Wednesday, August 17, 2016

දශකයක් සිංහලෙන් බ්ලොග් ලිව්වෙමි -- A decade as a Sinhala Blogger


          මීට හරියටම අවුරුදු 10කට කලින් මෙන්න මේ කවිය ලියලයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ. කොම්පියුටර් එකේ සිංහලෙන් ලියන්න තියෙන ආසාවට පටන් ගත්ත ලිවිල්ල දන්නෙම නැතුව අවුරුදු 10ක් ම ලියල.

           බ්ලොග් ලිවිම කියන දේ වෘත්තියක් වෙලා තියෙන දැන් කාලේ බ්ලොග් එකක් කියන්නේ තව දුරටත් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මම මේක පටන් ගන්න දවස් වල මට නම් මේක අමුතු අත්දැකීමක් වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මෙච්චර පහසුවෙන් සිංහල අකුරු පරිගණකයේ  ටයිප් කරන්න පුළුවන් වීම නිසා. සිංහල යුනිකේත හඳුන්වා දීලා ඒ වෙනකොට වසර ගණනක් ගෙවිලා තිබුනත්, යුනිකේත නොවන සිංහල අකුරු ඉන්ස්ටෝල් කරලා ඒ අකුරු වලින් අමාරුවෙන් ලිපි සකසමින් හිටිය අය යුනිකේත ගැන ටික ටික දැනුවත් වෙලා ටිකෙන් ටික සිංහල යුනිකෝඩ් ලියන්න පටන් ගනිද්දී  කොම්පියුටර් නම් ඉතින් ඉංග්‍රීසි තමයි කියන හැඟීමෙන් රස්සාවට ආපු මට මේවගේ අපුරුවට සිංහල අකුරු ලියන්න පුළුවන් වීම හරිම විනෝද ජනක දෙයක් වුණා.

        ඒ විනෝදය නිසා ලියන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අවුරුදු 10ක් ගෙවෙන අද දවසේ මම ලියන්නෙත් එදා ඒ ලියපු ආසාව නිසාම මිසක් වෙන කිසිම අරමුණක් නිසා නෙවෙයි. මින් ඉදිරියට ලියන දේවලුත් හුදෙක් මගේ ආසාව මගේ කැමැත්ත නිසා මිස වෙන කිසිම අරමුණක් වෙනුවෙන් නොලියා ඉන්නයි මගේ බලාපොරොත්තුව.

             මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය සහ සිංහල යුනිකේත ගැන මම දන්න දේවල් මම මිට කලින් සටහන් වල ලිව්වා.

මේ තියෙන්නේ එහෙම ලියපු සටහන් 


සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...


            මම මේ අවුරුදු 10 තිස්සේ බ්ලොග් ලෝකයේ සිද්ද වෙන දේවල් දිහා ඔහේ බලාගෙන හිටපු එක තමයි කලේ.. බොහෝ රසවත් දේවල් මට මිස් වුණා කියල මම දන්නවා. නමුත් ගොඩක් සොඳුරු මිනිසුන් හඳුනාගන්න ලැබුනා.. තවම අඳුනා නොගත් එහෙම අයත් බොහෝ ඉන්නවා. මම බ්ලොග් ලියන්නේ හෝ කියවන්නේ හරි අඩුවෙන්..දවසේ වැඩිහරියක් කොම්පියුටරේ ඉස්සරහ ගෙවෙන රස්සාවේ තියෙන වැඩ අධික කම නිසා ගොඩක් වෙලාවට හවස ගෙදර ගිහින් ආයෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතෙන්නේ නෑ... කියවන දෙයක් වුනත් ගොඩක් වෙලාවට කියවන්නේ ඔෆිස් එකේ වැඩ අතරතුර.. 

         සිංහල යුනිකේත ගුග්ල් සමුහයටත් අවුරුදු 10ක් ගෙවුනා කියල දැන් දවස් කීපයකට කලින් ඊමේල් එකක් ඇවිල්ල තිබුනා.. ඒ සමුහයේ සිටි අයව නැවත හමුවන්න ආසයි.. ඒ වගේම බ්ලොග් කරුවන් එකතුවෙන උළෙලකට ගිහින් හමුවෙන්නත් ආසයි. නැවත ලංකාවට ආපු දවසක නොවැරදීම ඔය හමුවීම් වලට එන්න ඕනේ (මොකට ආවත් ඉතින් ඔහේ පැත්තකට වෙලා බලා ගෙන ඉඳල යන එක තමයි කරන්නේ.. හෙහ් හෙහ්)

         මම දකින විදියට බ්ලොග් එකක් කාලයක් පවත්වාගෙන යන්න වැදගත් ම දේවල් තමයි තමන්ට ලියන්න තියෙන ආසාව සහ ලියන දේ ගැන අන් අයගේ අදහස්...  තමුන්ට ආසාවක් නැතුව වෙන වෙන අරමුණු වලින් පටන් ගන්න බොහෝ අඩවි ටික කාලයකින් වැසි යනවා. ඒ වගේම අපේ කොමෙන්ට් කරුවන් නැත්නම් මොන ආසාව තිබුනත් ටික කාලෙකින් එපා වෙනවා.  

             මට නම් මගේ බ්ලොග් එකට ලැබෙන හිට්ස් ගාන කවදාවත් වැදගත් වුනේ නෑ.. සටහනක් ලිව්වම කි දෙනෙක් බැලුව ද කියන දේ එච්චර මම සලකන්නේ නෑ.. නමුත් ගොඩ දෙනෙක් බැලුවම සිතට සතුටක් දැනෙනවා. හැබැයි ඊළඟට ලියන සටහන ලියවෙන්නේ හුදෙක් මට ඕනේ දේ ලියන්න මිසක් ගොඩ දෙනෙක් බලයි කියන අරමුණින් නෙවෙයි..

කාට හරි දැන ගන්න ඕනේ නම් අවුරුදු 10ක් බ්ලොග් එක ලිව්වම කොච්චර හිට්ස් ලැබෙනවා ද කියල

අද මේ මොහොත වෙද්දී මගේ බ්ලොග් එකට ලැබිල තියෙන සම්පුර්ණ පේජ් විව්ස් ගාන ඒ කිව්වේ

Pageviews all time history - 107,497


මෙච්චර කාලෙකට වැඩිම දෙනෙක් බලපු පෝස්ට් එක මෙන්න මේක බලපු ගාන 1116යි.

ඔය මදැයි නේද.. හෙහ් හෙහ්

          වෙන ඉතින් ලියන්න දෙයක් නෑ. බ්ලොග් ලිවිම කියන්නේ හරි ආතල් ජනක දෙයක්. මගේ නම් අවංකම හැඟීම ඒකයි. අනිත් එක සීමාවක් නැතිව ඕනේ දෙයක් ඉතා පහසුවෙන් ලියල අන් අයගේ අදහස් ක්ෂණිකව දැන ගන්න පුළුවන් වීම නිසා බ්ලොග් ලිවිම අනිත් සියලුම ලේඛන කලා වලින් වෙනස් වෙනවා. අනාගත ලේඛන කලාව බොහෝදුරට බ්ලොග් වලින් ම සිද්ද වෙයි වගේ..

තමුන්ට කැමති දේ කැමති විදියට කරනකොට එපා වීමක් නැතිව ජිවිත කාලයක් වුනත් කරන්න පුළුවන්..

පසුගිය වසර 10 පුරාවට මේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමට මගේ ස්තුතිය..!

තව ඉස්සරහට මේ වගේ 10 වෙනි 20 වෙනි සංවත්සර සමරන අපූරු බ්ලොග් අඩවි තියේවි. ඒ වෙනකනුත් රැඳී ඉඳිමු..





Sunday, August 07, 2016

සීමාවක් නැති සාහිත්‍යයය


අපි වගේ විප්‍රවාසිව ඉන්න අයට නිකන් ඉන්න වෙලාවට  කරන්න ඒ හැටි දෙයක් නෑ.. ඒ කියන්නේ ඔෆිස් එකට ගිහින් ඇවිල්ල නිදාගන්න කම් ඉන්න වෙලාව සහ ගොඩක් වෙලාවට සති අන්ත. (අනිත් අයට කොහොමද දන්නේ නෑ.. මම කිව්වේ මට... ). ලංකාවේ ඉන්නවට වඩා මෙහෙම රටක ඉන්න එකේ එක වාසියක් තමයි කරන්න මෙලෝ වැඩක් නැති වෙලාවල් තිබීම.. ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. කොහෙන් හරි මොකක් හරි වැඩක් සෙට් වෙනවා.. මම ඔය නිකන් ඉන්න වෙලාවට කරන්න කියල හැටක් විතර දේවල් හිතාගෙන ඉන්නවා.. .. උදාහරණ විදියට මේ බ්ලොග් එක ලියන එක, ජිම් යන එක, ස්විමිං යන එක, පොත් කියවන එක, චිත්‍ර අඳින එක, ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක ආදී වශයෙන්.. හෙහ් හෙහ්..හැබැයි අන්තිමට එකක්වත් කරන්නේ නෑ... වස කම්මැලියි.. ඉතින් ඔහොම ඉන්න වෙලාවට කිසි අමාරුවක් නැතිව කරන එකම වැඩේ තමයි ටි.වී එකේ ඔය ටි.වී සීරීස් බලන එක..  මෙහෙ තියෙන ලෝකල් මෙගා නාට්ටි බලන්නේ නැති නිසා කරන්නේ ඉංග්‍රීසි නාට්‍ය මාලා බලන එක තමයි.. එක්කෝ ෆිල්ම්..  

ඔය ෆිල්ම් , ටීවී සීරිස් බලන්න තියෙන ලේසිම විදිය තමයි Popcorn Time. මේක ඉන්ස්ටෝල් කර ගත්තම තියෙන ඕනේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම්.. විනාඩි 2-3ක් යනකොට ෆිල්ම් එක ප්ලේ වෙනවා.. ඉස්සර වගේ ඩවුන්ලෝඩ් කර කර ඉන්න දෙයක් නෑ..  තනිකරම නොමිලේ.. ඊළඟ විසඳුම Netflix වගේ සේවාවක් ලබා ගැනීම.. ලංකාවෙත් දැන් තියෙන නිසා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් ගත්තට පාඩු නෑ.. මේ කිව්වේ ටොරන්ට් බාගෙන ඩවුන්ලෝඩ් කරන්නත් කම්මැලි තරමේ අයට... 

ෆිල්ම් සහ සාහිත්‍යය අපුරුවට එකට මුහු වෙනවා කියල මට හිතුනා... දැන් හැදෙන ගොඩක් ෆිල්ම් වලට පාදක වෙන්නේ මීට කාලෙකට කලින් කවුරුන් හෝ ලියපු පොතක එන කතාවක්.. හෝ කතාවේ එන චරිත. පොත සහ ෆිල්ම් එක කොච්චර දුරට රසවින්දනයට බලපානවද කියන එක හිතල බැලුවොත් පොත කියවනකොට දැනෙන රසවින්දනය වැඩියි කියන්න පුළුවන්.. හැබැයි සමහර ෆිල්ම් බලනකොටත් ඒ වගේම රසයක් තියෙනවා. ඒක සාපේක්ෂ දෙයක්.. මේ තාක්ෂණික දියුණුව එන්න කලින් ඇත්තටම අපිට පොතක් පතක් ඇර සාහිත්‍යමය වින්දනයක් ලබන්න තිබුනේ සීමිත අවස්ථා ප්‍රමාණයක් පොතකින් ලැබෙන වින්දනය ඒ කාලේදී අපිට ඉහටත් උඩින්.. හැබැයි දැන් ඒක තව දුරටත් එහෙම ද? කොච්චර දැනුමක් සහ රසයක් මේ වීඩියෝ සහ ඕඩියෝ මාධ්‍ය වලින් ලැබෙනවද... ඉතින් තව දුරටත් පොතටම අපි තැන දීම ටිකක් අසාධාරණයි වගේ.. 

