Friday, February 28, 2020

ISS හි සිදුවූ අමුතු පරීක්ෂණ


   අපි හැමෝම දන්නා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මිනිසුන්ට වාසය කරන්න පුළුවන් විශාල කෘතීම චන්ද්‍රිකාවක්. ((habitable artificial satellite). විවිද වර්ගයේ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන තැනක් තමා මේක. පෘථිවියේ තියෙන අභ්‍යවකාශ ආයතන 5ක් එකතුවෙලා නිපදවපු දෙයක් මේ ISS එක. 

NASA (United States), 
Roscosmos (Russia), 
JAXA (Japan), 
ESA (Europe), 
CSA (Canada)


මෙන්න මේ ආයතන වල සහයෝගිතාවයෙන් තමා ISS එක වැඩ කරන්නේ. මේක ඇතුලේ සිදුවන දහසක් පරීක්ෂණ අතරින් සිදුවෙච්ච අමුතු විදියේ පරීක්ෂණ කිහිපයක් තමයි මේ.

1. ඉලෙක්ට්‍රොනික නාසය (E -Nose)

මේ මධ්‍යස්ථානය ඇතුලේ තියෙන වාතයේ ඇති ගඳ සුවද දැන ගන්න තමා මේ ඉලෙක්ට්‍රොනික නාසය බාවිතා කරලා තියෙන්නේ. කොහොමත් අභ්‍යවකාශයෙදි අපගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව මදක් අඩුවෙනවලු. කොහොමටත් සංවෘත පද්ධතියක් වෙච්ච මේ පාවෙන විද්‍යාගාරයේ වාතයේ සංයුතිය මනින්න මේවගේ උපකරණ අවශ්‍යයි . කෑම නරක් වෙන්න කලින් ඒක දැනගන්නත්, ඊට අමතරව වාතයේ සිදුවන වෙනත් වෙනස් කම් දැන ගන්නත් මේක යොදා ගෙන තියෙනවා. 2008 දී පමණ Endeavour ෂටලය මගින් රැගෙන ගොස් ස්ථාපනය කරපු මේ නාසය සෙන්සර් 32කින් සමන්විත උපකරණයක්. බොහෝ කාබනික සහ අකාබනික ගන්ධයන් හඳුනාගැනීමට හැකියාව තිබුණු මේ උපකරණය නැවත මාස 6කට පමණ පසු Discovery ෂටලය මගින් පොලවට රැගෙන විත් ඒ දත්ත වෙනත් සංවේදක උපකරණ වැඩි දියුණු කරන්න යොදාගෙන තියෙනවා.

 මේ තියෙන්නේ ඔය කියන නහය 

ISS එකේ මේ සම්බන්ද පද්ධති වැඩි දියණු කරන්න මේ උපකරණයෙන් ලබා ගත්ත දත්ත ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.

2. පාවෙන සෙක්ස්

තාම නම් කවුරුවත් මේ වැඩේ කරලා නැහැ මම හිතන්නේ. හැබැයි අනාගතේ වසර ගණන් යන අභ්‍යවකාශ චාරිකා වලදී කරන්නත් කවද හරි අභ්‍යවකාශ දරුවෝ බිහි කරන්නත් අවශ්‍ය කරන මුලික අවදියේ පරීක්ෂණ මේක ඇතුලේ සිද්ද වෙනවා. ශුන්‍ය ගුරුත්වය යටතේ කරන්න ඕනේ මේ පරීක්ෂණ කරන්න වෙන තැනක් නැහැනේ. කොහොම වුනත් ඔයාල අපි ආසාවෙන් බලාගෙන ඉන්න ජාතියේ පරික්ෂණයක් නෙමේ මේ කරලා තියෙන්නේ. ක්ෂිරපායිගේ ප්‍රජනනය ගැන කරන මේ පරීක්ෂණ සඳහා කරලා තියෙන්නේ පරීක්ෂණාගාර මියන්ගේ ශ්රුක්කානු අභ්‍යවකාශයට අරන් ගිහින් ISS එකේ අවුරුදු 1-2ක් අතර කාලයක් තැන්පත් කරලා තියල නැවත පොලවට ගෙනල්ල පොළොවේ ඉන්න මියන්ගේ සමග සංසේචනයට යොදා ගන්න එක. මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලින අභ්‍යවකාශ චාරිකා හෝ ශුන්‍ය ගුරුත්වය යටතේ ජිවත් වෙනකොට කොහොමද බලපාන්නේ කියන එක . මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට සෑහෙන මට්ටමක DNA විකෘති වීම් (Breakdown) ඇතිවෙනවා කියල හොයාගෙන තියෙනවා මාස නමයක් වගේ තියල ගෙනාපු සාම්පල් වල .

ISS එකේ ඉංජිනේරු Nicole Stott කියන අක්ක ඔය මියන්ගේ පරීක්ෂණ කරන පෙට්ටියක් ළඟ ඉන්න පොටෝ එකක් 

තව දුරටත් ඉතින් මේවා ගැන පරීක්ෂණ සිද්ද වෙනවා 

    
3. නොමැරෙන පණුවන් 

මේක පරීක්ෂණයක් කරන්න ගිහිල්ල බලාපොරොත්තු නොවුන ලෙස සිදු වෙච්ච ප්‍රතිපලයක්. 2003 දී සිදු වෙච්ච Columbia ෂටල අනතුර ගැන හැමෝම අහල ඇති. මේ Columbia ෂටලය තනිකරම වගේ  ISS එකේ පරීක්ෂණ කටයුතු සඳහා වෙන් වුනු ගමනක්. මෙහදී අරන් ගිහින් තියෙනවා nematode නම් වටපණු විශේෂයක් ඔවුන්ගේ ප්‍රජනනය සහ වර්ධනය ගැන හදාරන්න. 

ආපසු ගමනේදී අවාසනාවන්ත විදියට මේ ෂටලය විනාශ වෙලා සියලු අජටාකාශගාමීන් ජිවිතක්ෂයට පත්වුනත් මේ වටපනුවන් ටික නොමැරී ඉඳල  තියෙනවා. ෂටලය පුපුරා යාමේදී ඇතිවන අධික තාපයට හෝ වායුගෝලීය පීඩන වෙනස් කම් හෝ වෙනත් කිසිම දෙකින් හානි නොවී මේ වට පණුවන් ජිවත් වීම ෂටල අනතුරෙන්  සිදුවූ හානිය සමග බලන කොට නොසලකියයුතු දෙයක් විදියට පෙනුනත්, විශ්වයේ ජිවය ඇතිවීම කියන දේ පිලිබදව ඒක හොඳ සාක්ෂියක් කියල තමා කියන්නේ. මොකද උල්කාපාත, වල්ගාතරු ආදී දේ මගින් ජිවය ව්‍යප්ත වෙන්න පුළුවන් කියල තියෙන මතයට ලොකු සාක්ෂියක් මේ වට නොමැරුණු වට පණුවන්.


මේ අන්න එහෙම ඉතිරි වෙච්ච වට පනුවන්ගෙන් පැවත එන වට පනුවන්ගේ පින්තුරලු. 

