Monday, October 22, 2012

තනිකම විඳීම...

තනිකමට  බයයි... තනිකම දුකක්...  තනිවෙන එක පවක්... (ද)?  මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද?  අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...

මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?

අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...

මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...

පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.  

මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න.. 

හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ...  මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා  සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව. 

මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......

කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා



මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ.. 

මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...

ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි.. 

කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..

මොනව කිව්වත් ඉතින්...  සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි... 


Friday, October 12, 2012

බාත් රූම් එකේ සිංදුකීම...

මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක..  මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු කවි කරන්න,රි-මික්ස් කරන්න,රැප් කරන්න, ඕනේ දෙයක් කරන්න ඉගෙන ගන්න,ප්‍රැක්ටිස් කරන්න ටොප්..

වැඩට ගිහින් ඇවිත් නානකොට සිංදු නොකියවුණත් එළියට එන්නේ සිංදු මෝඩ් එක ඔන් කරගෙන.. ගොඩක් වෙලාවට හිරවෙච්ච ප්‍රොග්‍රෑම් වල තියෙන බග්ස් වලට විසඳුම බාත් රූම් එක ඇතුළෙදි හම්බ වෙනව...

ඔය ගොඩක් අයට මේ ලෝකේ වෙනස් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ල තියෙන්නේ නානකොට නේ... මම ඉස්සර හිතුවෙ මොළේ පෙඟුනහම ඒ වගෙ අදහස් එනව ඇති කියල.. 

කොහොම හරි මේ ලඟදි දවසක ඔය ගැන හිතුවහම... අපිත් එක්ක ඉන්න ගොඩක් අයට ඔය පුරුද්ද ඇති කියල හිතුණා.. ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ ඔය පුරුද්ද මම දැකල තියෙනවා..  

මට හිතෙන්නේ අපි ඇත්තටම අපි වෙන දවසේ තියෙන හොඳම අවස්තාව මේ නාන වෙලාව කියල... ඒ කියන්නේ.. අනිත් අය ගැන හිතන්න දෙයක් නෑ.. කවුරු මොනව හිතයි ද කියල වොරි වෙන්න දෙයක් නෑ.. කවුරුවත් දකියි ද කියල හිතන්න දේ කුත් නෑ (දොර වහල නම්).. අපේ නැචුරල් ස්භාවයෙන් ඉන්න පුළුවන් හොඳම වෙලාවනේ.. හිතේ ගැටළු නෑ.. නිදහස් මනසක්..

මොකුත් ම හිතන්න දෙයක් නැත්නම් නිකම් ම වගේ සිංදුවක් කියවෙනව ඇත්තේ මේ දැනෙන නිදහස නිසා වෙන්න ඇති.. මොනව හරි දෙයක් ඔළුවේ තියෙනවනම් ඒකට වෙන වෙලාවට නොඑන උත්තර ඔලුවට එනව ඇත්තෙත් ඒ දැනෙන තමා තමාම වීමේ නිදහස් ගතිය නිසා වෙන්න ඇති කියල නිකමට වගේ හිතුණා..

ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට බැස්සම ඉන්නේ අපේ ඇත්ත ස්වරූපයෙන් නෙවෙයි නේ.. ඒ ඒ අවස්තාවට ගැළපෙන ක්‍රමේට ඉන්නකොට අපිට නිදහසේ ඉන්න බැරි වෙන ගතියක් දැනෙනවා..  ගෙදර ඇතුළෙම උනත් 100% අපේ නිදහස කියන එක තියෙන්නේ ඔය නාන කරන විනාඩි 10-15 විතරයි කියලයි මට හිතෙන්නේ..

මම නිකන් හිතල බැලුව මම දන්න මේ පුරුද්ද තියෙන සහ නැති අයගේ චරිත ස්භාවය ගැන.. ඇත්තටම සැළකිය යුතු වෙනස් කම් තියෙනවා..  මේ පුරුද්ද තියෙන මිනිස්සු එක්ක වැඩ කරන්න, සතුටු වෙන්න හරි ලේසියි.. ඒ කියන්නේ ගොඩක් අය එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනව කියල හිතුණා.. වැඩ වලදි අනිත් අයව තේරුම්  ගැනීම, ඊසි ගොයින් කියල සිංහලෙන් කියන ස්භාවය ගොඩක් වෙලාවට තියෙනවා..

මේ වගේ පුරුදු නැති.. ඒ කියන්නේ ජීවිත් වෙලා ඉන්න හැම වෙලේම මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන විසඳුම් හොයන්න ට්‍රයි කරන, සමාජය තුළ අමුතු ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන ඉන්න ට්‍රයි කරන, වැඩ කරන්න්න ගියාම එයාට ඕනේ විදියට වැඩේ කෙරෙන කම් හරි යන්නේ නැති චරිත වල මේ පුරුද්ද නැතුව ඇති කියල මට හිතුණා.. නිකමට හිතල බැලුවොත් ඕනෙම පවුලකින් මේ වගේ අය හොයා ගන්න පුළුවන්.. 

මට හිතෙන්නේ නිදහස් පොඩි කාලයක් නැති වුණාම මේ වගේ ගති මිනිස්සුන්ට පිහිටන්නේ නැතුව ඇති.. නිදහස් පොඩි කාලයක් කියන්නේ අපිට හිතෙන දේ හිතෙන විදියට කරන්න නිදහස නොදෙන පවුල් පසුබිම් වල හැදෙන අයට මේ වගේ දේවල් නුහුරුයි.. මොකද හැම දේම කාගේ හරි උපදෙසක් අනුව, පිළිවෙලකට, සමාජ සම්මතේට අනුව කරන්න පුරුදු වුණාම ඒ පුරුදු මඟ ඇර ගන්න හරි අමාරු නිසා..

නිදහස් විදියට හිතල වැඩ කරල.. ඒ වැඩෙන් සිද්ද වෙන ප්‍රතිඵලය මොකක් වුණත් භාර ගන්න පුළුවන් තරම් ගටක් තියෙන මිනිස්සු මේ වගෙයි කියල හිතුණා..

මම කරන්නම දෙයක් නැතුව ඉන්න වෙලාවට http://www.ted.com/ එකේ වීඩියෝ බලනවා..  මේකේ තියෙන්නේ එක එක විදියේ නව අදහස් තියෙන මිනිස්සු ඒ අය හදපු දේවල, නැත්නම් තේරුම් ගත්ත දේවල් ප්‍රසිද්ධියෙ ඉදිරිපත් කරන වීඩියෝ.. හරිම අපූරු දේවල් තියෙනවා.. තාක්ෂණික,සමාජයීය,කල,විද්‍යාත්මක වගේ ඕනැම විෂයයකට අදාලව මිනිස්සු ඉදිරිපත් කරනවා..

මේ වීඩියෝ බලන වෙලාවක හිතිච්ච දෙයක් තමා මේ බාත් රූම් එකේ සිංදු කීම... නානකොට ඔය අදහස් ඔළුවට එනව කියල මම ප්‍රායෝගිකව ඕනේ තරම් අත් විඳල තියෙනවා.. ඉස්කෝලේ යන දවස් වල මම ලියල පබ්ලිෂ් කරපු පොතේ ගොඩක් කතා වල චරිත, ඒ කතා වල ආකෘතිය  නාන ගමන්  තමයි ඔලුවට ආවෙ.. ඒ දවස් වල මේ ගැන එච්චර වැටහීමක තිබ්බේ නෑ.. දැන් හිතල බලනකොට ඕනේ තරම් සිද්දි මතක් කරන්න පුළුවන්...

ඉතින් මට හිතුනේ.. අපිට මේ නාන ගමන් තියෙන සැහැල්ලුව, තමා තමා විදියට අව්‍යාජව හැසිරෙන්න පුලුවන් කම, සමාජයට අමුතු චරිතයක් විදියට නොගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් (ඒ කියන්නේ උපන් ඇඳුමෙන් යන එන නෙවෙයි.. එක එකා මොනව හිතයි ද කියල නොහිතා ජිවත් වෙන එක)  අපිටත් බොහෝම නිර්මණශීලි විදියට ජීවිතේ දිහා බලල මිනිස්සුන්ට සේවයක් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්.. 

හැබැයි මම දන්නවා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න බෑ කියල තර්ක කරන අය ඕනේ තරම් ඉන්නවා.. ඒ එක්කම මේ විදියේ නිදහස් මනසකින් ලෝකය දිහා බලපු, තමන්ගේ ප්‍රතිරූපය හෝ  බඩගෝස්තරේ රැක ගන්න පමණක් ම උත්සාහ නොකරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න තමයි අපි අද මෙහෙම ඉන්නේ කියලත් නිකමට කල්පනා කරල බලන්න..