මට ඕක හිතුන එක උදාහරණයක් කියන්නම්.. මම ඉස්සර ඔය විදුසරේ යන අවකාශ-කාලය, සාපේක්ෂතාවාදය වගේ මෙලෝ දෙයක් නොතේරෙන ලිපි හෙන අමාරුවෙන් කියවනවා.. කොච්චර හිතුවත් අපිට ඒවා තේරුම් ගන්න හෙන අමාරුයි.. සමහර වෙලාවට අපි ඔය මොකක් හරි අපිට හිතෙන දෙයක් හිතාගෙන ඒක තමයි හරි කියල හිතාගෙන ඉන්නවා.. හැබැයි දැන් යු-ටියුබ් එකේ ඔය ඕනේ එකක් ගානට ඕනෙම කෙනෙකුට ලේසියෙන් තේරුම් යන විදියට හදපු වීඩියෝ ඕනේ තරම් තියෙනවා.. ඒ දැනුමෙන් මිනිස්සු කොච්චර දේවල් කරනවා ද?  

දැනුම සහ සාහිත්‍ය රසය කියන්නේ දෙකක් කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. පොතක් කියෙව්වහම අපිට හිතා බැලීමේ නිදහස අසීමිතව තියෙනවා.. තම තමන් කැමති ආකාරයකට පොතේ එන චරිත මවා ගන්න පුළුවන්.. හැබැයි ෆිල්ම් එකේ දී අපිට කවුරු හෝ කෙනෙක් ඒ කතාව විඳපු විදිය තමයි බලන්න වෙන්නේ... එතකොට අපිට නිදහසේ හිතන්න තියෙන අවකාශය ඇහිරෙනවා... හැබැයි අපි මෙහෙම හිතුවොත් අපි පොතක් කියවල අඬපු වාර ගනනද වැඩි නැත්නම් ෆිල්ම් එකක් බලල අඬපු වාර ගනනද වැඩි?  මට නම් පොතක් කියවල ඇස් වලට කඳුළු ආපු දවසක් මතක් කරගන්නත් බෑ වගේ.. හැබැයි කඳුළු උනපු ෆිල්ම් ඕනේ තරම් තියෙනවා.. එහෙම වෙන්නේ නළු නිළියන්ගේ දක්ෂ තාවය සහ අධ්‍යක්‍ෂකවරයාගේ  දක්ෂතාවය නිසා තමයි.. හැබැයි වර්තමාන ලෝකේ මිනිස්සුන්ගේ හදවතට වඩා දැනෙන්නේ පොත් ද චිත්‍රපටි ද? 

මම මේ දවස් වල Netflix එකේ යන කතා මාලා දෙකක් බලනවා... අහසට පොලොව වගේ වෙනස් කතා තියෙන සීරීස් දෙකක්.. එකක් Stories by Rabindranath Tagore අනික Penny Dreadful.  මේ දෙක ගැන කෙටියෙන් යමක් කිව්වොත් අපි කවුරුත් දන්නා රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතා පදනම් වෙච්ච 1920 ගණන් වල වගේ ඉන්දියාවේ සමාජය නිරුපනය වෙන කතා මාලාවක්..හරිම ලස්සන පසුතල සහ රුගත කිරීම් වලින් යුක්ත අපුරුවට හදපු කතා පෙලක්.. කතාවල තේමාව සංකීර්ණ නෑ.. මිනිස්සු එදිනෙදා ජිවිත වල මුහුණ දෙන පොඩි පොඩි සිද්දි හරි අපුරුවට කතාවලට දාල තියෙනවා.. වැදගත් ම දේ තමයි.. ඒ කතා ඉවර වෙන්නේ අවසානය අපිට හිතා ගන්න ඉඩ ඉතිරි කරලා.... උදාහරනෙකට කිව්වොත් තුන්කොන් ප්‍රේමයකට මැදි වෙන තරුණ වැන්දඹුවක් ගැන කතාවක්. කතාව ඉවර වෙන්නේ ඒ ගැහැණිය සහ මිනිසුන් දෙදෙනා තම තමන් සැබවින් ම ජිවිතයේ කල යුතු ඇත්ත තේරුම් ගන්න අවස්ථාවට අපිව ගෙනල්ල..ඒ දේවල් ගැන ඉඟි වලින් අපිට දන්වල කතාව ඉවර වෙනවා... එතනින් එහාට කතාව ගොතා ගන්න තම තමන් ට පුළුවන්...

මේ කතා මාලාවේ තියෙන අනිත් වැදගත් ම දේ තමයි එක කතාවකින් පස්සේ අනිත් කතාව පටන් ගන්නේ.. අර කලින් කතාවේ චරිතයකට මග තොටේදී හරි නැත්නම් රැකියා ස්ථානයේදී හරි හමුවෙන තවත් කෙනෙකුගේ කතාවකින්.. ඒ කිව්වේ මෙහෙමයි එක කතාවක් තියෙනවා රහස් පරීක්ෂකයෙක් ගැන.. රහස් පරික්ෂකයාගේ කතාව ඉවර වෙන්නේ එයා වැඩ කරන පොලිස් ස්ථානයෙන් නිදහස් වෙලා යන හිර කරුවෙකුගේ චරිතය අපිට පෙන්නලා.. ඊට පස්සේ කොටස තියෙන ඒ හිර කරුවාගේ කතාව.. හිර කරුවාගේ කතාව ඉවර වෙන්නේ ඔහුට හමුවෙන පුංචි ගැහැණු ළමයෙකුගේ චරිතයෙන්... කතා එකට එකක් සම්බන්ධ නෑ... නමුත් ඒ චරිත එකට එකක් සම්බන්ධයි... මම ඒ වගේ අදහසක් දැකපු පළවෙනි වතාව.. මට නම් හරි අපූරුයි කියල හිතුනා.. හැම කතාවක් අවසානයේම අපිට ඒ කතාවේ අවසානය කොහොම වෙන්න ඇති ද කියල හිතන්න ඉතිරි කරලා නතර කරනවා.. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික දීලා ඉවර කිරීමක් නෑ... හැබැයි උත්තරේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියල කතාවේදී පෙන්නනවා..

ඕක බලද්දි මට හිතුනේ මේ විදියට කොච්චර කතා මවන්න පුළුවන් ද කියල...

හරි අනිත් කතා මාලාවට එමුකො..

අනිත් කතාව හොරර් කැටගරියේ එකක්.. මම ඔය හොල්මන් සහ ඔය ඒ වගේ වල්බුත තියෙන කතා බලන්නේ නෑ...මට හිතෙනවා ඒවා මෙලෝ වැඩක් නෑ කියල.. නිකන් පොඩ්ඩක් බය වෙනවා විතරයි.. ඉතින් මම මීට අවුරුදු 10-12කට කලින් බැලුවට පස්සේ කිසිම හොරර් ෆිල්ම් එකක් බලල නෑ.. මේ Penny Dreadful කතාවේ Trailers මම ගොඩක් කලින් ඉඳන් බලල තිබුනා.. හැබැයි ඔය මොකක් හරි හොල්මන් කේස් එකක් වෙන්න ඇති කියල මම අත ඇරල දාල තිබුනේ.. මේ ගිය සතියේ ඔය මට වගේම ටිකක් කචල් ගති තියෙන යාලුවෙක් තමයි කිව්වේ ඒක බලපන් කියල.. 

මම කොච්චර මේ සාහිත්‍යය ගැන දන්නවද කිව්වොත් එහෙම ඔය Penny Dreadful කියන නම ගැන හිතාගෙන හිටියේ නිකන් හොල්මන් ආවේශ වෙන Penny කියල කෙල්ලෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල.. පස්සේ හොයල බලද්දී දැන ගත්තේ Penny Dreadful කියන්නේ  වෙනමම සාහිත්‍යයක් කියල...

මෙන්න මෙහෙමයි විකිපීඩියාවේ තියෙන්නේ

[Penny dreadful is a pejorative term used to refer to cheap popular serial literature produced during the nineteenth century in the United Kingdom. The term is roughly interchangeable with penny horrible, penny awful,and penny blood. The term typically referred to a story published in weekly parts, each costing one penny. The subject matter of these stories was typically sensational, focusing on the exploits of detectives, criminals, or supernatural entities. While the term "penny dreadful" was originally used in reference to a specific type of literature circulating in mid-Victorian Britain, it came to encompass a variety of publications that featured cheap sensational fiction, such as story papers and booklet "libraries". The penny dreadfuls were printed on cheap wood pulp paper and were aimed at young working class males.]


ඒ කියන්නේ 19 වන සියවසේදී තිබ්බ අපේ චිත්‍ර කතා වගේ කතා ජාතියක් වෙන්න ඇති... නැත්නම් දැන් ඔය නැගල යන Marvel, DC Comic වගේ වෙන්න ඇති.. හැබැයි මේ කතා ටිකක් අද්භූත , හොල්මන් කැටගරි වලට අයිති වෙන, විවිධ හැඟීම් ඒ කිව්වේ මේ ශෘන්ගාර රසය එහෙම ටිකක් වැඩිපුර උපදවන සුළු කතා ජාතියක් වෙන්න ඇති..


හරි එතකොට මොකක්ද මේ Penny Dreadful කතා මාලාවේ තියෙන අර සාම්ප්‍රදායික හොල්මන් කතා වලට වඩා තියෙන විශේෂත්වය.. අපි කවුරුත් Dracula චරිතය දන්නවනේ ඒ පොත කියවපු අය දන්නවා ඒ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ජොනතන් හාකර් ගේ බිරිඳ වෙච්ච මීනා හාකර් ගැන.. මම අර කලින් ලියපු පෝස්ට් එකේදිත් මෙයා ගැන ලිව්වා..  අනිත් කෙනා අර  මැරිච්ච මිනිස්සුන්ට පන දෙන දොස්තර මහත්තය Frankenstein. ඊට පස්සේ තව මේ Dorian Grey කියල හාදයෙකුත් ඉන්නවා.. කතාව කිව්වොත් වැඩක් නැති නිසා මම වැඩිය මොකුත් නොකිය ඉන්නම්.. හැබැයි මෙහෙම කියමු අපි නිකමට හිතල තියෙනවද ඔය මීනා හාකර් ගේ චරිතය ගැන.. ඒ කියන්නේ එයා ඔය ජොනතන් හාකර් ව බඳින්න කලින් සිද්ද වෙච්ච දේවල් ගැන.. ඇත්තටම අර Dracula කතාවේදී මීනා හාකර්ට වෙච්ච දෙයින් පස්සේ එයාගේ පවුලේ අය කොහොමද එකට මුහුණ දෙන්න ඇත්තේ..? එයා වෙනුවෙන් අනිත් අය මොනවා කරන්න ඇති ද? හෙහ් හෙහ් අපි කවදාවත් ඔච්චර දේවල් ගැන හිතනවා ද?