        
4. ඇවිලුණු ගිනි දැල් 

ගින්න සහ ගිනිදැල් වල ක්‍රියාකාරිත්වයට  ශුන්‍ය ගුරුත්වය යටතේ කොහොමද වෙන්නේ කියල බලන්න කරපු පරීක්ෂණයක් මේක. ඉටිපන්දම් දැල්ලක් අපිට හුරු පුරුදු විදියට කහපාටට ඉහලට එසවී දැල්වෙන්න පෘථිවි ගුරුත්ව නිසා ඇතිවන සන්වහනයේ ප්‍රතිපලයක් විදියට. නමුත් ශුන්‍ය ගුරුත්වයේදී මේ දැල්ල වක්‍රාකාර වෙනවා. දැලි සෑදීම ඉතා අවම වීම සහ දහනයේ කාර්යක්ෂමතාව ඉහල අගයක් ගැනීම වැදගත් කරුණු. මේ පින්තුර දෙකේ පෙන්නුම් කරන්නේ ගිනි දැල්ල පෘතිවියේදී සහ ශුන්‍ය ගුරුත්වයේදී ඇතිවන හැටි. 

     නිල්පාට දැල්ල කහපාට දැල්ලට වඩා කාර්යක්ෂමයි. දැලි අඩුයි. දුම් අඩුයි   


5. චන්ද්‍රිකා සරුංගලය.

මේ වැඩේ කරලා තියෙන්නේ කේබලයක ඇමිණු කුඩා චන්ද්‍රිකාවක් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය හරහා යනකොට විදුලිය නිපදවෙනවද කියන එක පරික්ෂා කරන්න. මේ පරීක්ෂණය අවස්ථා දෙකකදී  සිද්ද කරලා තියෙනවා. Atlantis' STS-46 1992 වසරේදී සහ Columbia's STS-75 1996 දී. Tethered Satellite System (TSS) කියල හඳුන්වපු මේ වැඩේ කරලා තියෙන්නේ NASA සහ ඉතාලියානු අභ්‍යවකාශ ආයතය එකතු වෙලා. Atlantis පරීක්ෂණයේදී මීටර් 256ක් දුරකට පමණයි මේ කුඩා චන්ද්‍රිකාව ඔවුන්ට යවන්න පුළුවන් වෙලා තියෙන්නේ. කේබලය හිර වෙලා නමුත් ඊට වසර 4කට පස්සේ 1996 දී Columbia පරීක්ෂණයෙදී මේ ගැටගැසූ චන්ද්‍රිකාව 19.7Km දුර යවන්න පුළුවන් වෙලා තියෙනවා. පරීක්ෂණ දෙකම 100% සාර්ථක නැති වුනත් දෙවනි පරික්ශයේදී කේබලය කැඩී යන්නට පෙර 3,500 volts සහ 0.5 amps ක විදුලියක් ජනනය කර ගන්න පුළුවන් වුනා කියල ඔවුන්ගේ වාර්තා වල තියෙනවා.



මේ තියෙන්නේ Atlantis ෂටලයේ ඉඳල යවපු සරුංගල් චන්ද්‍රිකාවේ පොටෝ එකක්


6. සුවඳ රෝස 

රෝස සුවඳට මොනවා වෙයි ද ? මේක විද්‍යාත්මක පරීක්ෂණයක් විදියට කලාට පොඩි ව්‍යාපාර අදහසකුත් එක්ක කරපු වැඩක්. International Flavors and Fragrances (IFF) කියන සමාගමේ අදහසක් අනුව ශුන්‍ය ගුරුත්වයේදී කොහොමද සුවඳ වෙනස් වෙන්නේ කියල බලන්න කරපු වැඩක් මේක. 1998 දී Discovery ෂටලය STS-95 කියන මිෂන් එකේදී තමා මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ආයතනය විසින් කුඩා රෝස ශාකයක් ෂටලය සමග යවල තියෙනවා. මේ පරීක්ෂණයේදී ඔවුන් ශාකයෙන් සුවඳ නිකුත් කරන වාෂ්පශීලි ද්‍රව්‍ය එකතු කරලා පරික්ෂා කරලා තියෙනවා. මේ පරීක්ෂණ වලදී එම ශාකයේම පොළොවේ තිබුණු එකට වඩා මේ අරන් ගිය එකෙන් නිකුත් වූ ද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්ෂව අඩු බවත් ඔවුන්ට ඉතාමත් වැදගත්ම කරුණ වූ සුවඳ පොළොවේ තිබුන ශාකයෙන් නික්මෙන සුවඳට වඩා සෑහෙන වෙනස් බවත් සොයාගෙන තියෙනවා. 
බිස්නස් අදහස සාර්ථක කර ගනිමින් පසුව මේ සුවඳ යොදාගෙන Shiseido Cosmetic කියල ආයතනයක් Zen නමින් විලවුන් වර්ගයක් නිපදවල තියෙනවා. පුළුවන් නම් හොයාගෙන ගාල බලන්න අභ්‍යවකාශ රෝස සුවඳ කොහොමද කියල. 



මේ තියෙන්නේ 1998 දී ඔය කියන පරීක්ෂණයට යොදා ගත්ත රෝස ශාකය 


මිට අමතරව තව අමුතු විදියේ පරීක්ෂණ මේ ISS එක ඇතුලේ තව වෙනවා ඇති . මේවා මේ ටිකක් පරණ අමුතු විදියේ දේවල් නිසා ලියල දැම්මේ.

ප.ලි

මේ අභ්‍යවකාශ කටයුතු සහ ලොව පුරා සිදුවන රොකට් ගුවන් ගත කිරීම් ආදිය ගැන උනන්දු වන අය සඳහා  අපේ දේශකයා ප්‍රමුඛ ව අපි හදා ගත්ත ෆේස්බුක් ගෘප්  එකක් තියෙනවා නම Nova Nauka. කැමති අය  ඇවිල්ල එකතු වෙන්න. මෙන්න ලින්ක් එක 
https://web.facebook.com/groups/1999861203467053/


 

Friday, December 27, 2019

ඩේටා තණ්හාව සහ ඇන්ටික් ඩේටා


       තණ්හාව එක එක ආකාරයෙන් තියෙනවනේ.  අපි හැමෝම දන්න තණ්හා වර්ග වලින් මේ කාලයේ ඉතා වැදගත් තණ්හා වර්ගයක් තමා මේ ඩේටා තණ්හාව. මම මේ ළඟදී දවසක මගේ ලැප්ටොප්  එකේ තියෙන ඔය නානාප්‍රකාර ෆෝල්ඩර් අස්සට පොඩ්ඩක් එබිලා බැලුවා. කවදාහරි ඕනේ වෙයි කියල හිතෙන දහසක් ෆයිල් ජාති ඔහේ ගොඩ ගහගෙන ඉන්නවා. සමහර ඒවා කොච්චර වැදගත් වෙයි ද කියල හිතල එකම ෆයිල් එක තුන් හතර තැනක කොපි කරලා එක එක විදියට. ඒ කියන්නේ ඔය මීට කලින් පාවිච්චි කරපු කොම්පියුටර් වල සේව් කරලා තියා ගත්තු,ඊට කලින් පාවිච්චි කරපු කොම්පියුටර් වලින් පරිස්සමින් කොපි කරලා ආරක්ෂා කර ගත්තු, ඊටත් කලින් කොහෙන් හරි හොයා ගත්ත නැත්නම් හදා ගත්ත එක එක ජාතියේ ෆයිල් වර්ග තමා.  විවිදාකාරයේ ඔහොම බොහොම පරිස්සමින් රැකගෙන ආපු බොහෝ ෆයිල්ස්  අන්තිමට කොපි කරපු දවසට පස්සේ ඉඳල මේ වෙනකම් වෙන කිසිම අවස්තාවකදී අවශ්‍ය වෙලා නෑ. මගේ කොම්පියුටර් ඉතිහාසේ බැලුවහම එහෙම අවුරුදු 20ක් විතර එකතු වෙච්ච ෆයිල්ස් මගේ ළඟ තියෙනවා.

