Tuesday, October 25, 2011

මාස 6යේ සංවත්සරය...

දෙකඩ වෙලා මාස 6ක් ගෙවිල ගිහිල්ලා.... පිස්සුවෙන් වගේ ඔහේ ඉන්න එක තමයි වැඩි හරියක් කරන්නේ.... ආදරයයි තේරුම් ගැනීමයි තරම් සතුටින් ජීවත් වෙන්න හේතු වෙන කිසිම දෙයක් නෑ කියල හිතෙනවා.... එකම දේ එකම වෙලාවට දෙන්නෙක් හිතන එක හෙන සිරා... ටෙලිපති වගේ ඉබේම තේරුම් යනවා...  මමයි මමයි කියල මම කියන්නේ ඒකයි... දෙකක් නෙවෙයි එකක්...

අපි විතරක් නෙවෙයි පවුල් වල ඉන්න අයත් හිත්වල කිසි කහටක් නැතුව අවංක සිතින් සතුටු වෙලා ඉන්න එක ගැනත් තියෙන්නෙ අප්‍රමාණ සතුටක්.... හැමදේම හොඳින් සිද්ද වෙන්න ඉඩ අරිනවට වඩා හැමදෙයක් ගැනම හොඳට හිතල මතල හොඳින් සිද්ද කරගන්න එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්නේ... එතකොට හැමෝම සතුටින්...

වනේ වන සතා වගේ හෙන පිළිවෙලට ජීවත් වෙච්ච මට පිළිවෙල ඉගැන්නුවා... එතකොට මම කිසිම දෙයක් ඔළුවට ගන්නේ නැතුව සැහැල්ලුවෙන් යන්න අරින හැටි උගන්නනවා...

හරියට ප්ලෑන් කරල වැඩ කරන හැටි මට උගන්නනකොට  සතුට තියෙන්නෙ මේ දැන් මිස හෙට නෙවෙයි කියල තේරුම් කරල දෙනවා...

අපේ සහ අනිත් අයගේ සතුට වෙනුවෙන් උත්සාහයෙන් වැඩකරන්න මාව උනන්දු කරන කොට... ලද දෙයින් සතුටු වෙන හැටි තේරුම් කරල දෙන්නයි මට ඕනේ....

හැදෙන පොඩි පොඩි ලෙඩට දුකට ලඟින් ඉන්න,බෙහෙත් දෙන්න,පරිස්සම් කරන්න හදනකොට දුක දරාගෙන ජීවත් වෙන හැටි උගන්නන්න මට හිතෙනවා....

කිසිකෙනෙකුගෙන් වචනයක් අහන්නෙ නැති විදියට ජීවත්වෙන්න මාව උනන්දු කරන කොට අනිත් අයගේ කතාවලින් නොසැලී ඉන්න හැටි මම කියල දෙනවා...

අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි මට කියල දෙනකොට... ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියල ගුටිත් කනවා....

ඔන්න ඔහොම තමා ඉතින් පහුගිය මාස 6 ගෙවිල ගියේ...  වචනයෙන් කියන්න බැරි තරම් සතුටක් සැහැල්ලුවක් හැම මොහොතෙම තිබුණා.... ජොලියට වගේ කරන වැඩ නිසා දුක හිතිච්ච වෙලාවලුත් අතේ ඇඟිලි ගානට තිබුණට පස්සේ ඒවත් ඉතින් හරි ජොලි...

මාසෙකට එකක් ගානේ ට්‍රිප් යන වැඩෙත් නොකඩවාම කෙරුනා... ලබන මාසේ ට්‍රිප් එක තාම ප්‍රොසෙසින්...

අපේ ෆිල්ප් ෆෙස්ටිවල් එකේ සතියට 2පාරක් විතර පෙන්නන චිත්‍රපටි බැලිල්ලත් නැඟලම ගියා...

මට පාඩුවේ Star Gate  බලන්න දීලා ඔයා නිදාගන්න යන එකෙන් අපි දෙන්න කොච්චර හොඳට ගැලපෙන දෙන්නෙක් ද කියල මට හැමදාම හිතෙනවා...හික්

ජීවිතේ සතුට මේ විදියට හැමදාම තියාගන්න පුළුවන් කියන එක තමයි මේ කාලේ ඇතුලත තේරුම් ගත්ත දේ... ඒකට ඕනේ කරන්නේ ආදරය,අවබෝධය,තේරුම් ගැනීම,අවංක කම,අදහස් වලට ගරු කිරිම සහ එක හිතින් පිස්සු කෙලීම වගේ සරල දේවල් ටිකක්...

ජිවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුලැලි බිඳක්... හසරැලි පොදක්....
එකට එක් වූ විට දැනේවී.....
පෙර නොවිඳි රසයක්.....



Wednesday, October 12, 2011

හෙලිකොප්ටර් එලවීම වනාහී....

       මෝටර් වලට එක එක විදියේ පෙති හයි කර කර උඩයවන්න ට්‍රයි කරන එක හෙන සිරා වැඩේ... උඩ යන එක කොහොම උනත් කැරෙකෙන වෙලාවට එක එක කොල කෑලි,රිජිපෝං කෑලි අල්ලල ඒවා කැඩිල විනාස වෙන හැටි බලන එක නම් මම ඕනේ තරම් කලා...  මොකක් හරි උඩ යවන්න ඉස්සර ඉඳලම තිබ්බේ හෙන ආසාවක්... කඩදාසි රොකට්, අහස් කූරු, ගෑස් බැලුන් ඔය ටික තමා ඉතින් හිත හදා ගන්න කර කර හිටියේ... 

       ඔය විදියට කාලේ ගෙවිල ගිහින් යාන්තම් අවුරුදු 29ක් වෙච්ච කාලේදි... (29ත් වයසක් ද) සිහින වාහනේ වෙච්ච හෙලිකොප්ටරයක් අරගෙන පොඩි ෆන් එකක් ගන්න ඉඩක් ලැබුණා... පොඩි කාලේ දකින හීන කවද හරි හැබෑ වෙනවා... වැඩිම උනොත් අවුරුදු 20-25ක් යයි...  මුලින් ම ගත්ත එක ඉස්සර කාලේ වගේ ඇඩ්වෙන්චර් කරන්න ගිහින් කඩා ගත්තා..(දැන් ගැරේජ් එකේ...)... පස්සෙ අක්කට පොඩි බටර් පාරක් ගාල ගෙන්න ගත්ත එකෙන් තමයි යන්තම් උඩ යවා ගන්න හැටි ඉගෙන ගත්තේ...  

       මේ තියෙන්නෙ ඉන්ඩෝර් ප්‍රැක්ටිස් කරපු ඒවා... කැමරාකරණය බට්ටි නංඟී මහත්මිය වන අතර පයිලට්කරණය බිං කොමාන්ඩර් මමය.... 




කැමරාකරණයේ ඇති සුළු සුළු අඩුපාඩු වලට හේතුව හෙලිකොප්ටරයට ඇති බය(පයිලට් ගැන ඇති විස්වාසය) සහ රෑ 9.30 ට පමණ ඇතිවන අධික නිදිමතය..

මේ තියෙන්නෙ අවුට්ඩෝර් ප්‍රැක්ටිස් කරපුවා... මෙහි සමහර ඒවායේ පයිලට්කරණය සහ කැමරාකරණය බිං කොමාන්ඩර් මං වන අතර සමහර ඒවායේ පයිලට් කරණය අපේ අකුරැස්සේ රත්නපාල අයියාගේ පුතාය..(පුතාගේ නම අමතකය).... කැමරාකරණය මං ය..





පළපුරුදු ඔබගේ වටිනා අදහස් අනාගතයේ හොඳ පයිලට් වරයෙකු බිහි කිරීමට හේතු වේ.....




Monday, October 03, 2011

වතුරෙන් චාර්ජ් වීම... අත්දුටුවයි,ප්‍රත්‍යක්ෂයි..

වතුර තරම් ලේසී සහ ලාබදායි වෙන කිසිම ඉන්ධනයක් අපිට නෑ නේ... අපි වතුරෙන් වැඩ ගන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලනේ.. (ඒ = ඉස්සර). එදිනෙදා ජීවිතේ අපිට අත්‍යාවශ්‍යයෙන් කර ගන්න ඕනේ වැඩක් ලේසියෙන් පහසුවෙන් කර ගන්න වතුර පාවිච්චි කරන්න පුළුවන් අත්දුටු ක්‍රමයක් තමයි මේක... දැනට ම පාවිච්චි කරන, දන්න අය එහෙම ඉන්නව ඇති නොදන්න අයටයි මේක දාන්නේ...

දැන් ඔය හදිසි ට්‍රිප් එකක්,ටිකක් දුර නෑයෙක් ගේ/යාළුවෙක්ගේ ගෙදරක්, මළ ගෙදරක්, මඟුල් ගෙදරක් වගේ තමන්ට හුරුපුරුදු තමන්ගේ ගෙදරින් පිට තැනකට යන්න වෙච්ච වෙලාවක තමයි මේකේ වැදගත් කම ගොඩක් ම දැනෙන්නේ.. මොකද අපිට හුරු පුරුදු විදියට අපේ කටයුතු කරගන්න බැහැනේ ඒ වගේ තැන් වලදී... ඒ ඒ අවස්තාවේ තියෙන විදියට වැඩේ කර ගන්න වෙනවා...  ගෙදරදි නම් එක්කෝ පිටිකිරි වර්ගයක්/මොල්ට් ජාතියක්/එලකිරි ටිකක්/අඩුම තරමේ ප්ලේන්ටියක් වත් උදේ පාන්දරට ලැබෙනවා නේ.. ඊට පස්සේ ටිකක් ඔය එහෙට මෙහෙට කැරකිලා ලෑස්ති වෙන්න අපිට වෙලාව තියෙනවා.. අර වගේ තැන් වල ඔය මොනවත් ෂුවර් නෑ... හම්බ උනත් අපිට ඕනේ වෙලාවට නෙවෙයි...

මම පොඩි කාලේ ඉඳලම කිරි ජාති/මෝල්ට් ජාති කටේවත් තියෙන්නෙ නෑ... එක්කෝ ප්ලේන්ටි නැත්නම් කෝපි තමයි (කෝපි වලට ආඩම්බර බලන්න වෙනවා කියල කතාවක් තිබුණට මට නම් එහෙම නෑ....).. ගොඩක් වෙලාවට ඉතින් හැමෝම උදේට බොන්නේ කිරි තේ නිසා ඔය වගේ තැන් වලදි මට ප්ලේන්ටිය ෂුවර් නෑ... හැමදාම "අනේ මම කිරි බොන්නේ නෑ නේ.... අනේ ඇත්තද ඉන්න මම ප්ලේන්ටියක් හදන් එන්නම්... නෑ නෑ කරදර වෙන්න එපා ප්ලේන්ටි ඕනේ නෑ..." ඔන්න ඔය විදියට තමා ඕක සිද්ද වෙන්නේ....