මම අර කලින් කිව්ව රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතා සහ මේ කතා මාලාවේ කිසිම සමාන කමක් නෑ.. හැබැයි මම දැක්ක ලොකුම සමනාකම තමයි එක කතාවක ඉන්න අනු චරිතයක කතාව කොහොම වෙන්න ඇති ද කියන එක... අපි නොසලකා හරින ඒ චරිතය ඇතුලේ තව අපුරු කතා තියෙන්න පුළුවන් නේද? 

Penny Dreadful ගැන කියද්දී එකේ ප්‍රධාන චරිත රඟ පාන නිළිය ගැනත් මොකුත් නොකියම බෑ.. Eva Green කියන්නේ මම බලපු ෆිල්ම් වලින් මගේ මතකේ රැඳිලා ඉන්න මම කැමති නිලියක් ..  මේ නිළිය ගැන අඩු පාඩුවක් නැතිව ඔය පිරිමි පාර්ශවයේ අයට බලා ගන්න පුළුවන් The Dreamers කියන ෆිල්ම් එක බැලුවනම්..  



මේ කතා දෙක අපි දෙන්න බලන්නේ මෙහෙමයි.. අපි දෙන්නම රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතාවෙ කොටසක් දෙකක් ඔය රෑට කන ගමන් බලනවා.. ඊට පස්සේ බට්ටි නගා නිදා ගන්න ගියාම මම Penny Dreadful  බලනවා.. ඔය යන එන වෙලාවට Penny Dreadful එකේ දකින පොඩි පොඩි කෑලි වලට බට්ටි නගා රෑට හීනෙන් බයවෙනවා.. මම ආතල් එකේ නිදා ගන්නවා.. ඊට පස්සේ බැනුම් අහනවා රෑ තිස්සේ මල විකාර කතා බලනවා කියල.. හෙහ් හෙහ් හෙහ්..

හරි දැන් ඔය වගේ කතා බලපුවහම අපිට ඊලඟට හිතෙන දේ සහ බ්ලොග් පෝස්ට් එකක් සාර්ථක වෙලා හිට්ස් වැඩි වෙන්න ඊලඟට අවශ්‍යය වෙන දේ ගැන හිතල බලමු..

ඒ කියන්නේ මෙන්න මේවගේ කතා එක්ක ලංකාවේ තියෙන කතා සංසන්දනය කරලා ලංකාවට බනින කොටස ගැන අපි දැන් නිකමට හිතල බලමු.

මම ලංකාවේ ඉන්න කාලේ එක දවසක් ඔය විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක ඉනිමංකඩ මහත්මය ද කොහෙද සංවිධානය කරපු ඔය සාහිත්‍යය ගැන තියෙන හෙන විද්වත් දෙසුමක් අහන්න ගියා ජෝන් ද සිල්වා එකට.. මට අවුරුදු 24-25ක් වගේ ඇති.. කොන්ඩ රවුල් වවා ගත්ත හෙන සෙට් එකක් ඇවිල්ල හිටියා.. තවත් ඒ වගේම කොන්ඩ රැවුල වවාගත්ත මහත්මයෙක් මයික් එක බදාගෙන පැයක්- පැය බාගයක් විතර හෙන බර වචන වලින් දේශනාවක් කළා.. මට මෙලෝ දෙයක් තේරුනෙ නෑ... ඉතින් ගිය මෝඩ කමට අහගෙන ඉඳල ආපහු ආවා.. මට ඒ කතාවේදී කියපු කිසිම දෙයක් දැන් මතක නෑ..  

හැබැයි එදා මට මතක සිද්දි දෙකක් තියෙනවා.. 

එකක් මම ඒ කතාව අහගෙන ඉන්න ගමන් හිතුවා ඇයි ලංකාවේ හැරී පොටර් වගේ ෆුල් ෆැන්ටසි කතා බිහි වෙන්නේ නැත්තේ කියල. සභාව මැද්දේ නැගිටලා ඔය ප්‍රශ්නේ අහන්නත් හදල නිකන් මොකට චාටර් වෙනවා ද කියල මම නිකන් හිටපු එක .. 

අනිත් එක තමයි දේශනාව ඉවර ගෙදර යන්න නැගපු AC බස් එකේ මම ඊට කාලෙකට කලින් ට්‍රයි කරලා චාටර් වෙච්ච ගෑනු ළමයෙක් එයාගේ පෙම්වතා එක්ක ආදරෙන් තුරුල් වෙලා හිටපු එක.  මම එතනම උලම වගේ හිටගෙන ගිය හැටි.. හෙහ් හෙහ්..

දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න අය වශයෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි ලංකාවට නොබැන ලංකාවේ මිනිස්සුන්ගේ නොහැකියාවන්, හෝ නොදැනුවත්කම් ගැන අඩු තක්සේරු නොකර අඩුම තරමේ අලුතින් ලියන, අලුතින් ෆිල්ම් , නාට්‍ය හදන, නැත්නම් කලාවට සාහිත්‍යයට එකතු වෙන අයට අලුත් විදියට හිතන්න පුළුවන් දේවල් අලුත් සංකල්ප ගැන.. පොඩියට හරි කතා බහ කරන එක.. මේක කලාව සාහිත්‍යයය ගැන විතරක් නෙවෙයි හැමදේ ගැනම එහෙමයි.. අපි ගොඩක් වෙලාවට කරන්නේ  destructive criticism මිසක් constructive criticism නෙවෙයි.. ඉතින්  ලංකාවේ වරදක් තියෙනවනම් ඒ වරදට හේතුවත් අපිමයි..

හරි ඉතින් මේ කතා බලද්දී මට හිතුන දේ මෙහෙමයි.. ලංකාවේ සාහිත්‍යයයේ කොච්චර අපුරු චරිත ඉන්නවා ද කතා මවන්න පුළුවන්.. 

උදාහරණ : 

1. 33 කෝටියක් දෙවියන්ගෙන් අපි දන්නා දෙවියෝ කීප දෙනා ගැන කතා.. ඒ කියන්නේ සීයුස් දෙවියන්ට හොම්බෙන්න යන්න දෙන්න පුළුවන් පවර්ස් තියෙන දෙවිවරු අපිට ඉන්නවා..

2. මහසෝනා, රීරි යකා, කළු කුමාරයා, කාලි අම්මා ඇතුළු අපි ඔය දන්න කියන යක්ෂ ප්‍රේතයෝ ගැන.. Dracula කැලේ...

3. විජය කුමාරයාගේ ඉඳන් මහින්ද මහ රජානෝ දක්වා ඒ රජපවුල් සහ ඒ ඒ රජවරුන්ගේ බිසෝවරු සහ අන්තක්පුර ගැන PG සහ R කැටගරි වල ෆිල්ම් 

4. හැමෝම නැගිට්ටවන්න හදන රාවනා රජතුමා ගැන.. මම අර රාවනා මෙහෙයුම ද කොහෙද කියල තියෙන පොත නම් කියෙව්වා.. එක හැබැයි ඉංග්‍රීසි ඇක්ෂන් ෆිල්ම් එකක් සිංහලෙන් ලියල රාවනා නමින් එච්චරයි වෙන ගත යුතු නිර්මාණශීලි දෙයක් නම් මම දැක්කේ නෑ.. හැබැයි හොඳ උත්සාහයක්..

5. ඊට පස්සේ ඔය රාජධානි ගැන කතා.. අනුරාධපුර, පොලොන්නරුව.. සමාධි පිළිමේ නෙලපු ගල් වඩුවාගේ තිබිච්ච හැකියාව ගැන ඇඟ හිරිවැටෙන කතාවක් ගොතන්න පුළුවන් නේ...

6. ඊට පස්සේ ඕනනම් ඔය පොළොන්නරුවේ තියෙන පිටසක්වල දොරටුව ගැන.. (එහෙම ඒවා තියෙනවද නැද්ද කියල අවුරුදු 2500ක් විතර වාද කළා ඇතිනේ දැන්) 

7. සිගිරිය තියෙන්නේ.. ටීවී සීරිස් කීයක් හදන්න පුළුවන් ද... 

8. රිටිගල පැත්තේ තිබ්බයි කියන සටන් කලා...

ඔය යක්කු ගැන කියද්දී මට මතක් වුනේ මට හම්බ වෙච්ච එක්තරා මහත්මයෙක් කිව්වා මහසෝනා හෝ ඒ වගේ ප්‍රසිද්ධ නමකින් අපි ඔය හඳුන්වන බලවේගයක් භාවනාව ගැන ඉගෙන ගන්න තමන් හා සම්බන්ධ වෙනවා කියල..

අපූරු සංකල්පයක් නේද නියම කතාවකට...


ඔය තියෙන්නේ කීපයක්.. මේවා නිකන් spider man, super man, LOTR, ටයිප් එකේ කතානේ කියල සම්භාව්‍ය අයට අහක දාන්න පුළුවන්

අපි හොඳට අඳුරන අපිට අමතක වෙච්ච චරිත ටිකක් මතක් කරලා බලමු...

1. කයිසාරුවත්තේ මුහන්දිරම් පරම්පරාව එතනින් ඉවර උනාද? නැත්නම් ඒ පරම්පරාවෙ අයගේ වර්තමාන තත්වය කොහොම වෙන්න ඇති ද?

2. මඩොල් දුවේ කවුරු හරි හොටෙල් එකක් හැදුවොත් උපාලි ලගේ , ජින්නලගේ ළමයි මොනවා කරයි ද?

3. විරාගයේ අරවින්දට දුරින් වෙච්ච නෑදෑයෙක් අරවින්ද ගැන කොහොම හිතනවා ඇත්ද?

4. දම්මි සහ සුගත්ට අමතරව දම්මිටයි සුගත්ටයි හිටපු අනිත් යාළුවන්ට මොනවා වෙන්න ඇද්ද..?

5. උපාලි විජේවර්ධන මහත්මය අතුරුදහන් වුනාද? නැත්නම් ..

6. නවලෝක ව්‍යාපාරය ගොඩ නැගුවේ එක රැයකින් ද? 

හිතල බැලුවොත් තව කොච්චර චරිත ඉන්නවා ද ... 

අපි මේ උඩ දාගෙන බලන කතාවල ඉන්නෙත් මේ වගේ ම චරිත තමයි.. එකම වෙනස ඒ චරිත මුළු ලෝකෙම අඳුරන චරිත වීම සහ අපේ චරිත ගැන දන්නේ අපි විතරක් වීම.. හැබැයි ඔවුන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑ..

