මම මිට කලින් අශෝක හඳගම ගේ ෆිල්ම් එකක් මුල සිට අගට බලා ඇත්දැයි අවංකවම මට මතක නැත. ඔය වැඩිහිටියන්ට පමණක් වෙච්ච කොටස් ටික නම් අනිවාර්යයෙන් කොහෙන් හෝ හොයා ගෙන බලන්න ඇති මුත් සම්පුර්ණ කතාව නිදහසේ බැලු බවක් නම් මතකයේ නැත. ඉතින් මම කවදාවත් අශෝක හඳගම නම් නිර්මාණ කරුවා ගැන විවේචන හෝ වර්ණනා කිරීමට උත්සාහ දරා නැත. එහෙම කිරීමේ හැකියාවක් මෙතුවක් කාලයකට තිබී ද නැත. කිරි ගහට ඇන්නා වගේ ඉදිරි අනාගතයේදී එහෙම හැකියාවක් ලැබෙන්නේද නැත.
අහම්බෙන් මෙන් මගේ ඇස ගැටුණු "ඇගේ ඇස අග" දුටු විට මට හිතුන දේ ජොලියට මේන් ලියා තබමි.
පින්තුරය Let her cry සිනමා පටයේ ප්රචාරාත්මක පෝස්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිළියගේ චායාරුපයක් පසුබිමේ ඇත.
පළවෙනි පැය භාගයම වගේ නිකන් අමුතු විදියට කරන්න හදපු ටිපිකල් R rated ෆිල්ම් එකක් වගේ හැඟීමක් තිබුනේ. කොටින්ම ඈනුම් දෙක තුනක් ගිහින් ඇහැත් පොඩ්ඩක් පිය වුණා.
ටිකක් වෙලා යද්දී පොඩි වෙනස් ගතියක් දැනෙන්න පටන් ගත්තත් හැබැයි මේ ඉතින් අපේ අසරණ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ අසහනය පෙන්නන තවත් එක විදියක්දො කියලත් හිතුනා. නළු නිළියන්ගේ රඟ පෑම් ඇති විශිෂ්ටයි කියන්න බෑ. හැබැයි අර අලුත් නිළියට නම් සම්මානයක් දෙන්න වටිනවා ඒ වගේ චරිතයක් කරපු එකට. (ඒ නිළිය අලුත් දැයි මම නොදනිමි. මම මුල් වරට ඇය දුටුවේ ඒ ෆිලිම් එකෙනි)
කතාව ගලාගෙන ගිහින් අමුතු අමුතු සිද්දි මතු වෙලා එද්දී ඔන්න පොඩ්ඩක් පුටුවේ හරි බැරි ගැහිලා බලන්න හිතුනා. මාත් එක්ක එකට ඉඳන් බලපු අපේ ලොකු මස්සිනා නම් මට වැඩිය උනන්දුවෙන් කතාව බැලුවා.
"අනේ මන්ද ටිකක් කොලොප්පන් වගේ නේද?" මම උගෙන් ඇහුවා. "හඳගමයා හදන කතා කොහොමත් ඔහොමනෙ.. මට නම් හැබැයි අල්ලලා යනවා.."
"ඒ කියන්නේ ප්‍රොෆෙසර් කාරයා මේ කෙල්ලට සිරාවට ලව් ද?"
"එහෙම කියන්නත් බෑ හැබැයි .. එහෙම නෑ කියන්නත් බෑ... " ඌ නිකන් උපුල් ශාන්ත සන්නස්ගල වගේ උත්තරයක් දුන්නා..
හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්.. ඒ නිසා අපිට ඒවා මදි.
කතාවේ ලස්සන දෙබස් ටිකක් තිබුනා. කෙල්ල ගානට දිවේ කටේ ගෑවෙන්නේ නැතිව ලස්සනට කියනවා. අන්න ඒවා නම් අපේ කමට නියමෙටම තියෙනවා. මට මතක් වුනේ මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා අර Air Port එකේ දී හොඳට හිනා වෙලා "හු%$%$#%$ කියල මාරු වෙලා යන සීන් එක. හෙහ් හෙහ්..
හරි කතාවේ සිද්දි ටික කියල නිකන් ස්පොයිල් කරන්න ඕනේ නෑනේ. ආරම්බය සහ අවසානය එකට ගෙනල්ල කතාව නතර කරනවා.
මම තේරුම් ගත්ත විදියට කතාව ඇතුලේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන දෙකේ පන්තියේ ශෘන්ගාරෙවත්, හැම කෙනාම පට්ට ගහන අපේ මිනිස්සුන්ගේ අසහනෙවත් නෙවෙයි.
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා කියන බඹරෙකු සහ නෙලාගනු බැරි හන්තාන සිහිනයක් දකින කෙල්ලෙකුට මැදි වෙච්ච ලා දළු බෝපත් සෙමින් සලන යශෝදරා දේවියක්. අන්තිමට දුවේ නුඹ මගේ ප්‍රාණයයි තරම් වෙච්ච පිතෘ සෙනෙහසකුත් මට එකේ පෙනුනා.
හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා.
ෆිල්ම් එක පටන් ගද්දි ප්‍රොෆෙසර් Let her cry කියන එක කොච්චරක් දුරට මේ ෆිල්ම් එකට ගැලපෙනවද කියල අන්තිමේදී හිතුනා.
ෆිල්ම් එක බලල ඉවර වුනාම හිතුනේ හඳගම කියන්නේ සිරා පොරක් කියන එක. සිංහල ෆිල්ම් එකක් බැලුවම නැවත හිතන්න දෙයක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. මට නම් මේ ෆිල්ම් එකේ නැවත නැවත හිතන්න බොහෝ දේ තිබුනා.
අපේ සිනමාවේ ගත යුත්තක් නෑ කියල හිතුන ගතිය ටිකක් මග ඇරිලා ගියා මේ ෆිල්ම් එක බැලුවහම. ඇත්තටම ගත යුත්ත මිනිස්සුන්ට පෙන්නන විදිය කොච්චර වැදගත් ද කියල හිතුනා. මේ ෆිල්ම් එක ලංකාවේ තහනම් කලාද කියල මම දන්නේ නෑ.. හැබැයි එහෙම තහනම් නොවෙන විදියටත් මේ ෆිල්ම් එක හදන්න තිබුනා කියල මට හිතුනා. ඔය තහනමට හේතු වෙන සීනි බෝල කෑලි වලින් ෆිල්ම් එකට හොදක් වෙලා නෑ කියන එකයි මගේ අදහස. මොකද ඇකිලිලා තියෙන ඒවා ඇකිලිලාම තියෙන හින්ද ෆිල්ම් එක පුරාවටම.. හැබැයි ෆිල්ම් එකෙන් අපේ ඔළුව කෙලින් කරලා අපිට අපේ මිනිස්සුන්ගේ තියෙන වටිනා කම් ගැන හිතන්න දෙයක් ඉතුරු කිරීම සියල්ලටම වඩා වටිනවා.
ප.ලි
මේ ෆිල්ම් එක මම බැලුවේ NetFlix එකේ. කැමති කෙනෙකුට මාසයක් නොමිලේ දෙන NetFlix සේවාවෙන් බලන්න පුළුවන්. සල්ලි ගෙවන්න අකමැති නම්. මම හිතන්නේ ලංකාවේ තහනම් වෙන ෆිල්ම් ඉස්සරහට අපිට කරදරයක් නැතිව බලන්න පුළුවන් වෙයි.