බස් වල/අනිත් අයගේ වාහන වල දුර ගමන් ගියාම උදේ එන්න ඕනේ නේ වෙලාවට බස් එක අල්ල ගන්න/ නැත්නම් කට්ටිය යන වෙලාවට යන්න.. ඉතින් අපිට වෙලාවට වැඩ ටික සිද්ද කර ගන්න බැරි වුණාම හෙන අවුල් නේ...අන්තිමට පැය 5-6 විතර ඉවසල ඉන්න වෙනවා කීයට හරි ගෙදර එනකම්...වාහනේ මඟදි කන්න/තේ බොන්න නතර කලත් ඒ වගේ තැන් වල පිළිවෙලකට ඕක කර ගන්න තියෙන අමාරුව නිසා ඉවසන්න වෙනවා.. තමන්ගේ වාහන වල ගියත් ඔහොම තමා.. හරි හමන් ප්ලේස් එකක් මඟදි සෙට් උනේ නැත්නම් ගෙදර පිහිට තමා....(දැන් නම් නිතර යන පාරවල් වල තියෙන හොඳ තැන් ටිකක් දන්න නිසා ෂේප්)

ඔය ප්‍රශ්නෙ (ප්‍රස්නේ මොකක් ද කියල පැහැදිලියි නේ) සහ සරීර කූඩුව ටිකක් ලෙඩ නැතිව තියා ගන්න ඕනේ කියන (ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ)  අදහස ඇතුව මම උදේට වතුර වීදුරුවක් බොන වැඩේට පුරුදු උනා... මුල් දවස් වල චුට්ටක් විතර අමාරු උනාට දැන් නම් උදේට වතුර එකක් බීල තමයි මම පටාන් ගන්නේ... ඉස්සර ප්ලේන්ටියට /කෝපි එකට චාර්ජ් වෙච්ච ඒවා දැන් කිසි වියදමක් නැතුව වතුරෙන් නිකන් ම චාර්ජ් වෙනවා....ලේසියට පහසුවට අඩු වියදමින් ඉක්මනින් වැඩේ ගොඩ... 

සීනි ප්‍රස්න නෑ... උදේ පාන්දර කඩේ දුවන්න වෙන ප්‍රස්න නෑ... ගමනක් බිමනක් යනකොට හිත අප්සැට් කර ගන්න දෙයක් නෑ... අතර මඟදි බුම්මන් ඉන්නෙ නැතුව ඕනේ දෙයක් කාල බීල ආතල් එකේ යන්න එන්න පුළුවන්... බ්‍රෑන්ඩ් එක වෙනස් වුණා කියල කට අවුල් වෙන්නෙ නෑ...ගණන් වැඩි වෙන ප්‍රස්න නෑ... සීන් වැඩියි/කහට වැඩියි/පිටි වැඩියි/මෙලෝ රහක් නෑ වගේ කතා නෑ... සරලයි... පහසුයි....ලාබයි...

Friday, September 30, 2011

කඩුවෙන් එලියට පැනගත් මගේ සිතිවිලි සුට්ටක්....part - 2

සිංහලෙන් ලියන්න කම්මැලි වගේ හිතිච්ච වෙලාවක කඩ්ඩෙන් ලියවිච්ච පරණ විකාර කිහිපයක් .... කඩුව වැනීමේදී මහරජාට(එංගලන්තේ එක්කෙනාට) සිදුවී ඇති සුළු සුළු තුවාල අමතක කර ගැත්තාට අනුකම්පාවෙන් මෙය කියවන සේක්වා!!

When we are alone we can realize the true potentials of our mind...
It's really not an easy thing to be alone...

If we can free our minds from these temporary realms... we can realize the beauty of this universe...
We can conquer the universe...

The world what we see is limited... we all trying to achieve unlimited goals within that limited world... without knowing The Unlimited is just out there... If we can join to that Unlimited, we can be the masters of that... It will do what ever we want it to do...

Just free your mind...

කඩුවෙන් එලියට පැනගත් මගේ සිතිවිලි සුට්ටක්....part - 1

සිංහලෙන් ලියන්න කම්මැලි වගේ හිතිච්ච වෙලාවක කඩ්ඩෙන් ලියවිච්ච පරණ විකාර කිහිපයක් .... කඩුව වැනීමේදී මහරජාට(එංගලන්තේ එක්කෙනාට) සිදුවී ඇති සුළු සුළු තුවාල අමතක කර ගැත්තාට අනුකම්පාවෙන් මෙය කියවන සේක්වා!!

1. Fantasy Vs Reality


These days (ඉස්සර දීස් ඩේයිස් හරිද) I'm watching movies... every kind...

I'm addicted to Star Gate series... (මේක නම් තාම එහෙමයි)
It's kind an addiction to the fantasy than the reality...
I don't hate the reality but I just love the fantasy...

Most of the time fantasies teaches us the truths of reality which we are not trying to understand in our realities...
Thats why I love fantasies this much.. I guess...

Am I alone?
The answer is Yes... for the moment I'm alone

Are we alone?
The answer is we don't know...

I know she can free me from this loneliness... but who can free us from this loneliness...? who knows...
One day science will find the answer...sometimes it will not...

There is an easy way to find that out... but it's not that easy... I tried that once.. few months back.. but I gave it up because of this real world... because of this well known reality..

Im not mad... ;)

Wednesday, September 21, 2011

අභ්‍යවකාෂ චාරිකාවක් සඳහා මෙන්න කදිම අවස්තාවක්.

පිස්සු හැදෙනව ඇති නේද?  ඉරවටේ අභ්‍යවකාශ චාරිකාවක් යනව කියන එක... මට නම් හැබැයි පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම උණ වලින්  එකක් තමා අභ්‍යවකාශගාමියෙක් වෙන එක (අභ්‍යවකාශගාමියෙක් නොවී හරි කමක් නෑ හඳට යන එක..).. ලොකු වුණාම යන්න පුළුවන් වෙයි....

එක පාරක් හඳට යනව වගේ යෑ අභ්‍යවකාශගත වෙලා ඉරවටේ යනව කියන එක.. වටේ පිටේ තියෙන ග්‍රහලෝක තරු එහෙම පේනකොට ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ මට නම්.. හැබැයි ඉතින් ටික කාලෙකින් එපා වෙනවත් ඇති....

කොහොම වුණත් තනියම නෙවෙයි හින්ද අවුලක් නෑ...  තනියම නම් ඔය වැඩේ කරන්න බෑ... හැබැයි තනියම යන්න කැමති අයත් ඇති... මට නම් ටිකක් අමාරුයි...එහෙම යන අයත් ඉන්නවා...(තනිවෙනවනම් මම කැමති 2010 කතාවේ බෝමන් තනිවුණා වගේ සොරි වෙන්නම තනි වෙන එක... ) එහෙම නැතුව කිසි ගතියක් නෑ...

ගමන සම්පූර්ණයෙන් ම නොමිලේ තමයි ලබා දෙන්නේ... යන ගමනේ සුවපහසුකම් තම තමන් ට හැකි අයුරින් සකසා ගත හැකියි...

යානය කිසිම වෙලාවක ගමනේ අතර මැද නතර කිරීමක් නෑ.. තම තමන්ට ඕනෑ විදියට යානේ ඇතුලේ ඉන්න පුළුවන්.. ජීවත් වෙන්න අවශ්‍ය සියලුම දේ යානයේ නිර්මාපකයින් විසින් ලබා දීල තියෙනවා.... අපිටත් ඕනේ නම් ගමනට වැදගත් වෙන දේවල් ගෙනි යන්න හදාගන්න පුලුවන්...

දුර ගමනක් නිසා සමහරුන්ට දිගටම යන්න බැරි වෙන්නත් පුළුවන්... ගමන අතර තුර මිය යන අය වෙනුවෙන් තම තමන් ගේ ආගම දහම අනුව කටයුතු කරන්න ඉඩ සලස්වල තියෙනවා...

යන ගමන් කරන්න වැඩ ඕනේ තරම් තියෙනවා..කැමති නම් අහස දිහා බලාගෙන තරු ගනින්න පුළුවන්...නැත්නම් සංගීතය,නැටුම් වගේ සෞන්දර්‍යාත්මක දේවල් වලට යොමු වෙන්න පුලුවන්... තාක්ෂණික අංශ වලට කැමති නම් ඒවත් පුළුවන්... සල්ලි හොයන්න සල්ලි වියදම් කරන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා මේ ගමනේ...

කැමති අයට ගහ මරා ගන්නත් පුළුවන්... ඒවයේ වගකීම තම තමන් ම ගන්න ඕනේ හැබැයි... නිතී රීතිත් තියෙනවා...ඒවට ගරු කරන්නත් වෙනවා...

ලස්සන ගෑනූ ළමයි,හැන්ඩ්සම් කොල්ලො එහෙම ඕනෙ තරම් ඉන්නවා... සුරතල් පොඩි එවුන්, වයසක උදවිය... හැම විදියෙම අය ඉන්නවා....

පවුලේ අයත් එක්ක අවුරුදු 20-30ක් විතර ගිහින් ඉතිරි කාලේ තමන් මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කරන කෙනත් එක්ක යන්න තියෙන චාන්ස් එක නිසා මේ ගමන ඇත්තටම හෙන වටිනවා... කොච්චර කාලයක් යනවද කියන එක ඉතින් තම තමන් ගේ කැමැත්ත අනුව තීරණේ කර ගන්න පුළුවන්..

මෙම වටිනා අවස්තාව ලබා ගැනීම සඳහා ඔබ,
අමනුෂ්‍ය ගණයේ අයෙකු විය යුතු වන අතර..යක්ෂ,ප්‍රේත,පිසාච,කුම්භාණ්ඩ,රාක්ෂ වර්ගයේ අය චරිත සහතික රැගෙන පැමිණිය යුතුවන අතර, දේව / බ්‍රහ්ම වර්ග වල අය තමන්ට නියමිත නිවාඩු අනුමත කර ගත් ලිපියක් සහිතව පැමිණිය යුතුය...
ගන්දබ්බ පිරිස් තම තමන්ගේ අතීත ක්‍රියා අනුව අදාල තැන් වෙත යොමු කෙරෙන අතර... ඉහත කී වර්ග වලට අනුයුක්ත වන් ගන්දබ්බ මහත්ම මහත්මීන් එම ක්‍රියාපටිපාටිය අනුවම තෝරා ගනු ලැබේ...

Monday, September 12, 2011

හෙන කාලෙකින් බුලත් විටක් කෑවෙමි...

තාත්තා නැති වුණාට පස්සේ අපේ ගෙදර තිබ්බ බුලත් වට්ටිය(හෙප්පුවක් නෙවෙයි තිබුණේ) අභාවෙට ගියා... අම්ම නම් එහෙන් මෙහෙන් අහුවෙච්ච වෙලාවට පුවක් කෑල්ලක් හපන්න පුරුදු වෙලා හිටියා හැබැයි ඉස්සර හෙන සාරෙට තිබිච්ච බුලත් වට්ටිය එහෙම ම නැති වෙලා ගියා.. මම බුලත් විටක් මුලින් ම කනකොට මට වයස 8-10 විතර ඇති... කට රතු වෙන ආතල් එක ගන්න තමයි මුලින් මුලින් කෑවේ..(දැනුත් ඒකට තමයි..)... තාත්තා හුණු කෑවේ නෑ..හැබැයි දුම්කොළ කෑවා.. මමත් මුලින් මුලින් බුලතුයි පුවකුයි විතරක් කකා ඉඳල ටික ටික දුම් කොළත් කෑව..  ගෙදර බුලත් වට්ටිය නැති උනාට පස්සේ ඔය මළ ගෙදරකදි දානේ ගෙදරක දි වගේ තමයි විටක් කන්න සෙට් වුණේ... අම්ම කොහෙන් හරි හොයාගෙන එන පුවක් කෑලී ඉඳල හිටල හපනවා...