මම මේ ලඟදි මහ රජ ගැමුණු චිත්‍ර පටිය බැලුවා..CD එකක් ගෙන්නගෙන... බලද්දී හිතුනේ ලංකාවේ හැටියට සෑහෙන්න හොඳට කරලා තිබුනට.. ඔයිට වඩා හිතට වදින විදියට සහ උසස් තත්වයකින් ඒ චිත්‍රපටිය හදන්න තිබුන නේද කියල..  සල්ලි ප්‍රශ්නය ලංකාවට ප්‍රශ්නයක් තමයි හැබැයි ෆිල්ම් එකක උසස් තත්වය කියන්නේ සල්ලි නිසාම සිමා වෙන දෙයක් නෙවෙයි නේද..? අපිට මොකක් හරි නිෂ්පාදනයක තිබිය යුතු උසස් තත්වය ගැන තියෙන හැඟීමේ මොකක් හරි අවුලක් තියෙනවා.. ඒ අවුල අපේ අතින් ලියවෙන පොත් පත් වල, අදහස් වලත් තියෙනවා.. මට හිතෙනවා අපි විහින් හදාගත්ත සීමාවල හිරවෙලා කියල... මමත් එහෙමයි..

මිනිස්සුන්ට සීමාවල් තිබිය යුතුයි.. හැබැයි අපි හිතන දේවල් වලට සීමාවක් තියෙන්න ඕනේ ද.. සාහිත්‍යයය කලාව කියන්නේ සීමාවල් නැති දේවල් නෙවෙයි ද?

Thursday, July 28, 2016

‘මම’ සිටියි ද? නොසිටියි ද?

ආදී කල්පික මිනිසා:
‘සිටින්නේ අපේ ගෝත්‍රයයි
‘මා’ කියා කෙනෙක් මෙහි නැත.’

පශ්චාත් ආදී කල්පික මිනිසා:
            ‘මා’ යනුවෙන් මෙහි පුද්ගලයෙකු
            සිටින බව වරින් වර දැනේ.
            එහෙත් වැදගත් වන්නේ ගෝත්‍රයයි.
            ගෝත්‍රයට එරෙහි වීම,
            පුද්ගලයකුට
            කිසි සේත් කළ නොහැකිය.’

මධ්‍යකාලීන මිනිසා:
            ‘මම සිටිමි.
            මම සංස්කෘතිය අනුව
            ක්‍රියා කළ යුතු වෙමි.
            සංස්කෘතිය ඇති සැටියෙන්
            පිළිගත යුතු ය.’

නවීන මිනිසා:
            ‘මම සිටිමි.
            මා ජිවත්විය යුත්තේ
            මට ඕනෑ හැටියට ය.’

සත්‍ය ගවේෂක මිනිසා:
            ‘මම’ යනු කවරෙක් ද?’

ප්‍රබුද්ධ මිනිසා:
            ‘මම’ යනුවෙන් ගත හැකි

            පුද්ගලයෙක් මෙහි නැත.’ 

උපුටා ගැනීමකි
විමුක්ත සිතේ ප්‍රීති උදාන - කර්තෘ ඒ.එස් බාලසුරිය

Tuesday, June 28, 2016

කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල

                  ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත මම කලින් කියවල ඇති කියල.. මේ ඊයේ පෙරේදා ලංකාවට යද්දී ෆ්ලයිට් එකේදී කියවන්න කියල අරන් ගියේ.. කියවගෙන යද්දී තමයි තේරුනේ මේකේ තියෙන සිද්දි එහෙන් මෙහෙන් අහල තියෙනවා විතරයි කවදාවත් පොත කියවල නෑ කියල.. යන එන ගමන් ටිකක් කියෙව්වා.. ඊයේ හවස් වරුවේ ඉතිරි ටික කියවල ඉවර කළා..

කැප්ටන් නෙමෝ ඉන්න සහ නෞටිලස් තියෙන ෆිල්ම් එකකුත් තියෙනව. නම LXG (League of Extraordinary Gentlemen) ෆිල්ම් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්.. ෆිල්ම් එකේ තව මරු චරිත ටිකක් ඉන්නවා.. Allan Quatermain, Professor James Moriarty, Mina Harker, Rodney Skinner හෙවත් අදිසි මිනිසා  වගේ මරු චරිත ටිකක් ඉන්නවා.. 

බැරිවෙලා හරි මේක කියවන කෙනෙක් Allan Quatermain ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ශ්‍රීමත් රයිඩර් හැගාර්ඩ් ගේ King Solomon's Mines කෘතියේ ප්‍රධාන චරිතය. Professor James Moriarty කියන්නේ ෂර්ලොක්හෝම්ස් කතා මාලාවේ ඉන්න ප්‍රධානම දුෂ්ට චරිතේ.. මම වැඩිය එයා ගැන නම් දන්නේ නෑ.. Mina Harker කියන්නේ සුප්‍රසිද්ධ Dracula (ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල) පොතේ  ඉන්න කාන්තා චරිතය. අදිසි මිනිසා කියන්නේ H.G Wells ගේ The Invisible Man පොතේ ඉන්න අදිසි මිනිසා.

Mina Harker ගේ හස්බන්ඩ් තමයි Jonathan Harker. පොර තමයි දැතිහුලහ ගෙන් ගේම ඉල්ලන්නේ. Jonathan Harker එදා ගේම ඉල්ලන්නේ නැතුව නිකන් පොඩි කාමරයක් වගේ ඉල්ලගෙන ශේප් එකේ හිටියනම් දැතිහුලහ අදටත් ඉන්නවා.. Mina Harker ටත් ඔය ළමයෙක් දෙන්නෙක් හදාගෙන ගේ දොර වැඩ ටිකක් කරගෙන ඉන්න තිබුනා.. කොහෙද ඉතින් ගේම මනේ ඉල්ලුවේ.. (කොහොමත් ගෑනු ඉතින් ලොකු ගෙවල් වලට ආසයි නෙ.. නැද්ද හා)

මේ වගේ පෝස්ට් ලියද්දි දේවල් ඔළුවට එන විදියට අර ඔපිස් එකේ වැඩ කරනකොටත් අපේ ඔලු හරියට වැඩ කරනවානම් අම්මපල්ල මහින්ද නැතුව උනත් ලංකාව ආශ්චර්යමත් කරන්න පුළුවන් නේ.. කරුමේ කියන්නේ ඔළුව වැඩ කරන්නේ මේ වගේ ෆැන්ටසි ලෝක වලදී විතරයිනේ.. 

හරි දැන් ආයෙත් මේ කැප්ටන් නෙමෝ දැක්ක සාගර පතුල ගැන කිව්වොත් එහෙම.. පොර ඒවා බලන්න මුහුදේ ගිලුනේ මිනිහම හදපු නෞටිලස් සබ්මැරින් එකෙන් . අපි මේ කතා කියවල මනෝ ගහල බුදිය ගත්තට ඒ මනෝ ලෝකවලින් එලියට ඇවිල්ල වැඩ කරන සුද්දෝ පස්සේ කාලෙක හදපු මුල්ම න්‍යෂ්ටික සබ්මැරින් එකට නම තිබ්බේ නෞටිලස් කියල.   ඒ සබ්මැරින් එකක් ගැන හිතාගන්නවත් බැරි තරම් ඈත කාලෙක සබ්මැරින් සංකල්පය මේ තරම් අපුරු විදියට කතාවකට ගොතපු ජුල්ස් වර්න් ට උපහාරයක් විදියට.. කතාව කියවද්දී ඇත්තටම මාර සංකල්ප ටිකක් පොතේ තියෙනවා... මම හිතන්නේ තාමත් ඒ කතාවේ ලෙවල් එකට අපි ඇවිල්ල නෑ..

හරි ඉතින් දැන් ඔය කතාවේදී කැප්ටන් නෙමෝ දැක්ක මුහුදු පතුල මොකක් ද..

හෙහ් හෙහ් මේ බ්ලොග් ලෝකයේ මාතෘකාවට අදාල නැති පෝස්ට් එකක් ලියල පොඩි ආතල් එකක් ගන්න එක හරි ම සුලබ දෙයක්.. මමත් මේ ඒ වැඩේ කරන්නේ..  දැන් මම කැප්ටන් නෙමෝ ගැන පෝස්ට් එකක් ලියන්න කියලද.. පොර ගැන මම දන්නෙත් පොත කියවපු අනිත් උන් දන්න ටිකමයි.. ඉන්දියානු සාගර පතුල ගැන ඉතින් මොනවා ලියන්නද.. මම මේ ස්විමිං පුල් එකේ යාන්තම් හුස්ම තදකරන් පොඩ්ඩක් අත පය ගහන මනුස්සය වෙච්චි කොට.. සාගර පතුල් ගැන ලියන්න.. .. හෙහ් 

මොනවා උනත් මාතෘකාවක් දැම්ම නම් එකට අදාලව මොනවාම හරි ලියන්න ඕනේ.. වැල් බයිලා කොච්චර ලිව්වත් කමක් නෑ..  (තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ..)

මේ තියෙන්නේ ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන සාගර පතුල නේ



අපූරුයි නේද..මේක බුකියේ යාලුවෙක් දාල තිබ්බ ෆොටෝ එකක් මට දැක්ක ගමන් ආස හිතුනා..මොනවා හරි ලියන්න හිතද්දී තමයි කැප්ටන් නෙමෝ ඔළුවට ආවේ.. පොරත් මේවා දකින්න ඇති නේද කියල හිතුනා.. අනේ අර Jonathan Harker දැතිහුලහ ගෙන් ගේම ඉල්ලුව වගේ මේ කැප්ටන් නෙමෝ ටත් පොඩි මුලග්ගින්නක් තිබුනා මගේ හිතේ..මිනිහටත් එක විදියකට ඉන්න බැරි වුනානේ..ඔය පාඩුවේ සබ්මැරින් එක එලොගෙන හිටියනම් අදටත් ඉන්නවනේ..  NatGeo එකට ෆොටෝ ගහන රස්සාවක් අපුරුවට කරන්න තිබුනා.. යු ටියුබ් එකේ, බුකියේ හොඳට හිට් වෙන චරිතයක් මෙලහට හිටියනම්..
ඔය තියෙන්නේ කැප්ටන් නෙමෝ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ල ලංකාවේ මුතු පර වල මුතු හොයද්දි ගත්තු පින්තුරයක් නෙවෙයි.. මේ 1967 ඔක්තෝම්බර් මාසේ National Geographic සඟරාවේ පලවෙච්ච පින්තුරයක්. කවුද මන්ද කෙනෙක් ඇඳපු මැප් එකක්..  ඔය මැප් එකේ උඩ හරිය බැලුවොත් පෙනෙයි නිකන් රොන් මඩ තැන්පත් වෙච්ච ගතියක්.. මේ ෆොටෝ එක දාල තිබුණු reddit එකේ පොඩි කතා බහක් තිබුනා ඔය ලංකාව පැත්තට වෙන්න තියෙන රොන් මඩ වගේ ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඉන්දියාවේ ගංගා නම් ගඟ නිසා කියල.. බැලු බැල්මට එහෙම හිතෙනවා.. හැබැයි ඇත්තද බොරු ද දන්නේ නෑ..


මට ඉතින් ඕක දැකල මේක ලියන්න කලින් හිතුනා මේ මැප් එක ඇත්තද බොරු ද කියල හොයන්න.. එහෙම හොයද්දී  Nasa එකෙන් පල කරපු මේ පින්තුරේ හම්බ වුණා..




පොඩ් සමාන කම් ටිකක් තියෙනවා නේද..මුල් පින්තුරේතරම් ගතියක් නැති උනාට..

