Wednesday, November 13, 2019

බයිසිකල් මතක


          අප කුඩා කල අප හට තිබුණු එකම සහ ලොකුම වාහනය බයිසිකලයයි.  තාත්තා සෝමපාල මාමා සමග මේසන් වැඩට ගියේ බයිසිකලයෙනි. තාත්තා ගියේ අත් උදව් වැඩටය. තාත්තාගේ යාළුවන් සෙට් එකටම බයිසිකල් තිබුණු නමුත් ගාමිණි මාමා සයිකල් පදින්න පුරුදු වුයේ බොහෝ පසු කාලයේය. මාව මොන්ටිසෝරියටත්, අක්කාව ඉස්කොලෙටත් බයිසිකලේ ගිහින් ඇරලවන තාත්තා ඉන්පසුව අම්මාට බස් එක ගැනීමට බෝගහ මුල හන්දියට ඇයව බයිසිකලයෙන් රැගෙන ගොස් ඒ ගමන් ම වැඩ කරන තැනට යයි.

මම මොන්ටිසෝරි යන විට එක්කෝ බයිසිකලයේ මැද පොල්ලට කොට්ටයක් තබාගෙන කකුල් දෙක දෙපසට දමා වාඩි වී ගියෙමි. නැත්නම් සමහර දිනවල පැත්තට ඉදගෙන යන දවස් ද තිබුණි. මේ කොහොම ගියත් සමහර දිනවල මගේ එක කකුලක් ඉස්සරහ රෝදය අස්සට යෑම සිදුවිණි. වම් කකුලේ වළලු කර අසල ඇති ඇටය උඩින් තුවාල කැළැල ඇත්තේ එසේ පැත්තට වාඩි යන විට වම් කකුල දිගට එල්ලෙන නිසාය. දකුණ කකුල එසේ රෝදයට අසූ වුවාදැයි මතක නැත්තේ එහි එවැනි කැළලක් නැති බැවිනි. අතිශය වේදනාකාරී වැඩක් වූ මෙම කකුල රෝදයට අසුවීම කිහිප විටක්ම සිදුවූ බව මට හොඳට මතකය. අඬ අඬ ප්‍රනාන්දු දොස්තර මහතාගේ දිස්පැන්සරියට ගොස් බෙහෙත් දමාගෙන ගෙදර ඒම බොහෝ විට සිදු විය. එවැනි බොහෝ දිනවල  තාත්තා ගෙදර සිටි නමුත් තාත්තාට වැඩට යාමට සිදුවූ දිනවල මාව ලොකු අම්මලාගේ ගෙදර නතර කර යෑම සිදු විය. එසේ තාත්තා මාව දමා යන දිනවල කෑ ගසා හඩමින් තාත්තාගේ අතේ එල්ලී සිටීම මට දැනුදු මැවී පෙනෙයි. කුමක් හෝ හේතුවකට තාත්තාට මාව මොන්ටිසෝරියට රැගෙන යාමට නොහැකි කමක් තිබුනොත් අම්මාගේ නංගි වූ රත්නේ පුංචි මාව මොන්ටිසෝරි එක්කන් යයි. මගේ මොන්ටිසෝරිය වුයේ සපුගස්කන්දේ පිහිටි යොෂිඩා ළදරු පාසල වූ අතර ගෙදරින් කිලෝමීටර් 7-8ක දුරක් යාමට සිදු වූ නිසා මොන්ටිසෝරි යාම යනු එදවස හැටියට මට නම් විනෝද ජනක වැඩකි. අදටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ගද දැනෙන විට මේ සියලු දේ මතකයට නැගේ. 

එකල බියගම වෙළද කලාපය සහ ඒ අවට මාර්ග දියණු කරමින් පැවති අතර සපුගස්කන්ද සිට වෙළඳ කලාපය දක්වා මාර්ගයේ වැඩ සිදු කරන හැටි බලමින් බයිසිකලයේ යාම ඉතාමත් ප්‍රිය ජනක වැඩක් විය. යොෂිඩා ළදරු පාසැල ජපන් ආදාර වලින් සදා දුන් එකක් වූ අතර වරක් එකල ජනාධිපති වරයා වූ ප්‍රේමදාස මහතාගේ ආර්යාව කුමක් හෝ උත්සවයකට එහි පැමිණි ආකාරයත් ඇය පිළිගැනීමට ජපන් සහ ශ්‍රී ලංකා කොඩි වනමින් අප සිටි හැටිත් මතක් වේ. ප්‍රේමදාස ආර්යාව මගේ මුහුණ අතගාන චායාරුපයක් තිබුණු අතර අවාසනාවට දැන් එය විනාස වී හෝ නැති වී ඇත. බැරි වෙලා හෝ හෙට අනිද්දාට ප්‍රේමදාස පුතානෝ ජනාධිපති වුවහොත් ඒ පොටෝව පෙන්වා මට වාසියක් ගැනීමට තිබ්බ අවස්ථාව එසේ මග හරි ගොස් ඇත.

ලොකු අම්මලාගේ ගෙදර යාමට මා ප්‍රිය කල කාරනා දෙකක් විය. එකක් නංගි එහි සිටීම සහ නංගි සමග සෙල්ලම් කිරීමේ අවස්තාව ලැබීමයි. අනෙක ලොකු අම්මලාගේ ගෙදර තිබුණු චොපර් එක පැදීමට හැකිවීමයි. නංගි හම්බ වුනු විගසම වාගේ අම්මාට රැකියාවට යාමට සිදුවූ නිසාවෙන් අම්මා නංගිව ලොකු අම්මාට හදා ගන්නට දී තිබිණි. මම ඉපදුනේ හපුතලේය. ඊට වසර දෙකකට පසු නංගි ඉපදුනේ කොළඹදීය. බියගම පදිංචියට අම්මා සහ තාත්තා පැමිණෙන්නේ මේ අතර කාලයේදීය. අම්මා කියන ලෙස යන්තම් මැටි ගඩොල් (නොපිලිස්සු ගල්) වලින් හදා ගත් පුංචි ගෙදරක පදිංචියට ආ ඔවුනට නංගි හම්බවෙන කාලයේදී තරමක් ආර්ථික වශයෙන් ස්ථාවර ව සිටි ලොකු අම්මාට නංගිව දීම හැර වෙන විකල්පයක් තිබී නැත. ලොකු අම්මලාගේ ගෙදර අපේ ගෙදර සිට කිලෝමීටර් 4-5ක්  දුරින් පිහිටි නිසා මුලින් මුලින් නංගිව එහි  තබා ගොස් ඇතත් පසුව දෙගොල්ලන්ගේම කැමැත්තෙන් නංගි ලොකු අම්මලාගේ ගෙදර හැදී වැඩුනේය. නංගි තාත්තා නැති වෙන තෙක්ම තාත්තාට කිව්වේ බාප්පා කියාය. අම්මා ඇයට සුදු අම්මා වූ අතර අක්කා සහ මම බාප්පලෑ අක්කා සහ අයියා විය. මෙයට හේතුව අපේ තාත්තා සහ තාත්තාගේ අයියා විවාහ වී තිබුනේ අම්මා සහ අම්මාගේ අක්කා සමග වීම නිසාය. ඉතින් එකම පවුලක් වීම නිසා කාටවත් එහි ගැටලුවක් තිබුනේ නැත.

ලොකු තාත්තා වරායේ කම්කරුවෙකු ලෙස වැඩ කළේය. ලොකු තාත්තාට ද බයිසිකලයක් තිබිණි. ඉස්සර ලොකු තාත්තා අපේ ගෙදර විත් ආපසු යනවිට බයිසිකලයට නැගීමට පෙර ආපසු හැරී ටටා කියයි. මෙය අප පොඩි කාලයේ සිට ඉතා මෑතක් වන තුරුම සිදු වූ දෙයකි. අපද කොහේ සිටියත් ලොකු තාත්තාට ටටා කියන්නට දුවගෙන ආවෙමු. දැන් ලොකු තාත්තාට ඇවිද ගැනීමට අපහසුවෙන් සිටියද බලන්න ගොස් එන විට අත වනා ඒම ඉබේටම මෙන් සිදුවෙයි. වෙන කිසිදු වැඩිහිටියෙකුගෙන් සමු ගැනීමේදී මෙසේ අතවනන පුරුද්දක් නැත. 

තාත්තාගේ බයිසිකලය අනිත් බයිසිකල් වලට වඩා වෙනස් ය. තාත්තාට වෙනත් බයිසිකල් පැදීමට හැකියාවක් තිබුණු නමුත් කවදාවත් එසේ පැද්දේ නැත. තාත්තාගේ අතේ ඇඟිලි හතරක් තිබුනේ නැත. තිබුනේ මහපට ඇඟිල්ල පමණි. ඉතිරි සියල්ල උගස් අඹරන මැෂිමකට අසුවීමෙන් කැපී ගොස් ඇත. ඒ මා ඉපදෙන්නට පෙර හපුතලේ සහ පැල්වත්ත සිටියදී සිදුවුණු අනතුරක ප්‍රතිඵලය. අපේ තාත්තා සහ තාත්තාගේ වීරක්‍රියා ගැන තව බොහෝ දේ ලිවීමට ඇති නිසා මේ සිද්දිය ගැන වැඩි යමක් පසුවට ලියමි. තාත්තා ගෙදර ඉවීමේ සිට වෙන ඕනෙම වැඩක් කිසිදු බාදාවකින් තොරව කිරීමට පුරුදු වී සිටියේය. ඔහුට පහසු විදියට සියලු දේ සකස් කර ගත්තේය. බයිසිකලය ද  ඒ ආකාරයෙන් හදා ගත්තේ සාමාන්‍ය බයිසිකල් වල ඉස්සරහ බ්‍රේක්, දකුණු අතටත් පසුපස බ්රේක් වම් අතටත් තිබීම නිසාය. අපේ ගෙදර පිහිටියේ කඳු පල්ලම් කිහිපයක් නැග බැස ඒමට සිදුවූ දුරක නිසා බයිසිකලයේ බ්‍රේක් ඉතා වැදගත් විය. තාත්තාට පහසුවෙන් බ්‍රේක් ඇල්ලීමට මේ ඉස්සරහ සහ පසු පස බ්‍රේක් මාරු කර බයිසිකලය මොඩිෆයි කර තිබුනේය. මෙය නොදැන බයිසිකලය අරන් ගිය අය පල්ලමේ බ්‍රේක් ගසා හොම්බෙන් යාම අනුනමයෙන් බේරුණු අවස්තා බොහෝ තිබුනේය. තාත්තා බයිසිකලය කාට දුන්නත් මේ බව පවසා දෙයි. නමුත් මේ වෙනස නිසා තාත්තාගේ බයිසිකලය ගමේ කා අතරත් විශේෂ විය. තාත්තාගේ අත නිසා තාත්තාත් විශේෂ කෙනෙක් යැයි ඒ දවස් වල මට සිතුණි.

