Tuesday, October 14, 2014

ගූග්ල් කාඩ්බෝඩ් සමග සියුම් නයෙක්

මම කොහොමත් මේ මහපොළවේ පය ගහල ඉන්න ඒ තරම් කැමති එකෙක් නෙවෙයි . ඒ කියන්නේ හුදී ජනයාට තියෙන ගොඩක් ප්‍රශ්න මට නෑ ... ඒ ඇවිල්ල මම හිතන විදියට මගේ මොලේ එක අයි.සී එකක පින් එකක් වැරදියට පාස්සල වෙච්ච අවුලක් වෙන්න ඇති . තාම හරියටම දන්නේ නෑ .. දයාබර බිරින්දෑ මේ දවස් වල මගේ වයර් මාරු නිවැරදි කරන ගමන් ඉන්නේ ... සමහර විට කල් යනකොට හරි යයි ..

හරි ඉතින් මේ බ්ලොග් එක කියවන තවත් ඒ වගේම වයර් මාරු වෙච්ච අයට වැදගත් වන විදියේ දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ . ඉතින් තමුන්ගේ මොළයේ වයර් හරියට තියෙන, පොලවේ පය ගහල ඉන්න අය මේවා කියවල තමුන්ගේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා .. .

හරි දැන් ඔය කොයි කවුරුත් ගුග්ල් ගැන දන්නවනේ . මේ ගුගලා මිට මාස 2-3කට කලින් තිබ්බ උන්දැලගේ Google I/O එකේදී පොඩි අමුතු ගැජට් එකක් එලි දැක්කුව . දැන් ඔය ගුගල් අයි.ඕ කියන්නේ මොකක් ද කියල දන්නේ නැත්නම් ඒ කියන්නේ ගුග්ල් සමාගම වාර්ෂිකව සංවිධානය කරන ඔවුන්ගේ නවතම නිර්මාණ සහ එළිදක්වීම් ගැන ප්‍රසිද්ධ කරන උත්සවයක් . ගොඩක් වෙලාවට අලුත් android මෙහෙයුම් පද්ධති එලි දැක්වීම්, ෆෝන්, ටැබ්ලට් වල අලුත් මොඩල් එලි දැක්වීම් සහ වෙනත් ගූග්ල් නිෂ්පාදන එලි දැක්වීම් සිද්ද වෙන්නේ මේ කොන්ෆරන්ස් එකේදී . 

ඕක ඉතින් වයර් හරියට තියෙන සමාන්‍ය හුදී ජනයාට එක පාරටම් මෙලෝ වැඩක් නැති දෙයක් වගේ පෙනුනට ටික කාලෙකින් ඇඳන් ඉන්න කලිසම උගස් කරලා හරි කමක් නෑ ගන්න ට්‍රයි කරන්නේ ඔය මිනිස්සු හදන ගැජට් බැජට් තමයි . 

ඕකෙදි දැක්ක අමුතු ගැජට් එකක් තමයි මේ කාඩ්බෝඩ් කියන්නේ ..

හුදී ජනයාගේ කාඩ්බෝඩ් කෑල්ලටත් අම්මපල්ල මේ කාලකන්නි කෙලින්න නේ හදන්නේ ..

හරි මොකක් ද මේ කාඩ් බෝඩ් කියන්නේ 

මෙතන ඉඳන් කතාව අල්ලලා යන්නේ අර වයර් මාරු වෙච්ච මේ වගේ අයට තමයි 

අනිත් අය ඉස්සෙල්ල මේ පින්තුර බලල ඉන්න 















මම හිතන්නේ ගොඩක් අයට දැන් වැඩේ මීටර් වෙන්න ඇති . එහෙම නැති අයට තමයි මේ ටික 

මේ තියෙන්නේ virtual reality headset. ඒ කියන්නේ මේ හෙඩ් සෙට් එක දාගත්තම කලින් ප්‍රෝග්‍රෑම් කරපු අතත්‍ය (ඒ කියන්නේ තත්‍ය නොවන (තත්‍ය කියන්නේ ඇත්තට නොපවතින (ඇත්තට නොපවතින කියන්නේ පොලවේ පයගහල නැති ))) ලෝකයක් ඔබේ දෑස් ඉදිරියේ මැවෙනවා . කොටින් ම කිව්වොත් විනාඩි 2ක් යද්දී ඔබට ඔබ ඉන්න තැන අමතක කරන්න මේ ගැජට් වලට පුළුවන්. 

සම්පුර්ණයෙන් ත්‍රිමාන, බොහෝ දුරට සජීවී බවක් දැනෙන ඔබගේ ශරීරයේ චලන වලට විශේෂයෙන් ම හිසේ සහ ඇස් වල චලනයන්ට ප්‍රතික්‍රියා දක්වන කෘතීම පරිසරයක් මේ මගින් නිර්මාණය කරනවා. බොහෝ විට පරිගණක ක්‍රීඩා සඳහා මේක පාවිච්චි වෙනවා.

මේ වගේ ඒවා ඉස්සර ටීවී එකේ ඉඳල හිටලා පෙන්නපු කාලේ තමයි මම හිතන්නේ මගේ නම් අර වයර් මාරුවෙන් පොඩි පොඩි අනවශ්‍යය ප්‍රෝග්‍රෑම් රන් වෙන්න පටන් ගත්තේ . එච්චර කල් වයර් මාරු එක්ක වුනත් සිස්ටම් එක හොඳට රන් වුණා .

හරි දැන් ඉතින් ඔය මොනවා කිව්වත් මේ වගේ ගැජට් වලට ඔය හුදී ජනය වුනත් පිස්සු වැටෙනවා . ගන්න බැරි නිසා නිකන් හිටියට .

දැන් පින්වතුනි මේ ගූග්ල් සමාගමේ ඉන්න පින්වන්ත මහත්වරු... (උගුර පාදල ) සහ නෝනාවරු බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙලා (වටපිට බලමින් ) තමන්ගේ දනය , මොලය , කාලය , සල්ලි , බියර් ,අරක්කු , විස්කි , බ්‍රැන්ඩි , ගල් , පොල් ආදිය වියදම් කරලා . ඇඩම් උන්නැහැ සහ ඒවා මැතිනියගේ කාලයේ සිට , මතු උපදින අප මහා හෝමෝ සේපියන් සේපියන් (දෙපාරයි නේ .. හරි හරි ) මහතා හෝ එම මහත්මිය ගේ කාලය දක්වා, මේ තුන් ලෝකයේ උපදින්නා වූ සියලුම වයර් මාරු වූ අප වැනි හුදී ජනයාගේ හිතසුව පිණිස මේ පිළියෙළ කළාවූ ද , අඩු වියදම් වුද , පහසුවෙන් අටවා ගත හැකි වුද, කොයි කාටත් තමන්ගේ අතේ ඇති ජංගම' දුරකතනය යොදා පාවිච්චි කල හැකි වුද මේ කාඩ්බෝඩ් virtual reality headset එක මේ පසුගිය ජුනි මාසයේදී යෙදුනු ඒ Google I/O උළෙලේදී ඒ ආකාරයෙන් එළි දක්වන්න යෙදුන. (කාරල කෙල ගහල ) ඒ කරපු මහත් වූ පින් බලයෙන් ගුගුල් සමාගමේ සියලුම මහත් තැන්ලාටත් එම නොනාලාටත් මෙලොව සියලුම සැප සම්පත් ලැබී ... කෙළවර බෝනසුත් ලැබේවා  කියල අපි ප්‍රර්ථනා කරනවා. 


ඔෆිසියල් කටයුතු අහවර වෙලා ඉන්න වෙලාවක මම මේ ගැජට්ටුව ගැන පොඩි වෙළඳ දැන්වීමක් දැක්කා . සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ඒ වෙලාවෙම ඕඩරේ දැම්ම. හැබැයි මිත්‍රවරුනි කිව්වට විස්වාස කරන්න ඒ වෙද්දී මගේ අතේ තිබ්බේ මේන් මේ 





අති නවීන ජංගම දුරකථනය . එහෙම තියෙද්දිත් මම අරවගේ කටින් එජ් (බ්ලිඩින් එජ් ද මන්ද ) ගැජට් එකක් ඕඩර් කළා කිව්වම හිතාගන්න පුළුවන් නේ වයර් මාරු වුනාම තියෙන තත්තේ ගැන .. 


ඕක ඕඩර් කරලා නිකන් හිටියේ නෑ .. මාසේ පඩිය අතට ආපු ගමන් සුද්දා වගේ ඊළඟ සති අන්තේ ගිහින් යට කියූ ගුගල් සමාගමේ ම නිර්මාණයක් වෙච්ච , කන්‍යා android මෘදුකාංගය සහිත LG Nexus 5 ෆෝන් එකක් අරන් අරන් ආවා ...

මේ තියන්නේ එම ෆෝනය හෙවත් සියුම් නයා 




කන්‍යා android කිව්වම කාට හරි මොනවා හරි හිතුන නම් ඒ කියන්නේ ගුගල් සමාගම විසින් නිපදවන ඔරිජිනල්, ජෙනුයින්, කොම්පැනියේ ගහපු, හොඳම, android මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ මේ ෆෝන් වල . අනිත් ෆෝන් වල තියෙන්නේ ඒ ඒ සමාගම් විසින් පොඩ්ඩක් කස්ටමයිස් කරපු android වර්ෂන්ස් .

කොහොම හරි ඔය ෆෝන් එක අරන් දවස් 4-5ක් ගියාට පස්සේ තමයි අර කාඩ්බෝඩ් ගැජට් එක තැපෑලෙන් ආවේ . ඒක එන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාව ඉල්ලලා පොඩි ලියුම් කරදහියකුත් ඒ වෙළෙඳ මහත්තය මට එවල තිබුණ . කස්ටමර් සර්විස් නම් අන්න එහෙමයි .

රයිට් මේ තියෙන්නේ භාණ්ඩේ . අඩු පාඩු නෑ තනිකර කාඩ් බෝඩ්.

මෙතෙන්ට ඔලුව දාල තමයි බලන්නේ . (අපි ඔළුවට තෙල් දාල කොන්ඩේ පීරන හැදිච්ච ළමයි බවට ඕනේ නම් සාක්කිත් මේ පින්තුරේ තියෙනවා )





ෆෝන් එක තියන්නේ මෙතන . ඊට පස්සේ අර වෙල්ක්‍රෝ කෑලි දෙක අලවනවා. ගුග්ල් ප්ලේ එකේ මේකට හදපු පොඩි ඇප් එකක් තියෙනවා නොමිලේ බාගන්න . එක ඕන කරලා මෙතනින් තියල බලන්නයි තියෙන්නේ 



මෙන්න මේක තමයි මේ ගැජට් එකේ තියෙන මරුම කෑල්ල . මේක තමයි මේ සොෆ්ට්වෙයා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්විච් එක . හිතා ගන්න පුළුවන් ද මේක වැඩ කරන හැටි ? 

මේ ෆොටෝ එකේ තියෙන්නේ පොඩි කාන්දම් කෑල්ලකුයි පොඩි යකඩ රවුමකුයි . ඔය පෙන්නේ යකඩ රවුම. කාඩ්බෝඩ් එක යටින් ඔය වගේම පොඩි කාන්දම් කෑල්ලක් තියෙනවා. ඔය යකඩ රවුම අතින් පහලට අදාල අතාරින්න ඕනේ එතකොට ෆෝන් එක අවට සිදුවන සියුම් චුම්භක වෙනස් වීම ෆෝන් එකේ මැග්නෙටෝමිටර් (magnetometer) සෙන්සර් එකෙන් ඒ වෙනස ගණනය කරලා ඒ අනුව මෘදුකාංගය පාලනය කරනවා . 

ගුග්ල් එකෙන් හදපු එකේ NFC පහසුකමත් එක්ක තමයි මේ කාඩ්බෝඩ් එක එන්නේ 


හුදී ජනයනි බිය නොවන්න . NFC ගැන මම කියන්නම් 


NFC කියන්නේ Near Field Communication කියන එක . මේක ටිකක් සංකීර්ණ දෙයක් . මේකෙන් වෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පොඩි චිප් එකක තියෙන දත්ත ෆෝන් එකේ තියෙන NFC සෙන්සර් එකෙන් කියවල මේ ගැජට් එකට ෆෝන් එක ඇතුල් කරපු ගමන් අර කියපු ඇප් එක ලෝන්ච් කරන එක .

මම ගත්ත මේ ගැජට් එකේ මේ NFC පහසුකම තිබුනේ නෑ මොකද මේක ගුග්ල් එකෙන් හදපු කාඩ්බෝඩ් එක අනුසාරයෙන් හදපු වෙන එකක් නිසා .


හරි දැන් මේකේ මොනවාද තියෙන්නේ . මොනවාද තියෙන්නේ කියන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි . සාම්පල් ඇප් එකේ තියෙනවා මොකක් දෝ මාලිගාවක ඇතුලත දර්ශනයක් , තව වෙස්මුහුණු වගයක් , අපුරු කාටුන් එකක් , ගුගල් අර්ත් මගින් අභ්යවකාෂගතවෙලා පොලවේ තියෙන තියෙන තැන කිහිපෙකට බැහැල ඇවිදලා බලන්න පුළුවන් , ඒ වගේම ගුග්ල් ස්ට්‍රීට් විව් සහ තමන්ගේම කියල සිනමා හලක වගේ යු ටියුබ් එකේ වීඩියෝ බලන්නත් පුළුවන් . ඔලුව හරවන හරවන් පැත්තෙන් වීඩියෝ පේනවා . ඒ වගේම කටහඩින් සෙවුමක් දාල අපිට ඕනේ වීඩියෝ එක ලෝඩ් කරගන්න පුළුවන් .


දම් පාට රතු පාට රෝස පාට පාට පාට ලෝකයක් අප්පා .. 



ඔය තියෙන්නේ තියෙන ජාති ටිකෙන් ටිකක් 

මේ තියෙන්නේ ගුග්ල් අර්ත් එකෙන් පේන සින් එකක් 

මේකේ තියෙන මෘදුකාංගය වැඩ කරන හැටි සරලව කිව්වොත් (මට තේරෙන්නෙත් නෑ හරියට ) අපිට අවශ්‍ය කරන පරිගණක වැඩසටහනක් මගින් නිර්මාණය කරපු අතත්‍ය ලෝකයක් හෝ යම් නිර්මාණයක් සමාන්තරව බෙදපු කැමරා රුප රාමු දෙකක් විදියට මෘදුකාංගය මගින් පෙනෙන්න සලස්වනවා . ඒ පෙනෙන දේ මේ ගැජට් එක ඔය රවුම් දෙකක් වගේ තියෙන පුංචි උත්තල (අවතල ද මන්ද ) කාච දෙක ඇතුලෙන් බලපුවහම අපිට තාත්වික විදියට පේනවා . මම හිතන්නේ පොඩි දෘෂ්ටි මායාවක් සිද්ද වෙනවා අපේ ඇසත් එක්ක . ඒ එක්කම අපි ඔලුව හරවන හරවන දිශාව අනුව මෘදුකාංගය මගින් පසුබිම වෙනස් කරමින් අතත්‍ය යාථාර්තය (virtual reality) නිර්මාණය කරලා දෙනවා 



මේ තියෙන්නේ උදාහරණයක් 


ඕකයි ඉතින් කතන්දරේ . 

මේක බලල ඉතින් මටත් නිකන් ඉන්න හිතුනේ නෑ .. නිකන් ඉන්න එකේ මාත් මේ වගේ එකක් ට්‍රයි කරන්න ඕනේ කියල ගුග්ල් අයියලා අපි වගේ අයගේ බුරුල් වෙච්ච නට් තද කරන්න කියල දීල තිය උදාහරණ කෝඩ් (software code) කෑලි ටික එකලස් කරලා පොඩි android app කෑල්ලක් හදල බැලුව (android දන්න ඕනේ කෙනෙකුට ඉතා පහසුවෙන් මේක අටව ගන්න පුළුවන් )

මේ තියෙන්නේ එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 








මේ ඇප් එකේ විදියට අපිට කරන්න තියෙන්නේ ඔය හතරැස් කොටු ඔලුව හරෝ හරෝ හොයන්න . එකක් හොයාගෙන අපි එක දිහා බලල කාන්දම් ස්විච් එක පහලට කරලා අත ඇරපුවහම ඒක කහපාට වෙලා අපිට ලකුණක් එකතු වෙනවා ... හෙහ් හෙහ් හරි ජොලි 

මේක ඇත්තටම ගුග්ල්  සමාගම විසින් කරපු පොඩි අත්හදා බැලීමක් . ඕනේ කෙනෙකුට මේවගේ එකක් තමන්ටම හදා ගන්න පුළුවන් . ඕනෙම android (iphone  වලත් පුළුවන් ඇති). ෆෝන් එකක රන් කරන්න පුළුවන් නමුත් අර කාන්දම් සුවිච් එක වැඩ කරන්න නම් magnetometer  එකක් තියෙන්න ඕනේ . NFC  අත්‍යාවශ්‍යය නෑ.

මෙතන තියෙනවා සම්පුර්ණ විස්තරේ  


Monday, October 06, 2014

Skype එකෙන් ලව් කිරීම කෙසේද යත් ..

මේක මේ කොල්ල කාලේ කරපු පොඩි ආතල් ජනක වැඩක්.

ස්ථානය : මම මුලින් ම වැඩ කරපු කොම්පැනිය

කාලය: 2004 හෝ 2005 වසරේ එක්තරා දිනයක්

චරිත : මම සහ ඒ දවස් වල මම කරපු කෝස් එකක හිටපු ලස්සන ගෑනු ළමයෙක්

චරිත ගැන කෙටියෙන්:

මම : හොඳ හැදිච්ච කොල්ලා

A ළමය : අපි සෙට් එකත්  එක්ක හෙන ෆිට්. ටිකක් සෝෂල් චරිතයක්. හෙන හොඳයි. මම වගේම හොඳ හැදිච්ච ගුණ යහපත් ළමයෙක්.

පසුබිම් විස්තර : 

මගේ :
කොහෙන් හරි කමක් නෑ  ඉතින් කෙල්ලෙක් සෙට් කරගැනීමේ මානසිකත්වය සමග ස්කයිප් , කපුටා චැට් ,I R C  චැට්  ආදී මෙකි නොකී සියලු චැට් අත්හදා බලමින් ඉන්න කාලේ . කෙල්ලෙක්  එක්ක චැට් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතින් සියලු වැඩ අමතකයි .

A ළමයාගේ : 
ඒ කාලේ වෙනකොට කොල්ලෙක් නම්  හිටියේ නැද්ද කොහෙද. හැබැයි සැහෙන කොල්ලෝ ගානක් ලයින් දමපු ඇත්තටම ලස්සන ළමයෙක්

කතාව 

A  ළමය  : ආ  කොහොමද? ඔෆිස් එකේ ද ඉන්නේ ?
මම : ආ හලෝ කොහොමද? ඔව් මේ පොඩ්ඩක් වැඩ කරන්න කියල හිතුව.

A  ළමය  : ඒක  හොඳයි ඉඳල හිටලා හරි වැඩක් කරන එක (ස්කයිප් හිනා )
මම : අපි හැමදාම වැඩ තමයි හලෝ . ඔයාල වගේ අයිස් ගහන්නේ නෑ .

A ළමය : අපි අයිස් ගහන්නේ නෑ හරි ද
මම : හරි හරි අපි දන්නවනේ (ස්කයිප් හිනා)

මම : මේ එක නෙවෙයි . කෙල්ලෝ නැද්ද ?
A ළමය : කෙල්ලෝ ඉන්නවා . ඇයි  මම

මම  : ඔයා නෙමෙයි. වෙන කෙල්ලෝ නැද්ද ?
A ළමය : මොකටද අහන්නේ ?

මම : නෑ මේ නිකන් (ස්කයිප් හීන්  හිනා)
මම : මේ ඒක  නෙවෙයි . අරූට කෙල්ලෙක් සෙට් වෙලා නේද ?

A  ළමය : අරු කිව්වේ කවුද ?
මම : අරු කිව්වේ X

A ළමය  : මම දන්නේ නෑ. මට කිව්වේ නෑ.
මම :  ඌ මට එහෙම එකක් කිව්වා නේ .

A ළමය : වෙන්න ඇති.
මම :  මාත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ . මෙහෙම හිටිය ඇති.

A ළමය : ඒක හොඳයි .  දැන්  වයසයි නේ.
මම : කවුද වයස ? අපි තාම එල කොල්ලෝ හරි ද ?

A ළමය : අපෝ මම දන්නවා.
මම  : මොනව ද දන්නේ ?

A ළමය : නෑ මොකුත් නෑ.
මම : මේ ඒක නෙවෙයි . පොඩි බඩ්ඩක් කියන්න ද ?

A ළමය : මොකක් ද ?
මම : මේ පොඩි සීන් එකක්. එක්කෝ ඕනේ නෑ.

A ළමය : කමක් නෑ කියන්න. මටත් මේ වැඩකුත් නෑ කරන්න.
මම : ඕකනේ ඉතින් මම කිව්වේ අයිස් ගහනවා කියල (ස්කයිප් මහ  හිනා)  

A ළමය : අයිස් නෙමෙයි අනේ . මේ පොඩි රෙස්ට් එකක් ගත්ත .
මම : මම දන්නවනේ රෙස්ට් ගැනිල්ල ගැන .

A ළමය : මොකක් ද ඉතින් කියන්න තියෙනවා කිව්වේ ?
මම : ආ ඒක වැඩක් නෑ ..

A ළමය : අනේ කියන්නකෝ.
මම : කියන්න බෑ බෑ වගේ .. (ස්කයිප් ලැජ්ජා මූණ )

A ළමය : හරි හරි ඉතින් කියන්න මම කාටවත් කියන්නේ නෑ .
මම : (ස්කයිප් හිතන මූණ  )

A ළමය : (ස්කයිප් වේටින් මූන )
මම : ෂුවර් ද කාටවත් කියන්නේ නෑ කියල ?

මම : අරුන් එකෙකුටවත් කියන්න බෑ හරි ද ?
A ළමය : හරි හරි අනේ .

මම : මේකයි .මම මේක ඔයාට කියන්නමයි කියල හිටියේ.
මම : මට ලැජ්ජයි හලෝ

A ළමය : ඔහොම ලජ්ජා වෙලා බෑ අනේ . දැන් එල කොල්ලෙක් කිව්වා නේද .
මම : එල කොල්ලෙක් කියන්නේ ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් කියන එක නේ.

A ළමය : අපෝ මම දන්නවා නේ . (ස්කයිප් හිනා )
A ළමය : කෝ ඉතින් කියන්නකෝ

මම : මම මේක කිව්වා කියල ඔයා  අප්සට් ගන්නේ නෑ නේද ?
A ළමය : අනේ නෑ අනේ . ඔයා දන්නවනේ මගේ ගැන .

මම : ඔව් ඉතින් ඔයා ගැන දන්නා නිසා තමයි මම මේක කියන්න හිතුවෙත් .
මම : හරි එහෙනම් ප්‍රොමිස් කියන්න මම මේක කිව්වට පස්සේ තරහ වෙන්නේ නෑ කියල .

A ළමය : හරි හරි ඉතින් ඔන්න ප්‍රොමිස්.
මම : හරි

මම : මේකයි ඉතින් මේක හිතේ තියන් ඉඳල තේරුමක් නෑනේ . ඔයා ගැන හොඳට දන්න නිසා මේ කියන්නේ .
A ළමය : ඉතින් කියන්න






























මම : මම දැන් සෑහෙන  වෙලාවක ඉඳන් හෙන චූ බරේ හිටියේ. ඔයාට කියන්න නිකන් මොකක් ද වගේ නිසා කිව්වේ නැත්තේ . අනේ මොකුත් හිතන්න එපා හොඳද .. මම යනවා චූ  දාන්න . ඔයා කාටවත් කියන්න එපා ප්ලීස් හරි ද ? (ස්කයිප් බිම පෙරෙලෙමින් හිනා )

මෙහෙම කියල ඉතින් මම ඇත්තටම චූ  දාන්න ගියා . ගිහින් එනකොට














A ළමය : මෝඩයා . මම යනවා (ස්කයිප් ඕෆ්ලයින් )







මට ඉතින් ෆුල් ආතල් හැබැයි ඉතින් පොඩ්ඩක් අප්සට්. ඇත්තටම ඒ ළමය ගැන කිසිම ලයින් එකක් ඒ දවස් වල තිබුනේ නෑ . (ඔය මම කීප තැනකම කියපු මගේ අතීසාර මිත්‍රයාගේ නම් පොඩි ලයින් එකක් තිබ්බ . හැබැයි ඒ  වැඩේ හරි ගියේ නෑ ) මම ඉතින් ෆිට් එකට ජොලියට වගේ බයිට් කරන්න හිතාගෙන කරපු වැඩක් .

දැන් තමයි කතාවේ ආතල් ම හරිය

මේ සීන්  එකෙන් පස්සේ ඉතින් මම ඉතින් ගෙදර ගිහින් හෙමිහිට රෑ වෙලා අර කියපු අතීසාර එකාට කෝල් එකක් දුන්න.

"අඩෝ මේ උඹ දන්නව ද අද අරකි මාත් එක්ක චැට් කලානේ .
කවුද ?

අර A ළමය බන්. උඹේ ලයින් එක .
අනේ පල $#$#@$@#$ යන්න . මගේ ඇති ලයින් එකක් නෑ.

හරි හරි ඉතින් අපි දන්නවනේ . මම ඕනනම් අහන්නම් උඹට බයයි වගේ නම් ..
අනේ පල යන්න .මම බය නෑ  යකෝ.

අපෝ ඔව් මම දන්නවා බය නෑ කියලා ළඟට ගියාම කලිසමේ චූ යනවා
අනේ පල #%%#$%%#$%#$% යන්න . ඉතින් ඒකී මොකෝ කියන්නේ.

මම මේ ආතල් එකට ඒකිව පොඩ්ඩක් බයිට් කළා . අප්සට් ගියා ද දන්නේ නෑ ..

අරූ  මහා හඬින් සිනා සෙයි .. අනේ උඹේ බයිට් කිරිල්ල. අපි දන්නේ නැද්ද උඹේ හැටි.

ඇයි මොකෝ උඹ මොනව ද දන්නේ ?

$%$%%$#% ඒ චැට් කලේ ඒ කෙල්ල නෙවෙයි. අරූ X ඒකිගේ නමින් ලොග් වෙලා ඇවිල්ල චැට්   කලේ උඹව අන්දන්න.


-----------------------------------------------------------------------------------------------------------------------
ප.ලි
(එදා වෙච්ච දෙබස් ටික මට හරියටම මතක නෑ . මීට ආසන්න විදියකට කතා බහ ගියා . සීන් එක ඇත්තටම වුණා . අදටත් A ළමය මෙහෙම සීන්  එකක් ගැන දන්නේ නෑ .. හෙහ් හෙහ් ) 

Tuesday, September 16, 2014

පොතක් ගැන කතාවක්....

සාහිත්‍ය මාසේ පොත් ගැන කතා බහ කරන නිසා පොත් ලියන කියවන අයගේ හිතසුව පිණිස බොහෝ වැදගත් සටහන් කීපයක් ම ලියවිලා තිබුනා. අපි දන්න කියන බ්ලොග් කරුවන් කීප දෙනෙකුගේම පොත් එලි දැක්වීමත් සිද්ද වුණ එක මම හිතන්නේ මේ අවුරුද්ද අපේ සිංහල බ්ලොග් වලට නම් හොඳට  මතක තියෙන අවුරුද්දක් වෙයි. 

මමත් තිලක සිතයි, සොඳුරු බාලේ ගෙවුණු තාලේ නම් මිලදී ගත්තා. තිලක සිත මෙහෙට ගෙනාවට  සොඳුරු බාලේ ගෙවුණු තාලේ නම් ඉතින් ගත්ත ගමන් අක්කගේ දුවට දීල ආවා. ඒක කියවන්න වෙන්නේ ආයේ ලංකාවට ගිය දවසක.

පොත් කියවීම සහ කියවපු පොත් ගැන ගොඩක් අය සටහන් දාල තිබ්බ නිසා මේ පොත් ලිවිම ගැන පොඩි සටහනක් දාන්න මට හිතුනා. මම මේ ලියන්නේ මගේ අත්දැකීමක්. පොතක් ලියපු ඕනේ කෙනෙක් මේ අත්දැකීම මේ විදියටම විඳලා ඇති. ඉස්සරහට ලියන්න හිතන් ඉන්න අය වෙනුවෙන් ඒ අයත් තම තමන් ගේ අත්දැකීම් ලියයි කියල මම හිතනවා.

මම ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ පොතක් ලියපු කතාව මම කලින් පෝස්ට් එකක ලිව්වා. මේ තියෙන්නේ. ඇත්තටම එහෙම කලේ මට ඒ දවස් වල ලියන්න හෙන ආසාවක් තිබුනා. නොකා නොබී ලිව්වා කිව්වොත් හරි. පොත ලියපු කතාව ආයේ කියන්නේ නැතුව ඕක ලියපු හැටි ගැන පොඩි සටහනක් තමයි මේක. ගිය සතියේ ලංකාවට ගිය වෙලාවේ පරණ පොත් ටික අවුස්සලා බලද්දී තමයි මේ වගේ සටහනක් ලියන්න අදහස ආවේ.

හැමෝම වගේ පොඩි කාලේ ඉඳන් එක එක විදියේ පොත් කියවන උණ තිබුණු නිසා මේ ලිවීමේ ආසාව මටත් ඇති වුණා කිව්වොත් නිවැරදියි. හැබැයි ඒ ලිවිම පොතක් දක්වා ගියා කියල මටත් සමහර වෙලාවට හිතා ගන්න අමාරුයි. 

මුලින් ම ඉස්කෝලේ රචනා ලියල ඊට පස්සේ නිසදැස් ලියල ඊටත් පස්සේ පත්තරේට ලියල අන්තිමට පොතකුත් ලියල තමයි වැඩේ නතර වුනේ හෙහ් හෙහ්.

ඉතින් දැන් ඔය විදුසරේ ගිය විද්‍යා ප්‍රබන්ධයි, ආතර් සී. ක්ලාක් ගේ පොතුයි කියව කියව හිටපු මගේ ඔලුවේ ගොඩක් වෙලාවට ඕවා තමයි වැඩ කලේ. උසස් පෙළ පන්තියේ ඉන්නකොට ඔය එක සයන්ස් කෑලි ගැන කොහොමත් හෙන උනන්දුයි නේ. ඉතින් ඔහොම ඉද්දි එක දවසක් මට හිතුනා නිකමට විද්‍යා ප්‍රබන්ධයක් ලියල බලන්න. ඒ දවස් වල ඉතින් ඕනේ වෙලාවක ළඟ තියෙන්නේ පුල්ස්කැප් කොල නේ. ඉතින් අරන් එකක් ලිව්වා. මට මතක විදියට ඒ කතාවට මුලික වුනේ ඒ දවස් වල මම බලපු 
The Adventures of Brisco County Jr සීරිස් එකේ තිබ්බ පොඩි මොකක් හරි ගැජට් එකකින් ඔලුව විකාර වෙන පොරක් ගැන කතාවක්. මම ඕක විදුසරට දැම්ම. සති 2-3ක් බැලුවට ගියේ නෑ. ඊට පස්සේ තව එකක් ලිව්වා .

මේ තියෙන්නේ ඒ දෙවෙනියට ලියපු කතාවේ අත් පිටපත.


ඕක ලියල දැම්ම පත්තරේට  මෙන්න ඊළඟ සතියේ පත්තරේ කතාව තියෙනවා ජනක රත්නායක මහත්තයාගේ චිත්‍රෙකුත් එක්ක. මට ඉතින් කියල වැඩක් නෑ සන්තෝසේ.. හෙහ් හෙහ්

මේ තියෙන්නේ පළවෙනි කොටස පත්තරේ ගිය හැටි. දිනේ 2000 අප්‍රේල් 12 බදාදා

 මේ තියෙන්නේ දෙවෙනි කොටස දිනේ 2000 අප්‍රේල් 19 බදාදා

දැන් ඉතින් මාර ෆිට්. හෙහ් හෙහ් කට්ටියගෙන් එක එක අදහස් එනවා. හොඳ කියනවා. මරු ආතල්.  ඒ කික් එකට තව එකක් ලිව්වා. එකත් ටික දවසකින් පස්සේ පත්තරේ ගියා.
(මම එකේ ෆොටෝ එකක් ගත්තේ නෑ.. දැන් අපරාදේ කියල හිතෙනවා.)

දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් ඔලුවේ වැඩ කරන්නේ මේ විද්‍යා ප්‍රබන්ධ ලිවිල්ල. ඔය අවුරුද්දේ අගෝස්තු වල තමයි මම මුල් වතාවට  උසස් පෙළ කලේ... හෙහ් හෙහ් හිතා ගන්න පුළුවන් ඇතිනේ ප්‍රතිඵලේ.. රෑ තිස්සේ පාඩම් කරනවා කියල කලේ විද්‍යා ප්‍රබන්ධ ලියපු එක. 

කොහොම හරි පලවෙනි වතාවට විභාගේ ඇනගෙන දෙවෙනි වතාවටත් උසස් පෙළ කරන්න ගත්තා.  ඊට පස්සේ පත්තරේට ලිව්වේ නෑ. හැබැයි විද්‍යා ප්‍රබන්ධ උණ තදටම තිබුනා. 

දෙවෙනි වතාවට විභාගේ කරන්න පටන් ගත්තත් මගේ ඔලුවේ වැඩ කලේ මේ කතා ලිවිල්ල. ඉතින් ඕනේ එකක් කියල හිතට එන දේවල් ලියල දැම්ම.

මේ තියෙන්නේ එහෙම ලියපු කතා වල අත්පිටපත්




ඉස්සර මම බස් එකේ යද්දී කල්පනා කරන්නේ කතාව කොහොමද වෙනස් කරන්නේ කියල. ඊට පස්සේ ගෙදර ඇවිත් ආයෙත් ලියනවා. සමහර සිද්දි මගේ හිතට හරි යන විදියට ලියන්න බැරි වුනාම සම්පුර්න කොලේම විසිකරලා ආයේ මුල ඉඳන් ලියනවා.

ඔය අතරේ මම පත්තරේට ලියපු කතා වලට පොඩි ගෙවීමක් එක්ක චෙක් එකකුත් තැපෑලෙන් ආවා. ඒක තමයි මම මුලින්ම ජිවිතේ හම්බ කරපු මුදල. මේ තියෙන්නේ රිසිට් එක

ඔය කාලේදී තමයි මම හිතුවේ මේ කතා ටික එකතු කරලා පොතක් ලියනවා කියල. ගෙදර අයට කිව්වම එයාල අකමැත්තක් පෙන්නුවේ නෑ. හැබැයි කිව්වා කොහොම හරි විබාගේත් කරගන්න කියල. මමත් ඉතින් ඔලුව වනල දෙකම කරන්න ගත්තා.

මට තේරුනා මගේ ඇත්තම ආසාව තියෙන්නේ ලියන්න මිසක් විභාගේ පාස් වෙලා කැම්පස් යන්න නෙවෙයි කියල. එහෙම කියල ඉතින් නිකන් ඉන්නත් බැරි නිසා ඔය ක්ලාස් එහෙමත් ගියා.

මේ තියෙන්නේ ෆිසික්ස් හරි ඇප්ලයිඩ් හරි ගානක් හදන්න ට්‍රයි කරපු කොලෙකුත්. ඔකේ අනිත් පැත්තෙත් කතාවක කොටසක් ලියල තිබ්බා.

හෙහ් හෙහ්

පොත ලියපු එකට අමතරව පොතේ එන චිත්‍ර, කවරේ හැමදේම ඩිසයින් කලේ මම. කටු සටහන් ගගහ ෆුල් ගේමක් දුන්නා.

මේ තියෙන්නේ ඒ දවස් වල මගේ තිබ්බ කොම්පියුටර් කට්ටෙන් හදපු පින්තුර.



මේ හැම ග්‍රැෆික් එකක් ම හොයා ගත්තේ එක්කෝ මම බලපු ෆිල්ම් වලින්, නැත්නම් ගහපු ගේම් වලින්.  ඉස්සර v-cop 2 කියල ගේම් එකක් තිබුනා. 

 ඒ වගේම ඔය සමහර කරුණු හොයන්න මම පුස්තකාල පොත් කියෙව්වා. අපේ ඉස්කෝලේ හිටපු හාමුදුරුවන්ගෙන් විස්තර ඇහුවා. තව දන්නා දන්නා අයගෙන් විස්තර හෙව්වා. ඒ කියන්නේ ඔය සමහර ඉතිහාස සීන් එහෙම දැන ගන්න. එක කතාවක හිට්ලර් ගැන පොඩි සීන් එකක් හොයා ගන්න මම සැහෙන්න කට්ටක් කෑවා. හිට්ලර් මරුනේ කොහොමද කියන හොයා ගන්න. හෙහ් හෙහ් අවංකවම සැහෙන්න මහන්සි උනා ඒ වෙනුවෙන්.

ඉතින් කොහොම හරි 2001 අවුරුද්දේ සැහෙන කාලයක් ගෙවුනේ මේ පොතේ වැඩේට. මම කටුවට ලියන කතාව අපේ නංගි ආයෙත් මට වෙනම කොලවල ලියල දුන්නා. ඒ මගේ අකුරු වලට වඩා අපේ නංගිගේ අකුරු ලස්සන නිසා. නංගිත් හෙන කට්ටක් කෑවා. 

ඊට පස්සේ ඔය කතා ටික අරන් මමයි තාත්තයි ගියා පබ්ලිෂර් කෙනෙක් හොයන්න. බස් එකේ නැගල ඔය ප්‍රසිද්ධ ප්‍රකාශකයෝ හැමෝ ගාවටම වගේ ගියා. කවුරුත් වැඩේට කැමති වුනේ නෑ. මොකද මම ඉස්කෝලේ යන ළමයෙක් නිසා පොත විකුණා ගන්න බැරි වෙයි කියල. අපේ අම්මගේ යාලුවෙක් ගේ හැඳුනුම් කමකට කැමිලස් ප්‍රකාශකයෝ ගාවටත් ගියා. එතන හිටපු කැමිලස් මහත්තයා තමයි මට කිව්වේ ඔයා මේක කර්තෘ ප්‍රකාශනයක් විදියට කරන්න කියන එක.

පස්සේ අපි එහෙම කරන්න තීරණේ කරලා අපේ ගෙවල් පැත්තේ තිබ්බ තාත්ත දන්නා කියන ප්‍රෙස් එකකට වැඩේ බාර දුන්න.. පොත ප්‍රින්ට් කරන්න කලින් එයාල ටයිප් සෙටින් කරලා අපිට කොපි දෙනවනේ. ඒ කොපි ගෙදර ගෙනල්ල අපි අඩුපාඩු හදනවා. ඒ වැඩේට උදව් කලේ දිමුතු අයියා.

ඔය අතරේ මට ඕනේ උනා මේ පොතේ පිටිපස්සට දාන්න ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගෙන් පසු වදනක් ලබා ගන්න. 

ඒ වැඩේ කොහොමද කරන්නේ කියල හිත හිත ඉන්නකොට අපේ අක්කගේ මහත්තයා හෙවත් දිමුතු අයියා වැඩේ ගොඩ දාන්න සපෝර්ට් එක දුන්න. එයා මුල ඉඳන් මේ වැඩේට සපෝර්ට්. අතීජාත මස්සිනා.. හෙහ් හෙහ්

එයාගේ තිබුණු සම්බන්ධ කම් වලින් අපි නාලක ගුණවර්ධන මහත්තයව සම්බන්ධ කරගෙන මම කතා කළා. මම නාලක ගුණවර්ධන මහත්තයටත් අර ප්‍රින්ට් කරපු කොපියක් දුන්නා. ඊට පස්සේ ශ්‍රීමත් ආතර්. සී ක්ලාක් ගෙන් මෙන්න මේ පසු වදන ලැබුණ.




පොත් කවරේ ඩිසයින් කරන වැඩේත් මටම කරන්න ඕනේ උනා. නමුත් ඒ දවස් වල මම පේජ් මේකර් වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න දැනගෙන හිටියේ නෑ. ඉතින් මම කවරේ ඩිසයින් කරලා තවත් ග්‍රැෆික් ඩිසයින් දන්න අයිය කෙනෙක් ගේ කඩේකට ගිහින් තමයි පොතේ කවරේ හදා ගත්තේ.

පොතේ මුල් පිටුවට දැම්මේත් අර ගේම්  එකේ ඉන්න කෙල්ලෙක්ව හෙහ් හෙහ්
මේ තියෙන්නේ

මේ කවරේ මිට වඩා කොලිටි එකට හදන්න ඒ අයිය ට්‍රයි කළා. ඒත් මම කිව්වා මට ඕනේ මේක මම ම හදන්න ඒ නිසා මට පුළුවන් විදියට හදපු එක අපි දාමු කියල තමයි මේක මේ විදියට හැදුවේ.  ලැමිනේටින් එක කුල් ලැමිනේට් කරනවද ග්ලොස් ලැමිනේට් කරනවද කියල අහපු වෙලාවේ මම ග්ලොස් එකෙන් කරමු කිව්වේ පස්සේ කාලෙක ලියන පොතක් ආයේ කුල් ලැමිනේට් එකෙන් කරන්න හිතාගෙන. හෙහ් හෙහ්

ඇත්තටම මේක ප්‍රින්ට් කරන්න අපිට සල්ලි තිබුනේ නෑ. මම කොපි 1000ක් ප්‍රින්ට් කළා. ඒ ටිකට රු 60000ක් ගියා ඒ දවස් වල. ඒ සල්ලි දෙන්න අපේ ගෙදර අයට වත් කමක් තිබුනේ නෑ. අන්තිමට අපේ මාමයි, අපේ ලොකු අම්මගේ පුතයි තමයි මට ඔය සල්ලි ටික දුන්නේ.

ඊට පස්සේ වැඩේ උනේ මේකේ දොරට වැඩීමේ උළෙල ප්ලෑන් කරන එක. ඒ වෙනකොටත් ඉස්කෝලේ ළමයෙක් විදියට හිටපු නිසා උත්සවේ ඉස්කෝලේ මේන් හෝල් එකේ ගන්න ප්ලෑන් කළා. ඊට පස්සේ පොඩි පබ්ලිසිටි එකක් දෙන්න ඔය එක එක පත්තර වලට රේඩියෝ, ටීවී චැනල් වලට දාන්න එහෙම අපේ දිමුතු අයියා ෆුල් සපෝර්ට් දුන්න.

මේ තියෙන්නේ ඒ දවස් වල එයා ඒ වැඩ ප්ලෑන් කරද්දී ගහපු කටු සටහනක්


දැන් ඒවා ප්ලෑන් කරලා දොරට වැඩීමේ උත්සවේට ආරාධනා පත්‍රයක් යවන්නත් ඕනේ නේ. මෙච්චර ඒවා කරපු එකේ එකත් මම ම කරනවා කියල හැදුව කාඩ් එකක්

මේ තියෙන්නේ කාඩ් එකයි කවරෙයි


ඇතුලට දාන්න මරු කවි පදේකුත් දිමුතු අයිය ලියල දුන්න.

මේ තියෙන්නේ ඒක.


පොතේ දොරට වැඩීමේ උළෙලට ආතර් සී ක්ලාක් මහත්මයට ආරාධනා කලත් එතුමා පැමිණියේ නෑ. නමුත් මට එතුමා හමුවෙලා කතා බහ කරලා මගේ පොතේ කොපියක් එතුමාට දෙන්න අවස්ථාව ලැබුණ. මෙතන තියෙනවා ඒ වෙලාවේදී ගත්ත ෆොටෝස් ටිකක්. මේ මගේ ජිවිතේ අමතක නොවන දවස් වලින් එකක්.

ඔක්කොම කරලා අන්තිමට 2001 ජුලි මාසේ 21 (වගේ තමයි මතක) මාසේ දවසක පුංචි දොරට වැඩීමේ උළෙලක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලේ දි පැවැත්වුනා. මේ උත්සවයට ප්‍රවීන විද්‍යා ලේඛකයින් වන එස්.එම් බන්දුසිල මහත්මයා සහ අතුල මංචනායක මහත්මයා සහභාගී වුණා.

ඒ වගේම  අපේ නෑදෑයෝ කට්ටිය , ගමේ අය , යාලුවෝ එහෙම සහභාගී වුණා. උසස් පෙළ කාලේ මේක කරපු නිසා ඉතින්  ටියුෂන් ක්ලාස් වල යාලුවෝ, ගෑනු ළමයි එහෙමත් ආවා.  හෙහ් හෙහ්

කොහොම හරි ඉතින් උත්සවේ ස්තුති කතාව වෙලාවේ මට හොඳටම ඇඩුනා. ආපු කාට්ටියත් ගොඩක් අය ඇඩුව. හෙහ් හෙහ් 

මේ තියෙන්නේ උත්සවේ වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන් ෂොට් ටිකක්


 අම්මයි තාත්තයි
 එස්.එම් බන්දුසිල මහත්මය
ඇතුල මංචනායක මහත්මය.

ඔය උත්සවෙන් පස්සේ පොත ගැන ලක්හඬ රේඩියෝ එකේ විනාඩි 10ක් විතර වැඩසටහනක් කළා. ඒ එක්කම සිරස ටීවී එකේ සෙනසුරාදා උදෑසන යන වැඩ සටහනේ විනාඩි 10ක් විතර පොත ගැන පොඩි කතා බහක් කළා. ඒවා ඉතින් ඒ වයසේදී මගේ ජිවිතේට සැහෙන වැදගත් වෙච්ච සිදුවීම්. ආතල් ම සීන් තිබුනේ ටියුෂන් ක්ලාස් වල සර් ල පන්තිය වෙලාවේදී පබ්ලිසිටි දුන්න එක.

ඒ දවස් වල රිවිෂන් ක්ලාස් ගිය අය දන්නව ඇති උපාලි සඳගම සර් ව. හෙහ් හෙහ් මිනිහ හෙන ආතල් දෙන පොරක් නේ. සර් මේ පොත ස්ටේජ් එකේ පෙන්නලා. "ඔන්න දැන් අපි ඒ පොත හරියට ටීවී එකේ පෙන්නනවා වගේ මෙතන පෙන්නවා" කියල පොත පෙන්නුවා. ඊට පස්සේ "ආ දැන් එයාට හරි සන්තෝස ඇති" කියල හොඳ චාටර් එකකුත් දැම්ම.. කොල්ලන්ගේ හූ පාර කාගෙන හිටිය ඉතින්.. හෙහ් හෙහ්

කොහොම හරි ඉතින් ඕක තමයි කතන්දරේ.  මම මෙච්චර කාලෙකට ප්ලෑන් කරලා හෙන කැපවීමකින් කරපු එකම වැඩේ ඕක. හැබැයි මම කණගාටු වෙන්නේ නෑ මොකද ඔය සිද්දියෙන් මාස 7කට පස්සේ මගේ තාත්ත හදිසියේම නැති වුණා. ඉතින් තාත්තගේ හිතට සතුටක් දෙන්න මේ පොත නිසා මට පුළුවන් කමක් ලැබීම ගැන අදත් මගේ හිතට තියෙන්නේ ලොකු සැනසීමක්. 


Wednesday, August 27, 2014

කරදරකාරී ඇනෝ ඊමේල්-කොමෙන්ට්ස්

දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. මේ ලෙඩේ තියෙන්නේ සමහර පෝස්ට් වලට විතරයි. මම හිතුව මට විතරක් ආපු අවුලක් කියල නමුත් තවත් කිහිප දෙනෙකුට මේ අවුල තියෙනවා කියල දැන ගන්න ලැබුණ. 

මේ ඊමේල් ඇඩ්රස් එක අපි spam විදියට මාක් කලොත් දාන අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් spam විදියට තමයි  අඳුර ගන්නේ.

මගෙන් උත්තරයක් හොයන් ආපු තිස්ස අයියා ගේ ඉල්ලීමක් උඩ මේ සටහන දැම්මේ මේ සම්බන්ධයෙන් යමක් දන්න අපේ ටෙක් බ්ලොග් කරුවන් ගෙන් උදව්වක් ලැබෙයි කියල හිතල.

මම දැන ගත්ත විදියට අපේ බ්ලොග් එකේ සැකසුම් වල ඇනෝ කොමෙන්ට්ස් ඇරලා තියෙනවනම් මේක සිද්ද වෙනවා. ඇනෝ බ්ලොක් කළාම හරි යනවා. හැබැයි ඉතින් අපේ ආතල් ඇනෝ වගේ බ්ලොග් රසවතුන් ගේ කොමෙන්ට්ස් මේ සැකසුම නිසා අපිට මිස් වෙනවා.

මේ කරදර කාරී කොමෙන්ට්ස් වල තියෙන තව විශේෂත්වයක් තමයි ඊමේල් එකක් විතරක් එන එක. ඒ කියන්නේ බ්ලොග් එකේ කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නේ නෑ. කොමෙන්ට්ස් වලට රෙජිස්ටර් වුන අයටත් ඊමේල් එකක් යනවා. 

බ්ලොග් එකේ දාල තියෙන විජට්ටුවක් නිසා මේ ප්‍රශ්නේ එනවා කියල සැකයක් ආවත් මගේ බ්ලොග් එකේ නම් එහෙම අමුතු ගැජට් එකක් එල්ලුවේ නෑ ලඟදි. අර භාෂා ලංකා එකෙන් හදපු සිංහල බ්ලොග් වලට දාන්න පුළුවන් වෙළඳ දැන් වීම ටික එල්ල ගත්ත විතරයි මතක ඇති කාලෙකින් කරපු වෙනස.

 මේක ලොකු අවුලක් නොවුනත් දවසකට ඊමේල් 10-15ක් එන වෙලාවල් තියෙනවා. 

මේ තියෙන්නේ එහෙම ආපු ඊමේල් කීපයක්
1.
You just need to be coachable and able to follow step by step directions just having access to the internet and a cellphone.
You will need to begin by understanding the context of social media 
optimization itself. In this respect it is a very attractive alternative 
to PPC.

Feel free to surf to my page; online trade marketing assistant job description 

2.

There are many different ways to achieve this depending on your area and your market.
The important thing to take-away in the project is that marketing 
on it involves communication not advertising. There are several considerations to 
take into account when producing videos.

my web site free online marketing and advertising courses (

3.

SEO itself is not a hugely complex process, it is more about the time 
and effort you can put it, or alternatively the amount of money 
you can afford to pay someone else. They know that people will do business with responsible businesses.

It's best to choose a market where there are plenty of buyers, 
and not a lot of competitors.

My web site: online marketing agent description - exhibition-camillianhome-kiara.weebly.com - 

දැනට නම් පේන විදියට මේක blogger එකේ තියෙන blogs වලට විතරක් තියෙන අවුලක් වගේ. wordpress බ්ලොග් කරුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවද?

ප්‍රශ්නේ ගුග්ල් කළාට හරි හමන් උත්තරයක් හොයා ගන්න බෑ

ටෙක් ගීක් බ්ලොග් කරුවන්ගේ අවධානය පිණිස. (මම එහෙම එකෙක් නොවෙමි. :D)


Sunday, August 17, 2014

8 වසරක් සිංහලෙන් බ්ලොග් ලියා...



මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. අවංකවම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ප්ලෑන් කරලා දේවල් ලියල නෑ.. ලියන්න අදහස් සමහර විට ඔය යන එන වෙලාවට කල්පනා කරලා බලනවා. ඒ ඇරුනම යම් අරමුණක්, නැත්නම්  බලාපොරොත්තුවක් තියාගෙන මේකේ කිසිම දෙයක් මම ලියල නෑ. 

මම කලින් ඔය ඇනිවසරි පෝස්ට් වලදී කියල තියෙන විදියට සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය තුල බාවිතාව අරඹා ටික කාලෙකින් මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ දවස් වල සිංහල අකුරින් කොම්පියුටර් එකේ මොනවා හරි ලියන්න ආපු ආසාව නිසා මේක ලියන්න පටන් ගත්තේ. මොකද ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන , වර්ඩ් වල වගේ කි-පෑඩ් එකක් ඕපන් කරගෙන අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා තමයි මම ඊට කලින් සිංහල ලිව්වේ. හැබැයි මේ යුනිකේත නිසා එහෙම ලියන්නේ නැතුව අපි කී-බෝඩ් එකේ ඉංග්‍රීසි ලියන විදියට ඉතා පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් වීම ඒ දවස් වල මට නම් ඇත්තටම හෙන සිරා දෙයක් විදියට පෙනුනේ. ඒ ආසාවට ඔහේ ලියපු එකයි කලේ.

මම සිංහල යුනිකෝඩ් සමුහය එක්ක එකතු වෙච්ච හැටි මම කලින් පෝස්ට් වල ලිව්වා. ගොඩක් අය මේ සිංහල යුනිකේත මේ අද තියෙන තත්වයට ගේන්න මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත අය හිටියා. දැන් වගේම නැති වුනත් බ්ලොග් වල හොඳ රසවත් කතා බහ තිබුන. 

ඉතින් බ්ලොග් ලියන එක මට නම් මෙච්චර කාලෙකට  මගේ පුද්ගලික ජිවිතේටවත්, රැකියාවටවත් අමුතු බාදාවක් හෝ වාසියක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක දවසේ පැය 24න් පැය 12ක් විතර පරිගණකය ඉස්සරහ ගත කරන රස්සාවක් කරන අතරේ සිංහලෙන් මොනවා හරි ලියන්න හිතුනහම ඔහේ ලියන්න පාවිච්චි කරනව එච්චරයි. 

ඒ ඒ කාල වලදී මුණ දෙන්න සිද්ද වෙච්ච  එදිනෙදා සිද්දි නැත්නම් ඒ ඒ කාලවලට ජිවිතේ ගැන හිතෙන හැටි, නැත්නම් ඔය වල් පල් ටිකක් ඇර වෙන වැදගත් වගේ දේවල් මේකේ නෑ.  ඊට වැඩිය සමාජයට ප්‍රයෝජනවත් වගේ දෙයක් ලියන්න ඇත්තටම මම දන්නේ නෑ කියන්න පුළුවන්. මොකද මම සාමාන්යෙන් මොනවා හරි ලියන්න කලින් හිතල බලනවා මේ ලියන්න යන එක ගැන මම හරියටම දන්නවද කියල. ඔහොම හිතල බැලුවම මම ඇත්තටම මොකුත් දන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. ඉතින්  නොදන්න දේවල් ලියන්නේ කොහොමද කියල මම ඕවා ලියන්නේ නෑ.

හැබැයි එක වෙලාවකට මම දන්නා සමහර දෙවල් ලියන්න ඕනේ කියල හිතෙනවා. හැබැයි තාම මට ඒ දේවල් ලියන්න හරියටම හිතුනේ නෑ. හිතුන වෙලාවක ලියන්නම්.

සිංහල බ්ලොග් ලෝකේ බොහොම අපූරු මිනිසුන් ඉන්න තැනක්. හැම දෙයකදිම වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන නිසා මේ බ්ලොග් කියවීම රසවත් දෙයක් වෙලා තියෙනවා. මම බොහොම අඩුවෙන් බ්ලොග් කරුවන් සමග සම්බන්ධ වෙන කෙනෙක්. එහෙම වෙලා තියෙන්නේ එකක් ඒ මගේ හැටි වීම සහ අනිත් එක අන්තර්ජාලය ට වඩා මම සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු එක්ක හොඳින් එන්න කැමති වීම. ඒ කියන්නේ මම වර්චුවල් ප්‍රතිරූප ගැන තාම එතරම් විස්වාස කරන්නේ නෑ..  එකෙන් අදහස් වෙන්නේ නෑ වර්චුවල් ඉන්න අය නරක මිනිස්සු කියල නමුත් මම වඩා කැමතියි දන්න කියන ගෙදර මිනිස්සු ටිකත් එක්ක වැඩි පුර කාලයක් ගත කරන්න. 

බ්ලොග් ලෝකේ විවිධ දේවල් සිද්ද වෙනවා. බොහෝ අය ඇවිල්ල යනවා. බොහෝ හොඳ දේවල් සිද්ද වෙනවා. බ්ලොග් නිසා හඳුනා ගෙන බොහෝ උපකාර කරපු අය ඉන්නවා.  මමත් පුළු පුළුවන් හැටියට උපකාර කිහිපයක් කරලත් තියෙනවා. ඉතින් කොයි දේ වගෙත් මේකත් ජීවිතෙත් එක්ක ගලාගෙන යන තව එක දෙයක් විතරයි. අනිත් සම්බන්ද කම් වගේම බ්ලොග් නිසා ඇතිවුන සම්බන්ද කමුත් ඒ විදියට ගලාගෙන යයි.

මට ඉතින් කියන්න තියෙන්නේ දන්නා දෙයක් ලියල තමන්ටවත් අනුන්ටවත් ඇණයක් නොවී මේ වැඩේ කරගෙන යමු කියල.  අපි වගේම අනිත් මනුස්සයත් එක එක විදියේ ප්‍රශ්නත් එක්ක ජිවත්  වෙන තවත් කෙනෙක් කියන එක පොඩ්ඩක් කල්පනාවට ගත්තම අපිට කෙනෙකුගේ ජිවිතයට ඇණයක් වෙන්න හිතෙන්නේ නෑ. හැබැයි ආතල් එකට නම්  මල ඇණයක් වුනත් කමක් නෑ...

අට වසරේ පොර ටෝක් අවසානයි නමය වසරේදී නැවත හමුවෙමු




Sunday, August 03, 2014

බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!!

මම මගේ CV එකේ මේ බ්ලොග් එක ගැන සඳහනක් දාල තියෙන්නේ. ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන අන්සෙට අදාලව. මගේ CV එකේ ඒ අන්සේ නම  දාල තියෙන්නේ Skills and Competencies කියල. ඒ කියන්නේ මට සිංහල සහ ඉංග්‍රීසි වලින්  යමක් ලිවීමේ හැකියාව තියෙනවා කියන එක ඔප්පු කරන්න තමයි ඕක දාල තියෙන්නේ..

බ්ලොග් එකක් CV එකට දාන එක ගැන අපි එච්චර නොහිතුවට එකෙන් සැහෙන ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම ඔය යම් කිසි විෂය කරුණු ගැන ලියන අයට, එහෙම නැත්නම් තාක්ෂණික දේ වල් ලියන අයට. තමන් කරන රැකියාවට කෙලින් ම අදාළ ව හෝ අදාළ නොවුනත් තමන්ගේ යම් හැකියාවක් පෙන්නුම් කරන්න CV එකේ තමුන්ගේ බ්ලොග් අඩවිය සඳහන් කිරීම වරදක් නෙවෙයි කියල මම හිතන්නේ.. ලියන දේවල් වල ස්භාවය අනුව පොඩි පොඩි අවුල් තිබුනට ලංකාවේ ජොබ් එකකදී නම් ඉතින් බ්ලොග් එක ගැන CV එකේ දාන එකෙන් හොඳක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ගොඩක් වෙලාවට අපි නොදන්නවා උනාට අපිව ඉන්ටර්විව් කරන කෙනා අපේ බ්ලොග් එක කියවන්නෙක් වෙන්න පුළුවන්..  ඉතින් පොඩි සපෝර්ට් එකක් ඉබේම ලැබෙන්නත් ඉඩ තියෙනවා ඒ වගේම ජොබ් එකට කෙල වෙලා යන්නත් පොඩි චාන්ස් එකක් තියෙනවා... හෙහ් හෙහ් මම නම් CV එකට බ්ලොග් එකේ ලින්ක් එක නම් දැම්මේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වලමයි. 

 කාලයක් එකම කොම්පැනියේ වැඩ කරනකොට මේ අපි වගේ සොෆ්ට්වෙයාර් ජොබ් කරන අයට නිකන් මාරු වෙන්න ඕනේ කියන හැඟීම එනවා. ඒ කියන්නේ අපි කරන දේවල් නිතර වෙනස් වෙන නිසා පොඩ්ඩක් අප්ඩේට් වෙන්නයි පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්නයි ඉතින් ඒක හොඳ වැඩක්.  කොහොමත් ඉස්සර වගේ දැන් දැන් අවුරදු 15-20 එකම තැන වැඩ කරනවා අඩුයි නේ පුද්ගලික අංශ වල රැකියා කරන අය.

ඉතින් මිට අවුරුදු එකහමාරකට  විතර කලින් මමත් ඔහොම CV එක දැම්ම. ඔය ඇබෑර්තු තියෙන තැන් වලට. මුලින්ම සෙට් වෙච්ච තැන ඉන්ටර්විව් එක පොඩ්ඩක් අවුල් ගියා මොකද අවුරුදු 3කට විතර පස්සේ මුලින් ම ගියාම අහන ප්‍රශ්න ගැන හරි අයිඩියා එකක් නැති නිසා. එතන පට්ට ටෙක්නිකල් සහ අනිත් එක මම කරපු දේවල් වලට අදාළව නෙවෙයි එයාලගේ අවශ්‍යතාවය තිබුනේ.  මගේ නම් අදහස සොෆ්ට්වෙයාර් ජොබ් කරන අය අවුරුද්දකට 2කට විතර සැරයක් නිකමට වගේ CV එක දාල ඉන්ටර්විව් ගිහින් බැලුවට කමක් නෑ. එතකොට තමන්ගේ දැනුම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

ඊට පස්සේ තමයි මේ මැලේ රටේ එකේ ඉන්ටර්විව් එකට ගියේ. එතනත් ඉතින් 3 දෙනෙක් විතර ඇවිත් පැයක් විතර එක එක දේවල් ඇහුව. හෙනම ටෙක්නිකල් නෙවෙයි හැබැයි කරපු ප්‍රොජෙක්ට්ස් ගැනයි, සමහර ටෙක්නිකල් දේවල් ගැනයි ඇහුව. වැඩිපුරම ඔය කොම්පැනි ගැනයි, ලංකාව ගැනයි, ආගිය කතායි ඒව මේවා තමයි. පස්සේ පොඩි ටෙස්ට් එකක් කරන්නත් වුණා. 

ටික දවසක් යනකොට මෙන්න ආයේ තව කොම්පැනි එකකින් කෝල් එකක් ආවා. මැලේ රටේ එක ගොඩ යයි කියල පොඩි ෂුවර් එකක් තිබුනට ඔන්න ඔහේ කියල මේකටත් ගියා. මොකද ඒ කොම්පැනි එකට පොඩ්ඩක් හදිසි වෙලා තමයි මේ ගන්න හදන්නේ. මට පුළුවන් තරම් ඉක්මනට ඉනටර්විව් එකට එන්න කියල තමයි එයාල කෝල් කලේ. ඔතන අර මගේ අතීසාර මිත්‍රයින්ගෙන් එකෙකුත් වැඩ කළා. ඌට අනුව නිකන් ඉල්ලන ගානක් දීල ගන්න තරම් හදිසි තත්වයක් ලු තිබුනේ. 

එතන ඉන්ටර්විව් 3කට යන්න වුණා. පළවෙනි එක ටෙක්නිකල් එකක්. එයාලගේ අවශ්‍යතාවය වුනේ Android වලට කෙනෙක් ව ගන්න. මම ඒ දවස් වල Android කරපු නිසා ඒ ටෙක්නිකල් ඒවා ගේමක් නැතුව ගොඩ දැම්ම. පස්සේ අහපු සමහර දේවල් එහෙන් මෙහෙන් අවුල් ගියත් ඔන්න දැන් පලවෙනි එක ගොඩ. දැන් ඉතින් පඩි නඩි කොච්චර ඕනෙද එහෙම ඇහුවා. මට ඉතින් මෙතන සෙට් වුනත් එකයි නැතත් එකයි වගේ නිසා මම ටිකක් වැඩි පුර ඉල්ලුවා. ඉන්ටර්විව් එකේ හිටපු CTO බුවා හිනා වෙලා කිව්වා එච්චර නම් දෙන්න අමාරුයි ඕනනම් මෙච්චරක් දෙන්නම් කියල. මම කිව්වා එහෙනම් තේරුමක් නෑ. ඔය ගානට එන එක පාඩුයි කියල. 

කොහොමත් ජොබ් එකකට යනකොට මුලින් ම අපි කතා කරලා ගන්න ගානක් තමයි. ඊට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට කැරට් කකා තමයි ඉන්න වෙන්නේ. 

කොහොම හරි ඉතින් දවස් 2ක් විතර යනකොට මෙන්න මුන් මට ආයේ කෝල් කරනවා තව ඉන්ටර්විව් එකක් තියෙනවා පොඩ්ඩක් එන්න පුළුවන් ද කියල.. 

මට ඇති මහා වැඩක් නොතිබුනත් මම කිව්වා අද නම් හෙන බිසී අද එන්න බෑ ඕනනම් හවස 5න් පස්සේ එන්නම් කියල. එහෙම කියල 6ට විතර වෙලාව සෙට් කරන් ගියා. 

ගිහින් දැන් අර එදා හිටපු CTO බුවා එහෙම හම්බ වෙලා තව කෙනෙක් එක්ක පොඩි සාකච්චාවක් දැම්ම. ඔය පොඩි පොඩි  ප්‍රශ්න ටිකක් අහල දැන් මම ඉල්ලපු ගාන පොඩ්ඩක් අඩු කරගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. මම ඉතින් කිව්වා මට දැන් ඉන්න තැන කිසි අවුලක් නෑ ඉතින් ඒ ගානට වඩා අඩුවෙන් නම් එන එක තේරුමක් නෑ. අරකයි මේකයි කියල. මොකද මම දන්නවා දැන් මෙයාලට මාව ගන්න ෆුල් උවමනාවක් තියෙනවා කියල. අනිත් එක ඔය දවස් වෙනකොට මැලේ රටේ එක හරි ගිහින් තිබුනේ. ඒ කියන්නේ මාව සිලෙක්ට් කියල ඔෆීසියලි දන්නල තිබුනේ.  හැබැයි මම ඒ වෙනකොට ස්ථිරව තීරණේ කරලා තිබුනේ නෑ මැලේසියාවට එනවද කියල. මොකද මට රට යෑම ගැන එච්චර උනන්දුවක් කොහොමත් තිබුනේ නැති නිසා.

හැබැයි ඉතින් එදා ඉන්ටර්විව් එකෙන් පස්සේ මට තීරණයක් ගන්න වුණා. ඒ කියන්නේ එක්කෝ මැලේසියා යනවා නැත්නම් මේ කොම්පැනි එකට සෙට් වෙනවා. මෙතනට සෙට් වෙන්න මට පොඩි කැමැත්තකුත් තිබුන. මොකද එතන මට Android තමයි කරන්න තිබුනේ. මම ඒ වෙනකොට තීරණේ කරලා තිබුනේ දිගටම Mobile පැත්තෙන්ම කරනවා කියල මොකද මට එක එක තාක්ෂණික පැති වල වැඩ කරල ටිකක් ඇති වෙලා තිබුනේ.. ඔන්න ඔහේ  Android App එකක් හදාගෙන ඉන්න පුළුවන්නෙ කියල හිතාගෙන හිටියේ...

හැබැයි ඉතින් අනිත් අතට මැලේසියාවෙ අත්දැකීමත් වැදගත් කියල හිතුනා. ඔය අතරේ දැන් මම මැලේසියා ගියාම බට්ටි නගා ට ජොබ් එකෙන් අස් වෙලා එන්න වෙන ප්‍රශ්නෙත් තිබුනා. අපි දෙන්න නිකන් ගහයි පොත්තයි වගේ 24x7 එකටම හිටපු නිසා යනවනම් දෙන්නම යනවා කියල තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම ඕනේ එකක් වෙන්න කියල මැලේසියාවට දැන්නුව මම එන්නේ බට්ටි නගාටත් ජොබ් එකක් දෙනවනම් විතරයි කියල. එහෙනුත් කිව්වා හරි CV එක එවන්න එකක් සෙට් කරන්නම් කියල..

දැන් ඔහොම දවසක් දෙකක් ගියා.

මෙන්න අර කොම්පැනියෙන් මට ආයේ කෝල් එකක් එනවා. හරි අපි ඔයාව තොර ගත්ත තව ඉන්ටර්විව් එකක් තියෙනවා අපේ CEO ද කවුද එක්ක. වහාම එන්න කියල. දැන් ඉතින් මොකද කරන්නේ. ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල එකටත් ගියා.

දැන් තමා මාතෘකාවට අදාලව සිද්දිය  හෙහ් හෙහ්

වෙලාව රෑ 7ට විතර ඇති. මම ඉතින් පිළිවෙලකට ඇඳලා දැන් අර ඉන්ටර්විව් එකට සෙට් වෙලා ඉන්නවා. එතන ලොක්කා ගෑනු කෙනෙක්. අවුරුදු 40-45ක් වගේ ඇති.

සාමාන්‍ය විදියට දැන් කතාව පටන් අරන් යනවා.  මම ඉතින් පාඩුවේ අහන දෙකට උත්තරයක් දීගෙන ඉන්නවා.

මෙයා මගේ CV එක බලන ගමන් තමයි කතාව. 

ඉංග්‍රීසියෙන් ගිය කතාව සිංහලෙන් මෙහෙමයි

ලො :ඔයා බ්ලොග් එකක් ලියනව නේද?
මම : ඔව් ලියනවා. මම ලින්ක් එක දාල තියෙනවා
ලො: පොඩ්ඩක් ඉන්න මම බලන්නම්
(ලැප්ටොප් එකෙන් මගේ මේ බ්ලොග් එක බලන ගමන්)
ලො : සිංහලෙන් නේද ලියන්නේ ඇයි ඉංග්‍රීසියෙන් තාක්ෂණික දේවල් තියෙන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ?
මම : දවසම ටෙක්නිකල් වැඩ කරන නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම ඕක ලියන්නේ. ටෙක්නිකල් ඒවා ලියන්න මට කම්මැලියි.
ලො: ඒක හොඳයි හැබැයි ඔයා වගේ සීනියර් අය ටෙක්නිකල් එකක් ලියන්න ඕනේ නේ. ගොඩක් වටිනවා එහෙම එකක් ලියන එක.
මම : ඔව් මම දන්නවා. ඒ වුණාට මට කම්මැලියි. තව ගොඩක් ටෙක්නිකල් බ්ලොග්ස් තියෙනවනේ. සිංහල බ්ලොග්ස් අඩුයි නේ.
ලො: මොනවාද ඔයා නිතර බලන ටෙක්නිකල් බ්ලොග්ස්
මම : http://javarevisited.blogspot.com/,http://stackoverflow.com/
ලො: ඔයා පොත් කියවනවද?
මම : ඔව්
ලො :මොකක් ද අන්තිමට කියවපු පොත
මම : පාවුලෝ කොයියෝ ගේ විනාඩි 11 කියෙව්වා. තව එකක් කියවන්න ගත්තා මට නම මතක නෑ.
ලො: නෑ නෑ මම ඇහුවේ ටෙක්නිකල් පොත් කියවනවද කියල?
මම: නෑ. ගොඩක් ටෙක්නිකල් දේවල් ගුග්ල් එකෙන් හොයා ගන්න පුළුවන් නේ.
ලො: ඒ වුනාට පොත් වල ගොඩක් දේවල් තියෙනවා. වෙබ් එකේ තියෙන දේවල් විතරක් මදි හොඳ අවබෝධයක් ගන්න.
මම : ඔව් ඒක ඇත්ත. මම මොනවා හරි දෙයක් දැන ගන්න ඕනේ වෙලා ඒක වෙබ් එකේ නැත්නම් පොත් බලනවා. එහෙම නැතුව කියවන්නේ නෑ.
ලො: Effective Java කියවල තියෙනවද?
මම: ආ එකේ චැප්ටර්ස් 2-3ක් කියවල තියෙනවා. ඔක්කොම කියවල නෑ
ලො: වෙන මොන පොත් ද බලන්නේ?
මම: මම ගොඩක් වෙලාවට ඔය ස්පිරිචුවල් පොත් බලනවා. තව එතකොට ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් මහත්මයාගේ පොත් එහෙම බලනවා.
ලො: සිනාසෙමින්, මගේ තාත්ත ඩොක්ටර් අදිකාරම් ගේ හොඳ ෆෑන් කෙනෙක්. අපේ ගෙදර ඩොක්ටර් අධිකාරම් ගේ පොත් ගොඩක් තියෙනවා.
මම : ගොඩක් වටින දේවල් තියෙනවා ඒ පොත් වල
ලො: ඔව්. මමත් බලනවා
ලො: ඔයා මොකක් ද පාවිච්චි කරන ෆෝන් එක. මට බලන්න පුළුවන් ද?
මම : සිනාසෙමින්, ඔව් පොඩ්ඩක් ඉන්න
මම මගේ පතුරු ගිය nokia 1110i ෆෝන් එක සාක්කුවෙන් අරන් මේසේ උඩින් තිබ්බා
ලො: මොකක්, ඔයා කොහොමද මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කර කර Android Development කරන්නේ? ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?
මම: මම Android Development කරන්න ඕනේ වෙලාවට ඔෆිස් එකෙන් දීල තියෙන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මේක මගේ පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නේ.
ලො: ඔව් මම දන්නවා ඔෆිස් වල Development කරන්න වෙනම ෆෝන් තියෙනවා තමයි. හැබැයි ඔයාල වගේ තරුණ අය අලුත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඒ වයේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ නේ. නැත්නම් කොහොමද හොඳ Apps හදන්නේ?
මම: ආ එකට මගේ ළඟ තියෙනවා Galaxy Tab එකක්. මම ඒක පාවිච්චි කරන්නේ ඒ වගේ වැඩවලට. නමුත් දැන් මගේ ළඟ ඒක නෑ. ඔබට අවශ්‍ය නම් මම කාර් එකට ගිහින් ඒක අරන් ඇවිත් පෙන්නනම්
ලො: සිනාසෙමින් නෑ නෑ ඕනේ නෑ.. ඔයා හරි ඉන්ටරෙස්ටින් චරිතයක් වගේ..
මම: පොඩි හිනාවක්
ලො: ඔයා බැඳලා නේද? වයිෆ් මොනවාද කරන්නේ?
මම: එයත් Java කරන්නේ?
ලො: අ හොඳයි දෙන්නම ටෙක්නිකල් කරන නිසා මිට වැඩිය ටිකක් ටෙක්නිකල් පැති ගැන උනන්දු වුණා නම් නේද හොඳ?
මම: ඔව් ඒක ඇත්ත. මම වැඩ කරන පැය 8 වැඩ කරනවා ඊට පස්සේ නෑ.. ජිවිතේ තව ගොඩක් ඉන්ටරෙස්ටින් දේවල් තියෙනවා ටෙක්නිකල් දේවල් වලට වැඩිය.
ලො: සිනාසෙමින්, ඔව් ඒක හරි හැබැයි රස්සාව හරියට කරන්න තව අමතර දේවල් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක ඔයා සීනියර් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්න අනිත් අයට ඒවා කරන්න ආදර්ශයක් විදියට ඉන්න ඕනේ නේ. ඔයාගේ වයිෆ් ට වුනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ.
මම : සිනාසෙමින්. කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මේ ජොබ් එක මට හම්බ වුනත් නැතත් මම අවංකවම දෙයක් කියන්නම්. 
ලො: සිනාසෙමින්, ඔව් කියන්න ඇය බොහෝ උනන්දුවෙන් බලා සිටියි.
මම:මම දැන් කාලයක් තිස්සේ වැඩ කරලා තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ගොඩක් ඉෆෙක්ටිව් විදියට වැඩ කරන්න නම් අපි රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ෆුල් ම ටෙක්නිකල් චරිතයක් කියන්නේ සාර්ථක මනුස්සයෙක් නෙවෙයි. ජිවිතේ තව ගොඩක් සුන්දර දේවල් තියෙනවා. අපි ටෙක්නිකල් රස්සාවල් කරනකොට අපිට ඒ වගේ දේවල් මිස් වෙනවා වැඩියි. ඉතින් මම හිතන්නේ වැඩ කරන පැය 8 හරියට වැඩ කරනවා ඊට පස්සේ මම කැමති විදියට ජිවත් වෙනවා. හැබැයි හදිසි වේලාවකදී මම රෑ එලි වෙනකම් වුනත් වැඩ කරන්න ලෑස්තියි නමුත් අනිත් වෙලාවට නම් එහෙම කරන්නේ නෑ. මගේ ටීම් එකේ අයටත් ඉතින් මම ඔය විදියටම කියයි. මම මගේ වයිෆ් ටත් ඕකම තමයි කියන්නේ. මේ අවංකවම මගේ හැටි. මට මේ රස්සාව ගන්න බොරු කියන්න ඕනේ නෑ..
ලො: සිනාසෙමින්, ඔයත් එක්ක කතා කරන එක හරිම ඉන්ටරෙස්ටින්, මම හිතන්නේ ඔයාට අපිත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි. දැන් ගොඩක් වෙලා ගිය නිසා අපි පස්සේ වෙලාවක ආයේ කතා කරමු. 
මම: හරි බොහොම ස්තුතියි.

ලො: නමුත් මට ඔයා ඉල්ලපු පඩිය නම් දෙන්න අමාරුයි. මට තව මෙච්චරක් වැඩි කරන්න පුළුවන්.ඒක තමයි මට ඔයාගේ පොසිෂන් එකට දෙන්න පුළුවන් උපරිම ගාන.
මම: හරි කමක් නෑ. මම කැමතියි. 
ලො: හරි එහෙනම් අපි ඔයාට ඔෆර් ලෙටර් එක රෙඩි කරලා කෝල් එකක් දෙන්නම්
මම: හරි බොහොම ස්තුතියි.
------------------------------------------------------------------------------------------------------------
මේ දෙබස මේ විදියටම සිද්ද වුණා. අතින් දාපු කිසි දෙයක් නෑ. 

මම මේ විදියට මේ ඉන්ටර්විවී එකේ කතා කලේ මට මැලේසියාවේ ජොබ් එක හරි ගිය නිසා ඕනේ එකක් වෙන්න කියලම නෙවෙයි. ඒක තිබුන නිසා පොඩි කික් එකක් තිබුන එක ඇත්ත. හැබැයි මම දැන් යන ඕනෙම ඉන්ටර්විව් එකකදී මගේ ඇත්ත විදිය කෙලින් කියනව. ඒ කියන්නේ බැරි නම් බෑ. මතක නැත්නම් මතක නෑ. ඒ කියන්නේ ගහගන්න වගේ නෙවෙයි. උඹල ගන්න හදන්නේ මෙන්න මේ වගේ එකෙක් කියන එක කලින් ම කියනවා. හෙහ් හෙහ්. එහෙම කරන එකේ  පොඩි රිස්ක් එකක් තිබුනට මම හිතන්නේ අපි එහෙම කියන කොට අනිත් කෙනාට අපි ගැන ඇතිවෙන ඉම්ප්‍රෂන් එක හොඳයි. මවා පෑමක් කලොත් ගොඩක් වෙලාවට අනිත් කෙනාට ඒක දැනෙනවා. එකෙන් අපිට හොඳක් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම අපිත් කරන්නේ ඒ ආයතනයට හොඳක්. මොකද බොරු කියල ජොබ් එක අරන් පස්සේ චාටර් වෙන එක කාටත් වැඩක් නෑනේ.

හරි ඉතින් 

පහුවදාම මෙයාල මට ඔෆර් ලෙටර් එක ගන්න කතා කළා. හැබැයි මම ගියේ නෑ. මොකද මට හරි තීරණයක් ගන්න විදියක් නැතුව ඒ වෙනකොට හිටියේ.

මම දවසක් දෙකක් ලියුම ගන්න යන්නේ නැතුව ඇද ඇද හිටිය. ඒ අතරේ අපි දෙන්න තීරණේ කළා දෙන්නටම යන්න සෙට් වුනේ නැත්නම් මැලේසියා යන්නේ නෑ. ඒ නිසා ඕනේ එකක් කියල ගිහින් මේ ඔෆර් ලෙටර් එක ගන්නවා කියල. ඉතින් මම ගිහින් ලෙටර් එක අරගෙන ආවා. අවංකවම නම් මම ලියුම අරන් එන අතරේ තීරණේ කලේ මැලේසියා යන්නේ නෑ. මම මේ ජොබ් එකට යනවා කියන එක. මොකද මේ කොම්පැනිය සැහෙන ස්ථාවර තත්වෙක තිබුන තැනක්. මගේ සැලසුම් කල කැරියර් පාත් එකට හරියට සෙට් වෙන තැනකුත් නිසයි මම එහෙම හිතුවේ.

මට ලියුමේ හැටියට රස්සාව බාර ගන්න තිබුනේ 2013 ජුනි මාසේ පළවෙනිදා ඉඳල. මේ වෙනකොට අප්‍රේල් අන්තිම කාලේ හෝ මැයි මුල.

කොහොම හරි ඉතින් මම ඉන්න තැනට අස්වීමේ ලිපිය දීල එතන වැඩ ටික සෙට්ල් කරලා හිටියේ.

ඔය අතරේ මැලේසියාවෙන් බට්ටි නගාට ඔන්ලයින් ඉන්ටර්විව් එකක් සෙට් කළා. බස්ටි නගා ගානට ඒක ගොඩ දැම්ම. දවසක් 2ක් යනකොට එකත් ගොඩ ගියා කියල දැන ගත්ත. 

හුටා දැන් මොකද කරන්නේ. එක පැත්තකින්  අපි දෙන්නට මැලේසියාවේ එකම තැන වැඩ කරන්න ජොබ්ස් දෙකක් තියෙනවා. අනිත් පැත්තෙන් මම වැඩ කරන්න ආස විදියේ ජොබ් එකක් බලෙන්ම වගේ දෙන්න හදනවා.

පස්සේ ඉතින් මම දන්නා දන්නා අයගේ උපදෙස් ටිකක් ගත්ත මේ සම්බන්ධයෙන්. හැමෝගෙම අදහස වුනේ මැලේසියා යන එක හොඳයි කියන එක.

ෆුල් ම අප්සෙට් වැඩේ උනේ අපි විසා එහෙම හම්බවෙනකල් ෂුවර් නැති නිසා අර කොම්පැණියට මම එන්නේ නෑ කියල කියන්න දවසක් දෙකක් පරක්කු කරපු එක. ඔය අතරේ ඒ කොම්පැනියෙන් වෙල්කම් ඊමේල් එකක් යවල මුළු කොම්පැනියටම අහවල් දවසේ ඉඳන් මෙන්න මෙයා කොම්පැනියට ජොයින් වෙනවා. තව බ්ලා බ්ලා බ්ලා එක්ක...සාමාන්යෙන් නම් එහෙම ඊමේල් එකක් යවන්නේ අලුතින් කෙනෙක් ආවට පස්සේ නේ.. මේක ඊට සති 2කට විතර කලින් මෙයාල යැව්වා. මටත් සී.සී කරලා.. ඉතින් දෙයියනේ මම කියල මොනවා කරන්නද.. 

ආයේ ඉතින් මණ්ඩලේ රැස් කරලා උපදෙස් අරන් මම පහුවදා හරි ඊට පහුවදා හරි ඒ කොම්පැනියේ එච්.ආර් මැනේජර් ට ඊමේල් එකක් යැව්වා. මෙන්න මේ වගේ සිද්දියක් නිසා මට එන්න වෙන්නේ නෑ බොහොම කනගාටුයි කියල. අවංකවම කිව්වොත් මට කෝල් එකක් දීල ඒක කියන්න හිත හදා ගන්න බැරි වුණා. මොකද හෙන වරදකාරී හැඟීමක් තිබුන නිසා. 

ඊමේල් එක දාල මම අර අතීසාර මිත්‍රයට චැට් එකක් දාල බැලුව කොම්පැනියේ තත්වේ ගැන..

"අන්න අර ගෑනි උඹට අමු කුණු හරුපෙන් බනිනවා. තොට ඉතින් ආයේ මේ කොම්පැනියේ ජොබ් එකකට එන්න වෙන්නේ නෑ කවදාවත් කියල..." !!!!!!!!!!

ඒ වැඩේ තමයි මම මෙච්චර කාලෙකට රස්සාවක් වෙනුවෙන් කරපු චාටර්ම වැඩේ..!! හැබැයි ඉතින් ඒ වැඩේ කරන්න වෙන හොඳ විදියක් හිතා ගන්න මට අදටත් බෑ...

ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඕනේ එකක් වෙන්න කියල මැලේ රටට ආවා. දැන් ඇවිල්ල මෙතන චින්නුන්ගේ ආතල් බල බල මේසයක් වටේට වෙලා ඉන්නවා.

Thursday, July 17, 2014

නැන්දම්මාගේ රෙකමදාරුව

නැන්දම්මල ගැන කතා ඉතින් බලංගොඩ මානවයාගේ නැන්දම්මාගේ කාලේ දක්වා දිව යනවා මම හිතන්නේ.. හැබෑට ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑනේ... මම මේ කියන්නේ.. නෑ නෑ එක්කෝ ඕනේ නෑ...

මේක මේ පොඩි කතාවක්.. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි.. පොඩි සිද්දියක්.. 

මෙන්න මේ කතන්දරේ විදියට අපි දෙන්නගේ කතාව පටන් ගත්තට පස්සේ ඉතින් කාලයක් ගෙවිලා ගෙවල් දොරවල් වලින් කතා බහ කරගෙන දැන් වෙඩිම ගන්නත් සුදානම් වෙන කාලේ... වෙඩින් කියන්නේ මහා තේරුමක් නැති දෙයක් කියල මොන පොර ටෝක් අනිත් උන්ට  දැම්මත් තමුන්ගේ මගුල ආවම ඉතින් අපිටත් ඉතින් මෙලෝ සිහි නෑ... සිහිය තිබුනත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉදිරි කාලේ  කනක් ඇහිලා ජිවත් වෙන්න ඕනේ නිසා සිහි නෑ වගේ දුවන එක තමයි කරන්නේ... 

ඔන්න ඔහොම ඉතින් එක එක දේවල් සුජානම් කරගෙන යන අතරේ ඉතින් අපි දෙන්න තීරණය කරලා තිබ්බේ බැන්දට පස්සේ වෙනම පදිංචි වෙන්න.. ඒකට අපේ පවුල් වල කාගේවත් කිසි අවුලක් තිබුනේ නෑ.. හැමෝගෙම අදහස වුනේ ඒක හොඳයි කියන එක. අපි දෙන්න වෙඩිමට මාස 2ක-3කට කලින් ම පත්තරේ බලල ගෙයක් එහෙම හොයාගෙන ඒ ගෙදරට අත්තිකාරම් එහෙම දීල තිබ්බේ..  ඒ ගෙදර ඇන්ටියි අංකලුයි අම්ම තාත්තට වඩා අපි දෙන්නට ආදරෙයි... ගේ කිව්වට උඩ තට්ටුවක්.. හැබැයි සිරා ප්ලේස් එකක්.. හොඳට ප්ලෑන් කරලා හදපු අලුත් ගෙදරක්... ඉතින් අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව දැක්ක දවසෙම ඒක ගත්ත. 

ඉතින් දැන් ඔහොම ටික ටික ලැස්ති වේවි ඉන්නකොට ඉතින් ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු ගන්නත් ටික ටික පටන් ගත්ත.  ටීවී, ෆ්‍රිජ් අපේ කැමැත්තට ගත්තට ඔය ලී බඩු අපි ගන්න ගියොත් ඉතින් අපි නානවනෙ..  මොකද අපි කොච්චර බලල අරන් ආවත් ඉතින් අඩුපාඩුවක් නෑ බැනුම් ගොඩයි. එක්කෝ මොකක් හරි ජරා ලීයක්.. නැත්නම් හදපු කොලිටිය හරි නෑ.. අනිත් එක ඔය වයිරම එහෙමත් බලනවනේ.. හෙහ් හෙහ්..

බට්ටි නගාට මුල ඉඳන්ම ඕනේ උනේ ඔය තනි සුදු පාට ලි බඩු. ඒ කියන්නේ තේක්ක බුරුත නැදුන් කළුවර ලෑලි වැඩක් නෑ.. ෆෝමිකා ගහල හරි කමක් නෑ සුදු පාට තිබුනානම් හරි. මුල්ම කාලේ ඉතින් ඔය විදිහේ ලි බඩු හොයා හොය ගියා..  කොහේ හොයන්නද එහෙම ඒවා ඉතින් හොයා ගන්න නෑනේ.. එහෙමත් තැනක තිබුනත් එක්කෝ පට්ට ගණන් නැත්නම් මෙලෝ රහක් නැති විදියේ ඒවා. ඒ කිව්වේ ඔය ලාබෙට හදන බාල බඩු.. ඉතින් කොහොම හරි එහෙම බඩු නෑ කියල ඔප්පු උනාට පස්සේ බස්ටි නගා කැමති වුණා  ලී පාට ලී බඩු ගන්න..

දැන් ඉතින් ලි බඩු ගන්නවනම් අපි ඕනේ කෙනෙක් යන්නේ ගහට ගහක් හම්බවෙන මොරටුවටනේ.. මොරටු ගිහින් බඩු ගන්න අම්මලවත් එක්කන් යමු කියල දැන් අපි දිනයක් දාගෙන යන්න සෙට් වුණා. අපේ නංගිත් ඔක්කොම බඩු හැදුවේ මොරටුවෙ අහවල් කඩෙන්  තමයි  ඒ කඩේට යන්න එතන ෂෝක්.. එහෙම කියල අවවාද එහෙම දුන්න... එතකොට තව තව අයගෙනුත් එක එක විදියේ උපදෙස්  ආවා..  ඕව ඔක්කොම හිතේ තියාගෙන දැන් අපි හතර දෙනා ඒ කිව්වේ අම්මල දෙන්නයි අපි දෙන්නයි මගේ කාර් එකේ යනවා.

යන ගමන් ඉතින් ඔය එක එක ආගිය කතා.. ඔප දුප තමයි ඉතින්..

දැන් ඔහොම ගිහින් මොරටුවේ කඩවල් දෙක 3ක ඇවිද්දා.. එහෙන් මෙහෙන් බැලුවට ඉතින් හිතට හරි යන්නේ නෑ..  ආයේ ඉතින් කාර් එකේ නැගල තව තව ඇතුලේ තියෙන කඩවල් වලට යනවා.. බලනවා. එනවා.. ඔහොම ගිහින් ගිහින් එක්තරා කඩේක තිබුණු පුටු සෙටියක් ගැන ඔන්න කට්ටියගේ හිත ගියා.. ඒ කියන්නේ අපි හිතපු ගානට හිතපු විදියේ වගේ එකක්.. අපි කිව්වේ බට්ටි නගා හිතපු විදියේ එකක් ඒ කියන්නේ සුදුපාට ලෙදර් එකක් දාපු එකක්.



ඉතින් දැන් ඒ පුටු සෙටියත් බලන අතරේ ඉතින් කතා බහ මෙහෙම යනවා. 

"සුදු පාට නිසා ටිකක් කිලිටු වෙන්න බලනවා නේද? ඒ අපේ අම්ම. 

"මෙයා නම් ඉතින් පොඩි කාලේ ඉඳල හරි පිළිවෙලයි. හැමදේම පිරිසිදුව තියාගෙන ඉන්නවා. සුදුපාට වුණා කියල ගානක් නෑ.. හොඳට පිහදාල තියා ගන්න පුළුවන්" එහෙම කිව්වේ බට්ටි නගාගෙ අම්ම.

බට්ටි නගා මෙහෙම හිටියට ජනාධිපති සම්මාන ලාභී බාලදක්ෂිකාවක්. ඉතින් පිළිවෙල පිරිසිදු කම කියන්නේ කන්න නැති වුනත් කමක් නෑ ක්ලින් එකට ඉන්න ඕනේ.... සෙනසුරාදා උදේ කියන්නේ මුළු ගේම මුල ඉඳන් අනිත් පැත්ත හරවන දවස.. මම හිතන්නේ අපි දෙන්න වැඩිපුරම වලි දාගන්නේ සෙනසුරාද උදේට...

ඉතින් බට්ටි නගාගෙ අම්ම එහෙම කියන එක හරි.. 

එහෙම කියල කට ගන්න හම්බ වුනේ නෑ.. "අපෝ ඒකට මෙයා. වනේ වන සතා වගේ ගෙදර ඉන්නේ" අපේ අම්මා මං ගැනත් දුන්න සිරා රෙකමදාරුවක්...!!!!

ටික වෙලාවකින් "අපි එහෙනම් මේ කළු පාට සෙටි එක ගම්මු නේද පුතා" කියල බට්ටි නගාගෙ අම්ම බොහොම ආදරයෙන් මට කිව්වා..

ඊට පස්සේ සියල්ලෝම සතුටින් ගෙදර ආවා.

Thursday, July 03, 2014

කළු දල මල හම්බ වුනොත් කියනවද

මේ සැරෙත් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේ මිස් වෙන ලකුණු තමයි තියෙන්නේ... මෙහෙන් ගත්ත පොත් සෙට් එක නිසා පොඩ්ඩක් හිතේ අමාරුව අඩු වුනාට .. පොත් ගොඩවල් වටේ ටිකක් ඇවිදල, පොත් වල සුවඳ විඳලා, අත පත ගාල එන ආතල් එක මිස් වෙන එක සැහෙන දුකක්...

මේ පරණ පොත් ගැන මතක් කර කර ඉන්නකොට මතක් වෙච්ච පොතක් ගැන අහ්! අදහසක් විදියට ලියල දාන්න හිතුනේ මේක. මොකද සැප්තැම්බර් කිට්ටු වෙනකොට අමතක වීමේ ඉඩ සැහෙන වැඩි නිසා.. 

ඇලෙක්සැන්ඩර් දුමා ගේ The Black Tulip කියන නව කතාව සිංහලට පරිවර්තනය වෙලා තිබුනා කළු දල මල නමින්. සැහෙන කාලෙකට කලින් මේක මගේ පොත් ගොඩෙන් අතුරුදහන් වුණා. ටීනේජ් (teenage) කාලේ පටන් ගන්න කොටම වගේ කියවන්න ලැබුණු හරි අපූරු කතාවක්.



කියවල නැති කෙනෙකුට පොඩි අසාධාරණයක් වුනත් කතාවේ තියන්නේ මෙහෙම සීන් එකක්

1600 ගණන් වල නෙදර්ලන්තේ කතාවක් මේක. කතාව පාදක වෙන්නේ සහෝදරයින් දෙදෙනෙක් වටා. මට මතක විදියට එක්කෙනෙක් දුෂ්ට චරිතය අනිත් කෙනා තමයි කතාවේ වීරයා. කතන්දරේ ගෙතෙන්නෙ නෙදර්ලන්තයේ බොහොම ප්‍රසිද්ධ Tulip මල් වටා.  බොහොම ආදරණිය ප්‍රේමයක් කතාව පුරාම ගලාගෙන යනවා. ඒක මිනිසෙකු පරිසරයට සහ මල් වල සුන්දරත්වයට ප්‍රේම කිරීම ලෙසත් ඒ වගේම සුන්දර තරුණ හදවත් දෙකක ඇතිවන රහසිගත ප්‍රේමයක් විදියටත් කතාව පුරාම තියෙනවා. දුෂ්ට කම සහ අව නීතිය නිසා දැන් කාලේ වගේම ඒ කාලෙත්  සිද්ද වෙච්ච සමාජ අසාධාරණය කතාවේ කුතුහලය සහ ත්‍රාසය භීතිය ඇති කරලා තියෙනවා. කොහොම වුනත් අවසානය සුඛාන්තයක්.. ඒ නිසා රස වැඩියි... :)

හිර ගෙවල් වල ඉඳන් මිනිස්සු පරෙවියෝ අතේ පණිවිඩ  යවල වැඩ ගත්ත හැටි බොහොම අපුරුවට මේකේ තියෙනවා. මට අදටත් ඔය කුරුල්ලෝ අතේ පණිවිඩ යවන කතාවක් ඇහුනොත් මතක් වෙන්නේ මේ කතාව.

මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් නොබලපු අය පව් නිසා ඔය ඇති..

මට කතාවේ පරිවර්තක ගේ නම මතක නෑ. නමුත් ලස්සනට පරිවර්තනය කරලා තිබුනා. කේ.ජි කරුණාතිලක මහත්මය ද මන්ද.. ෂුවර් නෑ..

පිටුවෙන් පිටුව කියවද්දි ආස හිතෙන පොතක් විදියට තමයි මට නම් මේක මතක තියෙන්නේ. අවුරුදු 20කට විතර පස්සෙ ඒ ආසාව ආයේ වැඩි වෙලා පොත ගැන මතක් වෙලා මේ හොයල බලන්න හිතුනේ.

ඉංග්‍රීසි කොපියක් නම් මේ ලින්ක් එකේ තියෙනවා


හැබැයි මට ඕනේ මම මුලින්ම කියවපු පරිවර්තනේ ආයේ කියවන්න...

කට්ටිය පොත් ප්‍රදර්ශනේ ඇවිදින කොට පොඩ්ඩක් හොයල බලන්න .. හම්බ වුනොත් අරගෙන පණිවිඩයක් එවන්න. 

Tuesday, July 01, 2014

මිනිසුන්ගේ නික්මයෑම

අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්‍රත්‍යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ  අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ අර අවිනිශ්චිත කම අපිට අමතක වෙලා යනවා..

අපේ ගමේ කෙනෙක් හදිසියේම නැති වුණා කියල ඉරිදා යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා..  නිකමටමවත් අපි දැන්ම මැරෙයි කියල හිතපු චරිතයක් නෙවෙයි. ගමේ කාටත් උදව් පදව් කරගෙන හැමොත් එක්කම හොඳින් හිටපු යහපත් කෙනෙක්. වයස 50ක්-55ක් විතර ඇති. අපි කිව්වේ සරත් අයියා කියල. 

පොඩි අක්කයි සරත් අයියයි අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුනාට පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක එකතුයි. සෙල්ලම් වයසේ අපි ඉන්නකොට එයාල කසාද  බැඳලා හිටියේ. පොඩි අක්කලාගේ වතු වල, ගෙවල් අස්සේ, ඉඩම් කඩම් වල අපි ඕනේ තරම් දුවල පැනල ඇති.. හැංගි මුත්තම් කරලා ඇති.. ගහකොළ වල හැදිච්ච දේ අපේ වගේ කඩාගෙන කාල ඇති. ඔහේ හිනාවෙලා හිටිය මිසක් කවදාවත් බැනල අපිව එලවල නෑ. ඒ පළාතේ තිබ්බ ලොකුම සියඹලා ගස් දෙක තිබුනේ පොඩි අක්කලගේ වත්තේ. මම හිතන්නේ මිනිස්සු හතර පස් දෙනෙකුටවත් බදල අල්ලන්න බැරි තරම් මහා විසාල ගස්. එක ගහක් සීනි සියඹලා ගහක්. අමු සියඹලා, ඉදිච්ච කරල් කාල ඇති ගණන් කරන්න බැරි තරමක්. පල්ලෙහයින් තිබ්බා බිලිං ගහකුත්,  වටේම කෝපි ගස් පිරිච්ච කැලෑව.... මී පැණි රස පොඩි අඹ ගහක් පාර අයිනේ තිබ්බ, නමිනන් ගහ, ඔය ගස් යට කොච්චර සෙල්ලම් කරලා ඇත්ද.. 

මම දන්නා විදියට සරත් අයියා පොලිසියේ වැඩ කළා.. පස්සේ පැන්ෂන් අරන් ඔය වතු වල වැඩ කර කර හිටිය.. ගෙදරින් ටිකක් ඈතට වෙන්න හේනක් එහෙම වගා කළා. අපි සරුංගල් කාලෙට වෙලේ සරුංගල් යවල හේනට ගිහින් වෙරළු කඩනව... ඊට පස්සේ ඔය කාගේ හරි ගෙදරක මුට්ටියක් ලිපේ තියල වෙරළු තම්බල කනවා.. අච්චාරු හදනවා.. නියම කාලයක්.. 

සරත් අයිය පාඩුවේ තමන්ගේ වැඩත් කරගෙන ගමේ පොදු වැඩ වලදී හැමොත් එක්කම සහයෝගෙන් වැඩ කරපු බොහොම සාමකාමී කෙනෙක්.. අවසන් කාලේ පාර අයිනේ කඩයක් කරගෙන ජිවත් වුණා පොඩි අක්කත් එක්ක... 

තව බොහෝ දේවල් ලියන්න මතක් වෙනවා. හැබැයි ඉතින් දැන් ඒ මනුස්සය යන්න ගිහින්... මගේ ජිවිතයෙන් මේ වෙනකොට ගෙවිලා තියෙන්නේ දශක 3ක් විතර. ඔය දශක 3න් 2ක් මම ගෙවන්න ඇත්තේ ඔය මිනිස්සු එක්ක. මවා නොගත් උපතින් ආපු සරල කමක් තිබුණු ගොඩක් මිනිස්සු මම ඒ කාලේ ආශ්‍රය කළා. සරල කම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නපු මිනිස්සු කිව්වොත් හරි.. ලොකු කතා නෑ.. වැඩේ කරලා පාඩුවේ ඉන්නවා..  අපි ඒ චරිත වලින් ඉගෙන ගත්තේ ඒ වගේ දේවල්. මහා ලොකු තියරි නෙවෙයි. හතර වටේට බණ කියන හිස් මිනිස්සු දකින කොට  ඇත්තටම හිනා යන්නේ සැබෑ මිනිසුන්ගේ හැසිරීම අපි දැකල තියෙන නිසා...

ඔය ගං ගොඩවල් වල තාම ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් දැන් අපි ඒ මිනිසුන්ව නොසලකා හැරලා දාල තියෙනවා. මොකද අපි ලොකු ලොකු තියරි හතර වටින් ඉගෙන ගන්න නිසා. අපි හෙනට දන්න නිසා. හැබැයි අන්තිමට අපි දන්නේ නෑ කියල දැන ගන්නේ නැතුවම මැරිලා යනවා.

මම ජිවිතේ මේ අවිනිශ්චිතතාවය අත්දැක්කේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. ඒ සිද්දියෙන් පස්සේ මම ලෝකය දකින විදිය 100%ක් වෙනස් වුණා කිව්වොත් හරි. හැබැයි ඒක එක රැයින්  වෙච්ච දෙයක් නෙවෙයි. ජිවිතේට මුහුණ දීල, සමහර දේවල් කැප කරලා සහ සම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එලියට ගිහින් තේරුම් ගත්ත දේවල් නිසා වෙච්ච වෙනසක්. තාත්ත නැතුව ඒ ගෙවිච්ච අවුරුදු 12 ගැන ගොඩක් දේවල් ලියන්න පුළුවන්. 

ජිවත් වෙච්ච මේ පොඩි කාලේ ඇතුලත මට ජිවිතේ ගැන ලොකු ටෝක් දාන්න තරම් අත්දැකීම් නෑ.. හැබැයි මට දැන් දැන් තේරෙනවා අවුරුදු 70-80ක් වෙලාත් හිස් විදියට ගෙවන ජිවිත වලට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙනවා කියල. 

අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු ගැන අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අපි මේ ගෙවන ජිවිතේ නිසා. අඩු වැඩි වශයෙන් හැමෝම ඒ දේට මුහුණ දෙනවා. ඒක වරදක් නෙවෙයි. අපිත් එක්ක ජිවිතේ එක්තරා කාලයක් හිටපු නමුත් දැන් අමතක වෙච්ච මිනිස්සු ගැන හිතල බලන්න අපේ මේ වැඩකට නැතුව බොරුවට බිසී වෙච්ච මොඩර්න් ලයිෆ් එකෙන් පොඩි ටයිම් එකක් හොයා ගන්න ඕනේ.

මිනිස්සු මැරෙන එක වලක්වන්න අපිට බෑ. අපිට කරන්න පුළුවන් දේ ඉන්න කාලේ ඒ මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක. අපි දාගෙන ඉන්න ටාගට් ඔක්කොම ඉවර වෙලා මිනිස්සුන්ට සලකන්න ඉන්න කොට කෝච්චිය ගිහින් ඉවරයි. හැමෝම කියන්නේ අපි නම් සල්ලි පස්සේ දුවන්නේ නෑ කියල. හැබැයි නොදැනීම අපි කරන්නේ ඒක. ඒ දිවිල්ලට අපි පොඩි පොඩි නම් ටිකක් දාගෙන කොටස් වලට වෙන් කරගෙන ටාගට් දාගෙන ඉන්නවා. ඒ ටික ඉෂ්ට වෙනකොට අපි නොදැනීම අපි රේස් එක දුවල හති වැටිලා ඉවරයි. 

මේක ලියන මමත් ඔය වැඩේම කරනවා. ඒක එහෙම නොකර ජිවත් වෙන එක වැඩක් නෑ. ජිවිතේ හිස්ව ගෙවල දානවට වඩා මොනවා හරි වැඩකට ඇති දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා  සැපට ඉන්න එක එකක්. හැබැයි ඉතින් රේස් එක අතරේ අපිට නොදැනිම මිස් වෙන අපේ සැබෑ වටිනාකම් අඳුන ගත්තේ නැත්නම් කවදාවත් නොදිනන ඒ රේස් එක කොහොමත් අපි පරාදයි.

රේස් එකෙන් අයින් වෙච්ච සරත් අයියගේ මරණෙට මට යන්න විදියක් නෑ. ඒ මම මේ රේස් එකේ තාමත් දුවන නිසා. හැබැයි මට පොඩි සැනසීමක් තියෙනවා. ඒ පහුගිය නොවැම්බර් මාසේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක දවස් පහකට මම ලංකාවට ගිය වෙලාවේ හිස් අතින්ම සරත් අයියගේ කඩේට ගොඩවෙලා පොඩි අක්කයි සරත් අයියයි එක්ක විනාඩි 5ක්-10ක් කතා කර කර ඉඳල ආපු නිසා. මට හිස් අතින් යන වුණ එක ගැන මම කණගාටු උනත් මම එහෙම ගිය එක කවදාවත් එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ කියල මම දන්නවා. අඩුම තරමේ සරත් අයිය ගැන මගේ අවසාන මතකය ඒ විදියට හැමදාම මගේ හිතේ තියෙයි. 

ඉතින් ජිවත් වෙච්ච කාලය තුල කල කී දේවල් අනුව හෝ නැත්නම් අපි නොදකින මේ විශ්වීය සිස්ටම් එකේ තවත් සිද්දියක් විදියට සරත් අයියගේ අනාගත පැවැත්ම තීරණේ වෙයි. අපේ විදියට සරත් අයියාට නිවන් සුව පතල මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් කරන දේවල් හොඳ සිහියෙන් නොකර අනුන් පතන නිවනින්වත් රේස් දුවන ගමන් හොයපු සල්ලි වියදම් කරලා ගොඩ ගහ ගන්න පින් ගොඩෙන් වත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නෑ.