සාගර පතුල ගැන හොයන්න මම ආසයි බයයි.. ඒ කියන්නේ ඔය ගැඹුරු මුහුදට නම් මම බයයි.. අර කැමරන් කාරයා.. (ඉල්ලලා අස් වෙනවයි කිව්ව කැමරන් හාදය නෙවෙයි.. චිත්‍ර පටි හදන බුවා) කොහොම මරියානා ආගාදෙට බැස්ස ද මංද..

අපි ඉතින් මේ වගේ මැප් වලින් ඔය තියෙන දෙයක් බලාගෙන ඉන්නවා.. හැබැයි බැරි වෙලා හරි නෙමෝ ලොක්කගේ නෞටිලස් එකේ අඩු ගානට ටුවර් පැකේජ් තිබ්බ නම් අපිත් බය නැතුව යනවා..  පේනවනේ හිටියනම් පොරට කරන්න තිබ්බ බිස්නස්..

කොටින් ම මේ කැප්ටන් නෙමෝ ගේ පොත කියවල ඉවර වෙලා ඊයේ ටීවී බලද්දී ටීවී එකේ තිබුනා එකක් ඔය මහ මුහුද මැද්දේ කිමිදිලා මාළු මරණ සීන් එකක්.. දැල් දාල අල්ලනවා නෙවෙයි කෙලින් ම උලකින් වගේ ඇනල අල්ලන්නේ.. ඕක බලද්දී මතක් වුනේ නෙඩ් ලෑන්ඩ්ගේ ඇවුලුම් බිලිය.. ඇවුලුම් බිලිය කියන්නේ මොකක් ද කියල මම දන්නේ නෑ හැබැයි ඒ පෙන්නපු ආයුදේ ඒ වගේ වෙන්න ඇති.. ඔය ඇවුලුම් බිලියෙන් තල්මස්සු මරණ කතාව මිට කලින් කියවල තියෙනවා.. මම හිතන්නේ මොබි ඩික් එකේ ද කොහෙද.. ෂුවර් නෑ..

දැන් මේ මැප් එක දකිද්දී මතක් වුනේ.. ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන ඇට්ලන්ටිස් මහාද්වීපයේ සුං බුං ටික..  ඔන්න බලන්න මම කිව්වේ බොරු ද කියල.. පොර අද හිටියනම් .. පවුලේ සැමට ඇට්ලන්ටිස් සවාරියක් යන්න තිබුනනේ ... අපිත් ඇට්ලන්ටිස් බලනවනේ එහෙනම්

දැන් ඔය කාරනා කාරනා දන්න අය කියයි ඇට්ලන්ටිස් කියන්නේ බොරුවක් කියල.. හැබැයි ඉතින් ඔය ඇට්ලන්ටිස් මහාද්වීපය තිබුනයි කියන්නේ දැන් අප්‍රිකානු සහ ඇමරිකානු මහද්වීප දෙක අතර ලු.. සෑහෙන්න දියුණු ශිෂ්ටාචාරයක් තිබුන(ලු) ..ලු.. අනේ මං ද

මම අර කලින් කිව්වා වගේ බැරිවෙලා හරි Jonathan Harker දැති හුලහ ගෙන් ගේම ඉල්ලන්නේ නැතුව ශේප් වෙලා දැතිහුලහ අද වෙනකම් හිටියනම්  ඔය දැතිහුලහ ට තියෙන නොමැරෙන ලේ වල රහස ශේප් එකේ එක්කෝ ගානක් දීලා.. නැත්නම් ඔය පොඩි සුදු ළුණු ටිකක් පොඩි කරලා  දැති හුලහව මඥ්ඥන් කරලා හොයාගෙන නෙමෝ ගේ ටෙක්නොලොජි පාවිච්චි කරලා මොන මොන දේ කරන්න තිබුනද...අනිත් එක අර අදිසි මිනිසා නොපෙනී ඉන්න ටෙක්නික් එක, අදිසි මිනිහ මලේ මක් වෙලා ද? මට මතක නෑනේ.. මට මතක එකම දේ තව අදිසි පුසෙක් මේ ලෝකේ ඉන්නවා කියල විතරයි... ඒ පුසාත් මලා ද? කාට හරි මතක ද?

කියල වැඩක් නෑ.. ගම්පහ ඉන්න තිබ්බ මිනිස්සු..

කැප්ටන් නෙමෝ වගේ නෙවෙයි ඇලන් ක්වාටර්මේන්,  වැදගත් මනුස්සය. අර සොලමන් රජ්ජුරුවන්ගේ වස්තුව හොයන්න ගිය හැටි කට්ටිය දන්නවා ඇති නේ.. ඔය සොලමන් රජ්ජුරුවොයි ෂිබා රැජිනයි කියන්නේ බයිබලේ එන චරිත දෙකක්.. දැන් ඔය King Solomon's Minesපොත සිංහල ට පරිවර්තනය වෙලා තිබුනා රත්නාගාරය කියල.. ඔය පොතේදී තමයි මම ඉස්සෙලම ඇලන් ක්වාටර්මේන් අඳුර ගත්තේ.. දැන් නම් ඒ පොත තියෙනවා ද දන්නේ නෑ සල්ලි දීල ගන්න. ඔකේ තියෙනවා ඇලන් ක්වාටර්මේන් සහ ඔහුගේ පිරිස කාන්තාරේ යද්දී ඈතින් පේන කඳු ශිකරය ගැන කියන්නේ ෂිබාගේ දෙපියයුරු කියල.. මට ඒ දවස් වල ඕක කියවද්දී නිකන් හෙන අවුල් වගේ.. හෙහ් හෙහ්.. දැන් මේ කොහෙන් හරි ඇලන් ක්වාටර්මේන් මතක් වුනත් මතක් වෙන්නේ පොතේ ඒ කෑල්ල හෙහ් හෙහ් හෙහ්...

රයිඩර් හැගාර්ඩ් ගේ ඈ හෙවත් අයේෂා කියන පොතේ තියෙන්නේ ඔය ෂිබා රැජින ගැන කියල මම හිතාගෙන හිටියේ හැබැයි මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි.. අයේෂා පොත ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ..දැන් මේ පොත් ගැන මතක් වුන වෙලාවේ මතක් වෙච්ච තව එකක් තමයි භුතාවේශය කියන පොත.. එකේ තිබුනෙත් ඔය කවුරු හරි කුමාරියක් ගැන තියෙන ඇඩ්වෙන්චර් කතාවක්.. එකේ චරිත නම් මතක නෑ.. හැබැයි පිට කවරේ තිබුණු දුහුල් සළුවක් ඇඳගත්ත නග්න ගෑනු රූපේ නම් ගලේ කෙටුව වගේ මතකයි හෙහ් හෙහ්..

එක පොතක් කියෙව්වම අපිට කොච්චර දුරක් යන්න පුළුවන් ද.. චිත්‍රපටයක් බැලුවට මේ විදියට මනස්ගාත ගොතන්න ටිකක් අමාරුයි මම හිතන්නේ.. මොකද චිත්‍රපටි වලින් අපේ ඔළුවේ සිද්දි ටික ඔක්කොම ඇඳලා ඉවර කරන නිසා අපිට අලුතින් අඳින්න දෙයක් නෑ.. පොත් වලින් ඉතින් පිස්සු හැදෙන කම් මවන්න පුළුවන්..

දැන් අර මම උඩින් කියපු LXG ෆිල්ම් එක මෙලෝ රහක් නැති එකක් වෙනවා ඔය චරිත ටික කලින් කියවල අඳුරගෙන හිටියේ නැත්නම්..

හරි එහෙනම් ඔය ඉන්දියන් සාගරේ උඩින් යද්දී හදිස්සියෙවත් ප්ලේන් එකක් කඩා වැටුනොත් සාගරේ තියෙන ඔය උස් කණ්ඩියකට නැගල පොඩ්ඩක් අල්ලන් ඉන්න පුළුවන්නේ කවුරු හරි බේර ගන්න එනකම්... පොඩ්ඩක් මැප් එක ඔළුවට දාගන්න.. කොයි එකටත් කියල..

කළුවරේ නිදා ගන්න ලැස්ති වෙලා ඉන්න අය මෙන්න මේකත් බලල අපේ හිතාදර දැතිහුලහා මහතා ගැන සිහිපත් කරගෙන ඔස්ති පාන් කෑල්ලක් කාල ,  සුදු ළුණු ටිකක් ඇඳවටේ තියාගෙන නිදා ගන්න.. සුබ රාත්‍රියක්!!

රිංගිට් 5ට ගත්තු මගේ රාජකීය දැතිහුලහ පොත


Thursday, May 19, 2016

කොටු වීම

කොටු වීම කිව්වම මේ දවස් වල හැමෝටම මතක් වෙන්නේ ගංවතුරට කොටු වීම. කැළණි ගං මිටියාවතේ ජිවත් වෙන මිනිස්සුන්ට ඔය කොටු වීමට අවුරුදු කීපයකට සැරයක් මුහුණ දෙන්න වෙනවා. මේ සැරේ තරම් නැති වුනත් ගොඩක් අවුරුදු වලදී ගංවතුරෙන් නිතර හානි වෙන පැත්තක්.  මිට අවුරුදු 20කට විතර කලින් (20කට වැඩි මිසක් අඩු නෑ).. කාලේදී ආවට පස්සේ ආපු ලොකුම ගංවතුර කියල තමයි අපේ වැඩිහිටියෝ නම් කියන්නේ..  

ඔය ඉස්සර ආපු ගංවතුරෙදි අපි හොඳටම කොටු වුණා. ගෙවල් නම් යට වුනේ නෑ නමුත් අපිට වෙන කිසිම දිහාවකට යන්න එන්න බැරි විදියට හොඳටම කොටු වුණා.. ඒ දවස් වල මට ඕනනම් අවුරුදු 10ක් වගේ ඇති.. මහ ලොකු දෙයක් මතක නෑ හැබැයි බෝට්ටු වලින් කෑම ගෙනත් දෙනකම් බලන් හිටියා හොඳට මතකයි..වතුර බොන ලිඳ යටවෙලා අල්ලපු ගෙවල් වලින් තාත්තා වතුර ගෙනාපු හැටි මතකයි..ඒ වගේම හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා ඔය වියලි ආහාර එහෙම දාල ගිය සීන් එකකුත් මතකයි.. අපිට ගංවතුර කියන්නේ පට්ට ආතල් දෙයක්.. පවුල් පිටින් යන්නේ වතුර බලන්න..  යන්න පුළුවන් උපරිම දක්වා වතුරේ බැහැල යනවා හෙහ් හෙහ් ...

මම හිතන්නේ ඔය ගංවතුරේ දී ද කොහෙද 1990 හරි 1989 වගේ කාලේ ද  කොහෙද මට හරියට ෂුවර් නෑ.. අපේ යාලුවෙකුගේ තාත්තා කෙනෙක් නැති වුණා ගංවතුරේ යද්දී කරන්ට් එක වැදිලා.. ඒ සිද්දිය ගැන මුළු ගමම කම්පා වුණා.. දැන් වගේ කරන්ට් එක ඕෆ් කරන වැඩ සමහරවිට ඒ දවස් වල තියෙන්න නැතුව ඇති..ඒ තාත්ත නැති වුනාට පස්සේ කොල්ලෝ හතර දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා උන් ටික හදන්න වෙච්ච මහන්සිය මුළු ගමම දන්නවා.. අද උන් ඔක්කොම හොඳ තැන් වල ඉන්නවා.. 