ඊයේ හපුතලේ ගියානේ (නැති වෙච්ච බුද්ධික මල්ලිගේ අවුරුද්දේ දානෙට) එකෙදි තමයි  අවුරුද්දකට විතර පස්සේ විටක් කන්න සෙට් වුණේ... එකක් කෑවා බුලතුයි පුවකුයි දුම්කොළයි හපල.. ටික වෙලාවකින් එළියට ආපූ වංගෙඩියෙන් ආච්චි කෙනෙක් කොටල දුන්න එක කෑවා ඊට පස්සේ...  කොටල කනකොට නම් පට්ට රසයි බුලත් විට...

කට්ටියත් එක්ක බුලත් විට කකා ඉන්න කොට අම්ම කිව්ව තාත්තා බුලත් කන්න පුරුදු වෙච්ච සිද්දිය..
ඉස්සර අපේ තාත්තට බුලත් පේන්න බැරිලු... බුලත් කන අයටත් එක එක ඒව කිය කිය ඉඳල... අම්මනම් අද වගේම අහුවෙච්ච වෙලාවට පුවක් කැල්ලක් බුලත් කොලයක් හපන්න පුරුදු වෙලා ඉඳල තියෙන්නෙ.. කොහොම හරි දවසක් තාත්තගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඔය වෙලාවෙ අම්ම කියල තියෙනව මම වගේ පුවක් කෑල්ලක් බුලත් කොළයක් ඉඳල හිටල හපනව නම් ඔය දත් අමාරු එන්නෙ නෑ කියල... ඊට පස්සෙලු තාත්ත බුලත් කෑම පටන් අරන් තියෙන්නෙ... හැබැයි අම්ම වගේ ඉඳල හිටල නෙවෙයි අන්තිම වෙනකොට ෆුල්ටයිම් විටක් කටේ ලෙවල් එකට තාත්තා බුලත් කෑව අම්මගෙනුත් බැනුම් අහ අහා... දත් අමාරු නම් ඊට පස්සේ හැදුනේ නැද්ද කොහෙද හැබැයි දත් ටික නම් කහට පාට වෙලා තිබ්බ..

බුලත් කන එක හොඳ ද නැද්ද කියල නම් මම දන්නෙ නෑ..හැබැයි කන එකේ හෙන ආතල් එකක් නම් තියෙනවා..

වැදගත් ම සිද්ධිය තමයි බට්ටි නංඟියත් (අනිත් මම) ජීවිතේ පලමු වතාවට පුවක් මදයක් කාපූ එක.. හිහී හීහී... මුලින් මම බුලත් කන එකට එක එක ඒව කිය කිය ඉඳල පස්සෙ බලනකොට හෙමිහිට පුවක් මදයක් හපනවා...

Friday, September 09, 2011

පැන්ෂන් ගන්න තව 30යි....

ඊට කලින් යන්න (යන්නම යන්න) වුනොත් කරන්න දෙයක් නෑ... නැත්තං තව 30කින් පැන්සොං ගන්න පුලුවන්... හී හී... හරි ජොලී.... ඉතිරි 30ත් හිටිය 30 වගේම ඉන්න හිතුවට ඉන්න අමාරු වෙයි වගේ.. වැඩ කිරීම නිල වශයෙන් පටන් ගන්න වෙනවනේ අද ඉඳන්... (හෙට ඉඳන් ම ඔන්න ඔහෙ පටන් ගන්නව.. අද ටිකක් රෙස්ට් කරල....)  30න් පැන්සං ගන්න එක 45න් විතර කර ගන්න බැරි වෙයි ද දන් නෑ නේද?.... ටිකක් කල්පනා කරල මොකක් හරි අටමගලයක් හොයාගෙන හරි හදාගෙන හරි (මම කරන්න හිතන හැම එකම මට කලින් වෙන කවුරු හරි කරල නිසා කරන්න දෙයක් නැතුව මෙච්චර කල් හිටියේ...) බිල් මාමා, ගූග්ල් අයියල,මාර්ක් මල්ලි වගේ වුණා නම් 30 අවුරුදු සැලැස්ම 5 අවුරුදු කරන්න පුළුවන් (කඩිනම් මහවැලි ව්‍යාපාරේ වගේ)......අපිට බිලියන්,ට්‍රිලියන් වලින් ඕනේ නෑනේ... ණය ටික ගෙවල ඔය ගෙයක් දොරක් හදාගෙන වාහනයක් 2ක් ගන්න කීයක් හරි තිබ්බනම් ඇති නේ..

ඊට පස්සෙ ඉතින් ගෙදර අයත් එක්ක පාඩුවේ සන්තෝසෙන් ලැබෙන දෙයින් සතුටු වෙලා ඉන්න එකනේ.. ඔය ටික කරල ඉවර වුණාට පස්සෙ තමයි එහෙම පාඩුවේ සන්තෝසෙන් ඉන්න පුළුවන්... ඒ කියන්නේ උපරිම 60න් පස්සෙ තමයි එහෙම ඉන්න වෙන්නේ.. ඊට කලින් එහෙම පාඩුවේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න හදන එක හෙන මෝඩ කමක්... මොකද සතුට හැමදාම තියෙන්නෙ අනාගතේ නිසා (සතුට ඇත්තේ මේ මොහොතේ කියන එක අපිට තේරුම් යන්නේ 60-70-80 විතර වෙනකම් හෙන ම චාටර් එකක් කාල බෑං කියල නතර උණාට පස්සේ නේ... ) එතකං අනාගතේ තියෙන සතුට වෙනුවෙන් අපිට වර්තමාන සතුට කැප කරන්න වෙනවා...

ඕක මෙහෙම කරන්නත් පුළුවන් වර්තමානේ සතුටින් ඉන්න ගමන් අනගත සතුට හදා ගන්න එක... ඒකට ඉතින් රේස් දුවන එක නතර කරන්න වෙනවා.... (ඔය කිව්වට කරන මඟුලක් පුළුවන් තරම් ඉක්මනට කර ගන්න ඕනේ....(පුළුවන් තරම් ඉක්මනට කරල ඉවර වෙනකොට කොහොමත් 60 පනිනවා))

මේ 30 ඇතුලෙදි මේ හැම එකෙන් ම සදහටම ගැලවෙන මාර්ගය හරියටම අවබෝධ කර නොගත්තොත් මේ වගේ 30 ඒවා තව කීයක් චාටර් කන්න වෙයි ද දන්නෑ... අන්න ඒකට මහන්සි වෙලා 60 විතර වෙද්දි ඒක ගොඩ දාගන්න ඕනේ... ඒක එක.. අනිත් ඒවා ඒ අතරේ ගොඩ දාල දානව ඉතින් ඔය පුළු පුළුවන් විදියට... 30ක් මා සමඟ සිටි සැමට බොහෝම ස්තූතියි... ඉතිරි 30ත් (ඉන්න ටික) ඔන්න ඔහොම ඉමු....

Tuesday, August 23, 2011

ප්‍රේමසිරි අයියා සහ Sound Theraphy

                 ප්‍රේමසිරි අයියා නැති වෙලා... සෙනසුරාදා උදේ පාන්දරම අම්මා කෝල් එකක් දුන්න.. සෙනසුරාදා ඉරිදා කරන්න හිතාගෙන හිටපු වැඩ ඔක්කොම පැත්තකින් දාල මළ ගෙදර යන එක ගැන හිතුවා.. ප්‍රේමසිරි අයියගේ ගම පැල්වත්ත. නෑ කමින් සෑහෙන්න දුරයි හැබැයි හිතවත් කමින් හෙනම ලඟයි...
                 කලේ එලවළු වෙළදාම...පැල්වත්ත හංදියේ පොඩි කඩයක් තියෙනවා.. අහ්..වැල්ලවාය,බුත්තල පැත්ත දන්න අය ඉන්නවනම් පැල්වත්ත හංදියේ තියෙන බාර් එකත් කලේ ප්‍රේමසිරි අයියා... නෑ කමින් අපේ තත්තගේ,තාත්තගේ(සීයගේ) මල්ලිගේ පුතාගේ පුතාද කොහෙද...(අම්ම එදා කිව්වට දැන් ෂුවර් නෑ) .  මට වැඩිය අවුරුදු 28ක් විතර වැඩිමල්.. නෑ කමට අයියා... කොළඹ මැනිං මාකට් එකට එලවළු ගේනවා.. ගොඩක් දවස් වල එලවළු අරං කොළඹ ආවම අපිටත් මාසේකට විතර හාල්,පොල්,එලවළු.. ඉඳල හිටල මස් (මුවමස්,ගෝනමස්,වල් ඌරු මස්) එහෙම හොරෙන් ගේනවා.. 
                 මම ප්‍රේමසිරි අයියලව හරියට අඳුර ගත්තේ අපේ තාත්තගේ මළ ගේ දවස් වලදි.. ඊට කලින් හැමදාම ඉතින් තාත්තත් එක්කනේ කතාබහ... කොහොම හරි තාත්ත නැති උනාට පස්සේ අම්මයි මමයි දෙපාරක් විතර එහෙ ගියා.. අන්තිමට ගියේ මගේ වෙඩිම කියන්න.... ප්‍රේමසිරි අයියා හෝම් කමින් එකට ඇවිල්ල.. පුරුදු විදියට හාල්,එලවළු අරගෙන හෝම්කමිම දවල් වරුවේ ඇති කියල හිතාගෙන...ඒක තිබ්බේ රෑ නේ..එයා රෑ ඉන්න විදියක් නෑ කියල ආපහු ගිහින්... කොහොම හරි එදා මට ප්‍රේමසිරි අයියව හම්බ උනේ නෑ... වෙඩිමෙන් පස්සෙ අපි එහෙ යන්න කියල හිටියට යන්න බැරි වුණා.. කොහොම හරි ඉතින් අන්තිමට අපි එහෙ ගියේ ප්‍රේමසිරි අයියගේ මළ ගෙදරට.... මැරිල තියෙන්නෙ සිරෝසිස් හැඳිල.. (හොඳට කන බොන මිනිස්සුනේ).
                 කොහොම හරි එදා අපි කට්ටිය, ඒ කිව්වේ මමයි,මමයි,අම්මයි,අක්කයි,දිමුතු අයියයි,පොඩි උන් දෙන්නයි ගියා.. සෙනසුරාදා රෑ 9 විතර වෙද්දි එහෙ.. මළ ගෙදරට ගොඩ වෙලා.. ටික වෙලාවක් ඉඳල අපි ඉතින් බන්ඩාරවෙල ගියා... අපිට ඉතින් ප්‍රේමසිරි අයියා වෙනුවෙන් කියල කරන්න දෙයක් නෑනේ.. පිනක් දහමක් ඇරෙන්න... මළ ගෙදර වැඩට ඕනේ තරම් සෙනඟ.. අපි නිකං කවුද වගේ කැරකි කැරකි ඉන්න එක තේරුමක් නෑනේ කොහොමත් (කොළඹිං ගියාම කරන්න පුලුවං එකම දේ ඒක නේ...).. අපි ඕක දන්න නිසා කලිංම පොඩි ප්ලේස් එකක් බුක් කරල සෙට් වුණා.

                ප්‍රේමසිරි අයියගෙ මිනිය දිහා බලන් ඉන්නකොට මට දුක හිතුණා..  තාත්තගේ පරම්පරාවේ තාත්තත් එක්ක ලඟින්ම හිටපු කෙනෙක් නැති වීම නිසා.. ඒ කියන්නේ ප්‍රේමසිරි අයියා කියන මනුස්සය ආයේ නෑ නේද කියල දුක හිතුණේ තනිකරම තාත්තා මතක් වීම නිසා... මට හිතුණා දුක් වෙලා තේරුමක් නෑ කියල... තාත්තව මතක් කරල කරන හැම පිං කමේදිම ප්‍රේමසිරි අයියවත් මතක් කරල පිං දෙන්න හිතාගත්තා..

කොහොම හරි ඉතින් රෑ 11-12 වෙනකොට අපි බන්ඩාරවෙල ප්ලේස් එකට ආව...

පහුවදා උදේම (10ට විතර) අපි ගියා ඇල්ල රත්මල්කන්ද භාවනා මධ්‍යස්තානේට.. කාලයක් තිස්සේ යන්න හිතාගෙන හිටපු තැනක්.. මඩවල උපාලි හාමුදුරුවෝ තමයි එතන ඉන්නේ.. කඳුකරේ තියෙන ලස්සන තැනක්... මඩවල උපාලි හාමුදුරුවෝ ගැන මම හිතන්නේ කවුරුත් දන්නවනේ..මුල්ම කාලේ ස්වර්ණවාහිනියේ පෝදා සාකච්චාවට එහෙම උපාලි හාමුදුරුවෝ නිතර ආවා.. කාලයක් කඳුබොඩ භාවනා මධ්‍යස්තානෙත් හිටියා.. 

හාමුදුරුවෝ හරි වෙනස් චරිතයක්.. හොඳට විද්‍යා දැනුම තියෙනවා.. විද්‍යාත්මක පරීක්ෂණ කරන්න එහෙම බොහොම කැමති කෙනෙක්... එදා ගියාම තමයි දැන ගත්තේ සංගීත දැනුමත් සෑහෙන්න ඉහලයි කියල.. අපි ගියේ තැන බලාගෙන නිකං කතා බහ කරල එන්න.. කොහොම හරි හාමුදුරුවෝ කිව්ව දානේ වළඳල එනකම් ටිකක් ඉන්න මධ්‍යස්තානේ තියෙන  Sound Therapy සෙන්ටර් එක පෙන්නන්නම් කියල.. එහෙම කියල අපිට පුස්තකාලේ යතුරත් දුන්න පොත් බලන්න කියල.. 

බොහෝම පරීක්ෂණ කරල නියම විද්‍යාත්මක ක්‍රමයට හදපු පුංචි ගොඩනැඟිල්ලක තමයි මේ Sound Therapy සෙන්ටර් එක තියෙන්නෙ... හාමුදුරුවෝ අපිව එක්කං ගිහිං මේ වැඩේ ගැන කියල දුන්න.. සංගීතයේ තියෙන නියම ස්වර පරාස පාවිච්චි කරල හිත සංසුන් කරගන්න තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ... ලෙඩරෝග හොඳ කරන්නත් මේකෙන් පුළුවන් ලු... අපේ ඇඟේ සෛල සහ DNA වල කම්පන සංඛ්‍යාත වලට හරි යන තරංග නිවැරදි ලෙස නිකුත් වෙන විදියට තමයි මේ ශබ්දය හදල තියෙන්නේ...

හෙඩ්ෆෝන් එකක් දාල මේක අහල බලන්න... 

වැදගත්ම දේ තමයි.. ඔය ඇහෙන ගිටාර් වාදනය සහ හඬ උපාලි හාමුදුරුවන්ගේ.. හාමුදුරුවෝ තමයි නිවැරදි  සංඛ්‍යාත වලට සංගීතය නිකුත් කරන්නේ.. ඒ සංගීතයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන විදියට තමයි අසන්නාට ඉන්න සලස්වල තියෙන්නේ...වීඩියෝ එකේ තියෙන රූප වලින් අදහසක් ගන්න පුළුවන් වෙයි..

කොහොම හරි  Sound Therapy එකෙන් පස්සේ අපිට සංගීතය ගැනත් හොඳ දේවල් ටිකක් කියල දීල තමයි ආපහු එව්වේ...

මේ තියෙන්නෙ අඩවිය.. ගැලරි එකේ ගොඩක් වීඩියෝ සහ විස්තර තියෙනවා..

ඒ පැත්තේ ගිය වෙලාවක ගිහින් බලන්න.. 
..................................................................................................................................................................
ප්‍රේමසිරි අයියාට නිවන් සුව ලැබේවා...

Wednesday, August 17, 2011

5යි...(පස් වසක් බ්ලොග් ලිව්වෙමි)

නිධාන කතාව
                    2006 මම සම්පූර්ණයෙන්ම ලාංකික ටැලිපෝන් ආයතනයකට සෙට් වෙච්ච වෙලාවේ මට දුන්න පළමු ප්‍රොජෙක්ටුව උනේ ඊ-මේල් වලින් එස්.එම්.එස් යවන සහ එස්.එම්.එස් වලින් ඊ-මේල් යවන්න පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න.. අපරාදේ කියන්න බෑ ජොබ් එකට ගිහින් 1 වෙනි සතියෙම වැඩේ ගොඩ දාල දුන්න(පොර ටෝක් එකක්). ඒකෙන් ඉම්ප්‍රෙස් වෙච්ච(එහෙම වුනා කියල මම හිතනවා) අපේ හිටපු බොස් මහත්මිය කිව්වෙ නැතෑ අපි ඔය එස්.එම්.එස් සිංහලෙනුයි දෙමළෙනුයි යවමු කියල... මමත් ඉතින් හා කියල G දෙවියන්ගෙන් වැඩේ ගොඩ දාන ආකාරයක් හොයල බැලුවා.

සිංහල යුනිකෝඩ් සමූහයට සැට් වුණේ ඔන්න ඔය සෙවිල්ලෙන් පස්සේ.. කොහොම කොහොම හරි CDMA ෆෝන් වල යුනිකෝඩ් සහය ගන්න එක අපේ සීමාවෙන් එහා (චීනේ සීමාව)ට ගිය නිසා සිංහල එස්.එම්.එස් වැඩේ එතනින් අහවර උණා... මට නිදහසට කාරණාත් එක්කම. සිංහල යුනිකෝඩ් සමූහයේ වැඩේ නැඟල ගියා..

බොහෝ දෙනෙක් හඳුනා ගත්තා... නම් වශයෙන් කියන්න ට්‍රයි කරල ඇන ගන්න ඕනේ නෑනේ(ඔක්කොම මතක නැති නිසා)

සිංහලෙන් ලියන්න තිබ්බ උණ නිසා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ..බ්ලොග් එකක් කියන්නෙ මොකක් ද කියල දැන ගත්තේ එදා තමයි .මම මුලින් මේක හැදුවේ හැමෝම එකතු වෙලා පෝස්ට් දාන්න පුළුවන් බිත්ති පුවත්පතක් විදියට. නම බිත්තිය උනේ එහෙමයි. හැමෝටම ලියන්න පුලුවන් වෙන්න කියල මම username එකයි password එකයි දෙකම ගෘප් එකට යැව්වා..(ඕක කරන්න පුළුවන් වෙන විදියක් ගැන මට කිසිම අදහසක් ඒ දවස් වල තිබ්බෙ නෑ ... (දැනුත් නෑ ඇත්තටම)). අපරාදේ කියන්න බෑ කවුරුවත් මොකුත් ලිව්වෙත් නෑ.. මගේ බ්ලොග් එක හැක් කරන්න ආවෙත් නෑ...

කොහොම හරි 2006 අගෝස්තු මාසේ 17 වෙනිදා මම පළවෙනි පෝස්ට් එක ලියල ඕං බ්ලොග් ලිවිල්ල නිල වශයෙන් පටන් ගත්තා.

අන්තර්ජාලයේ අපේ බිත්තිය විදියට මුලින් තිබ්බ නම අන්තර්ජාලයේ මගේ බිත්තිය වුණේ ඊට පස්සේ..

ඉතිහාස කතා

ඊට පස්සෙ ඉතින් ඔය හිතෙන හිතෙන වෙලාවට ඔහේ එක එක දේවල් ලියපු එක තමා කලේ.. විශේෂයෙන් කිසිම දෙයක් නෑ.. ගොඩක් වෙලාවට මොනව හරි ලියන්න ඕනේ කියල හිතුන ගමන් ඔලුවට එන දේ තමයි ලියල තියෙන්නෙ.. ඉඳල හිටල තමයි ඔය වැදගත් දෙයක් (තාක්ෂණික (එකයි ද කොහෙද),චිත්‍රපටි) වගේ ඒව ගැන ලිව්වේ..

 එක එක ලව් සීන් කෝන් නිසා ටිකක් කචල් කාලෙ නේ.. මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නැති වෙලාවට මේකේ මොනව හරි ලියන එක තමා කොලේ...

කවුරුවත් මේක බලනව ද කියන එක ගැන නම් මට කිසිම අදහසක් තිබුණේ නෑ... දන්න කියන යාළුවෝ කිහිප දෙනෙක් විතරයි මෙහෙම එකක් තියෙනවා කියල දැන ගෙන හිටියේ..

අදටත් පබ්ලිසිටි කියල එකක් නෑ.. සින්ඩි වලින් එන අය ඇරෙන්න. (යලට මහට යන මගේ ට්විටරේ ලින්ක් එක ඇති.. මගේ රාජකීය පුද්ගලික වෙබ්සයිට් එකේ කොනකත් ලින්ක් එක ඇති..එච්චරයි ද කොහෙද)

එක එක විදියේ ලස්සන තීම්ස් ගොඩක් තිබුණට මේකේ තියෙන්නේ එදා පටන් ගන්නකොට දාපු තීම් එකමයි.. කිසිම වෙනසක් නැතුව..  අනේ මන්ද මට වෙනස් කරන්න හිතෙන්නෙ නෑ...

ඉඳල හිටල ඔය පොඩි බැනර් එකක්(ඉලංදාරියා වෙනුවෙන්,බ්ලොග් තරඟ වෙනුවෙන්) ඇඩ් කිරීම ඇර වෙන මොකුත් ගැජමැටික්ස් වැඩ දාල නෑ...

ඇඩ්සෙන්ස් වලින් කියල හම්බ කරගත්ත තුට්ටු දෙකත් ගූග්ල් අයියා බ්ලොක් කරල අන්තරස්දාන කලාට පස්සේ ඒකත් නෑ..

සිංහල බ්ලොග් කියවනේට මේක දැම්මේ 2008 හරි 2009 හරි.. එතකං සින්ඩි කියන ඒව ගැන දැන ගැන හිටියෙ නෑ. සිරාම වැඩේ කියන්නේ මම කොත්තු සයිට් එක බලන්න පටන් ගත්තේ 2006ටත් කලින් ඉඳන්.. හැබැයි ඒක සින්ඩියක් කියල දැන ගත්තේ 2009ත් අන්තිම කාලේ.. හික්..