ඉස්සර අපි හතර දෙනාම යනවිට අම්මා පිටිපස ලගිජියේ වාඩිවන අතර අක්කා සහ මම ඉස්සරහ පොල්ලේ වාඩිවෙයි. හතර දෙනා සමග ලොකු අම්මලෑ ගෙදර යන්නේ එසේය. නමුත් තාත්තාට මෙය ඉතා වෙහෙසකර වැඩක් වූ නිසා පසුව එක්කෝ අක්කා සහ අම්මා බස් එකේ හෝ පයින් ආවේය. තාත්තා දෙපාරකට අපව එක්කන් ගියේය.

බයිසිකලයේ ඩයිනමෝව මා හට තිබුණු ඉතා වැදගත් සෙල්ලම් බාන්ඩයක් විය. පොඩ්ඩක් ලොකු වෙනකොට වයර් කෑලි දෙකක් අමුණා ඩයිනමෝව කරකවමින්  බල්බයක් පත්තු කර ගැනීමට මම ඉගෙන ගත්තේය. නිතර රෝදයේ  ස්පෝක් වලට කකුල අසුවීම නිසා ඒ දවස් වල මට ස්පෝක් යනු භයානක දෙයක් විය. ලොකු අම්මලාගේ ගෙදර තිබූ චොපර් එක මාගේ සිහින බයිසිකලය විය. නමුත් එය පැදීමට තරම් හැකියාවක් එකල නොවීය. බොහෝ විට කලේ  නංගී සමග අමාරුවෙන් එහෙට මෙහෙට තල්ලු කිරීම, ලයිට් පත්තු වෙන හැටි බැලීමය. නමුත් පසුව පැදීමට තරම් ලොකු වූ විට ලොකු අම්මලෑ  ගෙදර යෑම යනු චොපර් පැදීම විය. කෙසේ හෝ මට ම කියා බයිසිකලයක් හිමි වූයේ මා සා.පෙ කල පසුවය. එතෙක් තාත්තාගේ බයිසිකලයෙන් සැනසෙන්නට සිදුවිය. අඩුම තරමේ පොඩි ට්‍රයිසිකලයක්වත් තිබුනේ නැත. තාත්තාගේ සයිකලය පොල්ලේ යටින් පැදීමට යන්තම් කකුල් දෙක දමාගැනීමට උස ඇති වූ කාලයේ සිටම ඉගෙන ගෙන ගමේ කොල්ලන් සමග රවුම් ගැසීම පටන් ගත්තේය. සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා  සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් කාලින ගැන්සියේ විය. ලොකු දොඩ්ඩා අපේ අක්කාගේ වයසේ වූ අතර චමින්ද සහ සුගත් ඊට අවුරුදු කිහිපයක් බාල විය. සුදුවා සහ මම එක පන්තියේ වූ අතර ලෙඩා සහ බඩා යනු නිවුන් දෙදෙනෙකි. උන් දෙන්නා සහ බර්ටි හෙවත් බොට්ටා අපිට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් විය. අපේ ගෙදර සිට පොඩි බෑවුමක්  නැග මීටර් 50-60ක් ගිය තැන සුදුලෑ ගේ තිබුණු අතර සුග්ගා හෙවත් සුගත්ලෑ ගෙදර තිබුනේ ඊට පොඩ්ඩක් එහායිනි. බොට්ටා, චමින්ද සහ ලොකු දොඩ්ඩා එක පවුලේ සහෝදරයන් විය. උන්ගේ ගෙවල් තිබුනේ තවත් මීටර් 200-300ක් එහාට වන්නටය. ලෙඩා සහ බඩා ගේ  ගෙවල් තිබුනේ තවත් ටිකක් එහාට වන්නටය. 

තාත්තාගේ බයිසිකලය පොල්ලේ යටින් දමා කන්ද පැදීමට නොහැකි නිසා බොහෝ විට කන්ද තල්ලු කර සුදුලෑ ගේ කිට්ටුවෙද්දී නැග කෙලින්ම යන්නේ  සුගත්ලාගේ ගෙදරටය. සුදුවා එහෙට එයි. සුගත් අපට වඩා වසර 3-4ක් වැඩිමල් නිසා ඌ අයියා වුවද කවදාවත් අයියා කියා කතා කලේ නැත. නමුත් ඌ අපේ ලොක්කා විය. සුගත් කියන්නේ මොකක්ද සුදුවා සහ මම ඒකට එක පයින්ය. සුගත්ලාට තිබුනේ පොල් අතු සෙවිලි කල ගෙයකි. සුදුලෑ ගේ සෙමෙන්ති ගෙයක් විය. උන් ටික මතක් වෙද්දී බයිසිකල් මතක හැර තව බොහෝ දේ මතක් වුනත් මේක බයිසිකල් වලින් ඉවර කර ඉතිරි මතක පසුවට ලියමි. තාත්තා ගෙදර සිටි හැමවෙලේම බයිසිකලය මට හිමි විය. කොහේ හරි යන්නට ඕනෑ වූ විට තාත්තා ගෙදර සිටි කතා කරනවා වෙනුවට හෙමින් සැරේ සුගත්ලාගේ ගෙදරට එයි. එතනින් බයිසිකලය ගෙන සුගත්ලාට, ඉස්සරහ ගෙදර පොඩි අක්කලාට හෝ ඔය අවට සිටින කාට හෝ ගෙනත් දීමට දේවල් ඇත්දැයි අසා කඩේ ගොස් ගෙනත් දීම තාත්තාගේ ප්‍රියතම වැඩකි. බොහෝ විට හවස 5-5.30 වෙද්දී අම්මාව එක්කන් එන්නට පාරට යන ගමන් මේ දේවල් ගෙනත් දෙයි. තාත්තා සහ අම්මා එනකම් මම සහ අක්කා බොහෝ විට සුගත්ලාගේ ගෙදරය. සුගත් ගාමිණි මාමාගේ පුතාය. ඔහුට අපේ අක්කාගේ වයසේ අක්කා කෙනක් සහ නංගි කෙනෙක් විය. අපේ අක්කා සහ සුදුලෑ අක්කා සෙල්ලම් කලේ ඔවුන්  සමගය. ගාමිණි මාමා යනු සුපර් මාරියෝ ලුක් එක ඇති හිස මැදින් තට්ටය පෑදුනු විනෝදකාමී චරිතයකි. ඔහු බයිසිකල් පදින්නට ඉගෙන ගත්තේ අපි බයිසිකල් පදින්න ඉගෙන ගත්තාටත් පසුවය. ඒ දවස් වල ගාමිණි මාමා බයිසිකලය පදින්නට පුරුදු වෙන සැටි බලා සිටීම ආතල් ජනක වැඩක් විය.

අපේ ගෙවල් පිහිටියේ දෙපසින්ම කුඩා කඳු දෙකක් නැග පැමිණිය යුතු උස තැනකය. ඉතින් පාරට යන්නට නම් කොහෙන් ගියත් පල්ලම් දෙකක් බැස යා යුතුය. බයිසිකලය පොල්ලේ යටින් පදින විට මේ බෑවුම් නැගීම පහසු නැත. අනෙක බෝගහමුල පාරේ පල්ලම යනු ඉතා ලොකු පල්ලමක් වූ බැවින් මුල් කාලයේ එය නැගීම බැසීම අපට මහා ලොකු වැඩක් විය. ගනේවත්ත පල්ලම ඊට අඩු වුවද පල්ලමෙන් පහල පාර දෙපැත්ත කැලෑව වූ නිසා ඒ පැත්තට වැඩිය ගියේ නැත. පොල්ල යටින් පැදීමෙන් බයිසිකල් අයන්න කියවූ පසු කෙසේ හෝ පොල්ල උඩින් කකුල දමා පැදීමට දඟ දැම්මේය. බැලන්ස් එක ප්‍රශ්නයක් නොවුවද කකුලේ දිග මදි වීම නිසා වැඩේ භයානක විය. පදිනකම් බැලන්ස් එක තියාගෙන පදින්නට හැකි වුවද පටන් ගැනීම සහ නතර කිරීම ලේසි වුයේ නැත. සුගත්ලාගේ ගෙදර පිළිකන්නේ ගැට්ටක් උඩට නැග පොල්ල උඩින් කකුල් දමා බයිසිකලය පැදගෙන යන අප ආයේ නතර කලේ බර්ටිලෑ ගෙදර පිළිකන්නේ කන්දියකට කකුල තබාය. ඔය අතර මග හදිසි බ්‍රේක් පාරක්, බල්ලෙක් හෝ වෙන කිසිම දෙයක් නිසා නතර කිරීම යනු බයිසිකලය පෙරලිමය. එවැනි වෙලාවට බොහෝ විට පාර අයිනේ වූ වැටකට අල්ලා බයිසිකලය නතර කර ගත්තද, පාරමැද හදිසියේ නතර කිරීම යනු ෂුවර් එකට අතක් කකුලක් තුවාල වීමය. බොරළු පාරවල් වල කබොක් ගල් මතුවී තිබුණු තැන්වල කබොක් ගල් රස බැලු වාර ගණන හිසේ කෙස් ගානට වැඩි විය. සීට් එකේ වාඩිවීමට නොහැකි නිසා හිටගෙන පදින විට බයිසිකලයේ බල්ලන් අසු නොවීමෙන් පුරුෂ මෙව්වා එක පොල්ලේ වැදීමෙන් තරු විසිවුණු වාර ගනනද ඊට අඩු නැත. අපිට ලොකු කම් දාන්නට කන්ද පදින හැටි පෙන්නන්නට අයියලා වීරයන් මෙන් හිටගෙන පැදගෙන එනවිට එතෙක් අපුරුවට තිබුණු සයිකලය හරියටම කන්ද මැදදී  බල්ලන් අල්ලනේ නැතුව ගොස් ලොකු අයියලාගේ ලොකු මෙව්වා පොල්ලේ වැදීමෙන් උන්ගේ ඇස වලින් කඳුළු පැන්න අවස්ථාද විය. බොට්ටා, ලොකු දොඩ්ඩා, චමින්ද  සහ සුග්ගා මෙවැනි ආතල් දුන්නේය.

එකල ඔය ගෙවල් රවුම හැර වැඩි දුරක් බයිසිකල් පැදීමට ගෙදරින් අවසර තිබුනේ නැත. දවසක් කලිසම් කොටයක් විතරක්  ගසා ගෙන බෝගහ හංදියට පැදගෙන ගිය එකක් මාට්ටු වී අම්මාගෙන් බඩ පුරා ෂොට් කිහිපයක් වැදුනේය. 