ඒ දවස් වල ඔහොම දවස් ගණන් වහිද්දි ඉතින් අපිට කරන්න වැඩක් නෑ..ඉස්කෝල වහනවනේ.. අපේ ගෙවල් තිබ්බ හරිය යට වෙන්නේ නෑ.. ඒ නිසා කොල්ලන්ට ෆුල් ආතල්.. කෙහෙල් කොට ඔරු හදන එකයි, නැත්නම් කාගේ හරි ඔය තියෙන ඔරුවක නැගල වතුර පිරිච්ච වෙල වල් වල මාළු බාන එකයි, වතුර බලන්න යන එකයි තමයි එකම වැඩේ.. මම ජිවිතේ පළවෙනි සහ අන්තිම මාළුවා බෑවේ ඔන්න ඔහොම ආපු ගංවතුරකදී.. අපේ ගේ පල්ලෙහා තිබුනේ මහ විශාල වෙල් යායක්.. පුරන් වෙච්ච .. වෙල මැද්දේ තිබුන මහ වල කියල වතුර වලක්.. එකේ හැමදාම වතුර තිබුනා.. කැළණි ගඟ උතුරන්න ගත්තම ඔය පට්ටිවිල,රග්ගහවත්ත හරියෙන් දාන වතුර ඔක්කොම ඔය වෙලට එනවා.. මම දන්න විදියට ඔය සියඹලාපේ හංදියේ තියෙන වෙල පිරෙන්නෙත් ඔහොම ගලාගෙන එන වතුර වලින්..අනිත් පැත්තෙන් ඔය දෙල්ගොඩ උඩුපිල හරියෙන් එන වතුර..

එක සැරයක් ඔහොම ගංවතුර ආපු වෙලාවක මම ඔය අපේ කොල්ලෝ ටිකත් එක්ක ගියා ගංවතුරේ මාළු බාන්න.. ඒ කියන්නේ වෙල පිරිලා තියෙද්දී රබර් වත්තේ කොනකට වෙන්න තිබුණු කමත කියල අපි හඳුන්වපු ගොඩබිම් කෑල්ලේ ඉඳල පිරිච්ච වෙලේ මාළු බෑමක් තමයි අපි කලේ.. මට මතක විදියට කිතුල් පිත්තකට කිත්තන් නූලක් ගැට ගහල එකේ කොනට උල් වෙච්ච කම්බි කොක්කක් එල්ලලා.. ඔය ගැඩවිලෙක් හරි මොකෙක් හරි තමයි ඇමට දැම්මේ.. අපි ඉතින් ඕක වතුරට දාල කයිය ගගහ ඉන්නවා ටික වෙලාවක් ඔහොම අල්ලන් ඉද්දි මෙන්න එක පාරටම ඔය මොකෙක් හරි මාළුවෙක් අහුවුනා.. මාළුවාගේ ජාතිය නම් මොකක් ද මන්ද අඟල් 2-3 වගේ දිග පොඩි මාළුවෙක්.. කිතුල් පිත්ත උස්සල එක පාරට උඩට ගනිද්දී පට්ට ආතල් එකක් ගියා.. ඊට පස්සේ ළඟට අරන් බලද්දී අනේ ඒ මාළුවාගේ කට හරහා අර කට්ට ඇනිලා අනිත් පැත්තට මතු වෙලා තිබ්බා.. රතු පාටට ලේ ටිකකුත් තිබුනා මම හිතන්නේ..කොක්කේ එල්ලිලා දඟල දඟල හිටියේ.. ඒක දැක්ක ගමන් මට ෆුල්ම අවුල්.. අර තිබ්බ ආතල් එක කුඩේ කුඩු.. මට මතක නෑ අපි ඒ මාළුවට මොකක් කළා ද කියල.. මට ඕනේ වුණා ඌව ආපහු වතුරට දාන්න.. හැබැයි දැම්මේ නැද්ද කොහෙද.. මොකද ඒ වෙද්දීත් ඌ මැරිලා මම හිතන්නේ.. කොහොම හරි ඒක දැක්ක ගමන් මට මාළු ඇල්ලිල්ල එපාම වුණා..

වෙලේ වතුර වැඩි වෙලා ඊට පස්සේ පිරෙන්නේ වෙලත් එක්කම තියෙන රබර් කෑල්ල.. රබර් වත්තෙන් උඩහට වතුර එනවා කියන්නේ ගංවතුර සෑහෙන දරුණුයි කියන එක.. අපේ ගෙවල් තියෙන්නේ රබර් වත්ත මායිමේ ඉඳලත් තව මීටර් 30-40ක් උඩහට වෙන්න..  මේ සැරේ සහ ඔය අතීත දවසක ආපු වතුරේදී වගේ තමයි අපේ වත්තට අල්ලපු වත්ත වෙච්ච සුදු අක්කලාගේ වත්තට වතුර දැම්මේ..  ඒ හරියට බෝට්ටු වලින් එන්න තරම් වතුර දානවා.

ඔහොම වතුර දාල කොටු වුනාම තියෙන ජිවිතේ පුදුම අත්දැකීමක්.. ගෙදර හැමෝම ඉන්නවා.. කාටවත් කරන්න පුළුවන් දෙයක් නෑ.. ඉස්සර ඔහොම ඉද්දි තමයි අපේ තාත්තා අපේ ගෙවල් අවට හිටපු අපේ යාළුවන් වත් එක්ක අපිත් එක්ක කාඩ් ගහන්නේ.. අපි ඕමි ගහන්න, බුරු ගහන්න, 304 ගහන්න ඉගෙන ගත්තේ ඔහොම ගෙදරට කොටු වෙලා ඉන්න කාලේදී.. පංච දාන එක, නයයි ඉනිමගයි අදින එක ඒ දවස් වල ගෙට වෙච්ච අපිට තිබ්බ සෙල්ලං.. ඊට ටිකක් ලොකු අපේ අක්කල ගෑනු පිරිමි මල් පලතුරු දාන එක.. අම්මල තාත්තලත් අපිත් එක්ක සෙල්ලං කරන්න එන එක මරු ආතල්..

මම මෙහෙ ආවට පස්සේ මම ඔය පොත් සේල් වලට ගිහින් පොත් ගොඩවල් අරන් එද්දී මට හැමදාම හිතෙන දෙයක් තමයි.. කවද හරි ආයේ එහෙම කොටු වුනොත් කියවන්න තමයි මේ පොත් මම ගන්නේ කියන එක.. හෙහ් හෙහ්.. විකාරයි වගේ හිතුනට.. ලයිට් නැති, ටීවී නැති, ඉන්ටර්නෙට් නැති ඔය වගේ වෙලාවල් කොයි වෙලේ එයි ද දන්නේ නෑ.. දැන් මේ පේනවනේ..  අනිත් එක තමයි ඔහොම කොටු වෙලා ඉද්දි අපිට කියවන්න කියල පොත් ඒ දවස් වල තිබුනේ නැති එක...ඒ කාලෙට ඇරියස් එක්ක දැන් ගන්නවා හෙහ් හෙහ්..

තව ඔය දවස් ගණන් වහින කොට කරපු දෙයක් තමයි වහලේ උළු අස්සෙන් බේරෙන වතුර පුරවනන්න පොඩි පොඩි භාජන ගේ පුරා තියෙන එක.. හෙහ් හෙහ් ඒක හෙන ආතල් වැඩක්.. මොකද තෙමෙන්න ගත්තම හැම තැනම තෙමෙනවා.. බාජන තියල බේරන්න බෑ.. 

මට අදටත් චිත්‍රයක් අඳින්න කිව්වම එක පාරටම ඔළුවට එන අදහසක් තමයි වැසි දිනයක් කියන එක.. ඔහොම ගෙදරට කොටු වෙලා ඉද්දි කරපු තව වැඩක් තමයි ඒක.. වැස්සේ තියෙන ලස්සනට, ඒ පාටවල් වලට , මඩ පාටට, අඳුරු කොල පාටට මම හෙන ආසයි..

මේ වගේ දේවල් මතක් වෙන එක හෙන සුන්දරයි අපට කිසි කරදරයක් නැතුව මේ සැපට ඉන්න නිසා.ඒත් කී දාහක් දෙනා මේ මොහොතත් එහෙම ඉන්නවා නේ කියන දේ මතක් වෙන කොට ඒ ඔක්කොම ආතල් කුඩේ කුඩු වෙනවා..

වැඩි දුර යන්න ඕනේ නෑ.. මේ තියන්නේ ඔය මම උඩින් කිව්ව සුදු අක්කල කොටු වෙලා තියෙන හැටි..


 මේ තියෙන්නේ පෙරේදා වෙද්දී සුදු අක්කලාගේ වත්තට වතුර දාන්න අරන් තිබ්බ වෙලාව
 ඔය තියෙන්නේ වෙලට යන පාර..අබලන් වෙච්ච කෙහෙල් කොටඔරුවකුත් තියෙන්නේ..
 මේ තියෙන්නේ අද වෙද්දී බියගම ගනේවත්ත පන්සල පේන හැටි

දැන් දවස් 3ක් විතර කොටු වෙලා හිටපු සුදු අක්කලා අද හවස මේ විදියට වතුරේ බැහැගෙන සියඹලාපේ පැත්තට එන්න ඇවිල්ල තිබුනා..හැබැයි මම හිතන්නේ එන්න බැරුව ආපහු ගිහින්.. අපේ පවුලේ වයිබර් චැට් එකෙන් ආපු පිංතුර මේ...  මේ වෙද්දී අපේ ලොකු අම්මගේ පවුලේ අය කොහේටවත් යන්න බැරුව හිර වෙලා ඉන්නේ..

එයාල පෙරේදා දවාලේ සියඹලාපේ හංදියේ 13 නේ කණුව ගාවට එනකම් පයින් ඇවිල්ල තිබුනා හැබැයි එතන වතුර වැඩි කම හින්ද ආපහු ගිහින් තිබුනා.. එයාල ඉන්න ගෙවල් නම් යට වෙන්නේ නෑ.. හැබැයි මේ වෙද්දී කරන්ට් එක කපල කියල අන්තිමට පණිවිඩේ ආවේ..  අවුලක් නැතුව ඉන්න අපේ අනිත් කට්ටියට මෙයාලව ගේන්න ගන්න විදියක් නෑ මේ වෙද්දී..  අවුලක් නෑ ඉතින් ලොකු කරදරේක නෙවෙයි ඉන්නේ.. මම හිතන විදියට.. 

මේ දැන් කතා කරල දැන ගත්ත  විදියට අපේ සුප්‍රසිද්ද දේශපාලක තුමෙක් ඒ පැත්තට ඇවිල්ල  ඒක කෝල් එකක් දීලා කරන්ට් එක නම් අරන් දුන්නලු.. අනේ මන්ද.. කරන්ට් එක දුන්න වගේ නෙවයි මොකක් හරි කේස් එකක් වුනොත්..

