Thursday, June 19, 2014

චූටි එකා,පොඩි එකා ලොකු එකා සහ වෙද බාප්පා සමග

චූටි එකා හොඳ එකා සද්ද බද්ද නෑ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ලොකු එකත් අවුලක් නෑ ඌත් වැඩි සද්දයක් නෑ.. චූටි එකාටයි ලොකු එකාටයි දෙන්නටම හරි යන්න ඉන්නවා පොඩි එකා.. මොන නැකතක උපන් එකෙක් ද මන්ද හන්දියේ ලවුස් පීකරේ බැන්ද වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් කෑ ගහනව කෑ ගහනවා ඉවරයක් නෑ..

වෙද බාප්පා ගේ වැඩ ඔක්කොම හීන් නුලෙන් තමයි. සද්දෙට වැඩ නෑ හැබැයි ඉතින් කරන මෙලෝ මගුලක් අපි දන්නෙත් නෑ.

තුන් දෙනාගේ සයිස් එකත් නමටම හරි යනවා. චූටි එකාට මොන්ටිසෝරි ලුක් එකක් තියෙන්නේ. අඩි 4ක් විතර උස ඇති. ඈතට දකින කොට ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ. ලොකු එකා සයිස් එකෙන් ලොකුයි. චීන ඌරු ටයිප් එක. හදිස්සියකට කිලෝ 2ක් 3ක් කපා ගන්න ඇඟේ මස් තියෙනවා. පොඩි එකා නමටම හරි යන්න අරුන් දෙන්නගේ මැද සයිස් එක. කෙට්ටු පැත්තට වැඩියි චූටි එකාට වඩා උස පොඩ්ඩක් වැඩියි.

අපරාදේ කියන්න බෑ 3 දෙනාම ඇවිදිනකොට වයින් කරපු රොබෝල වගේ තමයි.

පුදුමේ කියන්නේ මුන් තුන් දෙනාගේ වයස ගත්තම චූටි එකා ඔක්කොටම වඩා වයසින් වැඩියි. හරියට අර බෙන්ජමින් බට්න්ගේ සීන් එක වගේ. ලොකු එකා තමයි වයසින් බාලයා. පොඩි එකා මැද.

මුන් 3න් දෙනත් එක්ක සමාගමට වැටිලා දැන් අවුරුද්දක් වුණා. ලොකු එකා බැඳලා බබෙක් ඉන්නවා (ඒක දැන ගත්තෙත් ඌ පිතෘ නිවාඩු ගත්ත නිසා). අනිත් උන් දෙන්නා ගැන ඉතින් දන්නේ අපේ හිතළු තමයි. ෂුවර් එකට බැඳලා නම් ඇති.

වැඩ අතින්  ගත්තම ලොකු එකා සද්ද බද්ද නෑ වැඩ. චූටි එකත් වැඩ කරු හැබැයි වැඩි කතා නෑ. ඉඳල හිටලා පොඩි එකත් එක්ක වලි වලට පැටලෙනවා විතරයි (අන්තිමට ඌම සද්දේ වහ ගන්නවා ඉතින් ). අපරාදේ කියන්න බෑ මැනින් මාර්කට් එකට පොළ දවසේ ගියා වගේ පොඩි එකා ආපු ගමන් හතර වටේ දෙදරන්න සද්දේ. ඒ කියන්නේ ඌට තියෙන්නේ ඉන්බිල්ට් ආපු අවුලක්. වොලියුම් කොන්ට්‍රෝල් එක අඩුම කලත් සද්දේ වැඩියි. හරියට බාල චයිනිස් ගැජට් එකක් වගේ. පොඩි එකාගෙත් වැඩ හොඳයි. ඒ කියන්නේ හොඳින් හරි නරකින් හරි ඌට ඕනේ වැඩේ කරගන්න දන්නවා. අනිත් එක බාගෙට වැඩ නෑ. (ඉඳල හිටලා ඇන ගත්තට ගානට සද්දේ දාල බැලන්ස් කරන්න ඌ දන්නවා)

පොඩි එකා නැති දාට පන්සල වගේ තියෙන තැන ඌ ආපු ගමන් මාළු මාකට් එක වගේ.

වෙද බාප්පාගේ කටයුතු ලොකු එකා එක්ක විතරයි.  බාප්පට  අපි ගැන වගක් නෑ.. (වගක් නැතුව වගේ හිටියට ඔක්කොම නිවුස් ටික පොරගේ ඇන්ටෙනාවට වදිනවා)

මුන් 3න් දෙනයි තව නිකන් පතෝල වගේ (ඒ කියන්නේ ගුණත් නෑ අගුනත් නෑ වගේ/ හිටියත් නෑ වගේ) මැලේ ඩයල් එකකුයි එක්ක අපි 4 දෙනා දැන් අවුරුද්දක් ගෙව්වා. සංසාරේ කියල හිතෙනවා අප්පා. අන්තිමට කරලා තියෙන්නේ චීන ආතල් බල බල හිටපු එක විතරයි වගේ තමයි.

කොච්චර සද්දේ දැම්මත් පොඩි එකත් එක්ක වැඩ කරන එකෙන් අපිට සැහෙන දේවල ඉගෙන ගන්න පුළුවන්. උන් මේ ටෙක්නිකල් අන්සෙන් සෑහෙන්න කරුණු කාරණා දන්නවා. ඒ වගේම උන් කම්මැලි නැතුව පොත පත කියවල විස්තර හොයනවා. දෙයක් හරි විදියට එහෙම නැත්නම් කරන්න පුළුවන් හරිම විදියට හෝ පුළුවන් තරම් ඒ ආසන්නයෙන් යන විදියට කරන්න උන් හැමවෙලේම දඟලනවා. ඒක හෙන වටිනවා ඉතින්.

හරි ඉතින් මෙච්චර වෙලා මොකක් ද මේ මු කියන්නේ කියල කාට හරි තේරෙන්නේ නැත්නම් මම මේ කියන්නේ මේ මැලේ රටේ අපිත් එක්ක ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන චයිනිස් සෙට් එක ගැන ගුණ වර්ණනාවක්.

මම ඔය කලින් ලියපු පෝස්ට් එකක ලිව්වනේ අපි කට්ටිය වැඩ කරන්නේ මේසයක් වටේ ඉඳගෙන කියල. ඒ කියන්නේ චීන්නු ටික එක පැත්තක අපි ටික අනිත් පැත්තේ. කෙල්ලෝ ටික දැන් නෑ. තාම ඉතින් ඒ මේසේ වටේ තමයි දවස ගෙවෙන්නේ. අපි හිතුවේ මාසෙන් දෙකෙන් වැඩේ ඉවර වෙලා ටිකක් පිළිවෙලකට ඉන්න ආපහු ඔපිසියට යන්න පුළුවන් වෙයි කියල. මොන සමයං ද මෙයා. මෙහෙ ඉන්නකම් ඉතින් මේ වටමේසේ තමයි. ප්‍රොජෙක්ට් එකේ දෙවෙනි අදියරත් දැන් පටන් අරන් තියෙන්නේ..

ඔය මේසේ වටේ ඉඳන් අපි 4 දෙනාට මුන් ගැන  කතා කරන්න දා ගත්ත ෂෝට් නම් ටික තමයි ඔය චූටි මල්ලි, පොඩි මල්ලි, ලොකු අයියා සහ දොස්තර බාප්පා. පස්සේ පස්සේ අයියා මල්ලි කෑලි හැලිලා "අද පොඩි එකා නෑ වගේ නේද? චූටි එකා නම් ඔය ඉන්නේ.. බාප්පා ඇවිල්ලද? " ආදී වශයෙන් තව දුරටත් කෙටි වුණේ. දොස්තර බාප්පා කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ටර්. කොම්පනියේත් තද පොරක් ඒ කියන්නේ ප්‍රින්සිපල් රිසර්චර් කියන පට්ටම තමයි පොරට තියෙන්නේ. 

දොස්තර බාප්පා කියල ගරු නම්බු දීල මුලින් කතා කලාට දැන් වෙනකොට ඒක වෙදා වෙලා. 

මර්වින් සිල්වාට වගේ නැතුව වැඩ පෙන්නලා ගත්ත දොස්තර පට්ටමක් තමයි වෙදාට තියෙන්නේ.. කනින් කොනින් ආරංචි වෙන විදියට පොරගේ නමට පේටන්ට් බලපත්‍රම 60ක් විතර තියෙනවලු. අපේ ඔය කොම්පැනිය තනිකරම කරන්නේ මේ රටට අනාගතේදී ඕනේ වෙයි කියල හිතෙන තාක්ෂණික දේවල් ගැන එක එක පරීක්ෂණ කරලා පුළුවන් තරම් පේටන්ට් අයිතිය ගන්න එක. ඉතින් මෙහෙ අලුත් විදියකට  චූ කලත් නිකන් පේටන්ට් එකක් ගන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ

ලොකු එකත් නොකර සද්ද වගේ හිටියට ටිකක් සැර ඩයල් එකක් ද කොහෙද. අවංකවම කියන්න අපි මුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒ තරමට මුන් ටික අපිත් එක්ක තියෙන අන්තර් පුද්ගල සම්බන්ධතාවය පට්ට හොඳයි. උදේට එනවා හවසට යනවා. වැඩ ගැන කතා කරනවා. එච්චරයි. 

එක්කෝ අපිට අවුල් අවුරුද්දක් එකට හිටපු උන් ගැන මෙලෝ පුද්ගලික දෙයක් දන්නේ නැති වෙන්න. නැත්නම් මුන් හෙන මන්ද ජාතියක් මනුස්සයෙක් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න දන්නේ නැති.

අපරාදේ කියන්න බෑ ඔය එහෙට මෙහෙට යනකොට මගදී හම්බ වුනත් හායි, බායි විතරයි. අපි සෙට් වෙලා කතා කරන්න හිතනකොට මුන් ගිහිල්ලත් ඉවරයි. දැන් වෙනකොට අපිත් නිකන් රෝබෝකරණය වෙලා තියෙන්නේ. මුන් එක්කම ඉඳල.

අපි හතර දෙනාට තියෙන එකම ආතල් එක තමයි මුණ බලාගෙන මුන්ට ඕනේ තරම් සිංහලෙන් බනින්න පුළුවන් කම. හිනා වෙලා වැදගත් විදියට ඕනේ එකක් කියන්න පුළුවන්. 

අනිත් අතට මුන් ටිකත් අපි කට්ටියට ෂුවර් එකටම මොනවා හරි නම් ටිකක් දාගෙන ඇති චීන ක්‍රමේට. උදාහරණයක් විදියට මටයි බට්ටි නංගිටයි, අර බඩයි උගේ ගෑනියි වගේ...

කොහොම වුනත් මුන්ට අපේ නම් හරියට කියා ගන්න බෑ. මට කියන්නේ පාතුම් කියල, එතකොට බට්ටි නගාට යෝයා, රෝහිතයට කියන්නේ රෝහිතා කියල.. හෙහ් හෙහ් වෙලාවක අපි ඉන්නේ "ඒයි පොඩි එකෝ "තා" නහි "ත ත" කියන්න. අර අමිතා බච්චන් කියනවා වගේ

හැමෝටම කියන පොදු දෙයක් ඇර අනිත් ඔක්කොම චීන බාසාවෙන් තමා කතාව. චක,නක,බක,ජක, චෑන් චින්, චූන්, පචාන්  වගේ සද්ද තමයි ඉතින් අපිට ඇහෙන්නේ... මොනවා කියනවද කියල ඉතින් චින්නුම තමයි දන්නේ.

කොහොම වුනත් දැන් අපිත් මේ ජිවිතේට පුරුදු වෙලා. මේසයක් වටේ ඉඳන් අහසට පොලොව වගේ ගති ගුණ හැඩරුව තියෙන මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්. ඒ සහයෝගේ තියෙන්නේ ඉතින් උන්ගේ විදියට අපි වැඩ කරන නිසා... මේ වෙනකොට දැනිච්ච විදියට නම් මුන් අඩුම තරමේ ඔය අපිට කපන කොටන වැඩ නම් කරන්නේ නෑ. උන්ට ඕනේ අපිවත් දියුණු කරලා උන්ගේ වැඩෙත් කරගන්න. කොහොම වුනත් උන් උන්ගේ වැඩේ කරගන්නවා.

කොච්චර උනත් මුන් තුන්දෙනා මේ ප්‍රොජෙක්ට් එකේ සැහෙන බරක් අදිනවා. ඒ කියන්නේ අවංකවම මහන්සි වෙලා වැඩ කරනවා. අපිට බැරි දෙයක් වුනත් "කම් කම් කම්" කියල ළඟට කතා කරලා අපි මොනවා හරි කිව්වම "යූ ලිස්න් ෆස්ට්" කියල සද්දේ දාල කියල දෙනවා.  අපි මොනවා කලත් සද්දේ නිසා හැමෝම දන්නවා අපි වැඩක් කරනවා ඇති කියල.. 

අනිත් වැදගත් ම සීන් එක තමයි මුන් දුවන්නේ සිගරට් දුමේ පවර් එකෙන්. චූටි එකා නම් විටමින් කූරු පාවිච්චියක් නෑ.. ලොකු එකයි, පොඩි එකයි, වෙදයි තනිකර දුවන්නේ දුම්කොළ බලෙන්. සෑම පැයකට වරක් දුමක් අදිනවාමයි.  ඒ අතරේ කෝඩ් අවුලක් හරි, ඩිසයින් අවුලක් හරි, මොකක් හරි ටෙක්නිකල්  ප්‍රශ්නයක් ආපු ගමන් එලියට ගිහින් දුමක් ඇදල එනවා. ගොඩක් වෙලාවට ආපහු එනකොට ප්‍රශ්නේ ගොඩ දාගෙන තමයි එන්නේ. මම හිතන්නේ මුන් හැදිලා තියෙන්නේ නිකොටින් වලට ලේ පොඩ්ඩක් මිශ්‍ර වෙලාද කොහෙද.


ඔය මදැයි ඉතින් මඩ ගැහුවා. මේ නිකන් ඉන්නවට ඔය ඉහත කියපු අයියලා තුන් දෙනාගේ මුණ බල බල ඉන්න ගමන් ලියල දාපු සටහනක්.. උන් හිතන්නේ මම මේ හෙන කෝඩ් එකක් ලියනවා ඇති කියල වෙන්න ඇති.. හෙහ් හෙහ් හෙහ්... 

හරි ඉතින් මඩ ගැසීම අවසානයි. අපේ චූටි මල්ලියටයි, පොඩි මල්ලියටයි,ලොකු අයියටයි, වෙද බාප්පටයි, පතෝල වගේ හිටියට හිත හොඳ මැලේ බුවාටයි චීන දේවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි.  



Tuesday, June 03, 2014

දුක සහ අපි

අපි අතර ඉන්නවා දුක දකින මිනිස්සු
දුක ගැන කතා කරන මිනිස්සු
දුක් විඳින මිනිස්සු
සැප විඳින මිනිස්සු
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු
දුක සැප යන දෙකම විඳින මිනිස්සු
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු

ඔය මිනිස්සුන්ගේ හරි මිනිස්සු කවුද?

දුක දකින මිනිස්සු දැකල කම්පා වෙලා සිහියෙන් ජිවිතේ ගෙවනවා. ඔවුන් දුකට බයයි. දුකක් වෙනවට කැමති නෑ.. තමන්ට දුකක් වෙන එක වළක්වාගෙන කොහොම හරි ජිවත් වෙන්න බලනවා. නමුත් ඒක කවදාවත් වළක්වන්න බැරි බවත් ඔවුන් දන්නවා

දුක ගැන කතා කරන මිනිස්සු දුක ගැන කතා කර කර ඉන්නවා ඔවුන් දුක දකින්නේ නෑ
ඔවුන් අනුන්ට දුක ගැන කියල දෙනවා නමුත්  තමුන්ට දුකක් වුනාම අනුන්ට දුන් උපදෙස් ඔවුන්ට මතක නෑ..

දුක් විඳින මිනිස්සු ජිවත් වෙන්න අවශ්‍ය මුලික දේ වෙනුවෙන් දුක් විඳිනවා. සමහර විට අවශ්‍යය මුලික දේවල් තිබිලත් දුක් විඳින මිනිස්සු ඉන්නවා. හිත ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගිහින් දුක් විඳින මිනිස්සු ඕනේ තරම් ඉන්නවා

සැප විඳින මිනිස්සු ඔවුන්ගේ ජිවිත හැම විටම සැපවත්ව ගෙවෙනවා. අවශ්‍යය මුලික දේ බොහොම පහසුවෙන් ලැබෙනවා. හිත ඉල්ලන දේවලුත් ලැබෙනවා. නමුත් ඔවුන් තවමත් නොලැබුන දේ වෙනුවෙන් දුක් වෙනවා.

සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු සැප වින්දට එක විඳින්න දන්නේ නෑ. තමන් විඳින සැප දුකක් කිය කියා තියෙන සැප විඳින්නෙ නෑ.. ඔවුන් දුක හරියට දන්නෙත් නෑ.. සැප හරියට දන්නෙත් නෑ..

සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු දුක ගැන කතා කරන මිනිස්සු වගේම තමයි ඔවුන් තමන්ට සැප ලැබෙන කොට හොඳට එක විඳලා අනුන්ගේ සැපේ දී සැප කියන්නෙත් දුකක් බව කිය කිය ඉන්නවා.

දුක සැප යන දෙකම විඳින මිනිස්සු ගෙවන ජීවිතය තුල ඔවුන්ට ලැබෙන දුකත් ලැබෙන සැපත් එකසේ විඳිමින් ජිවත් වෙනවා. ඔවුන් දුකින් කම්පා වෙමින් සැපෙන් සතුටු වෙමින් ජිවත් වෙනවා. අනුන්ගේ දුකේදීත් අනුන්ගේ සැපේදීත් ඔවුන් එක වගෙයි.

දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු දුක් විඳිනවා සේ සමාජයට පෙනෙනුද ඔවුන් දුක් විඳින්නේ නෑ.. ඔවුන් සැප විඳිනවා සේ සමාජයට පෙනුනද ඔවුන් සැප විඳින්නෙත් නෑ... ඔවුන් ට දුකත් දැනෙනවා සැපත් දැනෙනවා නමුත් ඔවුන් ඒ දෙකම විඳින්නේ නෑ...

මේ දුක සැප කියන්නේ ඇත්තටම තියෙන දෙයක් ද නැත්නම් අපි හදා ගත්ත දෙයක් ද?

දුක දකින මිනිස්සු කියයි මේ මුළු ජිවිතයම දුකක් ඔබ ඒක දකින්න කියල
දුක ගැන කතා කරන මිනිස්සු හැමතැනම තියෙන දුක ඔබට පෙන්නයි.
දුක් විඳින මිනිස්සු තමන් විඳින දුක් ගැන ඔබට කියමින් වැළපෙයි.
සැප විඳින මිනිස්සු ඔවුන් විඳින සැප ගැන කියයි. ඔවුන්ට නැති දේ ගැන දුක කියයි
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු ඔබට ඔබ විඳින සැපෙහි ඇති දුක පෙන්නයි.
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු හර බර දේශනා වලින් ඔබට උපදෙස් දෙයි
දුක සැප යන දෙකම විඳින මිනිස්සු ඔබ සමග හැමදාම ඉඳියි දුකේදීත් සැපේදීත්...
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු ඔබෙන් අසයි මොකක් ද සැප කියන්නේ? මොකක් ද දුක කියන්නේ?

කාලෙකට පස්සේ අපබ්‍රන්සයක් ලිව්වා.. හෙහ් හෙහ් හරි ජොලි