Thursday, September 17, 2015

සිඳුලෝලී සේලරුවා හෙවත් මොන මගුලේ කතාවක් ද

සාහිත්‍ය මාසේ ඇවිල්ල පොත් ප්‍රදර්ශනෙත් එන හින්ද පොතක් ගැන මොකක් හරි ලියන්න හිතුවා.මේ සැරෙත් ප්‍රදර්ශනේ මිස් වෙනවා හැබැයි හිතට දුක නෑ මොකද අපිව බලා ගන්න වෘක රාළහාමි ඉන්නවනේ. වෘක රාළහාමි මේ අවුරුද්දෙත් එක පාරක් ආවා. මම හිතන්නේ ආයේ එයි. හිතේ දුක යන්නත් එක්ක මැලේසියාවට ඇවිල්ල ගෙවුණු අවුරුදු 2ක ඇතුලත ගත්ත පොත් ටිකේ ෆොටෝ එකක් දාන්නම්කෝ. 





හෙහ් හෙහ් අම්ම ගහයි බැට් එකෙන් නේද? 

ඔය උස ගොඩේ තියෙන ඔක්කොම පොත් මේ පහුගිය අවුරුදු 2කෙ ගත්තුව. මිටි ගොඩේ තියෙන්නේ ලංකාවෙන් ගෙනාපු සිංහල පොත්. තව සිංහල පොත් ටිකක් තිබුනා ඒ ටික අදින්න කම්මැලි නිසා පොටෝ ගත්තේ නෑ.  සිංහල පොත් වලින් නම් එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම ටික කියෙව්වා. දෙවෙනි වර හෝ ඊට වැඩි වාරයක් ආතල් ඒක පිණිස කියවන්න තමයි ගොඩක් ඒවා ලංකාවෙන් අරන් ආවේ. 

උඹ දැන් මේකෙන් කීයක් කියෙව්වද වගේ නොහොබිනා ප්‍රශ්න අහන්න එපා. මේවා මේ අනාගත ඉන්වෙස්ට්මන්ට් විදියට එකතු කරන්නේ. අනාගත ඉන්වෙස්ට්මන්ට් කියන්නේ හදිසියේ කරන්න මෙලෝ වැඩක් නැති වුනොත් කියවන්න තියෙන වත්කම් කියල හිතාගෙන. ඒ කියන්නේ දැන් ඔන්න එකපාරටම කරන්ට් එක නැති වෙලා, ඉනටර්නෙට් නැති වෙලා,  ඔෆිස් නිවාඩු දීලා, එලියට බහින්න බෑ වැස්ස/ ගංවතුර වගේ සිද්දි ගොඩක් වෙලා ගෙදර නන්නත්තාර වෙන්න සිද්ද වුනොත් ඔන්න මේ පොත් ගොඩේ වටිනාකම තේරෙන්න ගන්නවා. 

මම මේ ඊයේ පෙරේදා දවසක් ඔය ගැන කල්පනා කළා. ඒ කියන්නේ ඔය විදියට ගේ ඇතුලට වෙලා ඔහේ කරන්න මෙලෝ වැඩක් නැතුව ඉන්න එක ගැන. මිට අවුරුදු 15-20කට විතර කලින් නම් මගේ දවස් ගොඩක් ගෙවුනේ ඔන්න ඔහොම.  වැස්ස ගංවතුර නැති වුනත් ගෙදර කරන්ට් එක තිබුනත් කරන්න මෙලෝ වැඩක් නැති ළමා කාලයක් තිබුනනේ. ඒ දවස් වල අම්මයි තාත්තයි වැඩට ගිහින් අක්කත් ඔය පන්ති හරි කොහේ හරි ගියාම මට කරන්න මෙලෝ වැඩක් නැති වෙනවා. යාලුවෝ හිටියොත් හරි සමහර වෙලාවට උනුත් ඔය එහාට මෙහාට වෙලා මොකෙක්වත් නැති දවස්. ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ඉස්කෝලේ නොගිහින් ඉන්න දවස් වලට. ටීවී එකෙත් බලන්න කියල ඒ හැටි දෙයක් නෑ. ඉන්ටර්නෙට් හෝ කොම්පියුටර් කියන්නේ තනිකරම අදාල නැති දන්නෙවත් නැති දේවල්. එතකොට ගෙදර ඉතිරි වෙන්නේ ඔය ගෙනාපු පොත් පත්තර තමයි. ඒ දවස් වල එක්කෝ පොතක් කියවනවා. නැත්නම් චිත්‍රයක් අඳිනවා. එහෙමත් නැත්නම් ඔය සර්කිට් කෑල්ලක් අටවනවා. ඔය ටික තමයි දවස ගෙවා ගන්න උපකාරී වුනේ. හොඳ පොතක් අතට අහු වුනාම කන්න බොන්න ඕනෙත් නැතුව නිකන් ම දවස ගෙවිලා යනවා. අන්න එහෙම කාලයක් බැරිවෙලාවත් ආයේ ආවොත් කියවන්න තමයි මම ඔය පොත් එකතු කරන්නේ.. හෙහ් හෙහ් 

හරි දැන් ඔහොම කියපු පොත් හැට හුටහමාරක් අතරෙන් මෙච්චර කාලෙකට කියවපු මෙලෝ රහක් නැති පොත ගැන මොකක් හරි කොටන්න හිතුනා. මොකද ඉතින් නොකා නොබී කියවන පොත් වගේම මොන මගුලට කියෙව්වද කියල හිතෙන පොතුත් තියෙනවනේ.

වැඩි විස්තර ඕනේ නෑ. මිට අවුරුදු 3,4,5,6 කට කලින් ඔය පොත් ප්‍රදර්ශනෙන් ම අරගෙන මෙච්චර කාලයක් තිස්සේ පොත් ගොඩේ එහෙ මෙහෙ වේවි, අන්තිමට මැලේසියාවටත් ආපු මෙන්න මේ පොත දැන් සති 2-3කට කලින් මම කියවල ඉවර කළා. ඉවර වෙච්ච ගමන් මට හිතුනේ මොකක් ද දන්නවා ද  

"මොන මගුලේ කතාවක් ද මේ.. "

හරි මේ තියෙන්නේ පින්තුරේ. 


පින්තුරේ දැක්කම හිතෙන්නේ පොඩි 18+ හැඟීමක් නේද

ඔබ හරි.  මේ කවරයේ කතාව කියෙව්වම ඒක මහ අප්සට් 18+ කතාවක් ද කියල හැදිච්ච වැදගත් අයට හිතෙයි. 

මේ තියෙන්නේ කතාව කෙටියෙන්.

හරි දැන් මේක මුල් පිටු ටික කියවද්දී පොඩි මෙව්වා එකක් තියෙනවා. පොඩි අප්සට් ගතියක් දැනෙනවා. මොනවා උනත් අපි හැදිච්ච ළමයි නිසා. 

ටික වෙලාවක් යද්දී ඉතින් තව පොඩි විකාර කැල්ලක් තියෙනවා ඊට පස්සේ ඉතින් ඔය සාමාන්‍ය කතාවක් බවට පත්වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් නැති නිකන්ම නිකන් කතාවක් නිසා. කොහොම හරි අන්තිම පිටු ටික කියවල අවසාන පිටුවේ අන්තිම ටික කියවල ඉවර වෙද්දීම හිතෙනවා

"මොන මගුලේ කතාවක් ද මේ.. " කියල

මේ පොත කියවල තියෙන මිට වඩා වෙනස් හැඟීමක් දැනිච්ච අය ඉන්නවා ඇති. මේක සැහෙන්න හොඳ පොතක් විදියට තමයි කර්තෘ සටහන එහෙම තියෙන්නේ. එක්කෝ මගේ රස නහර මේ මැලේ කෑම වල තියෙන මෙලෝ රහක් නැති ගතියට හුරු වෙලා මට මේ පොතේ තියෙන නියම අදහස තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් අනේ මන්ද කොහොම හිතුවත් මට හිතෙන්නේ "මොන මගුලේ කතාවක් ද " කියල