Wednesday, May 20, 2015

කලින් සැමරූ ඇනිවසරිය

මේ අවුරුද්දේ ඇනිවසරි එකත් ඇවිල්ලා ගියා. අවුරුදුම 4ක්. ඇනිවසරිය ගෙවිලත් මාසයක් විතර වෙන්න ආවා. වැඩිය ඉතින් කියන්න දෙයක් නැති වුනාට අපි දෙන්නා බොහොම හොඳින් අතරමැද වලි, ලෙඩ, වැඩ පිස්සු, විකාර ආදී සියලු දේ සමග මේ අවුරුදු 4 ගෙවල දැම්ම. 

ඔය දෙන්නා 3න් දෙනා වෙන එක ගැන පස්සේ කොමෙන්ට් වලින් අහන්න ඉන්න වැඩිහිටියන්ට මේ මුලින් ම කියල ඉන්නේ අපි මේ යහපාලන ආණ්ඩුව යටතේ  ගෙදර ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන සහිතව බොහොම දුර දර්ශිව හිතල බලල නියමිත විදියට ඒ පිළිබඳව කටයුතු කරනවා. මොකද මේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ක්‍රමානුකුලව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව ස්වාධින කොමිෂන් (ස්වාධින කිව්වට ඉතින්....)  අනුව තීන්දු තීරණ අරන් ඕනේ ඒවගේ දේවල් කරන්න. මම හිතන්නේ ඔය වැඩිහිටි අයට දැන් ඒවා පැහැදිලි ඇති. :)

මේ සැරේ ඇනිවසරි එකට අපි දෙන්න විතරයි. කොටින්ම කිව්වොත් එදා සුපුරුදු පරිදි ඔහේ ගෙවිලා ගියා. වැදගත්ම දේ කියන්නේ අපි දෙන්නට ඇර පවුල් දෙකේම වෙන කිසිම කෙනෙකුට යකඩෝ මුන් දෙන්න බැඳලා නේද කියලවත් හාන්කවිස්සියක්වත් මතක නැති වීම. කොටින්ම කිව්වොත්  අපි දෙන්නා ඇන්ටික් වීම නිල වශයෙන් මේ වසරේදී ආරම්භ වුණා කියන්න පුළුවන්. 

ඉතින් ඔය මෙලෝ රහක් නැතිව ගෙවිලා ගිය සෙනසුරාදාව රසවත් වෙන්න කියල හවස් වෙලා මම ගිහින් පොඩි කේක් ගෙඩියක් ගෙනාව. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බඩපුරා ඒක කෑවා. අල්ලපු ගෙදර චීනට කෑල්ලක් දෙන්න කියලද ඉතින්. (උදේට දැක්කත් බුම්මන් යන උන් දෙන්නට අපේ ඇනිවසරිය තියා අපි කවුද කියලවත්  කිසිම හැඟීමක්  නෑනේ ) සඳුදා වැඩට යනකොට ගෙනියන්න හිතුවත් ඉරිදා හවස් වෙද්දී ඉතින් 80% ක් විතර ඉවර වෙච්ච හින්ද ඉතිරි 20% ත් අපි දෙන්නම කාල දැම්ම. 

ඊට පස්සේ ඉතින් උයා ගත්ත දෙයක් කාලා ඔය සෙල්ෆි ෆොටෝ ටිකක් අල්ල ගත්තා මතක් වෙන්න කියල. ඕක තමයි ඉතින් කලේ. සිංදුවක් දාගෙන පොඩි නැටුමකුත් නැටුවා හෙහ් හෙහ් 

හැබැයි ඉතින් පුරුද්දක් වශයෙන් සෑම ඇනිවසරියකටම  කොහේ හරි යන පුරුද්ද අපි මේ සැරෙත් මග ඇරියේ නෑ. හැබැයි එකම වෙනස මේ සැරේ ඒ ගමන අපි දෙන්න ඇනිවසරි මාසේ මුලදීම ගිය එක. 

ඒකට හේතුව මේ රස්සාවට උදේ හවස යන එන එකයි, එකම සෙට් එකක් එක්ක එකම ප්‍රොජෙක්ට් එකක් කර කර එක කාමරයක් අස්සේ හිරවෙලා ඉන්න කොට සමහරවෙලාවට පට්ට විදියට එපා වෙනවා. ඉතින් ඔය එපා වීමේ උපරිමයක් ගිය මාසේ මුල හරියේ සෙට් වුණා. ඉතින් මේක හරියන මගුලක් නෙවෙයි අපි දෙන්න කොහේ හරි යමු කියල කාලයක් තිස්සේ පොඩ්ඩක් හොයල බලල මේ අවුරුද්දේ ඇනිවසරියට යන්න හිතාගෙන හිටපු ප්ලේස් එකට ගියා. 

වැඩි විස්තරයක් නෑ ෆොටෝ කෑලි ටිකක් දාන්නම්. 



මුහුදේ හදාපු හෝටලයක්. වෙනසක් තියෙන තැනක් හැබැයි මම හිතන්නේ මාලදිවයිනේ මිට වඩා ලස්සන මේ විදියේ තැන් තියෙනවා. මේකේ බීච් එක ලස්සන නෑ. ටිකක් මඩ වගේ

හැබැයි හෝටලේ තියෙන අනිත් පහසුකම් නම් වරදක් නෑ.

අපි බුක් කලේ ගහේ කඳ මුල හරියේ රූම් එකක්. ඒක අපේ බට්ටි නගාගෙ අති විශිෂ්ට අදහසක් මොකද කිව්වොත් ඔය අතු බෙදිලා තියෙන හරියෙන් රූම් එකක් ගත්තනම් අපිට මුහුදේ විව් එක කවර් වෙනවා.  අතු අග හරියේ තියෙන ඒවා ගණන් වැඩියි. ගොඩාක් ඒවා ෆැමිලි වලට ඉන්න හදපු ලොකු ගෙවල් වගේ. ඉතින් අපි දෙන්න ගත්ත තැනට කිසිම අවුලක් නැතුව හොඳ විව් එකක් ලැබුනා අඩු ගානට.

මේ තියෙන්නේ රූම් එකේ ඉඳන් බලනකොට තිබ්බ විව් එක. ඈතින් පෙන්නේ අර අතු වගේ තිබ්බ කාමර.

මේ තියෙන්නේ අනිත් පැත්තේ විව් එක
හවස් වරුවේ බීච් එකේදී ගත්ත පින්තුරයක් මේක. බීච් එක නම් චාටර්

ටිකක් රෑ වෙනකොට බීච් එකේ මේ වගේ ආතලුත් තියෙනවා
ඊට අනිත් පැත්තේ බීච් එකේ රෑ වෙනකොට මේ වගේ නැටුම් ගැයුම් එහෙමත් තියෙනවා

රූම් අතර එහෙ මෙහෙ යන්න නොමිලේ බයිසිකල් ලබා ගන්න පුළුවන්. ගහේ මුල ඉඳන් අගට යන්න සැහෙන්න දුරක් තියෙනවා. ඉතින් බයිසිකල් කියන්නේ හෙන සිරා වැඩක්

මේ තියෙන්නේ අපි දෙන්නගේ බයිසිකල් දෙක
මිට අමතරව ඉතින් ආබාධිත කෙනෙකුට, වයසක කෙනෙකුට නැත්නම් ඇවිදින්න , බයිසිකල් පදින්න කම්මැලි කෙනෙකුට එහෙ මෙහෙ යන්න මෙන්න මේ අපුරු වාහනේ නිතරම එහෙට මෙහෙට ගහ දිගේ යනවා. කැමති කෙනෙකුට එකේ නැගල යන්න පුළුවන්
උදේ කෑම අපිට කලින් බුක් කරලා ගන්න පුළුවන්, දවල් කෑම, රෑ කෑම කන්න විවිධ වර්ගයේ ආපනශාලා ගොඩක් ගහේ අතු ඔක්කොම එකට එකතු වෙන (පොල් ගෙඩි හැදෙන හරියේ) තියෙනවා.

තමන්ට කැමති දෙයක් කන්නයි තියෙන්නේ සල්ලි දීලා. ඒ රෙස්ටෝරන්ට් එහෙමත් කලින් බුක් කරලා යන්න පුළුවන්

මිට අමතරව ඔය සල්ලි දීලා එහෙ මෙහෙ යන පොඩි පොඩි ටුවර් පැකේජ් එහෙමත් තියෙනවා. අපි නම් ඒ මොකටවත් ගියේ නෑ.


හොඳට මේන්ටේන් කරන හොඳ සේවයක් තියෙන තැනක්. ගොඩක් යුරෝපිය සහ අනෙකුත් සංචාරකයෝ ඇවිල්ල හිටියා. මේ හොටෙල් එක තියෙන්නේ මැලේසියන් Grand Prix රේසින් තියෙන circuit එක කිට්ටුව. ඉතින් අපි ගිය දවසේ තමයි ඔය රේස් එකේ ෆයිනල් එක තිබුනේ. ඒ රේස් එකට ආපු අයත් කීප දෙනෙක් එදා නම් හිටියා. ලබන සැරේ ඔය රේස් එකත් බලන්න යන්න ඕනේ. 


ඕක තමයි ඉතින් විස්තරේ. කවුරු හරි කෙනෙක් හෝටලේට යනවනම් නොමිලේ යන්න ශටල් බස් සේවයක් තියෙනවා. වැඩේ කියන්නේ බට්ටි නගා යන්න කලින්ම කිව්වා ඔය ශටල් එක ගැන හොයන්න පොඩ්ඩක් කියල. මම ඉතින් බක පණ්ඩිතය වගේ අනේ ඕව කියට එයි ද දන්නේ නෑ.. තේරුමක් නෑ අපි ඔන්න ඔය ටැක්සියක් අරන් යමු වගේ හෙන ටෝක්ස් දීලා අන්තිමට රිංගිට් 125ක් රුපියල් 5000ක් විතර ටැක්සියට දීලා තමයි හෝටලේට ගියේ. එනකොට නිකමට වගේ විස්තරේ හොයල බැලුවම හැමදාම දවල් 2 ට හෝටලේ ඉඳන් ක්වාලා ලාම්පුර් නගරයට එන්න නොමිලේ බස් එකක් තියෙනවා.  ඒවගේම යන කෙනෙකුටත් ඔය Petronas  Twin Towers දෙක ළඟින් ඒ බස් එකට නගින්න පුළුවන් (මම හිතන්නේ හොටෙල් එකේ රිසවේෂන් එකක් තියෙන්න ඕනේ බස් එකට නගින්න නම්). 

අපි දෙන්න ඉතින් හවස ඒ බස් එකේ ඇවිල්ල එතනින්ම කෝච්චියට නැගල අන්තිමට ගෙදරට ආවා මුළු වියදම රිංගිට් 17ක් ද කොහෙද හෙහ් හෙහ් ඒ කියන්නේ රුපියල් 750-800ක් වගේ. ගෙදර උන්දෑ කියන දේ අහන්න පුරුදු වෙන්න ඕනේ කියල පුරාණ සෘෂි වරු කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි.

ඇනිවසරිය පහු වෙලා මාසයක් විතර ගිහිල්ලත්, ට්‍රිප් එක ගිහිල්ල මාස 2ක් විතර ගිහිල්ලත් මේ වගේ පොඩි සටහනක් ලියා ගන්න තිබ්බ කම්මැලි කම යාන්තම් හරි අඩු වුනේ මේ අද තමයි. (ඔෆිස් එකේ චීන අයියල ටික නැති වීමත් එක හේතුවක්)

ඉතින් මේ ගෙවිච්ච අවුරුදු 4 හරි ජොලියෙන් ගෙවිලා ගියේ. බට්ටි නගා ඉතින් අර ඔතාගෙන ආපු කෙනාම තමයි. එකේ ආයේ දෙකක් නෑ.

මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


සඳගිරි පව්වේ පෙරදා සංසාරේ,
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ,
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ,


මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


කල්ප කාල යුග අප අතරින් ගෙවිලා,
අපි යමු මේ රෑ අනාගතය සොයලා,
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,


මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සිංදුව කොපි කලේ මේ අවුරුද්දේ 20 වෙනි ඇනිවසරිය සමරපු රවී අයියාගේ මේ සටහනෙන්

මේ සිංදුව ටිකක් විතර වයසට ගිය (රවී අයියල වගේ :D) අයට වඩා ගැලපුනාට වයසට යෑම ආරම්භ කරපු අපි දෙන්නටත් 100%ක්ම ගැලපෙනවා

Tuesday, May 19, 2015

දෙකක් නැත.

ඔවුන් විරයෝය.
එහි දෙකක් නැත.
නමුත්
පරාජිතයෝද මනුෂ්‍යයෝය.
එහිද දෙකක් නැත.

සිංහල දුක
දමිල දුක
කියා ද
දෙකක් නැත



සිංහල දුක තුනී වන්නේ යම් සේද
දමිල දුක තුනී වන්නේ ද එසේමය
එහිද දෙකක් නැත.