යන එන අය ගැන දැන ගන්න ගූග්ල් ඇනලිටික්ස් දා ගත්තේ 2009  නොවැම්බර් මාසේ 10 වෙනිදා (මේකේ හැටියට) ඉඳන් තමයි ආව ගිය අය ගැන විස්තර තියෙන්නෙ.















ඔන්න ඔහොමයි ගූග්ල් අයියා ඔය කාලේ ඇතුළත ආව ගිය අය ගැන කියන්නෙ..

සින්ඩියට දැම්මට පස්සේ කට්ටිය ටිකක් අඳුර ගත්තා... 2009 බ්ලොග් කරුවන්ගේ හමුවීමට ගිහින් කට්ටියව දැක බලා ගත්තා.. ගිය සැරේ එක වෙඩිමෙ වැඩ නිසා මිස් උනානේ.. මේ සැරේ එකක් තිබ්බොත් එන්න ඕනේ.


වර්තමාන කතා

වර්තමානෙත් ඉතින් ඉතිහාසේ වගේම වෙයි..ඉතිහාසෙට වඩා බොහෝ දේ වෙනස් වුණාට ඉස්සර හිටපු මම ම තාම ඉන්න නිසා වැඩි වෙනසක් වෙන එකක් නෑ.. හැබැයි සහෝදර බ්ලොග් ලියන අයගේ බ්ලොග් ටිකක් වැඩිපුර කියවන්න සහ කමෙන්ට් දාන්න තියෙන උපන් කම්මැලි කම ටිකක් නැති කරගන්න ඕනේ..

මම ලියන වල්බූත කියවන්න 81 දෙනෙක් මගෙ පස්සෙන් එන එක මට වෙලාවකට හිතා ගන්නත් බෑ... කොහොම වුණත් ඒ අයට ගොඩාක් ස්තූටියි.

නිතර මේක බලල කමෙන්ට්ස් දාන හැමෝටමත් (නම් වශයෙන් ඕනෙ නෑනේ).. බස් පදින ගමන් බස් කමෙන්ට්ස් දාන සියල්ලන්ටත් බොහෝම ස්තූටියි.


අනාගත කතා
මොකුත් නෑ... ඔක්කොම මෙච්චරයි..






















4.9999999999යි...

නිහතමානී කමත්, අවංක කමත්(සම්‍යක්ප්‍රයෝග සහිත) තරම් අපව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි වෙන කිසිවක් තිබිය නොහැකි යැයි හදිසියේම සිහිවිය.... අමතක වන්නට පෙර මෙසේ ලියා තබමි..

Tuesday, August 16, 2011

4.99යි...

අපිට කේන්ති යන්නේ,එපා වෙන්නේ, අල්ලන්නැත්තේ,යකා නගින්නේ,මඟ හරින්න හිතෙන්නෙ, අපේ පාඩුවේ ඉන්න හිතෙන්නේ වගේ දේවල් හිතෙන්නේ ඇයි?

උත්තරය හරිම සරලයි.. අපිට ආස්සරේ කරන්න සිද්ද වෙන අයගේ තියෙන වැරදි නිසා...

අපි වනාහී සිරාම පොරවල් ය... අපි වැරදි කරන්නේ නැත.. අපේ හිත් හරිම පිරිසිදුයි... අපි හරි අහිංසකයි..අපිට තියෙන්නෙ පුංචි පුංචි ආසාවල්... අපි කරන කිසිම දේකින් කාගෙවත් හිත් රිදෙන්නෙ නැත. බැරි වෙලාවත් කවුරු හරි අපේ වැඩක් නිසා අප්සැට් වුණොත් එහෙම වෙන්නේ  ඒ ඒ අයගේ ඇති අවුල් නිසා මිසක් අපේ වැරද්දක් නිසා නොවේය... අපි දාන එක එක මෝඩ පාට් හුදෙක් ජොලියටම මිස අපේ ඇති මහන්තත්වය හෝ පොරබිලිටිය නිසා නොවේය. අපිට ඔය මහන්තත්වය ගෑවිලාවත් නැත.. අපි අපේ පාඩුවේ ඉන්න අය...

අපි කාටවත් සෙකන්ඩ් විය යුතු ද?

උත්තරය සිම්පල්... අපි එහෙම සෙකන්ඩ් විය යුතු නැත.. මොකද අපි ඉහත කී ආකාරයේ අය නිසාය..

අපි අපේ පාඩුවේ කාටවත් සෙකන්ඩ් නොවී ඉන්නකොට අපිට ඉහත පළමු ප්‍රශ්නය ආකාරයේ ප්‍රශ්න ඇති වන්නේ ඇයි?

උත්තරය ඉතා සරලයි... අපිට ආස්සරේ කරන්න සිද්ද වෙන අයගේ තියෙන වැරදි නිසා තමයි ඔක්කොම

අපි වැරදි කරන්නේම නැද්ද?

උත්තරය ඉතා සිම්පල් ... නෑ

අපි මොනවද එතකොට කරන්නේ?

මද විරාමයක්...

ඇත්ත වශයෙන්ම අපි හරිම සරල හොඳ මිනිස්සු...අපි අපේ පාඩුවේ වැඩක් කරගෙන ජීවත් වෙනව...අපිට ඉතින් ඔය ඉඳල හිටල පොඩ්ඩක් කේන්ති ගියාට, අපිට ඕනේ දේ ඕනේ විදියටම කර ගන්න පොඩ්ඩක් කෑ ගහල,බැනල හිටියට... අපි බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙන්නෙ නැති වුණාම පොඩ්ඩක් දුක හිතුණට... අපිව කවුරු හරි ගණන් ගන්නේ නැතුව ඉන්න කොට ඌත් එක්ක පොඩ්ඩක් කේන්ති ගියාට... අනිත් අය කරන කරන දේ දැකල ඒවට ආස උනාට.. අපිත් ඒවා කොහොම හරි කරගන්න උත්සාහ කලාට.. එහෙම උත්සාහ කරන කොට පොඩි පොඩි අඩුපාඩු කම් වැරදි අපි අතින් උනාට..අපි ඉතින් බොහෝම සරලව අපේ පාඩුවේ ඉන්න මිනිස්සු...  අපිත් එක්ක වටේ ඉන්න උන් තමයි ඔක්කොම පිස්සු කෙලින්නේ..

අනිත් මිනිස්සු පිස්සු කෙලියට අපිට මොකටද තද වෙන්නේ?

උත්තරය සරලයි...අපිට ඒව අල්ලන්නේ නෑනේ.... අපි අපේ පාඩුවේ ඉන්න මිනිස්සුනේ...අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑනේ..

අපි පිස්සු කෙලින්නෙම නැද්ද?

උත්තරය .. සිම්පල් ......මොන පිස්සුද... ජොලියට වගේ ඔය පොඩි වැරැද්දක් කලාට,ඉඳල හිටල පොරටෝක් එකක් දැම්මට... අපි පිස්සු කෙලින්නෙ නෑ... ඒවත් ඉතින් සුළු දේවල් නේ..  අනිත් එක කවුරුත් මොකද අපි කරන ඒවා නිසා කේන්ති ගන්නේ,තරහ වෙන්නෙ.. අපි හිතල කරන දේවල් නෙවෙයි නේ... ඒ ඉතින් අපේ හැටිනේ...ඕවා කවුද අනේ ගනන් ගන්නේ..

අපිට අනිත් අයත් එක්ක හොඳින් ඉන්නම බැරිද

උත්තරය ... කැපිටල්...  එයාලා අපේ විදියට ඉන්නවනම් ඉතින් අවුලක් නෑ... ඒ කියන්නේ අපි වගේ සරලව සිම්පල්ව කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව ඉන්නවනම් හරි.. බොරු ෂෝ දාන්නෙ නැතුව..මහන්තත්වේ නැතුව... පොර ටෝක් නැතුව ඉන්නවනම් හරි.... අපේ ඉතින් ඒවා නෑනේ.. අපි ඔය ඉඳල හිටල එහෙම දේවල් කලාට අනිත් මිනිස්සු එහෙම නෑනේ...

සාරාංශය

අපිට කේන්ති නොගෙන,එපා නොවී,අල්ලලා,යකා නොනැඟ,මඟ හරින්නෙ නැතුව සිටීමට ලෝකය අපේ විදියට වෙනස් විය යුතුය. ලෝකය වෙනස් වන තුරු අපට කිසිවක් ඒ සම්බන්ධයෙන් කිරීමට අපේ හිත ඉඩ නොදෙන බැවින්... අපි අපේ හිත කියන  විදියට හිතට ඕනෑ දේ කරමින් ජීවත් වෙමු... මක් නිසාද යත් අපි අපේ පාඩුවේ සරලව ඉන්නා මිනිසුන් බැවිනි.

මාතෘකාව සහ ලියා ඇති හරුපයේ සම්බන්ධය ගැන නොසිතා ඔබේ වැඩක් බලා ගන්න. එය යථා කාලයේදී පැහැදිලි වනු ඇත.





Monday, August 08, 2011

මගේ පොටෝගැපි...

                              සිරා කැමරාවක් ගැනීමේ සිහිනය දකින්න පටන් අරන් දැන් ඕං දශකයකට වැඩියි... වෙඩිමෙං පස්සේ එකක් ගන්න ඔන්න මෙන්න තිබිලා අන්තිමේදී අත ඇරල දැම්මා.. තියෙන ණයත් එක්ක තව ලක්ස 1.5ක් විතර නාස්ති නොකිරීමේ පරම පිවිතුරු චේතනාවෙන්... කලිං දාපු පෝස්ට් එකේ තිබිච්ච පිස්සු සැට් එකට දාන්න අමතක වෙච්ච පිස්සුවක් කිව්වත් කමක් නෑ මේකට.. හැබැයි තියරි දැනුම නම් රින.. 

                          අහුවෙච්ච කැමරාවලින් ඕනෑම පොටෝ එකක් ගන්න එක තමා මම කරන්නේ.. මටම කියල කැමරාවක් කවදාවත්ම තිබිල නෑ.. ණයට(අක්කගෙන්,මාමාගෙන්) ගත්ත ඒව තමා හැමදාම.. සිරා කැමරා පිස්සුව නිසා කවදාවත් වැඩේ කෙරෙන විදියේ එකක් සල්ලි දීල ගත්තේ නෑ. හැමදාම ණයට තමා(රු.30,000ක් විතර වටින අක්කගේ කැමරාව මුහුදේ දාපු සීන් එක අපි මොහොතකට අමතක කරමු... ගියදේ ගියානේ..)... මේ දවස් වල තියෙන්නේ ෆූජී ෆයින්පික්ස් ජේ.වී100 කියන පුංචි සරල ඩිජිටල් කැමරාව(ඒක කාගෙද කියල අහන්න එපා.. සුවර් එකටම මගේ නෙවෙයි..)

                 කැමරාව යනු උපකරණයක් පමණි. වැදගත් වන්නේ ඇසයි යන පඬි වදන ඇසූ දා සිට..මට සිරා කැමරාවක් නැතිව(කැමරා ඇති අපේ කොල්ලන්(කට හැකර වරුණයා) අතරේ චාටර් වීම) ගැටළුවක් නොවුනි... 

                     එම ප්‍රකාශය සනාත කරණු වස් මාවිසින් උණු උණුවේ(බොරු නම් අල්ලල බලන්න තාම උණුයි) ගන්නට යෙදුනු... මේ අද(07/08/2011) රෑ 9.30ට විතර අපගේ කුස්සියට පැමිණ ෆ්‍රිජ් එක උඩ වසා සිටි මම සැමදා ප්‍රියකරන(කුංෆූ එකේ තණකොලපෙත්තා මතක් වෙන) ලස්සන තණකොලපෙත්තෙකුගේ කඩවසම්(මගේ ඇසට ලස්සනට පෙනෙන..) පින්තූර 2ක්...



Friday, July 15, 2011

මොකක් හරි පිස්සුවක් හදාගන්න ඕනේ..

මේ දවස් වල මට තියෙන පිස්සුව කිසිම දෙයක් නොකර නිකන් ඉන්න පිස්සුව. කාලෙන් කාලෙට හැදෙන පිස්සු වෙනස් වෙනවනේ...

පොඩිම කාලේ සෙල්ලං බඩු පිස්සුව (කවදාවත් හොඳ නොවන),
මට ඒ දවස් වල තිබ්බා වයින් කරල තිබ්බම පීපෝ පීපෝ ගාගෙන යන පොඩි කාර් එකක්,ඊට පස්සේ බැටරි දාල දුවන ඉබ්බෝ පේළියක්. හමුදා සෙට් එකක්, කොල පාටයි තැඹිලි පාටයි පස් අදින් ලොරියක්.. තව පොඩි පොඩි ඒව වගයක්... ඉබ්බෝ පේලිය නම් තාමත් ගෙදර තියෙනවද කොහෙද... පස් අදින ලොරියට තමා ඉස්සර ආසම.. දස වද දුන්නත් කැඩුනෙ නැති සිරාම ලොරිය ඒක නම්... ඕන ඔට්ටුවක් දැන් තියෙන ඒව එච්චර නම් හයිය නෑ.. මම 8-9 වසරෙදිත් ඒක උඩ නැඟල යනවා... පීපෝ පීපෝ කාරෙකේ එන්ජිම ගලෝල ඒකෙන් හෙන දේවල් ඉගෙන ගත්තා ඒ කාලේ.. පුංචි යකඩ දුන්නකින් එන්ජිමක් හැදිල තියෙන හැටි...

ටිකක් ලොකු කාලේ සෙල්ලං පිස්සුව යාළුවොත් එක්ක සෙල්ලං කරන එක තමා තිබ්බ ලොකුම පිස්සුව.
ඒ දවස් වල ප්‍රියතම සෙල්ලං

ටින් කැඩීම,
වයිම දැමීම,
රොබින් හුඩ්,
කිරිල්ල තුවක්කු යුද්ධ,
දුනු ඊතල සෑදීම,
කඩදාසි ඊතල යැවීම,
ටුවර් ඔෆ් ඩියුටි දැමීම,
ගස් මාරුවීම,
හැංඟි මුත්තම්,
ඩැකර් කැඩීම,
සෙල්ලං කඩ දැමීම,
එල්ලේ ගැසීම,
වොලිබෝල්,
ෆුට්බෝල්,
ක්‍රිකට්,

අනිත් වුන්ට ක්‍රිකට් පිස්සුව(මට එදා සිටම ක්‍රිකට් බැරිය) හැදිල මැච් ගහන්න පටන් ගත්තට පස්සෙ ටික ටික අනිත් සෙල්ලං අභාවෙට ගියා.

ඊට පස්සේ ඕං හැදුනා සර්කිට් පිස්සුව

ෆෝමිකා කෑලී,ඊයම් කෑලී,බවුත් එක,සර්කිට් බඩුත් එක්ක තමා වැඩි හරියක් හිටියේ. ඉස්සර අම්මයි තාත්තයි ගෙදරින් එළියට යන්නේ අපි එනකම් සර්කිට් වැඩ එහෙම කරන්න එපා කියලා (ගිය ගමන් ඉතින් මම වැඩ)
අපේ චූටි අයියා(ලොකු අම්මගේ චූටි පුතා)ට තදේටම තිබ්බ ඔය උණ.. මිනිහා ගාව තිබ්බ සෙනිත් සඟරා ගෙනල්ල එක එක ඒව හදන එක තමා ඉතින් වැඩේ..

ඔය කාලෙම චිත්‍ර අඳින පිස්සුවත් සෑහෙන තිබ්බා.

O/L කාලේදි විතර ඉතින් කාටත් හැදෙන කොමන් පිස්සුව හැදුනා.

ඒ අතර මට තිබ්බ තව පිස්සුවක් එක එක කෙමිකල්ස් මිශ්‍ර කර කර හැදෙන ඒවා බලන්න. ඒ කිව්වේ එහෙන් මෙහෙන් හොයා ගන්න පුළුවන් කෝස්ටික් සෝඩා,ආප්ප සෝඩා,විනාකිරි වගේ ඒව එකට කලවම් කර කර බලන එක. කොටින් ම අපේ අම්ම මට පිටකොටුවේ බංගසාල වීදියෙන් ද කොහෙද එක එක කෙමිකල් ජාති ගෙනත් දුන්න මගේ පිස්සුව වැඩි වෙනකොට.. තාමත් මගේ කාමරේ බිම තියෙනව ඔය එක එක ජාති දාල හැදිච්ච ඒවයින් බිම පිච්චිච්ච ලකුණු..

සිරාම වැඩේ තමයි මමයි,චූටි අයියයි එකතු වෙලා හයිඩ්‍රිජන් බැලුන් යවපු එක. අඩි 10-15 දිග ඉටිකොල බැලුම් පවා අපි උඩ යැව්වා. (හෙට අනිද්ද වෙලාවක ආයෙ එකක් යවල බලන්න ඕනේ)

සා.පේ කාලේ හැදිච්ච කොමන් පිස්සුව ඉතින් තව දශකයක් විතර තියෙනවනේ කොහොමත්. ඒක ගැන ලියල වැඩක් නෑ..

උ.පේ කාලෙදි ලව් සික් එකට බෙහෙත් පිස්සුව ඒ කියන්නේ.. කවි, නිසදැස්,කතා ඕවා තමා.
මට විද්‍යා ප්‍රබන්ධ පිස්සුව හැදුනෙත් ඔය කාලේ තමා. ඒ පිස්සුව නම් හැබැයි හෙනම වටිනවා

ලංකාදීපෙට,දිවයිනට,විදුසරට ලියන එකත් ටික කාලයක් පිස්සුවක් වෙලා තිබ්බා..

උ.පෙ කාලෙදි කොම්පුටර් පිස්සුව හැදුනා සැරේටම.. ඒක හැදුනාම වෙන දේවල් කවුරුත් දන්නවනේ...
(වෙලාවට උ.පෙ ට කලින් එකක් නොතිබ්බේ.. එහම වුණානම් අර මොකුත් නෑ)

ඊට පස්සේ ඉතින් අද දක්කාම කො.පි තමා

වැඩේ කියන්නේ කො.පි හැදුනට පස්සේ සිරාවටම වෙන එක පිස්සුවක්වත් හැදෙන්නේ නෑ... ඒ දවස් වල ජාලේ නැති නිසා හැබැයි අඩුම තරමේ ෆොටෝෂොප්,කොරල්ඩ්‍රෝ වලින් පොඩි පොඩි ආතල් වැඩ කලා තනියම ඉගෙන ගෙන...

හැබැයි කො.පි නිසා මගෙ චිත්‍ර පිස්සුව,සර්කිට් පිස්සුව,කෙමිකල් පිස්සුව 100%ක්ම නැතිම වෙලා ගියා.

ග්‍රැෆික් හදන එකට ආස වුණාට කෝඩ් කොටන්න ඊට වඩා ආසයි කියල හිතුණ නිසා අර පොඩි පොඩි ආතල් වැඩ කරන පිස්සුවත් එහෙම ම නැතිවෙලා ගියා

ඊට පස්සේ ඉතින් ඔය එක එක විභාගයි,ජොබුයි,කෙල්ලොයි තමයි ඉතින්...

සිරාවටම කිසිම පිස්සුවක් මට පහුගිය අවුරුදු 7-8 ඇතුළත හැදුනේ නෑ කියන්න පුළුවන් (ඉන්බිල්ට් තියෙන ඒව ඇර). කරපු එකම දේ ඉතින් කොම්පැණි වලට හම්බ කරල දීපු එකම තමා...

අහ්...හැබයි එකක් අමතක වුණා. ෆිල්ම් පිස්සුව. ඕක හැදුනේ කොම්පූටරේ ගෙදරට ගෙනාවට පස්සේ.. වීඩියෝ සෙන්ටර් එකේ අයියට පිං සිද්ද වෙන්න ණයටත් චිත්තර පටි බැලුවා ඒ දවස් වල. දවසට 4-5ක් සුවර්. පස්සේ පස්සෙ ඔපිස් වල උන්ගෙන් ටී.වී සීරීසුයි ෆිල්මුයි හම්බ වෙච්ච නිසා වීඩීයෝ සෙන්ටර් අයියව අමතක වෙලාම ගියා..

ඔය කාලේ කෙල්ලොත් නැතිව අන්ජබජල් වෙලා ඉන්නකොට ඉතින් ස්ටාර්ගේට්,හීරෝස්,ප්‍රිසන් බ්‍රේක් තමා පිහිටට හිටියේ..

දැන් ඉතින් 20වෙනි දස වස ඉවර වෙන්න ඔන්න මෙන්න.තව දවස් ගානකින් 30 වෙනි දසවස පටාන් ගත්තට පස්සේ කොහොමත් පිස්සු හදාගෙන බෑ...

හැදෙන පිස්සු ටිකත් එක්ක ජීවත් වෙන්න වෙනවනේ...

හැබැයි ඉස්සර තිබ්බ නිර්මාණශීලී(මොනව හරි කිරීමේ) හැකියාව නම් දැං බිංදුව වෙලා තියෙන්නෙ. ලියන කෝඩ් එකත් ගූග්ල්ගෙන් තමා ගොඩක් වෙලාවට ඉල්ල ගන්නේ.. හෙනම කලාතුරකින් තමා හිතල දෙයක් කරන්නේ.. තනිකර කොපිකැට් ම වෙලා...

දැන් ඉතින් අර දසවසකට වැඩි කාලයක් විතර තිබ්බ ලොකුම පිස්සුවත් හොඳවෙලා නිසා හිතට හරිම සැහැල්ලුයි..

සල්ලි හොයන පිස්සුව නම් පුළුවන් තරම් කල් හදා නොගන්න තමා හිතාගෙන ඉන්නේ.. කියන්න බෑ ඉතින්..

මේ දවස් වල අර මුල්ම කාලේ තිබ්බ සෙල්ලම් බඩු පිස්සුව ටිකක් විතර හැදිල තියෙනවා.. ඒක වැඩි දියුණු කරගන්න ඕනේ තව.

චිත්‍ර අඳින වැඩෙත් චුට්ටක් විතර පටන් ගත්තා..

සර්කිට් හදන එක ගැනත් හිතල බලන්න ඕනේ ආයෙත්...

වැඩකට ඇති දෙයක් ලිව්වේ නෑ මතක ඇති කාලෙකින්... පත්තරේකට දෙයක් ලියල ඒක පත්තරේ යනකොට දැනෙන ආතල් එක දැන් නම් මතකත් නෑ වගේ.. කොහොමත් දැන් එච්චර ආතල් එකක් නැතිවෙයි...

හැබැයි ඔය එකක් වත් ඉස්සර තරම් ආසාවෙන් උණකින් කරන්න හිතෙන්නෙ නැති එක තමා ලෙඩේ...

දැන් දැන් සම්පූර්ණයෙන් ම අපත ජීවිතයක් වෙත ඇදී යන බවක් පෙනී යන නිසා වහාම මොකක් හෝ සිරා පිස්සුවක් හදා ගත යුතුය.




Friday, July 08, 2011

මහින්දාගමනය බැලුවෙමු....

අපරාදේ කියන්න බෑ... ලංකාවේ ඉන්න අහිංසක වැඩිහිටි අයගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි වෙන විදියට හදල තියෙනවා. මමයි,මමයි අපේ අම්මයි ගියේ, සියල්ලෝම සතුටින් ගෙදර ආවා... මම හිතන්නේ ෆිල්ම් එකක් බලන එකේ තේරුම ඒකනේ.. පොඩි වින්දනයක් ලබා ගැනීම... ෆිල්ම් එක බලන අතරේ අනේ මන් ද කියල හිතෙන එක නම් නවත්වන්න බැහැ... සරල රසවින්දනයකින්, ඒ කියන්නේ වැඩිය ඇනලයිස් නොකර මේක මීට වඩා සිරාවට හදන්න තිබුණනේ වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව අපේ නළු නිලියන්ගේ අහිංසක දක්ෂතා අගය කරමින් බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ෆිල්ම් එකක්... අපි සතියට ෆිල්ම් 4 -5ක් (ඉස්සර දවසට 4-5ක්) ගානේ ෆිල්ම් බලන්නෙ නැතුව එක එක රටවල මිනිස්සු තමන් හදන ෆිල්ම් වල එක පුංචි රූප රාමුවකට කොච්චර විස්තර  පෙන්නන්න මහන්සි වෙනවද වගේ දේවල් හිතන්නෙ නැතුව ඉන්න ඕනේ..

ලංකාවේ ඉතිහාසයේ වැදගත්ම දේවල් මේ විදියට නිර්මාණය වෙන එක හෙනම වටිනවා... හැබැයි  ඒ නිර්මාණ අනාගතයට ගැලපෙනවද කියල මට නිකමට වගේ හිතුණා... මිහිදු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු කතාව ආයේ කවුරුවත් ෆිල්ම් එකක් විදියට හදන එකක් නෑ..මේ හදපු එක තව අවුරුදු 50ක් විතර යනකම් තියෙයි.. ඒ කාලේ ඇතුලත බිහිවෙන අපේ පොඩි එවුන් ලංකාවේ ඉතිහාසය ෆිල්ම් වලින් ඉගෙන ගනියි.. මහින්දාගමනය ඉස්කෝලේ උගන්නන්න පටන් ගන්නකොට ගූග්ල් එකෙන් හොයල ෆිල්ම් එක බාල කතාව මේකයි කියන දේ ඔලුවට දා ගනියි... ඒ අතරේ උන් ගූග්ල්ගේ පිහිටෙන් අනිත් රටවල ඉතිහාසකතා, රජකතා,ලොකප්‍රසිද්ධ නිර්මාණ,වාණිජ කතා,එහෙන් මෙහෙන් හදන කතා,ලොකු අයගේ කතා වගේ හැම දේමත් ඔලුවල දාගෙන ඉඳියි..

මම හිතන්නේ ඒ කාලේ හැදෙන උන්ගේ මොළෙත් අපට වඩා දියුණු වෙයි.. අපේ ඉතිහාසය අනිත් රටවල ඉතිහාසයත් එක්ක හැඟීම්වලින් නැතුව,සිංහලෙන් කිව්වොත් ක්‍රිටිකලි ඇනලයිස් කර කර ඉගෙන ගනියි... එහෙම ඉගෙන ගන්නකොට මහින්දාගමනය ගැන අපේ හිතේ දැන් තියෙන හැඟීම ඒ ලමයින්ට දැනෙයි ද කියල නිකමට හිතුණා.. අපි අපිට තියෙන හැඟීම නිසා අපි කතාව බලල සතුටුවෙනවා.. කතාව නිසා හැඟීමක් දැනුනද කියල මට නම් ෂුවර් නෑ...

ඒ ෆිල්ම් එකේ තිබ්බ ජාතියෙම අනුරාධපුරයුගයේ තිබිච්ච පිහි අපේ ගෙදරත් තියෙනවා කියල උන් කතාවෙයි (පේමන්ට් එකේ තියෙන සුදුපාට වානේ පිහි තව අවුරුදු 50කිනුත් තියෙයි නේ)..සුරත කියන්නේ අත්දෙකටම මිසක් දකුණු අතට නෙවෙයි කියල කවද හරි සිංහල ගුරුවරු එක්ක තර්ක කරයි... ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ වගේම රැවුල තියෙන සීයල ඒ ෆිල්ම් එකෙත් හිටිය කියයි... ඉස්සර අපේ රජවාසල ආරක්ෂකයිගේ අත පොඩ්ඩක් කැපුනත් හොරාව අත ඇරල දානව කියයි අනිත් රටවල ඉන්න සෙබළු හිස කඳින් වෙන් වෙනකම් සිය රජ(යුවරජ) වෙනුවෙන් සටන් කරද්දී.. ෆිල්ම් එකේ හිටිය බිසව විතරක් ඇයි කොන්ඩෙ කපල් තට්ටේ ගෑවේ..අච්චර භක්තියෙන් හිටපු අර ඇමති තුමා තට්ටේ ගෑවේ නෑ නේද කියල කතාවෙයි..දෙවනපෑතිස් රජතුමා කරවටක් දියේ ගිලී බෝහෝම භක්‍තියෙන් ජය ශ්‍රී මහා බෝධිය දෝතින් පිළිගත්ත කියල පොතේ තියෙන එක කියවද්දි හිතේ මැවෙන දර්ශනය සමහරවිට එච්චරම කේස් එකක් නැති පොඩි සීන් එකක් විදියට උන් ඔළුවේ දාගනියි.. මුලු රටෙන්ම මිහිදු හාමුදුරුවන්ගෙන් බණ අහන්න  ඇවිත් හිටියේ හෙන පොඩි දෙනයි නේද කියලත් හිතයි..(අපි නම් දන්නව ඉතින් ඒක එහෙම නෙවෙයි කියල)

දේශයක පිබිදීම මෙච්චර සරල විදියට ඉදිරිපත් වෙනකොට ඒ පිබිදීම ගැනත් දැනෙන්නේ සරල හැඟීමක්... ඉන්දියාවේ පිබිදීම , ඇමරිකාවේ පිබිදීම(එහෙම එකක් තිබ්බනම්),ජපානේ පිබිදීම ගැන හැඟීම ඊටවඩා තදින් උන්ගේ හිතට දැනෙයි.... අපේ රටේ පොත්වල කියවන්න තියෙන ඉතිහාසය කොහෙන් හරි කොපි කරල ගත්ත එකක් කියල හිතෙයි ද දන්නෑ... ඒ කාලේ වෙනකොට ජාතික හැඟීම තියෙන පරණ මිනිස්සුත් ඒ හැටි ඉතිරිවෙලා ඉන්න එකක් නෑ.. දැන් වගේ පොත්වලින්, පත්තර වලින්, රේඩියෝවෙන් ,ටී.වී වලින් ඕක කියන්නත් අය ඉතිරිවෙලා ඉඳියි ද දන්නෙ නෑ..

ගොඩක් මහන්සි වෙලා හදපු ෆිල්ම් එක තව චුට්ටක් හිතල තව චුට්ටක් මහන්සිවෙලා (සිද්ධියක් වුණා කියන එක නැතුව සිද්ධිය වෙච්ච විදිය තාත්වික විදියට හදන්න) මහන්සි වුණා නම් අපේ ඉතිහාසය ගැන අපිට දැනෙන හැඟීම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා


කිං හන්තර් අද හිටියට හෙට නෑ.. හෙට ඉන්නත් එපා... හැබයි දෙවනපෑතිස් හැමදාම ඉන්න ඕනේ....

(දැන් මහින්ද ආගිය තැන් පෙන්නන්න මීට වඩා වියදම් කරල මහන්සි වෙනව මම හිතන්නේ)











Tuesday, July 05, 2011

මිය යාමට පෙර සොයා සිතන්න ඔබේ............ ගැන

මල කෙලි මාසේ මගේ බ්ලොග් එකට නම් සෑහෙන හොඳ මාසයක් වගේ... මම හිතන්නේ එක දවසේ පෝස්ට් 2ක් දාන පළවෙනි දවස ද කොහෙද.. මේ මාසෙට දාන 3 වෙනි පෝස්ටය... මේක මට මගේ ආදරණීය බිරිඳ විසින් එවන ලද අපූරූ ඊමේලයක්...



අපි හැමෝම තේරුම් අරගෙන වහාම ක්‍රියාවට නැංවිය යුතු මෙලොව ඇති වඩාත් වැදගත් ම දෙය අපේ සිත හරියට තේරුම් ගැනීමයි... අවුරුදු 2500ක් තිස්සේ කොච්චර ඇහුවත් තාම බැරි වෙලා තියෙන්නෙත් ඒකම තමා...

මම වැඩියෙන් ම කරන දේ....

මම මොනවද කරන්න ඕනේ කියල කම්පනා කර කර ඉන්න එක...

මට කල හැකි වැඩ...(10ක්)

1. මාගේ පෞරාණික බ්ලොගයේ මොනවා හරි ලිවිම. (මල කෙලි මාසෙට ලියන 2ක මේක)
2. මා දන්නා (දන්නේ සුට්ටකි) ටැක්නිකල් කෑලි දමා ටියුටෝරියල් බ්ලොග් ලිවීම - බාගෙට ලිවූ එක කොම්ප්ලීට් කිරීම
3. කවුරුත් නොදන්නා මාගේ පුද්ගලික අඩවියේ මකුළු දැල් කඩා සුද්ද බුද්ද කිරීම (බුද්ද කරන්නේ කෙසේදැයි නොදන්නා නිසා එය සැමදා කල් යයි...)
4. ඔන්ලයින් කීයක් හරි හම්බ කරගන්නා ක්‍රම සහ විදි කම්පනා කිරීම. ඇඩ් වැඩ,ෆ්‍රීලන්ස් ප්‍රොජෙක්ට් වැඩ හැර වෙනත් දේ ඇතිදැයි සොයා බැලීම.. වෙනත් අඹ ගස් තිබිය හැක...
5. කොම්පීටර් සහ දැල් නැතිව ජීවත් විය හැකි ක්‍රම කල්පනා කිරීම.
6. එෆ්.බී/ජී+/චැට්/බස් මට එතරම් අල්ලලා යන්නේ නැති බැවින් ඔපිස් වෙලාව නිකරුණේ ගෙවී යාම වලක්වා ගැනීම.. (ක්ලයන්ට්ලාගේ/බිසිනස් ගේන අයගේ/ලොක්කන්ගේ ප්‍රමාද වලට ජයවේවා)
7. ෆිල්ම් සඳහා ඇති උණද දැන් සෑහෙන දුරට හොඳ වී ඇති නිසා ඒ අංශයට යොමු වීමටත් කම්මැලිය.(ස්ටාර් ගේට් බැලීම නැවත පටන් ගන්නවා ද යන්න මේ දිනවල මණ්ඩලයට දමා ඇත..තීරණය තාම මඟ )
8. චිත්‍ර ඇඳීමේ හැකියාව දියුණු කර ගැනීම (චිත්‍රපොතයි,පැන්සලයි,මකනෙයි හරි)
9. අකාලයේ කෙලවී ගිය මාගේ හෙලිකොප්පරයට හරියන කෑලී සොයා බැලීම. සෙනසුරාදා වරුවක් කොටුවේ ඇවිද්දත් බඩු නෑනේ.. සෝ සෑඩ්...
10.කරපු ප්‍රොජෙට්ටු වල ඇති ෆොඩි ෆොඩි බගස් ෆිකස් කිරීම... (මාසේ අන්තිමට බැංකියට යන පඩියට පිං පිණිස)

ඉහත කී දේ හැර සොෆින් යෑම,කඩේ යෑම,පොල් ගෑම, එහෙ මෙහෙ යෑම ආදී දේ කරමින් කමින්,බොමින්,නිදමින්,දැහැමින්(පන්සල් නොයා,බණ නොඅසා),සෙමින්, ඔහේ ගෙදරට වී ඉන්න එක තමා ඉතින් මම වැඩියෙන් ම කරන්නේ

මොකටද මම ඉන්නෙ කියලත් හිතෙනවා වෙලාවකට....  හැක් හැක් හැක්..

Monday, July 04, 2011

කැරිබියන් මුහුදු හොරු - Pirates of the Caribbean

ෆිල්මයක් හදන්න මිනිස්සු කී දෙනෙක් කොච්චරක් මහන්සි වෙනවද කියල නිකමට හරි හිතල තියෙනවද?ඒ මහන්සි වෙන මිනිස්සුන්ගේ නම් ටික වත් අඩුම තරමේ බලල ඉවර කරන්නේ කීයෙන් කී දෙනා ද? හදපු මිනිස්සු ටික විතරක්ම වෙන්න ඇති... අන්න මගේ නම කියල ගෙදර ඉන්න අයට පෙන්නන්න ඒ මිනිස්සු ඔන්න නම් ටික ඉවර වෙනකම් බලාගෙන ඉන්නව ඇති...ෆිල්මයක් අන්තිම වෙනකම් බලන එකේ වටිනාකම කියල දුන්න මෙච්චර කාලේකට බලපු ෆිල්ම්ස් වලින් හෙනම ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එක තමයි මේක.

2003 දි ආපු Pirates of the Caribbean: The Curse of the Black Pearl

 එක වීඩියෝ සෙන්ටර් එකකින් ගෙනාපු  සී.ඩී එකකින් මුලින්ම බලපු දවසෙම කතාව අල්ලල ගියා. ඒ දවස් වල සබ්ටයිට්ල්ස් (ඉංගිරිසි) වත් නැති නිසා දෙබස් හරියට නොතේරුණත්(දැනුත් තේරෙන්නෙ නෑ...) "Captain" Jack Sparrow ගේ පිස්සු රඟපෑමට මාර ආස හිතුණා. අනිත් එක මට තියෙන ෆැන්ටසි පිස්සුවට නියමෙට හරියන විදියේ කතාවක් නිසා දෙවෙනි කොටස එනකම් හෙන ආසාවෙන් බලාගෙන හිටය. කොහොම හරි Pirates of the Caribbean: Dead Man's Chest 


2006 දි ආපු ගමන් එක බැලුවා... ඒක නම් ඩවුන්ලෝඩ් කරල ද කොහෙද බැලුවේ. අපරාදේ කියන්න බෑ ෆන් එක උපරිමයි. . මැරිච්ච මිනිහගේ පපුව බලල ඉවර වෙලා අන්තිමට නම් ටික දාල ඉවර වෙනකම් බලාගෙන හිටියා මොකද ෆිල්ම් සීර්‍රිස් එකේ නැගල ගිය මියුසික් එක නිසා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි ෆිල්ම් එක අන්තිමට දාන මියුසික් එකටයි වහවැටිල හිටපු නිසා ෆිල්ම් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකම් මම නම් ටික බැලුවා. ජීවිතේ පලවෙනි වතාවට ද කොහෙද ෆිල්ම් එකක නම් ටික ඔක්කොම දාල ඉවර වෙනකම් බලාගෙන හිටියේ. 


            දෙයියන්ට ඔප්පු වෙච්චාවේ කියල මෙන්න බොලේ තේ අල්ලපු මල්ලිගේ නමත් දාල ඔක්කොම ඉවර වුණාට පස්සෙ කතාව මැද හරියෙදි මොකක් හරි සීන් එකක හිටපු බල්ලට (වඳුරද මන්ද) මොකද වුණේ කියල පෙන්නන්න පටන් ගත්තා තත්පර 10ක විතර සීන් එකක්. සිරාවටම පිස්සු හැදුන මට ඒක දැකල නම්.. එදා දැන ගත්තා 3ත් අනිවා එනව කියලා... එදා ඉඳන් තුන එනකම් බලාගෙන හිටියා. කොහොම හරි 2007දි Pirates of the CaribbeanAt World's End



 කියල ආපු 3ත් ඩවුන්ලෝඩ් කරල බලාගෙන ඒකෙත් නම් ටික දාල ඉවර වෙලා දාපු සීන් කෑල්ලත් බලාගෙන ඉතින් කට ඇරගෙන හිටියා 2011දි 

Pirates of the CaribbeanOn Stranger Tides 



ලංකාවට එනකම්... ඔන්න ඉතින් මමයි,මමයි දෙන්නම ගිය සිකුරාදා ඇම්.සී එකේ 7.30 ෂෝ එකට සැට් වුණා ඒක බලන්න... අනේ මන්දා පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට එන කම්  "Captain" Jack Sparrow දෙන ආතල් නම් කියලම වැඩක් නෑ... මිනී මරන,නිධන් තන්හාවෙන් පිරිච්ච කපටි මුහුදු හොරුන් අතරෙ සල්ලිවලට තණ්හාව නැති මුහුදු හොරා කියන රස්සාවට විතරක් කැමති... කිසිවෙකුව කිසිදාක විශ්වාස නොකරන... ෆන් එකේ ඉන්න නියම මුහුදු හොරෙක් ගේ අපූරු රංගනය මටනම් ඕනේ තරම් බලන් ඉන්න පුලුවන්... 


               කොහොම හරි එදා ඇම්.සී එකෙත් නම් ටික දාල ඉවර වෙනකම් කියල සෑහෙන වෙලාවක් හිටියා. හැබැයි ඉතින් මට තරම් ම පිස්සු නැති නිසාද මන් ද අනිත් ජනතාව හෝල් එකෙන් එලියට යන්න ගිය නිසා තේ අල්ලපු මල්ලිගෙ නම් දාන කම් ඉන්නෙ නැතිව අපි දෙන්නත් ආවා.. හොඳ කොපියක් ආපු දවසක ආයේ බලන්න ඕනේ නම් ටික දාල ඉවර වුණාට පස්සෙ මොකො වෙන්නෙ කියල. 


      ඕක බලල ඇවිත් ඉරිදා උදේ(දවල් ද කොහෙද)නිකන් ඉන්න ගමන් විකීපීඩියාව බැලුවා බැරිවෙලාවත් තව කොටසක් හදයි ද කියල දැන ගන්න... කිරි බල්ලට අප්ප පැනපි කියල මේ තියෙන්නෙ දැනටමත් ඉදිරි කොටස් 2ක වැඩ පටාආආන් අරගෙනලු තියෙන්නෙ ... ජොනී ඩෙප් අයියා කියල තියෙනවා මිනිස්සුන්ට කතාව එපා වෙනකම් "Captain" Jack Sparrow ගේ චරිතේ කරන්න මිනිහා කැමතියි කියල... ආදායම අතිනුත් ඔපීසියේ තියෙන බොක්ස් එක පිරෙන්න වාර්තා ගත ආදායම් හදපු ෆිල්ම් 4න්ම අරන් තියෙන නිසා අපේ හිතසුව පිණිස වැඩි වැඩියෙන් කොටස් හැදේවා කියන එක තමයි මගේ නම් එක ම මම(අන්තිම අල්කීරිම නැතුව).

Wednesday, June 29, 2011

තාක්ෂණයද,විද්‍යාවද,කලාවද,ආගමද,සමාජයද

මේවායින් වඩාත් ම වැදගත් එක මොකක් ද?

මගේ විදියට නම් අන්තිම එක සමාජය,ඊට කලින් එක තාක්ෂණය,ඊටත් කලින් එක ආගම,දෙවැනි එක විද්‍යාව, එක කලාව.

ආගම 3ට දැම්මේ ආගම නිසා ලෝකයට සිද්ධ වෙලා තියෙන අහේනිය ගැන හිතල. ධර්මය කියන එකයි ආගමයි මිනිස්සු පටලවගෙන නිසා අපි ආගම් පිස්සො වෙලා කියල මට ඔය නිකන් ඉන්න වෙලාවට හිතෙනව.

සමාජය කියන එක අන්තිම එකෙන් උඩට ගන්න නම් කොහෙත්ම බෑ... ඒක නිසා අපිට නැතිවෙලා තියෙන දේවල් ගැන හිතල බැලුවහම අන්තිමත් හොඳ වැඩියි.

තාක්ෂණේ මොකද 4 වුණේ? බඩ වියත රැක ගන්නේ තාක්ෂණේ පිහිටෙන්  වුණාට තාක්ෂණේ නැති වුණා නම් අපේ ජීවිත මීට වඩා සරල වෙන්න තිබ්බ කියල හිතුණ නිසා 4ට දැම්මා.

කලාව මොකද විද්‍යාවට වඩා ඉහල? ඕනැම විද්‍යාඥයෙක් නිකං ඉන්න වෙලාවට සිංදුවක් අහන්න,ලස්සන දර්ශනයක් රසවිඳින්න, ගෑනු ළමයෙක් එක්ක පොඩ්ඩක් නටන්න කැමතියි නේ... ඕකේ අනිත් පැත්ත වෙන්නෙ නෑනේ කවදාවත්...

අපි මොන සමාජ තත්වේ තියාගෙන කෙස්පැලෙන දේවල් ගැන කල්පනා කර කර ලෝකේ තියෙන අලුත්ම දේවල් අතපත ගගා මොන ආගමක් අදහගෙන ගහමරා ගත්තත් තමන්ගෙ හිතේ අභ්‍යන්තරයේ ඉන්න කලා කාරයව,සංවේදී අහිංසක මනුස්සයව අපිට අමතක කරන්න බෑ...

අපි හැමෝම අභ්‍යන්තරයේ ඉන්න මනුස්සයව අමතක කරල එලියේ ඉන්න මිනිහව පොරක් කර ගන්න දඟලනව ද කොහෙද.. අනේ මන්ද

Tuesday, June 21, 2011

කාලෙකට පස්සෙ දැකපු ලස්සන පින්තූර කිහිපයක්...

...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම...