Wednesday, September 26, 2018

මස්සිනාගේ සිංදුව


මස්සිනාල සහ සිංදු කියන්නේ ජිවීතේට නැතුවම බැරි අංග දෙකක්. මස්සිනාලා ඉන්න ඕනේ කෙනෙක් මස්සිනාලගේ අගය දන්නවනේ... මටත් අපරාදේ කියන්ඩ බෑ අපුරු මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නගේ ඇඩ්වෙන්චර් ගැන වෙන වෙනම ලියන්න ජාති තියෙනවා. 

ඉස්සෙල්ල මේ සිංදුව අහල ඉන්නකෝ




මේ තියෙන්නේ පද වැල...

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී...
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

දෝර ගලා යයි හිත තුල සෙනෙහස
නුඹේ උණුසුම් සෙවනින් //
එපා අයිතියක් කිසිදා මා හට
හිනැහෙමු මේ විලසින්
හිනැහෙමු මේ විලසින්

කවුරුවත් නොවී.....

හදද තැවෙයි නෙත කඳුල නැගෙයි
විය නොහැකිය කිසිවෙක්//
පුංචි ඉඩක්වත් තියන්න හිත තුල
යදම් නොමැති තැනකින්
යදම් නොමැති තැනකින්

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

මේ සිංදුව අපි වගේ පොඩි ළමයින්ට තාම ගැඹුරු වැඩියි... 40 පැනපු සහ ඒ ආසන්නයේ ඉන්න අයට හිතෙන දේවල් නේ ඕවා... කොහොම උනත් ඉතින් කව්රුවත් නොවී ඉන්නකොට නම් ෂේප් එකේ ඉන්න පුළුවන් කියල නම් මටත් තේරෙනවා.

දිමුතු අයියා ඉතින් බොහෝ අංශවලට දක්ෂ, හොඳ රසවින්දනයක් තියෙන, කලාකාමී චරිතයක්. මේ ඉතින් ඒවගේ තව එක දක්ෂතාවයක් එලියට දාපු අවස්තාවක්. ඔය යු.ටියුබ් චැනල් එකේ තව වීඩියෝ කීපයක් තියෙනවා. වටින අදහස් තියෙන.

එයාට මේ සිංදුව ලියන්න හේතු බූත වෙච්ච කාරනා කාරනා නම් මම දන්නේ නෑ... පස්සේ වෙලාවක අහල බලල දැන ගන්න ඕනේ. ඒ වයසට එද්දී අපිටත් වැදගත් වෙන්න පුළුවන් නේ...  අපේ අක්කගෙන් ඇහුවහම නම් කිව්වේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බෑ... කියල... එයාටත් මේ දවස් වල සිංදු, නැටුම් ගැයුම් ගැන පොඩි උණක් හැදිලා...

ඉතින් මේ සිංදුව ගැන ඔබලාගේ අදහස් කියන්න. මට හිතෙනවා මේ දවස් වල නිතර ඇහෙන ජාතියේ නොවන වෙනස් නිර්මාණයක් කියල.

දිමුතු අයියගේ යු.ටියුබ් චැනල් එකට දිගට වීඩියෝ දාන්න තමා අපේ බලාපොරොත්තුව. එයා මානව සංවර්ධනය සහ තව වෘත්තීය උපදේශනය සහ තව අන්න ඒ වගේ ජාති ගැන ප්‍රබුද්ධයෙක්. ඉතින් කාට හරි ඒ අංශ ගැන දැන ගන්න සහ උනන්දු නම් සම්බන්ද කරලා දෙන්න පුළුවන්. ඒ සම්බන්ද කාරණා ගැන ලංකාව පුරා බොහෝ ආයතන වල වැඩමුළු එහෙම පවත්වනවා. (කොයි වෙලාවෙත් ගෙදර නෑ කියල තමා අක්ක නම් බනින්නේ). ඕවා ඉතින් ඔහොම තමා.

මේ සිංදුව ගයන කෙනා සහ තනු නිර්මාණය කරපු කෙනෙත් මේ ක්ෂේත්‍රයට අලුත්ම අය මම හිතන විදියට. ඒ දෙදෙනාත් සිංදුව ලස්සන කරන්න උපරිමෙන් දායක වෙලා තියෙනවා. මේක රේඩියෝ වල ඇහෙයි ද කියල නම් මම දන්නේ නෑ... නමුත් නිතර අහනකොට එපා නොවන ලස්සන සංගීතයක් සහ අපේ හිත් සහ බැඳීම් ගැන නිවාඩු පාඩුවේ හිතල බලන්න පුළුවන් විදියේ සිංදුවක්.

බ්ලොග් ලියන කියවන ඔබගේ අදහස් සහ විවේචන (පස්සේ ගැසීමට මඩ)  ඉතා ආදරයෙන් බාරගන්නවා.



Thursday, September 13, 2018

බුකී බුක් චැලේන්ජ් හෙවත් කැමති පොත් වලින් 7ක්



        මම ඔය ෆෙස්බුකියේ පැය 24ම ඔන්ලයින් හිටියට, (මම කිව්වට අපි දෙන්නම ඉන්නේ මගේ නමින්.) මලාට කාත් එක්කවත් චැට් කරන්නේ නැති, කිසිම දේකට සම්බන්ද වෙන්නේ නැති, යාන්තමට ලයික් එකක් දාල, කලාතුරකින් කොමෙන්ට් එකක් දාල, ඊටත් වඩා කලාතුරකින් මිනිස්සුන්ගේ උපන්දින වලට විශ්කරන, ඔප දුප ටිකක් විතරක් බලල යන, නුතන ඔන්ලයින් වර්ගීකරණ වල හැටියට මෙලෝ රහක් නැති ඔන්ලයින් චරිතයක්. මොකක් දෝ කම්මැලි කමක් තියෙනවා මට ඕකේ තියෙන කතා බහට එකතු වෙලා කයිය ගහන්න. ෆේස්බුක් එක එන්න කලින් ගුග්ල් එකේ තිබුන Orkut කියල පොඩි සෝෂල් නෙට්වර්කින් සේවාවක්. මම අන්න ඒකෙ නම් බැහැල කයිය ගහල ගෑනු ළමයි කිහිප  දෙනෙක් එහෙම අඳුනගෙන, සම්භාව්‍ය දේවල් ගැන එහෙම කතා කළා. දැන් එක ගුග්ල් එකෙන් වහල.  හැබැයි ඔය ලින්ක් එකේ තියෙන විදියට එක හදපු ඉංජිනේරුවා තාම වැඩේ ඇදගෙන   යනවා. කොහොම වුනත් බුකියෙන් රටේ නිවුස් එකක් බලාගෙන, ඔය මොනවා හරි   දෙන දෙයක් කාල ඉන්න එක තමා දැන් මම කරන්නේ. 

අර වාන් පතුල් රවියා හෙවත් අපේ හිතාදර රවී අයියා මම ඔහොම බොහොම අසරණ විදියට පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා දැකල, මේ ලඟදි දවසක මට චැලේන්ජ් එකක් කළා. "අඩෝ පැතුමා, ඔය ගල්බමුණ වගේ ඉන්නේ නැතුව උඹ කියවල තියෙන ආසම පොත් 7තේ පිට කවර දාපංඩො පුළුවන් නම්" කියල.  රවියටත් කව්ද ගෑනු ළමයෙක් ද කොහෙද චැලේන්ජ් කරලා (අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ)  රවියා වැඩේ බැහැලම කර කර ඉන්න අතරේ තමා මේ මාවත් පටලව ගත්තේ...

මේ තියෙන අන්දබූත ගතිය මගෑරිලා යන්නත් එක්ක ගේමට බහිමු ඔන්න ඔහේ කියල මම කැමති පොත් ගැන කල්පනා කරන්න ගත්තා. කල්පනා කරනකොට කරනකොට ඉතින් මොකකට වැඩියෙන් ආසද කියල හිතා ගන්න එක තමා තිබ්බ ලොකුම ප්‍රශ්නේ.

පොඩි කාලේ ඉඳල එක එක පොත් පත්තර කෑලි කියවන්න පුරුදු වෙලා හිටපු හින්දා මුලින්ම කියෙව්ව එක මේකයි කියන්න මතක නෑ... පොඩිම කාලේ හෙනම ආසාවෙන් ළඟ තියාගෙන හිටපු වෘක හාමිගේ සාදය සහ මාෂා සහ වලහ කියන පොත් දෙක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. . මම ඔය පොඩියට හිටියේ අසුව දසකේ පටන් ගත්තම කාලේ... ඉතින් තාම පොඩි එකා... ඊට පස්සේ මහා විද්‍යාඥයෝ කියල තව පොඩි පොතක් තිබුනා. එකෙන් තමා මාර්කෝනි, ලොගි බෙයාර්ඩ්, එඩිසන්, රයිට් සහෝදරයෝ ගැන එහෙම දැන ගත්තේ... ඒ අතරේ තාත්තගේ මහ ගෙදර වෙච්ච හපුතලේ ගෙදර තමා රුසියන් සුරංගනා කතා කියවන්න පුරුදු කරපු තැන. දැනටත් රුසියන් කතාවක් කියවද්දී ඒ ගෙදර මතක් වෙනවා. කඳු යායකින් වටවුණු, අඳුරු පයිනස් කැලෑවක් අයිනේ, ලස්සන දොර පාරක් කිට්ටුව තිබුණු ගෙයක්. මැටියෙන් හදපු ලිපකට පයිනස් දර දානකොට එන සුවද, ලිපෙන් නගින ගිනි දැල්ලෙන් හීතල මකාගෙන, රුසියාවේ හීතල හිතෙන මවාගෙන තමා ලස්සන වසිලිස්සා මුලින්ම කියෙව්වේ. ඊට පස්සේ තොල්යා සහ ඔහුගේ යහළුවෝ හමුවුනා, ගපුර් ගුලයාම් මගේ හපන්කම් ගැන කිව්වෙත් එහෙදි තමා. කවුරු හරි ලේඛකයෙක් ගේ ලස්සන චිත්‍ර කතා පොතක් තිබුනා. පැන්සලකින් ඇඳපු චිත්‍ර වගේ කළු සුදු හැබැයි පොඩි ළමයිගේ චිත්‍ර නොවන උසස් මට්ටමේ චිත්‍ර තිබුණු පොතක්. මගේ ඔලුව ෆැන්ටසි වලින් පිරිච්ච, විද්‍යාවට ආස, චිත්‍ර අඳින්න කැමති චරිතයක් විදියට ප්‍රෝග්‍රෑම් වෙන්න ඇත්තේ ඔය කියපු පොත් සෙට් එක හින්ද වෙන්න ඇති. 

ඊට පස්සේ ඉඳල ගොඩක් උපන්දිනවලට මට හම්බ වුනේ පොත් තමා. ඉතින් ඔහොම පොත් ගැන කල්පනා කරද්දී මේ චැලේන්ජ් එකට ඉස්සෙල්ලම දාන්න හිතට ආපු පොත තමා මේක


මේ පොත මට 1994 මගේ උපන්දිනේට අපේ අක්කා දුන්නු පොතක්. අක්ක ලියපු නෝට් එකක් තාම පොතේ මුල් පිටුවේ තියෙනවා. මට මතක විදියට මේ පොතත් එක්ක අදිසි මිනිසා සහ භුතාවේශය කියන පොත් දෙකත් හම්බ වුනා. ඒ දෙක බොහොම අභාවයට ගිහිල්ලා තිබුනා මම දැක්ක. භුතාවේශය නම් තිබුනද කියල මතකත් නෑ...අදිසි මිනිසා මම කැමතිම තවත් පොතක්. ඔය කාලේදී මම ආසම කරපු අනිත් පොත තමා රත්නාගාරය. ඇලන් ක්වාර්ටමේන් ව අඳුර ගත්තේ එකෙන්. දැන් මේ ලියද්දි මතක් වෙන අනිත් පොත් ටිකත් ලියල දාන්නම්. තව ආසම එකක් වුනේ විජයග්‍රාහී කෝනාන් හෙවත් මකරාගේ හෝරාව, ඈ හෙවත් අයේෂා, ලෝකය වටේ දින අසුවකින්, කල්ලන්දුවේ මුතුකොල්ලය, පාලු දුපත, කේ.ජි කරුණාතිලක මහත්තයගේ ටාසන් සෙට් එක...හපොයි මේකේ ඔක්කොම ටික ලියන්න වෙනවා මෙහෙම ගියොත්.. ඔය මදැයි දැනට...

මේ  චැලේන්ජ් එකේ කැමතිම පොත් 7 දාන්න කිව්වට මම දැම්මේ කැමති පොත් වලින් 7ක්. ඔක්කොම තියෙන්නේ කැමති පොත් නේ.

පොතක් ගියොත් ගියාමයි කියල කිව්වට කලාතුරකින් එහෙම ගියපු පොත් අපේ අතට එන වෙලාවලුත් තියෙනවා. මේ පොත අවම අවුරුදු 10ක් වත් ඒ විදියට අතුරුදහන් වෙලා තිබුණු පොතක්. මම හිතෙන් අතැරලා දාල තිබුනේ මේක.  අපේ අම්මගේ පැත්තේ ඉන්න ලොකු අම්මල, පුංචිල පොත් ගුල්ලෝ. කොහෙන් හරි පොතක් දැක්කොත් උස්සන් යනවා. ඉතින් මිට අවුරුදු බර ගානකට කලින් මේ පොත අපේ ගෙදරින් අතුරුදහන් වුනා. මම මේ සැරේ ලංකාවෙන් එන්න ඉස්සර අක්කලාගේ ගෙදර ඉන්නකොට අපේ ලොකු අම්මා  ගෙදර ඉස්තෝප්පුවට වෙලා මෙන්න ලෝඩ් වගේ පොතක් බල බල ඉන්නවා. එයාටත් ඉතින් බණ පොතේ සිට මල පොත දක්වා අහුවෙන ඕනේ එකක් කියවනවා. මේකේ කවරේ දැක්ක විතරයි කොටින්ම මම ලොකු අම්ම වාඩි වෙලා හිටපු පුටුව ගාවට පැනල පොත අතට ගත්තේ... "කොහෙන්ද මේ පොත? කොහෙද මේක මෙච්චර කල් තිබුනේ..? මේක මගේ... " ආ ඕක ඔයාගේද? අන්න අර අපේ ගෙදර තිබිල මම මේ අරං ආවේ බලන්න.." මගේ තමා.. මේ තියෙන්නේ නම..  ලොකු අම්මට කිසි ගානක් නෑ... "ආයේ එහෙම කාටවත් දෙන්න එපා.. බලල ඉවර වෙලා මටම දෙන්න ඕනේ.. ඕක මම අරං යනවා මේ සැරේ.." 

ඉතින් එහෙම තමා ඔය පොත මට ආයේ හම්බ වුනේ. මේ පොතේ ෂර්ලොක් හෝම්ස් කතා 12ක් තියෙනවා. පිටු 386ක්. අනුවාදය එන්.ඒ.ඩි ගුණතිලක කියල මහත්මයෙක් පලවෙනි මුද්‍රණය 1961 දී. මගේ ළඟ තියෙන එක 1991 4 වෙනි මුද්‍රණය. මිට අමතරව බැස්කර්විල් දඩ බල්ලා කියල තව පොතක් තිබුනා හැබැයි එකත් දැනට අතුරුදහන් වෙලා තියෙන්නේ. මම මෑතකාලීනව ෂර්ලොක් හෝම්ස් කතා නිසා ජනප්‍රිය වෙච්ච චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොත් එකක්වත් කියවල නෑ.. මේ පොතේ තිබ්බ කතා ටික කියෙව්වට පස්සේ ෂර්ලොක් හෝම්ස් අලුත් ඒවා කියවන්න හිතුනේ නෑ...

ඔය කාලේදී ඩීමන් ආනන්ද මහත්මයාගේ ජේම්ස් බණ්ඩා පොතත් මගේ ළඟ තිබුනා. දැන් නම් තියෙනවද මන්ද එක.

මේ පොත බුකියට දාල මම අපේ සභාපතිතුමාව මේ අභියෝගෙට මාට්ටු කළා, අපරාදේ කියන්න බෑ.. උන්දැ තාම අභියෝගෙට දාන්න පොත් කල්පනා කරනවා කියල තමා ආරංචිය.

දෙවෙනි දවස



ඔය කාලෙම තමා මම විදුසර කියවන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳල කියවපු විද්යාප්‍රබන්ධ වලින් මම ආසම එක 2001, මේ කතාව වෙනස් මානයකට හිතන්න පුරුදු කරපු කතාවක් කිව්වොත් හරි. විද්යාප්‍රබන්ධ සාහිත්‍යය කියන්නේ වෙනමම කලාවක්. ඒ පැත්ත ගැන ඔලුව විකාර කරගෙන හිතන්න මේ කතාව උදව් වුනා කියන්න පුළුවන්. 2001 කතාව සිව් ඈදුතු කතාමලාවක්. මම 2010 ට කැමතියි නමුත් 2061 සහ 3001 ඒ තරම් අල්ලලා ගියේ නෑ... 2001 කතාවේ  ඩේව් බෝමන් අභ්‍යවකාශයේ කාත් කවුරුවත් නැතුව තනිවෙනවා. මට අන්න ඒ විදියට තරුවලින් පිරිච්ච අභ්‍යවකාශේ තනිවෙන්න ඕනේ වගේ මොලේ කොලොප්පන් ආසාවල් ඇති වෙලා තියෙන්නේ මේ පොත කියෙව්වට පස්සේ ඉඳල.

මම මේ පොතට අපේ ප්‍රා.ජේ මහත්තයව එල්ලලා පොත් අභියෝගය පැටලෙව්වා. අභියෝගය අපේ විදියට බාර නොගත්තත් මට තව මේ වගේම සයි-ෆයි ෆැන්ටසි සීරිස් එකක් ගැන හොඳ ඔත්තුවක් දුන්නා. ඒ Colin Wilson ගේ Spider World කියල සීරිස් එකක්. Colin Wilson ගේ චිත්ත පරපෝෂිතයෝ පොත ගැන රවී අයියා දාපු කොමෙන්ට් එක හින්දා ඒ පොතත් මතක් උනා. මම ඔය විද්‍යා ප්‍රබන්ධ පිස්සුව හැදිලා තිබ්බ කාලේ ගත්ත තව පොතක් ඒක. ඒ එක්කම හිතන පතන යන්ත්‍ර කියලත් පොතක් තිබුනා. මේ ඔක්කොම පොත් එස්.එම් බන්දුසිල මහත්මයාගේ පරිවර්තන. එස්.එම් බන්දුසිල මහත්මයාව පෞද්ගලිකව හඳුනා ගන්නත්, ශ්‍රී ලංකා විද්‍යා ප්‍රබන්ධ කරුවන්ගේ සංගමය කියල ඒ දවස් වල පිහිටවපු සංගමයක ආරම්භක සාමාජිකයෙක් වෙන්නත් ඔය පොත් සෙට් එක හේතු වුනා කියන්න පුළුවන්. 

තුන් වෙනි දවස



මම විදර්ශන පාටක සංගමයේ මුල් කාලින සාමාජිකයෙක්. මම විදර්ශන පොත් වලට ඇලුම් කලේ වෙනස් විදියේ පරිවර්තන සහ මම කලින් නොදැන සිටි බොහෝ විදෙස් පරිවර්තකයින්ගේ පොත පත ඔවුන් ළඟ තිබුන නිසා. බ්‍රසීලියානු ලේඛක Paulo Coelho de Souza ගැන මම දැන ගත්තේ මේ පොතෙන්. කියවල නැති අය ඉන්නවනම් කියවන්න වටින පොතක්. තාත්තගේ මරණින් පස්සේ මම ආගම දහම ගැන, ජිවිතේ ගැන එක එක විදියෙන් කරුණු හොයන්න පටන් ගත්තා. මේ පොතේ තියෙනව අපිට ජිවිතේ දිහා සුබවාදීව බලන්න පොළඹවන අපුරු දර්ශනයක්. ඒක ආගමෙන් ස්වායක්ත දෙයක්. ඕනෙවට වඩා රැඩිකල් නොවී සිම්පල් විදියකට දේවල් තේරුම් ගන්නත්, ආගම් වල මිත්‍යාවන් ගැන වෙනස්ව හිතන්නත් ඔය කාලේදී මම පුරුදු පුහුණු වුනා.   ඇල්කෙමිස්ට් ඒකට උදව් වුනා කියන්න පුළුවන්. පවුලෝ කොයියෝගේ මම කියවපු අනිත් පොත් තමා යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය, විනාඩි 11, පියෙද්රා ගගබඩ සිට වැළපුනෙමි.  manuscript found in Accra පොත ගත්තත් කියවන්න බැරි වුනා. ඒක ලංකාවේ.

මේ පොතට මම අපේ දේශකයා තුමා ව එල්ලුවා. අපරාදේ කියන්න බෑ දේශකයා වැඩේ හෙනම උනන්දුවෙන් කරලා මම කියවල නැති පොත් 7ක්ම දාල, කොටින්ම දාපු පොත් ගැන පෝස්ට් එකකුත් ලියල, මේ වගේ පොත් ගැන ලිපි ලියන මට්ටමට අපිව උනන්දු කළා. ඔය කාට හරි වෙන ඕනෙම වර්ගයක අභියෝග එහෙම තියෙනවනම් අපේ දේශකයව ටැග් කරන්න කියල මම හයිලි රෙකමන්ඩ් කරනවා. 


හතරවෙනි දවස



ප්‍රථම වතාවට මැලේසියාවේ ජිවත් වෙන්න ආපු කාලේ සිංහල පොත් කියවීම සෑහෙන්න මග ඇරිලා ගියා. හැබැයි ඒ එක්කම ඉංග්‍රීසි පොත් කියවන්න මම හුරු වුනා. මුලින්ම Big Bad Wolf ප්‍රදර්ශනෙන් ගත්ත පොත් සෙට් එකෙන් එකක් මේක. මම මයිකල් ක්‍රයිටන් ගැන දැනගෙන හිටියේ ජුරාසික් පාර්ක් එකෙන්. Big Bad Wolf එකෙන් මම මේ පොතයි Micro එකයි ගත්තා. සයි-ෆයි ෆැන්ටසි වගේම පයිරට් කතා කියන්නෙත් මගේ ප්‍රියතම පැත්තක්. මේක නම් පුදුම ලස්සනට ගලාගෙන යන මරු කතාවක්. ලොකු සංකීර්ණ නැති කතාවක්. ඉංග්‍රීසි කියවන්න පටන් ගන්න හොඳ පොතක්. පොත බිමින් තියන්න හිතෙන්නේ නෑ. දැන් වෙනකොට මුහුදු හොරු කියන්නේ සාහිත්‍ය ශානරයක් බවට පත්වෙච්ච මිනිස්සු පිරිසක් නේ (සෝමාලියානු සෙට් එක ඇර). තව කාලයක් අනාගතයේදී දැන්  පාරේ ඉන්න ගැන්ග්ස්ටර්ස් ල මේ වගේ ශානරයක් බිහිකරයි කියල මම කොහේ හරි සඟරාවක කියෙව්වා. හැබැයි වෙන්නත් පුළුවන් නේද? නිකන් තනිකරම Virtual Reality එකක් වෙච්ච, උඩින් යන කාර් වලින් ගමන් බිමන් යන කාලෙකදී පාරේ යන එන මිනිස්සුන්ට පොඩි සද්දයක් දාල, දාමරික කමක් කරපු මිනිස්සු කියන්නේ අමුතුම ෆැන්ටසි එකක් වෙන්න පුළුවන්. තව වැඩි කාලයක් යන එකක් නෑ.


මේ පොතට මම එල්ලුවේ අපේ හද ගී පොත ලියන අසරණ තිස්ස අයියව, අනේ ඊට පස්සේ ආගිය අතක් දැක්කේ නෑ.. පරණ සිංදු කෑල්ලක් කියාගෙන ආතල් එකේ හිටපු මනුස්සයට මොන මුහුදු හොරුද කියල හිතෙන්න ඇති. 


පස්වෙනි දවස


පස්වෙනි දවස වෙද්දී කැමති පොත් එක පිට එක මතක් වෙලා මොකක් දාන්න ද කියල හිතා ගන්න බැරි තත්වයක් තිබ්බේ. මම ඉස්සර ආසාවෙන් කියවපු පොතක් තමා ගමක වත. මේක මිණිවන් පී. තිලකරත්න මහත්මය ලියපු පොතක්. අම්මා අම්මගේ ඔෆිස් එකේ පුස්තකාලෙන් ද කොහෙද ගෙනල්ල අපේ ගෙදරට සින්න වෙච්ච පොතක් ඒක. මම හරි ආස වෙච්ච කතාවක්. කතාවේ තිබ්බ ඔය රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේද කොහෙද උඩ රටින් පැනල ආපු ගැමියෝ ටිකක් අලුතින් ගමක් හදන හැටි. ප්‍රධාන චරිතේ උනේ මහපතිරන්නැහේ එයත් එක්ක ආරෝවට හිටියේ පහළ වත්තේ ලේඛම්රාළ, හරි ලස්සන කතාවක්. දැන් නම් ඒ පොත හොයා ගන්න තියෙනවද දන්නේ නෑ. එකත් එක්ක මතක් වෙච්ච අනිත් පොත කළු දළ මල. කළු දළ මල පොත ගැන මම ලියපු මේ පෝස්ට් එක දැකල මගේ බොහොම පරණ මිතුරියක් මම ඔය ලංකාවට ආපු වෙලාවක ඒක මට දුන්නා. අවාසනාවක මහත කියන්නේ මම කීප සැරයක් ආපහු ඒ පොත දෙන්න උත්සාහ කලත් කොහොම හරි ඒක බැරි වුනා. අන්තිමට මම හිතන්නේ අර අපේ ලොකු අම්මගේ මරණේ වෙලාවේ අක්කලාගේ ගෙදර තිබුණු පොත කවුරු හරි අතුරුදහන් කරවල. දැන් ඒ පොත ආගිය අතක් නෑ... ඒක ගැන තියෙන්නේ හරිම කණගාටුදායක හැඟීමක්. කොටින්ම පොත ගන්න ගිය වෙලාවේ වත් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා හරියට කතා කරන්න බැරි වෙච්ච එක ඔක්කොටොම වඩා අප්සැට්... කළු දළ මල කියන්නේ මගේ සදා ෆේවරිට් පොතක්. වසිලිස්සා පොත ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑනේ. මම කාලෙකට කලින් මේ ෆොටෝ එක දාල තියෙන පොත ගැන ලිව්වා මෙන්න මේක.

මේ පොත දාල මම අපේ හිතාදර ඩ්‍රැකියව මාට්ටු කළා. අපරාදේ කියන්න බෑ  ඌ අපුරු පොත් සෙට් එකක් දාල අභියෝගේ බාර ගත්තා. සමහර පොත් ජිවිතේට අහලවත් නැති වටිනා පොත්. 


හයවෙනි දවස 




මම Dan Brown ගේ පොත් කියවල තිබුනේ නෑ. Angels and Demons ෆිල්ම් එක නම් බලල තිබුනා. හැබැයි වෘකයාගේ කඩෙන් මේක ගත්තට පස්සේ එක හුස්මට කියවල ඉවර කරපු පොතක්. ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා වගේ තමා. මේකෙන් පස්සේ Dan Brown අනිත් පොත් කියවන්න හිතුවත් මම ආස කරන ගණ පිට කවරේ තියෙන පොත් හම්බ වුනේ නෑ. වෘකයාගේ සේල් වල තියෙන්නේ ඔක්කොම ලාබෙට ප්‍රින්ට් කරපු කුරුමිණි අකුරු තියෙන පොත්. මට ඒවා ගන්න හිතෙන්නේ නෑ. පොත් කඩවල තියෙන උසස් තත්වයේ පොත් තාමත් ගාන වැඩියි. කොයි වෙලාවේ හරි වෘකයා හොඳ කොපි දායිනේ කියල ලෝභ කමට බලන් ඉන්නවා. ලංකාවේ හිටපු කාලේදී ප්‍රා.ජේ කිව්වා කොළඹ මහජන පුස්තකාලේ ඔක්කොම අලුත් පොත් තියෙනවා පුළුවන් නම් ඒකට බැඳෙන්න කියල. හැබැයි ලංකාවේදී තිබ්බ තේරුමක් නැති බිසී ජීවිතෙත් එක්ක ඒක කරන්නත් බැරි වුනා. මෙහෙදී හම්බවෙච්ච ඇමරිකන් සුද්දෙක් කිව්වා Dan Brown ගේ පොත් කියෙව්වට කමක් නෑ. පොත් වල තියෙන තැන් හොයාගෙන යන්න හදන්න එපා කියල. Dan Brown ගේ රසිකයෝ කතාවල තියෙන තැන් ඇත්තට හොයන්න යන එක හෙන ජනප්‍රිය වැඩක් ලු.

මේකට ටැග් කරන්න එකෙක් කල්පනා කර කර ඉද්දි මට අපේ පුරාණ බ්ලොග් කරුවෙක් වෙච්ච, ඕනේ වෙලාවක මැන්ටල් වෙලා හිටපු, මේ වෙද්දී ටුවිටර් කුරුල්ලා එක්ක වැඩි කාලයක් ගෙවන ඕනයා හෙවත් දුලිප් සිකුරජපතියව මතක් වෙලා අභියෝග කරලා බැලුවා. තාම නම් කිසිම සද්දයක් නෑ... ඌට ට්විටරෙන් ගැලවෙන්න බැරි හැඩක් තියෙන්නේ.


හත් වෙනි දවස



අන්තිම එකට ආස කරන සිංහල පොතක් වෙච්ච බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ රන් කරඩුව පොත දාන්නත් හදල පස්සේ මේක දැම්මේ කියවන්න වටින කතාවක් තියෙන නිසා. රුසියන් සාහිත්‍යයට පොඩි කාලේ ඉඳල ආස  කලාට ලෝකේ විවිද රටවල ලියවෙච්ච පොත් කියවල ඒ ඒ සංස්කෘතීන් ගැන දැන ගන්න එක වඩා හොඳයි කියල හිතල මම දැන් ටික කාලෙක ඉඳල ප්‍රිය කරන්නේ මේ වගේ කතා කියවන්න. කාලිඩ් හොසෙයිනි ඇෆ්ගන්-ඇමරිකන් ලේඛකයෙක්. ඇෆ්ගනිස්තානය දැන් පවතින තත්වෙට එන්න කලින් සමාජය කොහමද කියන එක සහ ඇෆ්ගනිස්තානෙට මොකද වුනේ කියල අදහසක් මේ පොතෙන් ගන්න පුළුවන්. සංවේදී ඒ වගේම අපිට අපි ගැනත් නැවත හිතන්න සිද්ද වෙන කතාවක්. ලස්සනට ලියල තියෙනවා. ඔය විදෙස් රටවල පොත් ගැන කියද්දී මතක් වුන තව පොත් කිහිපයක් තමා නෙරුදා ගේ ලියුම් කාරයා, සෝර්බා නම් ග්‍රීකයා, Memories of My Melancholy Whores, ඊළඟට මේ දවස් වල බාගෙට කියවන සියක් වසක හුදකලාව, තව කළු වැස්ස කියල ජපන් පොතක් එතකොට The Shape of Water. මේ The Shape of Water පොත මම අර වෘකයාගේ පොත් ගොඩේ තිබිල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව  ගත්තේ මේ ගිය අවුරුද්දේ ද කොහෙද හොඳම චිත්‍රපටිය වෙච්ච ෆිල්ම් එකේ පොත වෙන්න ඇති කියල හිතාගෙන. මම ෆ්ලිම් එක බලල නැති වුනාට කතාව ගැන  යන්තම් දැනගෙන හිටියා. ෆිල්ම් එක බලන්න කලින් හම්බ වෙච්ච නිසා පොත කියවලම ඉන්නවා කියල  තමා කල්පනා කලේ...  මරු වැඩේ කියන්නේ ඔන්න මම ඕක කියවන්න පටන්  ගත්තා.    පරිච්චේද දෙක තුනක් ගියත් කතාවේ මම බලාපොරොත්තු වෙච්ච දේවල් නෑ... පස්සේ බලද්දී මේක මේ වෙන පොතක් An Inspector Montalbano Mystery කියල තියෙන වෙන කතාවක්... හෙහ් හෙහ්.. එකත් පොඩි ගතියක් තියෙන කතාවක්. තාම කියවල ඉවර නෑ හැබැයි...


පහු ගිය පොත් ඔක්කොටම බ්ලොග් ලෝකෙන් හදුනා ගත්තු සහෘදයින් ව ටැග් කරපු නිසා මම අන්තිම පොත ජාත්‍යන්තරයට ගෙනියන්න හිතාගෙන මැලේසියාවේදී හඳුන ගත්තු, පොත පත සහ සංචාරයට බෙහෙවින් උනන්දු මැලේ ස්ත්‍රී රත්නයක් ව ටැග් කරලා බැලුවා. එයාගෙනුත් මේ වෙනකම් නම් සද්දයක් නෑ... මං වැඩිය කරදර කරන්න ගියෙත් නෑ ඊට පස්සේ...


ඔන්න ඔහොමයි දවස් හතේ අභියෝගයට මම මුණ දුන්නේ. මාව මේකට ටැග් කරලා මේ පොත් එක්ක ආතල් එකක් ගන්න ඉඩක් දුන්න රවියටත්, මම ටැග් කරලා වැඩේට සෙට් වෙච්ච නොවෙච්ච හැමෝටමත් බොහොම ස්තුතියි. 

ප.ලි

මේක ලියද්දි කියවපු අකමැතිම පොත් ගැනත් ලියන්න හිතුවා. හැබැයි දිග වැඩි වෙන හින්ද ඒක පස්සේ ලියන්නම්. 

Saturday, August 18, 2018

බාලි සංචාරය - 3


පසුගිය කොටස්

1 කොටස

2 කොටස


පහුවදා ගමනට අපි හොටෙල් එකෙන් වාහනයක් සෙට් කරගත්තා. උදේ නමය වෙද්දී ගමන පිටත් වෙද්දී අපේ අදහස තිබුනේ බාලි වලට යන ඕනෙම කෙනෙක් බලන්න යන ප්‍රධාන පන්සල් දෙකක් බලන්න යන්න. එකක් Tanah Lot සහ අනික Uluwatu. මිට අමතරව Ubud කියල වෙනම රට ඇතුලට වෙන්න තිබුණු පැත්තක් ලස්සනයි කියල අපි ඉන්ටර්නෙට් එකෙන් හොයල දැනගෙන තිබ්බ නිසා ඒ පළාත බලන්නත් අදහසක් තිබුන. වාහනේ රියදුරු තැන එක්ක කතා කරද්දී තේරුනා අර කියපු පන්සල් දෙක බලන එක සහ Ubud යන එක එක දවසෙන් කරන්න බෑ කියල. ඊට පස්සේ අපේ තීරණේ වුනේ එහෙනම් Ubud පළාත බලල එක පන්සලක් විතරක් බලමු කියන එක. නානාප්‍රකාර පන්සල් ඉතින් අපිට අමුතු දේවල් නෙවෙයි නේ.

ඔහොම හිතාගෙන ඔන්න ගමන පිටත් වුනා. වාහනේ රියදුරා ටිකක් කතාවට බර නිසා මම මිනිහත් එක්ක කතාවට සෙට් වුනා. 

ඉන්දුනීසියාව කියන්නේ  මුස්ලිම් රටක්. නමුත් බාලි සම්පුර්ණයෙන්ම වගේ හිංදු. නමුත් ඒ හිංදු සංස්කෘතිය  ටිකක් වෙනස්. මම හිංදු සංස්කෘතිය ගැන වැඩිය දන්නේ නෑ... නමුත්  රියදුරා සමග කල කතා බහේදී අපිට හුරුපුරුදු හිංදු ඇදහිලි වලිට වඩා වෙනස් කියල මට හිතුනා. ඔවුන් අදහන විදියට සහ බුද්ධාගම් කාරයෝ හැටියට අපිත් හිතන විදියටම තල තුනක් තියෙනවා. එකක් උඩින් තියෙන දේව තලය, අනික අපි ඉන්න මනුස්ස තලය සහ යටින් තියෙන අපාය. අපි වගේ දෙවියන්ට විතරක් සලකල ලකුණු දාගන්න බලන්නේ නැතුව බාලි වල මිනිස්සු යටින් තියෙන අපායේ ඉන්න නරක යැයි සම්මත බලවේග වලටත් පුද පුජා තියල ලකුණු දාගන්නවා. ඔවුන්ගේ තර්කය වන්නේ හොඳ සහ නරක යන දෙකම හරියාකාරව සමබරව තබා ගැනීමෙන් ඔවුන්ට සෙත සැලසෙනවා කියල. මිට අමතරව ඔවුන් මිය ගිය ඥාතීන් අදහන වැඩෙත් කරනවා. ඒ අතින් බලපුවහම ඒ මිනිස්සු හැමෝටම එක හා සමාන ලෙස සලකනවා. මේ සැලකීම් කොතරම් දුරකට ඔවුන් පිළිපදිනවද කිව්වොත් ඔවුන් සිය නිවෙස් පන්සල් බවට පත්කරගෙන ඒ ඒ අදාළ දෙවියන්ට,යක්ෂයින්ට සහ ඥාතීන්ට පුද පුජා පවත්වනවා. හැම ගෙදරම පන්සලක් වීම තමා බාලි නගරයේ තියෙන මම දැකපු වැදගත්ම සහ වෙනස් ම ලක්ෂණය.  තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව තම ඉඩම තුල සාදන පන්සල් වල විශාලත්වය සහ අලංකාර බව වෙනස් වෙනවා.  මෙන්න මේ ලිංක් එකේ තියෙනවා බාලි නිවසක ආකෘතිය.

මම දැනගත්ත විදියට සිය නෑ පරපුරේ විශාලත්වය අනුවත් මේ තනන පන්සල් වල ප්‍රමාණය වෙනස් වෙනවා.  මේ තියෙන්නේ ඔය හදන පන්සල් වල ආකෘතියක්.


බාලි නිවසක  පවුලේ පන්සල - පින්තුරය ගුග්ල්


පාර දෙපස කොහේ බැලුවත් විවිද හැඩයෙන් යුතු පන්සල් සහ මෙන්න මෙවැනි ඉතා අලංකාර කැටයම් සහිත  නිර්මාණ තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමා බාලි මිනිසුන් කලාවට දක්ෂ මිනිසුන් බව. මුළු බාලි දුපත පුරාම තියෙන්නේ අනෙක විදියේ කැටයම් කිව්වොත් හරි.

මෙතන ඉඳල පින්තුර ටිකක් දාන්නම්

මහ පාරට පෙනෙන බාලි නිවසක කොටසක්. වාහනේ යන ගමන් ගත්තු එකක්

මේ තියෙන්නේ ඔය සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් පාරට පේන හැටි...  නගරයේ විදි වල දිගටම මේ වගේ තමයි

විශේෂයෙන් හදපු පන්සල් වෙනම තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ පන්සලක පින්තුර

බාලි වල හැම තැනම වගේ මේ විදියේ උසට හැදුනු කණු දෙකක් තියෙනවා.
බාලි පන්සලක ඇතුලත


මේ පන්සල ඇතුලට යන්න නම් හැමෝම රෙද්දක් ඇඳ ගන්න ඕනේ. දිග ඇඳුම්, කොට ඇඳුම් කියල වෙනසක් නෑ... පොඩි ගානක් දීල රෙද්දක් අරගෙන සරම වගේ ඇඳගෙන යන්නයි තියෙන්නේ..

පන්සල පුරාම තියෙන්නේ කැටයම් තමා...

අමනුෂ්‍ය කැටයමක්
දෙවියෙක් වෙන්න ඇති
තවත් ගල් වලින් නෙලපු කැටයමක්


ඔය පන්සල බලාගෙන අපි පාරදිගේ යනකම් මග දෙපස තිබුනේ විවිධාකාරයේ අත්කම් භාණ්ඩ විකුණන කඩ. හරි ලස්සන නිර්මාණ තිබුනා.

විනාඩි 45ක පැයක විතර ගමනකින් පස්සේ Ubud කියල ඔවුන් සංචාරක ආකර්ෂණය ඇති කරලා පෙන්නන්නේ මෙන්න මේ වෙල... හෙහ් හෙහ්... Bali Rice Fields කියල සුද්දෝ නම් එනවා බලන්න. අපිත් ඉතින් මැජික් වගේ මෙන්න මේ වෙල දිහා බලල ආවා. මෙතන ඉතින් හැමවෙලේම කුඹුරු කොටන ගොවියෙක්, ගොයම් අදින, කුඹුරු වැඩ කරන අය රඟපාන්න ඉන්නවා... හෙහ් හෙහ්

පොල් ගස් දෙකක් මැද්දෙන් තඩි ඔන්චිල්ලාවකුත් බැඳලා හොඳ ගානක් හම්බ කරගන්න සීන් එකකුත් තිබ්බා.

ලංකාවේ තියෙන කුඹුරු යායවල් දැකපු අපිට මේවා මොනවාද

මේකේ මොනවා බලන්නද කියල අපි දෙන්න ටක් ගාල එතනින් ඇවිල්ල ඩයිබර් ට කිව්වා මේක වැඩක් නෑ ළඟ තියෙන තව මොනවා හරි බලන්න යමු කියල. ඒ සැරේ මිනිහා කිව්වා ළඟ තියෙනවා තව හෙන පුජනිය පන්සලක් ඕනනම් ඒක බලමු කියල.  ආපු එකේ මොනවා හරි බලල යන්න ඕනේ නේ කියල අපි ගියා ඒක බලන්න.

මග දිගට නෙක නෙක විසිතුරු බඩු විකුණන කඩ මහ ගොඩයි... මෙන්න මේ වගේ අපුරු බඩු තිබුනා

කැටයම් කරපු හරක් හෝ අශ්ව ඔලුවක්. මම හරි ආසයි මේවට
විවිද කැටයම්


ලංකාවේ අයට දකින කොට නිකං මෙව්වා වෙලා යන නිර්මාණය මෙන්න මේ විදියට තමා ඒ මිනිස්සු විකුනන්නේ...

පුරුෂ ලිඟුවක ආකෘතියට නිමැවුණු අළු බඳුනක්

මේක අළු බඳුනක් විදියට සහ ඔය ටොනික් පියන් අරින්න පුළුවන් විදියටත් බාලි වල මිනිස්සු පාවිච්චි කරනවා.. ඒ අතින් බැලුවහම හරි පුදුමයි නේද?

ඕවත් බලාගෙන අපි ගිය යට කියපු අර පූජනිය පන්සල බලන්න. ඒකත් ලස්සන පන්සලක් අර වගේම කැටයම් පිරිච්ච. මේ පන්සලේ තියෙන දිය උල්පත් වලින් නාන එක පුජනිය වැඩක් විදියට ඒ මිනිස්සු සලකනවා. කට්ටිය හෝ ගාලා නානවා.

පන්සලේ ඇති උල්පත් වලින් එන වතුර මේ විදියට තමා පෝලිමේ ගිහින් නාන්නේ

එතනත් ඉතින් පොඩ්ඩක් කැරකිලා.. අර වගේ පොඩි පොඩි බඩු විකුණන කඩ ටිකකුත් බලාගෙන අර කියපු ප්‍රසිද්ද පන්සල බලන්න ගියා.  ඒ පන්සල මුහුද අයිනේ තියෙන ලස්සන තැනක්. අපේ වෙලාවට එදා බාලි මිනිසුන්ගේ මොකක් හරි පුජාවක් පන්සලේ තිබුනා. ඉතින් උඩට යන්න ලැබුනේ නෑ.. මේ තියෙන්නේ ඒ පන්සල. Tanah Lot කියල ගුග්ල් එකෙන් වැඩි විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉර බහින වෙලාවට මේ පන්සල හරි ලස්සනයි කියල තමා කියන්නේ... අපි දෙන්න ඉර බහින කම් ඉන්නේ නැතුව ආවා


Tanah Lot පන්සල
 මෙතන උඩ තියෙන කොටසට යන්න දුන්නේ නෑ

වලාකුළු බර ගතියක් තිබ්බ හින්ද ඉර බහින එක බලන එක පැත්තකට දාල දිව්‍ය ලෝක රසට හදපු අච්චාරුවකුත් කාල, මග තිබ්බ තැනකින් පච්චේකුත් කොටාගෙන අපි ගියා හෝටලේට.
මේ අච්චාරුවට පලතුරු වර්ග මහ ගොඩක් දාල, හකුරුත් මිශ්‍ර කරලා ගලේ අඹරල තමා හදන්නේ.. පුදුම රහක් තිබුනේ...

පහුවදා උදේ ආපහු එන්න තිබ්බ හින්දා අපි හොටෙල් එකේ වැඩි වෙලා ඉන්නේ නැතුව ගියා සංචාරකයෝ අතරේ ප්‍රසිද්ධ Kuta නගරයේ ඇවිදින්න.  පාරවල් දිගේ විසිතුරු බලාගෙන රෑටත් කාල ඇවිල්ල නිදාගත්තේ Kuta නගරයේ දවසක් නිදහසේ ගත කරන්න ඉඩක් නොලැබීම ගැන පසුතැවිල්ලෙන්..

එදා රෑ වීදි දිගේ පොඩි රවුමක් දාල  බැලුවා.

 මයිකල් ජැක්සනුත් ඇවිල්ල හිටියා. රෑ වෙච්ච හින්ද අත වනාගෙන ආවා

කණුවක් බදාගෙන නටන අක්කල එහෙමත් හිටියා... මේ අක්කල දෙන්න නම් බාර් එකක බීල නටනවද කොහෙද... කණුවක් බදාගෙන නට නට හිටපු අක්ක කෙනෙක් බාගෙට ගලවාගෙන හිටපු ඇඳුම් ටික තව ගැලවෙයි ද කියල මම දෙතුන් වතාවක් මා එතනින් ගිහින් බැලුවා... මම හිතන්නේ ඒ වෙද්දී රෑ වෙලා මදි...

එදා මහ රෑ වෙනකම් ඔය විදිය දිගේ එහෙට මෙහෙට රස්තියාදු ගැහුවේ තව දවසක් දෙකක් ඉන්න තිබ්බ නම් හොඳයි කියල හිත හිත. හෙන ලාබෙට තිබ්බ මසාජ් එහෙම දැක්කම අපරාදේ කියල හිතුනා.

පහුවදා උදෙන්ම නැගිටලා එයාර්පෝර්ට් යන්ඩ කලින් Kuta වෙරළ පැත්තෙත් පොඩි රවුමක් දාල බැලුවා.  බීච් එක ලොකුයි නොගැඹුරු ගතියක් තිබුනේ... සර්ෆින් කරන්න පුරුදු කරන කට්ටිය ගොඩක් හිටියා. රුපියල් 2500කට විතර පැය දෙකක් සර්ෆ් කරන්න දෙන අය හිටියා. පැයක පුහුණුවකින් පස්සේ. වෙලාව මදි කම හින්දා ඒ වැඩේ කරන්න වුනේ නෑ...Kuta කියන්නේ අඩු වියදමකින් හොඳට විනෝද වෙන්න පුළුවන් සංචාරක නගරයක්. බොහෝ දේවල් අඩු මිලට තියෙනවා.

එදා උදේ පාන්දර වෙරළේදී බාලි වැසියන් ගේ සරල පුජාවකුත් බලාගන්න ලැබුණා. මම හිතන්නේ වෙරෙලෙන් ජිවත් වෙන කෙනෙක් වෙරළේ පොඩි පුජාවක් කරනවා. මේ තියෙන්නේ ඒ සීන් එක. අපි වගේම තමා.



ඔන්න ඔහොමයි අපේ බාලි සවාරිය.


Wednesday, June 27, 2018

බාලි සංචාරය - 2



පසුගිය කොටසින් බාලි නගරය ගැන පොඩි හැඳින්වීමක් කලානේ. අද අපේ බාලි අත්දැකීම් ටිකක් ලියන්නම්. අපි දෙන්නා බාලි ගියේ පසුගියදා යෙදිච්ච Hari Raya Aidilfitri නිවාඩුවට. බහුතර මුස්ලිම් රටක් වෙච්ච මැලේසියාවේ මිනිස්සුන්ගේ අවුරුදු කාලය තමයි මේ Hari Raya සමය. ලංකාවේදී මම මේ Hari Raya කියන වචනය දැනගෙන හිටියේ නෑ... ලංකාවේදී අපි මුස්ලිම් අවුරුද්ද හඳුන්වන්නේ වෙන විදියකටනේ. Hari Raya කියන්නේ festival of breaking of the fast කියන අදහස. අපි උත්සවයට කලින් දවසේ රෑ තමයි බාලි වලට ගියේ.

බාලි එයාර්පෝට් එකේ කටයුතු ඉවර වෙලා හොටෙල් එකට යද්දී රෑ 9.00 විතර වෙලා හින්ද එදා දවසේ මොකුත් කරන්න දෙයක් තිබුනේ නෑ. අපේ හොටෙල් එක තිබුනේ Sanur කියන ප්‍රදේශයේ නමුත් වෙරළ කිට්ටුව නෙවෙයි. ටිකක් ඇතුලකට වෙන්න තිබ්බ හොටෙල් එක ප්‍රියමනාප තැනක් වුනාට රෑ වෙනකොට වටපිටාව පාලු බවක් තිබුනේ. අපි දෙන්නට රෑට කන්න කඩයක් හොයා ගන්නත් පොඩි රස්තියාදුවක් ගහන්න වුනා. අන්තිමට ලංකාවේ තියෙන පොඩි රෑ කඩයක් වගේ පුංචි තැනකින් රෑට කන්න දෙයක් අරගෙන හොටෙල් එකට ඇවිල්ලා නිදා ගත්තේ පහුවදා උදේ 6.30ට විතර මෙහෙ සංචාරකයින් අතර ප්‍රසිද්ධ වෙච්ච Nusa Penida කියන දුපතට යෑම පිණිස Sanur වෙරළට යාමට බලාපොරොත්තුවෙන්. 

මම මෙහෙන් යන්න කලින් බාලි වල සංචාරක මගපෙන්වන්නෙක් සමග පොඩ්ඩක් කතා බහ කරගෙන අපේ ගමන කලින් සුදානම් කරගෙන හිටියේ. නමුත් ඕනෑම හොටෙල් එකකින් අපිට ඉතා පහසුවෙන් එවැනි ගමන් සුදානම් කරගන්න පුළුවන්. මේ මනුස්සය ගැන මම වෙනත් බ්ලොග් අඩවියක හොඳ රෙකමදාරුවක් දැක්ක නිසා මිනිහව සෙට් කරගත්තා. නමුත් පස්සේ මට තේරුනා හොටෙල් වලින් වඩා පහසුවෙන් ඒ වැඩ කරගන්න පුළුවන් කියන එක. නමුත් අන්තිම මොහෙතේ ටුවර් බුක් කරන එක අවදානම් වැඩක්. විශේෂයෙන් ඔය වගේ නිවාඩු දවස් වල යන කොට. 

උදේ පාන්දර 6.30 වෙද්දී මේ මනුස්සය හොටෙල් එකට ඇවිල්ල අපිව අරගෙන Sanur වෙරළට අරන් ගියා. 7 පහුවෙද්දී වගේම අපි වෙරළට ගියත් ඒ වෙනකොටත් දුපතට යාමට ඇති අධිවේගී බෝට්ටු වලට නැගීමට ඉතා විශාල පිරිසක් වෙරළේ හිටියා. 

මේ තියෙන්නේ එදා උදේ 7.15 -7.30 වෙද්දී වෙරළේ තත්වය.
නිවාඩුව පටන් ගන්න දවස නිසා අධික සෙනගක්

මේ තියෙන්නේ ටිකට් කවුන්ටර්


අපි දෙන්නව තව කෙනෙකුට බාර දුන්න අපේ ගයිඩ් වාහනේ පාක් කරලා එන්නම් කියල ගියා. ඒ මනුස්සය තමා අපිව දුපතට එක්කන් යන කටයුත්ත බාරව හිටියේ. අපේ දුපත් සංචාරයට අදාළ සම්පුර්ණ මුදල් ගෙව්වට පස්සේ අපිට තිබ්බේ පැත්තකට වෙලා ඉන්න.  හොටෙල් එකේ ඉඳල එක්කගෙන ඇවිල්ල, අපි එකග වෙච්ච තැන් ඔක්කොම පෙන්නලා, දවල් කෑම සහිතව නැවත හවස හොටෙල් එකට ගෙනත් බැස්සවීම තමා සාමාන්‍ය පැකේජ් එක.  අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මිලියන වලින්ම දෙකක් විතර ගෙව්වා. ඉතින් අපි දෙන්නා මේ සෙනග දිහා පැත්තකට වෙලා බලං ඉන්නවා. කට්ටි කට්ටි ටික ටික යනවා නමුත් අපිව එක්කන් යන පාටක් නෑ... ඔහොම ටිකක් ඉන්නකොට අර ගයිඩ් කාරයා අපහු ආවා. ඇවිල්ල අපිට කිව්වා අද අධික සෙනග දවසක් හින්දා උදේ 7.30ට පිටවෙන බෝට්ටු වල අපිට යන්න වෙන්නේ නෑ... යනකොට කොහොමත් 9.00 විතර වෙයි කියල... ඉතින් මොකද කරන්නේ කියල අපි දෙන්න පොඩි තාප්ප කැල්ලක් උඩට වෙලා හිටිය බලාගෙන..

පැකේජ් එකක් වශයෙන් මේ ගමන් යන්නේ නැතුව ඕනනම් තමන්ටම ගිහින් ටිකට් අරන් බෝට්ටුවේ යන්න පුළුවන්. බාලි සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධ පොඩි මොටර්සයිකලයක් අඩු ගානකට කුලියට අරගෙන ඕනේ තැනක ඇවිදින්න පුළුවන්. දුපත පුරා එහෙම බයික් වල යන සංචාරකයින් ඉන්නවා. බාලි නගරයේත් ඒ වගේ. නමුත් ඉතින් අවු වැසි කරදර සහ අතරමග බයික් වල එන ලෙඩ, පොලිස් ප්‍රශ්න ආදියට මුහුණ දෙන්න වෙනවා. අපි ඉතින් ඔය කටු ආයේ අමුතුවෙන් කන්නේ මොකටද කියල සැපට යන්න ටුවර් එකක් බුක් කළා. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යයි මේ විදියට බයික් අරන් යන්න නම්.


ඔහොම පැයක් විතර යද්දී අර අපිව ගයිඩ් කාරය ෂේප් එකේ යන්න ගියා. ඊට පස්සේ අර අපිව බාර දුන්න මනුස්සය අවුරුදු 16-17ක වගේ ළමයෙක් පෙන්නලා මෙන්න මෙයා ඔයාලව එක්කන් යයි, හැමදේම මෙයා බලා ගනියි කියල තව ළමයෙක්ව සෙට් කළා. සල්ලිත් ගෙවල ඉවර හින්ද ඉතින් කියන දෙයක් අහගෙන ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද කියල අපි ඔහේ හිටියා. මේ වෙද්දී හිටපු සෙනග ටිකෙන් ටික බෝට්ටුවල නැගල යන්න ගිහින්. අපේ කණ්ඩායමේ තව කට්ටියක් එනකම් ඉන්නවා කියල අර මනුස්සය ඒ සැරේ කිව්වා. තවත් ටික වෙලාවකින් මෙන්න සුද්දෝ සෙට් එකක් ඇවිල්ලා  උන් උදේට කන්න කඩේකට සෙට් වුනා. අපි දෙන්න උදේ පාන්දර ආපු හින්ද හරි කෑමකුත් නෑ.. හැබැයි ඉතින් කඩේකින් අරං බනිස් ගෙඩි දෙකතුනක් කාපු හින්ද හරි හමන් උදේ කෑමක් නැති වුනත් බඩගින්නක් තිබුනෙත් නෑ.. කොහොම කොහොම හරි 9 විතර වෙද්දී අපි කණ්ඩායම ගියා වෙරළේ බෝට්ටු නතර කරන පැත්තට...


මේ තියෙන්නේ වෙරළ


මේ තියෙන්නේ ස්පීඩ් බෝට්ටු සහ මිනිසුන් බෝට්ටුවට ගොඩවෙන හැටි.


මේ බෝට්ටු එන්ජින් 5-6ක් සහිත වේගවත් යාත්‍රා. වෙරළට ආවට පස්සේ බෝට්ටුවට නගින එක අමාරු වැඩක්. මොකද මෙතන ජැටියක් නෑ. බෝට්ටුවට ඇතුල්වෙන්න තිබුනේ බෝට්ටුව පිටුපසින් එන්ජින් හයිකරලා තියෙන තැනින්ම පැත්තකට වෙන්න. වැඩේ අමාරු වෙන්නේ රළ ගහනකොට බෝට්ටුව පැද්දෙන නිසා නගින්න බෑ... එක රළක් ඇවිල්ලා ගියාට පස්සේ අනිත් එක එන්න කලින් ටක් ගාල නැග ගන්න ඕනේ.

වෙරලෙත් තව විනාඩි 20ක් විතර රස්තියාදු වෙලා කොහොම කොහොම හරි අපිත් බෝට්ටුවකට නැග ගත්තා. බෝට්ටුව ගොඩට ආවට පස්සේ වෙරළේ හයි කරලා තියෙන කඹ දෙකකින් බඳිනවා හෙලවෙන එක නතර කරන්න. බෝට්ටුවට නගින්න ගිහින් බට්ටි නගාගෙ කකුල ඔය කඹේකට අහුවෙලා සිරුනා. නගින්න ගිහින් මගේ රාජකීය බාටා යුවලෙන් එක බාටාවක් මුහුදට වැටුනා. එතන තිබ්බ කලබලේ හින්ද වැටුන සෙරෙප්පුව ආපහු ගන්න විදියක් තිබුනේ නෑ... බෝට්ටුවට නගින්න මිනිස්සු කාපු කටු දැක්කම අපිට ඒ හැටි අලාභයක් වුනේ නෑනේ කියල හිත හදාගෙන, හවස් වෙලා අයේ ආවම ඒ වෙද්දී වෙරළට ගහගෙන ගිහින් තිබ්බ මගේ අසරණ බාටා කකුල නැවත ගන්න බලාපොරොත්තුවෙන් අපි බෝට්ටුවේ නැගල යන්තම් දුපතට ආවා.

බට්ටි නගාගෙ කකුල සෑහෙන ප්‍රමාණයක් හීරිලා තිබ්බ නිසා ආපු ගමන් මොනවා හරි බෙහෙතක් හොයා ගන්න බැලුවත් කඩයක්වත් තිබුනේ නෑ.. හැබැයි අපිව දුපතේ ඇතුලේ එක්කන් යන්න ඒ වෙද්දීත් ඇවිල්ල තිබ්බ Toyota Avanza රථයේ වෙලාවට First Aid කිට් එකක් තිබුනා. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳුනා. මම තනි කකුලට අසරණ බාටාව දාගෙන ගමන යන්න පිටත් වුනා.

මේ වෙද්දී අපිත් එක්ක ආපු සුද්දෝ සෙට් එක තව වෑන් එකකට නැගල හිටියේ.  කොහොම හරි පැය 1/2 ක් විතර දුපත ඇතුලේ යද්දී අපේ වාහනේ නවත්තල අපේ අසරණ ගයිඩ් ළමය ඇහුවා අපේ වාහනේට තව 3න් දෙනෙක් ආවට කමක් නැද්ද කියල. 7 සීටර් එකක් නිසා අපිට ඉතින් ඒකෙ අවුලක් තිබුනේ නෑ... තරුණ ලස්සන සුදු ගෑනු ළමයි දෙන්නෙකුයි තව කොලුගැටයෙකුයි අපේ වාහනේට ගොඩ උනා. දැන් ඉතින් ඔහොම තවත් විනාඩි 20ක් විතර ගමනේ ගියා. පාරවල් ඉතින් ලංකාවේ පාරවල් වගේ... අලි නාවන්න පුළුවන් වලවල් එක්ක ගැස්සෙමින් පැද්දෙමින් ගමන යද්දී මෙන්න එකපාරටම වෑන් එක නතර කළා. මොකටද තෙල් පොඩ්ඩක් දා ගන්න.

මෙන්න මෙහෙමයි වාහනේට තෙල් දැම්මේ...


ඔය ඉන්නේ අපේ ගයිඩ් ළමයා.


මේ තියෙන්නේ තෙල් ගත්තු කඩේ

තනිකර ලංකාව වගේම තමා.


ඔය කඩේට ටිකක් එහායින් තිබ්බ කඩේක සෙරෙප්පු තියෙනවා දැකල මම දඩබඩ ගාල දුවල ගිහින් තව සෙරෙප්පු කුට්ටමකුත් ගත්තා. වැඩි ගානක් වුනේ නෑ 25,000යි.

ඊට පස්සේ ගමන පටන් අරන් තව කොහොම හරි පැය 1/2ක් විනාඩි 45කට විතර පස්සේ ඔන්න අපේ එක නැවතුමකට ආවා.  අපිත් එක්ක හිටපු සුද්දෝ ටික ඉතාලි ජාතිකයෝ කියල යන අතරේ දැන ගත්තා.


මෙතන ඉඳල බලපු ටික ෆොටෝ වලින්ම බලන්න


සොබා දහමේ අපූරු නිර්මාණයක්. පුදුම ලස්සන තැනක්


මෙතෙන්ට කියන්නේ Kelingking Secret Point නැත්නම් KelingKing Beach. 




පහල තියෙන වීඩියෝ වලින් තව දුරටත් බලා ගන්න පුළුවන් කැමති කෙනෙකුට


මෙතන මේ අට්ටාලයක් වගේ එකක් හදල තියෙනවා. පහල බෑවුම දිහා බලන්න. මේ තියෙන්නේ එකේ ඉඳල ගත්තු වීඩියෝ එකක්. දිරච්ච උන බටවලින් හදපු අට්ටාලයක්.



මෙතන ඉතින් ෆොටෝ අල්ලලා වට පිට බල බල ඉන්නකොට ගයිඩ් ළමය ඇවිල්ල කිව්වා දැන් යන්න ඕනේ පරක්කු වෙනවා කියල. මොකද අපි පිටත් වුනේ පරක්කු වෙලා නිසා හවස ආපහු Sanur වලට යන ස්පීඩ් බෝට් යන වෙලාවට අපිට වෙරළේ ඉන්නේ සිද්ද වුනා. ඉතින් හැමදේම ටිකක් කලබලෙන් බලන්න වුනා.


අපිව කලින් එක්කන් ආපු ගයිඩ් ළමයා ගිහින් අපේ එකේ ආපු සුද්දෝ ටිකත් හොයාගෙන ආවා.

මේ ඉන්නේ ඒ සෙට් එක.

ඔය ඉස්සරහින් ඉන්නේ වාහනේ ඩයිබර්.

ඊට පස්සේ තවත් කැඩුණු පාරක් දිකේ විනාඩි 20ක් විතර ගිහින් Broken Beach කියල තව තැනකට ගියා. එතන අතන තරම් ලස්සන නැති වුනත් ලස්සන තැනක්

මේ තියෙන්නේ Broken Beach






ඒ හැටි ගතයුතු දෙයක් එතන නැති වුනත් මුහුද හරි ලස්සනයි. එතනත් තව ෆොටෝ ටිකක් අල්ලලා අපි ඉකමනට දවල් කෑමට ආවා. ඒ වෙද්දී වෙලාව හවස 2.30 විතර වෙලා


කෑම කන ගමන් සුද්දෝ ටිකත් එක්ක කතාවට වැටුනා. එයාල ඉතාලියේ මිලාන් නගරයේ ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න ළමයි ටිකක්. අවුරුදු 18-20 වගේ. එක ළමයෙක් සිසිලි කියන පැත්තේ අනිත් ළමයි දෙන්න නේපල්ස් ද කොහෙද කියන පළාතේ.  Buddha Bar කියල ගහපු ටී ෂර්ට් එකක් ඇඳගෙන නවගුණ වැලක් කරේ දාගෙන හිටපු ඒ තරුණයාගෙන් මම ඇහුවා බුද්ධාගමේද කියල. ඔවුන් කතෝලික. නමුත් කොල්ලාගේ පෙම්වතිය විය හැකියැයි අපි සැක කල තරුණිය කිව්වා ඔවුන් බුද්ධාගමේ වුනා නම් කැමතියි කියල. මොකද ඔවුන් බුද්ධාගමට කැමති නිසා. ආගම් ගැන වැඩි දුර කතා නොකර රට ගැනයි, මිලාන් වල ෆැෂන් ගැනයි කතා කර කර කාලා බීලා එලියට බැස්ස අපේ ඊළඟ නවතුව වෙච්ච ක්‍රිස්ටල් බීච් කියන තැනට යන්න. එතන නාන්න තමා ප්ලෑන් එක තිබුනේ.

තවත් දුෂ්කර ගමනකට පස්සේ කුණු පිරිච්ච කළු වැලි තියෙන කසි කබල් මුහුදු වෙරළකට එක්කන් ගියා ඔන්න එහෙනම් නාගනිල්ලා කියල. 

ඒ බීච් එකට වඩා ගෝල්පේස් බීච් එක ලක්ෂවාරයක් හොඳ හින්දා එතන ෆොටෝ ගහන්න ගියේ නෑ.. හැබැයි ඒ වෙලාවේ තිබ්බ රස්නෙත් එක්ක මම නම් ඕනේ ජරාවක් කියල මුහුදට පැන්න. නාපු එකේ නම් කිසි ආතල් එකක් නෑ... කළු වැලි තියෙන වෙරලක් නිසා පිරිසිදු ගතියක් දැනෙන්නේ නෑ.. මුහුදත් කුණු රොඩු බහුලව තියෙන අපිරිසිදු තැනක්.

එතනින් ගොඩ වෙලා කොහොම හරි ඉර බැහැගෙන යද්දී ආපහු Sanur වලට යන බෝට්ටුවට ගොඩවෙන්න අපි වෙරළට ආවා...

ආපසු ගමනේදී තව හොඳ අත්දැකීමක් ලැබුණා. බෝට්ටුවට ගොඩ වුනාම අපේ ගයිඩ් ළමය ඇහුවා තට්ටු දෙකකින් යුතු මේ බෝට්ටුවල උඩ තට්ටුවේ ඉස්සර යන්න කැමතිද කියල. අපිත් ඉතින් එක පයින් හා කියල බෝට්ටුවේ වහල උඩට නැගල ඉස්සරහීන් වාඩි වෙලා අපුරු සන්සෙට් එකක් බලබල, මුහුදු හුලං සහ මුහුදු රළ පහරේ සුවය විඳගෙන කළුවර වැටෙනකොට ආපහු ආවා.

මේ තියෙන්නේ ආපසු ගමන


එද්දී බෝට්ටුවේ වහලේ උඩ ආපු හින්දා බහිද්දී නියම ඇඩ්වෙන්චර් එකක් තිබ්බා රළපහරට ගැස්සෙන බෝට්ටුවෙන් බැහැ ගන්න එක. හෙහ් හෙහ්... යන්තම් කරදරයක් නැතුව බෝට්ටුවෙන් බැහැගෙන, අපිව එක්කන් යන්න ඇවිල්ල තිබ්බ වෑන් එකෙන් ආපසු හෝටලය වෙත පිටත් වුනා.

ආපහු එද්දී ගන්න හිතාගෙන හිටපු මගේ රාජකීය බාටා කකුල හොයා ගන්න බැරි වුනා මොකද බෝට්ටු ආපහු ආවේ අපි නැගපු තැනට නෙවෙයි. කළුවර වැටිලා තිබ්බ හින්දා ඔය සෙරෙප්පු කකුල හොයන්න ආපහු ගියේ නෑ...

ඉතාලි යහළුවන්ගෙන් සමු අරන් අපි දෙන්නා හොටෙල් එකට එද්දී හොඳටම රෑ වෙලා. 

පහුවදා ගිය ටුවර් එකේ විස්තරයි බාලි නගරයේ සහ බාලි මිනිසුන් ගැන විස්තරත් එක්ක තව කොටසක් ලියන්නම්කෝ...


Tuesday, June 19, 2018

බාලි සංචාරය - 1


ඉන්දුනීසියාවට අයත් බාලි දුපත පිහිටලා තියෙන්නේ ඉන්දුනිසියාවටම අයත් ජාවා දුපතට නැගෙනහිර දෙසින්.  වර්ගකිලෝමීටර් 5,780 පමණ වන බාලි දුපතේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 5ක් විතර වෙනවා. බහුතර හින්දු ආගමික ජනතාවක් වෙසෙන බාලි දුපතේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය. සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මනා පහසුකම් සපයල තියෙන බාලි දේශය අඩු වියදමකින් ගිහින් විනෝද වෙලා එන්න පුළුවන් කදිම තැනක්.

බාලි දුපතේ ප්‍රධාන නගරය Denpasar. දැනට කෙලින්ම කටුනායක ඉඳල බාලි වලට ගුවන් ගමන් තියෙනවද කියල මම දන්නේ නෑ... නමුත් ක්වාලා ලාම්පුර් ඉඳල පැය 3ක විතර ගුවන් ගමනකින් Denpasar වල Ngurah Rai ගුවන් තොටුපලට ලඟා වෙන්න පුළුවන්. ලංකාවේ ඉඳල යනවනම් මුලින් මැලේසියාවට ඇවිල්ල යන්න පුළුවන්. 


බාලි වල පිහිටීම දැක්වෙන සිතියමක්


වැදගත්ම දේ තමයි ශ්‍රී ලාංකික අපිට විසා රහිතව ගමන් කරන්න පුළුවන් රටක් තමයි ඉන්දුනීසියාව. ඉතින් බාලි යන්න විසා ඕනේ නෑ... ගුවන් තොටුපලේදී නිකන් අහනවා මොකටද ආවේ දවස් කීයක් ඉන්නවද කියල එච්චරයි. 

රටට ඇතුළු වෙද්දී ගුවන් තොටුපලේ කටයුතු සංකීර්ණ නෑ... ආගමන කටයුතු වලින් පස්සේ අපි ළඟ තියෙන ද්‍රව්‍ය, මුදල් ගැන පොඩි විස්තර පත්‍රිකාවක් පුරවන්න තියෙනවා එච්චරයි. නමුත් රටින් පිටවෙනකොට නම් සෑහෙන දුරට නවීන තාක්ෂණික ක්‍රම මගින් හැමදේම චෙක් කරනවා. ගුවන් තොටුපලේ පිටවීම් පර්යන්තය නවීන විදියට හදල තියෙනවා. නමුත් ඇතුල් වීම හරිම සරල විදියට තියෙන්නේ.

බාලි වල මුදල් වර්ගය ඉන්දුනීසියානු රුපියා. ඔබට ඉතා පහසුවෙන් මිලියන පතියෙක් වෙන්න පුළුවන් බාලි වලදී මොකද එහෙ තියෙන්නේ 100,000 නෝට්ටු,50,000 නෝට්ටු  ආසන්න වශයෙන් ඉන්දුනීසියානු රුපියල් ලක්ෂයක් කියන්නේ ලංකාවේ රුපියල් 1132ක් වගේ. ඉතින් මිලියන පතියෙක් වෙලා ලොකු ලොකු බිල් දාන්න හරි ලේසියි. බඩු වල ගණන් සහ සේවා වල ගණන් ඉතා අඩුයි... 

සාමාන්‍යයෙන් ගුවන් තොටුපලේ ඉඳල ක්‍රියාත්මක වෙන ටැක්සි සේවාවන් තියෙනවා. තියෙන ටැක්සි ඔක්කොම සුඛෝපභෝගී කාර් සහ වෑන් රථ. ටොයෝටා Avanza සහ ඩයිහට්සු 7 සීටර් එක තමා හැම තැනම තියෙන වාහනේ. පාර පිරෙන්න තියෙන්නේ ඒවා තමා. ගුවන් තොටුපලේ ඉඳල සංචාරකයින් අතර ප්‍රසිද්ධ Kuta වෙරළ, Sanur වෙරළ ආදී ප්‍රදේශ වලට සාමාන්‍ය ටැක්සි ගාස්තුව ලක්ෂ 2ක් විතර වෙනවා. කිලෝමීටර්  10-15ක් අතර දුරකට. 

හෝටල් වල තත්වය ඉතා හොඳයි. අඩු ගානට හොඳ තත්වයේ හෝටල් ඕනේ තරම් තියෙනවා. හරිම මිත්‍රශීලි සහ කරුණාවන්ත මිනිසුන්.

බාලි මිනිසුන්ගේ සංස්කෘතිය අපුරුයි. ඔවුන් හින්දු දෙවිවරුන් අදහන නමුත් ඊට අමතරව තම මියගිය නෑයන් සහ ඔවුන් පිළිගන්නා පරිදි යක්ෂ හෝ වෙනත් එවැනි නපුරු බලවේග දෙකම එක ලෙස අදහන මිනිසුන්. මේ ලෝකයේ පන්සල් වැඩිම රටක් වේ නම් ඒ බාලි නුවර වීමේ ඉතා ඉහල සම්භාවිතාවක් තියෙනවා. කලාත්මක හැකියාවන් සහිත ඔවුන්ටම ආවේනික  සංස්කෘතික ලක්ෂණ වලින් මුළු බාලි නගරයම අලංකාර වී තියෙනවා.  ඉතා විශිෂ්ට ගනයේ ප්‍රතිමා සහ කැටයම් ඕනෙම තැනක දකින්න පුළුවන්. 

බාලි දුපත සහ ඒ අවට තියෙන තවත් ප්‍රධාන දුපත් කිහිපයක් සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධයි. 

සම්පුර්ණයෙන් සංචාරක කර්මාන්තය මත රඳා පවතින නිසා ඔවුන් ඉතා අඩු මිලට බොහෝ පහසුකම් මේ සංචාරකයින්ට සපයනවා. මිනිසුන්ගේ ඉංග්‍රීසි හැකියාව එතරම් හොඳ මට්ටමේ නැති වුනත් ඔවුන් කෙසේ හෝ අවශ්‍ය දේ කරදීමට නිතර සුදානමින් ඉන්නවා. පරිසරය ලංකාවේ පරිසරය වගේම වුනත් පිරිසිදු භාවය නම් ලංකාවට වඩා හොඳයි කියල මට හිතුනා. අධිවේගී මාර්ග නැති නමුත් ඉතා හොඳ තත්වයේ මහා මාර්ග බාලි නගරයේ නම් තිබුනා. නමුත් අපි සංචාරය කරපු එක දුපතක නම් ලංකාවට දෙවෙනි නොවන පාරවල් එහෙම තිබුනා. නමුත් ඒ දුපතේ ඉතා ඇතුලට යනවිට.

මගේ අදහස අනුව නම් අවම වශයෙන් දවස් 4-5ක් වත් බාලි වල ගත කරන්න ඕනේ එහි තියෙන දේවල් අත්විඳින්න. නමුත් සති 2-3ක් වුනත් කිසිම එපා වීමක් නැතුව කරන්න බොහෝ දේවල් එහි තියෙනවා. අනිත් එක ලංකාවේ කෙනෙකුට පහසුවෙන් විනෝද වෙලා එන්න පුළුවන් අවම වියදමකින්. නමුත් වියදම් කිරීමේ හැකියාව අනුව අනිත් රටවලට සාපේක්ෂව බොහෝ අඩු මිලට ගොඩක් දේවල් තියෙනවා. 

අපි දෙන්නාගේ බාලි සංචාරයේ විස්තර ඉතිරි කොටසින්...



Wednesday, June 06, 2018

ඉස්කෝලේ කාලේ කතා - කෙල්ලන් සමග 1


ඉස්කෝලේ කාලේ කතා කිව්වම කාට වුනත් තියෙන්නේ හරි ලස්සන මතක. ටික ටික වයසට යනකොට ඒ කාලේ නැවත මතක් කර කර සතුටු වෙන එක හරිම ආශ්වාද ජනක දෙයක්. මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි පොතම බදාගෙන මෙලෝ රහක් නැතිව ඉන්න හෙනම අපතයෙකුත් නොවන අතර මැද වගේ චරිතයක්. දැන් සහ ඒ කාලේත් එහෙම තමා. ඒ නිසා ඉස්කෝලේ කාලේ ගැන තියෙන මතක මාධ්‍යස්තයි. ගුටි කාපු සීන් නම් එකක් හෝ දෙකක් තමයි.. ඒකත් ඉතින් පන්තියම    කන  වෙලාවට කාපු ඒවා තමා. ඊට පස්සේ ඉතින් අනිත් සියලු කුපාඩි වැඩ මොනවා හරි කරලා තියෙනවනම් ඒවත් ඔය පන්තියේම උන් සෙට් වෙලා කරද්දී කරපුව මිසක් වෙන වෙනම කරපු සිද්දි නම් නැද්ද කොහෙද... මම කලින් ඒ වගේ සිද්දි දෙක තුනක් ලියල ඇති. මේ තියෙන්නේ පරණ කතා...


ඉස්කෝලේ කාලේ ප්‍රේම කතා නැගල යනවනේ... අනිත් උන්ට ඕවා නැගල ගියාට මට ඒ සබ්ජෙක්ට් එකත් ඒ හැටිම නැගල ගියේ නෑ... ඒ කියන්නේ හැමදාම 50% වගේ තමා තිබ්බේ... හෙහ් හෙහ්..  හැබැයි ඉතින් මෙහෙමයි, 50% කියන එක 100% කරන්න අවස්ථා තිබුනට සමහර වෙලාවට අනිත් පැත්තේ 50% ඇවිල්ලා මගේ පැත්තේන් 50% නැති සිද්දීත් තිබ්බා... අපරාදේ චෙහ් කියල දැන් හිතුනත්... ඒ කාලේදී මම මට හිතට අල්ලලා ගියේ නැත්නම් වැඩේ දිගට ගෙනිච්චේ නෑ... එහෙම කරලා ආතල් එකක් ගැනීම කියන දේ මට ඉස්සර ඉඳල කරන්න නොහිතුනු දෙයක්... හැබැයි ඉතින් එහෙමයි කියල සත්‍ය ප්‍රේම බ්රුංග රාජයා වගේ හිටියේ නෑ... තියෙන කුපාඩි සහ ගොන්පාට් වැඩ හැම එකම වගේ කරලා තියෙනවා.. මම මේ කිව්වේ කෙල්ලෝ පස්සේ යාම ගැන... එහෙම නැතුව කෙල්ලෝ රවට්ටලා කරන කුපාඩි වැඩ නෙවෙයි...හෙහ් හෙහ් ( ඔය කොච්චර කිව්වත් රට්ටු හිතන දේවල් අපිට නතර කරන්න බෑනේ...)

දැන් ඔන්න ඔහොම බෝ පැලේ වගේ ඉන්නකොට ඔය උඩින් දාපු 13 B පන්තියේ ට්‍රිප් එක යද්දී කරපු වැඩක් සහ එකේ ප්‍රතිඵලයක් විදියට සිද්ද වෙච්ච දෙයක් සහ ඊට පස්සේ වෙච්ච පොඩි හුටපටයක් ගැන මේ ලියන්නේ.  ට්‍රිප් එකේ කතාව ආයේ මෙතන ලියන්න ඕනේ නෑ.. ඒක කියවල ආව නම් මිට වඩා ආතල් එකක් තියෙයි... ට්‍රිප් එක යද්දී ඔන්න උදේ කෑමට බස් එක නතර කලානේ...  ඊට පස්සේ වුනේ මෙහෙමයි...

"දයිවයේ හැටි කියන්නේ ...ඒ දවසේ, ඒ වෙලාවෙම,ඒ පැත්තටම යන,ඒ කඩෙන්ම උදේට කන්න තව බස් එකකුත් ඇවිල්ල නතර කරලා තිබ්බ... මහා බ්‍රහ්මයත් කරන වැඩ කියන්නේ ඒ බස් එකේ හිටියේ කොහෙද මන්ද ඉස්කෝලෙක කෙල්ලෝ ටිකක්... කරුමෙක මහත කියන්නේ ඒ කෙල්ලොත් අපි වගේම උසස් පෙළ කරන වයසෙමයි... මම කියන්නේ එහෙම දේවල් සිද්ද වෙනකොට ගම්පහ තිබිච්ච එකම සිරා කොල්ලන්ගේ ඉස්කෝලේ වෙච්ච (අනිත් ගෑනු ඉස්කෝල අපි ඒ දවස් වල තඹේකට ගණන් ගත්තේ නෑ.. ඒවායේ හිටපු කෙල්ලන්ව තනි තනි වශයෙන් ඔලුව උඩ තියන් ගණන් ගත්තට ) අපේ ඉස්කෝලේ උසස් පෙළ කොල්ලෝ වශයෙන් අපිට ඇහැ කන පියාගෙන ඉන්න බැහැනේ ... 

මොනවා උනත් අපි එතන චාටර් කර ගන්නේ නැතුව ඒ නංගිලා එක්ක ජනෙල් වලින් කතා බහ කරගෙන නම ගම ඇඩ්රස්, ටෙලිෆෝන් නම්බර් එහෙම තිබුන නම් ඒවා හුවමාරු කරගෙන බොහොම වැදගත් විදියට හැසිරුණා... බස් එකෙන් බැහැල ගිහින් ඒ බස් එකට නගින්න හදපු අවස්ථා එහමත් එකක් දෙකක් තිබ්බ මම හිතන්නේ.. කොහොම වුනත් පොලිසි නොයන මට්ටමින් උදේට කාල අපි එතනින් ආව.. "

ඔන්න ඔහොමයි එතන සිද්දිය වුනේ...

දැන් ට්‍රිප් ඔක්කොම ගිහින්, වලි ෂේප් වෙලා, ඉස්කෝලේ හුටපට ඉවර වෙලා ආපහු බැක් ටු නෝමල් වේගෙන එනකොට මෙන්න දවසක් මට කෝල් එකක් ආවා...

ටින් බෙලෙක්ක ටෙලිෆෝන් එකකින් කතා කරන කාටුන් එකක්


මට කෝල් එකක් ආවා කිව්වේ අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒ දවස් වල එක ෆෝන් එක හැමෝටම අයිති යුගය නේ. තනි තනි ෆෝන් නෑ.. කෝල් එකක් ආවත් හරි අමාරුයි ජාමේ බේරාගෙන කතා කරන්න. ඒ දවස් වල ඩයල් අප් (Dial-up) එකෙන් ඉන්ටර්නෙට් යන හින්ද මම කොහොමත් ගෙදර ඇතුලේ තව ලයින් එකක් ඇදගෙන තිබුනේ මගේ කාමරේට. ෆෝන් එකේ වයර් එකත් සෑහෙන්න දිගට දාගෙන තිබ්බේ උස්සගෙන කාමරේට දුවන්න පුළුවන් විදියට.  මුලින් ම (Dial-up) වලින් ඉන්ටර්නෙට් යද්දී තිබ්බ ආතල් මතක් වෙනවා දැන්... හෙහ් හෙහ්...  10kbps ඩවුන්ලෝඩ් කියන්නේ නිකන් කියල වැඩක් නැති ආතල් එකක්... දැන් 4K ෆිල්ම් එකක් stream වුනත් එහෙම ආතල් එකක් නෑ... ඉන්ටර්නෙට් කතා වෙනම ලියන්න තියල... කෝල් එක ගැන කතාවට එමුකො...

කෝල් එක ගත්තේ මම ද කොහෙද... මොකද ඒ දවස් වල දවල් දවසේ අපේ ගෙදර කවුරුවත් නෑ.. අම්ම වැඩ.. තාත්තත් වැඩ... අක්ක කැම්පස් එකේ හින්ද ගෙදර ආවේ සතියකට සැරයක් වගේ... ඉතින් දවල් දවසේ මගේ රාජ්ජේ තමා තිබ්බේ..

මුල්ම කතාවේ දෙබස් දැන් මතක නෑ.. හැබැයි ඉතින් එහා පැත්තෙන් කෙල්ලෙක් කතා කරනකොට මතක් වෙන පැණි ටෝක් ඔක්කොම ටික දාන්න ඇති... 

මොරටුව පැත්තේ ගෑනු ළමයෙක් මෙන්න දැන් මට කතා කරනවා. ඉස්කෝලේ මොරටුව ප්‍රින්සස් ඔෆ් වේල්ස් ද කොහෙද. මේ ළමයට කොහෙන්ද ඉතින් අපේ ගෙදර නම්බරේ... හෙහ් හෙහ්... 

"අර එදා ඔයාල අපේ බස් එකට කොළ කෑලි වල ලියල නම්බර් වගයක් දැම්ම නේද.. ඔයාගේ නම මොකක් ද?"

ඔන්න ඔහොමයි වැඩේ පටන් ගත්තේ... 

එදා ඉදල හැමදාම වගේ එක්කෝ මොරටුවෙන් කෝල් එකක් අපේ ගෙදරට හෝ අපේ ගෙදරින් කෝල් එකක් මොරටුවට අනිවාර්යෙන් ගියා... ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ 3.30 ට විතර ඊට පස්සේ ඉතින් පැය බාගෙක පැයක විතර මල් කැඩීමක් තමා ඉතින්...

මේ ළමයා ගැන විස්තර බ්ලොග් එකේ ලියන එක හරි නෑ... නමුත් ගෙදර පොඩි පොඩි කචල් වගයක් නිසා නෑදෑයෙකුගේ ගෙදර නතර වෙලා හිටපු ළමයෙක්... කරුණාවන්ත කට හඬක් තිබුනේ... පෙනුමත් නරක නෑ... මතක විදියට තලෙලුයි..  පවුලේ විස්තර නම් මට දැන් මතක නෑ... හරි හොඳට කතා බහ කරගෙන ගියා ඉතින්... වැඩි හරියක් ඉතින් අධ්‍යාපනික දේවල් තමා ... හෙහ් හෙහ් හෙහ්... ඉගෙන ගන්න වයස නිසා හැමදේම අධ්‍යාපනිකයිනේ ඒ කාලේ...

ඔය කතා බහ දුර දිග ගිහින් ඉතින් දැන් අපේ ගෙදර කට්ටියටත් වැඩේ මාට්ටු... මම හැමදාම මේ මොරටුවේ කෙල්ලෙක් එක්ක කයිය ගහනවා කියල... අපේ අක්ක අහන්නේ "තමුසෙගෙ අර මොරටුවේ කෙල්ල කතා කලේ නැද්ද" ඔන්න ඔහොම...

ඊට පස්සේ කාලෙක තව ගෑනු ළමයෙක් මට ඔහොම දිගට කතා කළා.. එයා නම් මගේ බුදු ෆිට් එකක්.. ඒ කෝල් එක එද්දී අපේ අක්ක කියන්නේ මෙන්න මෙහෙම "මල්ලි මෙන්න තමුසෙට "පැතුම් ප්ලීස්" කතා කරනවා"  හෙහ් හෙහ්... ඒ දැරිවි ගැන පස්සේ කාලෙක එකක් ලියන්නම් කෝ...

අක්කා වගේ නෙවෙයි අපේ නංගි... මාත් එක්ක හෙනම ෆිට්... අපි දෙන්න ඔය ගෑනු ළමයි සහ නංගිගේ පිරිමි ළමයි සබ්ජෙක්ට් වලදී හරිම සහයෝගෙන් වැඩ කළා... හෙහ් හෙහ්

කොහොම හරි මේ මොරටුවේ ළමයාගේ සීන් එක අපේ තාත්තා අපේ බාප්පා එක්කත් කියල... අපේ බාප්පා බොහොම පහු කාලෙක, ඒ කියන්නේ තාත්තා නැතිවෙලත් අවුරදු 5-6ක් විතර ගිය දවසක, ඔය කයියක් ගහගෙන ඉන්න වෙලාවක,  එක පාරටම "තමුසෙගෙ අර මොරටුවේ කෙල්ලගේ වැඩේට මොකද වුනේ කියල මගෙන් ඇහුවා... හෙහ් හෙහ්.." අපේ බාප්පත් හරි ආතල් පොර..මම ඉතින් හොල්මං... කොහොමද ඒක ගැන දන්නේ කියල මම ඇහුවා.. "මට දවසක් තාත්තා කිව්වා... මේ කොල්ලා බස් එකේදී ඇඩ්රස් දීලා මෙන්න මෙහෙම කෙල්ලෙක් කතා කරනවා කියල... හෙහ් හෙහ්... වැඩේ එච්චර දුර ගිහිල්ලා..

මේ හුට පටේ ඉතින් ගෙදර අයට කලින් ඒ දවස් වල උදේ හවස එකට වැටී කකා බිබී හිටපු මගේ අතීසාර යාලුවෝ වෙච්ච කොටා සහ බෝගොඩයත් දන්නවා. උන්ට ඩේලි රිපෝට් දෙන්න ඕනේ ඉතින්... උන්ගෙන් මට අපරාදේ කියන්න බෑ නියම උපදෙස් ටිකක් තමා ලැබුනේ... 

ඔය දවස් වල විභාගේ කිට්ටු වීම සහ මම අර පොත ලියන වැඩේ හින්ද මේ ළමයව හම්බ වෙන්න නම් ගියේ නැද්ද කොහෙද...

කොහොම හරි මගේ පොතේ දොරට වැඩුම තිබුණ උත්සවේට ආවා. එයයි එයාගේ කවුද නෑයෙක් හිටිය වගේ මතකයි.. එදා තමයි අපි මුල් වරට දැක්කේ ඔන්න. ඒ වෙද්දී අම්මලත් දන්න හින්දා ඉතින් අමුතුවෙන් චාටර් වෙන්න දෙයක් තිබ්බේ නෑ... මම ගිහින් අඳුන්වල දුන්නා "අම්මේ මේ ඉන්නේ අර මොරටුවේ...." කියල... හෙහ් හෙහ් 

මට දැන් මතක නෑ... පොතේ සිද්දියට පස්සෙද  ඊට කලින් ද මන්ද දවසක මේ ළමයට මොකක් හෝ පොඩි වැඩක් කරගන්න ඕනේ වෙලා මමයි දිනේෂ් හෙවත් කොටා එකතු වෙලා ඒක කරලා දුන්නා. ඔය මොකක් හරි 
සරල සීන් එකක්. ටයිප් සෙටින් වැඩක් වගේ එකක්... මට ඒ දවස් වල කොම්පුටරෙන් ඔය ෆොටෝ එඩිට් වැඩ එහෙම හොඳට පුළුවන්. මට මතක විදියට ෆොටෝෂොප් 5.0 හරි 5.5 හරි තමා පාවිච්චි කලේ... ග්‍රැෆික් වැඩ වලට මම තාම ආස වුනාට දැන් කරන්න වෙන්නේ නෑ...  ඕක හදල දුන්නට පස්සේ එක දවසක් මමයි දිනේෂයයි ගියා කොල්ලුපිටියේ ඒක දෙන්න. අන්න එදත් එක සැරයක් හම්බ වුනා. ඒ සැරේ මම කරලා දුන්න වැඩේ වෙනුවෙන් මට ඔය ප්ලාස්ටික් වගේ ජාතියකින් හදල දුන්න ෆොටෝ ෆ්‍රේම් එකකුයි, දිනේෂයටත් ඔය මොකක් හරි එකකුයි ඒ ළමය දුන්න... හෙහ් හෙහ් අපිට ඉතින් හෙන ආතල්...


දැන් ඔහොම සරල විදියට වැඩේ යද්දී විභාගෙත් කිට්ටු වෙලා එහෙම ඉද්දි අපේ ගෙදර අයගෙන් මට උපදෙස්... වෙන මොනවත් නෙවෙයි ඉතින් විභාගේ ගැන තමා... ඔය ටෙලිෆෝන් එකේ දවසම එල්ලිලා ඉන්නේ නැතුව පාඩම් කරන්න කියන එක තමා එකම උපදෙස... මාත් ඉතින් හා හා කිය කිය වැඩේ කරගෙන යනවා... 

එක දවසක් ඔන්න මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා. එදා මොකක් හරි හේතුවකට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර...

මම දන්නවා දැන් 3.00-3.30 වෙද්දී කෝල් එක එනවා කියල...  අදත් කෝල් එක ආවොත් නම් ඉතින් වැඩේ අමාරුයි කියල තේරිලා මම හීන් සීරුවේ ටෙලිෆෝන් එකේ වයර් එක ගලවල දැම්ම අර පොඩි පෙට්ටියෙන්.  ඊට පස්සේ නාල කාල හොඳ ළමය වගේ පොතක් එහෙම අරගෙන දැන් සාලෙට යනවා. පාඩම් කරන්න.

"අර මොරටුවේ ළමයා මොකද ඔච්චර කතා කරන්නේ... තාත්තද කොහෙද එහෙම ඇහුවේ... දැන් වැඩිය කතා කරන්නේ නෑ අනේ... මම ෂේප් වුනා.." 

"එහෙනම් මේ දැන් ටිකකට කලිනුත් කතා කලේ... ඕවා හරියන වැඩ නෙවෙයි... ඔන්න ඕක නතර කරලා දාල විභාගේ පාස් වෙනවා... ඊට පස්සේ ඕනේ එකක් කරගන්නවා... අම්මද කොහෙද එහෙම කිව්වා..."  

"මම හොඳට මොලේ කල්පනා කරලා ටෙලිෆෝන් එකේ වයර් එක ගලවල තිබ්බට මොකද.. මේ කෙල්ල මම එන්න විනාඩි 10කට විතර කලින් සුපුරුදු කෝල් එක අරන්...."

ලොකු අවුලක් නැතුව එදා එහෙම ෂේප් වුනා. හැබැයි ඉතින් අවංකවම කිව්වොත් මම යාළුකමට වගේ තමා මේ ළමයා එක්ක කතා කලේ.. ඒ ළමයත් එහෙම වෙන්න ඇති... හැබැයි ඉතින් ඒ ළමයාගේ හැසිරීම ගැන දැන් හිතල බලද්දී මම මගේ 50% දැම්ම නම් ඒක 100% කර ගන්න ඕනේ තරම් ඉඩ තිබුනා. නමුත් ඉතින් මම මගේ 50% එහෙම කෙලින් දුන්නේ නෑ.. ඔහේ වල්පල් කියව කියව ගෙවල දැම්ම... මොකද ඔය කොච්චර හිටියත් හිතට වදින කම් කොල්ලෝ වශයෙන් අපිත් එහෙම කෙල්ලන්ට අහු වෙන්නේ නෑ... කලාතුරකින් කොල්ලෝ  මෝඩ කමට අහු වෙලා චාටර් වෙනවා තමා.. හැබැයි මේ සිද්දියේදී  එහෙම චුනේ නෑ...

ඒ දවස් වල තමා අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මය කියන "සඟවන්න එපා හසරැල්..." සිංදුව ජනප්‍රිය වෙලා තිබුනේ... අපි ඔය කතා කර කර ඉන්නකොට මම සිංදුවක් කියන්න කිව්වම මේ ඔය සිංදුව තමා ඉතින් කියන්නේ.... ලස්සනට සිංදු කියන්න පුළුවන් හැකියාවක් එයාට තිබුනා...  හෙහ් හෙහ්...

ඔන්න ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගියා...

ඊට පස්සේ විභාග ඉවර වෙලා මම NIBM එකට ගියා.   ඒ අතරතුර, ඔය පොත කියවපු තව ගෑනු ළමයෙක් මට ලියුම් එවන්න පටන් ගත්තා.. මම ඒකත් ගානට බැලන්ස් කරගෙන යද්දී තව NIBM එකේ අක්ක කෙනෙක් ගේ හුටපටේකුත් ඒ දවස් වල පැටලුනා...අනිත් පැත්තෙන් මම කැමති තව ළමයෙකුගේ සීන් එකකුත් තිබුනා..  හෙහ් හෙහ්... තනි මම ම එපෑ මේවා කරන්න කිය කිය ඉතින් අමාරුවෙන් ඇදගෙන ගියේ...

ඊට පස්සේ මේ ළමයත් මොකක් හරි කෝස් එකකටද කොහෙද ගියා... පස්සේ පස්සේ කෝල් අඩු වෙලා අපි දෙන්න ලියුම් ලියන්න පටන් ගත්තා... හෙහ් හෙහ්... ලියුම් වැඩෙත් මම කාලයක් තිස්සේ කරපු වැඩක්... අපේ නංගි අතේ ලියුම් යවපු වැඩ එහෙමත් තිබුනා ඉතින්... ඒවා පසු කාලෙක ලියන්නම්කො...

ඔය ඔක්කොමත් එක්ක යන අතරේදී මම දවසක් ජොලියට වගේ මේ ළමය එවපු ලියුමක තිබ්බ අඩුපාඩු ටිකක් රතු පෑනෙන් හදල ආපහු තැපැල් කළා ...ඒ කිව්වේ මේ ජොලියට පොඩි කමෙන්ට්ස් එහෙම ටිකක් දාල.. ඉරි ටිකක් ගහල ආතල් එකට කරපු වැඩක්...

ඒක තමයි අපි දෙන්නගේ අන්තිම ලියුම් ගනුදෙනුව... ඒ වෙද්දී ටික ටික දියවෙලා යමින් තිබ්බ කතාබහ ඒ ආපසු යවපු ලිව්වමත් එක්ක නතර වෙලාම ගියා... ඊට පස්සේ ඉතින් බොහෝ දේවල් සිද්ද වෙලා මේ වෙද්දී කිසිම සම්බන්ධයක් නැතිවෙලා තියෙන්නේ... අඩුම තරමේ මට දැන් ඒ ළමයෙගේ සම්පුර්ණ නමවත් මතක නෑ.. ඉතින් ෆේස්බුක් එකේ ඉන්නවද කියල හොයන්නත් විදියක් නෑ... හැබැයි ඉතින් ලස්සන මතකයක් ඉතිරි වෙලා තියෙනවා... මේ වෙද්දී කොහේ හරි හොඳින් ඇති කියල හිතනවා..

ඔන්න ඔහොමයි ඉතින් ඕවා වෙන්නේ... තව වයසට ගියාම මතක් කර කර ඉන්න අලුත් දේවලුත් මේ දවස් වල සිද්ද වෙනවා.. හෙහ් හෙහ්... ඒවා නාකි වෙලා ලියන්නම්... 

(බය වෙන්න දෙයක් නෑ... ගෙදර උන්දැත් දන්නවා මගේ හුටපට ගැන... )