සමහර ඒවායේ පොඩි නොස්ටල්ජික් ආතල් එකක් තිබුනට 99% එහෙම පරිස්සම් කරගෙන ආපු කිසි දෙයක් මේ වෙද්දී වැදගත් නැහැ. නමුත් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් සහ ඔය ක්ලවුඩ් බැකප් වලත් ඔය ෆයිල් අපි සේව් කරගෙන ඉන්නවා. හැබැයි කවද හරි ඕනේ වෙන්නේ 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් (සමහර රස්සාවල් කරන අයට ඇරුනම)

ඉතින් මොන මගුලක් ද කියල මම අන්න ඒවගේ ෆයිල්ස් ටිකක් මේ සැරේ මකල දැම්ම. හැබැයි ආතල් වැඩේ කියන්නේ කොයි එකටත් කියල තව බැකප් එකක් තියෙන ෆයිල් තමා එහෙම මකල දැම්මේ. හිත ඇතුලෙන් එන උස්සන් ඉන්න එකක්යැ ඔන්න ඔහේ තිබිච්ච දෙන් කියන හැඟීම තව බොහෝ ෆයිල් මකා දැමීමෙන් බේර ගත්තා.

එදා ඉතින් මම ඒ ආකාරයෙන් ෆයිල්ස් ටිකක් මකල දාල හාඩ් ඩිස්ක් එකේ ඉඩ පොඩ්ඩක් වැඩි කරගෙන, තව එක්ස්ටර්නල් එකක් අරන් බැකප් කරලා ඉතිරි ටිකත් මකල දානවා කියල හිතාගෙන හිටියා.

ඔය වැඩේ කරලා, මේ බොරුවට ෆයිල් සේව් කරන ඩේටා තණ්හාව ගැන කල්පනා කර කර හෙන බක පණ්ඩිත දේවල් හිත හිත සතියක් යන්න හම්බ වුනේ නැහැ  නිකන් ඉන්න බැරිකමට අපුරුවට තිබ්බ ලැප්ටොප් එකට උබුන්ටු (නොදන්නා අයට උබුන්ටු කියන්නේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකක් ) දාන්න ගිහින් අර මුළු හාඩ් ඩිස්ක් එකම ෆෝමැට් වුනා නේ. 

මම ඔය කොම්පුටර් ගත්ත මුල් කාලේ ඔය වගේ ඔපරේටින් සිස්ටම් මාරු කරන සහ තවත් මකබාස් වැඩ ඕනේ තරම් කරලා ඇති. නමුත් පහුගිය අවුරුදු 10ක් විතර වගේ ඉදල ඔන්න ඔහේ කඩෙන් ගත්ත බඩුව එහෙමම තියාගෙන අදාළ වැඩේ විතරක් කරන කම්මැලි ගතියක් තමා මට තිබුනේ. රස්සාවේ දෙයක්/ෆිල්ම් එකක්/සිංදුවක්  ඇරුනම වෙන කිසිම දෙයක් ලැප්ටොප් එකෙන් නොකරපු වගේ කාලයක්. 

දැන් මේ නෝටි ෆෝටි කිට්ටු වෙලා කොලු ගති ආයේ වැඩි වෙන හින්දද මන්ද අතපය තියාගෙන ඉන්නේ නැතුව අපුරුවට තිබ්බ හාඩ් එක ෆෝමැට් කළා. ඒකත් වුනේ වෙන මොකුත් හින්ද නෙමේ "ආ මේවා මේ සිම්පල් වැඩනේ... " කියල උපදෙස් කියවන්නේ නැතුව පොර වෙන්න ගිය හින්ද... අඩුම තරමේ පරණ ෆයිල් කොහොම වෙතත් මේ දවස් වල අවශ්‍ය වෙන වැදගත් කිසිම දේක බැකප් එකක්වත් ගන්නේ නැතුව තමා ඔය මකබාස් වැඩේ මම කලේ හෙහ් හෙහ් ...
  
දැන් ඉතින් පන දාගෙන රිකවරි සොෆ්ට්වෙයාර් හොයනවා මැකිච්ච ෆයිල්ස් හොයන්න ... හෙහ් හෙහ් ...

 දන්න කියන හොද රිකවරි සොෆ්ට්වෙයා එහෙම නැද්ද ..?

දැන් කාලේ මේ ස්ටෝරේජ් වලට අපි ගෙවන්න ඕනේ මිලත් එක්ක ඇත්තටම මේක ඒ හැටි වැදගත් දෙයක් නෙමේ. දත්ත ගබඩා කිරීම එතරම් ප්‍රශ්නයක් නෙමේනේ දැන්. නමුත් ඉතින් හිතල බැලුවොත් අපි ළඟ බහුතරයක් තියෙන්නේ කිසිම වැදගැම්මකට නැති දේවල්. දැන් බොහෝ වෙලාවට ඊමේල් වලින් ගනුදෙනු කරන නිසා අපිට එන වැදගත් ලිපි ලේඛන ඊමේල් සේවාව තුල සේව් වෙනවා. ඊට අමතරව අපි ගන්න ෆොටෝ නැත්නම් තමන් කරන නිර්මාණ තමා මේ විදියට වැදගත් වෙයි කියල හිතල අපි පරිස්සම් කර ගන්නේ. මීට අවුරුදු කීපයකට කලින් මම ගත්තු ෆොටෝ කීයක් විතර තියෙනවද කියල නිකමට හොයල බැලුවා. මගේ කැමරාවේ මෙමරි එකේ විතරක් ෆොටෝස් 11000කට වැඩි ප්‍රමාණයක් තිබුනා. එතකොට ෆෝන් එකෙන් ගත්තු ෆොටෝස් විතරක් 16000ක් වගේ, සම්පුර්න හාඩ් ඩිස්ක් සහ අනෙකුත් තැන් වල පරිස්සම් කරපු ෆොටෝ එක්ක ඔය ගාන 50000ක් විතර වෙන්ඩ ඇති.   ඊට අමතරව ඊමේල් ඉන්බොක්ස් එකේ නොකියපු ඊමේල් මේ  වෙනකොට 24000ක් විතර හෙහ් හෙහ් .....

ඔය ෆොටෝස් වලින් උපරිම ෆොටෝස් 100/500 වගේ ගානක් අපිට (මට)  වැදගත් වෙයි. අනිත් සේරම අපි (මම ) පරිස්සම් කරගෙන ඉන්නේ මොකටද?  ෆෝන් එකේ තියෙන ඒවා නම් ඔය කරන්නම  දෙයක් නැති වෙලාවට හෙන බිසී වගේ ඉන්න වැදගත්.. ඒ කියන්නේ ෆෝන් එකට මුහුණ ඔබාගෙන ඔහේ බල බල ඉන්න පුළුවන් නේ... හැබැයි අර අනිත් ෆොටෝස් එකක් දිහාවත් ආයේ කවදාවත් බලයි ද කියල මට කිසිම විශ්වාසයක් නෑ... හැබැයි මකන්න හිතෙන්නෙත් නැහැ...

ඊමේල් ටිකත් ඒ වගේ තමා... වැදගත් ඒවා තියෙනවද දන්නේ නැහැ කියල මකන්නේ නැහැ... ඉඩ මදි වෙද්දී ගුග්ල් එකට සල්ලි ගෙවල තව ටිකක් ඉඩ ගන්නවා... හෙහ් හෙහ් ...

නමුත් මට මේ ඉන්ටර්නෙට් ඩේටා තණ්හාව නම් සෑහෙන අඩුයි. ඒකට එක හේතුවක් මේ රටේ අධිවේගී අන්ලිමිටඩ් ඩේටා සෑහෙන අඩුමිලකට ලැබෙන නිසා. ඩේ ටයිම්/නයිට් ටයිම්   කතා නැති නිසා හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමත් මම මොබයිල් ඩේට උනත් ඕනේ තරම් පාවිච්චි කරලා බිල ගෙවල දානවා. ඒවා නම් තණ්හාවට ඉතිරි කරන්න යන්නේ නැහැ...

මම හිතන්නේ මේ ඩේටා තණ්හාව කියන්නේ හරිම අහිංසක වර්ගයේ තණ්හාවක්. කවුරු උනත් සමාදානෙන් බෙදා ගන්නවා මිසක් මරා ගන්න යන්නේ නැහැනේ මේ  ඩේටා වලට... ඔය බුදු බණේ වුනත් ඩේටා තණ්හාව ගැන මොකුත් ලියවෙලා නැත්තේ ඒ හින්ද මම හිතන්නේ ... මුදල් තණ්හාව / වස්තු තණ්හාව/ බල තණ්හාව ගැන ඕනේ තරම් ජාතක කතා, සුත්‍ර, දේශනා තිබුනට මේ ඩේටා තණ්හාව ගැන කිසිම දෙයක් නෑනේ...

කිසිම ආගමකින් එපා කියපු දෙයක් නෙමේනේ මේ ඩේටා රැස් කිරීම...බලන්නකෝ  එකෙත් හැටි ...

මම මේ දවස් වල කියවන්නේ අර  Sapiens: A Brief History of Humankind කියන පොත Professor Yuval Noah Harari කියල ඊශ්‍රයේල් ජාතික මහාචාර්ය වරයෙක් ලියපු එකක්.  හරි අපූරුවට මිනිස්සු කොහොමද මේ අද ඉන්න මට්ටමට ආවේ කියන එක ඒ පොතේ තියෙනවා.   එකේ එක තැනක තියෙනවා මේ ලෝකේ තියෙන කිසිම ආගමකට බැරි තරමට මිනිස්සුන්ව එකමුතු කරන්න, සමාදාන කරන්න, සහ මිනිස්සු අතර විශ්වාසය ගොඩ නගන්න සල්ලි වලට පුළුවන් කියල. ආගම් වලින් සල්ලි කියන්නේ විනාශයක් කියල හංවඩු ගැහුවට අනාගත ලෝකයේ ආගම පරිබෝජනවාදය හෙවත් Consumerism වෙන්න ඉඩ තියෙනවා.  අනාගත ලෝකයේ මුදල් වර්ගය වෙන්නේ වෙන මොනවත් නෙමේ මේ ඩේටා... ඒක දැන් දැන් අපිට පෙන්නුම් වෙන්න පටන් අරන් තියෙනවනේ.  



ඉස්සර මිනිස්සු සල්ලි/ වස්තුව එකතු කරලා දියුණු වෙච්ච හින්ද දැන් අපි මේ එකතු කරන ඩේටා වලිනුත් අනාගතේ ප්‍රයෝජනයක් තියෙයි නේද... හෙහ් හෙහ් ... හෙහ් ඒ කියන්නේ ඉස්සරහට ඇන්ටික් ඩේටා වලට හොඳ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා...

හෙහ් හෙහ් ඇත්තටම ඇන්ටික් ඩේටා කියල ජාතියක් තියෙන්න පුළුවන්ද? විකාරයි වගේ එහෙම හිතුවම. ඩිජිටල් නිර්මාණ වල කොපි එකක් ගත්තම ඒක ඔරිජිනල් එකට වඩා වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් කවද හරි මේ තියෙන්නේ ඕකේ ඔරිජිනල් වර්ඩ් ෆයිල් එක නැත්නම් අපේ මුත්තා එයාගේ පලවෙනි ලැප්ටොප් එකෙන් ටයිප් කරපු පලවෙනි ලියුම කියල ෆයිල් එකකට වටිනා කමක් එයි ද ඉස්සරහට ...? මොකද ඒ ෆයිල් එකේ කොපියක් කියන්නෙත් ඒ ෆයිල් එකම නිසා. ඇන්ටික් බඩු වගේ පරිස්සම් කරලා අරන් තියා ගත්තට වැඩක් වෙයි ද මේ ඩේටා... 

ඩේටා වල වටිනාකම වැඩි වෙන්නේ පුළුවන් තරම් අලුත් වෙන තරමට. "ඕක නෙමෙයි මේක තමා ඕකේ අලුත් ම එක... " වටිනා කම තියෙන්නේ පරණ එකේ අලුත් වර්ෂන්  එකට මිසක් පරණ එකට නෙමේ... 

කොහොම වුනත් අනාගතේ තනිකරම ඩේටා මත දුවන ලෝකයක්. ඩේටා සයන්ස් කියන්නේ පරිගණක සහ ව්‍යාපාර ලෝකේ අනාගතය. මේ පරිගණක රස්සාවල් වලට අලුතින් එන අයට ඉගෙන ගන්න සහ ඉතාමත් හොඳ රැකියා අවස්ථා තියෙන පැත්තක් තමා මේ ඩේටා සයන්ස්. 

2020 කියන්නේ අපි පොඩි කාලේදී හිතා ගන්නවත් බැරි තරම් දියණු වෙයි කියල හිතපු  අනාගතය. මට හොඳට මතකයි අපේ තාත්ත ගාව තිබ්බ පරණ සඟරාවක අමුතු විදියේ බිල්ඩින් සහ යානා උඩින් යන ඔය හයිපර් ලූප් සංකල්පයට සමාන ක්‍රමයක් තියෙන නගරයක චිත්‍රයක්. දැන් වෙද්දී ඒ දේවල් ඒ විදියටම නැති වුනත් හැමදේම ඉතා වේගයෙන් වෙනස් වෙමින් යනවනේ.  2060 දී විතර මම මේ බ්ලොග් එක ලියන්න කියවන්න ජිවත් වෙලා හිටියොත් දැනට හිතා ගන්නත් බැරි තරමට ලෝකේ වෙනස් වෙලා දියුණු වෙලා තියෙයි. ඒ දේවල් එහෙම දියුණු වෙන්න ප්‍රධානම සාධකයක් වෙන්නේ මේ ඩේටා තමා. ඉතින් මිනිස්සුන්ගේ මේ ඩේටා තණ්හාව කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි.        

Wednesday, November 13, 2019

බයිසිකල් මතක


          අප කුඩා කල අප හට තිබුණු එකම සහ ලොකුම වාහනය බයිසිකලයයි.  තාත්තා සෝමපාල මාමා සමග මේසන් වැඩට ගියේ බයිසිකලයෙනි. තාත්තා ගියේ අත් උදව් වැඩටය. තාත්තාගේ යාළුවන් සෙට් එකටම බයිසිකල් තිබුණු නමුත් ගාමිණි මාමා සයිකල් පදින්න පුරුදු වුයේ බොහෝ පසු කාලයේය. මාව මොන්ටිසෝරියටත්, අක්කාව ඉස්කොලෙටත් බයිසිකලේ ගිහින් ඇරලවන තාත්තා ඉන්පසුව අම්මාට බස් එක ගැනීමට බෝගහ මුල හන්දියට ඇයව බයිසිකලයෙන් රැගෙන ගොස් ඒ ගමන් ම වැඩ කරන තැනට යයි.