වැඩි කලක් යන්නට පෙර කරදඩු උස වුයෙන් බයිසිකලයේ තාත්තාව දාගෙන පදින්නට හැකි විය. මින් පසුව අම්මා, අක්කා  හන්දියට ගෙන යන හයර් එක තාත්තා මට බාර දුන්නේය. නමුත් මහ පාරේ දුර යාමට අවසර ලැබුනේ තවත් බොහෝ කාලයක් ගිය පසුවය. වෙසක් එකට කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් වැඳීමට සහ වෙසක් බැලීමට බයිසිකලේ යෑම අපේ බයිසිකල් දිවියේ කුටප්‍රාප්තිය ලෙස සැලකිය හැක. ලොකු උන් ටික හැම අවුරුද්දෙම ඔය රවුම ගැසුවද සුදුවාට, මට සහ ලෙඩා බඩාට ද ගෙවල් වලින් අවසර ලැබුනේ පසුවය. අද මෙන් වාහන බහුල නොවුවද මහා පාරේ ගමන අපටද ටිකක් චකිතයක් ගෙන දෙන වැඩක් විය. මේ කාලය වන විට සුමිත් හෙවත් මැක්කා, මයුර, චාම්, පොඩි මංජු, සජියා සහ අනුර ද අපිට සෙට් වී  සිටියේය.  වඩා වැඩිමල් වූ  සරත් අයියා, උස මංජුවා හෙවත් කොකා ද එහෙන් මෙහෙන් සෙට් විය. කොල්ලන් දහ  දොළොස් දෙනෙකුගේ ගැන්සිය ගැන කතා රැසක් මතක් වීම අමාරුවෙන් නතර කරගෙන මාතෘකාවට අදාලව හෙවත් වටේ පඳුරු නොතලා මේ ටික ලියා දමමි. උස මංජුවා අපේ අක්කාට ලයින් දැමීම, අක්කලා වතුර ටැංකියේ හැංගීම, හේනේ වෙරළු තැම්බීම, වෙලේ ක්‍රිකට් මැච්, මහ වලේ මල්වෙසක් පොසොන් දන්සල්, ක්‍රිකට්, එල්ලේ, ෆුට්බෝල් සහ වොලිබෝල් මැච්, ජිම් පප්පා ගේ කොකු, කොකෝවා, කොපි සහ සියඹලා ගස්, බතන්වත්තේ වලි  සහ තවත් අටෝරාසියක් කතා එක ගොන්නට මතක් වේ. 

කෙසේ හෝ වරක් දෙවරක් වෙසක් පොසොන් ටුවර් එක බයිසිකලයෙන් ගියද පස්සේ මම ඉස්කෝලේ වැඩට සහ පන්ති වලට හිර වීම නිසා ගමේ කොල්ලන් සමග ගැන්සි ගැසීම අඩු විය. මටම කියා බයිසිකලයක් ලැබුනේ මම සා.පෙ කල පසුවය. බොරැල්ලේ සයිකර් බසාර් එකෙන් අලුත්ම මවුන්ටන් බයිසිකලයක් ගන්නට ගිය විට දැනුන ආතල් එක අද බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගත්තද දැනෙන්නේ නැත. උසස් පෙළ කරන කාලයේ බයිසිකලය පන්ති යෑමට ඒමට සහ කෙල්ලන් බැලීමට යාමට නැතුවම බැරි විය. කෙල්ලන් සමග බයිසිකල් රවුම් ගැසීමට නම් මට අවස්තාවක් ලැබී නැත. ඒ අවස්තා ලැබුනේ බයික් එකෙන්ය. බයිසිකලය පිහිට වුයේ පස්සෙන් යාම, කෙල්ලන්ගේ  ගෙවල් දොරවල් තියෙන පැති සොයා බැලීමට යාම ආදී මුල් කාලින වැඩ වලටය. එසේ වතාවක් ලෙඩා සහ බඩා සමග කෙල්ලෙක්ගෙ ගෙයක් සොයා  ගිය ගමනක් ගැන උන්ට  තාම මතකය. ඒවා හෙනම ආතල් මතකයන්ය. සා.පෙ / උ.පෙ කාලයේදී දිනේෂයා, බෝගොඩයා, රොෂාන් සහ මහේෂලාගේ ගෙදර කරක් ගැසීම වැඩි වුයේ සුගත්ලා, බර්ටිලා ටිකෙන් ටික ඈත් කරවමිනි.  උ.පෙ කාලයේ වැල පීස් සහ චිත්‍රපට  සීඩී හොයන්නට වීඩියෝ සෙන්ටර් පැදීම මීට අමතරව සිදුවුණු වැදගත් දේවල් ය.

අපි බස් එකේ යනවිට බයිසිකල් නවත්තා ගියේ එක්කෝ බෝහග මුල හන්දියේ වූ තේ කඩේ අයිනේය. කඩුවෙල පැත්ත නම් ආනන්ද ලී මොලේ දමා ගියේය. කවදාවත් ලොක් කර නොගිය බයිසිකල් නැතිවේ හෝ කවුරුන් හෝ ගනීවි යයි බයක් කවදාවත් දැනී නැත. බොහෝ විට කාගේ බයිසිකලයද යන්න ගමේ හැමෝම දැන සිටි අතර, කවුරු ගත්තද ගත්ත කෙනා කොහේ ගියත් අප එන විට බයිසිකලය තිබුණු තැනම තබා තිබුනේය. 

හැමදාම උදේ හවස බයිසිකලයෙන් අම්මාව හංදියට එක්කන් ගිය තාත්තාගේ චරිතය ගමේ බොහෝ අයට අදටත් මතක ඇත. තාත්තා නැති වූ පසු ඒ රාජකාරිය පැවරුනේ මටය. මම  රස්සාවට ගොස් ලෝන් එකක් දමා බයික් එකක් ගන්නා තුරු මේ බයිසිකල් රාජකාරිය එසේම විය. තාත්තා නැතිවූ පසු තාත්තාගේ බයිසිකලය ලොකු තාත්තා අරන් ගිය අතර මම බයික් එක සහ කාර් එක ගත් පසු මගේ ආදරණිය මවුන්ටන් බයිසිකලයද අපේ මල්ලි කෙනෙකුට දීලා දැම්මේය. මේ කාලයෙන් පසු බයිසිකල් මතක එතරම් නැත. ටිකෙන් ටික ශරීරයද b ෂේප් වීමට පටන් ගත් බැවින් බයිසිකලයක් පැදගැනීමට ද අමාරු විය. අන්තිමට අක්කාගේ පුතාගේ බයිසිකලය අමාරුවෙන් මිදුලේ වට භාගයක් පැද්දා මතකය. 




මේ සියලු මතක සිහි වීමටත්, බාලි නුවර අහිංසක ගැමියකුගේ හැකියාවට උදව්වක් වශයෙනුත්, තාත්තාගේ සයිකලයට බොහෝ සමානකම් ඇති  මේ කුඩා මොඩලය පසු ගිය බාලි සංචාරයේදී මිලදී ගතිමි.

මම මේ නොරටට පැමිණ ටික කාලයකට පසු නිවාඩුවට ගෙදර ගිය දිනෙක සිදුවූ අපුරු සිදුවීමක් මට ඇති අවසාන බයිසිකල් මතකයි. සිය සැමියාගෙන් වෙන්ව ජිවත් වූ අපේ අක්කා කෙනෙකුගේ අවුරුදු 4-5ක් වයසැති කුඩා කොලුවෙක් හදිසියේම මා සිටින කාමරයට පැමිණියේය. අපේ පවුලේ නෑදෑයින්ගේ පොඩි පොඩි උන් 10ක් 12ක් කොයි වෙලෙත් එහෙ මෙහෙ කරකැවෙන බැවින් එය එතරම් දෙයක් නොවීය. පසුවදා උදේ නැවත ඒමට බඩු අස් කරමින් සිටි මම මේ කොලුවා එතරම් ගණන් නොගෙන සිටියෙමි. හෙමින් සැරේ ඇඳ උඩින් වාඩිවී "මේ ඔයාට බැරිද මට බයිසිකලයක් අරන් දෙන්න?" පොඩි එකා කාමරයට පැමිණ ඇසුවේ එපමණකි.

මේ සියලු මතක සමගින් තාත්තා ළඟ නැති ඒ පොඩි එකාගේ ආසාව ටික දිනකින් ඉටු කර දුනෙමි.







ප.ලි 

මේ ඊයේ පෙරේදා ලංකාවට ගිය සැරේ මු නැවත ළඟට පැමිණ මගේ අතෙහි වූ ඔරලෝසුව දෙස බලමින්  "මටත් මේ ජාතිය එකක් ගෙනත් දෙන්නකෝ" යැයි කිවේය. "අඩි 6ක් උස ගොස් ඉංග්‍රීසියෙන් කතා කිරීමට හැකිවූ දිනෙක ගෙනත් දෙන්නම්" කියා මෙවර මම ඌව එළවා දැම්මේය... ඌ ආයේ මගෙන් මොකුත් ඉල්ලන එකක් නැත.... හෙහ් හෙහ් 








Thursday, August 01, 2019

පරිගණකයයි ලෙඩයි

     


     මේ පරිගණක නිසා අපිට හැදෙන ලෙඩ ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ කියල මට හිතෙනවා. අනිත් අය කොහොම වුනත් මම නම් ඒ හැටි ඕව ගැන සැලකිල්ලක් දැක්කුවේ නැහැ. හැබැයි වැඩේ අපි හිතනවට වඩා බරපතලයි. මේ ලියන්න යන්නේ පහු ගිය අවුරුදු 20ක විතර කාලයක් දවසෙන් බොහෝ කාලයක් පරිගණකය ඉස්සරහට වෙලා ජිවත් වීම හින්ද අවසානයේ උරුම වෙලා තියෙන දේ ගැන. හොඳ සහ නරක දෙකම තිබුනට හොඳ ගැන නැතුව නරක ගැන ලියන්නම්.

මම කණ්නාඩි දාන්න පටන් අරන් දැන් අවුරුදු 9ක් වගේ වෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳල හොඳට තිබුණු ඇස් දෙක රස්සාවට ගිහින් පළවෙනි අවුරුදු 5-6 ඇතුලත දුර්වල වුනා. මට මතක විදියට රස්සාවට ගිහින් තුන් වෙනි අවුරුද්දෙදි වගේ දවසක් මගේ ප්‍රධානියා වශයෙන් හිටපු කෙනා කිව්වා මොනිටර් එකට වැඩිය කිට්ටු වෙලා බලන්න එපා කියල. නමුත් මට ඒක ඒ හැටි අවුලක් විදියට තේරුනේ නෑ. වයසත් එතකොට 25ක් වගේ ඇති. කොහොම උනත් ඒ දවස් වල දවසේ පැය 12-15ක් විතර අනිවාර්යෙන් මේක ඉස්සරහ තමා. ඔෆිස් එකේ අවම පැය 8-9ක් වැඩ කරලා ගිහින් ගෙදරත් අඩුම තව පැය 4-5ක් වත් එක එක ටීවී සීරීස් ඇතුළු නොයෙක් දේ බලමින්, කරමින් ගෙවිච්ච කාලයක්. ඒ දවස් වල මට ඩෙස්ක්ටොප් පරිගණකයක් සහ ලැප්ටොප් එකක් තිබුනා. ඔය දෙකේම මාරුවෙන් මාරුවට එක එක වැඩ තමා. නමුත් නිවැරදි දුරකින් හරි ඉරියව්වකින් බැලීම ගැන කිසිම අවධානයක් තිබුනේ නෑ... දැනෙන්න කිසිම ලෙඩක් අමාරුවක් තිබිච්ච නැති නිසා කොහොමත් කවුරුවත් කියන ඒවා ගණන් ගත්තෙත් නෑ. ඔය විදියට තව අවුරුදු 3ක් වගේ යද්දී ටික ටික ඔලුව කැක්කුම හැදෙන්න ගත්තා කම්පියුටරේ වැඩ කරද්දී. අවසානයේ කන්නාඩි දාන්න සිද්ද වුනා. ඇස් දෙකම දුර්වල වෙලා. ඒ කියන්නේ ඉතින් හැමදාටම කන්නාඩි දාන්න වෙනවා.


ඊට පස්සේ ඉතින් වැඩි කරදරයක් නැතුව තව අවුරුදු කීපයක් රස්සාව කරගෙන ගියා. මේ වෙද්දී මම අවුරුදු 10ක් විතර මේ පුරුද්ද දිගටම කරගෙන ඇවිල්ල තිබුනේ. ඒ කියන්නේ දවසට පැය 10-15 අතර කාලයක් පරිගණකය ඉදිරිපිට ගෙවීම. මේ වෙද්දී බඩත් ටිකක් ඇවිල්ලා ( ඒ කියන්නේ v ෂේප් එක b ෂේප් වෙලා ). ඔහොම ඉද්දි මගේ වම් කකුලේ අමාරුවක් ආවා. ඒ කියන්නේ මුලින්ම නිකන් කකුල කොර වෙලා වගේ අමුතු වේදනාවක් ඇවිල්ලා පස්සේ වෙද්දී උදේ පාන්දර නැගිටලා අඩිය තියන්න බැරි මට්ටමකට ආවා. අඩිය තියද්දි කකුලේ විළුඹට කටුවකින් අනිනවා වගේ රිදෙනවා. මේ ගතිය මුළු කකුලටත් සම්පුර්ණ වම් පැත්තටත් එක්කම පැතිරුණු වේදනාවක්. පස්සේ වෛද්‍යවරුන්ගේ තීරණේ වුනේ උදේ පාන්දර නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට හේතුව Plantar fasciitis කියන ලෙඩේ කියලා. ඒ කියන්නේ අපේ පාදවල අස්ථිවල ඇතිවන පුංචි පුංචි නෙරුම් නිසා ඇතිවෙන තත්වයක්. මේ ලෙඩේට පරිගණක වල සම්බන්ධයක් නැති වුනාට. තරබාරු බව බලපානවා. නමුත් මට තිබුණු ප්‍රස්නේ තමා මේ කකුලේ වේදනාව පිට කොන්ද සහ වම් අත දක්වා පැතිරිලා වම් අතේ මැද ඇඟිල්ල සහ වෙදගිල්ල හිරි වැටෙන තත්වයක් විදියට පැතිරීයාම. ඒකට හේතුව දොස්තරලටත් හරියට හිතා ගන්න බැරි වුණා. 


මේ වෙද්දී මම හිටියේ මැලේසියාවේ. බටහිර වෙදකම් වලට අමතරව මෙහෙ චීන කටු චිකිත්සාව සහ පාරම්පරික චීන වෙදකම් එහෙමත් කරලා බැලුවත් හරි සහනයක් දැනුනේ නෑ. උදේ නැගිටිනකොට අඩිය තියන්න බැරි එකට ප්‍රතිකාරයක් විදියට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමා ඉන්ජෙක්ෂන් එකක්. මම හොයල බලපු විදියට මේ ඉන්ජෙක්ෂන් එක අම්බානක් රිදෙන එකක්. ඒ කියන්නේ කකුලේ අස්ථියට තමා බෙහෙත විදින්නේ... නමුත් ඒකත් තාවකාලික විසදුමක්. අනිත් එක තමා ඔපරේෂන් එකක් කරන එක. නමුත් ඒ මට්ටමට යන්නේ වැඩේ ගොඩක් බරපතල නම්. එතකොට ගොඩින් බේර ගන්න නම් කරන්න පුළුවන් වැඩ තමා හැම වෙලාවෙම සෙරෙප්පු පාවිච්චිය, මෘදු අඩි සහිත පාවහන් පැලදීම සහ බර අඩු කර ගැනීම. මම ඉතින් ගොඩින් බේර ගන්නම් කියල මුළු දවසම සෙරෙප්පු පාවිච්චිය සහ හොඳ සැප සපත්තු පාවිච්චිය පටන් ගත්තා. බර නම් ඉතින් ලොකු වෙනසක් නොවුනත් පාලනය කරගෙන යනවා.

නමුත් මේ කිසිම දෙකින් මගේ වම් පැත්ත රිදෙන එක නතර වුනේ නෑ. විනාඩි 15ක් විස්සක් ඇවිද්දොත් එක විදියකට ඉන්න බැරි තරම් වම් කකුලයි, වම් අතයි සම්පුර්ණ වම් පැත්තම රිදෙනවා. කොටින්ම පුටුවක වාඩි වෙලා ඉන්නත් බැහැ. දොස්තරලගේ උපදෙස් පරිදි physiotherapy එහෙමත් කරලා බැලුවා නමුත් කිසි සහනයක් නෑ. අන්තිමට ඔය ලංකාවට අපු වෙලාවක MRI එකක් කරලා බැලුවා. ඒකෙන් හොයා ගත්ත මගේ බෙල්ලේ ස්නායුවක තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා මේ වම් පැත්ත කැක්කුම හැදෙනවා කියල. දොස්තර නම් කිව්වේ එහෙම ස්නායු ආබාධය ඇති වෙන්න එක හේතුවක් හරියටම කියන්න බෑ අපේ ඉරියව් නිසා වෙන්න පුළුවන් කියන එක. එහෙම කියල මට බෙල්ලට දාන්න කොලර් එකක් එහෙම දීලා තාවකාලිකව මේ වේදනාව අඩු කරලා දුන්නා. මේ වෙද්දී මම අවුරුදු 4කට ආසන්න කාලයක් මේ වේදනාවට හරි හේතුවක් හොයා ගන්න බැරුව හිටියේ. 

කොලර් එක දාගෙන ඉන්න එකෙන් සහනයක් තිබුනට එක නියම විසදුමක් නෙවෙයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් නිසා මගේ බෙල්ලේ ස්නායුව තෙරපෙනවා. පස්සේ මම ම හොයා ගත්තා මේකට හේතුව. ඒ තමා ලැප්ටොප් එක. ලැප්ටොප් එක මම පාවිච්චි කරන විදිය තමා මේ බෙල්ලේ ස්නායුව තෙරපෙන්න ප්‍රධාන හේතුව. මගේ උස අඩි 5 11" වගේ. මම පුරුදු වෙලා හිටියේ ඔෆිස් එකේදී ලැප්ටොප් එකෙන් වැඩ කරද්දී මම වාඩිවෙන පුටුවේ උස උපරිම වැඩි කරලා බෙල්ල පොඩ්ඩක් නවාගෙන තිරය දිහා බලන්න. ඔෆිස් වල තියෙන පුටු නියමිත ප්‍රමිතියෙන් යුතු කොන්දට සහ බෙල්ලට සපෝට් කරන පුටු වුනාට ගෙදරදී මම පාවිච්චි කලේ ඔය නිකන් සාමාන්‍ය පුටුවක්. අනිත් එක ගොඩක් වෙලාවට ඇඳ උඩ ඉඳගෙන බෙල්ලයි කොන්දයි නමාගෙන ලැප්ටොප් එක බලන එකත් කරන දෙයක්. මම හොයා ගත්ත දේ තමා මෙන්න මේ ඉරියව්වෙන් පැයක් දෙකක් හිටපු ගමන් අර වේදනවා ඉවසන්න බැරි තරමට එනවා කියන එක. මම ඕක තේරුම් ගත්තේ ගෙදර හිටපු දවසක. එදා මම කලේ මගේ ලැප්ටොප් එක පොත් කිහිපයක් උඩ තියල ලැප්ටොප් තිරය ඇස් මට්ටමට ගෙනල්ල ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපු එක. එහෙම කරපු ගමන් අර වේදනාව ටිකෙන් ටික අඩු වෙන්න ගත්ත.


ලැප්ටොප් භාවිතයේ වැරදි ඉරියව්ව සහ ආසන්න වශයෙන් නිවැරදි ඉරියව්ව පෙන්වන රුපයක් 

මේක පරිගණක පාවිච්චි කරන හැමෝම වගේ දන්න දෙයක්. ඒ කියන්නේ තිරය හැමවෙලේම ඇස්මට්ටම තිබිම සහ නියමිත දුරකින් යුතුව තිරය දෙස බැලීම. මේ ඉරියව්වට මාරු වෙච්ච ගමන් මගේ වේදනාව 90% කින් වගේ අඩු වුණා. පස්සේ මම ගෙදර පාවිච්චියටත් කාර්යාල පුටුවක් අරගෙන නියමිත ප්‍රමිතියට ගෙදර ලැප්ටොප් එක බලන ස්ථානයක් හදා ගත්තා. ඇඳ උඩ සිට හෝ වෙනත් කිසිම අඩමාන ඉරියව්වකින් ඉඳගෙන පරිගණකය බාවිතය සම්පුර්ණයෙන්ම නතර කළා. අඩුම තරමේ මම ටීවී එක දිහාවත් අඩමානෙට ඉඳගෙන බලන්නේ නෑ... එහෙම විනාඩි 15ක් හිටියොත් දවසක් විතර යනකම් අර වම් පැත්තේ වේදනාව එනවා. ඔෆිස් එකෙත් ලැප්ටොප් එක පැත්තකට කරල මොනිටරයක් සහ වෙනම කී බෝඩ් මවුස් සම්බන්ද කරගෙන පුටුව උපරිම පහතට කරගෙන තමා දැන් වැඩ කරන්නේ. එහෙම ඉන්නකොට 99% විතරම වගේ අර වේදනාව නැතිව සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.

නිවැරදි ඉරියව්ව සහ උස දක්වන සටහනක්

මගේ බිරිඳත් මම වගේම පරිගණක ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඇය මා මෙන් රාත්‍රී කාලයේත් වැඩි හරියක් පරිගණකය ඉදිරියේ ගත නොකලත් රාජකාරි වේලාවන් වලදී ලැප්ටොප් භාවිතය පැය 8-10 ප්‍රමාණයක් හැමදාම කරනවා.

ඇයට මීට අවුරුදු 4-5කට කලින් ඉඳල නිතර හිසේ කැක්කුමක් හැදෙන්න ගත්තා. සුපුරුදු පරිදි විවිද වෛද්‍ය වරුන් පස්සේ ඉරුවාරදය (migraine) නැත්නම් සෙම ආදී දේ යැයි සැක කරමින් බෙහෙත් කලත් ස්ථිර සහනයක් ලැබුනේ නෑ. බෙහෙත් මාරු කර මින් වේදනා නාශක ගනිමින් ඉන්න එක තමා කලේ. පසුගිය මාස 4ක විතර කාලයක් ඇයට ඇගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ නිසා දවසේ පැය 12කට වැඩි කාලයක් සහ සති අන්තත් එක දිගට වැඩ කරන්න සිද්ද වුණා. සෙනසුරාද සහ ඉරිදා දෙකම සහ සතියේ දවස් වලත් රෑ අට නවය වෙනකම් මාස දෙකක් විතර වැඩ කරද්දී අර හිසේ කැක්කුම දිනපතා සැදීමත් ඊට අමතරව ඇගේ දකුණු අතේ වළලු කර ආශ්‍රිත ප්‍රදේශය සහ බෙල්ලේ වේදනාවක් එන්න ගත්තා. දකුණු අතින් කිසිම වැඩක් කර ගන්න බැරි මට්ටමට ආවට පස්සේ ඇයට තව දුරටත් වැඩ කර ගන්න එක අපහසු වෙලා වෛද්‍ය උපදෙස් මත රැකියාවෙන් ඉවත් වෙන්න කියන මට්ටමට ආවා. නමුත් ඇගේ ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් සහ ප්‍රොජෙක්ට් එකට ඇගේ ඇති වැදගත් කම නිසා මාසයක නිවාඩුවක් ලබාගෙන ඇයට විවේක ගන්න සිදු වුනා.

මේ සියලු අමාරු වලට හේතුව මොකක් ද කියන එක අපි ඒ මාසය තුලදී හොයා බැලුවා. ඇය ලැප්ටොප් එක භාවිතා කලේ මවුස් එකක් නැතුව. ඒ කියන්නේ ටච් පෑඩ් එකෙන්. අනිත් එක කිසිම වෙලාවක මොනිටර් එකක් භාවිතා කලේ නැහැ. ඊටත් අමතරව ගෙදර සිටින හැමවෙලාවෙම ඇඳ මත තියාගෙන තමා ලැප්ටොප් එක භාවිතා කලේ. අවසානයේ ඇගේ බෙල්ලේ ස්නායුවකත් අර මට ආපු විදියටම ආබාධයක් ඇවිල්ල. ඒ ස්නායු ආබාධය තමා නිතර ඇතිවෙන හිසේ කැක්කුමට හේතුව වෙලා තියෙන්නෙත්. ඊට අමතරව නුහුරු ලෙස ටච් පෑඩ් එක භාවිතා කිරීම නිසා තමා දකුණු අතේ වළලු කර ආශ්‍රිත වේදනාවට හේතුව. අවසානයේ වෛද්‍ය උපදෙස් මත Physiotherapy සහ Pilates කිරීමට සිද්ද වුණා. නමුත් වේදනාව සම්පුර්ණයෙන් සුව වෙලා නැහැ. ඒකට හේතුව ශරීරයේ මාංශ පේශි කාලයක් තිස්සේ වැරදි ඉරියව් වලට හුරු වීම නිසා. අවසානයේ නිවැරදි ඉරියව් සහ උපකරණ සහිතව පරිගණක භාවිතා කිරීම මගින් තමා සහනයක් ලබා ගන්න පුළුවන් වුණේ.

Tech-Neck කියල තමා මේ තත්වය හදුන්වන්නේ. මේක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. පරිගණක නිසා විතරක් නෙවෙයි මොබයිල් ෆෝන් නිසාත් මේ අමාරුව හැදෙන්න පුළුවන්. Tech-Neck කියල පොඩ්ඩක් හොයල බලන්න.

මේ දේවල් හරි සරල විදියට පෙනෙන්න පුළුවන්. නමුත් අපිට හැදෙන ලෙඩ සහ අමාරුකම් වලට අපි මුලින් බෙහෙත් ගන්නේ හෝ සැක කරන්නේ වෙනත් දේවල්. නමුත් ඇත්තම හේතුව අපේ එදිනෙදා ජිවිත වල තියෙන පුංචි පුංචි වැරදි. අනිත් එක පරිගණක භාවිතා කරන මුල් අවදියේදී හෝ වැඩි වෙලාවක් නොකරන විට මෙවැනි දේ ඇති වෙනවා අඩුයි. නමුත් දවසේ වැඩි හරියක් තිරයක් දෙස බලා සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන් නිවැරදි ඉරියව් සහ උපකරණ භාවිතාව කරන්න. අවුරුදු 10-20ක් ගෙවෙන්නේ අපිට නොදැනීම. එතකොට නැවත හදන්න බැරි විදියට අපේ ශරීරය හානි වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි.

මේ ඇවිල්ල ශාරීරිකව අපිට ඇතිවන ලෙඩ. මීට අමතරව මේ අධිතාක්ෂණික සහ නුතන කියන රස්සාවල තියෙන අධික පීඩනය සහ ආතතිය නිසා මොලයට සහ සමස්ත ශරීරයටම ඇතිවෙන දීර්ඝ කාලින බලපෑම් සෑහෙන වැඩියි. ඒවායින් මිදෙන්න සහ අඩු කරගන්න නම් වෙනස්ම ජිවන ක්‍රමයකට අපිට යන්න වෙනවා. පස්සේ වෙලාවක ඒවායින් මිදෙන්න කියල මම කරන දේවල් ගැනත් ලියල දාන්නම්කො...




Thursday, June 27, 2019

අමුතු සිත්තරා හෙවත් Zima Blue - 2 කොටස



මුල් කොටස


අප පැමිණි මගට වඩා වෙනස් මගකින් ඔහු මා සමග පිහිනුම් තටාකය වෙත ඇවිදගෙන  ගියා. බෝට්ටුවේ එන විට මා දුටු නිල්පාට රශ්මිය මේ තටාකයේ වූ නිල්පාට බව මට වැටහී ගියා.

"පිහිනුම් තටාකයක්?" මම ඇසුවා

"මෙතන තමා ඒ හැමදේම වෙන්නේ... මගේ අවසාන නිර්මාණය සහ සමුගැනීම"

එය එතරම් හොඳ තත්වයේ තිබුනේ නෑ... කුඩා රොබෝවන් කිහිප දෙනෙක් තටාකයේ කැඩුණු ටයිල් වෙනුවට අලුත් ටයිල් අල්ලමින් සිටි අතර, තවත් පිපිරුම් කිහිපයක් ද මා දුටුවා... 

"ග්‍රහලෝක පාට කරපු ඔබ අවසන් නිර්මාණය කරන්න මෙවැනි තැනක් තෝරා ගැනීම නිකං ගැලපෙන්නේ නෑ වගේ නේද..?"

"මට එහෙම හිතෙන්නේ නෑ... මෙතනින් හැමදේම ඉවර වෙයි... මං ඒ කරපු හැමදේම අවසානයේ මාව ගෙනාවේ මෙතෙන්ට..." ඔහු සන්සුන්ව පැවසුවා.

"මේ පරණ තටාකෙට..?"

"මේක පරණ තටාකයක් පමණක් නෙවෙයි..."

එසේ කියමින් ඔහු මා සමග ඇවිද ගියා...

"ඒ චිත්‍ර සියල්ල මම ඉතා කැමැත්තෙන් ඇන්දේ... ඒවා එතරම් විශාල වුනේ විශ්වය කියන්නේ විශාල තැනක් හින්ද..."

"ඒවා ඉතා විශිෂ්ටයි..!"

"ඒවා ජනප්‍රියයි, විශාලයි,  අමුතුයි.... නමුත් හැඟීම් විරහිතයි... මගේ හදවතින්ම මම ඇඳපු චිත්‍ර වුනත් ඒවායේ කිසිම ජීවයක් තිබුනේ නෑ...  "

මම කිසිවක් කිව්වේ නෑ... Zima ගේ චිත්‍ර ගැන මට හැමදාම තිබුනෙත් ඒ වගේ හැඟීමක්... ඒවායේ තිබුනේ ආකර්ශනීය  නමුත් හිතට හුදෙකලා ගතියක් දැනෙන හැඟීමක්. හරියට විශ්වය වගේ. බොහෝ දෙනෙක් ඒවා අගයන්න හේතුව වෙන්න ඇත්තේ ඒවා  Zima නම් සයිබෝගයාගේ  නිර්මාණ නිසා වෙන්න ඇති. හරියට කටින් පින්සලක් ගත්ත කෙනෙක් මොකක් ඇන්දත් මිනිස්සු ඒක අගයනවා වගේ ...

"මගේ චිත්‍ර වල තිබුනේ සක්වළ ඇති සැටියෙන්. අලුත් දෙයක් තිබුනේ නෑ. ඒ චිත්‍ර වලින් මම ගැන කිසිවක්  කියාගන්න මම අසමත් වුනා. මගේ සුපිරි ශරීරය නිසා මම ඇවිදපු,  දැකපු, මට දැනුන කිසිම දෙයක් ඒ තරම් වැදගත් දේවල් නෙවෙයි. අතත්‍ය යාතාර්ථික පහසුකම් සහිත ඩ්‍රෝන්  එකක් තියෙන වෙන ඕනෑම ශිල්පියෙකුටත් මේවා මේ විදියටම අඳින්න පුළුවන් ."

"මම හිතන්නේ ඔබ ඔබ ගැන ඔයතරම් අඩුවෙන් සිතිය යුතු නෑ..." මම කීවෙමි.

"ඇත්තටම එහෙම එකක් නෑ... මට දැන් මෙහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මම වැදගත් නිර්මාණ කරපු නිසා කියල මම දන්නවා. නමුත්, ඔහු මදක් නැවතුණි. " ඒක වුණේ කිසිම සැලසුමකින් තොරව... මගේ පාලනයකින් තොරව"

"ඔබ කියන්නේ නිල් වැඩ ගැනද ..?"

"නිල් වැඩ ..." ඔහු හිස සලමින් පැවසුවා. "ඇත්තටම ඒක පොඩි අත් වැරද්දක්... තනි කළු කැන්වස් එකේ ඔය නිල්පාට පැල්ලමක් වැටුණා.  හැබැයි ඒක දැක්ක ගමන් මාව තිගැස්සුනා. හරියට කරන්ට් එක වැදුනා වගේ. මගේ ඇඟේ සර්කිට් එකක වයර් මාරු වුණා වගේ හැඟීමක් ඒක. හරියට ඒ වයර් මාරුව කොහේදෝ තිබුණු අමතක වෙච්ච මතකයක් එක පාරට පත්තු කළා වගේ. මගේ ජිවිතේ තිබ්බ වැදගත්ම පාට ඒක කියන එක මට ස්ථිර වුණා... "

"මොකක් ද ඒ මතකය ..?

"ඇත්තටම එහෙම මතකයක් මට තිබුනේ නෑ... මට දැනුන එකම දේ ඒ නිල්පාට මට කතා කළා වගේ හැඟීමක්. හරියට මම මගේ මුළු ජිවිත කාලෙම ඒ පාට හමුවෙනකම් බලාගෙන හිටිය වගේ. මගේ ඇතුලේ හිර වෙලා තිබ්බ දෙයක් එක පාරට එලියට පැන්න වගේ... "

ඔහු මදක් නිහඩව කල්පනාවට වැටුනේය...

"ඒ නිල්පාටෙ මොකක් දෝ දෙයක් තිබුනා. අවුරදු දාහකට කලින් Yves Klein කිව්වේ එක වර්ණයක් අනිකුත් වර්ණ සියල්ලම අභිබවා යන්නේ ඒ වර්ණයේ සාරය නිසා කියල. එක්තරා මනුස්සයෙක් එයාගේ මුළු ජිවිතයම තමන් කුඩා කාලයේදී දුටු නිල්පාටක් හොයමින් ඉඳල තියෙනවා. නමුත් ඔහුට ඒක හොයා ගන්න බැරි වෙනකොට ඔහු අවසානයේ තීරණය කරනවා එය තමන් හිතෙන් මවා ගත් පැහැයක් මිසක් ඇත්තට තියෙන එකක් නෙවෙයි කියල, නමුත් එක දවසක් අහම්බෙන් වගේ ඔහු ඒ වර්ණය දකිනවා. ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක හිටපු කුරුමිනියෙකුගේ පාට ඒක..."

"Zima Blue කියන්නේ මොකක් ද? කුරුමිනියෙකුගේ පාට ද?" මම ඇසුවා

"නෑ...කුරුමිනියෙක් නෙවෙයි. නමුත් මට උත්තරේ හොයා ගන්න ඕනේ වුනා. මට ඕනේ වුනා ඒ වර්ණය මට මෙතරම් බලපෑමක් කරන්නේ මොකද කියල හොයා ගන්න...."

" ඔබ ඔබට බලපෑම් කරන්න ඉඩ ඇරලා හිටියා නේද...? "

"මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ... නමුත් නිල් පාටේ බලපෑම වැඩි වෙන්න වෙන්න මට තේරුම් ගියා උත්තරේට ළඟා වෙන්න  පහසු බව... නිල්පාට තුල ගිලී යන්න ඉඩ හැරියොත් මට ඒක හොයා ගන්න පුළුවන් වෙයි කියල මට හිතුනා. මම කියන්නේ කවුද කියල හොයා ගන්න මට පුළුවන් වෙයි කියල මගේ හිත කිව්වා..."

"ඉතින්...? හොයා ගත්ත ද...? "

Zima නිහඩව සෙමෙන් ඉදිරියට ඇදුනා... ඔහු ඉතා ගැඹුරු කල්පනාවකට වැටුනා වගේ... අඳුරත් සමග හමා ආ සිහිල් සුළං රැල්ලත් එක්ක මට සීතලක් දැනුනා. මගේ කෝට් එක දාගෙන ආපු නැති එක ගැන මට මතක් වුනත් Zima ගෙන් එකක් ඉල්ලගන්න මට හිතුනේ නෑ... ඔහුගේ කල්පනාවෙන් ඔහුව මුදවන එක පාඩුයි කියල මට හිතුනා...".

"මතකයන් වල ඇති වරදින සුළු බව ගැන අපි කතා කළා නේද...?" ඔහු ඇසුවා

"ඔව්"

"මගේ මතකයත් එතරම් සම්පුර්න වුනේ නෑ..."  මතක මොඩියුලයක් බද්ධ කර ගත්තට පස්සේ ඉඳල හැම දේම මතක තිබුනට ඊට කලින් ඒවා එතරම් පැහැදිලි නෑ...ඒ ටික පහුගිය අවුරුදු 300 ක් විතර... හැබැයි මම ඊට වඩා ගොඩක් වයසයි කියල මම දන්නවා". මතක බද්ධයට කලින් සිද්දි ගැන තියෙන්නේ තරමක් නොපැහැදිලි කමක්. සමහර දේවල් එකට එකතු කර ගන්න අපහසු කමක් තිබුනා."  සෙමින් නතර වූ ඔහු මා දෙස හැරෙමින් පැවසුවා.

බැසයන හිරුගේ මලානික තැඹිලි පැහැයෙන් ඔහුගේ මුහුණේ පසක් එලිය වැටී තිබුනා.

"මම තේරුම් ගත්තා මේ Zima Blue ගැන හරියටම හොයා ගන්න නම් මට මගේ මතකය සම්පුර්ණයෙන්ම අවුස්සලා එලියට ගන්න වෙනවා කියල... "

"ඉතින් කොච්චරක් දුරට හොයා ගත්ත ද...?"

"ඒක නිකන් පුරාවිද්‍යාව වගේ... මම ටිකෙන් ටික මතු කර ගන්න උත්සාහ කළා. මම  ඉස්සෙල්ලම කලේ මතක බද්ධයෙන් පස්සේ ඉතිරි වෙලා තිබ්බ එක පරණ මතකයක් ගැන හොයන එක.  ඒ මතකය මාව Kharkov 8 වලට අරන් ගියා.  ඒක Garlin Bight වල තියෙන ග්‍රහලෝකයක්. මෙහෙ ඉඳල ආලෝක වර්ෂ 90000ක්  විතර දුරින්. මට තිබ්බ මතකය තමයි එහෙ හිටපු එක මනුස්සයෙක්. ඔහුගේ නම කොබාගෝ..."

"AM ගේ උදව්වක් නැතුවත් මම Garlin Bight ගැන යම් යම් දේවල් දැනගෙන හිටියා. තව ජිවය තියෙන ග්‍රහ පද්ධතීන් 600ක් විතර ඔය Garlin Bight වල තියෙනවා. ඒ ටික ගැලක්ටික් බලවතුන් කිහිප දෙනෙකුට යටත් වෙච්ච චක්‍රාවාට නීති හරියට ක්‍රියාත්මක නොවෙච්ච ප්‍රදේශයක්."

"Kharkov 8 කියන්නේ එයින් එක තැනක්. ප්‍රසිද්ද වෙලා තිබුනේ වෛද්‍ය කටයුතු වලට. අයතා සයිබර්නතික වැඩ ඕනේ දෙයක් වැඩි කරදරයක් නැතුව කර ගන්න හැකියාව එහි තියෙනවා..."

" එහිදීද එතකොට...?

"එහිදී තමයි මම මේ ඉන්න තත්වෙට පත්වුණේ..." Kharkov 8 වලින් පස්සේ ගොඩක් වෙනස් කම් මම කර ගත්තා... හැබැයි මගේ ශරීරයේ මදය මේ හමට යටින් දැම්මේ කොබාගෝ ගේ ක්ලිනික් එකේදී...



"ඒ කියන්නේ Kharkov 8 යන්න කලින් ඔබ සාමාන්‍ය මනුස්සයෙක්...?" මම ඇහුවා

"එතෙන්දි තමා මේ කතාව සංකීර්ණ වෙන්නේ... මම Kharkov 8 වලට ගිහින් කොබාගෝ ගැන හොයා බැලුවා. මට ඕනේ වුනේ සුලමුල හොයා ගන්න කොබාගෝ ගෙන් උදව්වක් ගන්න නමුත් ඒ වෙද්දී මිනිහා අතුරුදහන් වෙලා. එයාගේ මුණුපුරා තමයි ක්ලිනික් එක කරගෙන හිටියේ."

"මුලින් පොඩ්ඩක් අදිමදි කලාට පොඩි සන්තෝසමක් දුන්නට පස්සේ සීයාගේ ලොග් සටහන් වල තියෙන තොරතුරු හොයල දෙන්න මුණුපුරා කැමති වුනා..."

මේ වෙද්දී අහසයි මුහුදයි දෙකම අලුපාටට හැරිලා තිබුනා...  නිල්පාට අතුරුදහන් වෙලා

"ඉතින් මොකද වුනේ...?"

"ඒ ලොග් සටහන් වලට අනුව මම කවදාවත් මනුස්සයෙක් වෙලා ඉඳල නෑ..." ඔහු මොහොතකට නිහඬ වුණා, ඔහුගේ හඬේ තිබුනේ විශ්වාසනීය බවක්. "මම ඒ ක්ලින්ක් එකට යන්න කලින් Zima කියල කෙනෙක් ඉඳල නෑ..."

"අයියෝ AM හිටියනම්...." මගේ හිත හිමිහිට මුමුනවා මට ඇහුනා

"ඒ කියන්නේ උඹ කවුද...?"

"යන්ත්‍රයක්... ඔහු කිව්වා. සම්පුර්ණ ස්වයංක්‍රීය කෘතීම බුද්ධියක් සහිත ඒ වෙද්දීත් ශතවර්ෂ ගණනාවක් පැරණි රොබෝවෙක්. නීතිමය වශයෙන් පුර්ණ ස්වාධින බවත් සහිතව."

"නෑ.... ක්ෂණිකව දැනුන කම්පනයත් එක්ක මට කියවුනා. "ඔබ යාන්ත්‍රික කොටස් සහිත මනුෂයෙක්. මැෂින් එකක් නොවෙයි."

"ක්ලින්ක් එකේ රෙකෝඩ් වල තිබුනේ මම යන්ත්‍රයක් කියල. මම එතෙන්ට ගිහින් තියෙන්නේ රොබෝවෙක් වශයෙන්. බුද්ධිමත් බවක් තිබුනට මම යන්ත්‍රයක්. එහිදී මගේ ඇඟේ තිබ්බ ඥානය සහ බුද්ධියට සම්බන්ධ කොටස් ජෛවමය සිරුරකට සම්බන්ද කෙරුවා." ඔහු ඇඟිල්ලකින් සිය හිසේ එක පසෙකට තට්ටු කළා. "මේක ඇතුලේ යාන්ත්‍රික සහ ජිව කොටස් දෙකම එක වගේ බැඳිලා තියෙනවා. මට හරියට කියන්න අමාරුයි මොකකින් මොකක් පාලනය වෙනවද කියල..."

මා ඉදිරියේ සිටින මේ රුව දෙස මම මොහොතක් බලා සිටියා. මෙතෙක් කල් මා දුටු ඒ රුව යන්ත්‍රයක් ලෙස දැකීමට හිත හදාගැනීම කෙසේ වේදැයි මට ඒ මොහොතේ හිතා ගන්න බැරි වුණා.

"ක්ලින්ක් එකේ කොල්ලා ඔබට බොරු කියන්න ඇති..."

"මම හිතන්නේ නෑ...". ඔහු ඉතා විශ්වාසයෙන් පැවසුවා.

"හ්ම් ..."  මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.

"ඒ තොරතුරු බොරු වෙන්න බෑ. මම චෙක් කරලා බැලුවා. Kharkov 8 වලට රොබෝවෙක් ඇතුල්වෙලා තියෙනවා ක්ලිනික්  එකේ වැඩේට මාස දෙක තුනකට කලින්...".

"ඒ උඹ නොවෙන්න පුළුවන්..."

" වෙන කිසිම රොබෝවෙක් දශක දෙක තුනකින් මෙහා එහෙට ගිහින් තිබුනේ නෑ. අනිත් එක ඒ රෝබෝවා කොහෙන්ද ආවේ කියලත් රෙකෝඩ් වල තිබුනා. "

"කොහෙන් ද? "

"Bight වලට එහා තියෙන තව ලෝකයක්.  Lintan 3, Muara දුපත් සමුහයේ..."

AM නැති අඩුව... ඒ කොහේදැයි මට කිසිදු අදහසක් නොවිණි.

"ඒ කොහෙද කියල මම නම් දන්නේ නෑ.."

"ඔව්... ඒ ලෝක කවුරුත් නිතර යන එන තැන් නෙවෙයි. මම හිතන්නේ ඒ පැත්තට යන lightbreakers වත් නැද්ද කොහෙද.. කොහොම වුනත් මම ඇවිල්ල තිබුනේ එහෙන්..."

"එහෙටත් ගිහින් බැලුව ද?"

"දෙපාරක් ගියා. ඔය Kharkov 8 වල ක්ලිනික් එකේ වැඩේට කලින් එක සැරයක් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ ළඟදිත් මම ගියා... විස්තර හොයන එක අමරු වෙන්න ගත්තේ එහෙදි... " හැබැයි හැම වෙලාවෙම මම හරි තැනදි හරි ප්‍රශ්නේ අහල, හරි රෙකෝඩ් තියෙන තැන් හොයා ගත්තා. එහෙම නැත්නම් කවදාවත් හොයන්න වෙන්නේ නෑ. අන්තිමේදී මම කොහෙන්ද ආවේ කියල හොයා ගත්තා... හැබැයි... එකත් ආරම්භයම නෙමෙයි... නමුත් මම අතාරින්නෙ නැතුව දම්වැලේ පුරුක් එකින් එක හොයාගෙන ගියා... මට තිබ්බ එකම දේ තමා කොහොම හරි හොයා ගන්නවා කියන දැඩි උවමනාව..."

"ඇයි සල්ලි..."

"ඔව්.. සල්ලි නැත්නම් මොකුත් කර ගන්න වෙන්නේ නෑ... ඔහු මද සිනාවෙන් යුතුව පැවසුවා.

" ඉතින් මොකක් ද අන්තිමට හොයා ගත්තේ..?"

"Kharkov 8 වලට එද්දී මම මනුෂ්‍ය බුද්ධියට සමාන බුද්ධියකින් යුතු ස්වාධින රොබෝවෙක්. නමුත් මම ඒ මට්ටමට ඇවිල්ල තියෙන්නේ ක්‍රම ක්‍රමයෙන්...ටිකෙන් ටික මාව දියුණු කර ගනිමින්"

"ඒ කියන්නේ ඔබ විසින් ඔබව වැඩි දියුණු කරගෙන ද?"

"අන්තිම වෙනකොට මම ම කරගෙන තියෙනවා, ඒ කියන්නේ මට නීතිමය ස්වාධිනත්වය ලැබුනට පස්සේ. නමුත් එහෙම නීතිමය වශයෙන් මට බලයක් ලැබෙන්න නම් මගේ බුද්ධි මට්ටම යම්කිසි තලයකට එන්න ඕනේ... ඊට කලින් මම නිකන් සාමාන්‍ය යන්ත්‍රයක් එක වැඩක් කරන්න හදපු. නමුත් මාව පරම්පරාවෙන් පරම්පරාවට වැඩි දියුණු කරමින් ගෙනල්ල තියෙනවා. ඒ හැම කෙනාම මාව වැඩි දියුණු කරලා තියෙනවා."

"ඒ කියන්නේ ඔබේ මුල එතකොට....?"

"කාගේ හරි පොඩි ප්‍රොජෙක්ට් එකක්..."

ඒ වනවිට රාත්‍රිය උදාවී තිබිණි.  Zima සහ මම නැවතත් තටාකය දෙසට පැමිණ සිටියෙමු. ඒ වන විට  තටාකය අලුත්වැඩියා කරමින් සිටි රොබෝවන් ගේ වැඩ අවසන් වී තිබුණු අතර, තටාකය වටා තිබුණු නැරඹුම් ආසන ආලෝකවත් කර තිබිණි.

"ඒක ලෑස්තියි දැන්... Zima පැවසිය. හෙට මේක සීල් කරලා අනිද්දට වතුර පුරවනවා. වතුර නියම තත්වයට එනකම් පිරිසිදු කරන්නත් වෙනවා..."

ඊට පස්සේ...? මම ඇසුවෙමි.

"ඊට පස්සේ මම මගේ අවසාන සංදර්ශනය කරනවා"

----------------------------------------------------


තටාකය වෙත පැමිණෙන අතරතුර Zima මට ඔහුගේ ආරම්භය පිළිබඳව සියල්ල පැවසුවා. ඔහුගේ ආරම්භය සිදුවී තිබෙන්නේ පෘථිවියේ. මම ඉපදෙන්නත් ගොඩාක් කලින්. විනෝදාංශයක් විදියට රොබෝවන් හදපු තරුණ ගැහැණු ළමයෙකුගේ තවත් එක ප්‍රොජෙක්ට් එකක් ඔහු. ඒ කාලේ තමා ගොඩක් අය මේ රොබෝ තාක්ෂනය ගැන, කෘතීම බුද්ධිය ගැන එහෙම උනන්දුවෙන් පරීක්ෂණ කරන්න අරන් තියෙන්නේ.

මේ තරුණියගේ මුලිකම උනන්දුව වෙලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම, යාත්‍රා කිරීමේ  හැකියාව සහ ස්වාධීනව ගැටළු විසඳීමේ හැකියාව සහිත රොබෝවන් නිපදවීම.  ඇය මෙවැනි හැකියාවන් සහිත බොහෝ රොබෝවන් නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලේදී බොහෝ වෙලාවට කැඩුණු සෙල්ලම්බඩු, පරණ පරිගණක කොටස්, සහ එහෙන් මෙහෙන් හොයා ගන්න උපකරණ වලින් තමා මේ රොබෝ නම් යන්ත්‍ර හදල තියෙන්නේ. රොබෝ-මනස  විදියට ඔවුන් ඒ කාලේ යොදාගෙන තියෙන්නේ පරණ පරිගණක මතක කොටස් තමා. ඇත්තටම ඒවාට මනස කියන නම යොදන්න පුළුවන් ද කියල මට තේරෙන්නේ නැහැ. ප්‍රාථමික  මට්ටමේ වැඩසටහන් වලින් සකස් වුනු බුද්ධිමය හැකියාවන් සහිත රොබෝවන් මේවා.

මේ තරුණිය සිය නිවසේ බොහෝ කාර්යයන් සඳහා විවිද රොබෝවන් නිපදවපු කෙනෙක්. ගෙදර මකුළු දැල් කඩන්න, පින්තුර පිස දමන්න  බිත්ති පුරා දුවන රොබෝවෙක්,  ගෙදර ඉන්න පුංචි මැස්සන්, කැරපොත්තන් ගිල දමන යන්ත්‍රයක්, මේ යන්ත්‍රය බලය ලබාගෙන තියෙන්නේ මේ අල්ල ගන්න සතුන් ජීර්ණය කරගෙන ලැබෙන ජිව කොටස් වලින්. එක එක සෘතුවලට ගැලපෙන්න ගෙදර තීන්ත  ගාල පාට වෙනස් කරන තව රොබෝවෙක්.

මීට අමතරව ඇගේ පිහිනුම් තටාකයේ ජිවත් වෙච්ච පුංචි යන්ත්‍රයක්.



 මේ පිහිනුම් තටාකය පිරිසිදු කරන රෝබෝවා සම්පුර්ණ වර්ණ දෘෂ්ටිය සහිත, ඌ  ජිවත් වන පරිසරය පිළිබඳව සියලු දත්ත ලබාගෙන ඒ පිළිබඳව සරල හැඩයක් මවාගන්න පුළුවන් තරම් හැකියාවකින් යුතු වෙච්ච රොබෝවෙක්. තටාක පිරිසිදු කරන යන්ත්‍ර ඕනේ තරම් ඒ කාලේදී මිලදී ගැනීමට තිබුණත්, ඇය  සිය කැමත්තට අනුව හදපු රෝබෝවක් ඒක. ඒ ඒ අවස්ථාවට වඩා සුදුසුම සහ කාර්යක්ෂම ක්‍රමය තෝරාගෙන වැඩ කරන්න පුළුවන් මට්ටමට ඇය මේ රොබෝවට බුද්ධිය ලබා දී තිබුණා. ඒ වගේම ඇය සිදු කළ  සියලු නව අත් හදා බැලීම් වලට මේ පුංචි රෝබෝව ඇය පාවිච්චි කළා. ඇගේ  දැනුම සමග රෝබෝවාගේ හැකියාවන් ද මේ නිසා දිනෙන් දින වැඩි දියුණු වුනා.

ඇයගේ මේ රොබෝ නිෂ්පාදනය ඉතා කෙටි කලකින්ම විශාල ලාබ ලබන සමාගමක් බවට පත්කරන්න ඇයට හැකි වුනා. නමුත් ඇය කිසි කලක තමන්ගේ පරීක්ෂණ මී පැටියා වන්  වූ මේ පුංචි රෝබෝවා විකිණුවේ නැහැ.

කාලය ගෙවී ගොස් ඇය මිය පරලොව ගියා. මේ රෝබෝවා ඇගේ දරුවන් අතට ගොස් තව දුරටත් වැඩි දියුණු වුණා. තාක්ෂණයේ ඒ ඒ කාල වලදී ඇතිවූ නවතාවයන් ඒ හැම පරම්පරාවකම අය මේ පුංචි තටාක පිරිසිදු කරන්නාගේ හැකියාව දියුණු කරන්න සහ ඒවා අත්හදා බලන්න යොදා ගත්තා.

අන්තිමට  අඟහරු වල සිටි  ඇගේ මුණුපුරෙකුට  මේ පුංචි රෝබෝවා උරුම වුණා.


"මේ තියෙන්නේ ඒ පිහිනුම් තටාකය." Zima පැවසුවා. "මම හිතන්නේ ඔබ ඒක අනුමාන කරන්න ඇති නේද ?"

"මෙච්චර කාලෙකට පස්සේ...!"

"ඔව් ඒක සෑහෙන පරණයි  තමයි. හැබැයි  සෙරමික් කියන්නේ සෑහෙන කාලයක් ඔරොත්තු දෙන ජාතියක්. අමාරුම වැඩේ වුනේ තියෙන තැන හරියටම හොයා ගන්න එක. මට මතුපිට පස්තට්ටුව මීටර් දෙකක් විතර හාරන්න වුනා  මේක මතු කර ගන්න. Silicon Valley කියල ඔවුන් ඒ දවස් වල හඳුන්වපු පළාතේ එක්තරා තැනක තමා මේ තටාකේ තිබුනේ. "

"මේ ටයිල් වල පාට නේද Zima Blue..? " මම ඇසුවා

"Zima Blue කියන්නේ ටයිල් වල පාට තමා.. ඔහු ඉතා මෘදු ලෙස පැවසුවා.  "ඇය ඇගේ පිහිනුම් තටාකයේ ටයිල් වලට තෝරාගෙන තිබුනේ මේ පාට."



"ඒ කියන්නේ ඔබට වැදගත් සමහර දේ මතකයි නේද ?"

"මේක තමා මගේ ආරම්භය. මේ නිල්පාට බිත්ති වල එහාට මෙහාට යන්න විතරක්  තරම් මොලයක් තිබ්බ පුංචි මැෂිමක් මම. නමුත්, ඒක තමා මගේ මුළු ලෝකයම වෙලා තිබුනේ. මම දැනන් හිටපු එකම දේත් එච්චරයි. ඇත්තටම මට දැනගන්න ඕනෙ වුනෙත්  එච්චරයි."

"ඉතින් දැන්...?" මම සෙමින් ඇසුවා.

"දැන් ඉතින් මම ගෙදර යනවා... "


---------------------------------------------------


ඔහු ඒක කරනකොට මම එතැන සිටියා. ඔහුගේ අවසන් දර්ශනය නැරඹීමට  පැමිණි අයගෙන්  තටාකය වට කොට තිබූ ආසන පිරී ගොස් තිබුණා. අහසේ පාවුනු අභ්‍යවකාශ යානා රාශියක් දුපත වට කරගෙන සිදු වන දෙය දෙස බලා සිටියා.  දුපතට ඉහලින් වූ ආරක්ෂක ආවරණය මේ වෙන කොට ඉවත් කරලා තිබුනේ. යානා වල සිටි දස දහස් ගණනක් සහ තව යානා වලින් කරන ප්‍රක්ෂේපන නරඹමින් චක්‍රාවාට පුරා තව මිලියන ගණනක් මේ අවසාන දර්ශනය නැරඹීමට සැදී පැහැදී සිටියා. ඔවුන් ඒ වනවිට මේ පරණ තටාකය දෙස බලාගෙන හිටියේ. තටාකය කෙළවර සිටගෙන  සිටි Zima ගේ අභිමානවත් රුව මීළඟ මොහොතේ කරන්නට යන්නේ කුමක් දැයි ඔවුන් කිසිවෙකුට අදහසක් තිබුනේ නෑ... එහි ඇති වැදගත් කම ගැන ඔවුන් කිසිවෙකුට තේරුම් ගත හැකි වුණාදැයි මට හිතා ගන්න බෑ. ඔවුන් හැමෝගෙම බලාපොරොත්තුව වුණේ අවසාන දර්ශනය විදියට මෙතෙක් කිසිදාක නොදුටු උත්කර්ශවත් නිර්මාණයක් දකින්න.  නමුත් ඔවුන්ගේ දර්ශනපතය සම්පුර්නයෙන්ම වැසී තිබුනේ පරණ පිහිනුම් තටාකයකින්. ඔවුන් හැම දෙනාටම වගේ  තිබුන ප්‍රශ්නය වුනේ පරණ පිහිනුම් තටාකයක් කොහොමද අච්චර අහස ඉරාගෙන ඉහලට ගිය මහා නිර්මාණ, ග්‍රහලෝක  වට කරපු නිල්පාට පරද්දන විදියේ වැඩක් කරන්නේ කියන එක. ඔවුන් සැක කලේ  තටාකය නොමග යැවීමකට සුදානම් කරපු දෙයක් විදියට. කිසිදාක බලාපොරොත්තු නොවන මට්ටමේ මහා නිර්මාණයක්  කොහේ හෝ තැනක ඇතැයි ඔවුන් සියලු දෙනා සිතුවා. එය එලි දක්වන තුරු ඔවුන් දෑස් දල්වාගෙන බලා සිටියා.










ඒ ඔවුන් සිතු හැටි.

නමුත් මම ඇත්ත දැනගෙන හිටියා. Zima සිය සදාදර නිල් වර්ණයට මුහු වී යන හැටි මම බලාගෙන හිටියා. ඔහු මට කිව්වා හරියටම ඒක සිද්ද වෙන විදිය ගැන. ඉතා සෙමෙන්, ක්‍රමානුකුලව සිය සිරුරෙහි වූ අධි තාක්ෂණික සහ ඉහල බුද්ධියට සම්බන්ධ කොටස් ගලවා ඉවත් කිරීම. මේ ක්‍රියාව නැවත හැරවිය නොහැකි දෙයක් වුනත් ඔහුට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොවනු ඇත. ඔහු ඔහුට නැතිවූ දේ පිළිබඳව හැඟීමක් නොදැනෙන මට්ටමට මේ සියල්ල ගලවා ඉවත් කරනු ලැබුවා.


නමුත් ඔහු සිය සිරුරෙහි වූ තමා පිළිබඳව මුලික හැඟීම් දැනෙන සහ සිය අවට පිළිබඳව අවධානය දැනෙන කොටස් හෝ ඉතා සුළු ක්‍රියාවන් තුලින්  සතුට සහ සංතෘප්තිය ඇතිවීමට මුලික වන කොටස් ඉතිරි කර ගැනීමට වග බලා ගත්තා. ඔහුට අවශ්‍ය වුනේ  ඔහු කරන ඉතා සුළු හෝ නොවැදගත් යැයි පෙනෙන ක්‍රියාවන් ගෙන් ආත්මපුරණය කොට ගෙන ජිවත් වීමට.

සැබවින්ම ඔහුට තටාකය පිරිසිදු කරමින්, ඔහු දුටු ප්‍රථම වර්ණය වූ නිල් පැහැය සමග  ජිවත් වීමට පමණයි අවශ්‍යය වුයේ. ඔහු සෙවූ සත්‍යය සහ අවසානය වුයේ එයයි.
ඔහු මින්පසු කිසිදිනෙක මේ තටාකයෙන් ඉවතට නොයනු ඇත. ඔහුට අවශ්‍යය බලය සුර්ය ශක්තියෙන් සහ අභ්‍යන්තර පරමාණුක බැටරි වලින් අවශ්‍යය තරම් ලැබෙනු ඇත. දුපතේ සියලු කටයුතු ඒ ඒ අදාළ රොබෝවන් විසින් සිදු කරනු ඇත. සොබා දහමේ කරදර වලින්  සිය සගයා සහ තටාකය රැකගෙන ඔහුගේ සරල ජීවිතය ගෙන යාමට ඔවුන් උපකාරී වනු ඇත.

කාලය සියවස් ගණන් ගෙවී යනු ඇත.

අවුරුදු දහස් ගණන් හෝ මිලියන ගණන් ගෙවී ගියද Zima ට කිසිදාට මේ ක්‍රියාව එපා නොවනු ඇත. ඔහු තුල එපා වීමට ඉඩක් නැත. ඔහු තුල ඇති ප්‍රත්‍යක්ෂයෙන් දකින සහ විඳින ස්භාවය ඔහු තුල නිරන්තර ප්‍රහර්ෂය තබා  ගැනීමට හේතු වනු ඇත. තටාකය තුල එහාට මෙහාට පිහිනිමෙන් ලබන සරල සතුට ඇර වෙන කිසිවක් ඔහුට අතීතයේ කැලිෆෝනියාවේ දී ද අවශ්‍යය නොවීය. ඉන් අවුරුදු දහස්  ගණනකට පසු, චක්‍රාවාටයේ වෙනස් පසෙක වූ තාරකාවක් වටා භ්‍රමණය වන වෙනස් ලොවකදී එම තටාකයේම පිහිනිමෙන් ඔහු ලබන්නේ එම සතුට සහ සන්තෘප්තිය ම වේ.

--------------------------------------------------

ක්ලෙයා සිදුවූ සියල්ල දෙස මතක් කර බැලුවාය. බලාපොරොත්තු නොවූ ලෙස එදා දුපතෙහි සිදු වූ කතා බහ ඇතුළු බොහෝ සිදුවීම් ඇයට හොඳින් මතක තිබිණි. AM  නොමැති වීම ඇයට සිතු තරම් පාඩුවක් සිදු කර නොමැත. Zima නිවැරදි බව ඇයට සිතිණි. සිය ජීවිතය පුර්ව සැලසුමකට අනුව ගලා යාමට ඉඩ හැර තිබුණු බව ඇයට වැටහිණි. එය සැමවිටම ඉර බසින සැන්දෑවක් නම් රතු වයින් ලෙස ක්‍රමලේඛනය වී තිබණි. සුදු වයින් වලට එහි ඉඩක් තිබුනේ නැත.

AM  ට සමුදී ඇය මතක පද්ධතියක් ස්ථාපනය කර ගත්තාය. AM  තුල වූ පෙර මතක සියල්ල යලි පිහිටුවා ගත්තත් නැවත නැවත මතක් කිරීමේදී එම මතක වල තිබුණු අමුතු බව සහ සමහර නොපැහැදිලි තැන් ගැන ඇයට අමුත්තක් දැනිණි.

Zima කී දෙය ඇයට සිහි විය.

"මතකයන් වරදින සුළුයි. ඒවා එහෙම තමා"

මට තේරුම් ගියා Zima මේ කතාව කියන්න මාව තෝරාගන්න හේතුව, ඔහුට ඕනේ වුනා මට නිවැරදි මාර්ගය පෙන්වන්න. මම හුදෙක් චරිත කතා පමණක් ලියන්නෙක් නොවන බව ඇත්ත. මම ඇත්ත ඇති සැටියෙන් ලියන කෙනෙක්. ඔහු ඔහුගේ කතාව සහ මගේ ජීවිතය වෙනස් කරන්න හිතාගෙන මාව තෝර ගන්න ඇති. නැත්නම් සමහරවිට ඔහු සිය ජිවිතයේ මුලින් ම දුටු ඒ තරුණියගේ රුව සහ මගේ රුවෙහි ඇති යම් සමාන කමක නොපැහැදිලි මතකයක් නිසා දැයි මට කිසිදා දැන ගත නොහැක.

අවසානයේ මම Zima ගේ කතාව මගේ මුල්ම පුවත් පත වෙච්ච  Martian Chronicle වෙත යැව්වා.

මේ සියල්ල සිදු වෙලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. නමුත් පුදුමයකට වගේ Zima සහ මම තවම එකට.

මම තවමත් අවුරුදු දහයකට විස්සකට සැරයක් lightbreaker එකක නැගල යනවා Murjek වලට. දුපතේ ඉතිරි වෙලා තියෙන සමහර දේ එක්ක අතිතකාමය විඳින්න සහ මම වගේම තටාකය දෙපසට වෙලා ඔහේ පිහිනන Zima දෙස බලන අය සමග කාලය ගෙවන්න. ඔවුන් බොහෝ දෙනෙක් පත්තරේ ගිය Zima ගේ කතාව දන්නවා. නමුත් ඔවුන් තවමත් මේ අපූරු සිත්තරා තවත් අලුත් දෙයක් කොයි මොහොතක හෝ ඉදිරිපත් කරයි කියල බොළඳ බලාපොරොත්තුවකින් මෙන් ඇවිල්ල බලාගෙන ඉන්නවා. නැරඹුම් ආසන කවදාවත් පිරිලා යන්නේ නැති වුනාට ඒවා කවදාවත් හිස්ව තියෙනවා මම දැකලත් නෑ... එක අතකට එකේ පුදුම වෙන්න දේකුත් නෑ.. සමහර අයට ඒක තේරෙනවා.. සමහර අයට කවදාවත් තේරුම් ගන්නත් බෑ...

හරියට චිත්‍ර වගේ!


නිමි.


මේ කතාව Alastair Reynolds ගේ Zima Blue කියන විද්‍යා ප්‍රබන්ධය සහ ඒ ඇසුරෙන් Netflix වල විකාශය වන Love, Death + Robots කියන කතා මාලාවේ එන  Zima Blue කාටුනය ඇසුරෙන් ලියන ලද්දක්. පුංචි පුංචි වෙනස් කම් කිහිපයක් ඇරෙන්න ඔර්ජිනල් කතාව ඒ විදියටම ලියන්න තමා ට්‍රයි කලේ. මේක තමා මම කරපු පළවෙනි පරිවර්තනය.  තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා.