Tuesday, December 22, 2020

කාල යක්ෂ - 10 - කුමන්ත්‍රණ


9 වෙනි කොටසට 

සෙමින් සෙමින් වැහි පොද වැටෙමින් අහස අඳුරු වී ගෙන අයුරු ඔහුට දැනුනේ මහා හඩින් කෙටු අකුණක හඩ නිසාවෙනි. ඒ වෙන විට බාගෙට හදමින් තිබු කුඩාරම් දුටු ඔහු වැස්සෙන් බේරීමට තැනක් සොයා ගැනීමට සිතුවේ සියලු මළකුණු සෝදා හැරීමට තරම් ළඟ එන කුණාටුව ප්‍රබල බව දුටු හෙයිනි.

"සෙන්ට්‍රිනෝ ඔය වැස්සට කලින් මෙතෙන්ට වරෙන්. මට උඹට දෙයක් කියන්න තියෙනවා. මදක් එපිටෙන් වූ ගල් කුලක් යටට යමින් ඔහු කෑ ගැසුවේය.

අද එතැන් සිට ...

එය තරමක් විශාල ගල් කුලක් ඌ අතර ඇතුලට ගිය ප්‍රයිකුල් ළඟ තිබු ගල් ඇන්දක සිටි කුඩා කෘමින් කිහිප දෙනෙකු ගසා දමා එහි වාඩි විය... එවිටම ඇතුලට පැමිණි සෙන්ට්‍රිනෝ ද සිය ආයුද සියල්ල පසෙකලා වෙහෙස නිවා ගැනීම පිණිස අසල වූ පස් කණ්ඩියක් මත වාඩි විය... තරමක් ඇතුලට හැරී  තිබුණු ගුහාව දෙස විමසිලිමත්ව බැලූ සෙන්ට්‍රිනෝ සිය ගමන් මල්ලෙහි වූ ශක්ති ජනක පානයක් ගෙන ප්‍රයිකුල් දෙසට විසි කළේය. ඔවුන් දෙදෙනාම ඈතින් පෙනෙන කඳු වැටිය  වසාගෙන එන කළු වැහි වලාව දෙසත්, යුහුසුළුව කුඩාරම් ගසන සිය සෙබළු දෙසත් බලා සිටියේය.

"ඊළඟට මොකක් වෙයි ද ?"  සිය ශක්ති ජනක පානයේ අවසන් උගුරත් ගිල දමා සෙන්ට්‍රිනෝ ඇසුවේය...

"මොකක් වුනත්, උඹයි මමයි එක්ක තව දෙතුන් දෙනෙක් වත් බේරෙන්න ඕනේ... මම හිතන විදියට මේ අවසාන කඩ ඉම පනිනවත් එක්කම, අපිට ඔය කියන සර්කොෆගස් එක ට යන මාර්ගය විවෘත වෙන්න ඕනේ..." ප්‍රයිකුල්  පැවසීය.

"උඹ හිතන විදියට මොකක් වෙන්න පුළුවන් ද ? මට නම් මේ වෙච්ච දේවල් වලට වඩා තව මොනවා වෙන්නද කියල හිතා ගන්න බැහැ... අර බලපන් අර ගෙනියන මල කඳේ ඔළුව දිහා, කෝ ඇතුලේ තිබ්බ මොලේ , කෝ අර ආපු මැස්සන්ගේ මළකුණු ?... මේ මොන භූත වැඩ ද බන් .." සෙන්ට්‍රිනෝ අසහනයෙන් යුතුව පැවසීය.

"උඹ දැන් හැසිරෙන්නේ මොකුත් දන්නේ නැහැ වගේනේ...  මේ වැඩේ පටන් ගන්නකොටම අපි දැනගෙන හිටියනේ භයානක දේවල් වලට මුණ දෙන්න වෙනවා කියල...ඊළඟට වෙන දේ උඹටයි මටයි හිතා ගන්නවත් බැරිදෙයක් වෙයි හැබැයි මොන විදියෙන් හරි අපි බේරෙන්න ඕනෙ. මට ඔය පරණ මිත්‍යා කතා ටික හරියට මතක නෑ. නමුත් මම දන්නවා මේ හැම අවස්ථාවකදිම මැරෙන්නෙ නියමිත පිරිසක්. ඒ කියන්නෙ අවසානේට ඉතිරි වෙන කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒ ගොඩේ අපි ඉන්න ඕනේ.."

"ඉතින් දැන් උඹ මොකක් ද කරන්න හදන්නෙ..?"

"මම දැන් ඉඳල හිතන්නෙ මං ගැන විතරයි. සෙබලු ආරක්ෂා කරන්නවත්, අනිත් උන්ව බේරන්නවත් මම යන්නෙ නෑ... මම දන්නවා උඹ කියයි මම මහ ජරා නායකයෙක් කියල, හැබැයි මේ වෙලාවෙදි අපි අනුන් වෙනුවෙන් මැරෙන එක මෝඩ කමක්.. උඹට ඕක කියන්නයි මට ඕනෙ වුනේ..  බැරි වේලාවත් මලොත් උඹ කොහොම හරි ජීවත් වෙන්ඩ බලපන්.. " ප්‍රයිකූල් කීවේය.

"හ්ම්ම්.. මම දන්නවා කොහොමත් නායකයෝ කියන්නෙ අන්තිමට තමන් ගැන හිතන ජාතියක් කියල.. මට ඕනෙ වුනේ එහෙම නොවන නායකයෙක් වෙන්ඩ. නමුත් උඹ කියන දේ ඇත්තක් තියෙනවා."

****

"ඒ  ඩාකි, උඹ එහෙනම් බේරුණා..." වැල්  ජෝන්  සිනාසෙමින් සිය සගයා වෙත ආවේය. ඔහුගේ ලේ වැකුණු සන්නාහය සෑහෙන ලෙස ඉරී ගොස් තිබුණු අතර  එක කකුලක දරුණු කැපුමක් විය.   "ඔක්ස්ෆොගේ  පිහිටෙන් මාත් බේරුණා... මට නම් හිතා ගන්න බැහැ මම ඊයේ රෑ කොහොමද බේරුණේ  කියල.  කොහොම වුනත්  උඹයි මමයි සෑහෙන වාසනාවන්තයි... " 

"හ්ම්ම්..." ඩාකි කෙඳිරි ගෑවේය. ඔහු සිටියේ හෙම්බත්වය.. වැස්සට පෙර මළකුණු ගොඩ ගසා ගිනි තැබුමට ඔහු වෙහෙසිමත්, ඉතා අවාසනාවන්තව මියගොස් සිටි සිය සගයන් දැකීමත් ඔහුව මහත් සේ කම්පනය කොට තිබිණි.   

ඈතින් එන කුණාටුව සහ වැටෙමින් තිබුණු වැසි පොද මහා මුසල බවකින් පරිසරය වෙලාගෙන තිබිණි. ඉතිරි වී සිටි සෙබළු වැස්සෙන් බේරී මදක් විවේක ගැනීමට යුහුසුළුව කුඩාරම් අටවමින් සිටියෝය.  

තව දුරටත් වැඩ කිරීම එපා වී සිටි ඩාකි අසල වූ කුඩාරමක් තුලට වැදී එහි වූ සංකෝචිත මෙට්ටයක් ගෙන කුඩාරම් පොලවේ එලා ගත්තේය. බොත්තම් එබූ සැනින් ඇකිලෙන සහ දිගහැරෙන මේ මෙට්ට සෑහෙන තරම් සුව දායක විය. ඔහු පසුපසින් පැමිණි වැල් ජෝන් ද සිය ඇඳුමේ එල්ලාගෙන පැමිණි කුඩා මෙට්ට පැකට්ටුව ගෙන ඒ අසලින්ම එලා ගත්තේය. කූඩාරම තුල තවත් සෙබලුන් කිහිප දෙනෙක් තැන් තැන් වල විඩා නිවමින් සිටියෝය.

"මම දැක්කා ප්‍රයිකූල් සෙන්ට්‍රිනෝ එක්ක කූඩාරමකට නෑවිත් ගල් ගුහාවකට යනවා. මට පේන්නෙ මෙතන මොකක් හරි අපි නොදන්න දෙයක් සිද්ද වෙනවා." හාන්සි වී තම අතෙහි වූ කැපුමකට පෑස්සුම් පටි ලෙස ඔවුන් හැඳින්වූ ස්ටිකරය අලවමින් වැල් ජෝන් පැවසීය.

"හ්ම්ම්.. ඩාකි නැවතත් හූමිටි තිබ්බේය.

"කොහොමත් මේ විදියට මිනිස්සු මැරෙන එක ප්‍රයිකූල්ට වුනත් දරා ගන්න අමාරුයි. " කූඩාරම් වහලය දෙස බලමින් වැල් ජෝන් කීවේය.

"මම අහල තියෙන විදියට ස්කෘලොකගෙ සාපය කියන්නෙ මේකට තමා. ඔහු, මේ සියලු අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක කරන්නෙ මිනිස්සු තමන්ගෙ මිනීවල හොයන එකෙන් වලක්වන්න. "  ඩාකි පැවසීය.

ඔය පරණ කතා ඇත්ත නම් අපිට තව එක මර උගුලක් පනින්න තියෙනවා. ඊට පස්සෙ තමා ඔය මිනීවල තියෙන තැනට යන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සෙ මොනව වෙයි ද කියල දන්න කෙනෙක් නෑ.. 

කිසි දිනෙක එය නොකරනු කියලනේ පොතේ තියෙන්නෙ.. 

"දැන් කාලේ මිනිස්සු ඔය පරණ කතා වලට තැනක් දෙන්නෙ නෑ ඩාකි. හැමදේම තාක්ෂනෙන් කරන්නනෙ බලන්නෙ..හැබැයි මං එකක් කියන්නම් අපි කොහොමත් හරි මේ මර උගුල් වලින් බේරිලා ආපහු ස්කෘලොක්ට පණ දුන්නොත් අපේ නම් ඉතිහාස ගත වෙනවා.. ' 

"ඉතිහාස ගත වෙන්න පුළුවන් ඉතින් ජිවත් වුණොත්..." ඩාකි හිස් බැල්මකින් යුතුව පැවසීය .


********************


"කර්වියෝ, කොහොමද දැන් මේ මනුස්සයට බැලස්ටිකා ප්‍රයිම් එකක් පෙන්නන්න හදන්නේ    තම මිතුරාගේ ක්‍රියාව දෙස බලාසිටි විටාසෝ ඇසීය...

"මේ මනුස්සයා අපිව එළියට දැම්මොත් ඕක පෙන්නන එක නම් මහා දෙයක් නෙමේ.  මගේ ළඟ තියෙනවා අර සේප්පුවේ තිබ්බ විදියේ ත්‍රිමාණ ආකෘතියක්.  මට හිතෙනවා මිනිහා ආපහු එයි කියල... බලමුකෝ .. "

"ඇත්තටම කවුද බ්‍රයිටෝව මැරුවේ... මට තාම හිතා ගන්න බැහැ බ්‍රයිටෝ නැහැ කියල..." විටාසෝ කණස්සලෙන් යුතුව ඇසීය.

"හ්ම්ම්... අපි නොදන්නා තව පිරිසක් මෙතන ඉන්නවා විටාසෝ ... බ්‍රයිටෝ ගේ මරණය  පොඩි දැනුම් දීමක් කියල මට හිතෙනවා.

"රජ්ජුරුවන්ගේ සේනාවට තාම අලෙන්ඩිව හොයා ගන්නත් බැරිවෙලා මට පේන්නේ... අපිව මෙහෙම තියාගෙන ඉන්නේ ඒකයි..අනිත් එක බ්‍රයිටෝගේ මරණෙට අපිව සැක කරන එක  හරි මෝඩයි කියල නෙමින්දෙර් රජ්ජුරුවන්ට තේරෙන්න ඕනේ . මං හිතන්නේ  ෆොර්මැටෝගේ සම්බන්ධයක් තියෙනවා මේ දේවල් වලට . " කර්වියෝ කල්පනාකාරීව පැවසීය. 

"ෆෝර්මැටෝගේ  ලැබ් එකේනේ රජ්ජුරුවන්ගේ පරීක්ෂණ ඔක්කොම කෙරෙන්නේ. ඇලෙන්ඩි, බ්‍රයිටෝ අපි ඔක්කොම කෙලින්ම   ෆොර්මැටෝට වැඩ නොකලට, එයා දන්නවනේ අපි රජුට විරුද්ධව මොකුත් කරන්නේ නැහැ කියල. අනිත් එක අපි කරපු සමහර පරීක්ෂණ වලින් හොයා ගත්ත දේවල් කෙලින්ම අපි එයාට දීලත් තියෙනවා. මම හිතන්නේ නැහැ ෆෝර්මැටෝ  එහෙම මිනිහෙක් කියල. මොකද අපි ඔක්කොම සයිඩන් ලානේ. ඔය දේශපාලන හරි රජුගේ බෑනා වෙන්න ඉන්න එක හරි ගැනට වඩා සයිඩන් කමට ෆෝර්මැටෝ සලකන්න ඕනේ..."  විටාසෝ නුරුස්නාවෙන් පැවසිය.

"ඒක මගේ සැකයක් විතරයි... " කර්වියෝට පැවසීමට හැකිවුයේ එපමණකි.

අගුල කරකැවී දොර හැරිණි.

"තමුසෙලා දෙන්න.. එනවා. වෙන තැනකට මාරු කරන්න වෙනවා"

ආරක්ෂකයා නැවත පැමිණ ඔවුන් දෙදෙනාට අණ දුන්නේය.

කර්වියෝ විටාසෝ වෙත ඇසක් ඉඟි කර වහා දොර වෙත ගියේය.

"හ්ම්... ඉස්සර වෙනවල.. ඔහු මිතුරන් දෙදෙනාව මාංචු පටි වලින් අල්ලාගෙ සෙමින් පසුපසට විය. ස්වයංක්‍රීය දොර ඉබේ වැසී ගියේය.

"මම කියන දේ හොඳට අහගන්නවල. සෙල්ලම් කරන්න හදන්න එපා..."

"මම තව ටිකකින් වැඩ ඉවර වෙලා යනවා. අර ඉස්සරහ තියෙන ගේට්ටුව පහු වුනු ගමන්  අලුත් වැඩියාවකට  මේ ප්‍රාකාරේ කඩපු තැනක් තියෙනවා. එතන මුරට හිටපු එකාව මම එලියට යැව්වා. මම එතෙන්ට ගිහින් මේ පටිය ගලවනවා. තමුසෙලා දෙන්න ගිහින් මට බැලස්ටිකා ප්‍රයිම් එක අරං හරියටම තව  තව පැයකින් මේ ප්‍රාකාරේ කෙළවර වෙන තැන තියෙන යාත්‍රාඅංගනයට එන්න ඕනේ. මතක තියා ගන්නවා, මම අයින් කරන්නේ මාංචුවේ පටිය විතරයි. ඔය ඉලෙක්ට්‍රොනික් මාංචුවෙන්  මට  තමුසෙලා යන එන තැන් ඔක්කොම බලාගන්න පුළුවන්.  දැනට මේක දන්නේ මම විතරයි. හැබැයි උඹල මට බොරු කරලා පැනල යන්න හැදුවොත්, මුළු සේනාවම මම එවනවා උඹලගේ පස්සෙන් තේරුණා ද ?"

"හරි හරි .. ලොකු උන්නැහේ.. අපි වෙලාවට එන්නම්..."

වහා වහා ප්‍රාකාරයේ හිඩැස තුලින් රිංගා ගත්  ඔවුන් දෙදෙනා මොහොතකින්  අසල වූ  වන රොදට දිව ගියෝය. 

"මං  හිතුවේ නැහැ  ඔය යකා අපේ ලණුව කයි කියල..." උද්දාමයට පත් විටාසෝ පැවසීය..

"හහ් හහ්... මාත් හිතුවේ නැහැ... හැබැයි මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. අපි  පුළුවන් තරම් ඉක්මනට  නිෂාට කතා කරන්න ඕනේ.." කර්වියෝ පැවසීය.

"කර්වියෝ නීෂාව දන්නවද ? මම නම් අඳුරන්නේ නැහැ.." 

"මමත් ගොඩක් අඳුරන්නේ නැහැ. මට වරක් හම්බ වුනා ෆෝර්මැටෝ  ගේ ලැබ් එකේදී.." 

අපි ඉස්සෙල්ල ටර්මිනල් එකක් හොයා ගන්න ඕනෙ.. සමහර විට අර කියපු යාන්ත්‍රාන්ගනයේ ඇති. යමු එතෙන්ට.

ඔවුන් දෙදෙනා යාන්ත්‍රාන්ගනයේ එක් පසෙක වූ ටර්මිනල් කුටියක් වෙත ගියෝය.

මෙම ටර්මිනල් යනු සියලු පොදු සහ පෞද්ගලික  සේවා සපයන ආයතන සමඟ  සම්බන්ද වී ඇති දත්ත සම්ප්‍රේෂණ උපකරණ විය. තමන්ට අවශ්‍ය  ස්තානවල සිටින නිලදාරින් සහ රොබෝ වන් සමග, කථන හෝ දෘශ්‍ය ලෙස සම්බන්ධ වී අවශ්‍ය කටයුතු කර ගැනීමට මෙමෙ ටර්මිනල් වලින් හැකියාව තිබිණි. 

තාක්ෂණයේ කෙල පැමිනියෙකු වූ විටාසෝ හට ටර්මිනල් යන්ත්‍රය තුලට පිවිසී එහිවූ රහසිගත දත්ත වල වූ නීෂාගේ ජීව දත්ත සොයා ගැනීමට ගත වූයේ මොහොතකි. සැබැවින්ම පුද්ගලික දත්ත මෙම යන්ත්‍ර වල ගබඩා වී නොතිබුණද නීෂා වැනි ප්‍රසිද්ධ චරිත වල ජීව දත්‍ත සටහන් කොටස් බොහෝ ආයතන පද්ධති තුල සුරකිව තබා තිබුනේ ඔවුන්ගේ කටයුතු වඩා කාර්යක්ෂමව ඉටු කරනු පිනිසය. නමුත් සියලු ආරක්ෂක ක්‍රම තුලින් රිංගා තමන්ට අවශ්‍ය දේ සොයා ගැනීම මේ තරුණයන් දෙදෙනාට අභියෝගයක් නොවීය.

නීෂාගේ ජෛව සංඥා ආකෘතිය යොදාගෙන ඇය පාවිච්චි කරන පෞද්ගලික හිස් ආවරණයට හෝ නැත්නම් ටෙක්සෝ පිටුවට ඇමතුමක් ගැනීමේ  හැකියාව තිබිණි. එයින් වඩා ආරක්ෂකාරි ක්‍රමය වූ ටෙක්සෝ  පිටුවට පනිවිඩයක් යවා ඇයට හිස් වැසුම පැළද ගන්නා මෙන් දන්වා විටාසෝ ටර්මිනලය ඔස්සේ ඇයට දන්වා සිටියේය.

නොදන්නා ඇමතුමක්, නීෂා වැනි කෙනෙක් ලබා ගැනීමට තියෙන ඉඩකඩ ඉතා අඩු වුවද, ඔවුන්ගේ වාසනාවට ඇය ඔවුන්ට පිළිතුරක් එවුවාය.

"නීෂා, මම කර්වියෝ, අපි ඇලෙන්ඩිගෙ සහ ෆෝර්මැටෝගෙ යාලුවො. අපිට වැදගත් දෙයක් කතා කරන්න ඕනෙ. ඔබව හමුවිය හැකි ද?"

"බැහැ. මට මාළිගාවෙන් පිටට එන්න බැහැ. මේ කතාබහ ආරක්ෂිතයි. ඔයාලට මොනවද කියන්න තියෙන්නෙ."

කර්වියෝ තමන්ට සිදුවූ දේ සහ ඔවුන්ගේ ව්‍යාපෘති විස්තර ඇතුලුව බ්‍රයිටෝ, සහ ඇලෙන්ඩිගෙ සිද්දි ගැන ඇයව දැනුවත් කලේය.

"මට ඔයාලව ඔතනින් නිදහස් කරන්න කියල තාත්තට කියන්න බැහැ. ඒ වගේ වැඩ වලට තාත්තා කැමති නැහැ. නමුත් මට ෆෝර්මැටෝගෙන් අහන්න පුළුවන් කවුරු හරි දන්න කෙනෙකුට කියල ඔයාලව නිදහස් කරන්න පුළුවන් කමක් තියෙනවා ද කියල"

"එපා. ෆෝර්මැටෝට මේ කිසි දෙයක් කියන්න එපා. ඔබ මාව අඳුරන්නෙ නෑ. නමුත් මම කියන දේ අහන්න. මේ හැමදේම පිටිපස්සේ ෆෝර්මැටෝ ඉන්න ඉඩ තියෙනවා කියල අපිට සැකයක් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඔහු සමඟ වැඩ කරන්න. ඔබට මාව අමතන්න ඕනෙ උනොත් මගේ ජෛව සංඥා සටහනට තව දින දෙකකට පස්සෙ පනිවිඩයක් එවන්න. " ඔහු ඇමතුම විසන්ධි කර දැමුවේය.

බලාපොරොත්තු නොවූ මේ ඇමතුමෙන් නීෂා කලබල නොවූවද, ඇලෙන්ඩි අතුරුදහන් වූ දිනයේ දිය කෙලියට පෙර ඇඳුම් උනා දමමින් ඇලෙන්ඩි ඇසූ දෙය ඇයට සිහිපත් විය.

"ඔයාට ෆෝර්මැටෝව විස්වාසද?"

***

"අපි කොහොමද දැන් බැලස්ටිකා ප්‍රයිම් එකක් හොයන්නෙ.. ? විටාසෝ, සිය මිතුරා දෙස බලමින් ඇසීය.

"මේ යාඩ් එකේ පරණ හගියක් තියෙනවද බලපන්කො. මම ඊට පස්සෙ කියන්නම්."

යාඩ් එකේ මුරට සිටි රොබෝවන් දෙදෙනාට මුවා වී ඔවුන්ට මදක් එහායින් වූ හගි යානයක් වෙතට යාමට හැකි විය.


පරණ මොඩලයේ හගී යානයක් 

මයින්ඩ් ජෙට් යානා වලට පෙර පළමු පරම්පරාවකට අයත් මේ හගි  යානා  ප්‍රති ගුරුත්ව  හැකියාව රහිත නමුත් අධිවේගී රේසින් යානා වර්ගයක් විය. මෙම රථ වල එන්ජින් යාන්ත්‍රික වූ අතර කර්වියෝ මෙම බ්‍රමණය වන යාන්ත්‍රික තල උපයෝගී කරගෙන සිය ඉලෙක්ට්‍රොනික මාංචු ගලවා දැමුවේය.

"දැන් අපි පාරකට ගිහින් ඔය ස්ලෝ එකේ යන වාහනේකට මේ මාංචු දෙක දාමු.. හෙහ් හෙහ්..."

"හිරෙන් පැනල අහුවුනොත් දඬුවම සැරයි..." විටාසෝ අවධාරණයෙන් කිවේය..

"උඹට කොච්චර වැඩ පුළුවන් උනත් මේ රටේ දේවල් සිද්ද වෙන ක්‍රමය තාම තේරෙන්නේ නැහැ. උඹ හිතන්නේ මේ මට බැලස්ටිකා ප්‍රයිම් එකක් අරන් එන්න කියල නිදහස් කලේ අර මුර කාරයට මොලේ හොඳ නැහැ කියල ද ?  අපි ලණුව කාල යන්නේ කොහෙටද , අපේ ලැබ්, සේප්පු කොහෙද තියෙන්නේ කියල බලන්න කරපු පොඩි වැඩක්.. උන් දන්නවා අපි වැරදි නැහැ කියල... මට දැන ගන්න ඕනේ කවුද මේ වැඩ  මෙහෙයවන්නේ කියල...   "

"දවස් දෙකක් අහු නොවී ඉන්න එක මහ අමාරු දෙයක් නෙමේනේ.. යමුකෝ..." කර්වියෝ පැවසීය.. 

කර්වියෝගේ ඇමතුමෙන් පසු නීෂා මදක් වික්ෂිප්ත වී සිටියාය. සියල්ල හොඳින් සිදු වෙමින් තිබී හදිසියේම මේ සිදුවූ සිදුවීම් නිසා ඇය සිටියේ නොසන්සුන්වය. හදිසියේ ලැබුණු මේ ඇමතුම එය තවත් ව්‍යාකුල කිරීමට හේතුවිය.

ඇලෙන්ඩි ගේ අතුරුදහන් වීමෙන් පසුව ඇයට සිය පියා හැරුණු කොට තිබුණු එකම විස්වාසය ෆොර්මැටෝ විය. නමුත් දැන් ඒ විස්වාසය  සැකයේ බීජයකින් කිලිටි වීමට පටන් ගෙන ඇත.

නීෂා සුකුමාල ලෙස මාළිගාව තුල හැදී වැඩුනද, බුද්ධිමත් කෙල්ලක විය. සිය පෙම්වතා ගැන අවිශ්වාස නොකලද , ඇතිවී තියෙන තත්වය මත සියලු දේ වඩා පරිස්සම් සහගතව සිදු කිරීමට ඇය සිතා ගත්තාය.

"තාත්තා ෆොර්මැටෝ  එනවා කිව්වා නේද අර ඇලෙන්ඩිව  තියාගෙන හිටපු ලැබ් එකට යන්න? මාත් එන්නද ?  " 

"හ්ම්..." සෙබළුන් කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටි නෙමින්දෙර් රජු හිස වැනුවේය..

"රජතුමනි, මේ අපි ඉන්නෙ අපේ TEMA ව්‍යාපෘතියට අදාල සහයක පරීක්ෂණ  කරන ලැබ් 4න් එකක. "ෆොර්මෑටෝ රජු සහ නීෂා සමඟ රාජකීය ඇවෙන්ට් රථයෙන් බසින ගමන් පැවසීය. 

"දැන් ඔය මැරුණ බ්‍රයිටෝ මොකක් ද කරමින් හිටියෙ..?" ලැබ් එකට ඇතුලු වෙමින් රජු ඇසීය.

ඒ කණ්ඩායම තමා Laser Spatial Coherence වැඩේ ගැන බැලුවේ. ඇලෙන්ඩිත් ඒ ගැන තමා පරීක්ෂණ කලේ. ෆෝර්මැටෝ නීෂා දෙස බලමින් පැවසීය.

"මම අපේ ප්‍රධාන සයිඩන් ෆ්‍රීම් ට කතා කලා, මේ ළමයි සෑහෙන දක්ෂයි කියල තමා මට දැන ගන්න ලැබුණේ. රජු පැවසීය.

"මම හිතන්නෙ මෙයාලා TEMA ව්‍යාපෘතියේ කෙරෙන ප්‍රධාන වැඩේට අදාළ වෙන කුඩා පරීක්ෂණ කරමින් තමා හිටියේ. ඇලෙන්ඩි දැන් දින කිහිපයකට කලින් මගේ කොම්පැනි එකෙන් උදව් ගන්න පුළුවන් ද කියලත් ඇහුවා. නමුත් ඒ ගැන වැඩි දෙයක් කතා කරන්න මට බැරි වුනා".ෆෝර්මැටෝ පැවසීය. 

මට ඇලෙන්ඩි කිව්වා එයාලට ක්ලවරියොන් අවශ්‍යයි කියල..මට තේරුණු විදියට නම්  Laser Intensity එක සෙටාවොට් පරාසයට ගේන්න පුළුවන් මට්ටමට දියුණු කරල තිබ්බා. ක්ලවරියොන් නැතුව ෂීල්ඩ් එක ඔරොත්තු දෙන්නෙ නෑ කියල තමා කිව්වේ. 

නීෂා පැවසීය.

"හ්ම්ම්.. සෙටාවොට් පරාසයේ තියාගන්න පුළුවන් නම් අපිට සබ්ඇටොමික් වෙනස් කම් කරන්න පුළුවන්. රජු පැවසීය.

දැන් මේ සේප්පුවෙ තිබිච්ච දේවල් අතුරුදහන් වෙලා, බ්‍රයිටෝව මරපු අය ඒවා අරගෙන ගිහිල්ලා කියම සැකය තමා අපිට තියෙන්නෙ. 

ෆෝමැටෝ මොනවද දන්නෙ මේ සේප්පු ගැන. රජු සිද්දිය වූ ස්ථානය නිරීක්ෂණය කරමින් ඇසීය.

"මම ගොඩක් වෙලාවට මේ අය එක්ක කෙලින්ම වැඩ කරන්නෙ නෑ රජතුමනි. මගේ කම්පැනි විවිධ අමුද්‍රව්‍ය සැපයීම සහ, අමතර කොටස් නිෂ්පාදනය තමා කරන්නෙ, නමුත් මම දන්න විදියට රිසර්ච් එකට අදාල දේවල් සහ සමහර විට පෞද්ගලික දේවල් තියෙන්න පුළුවන්. මම බ්‍රයිටෝ සහ එයාගේ තව කර්වියෝ කියල යාලුවෙක්ව වරක් හමුවෙලා තියෙනවා. ගොඩක් දේවල් රොබෝල සහ ටර්මිනල් හරහා වෙන හින්ද අපි එච්චර පෞද්ගලිකව අඳුරන්නෙ නැහැ." ෆෝමැටෝ කීවේය.

"හ්ම්ම්.. මේ රොබෝලා සහ සිස්ටම් කොච්චර හොඳ වුනත්, මිනිස්සුන්ට තියෙන සහජ ඥානය තාම හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.  මේ වගේ ලැබ් එකක් සම්පුර්ණයෙන් ස්වයංක්‍රී වුනත්, අධීක්ෂණයට කෙනෙක් නැති වුනාම වැඩ කරන මිනිස්සු කරන දේවල් ගැන හරි අවබෝධයක් ගන්න බැරි වෙනවා"

රජු වටපිටාව නීරීක්ශනය කරමින් එලියට පැමිණියේය.

"මම හොයල බලන්නම් ඉතිරි දෙන්නගෙන් මොනව හරි දෙයක් දැන ගන්න පුළුවන් උනාද කියල.. රජු ඇවෙන්ට් රථයට නඟිමින් පැවසීය.."

කර්වියෝගෙන් තමාට ලැබුණු ඇමතුම ගැන කිසිවක් නොපවසා සිටීමට නීෂා කලින්ම තීරණය කර තිබිණි.

"ඇලෙන්ඩි ගැන මොනවත් හොයා ගත්තද තාත්තෙ?"

"මම හිතන්නෙ ඇලෙන්ඩි ඉන්න තැන මම දන්නවා... බලමුකො.."

"අහ්.. කොහොමද හොයා ගත්තෙ..?"  පුදුමයට පත් ෆෝමැටෝ එකවරම ඇසීය..

රජු ඔහු දෙස තියුණු ලෙස බැලුවා මිස කිසිවක් නොකියා පහලින් පෙනෙන නගරය දෙස බලා සිටියේය..

මොහොතක නිහැඬියාවක්  තිදෙනා තුලම මද අපහසුවක් ඇති කළේය. 

ෆෝමැටෝ ද තමාගෙ දෑස් දෙස කෙලින් බලා සිටි නීෂාගෙ දෑස් මඟ හැර යානයෙන් ඉවත බැලුවේ නීෂාගේ සිතේ වූ සැකය තවත් තීව්‍ර වීමට හේතුවක් වෙමිනි.


Monday, November 30, 2020

කොළඹ ගමයාගේ රාවණා හමුව


දැන් ටික දවසකට කලින් අපේ හිතවත් අජිත් ධර්ම  හෙවත් කොළඹ ගමයාට වෙච්ච අකරතැබ්බයක් ගැන මෙන්න මේ පෝස්ට් එක දාල තිබුනනේ අර කට්ටකාඩු උන්නැහේගේ වැඩකට ලන්ඩන් කෞතුකාගාරේට ගිහිල්ල ඒක අස්සේ හිර වෙච්ච සිද්දියක්.  මේ කොරෝනා කාලේ මිනිස්සුන්ට වෙන දේවල් ... ඔය සිද්දිය අස්සේ අජිත් අයියට මාවත් මතක්වෙලා මේ රාවණා රජ්ජුරුවෝ මොන මොනවා පෙන්නයි ද කියල පුළුවන් නම්  ලියන්න කිව්වනේ.    

මං  හිතන්නේ ඔය සිද්දිය වෙන්න ඇත්තේ මෙහෙම.. 


***************

වෙන දෙයක් වෙච්චාවේ කියල මමත් මේ උන්දෑ කියන දෙයක් අහන්න තීරනේ කලා. දැන් ඉතින් ආයෙ මාසෙකට එලියට යනවා බොරුනෙ. අනිත් එක අද තව පොඩ්ඩකින් මෙතනින් මාරු වෙලා වයිෆ් එන්න කලින් ගෙදරට යා ගන්න බැරි වුනොත්, ඊට වඩා හොඳයි මාසයක් නෙමේ මාස දෙක තුනක් හරි ගෙදර නොගිහින් ඉන්න එක. මම ඔන්න ඔහෙ කනක් ඇහිලා මම මේ කොහෙන් හරි ඉඳගෙන මේ මනුස්සයා කියන දෙයක් අහගෙන ඉන්නවා.

මම එහෙම හිතල ළඟ තිබුනු පුටුවක් අරන් හරි බරි ගැහිලා වාඩි උනා. 

"ස්ත්‍රී පාර්ශවයේ හැටි ඔහොම තමා අජිත් මහත්තයා. ඔන්න බලන්නකො බොරුනම්"  

මම හිත හිත හිටපු දේ තේරුම් ගත්ත වගේ  මේ මනුස්සයා එක පාරටම  ඇඟිලි  දෙකක්  කටට දාල ඩබල් විසිල් එකක් ගැහුවා. ඒත් එක්කම ළඟ තිබ්බ බිත්තිය එක පාරටම හෙළ වෙන්න වගේ ගත්තා. මම ඇස්  දෙකම ආයේ පොඩ්ඩක් පිහදාල බැලුව මේ බිත්තිය හෙළ වෙන  එක ඇත්තටම වෙනවද නැත්නම් මේ මගේ ඇහේ දෝසයක්ද  කියල,   ඒත්  එක්කම මට කල්පනා වුනා ඇහේ දෝසයක් නම් මට කොහොම ද මේ රාවනා  රජතුමාව පෙන්නේ කියල, රාවනා රජ්ජුරුවෝ ගහක් ගලක් වගේ හොඳට පෙන්න ඉන්නවනේ..

ඔන්න දැන් අර බිත්තිය ටික ටික නිල්පාට වතුර සුලියක් වගේ වෙන්න ගත්තා. අඩේ අප්පා මේ අර ස්ටාර් ගේට් එකේ පෝටල් එක වගේ එකක් නේ. මට මාර ආතල් ඒක දැකල...   


  

අජිත් මහත්තය ඒ කාලේ ඉඳල තරු ගැන එහෙම උනන්දුයි නේ. මං  හිතන්නේ මේ මොකක්ද කියල දන්නවා ඇති නේද ? රජ්ජුරුවෝ ඇහුවා.

"ඒ .. කියන්නේ  ඔබ තුමාල දන්නවද මේ පණු කුහර ගැන (wormhole)  ? 

ඉස්සෙල්ලා පොඩ්ඩක් ඕක දිහා බලාගෙන ඉන්නකෝ අජිත් මහත්තයා ...

රජ්ජුරුවෝ එහෙම කියල ඉවර වෙද්දීම ඔන්න බිත්තිය ඇතුලෙ චිත්‍රපටියක් යනවා වගේ දැන් එක එක දේවල් පෙන්න ගත්තා.

මුලින්ම මට අඳුර ගන්න බැරි වුනා, පස්සේ පසුබිම එහෙම පෙද්දී තමා තේරුම් ගත්තේ මේ තියෙන්නේ රජතුමාගේ මාලිගාව නේද කියල...

බකින්හැම් මාලිගාව වගේ තමා ඇතුල... ඔන්න  එක පාරටම  කවුද ගෑනු කෙනෙක් පොඩ්ඩක් කේන්තියෙන් වගේ ආවා...  අපරාදේ කියන්ඩ බැහැ හරි ලස්සනයි...  අමුතුම විදියේ ඇඳුමක් ඇඳල හිටියේ...  හරියට රැජින වගේ ...

" කෝ  මේ රජතුමා තාම ආවේ නැද්ද පුරෝහිත ? "

"අනේ .. මහ රැජිණියනි, රජතුමා මේ දැන් එයි මං හිතන්නේ ... මේ  මේ ... අර අලුතින් ගත්ත දඬුමොනරේ  මොකක්ද වයර් ෂෝට් එකක් තියෙනවා කියල ඒක බලවගන්න යනවා කියලනේ ඔය ගියේ ...

"වයර් ෂෝට්.... වයර් ෂෝට්  තමා .... මෙච්චර මේ සෙනග ඉන්නවා එයාටම යන්න ඕනේ උනා ඕක හදන්න .... මම කොච්චර කිව්වද අද කොහෙවත් යන්න එපා කියල ... මට පරක්කු වෙන්නේ නැතුව අර මහිලා සමිතියට යන්න ඕනේ කියල ...  කෝ කියන කිසි දෙයක් අහනවද මේ මිනිහා ..."

"හරි හරි මං හිතන්නේ දැන් එයි .... දැන්  එයි ... ඔබ තුමිය සිරි යහන් ගබඩාවට වෙලා ඉන්නකෝ .. වයසක පුරෝහිත රැජිනව ශේප් කරගන්න බැලුවා ..

මන්දෝදරී බිසව මෙච්චර ලස්සනයි කියල මං දැනගෙන හිටියේ නැහැනේ... ඒ බිසව දැකල මාත් නිකං මෙව්වා වෙලා ගියා .. තද වුනාම  ගෑනු කොහොමත් හරි හැඩයි නේ ..

ඔන්න එතකොටම රාවණා රජ්ජුරුවෝ  මාලිගාවට එනවා පේනවා...  දඬුමොනරේ  කියන්නේ පට්ට වාහනයක්  නේ... හරියට උඩින් යන හැන්ඩ්ල් එක දිග හාලි ඩේවිඩ්සන් එකක්  වගේ ... රජ්ජුරුවෝ ගානට අහසේ වංගුව අරන් වාහනේ පාත් කළා...   

අම්මට හුඩු ... එතකොට තමා රජ්ජුරුවන්ගේ මාලිගාවේ සම්පුර්ණ දර්ශනේ මට පෙනුනේ...

යකඩෝ මේ සිගිරිය නේද ..? 

හිතා ගන්නත් බැහැ... අතිවිශිෂ්ටයි... 

ඒ කියන්නේ මේ කාශ්‍යප තනි බොරුව ද කරලා තියෙන්නේ.. සිගිරිය හැදුවේ එයා කියල ?     

ඔන්න ඊට පස්සේ ආයේ රජතුමාගේ ක්ලොසප් එක ... රජ්ජුරුවෝ තේජස් විදියට මාලිගාව ඇතුලට යනවා .. 

"මහරජතුමණි...  මේ ... මේ....   " වයසක පුරෝහිත ගොත ගැහුවා ...

"දේවියට අසුහාරදහට තද වෙලා ඉන්නේ ..."

"හුටා .. මට අමතක වුනානේ ... අද අර  මහිලා සමිතියට යන්න තියෙනවා කිව්වනේ ... අප්පටසිරි දැනටම හෝරා 2ක් විතර පරක්කුයි ..." රජ්ජුරුවන්ගේ මුණ ඇඹුල් වුණා...

"පුරෝහිත ...  කාටවත් සිරියහන් ගබඩාව පැත්තට එන්න දෙන්න එපා ... මං  ගිහින් පොඩ්ඩක් ෂේප් කර ගන්න බලන්නම් ... අන්න අර අනිත් දඬු මොනරේ ලැස්ති කරලා ගන්න කියනවා... " එහෙම කියල රජ්ජුරුවෝ ශේප් එකේ  සිරියහන් ගබඩාවට ගියා ...

"ගිහිල්ලා දොර වහනවත් එක්කම ... සල බලාන්  ගාල සද්ද ටිකක් ඇහුනා විතරයි .. අර බිත්තිය ආපහු තිබ්බ විදියටම ආවා...

එක පාරටම මාවත් නිකන් සල බලාන්  වෙලා ගිහින් පියවි තත්වෙට ආවා...

"මං  හිතන්නේ දැන් අජිත් මහත්තයට තේරෙනවා ඇති ....මුළු ලෝකෙටම අධිපති රජ කියල නැහැ මට උනත්  එකම කතාව තමා..."

"හ්ම්ම් .... එක තමා රජතුමනි, මාත් මේ කල්පනා කලේ ... අද මට ගෙදරින් එලියට බහින්න එපාම කිව්වා... අර කට්ටකාඩුවේ උන්නැහේගේ වැඩක් අහක දාන්න බැරි හින්ද ආව මිසක් ඔහොම එපා කියන දවසට මම වෙනදට නම් එලියට බහින්නේ නැහැ .. දැන් මේ පරක්කු වෙලා යනවා කියන්නේ තව මාසයක් යනකම් කනක් ඇහිලා ඉන්ඩ වෙන්නේ නැහැ...මතක් කර කර බනියි ..."

"ඒක තමා මම මේ ඔබ තුමාට හුරු පුරුදු විද්‍යා කතාවක් විදියට මට වෙච්ච දෙයක් මවල පෙන්නුවේ... ඕක ලෝක සොබාවේ !

කොහොම වුනත් ඉතින් මාත් මේ වගේ අවස්තාවක් එනකම් තමා බලං හිටියේ විද්‍යා දැනුම තියෙන කෙනෙක් එක්ක මේ විදියට නිදහසේ කතා බහ කරන්න,   මං දන්න දේවල් ටිකක් කියල දෙන්න... කොහෙද මේ වැඩි හරියක් මගේ වැඩ ගැන හොයන්න එන්නේ බොරු කාරයොනේ ... ඔය යක්කුන්ට කිසි දෙයක් හොයා ගන්න බැරි විදියට මං  ඔක්කොම අතුරුදහන් කරනවා.. මෙච්චර කාලෙකට හරි මිනිහෙක්ට කියල මට හම්බ වුනේ ඔබ තුමා විතරයි .. අන්න ඒකයි මම මේ පේන්න  ඇවිල්ල  ඔබ තුමාට මේ ඇත්ත පැහැදිලි කරලා දෙන්න හදන්නේ .. "

දැන් ඔබ තුමාට කැමති දෙයක් කියන්න..   මට කරන්න  බැරි දෙයක් මේ ලෝකේ නැහැ ..." රජ්ජුරුවෝ කිව්වා ..

"අහ් ... මට අමතක වුණා ... මේ ස්ත්‍රී පරාණ එක්ක ගනුදෙනු කරන එක ඇර ... අනිත් ඕනේ දෙයක් අහන්න .." එහෙම කියල රජ්ජුරුවෝ බොහොම තේජස් විදියට මං දිහා බැලුවා .

"හ්ම්ම්ම් ... මට මේ හිතා ගන්න බැරුව ඉන්නේ මට මොනවාද කරන්න ඕනේ කියල .. අර පෝටල් එක දැකපු වෙලාවේ ඉඳල මට යන්න ඕනේ වුණා අතීතෙට... මං  කැමතියි ඔබ තුමාගේ කාලෙට ගිහිල්ල මාලිගාවේ , සිගිරි පර්වතේ සිරි නරඹන්න ..."

"අහ් .. එක සුළු දෙයක්... "

"හැබැයි පොඩි පරහක් හිටින තැනක් තියෙනවා..." රජ තුමා පොඩ්ඩක් කල්පනාකාරීව කිව්වා ... අජිත් ට කියන්න මම මේ අද විශේෂයෙන් මේ විදියට පෙනී සිටලා ඔබ තුමා එක්ක කතා කරන්න ආවෙත් ඒ හින්ද තමා. ඔන්න අහගන්නකෝ.."

මම ඉතින්  කටත් බාගෙට ඇරගෙන මේ රජ්ජුරුවෝ කියන්න යන්නේ මොනවාද කියල බලන් හිටියා.  මේ ටිකට වෙච්ච දේවල් වල හැටියට තව මොනවා ඇහුවත්, දැක්කත් බාර ගන්න සුදානම් වෙලා මම හිටියේ .  

දැන් අර මගේ මාලිගාවේ හිටපු පුරෝහිත දැක්ක නේද ?     

ඔව් .. එහෙමයි .. එහෙමයි ...

"නිකං හුරු  පුරුදු ගතියක් තේරුනේ නැද්ද ?" රජ්ජුරුවෝ හිනා වේවි ඇහුවා...

"ඒක තමා මාත් මේ බැලුවේ ..... ඒ වුනාට කල්පනාවට එන්නේ නැහැනේ ..." මම හෙමිහිට ඔලුව පොඩ්ඩක් අත ගගා කිව්වා..."

"ඒ ඇවිල්ල ඔබ තුමාලගේ පරම්පරාවේ ආදිතම කෙනෙක්... ඒ විතරක් නෙමේ ... මගේ මාළිගාවේ තව කීප දෙනෙක් ම ඉන්නවා ඔබලාට නෑකම් කියන .."

"කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු ..." මට ඉබේම කියවුනා...

මම ඒ පුරෝහිතගේ මුණ ආයේ මතක් කර ගන්න බැලුවා...

"ඔබව අතීතෙට එක්කන් ගිහින් මාලිගාව පෙන්නන එකේ තියෙන පරහ ඒක තමා. බැරි වෙලා හරි ඔබගේ කිරි මුත්තා සහ ඔබ අතර සිදුවන යම් දෙයක් නිසා අවකාශ කාලයේ යම් සිදුවීමක් වෙලා අපිට මේ අවස්ථාව නැති වෙන්න උනත් ඉඩ තියෙනවා. "

"හ්ම්ම් .. එකත් හරි තමා ..." 

"තව එකක් ... ඔබගේ ඔය කිරි මුත්තා මට සෑහෙන උදව් පදව් කරලා තියෙනවා... කොටින්ම  ඔය මන්දොදරිව බැලන්ස් කරලා සෑහෙන්න අවස්ථා ගණනක් මාව බේරලා තියෙනවා. 

අහ් ... අර  මම සීතාව උස්සන් ආපු වෙලාවෙත් වැඩිහිටියෙක් වගේ මට කරුණු කාරණා පැහැදිලි කරලා වැඩේ ගොඩින් බේරාගෙන මගේ නම්බුව රැකගෙන මේ තත්වෙන් ඉන්න උපදෙස් දුන්නෙත් ඔය පුරෝහිත තමා... නැත්නම් මේ වෙද්දී රාවණා කියන්නේ ගෑනු හොරෙක් කියල මේ මිනිස්සු මාව නැති කරල දාල ..."   

"ඉතින් ඒකත් එක ප්‍රධාන හේතුවක් තමා ඔබ ඉදිරියට මම අද එන්න...  " රජ්ජුරුවෝ කිව්වා. 

දැන් බලාගෙන යනකොට මං  එසේ මෙසේ කෙනෙක් නෙමේ නේ...  මට පොඩි ආඩම්බර කමකුත් දැනුනා.

මේ වෙද්දී රෑ  වෙන්නත් ඇවිල්ල මට පොඩි බඩගින්නකුත් ඇවිල්ල තිබ්බේ...

"අපි එහෙනම් දැන් හොඳට කමු. "එහෙම කියල රජ්ජුරුවෝ අත්පුඩියක් ගැහුවා.  

මෙන්න එකපාරටම එහා පැත්තට වෙන්න තිබුණු මේසේ කෑම ජාති වලින් පිරිලා ගියා ...

"හරියට සුරංගනා කතාවක් වගේනේ ..." මට කියවුණා.

"හාහ් හාහ් හා ... ඔව් ඔබට එහෙම හිතෙන එක සාධාරණයි .." අපි ඉස්සෙල්ල කාල ඉමුකො ..

මමයි රජ තුමයි කාම මේසෙට වාඩි වෙලා කන්න පටන් ගත්තා .... 

"හරි .. ඔබ තුමා මට පැහැදිලි කරලා දෙන්න .. ඔබ කොහොමද මේ විදියට දේවල් මවන්නේ ? කොහොමද මෙහෙම මං ඉදිරියේ පෙනී සිටින්නේ ..?  මම කැමතියි ඒවා දැන ගන්න.." මොණර මස් කැල්ලක් කාල , සෝම  උගුරක් බොන ගමන්  මම ඇහුවා...

"මම හිතුවා ඔබ ඕක අහයි කියල ..." රජතුමා හිනා වුණා.

" ඕකේ විද්‍යාත්මක පැත්ත නම් මෙහෙමයි. මට පුළුවන් අවකාශ කාලය වගේම පදාර්ථය මට ඕනේ විදියට වෙනස් කරන්න. ඉතින් මේ හැමදේම හැදිලා තියෙන්නේ අණු පරමාණු වලින් නේ... මට ඒවායින් මම කැමති දෙයක් නිර්මාණය කරන්න පුළුවන්.. "

"විසිල් වලින්, අත්පුඩි වලින් ? "මම ඇහුවා 

"අහ් විසිල්, අත්පුඩි කියන්නේ මේ පොඩි ෂෝට් කට්. අර ඔබලා ඔය කොම්පියුටර් වල තියාගෙන ඉන්නේ .." 

ඒක අහල මට හිනා ගියා...    "මට ඕනේ ඔයිට වඩා ගැඹුරු මට්ටමින් ඕක දැන ගන්න.." මම කිව්වා 

"මම දන්නවා.  මම ඔබට ඒවා කියන්නම්. හැබැයි ඔබ තාම මේ කිසිවක් හරියට රස වින්දේ නැහැ . ඉස්සෙල්ලා මේ හැමදේම රසවිඳලා සංතෘප්ත වෙන්න. පටන් ගන්නත් කලින් ගැඹුරු දේවල් හොයන්න ගියාම කිසි ආතල් එකක් නැහැනේ .."

"ඒකත්  ඇත්ත..."  රාජකීය අතුරුපසක් කන ගමන් මට ඉබේම කියවුනා..

"අතීතයට යන වැඩේ එහෙනම් අතෑරලා දාල මම කැමතියි අර පෝටල් එකකින් වෙනත් විශ්වයකට, වෙනත් ජීවීන් ඉන්න ග්‍රහලෝකෙකට ගිහින් බලන්න."    

ඒක අහල රජ්ජුරුවන්ගේ ඇස් දීප්තිමත් වුණා... "අන්න ඒක හොඳ අදහසක්.  ඔබ කැමති කොහෙට යන්නද ?  "

" අනේ මන්ද මට හිතා ගන්න බැහැ...  ඔබ තුමානේ ඉතින්  දන්නේ ..."


"හරි..." එහෙම කියල රජතුමා මේසෙට පොඩි තට්ටුවක් දැම්ම.. 

මෙන්න එක පාරටම ලස්සන තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් දුහුල් ඇඳුමින්  සැරසිලා අපි ඉස්සරහ නටන්න ගත්තා... කෑම මේසේ අතුරුදහන් .

"හොඳ කෑම වේලක් සම්පුර්ණ වෙන්න නම් මේ වගේ ලස්සන නැටුමක් බලන්නම ඕනේ..." රජ තුමා උද්‍යෝගයෙන් පැවසුවා.

අනේ මන්ද කොල්ල කාලේ රුසියාවේ, ජර්මනියේ ස්ට්‍රිප් ක්ලබ් වල රස්තියාදු ගහන කාලේ වත් නොදැක්ක ජාතියේ නැටුමක් ඒක... මම කොයිකටත් ආයෙත් මගේ ඇස් දෙකම පිහදාල, කකුල කොනිත්තලත් බැලුවා මේක මේ ඇත්තද කියල...  වැඩේ ඇත්ත. මේ හැමදේම මගේ ඇස්පනාපිට සිද්ද වෙනවා.

රජතුමා ෆුල් ආතල් එකේ නැටුම රසවිඳිනවා...                  

විනාඩි 10 ක් විතර මේ නැටුම ගියා..

"අජිත් මොකද කියන්නේ..? මට ඕනනම් පුළුවන් මේ දෙන්නව මෙතන තියල ටික වෙලාවකට අතුරුදහන් වෙන්න...මට ඉතින් තව ඕනේ තරම් වැඩ රාජකාරී තියෙනවා කරන්න .. අජිත්ට  ඉතින් තව ටිකක් විනෝද වෙලා පස්සේ පුළුවන් නේ සක්වල සවාරි යන්න. අපිට තව මාසයක්ම තියෙනවනේ...මං  හෙට උදෙන්ම එන්නම් .. හෙහ් හෙහ් ..

"අනේ මන්ද රජතුමනි... මේ වයසක මට...  "

මට කියන්න හම්බවුනේ එච්චරයි. මෙන්න මේ යකා එක පාරට අතුරුදහන් වුණා...     


********************



මං  හිතන්නේ එදා ඔය වගේ සිද්දියක් තමා අජිත්ට වෙන්ඩ ඇත්තේ.  රාවනා රජ්ජුරුවෝ කොහොමත් ගෑනු ළමයි එක්ක එක එක ජාතියේ විහිළු කරන්න කැමතියි නේ..කොහෙන් හරි දෙන්නෙක් උස්සන් ඇවිල්ල අජිත්ට බාර දෙන්න ඇති... හෙහ් හෙහ් 

අජිත්ගේ  කතාව කියවල ගජබින්නාධිපති දැතිහුලහා මෙන්න මේ කතන්දරේ ලියල තිබ්බ.  මට දැනට හම්බ වුනේ ඔය ටික තමා. තව කවුරු හරි ලිව්වා නම් කියන්ඩලා....   

     

    

  
  

           

Thursday, November 26, 2020

කාල යක්ෂ - 9 - පුජකයා සහ මායාව


මෙතෙක් කතාව 

Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි. රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ මුහුදු බඩ සහ පහතරට ප්‍රදේශ මේ වන විට තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇත. 

තාක්ෂණයට සහ විද්‍යාවට ලැදි නෙමින්දෙර් රජු සිය රටවැසියාගේ හිතසුව පිණිස කැපවුනද, රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති මණ්ඩලයේ සමහරක් රජුගේ දේශපාලනික සහ ව්‍යාපාරික තීරණ පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොදක්වයි. පැරදිසෝ ලෝකයේ අනෙකුත් දියුණු රටවල් අන්තර් චක්‍රාවාට වෙළඳාම සහ සංචාර මේ වනවිට පටන් ගෙන තිබුණු අතර පෙරදිග රාජ්‍යය තවමත් අන්තර් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය පවා ලබා නොගෙන සිටීම රජුගේ පාලනයේ ඇති දුර්වලතාවයක් බවට රාවයක් ද පැතිරෙමින් තිබේ. 

කඳුකරය හෙවත් හයිලැන්ඩර්වරු සාම්ප්‍රදායික ජිවන රටාවකට හුරු වුනු සහ නවීනත්වය ප්‍රතික්ෂේප කරන, රසායනික මුලද්‍රවය තැන්පත් නිධි සහ වෙළඳාම මුලික කරගත් ජනකොටසකි. ඔවුන්ගේ පාලකයා ක්‍රොෆින්ගර් වූ අතර ඔහු සහ නෙමින්දෙර් රජු අතර නෑ සම්බන්ධකමක් තිබුණද එය එතරම් සුහද නොවීය. අතීතයේ සිදුවූ දේශපාලනික අර්බුධ වලින් පසුව ඔවුන් ෆෙඩරල් ක්‍රමයකට රටේ කොටස් දෙක පාලනය කළෝය.

බොහෝ කාලයක් තිස්සේ ජනවහරේ මිත්‍යාවක් ලෙස පැවති ස්කෘලොක් නම් මායාකාර රජෙකු සහ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් පිළිවඳව කතා බහ නැවත කරළියට පැමිණෙමින් තිබේ. නෙමින්දෙර් රජු මේ කතා ප්‍රතික්ෂේප කලද, කඳුකර වැසියන් සහ ක්‍රොෆින්ගර් සිය නැතිවී ගිය පුරාණ දැනුම සෙවීමේ සහ ස්කෘලොක් ට නැවත පණදීමේ උත්සාහයක යෙදේ. ක්‍රොෆින්ගර් ගේ අනුදැනුම යටතේ ප්‍රයිකුල් නම් සෙනෙවියෙකු විසින් මෙහයවන 60000ක පමණ සේනාවක් ස්කෘලොක් ගේ සොහොන සොයා යන මෙහෙයුමක නිරතවෙමින් සිටින අතර ඔවුන් ඉතා කෘර, අමනුෂ්‍යමය බලවේග සමග සටන් කරමින් සිටින අතර මේ වන විට සේනාවෙන් තුනෙන් එකක්  පමණ මියගොස් ඇත.

මේ අතර සාමකාමී ලෙස පවතින පහතරට පෙදෙසේ නවීන ලේසර් සහ අධිතාක්ෂණික කිරණ පිළිබඳව විද්වත් තරුණියක වූ ද, නෙමින්දෙර් රජුගේ නෑයෙකු සහ ඔහුගේ දියණිය වූ නීෂා ගේ සමීපතම මිතුරියක වූ ඇලෙන්ඩි අතුරුදහන් වෙයි. මේ අතුරුදහන් වීමට සම්බන්ධව ඇලෙන්ඩි ගේ මිතුරන් වූ බ්‍රයිටෝ, කර්වියෝ සහ විටාසෝ පිළිබඳව රජුගේ හමුදාවන් විසින් තොරතුරු සොයා ගනු ලැබුවද, බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ බ්‍රයිටෝගේ ඝාතනයත්, ඇලෙන්ඩිගේ නැවත අතුරුදහන් වීමත් නිසා ෆ්රිදොම් කන්දේ පිහිටි ස්ප්ලේන්දී මාළිගය තුල කලබලකාරී ස්භාවයක් දක්නට තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ හදිසි කිරණ ප්‍රහාරයකින් මිය ගිය බ්‍රයිටෝ, මිය යෑමට පෙර ඇලෙන්ඩිට ස්කෘලොක් නම් රජුගේ කාලයට අයත් යයි සැලකෙන වීඩියෝ දර්ශන සහ ත්‍රිමාන හොලෝග්‍රෑම් දර්ශන පෙන්වමින් සිටින අතර රහසිගත සේප්පුවක වූ එම දත්ත බ්‍රයිටෝ ලබා ගත්තේ කෙසේද යන්න දැනගැනීමට පෙර හමුදා ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ බ්‍රයිටෝව මරා ඇලෙන්ඩිව නැවත පැහැරගෙන යයි.

මේ පැහැරගැනීම සහ මරණය සම්බන්ධව මේ වන විට කර්වියෝ සහ විටාසෝ ව රජුගේ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර කර්වියෝ මුර සෙබළෙකුට අල්ලසක් දී පැන යාමට මාන බලමින් සිටී.

රටේ ආර්ථිකයට සහ නිෂ්පාදනයට ඉතා වැදගත් වූ විකිරනශීලි අමුද්‍රව්‍ය සම්බන්ද වෙළඳ ගිවිසුමක් පිළිබඳව නෙමින්දෙර් රජු සහ ක්‍රොෆින්ගර් අතර සාකච්චාවක් සිදුවන අතර ක්‍රොෆින්ගර්ගේ යෝජනාවක් නිසා ඔවුන් අතර වචන හුවමාරුව උණුසුම් වී රජු කෝපයට පත්වෙයි.

රජු සිය පැරණි මිතුරෙකු හමුවීමට ගොස් ඔහුගේ සිත නිදහස් කර ගැනීමටත් සිදුවන යම්කිසි සංකීර්ණ සිද්ධි දාමයකට මුහුණ දීමට සුදානම් වන අතර මිතුරාගේ උපදෙස් මත රට තුල සිදුවන මෙතෙක් කල් ඔහු නොවැදගත් යයි සිතු දේ ගැන දෙවරක් සිතා බැලීමටත්  තීරණය කරයි.

නැවත පැහැර ගෙන ගොස් සිරබාරයේ සිටින අලෙන්ඩි එතනින් පැන යාමට තැත් කලද උත්සාහය අතර තුර නැවත හසුවෙයි.  සෙබලා සමග යන ඇලෙන්ඩි  තමා කිසිදාක බලාපොරොත්තු නොවුණු දසුනක් දකී.

මේ අතර  මායාකාරී බලවේග සමග සටන් වදින ප්‍රයිකුල් ගේ සේනාව වනය තුලදී තවත් කුරිරු ප්‍රහාරයකට ලක් වෙයි.    
   


"ඔහොමම නතර වෙනවා. " තියුණු කඩු තුඩක සියුම් වේදනාව ඇගේ පිට පෙදසට දැනු නාය.

පසුපසින් පැමිණි සෙබලා ඉවසීමෙන් යුතුව පැවසීය. 

"මම කොහෙද මේ ඉන්නේ ? හිටි තැනම නතර වුනු ඇලෙන්ඩි ඇසුවාය.

"ඒක  දැන  ගන්න  පුළුවන්.  යමු ඔහොම ඉස්සරහට... " ගොරෝසු සෙබල හඬ පැවසිය.

තවත් කාමර කිහිපයක්  සහ ශාලාවක් පසු කරමින්  ඇලෙන්ඩි  ඉදිරියට ඇදුණාය.  සෙබලාගේ කඩු  තුඩ තවමත් ඇගේ ශරීරය ස්පර්ශ වෙමින් තිබුණු හෙයින් ඇය ක්ෂණික තීරණ කිසිවකට යොමු නොවී සිදුවන දෙයට මුහුණ දීමට සිතා ගත්තාය.


ඉදිරියෙන් වූ විශාල දොරින් එලියට පැමිණි ඇයට  තවත් පරණ තාලයේ ගොඩනැගිලි කිහිපයක් සහ ඉදිරිපසින් වූ අමුතු හැඩයකින් යුත් තවත්  නවීන ගොඩනැගිල්ලක්  දිස් විය. ඉදිරිපස අංගනයේ පරණ තාලයේ මයින්ඩ් ජෙට් යානා කිහිපය සහ ගොඩබිම බර උපකරණ ගෙන යාමට යොදා ගන්නා විශාල ක්ලානා රථ කිහිපයක් ද  විය.  පසුපසින් පැමිණි සෙබලාගේ නියමයෙන් අමුතු හැඩයේ ගොඩ නගිල්ලට ඇතුළු වූ ඇය  ඉදිරියේ වුයේ  කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දසුනකි.

අද එතැන් සිට...

ඉදිරියෙන් වූ මහා ශාලාව තුල වුයේ දැවැන්ත ප්‍රතිමාවකි.  ප්‍රතිමාව ඉදිරියේ ඇය  කිසි දිනෙක දැක නොමැති අන්දමේ විචිත්‍රවත් ගිනිදැල්  පිටකරන අමුතු හැඩයේ ගිනි මැල  කිහිපයක්  විය. ශාලාව  පුරා බිත්ති වල ඉතා අලංකාරවත්  චිත්‍ර සහ විවිධ සිද්දි නිරූපණය වන  කැටයම් සහ මුර්ති වලින් වැසි තිබිණි.  ඇයට ඒ ප්‍රතිමාව කාගේදැයි අදහසක් නොවීය. නමුත් ශාලාව වටේ වූ චිත්‍ර වලින් නිරූපණය වී තිබුනේ බ්‍රයිටෝ ඇයට පෙන්වූ අතීතයේ සමහර සිද්දි විය හැකි බව ඇය අනුමාන කළාය.

" ඒ කියන්නේ මේ ප්‍රතිමාව ස්කෘලොක් ගේ ද ?" ඇය සිතුවාය. 

සෙබලා තව දුරටත් ඇය පිටුපසින් නොව ඇයගේ වම් පසින් සිටගෙන සිටියේය. 

"මම මේ කොහෙද ඉන්නේ ?" ඇය ඇසුවාය.

"ඒක දැන ගන්න පුළුවන්.    ඇතුලට ගිහින් අර දොරෙන් ඇතුලට යමු.

මහා ශාලාවේ  පිළිමයට  වම්පසින් වූ ද්වාරය දෙසට ඇය ඇවිද ගියාය. ශාලාව ඇතුලත ඇයට දැනුනු   මහේශාක්‍ය බව ඇය  නෙමින්දෙර් රජ මාළිගය තුළදී වත් අත් නොවිඳි මට්ටමේ විය.

ප්‍රතිමාව දෙස නැවත බැලු ඇයට  එහි වූ ගාම්භීර බව සහ  ශාන්ත  බාවය නිසා පෙර නොවූ හැඟීමක් සිය සිත තුල පහල වෙනු දැනුනි.

නමුත් ඇය  දොර දෙසට යත්ම ,  එයින් එලියට පැමිණි  සුදු පැහැති  දුහුල් ඇඳුමින් තරුණියන් 5 දෙනෙකු පමණ එක පෙලට පිළිමය  දෙසට ගමන් කරන්නට විය. ඔවුන් ඉතා සීරුවෙන් සහ ශාන්ත ගමනින්  යුතුව පිළිමය වෙතට යනු ඇය දුටුවාය.  සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට ඇයට අවැසි වුවද පසුපසින් පැමිණි සෙබලාගේ සන් කිරීම නිසා ඇය දොර දෙසට ගියාය. තරුණියන් පෙළ ප්‍රතිමාව ඉදිරියෙහි වූ ගිනි මැල  ඉදිරිපිට වාඩි වනු පමණක් දොරෙන් ඇතුලට යාමට පෙර ඇය ඇස් කොනින් දුටුවාය.

ඇතුලත මනාව ආලෝකමත් කරන ලද කාමර කිහිපයක් සහ  ප්‍රතිමාව පිටුපසින් නැවත දකුණු පසට යා හැකි ආලෝකමත් අර්ධ වෘතාකාර කොරිඩෝවක් ද , හරියටම ප්‍රතිමාව පසුපස විය හැකි යැයි ඈ සැක කල තැන තවත් විශාල කාමරයක් ද විය. 

මුලින් දුටු කාමර පෙළෙහි පිරිසක් විසින් යාම දෙයකට සුදානම් වන, කලබල කාරී ස්වභාවයක් වූ අතර, එහි තරුණ ගැහැනුන් සහ ප්‍රතිමාවේ මෙන් වූ අමුතු ඇඳුම් ඇඳ  ගත්  හිස මුඩු පුද්ගලයින් කිහිප දෙනෙකුද ඇය  දුටුවාය.

සෙබලා ඇයට තව දුරටත් ඉදිරියට යන ලෙස අණ කළේය.

ප්‍රතිමාව පසුපස යැයි ඇය සැක කල කාමරය දෙසට ගමන් කල ඔවුන් එයට ඉදිරියෙන් වූ තවත් දොරක් ඉදිරිපස නතර විය .  එම විශාල කාමරයේ දොර දෙපස මුර සෙබළුන් දෙදෙනෙකු සිටි අතර,  එයට විරුද්ධ පසින් වූ ගොඩ නැගිල්ලේ අභ්‍යන්තරයට යා හැකි තවත් දොරක් ඉදිරියෙන් ඔවුන් නතර වී සිටියෝය. සෙබලා කිසිවෙකුට අමතා ඔවුන් පැමිණ සිටින බව දැන්වූ අතර, චිත්ත තරංග සෙන්සරය සහිත දොර විවර කිරීමට සෙබලාට අවසර නැති බව ඇලෙන්ඩි  වටහා ගත්තාය.  එතැන නතර වී සිටි නිමේෂයේ  ඇය ක්ෂණිකව පසු පස හැරී  තමන්ට පිටුපා පිහිටි කාමරය දෙස බැලුවාය.

ඇගේ ක්ෂණික චලනය නිසා කලබල වූ මුර කරුවන් ආයුධ පෙන්වීමට සැරසුනද, එසැණින්ම ඔවුන් යායුතු දොරද විවෘත වුයෙන් ඇයට  ආපසු හැරීමට සිදුවිය. නමුත් පිළිමය පසුපස වූ ඒ කුටිය තුල ඉතාමත් වැදගත් දෙයක් සිදුවන බව වටහා ගැනීමට ඒ නිමේෂය ඇයට ප්‍රමාණවත් විය.

දොරෙන් ඇතුළු වූ ඇය සිටියේ මුළු ගොඩනැගිල්ල  පුරාම පැතිරුණු විශාල කර්මාන්ත ශාලාවක් ඉදිරියේය.  ඇය ඉදිරියෙන් වූ ගරාදි වැටට පහලින් දහස් ගණන් රොබෝවන් සහ මිනිසුන් යුහුසුළුව වැඩ කරමින් සිටියෝය. තමා සිටින්නේ කොහිදැයි සිතා ගැනීමට නොහැකිව අන්දමන්දව ඇය ඈත පෙනෙන යන්ත්‍ර සුත්‍ර දෙස බලා සිටියාය.

අහා !!... ඔබයි එහෙනම් මේ ඇලෙන්ඩි!




අමුතු ඇඳුමක් ඇඳ සිටි ප්‍රතාපවත් හිස මුඩු  පුද්ගලයාගේ හඬින් ඇය තිගැස්සී ගියාය.

කලබල වෙන්න එපා. මම ජඩ්. මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්.  එන්න මාත් එක්ක.   මුර සෙබලා ඔහුට ආචාර කර පිටව ගිය අතර ඇය මේ අමුතු පෙනුමැති අලුත් මිනිසා පසුපසින් ඇදී ගියාය. පහලින් පෙනෙන අංගනයේ නිපදවන්නේ කුමක් දැයි දැන ගැනුමට ඇය උනන්දු වුවද යන්ත්‍ර මගින් නිපදවෙන විවිද කොටස් මිසක අවසන් නිර්මාණයක් සොයා ගැනීමට ඇගේ ඇස් අසමත් විය.   

"මෙතන කෙරෙන්නේ මොකක් ද කියල මම ඔබට කියන්නම් ... වැඩිය හිතන්න මහන්සි වෙන්න එපා... " 

තමාට පියවර කිහිපයක් ඉදිරියෙන් ඇවිද යන මේ මිනිසා තම සිතැඟි වටහා ගත්තාක් මෙන්  පැවසූ දෙය ගැන සැලකිලිමත් නොවී ඇය තව දුරටත් පහලින් පෙනෙන ශාලාව පුරා ඇස් කරකැවීය. 

තවත් පියවර කිහිපයක් යනතුරු ඇයට වැදගත් යමක් දැක ගත නොහැකි වුවද, මදක් ඔබ්බෙන් වූ කාමරයකට පිවිසෙන්නට මොහොතකට පෙර ඈතින් වූ පෙට්ටි ගොඩක්  සහ එම පෙට්ටි වල සටහන් වූ  රතු පැහැති වෘක හිස යාන්තමින් පෙනිණි.

"එන්න ඇතුලට", ජඩ් එකත්පසව සිට කල  සුහද ආරාධනය නිසා ඇයගේ අවධානය බිඳී ගියාය. තමා පිවිසීමට සැරසුණු කාමරය තුලින් වහනය වූ අපුරු සුගන්ධය සහ තැනින් තැන වූ කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු වලින් ආලෝකමත් වූ කාමරය, පහලින් පෙනුණු අධිතාක්ෂණික ශාලාවට හාත් පසින් වෙනස් පරිසරයක් විය.

එහි බිම එලා තිබුනු තද වර්ණයෙන් ‍‍‍‍‍‍‍‍‍‍යුතු බුමුතුරුණු මත වූ පැතලි ආසන 4ක් විය. කාමරයේ බිත්ති යම් කිසි රටාවක් සහිත අකුරු සහ රූපාක්ශර වැනි සිතුවම් වලින් පිරී තිබිනි. එහි ඇතුලු බිත්තියෙ වූ වසා තිබුනු දොර හැරුනුකොට කාමරයෙහි වෙන කිසිවක් නොවීය. කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු කාමරයේ කොන් වල තබා තිබුනි. 

"මම හිතන්නෙ ඔබට දැන් මහන්සි ඇති. ඒ වගේම මේ සිද්ද වෙච්ච දේවල් නිසා ඔබ කැළඹිලා ඇති. පොඩ්ඩක් ඉන්න යැයි පැවසූ ජඩ්, අත්පුඩියක් ගැසීය. 

කාමරයේ අඳුරු වහලය විවර වී තරමක වේදිකාවක් එහි හරි මැදට පහත් විය. 

"උඩට ගිහින් සූදානම් වෙලා එන්න. ඊට පස්සෙ අපි කතා කරමු." ජඩ් කාරුණික ලෙස පැවසීය.

******

වනය තුලින් මතුවූ පිසාච මැස්සන්ගේ ප්‍රහාරය ප්‍රයිකූල් ගේ හමුදාවට සෑහෙන ලෙස හානි කර තිබිනි. එක දිගට සිදුවූ අමනුෂ්‍යමය සිදුවීම් හේතුවෙන් සෙබලුන්ගේ චිත්ත ධෛර්යය ද හීන වෙමින් තිබිනි. 

"ප්‍රයිකූල්, මේ අහපන්, මේ ගමන අපිට මේ විදියට යන්න බැහැ. මේ සැරෙන් සැරේ ඉබේ මතුවෙන යක්ෂ ප්‍රහාර වලින් මිනිස්සු නිරපරාදෙ මැරෙන එක විතරයි වෙන්නෙ. මම කියන්නෙ අපි මෙතන කඳවුරක් ගහල, මිනිස්සුන්ට විවේකයක් දෙමු. කීප දෙනෙක් විතරක් ඉස්සරහට ගිහින් බලමු."

 සෙන්ට්‍රිනෝ කෝපයෙන් යුතුව පැවසීය.

අලුයම හිරු එලිය සමඟ වෙනදාට දකින සුන්දරත්වය වෙනුවට ලේ පෙරමින්, සිය අතපය, ඇස්, කන්, නාසා අහිමිව වේදනාවෙන් කෑ ගසන මිනිසුන් රැසක් අතරින් ඈත පෙනන කඳුවැටි දෙස ප්‍රයිකූල් බලා සිටියේය. ඔහුගේ එක කනක කොටසක් කැඩී පහලට එල්ලෙමින් තිබිණි. ඔහුට ඒ වේදනාව නොදැනෙන තරමට සිය සෙබලුන්ගේ කෑ ගැසීම සහ තැන තැන වේදනාවෙන් මැරී වැටෙන මිනිසුන්ගේ අවසන් සුසුම් අවට වාතය වෙලාගෙන තිබුනි.




"හ්ම්... උඹ කියන එක හරි. "

එපමනක් පවසා ඔහු හුන් තැනින් නැගිට තමාට මදක් එහායින් පණ අදිමින් සිටි අවාසනාවන්ත සෙබලාගේ ලයට සිය අසිපතින් ඇන, අසරණයාගේ වේදනාව අවසන් කර දැම්මේය.

"මේ අපි පැන්නෙ දෙවෙනි කඩුල්ල, පුරාවෘත්ත වල හැටියට තව එකක් තියෙනවා. "

"උඹ හිතන්නෙ ඔය කඩුලු තුන පැන්නට පස්සෙ අපිට ස්කෘලොක් ගෙ මිනිය හම්බ වෙයි කියල ද?"

"මම දන්නෙ මෙච්චරයි. මේ ඉතිරි වෙලා ඉන්න උන් ටික ඔක්කොම මැරිල ගියත් මේ වැඩේ නතර කරන්න අපිට බෑ. මම ඇස්ඩෝව්ස්ට පොරොන්දු වුනා මේ වැඩේ කරනවා කියල."

"උඹ කොහොමද දන්නෙ මේක මිත්‍යාවක් නෙවෙයි කියල? ඔය ස්කෘලොක් කියන මිනිහා ආයේ නැගිටියි ද නැද්ද කියල අපි කොහොමද දන්නෙ?"

"සෙන්ට්‍රිනෝ, උඹ දන්නවා මම කවුද කියල, උඹ දන්නවා මම වැඩ කරන හැටි. මම උඹත් එක්ක මේ ගමන ආවේ උඹ මං ගැන දන්න හින්ද. මම දන්නවා උඹ හිතනව ඇති මං මහ අනුකම්පාවක් නැති මිනිහෙක් කියල, මේ මිනිස්සු මැරෙන එක නවත්තන්න උඹටයි මටයි බෑ. මෙච්චර සේනාවක් ගෙනාවේ ඒ මැරෙන බව දන්න හින්ද. මැරෙන එකා මැරුනම ඉතිරි වෙන උන්ට අවසානේ දක්වා යන්න පුළුවන් වෙන්න ඕනෙ නිසා තමා මේ දහස් ගානක් සෙබලු ගෙනල්ලා මේ උගුල් වලින් ගැලවෙන්න හදන්නෙ. " ප්‍රයිකූල් පැවසීය.

"ඊළඟට, ස්කෘලොක් නැගිටියි ද නැද්ද කියන එක මට අදාල දෙයක් නෙමේ. රෙඩ් වුල්ෆ් එකෙන් අපිට එවපු දත්ත වල හැටියට ස්කෘලොක් ගෙ මිනිය ඔය කියන තැන තියෙනවා. එතෙන්ට යන්න කලින් අපිට මූන දෙන්න වෙන මේ යක්ෂ බලපෑම් වලක්වන්න ක්‍රමයක් තාම මේ සක්වලේ කාටවත් හොයා ගන්න බැරිවෙලා තියෙනවා කියල උඹට පේනව ඇතිනෙ. "

"හ්ම්ම්. අඩුම තරමේ මේ මිනිස්සුන්ට අපි පොඩි විවේකයක් දීලා යමු.  "

"හ්ම්ම්.. "  මෙතන එහෙනම් කූඩාරම් ගහපල්ලා. ඔය මලකුනු ටිකයි පණ අදින උන් ඔක්කොමයි අර ඈතට අරන් ගිහින් පුච්චල දාපල්ලා.

ප්‍රයිකූල් කෑ ගසා අණ දුන්නේය.

"අපි ළඟ තව ඉතිරි වෙලා තියෙන පෑස්සුම් පටි වලින් ඔය බේර ගන්න පුළුවන් උන්ව බේර ගන්න බලපල්ලා. "  ප්‍රයිකූල් ගේ අණ නොසලකා සෙන්ට්‍රිනෝ තම අනුකන්ඩ වල නායක සෙබලුන්ට කෑ ගැසුවේය.

අවඥාවෙන් සිය සගයා දෙස බැලූ ප්‍රයිකූල් සිය සන්නාහය ගලවා දමා සිය උරහිසින් වෑහෙමින් තිබුනු ලේ පහර පිසදා ගත්තේය.  සිය දක්ෂතාවය හෝ වාසනාව නිසා මස්සෙකුගේ ප්‍රහාරයකට ලක් නොවූ ප්‍රයිකූල්  අසිහියෙන් මෙන් ආයුධ වනමින් මායාකාරී මැස්සන් සමග සටන් කල තම සගයින්ගේ  කඩු පහර වැදී තුවාල වුනු  සෙබළුන් දෙස බලා සිටියේ තම කන සහ සිරුරේ තිබු අනෙකුත් කැපුම් පහර පිස දමමිනි. 

අඳුරු රාත්‍රියේ මහා වනය තුල තැනින් තැන මතුවූ පිසාච මැස්සන් ගේ ප්‍රහාර කෙතරම් ක්‍රෑර වුවේද යත්, බොහෝ සෙබළුන්ගේ ඇස් සහ කන් විදගෙන මොළය සොයා උන්ගේ රුදුරු දල පහර ඇදී ගියේය. දලත් සමග ඇතුලට ඇදී යන මැස්සා නැවත එලියට පැමිණියේ නැත. ඔවුන් තම ගොදුර මරාගෙනම මැරී ගියහ. අඳුරෙන් මතුවී  බිල්ලක් ගෙන අතුරුදහන් වන මේ යක්ෂ බලවේග වලට අසුවූ  සෙබළුන්ට බෙහෙත් කිරීමට සැරසෙන තම සගයා ගැන ප්‍රයිකූල්ට ඇති වුයේ විකාර කාරී හැඟීමකි.  මිය යන සංඛ්‍යාව නියතයක් බව දන්නා ඔහු මිය යන්නවුන් ගැන නොසිතුවේය. 

රාත්‍රිය මුළුල්ලේම වනය දෙවනත් කරමින් ඇසුනු මර හඬ සහ, අපායෙන් ආ යක්ෂ මැස්සන්ගෙ ක්‍රෑර ශබ්දය තවමත් ඔහුගේ හිස තුල දෝංකාර දෙමින් තිබිණි. රණ ශූරයෙකු, හිත් පිත් නැති මිනීමරුවෙකු ලෙස නමක් දිනා සිටි ඔහුගේ සිතද පසුගිය දින කිහිපයේ සිදුවූ මේ අමනුෂ්‍ය ප්‍රහාර හමුවේ සලිත වී තිබිණි.

ඔහු මෙය බාර ගැනීමට ප්‍රථමව තමාට මුහුණ දීමට සිදු වේයැයි ප්‍රවාද වල කියවුනු කතා දැන සිටියද, මේ තරම් දරුණු සහ ඒ ආකාරයෙන්ම ඒවා සිදුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවීය. නමුත් මේ සිදුවන දෑ ඔහුගේ අවසන් අරමුණ ද ඒ ආකාරයෙන්ම ඉටුවන බවට සාධක ලෙස ඔහු සැලකුවේය. 

ප්‍රයිකූල් තමාට මීට පෙර බිය දැනුනු අවස්තා මතකයට නඟා ගැනීමට තැත් කලේය. ඔහුගේ සිත හේතුවක් නැතුව සලිත වූවා මිස බයක් ගැන ඉතිරි වූ කිසිවක් සොයා ගැනීමට හේ අපොහොසත් විය. මේ සලිත වී යෑම, ඉදිරියට තමාට මුහුණ දීමට සිදුවන දේ ගැනද, නැතහොත් මෙවැනි භයංකර බලවේග අවුස්සමින් තමා මේ කරන්නට යන ක්‍රියාව පිළිබඳවද යන්න ඔහුට පැහැදිලි නොවීය. නමුත් මින් පෙර නොදැනුනු ලෙස තමා කරනදෙය සහ තම සිත ගැන සංවේදී වීමට පටන් ගෙන තිබිණ.

ඇස්ඩෝව්ස් අමතා මේ ගැන නැවත කතා කිරීමට ඔහුට සිත් වුවද, බාරගත් වැඩක් ගැන පසුතැවිලි වීම ඔහුගේ ක්‍රමය නොවූයෙන් එම අදහස අත් හැර දැමීය.

තම ගමන් සගයා වූ  වෘකයා පිට වූ සැදෑලයෙන් ඉතිරි වතුර බහාලුම සහ එහි වූ රෙඩ් වුල්ෆ් කඳවුර සමග පණිවිඩ හුවමාරුවට යොදා ගත් ටෙක්සෝ පිටුව ගෙන තමාගේ ඉදිරි ගමන් මග සිතා බැලුවේය.  මෙතරම් තාක්ෂණිකව දියුණු වූ ලොවක වුවද, ප්‍රයිකුල් පරණ තාලයේ මිනිසෙකු විය. ඔහු මේ ටෙක්සෝව  භාවිතය පවා කලේ නුහුරෙනි.  ඔහුට තාක්ෂනය සුමට වැඩි විය.   ශක්තිය, ජවය, කෝපය  ඔහුව ප්‍රමෝදයට පත් කළේය.      

සෙමින් සෙමින් වැහි පොද වැටෙමින් අහස අඳුරු වී ගෙන අයුරු ඔහුට දැනුනේ මහා හඩින්  කෙටු අකුණක හඩ නිසාවෙනි. ඒ වෙන විට බාගෙට හදමින් තිබු කුඩාරම් දුටු ඔහු වැස්සෙන් බේරීමට තැනක් සොයා ගැනීමට සිතුවේ සියලු මළකුණු සෝදා හැරීමට තරම් ළඟ එන කුණාටුව ප්‍රබල බව දුටු හෙයිනි.

"සෙන්ට්‍රිනෝ ඔය වැස්සට කලින් මෙතෙන්ට වරෙන්. මට උඹට දෙයක් කියන්න තියෙනවා.  මදක් එපිටෙන් වූ  ගල් කුලක් යටට යමින් ඔහු කෑ] ගැසුවේය.   

මතු සම්බන්ධයි. 


Wednesday, September 16, 2020

මීඩියම් මුල සිට සරලව


  මුල සිට සරලව කියල පටන් ගත්තට මම දන්නෙත් මේ ටික විතරයි. කමක් නැහැ කොහෙන් හරි පටන් ගන්න ඕනේ නිසා දන්න ටික ලියල දාමු.

අපි කලින් කොටසේ පොඩ්ඩක් මීඩියම් ගැන කතා කරපු හින්ද කැමති කෙනෙක් ඉස්සෙල්ල ඒක බලල එන්න මේ මොකක් ද කියල අදහසක් ගන්න.

හරි මෙතන ඉඳල පින්තූර ටිකක් දාන්නම්. 

අනිත් හැමදේටම වගේ මීඩියම් එකටත් අපිට එකවුන්ට් එකක් හදා ගන්න ඕනේ.  මෙන්න මේ පෙන්නන විදියට තමන් කැමති සේවාවකින් මීඩියම් එකවුන්ට් එකක් හදා ගන්න පුළුවන් .





ඔය ලිස්ට් එකෙන් තමන් කැමති සේවාව තොර ගත්තම මේ විදියට එකවුන්ට් එක හදා ගන්න පුළුවන් .

මේ වැඩේට තාක්ෂණිකව කියන්නේ සිංගල් සයින් ඔන්  (Single  Sign  On ) ඒ කියන්නේ අපි නිතර පාවිච්චි කරන ප්‍රසිද්ද සේවාවක් පාවිච්චි කරලා වෙනත් සේවාවන් වල එකවුන්ට් හදා ගන්න පුළුවන් වීම. මේක ඉතාම ආරක්‍ෂිත වැඩක්. ඒ නිසා මීඩියම් එකට වෙනම එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල හිතන්නේ නැතුව මේ විදියට ලොග් වෙන්න.   


හරි  මේ වැඩෙන්  පස්සේ දැන් ඉබේම මීඩියම් එකේ අපේ එකවුන්ට් එකක් හැදෙනවා.
ඊට පස්සේ මීඩියම් අපිට පෙන්නේ මෙහෙම 

 
 ඔච්චරයි කරන්න තියෙන්නේ .
දැන් මීඩියම් එකේ මොනවා හරි ලියන්න ඕනේ නම් මෙන්න මෙහෙම ඔබගේ පින්තුරය උඩ  ක්ලික් කලාම අදාළ දේවල් ටික පෙන්නනවා 


ඔය මම රතු පාට ඊතලයකින් පෙන්නුම් කරලා තියෙන්නේ අලුත් කතාවක් (Story ) එකක් පටන් ගන්න තැන.

ඒක ක්ලික් කලාම මෙන්න මෙහෙම අපිට ලියන්න ඕනේ පිටුව එනවා .මාතෘකාව ලියල කතන්දරේ ලියාගෙන යන්න තියෙන්නේ 


මේකේ තියෙන්නේ බ්ලොගර් එකට වඩා වෙනස් විදියක්. වැදගත්ම දේ බය නැතුව ටයිප් කරලා ,මකල, එඩිට් කරලා බලන්න. ටක් ගාල අල්ල ගන්න පුළුවන් .

ලියපු එක හයිලයිට් කලාම මේ විදියට එඩිට් කරන්න පොඩි ඔප්ෂන් ටිකක් එනවා . ඔබ එඩිට් කරන්නේ මාතෘකාවද , උප මාතෘකාවද , කතාවද යන්න අනුව මේ ඔප්ෂන් ටිකක් වෙනස් වෙනවා.  ඒ කියන්නේ අපිට හුරු පුරුදු හැමදේම තියෙන තනි ලොකු ටූල් බාර් එක වෙනුවට මේ වගේ සරල පොඩි ටූල් බාර් එකක් තමා තියෙන්නේ.

 

පින්තුරයක් , වීඩියෝ එකක් වගේ දේවල් දාන්න  නම් ඔය කතන්දරේ ලියන කොටසේ සයිඩ් එකෙන් මතුවෙන + ලකුණ ක්ලික් කරන්න . එතන මතුවෙන පුංචි රූප කෑලි ටික උඩ ක්ලික් කරලා තව දුරටත් අවශ්‍ය දේවල් එකතු කර ගන්න පුළුවන්. 

කතාව ලියල Publish  බොත්තම එබුවම මේ විදියට අපේ කතාවට ගැලපෙන ටැග්ස් ටිකක් එකතු කරන්න පුළුවන්. මේ ටැග්ස් වලින් තමා කවුරු හරි අපි ලියන විෂයට අදාළ දේවල් හොයනකොට අපේ ලිපිය එයාලට පෙන්නන්න උදව් වෙන්නේ. එක හින්ද ඒවා 5ක්  විතර දාන එක ඉතා ම වැදගත් .

අපි පින්තුර කිහිපයක් කතාවට දාල තියෙනවා නම් ඒවායින් අපි කැමති පින්තුරේ ප්‍රධාන එක විදියට තෝර ගන්නත් මෙතනින් පුළුවන් .  



ඊට පස්සේ ඔබට ලියපු කතාව ඒ වෙලාවේ පබ්ලිෂ් කරන්න හෝ පස්සේ වෙලාවක ඉබේ පබ්ලිෂ් වෙන්න කියන දෙකෙන් එකක් තෝරන්න පුළුවන් .


එහෙම පබ්ලිෂ් කරපු කතන්දරේ තව තව අය එක්ක ටක් ගාල බෙදා ගන්නත් පහසුකම් දීල තියෙනවා .


ලියපු දෙයක් වෙනස් කරන්න නම් ඔය තියෙන තිත් 3 සලකුණ  ඔබල ඒ වැඩේ කරගන්නත් පුළුවන් .
 



මීඩියම් එකේ තියෙන්නේ අපි කරන වැඩේ සහ අපි ඉන්න තැන අනුව වෙනස් වෙන මුහුණතක්. උදාහරනෙකට ඔබ කිසිවක් ලියන්නේ නැතුව ඔබට අර තිත් 3 ක්ලික් කරලා බලන්න බැහැ . ඉතින් බය නැතිව ඔබට ඕනේ දේ කරගෙන යන්න. ඒ කරන වැඩේට අදාළ උපකරණ සහ ඔප්ෂන් ඒ වෙලාවට මතුවෙනවා.

ඔක්කොම ගානට තියෙනවද බලල ලියන්න පටන් ගන්න දෙයක් නැහැ. ලියාගෙන යනකොට අදාළ දේවල් එනවා. මීඩියම් එකෙයි, බ්ලොග්ස් වලයි තියෙන ලොකු වෙනසක් ඒක .     

    


ලියපු කතාවකට ඔය තියෙන අත්පුඩි සලකුණ ඔබල ඔබේ මනාපය පල කරන්න පුළුවන් . ඔය කමෙන්ට් දාන සලකුණ ඔබල ඔබේ අදහස ලියන්නත් පුළුවන් .

මේ තියෙන්නේ මම ලියපු කතාවට ඩ්‍රකියා දාපු කමෙන්ට් එකක් සහ ඒකට මම උත්තරයක් දෙන්න යනකොට වෙනස් වෙන හැටි.  



මේ තියෙන්නේ සරලව කොහොමද ඔබේ කතාව මීඩියම් වලට දාන්නේ කියන දේ ගැන.  මේකේ තියෙන ගොඩක් දේවල් මමත් තාම දන්නේ නැහැ. නමුත් ලියාගෙන යනකොට ඉගෙන ගන්න පුළුවන් .

වැදගත්ම දේ තමා ඔබ මේ විදියට එකවුන්ට් එකක් හදල මීඩියම් පාවිච්චි කරද්දී ඔබට මාසයකට කියවන්න පුළුවන් ලිපි ගණන සිමා වෙන එක. ඔබ ඊට වඩා කියවන කෙනෙක් නම් ඔබට මසකට ඩොලර් 5ක්  හෝ අවුරුද්දට ඩොලර් 50ක්  ගෙවල සාමාජිකත්වයක් ගන්න පුළුවන්. නැත්නම් ඔබගේ එකවුන්ට්  එකෙන් ලොග් අවුට් වෙලා කියවන්න පුළුවන්. නමුත් කමෙන්ට් කරන්න බැහැ එතකොට.

අර කලින් පෝස්ට් එකේ දේසකය  කිව්වේ ඔය සුපියල් පහ ගැන තමා. හෙහ්  හෙහ් 

ඉතින් මේ ටික තමා දැනට මම දන්නේ. ඉස්සරහට තව ටිකක් හොයල බලල තව ලිපියක් ලියන්නම්. මම හිතන්නේ මීඩියම් වල ලියල පළපුරුදු අයට පුළුවන් කමෙන්ට් වලින් මම නොදන්නා සහ තව වැදගත් දේවල් එකතු කරන්න. බුරා එහෙම දන්නවා ඇතිනේ .         


 

Monday, September 07, 2020

අපි මීඩියම් යමුද ?


      මම මේ බ්ලොගේ ලියන්න අරං දැන් අවුරුදු 14ක්  වෙනවා. ඒ දවස් වල සිංහල අකුරු වලින් ඉන්ටර්නෙට් එකේ කියවන්න දේවල් ඒ හැටි නොතිබුණු නිසා  ආසාවට ලියන්න අරන් කොහොම හරි අද වෙනකම් ඇදගෙන ඇවිල්ල මටත් නොදැනිම.

කාට හරි මේ සිංහල බ්ලොග් සහ යුනිකේත වල ඉතිහාසේ ගැන සරල විස්තරයක් දැන ගන්න ඕනේ නම් මෙන්න මේකේ මම දන්නා දේවල් ටික ලිව්වා  .  

අද මේ පොඩි සටහන ලියන්න හිතුනේ මේ සිංහල බ්ලොග් අවකාශේ සෑහෙන කාලයක් තිස්සේ රසවත් කරන අපේ බ්ලොග් කරුවන් හැමදෙනාටම පොඩි යෝජනාවක් කරන්න.

මම හිතන්නේ  හැමෝම දන්නවා ඇති මේ https://medium.com/ වෙබ් අඩවිය ගැන.  නොදන්නා කෙනෙක් ඉන්නවනම් Medium කියන්නේ මේ වෙද්දී ලෝකේ තියෙන ජනප්‍රියම Publishing Platform එකක්.  ඒ කියන්නේ බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් වගේ තවත් අඩවියක්. නමුත් මීඩියම් වල වෙනස තමා අපි ලියන ලිපි කියවන පාටක සංඛ්‍යාව සහ ලිපි වල තියෙන ගුණාත්මක බව අනුව ඔවුන් ගෙවීමක් කරන එක. හරියට යුටියුබ් වගේ.

නමුත්  දැනට තියෙන තත්වේ හැටියට නම් ලොකු ආදායමක් ගන්න එතරම් ලේසි නැහැ. නමුත් මසකට USD  30,000ක්  පමණ ආදායමක් ගන්න අය පවා Medium වල ඉන්නවා. ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නෙමේ. මම හොයාගත්ත විදියට සාමාන්‍යයෙන් සතියට පැය කිහිපයක් මහන්සි වෙලා හොඳ ලිපි 5-6ක්  ලියන කෙනෙකුට ආසන්න වශයෙන් USD 100ක්  වගේ මාසෙකට හොයන්න පුළුවන්. නමුත් මේ දත්ත දැනට අදාළ වෙන්නේ English  වලින් ලියන ලිපි වලට තමා.

මගේ යෝජනාව අපිට පුළුවන් Medium වල සිංහල කන්ටෙන්ට් එක වැඩි කරලා, Medium අවකාශය තුල සිංහල ජනප්‍රිය කරන්න. ඔවුන්ගේ සමහර සේවාවන් තවම ලංකාවට දීලත්  නැහැ මම දන්න විදියට  නමුත්  අපිට පුළුවන් කාලයත් එක්ක ටිකෙන් ටික සිංහල භාෂාව Medium  වල ප්‍රචලිත කරලා ඔය සේවාවන් ලබා ගන්න.   

මම දන්න විදියට මේ සිංහල බ්ලොග් ලියන බොහෝ අය මේ වැඩේ කරන්නේ හුදෙක් ආසාවට සහ තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. සල්ලි හොයන්න සිංහල බ්ලොග් ලියන අයත් නැතුව නෙමේ නමුත් බොහෝ වෙලාවට එහෙම කරන බ්ලොග් වල තියෙන්නේ දැන්වීම් සහ ඕපාදුප  තමා වැඩි හරියක්.  නමුත් Medium වල සල්ලි හම්බ කරන්න ගුණාත්මක බව සහ උසස් තත්වයේ ලිපි ලියවෙන්න ඕනේ. පාටක ප්‍රතිචාර අනුව ගෙවීම වැඩියි. 

අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා සල්ලි බලාගෙන වැඩ කරන්න හොඳ නැහැ කියන එක. නමුත් මගේ අදහස නම් උසස් තත්වයේ දෙයක් කරලා ඒ වෙනුවට යම් මුදලක් ලබා ගැනීම කියන්නේ අපි කල යුතු දෙයක් කියන එක. ඒකෙන්  අපි කරන වැඩේ තත්වය සහ අපේ තෘප්තිය දෙකම ඉහල යනවා.  කොහොමත් තමන්ගේ රස්සාව වශයෙන් ලියන අයට Medium වලින්  ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.   

මම මුලින්ම Medium එකේ ලිව්වේ 2013 දී වගේ. හැබැයි ඊට පස්සේ එහෙමම නතර වුණා. ඇවිද්ද පය ලියන සුදීක අයියගේ ලිපියක් දැකල තමා ඒක ලිව්වෙත්.  මේ තියෙන්නේ සුදීක අයියා මීඩියම් ආපු මුල්ම කාලේ ඒ ගැන ලියපු ලිපියක්  පස්සේ මේ ළඟදී තමා මේ අදහස ආයේ ආවේ . 

එකටත් හේතුව මම මේ ලියන්න පටන් ගත්තු කාල යක්ෂ කතාව හින්ද. මොකද මම මේ බ්ලොග් එකේ මට ඒ ඒ වෙලාවට හිතෙන දේවල් ඔහේ ලියල දානවා මිසක් පිළිවෙලකට යමක් ලිව්වේ නැහැ මෙච්චර කාලෙකට. නමුත් කතාවක් ලියන්න ගත්තම ඒ විදියට ලියන්න බැරි නිසා මට ඒක පොඩි වදයක් වුණා. ඒ කියන්නේ දිගටම කතාව ලියන්න ගත්තොත් අර මට හිටපු ගමන් ලියන්න හිතෙන දේවල් ලියා ගන්න බැරි ගතියක්. හැම වෙලේම බ්ලොග් එක ගැන හිතුවොත් කතාව ලියන්න ඕනේ කියන එක තමා ඔළුවට එන්නේ. එතකොට අර මම මෙච්චර කල් බ්ලොග් එක ලියල ගත්ත හීනි ආතල් එක පොඩ්ඩක් අවුල් වෙනවා වගේ දැනුනා.. හෙහ් හෙහ් .. ඉතින් මට හිතුනා අපි උනන්දු වෙලා, මහන්සි වෙලා ලියන සමහර දේවල් Medium වගේ තැනක දැම්ම නම් හොඳයි කියල. එකෙන් බ්ලොග් එක ඒ විදියටම තියාගෙන,  අපේ මහන්සියට පොඩි ගානක් හම්බ කර ගන්නත් පුළුවන් වෙයි.

මට හිතෙනවා බ්ලොග් ලියන හැමෝම මේ වෙද්දී තම තමන් ලියල තියෙන කතා සහ වෙනත් දීර්ඝ ලිපි ටික Medium වල දැම්මොත් අපිට ගොඩක් කෙටි කාලෙකින් සෑහෙන සිංහල ප්‍රමාණයක් ගොඩ නගන්න පුළුවන් වෙයි කියල. 

මගේ යෝජනාව තමා අපි Medium එකේ ලියන දේට ලින්ක් එකක් දාල පොඩි පෝස්ට්  එකක් බ්ලොග් එකෙත් දාමු කියන එක. උදාහරණෙකට මම දැනටම මම ලියපු කතාව Medium එකට දැම්ම. මේ තියෙන්නේ. සමහර විට ඉතිරි කොටස් මම දිගටම Medium එකේම ලියන්න ඉඩ තියෙනවා. නමුත් බ්ලොග් එකේ කොටසක් දාල දැනුවත් කරනවා.     

Medium වලත් මේ වගේම කොමෙන්ට් වලින් මරා ගන්නත්, අප්පුඩියක් ගහල සපෝට් එක දෙන්නත් ඒ මහත්තුරු පහසුකම් දීල තියෙනවා.

මොකද කියන්නේ බ්ලොග් වල දෙවන අදියර විදියට Medium වලට ගිහින් බලමුද ?


Friday, August 28, 2020

කාල යක්ෂ - 8 - සතුරු මිතුරු




"අනිත් එක ... වැඩිය කල් නොදා අර චක්‍රාවාට සංගමේ වැඩේ බලනවා. මොකද ඒක අපි නොහිතන තරම් වැදගත්. මිනිස්සුන්ව මිත්‍යාවෙන් ඈත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ඊට වඩා රස ටොපියක් දෙන්න වෙනවා කන්න. මේ දවස් වල නැගලම යන්නේ සක්වල සංචාර." 

වෙරිමතින් සිනාසෙමින් ඩෙලෝ පැවසිය. 

"ඩෙලෝ ඒක මම බලා ගන්නම්... මට අර උදව්ව කරලා දෙනවා. "

"හරි හරි ...ඕක මහ දෙයක් ද ...මම ක්‍රොෆින්ගර්ව බලා ගන්නම්... මාව ඔන්න ඔය ඉස්සරහින් දාගෙන යනවා.. "


අද එතැන් සිට ...


පැරදිසෝ  ලොව  සිය සුර්යයා වට භ්‍රමණය වුවද , එහි වැසියෝ එය එතරම්  වැදගත් දෙයක් ලෙස සැලකුයේ නැත. ඔවුන්ට වැදගත් වුයේ ඔවුන්ගේ  චක්‍රවාටයේ හරි මැද වූ  කළු කුහරයත්, එය වසා පැතිරුණු  චොන්ඩ්‍රයිට් වළාව තුල එහි පිහිටීමත් පමණි.  චොන්ඩ්‍රයිට් යනු විශ්වය බිහිවූ මොහොතේ නිපදවුණු, කිසිදු සුර්යයෙකු, ග්‍රහයෙකු හෝ ඇස්ට්‍රොයිඩයක් බිහිවීමට මුලික නොවුණු දුවිලි විශේෂයකි. පදාර්ථයේ මුලික තැනුම් ඒකක වූ බොහෝ මුලද්‍රව්‍ය මේ වලාව තුල නොයිදුල්ව තිබිණි. පැරදිසෝ  ලොවෙහි පසෙහි වූ විකිරණ ශීලි   මුලද්‍රව්‍ය බහුලතාවය මෙම  චොන්ඩ්‍රයිට් වලාවේ ප්‍රතිඵලයකි. Sombrero චක්‍රාවාටය විශ්වයේ වූ අනෙකුත් චක්‍රාවාට වලට වඩා වෙනස් වීම නිසා සක්වල සංචාරකයින් ගේ සහ විශේෂයෙන්  ව්‍යාපාර පිණිස පැමිණි විවිධ සක්වල ජීවීන්ගේ විශේෂ අවධානයට පත්ව තිබිණි. පැරදිසෝ ලොව චක්‍රාවාට සංගමය හා සම්බන්ධ වී තවම එතරම් කලක් ගතවී නොතිබිණි. එහි වූ බලවත් රාජ්‍යයයන් කිහිපයක් පමණක් මෙම සක්වල සංචාර සහ ව්‍යාපාර කටයුතු ආරම්භ  කර තිබුණු අතර  ඒ වන විට විශ්වයේ පැවති අන්තර් චක්‍රාවාට ගනුදෙනු සහ ගමනාගමන කටයුතුවලට සාපේක්ෂව  පැරදිසෝ ලොව  යනු මහා නගරයක පිහිටි කුඩා තේ කඩයකට සමාන විය. 

 ************

ඇලෙන්ඩිට දෙවෙනි වරටත් සිහිය ලැබෙමින් තිබිණි.   නාසයට දැනුනු සිසිල් වාතයේ වූ දුර්ගන්ධයත්, වැතිර සිටි රළු පෘෂ්ටයෙහි වූ සිසිලත්  සෙමින් අවදි වන ඇගේ සිරුරට  දැනිණි.   සිදුවුයේ කුමක් ද, සිටින්නේ කොහෙද තබා තමා මේ දකින්නේ සිහිනයක් ද සැබෑවක් ද යන්න නිෂ්චය කරගැනීමට ද ඇයට අපහසු විය.   සිහිසුන්ව මෙතෙක් වෙලා ඇය සිටි ඉතා සාමකාමී ස්භාවය යටපත් කරමින් සිය  සිරුරෙහි සංවේදනාද , මනස ටිකෙන් ටික ව්‍යාකුල වීම නිසා දැනෙන අපහසුවද ඇයව පිඩාවට පත් කළේය. සෙමින් දෑස් විවර කල ඇයට අඳුරු කුටියක වූ මලානික විදුලි ලාම්පුවක සේයාවක් පෙනුණි.  තමා වැතිර සිටින රළු  පාෂාණමය පෘෂ්ටය බිත්ති කොනක වූ අතර, විරුද්ද පස බිත්තියෙහි වූ කහ පැහැති  මලානික විදුලි බුබුලත්, කෙලින්ම ඉදිරියෙන් වූ  යකඩ කූරු සවිවූ දොර සහ අසල සිටි මුර සෙබලාගේ චායාව ඇයට පෙනිණි.  නැවත දෑස් පියා තමා සිටින තැන සහ සිදුවූ දෙය පිළිබඳව යමක් වටහා ගැනීමට ඇය උත්සාහ කළාය.

ලේසර් ප්‍රහාරයෙන් දැවී ගිය බ්‍රයිටෝගේ වේදනාකාරී මුහුණේ ඌ භීතිය ඇයට මැවී පෙනිණි. බ්‍රයිටෝ... සේප්පුව .... එහි දුටු අමුතු දසුන්, මිතුරියන් සමග දිය කෙලිය, මව සහ ඇගේ හුරතල් බලු පැටියාගේ රුව සලරුවක් මෙන් මැවී පෙනුණි. ඒ සියල්ල අතීතයද, තමා දැන් සිටින්නේ ඒ සියල්ලෙන් බොහෝ වෙනස් වූ සහ මින් පෙර අත් නොවිදි, අමුතුම අත්දැකීමක් තුල බවද ඇයට වැටහී ගියේය. 

මේ කොරන්වේලි හෝ ටෙරමි නොවන බව කාමරයෙහි වූ දුර්ගන්ධයෙන් ද, එහි වූ අඳුරු  බියකරු බවෙන් ද ඇය තේරුම් ගත්තේය. මෙවැනි පරණ තාලයේ හිර මැදිරි ගැන ඇය පොත පතින් කියවා තිබුනද, නගරයේ කිසි තැනක එවැනි සිර මැදිරි හෝ රැඳවුම් ස්ථාන නොමැති බව ඇය දැන සිටියාය.

පරණ තාලයේ ගොඩ නැගිලි 



යලිත් සෙමින් දෑස් විවර කර තමන්ට පිටුපා සිටින මුර සෙබළා දෙස බැලු ඇය, අඳුරට හුරුවී තිබුණු දෑස් වලින් දොරෙන් අපිට ඇත්තේ කුමක් දැයි වටහා ගැනීමට තැත් කළාය. දොරට එපිටින් වූ පඩි පෙළක  අවසන් පියගැට පෙළ කිහිපයක් සහ පඩිපෙළට යාබදව වම් පසට වන්නට ඈතට විහිදුනු කොරිදොවකුත් එහි වූ මාලානික විදුලි ආලෝකය සහ ගබඩා කාමර යැයි සැක කල හැකි දොරටු කිහිපයකුත් ඇයට පෙනිණි. සෙබලා ඇඳ සිටි කළු පැහැති ඇඳුම සහ අතෙහි වූ ලේසර් තුවක්කුවක්, ඉනෙහි පැලදී දිගු කඩුවත් නිසා ඔවුන් රජුගේ සෙබළු නොවන බව ද  පැහැදිලි විය. කඩු කිනිසි යනු මිලේච්ඡ, යල් පැනගිය ආයුධ ලෙස නෙමින්දෙර් රජු විසින් ප්‍රතික්ෂේප කර දමා තිබුණේය. මෙම වර්ගයේ ආයුධ පාවිච්චි කරන භටයින් ඇති හමුදාවක් ගැන ඇලෙන්ඩි  නොදැන සිටියද  තමා මේ සිටින්නේ බොහෝ විට කඳුකරයේ කොතැනක හෝ වූ භූගත කාමරයක බවත්,  රජුට විරුද්ධව සටන් වදින තවත් හමුදාවක් තමා පැහැරගෙන ඇති බවත් ඇය තේරුම් ගනිමින් සිටියාය.  නැවත දෑස් පියාගෙන සිදුවන්නට හැකි දේ පිළිබඳව අනුමාන කිරීමට උත්සාහ කළා පමණි.


භූගත සිර මැදිරි 


"කෝ තාම සිහිය ඇවිල්ල නැද්ද ? මේ වෙද්දී සිහිය එන්න ඕනේ. කෝ ඔය දොර අරන්න"

තවත් මොහොතක් සිහිසුන්ව ලෙස සිටින ලෙස රඟපෑමට තීරණය කළ ඇලෙන්ඩි සිය හුස්ම වැටීම සියුම් කර ගත්තාය.

"වතුර ටිකක් ගෙනල්ල ඉහින්න. සමහර විට කලිනුත් සිහි නැති වෙච්ච නිසා,  සිහිය එන්න පරක්කු ඇති. මුරට සිටි සෙබළා නැවත දොර ඇරගෙන වතුර ගෙනෙන්නට යන හැටිත්, තමා අසලට ආ තැනැත්තිය, විරුද්ධ පස වූ බිත්තිය දෙසට ගොස් ඉලෙක්ට්‍රොනික යතුරු පුවරුවක යමක් සටහන් කරන හැටිත්  ඇලෙන්ඩිට ඇසිණි.

සෙමින් දෑස් අර බැලු ඇය හැර තිබෙන දොරත්, තමාට පිටුපා විදුලි බුබුල යට සිට කුමක්දෝ සටහන් කරන වෛද්‍ය වරියක් බඳු වූ කාන්තාව දෙසත් බලා  වහා ක්‍රියාත්මක විය.

ඇසුරු සැනින් හුන් තැනින් නැගිට ගත් ඇය, හැකි වෙර දමා පිටුපා සිටි කාන්තාව දෙසට පැන හැකි තරම් වෙර යොදා ඇගේ හිස ගෙන ඉදිරි පස වූ බිත්තියේ ගැසුවාය.  බලාපොරොත්තු නොවූ හදිසි වේගවත්  පහරින් සිහි සුන්ව ඇදවැටුණු කාන්තාවගේ අතින් විසිවුණු ඉලෙක්ට්‍රොනික පුවරුව වහා අතට ගත් ඇය  වේගයෙන් දොර දෙසට දිව ගොස්  වට පිට බැලුවාය. පඩි පෙළත් සමග වම් පසින් ඉදිරියට වූ කොරිඩෝරය දෙසට ඇවිද යන මුර සෙබලාගේ චායාව සහ ඔහු සමග කතාවට ආ තවත් පුද්ගලයෙකුගේ නොපැහැදිලි  හඩක් ඇයට ඇසිණි.   සිතීමට මොහොතක් වත් කල් නොගත් ඇය අගුළු නොදා තිබූ දොරෙන් එලියට පැන පඩිපෙළ දිගේ උඩට දිව ගියාය.  උඩ  මහලේ කුමක් තිබේද, කවුරුන් සිටීදැයි නොදැන එකවරම දිවයාම අනුවණ කමක් උවද  කිරීමට වෙනත් දෙයක් නොමැති වුයෙන් ඇය වේගය මදක් බාල කරමින් උඩු මහලට පිවිසුනාය.  මලානිකව ආලෝකමත් වූ එහි වුයේද යම් කිසි ගබඩා කාමර සහ ඇතුලට විහිදුනු කොරිඩෝවකි.  පියගැට පෙළ අවසන් වන තැනම  වම් පසට වූ කාමරය තුල  සිටි සෙබලා ඇයට පිටුපා සිටි හෙයින් ඇය උඩට නගිනු දුටුවේ නැත.  මොහොතකට නතර වුනු ඇලෙන්ඩි, උඩු මහලට දිව යෑම නතර කර කොරිඩෝව දෙසට හැරුණේ, බලාපොරොත්තු නොවන ලෙස කිසිවෙකු හමුවීම වළක්වා මද වෙලාවක් සැඟවී කල්පනා කිරීමට තැනක් සොයමිනි.  තව මොහොතකින් තමා නැති බව දැනගෙන සියල්ලෝම කලබල වී සොයන විට අනාරක්ෂිත තැනක සිටීමට වඩා, කිසිවකු බලාපොරොත්තු නොවන තැනක සැඟවීම සුදුසු බව ඇය සිතුවාය.

පියගැටපෙළ අසල වූ  කාමරයේ දොර හැර දමා සෙබලා කාමරය තුල වූ යම් දෙයක් ගැන සටහන් තබමින් සිටියේය. දොරත් සමගම වම් පසට වූ  තරමක් විශාල කවුළුවෙන් එහි වූ කබඩ් සහ ගොඩ ගසා තිබුණු පෙට්ටි රැසක් ඇය දුටුවේය. කවුළුව අසලම වූ  කබඩ් සහ පෙට්ටිගොඩ අතර වූ හිඩැස තුලට සෙබලාට නොදැනෙන ලෙස පැන ගැනීමට ඇය ක්ෂණිකව තීරණය කළේය.  

සෙබලා ආපසු හැරීමට පෙර කාමරය තුලට බැළලියක මෙන් සෙමින් ඇතුළු වූ ඇය හෙමින් සීරුවේ වම් පසට හැරී දොර අසල වූ පෙට්ටි ගොඩත් ,  ඊට මදක් එහාට වන්නට වූ කබඩ් එකත් අතර වූ අඩි 2ක පමණ පරතරය තුලට වැද හිඳ ගත්තාය. කවුළුව ඇගේ හිසට ඉහලින් වූ අතර කාමරය තුල තවත් පෙට්ටි සහ විවිද මළු පුරවා තිබිණි.

ගත වුයේ නිමේෂයකි . එකවරම මහා හඩින් සයිරනයක් නාද වන්නට විය.     

සටහන් කරමින් සිටි දෙය නවතා වහා ආපසු හැරුණු සෙබලා දොර වසා එලියට යනු  ඇලෙන්ඩි යන්තමින් දුටුවාය.

එය,  ඇය නැති බව හඟවන සයිරනය විය.

"වැඩි දුරක් යන්න විදියක් නැහැ.. පහත මාලයේ සිටි සෙබලා සහ තවත් කිහිප දෙනෙක් උඩට එමින් පැවසීය.

"ජෙරෝ, ඔය කාමරේ බලන්න... " එලියට යමින් සිටි සෙබලාට කවුදෝ කියනු ඇයට ඇසිණි. 

"මම ඒ කාමරේ මෙච්චර වෙලා හිටියේ. එකේ කවුරුත් නැහැ..."

"හරි මම උඩට යන්නම්. මේ කාමර ටික ඔක්කොම හෝදිසි කරන්න."

"ඔය ඩොක්ටර් ව පරිස්සමින් උඩට අරන් එන්න. "

හඬවල් කිහිපයක් සහ පියගැට නැගෙන හඩ රාශියක් ඇලෙන්ඩි ට ඇසුණේය.

හඬවල්  නෑසෙන තෙක් තවත් මොහොතක් සිටි අයුරින්ම සිටි ඇය, අතෙහි වූ ටෙක්සෝ  පිටුව දෙස බැලුවාය. දින දෙතුන් සියයක් පැරණි එම මොඩලයේ ටෙක්සෝ පිටු බාවිතා කරන වෛද්‍ය වරුන් සිය රටෙහි සිටින බව දැනීම ඇයට පුදුමයක් විය. අතින් ඉවතට විසිවීම නිසා ඕෆ්  වී තිබුණු  පිටුව නැවත පනගන්වා එයට පිවිසීමට බැලුවද, හිමි කරුගේ චිත්ත තරංග නොමැතිව පිවිසීමට නොහැකි වූ බැවින් එය ඇඳ  සිටි ඇඳුම තුලට දමා ගත්තේ ඇගේ ලැබ්  එකට ගොස් විවෘත කර බැලීම පිණිසය. චිත්ත තරංග  රෙසනෝටයක් නොමැතිව පිටුව තුලට පිවිසිය නොහැකි බව දත් ඇය, ඇයට  තිබුණි ස්වල්ප කාලය තමා සිටින්නේ කොහිදැයි  වටහා ගැනීමට  යෙදවීමට සිතුවාය.      

කාමරයේ වූ පෙට්ටිවල සටහන් වී තිබුණු රතු පාට වෘක හිස රෙඩ් වුල්ෆ් කඳවුරේ නිල සලකුණ බව ඇය දැන සිටියාය.  එක්කෝ ඇය මේ සිටින්නේ රෙඩ් වුල්ෆ් කඳවුරේය. එසේ නැත්නම්   රෙඩ් වුල්ෆ්  වෙත භාණ්ඩ සපයන අතරමැදි ස්ථානයකය.

ඇයට ගැටළුව වුයේ රජුගේ හමුදාවට අයිති කඳවුරක සිටින සෙබළුන්ගේ නිල ඇඳුම වෙනස් වුයේ කෙසේද යන්නයි. 

පෙට්ටියක් හැර බැලීමට උත්සාහ කලද, ආයුදයක් නොමැතිව එය කල නොහැකි බව ඇයට පෙනිණි.

තමා දෙසට ලංවන අඩි ශබ්ධයක් ඇසුනෙන් ඇය වහා දොර මුල්ල වෙතට වී බිත්තියට හේත්තු විය.

වාසනාවට අඩි හඬ දොර පසු කර ඈතට ගියේය.

අසල වූ කබඩ් එක වෙත ගොස එය හැරීමට තැත් කලද, අගුළු දමා තිබු හෙයින් එයද ව්‍යර්ථ වී ගියේය.

සෙබලා පෙර සිටි තැන වෙත ඇය  ගියේ  ඔහු අවසානයේ යමක් සටහන් කරමින් සිටියේ කුමක් පිළිබඳවදැයි  දැන ගැනීමටය.

ඇගේ සැකය නිවැරදි විය. කලබලයෙන් ගිය සෙබලාට පෙට්ටිය සීල් කිරීමට අතපසු වී ඇත. ලෝහමය පෙට්ටිය තුල වුයේ යම්කිසි යන්ත්‍රයක අමතර කොටස් වැනි කොටස් කිහිපයකි. එවැනි පෙට්ටි රැසක් කාමරය තුල විය.   

කාමරය තුලින් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ තැන තමාව පැහැරගෙන විත් මෙවැනි තැනක රඳවා ගැනීමට අවශ්‍ය කාටදැයි සිතා බැලීමට ඇය මොහොතක් ගත කළාය.

බ්‍රයිටෝගේ අවසන් වදන්, ඔහු පෙන්වමින් සිටි දේ සහ  ඇය කරමින් සිටි ලේසර් ස්පේට්ල්  කොහෙරන්ස් පරීක්ෂණය සහ බ්‍රයිටෝ සහ ඔහුගේ මිතුරන් විසින් කරමින් සිටි  පරීක්ෂණත්, ඇය  සහය දුන් TEMA ව්‍යාපෘතියත් ගැන ඇය මෙනෙහි කර බැලුවාය.  තමාව මුලින්ම පැහැර ගැනීමට දින කිහිපයකට පෙර කර්වියෝ සහ විටාසෝ  TEMA ගැනත් ,  ලේසර් ප්ලස් ඇම්ප්ලිෆිකේෂන් (pulse amplification) තමාගෙන් විමසූ හැටිත් ඇයට සිහිවිය.  

TEMA  ව්‍යාපෘතිය පෙරදිග රාජ්‍යයේ නව නිපැයුම් සහ පරීක්ෂණ පිලිබඳ අධ්‍යයනායතයේ සිදු කෙරුණු ප්‍රධානම ව්‍යාපෘතියකි.  නෙමින්දෙර් රජුගේ අනු දැනුම ඇතිව සිදු කෙරුණු එහි අරමුණ වුයේ ක්වන්ටම් තලයේදී ශක්තියේ හැසිරීම නිරීක්ෂණය කිරීමත්, ශක්තිය ඇතිවීම සහ නැතිවීම සිදුවන ආකාරය අධ්‍යනය කිරීමත් ය. එහිදී ඇයගේ කාර්යය වුයේ ලේසර් තරංග වල අන්වායාම සහබන්ධනය වැඩි කිරීමෙන්, ක්වන්ටම් තලයේදී  වැඩි බලයක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි.  TEMA  හි අවසාන අරමුණ වුයේ ශක්තිය අලුතින් නිර්මාණය කර ගැනීමයි. නමුත්  ඒ සඳහා අවශ්‍ය තරම් ලේසර් කිරණ  වල බලය වැඩි කර ගැනීමට ඔවුනට තවමත් නොහැකි වී තිබිණි. සැබවින්ම ඔවුනට එවැනි මහා බලයක් යොදා ක්වන්ටම් තලය තුල සෙල්ලම් දැමීමට අවශ්‍ය කරන  ප්‍රධානම මුලද්‍රවයක්  වන ක්ලවරියොන් වල දැඩි හිඟ තාවයක් පැවතිණි.  නෙමින්දෙර් රජු ගේ හයිලැන්ඩර්  වෙළඳ ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වුයේ යහමින්  කාටත් රහසින් ක්ලවරියොන් සපයා ගැනීමයි. 

මේ සියල්ල යලිත් සලකා බැලූ ඇයට වැටහුනේ, කවුරුන් හෝ තමාව රැගෙන විත් ඇත්තේ මේ පිළිබඳව දන ගැනීමට හෝ, රජුගේ මෙම කටයුතු ගැන විස්තර දැන ගැනීමට බවය. නමුත්  ඇයට ගැටලුව වුයේ අසරණ බ්‍රයිටෝව මරා දමා තමාව පැහැර ගැනීමට තරම් තිබෙන උවමනාව කුමක් ද යන්නයි.

කාමරය තුලින් කිසිවක් දැන ගැනීමට නොහැකි වූ තැන ඇය, හෙමින් සැරේ කවුළුවෙන් එපිට බැලුවේ පඩි පෙලින් උඩට නොගොස් ඒ වෙනුවට මෙතනින් පිටවීමට කොරිඩෝවේ ඇතුලේ  වෙනත් දොරටු ඇත්දැයි දන ගැනීමේ අටියෙනි.    

නමුත් තමා  සොයා ආ සෙබළුන් පහල ගැන අවධානය අඩු කොට ඉහල මහල වෙත ගියේ සමහරවිට බිම් මට්ටම නිසා විය හැකි බව ඇයට කල්පනා විය. නමුත් එකවරම පඩි  නැග ඉහලට යාම වෙනුවට ඇය  මලානික එළිය සහිත අඳුරු කොරිඩෝව දෙසට යාමට සෙමින් දොර විවර කලාය.

සෙබළුන් දෙදෙනෙකු කතා කරන හඩක් ඇතුළු කාමරයකින් ඇසුනද, කොරිඩෝව පාළුවට  ගොස් තිබිණි. වහා තීරණයක් ගත් ඇය සෙමින් දොර වසා හැකි ඉක්මනින්  කොරිඩෝවේ කෙලවර දෙසට ගියාය.

එකම විදියට තැනු ගබඩා කාමර කිහිපයක් සහ, වම් පසට වූ  දෙවෙනි කාමරය තුල පෙර පරිදිම බාන්ඩ පිළිබඳව තොරතුරු සටහන් කර ගන්නා සෙබළුන් දෙදෙනෙකු සෙමින් සීරුවේ පසු කල ඇයට, ඊට මදක් ඔබ්බෙන් දකුණු පසට  වූ තවත් පඩි පෙළක් ඇස ගැටිණි.  දෙවරක් නොසිතා සෙමින් පඩි පෙළ බාගයක් නැග  උඩු මහලට පිවිසීමට පෙර මදක් නැවතුනු ඇයට උඩු මහලේ කතා කරන හඬ සහ වඩා හොඳ ආලෝකයක් ඇති බව පෙනිණි.  කල හැකි වෙනත් කිසිවක් නොවුයෙන් උඩට යාමට තීරණය කලේ සිදුවන ඕනෙම දෙයකට මුහුණදීමට සිතාගෙනය. පඩි පෙලේ අවසානයට පැමිණි ඇය  හෙමින් සීරුවේ  ආලෝකය ආ වම් පසට යාමට තීරණය කළා පමණි.

"ඔහොමම නතර වෙනවා. " තියුණු කඩු තුඩක සියුම් වේදනාව ඇගේ පිට පෙදසට දැනු නාය.

පසුපසින් පැමිණි සෙබලා ඉවසීමෙන් යුතුව පැවසීය. 

"මම කොහෙද මේ ඉන්නේ ? හිටි තැනම නතර වුනු ඇලෙන්ඩි ඇසුවාය.

"ඒක  දැන  ගන්න  පුළුවන්.  යමු ඔහොම ඉස්සරහට... " ගොරෝසු සෙබල හඬ පැවසිය.

තවත් කාමර කිහිපයක්  සහ ශාලාවක් පසු කරමින්  ඇලෙන්ඩි  ඉදිරියට ඇදුණාය.  සෙබලාගේ කඩු  තුඩ තවමත් ඇගේ ශරීරය ස්පර්ශ වෙමින් තිබුණු හෙයින් ඇය ක්ෂණික තීරණ කිසිවකට යොමු නොවී සිදුවන දෙයට මුහුණ දීමට සිතා ගත්තාය.


අමුතු හැඩයේ ගොඩ නැගිල්ල 


ඉදිරියෙන් වූ විශාල දොරින් එලියට පැමිණි ඇයට  තවත් පරණ තාලයේ ගොඩනැගිලි කිහිපයක් සහ ඉදිරිපසින් වූ අමුතු හැඩයකින් යුත් තවත්  නවීන ගොඩනැගිල්ලක්  දිස් විය. ඉදිරිපස අංගනයේ පරණ තාලයේ මයින්ඩ් ජෙට් යානා කිහිපය සහ ගොඩබිම බර උපකරණ ගෙන යාමට යොදා ගන්නා විශාල ක්ලානා රථ කිහිපයක් ද  විය.  පසුපසින් පැමිණි සෙබලාගේ නියමයෙන් අමුතු හැඩයේ ගොඩ නගිල්ලට ඇතුළු වූ ඇය  ඉදිරියේ වුයේ  කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දසුනකි.