර්වල වෙලා. ඒ කියන්නේ ඉතින් හැමදාටම කන්නාඩි දාන්න වෙනවා.


ඊට පස්සේ ඉතින් වැඩි කරදරයක් නැතුව තව අවුරුදු කීපයක් රස්සාව කරගෙන ගියා. මේ වෙද්දී මම අවුරුදු 10ක් විතර මේ පුරුද්ද දිගටම කරගෙන ඇවිල්ල තිබුනේ. ඒ කියන්නේ දවසට පැය 10-15 අතර කාලයක් පරිගණකය ඉදිරිපිට ගෙවීම. මේ වෙද්දී බඩත් ටිකක් ඇවිල්ලා ( ඒ කියන්නේ v ෂේප් එක b ෂේප් වෙලා ). ඔහොම ඉද්දි මගේ වම් කකුලේ අමාරුවක් ආවා. ඒ කියන්නේ මුලින්ම නිකන් කකුල කොර වෙලා වගේ අමුතු වේදනාවක් ඇවිල්ලා පස්සේ වෙද්දී උදේ පාන්දර නැගිටලා අඩිය තියන්න බැරි මට්ටමකට ආවා. අඩිය තියද්දි කකුලේ විළුඹට කටුවකින් අනිනවා වගේ රිදෙනවා. මේ ගතිය මුළු කකුලටත් සම්පුර්ණ වම් පැත්තටත් එක්කම පැතිරුණු වේදනාවක්. පස්සේ වෛද්‍යවරුන්ගේ තීරණේ වුනේ උදේ පාන්දර නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට හේතුව Plantar fasciitis කියන ලෙඩේ කියලා. ඒ කියන්නේ අපේ පාදවල අස්ථිවල ඇතිවන පුංචි පුංචි නෙරුම් නිසා ඇතිවෙන තත්වයක්. මේ ලෙඩේට පරිගණක වල සම්බන්ධයක් නැති වුනාට. තරබාරු බව බලපානවා. නමුත් මට තිබුණු ප්‍රස්නේ තමා මේ කකුලේ වේදනාව පිට කොන්ද සහ වම් අත දක්වා පැතිරිලා වම් අතේ මැද ඇඟිල්ල සහ වෙදගිල්ල හිරි වැටෙන තත්වයක් විදියට පැතිරීයාම. ඒකට හේතුව දොස්තරලටත් හරියට හිතා ගන්න බැරි වුණා. 


මේ වෙද්දී මම හිටියේ මැලේසියාවේ. බටහිර වෙදකම් වලට අමතරව මෙහෙ චීන කටු චිකිත්සාව සහ පාරම්පරික චීන වෙදකම් එහෙමත් කරලා බැලුවත් හරි සහනයක් දැනුනේ නෑ. උදේ නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට ප්‍රතිකාරයක් විදියට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමා ඉන්ජෙක්ෂන් එකක්. මම හොයල බලපු විදියට මේ ඉන්ජෙක්ෂන් එක අම්බානක් රිදෙන එකක්. ඒ කියන්නේ කකුලේ අස්ථියට තමා බෙහෙත විදින්නේ... නමුත් ඒකත් තාවකාලික විසදුමක්. අනිත් එක තමා ඔපරේෂන් එකක් කරන එක. නමුත් ඒ මට්ටමට යන්නේ වැඩේ ගොඩක් බරපතල නම්. එතකොට ගොඩින් බේර ගන්න නම් කරන්න පුළුවන් වැඩ තමා හැම වෙලාවෙම සෙරෙප්පු පාවිච්චිය, මෘදු අඩි සහිත පාවහන් පැලදීම සහ බර අඩු කර ගැනීම. මම ඉතින් ගොඩින් බේර ගන්නම් කියල මුළු දවසම සෙරෙප්පු පාවිච්චිය සහ හොඳ සැප සපත්තු පාවිච්චිය පටන් ගත්තා. බර නම් ඉතින් ලොකු වෙනසක් නොවුනත් පාලනය කරගෙන යනවා.

නමුත් මේ කිසිම දෙකින් මගේ වම් පැත්ත රිදෙන එක නතර වුනේ නෑ. විනාඩි 15ක් විස්සක් ඇවිද්දොත් එක විදියකට ඉන්න බැරි තරම් වම් කකුලයි, වම් අතයි සම්පුර්ණ වම් පැත්තම රිදෙනවා. කොටින්ම පුටුවක වාඩි වෙලා ඉන්නත් බැහැ. දොස්තරලගේ උපදෙස් පරිදි physiotherapy එහෙමත් කරලා බැලුවා නමුත් කිසි සහනයක් නෑ. අන්තිමට ඔය ලංකාවට අපු වෙලාවක MRI එකක් කරලා බැලුවා. ඒකෙන් හොයා ගත්ත මගේ බෙල්ලේ ස්නායුවක තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා මේ වම් පැත්ත කැක්කුම හැදෙනවා කියල. දොස්තර නම් කිව්වේ එහෙම ස්නායු ආබාධය ඇති වෙන්න එක හේතුවක් හරියටම කියන්න බෑ අපේ ඉරියව් නිසා වෙන්න පුළුවන් කියන එක. එහෙම කියල මට බෙල්ලට දාන්න කොලර් එකක් එහෙම දීලා තාවකාලිකව මේ වේදනාව අඩු කරලා දුන්නා. මේ වෙද්දී මම අවුරුදු 4කට ආසන්න කාලයක් මේ වේදනාවට හරි හේතුවක් හොයා ගන්න බැරුව හිටියේ. 

කොලර් එක දාගෙන ඉන්න එකෙන් සහනයක් තිබුනට එක නියම විසදුමක් නෙවෙයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් නිසා මගේ බෙල්ලේ ස්නායුව තෙරපෙනවා. පස්සේ මම ම හොයා ගත්තා මේකට හේතුව. ඒ තමා ලැප්ටොප් එක. ලැප්ටොප් එක මම පාවිච්චි කරන විදිය තමා මේ බෙල්ලේ ස්නායුව තෙරපෙන්න ප්‍රධාන හේතුව. මගේ උස අඩි 5 11" වගේ. මම පුරුදු වෙලා හිටියේ ඔෆිස් එකේදී ලැප්ටොප් එකෙන් වැඩ කරද්දී මම වාඩිවෙන පුටුවේ උස උපරිම වැඩි කරලා බෙල්ල පොඩ්ඩක් නවාගෙන තිරය දිහා බලන්න. ඔෆිස් වල තියෙන පුටු නියමිත ප්‍රමිතියෙන් යුතු කොන්දට සහ බෙල්ලට සපෝට් කරන පුටු වුනාට ගෙදරදී මම පාවිච්චි කලේ ඔය නිකන් සාමාන්‍ය පුටුවක්. අනිත් එක ගොඩක් වෙලාවට ඇඳ උඩ ඉඳගෙන බෙල්ලයි කොන්දයි නමාගෙන ලැප්ටොප් එක බලන එකත් කරන දෙයක්. මම හොයා ගත්ත දේ තමා මෙන්න මේ ඉරියව්වෙන් පැයක් දෙකක් හිටපු ගමන් අර වේදනවා ඉවසන්න බැරි තරමට එනවා කියන එක. මම ඕක තේරුම් ගත්තේ ගෙදර හිටපු දවසක. එදා මම කලේ මගේ ලැප්ටොප් එක පොත් කිහිපයක් උඩ තියල ලැප්ටොප් තිරය ඇස් මට්ටමට ගෙනල්ල ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපු එක. එහෙම කරපු ගමන් අර වේදනාව ටිකෙන් ටික අඩු වෙන්න ගත්ත.


ලැප්ටොප් භාවිතයේ වැරදි ඉරියව්ව සහ ආසන්න වශයෙන් නිවැරදි ඉරියව්ව පෙන්වන රුපයක් 

මේක පරිගණක පාවිච්චි කරන හැමෝම වගේ දන්න දෙයක්. ඒ කියන්නේ තිරය හැමවෙලේම ඇස්මට්ටම තිබිම සහ නියමිත දුරකින් යුතුව තිරය දෙස බැලීම. මේ ඉරියව්වට මාරු වෙච්ච ගමන් මගේ වේදනාව 90% කින් වගේ අඩු වුණා. පස්සේ මම ගෙදර පාවිච්චියටත් කාර්යාල පුටුවක් අරගෙන නියමිත ප්‍රමිතියට ගෙදර ලැප්ටොප් එක බලන ස්ථානයක් හදා ගත්තා. ඇඳ උඩ සිට හෝ වෙනත් කිසිම අඩමාන ඉරියව්වකින් ඉඳගෙන පරිගණකය බාවිතය සම්පුර්ණයෙන්ම නතර කළා. අඩුම තරමේ මම ටීවී එක දිහාවත් අඩමානෙට ඉඳගෙන බලන්නේ නෑ... එහෙම විනාඩි 15ක් හිටියොත් දවසක් විතර යනකම් අර වම් පැත්තේ වේදනාව එනවා. ඔෆිස් එකෙත් ලැප්ටොප් එක පැත්තකට කරල මොනිටරයක් සහ වෙනම කී බෝඩ් මවුස් සම්බන්ද කරගෙන පුටුව උපරිම පහතට කරගෙන තමා දැන් වැඩ කරන්නේ. එහෙම ඉන්නකොට 99% විතරම වගේ අර වේදනාව නැතිව සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.

නිවැරදි ඉරියව්ව සහ උස දක්වන සටහනක්

මගේ බිරිඳත් මම වගේම පරිගණක ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඇය මා මෙන් රාත්‍රී කාලයේත් වැඩි හරියක් පරිගණකය ඉදිරියේ ගත නොකලත් රාජකාරි වේලාවන් වලදී ලැප්ටොප් භාවිතය පැය 8-10 ප්‍රමාණයක් හැමදාම කරනවා.

ඇයට මීට අවුරුදු 4-5කට කලින් ඉඳල නිතර හිසේ කැක්කුමක් හැදෙන්න ගත්තා. සුපුරුදු පරිදි විවිද වෛද්‍ය වරුන් පස්සේ ඉරුවාරදය (migraine) නැත්නම් සෙම ආදී දේ යැයි සැක කරමින් බෙහෙත් කලත් ස්ථිර සහනයක් ලැබුනේ නෑ. බෙහෙත් මාරු කර මින් වේදනා නාශක ගනිමින් ඉන්න එක තමා කලේ. පසුගිය මාස 4ක විතර කාලයක් ඇයට ඇගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ නිසා දවසේ පැය 12කට වැඩි කාලයක් සහ සති අන්තත් එක දිගට වැඩ කරන්න සිද්ද වුණා. සෙනසුරාද සහ ඉරිදා දෙකම සහ සතියේ දවස් වලත් රෑ අට නවය වෙනකම් මාස දෙකක් විතර වැඩ කරද්දී අර හිසේ කැක්කුම දිනපතා සැදීමත් ඊට අමතරව ඇගේ දකුණු අතේ වළලු කර ආශ්‍රිත ප්‍රදේශය සහ බෙල්ලේ වේදනාවක් එන්න ගත්තා. දකුණු අතින් කිසිම වැඩක් කර ගන්න බැරි මට්ටමට ආවට පස්සේ ඇයට තව දුරටත් වැඩ කර ගන්න එක අපහසු වෙලා වෛද්‍ය උපදෙස් මත රැකියාවෙන් ඉවත් වෙන්න කියන මට්ටමට ආවා. නමුත් ඇගේ ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් සහ ප්‍රොජෙක්ට් එකට ඇගේ ඇති වැදගත් කම නිසා මාසයක නිවාඩුවක් ලබාගෙන ඇයට විවේක ගන්න සිදු වුනා.

මේ සියලු අමාරු වලට හේතුව මොකක් ද කියන එක අපි ඒ මාසය තුලදී හොයා බැලුවා. ඇය ලැප්ටොප් එක භාවිතා කලේ මවුස් එකක් නැතුව. ඒ කියන්නේ ටච් පෑඩ් එකෙන්. අනිත් එක කිසිම වෙලාවක මොනිටර් එකක් භාවිතා කලේ නැහැ. ඊටත් අමතරව ගෙදර සිටින හැමවෙලාවෙම ඇඳ මත තියාගෙන තමා ලැප්ටොප් එක භාවිතා කලේ. අවසානයේ ඇගේ බෙල්ලේ ස්නායුවකත් අර මට ආපු විදියටම ආබාධයක් ඇවිල්ල. ඒ ස්නායු ආබාධය තමා නිතර ඇතිවෙන හිසේ කැක්කුමට හේතුව වෙලා තියෙන්නෙත්. ඊට අමතරව නුහුරු ලෙස ටච් පෑඩ් එක භාවිතා කිරීම නිසා තමා දකුණු අතේ වළලු කර ආශ්‍රිත වේදනාවට හේතුව. අවසානයේ වෛද්‍ය උපදෙස් මත Physiotherapy සහ Pilates කිරීමට සිද්ද වුණා. නමුත් වේදනාව සම්පුර්ණයෙන් සුව වෙලා නැහැ. ඒකට හේතුව ශරීරයේ මාංශ පේශි කාලයක් තිස්සේ වැරදි ඉරියව් වලට හුරු වීම නිසා. අවසානයේ නිවැරදි ඉරියව් සහ උපකරණ සහිතව පරිගණක භාවිතා කිරීම මගින් තමා සහනයක් ලබා ගන්න පුළුවන් වුණේ.

Tech-Neck කියල තමා මේ තත්වය හදුන්වන්නේ. මේක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. පරිගණක නිසා විතරක් නෙවෙයි මොබයිල් ෆෝන් නිසාත් මේ අමාරුව හැදෙන්න පුළුවන්. Tech-Neck කියල පොඩ්ඩක් හොයල බලන්න.

මේ දේවල් හරි සරල විදියට පෙනෙන්න පුළුවන්. නමුත් අපිට හැදෙන ලෙඩ සහ අමාරුකම් වලට අපි මුලින් බෙහෙත් ගන්නේ හෝ සැක කරන්නේ වෙනත් දේවල්. නමුත් ඇත්තම හේතුව අපේ එදිනෙදා ජිවිත වල තියෙන පුංචි පුංචි වැරදි. අනිත් එක පරිගණක භාවිතා කරන මුල් අවදියේදී හෝ වැඩි වෙලාවක් නොකරන විට මෙවැනි දේ ඇති වෙනවා අඩුයි. නමුත් දවසේ වැඩි හරියක් තිරයක් දෙස බලා සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන් නිවැරදි ඉරියව් සහ උපකරණ භාවිතාව කරන්න. අවුරුදු 10-20ක් ගෙවෙන්නේ අපිට නොදැනීම. එතකොට නැවත හදන්න බැරි විදියට අපේ ශරීරය හානි වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි.

මේ ඇවිල්ල ශාරීරිකව අපිට ඇතිවන ලෙඩ. මීට අමතරව මේ අධිතාක්ෂණික සහ නුතන කියන රස්සාවල තියෙන අධික පීඩනය සහ ආතතිය නිසා මොලයට සහ සමස්ත ශරීරයටම ඇතිවෙන දීර්ඝ කාලින බලපෑම් සෑහෙන වැඩියි. ඒවායින් මිදෙන්න සහ අඩු කරගන්න නම් වෙනස්ම ජිවන ක්‍රමයකට අපිට යන්න වෙනවා. පස්සේ වෙලාවක ඒවායින් මිදෙන්න කියල මම කරන දේවල් ගැනත් ලියල දාන්නම්කො...




28 comments:

  1. මමත් 5'11"+ ක් විතර සහ පුටුව උඩටම උස්සන් ලැප් එක දිහා බලාගෙන් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නෙ. ඔය කියන විදිහට මටත් ළඟදිම ඔය ටිකට් එක ඇදෙන්න ඉඩ තියනවා. මම හැබැයි එක දිගටම ලැප් එකේ නිරත වෙලා ඉන්නවා අදුයි.. පොඩි පොඩි ඉන්ටර්වල්ස් ගැනෙනවා..ඒක හිංදද මංදා තාමත් අවුලක් නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා , උසේ නම් ලොකු බලපෑමක් නැතුව ඇති නමුත් බෙල්ල නමාගෙන ඉන්න ප්‍රමාණය අනුව නම් බලපෑමක් තියෙනවා. එක එක්කෙනාට වෙනස් ඇති. කොහොම වුනත් නිතර හැදෙන වෙන වෙන අමාරුකම් වලට හේතුවක් වෙන්න පුළුවන්. ලැප් එකට මොනිටරයක් හයි කරලා කී බෝඩ් එකක් මවුස් එකක් පාවිච්චි කළා නම් කොයි එකටත් හොදයි.

      Delete
    2. මවුස් එකක් නම් යූස් වෙනවා.. මොනිටරයක් බලන්න ඕනා.. මොනිටරයක් තිබ්බම පැත්තට හැරිලා ඉන්න වුනාම නිකම්ම කොන්දෙ අමාරු හැදෙනවා.. ඒකයි මම එච්චර පන්නන්නැත්තෙ..

      දැන්නම් කොන්ද මැද්දෙන් රිදීගෙන රිදීගෙන එනවා වගේ... හෙහ් හෙහ්// :D

      Delete
    3. මොනිටරයක් අරන් කෙලින් බලන් ඉන්න ඕනේ. පැත්තට හැරිලා ඉන්න ගියොත් නම් කෙල වෙනවා තමා... කොහොම වුනත් ඔය එක එක තැන රිදෙන කොට බෙල්ල පිටිපස්ස පොඩ්ඩක් උණු වතුරෙන් තවල බලන්න. අඩු වෙනවනම් වැඩේ හරි.... :) :)

      Delete
  2. මේ කරුණු ඔෆීස්වල ඉන්න OHS මැනේජර්ස්ලා සොයා බලා පිළියම් යෙදිය යුතු දේවල්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න අමාරුයි. හැම ආයතනයකම වගේ නිවැරදි ප්‍රමිතියේ පුටු මේස සහ මොනිටර් කි බෝඩ් පවා අවශ්‍ය කෙනෙකුට ලබා දෙනවා. නමුත් අපි ඒවා සැලකිල්ලෙන් භාවිතා නොකරන එකේ වැරැද්ද තමා ගොඩක් වෙලාවට හේතු වෙන්නේ.

      Delete
  3. උම කිව්වට පස්සේ මගෙත් බෙල්ල රිදෙන්න ගත්ත වගේ දැනිල මම බෙල්ලත් අත ගෑවා. ඇත්තටම මටත් නිතරම ඔලුවේ කැක්කුම වගේ ගති ඇති වෙනවා. සරල දේවල් හරියට නොබැලීම තමා මේකට හේතුව. කොච්චර කිව්වත් කොච්චර දැනං හිටියත් කරන්නේ ලෙඩේට අනුබල දෙන වැඩම තමා.

    ReplyDelete
    Replies
    1. හරියටම බලන්න

      Delete
    2. @දේශකයා, ශුවර් නේද කැක්කුම ඔළුවෙම කියල. හැක්..

      Delete
    3. ඔය නම් වෙලා ඇත්තේ රොකට් යන හැටි බලන්න උඩ බලාගෙන ඉඳල බෙල්ලේ එලයින්මන්ට් අවුල් වීමක්. පොඩ්ඩක් බිම බලාගෙන පොළොවේ හිටියනම් ඕක හරි යයි.

      Delete
  4. Replies
    1. @Pathum
      This patient should be treated seriously.

      Delete
    2. දිස් පේෂන්ට් ට මේ වගේ ලෙඩ හැදෙන්න විදියක් නැහැ දේශක. දිස් පේෂන්ට් හෙන ක්‍රියාශීලි, ඔලිම්පික් ලෙවල් එකට යන්න පුළුවන් පොරක්.

      Delete
  5. “Good judgement comes from experience, and experience comes from bad judgement.”
    ― Frederick P. Brooks

    The computer was born to solve problems that did not exist before.

    Bill Gates

    ReplyDelete
  6. පැය 8 ක් විතර මාත් මොනිටරයක ඉස්සරහට වෙලා ඉන්න එකේ මටත් ඔය මොකක් හරි වෙන්න පුලුවන්. ඇස් පේන එකනං දැනටම අඩු වෙලා වගේ. හතළිස් ඇඳිරියද දන්නෑ.

    මොනව උනත් රෑට ඇඳ උඩ ඉඳගෙන ඔය අනං මනං කෑලි බලන එක නතර කරහං. හැක්..

    ReplyDelete
    Replies
    1. තවුසෙට ඕක දිහා බලං ඉන්නවට නෙමෙයි කේස් වෙන්නේ. ඕක දිහා බලාගෙන ඉන්න ගමන් එක පාරටම කඩේ තක්කාලි ගෙනියන හොරා අල්ලන්න බලන කොට.

      Delete
    2. තවුසෙ කියන්නෙ කඩේ ඉන්න කරෝල කූරියෙක් කාගෙ හරි මල්ලකට පනිනකල් බලා ඉන්න කියලද.

      Delete
    3. Praසන්ன, ඔය වයසටත් ඇස පෙනීම අවුලක් වෙලා නැත්නම් ටක් ගාල ගිහින් දොස්තර කෙනෙකුට කියපන්.එහෙ යකෝ අපි මේ විසි ගණන් වල ඉදල කන්නඩි දාන්නේ...

      රෑට දැන් 9.00 වෙද්දී නිදා ගන්නවා. කිසිම කෑල්ලක් බලන්න වෙලාවක් නැහැ දැන්.

      Delete
  7. මටත් ආවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක. ඒ නිසා මේ දවස් වල පරිස්සමෙන් වැඩ කරන්නේ. බ්ලොග් පොස්ට් එකක් නොදම්මේත් ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක තමා ගොඩක් අයට එන්නේ. මගේ බිරිඳට එක නැහැ කිව්වා. මම ergonomic keyboard and mouse ගත්තා. vertical mouse බාවිතයෙන් සහනයක් එනවා මම හිතන්නේ. නමුත් පාවිච්චිය අඩු කරන එක තමා හොදම විසඳුම.

      Delete
  8. ලෙඩේට කියන ඉංගිරිස් නම නම් දන්නේ නැහැ, මටත් හැදුනනෙ ඔය හයි ෆයි ජාතියේ ලෙඩක්. ඒක උනේ ලැප්ටොප් එකේ මවුස් එකක් නැතුව වැඩකරලා, මැණික් කටුවේ අල්ල පැත්තේ තියෙන නහර එකට තදවෙලා. ඔපරේසන් එකකට තමයි දොස්තර ලෑස්ති කලේ. ඒ උනාට අර stress releasing ball එකකින් කරපු exercise වගයකින් පස්සේ, සියල්ලම හරිගියා.

    පැතුම් කියනවා හරි, ලෙඩ හැදෙන්නේ අපේ වැරදි ඉරියව් නිසා. ඒවත් එක පැත්තකින් ඇබ්බැහි වෙනවා.

    ReplyDelete
  9. මට නම් යන්තම් කොන්දේ කැක්කුම හැදීගෙන එනකොටම මම සියලු වැරදි පුරුදු වලින් අයින් උනා. දැන් කිසි අවුලක් නෑ. එකම අවුල ඉතින් දවසේ පැය 15ක් විතර ලැප් එක ඉස්සරහම තමා. තව අවුරුදු 10ක් විතර යනකොට ඇස් දෙකට මොනවා වෙයිද කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් යන්තම් අවුලක් දැනෙනකොටම හදා ගත්ත නම් හරි. මම එච්චර ගණන් ගත්තේ නැහැ. ඇස දෙකටත් ඔය දොස්තරල ලියල තියෙන එක්සසයිස් එහෙම කළා නම් හොදයි. මම නම් දැන් අඩුම තරමේ හැම පැයකට සැරයක් වත් එළියේ වටයක් ඇවිදින්න යනවා.

      Delete
  10. මොකද කාලෙකින් අප්ඩේට් එකෙක් නැත්තෙ

    ReplyDelete
  11. Did you realize there's a 12 word sentence you can tell your man... that will induce intense feelings of love and impulsive attractiveness to you deep inside his chest?

    That's because hidden in these 12 words is a "secret signal" that fuels a man's impulse to love, adore and care for you with his entire heart...

    12 Words Who Fuel A Man's Desire Impulse

    This impulse is so hardwired into a man's mind that it will drive him to try better than ever before to build your relationship stronger.

    Matter-of-fact, triggering this mighty impulse is absolutely important to getting the best possible relationship with your man that the instance you send your man one of these "Secret Signals"...

    ...You'll soon find him open his soul and heart to you in a way he haven't expressed before and he will distinguish you as the only woman in the galaxy who has ever truly appealed to him.

    ReplyDelete