දැන් අපිට ඕනෙම කරදරෙකදී යන්න එන්න තැන් තියෙනවා.. වාහන තියෙනවා.. හැබැයි ඉස්සර ඔහොම කොටු වුනාම කාත් කවුරුත් නෑ.. මොකද කාටවත් අනිත් අය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් හැටියට නෙවෙයි හිටියේ.. 

ඉතින් ඒ වගේ අදටත් ඉන්න දස දහස් ගණනක් මිනිස්සු වෙනුවෙන් ඇත්තටම අපි මොනවා හරි කරන්න ඕනේ.. පොඩි උන්ට ගංවතුර ආතල් වුනාට.. ගෙවල් වල වැඩි හිටියන්ට දැනෙන හිතේ දුක ගැන මේ පින්තුර බලල හිතා ගමු.. 


පින්තුර උපුටා ගැනීම ෆේස්බුක් එකෙන්
 
වෙලාවට අපි දෙන්න හෙට ලංකාවට යනවා.. අඩුම තරමේ පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි ලංකාවේ ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන්..



Saturday, April 30, 2016

උඩු යටිකුරු වී ත්‍රිමාණ වුණු ඇනිවසරිය

හොඳට හිතල බැලුවොත් හැම දවසක් ම සමරන්න ඕනේ. මොකද ආයේ කවදාවත් ඒ දවස එන්නේ නෑනේ.. ඔය උදේ හවස කන පැලෙන්න බොන මිනිස්සු ඒ අතින් හරි. මොකද ඒ ගොල්ල හැම දවසම සමරනවා. දැන් එකට අපි, ඒ කිව්වේ මේ උදේ හවස කන පැලෙන්න ඔය පොඩ්ඩක් කචල් වෙන ජාති නොබොන මිනිස්සු ඔය සැමරීම කරන්නේ අවූරුද්දකට සැරයයි නේ.. 

අනේ මන්ද කොහේ හරි අවුලක් වෙලා තියෙනවා වගේ නේද..?

හැබැයි දැන් දැන් අවුරුද්දේ දවස් 365න් 300කට කිට්ටු වෙන්න එක එක දින නම් කරලා සමරන්න පටන් අරන් තියෙනවා.. මට හිතෙන්නේ මිනිස්සු  තේරුම් අරගෙන යනවා මේ හැම දවසකම තියෙන වටිනා කම..  ඒ කියන්නේ හැමදාම ඕනනම් බොන්න පුළුවන් සාධාරණ හේතුවක් ඇතුව.. පොඩ්ඩක් නම්බුකාර විදියට.. බේබද්දෙක් නොවී..

ඔය සැමරිලි වලින් උපන්දිනේ ප්‍රධානයි නේ... අනේ මන්ද මට නම් කවදාවත් උපන්දිනේ සමරන්න ඕනේ කියල හිතිලා නෑ.. ඒ දවස් වල උපන්දිනයක් වෙනුවෙන් අපේ ගෙදර කරන වැඩිම දේ තමයි කිරිබත් හදන එක.. එක්කෝ ලුණු මිරිස් එක්ක, නැත්නම් ළුණු  ගෙඩියක් තෙල් දාල.. ඔච්චරයි උපරිම.. ඒක කෙරෙන්නේත් ඉතින් ඕක මතක් වුනොත් විතරයි හෙහ් හෙහ්

නොබැඳි ජාතීන්ගේ මණ්ඩලේ ඉන්නකම් ඔය ඕනේ විදියකට ඕවා සමරගන්න පුළුවන්.. හැබැයි ඉතින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලේට බැඳුනු ගමන් ඒවා හඳේ. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් එකසත් කම ඉවරයි.. කොහොම හරි ඉතින් පිළිවෙලකට සමරන්නම වෙනවා.. ලෝක සාමය ගැන අපි හිතන්න ඕනේ නේ.. ලෝක සාමය පටන් ගන්නේ ගෙදරින් නේ..හා  නැද්ද..?

ඉතින් ඔය දෙන්නෙක් එකසත් වෙලා ලෝක සාමය වගේ ඉතා බැරෑරුම් කටයුත්තක් වෙනුවෙන්  වැඩ කරගෙන යද්දී අවුරුද්දකට සැරයක් ඉතින් පොඩි මෙව්වා එකක් කරන්න ඕනේ.. මොකද ලෝක සාමය වෙනුවෙන් නේ දෙයියනේ  මේ හැමදේම

දැන් කාට හරි ඔය ලෝක සාමය වෙනුවෙන් අපි මේ සමගියෙන් ඉන්නේ කියන අපබ්‍රන්සේ තේරුනේ නැත්නම් මෙන්න මේ විදියට උදාහරණයක් ගන්න පුළුවන්

ඔන්න උදේ පාන්දරම අපි දෙන්නගේ සාමය ඔය මොකක් හරි සීනි බෝල වලියක් නිසා අවුල් වෙනවා.. ඒ අවුල පිටින් ගිහින් මම අපේ ඔපීසියේ ඉන්න කට හැකර චිනාට මොකක් හරි කියනවා.චිනත් බැරි වෙලා හරි උගේ මණ්ඩලේ කචල් එකක් දාගෙන තදවෙලා හිටියොත් ඌත් නිකා ඉන්නේ නෑ.. ඔපිස් එකේ දවසම වලිය යනවා.. අන්තිමට ඒ වලිය දුර දිග ගිහින් මග රැකලා ගහ ගන්න උනත් ඉඩ තියෙනවා.. බැරි වෙලා හරි අපි හිතමු ඔහොම වලියකදී චීනා මලා කියල.. අන්න ටික දවසක් යද්දී සමස්ත චීන ප්‍රජාවම අපිට විරුද්දව නැගී සිටිනවා.. දැන් ඔයාල හිතන්නේ අපේ ශ්‍රී ලාංකික ජනතාව නිකන් ඉඳියි කියල ද... නෑ... කිසිසේත් ම නෑ නේ.. මොකද ශ්‍රී ලාංකික විදියට අපිට වලියක් නැතුවම බෑනේ.. හරි ඊට පස්සේ ලංකාවට සපෝර්ට් එකට ඉන්දියාව එනවා.. අපි හිතමු ඉතින් මැලේසියාවේ චීන්නුන්ට සපෝර්ට් එකට මුළු චිනෙම සෙට් වුණා කියල.... ඊට පස්සේ හින් සීරුවේ ඇමරිකාව රුසියාව වගේ ඔන්න එහෙන් මෙහන් අත දාන්න පටන් ගන්න ඉඩ තියෙනවා.. හරි නේ ඉතින් ඊට පස්සේ ලෝක සාමේ ඉවරයි..

දැන් පේනවනේ ඔය පවුලේ සමගිය කොච්චර වැදගත් ද කියල.. සමහර විට ඔය පවුල් අවුල් යන්න එළියේ ඉන්න පොඩි කුරුමිනියෙක් ගෙට ආවත් ඇති..අර Butterfly Effect වගේ කුරුමිණි Effect වුනත් ඇති වෙන්න පුළුවන්.. 

අන්න ඒ නිසා තනිකඩ කාලේ කොහොම වුනත් බැන්දට පස්සේ නම් පුතෝ ඇනිවසරි සමරන එක  කරන්නම ඕනේ...! ආයේ දෙකක් නෑ

මම ඉතින් කවදත් සාමකාමී මනුස්සය නිසා මේ සැරෙත් ඔන්න ඕක සමරලා දැම්ම..

අපරාදේ කියන්න බෑ 3න් වෙනි ඇනිවසරි එකට බට්ටි නගාගෙ ගෙදර අය මෙහෙ ඇවිල්ල හිටියා වගේ මේ සැරේ අපේ කස්ටිය මෙහෙ ගොඩ බැහැල හිටියේ..  (අපේ සෙට් එක නම් දැන් වැඩි හරියක් ඉන්නේ මෙහෙ තමයි හෙහ් හෙහ්)

අපේ ඇනිවසරි කතා ගැන බ්ලොග් කියවන මිනිස්සුන්ට ඇති වැදගත් කමක් නැති වුනාට, බැරි වෙලා හරි ඕවා කියවන්න කැමති අය ගැන හිතල මේ ලියන්නේ.. (මට ලියන්න වෙන මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නැති බව අපි අමතක කරමු)

රයිට් මම අර කලින් ලියපු පෝස්ට් ටිකේ කිව්වනේ අපේ ගෙදර සෙට් එක මෙහෙ ඇවිල්ල අපි ඔය ගිය ගමන් දෙක තුනක් ගැන.. ඒ ඇවිල්ල මේ පහුගිය දෙසැම්බර් මාසේ.. ඔය අතරේ අපේ අක්ක කිව්වා අන්න මාමල අප්‍රේල් මාසේ එනවා කිව්වා කියල.. මම ඉතින් මාමල පිළිගන්න සැදී පැහැදී හිටියේ.. මොකද අපේ මාම නිසා තමයි  අපි මේ යම් තැනකට ඇවිල්ල ඉන්නවනම් ඉන්නේ.. ඒ කියන්නේ නැත්තටම නැති බැරි කාලේ අතදීලා ගොඩ යන්න උදව් කලේ මාමා. ඉතින් මාමල එන එකට මම ආසාවෙන් හිටියේ. 

ඉතින් ඔහොම ඔය කට්ටිය ඇවිල්ල ගියානේ.. 

ජනවාරි අන්තිම හරියේ මෙන්න අපේ අක්කා කෝල් එකක් දෙනවා.. "මේ මල්ලි (අපේ අක්ක මට මල්ලි කියන්නේ හෙන කලාතුරකින් නැත්නම් ඉතින් මේ ඕයි, මේ උලමෝ, මේ බන්ඩෝ, මේ පැතුමෝ, ආදී වශයෙන් තමයි අමතන්නේ  ) ඔන්න ඔහේ අපිත් තීරණේ කළා මාමලත් එක්ක ආයේ එන්න හී හී හී..."

මම ඉතින් බට්ටි නගාට "අන්න අර සෙට් එක ආයේ එනවලු..." "කවුද ? මාමල නේ...." "මාමල විතරක් නෙවෙයි අන්න අක්කලත් ආයේ එනවලු..." හෙහ් හෙහ්...

"අයියෝ මේ ඇවිල්ල ගිහින් ගේ අස් කරලා ඉවර වුණා විතරනේ.. "... මුණ දෙක වෙයි..

ඔන්න ඔය ආකාරයට අපේ අම්මා ඇතුළු හුදී ජනතාව 9 දෙනෙක් අප්‍රේල් මාසේ මුල සතියේ ගොඩ බැස්සා...

කලින් ට්‍රිප් ගිහින් අත්දැකීම් තියෙන නිසා ඔය කට්ටිය එක්ක යන්න ට්‍රිප් අපි කලින් ම ප්ලෑන් කළා.. මේ සැරේ ගියේ මැලේසියාවට අයිති තව දුපතක් වෙච්ච Penang වලට.. ක්වාලා ලාම්පුර් ඉඳල 400km විතර දුර..

කලින් වගේ ම වාහන දෙකේ පැය 5කින් විතර ගියා..

මේ තියෙන්නේ දුපත


මේ දුපතට යන්න 13.5km දිග පාලමක් තියෙනවා. එහෙම නැත්නම් ferry එකේ යන්නත් පුළුවන්..  ප්‍රධාන භුමියේ තියෙන Butterworth නගරෙට ආවම. නැත්නම් කෙලින්ම flight එකේ එන්නත් පුළුවන් 

අපි ගියේ පාලම දිගේ.. හරි අපුරු අත්දැකීමක් ඒක.. මුහුද මැද්දෙන් යනකොට මාර ලස්සනයි..

මේ තියෙන්නේ පාලම


Penang කියන්නේ මැලේසියාවට අයත් තව එක ස්ටේට් එකක් . පිහිටලා තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. සෑහෙන්න දියුණු නගරයක් තමයි. ඒවගේම UNESCO World Heritage Site  එකක් විදියට නම් කරලා තියෙනවා මොකද 1786 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබිලා හරියට අපේ ගාල්ල වගේ ඉතිරි වෙච්ච නගරයක්.. හැබැයි ඉතින් ගාල්ලට වඩා සෑහෙන්න දියුණුයි..

ජනගහනය වැඩි හරියක් ඉන්නේ චීන අය. සල්ලි තියෙන චීන්නු, සංචාරක කර්මාන්තය ඉතාමත් ඉහල තත්වයක තියෙනවා.. 

මම කලින් සැරයක් ලිව්ව Street Art ගැන පෝස්ට් එකේදී මම Penang ගැන ලිව්වා.

හරි ඉතින් අපි හවස් වෙද්දී Penang වලට ඇවිල්ල. පොඩි ෂොපින් පාරක් දාල රෑ හොටෙල් එකේ නතර වුණා

හැමදේම උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ.....

Penang කියන්නේ ටිකක් පෞරාණික පැත්තක් නේ.. ඉතින් ඔය පැරණි ගොඩ නැගිලි එහෙම ගොඩක් තියෙනවා. අපේ හොටෙල් එක තිබුනේ ඔය ජෝර්ජ් ටවුන් කියන පැරණි නගරේ..හොටෙල් එකේ අපේ මාමල ගත්ත රුම් එකෙන් එළියේ තිබුනේ කනත්තක්!....

නගරයක් මැද්දේ කනත්තක් තියෙන එක ටිකක් අමුතු වුනාට මේක UNESCO World Heritage Site එකක් නිසා පැරණි ඒවා ඒ විදියටම තියෙන්න ඇරලා .. කනත්තත් මම හිතන්නේ කෞතුක වටිනාකමක් තියෙන තැනක්.. 

අපි රෑට කන්න එලියට යද්දී ඔය කනත්ත ගාවින් ගියා.. ඒ වෙලාවේදී නැන්ද කිව්වා අපේ රූම් එකට පේන්නේ මෙන්න මේ කනත්ත තමයි කියල.. අපි ඉතින් විහිළු කර කර ගියා අද රෑට චීන්නු ඇවිත් හොල්මන් කරයි කියල.. කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ...

හරි ඉතින් ඊට පස්සේ රෑට කාල ඇවිත් අපි කාමර වලට ගිහින් නිදා ගත්තා...

හැමදේම හොඳින් සිද්ද වුණා..

මොකුත් අමුත්තක් තිබුනේ නෑ...

රෑ අපිට නම් හොඳට නින්දත් ගියා...
 .
.
.
.
.
.
.
.
.
.
.
.
ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා ලැස්ති වෙලා අපි මාමලාගේ රුම් එකට තට්ටුවක් දැම්ම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුලක් නෑ ඉතින් කට්ටිය ලැස්ති වෙලා දොර ඇරියා..ඊට පස්සේ අපි ඔක්කොම හොටෙල් එකෙන් කෑම ගන්න පහලට බැස්ස..

අපේ නැන්ද කන අතරෙදි කියනවා අනේ මට ඊයේ මුළු රෑම නින්ද ගියේ නෑ.. මේ බෙල්ල හරියෙන් මුළු රෑ තිස්සෙම කවුරු හරි මොකකින් හරි අනිනවා අනිනවා වගේ දැනුනා අන්තිමට පාන්දර මාමත් නැගිටලා පොඩ්ඩක් අතගාල ඉන්නකොට තමයි හරි ගියේ කියල....

හෙහ් හෙහ්... අපි ඉතින් ඕක එච්චර ගණන් ගත්තේ නෑ... මාමත් ඔය විහිළුවක් කරලා නිකන් හිටියා..

කාල ඉවර වෙලා අපි එලියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න ගියා..

මේ තියෙන්නේ ගිහින් වෙච්ච දේ... නිකමට විශ්වාස කරන්න පුළුවන් ද








හැමදේම උඩු යටිකුරු වෙලා... කිව්වට විස්වාස කරන්න ගුරුත්වාකර්ශනේ වැඩ කරන්නේ අනිත් පැත්තට..  බොහොම අමාරුවෙන් ඔය තියෙන එකක් අල්ලන් බේරිලා හිටියේ...
මයිකල් ජැක්සන් වගේ බොරු ජිල්මාට් දැම්මේ නෑ අපි... පේනවනේ අංශක 45ක් විතර ඇලවෙලා ගිය හැටි..
අපිට ඉතින් උලත් එකයි පිලත් එකයි හින්ද හොඳයි .. තව පොඩ්ඩෙන් හොම්බ කට රිවට් වෙනවා...

හරි ඉතින් අපි ඒ හරියේ වැඩි වෙලා ඉන්නේ නැතුව ආපහු ආව.. ඇවිල්ල බලද්දී නේ දැක්කේ මේක






යාන්තම් ඕකෙන් බේරිලා එලියට ඇවිල්ල දවල්ට කෑව.. අපරාදේ කියන්න බෑ හොඳ බුරියානි පාරක් දැම්ම.. 

ඔලුවෙන් හිටගෙන ඉඳල හොඳ ගණන් නේ..

ඊට පස්සේ අනේ අම්මෝ මේ ටවුම නම් එපා කියල යද්දී 

මෙන්න මේ වගේ බස් එකක් ආවා

බස් එකෙන් බැහැල ටික දුරක් යද්දී  අපේ ඇලඩින් අයියා කාපට් එකේ නැගල උඩින් ඇවිල්ල ඇහුව නේ "හලෝ පැතුම් මල්ලි මොකෝ මේ පයින් එන්න මම ගිහින් බස්සනනම් කියල... " කාලෙකින් හම්බවෙච්ච නිසා මිනිහත් එක්ක ගියා..ඕනේ එකක් වෙන්න කියල..
 

ඔය ඔක්කොම උනාට පස්සේ ඉතින් පේනවනේ... .. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හමුවේ පිරිමි අපි කොච්චර පොඩි ද කියල... පේනවනේ..
 ඒ මදිවට පොඩි උන්ටත් වැඳගෙන ඉන්න වෙනවා.. කාලයක් යද්දී..
 පොඩි වුන් කරන නොසන්ඩාල වැඩ වලින් බේරෙන්න ලේසි නෑ...පේනවනේ මෝර ගේ සයිස් එක..

ඒ මදිවට දැන් හැදෙන උන් දුවන්නේ ලඳු කැලෑ වල නෙවෙයි නේ.. කෙලින් ම ජුරාසික් පාර්ක් වල..

 ඔක්කොමත් හරි බටේ ඇතුලේ හිටපු මේ පිඹුරත් හරි...
 අනුනමයෙන් බේරුනේ...


යාන්තම් ඔය වගේ මහ ජන්ජාල ගොඩකින් බේරිලා අපි දෙවෙනි දවසට බුක් කරගත්ත හෝටලේට ගියා... අනේ අම්මේ එහෙමත් බේරිල්ලක්

ඊට පස්සේ පහුවදා  Penang හිල් කියන කන්ද නැග්ග...මම මෙච්චර වෙලා කිව්වේ බොරු කියල කාට හරි හිතෙනවනම් පොඩ්ඩක් බලන්න මේ කෝච්චිය දිහා

ඇදවෙලා නේද... හෙහ් හෙහ්


අංශක 50-60 ආනත වෙච්ච මේ කන්ද නගින්න ඇද වෙච්ච කොච්චි නැතුව බෑ



උඩට ගියාම පෙන්නේ මෙන්න මෙහෙම




ඔන්න ඔහොමයි ඉතින් සිද්ද වුනේ..

යාන්තම් ඒ ගමන ඉවර කරලා පන බේරගෙන ආපහු ආවා... අක්කල මාමල ආපහු ගියා.. අම්ම නම් අවුරුදු කන්නත් අපි එක්ක ඉඳලම ගියා...

අපි දෙන්නගේ 5වෙනි ඇනිවසරිය ඔන්න ඔය විදියටයි ගෙවිලා ගියේ...


Sunday, April 03, 2016

ජීවිතය



හරිම සරලයි
ඔබ ජිවත් වෙන්න
අනෙකාට ජිවත් වෙන්න ඉඩ දෙන්න.
එච්චරයි...

ඔබ දකින ලෝකය ඔබේ මිස
අනෙකාගේ නොවෙයි.
අනෙකාට ඇත්තේ ඔබට කිසිදිනෙක නොවැටහෙන
ලෝකයක් විය හැකිය.

ඔබ අනෙකා ගැන සිතන්නේ
ඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බව
ඔබට පිළිගත හැකි නම්
දෙදෙනාම සතුටු වනු ඇත.

සතුට ඇත්තේ
ඔබ අනෙකා වෙනුවත්
අනෙකා ඔබ වෙනුවෙන් වත්
ජිවත් නොවීම තුලයි.

ජිවත් වීම
ගැටලුවක් වන්නේ
ඔබ තුලින් අනෙකාව
ඔබට දකින්නට නොහැකිවූ විටයි

අප සැවොම
එකම හේතුවකින් හටගෙන
එකම හේතුවකින් නැතිවී යයි
හේතුව හැමදාම එකමයි

අවසානයේ
ඔබ සහ අනෙකා යනු
එකම හේතුවක ඵලයන් දෙකක් මිස
වෙන කිසිත් නොවේ.

ගසක ගෙඩි වලට
කෙදිනක වත් අනෙක් ගෙඩි සමග තරඟයක් නැත.
එකම හේතුවක විවිධ ඵල
සහජීවනයේ උපරිමය.

ඔබ අනෙකා කෙරෙහි ඇති බැඳීම
සහජීවන බැඳීමක් නම්
එහි ගැටුමක් නැත
නමුත් බැඳීමක් ඇත.

ඒ බැඳීම සුමටය
මිදීම පහසුය
මිදුණු පසුත්
අනෙකා සහ ඔබ, දෙදෙනාම සතුටිනි

බැඳීම රළු වන්නේ
ඔබ අනෙකාවද
අනෙකා ඔබවද
දැකුමෙන් බැඳ ගත් විටය..

ඔබේ දැක්ම ඔබේය
අනෙකාගේ නොවේය
අනෙකාගේ දැක්ම
ඔබේ නොවේය

ගසක ගෙඩි
ගංගාවේ ජලය
අහසේ වලාකුළු
බැඳී ඇත නමුත් මිදී යයි

බැඳීම් විඳින්නට හැක
බැඳීම දකින්නට ද හැක
නිවැරදි ලෙස දකින විට
විඳීමක් ඉතිරි නොවනු ඇත

බැඳීම් සමග ජිවිතය
හරිම සරලයි

නිවන් දකින ගස්