මම මොන්ටිසෝරි යන විට එක්කෝ බයිසිකලයේ මැද පොල්ලට කොට්ටයක් තබාගෙන කකුල් දෙක දෙපසට දමා වාඩි වී ගියෙමි. නැත්නම් සමහර දිනවල පැත්තට ඉදගෙන යන දවස් ද තිබුණි. මේ කොහොම ගියත් සමහර දිනවල මගේ එක කකුලක් ඉස්සරහ රෝදය අස්සට යෑම සිදුවිණි. වම් කකුලේ වළලු කර අසල ඇති ඇටය උඩින් තුවාල කැළැල ඇත්තේ එසේ පැත්තට වාඩි යන විට වම් කකුල දිගට එල්ලෙන නිසාය. දකුණ කකුල එසේ රෝදයට අසූ වුවාදැයි මතක නැත්තේ එහි එවැනි කැළලක් නැති බැවිනි. අතිශය වේදනාකාරී වැඩක් වූ මෙම කකුල රෝදයට අසුවීම කිහිප විටක්ම සිදුවූ බව මට හොඳට මතකය. අඬ අඬ ප්‍රනාන්දු දොස්තර මහතාගේ දිස්පැන්සරියට ගොස් බෙහෙත් දමාගෙන ගෙදර ඒම බොහෝ විට සිදු විය. එවැනි බොහෝ දිනවල  තාත්තා ගෙදර සිටි නමුත් තාත්තාට වැඩට යාමට සිදුවූ දිනවල මාව ලොකු අම්මලාගේ ගෙදර නතර කර යෑම සිදු විය. එසේ තාත්තා මාව දමා යන දිනවල කෑ ගසා හඩමින් තාත්තාගේ අතේ එල්ලී සිටීම මට දැනුදු මැවී පෙනෙයි. කුමක් හෝ හේතුවකට තාත්තාට මාව මොන්ටිසෝරියට රැගෙන යාමට නොහැකි කමක් තිබුනොත් අම්මාගේ නංගි වූ රත්නේ පුංචි මාව මොන්ටිසෝරි එක්කන් යයි. මගේ මොන්ටිසෝරිය වුයේ සපුගස්කන්දේ පිහිටි යොෂිඩා ළදරු පාසල වූ අතර ගෙදරින් කිලෝමීටර් 7-8ක දුරක් යාමට සිදු වූ නිසා මොන්ටිසෝරි යාම යනු එදවස හැටියට මට නම් විනෝද ජනක වැඩකි. අදටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ගද දැනෙන විට මේ සියලු දේ මතකයට නැගේ. 

එකල බියගම වෙළද කලාපය සහ ඒ අවට මාර්ග දියණු කරමින් පැවති අතර සපුගස්කන්ද සිට වෙළඳ කලාපය දක්වා මාර්ගයේ වැඩ සිදු කරන හැටි බලමින් බයිසිකලයේ යාම ඉතාමත් ප්‍රිය ජනක වැඩක් විය. යොෂිඩා ළදරු පාසැල ජපන් ආදාර වලින් සදා දුන් එකක් වූ අතර වරක් එකල ජනාධිපති වරයා වූ ප්‍රේමදාස මහතාගේ ආර්යාව කුමක් හෝ උත්සවයකට එහි පැමිණි ආකාරයත් ඇය පිළිගැනීමට ජපන් සහ ශ්‍රී ලංකා කොඩි වනමින් අප සිටි හැටිත් මතක් වේ. ප්‍රේමදාස ආර්යාව මගේ මුහුණ අතගාන චායාරුපයක් තිබුණු අතර අවාසනාවට දැන් එය විනාස වී හෝ නැති වී ඇත. බැරි වෙලා හෝ හෙට අනිද්දාට ප්‍රේමදාස පුතානෝ ජනාධිපති වුවහොත් ඒ පොටෝව පෙන්වා මට වාසියක් ගැනීමට තිබ්බ අවස්ථාව එසේ මග හරි ගොස් ඇත.

ලොකු අම්මලාගේ ගෙදර යාමට මා ප්‍රිය කල කාරනා දෙකක් විය. එකක් නංගි එහි සිටීම සහ නංගි සමග සෙල්ලම් කිරීමේ අවස්තාව ලැබීමයි. අනෙක ලොකු අම්මලාගේ ගෙදර තිබුණු චොපර් එක පැදීමට හැකිවීමයි. නංගි හම්බ වුනු විගසම වාගේ අම්මාට රැකියාවට යාමට සිදුවූ නිසාවෙන් අම්මා නංගිව ලොකු අම්මාට හදා ගන්නට දී තිබිණි. මම ඉපදුනේ හපුතලේය. ඊට වසර දෙකකට පසු නංගි ඉපදුනේ කොළඹදීය. බියගම පදිංචියට අම්මා සහ තාත්තා පැමිණෙන්නේ මේ අතර කාලයේදීය. අම්මා කියන ලෙස යන්තම් මැටි ගඩොල් (නොපිලිස්සු ගල්) වලින් හදා ගත් පුංචි ගෙදරක පදිංචියට ආ ඔවුනට නංගි හම්බවෙන කාලයේදී තරමක් ආර්ථික වශයෙන් ස්ථාවර ව සිටි ලොකු අම්මාට නංගිව දීම හැර වෙන විකල්පයක් තිබී නැත. ලොකු අම්මලාගේ ගෙදර අපේ ගෙදර සිට කිලෝමීටර් 4-5ක්  දුරින් පිහිටි නිසා මුලින් මුලින් නංගිව එහි  තබා ගොස් ඇතත් පසුව දෙගොල්ලන්ගේම කැමැත්තෙන් නංගි ලොකු අම්මලාගේ ගෙදර හැදී වැඩුනේය. නංගි තාත්තා නැති වෙන තෙක්ම තාත්තාට කිව්වේ බාප්පා කියාය. අම්මා ඇයට සුදු අම්මා වූ අතර අක්කා සහ මම බාප්පලෑ අක්කා සහ අයියා විය. මෙයට හේතුව අපේ තාත්තා සහ තාත්තාගේ අයියා විවාහ වී තිබුනේ අම්මා සහ අම්මාගේ අක්කා සමග වීම නිසාය. ඉතින් එකම පවුලක් වීම නිසා කාටවත් එහි ගැටලුවක් තිබුනේ නැත.

ලොකු තාත්තා වරායේ කම්කරුවෙකු ලෙස වැඩ කළේය. ලොකු තාත්තාට ද බයිසිකලයක් තිබිණි. ඉස්සර ලොකු තාත්තා අපේ ගෙදර විත් ආපසු යනවිට බයිසිකලයට නැගීමට පෙර ආපසු හැරී ටටා කියයි. මෙය අප පොඩි කාලයේ සිට ඉතා මෑතක් වන තුරුම සිදු වූ දෙයකි. අපද කොහේ සිටියත් ලොකු තාත්තාට ටටා කියන්නට දුවගෙන ආවෙමු. දැන් ලොකු තාත්තාට ඇවිද ගැනීමට අපහසුවෙන් සිටියද බලන්න ගොස් එන විට අත වනා ඒම ඉබේටම මෙන් සිදුවෙයි. වෙන කිසිදු වැඩිහිටියෙකුගෙන් සමු ගැනීමේදී මෙසේ අතවනන පුරුද්දක් නැත. 

තාත්තාගේ බයිසිකලය අනිත් බයිසිකල් වලට වඩා වෙනස් ය. තාත්තාට වෙනත් බයිසිකල් පැදීමට හැකියාවක් තිබුණු නමුත් කවදාවත් එසේ පැද්දේ නැත. තාත්තාගේ අතේ ඇඟිලි හතරක් තිබුනේ නැත. තිබුනේ මහපට ඇඟිල්ල පමණි. ඉතිරි සියල්ල උගස් අඹරන මැෂිමකට අසුවීමෙන් කැපී ගොස් ඇත. ඒ මා ඉපදෙන්නට පෙර හපුතලේ සහ පැල්වත්ත සිටියදී සිදුවුණු අනතුරක ප්‍රතිඵලය. අපේ තාත්තා සහ තාත්තාගේ වීරක්‍රියා ගැන තව බොහෝ දේ ලිවීමට ඇති නිසා මේ සිද්දිය ගැන වැඩි යමක් පසුවට ලියමි. තාත්තා ගෙදර ඉවීමේ සිට වෙන ඕනෙම වැඩක් කිසිදු බාදාවකින් තොරව කිරීමට පුරුදු වී සිටියේය. ඔහුට පහසු විදියට සියලු දේ සකස් කර ගත්තේය. බයිසිකලය ද  ඒ ආකාරයෙන් හදා ගත්තේ සාමාන්‍ය බයිසිකල් වල ඉස්සරහ බ්‍රේක්, දකුණු අතටත් පසුපස බ්රේක් වම් අතටත් තිබීම නිසාය. අපේ ගෙදර පිහිටියේ කඳු පල්ලම් කිහිපයක් නැග බැස ඒමට සිදුවූ දුරක නිසා බයිසිකලයේ බ්‍රේක් ඉතා වැදගත් විය. තාත්තාට පහසුවෙන් බ්‍රේක් ඇල්ලීමට මේ ඉස්සරහ සහ පසු පස බ්‍රේක් මාරු කර බයිසිකලය මොඩිෆයි කර තිබුනේය. මෙය නොදැන බයිසිකලය අරන් ගිය අය පල්ලමේ බ්‍රේක් ගසා හොම්බෙන් යාම අනුනමයෙන් බේරුණු අවස්තා බොහෝ තිබුනේය. තාත්තා බයිසිකලය කාට දුන්නත් මේ බව පවසා දෙයි. නමුත් මේ වෙනස නිසා තාත්තාගේ බයිසිකලය ගමේ කා අතරත් විශේෂ විය. තාත්තාගේ අත නිසා තාත්තාත් විශේෂ කෙනෙක් යැයි ඒ දවස් වල මට සිතුණි.

ඉස්සර අපි හතර දෙනාම යනවිට අම්මා පිටිපස ලගිජියේ වාඩිවන අතර අක්කා සහ මම ඉස්සරහ පොල්ලේ වාඩිවෙයි. හතර දෙනා සමග ලොකු අම්මලෑ ගෙදර යන්නේ එසේය. නමුත් තාත්තාට මෙය ඉතා වෙහෙසකර වැඩක් වූ නිසා පසුව එක්කෝ අක්කා සහ අම්මා බස් එකේ හෝ පයින් ආවේය. තාත්තා දෙපාරකට අපව එක්කන් ගියේය.

බයිසිකලයේ ඩයිනමෝව මා හට තිබුණු ඉතා වැදගත් සෙල්ලම් බාන්ඩයක් විය. පොඩ්ඩක් ලොකු වෙනකොට වයර් කෑලි දෙකක් අමුණා ඩයිනමෝව කරකවමින්  බල්බයක් පත්තු කර ගැනීමට මම ඉගෙන ගත්තේය. නිතර රෝදයේ  ස්පෝක් වලට කකුල අසුවීම නිසා ඒ දවස් වල මට ස්පෝක් යනු භයානක දෙයක් විය. ලොකු අම්මලාගේ ගෙදර තිබූ චොපර් එක මාගේ සිහින බයිසිකලය විය. නමුත් එය පැදීමට තරම් හැකියාවක් එකල නොවීය. බොහෝ විට කලේ  නංගී සමග අමාරුවෙන් එහෙට මෙහෙට තල්ලු කිරීම, ලයිට් පත්තු වෙන හැටි බැලීමය. නමුත් පසුව පැදීමට තරම් ලොකු වූ විට ලොකු අම්මලෑ  ගෙදර යෑම යනු චොපර් පැදීම විය. කෙසේ හෝ මට ම කියා බයිසිකලයක් හිමි වූයේ මා සා.පෙ කල පසුවය. එතෙක් තාත්තාගේ බයිසිකලයෙන් සැනසෙන්නට සිදුවිය. අඩුම තරමේ පොඩි ට්‍රයිසිකලයක්වත් තිබුනේ නැත. තාත්තාගේ සයිකලය පොල්ලේ යටින් පැදීමට යන්තම් කකුල් දෙක දමාගැනීමට උස ඇති වූ කාලයේ සිටම ඉගෙන ගෙන ගමේ කොල්ලන් සමග රවුම් ගැසීම පටන් ගත්තේය. සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා  සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් කාලින ගැන්සියේ විය. ලොකු දොඩ්ඩා අපේ අක්කාගේ වයසේ වූ අතර චමින්ද සහ සුගත් ඊට අවුරුදු කිහිපයක් බාල විය. සුදුවා සහ මම එක පන්තියේ වූ අතර ලෙඩා සහ බඩා යනු නිවුන් දෙදෙනෙකි. උන් දෙන්නා සහ බර්ටි හෙවත් බොට්ටා අපිට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් විය. අපේ ගෙදර සිට පොඩි බෑවුමක්  නැග මීටර් 50-60ක් ගිය තැන සුදුලෑ ගේ තිබුණු අතර සුග්ගා හෙවත් සුගත්ලෑ ගෙදර තිබුනේ ඊට පොඩ්ඩක් එහායිනි. බොට්ටා, චමින්ද සහ ලොකු දොඩ්ඩා එක පවුලේ සහෝදරයන් විය. උන්ගේ ගෙවල් තිබුනේ තවත් මීටර් 200-300ක් එහාට වන්නටය. ලෙඩා සහ බඩා ගේ  ගෙවල් තිබුනේ තවත් ටිකක් එහාට වන්නටය. 

තාත්තාගේ බයිසිකලය පොල්ලේ යටින් දමා කන්ද පැදීමට නොහැකි නිසා බොහෝ විට කන්ද තල්ලු කර සුදුලෑ ගේ කිට්ටුවෙද්දී නැග කෙලින්ම යන්නේ  සුගත්ලාගේ ගෙදරටය. සුදුවා එහෙට එයි. සුගත් අපට වඩා වසර 3-4ක් වැඩිමල් නිසා ඌ අයියා වුවද කවදාවත් අයියා කියා කතා කලේ නැත. නමුත් ඌ අපේ ලොක්කා විය. සුගත් කියන්නේ මොකක්ද සුදුවා සහ මම ඒකට එක පයින්ය. සුගත්ලාට තිබුනේ පොල් අතු සෙවිලි කල ගෙයකි. සුදුලෑ ගේ සෙමෙන්ති ගෙයක් විය. උන් ටික මතක් වෙද්දී බයිසිකල් මතක හැර තව බොහෝ දේ මතක් වුනත් මේක බයිසිකල් වලින් ඉවර කර ඉතිරි මතක පසුවට ලියමි. තාත්තා ගෙදර සිටි හැමවෙලේම බයිසිකලය මට හිමි විය. කොහේ හරි යන්නට ඕනෑ වූ විට තාත්තා ගෙදර සිටි කතා කරනවා වෙනුවට හෙමින් සැරේ සුගත්ලාගේ ගෙදරට එයි. එතනින් බයිසිකලය ගෙන සුගත්ලාට, ඉස්සරහ ගෙදර පොඩි අක්කලාට හෝ ඔය අවට සිටින කාට හෝ ගෙනත් දීමට දේවල් ඇත්දැයි අසා කඩේ ගොස් ගෙනත් දීම තාත්තාගේ ප්‍රියතම වැඩකි. බොහෝ විට හවස 5-5.30 වෙද්දී අම්මාව එක්කන් එන්නට පාරට යන ගමන් මේ දේවල් ගෙනත් දෙයි. තාත්තා සහ අම්මා එනකම් මම සහ අක්කා බොහෝ විට සුගත්ලාගේ ගෙදරය. සුගත් ගාමිණි මාමාගේ පුතාය. ඔහුට අපේ අක්කාගේ වයසේ අක්කා කෙනක් සහ නංගි කෙනෙක් විය. අපේ අක්කා සහ සුදුලෑ අක්කා සෙල්ලම් කලේ ඔවුන්  සමගය. ගාමිණි මාමා යනු සුපර් මාරියෝ ලුක් එක ඇති හිස මැදින් තට්ටය පෑදුනු විනෝදකාමී චරිතයකි. ඔහු බයිසිකල් පදින්නට ඉගෙන ගත්තේ අපි බයිසිකල් පදින්න ඉගෙන ගත්තාටත් පසුවය. ඒ දවස් වල ගාමිණි මාමා බයිසිකලය පදින්නට පුරුදු වෙන සැටි බලා සිටීම ආතල් ජනක වැඩක් විය.

අපේ ගෙවල් පිහිටියේ දෙපසින්ම කුඩා කඳු දෙකක් නැග පැමිණිය යුතු උස තැනකය. ඉතින් පාරට යන්නට නම් කොහෙන් ගියත් පල්ලම් දෙකක් බැස යා යුතුය. බයිසිකලය පොල්ලේ යටින් පදින විට මේ බෑවුම් නැගීම පහසු නැත. අනෙක බෝගහමුල පාරේ පල්ලම යනු ඉතා ලොකු පල්ලමක් වූ බැවින් මුල් කාලයේ එය නැගීම බැසීම අපට මහා ලොකු වැඩක් විය. ගනේවත්ත පල්ලම ඊට අඩු වුවද පල්ලමෙන් පහල පාර දෙපැත්ත කැලෑව වූ නිසා ඒ පැත්තට වැඩිය ගියේ නැත. පොල්ල යටින් පැදීමෙන් බයිසිකල් අයන්න කියවූ පසු කෙසේ හෝ පොල්ල උඩින් කකුල දමා පැදීමට දඟ දැම්මේය. බැලන්ස් එක ප්‍රශ්නයක් නොවුවද කකුලේ දිග මදි වීම නිසා වැඩේ භයානක විය. පදිනකම් බැලන්ස් එක තියාගෙන පදින්නට හැකි වුවද පටන් ගැනීම සහ නතර කිරීම ලේසි වුයේ නැත. සුගත්ලාගේ ගෙදර පිළිකන්නේ ගැට්ටක් උඩට නැග පොල්ල උඩින් කකුල් දමා බයිසිකලය පැදගෙන යන අප ආයේ නතර කලේ බර්ටිලෑ ගෙදර පිළිකන්නේ කන්දියකට කකුල තබාය. ඔය අතර මග හදිසි බ්‍රේක් පාරක්, බල්ලෙක් හෝ වෙන කිසිම දෙයක් නිසා නතර කිරීම යනු බයිසිකලය පෙරලිමය. එවැනි වෙලාවට බොහෝ විට පාර අයිනේ වූ වැටකට අල්ලා බයිසිකලය නතර කර ගත්තද, පාරමැද හදිසියේ නතර කිරීම යනු ෂුවර් එකට අතක් කකුලක් තුවාල වීමය. බොරළු පාරවල් වල කබොක් ගල් මතුවී තිබුණු තැන්වල කබොක් ගල් රස බැලු වාර ගණන හිසේ කෙස් ගානට වැඩි විය. සීට් එකේ වාඩිවීමට නොහැකි නිසා හිටගෙන පදින විට බයිසිකලයේ බල්ලන් අසු නොවීමෙන් පුරුෂ මෙව්වා එක පොල්ලේ වැදීමෙන් තරු විසිවුණු වාර ගනනද ඊට අඩු නැත. අපිට ලොකු කම් දාන්නට කන්ද පදින හැටි පෙන්නන්නට අයියලා වීරයන් මෙන් හිටගෙන පැදගෙන එනවිට එතෙක් අපුරුවට තිබුණු සයිකලය හරියටම කන්ද මැදදී  බල්ලන් අල්ලනේ නැතුව ගොස් ලොකු අයියලාගේ ලොකු මෙව්වා පොල්ලේ වැදීමෙන් උන්ගේ ඇස වලින් කඳුළු පැන්න අවස්ථාද විය. බොට්ටා, ලොකු දොඩ්ඩා, චමින්ද  සහ සුග්ගා මෙවැනි ආතල් දුන්නේය.

එකල ඔය ගෙවල් රවුම හැර වැඩි දුරක් බයිසිකල් පැදීමට ගෙදරින් අවසර තිබුනේ නැත. දවසක් කලිසම් කොටයක් විතරක්  ගසා ගෙන බෝගහ හංදියට පැදගෙන ගිය එකක් මාට්ටු වී අම්මාගෙන් බඩ පුරා ෂොට් කිහිපයක් වැදුනේය. 

වැඩි කලක් යන්නට පෙර කරදඩු උස වුයෙන් බයිසිකලයේ තාත්තාව දාගෙන පදින්නට හැකි විය. මින් පසුව අම්මා, අක්කා  හන්දියට ගෙන යන හයර් එක තාත්තා මට බාර දුන්නේය. නමුත් මහ පාරේ දුර යාමට අවසර ලැබුනේ තවත් බොහෝ කාලයක් ගිය පසුවය. වෙසක් එකට කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් වැඳීමට සහ වෙසක් බැලීමට බයිසිකලේ යෑම අපේ බයිසිකල් දිවියේ කුටප්‍රාප්තිය ලෙස සැලකිය හැක. ලොකු උන් ටික හැම අවුරුද්දෙම ඔය රවුම ගැසුවද සුදුවාට, මට සහ ලෙඩා බඩාට ද ගෙවල් වලින් අවසර ලැබුනේ පසුවය. අද මෙන් වාහන බහුල නොවුවද මහා පාරේ ගමන අපටද ටිකක් චකිතයක් ගෙන දෙන වැඩක් විය. මේ කාලය වන විට සුමිත් හෙවත් මැක්කා, මයුර, චාම්, පොඩි මංජු, සජියා සහ අනුර ද අපිට සෙට් වී  සිටියේය.  වඩා වැඩිමල් වූ  සරත් අයියා, උස මංජුවා හෙවත් කොකා ද එහෙන් මෙහෙන් සෙට් විය. කොල්ලන් දහ  දොළොස් දෙනෙකුගේ ගැන්සිය ගැන කතා රැසක් මතක් වීම අමාරුවෙන් නතර කරගෙන මාතෘකාවට අදාලව හෙවත් වටේ පඳුරු නොතලා මේ ටික ලියා දමමි. උස මංජුවා අපේ අක්කාට ලයින් දැමීම, අක්කලා වතුර ටැංකියේ හැංගීම, හේනේ වෙරළු තැම්බීම, වෙලේ ක්‍රිකට් මැච්, මහ වලේ මල්වෙසක් පොසොන් දන්සල්, ක්‍රිකට්, එල්ලේ, ෆුට්බෝල් සහ වොලිබෝල් මැච්, ජිම් පප්පා ගේ කොකු, කොකෝවා, කොපි සහ සියඹලා ගස්, බතන්වත්තේ වලි  සහ තවත් අටෝරාසියක් කතා එක ගොන්නට මතක් වේ. 

කෙසේ හෝ වරක් දෙවරක් වෙසක් පොසොන් ටුවර් එක බයිසිකලයෙන් ගියද පස්සේ මම ඉස්කෝලේ වැඩට සහ පන්ති වලට හිර වීම නිසා ගමේ කොල්ලන් සමග ගැන්සි ගැසීම අඩු විය. මටම කියා බයිසිකලයක් ලැබුනේ මම සා.පෙ කල පසුවය. බොරැල්ලේ සයිකර් බසාර් එකෙන් අලුත්ම මවුන්ටන් බයිසිකලයක් ගන්නට ගිය විට දැනුන ආතල් එක අද බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගත්තද දැනෙන්නේ නැත. උසස් පෙළ කරන කාලයේ බයිසිකලය පන්ති යෑමට ඒමට සහ කෙල්ලන් බැලීමට යාමට නැතුවම බැරි විය. කෙල්ලන් සමග බයිසිකල් රවුම් ගැසීමට නම් මට අවස්තාවක් ලැබී නැත. ඒ අවස්තා ලැබුනේ බයික් එකෙන්ය. බයිසිකලය පිහිට වුයේ පස්සෙන් යාම, කෙල්ලන්ගේ  ගෙවල් දොරවල් තියෙන පැති සොයා බැලීමට යාම ආදී මුල් කාලින වැඩ වලටය. එසේ වතාවක් ලෙඩා සහ බඩා සමග කෙල්ලෙක්ගෙ ගෙයක් සොයා  ගිය ගමනක් ගැන උන්ට  තාම මතකය. ඒවා හෙනම ආතල් මතකයන්ය. සා.පෙ / උ.පෙ කාලයේදී දිනේෂයා, බෝගොඩයා, රොෂාන් සහ මහේෂලාගේ ගෙදර කරක් ගැසීම වැඩි වුයේ සුගත්ලා, බර්ටිලා ටිකෙන් ටික ඈත් කරවමිනි.  උ.පෙ කාලයේ වැල පීස් සහ චිත්‍රපට  සීඩී හොයන්නට වීඩියෝ සෙන්ටර් පැදීම මීට අමතරව සිදුවුණු වැදගත් දේවල් ය.

අපි බස් එකේ යනවිට බයිසිකල් නවත්තා ගියේ එක්කෝ බෝහග මුල හන්දියේ වූ තේ කඩේ අයිනේය. කඩුවෙල පැත්ත නම් ආනන්ද ලී මොලේ දමා ගියේය. කවදාවත් ලොක් කර නොගිය බයිසිකල් නැතිවේ හෝ කවුරුන් හෝ ගනීවි යයි බයක් කවදාවත් දැනී නැත. බොහෝ විට කාගේ බයිසිකලයද යන්න ගමේ හැමෝම දැන සිටි අතර, කවුරු ගත්තද ගත්ත කෙනා කොහේ ගියත් අප එන විට බයිසිකලය තිබුණු තැනම තබා තිබුනේය. 

හැමදාම උදේ හවස බයිසිකලයෙන් අම්මාව හංදියට එක්කන් ගිය තාත්තාගේ චරිතය ගමේ බොහෝ අයට අදටත් මතක ඇත. තාත්තා නැති වූ පසු ඒ රාජකාරිය පැවරුනේ මටය. මම  රස්සාවට ගොස් ලෝන් එකක් දමා බයික් එකක් ගන්නා තුරු මේ බයිසිකල් රාජකාරිය එසේම විය. තාත්තා නැතිවූ පසු තාත්තාගේ බයිසිකලය ලොකු තාත්තා අරන් ගිය අතර මම බයික් එක සහ කාර් එක ගත් පසු මගේ ආදරණිය මවුන්ටන් බයිසිකලයද අපේ මල්ලි කෙනෙකුට දීලා දැම්මේය. මේ කාලයෙන් පසු බයිසිකල් මතක එතරම් නැත. ටිකෙන් ටික ශරීරයද b ෂේප් වීමට පටන් ගත් බැවින් බයිසිකලයක් පැදගැනීමට ද අමාරු විය. අන්තිමට අක්කාගේ පුතාගේ බයිසිකලය අමාරුවෙන් මිදුලේ වට භාගයක් පැද්දා මතකය. 




මේ සියලු මතක සිහි වීමටත්, බාලි නුවර අහිංසක ගැමියකුගේ හැකියාවට උදව්වක් වශයෙනුත්, තාත්තාගේ සයිකලයට බොහෝ සමානකම් ඇති  මේ කුඩා මොඩලය පසු ගිය බාලි සංචාරයේදී මිලදී ගතිමි.

මම මේ නොරටට පැමිණ ටික කාලයකට පසු නිවාඩුවට ගෙදර ගිය දිනෙක සිදුවූ අපුරු සිදුවීමක් මට ඇති අවසාන බයිසිකල් මතකයි. සිය සැමියාගෙන් වෙන්ව ජිවත් වූ අපේ අක්කා කෙනෙකුගේ අවුරුදු 4-5ක් වයසැති කුඩා කොලුවෙක් හදිසියේම මා සිටින කාමරයට පැමිණියේය. අපේ පවුලේ නෑදෑයින්ගේ පොඩි පොඩි උන් 10ක් 12ක් කොයි වෙලෙත් එහෙ මෙහෙ කරකැවෙන බැවින් එය එතරම් දෙයක් නොවීය. පසුවදා උදේ නැවත ඒමට බඩු අස් කරමින් සිටි මම මේ කොලුවා එතරම් ගණන් නොගෙන සිටියෙමි. හෙමින් සැරේ ඇඳ උඩින් වාඩිවී "මේ ඔයාට බැරිද මට බයිසිකලයක් අරන් දෙන්න?" පොඩි එකා කාමරයට පැමිණ ඇසුවේ එපමණකි.

මේ සියලු මතක සමගින් තාත්තා ළඟ නැති ඒ පොඩි එකාගේ ආසාව ටික දිනකින් ඉටු කර දුනෙමි.







ප.ලි 

මේ ඊයේ පෙරේදා ලංකාවට ගිය සැරේ මු නැවත ළඟට පැමිණ මගේ අතෙහි වූ ඔරලෝසුව දෙස බලමින්  "මටත් මේ ජාතිය එකක් ගෙනත් දෙන්නකෝ" යැයි කිවේය. "අඩි 6ක් උස ගොස් ඉංග්‍රීසියෙන් කතා කිරීමට හැකිවූ දිනෙක ගෙනත් දෙන්නම්" කියා මෙවර මම ඌව එළවා දැම්මේය... ඌ ආයේ මගෙන් මොකුත් ඉල්ලන එකක් නැත.... හෙහ් හෙහ්